පියා සහ සිඟිති දරුවන් අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම

ඕස්ට්‍රේලියාවේ පියවරු තම දරුවන් සමඟ කොපමණ කාලයක් ගත කරන්නේද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක්, පවුල් අධ්‍යයනය පිළිබඳ ඕස්ට්‍රේලියානු ආයතනය විසින් පවත්වා ඇත. සාමාන්‍යයෙන් සති අන්තයත් ඇතුලුව පියවරුන් තම දරුවන් සමඟ තනිව ගත කරන කාලය විනාඩි 30 කටත් අඩු බව, එම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත.
මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ සිඟිත්තන්ට තම මව අවශ්‍ය වන තරමටම තම පියාගේ ආදරය හා අවධානය ද අවශ්‍ය වන බවයි. දරුවා සහ පියා යන දෙපාර්ශවය ගත කරන කාලය විනාඩි 30 කට සීමා වීම, ප්‍රමාණවත් නොවන බව සමීක්ෂණ වාර්තා අවධාරණය කරයි.

මේ පිළිබඳව මව්වරුන් විසින් කිසියම් දෙයක් කල යුත්තේ ඇයි?
නිවසේ කටයුතු සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ මව විසිනි. පියවරුන් මෙම ගෘහස්ථ කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට මව්වරුන් කුමක් කල යුතුද?
පියාගේ දායකත්වය තුලින්, පවුලේ සෞභාග්‍යය සහ දියුණුව වර්ධනය වන අතර දරුවා කෙරෙහි මෙය ධනාත්මක බලපානු ලැබේ.
දරුවාගේ ජීවිතය කෙරෙහි පියා ඉතා වැදගත් වන්නේ ඇයි? එසේම මව විසින් කල නොහැකි පියාගේ කර්තව්‍යයන් කවරේද? මේ පිළිබඳව සමීක්ෂණ මඟින් කිසිවක් නියත වශයෙන් පැහැදිලි නොකරන නමුත් පියවරුන් තම දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කාලය මිඩංගු කිරීම හා දෙමාපිය කර්තව්‍යයන් මැනවින් ඉටු කිරීම , සිඟිත්තාගේ වර්ධනයට ඉමහත් සේ බලපෑ හැකි බව පෙන්වා දෙයි.

ධනාත්මක දැක්මක් ඇති , ක්‍රියාශීලි පියවරුන් පහත සඳහන් කරුණු සඵල කර ගැනීමට උදවු කල හැක.

පිරිමි ළමුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටලු අවම කිරීම.
ගැහැනු දරුවන්ගේ මානසික ගැටලු අවම කිරීම.
අනාගතෙයේදි ඇති විය හැකි දරුවාගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම් අවම කිරීම.
දරුවා තුල කුතුහලය, බුද්ධිය, භාෂා වර්ධනය හා තාර්කික හැකියාව වැඩි දියුණු කිරීම.
නව යොවුන් වියේ දුම් පානය කිරීමේ ප්‍රවණතාවය අවම කිරීම.
යහපත් සමාජ සම්බන්ධතා සහ මිත්‍රශීලි බැඳිම් ගොඩ නැගීම දිරිමත් කිරීම.
යහපත් විවාහ ජීවිතයක් පවත්වා ගෙන යාම.

ඉහත සඳහන් කල ප්‍රතිලාභ, පවුලේ මෙන්ම දරුවාගේ අභිවෘද්ධිය සඳහා දායක වූ පියෙකුගේ හැසිරීම් වල ප්‍රතිඵලයක සාරංශයකි. පියවරුන් මෙලෙස තම දරුවන්ගේ ජීවිත වලට සම්බන්ධ වී කටයුතු කරන විට දරුවන් වඩා හොඳින් හා සතුටින් ක්‍රියා කිරීමට නැඹුරු වේ. පියා, දරුවාගේ ජීවිතයට සම්බන්ධ වීම ඉක්මන් වන තරමටම, දරුවාගේ සම්බන්ධතාවයද ස්ථාවරව පැවතිය හැකි අතර ඊට ප්‍රතිචාරයක් ලෙස දරුවාගෙන් ලැබෙන ප්‍රතිඵලයද යහපත් වනු ඇත.
නිවසේ ළඳරුවෙකු, සිඟිත්තෙකු හෝ පෙර පාසල් වියෙහි පසුවන දරුවකු යන කවරකු සිටියත් පියාගේ දායකත්වය නොපමවා දරුවාට ලැබිය යුතුය.

පියා සිය සිඟිත්තා සමඟ ගත කරන කාලය දිරිමත් කල හැකි ක්‍රම මොනවාද?
පහත සඳහන් ක්‍රියාකාරකම්, පියවරුන් සිය සිඟිත්තා සමඟ වැඩි කාලයක් ගත කිරීමටත් දෙපාර්ශවය අතර කල් පවත්නා සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමටත් උපකාරි වේ.

පියා සිය සිඟිත්තා සමඟ එකට ගත කරන කාලය.
මේ සඳහා කාල සටහනක් තබා ගත යුතු වේ. සිය සිඟිත්තා සමඟ කාලය ගත කිරීමට නිශ්චිත වේලාවක් යොදා ගැනීම පියාගේ දින චර්යාවේ කොටසක් විය යුතුයි. රූපවාහිනිය ඉදිරියේ ඔබේ වටිනා කාලය ගත කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට තම දරුවා සමඟ උද්‍යානයට, වෙරළට යාමට හෝ නිස්කලංකව ඇවිදීමට යොදා ගන්න. මෙය ඕනෑම වයසක පසුවන දරුවකු සතුටින් පිළිගනු ඇත.

පියා සහ සිඟිත්තා අතර ඇති සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා “පවුලේ රාත්‍රියක්” යොදා ගන්න.

සතියේ එක් රාත්‍රියක් පවුලේ උදවිය සමඟ ගත කිරීම සඳා යොදා ගන්න. මෙම රාත්‍රිය ඉතා විශේෂ එකකි. දුරකතන ඇමතුම් නොසලකා හැරීම ( මේ වෙනුවට “Answering Machine” ක්‍රියාත්මක කර තබන්න ) , අන්තර්ජාලය හා රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීම ආදි අවට බාධා කිරීම් යටපත් කරන්න. අවධානය තම දරුවා සහ පවුල වෙත පමණක් යොමු කල යුතු වේ. මෙම අවස්ථාව පවුල සමඟ ගැටලු සාකච්ඡා කිරීම, අවශ්‍ය තොරතුරු බෙදා හදා ගැනීම සඳහා යොදා ගත යුතු වේ.
එකට එකතු වී පත පොත කියවීම, පියා සහ සිඟිත්තා අතර ඇති සම්බන්ධතාවය දිරිමත් කරයි.

පියවරුන් තම දරුවන්ට කියවීම සිඟිත්තන් ප්‍රිය කරයි. තාත්තාට සෙමින් කියවීමට පවසන්න. කතාවේ චරිත, කතා වස්තුව ආශ්‍රිත හැඟීම් මෙන්ම ඒ සම්බන්ධ අනෙකුත් ප්‍රශ්න පිළිබඳව දරුවාගෙන් විමසන්න. මෙය පියා සහ සිඟිත්තා අතර ඇතිවන සංවාදය දිරිමත් කරයි.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම දිරිමත් කිරීම සඳහා ව්‍යපෘතියක් නිර්මාණය කරන්න.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම දිරිමත් කිරීම සඳහා අත්කම් ක්‍රියාවන් ඉතා වැදගත් වේ. මෙම අත්කම, දරුවා ප්‍රිය කරන ආකෘතියක්, නිවසක්, සෙල්ලම් බඩුවක් හෝ සිඟිත්තා ප්‍රිය කරන ඕනෑම දෙයක් විය හැක. පියා අත්වැඩ කෙරෙහි විශේෂ දක්ෂතාවයක් නොදැක්වූවත්, නිසැකයෙන්ම මෙය දෙපාර්ශවයටම ප්‍රිය උපදවන අත්දැකීමක් විය හැක.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම – දරුවා වෙනුවෙන් පෙනී සිට පවුලේ කටයුතු සඳහා දායක වන්න.

පියා තමා අසල සිටීම, සිඟිත්තා කෙරෙහි විශාල වෙනසක් ඇති කරයි. කාර්යාලයේ වැඩ කටයුතු නිවසට ගෙන එන කාර්යබහුල පියවරුන්ද රාත්‍රී ආහාරයට පෙර තම සිඟිත්තා සමඟ සුහද පොර බදින ක්‍රීඩාවක නිරත වෙයි. මෙය දරුවා තුල තිබෙන සුරක්ෂිතභාවයේ හැඟීම් වර්ධනය කර ගැනීම සඳහා උපකාරි විය හැක.
මවුපිය දෙපළකගේ ජීවිතයේ ප්‍රමුඛතාවය ඉල්ලීම් සහ කාර්ය සටහන් වලින් පිරී ඇත. පියවරුන් සාමාන්‍යයෙන් රැකියා පීඩනය, දිගු කාල වේලාවක් රාජකාරි වල නිරත වීම හා කාර්යාල දේශපාලනය සමඟ පොර බඳිමින් සිටියි. දෛනික ජීවිතයේ ඇති කාර්යබහුල බව සමඟ පියවරුන් තම දරුවන්ගේ ජීවිත වලට තමාට හැකි අයුරින් දායක වීම අතිශයින් වැදගත් ය. මෙය දරුවන්ගේ ජීවිත වලට දිගු කාලීන බලපෑමක් ඇති කල හැක. මේ සම්බන්ධයෙන් මව්වරුන් හට කල හැක්කේ තම සැමියා වෙත සුහද මතක් කර දීමක් ලබා දීම පමණි.

Image Credit: amazingviewscabinrentals.com

ගර්භණී අවධියේදී ඔක්සිටෝසින් (Oxytocin) සක්‍රීය කර සතුටින් පසුවන්න

සමහර කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට වඩා හොඳ මව්වරුන් වන්නේ ඇයි? මේ කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම ඉහළ අගයක පැවතීම මීට හේතුවක් විය හැක. මෙය “සෙනෙහස් හෝමෝනය” (Love Hormone) ලෙසද හඳුන්වනු ලැබේ. ඔක්සිටෝසින් ඉතා අත්‍යවශ්‍ය මාතෘ හෝමෝනයකි. මෙය කාන්තාවන්ගේ මාතෘත්වය වර්ධනය කරනවා පමණක් නොව ඔවුන්ව වඩාත් සතුටට හා ස්නේහවන්ත බවට පත් කරයි.
සමීක්ෂණ වලින් නැවත නැවතත් අනාවරණය වී ඇත්තේ, අඩු ඔක්සිටෝසින් මට්ටමක් ඇති සතුන් ඔවුන්ගේ පැටවුන් මුවින් පිරිමැදීම සහ ලෙව කෑම වැනි සෙනෙහස පාන හැසිරීම කෙරෙහි මන්දගාමි ඇල්මක් දක්වන බවයි. මේ දක්වා, ,මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් මේ පිළිබඳ එතරම් සමීක්ෂණ කර නැති බව පෙනේ. ගර්භණී අවධියේ පළමු මාස 3 හිදී කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම, ළඳරුවාගේ පලමු මාසය තුල, ළඳරුවාත් මවත් අතර ඇති බැඳීම පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වන බව සොයා ගෙන ඇත. මීට අමතරව ගර්භණී අවධිය ඔස්සේ හා දරු උත්පත්තියෙන් පසු පලමු සති 6 තුලදී අධික ඔක්සිටෝසින් මට්ටමක් පෙන්නුම් කල මව්වරුන්, දරුවා සමඟ සමීප සම්බන්ධතා පෙන්නුම් කර ඇති බව අනාවරණය කර ඇත. එම නිසා ඔක්සිටෝසින් අගය වැඩි වන තරමට දරුවා කෙරෙහි මවගේ ඇති ආදරය සහ අවධානය වර්ධනය වන බව නිසැකය.

තවද අනතුරක් යටපත් වූ පසු ඔක්සිටෝසින් විසින් ආතති හෝමෝනය ප්‍රතිවර්තනය කර ශරීරයේ මාතෲ සෞඛ්‍යය සහ තැන්පත්භාවය නැවත ඇති කරනු ලැබේ. හිතවත් භාවය, රුධිර පීඩනය අඩු අගයක තබා ගැනීම සහ අනිත් අය සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ඇති ලැදියාව වැඩි දියුණු කිරීම ඔක්සිටෝසින් හෝමෝනයේ මූලික කර්තව්‍යයකි.

මින් අදහස් කරන්නේ කාන්තාවකගේ ගර්භණී අවධියේ පළමු මාසය තුල ඇයගේ ඔක්සිටෝසින් අගය පහල මට්ටමක පවතී නම් ඇය හොඳ මවක් නොවන බවද? මෙම හෝමෝනය වැඩි කරග ගත හැකි ක්‍රම තිබේද?

මෙම ඔක්සිටෝසින් හෝමෝනයේ රුධිර මට්ටම වැඩි කිරීම සඳහා ඔක්සිටෝසින් පෙති භාවිතා කිරීම කියා දෙයක් නැත. මෙම හෝමෝනය, නාස් ඉස්නය (Nasal Spray) හි තිබුනත් දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් මොළයට හානි පැමිණවිය හැකි බව වෛද්‍ය මතයයි. මෙය ක්‍රියාවෙන් කල යුතු දෙයකි.

සුභදායි අන්දමට බලන විට ශරීරයේ ඇති ඔක්සිටෝසින් අගය ඉතා පහසුවෙන් වැඩි කර ගත හැක. සුරතලෙකු හෝ ළඳරුවෙකු ස්පර්ශ කිරීම, භාවනාව, ශරීර සම්භාහනය, ස්වේච්ඡා සේවය , පොතක් රස විඳීම, ගී ගැයීම, ලිංගික සේවනයේ නිරත වීම, යෝගා සහ ව්‍යායාම් වල යෙදීම මෙම හෝමොනයේ අගය වැඩි කිරීමට ඉවහල් වන බව දැන ගත යුතු කරුණකි. දෙමාපියන්, මිතුරන් හෝ අසල්වැසියන් සමඟ සුහද සම්බන්ධතා පැවැත්වීමෙන්ද ඔක්සිටෝසින් මට්ටම වර්ධනය වේ. මෙම හෝමෝනය ” සෙනෙහස් හෝමෝනය” ලෙස සමීක්ෂකයින් හඳුන්වන්නේ ඒ නිසාවෙනි.

ගර්භනී මාතාවන් තම දරුවන්ට මව්කිරි දීම ඔක්සිටෝසින් අගයන් වැඩි කර ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයකි. මෙසේ ඔක්සිටෝසින්හි රුධිර මට්ටම ඉහල යාම හේතුවෙන් සෙනෙහසේ සහ සෙනෙහස දැක්වීමේ හැඟිම් උත්තේජනය කරයි. ශරීරයේ ඔක්සිටෝසින් ප්‍රමාණය වැඩිපුර නිෂ්පාදනය වන තරමට ස්නායු පද්ධතියේ ඇති ප්‍රතිග්‍රාහක මඟින් ඉහත සඳහන් කාර්යයම කරනු ලැබේ. මෙය උඩුකුරු වර්ධනයකි.

ඔබේ දඟකාර දරුවා හික්මවීමේදි ඔබත් මේ වැරදි සිදු කරනවාද?

බොහෝ දෙමාපියන් තම දරුවන්ට තරවටු කොට, ඔවුන්ව හික්මවීමට තැත් කරයි. මෙය පිළිගත් ජනප්‍රිය ක්‍රමයකි. උදාහරණයක් වශයෙන්, දෙමාපියකු තම දරුවා වෙත මෙලෙස සැර වැර කරන විට “එළවලු ටික කෑවේ නැත්තම්, ටීවී බලන්න දෙන්නේ නෑ” දරුවා මීට මෙසේ පිලිතුරු දිය හැක. “කමක් නෑ, මං එහෙනං නිදා ගන්නම්”. මෙයින් දෙමාපියන් කෝපයට හා පීඩාවට පත් වේ. තරවටු කිරීම් වරදින අවස්ථා බොහෝමයක් ඇත. මෙය සාමාන්‍ය දෙයකි. එහෙත් කල්පනාකාරිව කටයුතු කල යුතු අරගල ද තිබේ. දෙමාපියන් විසින් පහත ක්‍රම වේද 8 න් වැළකී සිටීමෙන්, යෝග්‍ය සහ අයෝග්‍ය හැසිරීම් සඳහා නිශ්චිත සීමා පැනවිය හැක.

බොරු කීම
ඇමරිකාවේ New Jersey හි වෙසෙන මවක් වන ජිනා කේන්ට අනුව, දරුවන් හික්මවීමේ ක්‍රමයක් ලෙස බොරු කීම සැම අවස්ථාවකදීම වැරදීමට ඉඩ ඇත. එක් දිනක්, ඇයගේ දියණිය වන ක්ලෝඊ තමාව රැක බලාගන්නාගේ (Baby Sitter) නිවසට යෑමේ අකමැත්තෙන් වාහනයෙන් පිටතට බැසිය නොහැකි බව පවසා මුරණ්ඩු විය. ඉන් අනතුරුව ජීනා අසල ඇති නිවසක් පෙන්වා, එහි ලෙන් වැසියන් වාසය කරන බව පවසා ඇයව බියට පත් කලේය. ලෙන් වැසියන්ට අසාමාන්‍ය බියක් දැක්වූ ක්ලෝඊ එය අසා සැණෙකින් වාහනයෙන් එලියට බැස ඇයව බලගන්නා ගේ නිවසට දුව ගියාය. සතියකට පසු, තම දියණියව රැක බලාගන්නා, ජීනා වෙත පැමිණ ඇය වෙසෙන අහල පහල දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබේ දැයි විමසා සිටියාය. ක්ලෝඊ මේ පිළිබඳ ඇය සමඟ පැවසීම මීට හේතුවක් විය. මෙයින් ජීනා පසුතැවිල්ලට පත් විය. මන්ද කිවහොත් ක්ලෝඊ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳවීම දැඩි අරගලයක් වන බැවිනි.

විසඳුම.
දරුවා සමඟ සංවේදීව කටයුතු කිරීම මීට මනා විකල්පයක් වේ. තම දියණිය මුරණ්ඩු වූ අවස්ථාවේ, ජීනාට මෙසේ පැවසිය හැකිව තිබුණි. ” සමහර වෙලාවල්වලට, ඔයාට එයාගේ ගෙදර යන්න හිතෙන්නෑ කියල මට තේරෙනව. අම්මටත් වෙලාවකට ඔෆිස් යන්න හිතෙන්නෑ.” දරුවා සමඟ සංවේදීව සන්නිවේදනය කිරීමෙන් හා බොරු කීමෙන් වැළකී සිටීමෙන්, ඔබගේ සඳුදා උදෑසන තවත් ප්‍රසන්න හා සරල වේ.

ඔබගේ වචනයට අනුගත නොවීම.
අනතුරු ඇඟවූවත් , තරවටු කලත් එය අනුගමනය නොකිරීම, දරුවා තවත් අකීකරු වීමට හේතු වෙයි. උදාහරණයක් හැටියට, පවුලේ වැඩිමහල් දරුවා තම නංගීගේ හෝ මල්ලීගේ සෙල්ලම් බඩුවක් බලෙන් උදුරා ගත් විට දෙමාපියකු ලෙස ඔබ ඔහුට/ඇයට “ඔයා ආපහු ඒ සෙල්ලම් බඩුව නංගිට දුන්නැත්තම් , මං ඒක සදහටම අරං තියා ගන්නව” යනුවෙන් සැර කල යුතුය. මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක නොකලේ නම්, දරුවා දිගින් දිගටම තම බාල සහෝදරියගේ සෙල්ලම් බඩුව උදුරා ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙමාපිය මැදිහත්වීමක් පවතින තාක් දරුවාගේ ඉහත කී නොමනා හැසිරීම තව දිගු කාලයක් පවතියි.

විසඳුම
ප්‍රතිවිපාකයක් ලෙස කිසියම් අනතුරු ඇඟවීමක් කරන්න. දරුවා නැවතත් අකීකරු ලෙස හැසිරුනේ නම්, ප්‍රතිවිපාකයක් ලෙස දඬුවම ලබා දෙන්න.
උදාහරණයක් ලෙස “විනෝදයේ විරාමය” (Time-Out : නිශ්චිත වේලාවක් කිසිදු දෙයක් නොකර නිශ්ශබ්ද සිටීමට සැලැස්වීම ) යනු දරුවාගේ නොමනා හැසිරීම සඳහා ලබා දිය හැකි ප්‍රතිවිපාක දඬුවමකි. දරුවා දිගටම අකීකරු ලෙස හැසිරින්නේ නම්, එම ස්ථානයෙන් ඉවත් වන්න. දෙවන වතාවේ ද මෙලෙසම සිදුවන විට, ප්‍රතිවිපාක දඬුවම පිළිබඳ මතක් කර දෙන්න.

වඩාත් හොඳ දෙමව්පියා වන්නේ කවුරුන්ද?
දෙමාපිය යුවලක් තම දරුවන් සමඟ උද්‍යානයට ගොස් අයිස් ක්‍රීම් මිලදී ගන්නා අවස්ථාවක් සිතට ගනිමු. මෙහිදී දරුවකු අකීකරු ලෙස හැසිරුණු විට, නිසි ලෙස හැසිරුණේ නැතිනම්, අයිස්ක්‍රීම් ලබා නොදෙන බව දෙමාපියන් දරුවාට අනතුරු අඟවයි. දරුවා මෙම අවවාදය නොසලකා හැර කෑ මොර දෙමින් නැවතත් නොමනා ලෙස හැසිරෙන්නට ගනියි. මිනිත්තු කිහිපයකට පසු, මෙයින් පීඩාවට පත් පියා බැරිම තැන දරුවාට අයිස් ක්‍රීම් ලබා දෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ, දරුවාව හික්මීම සඳහා මව විසින් ගනු ලැබූ ප්‍රයත්නයේ වටිනාකම නැති වී දරුවාට අම්මාට වඩා තාත්තා හොඳ යැයි හැඟීමක් ඇතිවීමයි.
දරුවන් වෙත සීමා පැනවීමේදී දෙමාපියන් එකමුතු වී තීරණ ගත යුතුය. මෙලෙස දරුවාට එක් දෙමාපියකු පමණක් විනය භාර පුද්ගලයා ලෙසද අනිත් කෙනා සැරවැරකම් නැති හොඳ දෙමව්පියා ලෙසද දිස්වීම වළක්වා ගත හැක. කෙසේ නමුත් මව සහ පියා යන දෙදෙනාටම එකම වැරදි සඳහා දෙයාකාරයෙන් ප්‍රිතිවිපාක දඬුවම් නියම කල හැක. දරුවා ඔබට වඩා ඈත ස්ථානයක සිටින්නේ නම්, දෙමාපියන්ට මේ පිළිබඳව ඇති විකල්ප මාර්ග සාකච්ඡා කොට ලබා දිය යුතු ප්‍රතිවිපාක දඬුවම එක්ව තීරණය කරල හැක.

දරුවාගේ හැසිරිම් රටාව අනුව යම් කොන්දේසි මත ඔහුට/ඇයට තෑගි ලබා දීම අවම කරන්න.
රාත්‍රි අහාරය ගැනීම වැනි යම් නිශ්චිත කාර්යයක් සාර්ථකව සම්පූර්ණ කලහොත් , කෑමක් ලබා දීම වැනි මාර්ග වලින් දරුවාව නිතරම දිරිමත් කිරීමට දෙමාපියන් පුරුදු වී සිටිති. මෙහි ගැටලුව වන්නේ, දරුවා රාත්‍රී ආහාරය ගන්නා සෑම විටකම එම දීමනාව බලාපොරොත්තු වීමයි. සමහර වීට, මෙම පෙළඹවීමට පෙර දරුවා නිසි ආකාරව ඔහුගේ/ඇයගේ ආහාර වේල නොගත්තා වන්නට පුලුවන.

විසඳුම.
මෙවැනි දීමනා ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණි. උදාහරණයක් ලෙස,දරුවා කැටුව අවන්හලකට හෝ සාප්පු සවාරි යාමේදි මෙම ක්‍රමය යොදා ගත හැක. වඩාත් ප්‍රායෝගික හා දිගු කල් පවතින විසඳුමක් සඳහා කල යුත්තේ දරුවාගේ යහපත් හැසිරීම් ශක්තිමත් කොට ඒවා දිරිමත් කිරීමයි. “ඔබ “X” ක්‍රියාව කලහොත් මම ඔබට “Y” ලබා දෙමි” යන උපාය යොදා ගැනීමෙන් දෙමාපියන් වැළකී සිටිය යුතුය. මේ වෙනුවට “අත්තම්මාගේ ගෙදර,පුතා අද හොඳින් හැසිරුනා”, යන කියමන් මඟින් තම දරුවාගේ යහපත් හැසිරීම අගය කිරීම කල යුතු වේ.
ඒ වගේම දෙමාපියන් තම දරුවාගේ හැසිරීමෙන් කලකිරුණු අවස්ථාවල, ඒ පිළිබඳව ඔවුන්ට අවධාරණය කල යුතුය. උදාහරණයක් හැටියට, තාත්තා විසින් අම්මාට තෑග්ගක් ලෙස ලබා දුන් ප්‍රියතම අත් ඔරලෝසුව, දරුවා කඩා දැමුවහොත්, මවක් ලෙස ඔබට දැනෙන සංවේදි හැඟීම් දරුවා වෙත ප්‍රකාශ කල යුතුය. මේ තුලින් දරුවා තමා කල දේ පිළිබඳ මෙනෙහි කිරීමට පටන් ගනියි.

නීති වෙනස් කිරීමට සූදානම් වන්න.
ප්‍රතිවිපාක දඬුවම් නිවසේදී සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවත්, නිවසින් පිටදී දරුවා එය අයුතු ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත. උදාහරණයක් හැටියට, අකීකරු ලෙස හැසිරෙන දරුවාට අතුල් පහර දීම නිවස තුල කල හැකි වුවත් දරුවා මෙය පාසලේදි හෝ උද්‍යනයේදි අනුකරණය කිරීමෙන් ප්‍රශ්නය තවත් බරපතල කල හැක. මෙය ගුරුවරයෙකු හෝ වෙනත් වැඩිහිටියෙකු නිරීක්ෂණය කොට දෙමාපියන් හට පැමිණිලි කලේ නම්, දඬුවම් කිරීම සඳහා දෙමාපියන් ලෙස ඔබ “විනෝද විරාමය” (Time-Out) වැනි වෙනත් විකල්පයක් තෝරා ගත යුතුව ඇත. මන්ද, මෙහි දරුවා මත වගකීම පැටවීම සාධාරණ නොවන හෙයිනි.

විසඳුම
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම්, දරුවන් අනුකරණය කිරීමට පෙළඹේ. මේ නිසා දරුවන් වෙත පැවරූ නීති දෙමාපියන් අනුගමනය කිරීමද වැදගත් වේ. මන්ද, දෙමාපියන් ආදර්ශමත් ලෙස නොහැසිරෙන විට, දරුවන් එය ඔවුන් වෙත දැනුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස, ජනේලයෙන් පිට සෙල්ලම් බඩු විසි කිරීම නොකල යුතු දෙයක් නම්, දෙමාපියන් ලෙස ඔබත් කාමරයෙන් කාමරයට බඩු විසි කිරීමෙන් වැලකිය යුතුයි. දරුවා ඔබව මැනවින් නිරීක්ෂණය කරනු ලබන අතර, යම් හෙයකින් වැරද්දක් වුවහොත් එය අවධාරණය කිරීමටත් දරුවා නොපැකිළේ.

කෝපය සහ පීඩනය පිට කිරීම.
දරුවකු රැක බලා ගැනීම පහසු කර්තව්‍යයක් නොවේ. මේ සඳහා අසීමිත ඉවසීමක් අවශ්‍ය වේ. විවිධ හේතු නිසා සමහර අවස්ථාවන් හීදී මෙම ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් දෙමාපියන් එම කෝපය දරුවා මත පිට කිරීමට ඉඩ ඇත. මෙම ආවේගශීලි හැසිරීම කාර්ය බහුල ජීවිතයක් ගත කරන පවුල් වල දක්නට ලැබෙන සාමාන්‍ය දෙයකි. සිත් තුල පවතින ඔවුන්ගේ ඒ ආවේග, කෑ මොර දීමෙන්, කේන්තියෙන් පසුවීමෙන් හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමෙන් පිට කරනු ලැබේ.

විසඳුම
“විරාමයක් ලබා ගැනීම” දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එක සේ යෝග්‍ය ක්‍රමයකි. ඉවසීමේ සීමාව පසු කරන අවස්ථාවේදි, සිත වෙනාතකට යොමු කරන්න. දරුවාගේ හැසිරීම සමඟ කටයුතු කිරීමට පෙර හොඳ හුස්මක් ගෙන, වතුර වීදුරුවක් බී දහය දක්වා ගනින්න. දරුවා සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔබේ සහකාරියට හෝ සහකරුට පවරා ඔබට සන්සුන් වීම සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත හැක. දරුවන්ට දෙමාපියන්ගේ සීමාවන් මැනවින් තේරුම් ගත හැකි බැවින්, ආවේගශීලි අවස්ථාවල තත්ත්වය සමනය කිරීමට සැලැස්වීම යහපත්ය.

ප්‍රතිවිපාක දඬුවම ක්‍රියාත්මක කිරීමේ කාලය නිර්ණය කිරීම.
දරුවකු නොමනා ලෙස හැසිරීමේදී, ප්‍රමාද වී ප්‍රතිවිපාක දඬුවම ලබා දීමෙන් ඵලක් නොවේ. උදාහරණයක් වශයෙන් දරුවා ඩිස්පැන්සරියේ යටිගිරියෙන් කෑ ගැසූ විට, ඊට දඬුවමක් ලෙස දරුවාට නින්දට පෙර කතන්දර කියා දීම ප්‍රතික්ෂේප කිරීම නිෂ්ඵල දෙයකි.

විසඳුම
දරුවාට ප්‍රතිවිපාක දඬුවම ලබා දියෙ යුත්තේ, වැරැද්ද කල සැණින්ය. දරුවා, ඔහුගේ/ඇයගේ සහෝදරයාට ක්‍රිකට් පිත්තකින් ගැසූ විට ඔබ කල යුත්තේ හෙට දිනයේ සත්තු වත්තට යාමට නියමිතව තිබූ ගමන අවලංගු කිරීම නොව එසැණින්ම දරුවාගේ පිත්ත ඔහු වෙතින් ලබා ගැනීමයි. ප්‍රතිවිපාක දඬුවම ඒ විගසම ලබා දීමෙන් දරුවා ඔහුට ක්‍රිකට් පිත්ත අහිමි වූයේ අයහපත් හැසිරීම නිසා බව වටහා ගනියි.

පමණට වඩා හේතු පැහැදිලි කිරීමට යාම.
දරුවා අයහපත් ලෙස හැසිරීමේදි, ඔවුන්ට ලැබෙන්නට නියමිත දඬුවම මෙන්ම ඊට හේතූන් පමණට වඩා පැහැදිලි කිරීමට යාමෙන් වළකින්න. දරුවන් කුඩා වැඩිහිට්යන් නොවේ. ඔවුන්ට ඇත්තේ කෙටි අවධාන විනස්තියකි. ඔබ ඕනෑවටත් වඩා කතා කිරීමෙන් කිසිදු ඵලක් සිදු වන්නේ නැත.

විසඳුම.
නොමනා හැසිරීමක් සිදු වූ කලෙක, ඔබ කල යුත්තේ දඬුවම කෙටි සහ සරල ලෙස ඇඟවීමයි. උදාහරණයක් ලෙස , “කෑමට පෙර, ඔයාට චොක්ලට් කන්න බෑ” යැයි කියමින් දරුවාට තරවටු කිරීම ඔහුට/ඇයට ඒ පිළිබඳට මනා අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් වේ. චොක්ලට් මඟින් දරුවාගේ දන්ත සෞඛ්‍යයට හෝ ආහාර රුචියට ඇති විය හැකි හානි පිළිබඳ විස්තර කිරීමෙන් වළකින්න. භාවිතා කරන වාග් ශෛල්‍යය පිළිබඳවද අවධානය යොමු කරන්න. මෙය දරුවාගේ වයසට අනුකූල විය යුතු වේ. උදාහරණයක් ලෙස , දරුවාගේ කං කෙදිරි ගෑම නැවැත්වීමට නම්, ඊට දෙමාපියන් කල යුත්තේ වයසට උචිත පරිදි “ඔයා කෙඳිරි ගාන්නේ ඇයි කියල මං දන්නව, ඒත් ඔයාට පුලුවන් ලොකු ළමයෙක් වගේ හැසිරෙන්න” යනුවෙන් පැවසීමයි.

නිවැරදී මාර්ගය අනුගමනය කිරීම.
දරුවන් හික්මවීමෙහි ලා අනුගමනය කල යුතු ක්‍රම වේද තේරුම් ගැනීමෙන් පසුවත් ඔබට දෙමාපියකු ලෙස වැර දීමට ඇති ඉඩකඩ බොහෝය. දෙමාපියකු වශයෙන් නිවැරදී මාර්ගයේ ගමන් කිරීම සඳහා “Practical Wisdom for Parents” ග්‍රන්ථයෙහි කර්තෘ වන නැන්සි ශූල්මාන් පහත දැක්වෙන උපදෙස් නිර්දේශ කරයි.

එකම දේ පිළිබඳ කල්පනා කර පසු තැවීමෙන් වළකින්න.
දෙමාපියෝ, මනුෂ්‍යයෝය. සිදුව ඇති දෙය පිළිගෙන ඉදිරිය ගැන සිතන්න. වෙනස් කල නොහැකි දෙය ගැනි සිතමින් කාලය නාස්ති කිරිම නිශ්ඵල දෙයකි.

ක්‍රමක්‍රමයෙන් නීති පනවන්න.
දරුවන් හික්මවීමේ සියලු ක්‍රම වේදයන් සහ නීති සම්පූර්ණයෙන් පුනරීක්ෂණයට භාජනය විය යුතුව තිබුණත්, වඩාත් වැදගත් ප්‍රශ්න දෙකක් තෝරා ගෙන එතනින් ආරම්භ කරන්න. නීති රාශියක් පනවමින් දරුවාව ආතතියට ලක් කිරීම නොකල යුතුයි. දරුවා සංයමයෙන් පසුවන විටකදී, ඔබ අසලින් ඔහුව\ඇයව ඉඳ ගැනීමට සලස්වා මෙම නීති පිළිබඳ පහදා දෙන්න. මෙමඟින් ඉදිරියේදි තමා හැසිරිය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් දරුවාට ලැබේ.

දරුවාට විකල්ප තේරීම් ලබා දෙන්න.
විනය යනු ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම නොවේ. මෙයින් සිදුවන්නේ දරුවාව යහපත් හැසිරීම් රටාවන් සඳහා හික්මවීමයි. උදෑසන ආහාර වේලාවේ දරුවා තමාට අවශ්‍ය දේ ඉල්ලා කං කෙඳිරි ගාන විට ඔබ කල යුත්තේ ඒ පිළිබඳව වාද විවාද කරනවා වෙනුවට දරුවාට උදෑසන ආහාර වේල සඳහා විකල්ප තේරීම් දෙකක් ලබා දීමයි. උදා: බිත්තර හෝ සමපෝෂ. දරුවාට මෙම තීරණය තනිව ගැනීමට ඉඩ දෙන්න. මෙය දරුවාගේ තීරණ ගැනීමේ හැකියාව ද දිරිමත් කරයි.

හැසිරීම් රටා වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගත වේ.
අයහපත් හැසිරීම් රටාවන් වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගතවන අතර මනා ඉවසීමක් ද අත්‍යවශ්‍ය වේ. මෙය එක් දිනකින් සිදු කල හැකි දෙයක් නොවේ. දෙමාපියකු දිගටම තම දරුවන් වෙත නීති හා ප්‍රතිවිපාක දඬුවම් පැනවීමේදි, දරුවා තම හැසිරීම් රටාව කෙසේ හැඩ ගස්වා ගත යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගනියි. මෙහි සාර්ථකත්වය සඳහා ප්‍රයත්න 20 වැය වුවද, දරුවාගේ හැසිරීම් රටාව අවසානයේදි යහපත් වේ

මව්පිය ආතතිය සඳහා සහනය ගෙන ඒමට උපකාර වන කරුණු 10ක්

අලුත උපන් බිලිඳාගේ පැමිණීමත් සමඟ ඇතැම් අයගේ ජීවිත වල විශේෂයෙන්ම දෙමව්පියන්ට උද්වේගය සහ බොහෝ ක්‍රියාකාරකම් වලින් පිරුණු, එසේම ආතතියද ගෙනදෙනවා නොඅනුමානයි. ඔබ පලපුරුදු දෙමව්පියෙක් හෝ පලමුවරට මව් හෝ පිය පදවිය ලබන්නෙකු වුවද, පහත සඳහන් කරුණු 10 මව්පිය ආතතිය අවම කරගැනීම සඳහා බොහෝසේ උපකාරී වනු ඇත.

1. සෞඛ්‍ය සම්පන්න යහපත් දිවියක් කළමනාකරනය

ජලය ප්‍රමාණවත් ලෙස සහ පිරිසිදු වාතය ලබාගන්නා, පෝෂ්‍යදායි ආහාර වේලකට අනුගත වන්න. කෝපි සහ සීනි නින්දට ආදේශකයක් නොවන හෙයින් ඒවා යොදා ගැනීමෙන් වලකින්න.

දරුවා නිදාගන්නා අවස්ථාවලදී ඔබත් විවේකයක් ලබාගන්න. ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමඟ රාත්‍රී කාලයේදී දරුවා බලාගැනීම සඳහා කාලසටහනක් යොදාගැනීමෙන් ඔබ දෙදෙනාටම ප්‍රමානවත් පරිදී විවේකයක් ලබාගත හැක. විනෝදජනක ක්‍රියාකාරකම් තනිවම හෝ තම බිලිඳා සමඟ කිරීමෙන්ද ඔබට සහ ඔබේ දරුවාට විනෝදාස්වාදයක් ගෙන දෙනු ඇත.

හොඳ පුරුදු ඔබට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීම මෙන්ම අලුත උපන් බිලිඳාටද රැකවරණය ලබාදීමටද බොහෝසේ උපකාරී වේ.

2. අමුත්තන් සඳහා නීති පැනවීම

අලුත උපන් බිලිඳා නිවසට රැගෙන ඒමෙන් පසු ඥාතීන් සහ හිතමිත්‍ර ආදීන් නිවසට පැමිනීම සාමාන්‍ය සිරිතක් වූවද, ඔවුන් පැමිනිය යුතු දිනයන් සහ පහසු වේලාවන් ඔවුන්ට කල්වේලා ඇතුව දැනුම්දීම යහපත් වේ.

බිලිඳා බැලීමට නිවසට අමුත්තන් පැමිනි පසු බිලිඳා වඩා ගැනීමට පෙර දෙඅත් සෝදන ලෙසත් සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ඔබ දැඩිව විමසිල්ලෙන් පසුවන බව ඔවුන්ට කරුණාවෙන් පහදා දෙන්න. ඒවගේම අසනීපයෙන් පෙලෙන කෙනෙකු පැමිනේ නම්, ඔවුන්ට වෙනත් දවසක පැමිනෙන ලෙස ඉතාමත් කරුණාවෙන් පහදා දෙන්න.

ඔබට විවේකයක් අවශ්‍ය විටෙක, නිවසට පැමිනි අමුත්තන්ගෙන් ඔබ වඩාත් විශ්වාස කරන තැනැත්තාට හෝ තැනැත්තියට දරුවා මදකට භාරදී කෙටි නින්දක් ලබා ගන්න.

3. සැහැල්ලුවෙන් සිටින්න

දරුවාගේ සාත්තුවට, සැනසවීම එමෙන්ම කෙටි නින්ද සඳහා වැඩි කාලයක් වෙන් කර ගන්න. දරුවා ඉපදීමට පෙර තිබුනු ඔබේ සුපුරුදු දින චර්යාවන් වල අනවශ්‍ය ක්‍රියාකාරකම් අඩුකර ගන්න. වේලාවක් තිබේ නම් දරුවාගේ බඩු භාහිරාදිය අස්කරගැනීමට අමතර කාලය යොදන්න.

4. හැඟීම්බර කාලයක් අපේක්ෂා කරන්න.

ඇතැම් දිනවල් වල මවක්, අලුත උපන් දරුවා පිලිබඳව සතුටින් ඉපිලී සිටී. තවත් දිනෙක ඒ මවම ඇගේ නිදහස අහිමිවීම පිලිබඳව දුක්වන අතර ඇගේ මාතෘත්ව හැකියාව පිලිබඳව සැකයක් උපදවයි. මෙය මවුවරු අතර තිබෙන සාමාන්‍ය තත්වයකි. දෙමව්පියන් බොහෝ සතුටු වනවා සේම ඔවුන් විඩාවට පත්වන අවස්ථාද පවති. මව්පියන් එකිනෙකා අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගත යුතු වන අතර, සියළු දෑ පිලිබඳව සාකච්ඡා කල යුතුය. උදාහරණයක් ලෙස ගෙදර ඇති වියදම් පිලිබඳව හෝ ඔබ දෙදෙනාගේ අඩු නින්ද පිලිබඳව විය හැක. මෙසේ ඔබ දෙදෙනා සාකච්ඡා කිරීමෙන්, ඔබේ හිතට සැනසිල්ලක් ගෙන දෙයි.

5. සුපුරුදු දින චර්යාවේ සැහැල්ලු බව

ඔබගේ නිවස පිරිසිදු කිරීම පිලිබඳව වද නොවන්න. පිරිසිදු ඇඳුම්, ඇඳුම් මල්ලේම හෝ ඇඳ උඩ තිබුනාට කමක් නැත. විශේෂයෙන්ම, ඔබ දැඩි වෙහෙසට පත්වූ දිනයක රාත්‍රී ආහාර වේල සඳහා සැහැල්ලු ආහාරයක් ගත්තාට කමක් නැත. .

6. නිවසෙන් මදකට බැහැර වීම

කලබලකාරී අලුත උපන් දරුවෙකු සිටින කාලයේදී, ඇතැම් දවස්වල ඔබට නිවස සිරගෙයක් ආකාරයෙන් පෙනීමට පුලුවනි. ඔබ දරුවාත් රැගෙන ඇවිදින්න එලිමහනකට යන්න බිය නොවන්න.

7. උදවු කිරීමට කැමති අයගෙන් උදවු ලබාගන්න.

ඔබගේ නෑදෑ මිත්‍ර ආදීන් උදවු කිරීමට පැමිනේනම්, ඔවුන්ගේ උදවු ලබාගන්න. ඔවුන් කුමන ආකාරයේ උදවුවක් ලබාදීමට කැමතිදැයි සොයා බලා, ඔවුන්ට එම උදවු ඔබට කිරීමට සලස්වන්න.

8. පවුලේ සෙසු සාමාජිකයන්ට කාලය ලබාදීම.

අලුත උපන් බිලිඳාට අමතරව ඔබේ පවුලේ ඔබේ සෙනෙහස අවශ්‍ය සෙසු සාමාජිකයන්ද සිටිය හැක. උදාහරණයක් ලෙස ඔබේ සැමියා හෝ තවත් දරුවන් සිටිය හැක. ඒ අයටද ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කරන්න අමතක නොකරන්න.

9. මේ කාලය සතුටින් විඳින්න

බිලිඳා සෑමදාම බිලිඳෙකු ලෙස නොසිටී. දරුවාගේ කුඩා කාලය ඔබ රස විඳින්න උත්සහ කරන්න.

10. විශේෂඥ උපදෙස් අවශ්‍ය කාලය හඳුනා ගන්න.

මාතෘත්වය යනු ඉදිරියට යන අභියෝගයකි. ඇතැම් දෙමවුපියන්ට අලුත උපන් දරුවා රැකබලාගැනීමේදී බොහෝ ගැටළු වලට මුහුණදීමට සිදුවේ. එවැනි අවස්ථාවක සෞඛ්‍ය සේවා විශේෂඥයකුගෙන් උපදෙස් ලබා ගන්න. ඇතැම් විට මනෝචිකිත්සකයකුගෙන් ඔබගේ ආතතිය පාලනය කිරීම සඳහා උපදෙස් ලබාගත හැකිවේ.

අලුත් බබා ආදරේ අම්මටද ? තාත්තටද ?

සිඟිත්තාව රැගෙන ගෙදරට එන තෙක් පියා ඇඟිලි ගනිමින් සිටින අතර සිඟිත්තා ගෙදර රැගෙන ආ පසු පියා ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් තම සිඟිත්තා වෙනුවෙන් ඕනෑම වගකීමක් භාර ගැනීමට ඉතා කැමැත්තෙන් සිටී. එහෙත්, ඒ සෑම සිහිනයක් බොඳ කරමින් බොහෝ සිඟිත්තන් තම මවට වැඩි ඇල්මක් දැක්වීමට පටන් ගනී. ඉතා උනන්දුවෙන් සහ කැමැත්තෙන් සිටින පියා කුමක් කල යුතුද? ඒ ගැන අපි සොයා බලමු.

ඔබ පලමුවෙන්ම දැනගත යුතු කාරණයක් නම්, අලුත උපන් සිඟිත්තා ස්වභාවිකවම තම මවට වැඩි ඇල්මක් දක්වයි. එයට මූලිකම හේතුව වන්නේ මවුකිරි. මුල් මාස 6දී සිඟිත්තන් මවුකිරි වලට වැඩිවශයෙන් කැමැත්තක් දක්වන නිසා තම මව සමඟ පමණක් හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට ක්‍රියා කරයි.

මව සහ දරුවා අතර ඇති සම්බන්ධතාවය වැඩි වන විට, පියාට කුඩා දුකක් ඇතිවීමට පටන් ගනී. එහෙත් පියෙකු ලෙස ඔබ මෙය බරපතළ ලෙස සිතට ගන්න එපා. සායනික මනෝවිද්‍යඥ සහ මා පිය කටයුතු පුහුණුකරු, දොස්තර ලෝරා මාර්කම් සඳහන් කරන ආකාරයට, ඔහු ගැන නොව තම සිඟිත්තා ගැන පමණක් සිතිය යුතු බව ඔවුන්ටම මතක් කර දිය හැක. එවිට එම හැඟීම් ඇති නොවීමට ඉඩ තිබේ. පියා සන්සුන්ව සිට, මව දරුවා ලඟ නැති අවස්ථා වලදී, දරුවා සමඟ කාලය ගත කල හැකිය. එවිට දරුවාට, මව ලඟ නැති අවස්ථා වලදී, පියා සමඟ කාලය ගත කල හැකියැයි දැනීමට පටන් ගනී. එවිට දරුවා සහ පියා අතර බැඳීමක් ඇතිවීමට පටන් ගනී.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම් වර්ධනය කරගන්නේ කෙසේද?

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීමක් ඇතිවීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව මව සිඟිත්තා ලඟ නැති අවස්ථාවදී පියාට දරුවාගේ සාංකාව මකා ගැනීමට උපකාරී වේ. පියාට දරුවා සමඟ හැංගි මුත්තන් සහ වෙනත් කුඩා සෙල්ලම් කල හැකිය. එවිට දරුවාගේ සාංකාව නැතිවී තම පියා සමඟ සිනහවෙන් සහ විනෝදයෙන් කාලය ගත කරයි.

දරුවාට පියාගේ සෙනහස පෙන්වීමෙන් හඬන දරුවා නලවා ගැනීමට හොඳ ක්‍රමයකි. පියාට සිඟිත්තාව රෙදි වලින් හොඳින් එතීමට, හඬන දරුවා නැලවීමට සහ නිහඬ කරගැනීමට හොඳ හැකියාවක් ඇත. මේ නිස දරුවාට හොඳ නින්දක් ගැනීමට උපකාරී වේ.

ඒ කුමන දේ කලත්, අවසානයේ සිඟිත්තා තම මවට වැඩි ඇල්මක් දක්වයි. එසේ වූවද පියාගේ උත්සහය අත් නොහැරිය යුතුය. දරුවාගේ වයස අවුරුදු 1ත් 2ත් අතරදී අලුත් දෙවල් වලට සහ අලුත් පුද්ගලයන්ට කැමැත්තක් දැක්වීමට පටන් ගනී. එවිට පියාට බොහෝ දුරට, දරුවාගේ විශේෂ පුද්ගලයෙකු වීමේ හැකියාව ඇත.

වහනය තුල දරුවාගේ ආරක්ෂාවට ලොකු සේවයක් ඉටු කරන පුංචි කරුණු 4ක්

කුඩා දරුවන්, බිළිඳු වයසේ සිට වයස අවුරුදු 5 දක්වා දරුවන් ප්‍රවාහනය කිරීමේදී, ළමා වාහන අසුන් භාවිත කිරීමට අවශ්‍ය වේ. මෝටර් රථයක කුඩා දරුවන් රැගෙන යාමේදී ඔවුන්ව එම ළදරු අසුන් වල ආරක්ෂිත ලෙස රඳවා තැබිය යුතුය. ආසන පටි පැලඳීම නීතිමය වශයෙන්ද පිලිපැදිය යුතු කරුණකි. කුඩා දරුවෙකු වාහන අසුනක් මත හිඳුවා ආසන පටි තද කිරීම නිසි පරිදි කල යුතුය. විවිධ වයස් සීමාවන්ට අනුව ආරක්ෂිත අවශ්‍යතාවන් විවිධ විය හැක.

ඔබට, ළමා වාහන ආසන සවි කිරීම තරමක් අවුල් සහගත විය හැක. ඇමරිකාවේ ජාතික රථවාහන සුරක්ෂිතතා අධිකාරියට අනුව, බොහෝ ළමා වාහන අසුන් සවිකර ඇත්තේ වැරදි ආකාරයට බවත් ඒතුලින් දරුවා අනාරක්ෂිත තත්වයට ඇද දමන බවයි. පහත දැක්වෙන ක්‍රම අනුගමනය කිරීම තුලින් දරුවාගේ සුරක්ෂිතතාවය සැලැස්විය හැක.

නිවැරදි අසුන තෝරා ගැනීම

වාහන අසුන් වර්ග 2ක් ඔබට හඳුනාගත හැක. ඒවා නම්, ඉදිරිපසට මුහුණලා තිබෙන අසුන සහ කරකැවිය හැකි අසුන්ය. ඉදිරිපසට මුහුණලා තිබෙන අසුන් බර රාත්තල් 22 සිට 40 දක්වා දරුවන්ට සුදුසුය. නමුත් එය මාදිලිය අනුව වෙනස්වීමට පුළුවන. ඇතැම් වාහන අසුන් විවිධ ප්‍රමාණයෙන් සහ පිටත රැගෙන යා හැකි ළදරු රෝද කරත්ත ලෙසද භාවිතා වේ. මෙවැනි අසුන් ආධාරකයක් සමඟ පැමිනේ. මෙය දෙමව්පියන්ට යම්තාක් දුරට පහසු කරන්නෙකි. දෙමව්පියන් දැනගත යුතු කරුණක් නම්, මෙම ළමා වාහන අසුන් භාවිතා කල යුත්තේ ළදරුවන් ප්‍රවාහනය කිරීමට මිස ඔවුන්ට අහාර කැවීමට හෝ නිදිකරවීමට නොවේ.

සවි කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් සැලකිලිමත්ව පිලිපදින්න.

ළමා වාහන අසුන් සවි කිරීමේදී ඒ සඳහා ලබාදී ඇති උපදෙස් මාලාව පිලිවෙලින් අනුගමනය කරන්න. එහි අඩංගු කරුණු මඟ හැර නොයන්න. උපදෙස් පතිකාව හොඳින් කියවීමෙන්, ඔබට එය නිසි ආකාරයෙන් සවි කිරීමට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් ළමා වාහන අසුනක් සවිකර යුත්තේ මෝටර් රථයක පසුපස ආසනයේ මැද කොටසේය. එය වායු බෑගයෙන් දුරස් විය යුතුය. ඔබට මෙය සවි කර ගැනීමට අවශ්‍ය වූ විටක, මෙම කාර්යය හොඳින් දන්නා කෙනෙකු හෝ පළපුරුදු කෙනෙකු ලවා කරවා ගන්න.

අගුළු දැමීම

සැප්තැම්බර් 2002න් පසුව නිෂ්පාදනය වූ මෝටර් රථවල අගුළු හෝ අසුන් සවිකිරීම සඳහා අමතර උපාංග සවිකර ඇත. මෙමඟින් ළමා වාහන අසුන් ආරක්ෂිතව සවිකර ගත හැක. මේ සඳහා ආසන පටි භාවිත නොවන අතර මෙය මෝටර් රථ අත් පොතේ පෙන්වා දී ඇත. මෙම පහසුකම් නොමැති මෝටර් රථවල ආසන පටි නිසි ආකාරයට භාවිතා කල හැක. මේ කුමන ආකාරයේ ක්‍රමයක් භාවිතා කලද, එම ළමා අසුන් අඟලකට වඩා එහා මෙහා චලනය නොවිය යුතුය.

ගාංචු දැමීම

රථ වාහන අසුන් ළදරුවන් සඳහා පූර්ණ ආරක්ෂාවක් සහතික නොකරයි. බඳ පටි නිසි ආකාරව සහ දැඩි ලෙස තද නොවී තිබෙන බව පරීක්ෂා කරන්න. බඳ පටියේ පටි දරුවාගේ උරහිසින් පහල සවි කිරීමට ඇති කොටසේ සවි කරන්න. පපුව හරහා තිබෙන පටිය දරුවාගේ කිහිලි මට්ටමට සවිවිය යුතුය. මෝටර් රථයේ ගමන් ගන්නා සියළු දෙනා ආසන පටි තද කර ඇතිදැයි පරීක්ෂා කරන්න. මෙය දැකීමෙන් කුඩා දරුවන් කුඩා කාලයේ සිටම වාහනයේ ගමන් ගන්නා අවස්ථා වලදී, ආසන පටි තද කරවීමේ පුරුද්දට හුරුවේ.

සිඟිත්තාගේ හදිසි කෝපය පාලනය කිරීම සඳහා උපදෙස්

දරුවන් වැඩීමත් සමඟ හදිසි කෝපය බලාපොරොත්තු විය හැකි ලක්ෂණයකි. දෙමව්පියන් විසින් හදිසි කෝපයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ ඊට පෙර එය වලක්වාගන්නා ආකාරය පිලිබඳව ඇමරිකාවේ මායෝ චිකිත්සකාගාරයේ විශේෂඥවරයෙකු මේ පිලිබඳව පැහැදිලි කර ඇත.

දෙමවුපියෙකු දරුවා සමඟ කාර්යබහුල සුපිරි වෙලඳසැලක සිටිනවා යැයි සිතන්න. දරුවා ප්‍රියකරන සෙල්ලම්බඩුවක් තිබෙනවා දකින අතර මව හෝ පියා එය මිලදී ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. දෙමව්පියන් දරුවාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හදිසි කෝපය හටගෙන එහි ප්‍රතිඵලයක් ලෙස, දරුවා බිම දිගාවී යටිගිරියෙන් කෑගසා හැඬීමට පටන් ගැනීමට පුළුවනි. එවිට දෙමවුපියන් දැඩි අපහසුතාවයකට පත්වෙයි.

මෙම හදිසි කෝප තත්වය ඇතිවීම වැලැක්වීම සඳහා ක්‍රමයක් තිබුනේද? දෙමව්පියන්ට වෙනස් ක්‍රමයක් අනුගමනය කිරීමට තිබුනාද? හදිසි කෝපය ඇතිවන්නේ ඇයි? දරුවාට ඔවුන් සලකන්නේ කුමන හේතුවක් මතද? හදිසි කෝපය සම්බන්ධයෙන් පහත ඇති ප්‍රයෝජනවත් කරුණු පිලිබඳව ඔබ සලකා බලන්න.

හදිසි කෝපය ඇතිවන්නේ ඇයි?

දරුවාගේ තරහව සහ දොම්නස, හදිසි කෝපයෙන් ප්‍රකාශ කරයි. දරුවා යම් දෙයක් ප්‍රතික්ෂේප කිරීම, දරුවාගේ අවශ්‍යතාව දෙමව්පියන් හෝ දරුවා රැකබලාගන්නා තේරුම් නොගැනීම හෝ දරුවා විඩාපත් වූ විට හදිසි කෝපය ඇතිවීමට හේතු වේ. තම හැඟීම් හෝ අදහස් වචනයෙන් ප්‍රකාශ කිරීමට බැරිවූවිට, හදිසි කෝපය ඇතිවේ. මෙහි ඇති ප්‍රධාන කාරණාව වන්නේ, හදිසි කෝපය ඇතිවීම සඳහා හේතු රාශියක් ඇති නිසාය.

අවුරුදු 2 පසුවන බොහෝ දරුවන්ට, වැඩිහිටියන් ලෙස කතා කිරීමේ හැකියාව නැති බව ඔබ මතක තබාගත යුතුය. බොහෝ දෙමව්පියන් සිතන්නේ, දරුවන් පවසන දෙවල් ඔවුන්ට තේරුම් ගැනීමට හැකියාවක් ඇති බවයි. එහෙත් එසේ වන්නේ සමහර අවස්ථා වලදී පමනයි. එයින් කියැවෙන්නේ, නාඳුනන පුද්ගලයින්ට දරුවාව තේරුම් ගැනීමේ හැකියාව ඉතාමත් සීමිත වන බවයි. දරුවෙකු තම දෙමව්පියන්ට යමක් ප්‍රකාශ කිරීමට හෝ යමක් ඉල්ලන විට, එය දෙමව්පියන්ට නොතේරුන විට සහ එකඟ නොවූ විට, හදිසි කෝපය පිටකිරීමක් සිදු වෙයි.

දරුවන් හිතාමතාම හදිසි කෝපය පිට කිරීමක් සිදුකරයිද?

සමහර වේලාවල් වල දරුවන් හදිසි කෝපය හේතුවක් ඇතිව පිටකරයි. එය ඇතැම්විට තම දෙමව්පියන්ට පවසනවාට වඩා පහසු වීම නිසාය. තම දෙමව්පියන්ට හිතාමතා අපහසුතාවයට පත්කිරීමට දරුවන් සැලසුම් නොකරයි. බොහෝ සිඟිත්තන් හදිසි කෝපයෙන් ප්‍රකාශ කරන්නේ තම සිතට දැනෙන හැඟීමයි.

ටිකක් වැඩුනු දරුවන්ට, හදිසි කෝපය ඇතිවන්නේ ඔහු ඊට පෙර ඉගෙනගත් ප්‍රතිචාරයක් නිසාවෙනි. පලමු වතාවේදී හදිසි කෝපයෙන් ඇතිවූ සිදුවීමකින් පසු ඔවුන්ට අවශ්‍ය වන පරිදී ප්‍රතිඵලයක් ලැබේ නම්, අනාගතේදී හදිසි කෝපය නිරන්තරයෙන් ඇතිවීමට ඉඩ ඇත.

හදිසි කෝපය මඟහරවාගන්නේ කෙසේද?

තරුණ ලමුන්ගේ හදිසි කෝපය මගහරවා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ, හොඳ චර්යා වලට ඔවුන් ඔවුන්ව යොමු කිරීමයි.

පහත සඳහන් කරුණු පිලිබඳව සලකා බලන්න.

ක්‍රමානුකූල චර්යාසටහනක් අනුව වැඩ කිරීම
ක්‍රමවත් චර්යාසටහනක් අනුව දරුවාට වැඩ කිරීමට සැලැස්වීමෙන්, දරුවා නීතිරීති සහ බලාපොරොත්තූන් අනුව ක්‍රියාකිරීමට පටන් ගනී. දරුවන් කෙටි නින්ද සහ රාත්‍රී නින්දට යන වේලාවල් පිලිබඳව ඔබ හොඳින් නිරීක්ෂණය කල යුතුය. සාධාරණ බලාපොරොත්තූන් තුල සීමාවන් පනවා ඒවා නිරන්තරයෙන් ක්‍රියාවේ යෙදවීමෙන් ක්‍රමානුකූලව තම වැඩකටයුතු කිරීමට හුරුවේ.

පෙර සැලසුම් කරන්න
ඔබට හදිසියෙන් දරුවා සමඟ එලියට යාමට අවශ්‍ය වූ විට, දරුවාට නිදිමත හෝ බඩගිනි වේලාවල එලියට නොයන්න. ඔබ සුපිරි වෙලඳසැලක දිගු පෝලිමක සිටිනවානම්, දරුවාගේ අවධානය එක්තැන් කරවීම සඳහා භණ්ඩයක් රැගෙන යන්න.

දරුවාගේ වචන භාවිතා කරවීමට පොළඹවන්න 
භාෂාව ග්‍රහණය කර ගැනීම, භාෂාව ප්‍රකාශනයට වඩා ඉහලයි. දරුවාට කතා කිරීමට හෝ කතා කරනදේ පැහැදිලි නැතිනම්, සරල සංඥා වචන දරුවාට කියා දිය හැක. උදාහරණ ලෙස “තව ඕනෑ”, “මට අවශ්‍යයි” සහ “බඩගිනි” යන සරල වචන වලට සංඥා දරුවාට කියාදිය හැක. දරුවාට තව තවත් දෙමව්පියන් සමඟ කතාකිරීමට හොඳ හැකියාවක් ඇතිවන විට, හදිසි කෝපය ඇතිවීමේ සම්භාවිතාව අඩුවීම දක්නට ඇත. දරුවාගේ වැඩීමත් සමඟ ළමුන්ට ඔබින වචන උගන්වන්න. එවිට දරුවාට ඔහු ගැන ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇතිවේ.

තීරණ ගැනීමට පෙළඹවීම
උදාහරණයක් ලෙස, දරුවන්ට තමන් ප්‍රියකරන ඇඳුම් සහ කැමති ආහාර වර්ග තෝරාගැනීම් පිලිබඳව තීරණය කිරීමට ඉඩ දීමෙන්, ඔවුන්ට යම්කිසි පාලනයක් ඇති කිරීමට උගන්වයි. දරුවා තීරණයක් ගැනීමෙන් පසු, එය ක්‍රියාවට නංවා ඔවුන්ව පැසසුමට ලක් කර යුතුය.

ධනාත්මක හැසිරීම අගය කිරීම
දරුවා හොඳින් හැසිරෙන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවන් අවස්ථාවලදී බදාගැනීමක් හෝ ප්‍රශංසාවක් සමඟ කුඩා තෑග්ගක් දීමට අමතක නොකරන්න. ඔබ තෑග්ගක් පමණක් දීමෙන් වලකින්න.

බාධාවන් භාවිතා කිරීම
දරුවාට හදිසි කෝපයේ සීමාව ඉක්මවා යාමේ හැකියාවක් තිබෙනවා කියා දෙමව්පියෙකුට දැනෙනවා නම්, බාධාවක් ලෙස යම් කිසි භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු නිසා දරුවාගේ අවධානය වෙනත් අතකට යොමු කල හැක. හදිසි කෝපයට බලපාන හේතුව ඉවත් කර, දරුවාගේ අවධානය වෙනත් අතකට යොමු කරන්න.

හදිසි කෝපය ඇතිවන තත්වයන් වලක්වන්න
ඔබට දරුවා සමඟ වෙලඳසැලකට යාමට ඇතිනම්, හදිසි කෝපය ඇතිවීමට ඉඩ ඇති කෙටි කෑම ඇති ප්‍රදේශය අසලින් නොයන්න. දරුවා අවන්හලේ නරක ලෙස හැසිරීමට ඉඩක් ඇතිනම්, දිගු පෝලිම් හෝ මන්දගාමී සේවාවන් තිබෙන අවන්හල් වෙත යාමෙන් මඟහරින්න.

හදිසි කෝපය හොඳින් හැසිරිවිය හැකි අනිකුත් ක්‍රම මොනවාද?

ඇතැම්විට ‘යම් කිසි දෙයක් ගැන දැනීමක් නොදැන සිටීම, දැනගැනීමට වඩා යහපත්ය’ කියා ආප්තෝපදෙශයක් ඔබ අසා තිබෙනවාද? මෙය හදිසි කෝපය සඳහා බොහෝවිට සත්‍යයකි.

දරුවා හදිසි කෝපයෙන් සැනසුනු පසු, දරුවාගේ දොම්නස වචන වලින් ප්‍රකාශ කිරීම සඳහා දෙමව්පියන් අනුබල දිය යුතුය. එමෙන්ම හදිසි කෝපය නිසා කිසියම් අවධානයක් දරුවාට නොලැබෙන බව දෙමව්පියන් මතක් කර දිය යුතුය.

දරුවා හදිසි කෝපයෙන් ඉන්න අවස්ථා වලදී, දෙමව්පියන් නිශ්චලව සහ සන්සුන්ව සිටීමෙන් දරුවාට ආරක්ෂාවේ හැඟීමක් දැනීමට පටන් ගනී. දෙමව්පියන් පීඩාවට පත්වී දරුවාගේ ඉල්ලීම දුන්විට, හදිසි කෝපය සැබවින්ම ඵලදායී වන බව දරුවන් ඉගෙනගනී.

දරුවාගේ හදිසි කෝපය, ත්‍රාසජනක හෝ කලහකාරී අවස්ථාවකට පත්වූ විට දෙමව්පියන්ට කල හැක්කේ කුමක්ද?

දරුවාගේ හදිසි කෝපය ක්‍රමයෙන් වැඩිවන විට, දෙමව්පියන් එයින් ආරක්ෂා වී, ඔවුන්ට කාලය ලබා දෙන්න.

කාලය ලබාදීම සඳහා ස්ථානයක් වෙන් කරගැනීම. ගෙදර දරුවාට එපාවෙන කාමරයක් හෝ දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩු නැති කාමරයක් තෝරාගන්න. ගෘහ භාණ්ඩ හෝ බිත්තියකට නොගෑවෙන ලෙස පුටුවක් තබන්න. එසේ තිබීමෙන් දරුවාට බිත්ති සීරීම හෝ ගෘහ භාණ්ඩ වල තීන්ත පතුරු ඇරීමෙන් වැලැක්විය හැක.

දෙමව්පියන් තදින් සිටිය යුතුය. තද කටහඬින් “අපි ඔයාට ගහන්නේ නැහැ. දැන් ඉඳගන්න” කියා අමතන්න.

දරුවාට ඔහු විසින් සන්සුන් වීමට කාලය ලබාදෙන්න. මේ සඳහා බොහෝ විට විනාඩි කිහිපයක් හෝ ටික කාලයක් ගත වේ.

සැලසුමට අනුව වැඩකරන්න. දරුවා සන්සුවන කාලය නිමාවීමට පෙර නැගිටුන හොත්, නැවත වෙනත් ස්ථානයක සන්සුන්වීමට කාලය ලබාදෙන්න. දරුවාව නැවත පුටුවේ ඉන්දවා, සන්සුන්වීමට තවත් කාලය ඇතිබව මතක් කර දෙන්න.

දරුවා සමඟ කතාකිරීමෙන් වලකින්න. සන්සුන් වන කාලය තුලදී, දරුවා සමඟ කතා කිරීමෙන් වලකින්න.

සන්සුන්වීමේ කාලය. සන්සුන්වීමේ කාලය විනාඩි කිහිපයකට පමණක් සීමා කරන්න. දරුවා හොඳින් සන්සුන් වූ පසු, ඔවුන්ට නැවත සෙල්ලම්කිරීමට අවස්ථාව ලබා දෙන්න. සන්සුන්වීමේ කාලයෙන් පසු “ඔයා දැන් හොඳින් සන්සුන් වෙලා ඉන්නේ. ආයෙත් ඔය අතින් දඟවැඩ කරන්නේ නැහැ නේද?” කියා දරුවන්ට දෙමව්පියන් අවවාද කල යුතුය.

පොදු ස්ථානයක හදිසි කෝපය හසුරවගන්නේ කෙසේද?

දරුවා පොදු ස්ථානයකදී හදිසි කෝපය පෙන්වුවහොත්, එය පුළුවන්නම් නොසලකා හරින්න. දරුවා කඩා කප්පල්කාරී ලෙස හැසිරීමෙන් හෝ හදිසි කෝපය ආරක්ෂා රහිත ස්ථානයක සිදුවෙනවානම්, එම ස්ථානයෙන් ඔහුව ඉවත්කර කාර් එකේ වැනි පුද්ගලික ස්ථානයක තබන්න.

දරුවා සන්සුන් වූවායින් පසු, ඔබ දරුවාගෙන් මෙසේ අසන්න. “ඔයා දැන් හොඳින් සන්සුන් වෙලා ඉන්නේ. ඔයාට එලියට ගිහින් සෙල්ලම් කරන්න ඕනෙද?” දරුවා එහෙත් ලැහැස්ති නැති වුවහොත්, සන්සුන් වීමට තවත් කාලය ලබා දෙන්න.

විශේෂඥ උපදෙස් ලබාගන්නේ කුමන අවස්ථාවලදීද?

දරුවන් වැඩෙන විට ඔවුන් ස්වයං විනය ඇතිකරගැනීමට ඉගෙන ගන්නා අතර, හදිසි කෝපය ඇතිවීමේ අවස්ථාවන්ද අඩුවෙයි. බොහෝ දරුවන් වයස අවුරුදු 5න් පසුව හදිසි කෝපය ඇතිවීම මඟහරී.

දෙමව්පියෙකුට දරුවන් දෙන්නක් ඇතිනම්, දරුවන් දෙදෙනාම හදිසි කෝපය අවස්ථාවලින් නිරන්තරයෙන් සිටිනවා නම්, එම දෙමව්පියන්ට වැඩි ආතතියක් ඇතිවීමේ සම්භාවිතාව වැඩිය. මෙම අවස්ථාව සඳහා දෙමව්පියන්ට වෛද්‍ය උපදෙස් ගැනීමට සිදුවේ.

දරුවන්ගේ හදිසි කෝපය නිසා, දෙමව්පියන්ට ඇතිවන කායික සහ මාසික ප්‍රශ්න වෛද්‍යවරයෙකුට සොයාගත හැක. මානසීක හා කායික ප්‍රශ්න වල දරුණු ස්වභාවය අනුව, දෙමව්පියන් මනෝචිකිත්සක වරයෙකු හෝ සමාජ වැඩසටහනකට යොමු කල යුතුය.

හදිසි කෝපය සමඟ ගණුදෙනු කරනවිට, ඔබ පෙර මැදිහත්වීමේ ක්‍රම තුලින් ඉදිරි චර්යා රටාවේ ගැටළු පාසලේ හෝ නිවසේදී විසඳීමට උපකාරී වේ.

අලුත් දෙමව්පියන් වීමට ඇති බිය මඟහරවා ගැනීම

ඔබ, පලමුවරට මවක් වීම සහ අලුත් බිලිඳෙකු රැකබලා ගැනීම, ඔබේ ජීවිතේට අලුත් අත්දැකීමක් වන බව නොඅනුමානයි. ඔබේ සිතට ඇතිවන දෙගිඩියාව, බය වැනි සිතිවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක් වේ. ඔබේ ජීවිතය ප්‍රශ්න, සිතිවිලි සහ දුකින් පිරී තිබුනත්, ඔබේ අලුත් සුරතල් සිඟිත්තා සමඟ ඇති ගැඹුරු සම්බන්ධතාවය නිසා ඒවා ඔබේ මනසෙන් නැතිවී යා හැක.

ඔබට දෙගිඩියාවෙන් මිදීමට සහ මාතෘත්වයේ ප්‍රතිලාභ නිසිලෙස විඳ ගැනීම සඳහා උදව්වන පහත දක්වා ඇති කරුණු කිහිපයක් පිලිබඳව සලකා බලන්න.

ඔබේ බිලිඳා සමඟ එලියට යාමට බිය නොවන්න.
ඔබේ සිඟිත්තාට ඔබට වගේම නැවුම් වාතය ලබා ගැනීමට අයිතියක් ඇත. එලිමහනෙන් ලැබෙන නැවුම් වාතය දරුවාට ඉතා වැදගත් වේ. දරුවාට මාස 3ක් වන තෙක් සෙනඟ ඇති තැන් වලට යාමෙන් මඟහරින්න. ඔබ, නෑදෑ හිතමිතුරන් බැලීමට යනවා නම්, ඔවුන් දරුවාව ඇල්ලීමට පෙර අත් සෝදන ලෙස ඔවුන්ට උපදෙස් දෙන්න. කුඩා දරුවන්ට ඔබේ බිලිඳා ඇල්ලීමට ඉඩ නොදෙන්න.

ඔබේ හඬන දරුවා ඇඳ උඩ තබන විට, එය වරදක් යැයි නොසිතන්න.

ඔබේ ආතතිය වැඩි නොකර, සන්සුන්ව සිටීමට උත්සහ කරන්න. ඔබ නිරන්තරයෙන් සිඟිත්තාව උසුලාගෙන් සිටීමෙන් වලකින්න. එසේ කලහොත් ඔබේ සිඟිත්තා ඇඳ උඩ තබනවිට කලබලකාරී ලෙස හැසිරීමට පුලුවනි. සිඟිත්තාට ඔබ සමඟ සන්නිවේදනය කිරීමට ඇති එකම හැකියාව හැඬීම පමනි. එහෙත්, ඔබේ දරුවා පැය 3කට වඩා හඬයි නම්, ළමා විශේෂඥයකුගෙන් උපදෙස් ගැනීමට අමතක කරන්න එපා. එය සමහරවිට ආමාශයේ තිබෙන ඇසිඩ් නැවත ආහාර මාර්ගය උඩට ඇදී ඒම නිසා නැතහොත් වෙනත් හේතුවක් විය හැක.

ඔබේ දරුවා නිදාගෙන සිටින අවස්ථාවලදී, ඔබ කකුලේ ඇඟිලි තුඩු අගින් ඇවිදිනවාද නැතහොත් රහසින් කතා කරනවාද?

කතා කිරීම හෝ ඇවිදීම දරුවාට කරදරයක් නොවේ. එයට හේතුව නම්, දරුවා ගර්භාෂයේ සිටින කාලයේදී, ඔහු වටේ තිබෙන ශබ්ද වලට හැඩ ගැසී ඇත. දරුවා ශබ්ද වලට හැඩගැසී ඇති නිසා, ඔබට රෙකෝඩර් (Recorder) එක වැඩි ශබ්දයකින් දැමිය හැකි යැයි නොසිතන්න. ඔබේ දරුවා ඉක්මනින් නැගිටුනහොත්, විදුලි පංකාව ලඟින් දමන්න. එයින් පිටවන කුඩා ශබ්දය නිසා, SIDS සහලක්ෂණය ඇතිවීමේ අවස්ථාවන් අඩුවෙයි.

නිරන්තරයෙන් ශබ්දය වැඩිවශයෙන් ඇති ස්ථානයක ඔබ සිටිනවානම්, විවිධ සුළු ශබ්ද වන දියඇල්ලක ශබ්දය හෝ සුලඟේ ශබ්දය නිකුත් කරන White Noise Device යන උපකරණය දැමීමෙන්, දරුවා හොඳින් සැනසී නිදාගනී.

ඔබේ ළදරුවා මුනින් අතට දැමීම පිලිබඳ බිය නොවන්න.

ළදරුවන් සෑම දවසකම ටික වේලාවකට මුනින් අතට හිඳ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. එයින් ඔවුන් ඔළුව උස්සා බඩගා යන ක්‍රමය ඉගෙන ගනී. දරුවාට මෙම ක්‍රමය පිලිබඳව එතරම් සතුටු නොවූවද, දිනපතා එක වේලාවකට අඩුම තරමින් විනාඩි 5ක් එහෙත් විනාඩි 20ක පමණ නොවැඩි කාලයක්, දරුවා මුනින් අතට තැබිය යුතුය. දරුවා එම ක්‍රමය ඉගෙනගන්න තාක්, ඔබ මෙය සිදුකල යුතුය.

විශේෂයෙන්ම ඔබේ ස්වාමි පුරුෂයාගෙන් හෝ උදව් කිරීමට කැමති අයගෙන් උදව් ලබා ගන්න.

ඔබ දරුවා ලඟ නිරන්තරයෙන් සිටීම හේතුවෙන් ඔබේ ආතතිය වැඩිවිය හැක. එමනිසා ඔබ විටෙන් විට කෙටි විවේකයක් ගැනීමට අමතක නොකරන්න. ඔබේ ස්වාමි පුරුෂයා දරුවා ටික වේලාවකට බලාගන්නා තෙක් ඔබට, ටික වේලාවකට විවේකීව ඇවිදීම හෝ රූපවාහිනිය නැරඹීම කල හැක.

චූටි බබා ලොකු වෙන හැටි පියවරෙන් පියවර කියවන්න

පලමු වතාවට ළදරුවෙකු රැක බලාගන්නා විට ඔබට යම්තාක් දුරට නුහුරු ගතියක් පැවතිය හැක. එය හරියට ඔබ යන ස්ථානය දන්නා වූවද, ඒ ස්ථානයට කෙසේ යන්නේද කියා නිසි අවබෝධයක් නැතුවා සේය. ඒ වගේම ඔබට නිරෝගී, සැපවත් දරුවෙකු බිහිකල යුතු වුවද, ඔබට ඒ පිලිබඳව නිශ්චිත අවබෝධයක් නොමැති ආකාරයෙන් ඔබ කලබලයට පත්වෙයි. ආධුනික දෙමව්පියන් නිතරම වදවන කරුණක් නම්, ඔවුන් වැරදි තෝරාගැනීම් කර එය දරුවාට හානිදායක විය හැකි යැයි කනස්සල්ලෙන් පසු වීමයි. මුල්වරට අත්විඳින මාතෘත්වය හෝ පීතෘත්වය නියත වශයෙන්ම අභියෝගාත්මකය.

දරුවෙකු කෙසේ හදාවඩා ගත යුතුද යන්න පිලිබඳව තද හෝ ස්ථීර නීති නොමැති වූවද, දරුවෙකුගේ සංවර්ධනයේ කඩයිම් බලාපොරොත්තු විය හැකි මාවතක් තිබේ. ඔබගේ දරුවාගේ සංවර්ධන, කායික, හැඟීම්බර සහ බුද්ධිමය ක්‍රියාකාරකම් ලඟාකර ගැනීමේ හැකියාව අනුව ඔබ හරිදේ කරනවාය යන්න පෙන්වීමට සාධකයක් වේ. මේ මාවත ඔබට ඉදිරි මාස වලදී ඔබට අපේක්ෂා කලහැකි දේ පිලිබඳව සංඥාවක් ලබා දෙන අතරම දරුවා යන මඟ පිලිබඳව අනතුරු ඇඟවීමක්ද කෙරේ.

කායික, බුද්ධිමය සහ හැඟීම් සංවර්ධනයේදී ළදරුවන් තම පලමු වසරේදී ආශ්චර්යවත් වැඩීමක් පෙන්නුම් කරයි. ඔවුන් ජීවිතය පටන්ගන්නේ අසරණ වූ අලුත උපන් බිලිඳුන් ලෙසයි. නමුත් වසරක් තුල ඔවුන් ඉඳ ගැනීමට, දණ ගෑමට, ඇවිදීමට, දිවීම සහ ඔවුන්ගේ මුවින් පිටවන පලමු වචන පිටකිරීමට ඉගෙනගනී.

සෑම ළදරුවෙකුම පොදු වූ සංවර්ධන අවධියක් පසු කරයි. සෑම දෙමව්පියකුම සිය දරුවා වැඩෙනවාත් සමඟ නිරීක්ෂණය සහ පිළිපැදිය යුතු මූලික සංවර්ධන සළකුණු තිබේ.

උපන් දවසේ සිට මාස තුන දක්වා කාලය

ළදරුවෙකුගේ ජීවිතයේ පලමු මාස කිහිපය ගත වන්නේ ගර්භාෂයෙන් පිටත ලෝකයට අනුගත වීමටය. මේ මුළු ලෝකයම ඔවුන්ට බලවත් ලෙස පෙනෙයි. දරුවන් හැඬීම මඟින් ඔවුන්ගේ කායික තත්වය සන්නිවේදනය කරයි. උදා: ඔවුන්ට බඩගිනි සෑදුන විට, අපහසුවෙන් සිටින විට, බිය වීම් හෝ තෙත්වීම. මේ සෑම අවස්ථාවකදීම එම හැඬීමට මව හෝ පියා ප්‍රතිචාර දක්වන විට, දරුවා තම දෙමව්පියන් සමඟ ආරක්ෂාව තිබෙන බව දැනීමට පටන් ගනී.

මේ කාල වකවානුවේදී බිලිඳා සිනහසීමට, තම මව හඳුනා ගැනීමට, පයින් ගැසීමට සහ අත්පා සෙලවීමට ඉගෙන ගනී. අත්පා හසුරුවා ගැනීමට ඉගෙන ගනී.

මාස තුනේ සිට 6 දක්වා කාලය

මේ කාල වකවානුවේදී ඔබගේ දරුවා පිටස්තර ලෝකය දැකීමට මහත් සේ උනන්දුවක් දක්වයි. ඔහු හෝ ඇය බාහිර ලෝකයට සම්බන්ධ වීමට මෙන්ම විශේෂයෙන් තමන් රැකබලාගන්නා පුද්ගලයින් හා සම්බන්ධ වීමද ආරම්භ කරයි.

මේ කාල වකවානුව තුල ඔබගේ දරුවා පෙරලීමට හිස එසවීමට සහ විවිධ වස්තූන් ඇල්ලීමටත් ඉගෙන ගනී. එමෙන්ම දරුවා ඔවුන්ගේ සතුට සහ ප්‍රීතියද ප්‍රකාශ කිරීමට පටන් ගනී. දෙමව්පියන් තම දරුවා ස්නානය කිරීම රස විඳිනවාද නැතහොත් අනිත් ක්‍රියාකාරකම් ද ඉතා ඉක්මනින් හඳුනා ගනී.

මාස 6 සිට 9 දක්වා කාලය

බාහිර ලෝකයත් සමඟ දරුවන් සම්බන්ධ වීමට පටන් ගත් පසු දරුවාගේ වටා සිදුවන දේවල් පිලිබඳ වැඩියෙන් සොයා බලන කාලයක් එයි. මේ කාලයේදී දරුවා නාඳුනන පුද්ගලයන් දැකීමෙන් හැඬීමට පටන් ගැනීම හෝ අලුත් පුද්ගලයන් වටා සිටින විට ඉතාමත් ප්‍රීතියෙන් පසු වීම හෝ ඔබ නොපෙනුන විට කලබල වීම සිදුවිය හැක. ඔවුන් වටා ඇති අලුත් ලෝකය ගවේෂණය කිරීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් බියගැන්විය හැකි අවස්ථාවන්ට ඇතැම්විට මුහුණදෙයි. නමුත් බිය නොවන්න. ඔවුන්ද නව හැකියාවන් සංවර්ධනය කරගන්නා අතර ඔවුන්ගේ අවට පරිසරය පිලිබඳ ඉගෙනගන්නා බව අමතක නොකරන්න.

මාස 9 සිට 12 දක්වා කාලය

බොහෝ දරුවන් මේ කාලයේදී ගවේශණය කිරීමට පෙලඹෙයි. ඇතැම් දරුවන් නාඳුනන පුද්ගලයන්ට බියවීම හෝ අලුත් තත්වයන් පෙන්වයි. කෙසේ නමුත් ඔවුන් තමන්ගේ පෞර්ෂත්වය අලුත් හැකියාවන් සමඟ සංවර්ධනය කරගනී. දොලොස්වන මාසයේදී දරුවන් එකතැන නොසිටියි. ඔවුන් දණගැසීමටත්, නැගිට සිටීමටත් ඇතැම් විට ඇවිදීමටත් පටන් ගනී. මේ වයසේදී දරුවන් වැඩියෙන් සන්නිවේදනය කිරීමටත් පටන් ගනී. ඔවුන් වචනයක් හෝ ඊට වැඩියෙන් කීමටත්, හිස සෙලවීමටත් සහ ඔබ කතා කරන විට ප්‍රතිචාර දැක්වීමටත් පටන් ගනී.

දරුවාගේ ජීවිත කාලයේ පලමු වසර තුල හැඟීම්බර, සමාජීය සහ කායික හැකියාවන් ඉගෙන ගනී. මේ සෑම දෙයකින්ම ඔවුන්ව ස්වාධීන කරවීමට උගන්වයි. ආදරයෙන්, කරුණාවෙන් තම උණුසුම සහ රැකවරණය ලබා දීම මඟින්, ඔබේ දරුවාගේ සංවර්ධනයට උදව් දියහැක. තවද ඔබේ දරුවා සමඟ ඔවුන්ගේ වටා ඇති ලෝකය පිලිබඳ නිරන්තරයෙන් කතා කිරීම, ගායනය කිරීම, සිනාසීම සහ දිනපතා ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම මඟින් ඔවුන්ට තවදුරටත් උදව් විය හැක.

මාතෘත්වය සඳහා මුහුණදෙන්නේ කෙසේද?

මාතෘත්වය සඳහා දෙනු ලබන නිවාඩු කාලය, කාන්තාවකට එය අර්ථවත් කාලයක් වෙනු ඇත. ඇය එම කාලයේදී, දරුවාගේ පැමිනීම සඳහා ළමා කාමරය සහ දරුවාට අවශ්‍ය කරන අනිකුත් දේවල් සූදානම් කර ගනී.

ඔබේ මාතෘ නිවාඩුව ඉවර වීමට යනවිට ඔබට කුමන හැඟීමක් ඔබට දැනේවිද? ඔබත් සිත් තැවුලට පත් වෙනවා නොඅනුමානයි. එසේම අනිකුත් කාන්තාවන්ට තම මාතෘ නිවාඩුව ඉවරවීමට ලංවන අවස්ථාවේදී ඔවුන්ද සිත් තැවුලට පත් වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව, දරුවා ඉපදී මාස 4කට නොඅඩු මාතෘ නිවාඩුවක් පලවෙනි සහ දෙවෙනි වරට දරුවන් ලැබෙන මව්වරුන්ට ලබාදෙයි. එමනිසා අලුත් මවකට තම අලුත් බිලිඳා සමඟ දීර්ඝ කාලයක් ලඟින් සිටීමට අවකාශය සැලසේ. එමෙන්ම මාතෘ නිවාඩුවෙන් පසුවත්, දරුවාට අවුරුද්දක් යන තෙක් මවුකිරි දීමට ඇති නිසා, රැකියාවෙන් පිටත් වියයුතු නියමිත වේලාවට වඩා පැයකට පමන ඉහතදී ඔබට නිවසට පිටත් වීමටද අවකාශය බොහෝවිට සමහර රැකියා ස්ථානවලින් සැලසේ. එහෙත් නිවාඩුව අවසන් වන විට මවුවරුන් සිත් තැවුලට පත්වීම සාමාන්‍ය දෙයකි. මව සහ පියා දෙදෙනාම රැකියාවට යාමට පටන් ගැනීමෙන් පසු දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා කාලය සොයා ගැනීමට තරමක් අපහසු විය හැක. එයට හේතුව විශේෂයෙන්ම මව දරුවාගේ සියළු අවශ්‍යතා ඇය විසින්ම කල යුතු නිසාවෙනි. එහෙත් ඔබේ දරුවාව බලාගැනීමට ඔබේ මව හෝ වෙනත් විශ්වාසවන්ත කෙනෙකු සිටීනම් එය ඔබට අස්වැසිල්ලක් වනු ඇත.

අලුත් මව්වරුන්ට මාතෘත්වය සඳහා මුහුණදීමට උදව් වන කරුණු පහත දැක්වේ.

නෑදෑ හිතමිතුරන්ගේ පැමිණීම් වලට ඉඩදීම.

අපගේ නෑදෑ හිතමිතුරන් ගෙදරට එන විට, එය අපගේ හුදෙකලාවෙන් මිදීමට හොඳ ක්‍රමයකි. ඔවුන් පැයකට වැඩි වේලාවක් ඔබ සමඟ සිටියත්, එය ඔබට අස්වැසිල්ලක් වනු ඇත. එමෙන්ම අලුත් මවක් වන ඔබට, එය ඉතා වැදගත් වනු ඇත. ඔබට එයින් විවේක ගැනීමට සහ අන් අය සමඟ සුහදව කාලය ගත කිරීමට උදව් වේ.

ඔබේ ස්වාමි පුරුෂයාට නැවත රක්ෂාවට පිටත් කිරීමට සූදානම් කිරීම

ඔබේ ස්වාමි පුරුෂයා නැවත රක්ෂාව සඳහා පිටත් කිරීම අනිවාර්ය වේ. එය අලුත් මවකට වැඩි වගකීමක් ගෙන දෙන නමුත් එය බොහෝ විට කල හැකි කාර්යයකි. මෙම අලුත් ආතතිය මඟහැරවීම සඳහා ඔබට කෙටි ක්‍රමෝපායක් භාවිතා කල හැක. උදාහරණයක් වශයෙන් ඔබට සතියකට පිලියෙල කල යුතු කෑම තෝරාගෙන, එම එළවළු සහ මස් මාංශ සියල්ල කපා කොටා ශීතකරණයේ තැබිය හැක. ඔබේ දරුවා නිදාගන්නා වේලාවල, ගෙදර වැඩ සියල්ල සම්පූර්ණ කිරීමට උත්සහ කරන්න. එහෙත් ඔබට එසේ කිරීමට නොහැකි වුවහොත් ඔබ කලබල නොවන්න.

නිවසින් මදකට එලියට එන්න.

ඔබ දවසකට එක්වතාවක් හෝ දරුවා සමඟ විවේකීව ඇවිදීමට යාමට පුරුදු වෙන්න. අවන්හලකට, පොත් සාප්පුවකට හෝ වෙනත් විවේකී ස්ථානයකට ඔබට යා හැකිය. හොඳ විවේකී ස්ථානයකට ගොස්, හොඳ තේ කෝප්පයක රසවිඳමින්, නිදහසේ පොතක් කියවා ඔබට හොඳ විවේකයක් ගත හැක. ඔබ ගෙදරින් ටික වේලාවකට පිටවී නිදහසේ ඔබේ මනස සැහැල්ලු කරමින් එලිමහනත් සමඟ ඇති සබැඳියාව වැඩිදියුණු කරගත හැක. එයද ඔබට හුදෙකලාවෙන් මිදීමට හොඳ ක්‍රමයක් විය හැක.

අනිකුත් මව්වරුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම.

අනිකුත් මව්වරුන් ඔබට හොඳ සම්පතකි. එයට හේතුව Diaper එක මාරු කිරීම, ආහාර දීම, ගර්භණීභාවයෙන් පසු බර අඩුකිරීම පිලිබඳව සහ අනිකුත් දේවල් පිලිබඳව යම් කිසිකෙනෙකුට හොඳ ප්‍රතිඵලයක් අත්විඳ ඇතිනම්, ඒ පිලිබඳව ඔබට දැනුමක් ලබා ගැනීමට සහ ඔබේ අත්දැකීම් ඔවුන් සමඟ බෙදාහදා ගත හැක. එසේ කිරීමෙන් ඔබට ඔබේ හුදෙකලාව මඟහරවා ගත හැක. සමහර වේලාවට විනාඩි පහක කතාබහෙන් ඔබට සෑහීමට පත්විය හැක.

බොහෝ කාන්තාවන්ට මාතෘත්වය සඳහා තනිවම මුහුණදීම අනිවාර්ය වෙයි. නමුත් ඒ සඳහා සූදානම් වීමට හොඳ දැනීමක් සහ ක්‍රියාශීලීබව තිබීමෙන්, එයින් ඔබට මිදීම සඳහා උපකාරී වේ.

දූ දරුවන්ගේ ජීවිතයට පියෙකුගෙ ඇති වැදගත්කම

දරුවෙකුට පියා වැදගත් ඇයි?

දරුවෙකුගේ බිලිඳු අවස්ථාවේ සිට වැඩිහිටි අවස්ථාව දක්වා, පියෙකු දරුවෙකුගේ වර්ධනය සඳහා විශාල කාර්යභාරයක් සිදු කරයි. මෙතෙක් කල් මේ සඳහා කල විවිධ අධ්‍යනයන් වලට අනුව, පියෙකු සිටින දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් සහ සමාජීය හැකියාවන් , පියෙකු නැති දරුවෙකුට වඩා ඇතිබව සොයාගෙන ඇත. පියෙකු සමඟ සිටින දරුවන්ට හැසිරීමේ හෝ භාෂා හැසිරවීමේ දුර්වලතා ඉතා අඩුය. මෙහි නරක ප්‍රතිඵල, දික්කසාද වූ පවුල් වල දරුවන්ටද ඇතිවේ. ඒ සඳහා බලපාන්නේ පියා දරුවන් සමඟ එකට ජීවත් වෙනවාද නැද්ද යන නිසා නොවේ, වැඩි වශයෙන්ම බලපාන්නේ පියා දරුවන් සමඟ සමඟ ඇති සම්බන්ධතාවය නිසාය.

ඇමරිකාවෙ ඉලීනොයිස් විශ්ව විද්‍යාලයේ (Illinoise University) කරන ලද සමීක්ෂණයට අනුව, පියෙකු දිනපතා දරුවන් පිලිබඳව අවධානයෙන් සිටීම හේතුවෙන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳ මට්ටමක තිබෙන බව සොයාගෙන ඇත. දරුවන් දිනපතා ඉගෙනගත් දෙවල් පිලිබඳව, දරුවන්ගේ දිනපතා ක්‍රියාකාරකම් පිලිබඳව සහ දරුවන් සම්බන්ධතා පවත්වන අය පිලිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීම හිතකර ලෙස බලපායි. එසේම පියකු තම දරුවන් පිලිබඳව නොතකන විට, එම දරුවන්ගේ අඩු අධ්‍යාපන මට්ටමක් පවතී. එමෙන්ම එම පියා, දරුවාගේ ජානමය ලෙස සමාන කමක් දක්වන පියාම වීමට අවශ්‍ය නැත. එම පියා, දරුවා හඩා වඩා ගැනීමට ගත් පියා, දරුවාගේ සීයා හෝ මුත්තා නැතහොත් වැඩිහිටි පිරිමියෙක් වූවාට ප්‍රශ්ණයක් නැත.

එමෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) කරනු ලබන අධ්‍යනයේදී ඔවුන්ටද මෙයට සමාන ප්‍රතිඵලයක් ලැබුනි. මෙහිදී එක්සත් රාජධානියේ පාසලක ළමුන් 17,000ක් පමණ මෙම පරීක්ෂණයට යොදා ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපනික දියුණුව සහ දෙමව්පියන්ගේ සම්බන්ධීකරණය අතර සම්බන්ධයක් ඇතිබව සොයාගන්නා ලදී. මනෝවිද්‍යාඥ ඊරින් ෆ්ලෝරි (Eirine Flouri) පවසන ආකාරයට දරුවන් පිලිබඳව කැක්කුමක් ඇති පියෙකු, තම දරුවාව කෙටි විනෝදගමනක්, කියවීමට උදව් වීම, දරුවා පාලනය කිරීම සහ දරුවාගේ අධ්‍යාපන කටයුතු පිලිබඳව උනන්දු වෙයි.
පුතෙකු කෙරෙහි ඇති පියාගේ බලපෑම

එක්සත් රාජධානියේ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) අධ්‍යනයකට අනුව, පුතෙකු තම පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබීම හේතුවෙන්, තම වැඩිහිටි කාලයේදී නීතිය කඩකිරීමේ වරදට අසුවීමේ අඩු තත්වයක් දක්නට ලැබුනි. පියාට තම පුතාට සුභවාදී ආදර්ශයක් ලබා දිය හැක. තම පුතාට හැඟීම් දැනීම් පිලිබඳව දැනුවත් කිරීමක් ලබාදීමට උදව් විය හැක.

පුතෙකුට අර්ථවත් පුරුෂ බලපෑමක් වීමට තම උපන් පියාම වීමට අවශ්‍ය නැත. තම මාමලා, සීයලා හෝ තම මිතුරන් ගෙන් ධනාත්මක බලපෑමක් තිබීමට පුලුවනි.
දියණියෙකු කෙරෙහි ඇති පියාගේ බලපෑම

දියණියෙකුට පියා සමඟ ඇති සම්බන්ධතාවයෙන් ලබාගැනීමට බොහෝ දේ ඇත. ඇමරිකාවේ වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ (Vanderbilt University) කරනු ලබන සමීක්ෂණයක් අනුව, පළමුවන අවුරුදු පහේදී මව්පියන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති ගැහැණු දරුවන්, නියමිත කාලයේදී වැඩිවියට පැමිනේ. එක්සත් රාජධානියේ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) කරනු ලබන තවත් සමීක්ෂණයකට අනුව, දියණියන් තම පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා, ඔවුන්ගේ පසු ජීවිත වල, මානසික ගැටළු ඇතිවීම අඩු තත්වයක් දැකීමට ඇති බවයි. පියෙකු තම දියණියට අගය කිරීමෙන් සහ ප්‍රශංසා කිරීමෙන්, ඔවුන් පිලිබඳවම විශ්වාසය ඇතිවීම සහ ස්වාධීනව කටයුතු කිරීමට උදව් වේ.

මෙහි අන්තර්ගතවී තිබෙන තොරතුරු, සෞඛ්‍ය විශේෂඥයකුගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ලබාගන්නා ලද තොරතුරු වේ. පාඨක ඔබ විවිධ මානසීක ප්‍රශ්ණ වලින් පෙලෙනවා නම්, සෞඛ්‍ය විශේෂඥයකුගෙන් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

දරුවාගේ අක්ෂි සෞඛ්‍යය උසස් කිරීම සඳහා වැදගත් වන කරුණු 5ක්

ඔබේ දරුවාට හොඳ පෙනීමක් තිබීම ඉතා වැදගත් වේ. ඔබේ දරුවාගේ ඇස්වල සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යාමට ඔබට වැදගත් වන වටිනා උපදෙස් පහක් පහත සඳහන් කර ඇත.

1. දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික් භාවිතය පිලිබඳව අවධානයෙන් සිටීම

නිරන්තරයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතා කරන දරුවන් පිලිබඳව දෙමව්පියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු යුතුය. දරුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතා කිරීමේදී, එම උපකරණ වල තිරය පැහැදිලිව සහ අඳුරු නැතිව තිබිය අතර එම උපකරණ භාවිතා කරන සෑම පැයකට සැරයක්ම විනාඩි පහක කුඩා විවේකයක් ගත යුතු බව දරුවන්ට ඔබ කියාදිය යුතුය.

2. දරුවන් එළිමහනේ සෙල්ලම් කිරීමට උනන්දු කරවීම.

දිනපතා එළිමහනේ සෙල්ලම් කරන දරුවන් දුර නොපෙනීමේ රෝගී තත්වයට ගොදුරු වීමේ අවදානම ඉතා අඩුය. මෙවැනිම ආකාරයේ එක්සත් රාජධානියේ සිදුකරන ලද පරීක්ෂණයට අනුව සොයගත් දෙයක් නම්, එනම් වයස අවුරුදු 8 සහ 9 කාලයේදී එළිමහනේ සෙල්ලම් කල දරුවන්ට වයස අවුරුදු 15දී ලඟ නොපෙනීමේ රෝගයට ගොදුරු වීමේ අවස්ථාව අඩකට ඇතිවී තිබෙන බව සොයාගෙන ඇත.

අතීතයේදී වැඩිපුර පොත්පත් කියවන දරුවන් මෙම ලඟ නොපෙනීමේ රෝගයට ගොදුරු වුනා යැයි සිතූවත්, පර්යේෂණ වලින් එලි වූයේ එළිමහනේ සෙල්ලම් කිරීම ඒ සඳහා බලපාන බව එය කියවීම නිසා ඇති නොවන්නක් බවය.

3. අවුකණ්ණාඩි පැලඳීම

බොහෝ අය අවු කණ්ණාඩි පලඳින්නේ අවුරුදු 20න් පසුවය. නමුත් විද්‍යාඥයින් නිර්දේශ කරන පරිදී දරුවන්ද අවු කණ්ණාඩි පැලඳිය යුතු බවයි. එයට හේතුව දරුවන්ගේ ඇස්වලට UV කිරණෙන් හානි සිදු වීමට හැකියාවක් ඇති බවයි. අවු කණ්ණාඩි මුල් වයස් කාලයේදී ඇන්දවීමට සැලැස්වීමෙන්, ඇසේ අඳුරු ලක්ෂයේ පිරිහීම වලක්වාලයි. දරුවන්ට ගැලපෙන අවු කණ්ණාඩි තෝරා ගැනීමට පෙර, ඔබේ පවුලේ දොස්තරවරයෙකු හෝ අක්ෂි විශේෂඥයකු හමුවන්න.

4. ඇස්වල සෞඛ්‍ය තත්වය වැඩි කරන හොඳ ආහාර වේලක් ලබා ගැනීම.

ඔමේගා 3 අම්ලය, විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් වලින් ඇස්වල සෞඛ්‍ය තත්වය වැඩිකිරීමට උපකාරී වේ.

සමහර ආහාර වලින්, ඉදිරියේදී දරුවන්ගේ ඇස්වල සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යාමට පලා වර්ග වන නිවිති සහ බොකටු ගෝවා, විටමින් C අධිකව ඇති එළවළු සහ පලතුරු වර්ගද, විටමින් E අධිකව ඇති ගෙඩි සහ ඇට වර්ග සහ අනෙකුත් ආහාර වර්ග වන සැමන්, බිත්තර, කෙලවල්ලා සහ කළුකුමා වැනි දේවල් ආහාරයට ගත හැක. මෙම ආහාර වලින් ඇසේ අඳුරු ලක්ෂය පිරිහීම සහ කැටරැක් ඇතිවීමේ අවදානම අඩුවේ.

5. ක්‍රමවත් ඇස් පරීක්ෂාවක් සිදුකිරීම.

දරුවන්ව පාසලට යැවීමට පෙර ඔවුන්ට ක්‍රමවත් ඇස් පරීක්ෂාවක් කලින් කලකට සිදු කිරීම ඉතා යෝග්‍ය වේ. ඔවුන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා, වපර බැල්ම හෝ වෙනත් පෙනීමේ ආබාධ තිබිය හැක. ඒවා ඔවුන්ගේ ඉගෙනීම සඳහා අනතුරුදායක බලපෑම් ඇතිවීමට ඉඩ ඇත.