ඔබගේ දරුවාව මීලඟ වෝල්ට් ඩිස්නි බවට පත් කල හැකි රහසක්

ඔබ කුඩා කාලයේදි ඇලිස්ගේ විස්මලන්තය හෝ හැරි පොටර් කියවා තිබේද? ( සංඛ්‍යා ලේඛන වලට අනුව හැරි පොටර් යනු දෙමාපියන් මෙන්ම දරුවන් එකසේ කියවූ ප්‍රසිද්ධ පොත් මාලාවකි. ඔබ පොත කියවා ඇත්නම් මෙම පොත් මත පදනම් වූ චිත්‍රපට වල ඇති Rabbit Hole, Hogawarts, Bill the Lizard හෝ Dumbledore ඔබ මනසෙහි මවා ගත් රූපයට හාත් පසින් වෙනස් බව ඔබට හැඟෙනු ඇත. පොත් කියවූ බොහෝ උදවිය එකඟ වන කරුණක් නම් පොත් කියවීමෙහි තරම් තෘප්තියක් එම චිත්‍රපටය නැරඹීමෙන් නොලැබෙන බවයි. හැරී පොටර් චිත්‍රපටය එම පොත් මාලාවේ එන චරිත වලට නිසියාකර සාධාරණයක් ඉටු කර නැත. චිත්‍රපටය නැරඹීමට පෙර පොත කියවන ලෙස මට අවවාද කල මාගේ මිතුරියට මම මෙම අවස්ථාවේදි ස්තූතිවන්ත වෙමි.

ලෝක ප්‍රාසාදායට හා සම්මාන වලට පාත්‍ර වූ බොහෝ චිත්‍රපට උසස් ලෙස නිර්මාණය කර ඇතත්, එය, ඊට පදනම් වූ පොත් මාලාවට සම කල නොහැක. ඊට හේතුව, පොතක් කියවීමෙන් අප ලබන ඒ තෘප්තිය හා අප සිත් තුල නිර්මාණය කර ගන්නා වු ලෝකය, නවීන තාක්ෂණයකින් නිපදවන උසස් Universal Studios චිත්‍රපටයකින් ලබා ගත නොහැකි බැවිනි.

කෙසේ වෙතත්, තාක්ෂණයේ වර්ධනය අප වෙත පිරි නැමූ පැතලි තිර දසුන් රූපවාහිනි, iPad හා ස්මාට් ෆෝන් කෙමෙන් කෙමෙන් අපව කියවීමෙන් ඈත් කොට ඇත. දරුවන් මෙන්ම වැඩිහිටියන්ද කාටූන් නැරඹීමට කැමැත්තක් දක්වයි. අද කාලයේ රොබින් හුඩ්, ටොම් සෝයර් වැනි වීර චරිත පමණක් නොව ජේසු තුමා, සිදුහත් කුමරු ගේ ජීවිත කතා පදනම් කොට ගෙන නිමවූ වැඩසටහන් දක්නට ලැබේ. නවීන තාක්ෂණය කෙතරම් විනෝදජනක හා සිත්ගන්නාසුලු වූවත් එය අපගේ නිර්මාණාත්මක හා පරිකල්පන ශක්තිය හීන කරවයි. ලමාක් ගේ සිද්ධාන්තයට අනුව අපගේ නිර්මාණාත්මක හා පරිකල්පන ශක්තිය පවතින්නේ යටිකුරු සර්පිලයකට අනුවය. එනම් අප ඉදිරි පරම්පරාව සඳහා ලබා දෙන්නේ අපගේ නිර්මාණාත්මක හැකියාවෙන් ඉතා කුඩා ප්‍රතිශතයකි. එසේම අප විවිධ පරිසරයන් අනුව හැඩ ගැහෙන ආකාරය පවා අපගේ දරුවන් වෙත ගමන් කර බව ලමාක් පවසන ලදී.

අප පාසල් යන කාලයේ බිත්තියේ, දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කට තිබූ ෆ්‍රැන්සිස් බීකන්ගේ ප්‍රසිද්ධ කියමන ඔබට මතක ඇති. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” අපව කුඩා කාලයේ පටන් කියවීම සඳහා පොළඹවන ලදී. අප පාසල් යන කාලයේදි වෙනම පුස්තකාල පරිච්ඡේදයක් තිබුණු අතර පොත්පත් එදා සැලකුණේ දැනුම් සම්භාරයක් ලබා දෙන උතුම් සම්පතක් ලෙසය. කෙසේ වෙතත් මා උසස් අධ්‍යාපනය ලැබූ කාලයේදි මාගේ කියවීමේ හා නිර්මාණාත්මක හැකියාවන් මට මහත් සේ උපකාරි වුණි. Benzene චක්‍රයේ සිට, පරමාණු හා එහි ඉලෙක්ට්‍රෝන වල හැසිරීම, සත්ත්ව සෛල වල ක්‍රියාකාරිත්වය, Bernouilli නියමයට අනුව අහස් යාත්‍රයක් ගමන් කරන්නේ කෙසේද යන්න මා ඉගෙන ගත්තේ මාගෙ පරිකල්පන ශක්තිය උපයෝගි කර ගනිමිනි. අන්තර්ජාලය වගේම නවීන තිමාණ දසුන් තාක්ෂණයට, මිනිසි පරිකල්පන හා නිර්මාණත්මක ශක්තිය අභිබවා යා නොහැකි බව මගේ අදහසයි. පර්යේෂණ හා ප්‍රවර්ධන (Research & Develpoment) මත ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන ක්ෂේත්‍රයක කටයුතු කරන මා හට නිරන්තරයෙන්ම නිර්මාණාත්මක හැකියාවන් සහිත උදවිය මුණ ගැසීම අභියෝගයක් වී ඇත. අවසාන වශයෙන්, නව නිපැයුම් හා නිර්මාණාත්මක නිමවුම් සඳහා මූලික වන්නේ පුද්ගලයෙකුගේ පරිකල්පන ශක්තියයි. ඉතිහාසයේ නොමැකෙන උසස් නිර්මාණ බිහි කල වෝල් ඩිස්නි, හෙන්‍රි ෆෝඩ්, රයිට් සහෝදරයින් මෙන්ම ෆේස්බුක් හි නිර්මාතෲ මාක් සකර්බග් වැනි කෝටිපතියන් ගේ සාර්ථකත්වය පිටුපස සිටියේ ඔවුන්ගේ පරිකල්පන ශක්තියයි. මිනිසාගේ පරිකල්පන ශක්තිය ප්‍රගුණ කල හැකි එකම ආම්පන්නය කියවීමයි.

එම නිසා තාක්ෂණයේ දි‍යුණුව හා එහි අනර්ඝ ප්‍රතිඵල භාවිතා කරන අතරේම අපි කියවීමේ පුරුද්ද ජීවිතයට එකතු කර ගනිමු.
අපගේ දරුවන්ටත් කියවිමේ ප්‍රතිලාභ උගන්වා පෙර නොවූ විරූ අයුරින් ලෝකය දෙස බලන්නට ඔවුන්ට අපි උපකාර කරමු. එසේම කියවීමේ අතුරු ප්‍රතිඵල වන ව්‍යාකරණ දැනුම වර්ධනය කිරීම හා පුළුල් වාග් මාලාවක් ලබා ගැනීම ගෙන දැක්විය හැක.

දරුවන් තුල කියවීමේ ආසාව ඇති කරන්න. ඔවුන් නින්දට යාමට පෙර පොතක් කියවන්න. මෙය ඔබට සාමකාමීව දරුවා සමඟ එකට කාලය ගත කල හැකි මොහොතකි. මාගේ පියා ලවා එකම කතාව කියවීමට සැලැස්වීමෙන් ඔහු තුරුලට වී නින්දට වැටුණු ඒ සුන්දර ළමා කාලය මට අද වගේ මතකයි.

චිත්‍රපටය නැරඹීමට පෙර දරුවන්ට පොත කියවන ලෙස අභියෝග කරන්න.ඔවුන් කියවන පොත් වල ලැයිස්තුවක් සකස් කරන ලෙස පවසන්න. කියවා සම්පූර්ණ කරන සෑම පොතකටම ඔබ ඔවුන්ට යම් දීමනාවක් ලබා දීම දිගු කාලයේදි වැදගත් වේ. මන්ද ඔවුන් කියවීමේ ඔවුන්ගේ දෛනික ජීවිතයේ පුරුද්දක් කර ගන්නා බැවිනි.

ලෝකයේ තවත් වෝල්ට් ඩිස්නි හා හෙන්‍රි ෆෝඩ් කෙනෙක් බිහිවීමට ඉඩක් ඇති බව අමතක නොකරන්න. ඔහු/ඇය ඔබේ දරුවා විය හැකියි.

ඔබගේ දරුවා අසරණ අවස්ථාවන්හිදී, ධෛර්යමත්ව ඊට මුහුණ දෙන්නේද?

සත්තු වත්තකදී හෝ අලි අනාථාගාරයක හොඳින් වැඩුණු අලියන්  දැක තිබෙනවා ඇති. මෙම සද්ධන්ත සිව්පාවන් බොහෝ විට දම්වැලකින් හෝ රඳවනයකින් අසල ඇති ගසකට හෝ කුළුනකට බැඳ ඇත.මෙම රඳවනයට කිසි සේත් අලියාව ආරක්ෂා කල නොහැක. අවශ්‍ය නම් අලියාට පහසුවෙන් මෙයින් ගැලවී යා හැක. නමුත් අලියා එසේ කරන්නේ නැත. මෙය සර්කස් අලි සහලක්ෂණය ලෙස හැඳින්වේ.  (Circus Elephant Syndrome)
අලි පැටවකු සාමාන්‍යයෙන් පිටතට පැන යාම වැලැක්වීම සඳහා කණුවකට හෝ ගසකට දම්වැලකින් බැඳ දමයි. මෙම කුඩා අලි පැටවා එයින් මිදී යාමට නොයෙකුත් වෙර දරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලියාගේ කකුල දම්වැලේ ස්පර්ෂය නිසා සීරිමකට හා තුවාල වීමට ලක් වේ. ඇත් ගොව්වා උවමනාවෙන්ම මෙම තුවාලය තවත් පැස වෙන්නට ඉඩ දේ. මෙසේ දිගින් දිගටම දම්වැලේ ග්‍රහණයෙන් පැන යාමට තැත් කරන අලියා එයින් හෙම්බත්ව තම උත්සාහය අත් හරී.
අලියා කෙතරම් වැඩුණත්, ඌව මෙවැනි රඳවනයකින් හා දම්වැලකින් අසල ඇති ගසකට බැඳ ඇත්නම්, අලි පැටවකුව සිටියදී තමා ලත් ඒ අසරණ අත්දැකීම හේතු කොට ගෙන සද්ධන්ත අලියා එයින් පැන යාමට තැත් නොකරයි. කුඩා කාලයේදි දම්වැලට හසුවීමෙන් හටගත් තුවාලය පැසවීම වැඩුණු අලියාගේ මතකයට නැඟෙයි. සර්කස් අලි සහලක්ෂණය ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වයයි.
මෙම සහලක්ෂණයෙන් පීඩා විඳින්නේ අලියන් පමණද?
යම් විෂයක් උගන්වන ගුරුවරයා ට අකමැතිවීම නිසා එම විෂයම එපා වූ දරුවන් ඔබ දන්නවාද? සමහර පලතුරු කන්නට පුද්ගලයින් අප්‍රිය බවක් දක්වන්නේ ඒවා ඔවුන්ව අසනීප තත්තවයකට පත් කල බැවිනි. සුවඳ ජාති හෝ විළවුන් සමරහක් අපට අසුන්දර මතකයන් අවදි කරන්නට ඉවහල් වේ.මේ සියල්ලන්ම දම්වැලට බියවූ අලියන් වැනිය. අපව ග්‍රහණය කරගෙන සිටින මෙම දම්වැල් නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය. අප මෙම දම්වැලත් සමඟ කාලාන්තරයක් ජීවත් වූවත් ඒ බව හා ඊට හේතුව අප නොදන්නවා වන්නට පුළුවන.
මෙම අසරණ හා අසුන්දර හැඟීම අපව කිසියම් කටයුත්තක් සඳහා උත්සාහයක් දැරීමෙන් වලක්වයි. සමහර විට අප පෙර සිදුවූ ඒ අසහනකාරි මතකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තාවකාලිකව අමතක කර හෝ යටපත් කර තිබෙන්නට පුලුවන. දැන් අප ජීවත් වන්නේ මෙම උත්තේජකවලට අප මෙසේ ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන්න හරිහැටි අවබෝධයක් නොමැතිවය.
ජීවිතයේ මුල්ම අවධිය අපගේ පෞර්ෂත්වය හැඩගැස්වීමෙහි ලා මෙන්ම අපගේ අනාගතයේ මූලික අඩිතාලම සකස්කිරීමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම කාලය අපගේ දක්ෂතා ඉස්මතු කරන අතර සීමාවන් පිළිබඳව ද ඉඟි කරයි.අපගේ දෙමාපියන්, මුත්තන්, පෙර පාසල් ගුරුවරයින්, සමීප ඥාතීන් අපගේ ජීවිතයේ වැදගත් පැතිකඩක් නිර්මාණය කරයි. මිතුරන් ගෙන් මෙම අවධියේදි සැලකිය යුතු කාර්යයක් ඉටුවන්නේ නැත. එබැවින් දරුවාගේ මුල් අවධියේදි ඇත් ගොව්වාගේ රාජකාරිය තිබෙන්නේ දෙමාපියන් සතුවයි.
තමා කුඩා කාලයේදි දෙමාපියන් ගස් ලබු බලෙන් කැවීම නිසා අපහසුතාවයට පත් සිදුවීම හේතුකොට ගෙන වර්තමානයේදි වැඩිහිටියෙකු ලෙසත් ගස් ලබු නොකන මිතුරෙකු මට මුණ ගැසුණි. වසර ගණනාවකට පෙර සිදුවූ මෙම අප්‍රියජනක අත්දැකීම  ඔහුව යොවුන් වියේදී ද ගස් ලබු කෑමෙන් වැලකී සිටින පුද්ගලයෙකු බවට පත් කලේය. ගස් ලබු යනු ජීවිතයට එතරම් වැදගත් නොවන දෙයක් නමුත් මෙම ප්‍රතික්ෂේප කිරීමේ පුරුද්ද සැම විටම පලතුරකින් කෙලවර වන දෙයක් යැයි අපට තහවුරු කල නොහැක.
දම්වැලේ ග්‍රහණයෙන් සිටින අලි පැටවාගේ කතාව අප සෑම දෙනාටම ආදර්ශයකි. දරුවාගේ මුල් අවධියේදි සිදුවන පෞර්ෂත්ව වර්ධනයේදි දෙමාපියන්ගේ කාර්ය භාරය කොතරම් වැදගත් ද යන්න දැන් අපට වැටහේ. දෙමාපියන් පමණක් නොව දරුවා සමඟ ගැවසෙන සෑම වැඩිහිටියකුම දරුවා සමඟ දෛනිකව සන්නිවේදනය හෝ කටයුතු කරන ආකාරය මීට බලපායි.
එසේම අප දරුවාව රැක බලාගන්නා සහායක ගැහැණුන්, මෙහෙකාරියන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතුය. දරුවාට අහිතකර බලපෑමක් හෝ බියක් ගෙන දිය හැකි දේවල් වලින් ආරක්ෂා කර ගැනීමද අපගේ වගකීමකි.ඔවුන් කුඩා කාලයේදීම මෙම දම්වැලට බිය වුව හොත්, අනාගතයේදි, ඔවුන්ගේ දියුණුවට එම බිය බාධකයක් වනු නොඅනුමානය.

ඉතිරි කිරීමේ පුරුද්ද දරුවන් තුල වර්ධනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද ආරම්භ කිරීම සඳහා සුදුසුම වයස කුමක්ද? මෙය බොහෝ දෙමාපියන් හට පැන නැඟෙන ප්‍රශ්නයකි. මීට දිය හැකි හොඳම පිළිතුර නම් ඉතිරි කිරීමේ පුරුද්ද හැකි තාක් කුඩා කාලයේම දරුවා තුල වර්ධනය කිරීම යෝග්‍ය බවයි. ඔබගේ දරුවා සුපිරි වෙළඳසලට ගොස් “අම්මේ, මට මේකත් අරන් දෙන්න පුලුවන්ද?” ‍යැයි පවසමින් ඔබට කරදර කරන අවස්ථාව අපි ගනිමු. මෙම සිදුවීම දරුවාට ඉතිරි කිරීමේ පුරුද්ද ආරම්භ කිරීමටත් එහි වැදගත්කම පිලිබඳ ඉගෙන ගැනීමටත් හොඳ කාලයක් බව ඔබට අඟවන අවස්ථාවකි.

අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස දරුවා කුඩා කලදීම ඉගෙන ගත යුතුය. තමන්ගේ මූලික අවශ්‍යතා පලමුවත් අනෙකුත් වුවමනා සපුරා ගැනීම සඳහා තමා කිසියම් කාලයක් බලා සිටිය යුතු බවත් දරුවන් තේරුම් ගැනීම අනිවාර්ය වේ. අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීම ආරම්භ කල හැකිය. ඔබට මෙසේ විස්තර කල හැකිය. “හාල් හා එළවලු මිලදී ගැනීම අවශ්‍යතාවයකි. ඇඳුම් පැලඳුම් මිලදී ගැනීම අවශ්‍යතාවයකි. නමුත් සුපිරි වෙළඳසලේ ඇති අනෙකුත් දෑ වුවමනා වන අතර ඒවා ඔබට පසු කාලයකදී මිලදී ගත හැකිය. ඉන්පසු ඔබට දරුවාට “අපි ශොපිං යන සල්ලි ඉතුරු කරලා ඒක ඔයාගේ කැටේට දාමු” යනුවෙන් පැවසිය හැකිය.

කැටේ පිරුණු පසු, එම මුදල් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීම සඳහා දරුවා කැටුව බැංකුව වෙත යාමට අමතක නොකරන්න. දරුවෝ වැඩිහිටියන් ලෙස තමාට සලකනු දැකීමට බොහෝ කැමැත්තෙන් පසුවෙති. තමා කාලයක් තිස්සේ ඉතුරු කල මුදල් ද රැගෙන බැංකුව වෙත ගොස් එය ගිණුමක තැන්පත් කිරීම, ඔවුන්ට චොක්ලට එකකට එම මුදල් වියදම් කරනවාට වඩා තෘප්තියක් ලබා දෙනු නියතය. මුදල් ගණුදෙනු කිරීමට බැංකුව වෙත පැමිණෙන අනේක වැඩිහිටියන් මධ්‍යයේ තමාත් ගිණුමක් විවෘත කිරීම දරුවන්ට මහත් කර්තව්‍යයකි. ඔවුන්ට එය පාසලේ මිතුරන් සමඟ බෙදා ගැනීම සඳහා තවත් එක් දිග කතන්දරයකි.

ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා ඔබට ලේබල් කරන ලද පෙට්ටි තුනක් දරුවන්ට ලබා දිය හැකිය. ඉතිරි කිරීම, මිලදී ගැනීම හා දාන මාන සඳහා ලෙස ඔබට මෙම පෙට්ටි තුන් ආකාරයකින් වර්ග කල හැක. දරුවාට සල්ලි ලැබෙන සෑම මොහොතකදීම, ඔහුට/ඇයට එම මුදලින් යම් ප්‍රමාණයක් මෙම පෙට්ටි තුනටම දැමීමට පොළඹවන්න. මෙම ක්‍රමය දරුවාට මිල ගණන් (expensive/cheap) වල හා මිලදී ගැනීමේ ශක්තිය (affordability) පිළිබඳ යම් අදහසක් ගැනීමට උපකාරි වේ.

තවද මුදල් එකතු කරනවා සේම මුදල් දාන මාන කිරීමද  එකසේ වැදගත් බව දරුවාට පහදා දෙන්න. මගේ සැමියා හා මා අපගේ පවුලේ වාහනයේ මාරු කාසි දැමීමට යෝගට් කෝප්ප්යක් තබා ඇත. වාහන තදබදයකදී හෝ මාර්ග සංඥා අතර කාලයේදි වාහනය වෙත පැමිණෙන හිඟන්නන් හට එයින් කිහිපයක් ගෙන දීමට අපි පුතාව දිරිමත් කරන්නෙමු. මාගේ අට හැවිරිදි පුතණුවන් පහේ කාසියක් ගෙන හිඟන්නෙකුට දෙන මොහොත ඔහුට ජීවිතයට වැදගත් පාඩම් දෙකක් ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දේ. එනම්, ඔබට හිඟා කෑමට වඩා හොඳ ජීවනෝපායක් සොයා ගැනීම සඳහා හොඳින් ඉගෙන ගත යුතු බවත්, ඉදිරි අනාගතයේදි ඔබට රැකියාවේ මාසික පඩිය අහිමි වූ විට ඒ සඳහා ඉතුරුම් අවශ්‍ය වන බවත් ය.

ඔබ සුපිරි වෙළඳසලකට යන අවස්ථාවේදි දරුවා කිසියම් දෙයක් ඉල්ලා කරදර කල විට, නෑ ඔයාට එක අරන් දෙන්න බෑ” යනුවෙන් නොපවසන්න. ඒ වෙනුවට දරුවාට එම සෙල්ලම් බඩුවේ මිල ලාංචනය දෙස බලන්නට ඉඩ දී “ඔයාගේ “මිලදී ගැනීම” පෙට්ටියේ තියෙන සල්ලි වලට වඩා මේ සෙල්ලමු බඩුව කොච්චර ගණන්ද?” යන්න අසන්න. එම මිල 10 ගුණයකට වඩා වැඩි නම් දරුවා එම සෙල්ලම් බඩුව මිල අධික එකක් බව තේරුම් ගන්නා අතර, එය ඔහුට/ඇයට වර්තමානයේදි මිලදී ගත නොහැකි බවද වටහා ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවා එම “මිලදී ගැනීමේ” පෙට්ටියට දැමීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ඉතිරි කිරීමට පෙළඹේ. දරුවාගේ උපන් දිනය දා ඔබට මේ මුදලට සමාන මිලක් වටිනා තෑග්ගක් දරුවාට ලබා දී, දරුවා “මිලදී ගැනීමේ” පෙට්ටියේ ඉතිරි කල මුදල බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කල හැකිය.

බොහෝ දෙමාපියෝ දරුවන් සමඟ  “සල්ලි වැදගත්” යන මාතෘකාව පිළිබඳ කතා බස් කිරීමට අනවශ්‍ය ලෙස බිය වෙති. මාගේ අදහසට අනුව, ඔබ මුදල් වල වටිනාකම, ඉතිරි කිරීමේ හා දාන මාන කිරීමේ වැදගත්කම ගැන දරුවාට පහදා දීම තුලින් අනාගතයේදි රටට වැඩදායි , වගකිව යුතු පුරවැසියෙක් බිහි කල හැකිය.

ArticleBanner01

පාලනය කිරීමට අපහසු ළමුන් සමග කටයුතු කරන්නේ කෙසේද?

බොහෝ සිඟිත්තන් තම දෙමාපියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාවන්හි නිරත වෙයි.ඔවුන්ගේ නිදහස ප්‍රකාශ කිරීම පිණිස ඔවුන් සිතැඟි පරිදි හැසිරේ.මෙය අකීකරුකමක් ලෙස වරදවා තේරුම් නොගත යුතුය.මෙවැනි සිඟිත්තන් සමග කටයුතු කිරීමට ඉවසීම අවශ්‍ය වේ.

දරුවා අකීකරු හෝ නොසන්සුන් ලෙස සිටින අවස්ථාවන්
බොහෝ සිඟිත්තන් දෙමාපියන්ගේ අවධානය ලබා ගැනීම පිණිස නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙති.මෙම ක්‍රියාකාරකම්වලට පහර දීම,හැඬීම හෝ වැඩිහිටියන්ව පීඩාවට පත්කිරීම වැනි දේ ඇතුලත් වේ.දෙමාපියන්ගේ අවධානය ලබා ගන්නා තෙක් ඔවුන්ගේ මෙම හැසිරීම් හොඳද නරකද යන්න ඔවුන්ට අදාල නැත.දෙමාපියන් මේවාට ප්‍රතිචාර දැක්වූ විට ඔවුන්ද ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වනු ඇත.ස්වාධීනත්වය ලබා ගැනීම පිණිස ළමුන් තම සිතැඟි පරිදි හැසිරේ.මෙවැනි ක්‍රියාවන් වැලැක්වීමට දෙමාපියන් උත්සාහ නොකල යුතු අතර ළමුන්ගේ අකීකරුකම ප්‍රකාශ කිරීමක් ලෙස නොසැලකිය යුතුය.මේවාට විරුද්ධව ක්‍රියා කිරීම, අනාගතයේදී දරුවාට ඍණාත්මක හැඟීම් වර්ධනය වීමට හේතු විය හැක.ළදරුවන්ගේ සිතේ ස්වභාවයන් නිරන්තරයෙන් වෙනස් වේ.වරෙක කෝපයද තවත් විටෙක ආදරයද ප්‍රකාශ කරනු ලබයි.කාලය සමග දරුවන් මෙම රඟ දැක්වීමේ කලාවේ උද්යෝගිමත් හවුල්කරුවකු වනු අතර මෙය දෙමාපියන්ට හොඳ ඉගැන්වීමේ අවස්ථාවක් ලෙස යොදා ගත හැක.

දඟකාර ළමුන් සමග කටයුතු කිරීම.
දඟකාර ළමුන් හොඳ දේ කුමක්ද නරක දේ කුමක්ද යන්නෙහි වෙනස දනී.කෙසේ වෙතත් ඔවුන්ට හැසිරීම සම්බන්ධව නිවැරදි මග අනුගමනය කිරීම කෙරෙහි බලපාන ඥානය,පරිණතභාවය සහ පාලනය පිලිබඳව ඇති දැනුම අල්පය.මෙම කාලයේ පසුවන ළමුන් ඉහත කී කරුණු සම්බන්ධව හසුවූ විට ඔවුන් ක්ෂණයකින් සමාව අයදින තත්ත්වයකට පත් වේ.බොහෝ ළමුන් කෙතරම් බැණුම් ඇසුවද පරණ හැසිරීම්වලට නැවත යොමු වේ.දඟකාර ළමුන් සමග කෙසේ ඉවසිලිවන්තව සිටිය යුතුද යන්න දෙමාපියන් ඉගෙනගත යුතු කරුණකි.ඔවුන් සමග නිතර කථා බස් කිරීම සඳහා අනුකම්පාසහගත සමීප වීමක් යොදා ගන්න. මෙම ක්‍රමය හරි නොගියහොත් දඬුවමකට යාම ඊලඟ පියවරයි. කරුණාකර ශාරිරිකව දඬුවම් කිරීමෙන් වලකින්න. තමුන්ගේ වරප්‍රසාද වලින් ඈත්වීම සහ සීමා කිරීම තුලින් වඩාත් ඵලදායිත්වයක් ලබා ගත හැක.

දරුවා ඇහුම්කන් නොදෙන අවස්ථාවක.
අකීකරු ළමුන් හිතා මතාම බලය අවඥාවට ලක් කරයි.මෙය වැඩිහිටියකුගේ ඉවසිලිවන්තකම පරීක්ෂා කරනු ලබයි.මෙවැනි ළමුන් සමාව අයදිනු ලබන්නේ කලාතුරකිනි.අකීකරුකම දෙමාපිය- දරු ගැටීමකට මුල පිරීමක් විය හැක.ශාරිරික දඬුවම් පැමිණවීම වඩා චණ්ඩභාවයකට මුල පිරිය හැකි බව දෙමාපියන් සිහි තබා ගැනීම වැදගත්ය.ධනාත්මක වෙරගැන්වුම් සහ හේතුකාරක වලට සම්බන්ධවන උපා නැණ භාවිතා කිරීම බොහෝ ඵලදායි වේ.

“Terrible Twos” (අවුරුදු දෙක ලබන කාලයේදි දරුවකු තුල සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දඩබ්බර හැසිරීම.) අවස්ථාවකදී තමුන්ගේ දරුවා සාමන්‍ය දරුවන්ට වඩා අසීරු තත්වයක සිටින්නේයයි බොහෝ දෙමාපියන් කල්පනා කරයි.එහෙත් එය එසේ නොවන බව ස්ථිර කරයි.මෙම අවස්ථාවේ පසුවන දරුවකු තම උත්සාහයෙන් යම් දේවල් කිරීමට ඉගෙන ගනී. උදව් ඉල්ලා සිටීම සහ ස්ව උත්සාහයෙන් යම් දෙවල් කරගැනීමට ඇති උවමනාව පිලිබඳව ඔවුන් නිරන්තරයෙන්ම දෙගෙඩියාවෙන් පසු වෙයි.මෙම වයසේදී ඉතා ඉක්මනින් භංගත්වයද ඇති වේ.ළමුන් උපකාර නොඉල්ලා සිටිය හැකි නමුත් ඔවුන්ට පිහිටාධාර අවශ්‍ය වේ.මෙය ළමුන් සහ දෙමාපිය දෙදෙනාටම ඉතා දුෂ්කර කාලයක් වනුයේ දරුවා ස්ව ශක්තියෙන් නැගී සිටීමට ඉගෙන ගන්නා නිසාය.

ගර්භනී අවධිය තුල ව්‍යායාම් වල නිරත වීමේ වැදගත්කම

ගර්භනී අවධියේදි පවා මනා සිරුරක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පහල වීම කාන්තාවකු ලෙස ඔබට දැනිය හැකි සාමාන්‍ය දෙයකි. ව්‍යායාම් වල නිරත වීම මඟින් කාන්තාවන්ට ක්‍රියාශීලි මෙන්ම සෞඛ්‍යමත් දිවි පෙවතක් ගත කල හැකි වේ. ගර්භනී සමයේදී, කල හැකි සුදුසු ව්‍යායාම් අභ්‍යාස පිලිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් පතන්න. මෙ මඟින් ඔබට ව්‍යායාම් වල සුරක්ෂිත බව හා කාර්යක්ෂමතාව තහවුරු කර ගත හැකිවේ. ගර්භනී මවක් අනුගමනය කල යුතු පොදු උපදේශ කිහිපයක් පහත සඳහන් වේ.

ඔබ කෙතරම් කාලයක් ව්‍යායාම් වල නිරත විය යුතුද?
සාමාන්‍ය නීතියේ හැටියට, කාන්තාවක් මිනිත්තු තිහක කාලයක් එතරම් සංකීර්ණ නොවන මධ්‍යම මට්ටමේ ව්‍යායාම්වල නිරත විය යුතුය. මෙම ව්‍යායාම් චර්යාව ඔබගේ හෘද ස්පන්දන වේගය හා හුස්ම ගැනීමේ වේගය වේගවත් කරන අතර ඔබව හති දමන තත්ත්වයකට පත් නොකල යුතුය. සංකුලතා ඇති ගර්භනී මව්වරුන් සංකීර්ණ ව්‍යායාම් මාලා වල නිරත වීම නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් මෙය වෛද්‍ය උපදෙස් මත වෙනස් විය හැක. ගර්භනී භාවයට පත්වීමට පෙර මවක් ව්‍යායම් වල නිරත නොවූවත්, ඔවුන්ට ගර්භනී අවධියේදී ක්‍රියාශීලි දිවි පෙවතක් ආරම්භ කල හැක. වෛද්‍ය උපදෙස් විමසා ඔබට සුදුසුම ව්‍යායාම් රටාව ලබා ගන්න.

පූර්වාරක්ෂාව.
ගර්භනී අවධියේ කාන්තාවකගේ ශරීරයේ බොහෝ විපර්යාසයන් සිදුවේ. ශරීරයේ හැඩයේ වෙනස් වීම මෙහි පැහැදිලි වෙනස්වීම ලෙස හැඳින්විය හැක. ගර්භනී කාන්තාවකගේ බර වැඩිවත්ම, දිවීම හා සමබරතාවය වර්ධනය කරන ව්‍යායාම කිරීම අසීරු විය හැකිය. මේ සම්බන්ධයෙන් ඔබ පසු තැවිය යුතු නොවේ. මන්ද ව්‍යායාම්වල මූලික අරමුණ ශරීරයට වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීම නොවන නිසාවෙනි.

ගර්භනී අවධියේ කාන්තාවකට නිරත විය හැකි ව්‍යායාම්.
බර වැඩිවීම, ශරීරයේ හැඩය වෙනස් වීම, අධි රුධිර පීඩනය වැනි කාන්තාවකගේ ශරීරයේ සිදුවන විපර්යාසයන් සැලකිල්ලට ගෙන ආරක්ෂිත ව්‍යායාම් රටා කිහිපයක් පහත සඳහන් කර ඇත.

ඇවිදීම.
ඇවිදීම යනු ඕනෑම කාන්තාවකට නිර්දේශිත යෝග්‍යම ව්‍යායමයකි. මෙය හෘදයට වේගය නිසි ලෙස පවත්වා ගෙන යාමට ඉඩ සලසන මධ්‍යස්ත මට්ටමේ, සරල ව්‍යයාමයකි. කිසි විටෙකත් ව්‍යායාම් නොකල උදවියට පවා ඇවිදීම යනු ඉතා අගනා ව්‍යායාමයකි. ඔබට තවත් මිතුරකු සමඟ හවුලේ ඇවිදීමෙන් මෙය ඉතා උද්යෝගිමත්ව කල හැක.

ජල ක්‍රීඩා.
ඔබ ජලයට කැමති පුද්ගලයකු නම්, පිහිනීම, ජල ව්‍යායාම (Aqua aerobics) වැනි සන්ධි වලට එතරම් ආතතියක් නොදෙන ක්‍රීඩා වල නිරත විය හැක. කකුලේ හෝ හන්දිපත් රුදාවෙන් පීඩා විඳින මව්වරුන්ට ජල ක්‍රීඩා ඉතා යෝග්‍ය වේ.

සයිකල් පැදීම.
බයිසිකලයෙන් වැටීමේ අවදානම අඩු නම් පමණක් ගර්භනී අවධියේ පලමු කාර්තුවේදී කාන්තාවකට මෙම කායික ක්‍රියාකාරකමේ නිරත විය හැක. කුසෙහි ප්‍රමාණය වැඩිවත්ම වැටීමේ හා ගර්භාෂයට වේදනාවක් ඇති වීමේ අවදානමක් ඇති හෙයින් ගර්භනී අවධියේදි බයිසිකල් පැදීම දිගින් දිගටම නොකල යුතුය.

ප්‍රතිරෝධි ව්‍යායාම්.
ගර්භනී බවට පත්වීමට පෙර මෙම ව්‍යායාම් වල නිරත වූ අය සඳහා පමණක් මෙය අනුමත කරනු ලැබේ. කෙසේ වෙතත්, කාන්තාවන් අධික බර ඉසිලීමෙන් වැලකී සිටිය යුතුය. හැකිනම් අඩු බර ඉසිලීමේ ව්‍යායාම්වල නිරත වන්න. ජොගිං සඳහාද මෙම නීති අදාල වේ.

ගර්භනී අවධියේදි වැලකි සිටිය යුතු ව්‍යායාම් වර්ග.
ගර්භනී අවධියේදි හුස්ම පාලනය කර ගත යුතු ව්‍යායාම් වලින් වැලකී සිටීම යහපත් වේ. කාන්තාවක් උඩුබැලි අතට සිටිය යුතු ව්‍යායාම් වල නිරත වීම නුවණට හුරු නොවේ. මන්ද මේ තුලින් කලලයට රුධිරට සංසරණය වීමේ බාධා ඇතිවිය හැකි නිසාවෙනි. මෙම නීති උදරය ඇදීමේ නම්‍යශීලි ව්‍යායාම් සඳහා ද අදාල වේ.

පාපන්දු, පැසිපන්දු හා රෙස්ලිං වැනි එකිනෙකා සමඟ ගැටීම් ඇතිවන කණ්ඩායම් ක්‍රීඩා වලින් වැලකී සිටිය යුතු වේ. මෙම නීතිය කඳු නැගීම, අශ්වයා පිට යාම වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහාද අදාල වේ. උස් ස්ථාන වල ව්‍යායාම් වල නිරත වීමෙන්ද වැලකී සිටිය යුතුය. දිය යට කිමිදීම (Scuba diving) යනු විසම්පීඩන අපහසුතා හේතුවෙන් ගර්භනී අවධියේදි නොකල යුතු ජල ක්‍රීඩාවකි.

ගර්භනී බවට පත්වීම, ව්‍යායාම් නතර කිරීම සඳහා නිදහසට කාරණයක් නොවේ. කෙසේ නමුත් සාමාන්‍ය දැනීමක් ඇතිව, අඩු රුධිර පීඩනයක් සහිත, ශරීරයේ රුධිර සංසරණය වර්ධනය කරන, සන්ධි, කොන්දට හා උදරයට අඩු ආතතියක් ගෙන දෙන සරල ව්‍යායාම් වල පමණක් නිරත වීමෙන් ඔබට ක්‍රියාශීලි ගර්භනී අවධියක් ගත කල හැක.

එසේම ඕනෑම ව්‍යායාම් මාලාවක් අනුගමය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය සේවා විශේෂඥයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම යහපත් ය.

ගර්භණී අවධියේදි හිසේ කෙස් හැලීම ඔබට ගැටලුවක්ද?

ගර්භණී කාලය තුල සහ පශ්චාත් ගර්භණී කාලය තුල සිදුවන කෙස් හැලීම කෙරෙහි හෝමෝනවල අඩු වැඩි වීම බලපානු ඇත.
ගර්භණී කාලය තුල සහ දරු ප්‍රසූතියෙන් පසු මාස කිහිපයක කාලය තුල කාන්තාවකගේ කෙස්වල ඝනත්වය සහ දීප්තිය, නිරතුරුවම වෙනස්වීම්වලට ලක් වේ.

කෙස්වල වර්ධන අවධියක් සහ අක්‍රිය අවධියක් දක්නට ඇත.මෙහි 90%ක් පලමුව සඳහන් කාලය තුල දැකිය හැකි අතර 10% ක ප්‍රමාණයක් දෙවනුව සඳහන් කාලය තුල දැකිය හැක.ගර්භණීභාවය, එස්ට්‍රජන් හෝමෝන අගයන්හි වර්ධනයකට හේතුවන අතර එය කේශ වර්ධනයකට අනුබල දෙයි.මෙම කාලය බොහෝ ගර්භනී මාතාවන් ඉතා පෝෂිත කෙස් කලඹක් ලබා ගැනීමට භාග්‍යවන්ත වන අතර 60%ක පමණ ප්‍රමාණයකගේ සැලකිය යුතු කෙස් අඩුවීමක් වාර්තා වී ඇත.

ගර්භණී කාලය
ගර්භණීභාවයේදී, 80%ක පමණ කෙස් ප්‍රමාණයක් අක්‍රිය අවධියට ගමන් කරන අතර රෝම කූප කෙස් හැලීමේ චක්‍රයකට අවතීර්ණ වේ.මෙම කාලය තුලදී සිදුවන කෙස් හානිය පිලිබඳව බොහෝ කාන්තාවන් බිය උපදවා නොගත යුතු වන්නේ ගර්භණී කාලය තුල මෙවැනි සිදුවීමක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු නිසාවෙනි.මේ හේතුවෙන් හිසේ මුඩු තැන් ඇතිවීමක් නොවන අතර එසේ සිදු වූවද එම ප්‍රදේශ ඉක්මනින් කෙස්වලින් වැසී යනු ඇත.සමහර කාන්තාවන් තමන්ගේ කෙස් හැලී ‍යාමේ ප්‍රමාණය පිලිබඳව ඉතා සැලකිලිමත් වන්නේ නම් අඩු විටමින් අගයන් තිබීම එයට හේතුවයි.ගර්භනී මාතාවන්ට පූර්ව ප්‍රසව විටමින් වර්ග සමග ෆෝලික් අම්ලය ගැනීමට බොහෝ වෛද්‍යවරු නිර්දේශ කරති. කේශ චක්‍රය මාස 6 සිට 12 දක්වා කාලයකදී යථා තත්වයට පත් වේ.

ගර්භනී කාලයෙන් පසු
බොහෝ කාන්තාවන්, ගර්භනී කාලයෙන් පසු අධික කෙස් හැලීමක් පිලිබඳව වාර්තා කරයි.හෝමෝන් අගයන්හි අඩු වැඩි වීම් මෙයට හේතුවයි.දරු ප්‍රසූතියෙන් පසු එස්ට්‍රොජන් අගයන් අඩු වීමට පටන් ගන්නා අතර ඉතුරු හෝමෝන තුලනය කර ගැනීමට, ශරීරයට යම් කාලයක් ගත වේ.දිනකට හිසකෙස් 110ක පමණ ප්‍රමාණයක් හැලී යාම සාමාන්‍ය දෙයක් වූවත් මින් දෙගුණයක ප්‍රමාණයකින් සමහර කාන්තාවන්ගේ කෙස් හැලීම සිදු විය හැක.මුඩු සහිත සහ සිහින් කෙස් ඇති ස්ථාන ඇතිවීම සාමාන්‍ය දෙයක් වන අතර මෙය තාවකාලික සිදුවීමකි.

ගර්භනී කාලය තුල සහ පසු හිස කෙස් හැලීම වලක්වා ගැනීමට උපදෙස්.
මේ සඳහා පහත සඳහන් උපාය මාර්ග සහ නිර්දේශ අනුගමනය කිරීම වැදගත්ය.
* හෝමෝන තුලනය කර ගැනීම පිලිබඳව වෛද්‍යවරයකු සමග කථා කරන්න.ඔහු හෝ ඇය අතිරේක ඖෂධ ගැනීම පිලිබඳව උපදෙස් දෙනු ඇත.
* රෝම කූප සහ කෙස් පට ශක්තිමත් කර ගැනීමට උණුසුම් තෙල් වර්ගයක් හිස ගල්වා සම්බාහනය කරන්න.
* පෝනිටේල් දැමීම සහ කොණ්ඩය බැඳීමට රබර් පටි පාවිච්චි කිරීමෙන් වළකින්න.හිසකෙස් හැලීම සහ හිස කෙස් ඇදීම වලක්වා ගැනීම සඳහා “ක්ලින්චර්ස්” කොණ්ඩ රඳවන (Crocodile Clips) භාවිතා කරන්න.
*ප්‍රෝටීන් අධික ආහාර, එළවළු සහ පලතුරු අනුභව කරන්න.මෙය හිස කෙස් වර්ධනය සඳහා අනුබල දෙයි.
* හිස පීරීම සඳහා පළල් දැති ඇති පනාවක් පාවිච්චි කිරීමෙන් කෙස් අග පැලීම වළක්වා ගත හැක.
*කොණ්ඩා වියලන සහ කොණ්ඩා දිග හරින උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න.
*ගර්භනීභාවයෙන් පසු හිස කෙස් යථා තත්වයට පත්වීමට යම් කාලයක් ගත වේ.හිස කෙස් තරමක් තුනීව සහ දීප්තියකින් තොරව තිබීම ගැන නොරිස්සුම් ගතියක් නොදක්වන්න.
*මනා කෙස් කලඹක් තබා ගැනීමට ඉහත සඳහන් උපදෙස් සමහරක් පිළිපැදීමට වග බලා ගන්න.

ළදරුවාගේ පළමු වසර තුල අත්‍යවශ්‍ය දේවල් මෙන්න

දරුවාගේ ජීවිතයේ පලමු වසර තුලදී නිතරම ඇඳුම් මාරු කිරීමේ අවශ්‍යතාවය මතු වේ. දරුවාගේ වර්ධන වේගය පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් ඉහල යාම හා නිරන්තරයෙන් මුත්‍රා, මලපහ පිට කිරීමේ සිදුවීම් ඇතිවීම මීට හේතුව ලෙස සඳහන් කල හැක. අද වෙලඳපොලේ තේරීම් ගණනාවක් යටතේ විවිධ විලාසිතාවන්ගෙන් පිරි සිඟිති ඇඳුම් ලබා ගත හැක. මේ නිසා බොහෝ මව්වරු තම සිඟිති දරුවාට ඇදුම් මිලදී ගැනීමට කැමත්තක් දක්වති. නමුත් දරුවා පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් වැඩෙන බැවින් මෙසේ තම සිත්ගත් සියලුම ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරු දෙයක් නොවේ.
පලමු වසර තුලදී, දරුවාට අවශ්‍ය කරන මූලික ඇඳුම් මොනවාද?
පෙර සඳහන් කල පරිදි , ඉපදී වසරක් පිරෙන කාලය තුලදී දරුවා සීඝ්‍ර වර්ධන වේගයක් පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට නිතරම වැඩෙන සිරුරට සරිලන ඇඳුම් ඇන්දවිය යුතු වේ. ඔබ බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි, එකම ප්‍රමාණයේ ඇඳුම් ගණනාවක් මිලදී ගැනීමෙන් වැලකී සිටින්න. කෙසේ වෙතත් අමතර ඇඳුම් වල අවශ්‍යතාවය නිතර පහල වුවත්, තරමක ලොකු ප්‍රමාණයෙන් යුතු ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරුය. තවද බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි එහි මෘදු බව, නිම වී ඇති රෙද්දේ තත්ත්වය (සැහැල්ලු කපු ඇඳුම් වඩාත් සුදුසුය.) පිලිබඳ ඔබ සැලකිලිමත් විය යුතු වේ.

අලුත උපන් දරුවාගේ සම ඉතා මෘදු බවින් යුක්ත වේ. මේ නිසා ඉපදී පලමු මාස කිහිපය තුලදී බිළිඳාට සැහැල්ලු, අලුත් හා පිරිසිදු රෙදිපිළි වලින් නිමවූ ඇඳුම් ඇන්දවිය යුතුය. ඉන්පසු කෙමෙන් කෙමෙන්, ඔබට මදක් පාවිච්චි කල, වෙනත් හිතවත් දරුවකුගේ ඇඳුම් භාවිතා කල හැක. පොලියෙස්ටර් වැනි සින්තටික් තන්තු වලින් නිපදවූ කෘතිම රෙදිපිලි වලින් නිමවූ ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. ඉලාස්ටික් පටි සහිත මේස් හා කලිසම් ඇන්දවීමේදි, එවා සිඟිති සිරුරට තද නොවන සේ ලිහිල් ලෙස තිබේ දැයි පරික්ෂා කරන්න.

නැපී රෙදි මිලදී ගැනීම මීලඟට කල යුතු ප්‍රධානම දෙයකි. පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි,දැන් වෙලඳ පොලේ වෙලඳ නාම ගණනාවක් යටතේ මිලදී ගත හැක. කාර්යබහුල ඔබට මෙය ඉතා සුදුසු විකල්පයක් වුවත්, මිලෙන් අධික විය හැක. මීට හොඳම ක්‍රමය, සැහැල්ලු තුනී රෙදිපිළි වලින් නිපදවූ නැපී රෙදි භාවිතා කිරීමයි. අලුත උපන් බිළිඳාට දිනකට අඩුම තරමේ නැපී රෙදි තිහක් පමන අවශ්‍ය වේ. හදිසි අවස්ථාවකදි අමතර නැපී රෙදි නිවසේ නිතරම තිබේ දැයි වග බලා ගන්න. මේ සමඟම නැපී කටු, නැපී ලයිනර්, වතුරට ඔරොත්තු දෙන කලිසම් මිලදී ගන්න. ජීවානුහරණය කල පිරිසිදුකාරක හා පියරු කුඩු ලබා ගැනීමද අනිවාර්ය වේ.
බිළිඳාට මිලදී ගත යුතු රෙදිපිලි සහ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය දේ සහිත ලැයිස්තුවක් පහත දැක්වේ.
රෙදිපිළි.
රාත්‍රි ඇඳුම් කට්ටල 5ක්.
වෙස්ට් 5ක්.
බිළිඳු පාවහන් (baby booties) හෝ කපු රෙදි වලින් නිමවූ මේස් කුට්ටම් 4ක්.
බිබ් පහක්.
ගෙත්තම් හිස්වස්නයක්. (baby bonnet)
මෘදු බ්ලැන්කෙට්ටුවක් හෝ සළුවක්.
ස්වෙටරයක්, සීතලට අන්දවන වූල් රෙද්දෙන් නිමවූ කාඩිගන් කෝට් එකක්.
ළදරු ඩයපර් ඇතුලු අනෙකුත් දෑ.
පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි.
කපු රෙදි රෝලක්.
බිළිඳු ක්‍රීම්.
පැම්පස් නිසා සමෙහි ඇතිවන උෂ්ණ පලු සඳහා ක්‍රීම්, එඬරු තෙල්, සින්ක් හෝ වැස්ලීන්.
නෑවිම සඳා අවශ්‍ය කරන දෑ.
ස්පන්චියක්.
මුහුන පිසීම සඳහා සැහැල්ලු තුවා.
දිව පිරිසිදු කරන උපකරණයක්.
බිළිඳු දත් බුරුසු තුනක්.
මෘදු කෙඳි සහිත කෙස් බුරුසුවක්.
බිළිඳු නියපොතු කපන කතුරක්.
ඉහත ලැයිස්තුව සම්පූර්ණ කර ගත හොත්, දෙමාපියන්ට කිසිදු බාධාවකින් තොරව තම බිළිඳාගේ ප්‍රසූතිය සඳහා සූදානම් විය හැක.

ඔබේ දරුවාට දඬුවම් ලබා දීමට පෙර මේ ගැනත් මදක් සිතන්න

දරුවන් දෙමාපියන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරන්නේ ඔවුන් තුල නිසඟයෙන්ම පවතින මුරණ්ඩු භාවය හා නොසැලකිලිමත් හැසිරීම් රටා හේතුවෙනි. ඔවුන් කුමන අයුරකින් හැසිරුනත්, දෙමාපියන්ගේ පිළිවෙත් කෙරෙහි සැලකිලිමත් වෙයි. මීට කදිම උදාහරණයක් ලෙස, දෙමාපියකු තම දරුවාට තමාගේ ක්‍රියාවන්හි වගකීම භාර ගැනීමට පෙලඹවීම හා එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් වන ලෙස පැවසීම හෝ දරුවා දැනුවත්වම දෙමාපිය අවවාද නොසලකා හරින අවස්ථා දැක්විය හැක.

දරුවාට ඉගැන්වීමේදි, ඔබගේ උපාය මාර්ග හා ක්‍රමවේද අසාර්ථක වේ නම්, පාරම්පරික ක්‍රමවේද වෙත පිවිසිය යුතු වේ. සමහර විට දරුවාට දඬුවම් ලබා දෙනුයේ ප්‍රතිවිපාක වෙනුවට ඔහු\ඇයව හික්මවීම සඳහා දැඩි බවින් පසුවීම සඳහා විය හැකිය.

උදාහරණයක් ලෙස, දොලොස් වියැති දරුවකු ඔහු ප්‍රමාද වී නිවසට පැමිණෙන බව දැන්වීමට අසමත් වුවහොත්, වසර කිහිපයකට පමණ ඉහතදී, දෙමාපියන් ඔහුට දඬුවම් කලේ ඔහු සතු දුරකතනය ඉවත් කිරීමෙනි. දරුවා මෙසේ දුරකතනය තමාගෙන් ලබා ගැනීම සම්බධයෙන් තැකීමක් නොකරන මොහොත දක්වා මෙම ක්‍රමය අසාර්ථක වන තෙක් දෙමාපියෝ දිගින් දිගටම මෙසේ දඬුවම් ලබා දුන්නෝය. දරුවා නොසැලකිලිමත්ව හැසිරුනොත් පමණක් මෙසේ ඔහුට දුරකතනය නොලැබ යන බව පමණක් මෙම දඬුවම් ක්‍රමයෙන් දරුවාට ඉගැන්වෙන අතර, එමඟින් ඔහුට වගකීමකින් කටයුතු කිරීමට කිසිදු පෙලඹවීමක් නොලැබේ. දෙමාපියන්ගේ පරම අරමුණ විය යුත්තේ දරුවාට දැනුම් තේරුමක් සහිතව වගකීමකින් කටයුතු කරන ලෙස ඉගැන්වීමයි.

ඉහත සඳහන් සිද්ධියට අපි ප්‍රතිවිපාක ක්‍රමය යොදා ගමු. තම දරුවා නිවසට පැමිණීම ප්‍රමාද වෙන සෑම අවස්ථාවකම ඔහු තම දෙමාපියන්ට ඒ බව දැනුම් දිය යුතු වන්නේ නම්, දෙමාපියකු ලෙස ඔබට ඔහුට එය යම් හෙයකින් අමතක වූයේ නම් මිතුරන් සමඟ ඔහුට රැඳි සිටිය හැක්කේ පැයක කාලයක් පමණක් බව පැවසිය හැකිය. එම කාලය අතරතුර ඔහු තම දෙමාපියන්ට දුරකතන ඇමතුමක් ලබා දිය යුතු වේ. මෙම ක්‍රමය තුලින් දරුවා තමා තනිව මිතුරන් සමඟ නිවසින් පිටතට යාම වගකිමක් දැරිය යුතු කාර්යයක් (එනම් ප්‍රමාද වන බව දෙමාපියන්ට දැනුම් දීම) බව අවබෝධ කර ගනී. ඔහු/ඇය සාර්ථකව වගකීම ඉටු කලේ නම්, දෙමාපියන් වශයෙන් ඔබ දරුවාට තව වැඩි කාලයක් මිතුරන් සමඟ ගත කිරීමට ඉඩ සැලැස්විය යුතුය. දරුවා සම්බන්ධ සියලුම දේ ඔබට පාලනය කල නොහැකි බව මතක තබා ගත යුතු කරුණකි. අවසානයේදි, කෙනෙකුගේ හැසිරීම ඔවුන්ගේ තීරණය මත පදනම් වේ.
පහත දැක්වෙන්නේ මනා ප්‍රතිවිපාක ක්‍රමයක් සඳහා අනුගමනය කල හැකි උපදෙස් කිහිපයකි.
ප්‍රතිවිපාක ක්‍රමය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ලබා දෙන්න.
දරුවා නොමනා ලෙස හැසිරුනේ නම් දෙමාපියකු ලෙස ඔබ කලබලයෙන් ප්‍රතිචාර නොදැක්විය යුතුය. දරුවාට මින් ඉදිරියට වගකීමකින් කටයුතු කල යුතු බව ඉගැන්වෙන ප්‍රතිවිපාකය පිලිබඳ මැනවින් සොයා බලා, යෝග්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක කල හැක.

ස්ථාවර වන්න.
ඔබ ප්‍රතිවිපාක ක්‍රමය ක්‍රියාත්මක කල පසු දරුවාගේ හැසිරීම එසැණින් වෙනස් නොවන බව මතක තබා ගත යුතුය. මෙය සාමාන්‍ය සිදුවීමකි. අවස්ථාවට අනුකූලව දෙමාපියන් මෙම ප්‍රතිවිපාක ක්‍රමය විධිමත් ලෙස අනුගමය කල යුතු වේ.

ප්‍රායෝගික වන්න.
ප්‍රතිවිපාක ප්‍රායෝගික දැයි සොයා බැලීම මනාය. එනම් එය සාර්ථකව සිදු කල හැකිද යන්න සලකා බැලිය යුතු වේ. දරුවා මෙම ප්‍රතිවිපාක වලට එක් එක් අයුරින් ප්‍රතිචාර දැක්විය හැකි අතර දෙමාපියන් ඊට සූදානම් ව සිටිය යුතු වේ.
දරුවකු ඉගෙන ගන්නා දේ කුමක්ද යන්න හෝ ඔහු/ඇය හැසිරෙන ආකාරය සම්බන්ධ සියලුම දේ තමන්ට පාලනය කල නොහැකි බව දෙමාපියන් තේරුම් ගත යුතු වේ. ඔවුන්ට කල හැක්කේ, තම දරුවන්ට නිසි ආදර්ශයක් වන ලෙස හා මාර්ගෝපදේශ ලබා දෙන වැඩිහිටියන් ලෙස කටයුතු කිරීමයි.

දරුවන්ගේ පෞර්ෂ වර්ධනය කෙරේ අම්මලාට වටිනා උපදෙස් 7ක්

ළඳරුවන් හා කුඩා දරුවන් තුල සමාජශීලි සම්බන්ධතාවන් ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ට නිර්භයව, කිසිදු අපහසුතාවයකින් තොරව, සුරක්ෂිත බවකින් යුක්තව ලොව ගවේෂණය කිරීමටත්,තමා අවට සිටින අනෙකුත් පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමටත් හැකියාව ලැබේ. මෙමඟින් පුද්ගලයින් අතර අන්තර් සම්බන්ධතා දියුණු කිරීමටත්, ධනාත්මකව හැඟීම් වර්ධනය කරගනිමින් වැඩිහිටියන් ලෙස අභියෝග ජය ගැනීමටත් මඟ පාදනු ලැබේ.
මෙහි අන්තර්ගත කරුණු කියවා දෙමාපියන් ලෙස ඔබට දරුවන් තුල යහපත් සමාජශීලි ගුණාංග වර්ධනය කරන්නේ කෙසේද යන්න දැන ගන්න.
දරුවන්ගේ පෞර්ෂ්‍යත්වය ඔහු/ඇය කලලයේ සිටියදීම වර්ධනය වීමට පටන් ගන්නා බව අතීත මුතුන් මිත්තන්ගේ මතයයි. කලලයේ වැඩෙන දරුවා මවගේ කටහඬට සවන් දීමෙන් ඇයගේ ඒ ශබ්දය අනෙකුත් පුද්ගලයින්ට වඩා විශේෂ බව හඳුනා ගනියි. ළඳරුවා නිදා ගැනීමට ගත කරන කාලය හා ඔහුගේ/ඇයගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන්, දෙමාපියන්ට තම දරුවාගේ අනාගත චිත්ත ස්වභාවය හා සමාජශීලි හැසිරීම් පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. අලුත උපන් බිළිඳාට මිනිසුන්ගේ හා විවිධ ස්ථාන වල හෝ අවට ඇති දේවල් වල පින්තූර පෙන්වූ විට, ඇය/ඔහු එසැණින්ම වෙනාතකට අවධානය යොමු කරයි. ළඳරුවාගේ ඇස් පෙනීම උපන් අවස්ථාවේදි බොඳ සහිත වීම මීට හේතුව ලෙස ගෙන දැක්විය හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඇයට/ඔහුට මුහුණේ සැකිල්ල පමණක් හඳුනා ගත හැකිවේ. නමුත් පසුව බිළිඳා මුහුණේ ස්වරූපය සියුම් ලෙස පරික්ෂා කිරීමට පටන් ගනියි. ඉපදී ගතවන පලමු වසරේදි, ළඳරුවන් තමන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට පුහුණු වෙයි. පසු කාලයේදි ඔවුන් අනෙකුත් අයගේ මුහුණේ ඉරියව් වෙනස් කොට හඳුනා ගැනීමට තැත් කරන අතර තමන්ගේ හැඟීම් අත්හදා බලන්නටද පුරුදු වෙයි.
දරුවන් (සම වයසේ අනෙකුත් දරුවන් සමඟ සෙල්ලම් කල නොහැකි කුඩා වයසේ පසුවන) වැඩිමහල් අනෙකුත් දරුවන් සෙල්ලමේ යෙදෙන අවස්ථාවන් මුහුණේ සිනාවක් සමඟ නිරීක්ෂණය කරනවා ඔබ දැක තිබේද? එම කුඩා දරුවන් මෙසේ අවට දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නේ ඔවුන්ටත් එම දරුවන් සමඟ සම්බන්ධ වීමට ඇති අවශ්‍යතාවය හේතුවෙනි. මෙම වයසේ පසුවන දරුවන් තම සෙල්ලම් බඩුව වෙන කෙනෙකු උදුරාගත් විට හඬා වැලපෙන්නේ නැත. මන්ද ඔවුන් වඩාත් උනන්දුව දක්වන්නේ මුහුණේ ඉරියව් හා එම සෙල්ලම් බඩුව සමඟ සෙල්ලම් කරන වැඩිමහල් දරුවාගේ හැසිරීම් රටාව කෙරෙහිය. එමනිසා, දරුවාට නිසි ලෙස කතා කිරීමටත්, ඇවිදීමටත් නොහැකි වූවත්, ඔහු/ඇය අවට පුද්ගලයින්ගේ හැසිරීම් මනා ලෙස අධ්‍යයනය කරයි.
බොහෝ දෙමාපියන් හට නිසැඟයෙන්ම තම දරුවන් තුල සමාජශීලි හැකියාවන් වර්ධනය කරන ආකාරය පිළිබඳ දැනුමක් පවතියි. ඔබගේ දරුවා සමාජයත් සමඟ සම්බන්ධ වීමේදි ඔහුට/ඇයට සුරක්ෂිත බවක් දැනීම සඳහා සමාජශීලි ගුණාංග වර්ධනය කිරීම යටතේ ඇති පහත සඳහන් උපදෙස් කියවන්න.

අනෙකුත් අයට දරුවාව වඩා ගැනීමට ඉඩ දෙන්න.
දරුවා මවගෙන් ඈත් වන සෑමට විටම හඬා වැලපෙන්නේද? බොහෝ දෙමාපියන් නව මුහුණු කෙරෙහි තම දරුවාව හුරු කරවීමේ අරමුණින් අනෙකුත් වැඩිහිටියන්හට ඔහුව/ඇයව වඩා ගැනීමට ඉඩ ලබා දේ. (දරුවා මීට කෙතරම් විරුද්ධ වූවත්) මෙය එතරම් හොඳ විසඳුමක් නොවේ, මන්ද මේ තුලින් දරුවාගේ අනාරක්ෂිත හැඟීම් තීව්‍ර විය හැකි බැවිනි. මීට හොඳම විකල්පය වනුයේ තම දරුවා නව මුහුණු කෙරෙහි හුරු වන තෙක් ඔහුව/ඇයව අතින් වඩා ගෙන සිටීමයි. දරුවා ඊට විරෝධය පෑවත්, දිගින් දිගටම දරුවාව එසේ අල්ලාගෙන නලවන්න. මෙය නොනවත්වාම පවතින්නේ නම්, වෙනත් වැඩිහිටියෙකුට දරුවාව වඩා ගන්නට දී, දෙමාපියකු විසින් ඔහුව/ඇයව නැලවිය යුතු වේ. තමාව වෙනත් කෙනෙකු වඩා ගෙන සිටියත්, තම මව හෝ පියා ඔහුගෙන්/ඇයගෙන් වෙන් නොවන බව මේ තුලින් දරුවාට අවබෝධ වෙයි. දරුවාව අවට පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට හුරු කරවීම යහපත් ය. කුඩා දරුවන් සාමාන්‍යයෙන් තම ආච්චි හෝ සීයාගේ අවධානය දිනා ගනියි.
හැංගි මුත්තම් (peek-a-boo) සෙල්ලමේ යෙදෙන්න.
දරුවකු උපදින අවස්ථාවේ සිට ඔහු/ඇය තම මව සමඟ සමිප බන්ධනයක් ඇති කර ගනියි. අලුත උපන් දරුවාගේ දෘෂ්ටිය බොඳ වූවත් ඔහු\ඇය තම මවගේ මුහුණ හඳුනා ගනියි. බිළිඳාට අනාරක්ෂිත බවක්, බියට පත්වන අවස්ථාවක් හෝ අපහසුතාවක් දැනෙන සෑමට විටකදීම ඔහු/ඇය තම මව සොයන්නට පටන් ගනියි. කෙසේ නමුත් දරුවාට ස්ව ශක්තියෙන්ම මෙම අවස්ථාවන්ට මුහුණ දෙන්නට ඉගැන්වූයේ නැත්නම් මෙම තත්ත්වය අයහපත් හැසිරීම් රටාවක් බවට පත් විය හැක. ඔබ දරුවා සමඟ හැංගි මුත්තම් සෙල්ලමේ යෙදීමෙන් මව අතුරුදන් වූවත් සැණෙකින් නැවත පැමිණෙන බව දරුවාට හැඟෙන්නට සැලැස්විය හැක. මව මොහොතකට අතුරුදහන් වූ පසු කෙඳිරි ගාන දරුවා නැවත ඇයගේ මුහුණ දැක හඬ නඟා සතුටෙන් සිනා සීමට පටන් ගනියි. තවද මෙම ක්‍රියාකාරකම දරුවාට ද්‍රව්‍යයන්ගේ නිත්‍යවාසය පිළිබඳ උගන්වයි. පසු කාලයේදි සමාජයත් සමඟ ගැටෙන දරුවාව වෙන්වීමේ ආතතියෙන් මුදවා ගැනීමට මෙය රුකුලක් ලබා දේ.

දරුවාව බිමින් තබන්න.
තම දරුවාගේ කෙඳිරි ගෑමෙන් වැලකීම සඳහා දෙමාපියන් නිතරම ඔහුව\ඇයව වඩා ගෙන සිටීමට පුරුදු වී සිටීයි. මෙය එතරම් හොඳ පුරුද්දක් නොවේ. ඔබ දරුවාව බිමින් තැබූ සැණින් ඔහු\ඇය හඬන්නට පටන් ගන්නේ නම් ළමයාව ඇඳ මත තබා ඔබත් ඒ අසළම සිටින්න. දරුවාට ඔහු/ඇය කැමති සෙල්ලම් බඩු යනාදිය ලබා දී අවධානය වෙනාතකට යොමු කරන්න. ඉන්පසු කෙමෙන් කෙමෙන් දරුවාගෙන් ඈත් වන්න, දරුවා තම සෙල්ලම් බඩු සමඟ කාර්යබහුල වූ සැණින් ඔහු\ඇය තම මව හෝ පියා තමා ලඟ නැති බව අමතක කරනු ලැබේ. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවා, තමා දෙමාපියන් අසළට වී සිටිමට වඩා තනියෙන් කෙලි සෙල්ලමේ යෙදීම විනෝද බව තේරුම් ගනියි.

දරුවා හඬන විට ඔහුව/ඇයව සනසා, නලවන්න.
දරුවෙකු හඬන විට ඔහුව\ඇයව වඩා ගැනීම සම්බන්ධයෙන් සංවර්ධන මනෝ විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත ඇත. නමුත් බොහෝ මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් හඬන විට ඊට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වේ. සමහර මව්වරුන් තම දරුවාට යම් මොහොතකට හඬන්නට ඉඩ දී පසුව ගොස් ඔහුව\ඇයව වඩා ගනියි. මෙම ක්‍රමය පිළිගත් උපදෙස් වලට පටහැනිය. දරුවා පාරේ ඝෝෂාකාරි ලෙස හඬා වැලපීම වැලැක්වීම පිණිස දෙමාපියන් ලෙස ඔබ තම දරුවාව වඩා ගත යුත්තේ කුමන අවස්ථාවලද යන්න තේරුම් ගත යුතු වේ. බොහෝ දරුවන් බියට හා කාංසාවට පත් වූ විට හඬන නමුත් සමහර දරුවන් අවධානය ලබා ගැනීම සඳහාද හඬා වැලපේ.

දෛනික දින චර්යාවන්ට දරුවාව හුරු කරවන්න.
දෛනික දින චර්යාවකට හුරු වී සිටින දරුවා මීලඟට සිදු වන්නේ කුමක්ද කියා අවබෝධයකින් පසුවේ. මේ තුලින් දරුවාට ස්වයං පාලනයකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමට හැකියාව ලැබේ. ආත්ම විශ්වාසයකින් යුක්ත දරුවා තමා අවට පරිසරයේ මුණ ගැසෙන පුදගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට නොපැකිලේ. දෙමාපියන් හැකි තරමින් එකම වේලාවකට, දරුවාට කැවීමට, පැම්පස් මාරු කිරීමට හා නිවසින් පිටතට රැගෙන යාමට පුරුදු කරවීම නුවණට හුරුය.

ඔබේ දරුවා අනිත් දරුවන්ට හඳුන්වා දෙන්න.
කුඩා දරුවන් අනෙකුත් දරුවන් සමඟ කාලය ගත කරන්නට කැමැත්තක් දක්වති. එම නිසා අවස්ථාවක් ලැබූ විට සම වයසේ අනෙකුත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් හමුවීමට උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් ඔවුන්ට තම වයසේ පසුවන දරුවන් සමඟ ගැවසීමේදි කිසිදු අපහසුතාවක් නොදැනේ. මෙසේ ඔබ දරුවන්ව මුණගැස්වීමේදි ඔවුන්ගේ දෙමාපියන්වත් හමුවන්නට සලස්වන්න. ඔබගේ ළමයාට, අන් අය සමඟ බෙදා හදා ගැනීම, කාරුණික වීම සහ උදුරා ගන්නවා වෙනුවට එකිනෙකාගෙන් සෙල්ලම් බඩු ඉල්ලිම වැනි හැසිරීම් ප්‍රගුණ කිරීමට මෙම අවස්ථාව යොදා ගත හැක. සමාජශීලි හමුවේ තවත් වාසියක් වන්නේ දරුවන්ට තමන්ගේ හැසිරීම්වල ප්‍රතිවිපාක ගැන ඉගැන්වීමට හැකිවීමයි. උදාහරණයක් හැටියට, සුරේෂ්, රමේෂ් ගෙන් සෙල්ලම් බඩුව උදුරා ගත් විට, සුරේෂ් ගේ මවට ඇයගේ දරුවාට මෙසේ පැවසිය හැක. “බලන්න සුරේෂ්, ඔයා රමේෂ් ගේ සෙල්ලම් බඩුව උදුර ගත්ත නිසා එයා දුකින් ඉන්නෙ. අපි මොකක් හරි ඉල්ලනකොට අහල ගන්න ඕනේ, හරිද සුරේෂ්. දැන් එයාට සොරි කියල දෙන්නම සෙල්ලම් කරන්න.” මෙවැනි සිදුවීම් නිතර ඇතිවිය හැකි අතර, ළමයා වැඩෙත්ම, එය ඔවුන්ට අනෙකුත් අයගේ හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වේ.

බිළිඳන්ගේ කතා.
බිළිඳන්ට නිතරම කතා බහ කිරීමන් ඔබට ඔවුන්ගේ කථන හැකියාව වර්ධනය කල හැක. බොහෝ දෙමාපියෝ තම දරුවන් සමඟ මෙය සාමාන්‍යයෙන් සිදු කරති. උදාහරණයක් ලෙස දරුවකු සිනා සෙන විට මව හෝ පියා ආදයෙන් “මං ඔයාට ආදරෙයි පැටියෝ හෝ ඔයා හරිම හුරතල් බබෝ” යනුවෙන් ප්‍රතිචාර දක්වති.

මෙවැනි හැසිරීම් දරුවාගේ භාෂා හා සන්නිවේදන හැකියාව වැඩි දියුණු කරයි. කුඩා දරුවෝ පුද්ගලයින්ගේ මුහුණු හොඳින් නිරීක්ෂණය කරති. ඔවුන් නාඳුනන පුද්ගලයින් සමඟ පවා සිනාසෙන්නේ ඒ නිසාවෙනි. නමුත් මාස හතෙන් පසු, නාඳුනන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට දරුවා මැලි කමක් දක්වයි. තමා දෙමාපියන් සමඟ වඩාත් සමීප බව කුඩා දරුවාට හැඟී යයි. දරුවාට කායික, මානසික හා සමාජයීය වශයෙන් පෝෂණය වීමට ඉඩ සලසන පරිසරයක, ඔහුට/ඇයට සුරක්ෂිතව හා ආත්ම විශ්වාසයකින් යුතුව වැඩෙන්නට අවස්ථාව ලැබේ. අනාගතයේදි යහපත්, ධනාත්මක සමාජශීලි සම්බන්ධතා ගොඩ නැගීමට මෙය මහත් රුකුලක් වේ.

නිතර නිතර දරුවන්ට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මග අරින්නේ මෙහෙමයි

වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට ඇත්තේ ඉතා දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියකි. මේ හේතුවෙන් කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය. සෙම්ප්‍රතිශ්‍යාව වැනි නිතර වැලඳෙන රෝග වලට එරෙහිව සටන් වැදීමේ ශක්තිය දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව මත තීරණය වේ. ඉපදී හය මාසයක් තෙක් ගතවන කාලය තුලදී දරුවාට තම මවගෙන් හා මව්කිරි වල ඇති ප්‍රතිදේහ වලින් පූර්ණ ආරක්ෂාව ලැබේ. හය මසකට පසු, මෙම ප්‍රතිදේහවල කාර්යක්ෂමතාව හීන වන අතර දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇතිවේ. නමුත් මෙම තත්ත්වය පවතින්නේ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවන තුරු පමණි.
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරසය ශරීර ගත වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවයි. සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ අවම කිරීම පිණිස මෙම ප්‍රතිදේහ ශරීරයේ වෛරස් අංශු ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියාත්මක වේ. තවද මෙම ප්‍රතිදේහ සෙම්ප්‍රතිශ්‍යා වෛරස වලට එරෙහිව කල් පවතින ආරක්ෂාවක් ලබා දේ. සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරක වෛරස ගණනාවක් පවතින හෙයින් දරුවාට බහු විධ අයුරින් මෙම වෛරස් ශරීර ගත වීමේ අවදානමක් පවතියි. පවතින ප්‍රතිදේහ , වෛරස් වලට අනුගත නොවන්නේ නම්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය මීට එරෙහිව සටන් වැදීමට නව ප්‍රතිදේහ උපදවයි.
දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කෙතරම් කාර්යක්ෂම වූවත් , හේමන්ත කාලයේ හෝ මෝසම් කාලයේදි ඕනෑම පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් පවතියි. සීතල කාලගුණය, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරකයක් නොවේ. මෙවැනි කාලගුණික තත්ත්වයක් තුල වෛරස වර්ධනය වන හෙයින්, ඔබට සීත ඍතුවේ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ අවදානම තීව්‍ර වේ. සුළං වල වායු ඝනත්වය අඩු බැවින් මිනිසුන් එලිමහනේ වැඩි කාලයක් ගත කිරීමට කැමැත්තක් දක්වයි. එකිනෙකා සමඟ මෙසේ සමාජශීලිව කටයුතු කරන විටදී, වෛරස් උණ වැලඳීමේ හැකියාවක් ඇත. නාස් වල රුධිර නාල , සීත කාලයේදි හැකිලෙන අතර මෙය නාස් ආරක්ෂිත පද්ධතියට ඍජු ලෙස බලපායි. මෙහි තවත් අහිතර ප්‍රතිඵලයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පහසුවෙන් ශරීර ගත වේ. වෛරසය වර්ධනය වීමත් සමඟ ඔබේ ශරීරයෙන් කැස්ස, සොටු දියර යාම, නාසු පුඩු අවහිර වීම වැනි රෝග ලක්ෂණ මතු වේ.
සෑම දරුවෙකුම, බිළිඳෙකුම එකිනෙකාට වෙනස් වේ. මේ නිසා ඔවුන් මෙම සෙම්ප්‍රතිශ්‍යා වෛරස් වලට ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ ශරීරයට ආවේණික ආකාරයකට ය. නිතරම හෙම්බිරිස්සාව වැලඳෙන කුඩා දරුවන් තුල දැකිය හැකි සාමාන්‍ය ජීවන ගති පැවතුම් පහත සඳහන් වේ.
මව විසින් මව් කිරි ලබා දී නැත.
බිළිඳාට ඉපදී පලමු මාස 4දී ලබා දෙන මව් කිරි වල දරුවාගේ ප්‍රතිශක්තීකරණයට වැදගත් ප්‍රතිදේහ අඩංගු වේ. මව් කිරි සමඟ බිළිඳාට පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ලබා දීමෙන් , ඔහුව/ඇයව මෙම වෛරස් රෝග වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැක.

අක්‍රීය දුම්පානය
දුම් පානයට ඇබ්බැහි වූ දෙමාපියන් සිටින, අක්‍රීය දුම්පානයට ගොදුරු වූ දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් ඇත.

එකිනෙකා සමඟ සමීප සමාජශීලි සම්බන්ධතා පැවැත්වීම.
ළමා උද්‍යාන, දිවා සුරැකුම් මද්‍යස්ථාන හා පොදු ස්ථාන වැනි සමාජය සමඟ නිතර ගැවසෙන දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ දැඩි ප්‍රවණතාවයක් ඇත. හෙම්බිරිස්සාව වැලඳුනු තවත් දරුවෙකු ආශ්‍රය කරන විටකදී හෝ පවුලේ සහෝදරයින්.සහෝදරියන් සමඟ සෙල්ලම් කිරීමේදි මෙම වෛරසය පහසුවෙන් ශරීර ගත විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම වලක්වා ගන්නේ කෙසේද?
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට බොහෝ වෛරස් බලපාන හෙයින් දරුවාට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් ඵලක් නොවේ. කෙසේ නමුත්, දෙමාපියන් වශයෙන් ඔබට දරුවාව සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැකි අතර ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පහත දැක්වේ.

මව් කිරි ලබා දීම.
දරුවා ඉපදී ගතවන පලමු මාස හතර තුලදී මව් කිරි පෙවීම, දරුවාට උපරිම ආරක්ෂාව ලබා දෙයි. මවගෙන් දරුවාට ප්‍රතිදේහ පමණක් නොව මනා පෝෂ්‍ය ගුණයක් ද මේ තුලින් ලැබේ.

නිතරම අත් සේදීම.
සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගත වීම වලක්වා ගැනීමේ පහසුම මෙන්ම ඉතා යෝග්‍යම ක්‍රමය ලෙස මෙය හැඳින්විය හැක. පවුලේ සෑම දෙනාම ක්‍රමවත් ලෙස අත් සෝදනවා ද යන්න සොයා බැලීම මනාය. දරුවාව ඇල්ලීමට පෙර අත් සෝදා තිබීම අනිවාර්ය වේ. පුද්ගලයෙකු කහින, කිවිසුම් අරින හෝ ඕනෑම මතුපිටක් අල්ලන සෑම අවස්ථාවකට පසුවම අත් සෝදා දරුවාව ස්පර්ෂ කිරීමට අමතක නොකරන්න.

දරුවා අවට ඇති දේවල් කටේ දැමීමෙන් ආරක්ෂා කරගන්න.
මෙම සෙල්ලම් බඩු, නිවසේ ඇති උපකරණ ආදිය බැක්ටීරියා හෝ වෛරස වලින් සමන්විත විය හැකිය. අවුරුදු තුන පිරෙන දරුවා ඉතා උද්‍යෝගයකින් පසුවන අතර ඔහු\ඇය අවට ඇති දේවල් කටේ දමා ගැනීමට තැත් කරයි. මෙයින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස ශරීර ගත විමේ ප්‍රවණතාවය වැඩි වේ. දෙමාපියන් ලෙස ඔබට දරුවාගේ සෙල්ලම් බඩු නිතරම සේදීම, කාමරය පිරිසිදුව තබා ගැනීම වැනි ක්‍රම මඟින් දරුවාට හිතකර, සෞඛ්‍යමත් පරිසරයක් නිර්මාණය කල හැක. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු අනෙකුත් දරුවන් සමඟ ඔබේ දරුවාව සෙල්ලම් කරවීමට සැලස්විමෙන් වලකින්න.

ලෙඩ රෝග වලින් පීඩා විඳින උදවිය හා සෙනග ඇති ස්ථාන මඟ හරින්න.
විශාල ජන සමූහයක හෝ ලෙඩුන් අතර ගැවසෙන දරුවාට පහසුවෙන් වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇත. සාමාන්‍යයෙන් දරුවා ඉපදී පලමු කාර්තුව තුල, මිනිසුන් බහුල ස්ථාන මඟ හැරීම නුවණට හුරුය. නෑ හිතවතුන් වෛරස් රෝග වලින් පීඩා විඳින්නේ නම්, දෙමාපියන් වන ඔබට ඔවුන්ට කාරුණිකව නිවසට නොඑන ලෙස පැවසිය හැක. එසේම බිළිඳා බැලීමට නිවසට පැමිණෙන පවුලේ හිතවතුන් හට දරුවාව ස්පර්ෂ කිරීමට පෙර අත් සේදීමට පොලඹවන්න.

බොහෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මාස 12 ට වඩා අඩු වයසින් යුත් දරුවන්ගෙන් සමන්විත වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔබේ දරුවාට පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිය හැක. එම නිසා ඔබට අත්‍යාවශ්‍ය නම් පමණක් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත පිවිසෙන්න. හිතවතෙකු හෝ මිතුරෙකුගේ රැකවරණය මත දරුවාව නිවෙසේම රැක බලා ගැනීම යෝග්‍ය වේ. ඔබට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පහල වුවහොත් එහි සෞඛ්‍යාරක්ෂිතභාවය හා සේවකයින්ගේ පවිත්‍රතාවය පිළිබඳ පරික්ෂාකාරි වන්න. දරුවාට ඔහුගේම/ඇයගේම හැඳි ගෑරප්පු, කෝප්ප හා තම නම සඳහන් ලේබල් අලවා ඇති උපකරණ යනාදිය තිබේ දැයි සැලකිලිමත් වන්න.

කහින විටදී හා කිවිසුම් අරින විට කට වසන්න.
කහින විටදී හා කිවිසුම් අරින විට කට වැසීමෙන් විෂබීජ අවට වාතයට එක්වීම හා පරිසරයේ මතුපිට මත පතිත වීම වැලකේ. හැකි පමණින්, ටිෂූ කටදාසියකට කහින්නට හෝ කිවිසුම් අරින්නට පුරුදු වන්න. නිවසේ සෑම දෙනාම මෙසේ කිරීමට පොළඹවන්න. කිවිසුම් අරින, කහින සෑම අවස්ථාවකට පසුවම හොඳින් සබන් දා අත් සේදීම අනිවාර්ය වේ.

ගර්භණී කාලයේ ආහාර රුචිය අඩුවීමට බලපාන හේතු පහක්

බොහෝ දෙනෙකු හට ගර්භණී භාවය දිස්වන්නේ, කාන්තාවක් දොල දුක සංසිඳුවා ගැනීම සඳහා ඇඹුල් ආහාර ඇතුලු අනං මනං අසාමාන්‍ය ලෙස භුක්ති විඳින දර්ශනයකි.
මෙය මිථ්‍යාවකි. ගර්භණී අවධියේ මුල් අවධියේ බොහෝ මව්වරු කෑම අරුචියෙන් පෙලෙති. ආහාර දිරවීමේ අපහසුතාවය මෙන්ම අරුචිය මෙම කාලයේදි සාමාන්‍යයෙන් දක්නට ලැබෙයි. කෙසේ නමුත් ඊට බලපාන හේතු සොයා බලා මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට කටයුතු කල යුතුය. මන්ද, මවකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණයෙන් ලැබිය යුතු හෙයිනි.
පහත දැක්වෙන්නේ ගර්භණී අවධියේ මුල් අවධියේ, මවකට දැනෙන ආහාර අරුචිය සඳහා සමාන්‍යයෙන් බලපාන හේතු කාරක පහකි.

උදෑසන වමනය යාම. (උදා ආබාධය )
ගර්භණී සමයේ පළමු කාර්තුව තුල මෙය සාමාන්‍ය සංසිද්ධියකි. දරුවකු කුස තුල දරා ගැනීම සඳහා ශරීරය ඒ අනුව හැඩ ගැස්වීමේදි හෝමෝන වෙනස්වීම් ඇතිවේ. උදෑසන වමනය යාම හා ඔක්කාරය ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ තත්ත්වය මඟ හරිනු පිණිස සමහර මව්වරුන් කෑම කෑමෙන් වැලකී සිටීයි.

ඔක්කාරය
ගර්භණී අවධියේ පලමු සමයේ ඇතිවන ඔක්කාරය, මවගේ කෑමර අරුචිය සඳහා බලපායි. ඇමරිකානු ගර්භණීභාවය පිලිබඳ සමාගමට අනුව ගැබිනි මව්වරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔක්කාරය නිසා කෑමර අරුචියෙන් පෙලෙන බව සොයා ගෙන ඇත. පලමු කාර්තුවේ, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මන්දගාමි වන හෙයින් කෑම අරුචිය ඇතිවීමට ඉඩ ඇත.

ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල යාම.
ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල අගයක් ගැනීම, ආහාර ජීර්ණය කෙරෙහි බලපානු ලැබේ. ජලය උරාගැනීම ඉහල යාම මේ සඳහා හේතුකාරයක් වේ.

යකඩ මට්ටම ඉහල යාම.
වෛද්‍ය උපදෙස් මත බොහෝ ගැබිනි මව්වරුන් යකඩ පෙති ලබා ගනිති. නමුත් යකඩ මට්ටම ඉහල යාම, කෑම අරුචිය මෙන්ම මල බද්ධය ඇතිවීමට බලපානු ලැබේ.

ආඝ්‍රාණය කිරීමේ සංවේදනය තීව්‍ර වීම.
සමහර ගර්භණී මව්වරුන්ගේ ආඝ්‍රාණය කිරීමේ සංවේදනය මෙම කාලයේදි තීව්‍ර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සමහර ආහාර ඔවුන්ට අරුචියක් ගෙන දේ.
ගර්භණී මව්වරුන් සෑම දෙනෙකුටම ඉහත සඳහන් අවස්ථා වලට මුහුණු දීමට සිදු නොවන බව සැලකිය යුතු කරුණකි. තවද මෙම අත්දැකීම එකිනෙකාට වෙනස් අයුරින් දැනිය හැක. ඔබ නිතරම කෑම අරුචියෙන් පෙලෙන්නේ නම්, වෛද්‍ය උපදෙස් වෙත පිවිසිය යුතු වේ.

වෛද්‍යවරයා හමුවීමට යාමට ඔබේ දරුවාත් අකමැත්තක් දක්වයිද?

බොහෝ දරුවන් ඩොක්ටර් අංකල් කිවූ සැණින් තැති ගනී. මීට හේතුව විය හැක්කේ දොස්තර මුණ ගැසෙන සෑම අවස්ථාවක්ම ඔවුන්ට සිරින්ජරයකින් අතට හෝ කකුලට බෙහෙත් විදින දර්ශනයක් සිහිනවන නිසාය. දරුවාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා නිතරම දොස්තර හමුවීම වැදගත් වූවත්, දරුවා එම හේතූන් සමඟ එකඟ නොවේ. වෛද්‍යවරයා විසින් ලබා දෙන බෙහෙත් බෙති හා සිරප් වලට දරුවන් ප්‍රිය නොකිරීම , මෙම බියට තවත් හේතුවක් ලෙස දැක්විය හැක. දෙමාපියන් තම දරුවා පළමුව ළමා විශේෂඥයකු වෙත රැගෙන යන්නේ මෙම බිය පහ කිරීමේ අරමුණෙනි. මොවුන්, දරුවන් සමඟ ඉතා සුහදව මෙන්ම මනා අවබෝධයකින් කටයුතු කරයි. ළමා විශේෂඥයින්ගේ වෛද්‍ය මධ්‍යස්ථානය බොහෝ විට දරුවන්ගේ සිත් ඇදගන්නා ලෙස සෙල්ලම් බඩු යනාදියෙන් සරසා තිබිම ඔබට දැකිය හැකි වේ.
කෙසේ කිව්වත්, දරුවාට දොස්තර හමුවීම ආතතිය ගෙන දෙන අවස්ථාවකි. දෙමාපියන් වශයෙන් ඔබ මේ සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරය පහත සඳහන් කර ඇත.

දොස්තර වෙත ඔහුව/ඇයව රැගෙන යාමේ හේතුව පහදා දෙන්න.

අවංකව දරුවාට ඔහුව/ඇයව දොස්තර වෙත රැගෙන යාමේ හේතුව පහදා දෙන්න. ඒ වගේම, නොගියහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිලිබඳ ඔවුන්ව දැනුවත් කිරීමටත් අමතක නොකරන්න. දොස්තරගේ වැදගත්කම ගැන අවධාරණය කරන්න. දරුවා එහි යාමට මැලිකමක් දක්වන්නේ මන්ද යැයි සොයා බලා, එම බිය පහව යන ලෙස කටයුතු කරන්න. දෙමාපියන් ලෙස ඔබට ඩොක්ටර් සෙට් එකක් සෙල්ලම් බඩුවක් ලෙස දරුවාට ලබා දීමෙන් හා ඔහු/ඇය සමඟ සෙල්ලම් කිරීමෙන් මෙම ආතතිය අවම කර ගත හැක.

ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස හැසිරෙන්න.

දරුවාට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න. දරුවා රෝගියා ලෙසත් ඔබ වෛද්‍යවරයා ලෙසත් සිටින සේ ඔබ දෙපාර්ශවයටම මවා පෑමේ මුණගැසීමක් රඟ දැක්විය හැක. මේ සඳහා ඔබට සෙල්ලම් බෙහෙත් විදින සිරින්ජර, ප්ලාස්ටික් බෙහෙත් පෙති, රුධිර පීඩනය මනින යන්ත්‍රය, ප්‍රතිකියා පරීක්ෂකය වැනි දෑ යොදා ගත හැකිය.

දරුවාගේ සුරක්ෂිත භාවය කෙරෙහි අවධානය යොමු කරන්න.

දොස්තර හමුවීමේදි, ඔබ දරුවාව තමා අසළම ඉඳ ගැනීමට සලස්වන්න. ඔහුව /ඇයට ඔබගේ ඔඩොක්කුවේ තබා ගැනීමද යෝග්‍ය වේ. මෙයින් දරුවාට සුරක්ෂිත බවක් හැඟේ. දොස්තර දරුවාව පරික්ෂා කරන අතරතුර කතා බහේ යෙදෙන්න. තැති ගන්වන සුලු අවස්ථාවකදී, විහිලුවක් කර දරුවාගේ ආතතිය සමනය කරන්න. මේ ආකාරයට ඔබට දරුවාගේ මුවට සිනහවක් ගෙන දිය හැකි වේ.

දරුවාගේ ධෛර්‍යය අගය කරන්න.
දොස්තරව මුණ ගැසීමෙන් අනතුරුව, දරුවා ඊට නිර්භයව මුහුණ දීම පිලිබඳ අගය කරන්න. දෙමාපියන් ලෙස ඔබට දරුවාව සිප ගැනීමෙන් , බදා ගැනීමෙන් තමා ඔවුන්ගේ පොඩි වීරයා පිලිබඳ කෙතරම් ආඩම්බර වෙනවාද යන්න පෙන්නුම් කල හැක. තෑග්ගක් ලෙස දරුවා කැමති කිසියම් දෙයක් ලබා දෙන්න. නමුත් මෙය පුරුද්දක් කර නොගත යුතුය. මෙවැනි දේවල් දරුවාට හොඳ අත්දැකීමක් වේ.

කුඩා දරුවන් නිතරම කුතුහලයකින් පසුවෙයි. අලුත් දේවල් අත් හදා බැලීමටත් , අත් විඳින්නටත් ඔවුහු ස්වභායෙන්ම කැමැත්තක් දක්වති. කෙසේ නමුත් සමහර අවස්ථා ඔවුන්ව අපහසුතාවයටත් , ආතතියටත් පත් කරයි. වගකීමක් ඇති දෙමාපියන් ලෙස ඔබ මීට මැදිහත් වී, එය සමනය කිරීම සඳහා නිසි පියවර ගත යුතුය.