මුල්‍ය කළමනාකරණයටත්, දරුවන්ට ඉතුරු කරන්නත්, වැඩිහිටියන්ට සහය ගෙනෙන ”අය වැය ලේඛණය”

  මගේ ජීවිතය සාර්ථක කරගන්නට හේතු වුණු එක් කාරණයක් තමයි මට ලැබෙන ආදායම හරි හැටි කළමනාකරණය කළ එක. ඇත්තටම ඒ සඳහා මට මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපි දෙන්නා විතරක් නෙවෙයි, අපේ පුංචි දුවලා දෙන්නත් මේ කාර්යයට අපි සම්බන්ධ කරගත්තා. අපිට ලැබෙන ආදායම වගේම   වියදම සඳහන් කරලා අය වැය ලේඛණයක් සකස් කරන්න ඕනේ කියන අදහස ආවේ මගේ බිරිඳට. මාසික වැටුප අරගෙන ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලද්දි අතේ සතයක්වත් නැතිවෙන මාස ඉස්සර අපිටත් තිබුණා. ඇත්තටම  සල්ලි ඉවර වුණේ කොහොමද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒත් අද වෙද්දි, බොහොම ලස්සනට අපේ දවස් ගෙවිලා යනවා. එදා වගේ ආර්ථීක ප්‍රශ්න අද නම් මට නෑ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් හැම මාසයකම ඉතුරු කරන්නත් හැකියාව ලැබෙනවා. ඇත්තටම අපි අපට ලැඛෙන පුංචි මුදල හරි කළමනාකරණය කරනවා නම් හිතේ හැටියට වියදම් කරනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් ඒ මුදලෙන් අපට ලබාගත හැකියි. මම ඒක දන්නේ අත්දැකීමෙන්මයි. මේ හරහා මට ලැබුණු විටිනාම අවස්ථාව වෙන්නේ මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතුරු කරන්නට මට ලැබුණු හැකියාවයි. ” 

ඉහත දැක්වූ පෙරේරා මහතාගේ අදහස එක්ක එකඟ වෙන බොහෝ දෙනෙක් අපි අතර ඉන්නවා. ඒ, අද වෙන විට වෙනදාට වඩා වැඩි පිරිසක් මුදල් කළමනාකරණය ගැන අවධානය යොමුකරන නිසයි. නිවසක ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය තුළින් සැමවිටම ආර්ථීකමය ගැටලු ඇතිවීමද කළමනාකරණය කරගත හැකි බව මේ ලිපිය අවසානයේදී ඔබට පැහැදිලි වනු නිසැකය. වැඩිහිටියන් හා දරුවන්ට එක්ව කළ හැකි මේ කාර්යය තුළින් ආදායම කළමනාකරණය කළ හැකි වනවා සේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කිරීමට ද අවස්ථාව සැලසෙනු නොඅනුමානය. එපමණක් නොව, ඔබේ දරුවන් වැඩිහිටියන් වන හෙට දිනයේදී ඔවුන්ට ද මුල්‍යමය කළමනාකරණය පිළිබඳව නිසි අවබෝධයක් කුඩා අවධියේ සිටම හිමි වේ.

අය වැය ලේඛණය සකසන්න දරුවනුත් එක්කරගන්න

අය වැය ලේඛණය යනු ඔබට ලැඛෙන සහ වියදම් වන මුදල පමණක් නොව ඉතුරු වෙන මුදල පිළිබඳව ඔබව දැනුවත් කෙරෙන ලේඛණයයි. දරුවන් සමග මෙය ඉතා විනෝදාත්මක අංගයක් ලෙස සිදුකිරීමට ඔබට හැකියි.

ආදායම, පිළිබඳව දරුවන්ට යම් දළ අදහසක් ලබාදෙන්න. ඒ වගේම වියදම එනම් ආහාර, නිවාස, විදුලි බිල, ජල බිල, දුරකථන බිල්පත්, ගෑස්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ප්‍රවාහන වියදම්, ඉන්ධන වියදම්, වෛද්‍ය ප්‍රතිකාර, ඉතිරි   කිරීම, විනෝද ගමන්, රූපලාවන්‍ය ආදී වියදම් ලැයිස්තුව ද ඔවුන්ට ලබාදෙන්න. ආහාර හා අනෙකුත් ගේ දොර වියදම්වල දල වටිනාකම්ද ලබාදෙන්න. වියදම් වන මුදල් කොටස සම්පූර්ණ කර එකතුව ලබාගත් පසු ආදායම හා වියදම අතර වෙනස දරුවාට ද අවබෝධ වේ. එය හිඟයක් නම් සියලු දෙනා එකතු වී කුමන වියදම් කපා හරින්නේද යන්න සාකච්ඡා කරන්න. කුමන බිල් සම්පූර්ණයෙන් ගෙවනවාද, කොටසක් පමණක් ගෙවිය හැකි බිල් මොනවාදැයි තෝරන්න. ඔබ වියදම් තෝරා බේරාගෙන ආදායමට අනුව වියදම් කළමනාකරණය කරන ආකාරය දරුවාට වටිනා අත්දැකීමකි. ඒ අතරට පවුලේ සියලු දෙනා වියදම් කළමනාකරණය කිරීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සාකච්ඡා කිරීමද සිදු කළ යුතුය.

සමහර විට ඔබේ ආදායම වියදමට වඩා වැඩි නම් අතිරික්ත මුදල් දකින දරුවා එයින් ප්‍රතිලාභ ලබන්නට සැලසුම් කළ හැකිය. එහිදී මෙම ඉතිරිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ ඒ අරමුණු සඳහා වැය කරන්නට නියමිත බව දරුවන්ට අවබෝධ කරවන්න. එසේම නැති බැරි පිරිස් වෙත පිහිට වීමටත් යම් මුදලක් වෙන් කළ යුතු බව දරුවන්ට අවබෝධ කරවන්න.

බොහෝ නිවෙස්වල වියපැහැදම් කාර්යය භාරව සිටින්නේ මව්වරුන්. මාසික වැටුප ලැබී සති දෙකක් පමණ ගතවන විට නැවත පසුම්බිය හිස්ව යන බවට මේ කවුරුත් මැසිවිල නගනවා. නමුත් නිසි ලෙස මුදල් කළමනාකරණය සිදු වනවා නම් මේ තත්ත්වයෙන් මිදෙන්නට අපි කාටත් හැකියාව ලැබෙන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

ළදරුවන් හා කුඩා දරුවන්ට යකඩ අතිරේකයක් (MMN)

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යකඩ ඌනතාවය හා ඒ හේතු කොටගෙන වන රක්ත හීනතාවය වැලැක්වීමේ පියවරක් ලෙස ළදරුවන් හා කුඩා දරුවන් සඳහා යකඩ අතිරේකයක් 2017.01.01 දින සිට ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇත. මෙතෙක් උතුරු හා නැගෙනහිර හා ඌව පළාත්වල, නුවර එළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මකව තිබූ මෙම වැඩ සටහන මේ වසරේ සිට ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දරුවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මාස 6-12 හා අවුරුදු 1-2 අතර වයස් කාණ්ඩවල දරුවන් තුළ රක්තහීනතාවය ඉහළ මට්ටමක පැවතීම හේතු කොටගෙන බුද්ධි ඵලය අඩුවීම, වර්ධනය බාල වීම හා ආසාදන තත්වයන්ට ගොදුරුවීම සිදුවීම නිසා දරුවන්ගේ සංවර්ධනයට බාධා ඇති කරයි. MRJ  2012 වාර්තාව අනුව මාස 6-12 දරුවන් 34% ක් හා අවුරුදු 1-2 අතර දරුවන් 24% ලෙස රක්ත හීනතාවය හඳුනාගෙන ඇත. මේ හේතු කොටගෙන රක්තහීනතාවය වැළැක්වීමේ කෙටි කාලීන පියවරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO  නිර්දේශ මත නව ජන්ම හා ළමා සෞඛ්‍ය පිළිබඳ තාක‍ෂණික උපදේශක කමිටුව හා මාතෘ හා ළමා පෝෂණය පිළිබඳ අනු කමිටුව විසින් මෙම මැදිහත් වීම නිර්දේශ කර ඇත.

දින සම්පූර්ණ වී ඉපදුණු හා උපත් බර 2500ට හෝ ඊට වැඩි දරුවන් සඳහා වයස මාස 6, මාස 12 හා මාස 18 සම්පූර්ණ කරන දරුවන් සඳහා දිනකට එක් ක‍ෂුද්‍ර පෝෂක පැකැට්ටුවක් බැගින් දිනකට වරක් දින 60 ක කාලයක් සඳහා මෙය ලබාදීම ක්‍රියාත්මක කරනු ඇත. ක‍ෂුද්‍ර පෝෂක නොමැති කාවලදී යකඩ මූලද්‍රව්‍ය 10mg -12.5mg  අතර ප්‍රමාණයක් දිනකට වරක් ආහාර වේලකට පැයකට පෙර හෝ පැය 2 කට පසු මාස 3 ක් ලබාදීමට නිර්දේශ කර ඇත.

සති 37 ට පෙර ඉපදුණු (ප්‍රාග් පරිණත) හා අඩු උපත් බර (උපත් බර 2500 ට අඩු) දරුවන් සඳහා ක‍ෂුද්‍ර පෝෂක ලබාදීම ළමා රෝග වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඉපදී සති 2 දී පටන් වයස අවුරුදු 2 දක්වා යකඩ මූලද්‍රව්‍ය 1Kg  කට 3mg බැගින් දිනකට වරක් හා උපතේ සිට මල්ටි විටමින් 1mg  ට 0.3ml දිනකට වරක් හා ෆෝලික් අම්ලය මයික්‍රෝ ග්‍රෑම් 500 සතියකට වරක් හා වයස අවුරුද්ද සිට අවුරුදු 2 දක්වා ෆෝලික් අම්ලය 1mg ක් සතියකට වරක් ලෙස ලබාදීමට කටයුතු කර ඇත.

ක‍ෂුද්‍ර පෝෂක අතිරේකය ලබාදෙන අයුරු

දිනකට එක් ක‍ෂුද්‍ර පෝෂක පැකැට්ටුවක් දිනකට වරක් අර්ධ ඝන හෝ ඝන ආහාර, මුල් කෑමකට 2ක/තුනක කලවම් කොට විනාඩි 15 ක පමණ කාලයක් තුළ ලබාදිය යුතුයි. ජලයේ දිය නොවන නිසා දියර ආහාරවලට එක් නොකළ යුතුයි. කාලය ගත වීමත් සමග වාතයට නිරාවරණයව පැහැය වෙනස් වී අප්‍රසන්න රසයක් ඇතිවිය හැකි නිසා හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කළ යුතුයි. එක් දිනක් ලබාදීමට අමතක වුවද දිනකට පැකට් 2 ක් ලබානොදීම කළ යුතු අතර එක දිගට මාස 2 ක කාල සීමාවක් මේ ක‍ෂුද්‍ර පෝෂක ලබාදිය යුතුයි.

අඩංගු දේ

යකඩ (ෆෙරස් පියුමාරේට් මි.ග්‍රෑ 10), සින්ක් (සින්ක් ග්ලූකොනේට් මි.ග්‍රෑ 41), ෆෝලික් අම්ලය මයික්‍රොග්‍රෑම් 150, විටමින් සී (ඇස්කොටික් අම්ලය) මි.ග්‍රෑ 30, කොපර් මි.ග්‍රෑ 0.56, අයඩීන් මයික්‍රො ග්‍රෑම් 90, සෙලේනියම් මයික්‍රො ග්‍රෑම් 17, විටමින් ඒ මයික්‍රො ග්‍රෑම් 400, විටමින් බී1 මි. ග්‍රෑ 0.5, විටමින් බී2 මි. ග්‍රෑ 0.5, විටමින් බී6 මි. ග්‍රෑ 0.5, විටමින් බී12 මයික්‍රො ග්‍රෑම් 0.9, නියැසින් මි. ග්‍රෑ 6, විටමින් ඩී3 මයික්‍රො ග්‍රෑම් 5 සහ විටමින් සහ විටමින් ඊ මි. ග්‍රෑ 5 වශයෙන් ක‍ෂුද්‍ර පෝෂක අතිරේක පැකට්ටුවක් තුළ මෙම කුඩු ලිපිඩමය ස්ථරයකින් ආවරණය වී ඇත.

විටමින් සී මගින් යකඩ අවශෝෂණය වැඩි කරන අතර විටමින් ඒ මගින් යකඩ පරිවෘත්තිය හොඳින් සිදු කරයි.

මෙම පැකට් එන්නත් ලබාදෙන සායනයක් තුළදී මව්වරු වෙත ලබාදෙන අතර සුළං නොවදින සේ වැසෙන භාජනයක අසුරන ඉර එළියෙන් හා උෂ්ණත්වයෙන් ආරක‍ෂා වන ලෙස ගබඩා කර ඇත.

අතුරු ආබාධ

  • මල තද පැහැයක් ගැනීම විය හැකි මුත් එය සාමාන්‍යයයි
  • කලාතුරකින් ඔක්කාරය හා වමනය ද ඇතිවිය හැකියි

අතුරු ආබාධයක් ඇති වුවහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා රැගෙන යන්න.

මෙතෙක් දරුවා සඳහා ලබාදෙන ත්‍රිපෝෂ, විටමින් ඒ අධි මාත්‍රාව සහ පණු ප්‍රතිකාරය ඒ අයුරින්ම ලබාදිය හැකි අතර අනෙකුත් විටමින් වර්ග ලබාදීමෙන් වළකින්න. ක‍ෂුද්‍ර පෝෂක ලබාදීම සටහන් කිරීමට මව්වරු උනන්දු විය යුතු අතර ඒ සඳහා දින සටහනක් හෝ වෙනත් ක්‍රම වේදයක් යොදා ගැනීම ඔබේ දරුවාට නියමිත පරිදි ක‍ෂුද්‍ර පෝෂක ලබාදුන් බවට හා ඇතිවන ගැටලූ සසඳා ගැනීමට ද පහසුවක් වනු ඇත.

අයිරාංගනි ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල

කුඩා දරුවන්හට රාත්‍රී නින්දේදී මුත්‍රා පිටවීම

වයස අවුරුදු තුන හතර පමණ වන ඇතැම් දරුවන් රාත්‍රිය පුරා මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයක් නොමැතිව සම්පූර්ණ නින්දක් ලබාගනී. තවත් දරුවන් පිරිසක් නින්දෙන් ඇහැරී තම අවශ්‍යතාවය මව්පියන්ට දැනුම් දී කාර්යය ඉටුකරගනී. තවත් දරුවන් පිරිසක් නින්දේදී නොදැනුවත්වම ඇඳ මත මුත්‍රා පිටකරයි. නමුත් වයස අවුරුදු පහට වැඩි දරුවෙකුහට රාත්‍රි නින්දේදී නොදැනුවත්වම මුත්‍රා පිටවීම සැළකෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක් ලෙසයි. මේ තත්ත්වය එකම පවුලේ සාමාජිකයන් කීපදෙනෙකුට තිබිය හැකි අතරම දෙමාපියන් කුඩා කාලයේදී මේ තත්ත්වයට මුහුණ දුන්නේ නම් ඔවුන්ගේ දරුවන් මේ තත්ත්වයට මුහුණ දීමට වැඩි ප්‍රවණතාවයක් ඇත.

රාත්‍රියේ නින්දේදී නොදැනුවත්වම මුත්‍රා පිටවීමට හේතු,

  • ඉතා තද නින්දට වැටීම – මෙහිදී අවශ්‍යතාවය දැණුනද තද නින්ද නිසා යටපත් ගොස් නොදැනුවත්වම මුත්‍රා පිටවෙයි.
  • මුත්‍රාශයේ පරිමාව කුඩා වීම – වැඩි මුත්‍රා ප්‍රමාණයක් රඳවා තබාගත නොහැකි නිසා මුත්‍රා නොදැනුවත්වම පිට වෙයි.
  • රාත්‍රී කාලයේ දී අසාමාන්‍ය ප්‍රමාණයක් මුත්‍රා නිපදවීමයි.

මේ තත්ත්වයට බලපෑ වෙනත් හේතු ඇති දරුවන්,

  • වර්ධනය ප්‍රමාද දරුවන්
  • අවධානය අඩු දරුවන්
  • ස්නායු ආබාධ සහිත දරුවන්
  • අධි ක්‍රියාකාරිත්යෙන් පෙලෙන දරුවන්
  • මුත්‍රා ආසාධනයක් ඇති දරුවන්

මේ තත්ත්වයට හේතු විය හැකි මානසික බලපෑම්,

  • මව්පියන්ගෙන් වෙන්වීම
  • තමා ප්‍රිය කළ පාසල/යහළුවන් මාරුවීම
  • පාසැලේදී අන් අයගේ උසුළු විසුළුවලට ලක්වීම/යහළුවන් අතර කොන් වීම

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන්ට රාත්‍රියේදී පමණක් නොව දහවල් කාලයේදීද මෙම ලක්‍ෂණ දැකිය හැකිය. එනම්,

  • විටින් විට වැඩි වාර ගණනක් මුත්‍රා කිරීම
  • දිවා කාලයේද නොදැනුවත්ම මුත්‍රා පිටවීම

රාත්‍රීයේදී නින්දෙන් මුත්‍රා පිටවීම නිවැසියන්ට පමණක් නොව දරුවාටද විශාල පීඩනයකි. දෙමාපියන් තරයේ සිතට ගත යුතු කරුණ වන්නේ මෙය දරුවා ඕනෑකමින් කරන දෙයක් නොවන බවයි. දරුවන් මේ තත්ත්වය නිසා විහිලුවට, සිනහවට හෝ ඇනුම් බැනුම්වලටද ලක්වීම කිසිසේත්ම සුදුසු නොවේ. ඇඳ නොතෙමු රාත්‍රීයක් ඇත්නම් ඒ තත්ත්වය පිළිබඳව දරුවා අගය කළ යුතුය.

මේ තත්ත්වයට විවිධ ප්‍රතිකාර ,

  • රාත්‍රි කාලයේදී පැණිරස හා ලුණු අධික කෑම වර්ග නොදීම
  • රාත්‍රී නින්දට පෙර වරක් හෝ දෙවරක් මුත්‍රා කිරීමට හුරු කරවීම
  • රාත්‍රී කාලයේදී දරුවා ඇහැරවා මුත්‍රා කිරීමට සැලැස්වීම

වයස අවුරුදු පහට වැඩි දරුවෙක් නොකඩවා මේ තත්ත්වයට පත් වේ නම් හෝ පෙර මෙවැනි පුරුද්දක් නොමැතිව සිටි දරුවෙකුහට එසේ සිදු වෙයි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුවේ. ප්‍රතිකාර ක්‍රම හමුවේ වුවද මෙම තත්ත්වයෙන් මිදීමට ඇතැම් විට දරුවෙකුට වසර කීපයක් වුවද ගතවිය හැක.

කොළඹ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සහ නව යොවුන් සෞඛ්‍ය ඒකකයේ ලේඛකාධිකාරී ප්‍රජා වෛද්‍ය එස්.ජේ. සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.

ළදරුවන්ගේ මනෝමීය සංවර්ධනය උදෙසා මව්වරුන් දැනුවත් විය යුතු කරුණු

නිරෝගී දරුවෙකු යනු ශාරීරික පෝෂණය මෙන්ම මානසික පෝෂණයත් උපරිමව හිමි දරුවෙකි. අද වන විට බොහොමයක් මව්වරුන් දරුවන් නිරෝගී කිරිමට උත්සහ දරන්නේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාදීම තුළින් පමණි. නමුත් පෙර සඳහන් කළ පරිදිම නිරෝගී දරුවෙකු යනු ශාරීරිකව මෙන්ම මානසිකව ද හොඳින් පෝෂණය වූ දරුවෙකි.

දරුවෙකුගේ ජීවිතයේ උපතේ සිට වසරක් සම්පූර්ණ වනතුරු කාල සීමාව නම් කෙරෙන්නේ ළදරුවිය ලෙසටයි. මෙම ළදරුවිය කාල සීමා තුනක් යටතේ බෙදා වෙන්කෙරෙන අතරම ඒවා,

  • උපතේ සිට පළමු මාස දෙක
  • මාස දෙකේ සිට මාස හය දක්වා
  • මාස හයේ සිට මාස අවුරුද්ද සම්පූර්ණ වන තෙක් ලෙසටයි

එසේම උපතේ සිට දරුවෙකුගේ සංවර්ධනය ප්‍රධාන ක්‍ෂේත්‍ර හතරක් යටතේ සාකච්ඡා කෙරේ. එනම්,

  • දලචාලක හැකියාවන්ගේ දියුණුව
  • සියුම් චාලක හැකියාවන්ගේ දියුණුව
  • කතාවේ සංවර්ධනය
  • සමාජ සන්නිවේදනය

ළදරුවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉහත සඳහන් ක්‍ෂේත්‍ර අතරින් වැදගත් වන්නේ සමාජ සන්නිවේදනය නම් වූ ක්‍ෂේත්‍රයයි. අලුත උපන් බිළිඳාගේ සමාජය හා ඇති බැදීම සංවර්ධනය වීම ඇරඹෙන්නේ තම මව හඳුනා සිනාසීමත් සමගයි. ළදරුවා පළමු මාස හයේදීට වඩා දෙවෙනි සාම හයේදී සමීප පුද්ගලයන් විශේෂ කොට හඳුනාගනී. දෙවෙනි මාස හයේදී පිටස්තර පුද්ගලයන් ඇඳින ගන්නා අතරම ඔවුන්ට බියක් දක්වයි. මේ ආකාරයට ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය ආරම්භ වේ.
ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනයට බලපාන කරුණු තුනකි.

  • ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය – යම් ළදරුවෙකු උපතේදී ඇති වන අසාමාන්‍යතා, හදවතේ සිදුරු පවතින අවස්ථා, වලිප්පුව වැනි තත්ත්ව මෙන්ම ශාරීරික දුර්වලතා මනෝමීය සංවර්ධනය ප්‍රමාද වීමට හේතු වේ. රෝහල්ගතව යම් කාලයක් ගත කිරීමට සිදුවන මෙවැනි ළදරුවන්හට පරිසරය මගින් ලැබෙන උත්තේජනයන් නොමැති නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.
  • මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය – ප්‍රසූතියෙන් පසු කාන්තාවන් 60% පමණ ප්‍රමාණයක් කළකිරුණු කණස්සලු ස්වභාවයෙන් කාලය ගත කළද මොවුන් ඔවුන් මානසික ගැටලු පවතින රෝගීන් නොවේ. නමුත් කාන්තාවන් 10% පමණ ප්‍රමාණයක් විශාදය නමු වූ තත්ත්වයට මුහුණ දෙනවා.

ප්‍රසූතියෙන් පසු කාන්තාවන් මෙසේ මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීමට මූලික හේතූන් කිහිපයකි.

  • ප්‍රසූතියත් සමගම සිරුරේ එක්වරම සිදුවන හෝමෝන වෙනස්කම්
  • අලුත උපන් ළදරුවා හේතුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයේ භාරදූරත්වය
  • සහය ලබාදීමට කිසිවෙකුත් නොමැතිකම

මේ තත්ත්වයේදී නිවැසියන් මෙම කාන්තාවගේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගත යුතුය. මවට උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කළ යුතුය. ඇයගේ තත්ත්වය වටහා ගනිමින් ඇයව දිරි ගැන්වීමට කටයුතු කළ යුතුය. කෑම අරුචිය, නින්ද නොයෑම වැනි තත්ත්වයන් තිබේ නම් ඒ පිළිබඳව සැළකිලිමත් වී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතා වැදගත් වේ. නැතිනම් මවගේ මෙම හැසිරීම හේතුවෙන් දරුවාට මවගෙන් හිමිවිය යුතු දේ අහිමි වීම නිසා මනෝමීය සංවර්ධනය අඩාල විය හැකිය.

  • පරිසරයෙන් ලැබෙන උත්තේජන
    අලුත උපන් ළදරුවාට කිසිදු වැටහීමක් නොමැති වුවද වටපිටාවේ ඇති වන යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් ගෙන් මානසික සංවර්ධනය කෙරේ බලපෑම් ඇති විය හැකිය. නිහඩ සාමකාමී පරිසරයක් ළදරුවෙකු වටා පැවතීම අනිවාර්ය වේ. නැතිනම් ළදරුවාගේ මානෝමීය සංවර්ධනය අඩාල වීමට ඒ තත්ත්වය බලපෑ හැකිය.

මෙලොවට බිහිවන සෑම ළදරුවෙකුම උපතේ සිට පළමු මාස දෙක තුළ පෙනෙන දේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ අඩුවෙනි. එයට මූලික හේතුව වන්නේ දෘෂ්‍ය හැකියාව සම්පූර්ණ නොමැති වීමයි. එනම් ළදරුවෙකුගේ දෑස් පෙනීම සම්පූරණ වන්නේ උපතින් සති අටකට එනම් මාස දෙකක් අවෑමෙනි. නමුත් මේ කාලය තුළ ළදරුවාට අවශ්‍ය ශාරීරික උත්තේජනය උපරිමව ලබාදීමට මවට හැකියි. එනම් දරුවා තුරුළු කරගන්න, සිපගන්න, පිරිමදින්න වගේම ළදරුවාට ඇසෙන්නට කවි ගී ගායනා වැනි දේය. ළදරුවාට අවබෝධයක් නොමැති වුවද අම්මාගේ හඬ, උණුසුම, සුවඳ, රිද්මය ළදරුවාගේ මනෝමීය සංවර්ධනය බලපායි. කුඩා කාලයක් මෙවැනි උත්තේජනයක් ලබාදීමෙන් අනතුරුව ළදරුවාට නිදහස්ව සිටීමට ඉඩ ලබාදිය යුතුතේ මෙවැනි දේ අලුත උපන් ළදරුවෙකුහට ඉතා විශාල උත්තේජනයක් වන බැවිනි.

උපතින් මාස දෙකක් ගත වූ පසු එතැන් සිට මාස හය දක්වා කාලය මවත් ළදරුවාත් අතර මූලික බැඳීම වර්ධනය වන කාල සීමාවයි. අම්මාගේ සුවඳට, සිනහවට උණුසුමට ප්‍රතිචාර දැක්වීමට ළදරුවා හුරුවන නිසාම මව සතුටින් සිටීම ළදරුවාට ඉතා වැදගත් වේ. මවගේ මුහුණට අමතරව ළදරුවා සිටින වටපිටාව සරසා ඇති රතු, කහ, නිල්, කොළ වැනි මූලික වර්ණයන්ගෙන් යුතු සරල මෝස්තර ද ළදරුවාගේ මනෝමීය වර්ධනයට ඉතාමත් වැදගත් වේ. ළදරුවාගේ වයස මාස පහක් පමණ වන විට කොට්ට ආධරයකයක් ලෙස තබමින් වාඩිවී සිටීමට සැලැස්විය හැකි අතරම එමගින් වැතිරී සිටින විටදීට වඩා වැඩි වශයෙන් වටපිටාව දැක ගැනීමට අවස්ථාව ළදරුවාට හිමිවේ. එසේම අවට පරිසරයට ළදරුවා නිරාවරණය කිරීමේදීත් හොඳින් වටපිටාව පෙනෙන පරිදි මවගේ සිරුර මගින් ළදරුවාට ආධාර කොට ඉදිරිය පෙනෙන සේ තබාගැනීමද වදගත් වේ. මෙවැනි දේද ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය යහපත් ආකාරයට සිදුවීමට බෙහෙවින් ඉවහල් වේ.

කෙසේ වුවද මාස හය සම්පූර්ණ වූ ළදරුවෙක් ශබ්දයට ප්‍රතිචාර නොදක්වයි නම්, සිනාසෙන්නේ නැතිනම්, ශ්‍රව්‍ය දෘෂ්‍ය ආබාධ ඇත් දැයි සොයා බැලීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම ඉතා වැදගත් වේ. මන්ද එවැනි ආබාධ පවතී නම් මොළයේ වර්ධනය අඩාල වන අතරම එවැනි තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකිය.

ළදරුවාට මාස හයේ සිට මාස දොළහ සම්පූර්ණ වන තෙක් කාලය මවත් ළදරුවාත් අතර දැඩි බැඳීමක් ඇති වන කාල සීමාවයි. අම්මා යන චරිතය ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් චරිතයක් බවට පත්වන්නේ මෙසේ මාස හයේ සිට දොළහා දක්වා කාල සීමාව තුළ ඇති වන තද බල බැඳීම තුළිනි. මෙය ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය කෙරේ තදින්ම බලපාන තත්ත්වයකි. අද වන විට බොහොමයක් මව්වරුන් රැකියාවේ නියුතුව සිටන අතරම නිවසට පැමිණිය ද දරුවා සමග ගත කිරීමට කාලයක් වෙන් කොට නොගනී. එමගින් සිදුවන්නේ දරුවා හා රැකබලාගන්නා පුද්ගලයා සමග එම තද බල බැඳීම වර්ධනය වීමයි.  මේ හේතුව මත දරුවෙකු මවට වඩා වැඩි ආදරයක් රැකබලගන්නා පුද්ගලයා වෙත දැක්විය හැක. මෙහිදී මෙම බැඳීම දරුවා සමග නිතර රැදෙන, ආදරය දක්වන රැකබලාගන්නා පුද්ගලයා සමග ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.

ළදරු අවධියේ සිටම දරුවාගේ මනෝමීය සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඇයි දැයි දැන් ඔබට පැහැදිලි වනු ඇත. මව්වරුන් වශයෙන් ඔබ දරුවන්ගේ ශාරීරික පෝෂණය හා සමානවම මානසික පෝෂණය පිළිබඳවත් සැළකිලිමත් වීම අනිවාර්ය වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දරුවන්ට ඇති වන පණු රෝග වළක්වා ගන්නේ මෙහෙමයි

දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේ.

හොඳ සෞඛ්‍යමත් පුරුදු හුරුකර ඔබේ දරුවා පණු රෝගවලින් රැකගන්න

  1. නිතර දරුවාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම පණු රෝග වළක්වා ගැනමේිදී ඉතා වැදගත් වේ. විශේෂයෙන් ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු හා සෙල්ලම් කිරීමෙන් පසු විෂබීජ නාශකයක් යොදා දෑත් හොඳින් සේදීම කළ යුතුය.
  2. සැමවිටම පිරිසිදු නටවා, පෙරා ගත් ජලය පානයට දෙන්න
  3. අමුවෙන් ආහාරයට ගන්නා එළවළු, පලා වර්ග මෙන්ම පළතුරු හොඳින් සෝදා ආහාරයට එකතු කරගන්න.
  4. මස් හා අනිකුත් පිසින එළවළු හොඳින් පිස ගැනීමෙන් අනතුරුව දරුවන්ට ලබාදෙන්න
  5. දරුවා කුඩා කල සිටම වැසිකිළි භාවිතයට පුරුදු කිරීම හා නිසි ප්‍රමිතියෙන් යුතු වැසිකිළි භාවිතය. කුඩා දරුවන්ගේ මල වුවද නිසි පරිදි බැහැර කළ යුතු අතර එළිමහන් පරිසරයට මුදා නොහැරිය යුතුය.
  6. සැමවිටම පිරිසිදු යට ඇඳුම්, තුවා, ඇඳ ඇතිරිලි භාවිතයට දීම.
  7. තුවා, පනා, ඇඳ ඇතිරිලි, කොට්ටා ආදිය යට ඇඳුම් දරුවාගේ තනි භාවිතයට තිබිය යුතු අතර වෙනත් දරුවන් හෝ වැඩිහිටියන් සමඟ හුවමාරුවට භාවිත නොකළ යුතුයි.
  8. දෑත් දෙපාවල නියපොතු කෙටිවන ලෙස කැපීම.
  9. එළිමහනේ ඇවිදින විට පාවහන් පැළඳීම.
  10. නිවස නිතර පිරිසිදුව මෙන්ම හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන සේ තබාගැනීම.
  11. බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ මල නිසි පරිදි බැහැර කිරීම.
  12. දරුවන්ට ආහාර පිසින විට නිතරම පළමුව දැත් විෂබීජ නාශක යොදා සෝදා ගැනීම.
පණු රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

පණුරෝග සඳහා ආයුර්වේදයේ ප්‍රධාන ප්‍රතිකාර විධි 03 ක් දක්වා ඇත. ඒවා නම්,

  1. පණු රෝග සඳහා හේතු වන කාරණා ඉවත් කිරීම
  2. ශරීරයේ ඇති පණුවන්ට හිතකර පරිසරය වෙනස් කිරීම
  3. අතින් හෝ ඖෂධ මඟින් පණුවන් ඉවත් කිරීම
පණුවන්ට හිතකර පරිසරය කිරීම වෙනස් සඳහා නිවසේදීම යොදා ගත හැකි ද්‍රව්‍ය ලෙස,

    • කරාබු නැටි
    • වසාවාසි
    • සාදික්කා
    • කරඳමුංගු
    • උළුහාල්
    • වියළි ඉඟුරු
    • සූදුරු
    • කළුදුරු දැක්විය හැකිය

මේ ඖෂධ ද්‍රව්‍ය වල ක්‍රිමිඝ්න හෙවත් පණුවන් නසන ගුණය ඇත. සාමාන්‍යයෙන් මේ ඖෂධ බොහොමයක් ආහාර රස ගැන්වීම සඳහා භාවිත කෙරෙන ඒවාය. ඒවායේ ඇති කටුක හා තික්ත රස හේතුවෙන් ආමාශ ආශ්‍රිතව පණුවන්ට හිතකර පරිසර ස්වභාවය ඉවත් වී යයි. නමුත් පැණි රස ආහාර අධිකව ගතහොත් නිර්මාණය වන්නේ පණුවන්ට හිතකර පරිසරයකි.

පණුවන් ඉවත් කිරීමට,

  • එරබඳු කොළ
  • අරලිය කොළ
  • ඇත්තෝර කොළ
  • බටකිරිල්ල කොළ
  • ඇහැළ කොළ
  • කිරි අඟුණ කොළ
  • තිත්ත අඟුණ කොළ
  • ගොටුකොළ ආදිය යොදාගත හැකිය.

මේවා මැල්ලුම් වශයෙන් සකස් කළ හැකිය. අරලිය කොළ කඩා දවසක් පමණ තැබූ විට කොළ මැළවී කිරි ඉවත් වී ආහාරයට ගත හැකි තත්ත්වයට පත් වේ.  බට කිරිල්ල කොළ වියළා තනන අග්ගලා ද පණු රෝග ඇති දරුවන්ට සුදුසු වේ. මීට අමතරව වළඟසාල්, කුඹුරු ඇට මද, අරළු, සුදුළුෑණූ, කලාඳුරු අල, මුරුංගා පොතු වැනි ඖෂධ රැසක්ද ආයුර්වේදයේ දක්වා ඇත. මේවායේ කෘමින්/පණුවන් නසන ගුණ ඇත.

පණු රෝගවලදී ඇති වන ලක්‍ෂණ බොහොමයක් එතරම් තදින් ගණන් නොගැනෙන ලක්‍ෂණ වන අතර අතැම් විට රෝගය උග්‍ර අතට හැරෙන තුරුම නිසි අවධානයක් යොමු නොවේ. ඇතැම් පණු රෝග හඳුනාගැනීමට යම් කාලයක් ගතවීම අනෙක් විශේෂත්වයයි. නමුත් ඇතැම් පණු රෝගවලදී (විශේෂයෙන් පටි පණු රෝගයේ දී) අන්ත්‍ර මාර්ග අවහිර වන අතර ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදුවිය හැකියි.

පණුරෝග වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඉතා පහසුවෙන් ලොකු කුඩා කාටත් පිළිපැදිය හැකි හා ලොකු කුඩා කාටත් සෞඛ්‍යමය ජීවතයක් පවත්වා ගැනීම උදෙසා පිළිපැදිය යුතු පිළිවෙත් සමුහයක් පමණි. මේ පිළිවෙත් දරුවන්ට කියාදීම, ඒවා පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාවය ඔවුන්ට අවබෝධ කරදීම හා ඒ සඳහා ඔවුන්ට උපකාර කිරීම දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්හට පැවරෙන වගකීමකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාථිකාචාර්ය (පරිවාස) වෛද්‍ය ආර්.එල්.ඩී. සඳමාලි රණසිංහ මහත්මිය ( B.A.M.S (Hons), M.D (Ayu) (SL) ) සමග සකසන ලද ලිපියකි. 

දරුවන්ටත් සෞන්දර්ය අවශ්‍යයි

දරුවන්ගේ සෞන්දර්යාත්මක  හැකියාවන් නිදිගත තත්වයක තිබුනත් ඒවා අවදිවෙන්නේ දෙමව්පියන්ගේ මග පෙන්වීම අනුවයි. දරුවන්ගේ ජීවිතයේ පළමු ගුරුවරුන් වන්නේ අම්මා තාත්තා නිසා දරුවාගේ හැකියාවන් ඔවුන් තරම් හදුනන වෙනත් අයෙක් නැහැ. ඒත් අද දෙමව්පියන් දරුවා සෞන්දර්ය වෙනුවෙන් දක්වන හැකියාවන් ගැන එතරම් උනන්දුවක් නැහැ. ඒත් යාන්තම් බහ තෝරන වයසේදී පටන් ඉංග්‍රිසි හසුරුවන්න ඉංග්‍රිසි කවි කියන්න , කථාන්දර සහ වචන වෙනුවෙන්  දරුවා උනන්දු කිරීමට තිබෙන නැඹුරුතාවය ඉතා ම ඉහලයි. ගායන වාදන, නැටුම් චිත්‍ර වැනි සෞන්දර්ය කටයුතු නිසා දරුවාගේ ජීවිතයට ලැබෙන පන්නරය සුලු පටු නැහැ.

දරුවන්ගේ සහජ හැකියාවන් බාල කාලයේ පටන්ම හදුනාගැනීම ඉතාම වැදගත්. ලොවින් එකෙක් එක දෙයකට සමත කිව්වත් හොවාර්ඩ්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව එක් පුද්ගලයෙක් තුළ කුසලතාවයන් රැසක් තිබෙන්න පුලුවන්. මේ කුසලතාවයන් දරුවා බාල කාලයේදී පහසුවෙන්ම හදුනා ගන්නත් , ඒ වගේම දරුවාට එම හැකියාවන් දියුණු කර ගැනීමටත් මාර්ගය කියා දීම ඉතාම වැදගත්. බිත්තියේ අඳින කුරුටු බලියක් තුළ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සැගව සිටිය හැකියි. පද දෙක තුනක් වුනත් තාලයට ගයන්නේ නම් ගීත කෝකිලයෙක් ඒ තාලයේ ජීවත්වෙනු ඇත. රිද්මයකට පාද හසුරුවන දරුවා වෙතින් අනාගතයේ කරළිය ලෙල දෙන දක්ෂ ශිල්පියෙක් හෝ ශිල්පිණියක් බිහි වෙනු ඇති.

ඉස්සර කාලයේ අතින් යමක් අල්ලා ගන්න පුලුවන් වුන තැන පටන් දරුවන් අගුරු කෑල්ලක් අරගෙන බිත්තියේ කුරුටු බලි අඳිනවා. සුදුහුණු ගාන වෙලාවට මේ චිත්‍ර වැහෙන විදිහට මොකක් හරි කරන්න පුලුවන් හින්දා දෙමව්පියන් දරුවන්ගේ කුරුටු බලි වෙනුවෙන් තහංචි පැනවුයේ නැහැ. ඒත් අද හැම නිවසකම බිත්ති ඉතා පිරිසිදුව තියෙන නිසාත්, තීන්ත ආලේප වෙනුවෙන් පිරිවැය අධික නිසාත් දරුවන්ගේ කුරුටු බලි වෙනුවෙන් බිත්තියේ ඉඩක් නැහැ. මේ නිසා දරුවාට චිත්‍ර අදින්න හැකියාවක් ඇත්ද නැත්ද යන බවක් වත් තේරුම් ගන්න අපහසුයි.ඒත් කුඩා බෝඩ් ලෑල්ලක්වත් දරුවාගේ කුරුටුබලි වෙනුවෙන් ලබා දෙන්නේ නම් ඔබේ නිවසේ සිටින අනාගත චිත්‍ර ශිල්පියාට සාර්ථක ගමන්මගක් සැලසෙනු ඇති.

සෞන්දර්ය හැකියාවන් දකින දෙමව්පියන් ඒ ගැන උරණ විය යුතු නැහැ. මේ හැකියාවන් තවත් පැත්තකින් දරුවාගේ ඉගෙණුම් ක්‍රියාවලියට ආධාර වෙන්නේ නොදැනුවත්වමයි. සිතුවම් අඳින හැකියාව නිසා ඉගෙනුම් කටයුතු තුළ තිබෙන පැවරුම් , සිතියම් සහ වෙනත් රූප සටහන් ඉතා අලංකාරව සහ පාඩමට අදාලව නිර්මානය කිරීමට උපකාරි වෙනවා.කවි ගීත තාලයට හඬ නගා කියන විට දරුවාගේ වින්දනාත්මක රස පෝෂනයන් වගා වෙනවා.

රිද්මානුකූල නර්තනයන් මගින් ලැබෙන ශාරිරික ව්‍යායාම මගින් දරුවාගේ මොළයට රුධිර සැපයුම යහපත් ලෙසින් සිදු වෙන නිසා මතකය  සහ ධාරනය පිලිබඳව වැදගත් මෙහෙවරක් නොදැනම ඉටු වෙනවා.

අද මිනිසුන් සම්පත් වෙතින් කොතරම් සංවර්ධනය වුනත් සංවේදී බවෙන් ඉතා දුර්වල තැනක පසු වේ. මිනිසුන් වෙනුවෙන් කම්පාවෙන හදවත් සොයා ගැනීමත් අපහසුයි. ඇතැම් පලාත් සභාවන්හි  දැක්ම බවට පත්ව ඇත්තේ සංවේදී මිනිසෙක් බිහි කිරීම යන්නයි. අද මානව ගුණාංග ඒ තරමටම පිරිහීමට පත්ව ඇත. භෞතික සම්පත්සමග තමන්ගේ සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීම මිස අල්ලපු නිවසේ කෙනෙක් මියගියත් ඒ දෙස හැරී නොබලන තරමටම මිනිසත්බව දුරස්ව ඇත.එහෙත් සෞන්දර්යාත්මක රස සිතුවිලි සමග පෝෂණය වේ. චිත්‍ර මගින් දරුවන්ගේ මනස ඉතා පැහැදිලිව කියවා ගැනීමට හැකි බව මනෝවිද්‍යාඥයන් පවා පිළිගෙන ඇත. එක්තරා ගුරුවරයෙක් පංතියේ දරුවන්ට තමන්ගේ පවුල චිත්‍රයට නගන්නට කීවේය. දරුවන්ගේ චිත්‍ර අතර එක් දරුවෙක් අම්මාගේ හිස මල් වලින් හා අලංකාර ඔටුන්නකින් සරසා තිබුනි. සෙසු දරුවන්ගේ අම්මා කොණ්ඩය ගෙඩියක් කොට බැඳි අතර මේ චිත්‍රය අපුරු නිසා දරුවා කැඳවා ඇයි අම්මාට මල් වලින් ඔටුන්නක් දැම්මේ යැයි විමසා සිටයේය. මං අම්මාට ගොඩක් ආදරෙයි…අම්මා ලඟ හරිම සුවඳයි…ඒ හින්දා මං අම්මාව මලක් වගේ හැඩ කලා…දරුවා පිලිතුරු දුන්නේය. දරුවන්ගේ සියුම් මනෝභාව මේ අන්දමින් අවදි වෙන විට ඔවුන්ගේ හිත්වල සංවේදී බව ඔබත් නොදැනම වගා වෙනු ඇත.

කවි ගීත මගින්ද දරුවන්ගේ හදවතට ඉතා හොඳින් ආමන්ත්‍රනය කළ හැක. මව්ගුණ, පියගුණ ගීත මගින් අපි ලබා දෙන අවවාද දහසකට වඩා සාර්ථක ලෙසින් දරුවන්ගේ හදවත ස්පර්ශ කළ හැකිය.ජීවිතයට මුහුණ දීමේ ශක්තිය නොදැනීම වගා කරන්නට සෞන්දර්ය තරම් සියුම් හඬක් තවත් නැත. චිත්‍රයක භාවිත කරන කලු සුදු වර්ණ මෙන්ම විසිතුරු වර්ණ මෙන් ජීවිතයේද විවිධ හැලහැප්පීම් සහ සතුට , ජය වැනි ශක්තීන්ගෙන් පිරී ඇති බව තේරුම් යනු ඇත.

පාසල් අධ්‍යාපනයේදී විදයාව සහ ගණිතය වැනි විෂයන් මගින් දරුවන්ගේ තර්ක බුද්ධිය සහ විද්‍යාත්මක දැණුම වර්ධනය වුනත් සුන්දර සිතුවිලි වෙනුවෙන් තෝතැන්නක් මෙම විෂය වෙතින් නිර්මානය වන්නේ නැත එහෙත් මව්පියන්ගේ මෙහෙයවීම මෙම හර විෂයන් වෙනුවෙන් පමණි. කුරුටු බලි ඇන්දොත් ඇති…ඔය නැටුම දැන් ඇති ඉස්කෝලේ වැඩක් කරන්න….සිංදුවෙන් ජීවත් වෙන්න බෑ….මව්පියන්ගේ අවවාදය ඒ අන්දමින් හඬ නැගෙන විට දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් උපන්ගෙයිම වැලලෙනු ඇත.

ලෝකයට අවශ්‍ය සුන්දර දරුවන්ය.අද නැත්තේද එයම ‍නොවේද…..? එදා අම්මා සැලකනු ලැබුවේ ගෙදර බුදුන් ලෙසයි. එහෙත් විද්‍යාවෙන් දැනුම ලබන දරුවාට අම්මා යනු දරුවන් තනන යාන්ත්‍රනයයි. තාත්තා එහි කොටස් කරුවෙක්ය. එයින් ඔබ්බට අම්මා තාත්තා බුදුන් ලෙසින් සලකන හැඟීම් දැනීම් ඔවුන්ට නැත. වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන,

” පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
ලපසේ සඳ විලසේ දවසක වෙන්නූවෙම්මා… “

යන කවි පංති කියවන දරුන්ට මව් සෙනෙහසක අරුමය විෂය කරුණු ලෙසින් කියා දීමට අවශ්‍ය නැත ආදරය පවා එදා ප්‍රකාශ වුනේ ඉතාම සංයමයෙන්ය. වසා ගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා….ආදරය ඉල්ලා සිටි තරුණයාට තමන් මවක බව කියා සිටියේ ඒ අන්දමින්ය. අද දරුවන්ගේ ආවේග ඉතා දරුණුය. අදහස් නොඉවසන තරම් දරුණුය.එහෙත් ගීතයෙන් , කවියෙන් හික්මීමක් ලද තැනදී තමා ජීවත්විය යුත්තේ කතා බහ කළ යුත්තේ කෙසේදැයි වටහා ගනු ඇත. විෂමාලාවට අදාලව ජීවත්වෙන පාඩම ඉගෙනීම එතරම් පහසු නැත. එය ජීවිතයෙන්ම උගත යුතුය. එම උගැන්ම වෙනුවෙන් සුන්දර මග පෙන්වීම ලැබෙනුයේ සෞන්දර්යාත්මක පක්ෂයෙන් බව මව්පියන් ලෙසින් ඔබ දැනගත යුතුය. ජීවිතයේ සතුට ඇත්තේ සුන්දර සිතුවිලි මතය. යහපත් මිනිසෙකු බිහි කරන්නට මෙම සුන්දර සිතුවිලි තරම් හේතු වාසනාවක් තවත් නම් නැත.

මග තොටදී ප්‍රවේසමෙන්

ඉස්සර කාලයේ කාන්තාවකට අනුරාධපුරයේ සිට මාගම දක්වා මැණිකක් වුනත් අත රැගෙන තනිපංගලමේ ගමන් යන්න තිබුන හැකියාව අද ගැහැණු දරුවන්ට නැහැ. වෙනතක් තබා පොදු ප්‍රවාහන සේවාවක කිලෝමීටර් දෙක තුනක ගමන්වාරයේදී වුනත් ගමන්වාරය සමග ආත්ම ආරක්ෂාව සලසා ගන්නේ කොහොමද යන්න ගැන දැණුවත්වීම වඩාත් සුදුසුයි.

බසයකට ගොඩ වැදුන විට මුලින්ම තමන්ට ආරක්ෂාව ගැන සහතික විය හැකි තැනත අසුන් ගන්න. දුරගමනක යන්නේ නම් කාන්තාවක් සිටින අසුනක වාඩි වීම බොහෝ සෙයින් සුදුසුයි. මිතුරියන් දෙතුන් දෙනෙක් සමග යන‍්නේ නම් ඊට පිරිමහින අසුනක් තෝරා ගැනීමත් ඉතාම වැදගත්.ආසනයක හිස් තැනක් ඇති විට නොමනා කටයුතු වෙනුවෙන්ම ලියාපදිංචිව සිටින පුද්ගලයන් මෙම හිස් තැනින් ප්‍රයෝජන ගනු ඇත.

මේ විදිහට පූර්ව ආරක්ෂාව සලසා ගත නොහැකි අවස්ථාවකදී අසල සිටින අය ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්. ගොනා ඇදෙන්නේ පොල් පැලයටද එහෙම නැත්නම් තැඹිලි පැලයටද යන වග තේරුම් ගත යුතුයි. අනවශ්‍ය විදිහට බලපෑමක් ඇති වෙනවා නම් වඩාත්ම ගැලපෙන කටයුත්ත වෙන්නේ එම ස්ථානයෙන් වෙනස් වීමයි. ආසනයක් නොමැති නම් හිටගෙන යෑම හැර වෙනත් විකල්පයක් නැහැ. ඇතැම් ගැහැණු දරුවන් මේ වගේ අවස්ථාවන්හිදී සෙරෙප්පුවෙන් කුඩයෙන් ගසන්නට තරම් ආවේගශීලි වෙනවා. එහෙම නැත්නම් මහත් ශබ්ද නගමින් බැන වදිනවා.අවිනීත පිරිමින් වෙනුවෙන් මෙය සාධාරණ වුනත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් තමන්ට වුන අපහසුතාවයට පලිගන්න පුලුවන්. මේ නිසා බොහෝ සෙයින් බුද්ධිමත්ව කළ යුතු දෙය වන්නේ එතැනින් වෙනස් වීමයි. එය සෙරෙප්පුවෙන් ගැසුවාට වඩා තදින් දැනෙන්නට පුළුවන්.

සමහර අවස්ථාවලදී සල්ලාල පිරිමින් ගැහැණු දරුවන් පසුපස පැමිණෙමින් අතවර කරන අවස්ථා තිබෙනවා. මේ අන්දමින් දියණිය පසුපස කවරෙකු හෝ පැමිණෙන බව දැනෙනවා නම් වැඩිහිටියෙකුගේ සහය ලබා ගන්න. එම ස්ථානයේ කඩයක් හෝ තිබේ නම් එතැනට ගොස් ඔහු මගහරින්න.තවත් අවස්ථාවලදී මෝටර් බයිසිකල්වලින් පැමිණ ලිපිනයක් විමසන මුවාවෙන් කණ කර පැහැර ගන්නා අවස්ථාවන්ද ඇත. ඔබේ දියණියගෙන් එසේ විමසා සිටින විට ඉතා කාරුණිකව ඒ ගැන නොදන්නා බව කියනු විනා අනවශ්‍ය විදිහට එම ලිපිනයට අදාල තොරතුරුු ලබා දීමට උත්සාහ නොකරන්න.

පොදු ප්‍රවාහනසේවාවකදී අසල සිටින කාන්තාවක් වුනත් දෙන ටො‍ෆි චොකලට් හෝ බීම වර්ග පානයෙන් වලකින ලෙස දියනියට උපදෙස් දෙන්න. එක්තරා බසයකදී තරුණ දියණියට අසුනේ සිටි කාන්තාව විසින් චොකලට් පෙත්තක් ආහාරයට ලබා දී ඇත. ටික වේලාවකින් දියනිය ක්ලාන්ත වූ අතර මුල් කී කාන්තාව මෙම දියනියද වත්තම් කර ගෙන බසින්නට සැරසෙත්ම ඇගේ මිතුරිය වහාම නැගිට කියා සිටියේ මේ කාන්තාව ඔවුන් නොදන්නා බව සහ මිතුරිය තමා සමගම වූ බස්නැවතුමේ බසින්නට මිස මෙම ස්ථානයේ බසින්නට හේතුවක් නැති බවයි. මේ අන්දමින් කාන්තාවන් මගින් වුනත් අවදානම් ඇති බැවින් දියණියට කිසිම නාඳුනන කාන්තාවක් වුනත් කරුණාවෙන් දෙන දෙයක් වුවද ආහාරයට නොගත යුතු බවයි.

අද දරුවන් පයින් ගමනට කොහෙත්ම මනාප නැත. කෙටි දුර වුනත් ත්‍රිරෝද රථයකින් සපුරා ගැනීම ඔවුන්ගේ අරමුණයි.ත්‍රිරෝද රථයක වුනත් ගමන්ගැනීමේදී නොදන්නා රථයක තනියෙන් ගමන් නොගත යුතු බව අවධාරනයෙන්ම දන්වා සිටින්න. අද බොහෝ තරුණ දරුවන් පහසුව වෙනුවෙන් නොදන්නා ත්‍රිරෝද රථ ගමනට දක්වන නැඹුරුතාවය සමගම ලුහුබඳින අවදානමක්ද ඇති බව දන්වා සිටින්න. එක් ආයතනයක තරුණ සේවිකාවක් ආයතනය පසු කර ගෙන යන ත්‍රිරෝද රථයකට නැගුනේ ඉක්මනින් කාර්යාලය වෙත ගමන් කිරීම සඳහාය. දුර ගමනක් ගොසින් එන ත්‍රිරෝද රථය ඇයට සුපුරුදු එකක් නොවේ. මේ අන්දමින් වෙනත් ගමන්වාර අවසාන කොට නැවත පැමිණෙන ත්‍රිරෝද රථයකින්පැමිණෙන විට මුදල් පිලිබඳව ලැබෙන වාසිය නිසා මෙම ආයතනයේ උදවිය මේ අන්දමින් කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක්ව ඇත.

එහෙත් ඇයට වූ අනතුර සුලුපටු නැත සිහිය ඇවිත් බලන විට ඇය සිටියේ ආයතනය පසු කොට කිලෝමීටරයක් පමණ දුරින් වූ පාලු තැනකය. අත්බෑගයේ මුදල් සහ කණකර අබරණ සියල්ල නොමැති වුනත් වෙනත් අතවරයක් සිදුව නොතිබුනේ වාසනාවකට මෙන්ය. මේ නිසා දියණිවරුන් ත්‍රිරෝද රථයකින් ගමන්ගන්නේ නම් තවත් අයෙකු නොමැත්තේ නම් දන්නා හඳුනන රථයකින් හැර ගමන් නොයන තරමටම ආරක්ෂාව උපරිම වේ.

තරුණ දියනිවරුන්ගේ ඇ‍තැම් ඇදුම් පැළඳුම් පවා ඔවුන්ගේම අනාරක්ෂිත බවට හේතු වේ. ගවුමට වඩා කලිසම සංවර යැයි කීයද එය අඳින ආකාරයට අනුව අපචාරයන්ට අත වනන තත්වයක් නොදැනම ගොඩ නැගේ. කලිසමට අදාල කමිසය හෝ වෙනත් ඇඳුමකින් අවයව නොපෙනෙන ලෙසින් හෝ ඉස්මතු නොවන අන්දමින් තෝරා ගැනීමට උපදෙස් දෙන්න. ඇතැම් ඇඳුම් නිසාත් දරුවන්ට අනවශ්‍ය ලෙසින් අවධානය යොමු වෙන අවස්ථාවන් ඇත.සංවර බව ඇඳුමෙන්ද ගොඩ නගා ගත යුතුය. මේ වෙනුවෙන් මව්වරුන් තම දරුවන්ට ලබා දෙන අවවාද ඉතා වැදගත්ය.සිංහල කුලසිරිත් අනුව පැවැති ඇඳුමේ සංවර බව ආත්මාරක්ෂාව වෙනුවෙන්ද ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇත.

නිවසෙන් පිටව යන දියණිය නැවත නිවසට එන තෙක් මාර්ගයේ ඇගේ ආරක්ෂාව පිලිබඳ ව වූ අවදානම අද සමාජයේ සුලුපටු නැත.කාර්යබහුල සමාජයේදී අම්මා තාත්තා පැය විසිහතර පුරාවටම ආරක්සාව සපයන්නන් ලෙසින් පෙනී සිටීමට හැකියාවක්ද  නැත. දෛනික කටයුතු සහ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ඇයට හුකෙලාව සිටින්නටද නොහැක. මෙම සියල්ල සමතුලිත ලෙසින් ඉටු කර ගෙන ඉදිරියට යන්නට නම් දරුවන්ට ලබා දෙන දැණුවත් බව ඉතාම වැදගත් බව මව්පියන් වශයෙන් මතකයේ තබා ගන්න.

දරුවන්ගේ වැරදි පිට අය ඉදිරියේ පවසන්න එපා

මේ ලෝකයේ ජිවත් වන ඕනෑම කෙනෙකුට ආත්ම අභිමානයක් ඇත. කවුරුත් සමාජයේ පැසසුම් ලැබීමට කැමතියි. කිසිවෙකු වැරදි ඇසීමට  කැමති වන්නේ නැත. එය ඔබේ දරුවාටද ඒ ආකාරයෙන්ම බලපානු ලබන්නේය. බොහෝ දෙමාවුපියන් සිදු කරනු ලබන වැරදි ක්‍රියාවක් වනුයේ තම දරුවාගේ වැරදි දරුවා ලග තබා ගෙන පිට අය ඉදිරියේ ප්‍රකාශ කිරීමයි. තම දරුවා අසල සිටින්නේ නම් සිහි බුද්ධියෙන් යුතුව කතා කිරීම දෙමවුපියන් සතු වගකීමක්. විශේෂයෙන්ම බොහෝ පියවරුන්ට වඩා මව්වරුන් මෙම වැරැද්ද නිතර නිතර සිදු කරනු ලබයි.

” මෙයා නම් හරිම හිතුවක්කාරයි. ඉගෙන ගන්න කිසිම උවමනාවක් නෑ. කරොත් කරන්නේ මෝඩ වැඩක්. හැමදාම පන්තියේ අන්තිමයා. කොච්චර කිව්වත් පාඩම් කරන්නේ නෑ.”

මෙවැනි ප්‍රකාශ බොහෝ දෙමාවුපියන්ගේ මුවින් පිට වනු ඇත. එවැනි අවස්ථාවල ඔබේ දරුවා නිහඩව සිටියත් සිත යටින් බොහෝ කම්පා වනු ඇත. ඔබේ දරුවා ඔබ කියන දේ නොඅසන්නේ නම් එය පිට අය ඉදිරියේ පවසා පලක් නැත. එවිට දරුවා වැඩි වැඩියෙන් එවැනි ක්‍රියාවලට යොමු වනු ඇත. ඇතැම් මවුවරුන් තම මිතුරියන් සමග එක් වූ විට තම දරුවන් පිලිබදව කතාබහ කරනු ලැබේ. එවැනි අවස්ථාවල දරුවාද ඒ අසලින් සිටිය හැකිය. නමුදු දෙමාවුපියන් ඒ පිලිබදව කිසිම තැකීමක් සිදු නොකරයි. දරුවාගේ වැරදි සියල්ල පිට අයෙකු ඉදිරියේ පවසන විට දරුවා මහත් අපහසුතාවයකට ලක් විය හැකිය. ඇතැම් විට එවැනි අවස්ථාවක එම දරුවාගේ වයසේ පසුවන දරුවන් ද සිටිය හැකිය. එවිට ඔහු පාසලේදී අනෙක් දරුවන්ගේ විහිලුවට ලක් විය හැකිය. කුඩා දරුවන් එක් වූ විට අනෙකාගේ අඩුපාඩු වලට විහිලුතහළු කරනු ලැබේ. එය දරුවන්ගේ ස්වභාවයයි. එම නිසා වැඩිහිටියෙකු වශයෙන් ඔබ දරුවාගේ වැරදි පිට අය ඉදිරියේ පවසන්න එපා.

දරුවන් දගකාරය. ඇතැම් දරුවන් දෙමවුපියන් කියන දේ අසන්නේ නැත. එවැනි දරුවන්ගේ වැරදි පිට අය ඉදිරියේ පැවසීමෙන් දරුවා තව තවත් මුරණ්ඩු විය හැකිය. එම නිසා ඔබේ දරුවා නිතර නිතර වැරදි වැඩ සිදු කරනු ලබන්නේ  නම් ඔබේ ආදරය හා සෙනෙහස වැඩි වශයෙන් පෙන්වා එවැනි කටයුතු වලින් දරුවා ඈත් කර ගැනීමේ හැකියාවක් ඔබට තිබිය යුතුය. එසේම දරුවන් යහපත් ක්‍රියාවලට යොදවන්න. නිතරම ආදරය, සෙනෙහස ලබා දෙන්න. ඔබ නිතරම දරුවා පිලිබදව සැලකිලිමත් වන බවත් ඔබේ ලෝකය දරුවා බවත් දරුවාට ඒත්තු ගන්වන්න. එවිට ඔබේ වචනෙට දරුවා කීකරු වනු ඇත.

බොහෝ දෙමාවුපියන් අද ගත කරනු ලබන්නේ කාර්යබහුල ජිවිතයක්. ඔවුන්ට තම දරුවා සමග කාලය ගත කිරීමටවත් කාලයක් නැත. ඔවුන්ගේ මුළු ජිවිතයම මුදල් බවට පත් වී ඇත. එවිට දරුවා නිතර නිවසේ හුදෙකලා වනු ලැබේ. දෙමාවුපියන්ගේ සෙනෙහස අඩු වන විට දරුවන් මුරණ්ඩු වනු ඇත. දෙමාවුපියන්ගෙන් ආදරයෙන් ගිලිහෙන දරුවා තමාට අවශ්‍ය ආදරය, සෙනෙහස සොයන්න අනියම් මාර්ග සොයන්න පටන් ගන්නවා. එය දරුවාට දොස් නැගිය නොහැකිය.

මගේ අම්මටයි තාත්තාටයි මාව තේරුම් ගන්න බෑ

ඔබ ඔබේ දරුවා නියමාකාරව අවබෝධ කරගෙන සිටින්නේද. එසේ නොමැති නම් දරුවා සිය ගැටළු වලදී අනියම් මාර්ගවලින් පිහිට පැතීමට උත්සහා කරනවා. දරුවාගේ ප්‍රශ්න දෙස පුළුල් ලෙස බලමින් ඔහුගේ බලාපොරොත්තු, හැගීම්වලට හවුල් වෙමින් උපකාර කිරීම දරුවන් දෙමාවුපියන්ගෙන් බලාපොරොත්තු වේ. දරුවා බියට පත් වූ අවස්ථාවක ඔහුට පිළිසරණක් වීම, හුදෙකලා වූ අවස්ථාවක් ඔහුට ආදරය ලබා දීම හෝ යම් වැරද්දක් නිතරම සිදු කරන විට දරුවා හික්මවීම ඔබ විසි සිදු කල යුතුය. ඔබ සහ ඔබේ දරුවා අතර පවතින බැදීම තවදුටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැක්කේ මතු කි කරනා වලට ඔබද හවුල් වීමෙනි.

මගේ දෙමවුපියන්ට මාව තේරුම් ගන්න බැරි බව දරුවා පවසන්නේ නම් ඔබ ඔබේ දරුවා බලාපොරොත්තු වන දේවල් හැගීම් ආදිය අගය කිරීමට සමත් වී නොමැති බව එමගින් ගම්‍ය වේ. අද බොහෝ තරුණ තරුණියන් යම් ගැටළුවක් ආ විට සිතනුයේ මේක අපේ අම්මට තාත්තාට කිව්වාට වැඩක් නෑ. එයාලා මාව හරියට තේරුම් ගන්න එකක් නෑ යන ආකාරයට සිතයි. එවැනි අවස්තාවක් දරුවන් තම ගැටළු කාට හෝ පවසා විසදුම් සොයා ගැනීමට විවිධ මාර්ග සොයයි. ඇතැම් විට එය දරුවාගේ ජීවිතය අකාලයේ විනාශ වන මාර්ගයක් විය හැකිය. එසේ සිදු වුවහොත් නැවතත් දරුවා නිවැරදි මාර්ගයට ගැනීමට ඔබ සිත විට සිදු විය යුතු බොහෝ දෑ සිදු වී තිබිය හැකිය. දරුවාට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් ඔබ සමග ප්‍රකාශ කල හැකි වටපිටාවක් ඔබ සකස් කල යුතුය. ඇතැම් දරුවන් කියනුයේ මට මගේ අම්මටයි තාත්තටයි කියන්න බැරි දෙයක් නැති බවයි.

ඔබට පුළුවනි ඔබේ දරුවාගේ හොදම යෙහෙළිය බවට පත් වන්න. දරුවාගේ විස්වාසය නිතරම ආරක්ෂා කරන්න. ඔබට යමක් දරුවා පැවසු විට එය තවත් අයෙකු සමග පවසන්න එපා. එවිට දරුවට ඔබ කෙරෙහි පැවති විස්වාශය බිද වැටෙනවා. එවිට දරුවා දරුවාගේ ජිවිතයේ රහසිගත දේවල් ඔබ සමග ප්‍රකාශ නොකිරීමට දරුවා වගබලා ගන්නවා. තරුණ වයසේ දරුවන්ට විවිධාකාර ගැටළු තිබිය හැකිය. විශේෂයෙන් ප්‍රේමය පිලිබදව ගැටළු, ලිංගික ගැටළු ආදී දෑ මෙවැනි වයසේ පසු වන දරුවන්ට තිබිය හැකිය. එවැනි ප්‍රශ්නවලට දඩුවම් සිදු කරනවාට වඩා ඔහු සමග කතා බහා කිරීමෙන් ඉතාමත් සාර්ථක පිළිතුරක් ලබා ගත හැකිය. දරුවා යම් ගැටළුවක් පැවසු විට ඔහුට ඒ පිලිබදව නිදහසේ කතා කරන්න ඉඩ හරින්න. දරුවාට අවශ්‍ය වන්නේ ඔබේ සවන් දීමයි. ඔබ ඔහුට නියමාකාරයෙන් සවන් දෙන බව දරුවාට අගවන්න. ඉන් පසු විසදුම් කරා යන්න. එමෙන්ම ඔබ දරුවාගේ සෑම ගැටලුවකදිම අත් නොහැර ලගම සිටින බව දරුවාට දැනෙන්න දෙන්න. එසේ ඔබ සිදු කිරීමෙන් දරුවාට ඔබ පිලිබදව දැඩි විස්වාසයක් හට ගනී.

පටු මානසිකත්වයෙන් තොරව දරුවාගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. ඔබට ඔබේ දරුවාගේ ගැටළු විශාල ගැටළුවක් බවට නොදෙනෙන්න පුළුවනි. නමුදු දරුවට එවැනි ගැටළු ප්‍රබල ලෙස දැනේ. මන්ද ඔබට මෙන් දරුවට අත්දැකිම් නොමැත. දරුවාගේ මානසිකත්වය පිලිබදව මනා ලෙස තේරුම් ගෙන දරුවාගේ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්න.

දරුවන්ගේ රූපය සහ බුද්ධිය පිලිබදව සැළකිලිමත් මව්වරුන් වෙනුවෙන්

මවක් තම දරුවා බිහි වී ටිකෙන් ටික වර්ධනය වන විට තම දරුවාගේ රූපය අනෙක් දරුවන් සමග සංසන්දනය කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දියණියක් නම් මව සෑම විටම තම දියණිය ලස්සන කරන්න උත්සහා කරනවා. රූපය කියන සංකල්පයට සමාජය තුල විශාල පිළිගැනීමක් තිබීම ඊට හේතුවයි. බොහෝ වැඩිහිටියෝ විරූපී දරුවන්ට වඩා රුවැති හුරු බුහුටි දරුවන්ට දරුවන්ට දක්වන ඇල්ම, ආදරය, සෙනෙහස වෙනස්ය. අද වන විට පර්යේෂණ මගින් පෙන්වා දෙනු ලබන්නේ රූපය කෙනෙකුට ඉහල තැනකට යෑමට මහත් ආශීර්වාදයක් වන බවයි. එබදු සොයා ගැනීම් කිහිපයක් නම්,

වඩාත් ලස්සන දරුවන්ට පන්ති විභාග වලදී ගුරුවරුන්ගෙන් වැඩි ලකුණු ලැබෙන බවට සාක්ෂි ලැබී ඇත

ලස්සන රූපයක් නොමැති දරුවන් කරදරකාරයන් ලෙස වැඩිහිටියන් සලකා ඇත. දරුවන් කිහිප දෙනෙකුගේ ජායාරූප රැසක් පෙන්වා ඉන් දගකාර, නරක දරුවන් කවුරුන් දැයි හදුනා ගන්නා ලෙස වැඩිහිටියන්ට පැවසීමෙන් ඔවුන් බොහෝ විට  තෝරා ගෙන තිබෙන්නේ එතරම් ප්‍රසන්න පෙනුමක් නැති අප්‍රසන්න පෙනුමක් ඇති දරුවන්ය.

විරූපී දරුවන් ලස්සන දරුවන්ට වඩා මෝඩ යැයි වැඩිහිටියන් පිළිගන්නා බවට මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත

දරුවන්ට දඩුවම් කිරීමේදී ලස්සන දරුවන්ට විරූපී දරුවන්ට වඩා ලබා දෙන දඩුවම් තරමක් ලිහිල්ය. එසේම මෙවැනි දරුවන් වැඩිහිටියන්ගේ නිතර සෙනෙහස, ආදරයට ලක් වෙති.

වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද ලස්සන අයට කැමතිය

ප්‍රසන්න පෙනුමක් ඇති දරුවන් අනෙක් ළමුන්ට වඩා පාසලේදී වුව ඉක්මනින්ම  වන  ජනප්‍රිය වන බව තවදුරටත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනු ලැබේ.

මෙකි රූපය නැමැති ආකල්පය පිරිමි දරුවන්ට වඩා බලපාන්නේ ගැහැණු දරුවන්ටය. නමුදු රූපය නැමැති සංකල්පය සියලු දරුවන්ට එක හා සමානව පිහිටන්නේ නැත. ඒ බව වැඩිහිටියන් අවබෝධ කර ගත යුතුය. ඔබේ එක් දරුවෙක් රූපයෙන් අඩු වී අනෙක් දරුවා තරමක් ඉහල ගනයේ රූපයක් ඇතිව ඉපදුනහොත් එවිට ඔබ නොදැනුවත්වම රූපයෙන් ඉහල දරුවා වර්ණනා කරනු ඇත. එවිට අනෙක් දරුවා මානසික වශයෙන් කඩා වැටීමකට ලක් විය හැකිය.

රූපය මෙන්ම බුද්ධිය ද දරුවෙකුගේ අගය මැනීමට යොදා ගන්නා ගුණාංගයක් බවට අද වන විට පත් වී ඇත. දෙමවුපියෝ බලාපොරොත්තු වූ තරම් දරුවා ඉගෙනීමට දක්ෂ නොවන්නේ නම් මවුපියන් පසුතැවෙයි. ” මගේ දරුවාට කිසිම දෙයක් බෑ. හරිම හිතුවක්කාරයි. ” ආදී ලෙස පවසමින් මවුපියන් මැසිවිලි නගයි. බොහෝ දෙමාවුපියන් බලාපොරොත්තු වූ තරමටම දරුවන් ඉගෙනීමට දක්ෂ නොවන විට දෙමාවුපියන් දැඩි ලෙස කම්පාවට පත් වනු ලැබේ. නිතරම දෙමවුපියන් සිතනුයේ තම දරුවා අනෙක් දරුවාන්ට වඩා දක්ෂ විය යුතු බවයි. පන්තියේ සෑම විටම තම දරුවා පළමුවැනියා විය යුතු යැයි මවුපියන් සිතයි. ඒ තරමටම දෙමාවුපියන්ට අවශ්‍ය වන්නේ තම දරුවා ඉහලින් සිටිනවා දකින්නටය.

ඇතැම් දරුවන් කොතරම් පාඩම් කලත් මතක් සිටින්නේ නැත. එවැනි දරුවන්ට ගුරුවරයාගෙන් කිසිදා හොදක් ඇසීමට නොහැකිය.මෙසේ දිගටම සිදුවීමෙන් දරුවා තුල සැගවී ඇති හැකියාවන් සිදී යන්නේය. එම නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම එක හා සමාන මට්ටමක පවතින්නේ නැත. එවැනි දරුවන් වෙනත් මාර්ගවලට යොමු කල හැකිය.

මේ නිසා දරුවන්ගේ රූපය, බුද්ධි මට්ටම පිලිබදව වඩා සැලකිලිමත් වන දෙමාවුපියන් අවබෝධ කර ගත යුත්තේ මෙකි සංකල්ප සියලු දරුවන්ගේ එක හා සමානව පිහිටන්නේ නැති බවයි.

දරුවකු මෙලොවට බිහි කරන්නට පෙරුම් පුරා සිටින ඔබට

පුංචි බිළිඳියක්ව මෙලොව උපත ලබන ගැහැණිය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ අම්මා යන චරිතය තම පුංචි මනසින් ස්පර්ශ කරමින්ය. කෙමෙන් කෙමෙන් කාලය සමග පරිනත වන ඇය තාරුණ්‍යයේ සොඳුරු බව විඳිමින් විවාහයට පත්වේ. ඉන් අනතුරුව ඇය කුඩා කල මනසින් ස්පර්ශ කළ මවගේ චරිතය සැබෑවටම තම ජීවිතයට ආරෝපණය කර ගන්නට සිහින දකින්නීය. ගැහැණියකට මෙලොව පැළඳිය හැකි සුන්දරම , වටිනාම කිරුළ මව් පදවියේ කිරුළය. ඉතින් ඇය තම කුසට ජීවයක් වඩින තුරා බලා හිඳියි. ඒ බලාපොරොත්තු ඉටු වූ විට ඇය ඒ වෙනුවෙන් කෙතරම් නම් පේවන්නේද? කෑම බීම ,ඇඳුම් පැළදුම්, තම දෛනික ජීවන රටාව පවා වෙනසකට ලක් කර ගනියි. දස මසක් පුරාවට නව ජීවයකට තම කුස තුල ඉඩ සලසාලමින් රැකවරණය සදයි.

ගර්භණී සමයේ මවගේ මානසික සුවය මතු උපදින දරුවාට මවගේ කුස තුල සිටින කාලයේ පටන්ම බලපායී. නීරෝගී යහපත් දරුවකු ලෝකයකට දායාද කිරීම සෑම මවකගේම පැතුමයි. කුස තුල සිටින අවදියේ පටන්ම මවගේ සිතුවිලි වලින්ද පෝෂණය වන හෙයින්ම ගර්භණී සමයේ මවගේ සිතුම් පැතුම්ද සුන්දර විය යුතුමය. ඒ සඳහා මවගේ මානසික ඒකාග්‍රතාවය බෙහෙවින්ම වැදගත්ය. එසේ මානසික සුවය ලබා ගැනීමට ආගමික වතාවත්වත් වල යෙදීම හා භාවනාව උපයෝගී කර ගත හැකිය. භාවනා කිරීමේදී ගර්භණී මවකට මෙම අගනා වදන් පෙළ උපකාරී වනු ඇත. මෙම වදන් පෙළ දිනකට වරක් හෝ දෙවරක් නිස්කලංක වට පිටාවක සිට සිතෙන් මෙනෙහි කරන්න.

බුදු ගුණ අනන්තයි, ධම්ම ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි
අනන්ත වූ බුදු ගුණයෙන් මාගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!
සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ වෙත්වා !
ආයු, වර්ණ සැප, බල, ප්‍රඥාව වැඩෙත්වා!
මෛත්‍රියෙන්, කරුණාවෙන් ,උපේක්ෂාවෙන් වැඩෙත්වා!
බෝසත් ගුණයෙන් පිරිපුන්  ලෝ සතට සිත සුව සලසන්නෙක්ම වේවා!
මේ සත්‍යනුභාව බලයෙන්
මාගේ කුස තුල සිටින දරුවා ද මා ද නිරෝගී වේවා!
සුවපත් වේවා! සැනසේවා!
 බිහි වන මොහොතේ මටද දරුවාටද කරදර බාධක නොවේවා!
සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ වූ
ඥානවන්ත ගුණවන්ත කළ්‍යාණ මිත්‍රයකු වැනි
වාසනාවන්ත පින් ඇති දරුවකු
වාසනාවන්ත මොහොතක බිහි කරන්නට වාසනාව ලැබේවා!
මාගේ කුස තුල සිටිනා දරුවා සේම
අනෙකුත් උපදින සියලුම දරුවෝද
එසේ වාසනාවන්ත වේවා!
සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!

එසේම දරුවකු මෙළොවට බිහි කරන්නට මවක් විඳින වේදනාව අතිමහත්ය. එවන් වේදනාවකින් පෙළෙන මවකට අංගුලිමාල සූත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේ. මෙම පිරිත විලිරුදාවෙන් පෙළෙන ගර්භනී මාතාවකගේ ප්‍රසූතිය පහසු කරවන ලෙස කරනු ලබන සත්‍ය ක්‍රියාවකි.එනිසා මෙම අංගුලිමාල සූත්‍රය ගර්භනී මවකට සෙත සලසයි.

පරිත්තං යං භණන්තස්ස
නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති
සබ්බ මේව පරිස්සයං
අංගුලිමාල පිරිත සොත්ථිනා ගබ්භවූට්ඨානං –
යඤ්ච සාධෙති තං ඛණෙ
ථෙරස්සංගුලිමාලස්ස
ලොකනාථේන භාසිතං
කප්පට්ඨායී මහා තේජං පරිත්තං තං හණාමහෙ
යතොහං භගිනි ආරියාය ජාතියා – ජාතො නාභි ජානාමි සඤචිච්චපාණං
ජීවිතා වෝරෝපෙතා තේන  සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සාති

අංගුලිමාල පිරිතෙහි තේරුම


” සහෝදරිය මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද පැවදි උපසම්පදාව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්ත්ම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා.” 

මව් පදවියේ කිරුළ දරන්නට පෙරුම් පුරන ඔබට මෙය අත්වැලක් වනු ඇත.

මම මොකටද එයාට දෙක වෙන්නේ ?

කාලය විසින් හැමදේම වෙනස් කරනවා. කාලයකට පෙර පෙම්වතකු ලෙස පෙම්වතියගේ සුසුනිඳු දෑත ආදරෙන් උණුහුමට අල්ලගෙන සැහැල්ලුවෙන් ඇවිද ගිය ඔබට දැන් ජීවීතේ බොහෝම කාර්්‍යය බහුල ඇති. ඇත්තෙන්ම කිව්වොත් ඔබ දෙදෙනට දොඩමලු වන්නටවත් කාලයක් නැතිව ඇති. ඇත්ත ජීවිතේ හරිම සටනක්. ඒ සටනට නිනව්වක් නැතිව දුවන අපිට අපිවම මග හැරෙන අවස්ථාවන් බොහෝමයි. මව්පිය පදවියන්ට උරුමකම් කියන විට ,නිවසේ කාර්යාලයේ, වැඩ කටයුතු වලින් දවස ගෙවෙද්දි ආදරය  අපි අතින් කොයි තරම් ගිලිහී යනවද? ඔබ දන්නවද ලංකාව තුල අනියම් සබඳතාවන් ඇති කරගැනීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව. මග තොටදී ඔබේ මුහුණු පොතෙන් මුණ ගැසුන කෙනෙකු හා ආදරය විඳින්න පුරුදු වනවාට වඩා දුරින් සිට පෙම් කරන අවදියේ ආදරය කලා සේම සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් ආදරය කරනවා නම් අනියම් සබඳතාවන් නිසා සුන්දර පවුල් දිවිය දෙදරා නොයනු ඇත. දික්කසාදය නම් රුදුරු ව්‍යවසනයට අප ගොදුරු කරන්නේ අපේ ජීවිත පමණක් නොව අපේම දරුවන්ගේද ජිවිතයි.

ආදරය කරන සමයේ සෑම පෙම් යුවලකගේම එකම සිහිනය තමන්ට වෙන් වූ ලොවක් තනා පවුල යන ඒකකය තුල ආදරයෙන් ජීවිතය බෙදා ගැනීමය. එහෙත් අපි නොසිතන සත්‍යයක් ඇත. දෙතැනක ජීවත් වු යුවලක් එක වහලක් යටට පිවිසි කල ගැටලු ඇතිවේ. අපි දෙන්නම එක්කෙනෙක් යැයි වචනයට කීවද පුද්ලයන් වශයෙන් අපට එක් පුද්ගලයකු විය නොහැකි බවයි මා නමි විශ්වාස කරමි. කිව යුත්තේ එකිනෙකා වෙනුවෙන් කැප කිරීම් කරමින්, දෙදෙනාගේ අදහස් උදහස් තේරුමි ගැනීමට උත්සහ කරමින්, තැනට සුදුසු නුවණ භාවිත කරමින් ආදරය පලුදුවන්නට ඇති ඉඩ කඩ අවුරාලීම විවාහයේ සාර්ථකත්වය හේතුවන බවය. විවාහ ජීවිතයත් හරියට පන් පැදුරක්ය. රටාවකට වියමන සිදු නොකලහොත් එහි සුන්දරත්වයක් නැත. පාට පොඟවා වර්ණ ගැන්වූ පන් ගස් වියමනට නැති වූ කල එහි ලස්සනක් ඉස්මතු නොවේ.

එදා සමාජයත් අද සමාජයත් ගත් කල විවාහය දෙස බලන කෝණය වෙනස්ව ඇත. පෝරූ මස්ථකයේ සිට මියෙනතුරුම දුක සැප බෙදා ඕනෑම අභියෝගයක් හමුවේ එකට හිඳින්නට චාරිත්‍රාණුකූලව මෙන්ම නිතීමය වශයෙනුත් පොරොන්දු වේ. එදා සමාජය තුල කෙතරම් බාධක පැමිණියත් විවාහය යන බන්ධනය පලුදු කර නොගන්නට ඔවුන් උත්සුක විය. දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් බත ඉදෙන තුරු පමණක්ම විය. එහෙත් අද වන විට  විවාහය වෙත පිවිසෙන්නේම බැරිවුණොත් දික්කසාද වෙනවා යන පටු හැඟීම පෙර දැරිවමය.

එවැනි මානසික මට්ටමක් ඇති වන්නට සමාජය තුලින් ලැබෙන ආකල්පත් බලාපානු ලබයි. අද බොහෝ නිවෙස් වල රන් හා වටින කාලය වැය කරන්නේ අගක් මුලක් නැති, පවුල් ප්‍රශ්න ගහනය වූ ,ඊර්ෂ්‍යාව හා වෛරය පිරුණු ඉන්දීය ටෙලි නාට්‍යහා ඉන්දීය සම්භවයෙන් යුතු සිංහල ටෙලි නාට්‍ය සඳහාය. නිවසේ වැඩිහිටියාගේ සිට බහ තෝරන දරුවා දක්වාම මෙම නාට්‍ය උන්මාදයෙන් පෙළෙයි. ඉතින් දරුවන්ගේ කුඩා මනසද කුඩා අවදියේ සිටම පෝෂණය වන්නේ මේ වැදගැම්මකට නොමැති ටෙලි සිත්තම් හරහාය. දෙමාපියන් වශයෙන් අපට වගකීමක් පැවරී ඇත. ඒ දරුවන්ට නිවැරදි මග පෙන්වීමය.

දරුවන් පෙරටු කරගෙන එවන් නිෂ්ඵල ටෙලි සිත්තමක් වෙනුවෙන් වැය කරන කාලය පවුලේ සියලුම දෙනා එක්ව පිළිසඳරක යෙදුනේ නම් එකිනෙකාගේ අදහස් හුවමාරු කරගන්නේ නම් පවුල තුල බැඳීම ශක්තිමත් වන්නා සේම තවත් කෙනෙකුට සවන් දීම මෙන්ම ගරු කිරීමද දරුවා කුඩා වියේ සිටම තම ජීවිත තුලට එක්කර ගනියි.

බොහෝ විවාහ දෙදරා යන්නට කාරණය කැත්තට පොල්ල න්‍යාය වන මම මොකටද එයාට දෙක වෙන්නේ? යන සිතුවිල්ලය. විවාහ ජීවිතයට පිවිසීමට අප දරුවන් පුරුදු පුහුණු කල යුත්තේ කුඩා අවදියේමය. තව කෙනෙකුට  ඇහුම් කන් දෙන්නට, අන්නෝන්‍ය වශයෙන් උදව් කරගැනීමට, පවුල යන බැදීමෙහි ඇති වැදගත්කම හා අවස්ථානුකූලව ජීවිතයට මුහුණ දීමට හැකි දරුවකු නිර්මාණය කල හැකි නම් දික්කසාදය නැමැති රුදුරු ව්‍යවසනයට ඉදිරි පරම්පරාව ගොදුරු නොවනුඇත. එවන් සමාජක් බිහි කිරීමේ ඒ භාර දූර කාර්්‍යය පැවරී ඇත්තේ ආදරණීය දෙමාපියන්ට බව අමතක නොකරන්න.