අධ්‍යාපනික මෘදුකාංග, ගුරුවරුන් හා පෙල පොත් වලට ආදේශකයක් වේද?

කලකට ඉහතදී, පංති කාමරය තුලදී ගුරුවරයා විසින් ශිෂ්‍යයාට මූලික දැනුම ලබා දෙන ලදී. නමුත් කෙමෙන් කෙමෙන්, දැන් මෙම දැනුම සැපයීමේ කර්තව්‍යය සඳහා මෘදුකාංග (Apps) විශාල දායකත්වයක් සපයයි.

වර්තමානයේ දැනුම ලබා ගැනීමේ ප්‍රධාන මෙන්ම පහසු මූලාශ්‍රයක් බවට මෘදුකාංක පත්ව ඇත.
Instructure යන අධ්‍යාපන-තාක්ෂණ සමාගමේ ජුලියන් රිඩන් මහතාට අනුව, මෘදුකාංග, ශිෂ්‍යයින් ප්‍රමුඛ කරගත් ඉගෙනුම් ක්‍රමයකි. මෙහිදී, ගුරුවරයා ශිෂ්‍යයාගේ ස්වයං හැකියාවෙන් කල යුතු අභ්‍යාස සහ පැවරුම් පංතිය වෙත පවරනු ලැබේ.

ලොව පවතින නවීන තාක්ෂණයත් සමඟ යාවත් කාලීන වීමට, සෑම ගුරුවරයෙකුට කාලය මිඩංගු කල නොහැකිය. නමුත් මෘදුකාංගයක් යනු විශේෂ
කාර්යභාරයන් සඳහා නිර්මාණය කර ඇති සරල වැඩ සටහනකි. මෙය භාවිතා කිරීම ඉතා පහසු වන අතර ඕනෑම කෙනෙකුට තනියෙන් මේ සම්බන්ධව හැදෑරිය හැක.
Wanganui Park විද්‍යාලයේ චිත්‍ර හා මාධ්‍ය ගුරුවරයෙකු වන රික් කොනස් ට අනුව මෘදුකාංග යාවත් කාලීන වන අතර පාසල් අභ්‍යාස පොත් වල විෂයන්වල අන්තර්ගතයන් ස්ථාවරව පවතී. මෘදුකාංග දැනුමෙන් අනූන මූලාශ්‍රයක් වෙයි. මීට හේතුව ඒ මඟින් වීඩියෝ දර්ශන සහ අනෙකුත් වෙබ් අඩවි සඳහා මාර්ගෝපදේශයින් සැපයීමයි. තවද මෘදුකාංග, පාසල් අභ්‍යාස පොත් වලට සාපේක්ෂව මිලෙන් අඩු වේ. සමහර මෘදුකාංග වල අන්තර්ගතයන් යෝග්‍ය ලෙස යාවත් කාලීන කිරීම සඳහා ඔබේ සිතැඟි පරිදි ඒවා පාලනය කල හැක.

කොනස් මහතා නිතරම iTunesU හා Schoology වැනි අධ්‍යාපනික වෙබ් අඩවි වලින් තමාට අවශ්‍ය මෘදුකාංග තෝරා ගනියි. ඔහුගේ ශිෂ්‍යයින් තමන්ගේම පොත් සහ චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා iMovie හා iBook Author යන මෘදුකාංග යොදා ගනියි.

Apple ආයතනයේ නිෂ්පාදනයක් වන iTunesU ලෝක ව්‍යාප්ත අධ්‍යාපනික ආයතනයන් විසින් ලබා දෙන විෂය අන්තර්ගතයින් සහිත මෘදුකාංග රැසකට ප්‍රවේශය ලබා දේ. මෙම මෘදුකාංග සමහරක් මිලදී ගත යුතු වන අතර නොමිලේද ලබා ගත හැකි වේ.
Samsung සමාගම විසින් නිර්මාණය කරන ලද Learning Hub යනු අධ්‍යාපනික ආධාර සපයන තවත් අනර්ඝ මූලාශ්‍රයකි. ලොව පුරා ව්‍යාප්ත පිළිගත් පොත් ප්‍රකාශකයින්ගේ ඉගෙනුම් මාර්ගෝපදේශ, වැඩ පොත්, අච්චු පොත්, සහ විචිත්‍රාංගවලින් සමන්විත මූලාශ්‍ර වලින් මෙය සමන්විත වේ.

අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී වැඩ කරනවාට වඩා, ශිෂ්‍යයින් මෘදුකාංග භාවිතායෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීම කෝනර් මහතා අනුමත කරයි. ඔහුගේ මතයට අනුව මෙම ක්‍රමය මගින් ශිෂ්‍යයාගේ හැසිරිම් රටාව මනාව අධ්‍යයනය කල හැකි වේ. අන්තර්ජාලයේ සැරිසරන ශිෂ්‍යයාගේ මනස සීඝ්‍රයෙන් වෙන දිශාවන්වලට යොමු වෙයි. නමුත් මෘදුකාංග තුලින් දරුවාගේ මානසික ඒකාග්‍රතාවය ඒකාකාරිව පවත්වා ගත හැකි අතර, ඔවුන්ගේ දැනුම් මට්ටම වැඩි දියුණු කර ගත හැක.
Melbourne Symphony Orchestra වැනි සංවිධානවලට ඔවුන් සතු මෘදුකාංග තිබේ. මෙහි ශ්‍රව්‍ය-දෘශ්‍ය, විචිත්‍රාංගයින්ගෙන් සමන්විත වැඩසටහනක් තුලින්, ප්‍රේක්ෂකයාට ඔකෙස්ට්‍රාවේ සංචාරයක නිරත විය හැක.

අධ්‍යාපනික වටිනාකමකින් යුත් දුරකතන මෘදුකාංග වල තවත් වාසියක් වන්නේ මේ තුලින් දරුවාට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඉගෙනුම් කටයුතු වල නිරත විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, හෙවත් අධි-තාත්ත්වික මෘදුකාංග වලින් ශිෂ්‍යයින්ට සයිබර් අවකාශයේ සැරිසරමින් ලෝකය පිලිබඳ බොහෝ තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබේ.

මෘදුකාංගය මඟින් ඩිජිටල් තොරතුරු සහ දර්ශන භෞතික අවකාශය සමඟ සංකලනය කිරීමෙන් ආතාත්වික හා තාත්වික ලෝකයන් එකිනෙක අනුගත වේ. මෙවැනි මෘදුකාංග ජංගම දුරකතනයක් හෝ GPS තාක්ෂණය සහිත ටැබ්ලට් වැනි ඩිජිටල් උපාංගයක් තුලින් ප්‍රේක්ශකයාට වීඩියෝ හා දර්ශන නැරඹීමට සලස්වයි. මෙයින් තාත්වික ජීවිතයේ අත්දැකීම් පෙර නොවූ විරූ ආකාරයකට අත් විඳීමේ අවස්ථාව ඔබට උදා වේ.

ටැස්මේනියාවේ නූතන හා පුරාණ කලා කෘති කෞතුකාගාරයේ මෙම ක්‍රමය අනුගමනය කරනු දක්නට ලැබේ. iPod උපාංගය හරහා කෞතුකාගාරයේ විවිධ ප්‍රදේශයන්හි ඇති කලා කෘති පිලිබඳ වීඩියෝ හා විස්තර ඇතුලත් දර්ශන ප්‍රදර්ශනය කරනු ලැබේ. Aurasma යනු තවත් අධි තාත්ත්වික මෘදුකාංගයකි. ශිෂ්‍යයාගේ පැවරුම් පත්‍රයේ එක් අභ්‍යාසයක් අසල තැබූවිට, අතිරේක ශ්‍රව්‍ය/දෘෂ්‍ය විස්තර ප්‍රදර්ශනය වන ලෙස එම මෘදුකාංගය ක්‍රියාත්මක වේ.

දැනට, ඩිජිටල් උපාංග සඳහා, අත් ඔරලෝසු, පෑන් හා Google Glass ලෙස නිමවූ මෘදුකාංග ප්‍රවර්ධනය වීමක් දක්නට ලැබේ. මෙයට කදිම උදාහරණයක් ලෙස Samsung Smart Pen හැඳින්විය හැක. මෙය මෘදුකාංග රැසක් සමඟ අනුකලනය කොට තිබේ.

දෙමාපියන් හා අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා වල නිරතවන්නන් හට මෘදුකාංග ලොවේ සැරිසැරීමෙන් දරුවාට ලබා ගත හැකි දැනුම් සම්භාරය පිලිබඳ වැඩි දුරටත් දැන ගැනීම සඳහා ඒවා භාවිතා කරන්නන් වෙත පිවිසිය හැකි බව කෝනර් මහතා යෝජනා කරයි.

පෙර පාසල් අවධියේ පසුවන දරුවන් තුල දක්නට ලැබෙන ඔබ දැන ගත යුතුම ගති ලක්ෂණ දහයක්

පෙර පාසල් අවධිය යනු, අභියෝග රැසකින් සමන්විත, වෙහෙසජනක හා කෝපය උපදවන, කලබලකාරි බවින් යුත් තීරණාත්මක කාලයකි. සමහර අවස්ථාවන්හි දී, තාර්කික හේතූන් මත තීරණ ගැනීම අසාර්ථක විය හැකි අතර, එය ඔබව ප්‍රහේලිකාවට හා ව්‍යාකූල බවට පත් කිරීමට ඉඩ ඇත.
මෙම මුල් ළමා අවධිය දෙමාපියන් හට ආතතිය උපදවන, අභියෝගාත්මක කාලපරිච්ඡේදයකි. හැඟීම් වල උච්චතම අවස්ථාවන් මව් පිය පාර්ශවය වන ඔබට පෙර පාසල් අවධියේදි අත් විඳිය හැක. ආවේගශීලිබව, සංතුෂ්ටිය හා සෙනෙහස උපරිමයෙන් මෙම කාලයේදි ඔබට දැනිය හැක.
පෙර පාසල් අවධියේ පසුවන දරුවන් තුල දක්නට ලැබෙන ගති ලක්ෂණ දහයක් පහත දැක්වේ. මෙය දෙමාපියන්ට තම දරුවන්ගේ ස්වභාවය මනා ලෙස තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ කලහකාරි හැසිරීම් රටාවන් සමඟ නිසි ලෙස කටයුතු කිරීමටත් මඟ පාදනු ලැබේ.

සෑම මොහොතකම උද්යෝගයකින් පසුවීම.
පෙර පාසල් දරුවන්ට කිසිදු බාහිර බාධාකිරීමකින් තොරව වත්මන් මොහොත උද්යෝගයෙන් අත්විඳිමේ විශේෂ හැකියාව ඇත. වැඩිහිටියන් මෙන් නොව , මෙම වයසේ පසුවන දරුවන්ට තම අනාගතය පිළිබඳ වද වීමේ හෝ අතීතය ගැන සිතමින් පසු තැවීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. ඔවුහු තාත්ත්වික ලෝකයෙන් බැහැරව ඔවුන්ගේ ළමා ලොවට ගොස් එලඹෙන සෑම මොහොතක්ම හැකි උපරිමයෙන් අත්විඳින්නට ඇල්මක් දක්වති. ප්‍රියතම සෙල්ලම් බඩුව, පොත පත, පාසල හා හැඟිම් ඇතුලු තමා සතු සියලුම දේවල් වලින් පෙර පාසල් දරුවාගේ ලෝකය ගොඩ නැඟේ.

අනන්ත අවස්ථා.
මෙම අවධිය පෙර පාසල් දරුවාට අනන්ත අවස්ථාවන් ලබා දේ. සෑම දිනක්ම, නව අභියෝග ජය ගැනීම හා ඉලක්ක සපුරා ගැනීම සහ අලුත් සොයා ගැනීම වැනි අරමුණු වලින් සමන්විත වේ. වැඩිහිටියෝ සාමාන්‍යයෙන් දැඩි තීරණ ගැනීමට හා ඒකාකාරි ජීවිතයක් ගත කිරීමට නැඹුරුවක් දක්වති. දරුවෙකුගේ ඇසින්, වැඩිහිටියෙකු ලෝකය දෙස බලන්නට පුරුදු වුවහොත්, අප ජීවත් වන ලෝකය නියත වශයෙන්ම සුන්දර ප්‍රදේශයක් වනු ඇත.

නිර්මාණාත්මක හැකියාව
පෙරපාසල් දරුවන් සිතන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන් කිසිදු නීති මාලවක් අනුගමනය නොකරයි. මෙම වයස් කාණ්ඩයට අයත් දරුවන්ගේ සිත් නිර්මාණාත්මක බවින් පිරී පවතින අතර ඔවුහු තාර්කික බුද්ධිය මත තීරණ නොගනිති. දරුවා විසින් අඳින ලද චිත්‍රයක් මනාව අධ්‍යයනය කරන්න. ඔහු හෝ ඇය තම මවාගත් යහලුවා සමඟ කරන කතා බහට හොඳින් ඇහුම්කන් දෙන්න. කොල කෑල්ලක අඳින ලද ඉරි කෑලි ටිකක් වැඩිහිටියෙකුට නිකං කුරුටු බලි ලෙස පෙනුනත් එය පෙර පාසල් වියේ දරුවා දකින්නේ තමා විසින් නිර්මාණය කරන ලද අනර්ඝ සිතුවමක් ලෙසිනි.

ධාරණ ශක්තිය.
පෙර පාසල් දරුවාගේ මොළය ඉතා සක්‍රීය මට්ටමක පවතියි. දිනපතා අලුත් නිපුණතා ජීවිතයට එකතු කර ගැනීම හේතුවෙන් මොළය නව අත්දැකීම් හා දැනුම අවශෝෂණය කර ගැනීම සඳහා හැඩ ගැසේ. පෙර පාසල් දරුවන් කිසියම් දෙයක් ඉගෙන ගන්නේ කිසිදු පෙරහුරුවක් හෝ සූදානම් වීමකින් තොරවයි. පෙර පාසල් දරුවන්ගේ ඉගෙනීම් රටාව බොහෝ වැඩිහිටියන්ට ඉතා වැදගත් වන්නේ මේ නිසාවෙනි.

තහංචි හා සීමාවන් නොමැති වීම
පෙර පාසල් දරුවන් හට තම හැඟීම් ප්‍රකාශ කිරීමේදි කිසිදු සීමාවක් නැත.මෙම වයසේ පසුවන ළමයින් ගේ අදහස් විටෙක ඔබව ලැජ්ජාවට පත් කල හැකි සේම සිනා සාගරයක්ද ගෙන දිය හැක. ඔවුන් තම හැඟීම් හා අදහස් ප්‍රකාශ කරන්නේ හිතැඟි පරිදිය.

සමාව දීම.
මෙම වයසේ පසුවන දරුවෝ සමාව දීමට මැලි කමක් නොදක්වති. ඔවුන් තරහ මරහ සිතේ තබා නොගන්නා අතර සැණෙකින් අඬන මොහොතක සිට සිනාසෙන මුහුණකට අවතීර්ණ වේ. පෙර පාසල් දරුවන් තුල කාරුණික හදවතක් සහ අනුකම්පා සහගත ගති පැවතුම් දක්නට ලැබේ.

අවංක හා ඍජු බව.
පෙර පාසල් දරුවන් තම අදහස් ඍජු ලෙස සමායට ප්‍රකාශ කරයි. වෙනත් ආකාරයකින් කිව හොත්, ඔවුන් හරිම අවංක වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වයසේ පසුවන ළමයින් වැඩිහිටියන්ගේ කතා බහට බාධා කිරීමට ද ඉඩ ඇත.
උදාහරණයක් ලෙස, දෙමාපියකු ” මට යකෙක් කන්න බඩගිනියි” යැයි පැවසුවහොත් , ඊට දරුවා මෙලෙස පිළිතුරු දිය හැක ” අම්මිට යක්කුත් කන්න පුලුවන්ද?”

සෙනෙහස
මෙම වයසේ දරුවන් බදා ගැනීම, සිප ගැනීම, කිති කැවීම හා තුරුල් වීම වැනි සෙනෙහස පාන හැසිරීම් තම දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙයි. අනපේක්ෂිත අන්දමට තමාට ලැබෙන සෙනහසට ඔවුහු ඇල්මක් දක්වති. මෙය දෙමාපියන්ගේ ආවේගශීලි හැඟීම් පාලනය කිරීමට උපකාරි වේ.

අගය කොට සැලකීම.
දෙමාපියන්ගේ දවස කෙතරම් කාර්යබහුල හෝ වෙහෙසජනක වුවත්, පෙර පාසල් දරුවා තමාව රැකබලාගන්නා මූලික පුද්ගලයින් දෙපල ලෙස දෙමාපියන්ගේ සේවය අගය කොට සලකයි. කායික හා මානසික යන දෙයාකාරයට සෙනෙහස පාමින්, දරුවන් දෙමාපියන්ගේ වටිනාකම අගය කරයි. වේදනාවකදී, මව හෝ පියා සොයා හැඬීම, ප්‍රිතිමත් මොහතකදී දෙමාපියන් අසලට වී සිටීමට ඇල්මක් දැක්වීම වැනි හැසිරීම් මීට උදාහරණ ලෙස දැක්විය හැක.

පෙර පාසල් දරුවාගේ ජීවිතය හරිම සරලය, කෑම , බීම, විනෝදවීම හා කලින් නින්දට යාමෙන් ඔවුන්ගේ දින චර්යාව සම්පූර්ණ වේ. සමහර අවස්ථාවලදී, ඔවුන් කෙලි සෙල්ලමෙහි යෙදී විනෝද වීම සඳහා කෑම වේල හෝ නින්ද කැප කිරීමට කැමත්තක් දක්වයි.

ඔබේ දරුවාට බෝතලයෙන් කිරි දීමේදි මේ කරුණු ගැන සැලකිලිමත් වෙනවාද?

බිළිඳාට කිරි දීමේදි , ඔබ ඒ සම්බන්ධ උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය්‍ය වේ. බෝතලය නිවැරදිව අල්ලා ගැනීම මෙන්ම වැඩියෙන් හෝ අඩුවෙන් කිරි දීමෙන් වැලකීමට දෙමාපියන් ලෙස ඔබ වග බලා ගත යුතු ය. ඒ වගේම කිරි බෝතලයේ හා මවගේ තන පුඩුවල පිරිසිදු බව පවත්වා ගැනිම අතිශයෙන් වැදගත් වේ.
පහත දැක්වෙන පිලිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට දරුවාට කිරි දීමේදි, එය සෞඛ්‍යමත්, විනෝදජනක මෙන්ම ආරක්ෂිත අත්දැකීමක් බවට පත් කර ගත හැක.
BPA සහිත බෝතල් මිලදී ගැනීමෙන් වලකින්න.

සමහර ළඳරු බෝතල් වල BPA හෝ බිස්ෆීනෝල් A අඩංගු වේ. මෙම රසායන ද්‍රව්‍යය පිලිකා ජනකයක් ලෙසත්, ශරීර අපචයනයන් සඳහා හේතුකාරකයක් ලෙස හඳුනා ගෙන ඇත. ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් සෑදූ බෝතල් මිලදී ගැනීමෙන් ද වලකින්න. සාමාන්‍යයෙන්, ළඳරු ආරක්ෂිත නිෂ්පාදන වල ” BPA හෝ PABA රහිතයි” ලෙස සඳහන් කර ඇත.

ගෙවී ගිය හෝ පිපිරීම් වලට ලක්වූ බෝතල් භාවිතා කිරීමෙන් වලකින්න.
සීරුණු, ගෙවී ගිය පෘෂ්ඨයක් ඇති හා වර්ණය අපැහැදිලි බෝතල් වල අහිකර රසායන ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර ඒවා කිරි සමඟ ප්‍රතිකියා කිරීමෙන් ළඳරුවාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැක.

මව් කිරි ළඳරු කිරි පිටි සමඟ මිශ්‍ර කිරීමෙන් වලකින්න.
පිටි කිරි වල ගබඩා කාලය පොම්ප කිරීමෙන් ලබා ගත් මව් කිරි වලට වඩා අඩුය. එබැවින්, මේ කිරි වර්ග දෙක එකට මිශ්‍ර කිරීමෙන් හා බොහෝ වේලාවක් ගබඩා කර තබා ගැනීම යෝග්‍ය නොවේ.

අතිරේක කිරි ඉවත් කරන්න.
දරුවාට කිරි දුන් පසු අතිරේක කිරි විසි කරන්න. නැතහොත් ඔබගේ තේ හෝ කෝපි එක සඳහා භාවිතා කරන්න. බිළිඳාට පසුව ලබා දීම සඳහා මෙම අතිරේක කිරි රඳවා තබා ගැනීම නුවණට හුරු දෙයක් නොවේ. මන්ද බෝතලය ජීවානුහරණය කර නැති නිසාවෙනි. තවද මෙමෙ අතිරේක කිරි නැවත උණු කිරීම හෝ මයික්‍රෝවේව් උඳුනේ තැබීම, කිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ විනාශ වීම සඳහා බලපායි.

බෝතලය සමඟ දරුවාව තනියෙන් නොතබන්න.
දරුවාට නිසි පරිදි කිරි බෝතලය අල්ලා ගැනීමට හැකි වුවත්, සෑම මොහොතකම කිරි පෙවීම අධීක්ෂණය කරන්න. අහම්බෙන් දරුවාට කිරි හිරවීමෙන් පිට උගුරේ යා හැක. හැකි පමණින් කිරි බෝතලය තිරස් අතට හරවා කිරි පොවන්නට උත්සාහ ගන්න. මේ මඟින් දරුවාගේ මුව තුලින් වාතය ඇතුල් වී, පසුව බඩෙහි ගෑස් එකතු වීම වලක්වා ගත හැක.

බෝතලය , උණුවතුරේ රඳවා තබන්නට අමතක නොකරන්න.
ජීවානුහරණය කිරීම පිණිස, සියලුම බෝතල් සෝදා, උණු වතුරේ රඳවා තැබීම කල යුතු වේ. බෝතලය, වතුර සමඟ තැම්බීමෙන් වලකින්න. ජීවානුහරණය කිරීම සඳහා බෝතලය උණු වතුරේ මිනිත්තු පහක් පමණ රඳවා තැබිය යුතුය. සෑම කිරි පෙවීමකින් පසුව බෝතලය සේදිම අනිවාර්ය්‍ය වේ.
කිරි වල උෂ්ණත්වය පරික්ෂා කරන්න.

තන පුඩුව හෝ සූප්පුව දරුවාගේ මුවෙහි තැබීමට පෙර, කිරි වල උෂ්ණත්වය පරික්ෂා කල යුතු වේ. ඔබගේ අල්ලේ හෝ මැණික් කටුවට කිරි බින්දු කිහිපයක් දැමීමෙන්, කිරි වල උෂ්ණත්වය, ශරීර උෂ්ණත්වය හා සමානද යන්න මැන ගති හැකි වේ.

දරුවාව කෙලින් පිහිටුවන සේ කිරි පොවන්න.
ළඳරුවාගේ බඩට යන වාත ප්‍රමාණය අවම කිරීම සඳහා ඔහුව/ඇයව අංශක 45 ක කෝණයකින් පිහිටුවන්න. බිළිඳාගේ පසු ප්‍රදේශය ඔබගේ ඔඩොක්කුව මත තිබිය යුතුය. සූප්පුව කිරි වලින් පිරීම සඳහා ඔබ බෝතලය මඳක් ඇල කල යුතුය.

මවගේ තන පුඩුව හා බෝතලය නිතරම පරික්ෂා කරන්න.
කිරි ලබා දෙන තන පුඩුව මෙන්ම කිරි බෝතලය, තැලීම්, පැහැයේ හෝ හැඩයේ වෙනස්වීම් තිබේ දැයි බැලීම සඳහා නිතරම පරික්ෂා කල යුතු වේ.

බිලිඳා සමඟ මනා බැඳීමක් ඇති කරගන්න.
කිරි පෙවීමේදි හෝ දරුවා කිරි බොන අතර තුරදී, ඔහුට/ඇයට ගී ගායනා කිරීමෙන්, කතන්දර කියා දීමෙන්, සිනා සීමෙන් හා කතා කිරීමෙන් මව හා දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් වේ.
සැලකිය යුතුයි : අඩුම තරුමේ ළඳරුවාට මාස හය පිරෙන තෙක් මව් කිරි ලබා දිය යුතු වේ. ඉහත සඳහන් උපදෙස් අදාල වන්නේ, කෘතිම ක්‍රමයට පොම්ප කර මව් කිරි ලබා දෙන මව්වරුන්ට හා මාස හයෙන් පසු බෝතල් කිරි ලබා දෙන අයටයි.

දරු ප්‍රසූතියෙන් පසු ඔබේ පෝෂණය පවත්වා ගෙන යන්නේ කෙසේද?

දරු ප්‍රසූතියෙන් පසු, මව්වරුන් නිසි ලෙස කිරි එරීම පවත්වා ගැනීම සඳහා මනා පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්ය්‍ය වේ. බිළිඳාට කිරි දිය නොහැකි මව්වරුන් ගර්භණී භාවයට පෙර ලබා ගත් ආහාර රටාවට නැවතත් හුවමාරු විය හැකිය. යකඩ ඌණතාවයෙන් පෙලෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් සහිත පෝෂණ ආහාර රටාවක් අනුගමනය කල යුතු වේ.
කිරිදෙන මව්වරුන් ඔවුන් ලබා ගන්නා කෑම බීම පිලිබඳ සැලකිල්ලෙන් පසු විය යුතුය. කුමන දේ ලබා ගත්තත්, එය හිතකර හෝ අහිතකර ලෙස තමාට මෙන්ම තම දරුවාගේ සෞඛ්‍යයටද බලපෑ හැක. කිරි දෙන මව්වරුන් දිනකට අතිරේකව කැලරි 500 ලබා ගත යුතු වේ. මේ සඳහා මිලෙන් අධික ආහාර අනුභව කල යුතු නැත. මෙම අතිරේක කැලරි ප්‍රමාණය, දෛනික ආහාර වේලෙන් ඔබට ලබා ගැනීමට පුළුවන. මෙය පසු කාලිනව ඔබගේ ශරීරයේ බර පාලනය කර ගැනීම සඳහා උපකාරි වේ. ප්‍රසූතියෙන් පසු ආහාර වේලෙහි විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටින්, කාබෝහයිඩ්‍රේට් සහ මේදය අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු විය යුතුය. කැල්සියම්, යකඩ, ෆෝලික් අම්ලය හා විටමින් A අඩංගු ආහාර ද අනුභව කිරීම අනිවාර්ය්‍ය වේ. මීට අමතරව, අයඩින් සහිත ලුණු භාවිතා කිරීමට අමතක නොකරන්න. කිරි දෙන මව්වරුන් මෙම ආහාර රටාව අඩුම තරමේ වසර දෙකක් අනුගමනය කල යුතු වේ.
මවගේ කිරි වල ප්‍රමාණය හා තත්ත්වය ඇයගේ පෝෂණය මත තීරණය වේ. මන්ද පෝෂණයෙන් පෙලෙන මවගෙන් එරෙන කිරි ප්‍රමාණය බිළිඳාට ප්‍රමාණවත් නොවිය හැක. මනා පෝෂණ රටාවකට හුරුවු සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මව , තම බිළිඳාට සෑහෙන කිරි ප්‍රමාණයක් ලබා දීමට සමත් වේ. මවක් ලබා ගන්නා ආහාර වේල කිරි වෙත සංසරණය වන්නේ විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටින්, මේද හා කාබෝහයිඩ්‍රේට වැනි පෝෂ්‍ය පදාර්ථ ලෙසිනි. මව් කිරි වලින් 88%ක් ජලයෙන් සමන්විත වේ. ප්‍රසූතියෙන් පසු මව්වරුන් වැඩියෙන් ජලය පානය කිරීම අනිවාර්ය්‍යයි.
කිරි දෙන මව්වරුන් දිනකට ප්‍රෝටින් ආහාර වේල් හයක් පමණ ලබා ගත යුතුය. මීට අමතරව එළවලු හා පලතුරු දීසි පහක් හා කිරි වීදුරු හතරක් දෛනිකව තම ආහාර වේලට එකතු කර ගත යුතු මනාය. දරුවන්ට කිරි බෝතලයෙන් කිරි පොවන මව්වරුන් ප්‍රෝටින් ආහාර වේල් පහක් , පලතුරු හා එළවලු දීසි හතරක් හා කිරි වීදුරු දෙකක් දිනකට ලබා ගැනීම යෝග්‍ය වේ.
මවගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, කිරි දෙන වාර ගණනත්, අනුභව කරන ආහාර වේලේ පෝෂණ තත්ත්වයත් වර්ධනය කර ගත යුතු වේ.
ශරීර සෞඛ්‍යයට අවශ්‍ය මනා පෝෂණ ගුණයකින් සමන්විත ආහාර වේලක් ලබා ගැනීමෙන් දරු උපත් මරණ, අව ප්‍රසූතිය, ගබ්සා වීම මෙන්ම අඩු බර සහිත දරු උපත් අවම කර ගත හැකි වේ.

නිවුන් දරු උපත් ලැබීමේදී ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතු සංකුලතාවයන් කිහිපයක්

එක් ගර්භයක් සහිත ගැබ් ගැනීමක, වැදෑමහ එක් දරුවකු දරා සිටියි.නිවුන් දරු ගැබ් ගැනීමකදී ගර්භයට දරුවන් දෙදෙනෙකු දරා සිටීමට සිදු වේ.සමහරවිට මෙම නිවුන්නු එක් වැදෑමහක සිටිනු ඇත.මෙය “මොනොසයිගොටික් නිවුන්නු” (Monozygotic Twins) ලෙස හඳුන්වනු ලැබේ.වෙනස් වැදෑමහ දෙකක සිටින නිවුන්නු “ඩය්සිගොටික් නිවුන්නු” හෝ එක කුස උපන් නිවුන්නු ලෙස හඳුන්වනු ලැබේ.නිවුන් දරුවන් දරා සිටීම බරපතල සංකුලතාවයන්ට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇත.

එක කුස උපන් නිවුන්නුන්ට ඔවුන්ගේම වැදෑමහ තිබෙන අතර ඔවුන්ගේම වැදෑමහ කෝශවල දරාගෙන සිටියි. කෙසේ වෙතත් එකම කෝශයක සිදුවන නිවුන් උපත් වලින් 70% දක්වා ප්‍රමාණයක් බරපතල සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.මෙවැනි සිදුවීමකදී පෙකණිවැල කුමන හෝ ස්ථානයක රෝපණයවීමට ඉඩ ඇත. මෙම රෝපණය සිදුවන ස්ථානය අනුව ගර්භයන් දෙකටම පෝෂණය බෙදාහැරීම අසමතුලිතව සිදුවීමට සහ අඩු රුධිර ප්‍රමාණයක් ලැබීමටද මග පාදනු ඇත.විද්‍යාඥයෝ මෙය අසම ඩිම්බබන්ධන බෙදාගැනීම ලෙස හඳුන්වයි.බොහෝ නිවුන්නු එකම ජාන ද්‍රව්‍ය බෙදා ගත්තද වෙනස් අන්දමට වැඩෙන්නේ මේ නිසාය.සමහරවිට එක් එක් රැහැන් ඔස්සේ ගමන් කරන රුධිරවාහිණී එකට සම්බන්ධ වීමෙන් එක් ගර්භයකින් අනෙක් ගර්භයට රුධිරය සංසරණය ( පාරවිලයනය ) වීමට හේතු විය හැක.මෙවැනි සංකූලතාවයන් twin to twin transfusion syndrome හෝ TTTS ලෙස හඳුන්වනු ලැබේ.

TTTS
එක වැදෑමහක් බෙදාගන්නා නිවුන් දරුගැබකදී (MZ Twins) එක් එක් ගර්භයන් වෙන්කර ගැනීමට බාධාවක් නැත.එම නිසා අවසානයේදී රුධිර වාහිණී බෙදා ගනු ඇත.MZ නිවුන් දරු උපතකදී 15% ක ප්‍රමාණයක අසමතුලිත රුධිර සංසරණයක් සිදු විය හැක.මෙහිදී එක් ගර්භයක් අනෙක් ගර්භයට වඩා වැඩි රුධිරය ප්‍රමාණයක් ලබා ගැනීමක් සිදු වීමෙන් TTTS වලට යොමු විය හැක.TTTS වලට මතුවිය හැකි තවත් සංකූලතාවයක් acardiac twins හෝ Twin Reversed Arterial Perfusion (TRAP) ලෙස හඳුන්වනු ලැබේ.මෙය MZ ගැබ්ගැනීම් වලින් 1% ක ප්‍රමාණයකින් සිදුවිය හැකි දුලභ අවස්ථාවකි. TTTS අවස්ථාවක එක් ගර්භයක් සාමාන්‍ය ලෙස වැඩෙන අතර අනෙක් ගර්භය අවයව,ඉන්ද්‍රියයන් සහ ශරීර කොටස් සහ සාමාන්‍යයෙන් හෘදය වස්තුව නොමැතිව අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දැකිය හැක.බොහෝ විට මෙය හෘදය වස්තුව නොමැතිව දැකිය හැකි බැවින් මෙය acardiac ලෙස හඳුන්වනු ලැබේ.සාමාන්‍ය ලෙස වැඩුණු ගර්භය අනෙක් ගර්භයට රුධිරය සපයන නිසා කලින් සඳහන් ගර්භයේ උන්නතිය ශුන්‍ය අගයක් ගනී.

Preterm Labour යනු නිවුන් දරු ගැබකදී ඇතිවිය හැකි සුලබම සංකූලතාවයයයි.මෙය 70% ක පමණ ප්‍රතිශතියක් දරණ අතර 100% ක ප්‍රමාණයක් නොමේරූ ( අපරිණිත ) දරු උපත් වේ.

Intrauterine Growth Retardation (IUGR)
මෙය දරුගැබ් වලදී සිදුවිය හැකි වූවත් බහු උපත් වලදී මෙය සාමන්‍ය සිදුවීමකි.මෙම තත්වය ඇතිවන්නේ එක් ගර්භයක් ගර්භාශය තුල සිටින විට ගර්භයේ වර්ධනයට සහ දියුණුවට බාධා ඇතිවෙන විටකදීය.
ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන්නේ නම් සෑම වෛද්‍යවරයෙකුගේම අවධානය සහ පූර්වාරක්ෂාව අනුගමනය කල යුතු වේ.මෙයට ප්‍රමාණවත් ව්‍යායාම සහ ආහාර පාලනයද ඇතුලත් වේ.
(තිලෝතමා චටර්ජී onlymyhealth.com වෙත ලියන ලද ලිපියක් ආශ්‍රයෙනි.)

වැඩ කරන මව්වරුන් සේවා ආයතනයට අඩු දායකත්වයක් දෙන්නේද?

තමා ගර්භණීභාවයට පත්ව ඇති බව තම සේවා දායකයා දැන ගැනීමෙන්, ඔවුන් කෙසේ එයට ප්‍රතිචාර දක්වයිද යන්න රැකියාවක නිරත වන සියලුම මව්වරුන්ට පීඩාවක් ගෙන දෙන කරුණකි. මෙරට නීතියට අනුව අලුත් මව්වරුන් හට දින 84 ක කාලයක් දක්වා නිවාඩු ලබා ගත හැක. එහෙත් සේවා දායකයා තම කැමැත්තෙන්ම එකී නිවාඩු අනුමත කරන්නේද නැතහොත් ඔවුන් හුදෙක්ම නීතිමය රෙගුලාසි වලට එකඟ වීමක් හෝ යටත් වීමකින් කරන්නේද?

දෙවැනි කාරණය සත්‍ය බව මට පෞද්ගලිකව හැඟේ. දශකයකට වඩා වැඩි කාලයක් සමාගම් ශ්‍රේණියේ සේවා කර ඇති මා නීතිමය රෙගුලාසි වලට යටත්ව නිවාඩු ලබා දීම පිළිබඳව සේවා දායකයාට දොස් පවරන්නේ නැත. මීට හේතුව මම වැඩි දුරටත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

රැකියාවල නිරතවන අඹු සැමියන් බොහෝමයක් තමන්ට දරුවකු ලැබීමට යන බව දැන ගැනීමෙන් ඉමහත් සතුටට පත් වේ. එහෙත් ඉතා සුළු කොටසක් මෙම පුවතින් විමතියට පත් වේ. මා විශ්වාසය කරන ආකාරයට, සැමියා හා බිරිඳ යන දෙදෙනාම ගර්භණීභාවයේ අත්දැකීම එකට අත් විඳිය යුතු ය. “අපට දරුවකු ලැබෙන්නයි යන්නේ” යන කියමන ඔවුන්ගේ මුවින් පිටවන්නේ මේ නිසාවෙනි.

ගැබ්ගත් බව දැනගැනීමෙන් අනතුරුව පළමුව ඇතිවන ප්‍රීතිය සහ උද්යෝගය කෙමන් පහවී යයි. ගර්භණීභාවයේ නියම ස්වභාවය ආරම්භ වන්නේ මින් මත්තෙනි. වැඩකරන අඹු සැමි යුවලක් නම්, ඔවුන්ගේ ඊලඟ පියවර වනුයේ මේ පිළිබඳව සේවා දායකයා දැනුම් දීම හා සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගැනීම ආදියයි. සැලසුම් නොකරන ලද ගැබ් ගැනීමක් නම් මාස නවයකට පසු ඉපදීමට සිටින තම දරුවා වෙනුවෙන් තම ජීවන රටාව කෙසේ සකස් කර ගත යුතුද යන්න ඔවුන්ට තරමක අභියෝගයක් වනු ඇත. තමා සේවය කරන්නේ ඉතා තරඟකාරි සහ අභියෝගාත්මක පරිසරයක් නම් සේවා දායකයාට මේ පිළිබඳව දැන්වීම ඉතාමත් අපහසු කටයුත්තක් විය හැක. කෙසේ වෙතත් තම සේවා ප්‍රධානියා මේ සම්බන්ධයෙන් ඉතා තැන්පත් ව කටයුතු කරන පුද්ගලයෙකු නම් ඔබ නැවත සේවයට පැමිණීමේදි රැකියාවේ විශ්වාසය තහවුරු කරගැනීමට මෙය හොඳ සඥාවකි.

බොහෝ කාන්තාවන්ට තම ගර්භණීභාවයේ මුල් අවධියේ යම් අපහසුතාවයන් අත් විඳීමට සිදු වනු ඇත. ගර්භණී පළමු අවධියේ උදෑසන ඔක්කාර ගතිය හෝ අනෙකුත් අසහනකාරි රෝග ලක්ෂණ වලින් මිදී සිටින්නේ ඉතා අතලොස්සක් පමණි.
මුලු දවසම වමනය දැමීමෙන් තම සේවා ස්ථානයේ සේවය කිරීමේ ප්‍රති විපාක ඔබට සිතා බැලිය හැකිද? මෙම තත්තවය ඔබගේ ඵලදායිතාවයාට ඍණාත්මක ලෙස බලපායි. ගර්භණීභාවයේ වර්ධනයත් සමඟම ඉදිරි මාස කිහිපය සාපේක්ෂව අපහසුතාවයෙන් තොරව ගෙවී යා හැක. එහෙත් ඒ සමඟම ඔබට තෙහෙට්ටු ගතියක් දැනීමට ඉඩ ඇති අතර ඔබගේ උද්‍යෝගිමත් පෞර්ෂත්වය ද වෙනස් වීමට ලක්වේ. මෙයින් අදහස් කරන්නේ ඔබට මින් ඉදිරියට පෙර සේ ගමන් බිමන් වල නිරත විය නොහැකි බවයි. දරුවකු ලැබීම පිළිබඳව ඔබ ගත් තීරණය ගැන කිසිවකුටත් දොස් පැවරිය නොහැක.

ඉන්පසු ඉක්මණින්ම ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. ඔබේ කකුල් ඉදිමීමට හා ශරීරයේ බර වැඩිවීමට පටන් ගැනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ඔබගේ කාර්යක්ෂමතාවය අඩු වේ.ඔබගේ ඵලදායිතාවය කෙටි කාලීනව ඉතා උසස් මට්ටමක පැවතුනත්, මාස නවයක ගර්භණී අවධිය ඔබගේ රැකියා ඉතිහාසය හා සසඳා බලන විට අඩුම ඵලදායිතාවයක් ඇති කාලය වූ බව ඔබට පෙනී යයි. දරුවා ලැබීමෙන් පසු එළඹෙන මාස 3ක කාලය මාතෘ නිවාඩු වලින් ආවරණය වේ. මෙය අද ලෝකයේ පවතින සාමාන්‍ය දැනීමක් ලෙස මම සිතන්නෙමි.

පලමු වරට මවක් වීමේ අත්දැකීම මමත් විඳ ඇත්තෙමි. එහෙත් සෑම සුන්දර ගර්භණී මාතාවකටම මා වැදගත්කොට පවසන්නේ ඔබට ඔබේ රාජකාරිය තවමත් මැනවින් ඉටු කල හැකි බවයි. සම්පූර්ණ පරිශ්‍රමයක් දරා තම වැඩ කටයුතු වල නිරත වීමට උත්සාහ ගත යුතුයි. ඔබ සැමට අවශ්‍ය වන්නේ තමන්ගේ අභිප්‍රායයන් වැඩියෙන් සුරක්ෂිත කර ගනිමින් තමන් තුල ඇති ඉදිරියට යාමේ බලවේගය හඳුනා ගැනීමයි. ඔබගේ සාමාන්‍ය ගැම්මෙන් මෙය කල යුතුව ඇතැයි මා නොකියන නමුත් අඩුම වශයෙන් එසේ කිරීම සඳහා ඔබට වෑයම් කල හැක.

ඔබගේ සේවා ස්ථානයේ සමහර දිනයන් හිදී, ඔබට නිතරම ඔක්කාර ගතිය දැනීම, තමා අඳින කලිසම හෝ සාය දිනෙන් දින හිර වීම, කාර්යාලයේ විදුලි සෝපානයක් තිබීමේ අවශ්‍යතාව වැටහීම, ක්ෂණික , කෘතිම ආහාර වලින් වැළකී පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හේතුවෙන් නුරුස්නාවෙන් පසුවීම. ඔබගේ දෙපා ඉදිමීම නිසා ඔබගේ ප්‍රියතම පාවහන් කුට්ටම පැලඳීමට නොහැකි වීමෙන් කේන්ති යාම වැනි ආවේගශීලි හැඟීම් මේ අවධියේ පහල විය හැක. කෙසේ වෙතත් ගර්භනී කාලය අවසන් වී ඔබගේ කිරිකැටි ගැහැණු හෝ පිරිමි දරුවා ලැබීමෙන් පසු ඔහු හෝ ඇයව පළමු වරට වඩා ගැනීමෙන් ඉහත සඳහන් සිතිවිලි කිසිවක් ඔබේ මතකයට එන්නේ නැත. බොහෝ මව්වරු මෙම අත්දැකීම කෙතරම් කටුක හෝ අප්‍රසන්න වුවත් එය නැවත විඳගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව මට සක්සුදක් සේ විශ්වාසයි.

සේවා දායකයාගේ පැත්තෙන් බලන විට කාන්තාවකගේ ගර්භණීභාවය් හේතුවෙන් ආයතනයට යම් පාඩුවක් වන බව මාගේ අවංක අදහසයි. කෙසේ වෙතත් ආයතනයෙන් තමාට ලැබෙන් වරප්‍රසාද හිතුමතේ භාවිතා නොකර තමාට හැකි පරිදි 100%ක දායකත්වයක් ආයතනයට ලබා දීම සේවකයාගේ වගකීමයි. ගර්භණී අවධිය ආරම්භ වීමෙන් පසු ඔබේ හැකියාවන් හි සීමාවන් තිබුණත් මේවා හුදෙක් ඇත්තේ ඔබගේ සිත් තුලය. මනස එක්තැන් කර ගැනීමෙන් ඔබට ඕනෑම කර්තව්‍යයක් සාර්ථකව ඉටු කල හැකි වේ. මෙය ඔබ තම රාජකාරිය වගකීමකින් ඉෂ්ට කරන බවත් රැකියාවේ ස්ථාවර බව පිළිබඳ ඔබ තුල ඇති උනන්දුව සේවා දායකයාට වටහා ගැනීමට ඉඩ සලසනු ලැබේ.

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

අම්මා සඳකි, මම ඒ ලොව හිරුය රිදී..

මෙයට අවුරුදු අටකට කලින්, මාගේ පුතා ඉපදීමට පෙර, මෙලොව සිටින කම්මැලිම මිනිසා මා විය හැකි බව මට සිතුනි. වැඩිපුර පැයක් හෝ දෙකක් ඇඳේ පෙරලි පෙරලි නිදා ගැනීමට මගක් සෙවීම මගේ එකම ආශාව විය. කෙසේ වෙතත් මගේ පුතාගේ ඉපදීමත් සමගම මගේ ජීවිතයට අලුත් අර්ථයක් ලැබුණි.පුතා සමග එක්ව පොඩි පොඩි ක්‍රියාකාරකම් කිරීමට පටන් ගැනීම නිසා මට මගේම ළමා විය මතකයට ඒමට පටන් ගත්තේ නිරායාසයෙන්මය. මෙය මා හට නැවත ජීවිතය පිළිබඳ අවදියෙන් සිටීමට හොඳ හේතුවක් විය.

පුතාගෙන් මම හොඳ තාත්තා කෙනෙකු වීමට අවශ්‍ය පාඩම් ඉගෙන ගතිමි. මෙය මීට තුන් වසරකට ඉහතදී උපන් මාගේ දියණිට වඩාත් හොඳ පියෙකු වීමට උපකාරි විය. දුව ඉදිරියේ තාත්තා කෙනෙකුගේ චරිතය රඟ පෑම නියත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වූවත් මේ සඳහා හැඩ ගැසීමෙන් මා මනා ප්‍රගතියක් ලබා ගත් බව අවංකවම මම සඳහන් කිරීමට කැමැත්තෙමි.

ගෙවී ගිය වසර කිහිපය තුල , ස්නේහවන්ත පියෙකු වීම පිළිබඳ මා ඉගෙන ගත් සරල නීති හා නියමයන් 8ක එකතුවක් මා විසින් පහත දක්වා ඇත. ඔබගේ දෛනික චර්යාවෙන් තම දරුවා වෙනුවෙන් කැපවීම් කිහිපයක් කිරීමට ඔබ සූදානම් වී සිටිය යුතුය. මෙය හොඳ පියකු වීම් සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන නීතියකි.
අපි එම සරල නීති අට පිළිබඳ විමසා බලමු!

#1 තම පවුලේ පරාර්ථකාමි නායකයා ලෙස කටයුතු කිරීමට සූදානම් වන්න:
ඔබ ඔබේ ආයතනයේ රාජකාරිය සඳහාම කැපවුනු, මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වීමට ඉඩ ඇති වූවත්, තාත්තා කෙනෙකු වීමෙන් පසුව ඔබේ ප්‍රමුඛතාවයන් නැවත සැලසුම් කර ගැනීමෙන් ඔබ ජීවිතයේ අංක එකේ ප්‍රමුඛතාවය ලෙස ඔබේ පවුල පත් කල හැක.මෙය මා හට මුලදී තරමක් දුෂ්කර කාර්යක් වූ අතර පසුව එය මට සුදුසු ලෙස සකස් කර ගතිමි.

සවස හයෙන් පසුව රැකියාව වෙනුවෙන් හෝ සති අන්තයේ ගත කරන අමතර කාලය කැප කල යුතුව ඇති අතර වෙනදාට වඩා වැඩි කාලයක් තම පවුල සමග ගත කිරීමට පුරුදු වන්න.

සමහර වේලාවන්හිදී ඔබ ඔබේ උවමනාවන් වලට වඩා ඔබේ බිරිඳගේ සහ දරුවන්ගේ උවමනාවන් සඳහා ප්‍රමුඛතාවයක් දීමට සිදුවේ. ඔබට කිරීමට ඇති හොඳම දෙය සහ පවුලට කිරීමට ඇති හොඳම දෙය පිලිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවකදී සැම විටම අංක එකේ ප්‍රමුඛතාවය ඔබේ පවුලට දෙන්න.
ඔබේ පුතාගේ උපන් දිනය යෙදී ඇති දිනෙක සවස 5.00 ට යෙදී ඇති වැදගත් රැස්වීම අවලංගු කිරීමෙන් පුතාගේ උපන් දිනය පවුලත් සමග සැමරීමට හරියටම සවස 5.30ට නිවසට පැමිණීම වැනි කැපකිරීම් මීට ඇතුලත් වේ.

#2: මවක් වශයෙන් ඔබේ බිරිඳ ඉතා දුෂ්කර කාර්ය භාරයක් ඉටු කරන බව පිලිගන්න.

කිසිම පිරිමියෙකු භාර ගැනීමට අකමැති වැඩ කොටසක් මවක් හැටියට තම බිරිඳ කරයි.පවුලේ අනෙකුත් අයට වඩා කලින් අවදි වන ඇය, උදෑසන ආහාරය සඳහා යමක් සැමටම ලබා දීමට වග බලා ගනී. ඉන්පසු ඇය සැමගේ රෙදි සෝදා,මැද,ඇඳීමට සූදානම් කර දෙයි.
මවක් වීම ඉතා අසීරු,පරාර්ථකාමී සහ බොහෝ විට කෘතඥතාවයක් නොලැබෙන කටයුත්තකි.ඇය විසින් ඉඳ හිට කෙරෙන සුළු වැරදීම්වලට දොස් පැවරීම කිසි විටෙක නොකල යුතු වන්නේ මේ නිසා වන අතර ඇය කරන දෙයට ඇයට ගෞරව කරන්න.

#3:ඇති තරම් කතා කරන්න.ඒ සමඟම සවන්දීමට සූදානම් වන්න.

මව සහ දරුවන් සමග නිතරම අදහස් හුවමාරු කර ගැනීම පියා විසින් කල යුතු වැදගත් කටයුත්තකි.රැකියාවෙන් පසු නිවසට පැමිණෙන පියා සමග තම තමන්ගේ පොඩි පොඩි අත්දැකීම් බෙදා හදා ගැනීමට දරුවන් ආශාවෙන් බලා සිටී.මේවා සමහර විට පාසැලේදී තමා ලබා ගත් කුඩා ජයග්‍රහණයක් හෝ සෙල්ලම් කරන විටදී දණ හිසේ ඇතිවූ තුවාලයක් විය හැක (මෙය මාගේ දියණියගේ ප්‍රියතම ක්‍රියාවකි).මෙම සිද්ධීන් පිලිබඳව පියාගේ අවධානය ඔවුන්ට අවශ්‍ය වන අතර ඒවා ගැන කතා කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.ඔවුන් කතා කරන විට එයට ප්‍රවේශමින් සවන් දීම සහ එයට දැනුවත්වූ ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කරන්න.අදහස් හුවමාරු කර ගැනීම සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම, පවුලේ සැමට ගෞරවය ලබා දෙන අතර සැමගේ අවශ්‍යතා ඉටු කිරීම ,ගැටුම් නිරවුල් කර ගැනීම සහ ඒවා අවම මට්ටමින් තබා ගැනීම සහතික කරයි.

#4: සංවේදී වන්න.

පිරිමියෙකු සංවේදී වීම ඔහුගේ දුර්වලතාවයක් ලෙස සැලකීම පොදුවේ පිළිගත් දුර්මතයකි.ඔබගේ සංවේදී හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමෙන් ඔබ සහ ඔබ පවුලේ වඩා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැක.තමා සතුටේදී සිනාසෙනු දැකීම ඔබෙ දරුවන් ප්‍රිය කරන අතර දුක්මුසු අවස්ථාවක ඔබ කණගාටුවෙන් පසුවන විට ඒ බව ඔවුන් ඔබට ප්‍රකාශ කරයි. “තරහ” හෝ “කෝපය” යනු දරුවන් තම පියා කිසිවිටෙක දැකීමට අකමැති උද්වේගකාරි අවස්ථාවකි.එබැවින් කලාතුරකින් කේන්තිය පෙන්වීම හෝ පිට කිරීම ,දරුවන් විනීතව තබා ගැනීමට උපකාරී වේ.( උදා: අපි වැරදි දෙයක් කළොත් තාත්තාට තරහ ඒවී. )

#5: අවශ්‍ය වූ විටෙක දැඩිව සිටින්න.

ඔබට ඔබේ දරුවන් සමග ලිහිල්ව සිටිය හැකි වූවත් විනයගරුකභාවයේදී එය එසේ නම්‍යශීලිව තබා ගත නොහැක.තම දරුවන්ට ලිහිල්ව සැලකිය යුතු බව “ජනප්‍රිය සංස්කෘතියෙන්” දෙන පණිවිඩය අද බොහෝ දෙමාපියන් විශ්වාස කර දෙයකි.ඔබට දරුවන් කෙරෙහි ලිහිල් පිළිවෙතක් අනුගමනය කල හැකි වූවත් ඔවුන් පිටස්තර ලෝකයට පිවිසීමේදී සෑම දෙනාම ඔවුන්ට තම පියා සලකන ආකාරයට සලකන්නේ නැත.අවශ්‍ය වේලාවන්හිදී දරුවන් සමග දැඩිව සිටීමට සිදුවන්නේ මේ නිසාය.එබැවින් පසු කලෙක ඔබේ දරුවන් පිටස්තරයින් සමග ඇතිකරගන්නා ගැටුම් වලදී අපහසුතාවයන්ට මුහුන නොදෙන තත්වයක් පවත්වා ගැනීමට වග බලා ගන්න.

#6: දරුවන්ට හොඳ නරක තෝරා ගැනීමට උදව් වන්න.
බොහෝ විට ජනප්‍රිය සංස්කෘතියෙන් එන අනේක පණිවිඩවලින් බැට කෑමට ඔබේ දරුවන්ට සිදුවී ඇත.පියෙකු වශයෙන් ඔබට ඔබේ දරුවන්ට ඉතාමත් සෘජුව ,ඉතාමත් ප්‍රබලව සහ ඉතාමත් ධනාත්මකව, ඔවුන්ට හොඳ සහ සෞඛ්‍ය සම්පන්න ඒවා කුමක්ද සහ පරිස්සම් විය යුතු නරක දේවල් කුමක්ද යන්න තෝරා ගැනීම සඳහා දරුවන්ව නම්මවා ගනීමේ හැකියාව ඔබට ඇත.හොඳ දේ කුමක්ද නරක දේ කුමක්ද යන්න දේශනා කෙරීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඊට ආදර්ශයක් ලෙස ඔබ සිටිය යුතු වේ. උදාහරණයක් වශයෙන් දුම්බීම නරක මිනිසුන්ගේ නරක පුරුද්දක් බව ඔබ පැවසුවොත්,ඊලඟ දවසේ බඩු ගැනීම සඳහා කඩේට යනවිට ඔබ සිගරැට්ටුවක් අතැතිව සිටීම අනුමත කල නොහැකි දෙයකි.

#7: දරුවන්ට හොඳ සාරධර්ම උගන්වන්න.

දරුවා තම යොවුන් වයසේදී ඉගෙන ගන්නා සාරධර්ම, ඔහු ජීවිත කාලයේදී කරන සෑම ක්‍රියාවකටම මග පෙන්වනු ඇත.අවාසනාවකට මෙන් අප ජීවත් වන්නෙ ළමුන්ට භයානක අදහස් උගන්වන දූෂිතවූ ජනප්‍රිය සංස්කෘතියක් තුලය.උදාහරණ වශයෙන් ආත්මාර්ථකාමීත්වය,ගෞරවයක් නොදැක්වීම,තණ්හාව සහ නොසැලකිල්ල යනාදිය දැක්විය හැක.මෙම නරක අදහස් වලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට නම් ඔබේ සාරධර්ම යහපත්කරගැනීමට සහ ඔබේ දරුවන්ට ඔබෙන් ධනාත්මක අදහස් පිරි පණිවිඩ ලබා දීමට වග බලා ගත යුතුය.

#8: හොඳ ශාරීරික තත්වයක් ඔබ තබා ගත යුතුය.
පියෙකු වශයෙන් ගතවන දවස් ඉතා කලබලකාරී විය හැකි අතර රැකියා ස්ථානයේ ඇතිවන ආතතිය අවම මට්ටමින් තබා ගැනීම භිය උපදවන අත්දැකීමක් වනු ඇත.සමහරවිට මෙම පීඩකාරී දිනචර්යාව,ඔබගේ ශාරීරික සෞඛ්‍ය ඉතා සීඝ්‍රයෙන් පිරිහීමට මග පාදනු ඇත.වැරදි ආහාර ගැනීමේ පුරුදු සහ ව්‍යායාම සහ නින්ද අඩුකම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වනු ඇත.හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා කාලය මිඩංගු කර ගැනීමට, ඔබේ පවුල වෙනුවෙන් කැපවී සිටින්න.

කර්තෘ ගැන:
amithaමෙම විශේෂ ලිපිය අමිත අමරසිංහ විසින් ලියන ලද්දකි. ඔහු සාමාන්‍යයෙන් අලෙවිකරණය සහ කළමණාකාරිත්වය පිලිබඳව "බ්ලොග්" කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රචාරණ ආයතනයක රැකියාවක් කරන මොහු සුන්දර දරු දෙදෙනෙකුගේ පියෙකි.මෙහි අන්තර්ගත වන්නේ, ශ්‍රී ලංකාවේ සිටින පියවරුන් සහ පියවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සමග බෙදා හදා ගැනීමට කැමති සහ උපකාරී වන, ඔහුගේ අත්දැකීම් වලින් බිඳකි.

මාගේ නූපන් දරුවාට මා ඇසීමට සැලැස්විය යුත්තේ කුමන සංගීත වර්ගයක්ද?

සංගීතය මිනිසාගේ මනස සංසිදුවන අතර අපට මතක ඇති කාලයක සිට මිනිසා පීඩාව හා දොම්නස නැති කිරීමේ පරිපූර්ණ සුවදායි අංගයක් ලෙස සංගීතය භාවිතා කර ඇත.
මවක් වශයෙන් මා, මාගේ දරුවන් නිදි කරවීම සඳහා හිත සන්සිඳවන වේගය අඩු රිද්මයක් ඇති සම්භාවනීය ශ්‍රී ලාංකික සංගීතය ඇසීමට සැලැස්වූ අතර එය බොහෝ අවස්ථාවලදී සාර්ථක වී ඇත. දරුවා එක්තරා සංගීත මාදිලියකට බෙහෙවින් ප්‍රතිචාර දක්වන බව මට ඉතා ඉක්මනින් වැටහිණි. මාගේ පුතා, ඔහු වැඩෙන වයසේ පසුවන සමයේදී, අඩු වේග රිද්මයක් ඇති පැරණි සංගීතයට මැනවින් ප්‍රතිචාර දැක්වූ අතර, විමතියට මෙන් මාගේ දෙවන ගැහැණු දරුවා රූපවාහිනියේ හා ගුවන් විදුලියේ වාදනය වූ වැඩි වේග රිද්මයක් ඇති ගීතවලට ප්‍රීතියෙන් ප්‍රතිචාර දක්වන ලදී. අප නිවසේදි, ළමුන්ගේ මනස එක්තැන් කර ගැනීමේ ක්‍රමයක් ලෙස තවමත් සංගීතය භාවිතා කරනු ලබනවා. මෙය අපට අත්දුටු හා ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාරයක් විය.

මීට සති කිහිපයකට පමණ පෙර මා රූපවාහිනියේ නාලිකාවන් ගවේෂණය කරමින් සිටි විට අහම්බෙන් මෙන් Discovery Science නාලිකාවේ ඉතා සිත්ගන්නා සුලු වැඩ සටහනක් බැලීමට හැකි විය. එහිදී සාකච්ඡා වූ කරුණ අනුව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හඳුනාගෙන ඇති පරිදි ගර්භණි කාලයේදි, සම්භාවනීය පැරණි සංගීතයට සවන් දුන් මව්වරුන්ගේ දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ගර්භාෂය තුල සිටින සමයේදීත් දරුවා සමඟ සන්නිවේදන කටයුතු වල යෙදීම හොඳ යහපත් දරුවෙකු බිහි කිරීමට උපකාරි වන බව ශ්‍රී ලාංකික අප විශ්වාස කරන නිසා එය අපට පුදුමයට කරුණක් නොවීය.

මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ගෙන එන ඥානයකි. මෙම විශ්වාසය ඉහත සඳහන් කෙරුණු සමීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වේ. මා පළමු වරට ගර්භණිභාවයට පත්වූ අවධියේ මාගේ ස්වාමි පුරුෂයා පැරණි රූපවාහිනි වෙළඳ දැන්වීමක (පියකු සිය පුතුට ගායනා කල ) කන්කළු සිංහල ගීතයක් ගායනා කල සැටි මගේ මතකයට නැගේ. ඔහු මෙම ගීතය ගායනා කල සෑම අවස්ථාවකම ගර්භාෂය තුල සිටින දරුවා එයට ප්‍රතිචාර දැක්වූවේය. පුතා ඉපදීමෙන් පසුවත්, අපි මෙම ගීතය දරුවාව නිදි කරවීම සඳහා ගායනා කලෙමු. දරුවා මෙම ගීතයට දක්වන ප්‍රතිචාරය අප විසින් ගායනා කරන ලද හෝ ගායනා කිරීමට සැලැස්වූ අනිකුත් ගීත වලට වඩා වැඩි බට අපට අවබෝධ වුණි. හෙල්සින්කි විශ්ව විද්‍යලයේ පවත්වන ලද සමීක්ෂණයකට අනුව දරුවන්ට ඔවුන් ගර්භාෂය තුල සිටින කාලයේ ඇසීමට සලස්වන ලද සංගීතයේ තාලය එම දරුවා මෙලොව එලිය දැක මාස කිහිපයකට පසුත් ඔවුන්ගේ මතකයේ රැඳෙන බව සොයා ගෙන ඇත. එම සමීක්ෂණයෙන්ම අනාවරණය කර ඇත්තේ, මව්වරුන් වීමට නියමිත කාන්තාවන් තම කුසෙහි වූ දරුවාගේ අභිවෘද්ධිය ප්‍රගුණ කිරීමේ බලාපොරොත්තුවෙන් පැරණි සම්භාවණීය සංගීතයට ඇල්මක් දැක්වීම නිශ්ඵල කාර්යයක් නොවන බවය.
දරුවා ඉපදීමට පෙර දරුවාට නිතර නිතර ගීතය ගායනා කිරීමේ හෝ වාදනය කිරීමට සැලැස්වීමේ තරමට දරුවාට එහි තාලය හඳුනා ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ගර්භණි කාලය තුල ඔබ සැහැල්ලුවෙන් පසුවීම සඳහා සංගීතයට සවන්දීම, ඔබේ දරුවාටත් උපකාරි විය හැක. ගර්භණී අවධිය තුල ඔබ ආතතියෙන් පසුවන විට ඔබේ කුසෙහි සිටින දරුවාටත් එලෙසම හැඟෙන බැවින් ඔබගේ ප්‍රියතම ගීත වලට සවන් දීමට කාලය වෙන් කර ගන්න.
අමරදේව, නන්දා මාලිනි සහ වික්ටර් රත්නායක විසින් ගායනා කරන ලද සම්භාවනීය ගීත වලට වැඩියෙන් සවන් දීමට මම පුරුදු වී සිටියෙමි. “ආදරයේ උල්පත වූ අම්මා යන ගීතය මව් පදවියට පිය නගන අවස්ථාවේ පසුවන කෙනෙකුට කදිම තාලයකි. දේශීය සම්භාවනීය ගීත හැරුණු කොට මෝට්සාට් (Mozart) සහ බීතෝවන් (Beethoven) වැනි තවත් බොහෝ බටහිර සංගීතඥයින්ගේ සම්භාවනීය නිර්මාණ වලට සවන්දීමට උත්සාහ ගන්න.

ඔබ කුමන මාදිලියේ සංගිතය තෝරා ගත්තද එය ගර්භණි කාලය තුල ඔබගේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමේ මනා ප්‍රතිකාරයක් ලෙස කටයුතු කරයි. සතුටින් සහ සැහැල්ලුවෙන් පසුවන මවකට සැමවිටම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින දරුවකු බිහි කල හැක්කේ ඒ නිසාවෙනි. සමහර බටහිර සම්භාවනීය සංගීත BeeMp3 හෝ 4Shared වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබට නොමිලේ ලබා ගත හැක. 60, 70 සහ 80 දශකයේ සිටි ජනප්‍රිය ගායකයන්ගේ පැරණි සම්භාවනීය ගීත සමූහයක් Ananmanan.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට උත්සාහ කර බලන්න.

අලුත් නංගියා හෝ මල්ලියා පිළිගැනීමට ඔබේ වැඩිමහල් දරුවා සූදානම්ද?

පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වීමේදි, ඔබේ දරුවාව ඒ සඳහා සූදානම් කර තැබීමේ උපදෙස්.

ගර්භණී කාලය පුරාවට තම වැඩිහිටි දරුවාව, කුස තුල සිටින නව සාමාජිකයා සමඟ සම්බන්ධ කර තබා ගැනීමට උත්සාහ ගන්න. දරුවා කුමක් කරන්නේද, ඔහුට\ඇයට කුමක් හැඟෙන්නේද යනාදිය පිළිබඳව වැඩිමහල් දරුවා සමඟ කතා කරන්න. ඔබ බිළිඳාට මවු කිරි දෙන අවස්ථාවේදි, දරුවාට පියා සමඟ කාලය ගත කරන ලෙස දිරිමත් කරන්න. පහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් දරුවාත්, බිළිඳාත් අතර සහෝදර සම්බන්ධතාවය වර්ධනය වේ.

නව සාමාජිකයාව, අපේ බබා හෝ අපේ නංගි හෝ මල්ලි ලෙස හඳුන්වා දෙන්න.
ළඳරුවන් පිළිබඳ කියවෙන කතන්දර දරුවාට කියා දෙන්න. ඔබේ වෛද්‍යවරයා ඊළඟට හමුවන අවස්ථාවේ , ඔබේ දරුවාට කුස තිල සිටින බිළිඳගේ හෘද ස්පන්දනය ඇසීමට සලස්වන්න. ළඳරුවාගේ කාමරය සැරසීම සඳහා ඔබේ දරුවාගේ උපකාරය ලබා ගන්න. බබාට දැමීමට සුදුසු නම් පිළිබඳව දරුවාගේ යෝජනා විමසන්න. රෝහලට ගෙන යා යුතු බෑගය පවුලේ සියල්ලන්ම එකතු වී සකස් කර ගන්න.

පවුල තුල දරුවාට ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කරන්න.

අලුත් සාමාජිකයාගේ පැමිණීම නිස දරුවාට පවුලේ පෙර තිබූ අවධානය මොහොතකින් නැතිවී යා හැක. මෙය ඊර්ෂ්‍යාව, කේන්තිය හා නොසැලකිල්ලකට ලක්වූ හැඟිම් ඇතිවීම සඳහා මුල පිරිය හැක. දෙමාපියන් විසින් ඔවුන්ගේ වැඩිහිටි දරුවා, හැකියාවෙන් පිරිපුන්, වගකීමක් දැරිය හැකි හොඳ දරුවකු ලෙස හැඟෙන්නට සැලැස්විය යුතු වේ. ඔවුන්ගෙන් පවුලට ඇති වැදගත්කම ගැන අවධාරණය කරන්න. “අමාන්, ඔයාට තනියෙන් පුලුවන් මේස් කුට්ටම ගලවල පැත්තකින් තියන්න” හෝ “ජොනී, ඔයා කුස්සියේ වැඩට අම්මට ගොඩක් උදව් වෙනවා” වැනි කියමන්, දරුවාට පවුලේ වැඩිහිටි සාමාජිකයා ලෙස ඇති වගකීම විදහා පායි. පවුල් සංස්ථාවක, සියලු සාමාජිකයින් එක සේ වැදගත් වන්නේ කෙසේද යන්න සඳහන් කරන්න.

 හැඟීම් ප්‍රකාශ කිරීම දිරිමත් කරන්න.
ගර්භණී කාලය පුරාවටම වැඩිමහල් දරුවා සමඟ ඇති කරගන්නා සන්නිවේදනයේ මාර්ග විවෘතව තබන්න. හැඟීම් පිළිබඳ සාකච්ඡා කිරීම් දිරිමත් කර ඊට අනුකම්පා සහගතව ප්‍රතිචාර දක්වන්න. ඔබ ඔවුන්ට සම සේ ආදරය කරන බව පවසා දරුවාගේ වරිනාකම අගයන්න. සෑම දිනකම දරුවා සමඟ වෙනම කාලයක් ගත කරන්න.

දරු උපතට කලින් අවශ්‍ය පුහුණු වීම් සම්පූර්ණ කරන්න.

වැසිකිළි භාවිතය, ඇඳුම් ඇඳීම, දත් මැදීම, ආදී එදිනෙදා කටයුතු ළඳරුවා ඉපදීමට පෙරාතුව පුහුණු කල යුතුය. වැඩිමහල් දරුවාට මෙම නව හැකියාවන් වලට හැඩ ගැසීමට යම් කාලයක් ගත වන හෙයින් දෙමාපියන් ඒ පිළිබඳව නිතරම සොයා බලා ඔවුන්ට උදව් කල යුතු වේ.

සුරක්ෂිතභාවය දිරිමත් කිරීම.
සහෝදර බල අරගලය මඟ හරවා ගන්න. ගැටුම් අවම කර ගන්න. පවුලේ නව සාමාජිකයාගේ පැමිණීමෙන් පසු වැඩිමහල් දරුවාගේ සුරක්ෂිත භාවය තහවුරු වන සේ කායික හා චිත්තවේගි සෙනෙහස වැඩියෙන් පෙන්නුම් කරන්න.

දරුවාගේ අනන්‍යතාවය වැදගත් කොට සලකන්න.
ඔහුගේ/ඇයගේ කුඩා කාලයේ වීඩියෝ පට හා පින්තූර පෙන්වා දරුවාගේ සුන්දර ළඳරු අවධිය මතක් කර දෙන්න. බිළිඳෙකු ලෙස සිටි දා පටන් අද වන තෙක් දරුවා අසිරිමත් හා සුවිශේෂි ලෙස වැඩී ඇති අයුරු බෙද හදා ගන්න.

පන්ති වලට සහභාගි වන්න.
වැඩිමහල් දරුවන් හට , පවුලට එකතු වන නව සාමාජිකයා හසුරුවන ආකාරය කියා දෙන පන්ති පැවැත්වේ. මෙයින් බිළිඳා මෙලොවට බිහි වන්නේ කෙසේද යන්න හා ඔවුන්ට තිබෙන ගැටලු හා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් සලසා දීම සිදු කරනු ලැබේ. දෙමාපියන්ට මෙම කරුණු, නිවසේදි සාකච්ඡා කිරීම වඩා සුදුසු යැයි හැඟෙන්නේ නම් අලුත උපන් ළඳරුවා දිවා මෙන්ම රාත්‍රී කාලයේ හැඬීමට ඉඩ අති බව පැවසීමට වග බලා ගත යුතු අතර කුඩා දරුවාට සෙල්ලම් කිරීමට ඔබ වැනි වැඩිමහල් අයියා හෝ අක්කා කෙනෙකු සිටින බව දැනගත් විට මෙය වෙනස් විය හැකි බවත් දන්වන්න.

දරු උපතේදි වැඩිමහල් දරුවාවාගේ තත්ත්වය.
අලුත් සහෝදරයා හෝ සහෝදරිය ඉපදීමට සිටින අවස්ථාවේදි, ඔවුන්ගේ පියා හෝ වෙන යම් භාරකාරයෙක් ඔවුන්ව බලා ගනීවි යන්න එම වැඩිමහල් දරුවාට තේරුම් කර දීමට වග බලා ගත යුතු වේ.

දරු උපත සිදුවන ක්‍රියාවලියේදි දරුවන්ව සම්බන්ධ කර ගන්න.
දරු උපත සිදුවන මොහොතේදි, වැඩි මහල් දරුවන්ව එම කාමරයේම රඳවා ගන්නවාද යන්න පිළිබඳව දෙමාපියන්ට තීරණයක් ගත හැක. වැඩිමහල් දරුවාගේ වයස අනුව සෙල්ලම්බඩු කිහිපයක්, පොත් පත් හා ඔවුන් කැමති අනෙකුත් දේවල් කාමරයේ තබා ගැනීමෙන් දරුවාව උද්යෝගිමත්ව තබා ගත හැක. දරු උපත සිදුවන මොහොතේ, ඔහුව/ඇයව මවගේ හිස අසලින් සිටින සේ තබා ගත හැකි අතර මෙමඟින් දරුවාට, තමා දරු උපත් ක්‍රියාවලියට සම්බන්ධ වූයේ යැයි හැඟිමක් ඇතිවිය හැක.
අනපේක්ෂිත අවස්ථාවන් හීදි දරුවාව එතනින් ඉවත් කර ගැනීම සඳහා ඔහු\ඇය සමඟ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු ලඟ තබා ගත යුතු වේ. දරුවන්ට දරු උපත් ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම සඳහා දෙමාපියන් වශයෙන් ඔබට ඔවුන්ට “Birth Process” හා “Gentle Birth Choices” වැනි වීඩියෝ පට නැරඹීමට සැලැස්විය හැකිය.

ළඳරුවා උපන් විගසම දරුවන්ව ඔවුන්ගේ අලුත් සහෝදරයා හෝ සහෝදරිය මුණ ගැස් වීම දිරිමත් කරන්න.
පවුලේ අලුත් සාමාජිකයා බැලීමට වැඩිමහල් දරුවා පැමිණෙන විට ඔහුව/ඇයව විශේෂ කොට සලකන්න. දරුවාගේ වයස අනුව ඔහුව\ඇයව මව අසලින් ඉඳ ගැනීමට සලස්වා අලුත උපන් බිළිඳාව රඳවා ගැනීමට ඉඩ දෙන්න. වැඩිමහල් දරුවා අලුත උපන් ළඳරුවාව සෙනෙහසින් තුරුල් කර තබා ගැනීම, සහෝදර බැඳීමේ ක්‍රියාවලියට උපකාරි වේ.

“අයියා” හෝ “අක්කා” හට තෑගි භෝග ලබා දීම දිරිමත් කරන්න.
නව සාමාජිකයෙකු එකතු වීමේ ප්‍රීතිය සැමරීම වෙනුවෙන් පවුලේ වැඩිමහල් දරුවන් වෙත තෑගි භෝග ලබා දීම සඳහා ලඟම මිතුරන් හෝ පවුලේ හිතවතුගෙන් ඉල්ලීමක් කල හැක. මෙය දරුවා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
Image Credit: medicalcenterarlington.com

ඔබේ දරුවාත් පරිගණකයට හෝ ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇත්ද?

ඩිජිටල් උපාංග කෙරෙහි දරුවන්ගේ ඇති ඇබ්බැහි වීම, වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන්නේ “පරිගණක දෘෂ්ටි සහලක්ෂණය” (Computer Vision Syndrome) යනුවෙනි. මෙය දරුවන්ගේ ඇස්වලට කෙතරම් අහිතකර ද?

මීට දශක කිහිපයකට පමණ පෙර, රූපවාහිනිය පමණට වඩා නැරඹීමෙන් සහ ඊට සමීපව වැඩි වේලාවක් රැඳී සිටීමෙන් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ දෙමාපියන් දරුවන්ව දැනුවත් කලා මතකද? රූපවාහිනියෙන් සහ පරිගණයකයෙන් ඈත් වීම අද පරපුරේ දරුවන්ට දුෂ්කර කාර්යයක් වී ඇත. මෙයට හේතුව වන්නේ චිත්‍රපට , ටෙලි නාට්‍ය නැරඹීම , වීඩියෝ ක්‍රීඩා වල නිරත වීම මෙන්ම ගෙදර වැඩටත් “ඩිජිටල් තිරය” භාවිතා කිරීමයි.

පරිසරය ට එරෙහිව ඩිජිටල් තිරය
පරිගණකය දිගු කාලයක් භාවිතා කිරීම, අවිදුර දෘෂ්ටිකත්වය හෝ මයෝපියාව හෙවත් භ්‍රෂ්ට දෘෂ්ටිය ඇති වීමට හේතුකාරක වන බව බොහෝ වෛද්‍ය ඉගැන්වීම් වල පෙන්වා දී ඇත. අක්ෂි ගැටලු සහ ඩිජිටල් උපාංග අතර ඇති සම්බන්ධය, දිගු කාලීන පරිගණකය භාවිතය නොවන බව මෙල්බන් නුවර වෙසෙන දෘෂ්ටිමිතික විශේෂඥ ටිම් ෆ්‍රික් ගේ මතයයි. මොහු පවසනුයේ, බොහෝ වේලාවක් නිවෙස් තුල ගත කිරීම හේතුවෙන් අක්ෂි සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇතිවන බවයි.
ඩිජිටල් තිරය සමඟ වැඩි කාලයක් ගත කිරීම, එළි මහනේ හෝ පරිසරයට සමීපව ගත කරන කාලය අඩුවීමට හේතුවක් වේ. දරුවන් වැඩි කාලයක් එළි මහනේ ගත කිරීම, මයෝපියාව ඇති වීමේ ප්‍රවණතාව අඩු කරයි.

එක්සත් රාජධානියේ සිදු කල සමීක්ෂණයකට අනුව, එළිමහනේ සෙල්ලම් කරන අවුරුදු 8-9ත් අතර ළමයින්ට , අවුරුදු 15 වන විට අවිදුර දෘෂ්ටිකත්වය ඇති වීමේ ප්‍රවණතාවය අඩකින් අඩුවේ. සිංගප්පූරුවේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ මයෝපියාවෙන් පෙළෙන 90% පමණ වැඩිහිටියන්ගෙන් විනාඩි 30ක් හෝ ඊට අඩුවෙන් එළි මහනේ කාලය ගත කරන බවයි. ඒ අතරම, ඕස්ට්‍රේලියාවේ එළිමහනේ පැය 3ක් හෝ ඊට වැඩියෙන් කාලය ගත කරන මයෝපියාවෙන් පෙළෙන්නන් සිටින්නේ 10% පමණි.
තවදුරටත් ෆ්‍රික් සඳහන් කරන්නේ සමස්ත නීරොගී සෞඛ්‍යයක් සඳහා දරුවන් දිනපතා එළිමහනේ සෙල්ලම් කිරීම ඉතා වැදගත් බවය. ඔවුන් පරිගණකය භාවිතා කරන්නේ නම්, නිතර කෙටි කාලීන විවේක ලබා ගත යුතු වනාතර කාමරය තුල මනා ආලෝකයක් තිබේදැයි සලකා බැලිය යුතුවේ.

නිල් ආලෝකයට එරෙහිව LED
ළමයින්ගේ අක්ෂි කෙරෙහි ජංගම දුරකතන, රූපවාහිනි සහ පරිගණක තිර වලින් නිකුත් වන ආලෝකය යහපත් ද අයහපත් ද යන්න තවමත් කිසිවකු නිශ්චිත නිගමනයකට එළඹී නැත. දිගු කාලීනව ආලෝකයට ආවරණය වීමෙන් දෘෂ්ටි විතානයට හානි සිදු විය හැකි බව 2013 දී ස්පාඤ්ඤයේ දි කල අධ්‍යයනයකින් හෙළිවී ඇත.

දරුවන් කුඩා කල පටන් ඩිජිටල් උපාංග සමඟ සමීප වීමත්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව දීර්ඝ වීමත් හේතුවෙන් අක්ෂි ආබාධ බරපතළ වන බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය කර ඇත. මෙම පර්යේෂණයට අනුව, ඇස නිර්මාණය වී ඇත්තේ ආලෝකය දෙස කෙලින් බැලීමට නොව, ආලෝකය භාවිතයෙන් බැලීමටය.
නිතර ඇස පියවීම සහ අධික විටමින් ඇ හා ප්‍රතිඔක්සිකාරක අඩංගු අහාර වේල් අනුභව කිරීම මනා අක්ෂි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට මෙන්ම, ආලෝකයේ අහිතකර බලපෑම අවම කර ගැනීමට ඉවහල් වන බව විද්‍යාඥයින් පවසයි.

දරුවන්ගේ ඩිජිටල් තිර කාල භාවිතය සඳහා නිර්දේශ
අවුරුදු 2 හෝ ඊට අඩු කුඩා දරුවන් පරිගණක හා රූපවාහිනි කාලය අවම කර ගත යුතු ය.
පෙර පාසල් දරුවන් රූපවාහිනිය නැරඹිය යුත්තේ දිනකට පැයක් පමණි. පරිගණකයෙන් වැළකී සිටීම හෝ එහි ස්වල්ප වේලාවක් ගත කිරීම හිතකරය.
අවු 9 හෝ ඊට වැඩි දරුවන් හට දිනකට පැය 1.5-2 ක රූපවාහිනි/පරිගණක කාලයක් ලැබිය යුතු වේ.
පරිගණකයත් සමඟ ගත කරන සෑම විනාඩි 20 කට වරක්ම, අඩි 20ක් ඈතින් තිබෙන වස්තුවක් දෙස තප්පර 20ක් ඇස යොමු කල යුතු බව අක්ෂි සෞඛ්‍ය විශේෂඥයින් නිර්දේශ කරයි.
Image Credit: ibtimes.co.uk

සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කිරීමට ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

ශ්‍රී ලාංකික සංස්කෘතික රාමුව තුල, කාන්තාවන් තම ගර්භණී කාලය තුල කල යුතු හා නොකල යුතු දෑ බොහෝ ඇත. අඩු බරක් ඇති මවක් බිහි කරන දරුවා සෞඛ්‍ය සම්පන්න නොවන බව සමාජයේ පවතින පොදු මතයකි. ගර්භණී අවධිය තුල සාමාන්‍යයෙන් බර වැඩි වූවත්, එම ක්‍රියාවලිය ශරීරයට හිතකර අන්දමින් සිදු විය යුතුය. මාගේ ගර්භණී කාලය තුල එක් අවස්ථාවක දී වැඩිහිටි කාන්තාවක් නිතරම පැවසූ දෙයක් නම් මාගේ බර නිසි පරිදි වැඩිවී නොමැතිවී බවයි. මා මේ සම්බන්ධයෙන් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුගෙන් විමසීමක් කලෙමි. ඔහු පැවසූවේ අධි බරකින් යුත් කාන්තාවන් පවා බර අඩු දරුවන් බිහි කරන බවය. මාගේ බර සෞඛ්‍යයට හිතකර පරාසයක තබා ගන්නා කල්, මා හට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

එම නිසා සෑම දෙනෙකුටම මා කරන යෝජනාව නම්, ඔබගේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබේ බර පිළිබඳව ප්‍රශ්නයක් නොනඟන තාක් ඔබටත් බියවීමට හේතුවක් නොමැති බවයි.

මාගේ පළමු දරුවා මාස 7 සම්පූර්ණ කලා පමණි. කියන්නත් සතුටුයි ! මාගේ ශරීරය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට අවශ්‍ය වනුයේ කිලෝ 2ක බර අඩු වීමක් පමණයි. මම දින කිහිපයක් තුල සිසේරියන් සැත්කමකින් සුවය ලබා පැමිණියෙමි. මාගේ දරුවා දැන් මනා සෞඛ්‍ය තත්තවයේ පසුවන්නේය. රෝහලින් පිට වී දින දෙකක් ගතවන විට, මට මාගේ සියලු වැඩ කටයුතු තනියෙන් කර ගැනීමට හැකිවුණා. සිසේරියන් සැත්කම සිදුකල ස්ථානයේ යම් වේදනාවක් පැවතුනත්, වෛද්‍ය නිර්දේශය මත සතියක් සඳහා ලබා දුන් වේදනා නාශක පෙති වලින් එම කැක්කුම සමනය වුණේය. ඉන් අනතුරුව, සුපුරුදු අන්දමට මම වැඩ කටයුතු වල යෙදුණෙමි. සෞඛ්‍යමත් දරුවකු ලැබීමෙන් පසු සෞඛ්‍ය සම්පන්න බවින් පසු වීමටත්, ඉක්මන් සුවය ලබාගැනීමටත් මා හට හැකිවූයේ කෙසේද? ගර්භණී අවධියේ අභිරහස් මා සමඟ බෙදා හදා ගැනීම වෙනුවෙන් මාගේ සොහොයුරියට මා ස්තූතිවන්ත විය යුතුයි. American Pie චිත්‍රපටයේ, කෙවින් ඔහුගේ වැඩිමහල් සොහොයුරාට බයිබලයක් ලබා දෙන දර්ශනය මේ මොහොතේදි මාගේ සිහියට නැගේ.

සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සේම තමා මනා සෞඛ්‍ය තත්ත්වයේ පසුවීමේ රහස පෝශ්‍යදායි ආහාර ගැනීමයි. එය ඒ තරමට සරලයි. මාගේ ගර්භණී අවධියේ මාස 9ක කාලය තුල , මා සුපුරුදු ආහාර වේල් ලබා ගත් අතර, මාගේ රුචිය අනුව ආහාර ප්‍රමාණය මම වෙනස් කර ගත්තෙමි. ගැබ්ගත් මවක් දෙදෙනෙකුට සෑහෙන අහාර ප්‍රමාණයක් ගත යුතු බව සඳහන් මිත්‍යාවක් සමාජයේ පැවතේ. මා ගර්භණී මාතාවන් සඳහා විශේෂයෙන් සකස් කල පිටි කල කිරි හෝ ආහාර ලබා ගත්තේ නැත. මාගේ ප්‍රධාන ආහාර වේලෙහි බොහෝ විට අඩංගු වුනේ රතු බත්, එළවලු බත්, පළා වර්ග සහ මාලු ය. මා අනුභව කලේ, මට දරා ගත හැකි ප්‍රමාණයට පමණකි. එය මා සුපුරුදු ලෙස ගත් ආහාර ප්‍රමාණයයි. පසුව මම එය ක්‍රමක්‍රමයෙන් වැඩි කලෙමි. තවද, මාගේ මුහුණේ කිසිදු ඉදිමුම් ස්වභාවයක් නොතිබුණු අතර ගර්භණී අවධිය මුළුල්ලේම එය දීප්තිමත් ව තබා ගැනීමට මම සමත් වුණෙමි.

කෙසේ වෙතත් මම දොල දුක් ආශාවන් පාලනය කර ගතිමි. මා නිතරම ප්‍රිය කල ආහාර ජාති අතර අයිස් ක්‍රීම්, දැල්ලෝ, තෙම්පරාදු කරන ලද බත්, වඩේ සහ අනෙකුත් අනං මනං ඇතුලත් විය. ශරීරයට හිතකර නොවන ආහාර කෙරෙහි ද සිත ඇදී යන වේලාවන් තිබුණි. සමහර අවස්ථාවන්හි දී, මා මෙම දැඩි ආශාවන් වලට අවනත වී ඒවා සපුරා ගත් බව පිළිගත යුතුව ඇත. මෙම විශේෂ ආහාර සඳහා ඇති ලොල් බව ඉක්මවාලිය නොහැකි තරමක පැවතුණි. කෙසේ වෙතත් මෙම ප්‍රමාණය, මා දැනුවත්වම, ගර්භණී කාලයට පෙර මා ගත් ප්‍රමාණයටම සීමා කලෙමි. මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය. එහෙත් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සහ සුන්දර පෙනුමකින් පසු වීම සඳහා මෙය අනුගමනය කිරීම ඉතා වැදගත් බව මා තරයේම මතක තබා ගත්තා.
ගර්භණී භාවයට එළඹීම හෝ මවක් වීම කාන්තාවකගේ බර සහ පෙනුම පිළිබඳ නොසලකා හැරීමට නිදහසට කාරණාවක් නොවේ. කෙසේ වෙතත් තම රූ සපුව හෝ ශරීරය පිළිබඳව නොසලකා හැරීම සමහරක් අපේක්ෂිත පවුල් ප්‍රශ්න වලට මුල පිරීමට ඉඩ ඇත.
පළා වර්ග සහ ජලය මම මැනවින් පරිභෝජනය කලෙමි. මා කෙතරම් පළා ජාති අනුභව කලාද කිවහොත් මාගේ නැන්දම්මා මා නිවසේ වෙසෙන එළුවකු කියා සිතන්නට ඇති. මම අධික ලෙස ජලය පානය කිරීමට පුරුදුව සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා දරුවාට මව් කිරි දීමේදි දවසට කිහිප සැරයක් බිළිඳාගේ ඉණකඩ (nappies) මාරු කිරීමට සිදු වුණේය.
Image Credit: celebrityparentsmag.com

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

දරුවන්ගේ ආවේගශීලි හැඟීම් පාලනය කිරීම සඳහා උපදෙස්

කෝපය යනු ශාරීරික හා මානසික වශයෙන් බලපෑම් ඇති කල හැකි ඍණාත්මක සංවේදනයකි. මෙය උග්‍ර වුවහොත් ඉතා බරපතල මානසික තත්ත්වයන්ට යොමු වීමට ඉඩ ඇත. ළමුන් , ඔවුන්ගේ වැඩෙන හා ඉගෙන ගන්නා වියෙහි පසුවන අවධියේ කෝපය පිළිබඳ ප්‍රශ්නය ගැන අවධානය යොමු කිරීම තීරණාත්මක වන අතර එය පාලනය කිරීමට උත්සාහ ගත යුතුයි.

දරුවන් තුල පවතින ආවේගශීලි හැඟීම් හඳුනා ගැනීම.
ළමුන්ගේ කෝපය පාලනය කිරීමට පෙර පළමු පියවර ලෙස එය හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ළමුන්ගේ ආවේගශීලි ලක්ෂණ හා හැඟීම් බොහෝමයක් ඇත. මෙය විවිධ ළමුන් අතර විවිධ ආකාරයට පෙන්නුම්කරයි.
තාප්පයට කකුලෙන් ගැසීම, සෙල්ලම් බඩු කඩා දැමීම, කෑ ගැසීම සහ පහර දීම හෝ නිවසේ නිස්කලංක කොනක නිහඬව වාඩිවී සිටීම යනාදි හැසිරීම් තුලින් සමහර ළමුන් තමන්ගේ කෝපය ප්‍රකාශ කරනු ඇත. කෙසේ වෙතත් කෝපය, සාමාන්‍ය මිනිස් හැසිරීම් හා ස්වභාවික මිනිස් ඥානයේ කොටසකි. කෝපය දරුවන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කරන බව පැවසීම අසත්‍ය මතයකි. කෙසේ වෙතත් මෙමඟින් ළමයාගේ පෞරුෂ වර්ධනයට ඇතිවිය හැකි අමිහිරි ප්‍රතිඵල මඟ හරවා ගැනීම සඳහා කෝපය පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ආවේගශීලි හැඟීම් පාලනය කිරීම සඳහා උපදෙස්.
ආවේග වලට මුහුණ දීම සඳහා කෝපයේ රෞද්‍ර බව අඩුකිරීම හෝ හැසිරීමේ වෙනස් කිරීම සිදු කිරීම පිළිබඳව උපදෙස් සමහරක් ඇත. මෙහිදී ඉතා වැදගත් වන්නේ ළමුන්ගේ හැසිරීම් පහත සඳහන් ආකරයට වෙන මඟකට යොමු කිරීමය.

දරුවාට යම් නිශ්චිත දුරක් ඇවිදීමට හෝ දිවීමට පවසන්න. උදාහරණයක් හැටියට ‘එන්න, අපි අඹ ගහ වටේ රවුම් පහක් දුවමු” කියා යෝජනා කිරීම. මේ හේතුවෙන් ළමයා ගස වටේ ගිය වට ගණන හෝ පියවර ප්‍රමාණය ගණන් කිරීමට අවධානය යොමු කරන අතර සිතේ ඇති කෝපය පිළිබඳ අදහසෙන් දුරස්ථ වෙයි. “ඇපි මේසය වටේ රවුම් දයහයක් යමු, ඊට පස්සේ ඒ ගැන කතා කරමු” ළමයා මේසය වටේ යාමෙන් සතුටක් භුක්ති විඳින අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෝපය ඇති වීමට මූලික වූ හේතුවද අමතක වෙයි.

කෝපය යෝග්‍ය අන්දමට ප්‍රකාශ කිරීම ද එය අවම කිරීමට උපකාරි වන වැදගත් උපදෙසකි. ළමයා තුල ඇති පීඩාව හා කෝපය සිතින් නිදහස් කිරීම සඳහා වෙනම අවකාශයක දරුවාට කෑමොර දීමට හෝ යටි ගිරියෙන් කෑ ගැසීමට සලස්වන්න. අන් අයට බාධා නොවන අයුරින් මෙය වසා ඇති ප්‍රදේශයක සිදු කිරීම යහපත්ය. ළමයාගේ කෝපය ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ/ඇයගේ නිදන කාමරයේ වෙනම කලාපයක් තෝරාගන්න. මෙලෙස දරුවාට තම ආවේගය නිදහස් කල හැක්කේ එම කලාපය තුල පමණි.

ළමයාව කණ්ණාඩියක් ඉදිරිපිට සිට ගැනීමට සලස්වා ඔහුගේ මුහුණ එක් එක් ස්වරූපයට හැඩගස්වන ලෙස පවසන්න. මෙම ක්‍රමය ළමයාගේ සිත වෙන අතකට යොමු කරයි. බොහෝ දරුවන් මෙයින් වින්දනයක් ලබන අතර ඊට මැනවින් ප්‍රතිචාරයක් ද ලබා දෙයි.

නිවසින් බැහැරව වීදිවල ගමන් කිරීම හෝ නිවෙස් තුල දිවීමත් ආවේගය අවම කිරීමට හොඳ ක්‍රමයකි.

ඔබගේ දරුවාගේ කෝපය පාලනය කිරීම සඳහා ඔබ ගනු ලබන අනෙකුත් ක්‍රියා මාර්ග මොනවාද?
Image Credit: nogreaterjoy.org