අත්තම්මාට සීයාට ඖෂධ ලබා දීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න

නිවසේ වෙසෙන අපේ පුංචි පැටවුන්ගේ ආච්චී සීයා වයස් ගත වීමත් සමග දරුවන් මෙන්ම ආරක්ෂා කර ගත යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්. නිසි පෝෂණය ගැන වගේම නියමිත අවස්ථාවේදී වෛද්‍ය පරීක්ෂාවට යොමු කිරීම පමණක් නොව අදාල ඖෂධ නිසි පරිදි ක්‍රමානුකූලව ලබාදීම ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. වැඩිහිටියන්ට ඖෂධ ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව අපි මේ ලිපය තුළින් කතා කරමු.

වැඩිහිටියන්හට ඖෂධ ලබා දීමේ දී  ඇති විය හැකි ගැටලු  විවිධ වන අතර එය යම් අවස්ථාවක එය වැඩිහිටියාගේ මරණය පවා හේතු  විය හැකිය. මෙම ගැටළු වළක්වා ගැනීම සඳහා  සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට තම සේවාදාකයින්හට ඖෂධ නිර්දේශ කිරීමේ දී ‍ හා  බෙදා හැරිීමේ දී  තම වගකීම පිළිබඳව දැනුවත් වීමක් අත්‍යවශ්‍යය. එසේම ඖෂධ සම්බන්ධ ගැටළුවක ඇතිවිය හැකි ලක්ෂණ හඳුනා ගැනීමට වැඩිහිටියින්ට සහ ඔවුන් රැකබලා ගන්නන්ට අව‍බෝධයක් තිබිය යුතුය. 

වෛද්‍ය පර්යේෂණ වලින් සහතික කරන තුරු  වැඩිහිටියා තුල ඇතිවන රෝග ලක්ෂණ ඖෂධ  සම්බන්ධ ගැටළුවක් ලෙස සැලකිය යුතුය.  දිනපතා ක්‍රියාකාරිත්වයට බාධා වන  රෝග ලක්ෂණ ඇතිවන  විට එය ඖෂධයක් මගින් ඇති කරන බව පෙන්නුම් කළහොත් වැඩිහිටියාට රැකවරණය දෙන තැනැත්තා වහාම අදාල පුද්ලයන් දැනුවත් කළ යුතුය.  මානසික ගැටළු ඇති වැඩිහිටියන්ට ඖෂධ ලබා දීමේ දී රැකවරණය ලබා දෙන්නාගේ භූමිකාව ඉතා වැදගත්  වේ.

 

ආරක්ෂිත පියවර

ඔබ රැකවරණය  ලබා දෙන පුද්ගලයා දැනට වැඩිහිටියා ලබා ගන්නා ඖෂධවල  යාවත්කාලීන ලැයිස්තුවක්  තබා ගැනීම හොඳ අදහසකි. වෛද්‍යවරයා  විසින් ලබා දෙන ඖෂධ ලැයිස්තුව අත් අකුරෙන් ලියන්නේ නම්  ඔබට හා   වැඩිහිටියාට ද  කියවිය හැකි ආකාරයට  පැහැදිලිව ලියන සේ ඉල්ලා සිටින්න. ඖෂධ ගැනීම සඳහා හේතුව මෙන්ම එහි අතුරු ආබාධ පිළිබඳව ද දැනුවත් වීම  වැදගත්ය. අවශ්‍ය නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන්  පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න.

වැඩිහිටියාට  ලබා දෙන ඖෂධ ගැන ඖෂධවේදියෙකු සමඟ සාකච්ඡා කළ හැකිය.  ඒ සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු / උපදෙස්  ඉල්ලාගෙන ඔබට සහ වැඩිහිටියාට ඒ ගැන නැවත නැවත කියවා බලා  දැනුවත් විය හැක. එසේම  ඖෂධවේදියකු හරහා මෙම ඖෂධ නිසි ලෙස ගබඩා කළ හැකි ආකාරය පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය.

 

සෑම මාස 6 කට වරක්  වැඩිහිටියාට ලබා දෙන ඖෂධ සමාලෝචනය කිරීම සඳහා ඖෂධවේදියා හෝ වෛද්‍යවරයා  සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ.  මෙම සමාලෝචනයේ දී  වැඩිහිටියා ලබා ගන්නා සියළුම  ඖෂධ (වෛද්‍යවරා විසින් නිර්දේශ කරන  ඖෂධවිටමින්, වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබා ගන්නා ඖෂධ , ස්වභාවික ඖෂධ, වේදනා නාශක ක්‍රීම් )  ඇතුළත් කිරීමට මතක තබා ගන්න.  මෙම උපදෙස් ලබා ගැනීමේ දි වැඩිහිටියා ද සහභාගී කරගැනීමට  වග බලා ගන්න.

 

 එක් එක් ඖෂධ සඳහා භාවිත වන උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය. නිර්දේශිත ඖෂධ  මත ඇති ලේබලයේ  භාවිත කිරීම සඳහා උපදෙස් ඇත. එහි  පුද්ගලයාගේ වයස අනුව  ඖෂධ ලබා ගත යුතු ප්‍රමාණය සඳහා නිශ්චිත උපදෙස් වෛද්‍යවරයා සහ ඖෂධවේදියා  විසින් සපයනු ලැබේ. වෛද්‍ය නිර්දේශ රහිතව සෘජුවම ඖෂධ වෙළඳ සැල් වලින් ලබා ගත හැකි ඖෂධ මගින් සෑමවිටම වැඩිහිටියාට නියම ප්‍රතිකාරය නොලැබෙන බව මතක තබා ගන්න.  එහෙත්  ඖෂධවේදියෙකුට  දැනට වැඩිහිටියකු ලබා ගන්නා ඖෂධ අනුව  වෙනත්  ඖෂධ සුදුසු ද සහ ආරක්ෂිතද යන්න පිළිබඳ උපදෙස් ලබා දීමට දැනුම ඇත. විශේෂයෙන් වයෝවෘද්ධ අය  ඖෂධ විෂ වීම සහ ආසාත්මිකතා වලට මුහුණ දෙන අවස්ථාව වේ. ඖෂධ ​​අතර ඇති වන ව්‍යාකුලත්වය සහ අනපේක්ෂිත ප්‍රතික්‍රියාවක බලපෑම නිසා වැඩිහිටියන්  ඇද වැටීමට ද ඉඩ ඇති අතර එයින් සමහර විට මාරක ප්‍රතිවිපාක ඇති විය හැක.


ඇතැම් අවස්ථාවල ඖෂධයේ ලේබලය පැහැදිළි නොවිය හැක.  එවැනි අවස්ථාවක වැඩිහිටියකුට එය තේරුම් ගැනීමට වඩාත් අපහසු වේ . එහි සඳහන් කර ඇති උපදෙස් පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් තිබේ නම් ඖෂධයට නියම කර ඇති වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් විමසන්න. ඖෂධ මිළදී  ගැනීමේ දී  එකම ‍ඖෂධ වෙළඳ සැලක් තෝරා ගැනීම වඩාත් සුදුසුය. එවිට ඖෂධවේදියාට ඖෂධ පිළිබඳ වාර්තාවක් තබා ගත හැකි අතර  එයින් වඩා හොඳ  සැලකිල්ලක්  සහ උපදෙස් ලබා දීමක් සිදු කළ හැක. මෙමගින් වැඩිහිටියකු තුල ඇතිවිය හැකි ඕනෑම ඖෂධීය අන්තර්ක්‍රියාවක් සඳහා උපදෙස් සැපයීමට ඖෂධවේදියෙකුට හැකි වනු ඇත.

ඖෂධ ඇසුරුම් නිතිපතාම (අවම වශයෙන් වසරකට වරක්) පරීක්ෂා කර බැලිම වඩා ආරක්ෂිත වේ. ඒවා කල් ඉකුත් වී  නොමැති බව ඉන් තහවුරු කර ගත හැක. භාවිතයෙන් ඉවත් කළ හෝ භාවිතයට නොගත් බෙහෙත් ගබඩා කර නොතබන්න. ඒවා පරිසර හිතකාමී ආකාරයකින් ඉවතලන්න.

ඔබ රැකබලා ගන්නා පුද්ගලයා නිර්දේශිත පරිදි ඖෂධ ලබා ගන්නා බව තහවුරු කරගන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ ලබා ගැනීම නතර නොකරන්න. ඔවුන්ට බරපතල ඖෂධ ප්‍රතික්‍රියාවක් ඇතිවුව හොත් වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

ඖෂධ වෙළඳසැලෙන් මිලදී  ලබාගත් ඖෂධ නිවැරදිව තහවුරු කරන්න. මෙයින් අදහස් වන්නේ නිවැරදි නාමය, නිවැරදිව ඇසුරුම් කර ඇති බවත්, එම පුද්ගලයා භාවිතා   කරන ඖෂධය වන බවත්, (එනම්, එය මෙතෙක් වැඩිහිටියා ලබා ගත් කුඩා රෝස පැහැති බෙහෙත් පෙත්ත ම වේ)  ඕනෑම ඖෂධීය වෙනස්කමක් පිළිබඳව ඖෂධ වෙළඳසැලෙන් තහවුරු කරගැනීම ආරක්ෂිත පියවරකි. 

ඖෂධය නිර්දේශ කළ පුද්ගලයාට පමණක් එය ලබා ගත යුතුය. වැඩිහිටියාට සමාන රෝගී තත්වයක් තිබෙන  වෙනත් කෙනෙකු  වෙනුවෙන් නිර්දේශ කළ ඖෂධක් හදිසි අවස්ථාවක දී හෝ ලබා නොදෙන්න.

පුද්ගලයෙකුට පෙති ගිලීමේ අපහසුතාවයක් තිබේ නම්, බෙහෙත් පෙති කැඩීම  හෝ කුඩුකර ලබා දීම වැනි විකල්ප ගැන  ඖෂධවේදියකු සමඟ සාකච්ඡා  කරන්න.  එසේ ලබා දීමට නුසුදුසු බෙහෙත් වර්ග ඇති බවට ඔබ දැනුවත් වනු ඇත. තනිවම ඖෂධ ගැනීම සඳහා වැඩිහිටියා ධෛර්යමත් කරන්න. ඖෂධීය උපදෙස් කියවීම සහ  ඖෂධ නිවැරදි දැයි බැලීම සඳහා ප්‍රමාණවත් ආලෝකයක් තිබිය යුතුය.

සෑම විටම  කුඩ‍ා දරුවන්ට අත පෙවිය නොහැකි ස්ථානක ඖෂධ  තබන්න. එහෙත් එම ස්ථානය වැඩිහිටියාට පහසු තැනක් විය යුතුය. ප්ලාස්ටික් ඖෂධ ඇසුරුමක් මිලදී ගෙන වැඩිහිටියාට දෛනිකව අවශ්‍ය බෙහෙත් වර්ග වෙන් කර තබාගන්න. මෙම ඖෂධීය ඇසුරුම මගින් වැඩිහිටියා නියමිත පරිද ඖෂධ ලබා ගෙන ඇති බව තහවුරු කිරීමට ද උපකාර විය හැක.

පුද්ගලයෙකුට දවස පුරා ගත යුතු ඖෂධ වර්ග කිහිපයක් තිබේ නම්, එය තේරුම් ගැනීමට අපහසු වන අතර  එය ලේඛනයක ලිවිය යුතුය. ඖෂධවේදියෙකුට  මෙම ලේඛන සැකසීම සඳහා සහාය විය හැකි අතර  එහි නිරවද්‍යතාවය සහතික  කර ගැනීම වැදගත්ය. වැඩිහිටියාට  ඊලඟ ඖෂධ මාත්‍රාව ලබා ගැනීමට නියමිත වෙලාව පැමිණි  විට ඒ  බව දැනුම් දීම සඳහා එලාම් එකක් භාවිත  කළ හැකිය. එසේම ඖෂධයක් කෙරෙහි  වැඩිහිටියා දක්වන ඕනෑම අහිතකර ප්‍රතිචාරයක්  වෛද්‍යවරයා වෙත වාර්තා කිරීම ඔබේ වගකීම වේ.

ඖෂධ‍ ගැනීමට වැඩිහිටියාට සහාය ලබා දෙන්නේ කෙසේද?

වැඩිහිටියන් රැකබලා ගන්නන්  පුද්ගලයන්හට ඖෂධ ලබා දීම සමබන්ධයෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවේ . මෙම ගැටළු විසඳීම මගින්  ඖෂධවලින් හොඳ ප්‍රතිඵල වැඩිහිටියාට ලබාගත හැකිය.  රැකවරණය ලබා දෙන්නන් විසින් වෛද්‍යවරුන්ට හා ඖෂධවේදීන්ට තමාට ඇති එම  අපහසුතාවයක් පිළිබඳව දැනුම් දිය යුතුය. 

  • මතකය

වැඩිහිටියන්ට ඖෂධ ගැනීම සඳහා මතක තබා ගැනීම අපහසුතාවයක් පැවතීමට පුළුවන.   ඖෂධ ඇසුරුම් කර තැබීමට විශේෂ  පෙට්ටියක් හෝ වෙනත් ආධාරකයක් වැඩිහිටියාට  ලබා දිය හැක.  මෙවැනි ආධාරක උපකරණ  සරල ඒවායේ  සිට  තාක්ෂණික වශයෙන් ඉතා උසස් එනම් ආහාර ගන්නා වේලාවල් සහ  නින්දට යන වේලාවල්  සටහන් කළ හැකි , ඖෂධ ලබා ගත යුුතු වෙලාව එලාම් මගින් දැනුම් දිය හැකි සහ නියමිත බෙහෙත් බෝතලයේ පියන ඇරිය හැකි ආකාරයේ පහසුකම් සහිත අසුරණ වෙළඳ ප‍ොලේ ඇත. බරපතල මතකබාධ සහිත පුද්ගලයන් සඳහා ඖෂධ නිසි ලෙස පරිපාලනය කිරීම  රැකවරණකරුවන්ගේ වගකීම ‍වේ. මීට අමතරව, සමහර රෝහල්,  සේවා සංවිධාන  වැඩිහිටියන්ට මතකයට නැංවිය යුතු කරුණු  සඳහා වෛද්‍ය ඇමතුම් සහ දුරකථන ඇමතුම් ලබා දේ

  • පෙනීම‍

ඖෂධ ලේබල්  කියවීමේ අපහසුතාව වැඩිහිටියන්ට පොදු ගැටළුවකි. ඖෂධවේදීන්ට විශාල මුද්‍රණ ලේබල් සැපයීමට හැක. වැඩිහිටියන්  රැකබලා ගන්නන්ට දෘශ්‍යබාධ සහිත අය සඳහා  අදාල  තොරතුරු කියවා දිය  හැකි අතර  අකුරු විශාල කර බලන කණ්ණාඩි ඔවුනට ප්‍රයෝජනවත් විය හැකිය.

  • කන ඇසීම දුර්වල වීම

වැඩිහිටියාට කන් ඇසීමේ දුර්වලතාවයක් තිබේ නම් එ් පිළිබඳව වෛද්‍යවරුන්, හෙදියන් සහ ඖෂධවේදීන්ට දැනුවත් කළහොත් ඔවුනට වැඩිහිටියා  සමඟ  උස් හඬින් කතා කරන්නට පුළුවන.  ඖෂධ ආරක්ෂා සහිතව භාවිත කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලියා තබන්න. ශ්‍රවණ ආබාධ සහිත වැඩිහිටියන් සඳහා  රැකවරණය ලබා දෙන්නා “කන්” ලෙස සැලකිය හැකිය.

ඖෂධ සහිත බෝතල් ඇරීමට, ඖෂධ පෙති කඩා ගැනීමට, ඇස් සඳහා බෙහත් දමා ගැනීමට, ඉන්හේලර් භාවිතා කිරීමට, ඉන්සියුලින් එන්නත විද ගැනීමට වැඩිහිටියන්ට අපහසු වීමට පුළුවන. විශේෂයෙන්ම ආතරයිටිස් වැනි රෝග වලින් පෙළෙන වැඩිහිටියන්ට මෙවැනි කටයුතු අසීරු විය හැක. මෙවැනි වැඩිහිටියන් සඳහා පහසුවෙන් විවෘත කළ හැකි බෝතල් ලබා දිය හැක. එසේම බෙහෙත් පෙත්තෙන් කො‍ටසක් පමණක් ගැනීමට ඇති විට එය නිවැරදිව කොටස් වලට කඩා වැඩිහිටියාට ලබා දීමට පුළුවන. ඒ සඳහා උපකරණ ඇත. එන්නත් ලබා දීමට, ඇස් සහ කන් සඳහා බෙහෙත් දැමීම වැනි සියුම් දෙයට රැකවරණය ලබා දෙනනා සහාය දිය යුතුවේ.

ගිලීමේ අපහසුතා ඇති වැඩිහිටියන් වෙනුවෙන් ගිලින පෙති වෙනුවට එම ඖෂධයම දියරමය ලෙස, එන්නත් ලෙස , ගුද මාර්ගයෙන් දියවීමට දමන පෙති ලෙස (suppository) ‍ඇත. එවැනි අපහසුතා ඇත්තම් ඖෂධය නියම කරන අවස්ථාවේම වෛද්‍යවරයා පවසන්න. නැතහොත් මිළදී ගන්නා අවස්ථාවේ ඖෂධවේදියාට දන්නවන්න.වැඩිහිටි පුද්ගලයින්ට සහ රැකබලා ගන්නන්ට ඇති ලොකුම අභියෝගයක් වන්නේ දෛනික  ඖෂධ  ලබාදීම සැලසුම් කිරීමයි. ඉහත විස්තර කර ඇති විශේෂ පෙති සහ වෙනත් ආධාරකයක් උපකාර විය හැකිය. වැඩිහිටි අය සහ රැකබලා ගන්නන් ඔවුන්ගේ දෛනික කාල සටහනට ගැලපෙන ඖෂධ පරිපාලනය සඳහා සැලැස්මක් සකස් කිරීම වැදගත් වේ. නිදසුනක් ලෙස කෑම වේලක් හෝ නිදියන වේලාව ඖෂධ ලබාදීමට  නියමිත වේලාව ලෙස සැලකිය හැකිය. ඔබේ දෛනික කාලසටහනට ගැලපෙන පරිදි සැලැස්මක් සකස් කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා ඖෂධවේදීන්ට ඔබට සහාය විය හැක

ඖෂධ හේතුවෙන් ඇතිවන සංකූලතා 

ඖෂධ සම්බන්ධව වැඩිහිටියන් තුල ඇතිවන ගැටළු සහ සංකූලතා ගැන අවබෝධයක් තිබේ නම් ඒවා වලක්වා ගැනීමට පුළුවන. වැඩිහිටියාගේ කායික හා මානසික සෞඛ්‍යට මෙයින් ගැටළු ඇති කරන බවත් ඔහුගේ දෛනික ජීවන රටාව එයින් වෙනස් වෙන බවත් රැකවරණය සපයන්නා දැනගතයුතු වේ. එයින් සමහරක් ලක්ෂණ පහත දැක්වේ

  • අධික නිදිමත බව
  • අධික වේදනාව
  • මානසික ව්‍යාකූලත්වය/මානසික අවපීඩනය
  • ඩෙලිරියම් තත්ත්වය
  • නින්ද නොයාම
  • පාකින්සන් රෝග ලක්ෂණ
  • මාංශ පේශි දුර්වලතාව
  • ආහාර රුචිය නැති වීම
  • වැටීම් හා  අස්ථි කැඩීම්
  • කථන අපහසුතා
  • මතකයේ වෙනස්කම්

මේ වෙනස්කම් වලින් එකක් හෝ කිහිපයක් ඖෂධ ගැනිමත් සමඟ වැඩිහිටියා තුල මතු වන්නේ නම් වෛද්‍යවරයා හමුවට ඔහු රැගෙන යා යුතුය.

ඔබ කළ යුතු දේ 

  • ඔබ සහ ඔබ රැක බලා ගන්නා පුද්ගලයා යන දෙන්නාම සඳහා ඖෂධ වල යාවත්කාලීන ලැයිස්තුවක් තබා ගන්න. 
  • රැකවරණකරණය ලබා දෙන්නන්ට ඉන්සියුලින් වැනි ඖෂධ වර්ග ලබා දීමට සිදුවේ.  සමේ  හෝ මාංශ පේශි තුලට ඇතුල් කළ හැකි සිරින්ජර සහ ඉඳිකටුවක් භාවිතා කිරීමෙන් මේ ඖෂධ ලබා දීම සිදුවේ.  නිවැරදිව මාත්‍රාව පිළියෙල කිරීම සහ එන්නත් කිරීම  පිළිබඳව ඔබ හොඳින් අවබෝධයක් ලබා තිබිය යුතුය.  වෛද්‍ය නිලධාරීන්ගේ හා ඖෂධවේදීන්ගෙන් මේ සඳහා  උපදෙස් ලබා ගන්න.
  • ශීතකරණයක  අවශ්‍ය වුවහොත් එසේ නැතහොත් “සිසිල් ස්ථානයක ගබඩා කරන්න” යනුවෙන් ලේබල් අලවා නැති සියළු ඖෂධ එක් ස්ථානයක පමණක් ගබඩා කර තබන්න. හදිසි තත්ත්වයකදී එය වැඩිහිටියාට මෙන්ම ඔබට ද පහසුවක් වනු ඇත.
  • විශේෂයෙන් ඔබ සංජානනීය හෝ මතකය සම්බන්ධ ගැටළු ඇති වැඩිහිටියකු වෙනුවෙන් රැකවරණය ලබාදෙන අයෙක් නම්, සියළුම ඖෂධ ආරක්ෂිතව තැන්පත් කර ඇති බවට වග බලා ගන්න.
  • එක් ඇසුරුමක්  තුළ විවිධ ඖෂධ මිශ්‍ර නොකරන්න. හදිසි අවස්ථාවකදී ඔබට හෝ වැඩිහිටියාට ඖෂධ හඳුනා ගැනීම දුෂ්කර වනු ඇත.
  • ඖෂධ සිසිල්, වියළි ස්ථානයක ගබඩා කළ යුතුය. තාපය හා තෙතමනය ඖෂධ ගුණය පිරිහීමට හේතු වන නිසා නාන කාමරයේ හෝ කුස්සියේ ඇති කැබිනට් තුළ  ඖෂධ ගබඩා නොකරන්න. ඒ වෙනුවට නිදන කාමරයේ, කෑම කාමරයේ හෝ විසිත්ත කාමරයෙහි විශේෂීත තැනක ඖෂධ ගබඩා කරන්න.
  • ශීතකරණය තුළ ගබඩා කර ඇති බෙහෙත් එහි  ඇති වෙනත් ද්‍රව්‍ය වලින් වෙන් කළ යුතුය. ශීතකරණය තුළ එක් නිශ්චිත ස්ථානයක් තුළ ප්ලාස්ටික් පෙට්ටියක හෝ බහාලුම්වල  ඖෂධ තබා ගැනීමට සැලකිලිමත් වන්න.
  • මුඛයෙන් ගත යුතු  ඖෂධ  ආලේපන වැනි බාහිර භාවිතය සඳහා පමණක් වන වෙනත් භාණ්ඩ වලින් වෙන් කළ යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

බර අඩු/වැඩි වීම ගර්භණී සමයේදී ගැටලුවක්ද?

ගැබිනි සමය කියන්නේ කාන්තාවකට බොහොමයක් ගැටලු ඇති කාලවකවානුවක්. පළමු දරු පිළිසිඳ ගැනීම නම් අත්දැකීම් නොමැතිකම නිසාම බොහෝවිට ගැටලුකාරී නොවන තත්ත්ව ගැන පවා කණස්සල්ලෙන් පසුවනවා විය හැකියි. ගැබිනි කාන්තාවන් බොහොමයක් මැසිවිලි නගන තත්ත්වයක් ලෙස තමන්ගේ බර දැක්විය හැකියි. ඇතැම් කාන්තාවෝ තමාගේ බර අඩුද ඇතැම් කාන්තාවෝ තමා බරින් වැඩි ද යැයි සිතා මනසින් පීඩා විඳයි. ඔබ නිවැරදි ලෙස වෛද්‍යවරයා හමුවනවා නම් සායනවලට සහභාගී වෙනවා නම් මේ පිළිබඳව ඒ හා සම්බන්ධ විශේෂඥයින් විසින් දැනුවත් කරන බව අමතක නොකරන්න‍. කෙසේ වුවත් ඔබට යම් දැනුවත් බවක් ලබාදීමේ අරමුණෙන් මේ ලිපිය තුළින් ගැබිනි මවගේ බර අඩු/වැඩි වීම ගැන කතා කරමු.

ගැබිනි මවක් තම ගර්භනී කාලය තුල සාමාන්‍යයේ 11.5 kg – 16kg දක්වා බර වැඩිවීමක් පවත්වා ගෙන යා යුතුයි. බොහෝවිට  මුල් ත්‍රෛමාසිකයේ (පළමු මාස තුන) 1kg – 2kg දක්වා ප්‍රමාණයක බර වැඩි වීමක්වත් පවත්වා ගත යුතුයි. ඉන්පසු ගර්භණීභාවය අවසන් වන තුරු සතියකට 500g බැගින් වැඩි වීම ප්‍රමාණවත් වේ. බර වැඩි වීම, මවගේ තත්ත්වය, BMI අගය මත රදයි. ගර්භණීභාවයේ මුල් මාස තුන තුලදී යම් යම් ශාරීරික අපහසුතා, වමනය, කෑම අරුචිය වැනි හේතු මත එක් වරම බර වැඩි වීමක් අපේක්ෂා කළ නොහැක. නිරෝගිමත් ගර්භනී සමයක් වෙනුවෙන් සමබර පෝෂණ ගුණයෙන් අධික ආහාර වේලක් ලබාගන්නා අතරේම නිසි ව්‍යායාම රටාවක් පවත්වා ගැනීම ද ඉතා වැදගත් වේ. බොහෝ ගර්භනී කාන්තාවන්ගේ කැලරි අවශ්‍යතාවය වැඩි වීම පහත ආකාරයට වේ.

  • මුල් ත්‍රෛමාසිකය තුළ දිනකට කැලරි 1500 ක් අවශ්‍ය වේ
  • දෙවන ත්‍රෛමාසිකය තුල දිනකට කැලරි 2200ක් අවශ්‍ය වෙයි
  • තෙවන ත්‍රෛමාසිකය තුල දිනකට කැලරි 2400 ක් අවශ්‍ය වේ

ගර්භනී කාලය තුලදී බර වැඩි වීම මහත් වීමක් නොවෙයි. එය දරුවා හා සම්බන්ධ වේ.

පහතින් දක්වා ඇත්තේ වැඩි වෙන බර 16kg (රාත්තල් 35) වැඩි වෙන ආකාරය වේ.

  • වැඩෙන දරුවා – 3.5 kg
  • විශාල වන පියයුරු පටක 0.5 – 1.4kg
  • විශාල වන ගර්භාෂය 0.9kg
  • අපරාව (placenta) – 0.7kg
  • උල්බ තරලයේ 0.9 kg
  • වැඩි වෙන රුධිරය 1.4 – 1.8kg
  • තරලය වැඩි වෙන ප්‍රමාණය 0.9 – 1.4kg
  • මේදය ගබඩා වීම 2.7 – 3.6kg

 

ගර්භනී කාලය තුල බර වැඩි වීම් මගින් විවිධ වූ සංකූලතා 

  • ගර්භනී දියවැඩියාව 
  • පූර්ව එක්ලැම්ප්සියාව
  • අධික රුධිර පීඩනය
  • මුත්‍රාවල ඇල්බියුමින් වැඩි වීමත් සිදුවේ.
  • දරුවා විශාල වීම 
  • ප්‍රසවය සිදුවන කාලය දිගු වීම 
  • දරුවන් නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර බිහි කිරීමට සිදුවීම 
  • සිසේරියන් ශල්‍යකර්මය කිරීමට සිදුවීම
  • ප්‍රසවයෙන් පසුව ද අධික බර තත්ත්වය පැවතීම
  • පසු ප්‍රසව කාලයේ දී රුධිර කැටි සෑදීමේ අවදානම වැඩි වීම
  • පසු කාලයේදී බර අඩු කිරීමට නොහැකිවීම
  • පසුකාලීනව හෘද රෝග විවිධ පිළිකා ඇති වීමේඅවදානම 

 

ගර්භනී කාලය තුල නිවැරදි බරක් පවත්වා ගැනීම සඳහා

  • දිනපතා කුඩා ආහාර වේල් පහක් හයක් ගැනීම     
  • ඇට වර්ග යෝගට් අයිස් ක්‍රීම් ආදී ඉක්මනින් දිරවන ආහාර ගැනීම 
  • ගර්භනී මුල් සති 12 තුළ සාමාන්‍ය ප්‍රමාණය ආහාර ගැනීම
  • මේදය අඩු කැලරි අධික ආහාර ගැනීම

ගර්භනී කාලය තුළ බර පවත්වා ගැනීම

සමහර මව්වරු ගර්භනී වන විට අධික බරකින් යුක්ත වේ. තවත් මව්වරු ගර්භනී කාලයේදී ඉතා ඉක්මනින් බර වැඩි වේ. මේ නිසා ගර්භනී කාලය තුලදී මව ආහාර පාලනය නොකළ යුතු අතර බර අඩු කිරීමට උත්සාහ නොකළ යුතුය. වඩා සුදුසු වන්නේ නිවැරදි ආහාර වේලක් ගැනීම සහ සක්‍රීයව කටයුතු කිරීමයි. බර ගර්භණී කාලය තුළදී නිවැරදි මට්ටමේ පවත්වා නොගතහොත් මවට හා දරුවාට ගැටළු ඇති විය හැක. මේ නිසාම ඔබේ ආහාර වේලට පෝෂක එක් කර ගත යුතු අතර එවිට බර අධික ලෙස වැඩි වීමකින් තොරව බර පවත්වාගෙන යා හැක.

ගැබිනි මව සැමවිටම අලුත් එළවළු පලතුරු තෝරාගෙන සම්පූර්ණ විටමින් හා කැලරි හා මේදය අඩු ආහාර වේලක් ලබා ගත යුතුය. ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මෙන්ම මේදය අඩු හෝ රහිත කිරි/ චීස් හෝ යෝගට් ආහාරයට ගැනීම සුදුසුය. තවද කෘතිම සීනි අඩංගු ආහාරවලට වඩා ස්වාභාවික සීනි අඩංගු ආහාර සුදුසු වේ. මේ නිසා කෘතිම සීනි අධික ලෙස ආහාරයට ගැනීම කොකළ යුතුය. සූකිරි, කිරි, කුකීස්, අයිස් ක්‍රීම් වැනි දේ භාවිතය අඩු කළ යුත් අතරම නිතර නිතර බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම සුදුසුය.

 

ගැබිනි සමයේ දී වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාමවල යෙදීම මගින් අමතර කැලරි ප්‍රමාණයක් දහනය වේ. ඇවිදීම හා පිහිනීම සාමාන්‍යයෙන් ආරක්ෂිතය. ව්‍යායාම ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බව සිහි තබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

මානසික රෝග කියන්නේ මොනවද?

අයෙක් ශාරීරිකව රෝගී වූ විට වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීමට කිසිදු පැකිලීමක් නැහැ. නමුත් අයෙක් මානසිකව රෝගී වු අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට පැකිලෙනවා. එයට හේතුව සාමාජය තුළින් ඇති විය හැකි අපහාස/ලැජ්ජාව වැනි දේ විය හැකියි. නමුත් අපි වටහා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ අපේ ශරීරය මෙන්ම මනසත් අසනීප විය හැකි බවයි. එය අසාමාන්‍ය තත්ත්වයක් නොව, අද අපට ඇති වෙන වෙනත් රෝග තත්ත්ව මෙන්ම හෙට ඇතැම් විට අපිට මානසික රෝග තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකියි. අවශ්‍ය වන්නේ අවශ්‍ය අවස්ථාවේ නිසි වෛද්‍ය උපදෙස් ලබා ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ වෙත යොමු වීමම පමණි.

මානසික රෝගයක් කියන්නේ ‍ කෙබදු තත්ත්වයක්ද ?

මිනිස් සිරුරෙහි විවිධාකාර හේතු මත ඇති වන්නා වූ  ශාරීරික රෝගී තත්වයන් සේම මෙම මිනිස් සිරුරේ ප්‍රධානතම අංගය වන අපගේ මොළය තුළ ද විවිධාකාර වූ හේතු කාරණා මත විවිධ වූ රෝග ඇතිවීමට ඇති ප්‍රවණතාවය වැඩිය. මෙසේ මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග ලෙසය. මෙම නම ඇසූ පමණින් අප රටේ මේ සමාජ කතිකාවත තුල  බියක් , අපහසුවක් ,ඉතා නොසන්සුන්බවක්  ඉබේම ඇතිවීමට හේතුවන්නේ මානසික රෝගියෙකු යන නමට අප මිනිසුන් තුළ පවත්නා බිය හේතු කොට ගෙනය. ප්‍රතිකාර ලැබුණද සුව කර ගත නොහැකි ශාරීරික රෝග තිබුණද නිසි ප්‍රතිකාර තුලින් මෙම මානසික රෝග සුව කර ගත හැකි බව අප සමාජය දැනුවත් නැත .මෙම මානසික රෝග ඇති වීම අපගේ මොළයේ රසායනික සංයුතියේ වෙනස්වීම මත සිදුවූවක් නම්, ඒවා මානසික රෝග ලෙස ද, යම් කාරණාවක් මත අපි දිගින් දිගට අපහසුවට පත්වන්නේ නම් ඒවා අප විසින් ඇති කර ගන්නා ලද මානසික ගැටළු ලෙස ද හැඳින්විය හැක .කෙසේ නමුත් මේ සියලු කාරණා සුවපත් කරගත හැකි ක්‍රමවේද අප තුළ ඇති බව ඔබ ධෛර්යමත්ව සිතාගත යුතුය. මිනිසාගේ සිතෙහි ඇති වන සිතිවිලි, හැඟීම් හෝ පුද්ගල හැසිරීම් යන කරුණු තුනෙහි ඇතිවන  යම් අසාමාන්‍ය ලක්ෂණයන්  දිගු කාලීනව පැවතීම මානසික රෝගියකු හඳුනා ගැනීමට උපකාරී වේ.  සැක, බිය ,දුක යන කාරණා තුළ අසාමාන්‍ය ලෙස දිගු කාලීනව යම් කෙනෙකු  ක්‍රියා කරන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.                          

මානසික රෝග මෙන්ම මානසික ගැටළු වලින් ද පුද්ගලයින් පීඩා විඳිති. එය මානසික රෝග ගණයට අයත් නොවූ හෙයින් මනෝ උපදේශනය තුළින් යථා තත්ත්වයට පත්විය හැකි කාරණාවක් වේ.පුද්ගල වියෝවක්,අකාරුණික ලෙස හැරයාමක් ,අත් හැර දැමීමක් ,වද හිංසා පමුණු වීමක් වැනි කාරණා මතද ,සමාජයේ නොයෙක් දෙනාගේ ජීවිත අත්දැකීම් අසා දැනගත් දෙයින්ද ,ඇසින් දුටු දර්ශන නැවත නැවත ආවර්ජනය කිරීම තුලින් ද යම් පුද්ගලයෙකු මානසික ගැටලුකාරී තත්වයන්ට ගොදුරු වීමට හේතු කාරණා විය හැක .මෙම කාරණාව වයස් බේදයකින් තොරව සිදුවිය හැකිය. ඒකාකාරී ජීවන රටාව තුලද යම් පුද්ගලයෙකු මානසික ව්‍යාකූලත්වයකට පත් විය හැක.එම ජීවන රටාව තුලම සිටින විට නිතර තරහෙන් සෑම දෙයක් දෙසම නුරුස්නා ස්වභාවයකින් බැලීමට හුරුවීම තුලින්ද මානසික ගැටලු ඇති කරගත් විවිධාකාර පුද්ගලයින් අප සමාජය තුල දැකිය හැක.

ඔබට මනා ලෙස සවන්දෙන්නා වූ නිසි මනෝ උපදේශනයක් තුලින් මානසික ගැටලු මුලු මනින්ම සුව කර ගත හැක. විශාදය වැනි රෝගී තත්ත්ව දිගුකාලීන දුක එපා වීම, කනස්සලු ගතිය ,දිගින් දිගට මතු වන්නා වූ ප්‍රශ්න නිසා ම නොව , මිනිසාගේ මොළයේ සිදුවන ස්නායු සම්ප්‍රේක්ෂක වල ඇතිවන වෙනස්කම් වලද හේතුවෙන් මනසේ ඇතිවෙන රෝගී තත්ත්වයකි. සැකය, සමාජ බිය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම, පසුකාලීනව මානසික රෝගී තත්ත්වයක් බවට පරිවර්තනය වුවද එම රෝග නිසි ප්‍රතිකාර සැලසුම් තුළින් සුව කළ හැක .මෙසේ මිනිස් මොළයේ  රසායනික සංයුතියේ වෙනස්වීම මත ඇතිවන්නාවූ  මානසික රෝග සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නිසි කලට වේලාවට ලබා ගත් විට මෙම මානසික  රෝග වලින් මිදීම ඉතා අපහසු කාරණාවක් නොවේ . 

        ඔබ හෝ ඔබේ සමීපතමයෙක් යම් මානසික රෝගයකින් හෝ යම් මානසික ගැටලුවකින් පීඩා විඳින්නේ දැයි නිසි වේලාවට දැනගැනීම මෙම ප්‍රතිකාර සඳහා වැදගත්ම සිද්ධාන්තයයි. හඳුනාගත් විගස මනෝ වෛද්‍යවරයෙකු වෙත හෝ මනෝ උපදේශකවරයකු වෙත යොමු වීමට වගබලා ගැනීම තුළින් මෙම රෝගී අවස්ථාවේ මූලිකම අදියර තුළ ඔබට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට පහසු වන අතර ඉක්මනින්  විසදුම් ලබා ගත හැකිවේ. යම් පුද්ගලයකු සැක බිය දුක යන කාරණා මත දිගුකාලීනව ක්‍රියා කරන්නේ නම් ඔබ ඒ පිළිබඳව වහා සැලකිලිමත් විය යුතුයි. මෙය යම් මානසික රෝගී තත්ත්වය පෙරනිමිත්තක්  බව ඔබ සිහි තබාගත යුතුය .

යම් නිවෙසක මානසික රෝගියෙකු හෝ මානසික ගැටලුවකින් පීඩා විදින්නෙකු සිටින බව ඔබ දැනුවත් වූයේ නම් ,ඔබගේ කාරුණික බව ඔවුන්ගේ සුවපත් වීමට සෘජු ලෙසම බලපාන ප්‍රධාන කාරණාවක් වනු ඇත.එසේම ඔවුන් පිළිබද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය .සොයා බැලිය යුතුය .ඔබේ විමසිල්ලෙන් මිදී ගත වන එක් නිමේෂයක් තුල ඔවුන් ජීවිතයෙන් පලා යාමටද තිබෙන්නා වූ ප්‍රවණතාවය වැඩිය .එයට හේතුව ඔවුන් තුල ඇති මානසික ශක්තිය හීන වීමය .ශක්තිමත් නිරෝගී මනසක් යනු ම්නිසෙකුට ආභරණයකි .මෙම මනස ශක්තිමත් කර ගැනීමට නොයෙක් ක්‍රියාකාරකම් ඇත.මේ පිලිබදව මිනිසුන් දැනුවත් නොවීම මතම බොහෝ ප්‍රශ්න තුලින් මිනිස් සිත දුක් විදී.මිනිස් සිතෙහි ඇතිවන  සිතුවිලි වරින්වර විවිධාකාර වේ.මෙසේ විවිධාකාර ලෙස ඇතිවන්නා වූ සිතිවිලි ඔබ විසින් පාලනය කර ගන්නා තාක් කල් ඔබ ඉතා නිරෝගී මානසික මට්ටමකට හිමිකම් කියනු ඇත  .සුව මනසක් තනා ගැනීම අප සතු විශාල වගකීමකි . එවිට ඔබට සුවපත් වූ මනසක් තුලින් සුවපත් වූ දිවියක් ගත කළ හැකිවේ …

මනස සුවපත් කිරීමට අපට කලහැකි ක්‍රියාකාරකම් තවත් ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම් ….

තමාගේ සතුට රැදී ඇත්තේ තම මනසේම පමණි …තමාව සතුටු කළ හැකි හොදම පුද්ගලයා තමන් වේ …

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිශ්ලේශන හා මනෝ චිකිත්සක උපදේෂිකා

නිරෝෂා රත්නප්‍රිය

0705137000

 

 


                

දරුවන්ට කිරි ආහාර වර්ග ලබා දීමේදී මේ කරුණු ගැන අවධානය යොමු කරන්න

ළදරු ළමා අවධිය තුල අප විසින් ලබාදෙන්නා වූ නිවැරදි පෝෂණය එම දරුවාගේ අනාගතයට අප සිදු කරනු ලබන වටිනාම ආයෝජනයකි. මෙසේ වන්නේ ශීඝ‍්‍ර වර්ධනයක් සහිත කාල වකවානුවක් ළදරු අවධියේ වන හෙයිනි. මෙසේ හෙයින් පළමු මාස 6 මව් කිරෙන්ම පමණක් පෝෂණය කරන්නත්, මාස 6 ලැබූ වහාම අවශ්‍ය වන අමතර ශක්ති පරතරය වර්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා නිවැරදි පෝෂණයක් ලැබීමත් සිදු විය යුතුමයි. 

මාස 6 සම්පූර්ණ වූ දරුවා වෙනුවෙන් අමතර ආහාර ආරම්භ කල යුතු වන්නේ ඒ වන විට වැඩෙන දරුවා සඳහා මව් කිරි පමණක් ප‍්‍රමාණවත් නොවන හෙයිනි. එමෙන්ම අවශ්‍ය කරන්නා වූ පෝෂණය සැපයීමේදී සෞඛ්‍යාරක්‍ෂිතව පිළියෙල කල පෝෂ්‍යදායී ගුණයෙන් අනූන වූ ආහාර වයසට ගැලපෙන ප‍්‍රමාණ වලින් නියමිත වේල් ගණනින් ලබාදීමෙන් ඔබේ දරුවා බුද්ධිමත් නිරෝගී ක‍්‍රියාශිලී දරුවකු බවට පත්වේ. 

නිවැරදි ලෙස අමතර ආහාර ලබාදීමෙන් කායික වර්ධනය, මොළයේ වැඞීම ආදී කෘත්‍යන් නිසි පරිදි සිදුවීමෙන් දරුවා මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමේ හැකියාව ලබයි. 

ක‍්‍රමයෙන් දරුවා සඳහා අමතර ආහාර ආරම්භ කිරීමේදී අපගේ ප‍්‍රධාන ආහාරය වන බත් වලින් සකසා ගත් තලපයකින් පටන් ගන්නා අතරම ක‍්‍රමයෙන් එම බත් තලපයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා අනෙකුත් පෝෂක පදාර්ථ අඩංගු ආහාර කාණ්ඩයන් මීට එකතු කරමින් මෙහි සංයුතිය වඩාත් පෝෂණීය බවින් වර්ධනය කරන්නා සේම ලබාදෙන්නා වූ ආහාර වේල් ගණනද වැඩි කිරීම කල යුතුයි. එසේම ප‍්‍රධාන ආහාර වේල් පමණක් ලබාදීම සෑහීමක් නොවන හෙයින් ප‍්‍රධාන වේල් වලට අමතරව කෙටි වේල් ද ආහාරයට එකතු කිරීම කල හැකියි. මෙසේ ආහාර ලබාදීමේ පිළිවෙත් සකසා ගැනීමේදී දරුවාගේ ආහාරයට කිරි ආහාර එකතු කිරීම මාස 7 අවසන් වන විට ආරම්භ කල හැකියි. කිරි ආහාර මගින් ප්‍රෝටීන වලට අමතරව කැල්සියම් වැනි ලවණ ලැබෙන හෙයින් අස්ථි වර්ධනයට මෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂාවටද වැදගත් වේ. 

 

චීස්, යෝගට්, නැවුම් කිරි වැනි කිරි ආහාර වර්ග ආරම්භ කල යුත්තේ කුමන වයසේදීද? 

ඒ කුමන ප‍්‍රමාණයන්ගෙන්ද?

අමතර ආහාර සමගින් දරුවාට මව්කිරි ලැබෙන හෙයින් කිරි ආහාර ලෙසින් යෝගට්, චීස්, මුදවාපු කිරි ආරම්භ කිරීම මාස 7 අවසානයේ පටන් ගත හැකියි. 

ආරම්භයේදී එනම් මාස 7 අවසන් වන විට යෝගට් හෝ මුදවාපු කිරි/චීස් තේ හැඳි 2 ක් හෝ 3 ක් පමණ දිය හැකි අතර මේ ප‍්‍රමාණය මා 7 ½  දී පමණ තේ හැඳි 4 ක් පමණ අමතර කෙටි ආහාර වේලක් සඳහා ලබාදිය හැකියි. මෙසේ වැටීම සමග මාස 8 ආරම්භයේදී තේ හැඳි 6 ක් බමණ වනසේ වැඩි කල හැකියි. එමෙන්ම මේ වන විට පලතුරු මිශ‍්‍ර කොට එයට යෝගට් හෝ මුදවාපු කිරි එක්කර සාදාගත් ආහාරය අඬු කෝප්ප ½  ක් හෙවත් අතරමැදි වේලක් සඳහා දරුවාට ලබාදිය හැකියි. මෙසේ ලබාදෙන ප‍්‍රමාණය වැඩි කිරීම තුලින් පසුව යෝගට් 1 ක්ම දරුවාට ලබාදිය හැකියි. එසේම දරුවාට වයස අවුරුදු 2 ක් වන තුරු දිනකට මෙසේ කිරි ආහාර වේල් 1 ක් ලබාදීම සුදුසු වනවා. එසේම මුදවාපු කිරි ලබාදීමේදී සීනි එකතු කිරීම කිසිසේත් නොකල යුත්තක්. වසරක් වන විට දරුවාට ගිනි පෙට්ටියක ප‍්‍රමාණයේ චීස් කැබැල්ලක් ලබාදිය හැකියි. 

නැවුම් කිරි පළමු වසර තුලදී අවශ්‍ය නොවන අතරම පසුව වුවද මව්කිරි ලබාදෙන හෙයින් අත්‍යාවශ්‍යයම නොවේ. එහෙත් වසරකට පසුව ලබාදීම කළ හැකි මුත් එය කෙටි ආහාර වේලකට සීමා කලයුතු අතරම කෙසේවත් උදෑසන පළමු ආහාරය කිරි වේලක් බවට පත් කර නොගැනීම තුලින් ඔබේ දරුවාගේ වර්ධනයට ලොකු බලපෑමක් ඇති කල හැකියි. උදෟසන අවදි වූ විගස දරුවනට ප‍්‍රධාන ආහාරයක් නොමැතිව කිරි වීදුරුවන් ලබාදීම තුලින් දරුවාගේ ආහාර රටාවට බරපතල බලපෑමක් එල්ලවීමට ඇති හෙයින් පාසැල් කාලයේදීද දරුවාගේ උදෑසන ආහාරය නොගෙන සිටීමට හේතුවක් විය හැකි වනවා මෙන්ම මේ හේතුකොට ගෙන දරුවා දුර්වල වීම, මතක ශක්තිය අඩු වීම ආදිය හේතු විය හැකිවා මෙන්ම ඉගෙනීමේදී මෙන්ම ක‍්‍රීඩා කිරීමේදීද අලස ගති ඇති විය හැකියි. එමෙන්ම දීර්ඝකාලීන ලෙස ආහාර මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධ වලට එනම් ගැස්ට‍්‍රයිටීස් වැනි තත්ත්වයන්ට කුඩා කාලයේ සිටම ගොදුරු වීමට ඉඩ කඩ ඇති වේ. 

මෙසේ හෙයින් නැවුම් කිරි ලබාදීමේදී ක‍්‍රීඩාවකින් පසුව ලබාදෙන කෙටි ආහාර වේලකට මෙය ලබාදීම සුදුසු යැයි යෝජනා කල හැකියි. එසේම මෙය ඇබ්බැහි වීමක් බවට පත් නොවන ලෙසට පවත්වා ගැනීමද වැදගත් වේ. 

වැඩෙන සිරුරකට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතා මෙන්ම කැල්සියම්, විටමින් හා ලවණ බහුල ලෙස අඩංගු කිරි ආහාර කුඩා කල සිටම දරුවාගේ ආහාරය මෙලෙස එක්කර ගැනීමට හැකියාව ඇත්නම් ඔබේ දරුවාගේ අස්ථි වර්ධනය මෙන්ම ශක්තිමත්භාවයටද එය මහත් පිටුවහලක් වනු නොඅනුමානය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවාගේ ආහාරයට තුන පහ වැනි රසකාරක එක්කළ හැක්කේ කුමන වයසේදීද?

දරුවන් සඳහා අමතර ආහාර ලබාදීමේදී අත්‍යාවශ්‍ය පෝෂක අඩංගු ආහාරයක් සකස් කිරීම සෑම විටම සිදු කල යුත්තක්. ශීඝ‍්‍ර වර්ධනයක් සහිත කාල පරිච්ඡේදයක් හෙයින් එම වර්ධනය පසුබෑමකින් තොරව සිදු වීමට නම් අත්‍යවශ්‍යය පෝෂකාංග සපිරි ගුණවත් ආහාර ලබාදුන්න ද එම ආහාරය දරුවාට ප‍්‍රියජනක විය යුතු හෙයින්, ආහාරය රසවත් වීම වැදගත්. ආහාරය රසවත් කිව්වම එකේ රසය ලබාදීමට රසකාරක එකතු කිරීමක් මුලදී සිදු වන්නේ නැහැ. රසය ලැබෙන්නේ එම ආහාරයටම ආවේණික රසයන් එක්ක. එහෙත් අපි පෝෂක වැඩි කරන්නට දරුවාට ආහාරයට මුලදීම කරන්නේ තෙල් එකතු කිරීම. තෙල් වලින් ශක්තිය සැපයීම සිදුවෙන නිසාත් එය දරුවාගේ නිරන්තර ක‍්‍රියාශීලිත්වයත් එක්ක වැයවන ශක්ති ප‍්‍රමාණයක් සපයන්නත් හේතු වන නිසාත් ඉතා වැදගත් වේ. ඒ වගේම කුඩා ආමාශයට රැඳිය හැකි ප්‍රමාණය කුඩා හෙයින් එම කුඩා ආහාර ප‍්‍රමාණයෙන් වැඩි පෝෂණයක් ලබා ගැනීම වෙනුවෙන් තෙල් එකතු කිරීම හරිම වැදගත්. 

 

ඒවගේම පොල් කිරි එකතු කිරීමත්, බටර් වැනි දෙයක් එකතු කිරීමත් තුලින් ලැබෙන්නෙත් මේ ගුණයමයි. එහෙත් සැර අධික මිරිස්, කුළු බඩු, කුඩා ආහාර මාර්ගයට දැඩි අපහසුතා ගෙන දෙන නිසා මුල් දිනවල සුදුසු නොවේ. එහෙත් මාස 9 ක් පමණ වන විට දරුවාට තනිව ආහාර ගන්නට හැකියාව ඇතිවෙන නිසා මේ වන විට ආහාරයේ වෙනසක් කළ හැකියි. ඒ නිසා මේ වයස වන විට කුළු බඩු සුළු ප‍්‍රමාණ වලින් ආරම්භ කල හැකියි. එයත් මාපටඟිල්ල හා දබරඟිල්ලේ තුඩට හසුවන තරම් සුළු ප‍්‍රමාණයක තුනපහ/කහ භාවිත කල හැකියි. ඒ මේ වන විට පොල් කිරි යෙදූ ව්‍යාංජනයක් සකස් කර බත් සමග ලබාදීමට හැකි නිසයි. එසේම මස්, මාළු වැනි දෑද පොල් කිරි යොදා හොද්දක් ලෙස සකස් කල විට කෑම ප‍්‍රියතාවයක් ඇති කරනවා. එසේ මෙයින් මාස 9 දී පමණ තුනපහ/කහ සුළු ප‍්‍රමාණයක් ආහාරයට එක් කල හැකියි. 

 

මෙය දරුවාට බත් සමග පමණක් නොවෙයි ඉදි ආප්ප, පිට්ටු වැනි ආහාරයක් සමග ගන්නට කිරට හැදු මාළුවක් සකස් කල හැකියි. එවිට කරපිංචා, රම්පේ මෙන්ම අවශ්‍ය නම් ගම්මිරිස් ඇට 2 ක් 3 ක් ඇට පිටින් යොදා තුනපහ හා කහ සුළු ප‍්‍රමාණයක්ද යොදා සකස් කර සෑදු ව්‍යාංජනයක් ආහාරය රසවත් කරනවා. එසේම තෙම්පරාදුවකදී සුදු ළුෑණු පෙත්තක්, කරපිංචා ආදිය යෙදීම ම`ගින් ආහාරය සුව`දින් හා රසවත් බවින් වැඩි වෙනවා. 

 

වසරක් වන දරුවා අපගේ සාමාන්‍ය ආහාරයට හුරු කල යුතු හෙයින් මෙසේ මාස 9 දී පමණ තුන පහ, කහ වැනි රසකාරක ආහාරයට හඳුන්වා දිය හැකියි. කෙසේ වෙතත් වසරක් වූ විටදීත් වැඩිහිටියන්ට අවශ්‍ය ප‍්‍රමාණයට මිරිස්, ගම්මිරිස්, අමු මිරිස් වැනි දෑ ද එක්කල ආහාර දරුවාට නුසුදුසුයි. හැකි තරම් මිරිස් හෝ සැරට යොදන රසකාරක අඩුවටම යෙදීමට සෑම විටම මතක තබාගත යුත්තේ වර්ධනය වන ආහාර මාර්ගයට දරා ගැනීමට අපහසු නිසයි. අනවශ්‍ය ලෙස දුරු මිරිස් යෙදූ ආහාර මගින් දරුවාගේ ආහාර මාර්ගය තුවාල වීමට ඉඩ තිබෙන හෙයින් එය දරුවාගේ වර්ධනයටද බලපෑමක් විය හැකියි. 

 

කෙසේ වෙතත් ස්වභාවිකව ඇති අපේ දේශීය කුළු බඩු ආහාරයට ක‍්‍රම ක‍්‍රමයෙන් මාස 9 සිට වසරකට පසු එකතු කිරීම කල හැකි වුවත් කෘතිම රසකාරක යෙදූ ආහාර කිසිවිටකත් දරුවන් සඳහා කිසිසේත්ම භාවිත නොකල යුතුයි. මේවා දිගින් දිගට ලබාදීම නිසා ආහාර මාර්ගය තුවාල වීමටත් කාලයත් සමග පිලිකා තත්ත්වය දක්වා පවා යාමට ඇති ඉඩ කඩ බොහෝමයි. 

 

මෙසේ හෙයින් දරුවන් සඳහා මාස 6 න් අමතර ආහාර පටන් ගෙන සතියකට පසු ආහාරයේ රසවත් හා ගුණවත්භාවය වැඩි දියුණු කිරීමට රසකාරක ලෙස තෙල් එකතු කිරීම, සත්ව ආහාර එකතු කිරීම හෝ උම්බලකඩ එක් කිරීම, පොල් කිරි එකතු කිරීම, කරපිංචා කොලයක්, දෙකක්, රතු ළුෑණු ආදිය එක් කිරීමත් ක‍්‍රමයෙන් කරන්නා සේම කැබලි ආහාර ගන්නා කාලය වන විට ආහාරයේ විවිධත්වය වැඩි හෙයින් හා වැඩි කිරීමට තුනපහ හා කහ සුළු ප‍්‍රමාණ වලින් පටන් ගෙන ක‍්‍රමයෙන් අනෙකුත් අපේ ස්වභාවික කුළු බඩු එක් කිරීම තුලින් ආහාරයේ රසවත්බාවය වැඩි වීම මෙන්ම සුවඳ, පැහැය හා රුචිය වැඩි වීම තුලින් දරුවාගේ ආහාර අවශ්‍යතාවය පෝෂණයෙන් එහා ගොස් ඖෂධීය ගුණයෙන්ද සපිරෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

සෑම දරුවෙක්ටම ලබා දිය යුතු ආදර්ශමත් පොත් දෙකක්

දරුවන්ට පොත් ලබා දීමේදී මව්පියන් ලෙස අපි දැනුවත් විය යුතු බොහොමයක් කරුණු පිළිබඳව ලිපි කිහිපයකින් ඔබව දැනුවත් කළා මතක ඇති. දරුවන්ට පොත් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු නිර්දේශවලට අනුකූල පොත් කිහිපයක් හඳුන්වා දීමත් ඒ පොත් මගින් දරුවෙකුට හිමිවන ප්‍රතිලාභ ගැන සකච්ඡා කිරීමත් මේ ලිපියේ අරමුණයි. අපි පළමුව තැනිතලාවේ පිහිටි කුඩා නිවස (little house on the prairie), නපුරු ‍පාලක‍යෝ තුන්දෙනා නම් වූ පොත් දෙක ගැන කතා කරමු. 

1.තැනිතලාවේ පිහිටි කුඩා නිවස (little house on the prairie)

මේ කතා පෙල නාට්‍ය මාලාවක් ලෙසත් අපි කුඩා කාලේ නරඹා තිබෙනවා. 1870 දී පමණ ලෝරා ඉන්ගල්ස් විල්ඩර් නම් වූ ඇමරිකානු කතුවරිය විසින් තම ජීවිත කතාව මෙසේ සටහන් කොට ඇති අතරම ඇය තමා කුඩා අවධියේ සිට විවාහ වී දරුවන් දෙදෙනෙක් ලබන කාලය තෙක් තම ජීවිතයේ අත්දැකීම් රසවත්ව ගොනු කර ඇති අතරම ඇය‍ එයින් බලාපොරොත්තු වන්නේ තමා කුඩා කළ දෙමාපියන්ගෙන් ලද උණුසුම තම දරුවන්ට ද එලෙසම ලබා දීමටයි. 

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිරට වෙන්නට පිහිටි විස්කොන්සින් පෙදෙසේ ජීවත් වුණු ලෝරා ඇතුළු පවුලේ සැම තම ජීවිත කාලය තුළ විස්කොන්සින් වනාන්තරයේ සිට තව තවත් බටහිර පැත්තට ගමන් කරමින් ගෙවන ජීවිතයේ අත්දැකීම් මෙසේ පොත් නවයක් ඔස්සේ ඇය අප වෙත ගෙන එනවා. 

ජීවිත‍යේ කිසිදු දිනෙක ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රදේශ දෑසින් දැක ගන්න අවස්ථාව උදා නොවුණත් ලෝරා සමග යන ගමනේදී කතා පොත් පෙලේ ඇතුළත් ඉතාම සුන්දර පරිසර වර්ණනාවන් නිසාම ඒ ‍සුන්දර පරිසරය තුළ සිත් සේ සැරි සරන්නට පොත කියවන කාටත් එහි කතුවරිය අවස්ථාව ලබා දෙනවා. මේ කතා පෙලේ පොත් නමය තුළ මොවුන් ස්ථාන නවයකට ගමන් කරනවා. මේ කතුවරිය එහෙමත් නැත්නම් ලෝරාට තමන්ගේ පවුල සමග අපිට හිතාගන්නවත් බැරි විදියේ  ඉතාම කටුක අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න සිදු වෙනවා. සාගින්න, වසංගත, රතු ඉන්දියානුවන්ගේ බලපෑම, හිම කුණාටු පමණක් නෙවෙයි ආර්ථික දුෂ්කරතා, පාසල් ජීවිතයට ඇති වන බාධක වගේ බොහොමයක් දේ  ඔවුන් අත්දකිනවා. 

මහා හිම පතන මැද වුවත් තුවක්කු රැගෙන ගොස් ලෝරාගේ පියා සතෙක් දඩයම් කරනවා. එයින් කිසිදු මැසිවිල්ලකින් තොරව හොඳම ආහර වේලක් මව සකසනවා. දරුවෝ අම්මා තාත්තා එක්ව ගිලිමැලයක් අවුලුවා ඒ වටේ රවිකිඤ්ඤය වයලා ලස්සන සිංදුවක් කියනවා.

මේ කතා මාලව තුළ අපි මේ දුෂ්කරතා දකින්නේ සාමාන්‍ය හැලහැප්පීම් ලෙස පමණයි. ලෝරා ජීවිතය දකින්නේ ඒ ආකාරයෙන්. ඒ හරහා ජීවිතය කියන්නේ දුක් ගොඩක් නොවන බවත් එය හැල හැප්පීම් මැද ගලා යන සුන්දර සංචාරයක් බවත් ලෝරා අපට ඒත්තු ගන්වනවා. ලෝරා සැමවිටම කතා කරන්නේ  ඉතාම චමත්කාර ජනක   සෙනෙහස ආදරය පිරුණු පවුල් ජීවිතයක් පිළිබඳවයි. 

මේ ලෝරා මොන තරම් ලස්සනට තමන්ගේ ජීවන කතාව ජීවන රිද්මය මේ හරහා කියලා තියෙනවද. අපිට හිතෙන්න පුලුවන් අපේ ජීවිතය හරි දුෂ්කරයි. අපි පොඩි වෙනසකට අකමැතියි. නමුත් ඇය මුළු ජීවිතේම සංචාරයක් කරගෙන මේ පවුල හැමදාම සතුටින් හිටිය විදිය මේ පොත් මාලාවෙන් කියවන්න පුළුවන්. ඇත්තටම මේ පවුල ගැන කියවද්දී ලොකු සතුටක් සැනසිල්ලක් අපේ සිතට එකතු වෙනවා. පරිකල්පන හැකියාව මනා ලෙස වර්ධනය කරවන මේ පොත් පෙළ හරහා ජීවිතය සතුටින් විඳින්න අපට උගන්වනවා. අන්න ඒ නිසාම මම මේ පොත් පෙළ දරුවෙකුට කියවන්න ඉතාම සුදුසු පොත් පෙලක් ලෙස නිර්දේශ කළ හැකියි. (මුල් කෘතියේ රසය නොනැසෙන සේ ඉතාම රසවත්ව මේ පොත් පෙල සිංහල භාෂාවට ද පරිවර්තනය කර ඇත) 

2.නපුරු පාලකයෝ තුන්දෙනා 

මේ පොත යූරි ඔලේෂා නම් වූ රුසියානු සාහිත්‍යකරුවාගේ නිර්මාණයක්. රුසියානු සාහිත්‍ය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ගෞරවය බොහෝ විට හිමිවන්නේ දැදිගම ඒ රොද්‍රිගෝ පරිවර්තක තුමාට. එතුමා දැන් ජීවිතුන් අතර නැති වුණත් රුසියානු සාහිත්‍ය, ලංකාවේ ජනප්‍රිය කරන්න එතුමා අනුපමේය මෙහෙවරක් ඉටු කළා. රුසියාව, සාහිත්‍යයෙන් ඉතාම පරිණත වුණු වගේම සාහිත්‍යය ඉතාම ඉහළින් අගය කළ රටක්. රුසියාව කින්නේ මහා විප්ලව ඇති කළ රටක්. පළමුව විප්ලවය ඇති කළ යුත්තේ මිනිසුන්ගේ සිත් තුළ බවත් ඉන්පසුව ඔවුන් රට තුළ විප්ලව ඇති කරන බවත් රුසියාවේ ගත් කතුවරු විශ්වාස කළා. අන්න ඒ නිසාම ඔවුන් කුඩා වියේ පටන්ම දරුවන් විප්ලවය හුරු කළ යුතු බව විශ්වාස කළා. විප්ලවයක් ලෙස අප හඳුන්වන්නේ උද්ඝෝෂණයක්, රැළියක්, පවතින දේශපාලන ප්‍රවාහයට එරෙහිව යෑමක්, සමාජ සාධාරණත්වය සහ යහපත උදෙසා පෙළ ගැසීමක්. අන්න ඒ අරමුණ උදෙසා ලියවුණු පොතක් විදියට නපුරු පාලකයෝ තුන්දෙනා කියන පොත හඳුන්වන්න පුළුවන්. 

නපුරු පාලකයන් යනු රටේ සිටින ධනවත්ම පුද්ගලන් තුන්දෙනා. ධනයෙන් 90%ක්ම ඔවුන්ට අයිති වුණත් ඒ ධනයේ පැවැත්ම රඳා පවතින්නේ ඉතිරි 10%  සිදුකරන ක්‍රියාකාරකම් මත. මේ කණ්ඩායම් දෙක අතර ගැටුම් ඇති වෙනවා. කතුවරයා එක ආදර්ශමත් චරිතයක් ගොඩනගනවා. ඇය සුවනි. වයස අවුරුදු අටක පමණ දැරියක්. මෙච්චර පුංචි දැරියක් මානව හිතවාදීව තමාගේ සමාජ යුතුකම අවබෝධ කරගෙන මුළු රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා මේ කතාව තුළින් කියවෙනවා. මේ වන විටත් මහජනයා වෙනුවෙන් පෙනී සිටින ‍ප්රොස්පෙරෝ සහ ටිබුල් යන ජනතා වීරයෝ දෙදෙනා අත්අඩංගුවට පත්ව පෝරකයට නියම වී අවසන්. ඒ දෙදෙනා මරා දැමුණොත් මුළු රටේම අසරණ ජනතාව තවත් අසරණ වෙනවා. සුවනි ලොකු උපක්‍රමයක් අනුගමනය කරමින් තම ජීවිතය ද අවදානමේ හෙලමින් නපුරු පාලකයෝ තුන්දෙනාගේ මාලිගාවට ගොස් ප්රොස්පෙරෝගේ ජීවිතය බේරාගන්න ඉදිරිපත් වෙනවා. 

සුවනිට සතුන්ගේ ගඳ දැනුනා… ඇය සතුන්ගේ සුවඳ හඳුනනවා.. ඉස්සර සර්කස් කණ්ඩායමත් එක්ක සිංහයෝ තුන්දෙනෙකුයි ලොකු බල්ලෙකුයි සතුන් මෙල්ල කරන්නෙකුයි තැනින් තැන ගියා. පටු මග අගට කොටුවක වගේ හිස් බිමක්. වටේට කලු පාට ගෙවල් වල කුඩු… සතුන්ගේ කූඩු… සුවනි හෙමින් කිව්වා. අ‍ැගේ හදවත ගැහෙන්න පටන් ගත්තා‍. ‍සුවනි සතුන්ගේ කූඩු ළඟට ආවා. ප්රොස්පෙරෝ මොන කූඩුවේද? ඇය කැළඹුණා. ඇය ලැන්තෑරුම උස්සලා කූඩුවෙන් කූඩව බැලුවා.  හැම කූඩුවක්ම හරිම නිහඬයි. ලැන්තෑරුමේ එළිය කූඩුවට වැටුණා. කූඩුවේ හරස් පොලුවලින් ඇති වෙන හෙවනැලි සතුන්ගේ ඇඟට වැටෙනවා……

සුළු අත්වැරදීමකින් මුරකරුගේ වෙඩි පහරට හෝ සිංහයන්ගේ/කොටියන්ගේ ග්‍රහණයට හෝ සුවනි නතු විය හැකි වුවත් ඒ අවධානම ඇය නොගත හොත් ඔවුන්ගේ ජනතා වීරයා එල්ලා මරා දමනවා. 

අවුරුදු අටක දැරියක් මෙවැනි වීරවරියක් වෙන්නේ, තමන්ගේ ජීවිතයට වඩා මහජනතාවගේ පැත්ත ගන්නෙ ඇයි? යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ වගකීම අදුර ගත් සැබෑ මානව හිතවාදියෙක් නම් එයාට තමන්ගේ ජීවිතය පවා දෙවැනියි. හැම වෙලාවෙම රට, මහජනතාව තමන්ගේ කියන හැඟීම සිත තුළ ගොඩනැගෙනවා. රටට වගේම ඔබේ මිනිසුන්ට ඔබව අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ආත්මාර්ථකාමී වෙන්න එපා…. ඔබ පරාර්ථකාමී වෙන්න.‍… එවැනි පුද්ගලයෝ ජනතා වීරයෝ ලෙස සදාතනිකව මිනිස්සුන්ගේ සිත් තුළ වැජඹෙන බව ඒ ආදර්ශමත් චරිතය තුළින් ඔහු අපිට වගේම මේ පොත කියවන දරුවාටත් කියනවා. චරිතයේ වීරත්වය පොත කියවන දරුවාටත් ආරෝපණය වෙනවා.

ලොව අංක එකේ රටක් බවට පත්ව සිටි රුසියාවේ යම් කාලයක මෙවැනි දරු පරපුරක් සිටියා. රුසියාව ඒ තැනට පත් වුණේ සැබවින්ම ඔවුන්ගේ සාහිත්‍ය නිසයි. මෙවැනි කතා අපේ දරුවන් කියැවීම වගේම අප විසින් දරුවන්ට ලබා දීමත් අවශ්‍යයි. අද වෙද්දී අපේ දරුවෙක්ට ජනතා වීරයෙක් නිදහස් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් පොඩි දරුවෝ හැමෝටම අවස්ථාවක් එනවා රට ගැන හිතන්න. එදාට අපේ දරුවන් තුළ සුවනි දුන් ආදර්ශය තියෙනවා නම් සුවනිට ඇති වුණු කම්පනය දරුවා තුළත් තියෙනවා නම් අපේ දරුවනුත් එදාට අපිට කලින් රට ගැන හිතනවා. එවැනි දරු පරපුරක් බිහි කිරීම අද වන විට ජාතික අවශ්‍යතාවයක් යැයි කීවොත් නිවැරදියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

දරුවා ට ගැලපෙන පොතක් තෝරා දෙන්න ඔබ දන්නවාද?

අලුත උපන් දරුවෙකුට මනා පෙනීමක්, ශ්‍රවණය හැකියාවක් නැති වුණත් දරුවෙක් කොයි ආකාරයෙන් හෝ ලෝකය ග්‍රහණය කරගන්නවා. දරුවෙකුගේ පළමු සති දෙක තුන අත්හැර සැලකුවහොත් ඒ කාලය වන වන විටත් ඒ දරුවා තම මවගේ කටහඬ හෝ හඳුනා ගන්න දැනීමක් සහිත දරුවෙක්. එදා සිටම ඒ දරුවාත් ලෝකය සමග ගනුදෙනු කරනවා. මේ දරුවන්ට කියවීම කළ නොහැකි වුවත් මවට/පියාට දරුවාට ලස්සන කතාවක් කියවිය හැකිය. කතාන්දරයක් කියවද්දි තේරුම් ගන්නේ නැති වුවත් ඒ වයසේ දරුවෙක් කතාව වටහා නොගත්තට අපේ කටහඩ උස්පහත් වීම, සතුට යන හැගීම් අපේ කටහඬ තියෙන ප්‍රීතිමත් ස්වභාවය, ආස්වාදය ඒ විදිහටම දරුවාට ලබා දිය හැකියි. එය මේ මොහොතේ දරුවාට නොවැටහුණත් යම් කාලයකදී එය දරුවා එය විග්‍රහ කර ගනී. 

කෙමෙන් වැඩෙන දරුවෙකුට වැඩිහිටියන් යම් යම් කතාන්දර කියා දෙනවා. ඒ වගේම පොත් කියා දෙනවා. ඕනෑම දරුවෙක් පොත කියවන්නා ලබා දෙන තෘප්තිය ඒ ආකාරයෙන්ම උකහා ගන්නා බව කිව්වොත් එය නිවැරදියි. ටිකෙන් ටික දරුවා තමා ආස කරන පොත් අතින් අල්ලන්න, පීන්තූර අතගාන්න, පුංචි ඇඟිලි වලින් රූප අතට ගන්න උත්සාහ කරන අවස්ථා ඕනෑ තරම් අපි දැක තිබෙනවා. දරුවෙකුට පොත් කියවීම තුළින් ඒ දරුවා බොහොම තෘප්තිමත් වෙනවා. තමන්ගේ අම්මා හෝ තාත්තා තමාව තුරුලු කරගනිමින් ලබා දෙන සෙනෙහස පිරුණු අත්දැකීම දරුවෙකුගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමට වගේම පෞරුෂ වර්ධනයටත් ඉතාම වැදගත් වෙනවා. 

අපේ දරුවන් ටිකෙන් ටික වැඩෙත්ම නිවස තුළ කියවීම් පරිසරයක් ඇති කිරීම අපේ වගකීමක්. නිවසේ සාමාජිකයන් වගේම නිවසට යන එන අයත් පොත පත ඇසුරු කරන්නන් වීම ඉතාමත් වැදගත්. නිවසේ පුංචි පොත් අල්මාරියක් එහෙමත් නැත්නම් අපි සරලව කිව්වොත් reading corner එකක් තිබීම, නිවසේ පුස්තකාලයක් තිබෙනවාට වඩා වටිනාකමින් වැඩියි කිව්වොත් නිවැරදියි. නිවසේ කොනක පොත් කිහිපයක් තබා සකසන ස්ථානයක් බොහොම ප්‍රායෝගිකයි. එවැනි තත්ත්වයකදී දරුවෙක් අතගාන්නේ දකින්නේ පොත්පත්. දරුවෙක් ජීවත් වෙන්නේ පොත් එක්ක. පොත් එක්ක ලොකු පණිවිඩයක් දරුවෙකුට හිමි වෙනවා. 

දරුවෙක් එක්ක පොත් ගැන කතා කරනවා නම්, දරුවාගේ පරිකල්පන ශක්තියට අනුව පොත ගැන කතා කිරීමේදී ඇතැම් විට කතුවරයා කිසිසේත්ම නොසිතූ කතාවක් දරුවාට දැනී තිබෙන්නට පුළුවන්. හැම දරුවෙකුටම කතාවක් තියෙනවා. ඇත්තටම අපිට වටින්නේ දරුවාගේ අන්න ඒ කතාව. මන්ද දරුවා එයාගේ කියවීම කියන ජීවිතයේ පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් තිබෙන නිසාම බොහොම සුන්දර කතාවක් ගොඩනගන්න හැකියාවක් දරුවාට ලැබී තියෙනවා. 

මෙතැනදී මව්පියන් වැඩිහිටි අපිට ලොකු වගකීමක් පැවරෙනවා. අපේ දරුවන් පොත් සල්පිල්වලට වගේම පොත් හා සම්බන්ධ වෙනත් ප්‍රදර්ශනවලට රැගෙන යා යුතුයි. ඒ වගේම පොත් එළි දැක්වීම් වලට සම්බන්ධ කළ යුතුයි. පොත්පත් අතගාන්න දීලා, ඒ සුවඳ විඳින්න ඉඩ දිය යුතුයි. අන්න එවිටයි දරුවෙකුගේ මනස තුළ තමන්ගේ ආසාවට දෙමාපියන් උදව් කරනවා කියන හැඟීම ඇති වෙන්නේ. දරුවෙක් හොඳ පොත් කියවන්නෙක් කරන්න ඒ දේවල් බොහෝ සෙයින් වැදගත් වෙනවා.  ඔන්න ඔය ටික අපිට දරුවාට දෙන්න පුළුවන් නං එතැනින් එහාට ඒ දරුවා පාසැලේ පොත පත වුවත් ආසාවකින් පරිශීලනය කරනවා විතරක් නෙවෙයි කියවීමෙන් කිසිම දිනක ඈත් වෙන්නේ නැහැ. 

කතන්දරවලට ප්‍රිය කරන්නැති දරුවෙක් මේ ලෝකේ නැහැ. ඒත් ඒ දරුවා උස්මහත් වෙද්දී මේ කියවීම දරුවාගේ ජීවිතයෙන් ඈත් වී තිබෙනවා නම් ඒ දරුවාට කියවීම කියන එක හුරු කිරීමට දෙමව්පියෝ අපොහොසත් වී තිබෙනවා. පුංචි කාලේ කතන්දර අහන්න ආසා දරුවා අනිවාර්යෙන් කියවන්න කැමතියි. ඒත් ඒ වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම ඔබ ඔබේ දරුවාට වයස අවුරුදු තුන පමණ වන විටවත් ‍යොදා තිබිය යුතුයි. එහි ප්‍රතිඵලයක් විදියට දරුවෙක් පොත් කියවන්න ආසා වෙනවා වගේම දරුවාගේ මුළු ජීවිතයටම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. 

දරුවෙකුට ගැලපෙන පොතක් තෝරා ගන්නේ කොහොමද?

හොඳම දේ දරුවන්ට කියන එක තමයි දෙමව්පියන් විදියට අපේ සිත් තුළ මූලිකව තිබෙන්නේ. ඒක පොත් පත් සම්බන්ධයෙන් කියලා වෙනසක් නැහැ. දරුවෙක්ට සුදුසු පොතක් තෝරාගන්න දරුවාට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒත් දරුවාට හොඳ පොතක් තෝරගන්න දරුවාගේ දෙමාපියන්ට පුළුවන්. ඒ වෙනුවෙන් වැඩිහිටි අපිටත් ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. 

අපි ළමා සාහිත්‍ය ගැන හතර ආකාරයකින් කතා කරනවා. එ්, 

  • දරුවන් ලියන පොත්
  • දරුවන් වෙනුවෙන් ලියන පොත්
  • දරුවන් තෝරා ගන්නා පොත්  
  • දරුවන් වෙනුවෙන් තෝරා ගන්නා පොත් ලෙසයි.

මේ වර්ග හතරෙන් කුමන වර්ගය වුණත් දරුවෙකු වෙනුවෙන් ඇති නිර්දේශවලට අනුව තෝරාගත යුතුයි. 

  • දරුවාගේ වයසට බුද්ධි මට්ටමට සහ කියවීමේ හැකියාවට ගැළපෙන පොතක් විය යුතුයි

කොයිතරම් සාහිත්‍ය රසයෙන් අනූන වුවත් කොයිතරම් පරමාදර්ශී කතාවක් ඇතුළත් වුවත් දරුවාගේ බුද්ධි මට්ටමට එය ග්‍රහණය කරගත නොහැකි නම් ඒ පොත දරුවාට ලබා දීම සුදුසු නැත. ඒ පණිවිඩය ඒ ආකාරයෙන්ම ලබා දිය හැකි පොත් වෙළඳ පොලේ ඕනෑ තරම් සොයාගත හැකියි. අපි සැලකිලිමත් විය යුත්තේ ඒ පොත් දරුවාට සුදුසු පරිදි සරලව (simplified version) සකස් වී තිබේද යන්න පිළිබඳවයි. දෙමව්පියන් ලෙස ඔබ කොතරම් විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක් වුවත් විශිෂ්ට ගණයේ කතා කියවන්නෙක් වුවත් දරුවාට සුදුසු, ගැලපෙන දේ ලබා දීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. 

  • වැරදි ආදර්ශ දරුවෙක්ගේ මනසට ඇතුළු නොවන ආකාරයේ පොතක් විය යුතුයි

ජාතිවාදය,වර්ගවාදය, කෙනෙක්/ආගමක්/සංස්කෘතියක් පහත් කොට සැලකීමක් වැනි ආභාෂයක් දරුවෙක්ට ඇති විය හැකි කිසිදු පොතක් නිර්දේශ කළ නොහැකියි. මන්ද පොතක් මගින් සිදු කළ යුත්තේ ළමා මනසට එවැනි අදහස් එකතු කිරීම නොව හර පද්ධතියක් එක් කිරීමයි. හරපද්ධතියක වටිනාකම ගතහොත් නරක පරදිනවා, සමාජ සාධාරණත්වය ජය ගන්නවා, අනුන්ට උදව් කරන පුද්ගලයා බැබලෙනවා, ලෝකේ හැම වෙලාවෙම දිනන්නේ සත්‍යය වැනි පරමාදර්ශ පොත් හරහා දරුවන්ට ලැබෙනවා. හැම හොඳ පොතකම හොඳ ආදර්ශයක් තියෙනවා. ළමා සාහිත්‍ය තුළ හොඳ පොතක් ලෙස නිර්දේශ වීමට නම් එවැනි පරමාදර්ශි කතාවක් තිබිය යුතුයි. 

  • පරිකල්පන ශක්තිය වැඩි දියුණු වීමට සහය වන පොතක් විය යුතුයි 

දරුවා වෙනුවෙන් තෝරාගන්නා පොත මගින් ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් (Thrilling Experience) දරුවාට ලැබෙනවා නම් ඒ හා සමානවම දරුවා යහපත් පැත්තට ගෙන යන්න පුළුවන් කම්පනයක් ලබාදිය හැකි නම්, දරුවා සිතන දේ පමණක් නොව තවත් දේ ලෝකය තුළ සිදු විය හැකියි යන හැඟීම දරුවා තුළ ඇති කළ හැකි නම් එවැනි පොත් තුළින් දරුවා ජීවිතේ වෙනස් කළ හැකියි.   

  • දරුවාගේ සිත් ඇද ගන්නා පිටකවරයක් ඇති පොතක් විය යුතුයි

සාමාන්‍යයෙන් කවරයෙන් පොත මනින්න එපා කියලා අපි අසා තිබුණත් දරුවෙකුට පොතක් දීමේදී දරුවාට පොත දුටු සැනින් ආසාවක් ඇති විය යුතුයි. අන්න ඒ නිසාම කතා පොතක වැඩි අවධානයක් මුද්‍රණ කටයුත්ත වෙනුවෙන් යොදවනවා. දරුවන් වෙනුවෙන් පොත් තේරීමේදී සිත් ඇදගන්නා පිටකවරයත් එක් නිර්දේශයක් නිසයි. 

  • නැවත නැවත කියවා රස විදිය හැකි පොතක් විය යුතුයි

A book is presents which can open again and again යන ඉංග්‍රීසි කියමනට අනුව පොතක් කියන්නේ අපි නැවත නැවතත් රස විඳින ත්‍යාගයක්. සාමාන්‍ය තෑග්ගක් අප විවෘත කරන්නේ එක්වරක් වුවත් කියවන සෑම වාරයක් පාසා තෘප්තිය, වින්දනය, අත්දැකීමට ඇති කැමැත්ත මත පොතක් යනු නැවත නැවත විවෘත කළ හැකි ත්‍යාගයකි. 

ඔබ දරුවෙකුට පොතක් තෝරා ගැනීමේදී ඉහත නිර්දේශවලට අදාලව පොත් තෝරා ගැනීමට සැලකිලිමත් වීම වැදගත් වේ. ඉහත නිර්දේශවලට අනුව සකස් වුණු ඕනෑ තරම් පොත් අපගේ වෙළඳ පොළෙන් මිලදී ගත හැකියි. නිවැරදි නිර්දේශයට අනුව පොත්පත් තෝරා දීමෙන් ඔබේ නිවස තුළින් ඔබ බලාපොරොත්තු වන දරුවා ගොඩ නැගෙන බව මතක තබාගන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

අළුත උපන් පුංචි පැටියාට සුදුසුම රෙදි පිළි තෝරාගන්නේ මෙහෙමයි.

මවක් වීමට පෙරුම් පිරූ ඔබ දැන් ඒ පදවිය ලබන්නටයි සූදානම් වෙන්නේ. ඇඟිලි ගනිමින් ඒ දිනය වන තුරු බලා සිටිනවා වගේම ඊට සූදානම් වීමත් දැන් ඉතින් ඔබ කළ යුතුමයි. දින සති මාසවලට පෙරලිලා ඔබේ දෝතට කිරි කැටියා වඩින දිනයේ එයා පිළිගන්න ඕන කරන වටපිටාව වගේම එයාට සුදුසු ඇඳුම් පැළඳුම් පිළියෙල කරන්නත් අවස්ථාව දැන් උදා වෙලා. 

හුඟක් අම්මලා දරු පැටියට  ඕන කරන ඇඳුම් තමන්ගේම දෑතින් පිළියෙල කරගන්න කැමතියි. ඒ ඉතින් තමන්ගේ හැකියාව වගේම දරුවා වෙනුවෙන් තමන්ගේ දෑතින්ම පිළියෙල කරන ඇඳුම් සකස් කරාම හිතට දැනෙන ප‍්‍රීතිය වගේම මවගේ මේ සිතුවිලි දරුවාවත් නිර්මාණශීලිත්වයට එකතු කරන නිසා. දැනුම වගේම කාලය එක්ක සටන් කරන අම්මලා තමන්ට අහිමි කාලය නිසා දරුවා වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලට ගන්නෙත්, දරුවා වෙනුවෙන්ම ඒවා සකස් කරලා තියෙන නිසා. ඒ වගේම මේ වගේ වෙලාවට හැකියාව ඇති ඥාති මිත‍්‍රාදීන්ගෙන් ලැබෙන සහය සුළු පටු නොවෙයි. 

ඒ කොහොම වුණත් අලුත උපන් බිළිඳාගේ සම ඉතාමත් මෘදුයි, සියුමැලියි. මලක් වගෙයි. ඉතින් මේ දරුවට අවශ්‍ය සුව පහසුව සැලසෙන විදියේ තෝරා ගැනීමක් කරන්නත් අපිට සිද්ධ වෙනවා. ඒක හින්ද තෝරා ගන්නා රෙදි සිනිඳු වෙන්න  ඕන. ඒ වගේම ඉක්මණින් තෙතමනය උරාගන්න පුළුවන් වෙන්නත්  ඕන. මේ නිසා වඩාත් සුදුසු වෙන්නේ මල් පීස් වගේ සිනිඳු රෙද්දක්. මේ රෙද්ද වඩාත් වැදගත් වෙන්නේ 100% ක්ම කපු රෙද්දක් නිසා. සිනිඳු වගේම සුව පහසුවත් ගෙන දෙනවා. 

ඒ වගේම දරුවාට සකසන ඇඳුම් ඝනකම් වාටි සහිත වීමත්, සිනිදු  සමට හානි දායක ලෙස බලපානවා. ඒ නිසා ඇඳුම් නිමා කිරීමේදී වාටි ඝනකම් නොවන ලෙසට හෝ පිටත පැත්තට සිටින සේ නිමා කිරීම වැදගත්. මේ පිටතට සිටින සේ සකස් කල වාටි හෝ මූට්ටු නොපෙනෙන හා නොදැනෙන ලෙසට මැහුම් ක‍්‍රම මගින් අලංකාර කර ගැනීමට හැකියි. 

ඒ වගේම පටි ඇල්ලීමේදී ඒවා බෙල්ල වටේ එතීම නිසා හුස්ම ගැනීමට අපහසු වීමට ඉඩ ඇති හෙයින් ඒවා යෙදීම නුසුදුසුයි. එසේම දිගට පවතින නූල් කෑලි හෝ නිමාවක් නැති ඇඳුම් වල පවතින නූල් පවා දරුවාගේ සමට අවහිරතා ඇති කරනවා මෙන්ම නූල් කැබලි වලට සම සිරීමට හෝ කැසීමට ලක්වීමට ඉඩ තිබෙනවා. මේ නිසා තුනීයට මසන ලද වාටි තිබිය යුතුවා මෙන්ම අනවශ්‍ය නූල් කැබලි කපා දැමීම සිදු කළ යුතුයි. 

එසේම ඇඳුම් මැසීමේදී අනවශ්‍ය ලෙසට රැලි පටි ඇල්ලීම කරන ලද/ රැලි වාටි යොදන ලද ඇඳුම් මෙන්ම විශාල රූප ඇප්ලික් කර සකස් කල ඇඳුම් බරින් වැඩිවා මෙන්ම දරුවාට අපහසුතා ඇති කරයි. එසේ හෙයින් සරල හා කුඩා රූප ඇප්ලික් කිරීම සමට ඇති කරන අපහසුතා වලක්වයි. එසේම තීන්ත ආලේප මගින් අඳින ලද රූප සහිත ඇඳුම් මගින් හමට ආසාත්මිකතා ඇති විය හැකියි. 

ලිහිල් ලෙස ගොතන ලද ඇඳුම්ද තෝරා ගැනීම නුසුදුසු වේ. එසේ වන්නේ ඒවායේ අත් වල හා පාද වල ඇඟිලි පැටලීම සිදු විට හැකියා මෙන්ම අනතුරුද සිදුවිය හැකි නිසයි. 

ඇඳුම් තෝරා ගැනීමේදී වඩාත් හිරට හෝ විශාලව තෝරා ගැනීමද ශරීරයට අපහසුතා ගෙන එයි. එසේම පහසුවෙන් ඇන්දවීමට මෙන්ම ඉවත් කිරීමටද පහසු ඇඳුම් තෝරාගත යුතුයි. 

ප‍්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වනවා සේම එකම ප‍්‍රමාණයකින් ඇඳුම් විශාල ප‍්‍රමාණයක් ගැනීමද අනවශ්‍යයි. ශීඝ‍්‍ර වර්ධනයක් සිදුවන නිසා එක ප‍්‍රමාණයකින් ඇඳුම් කුඩා ප‍්‍රමාණයක් පමණක් තෝරා ගැනීම වැදගත්. වැඩෙන විට ඒ හා සරිලන ලෙස ප‍්‍රමාණත්මක ලෙස ඇඳුම් තෝරාගැනීම කළ යුතුයි. මේ මගින් අනවශ්‍ය වියදම්ද අඩු වේ. 

නැපි තෝරා ගැනීමේදී මසා නිම කළ පසු අඟල් 22 ක් සිටින සේ තෝරාගැනීම/පිළියෙල කර ගැනීම තුලින් වැඩි කාලයක් ඒවා දරුවාට ඇන්දවිය හැකියි. 

ඇඳුම් සඳහා බොත්තම් යොදා ඇති විටද සැලකිලිමත් විය යුත්තේ ඒවා සමේ ගැටීම නිසා සම තුවාල විය හැකි නිසාය. එසේම මවගේ ඇඳුම් වල එනම් උඩුකය ආවරණය සඳහා බොත්තම් යොදා ඇති විට ඒවා පවා සමට හානිකර විය හැකි හෙයින් මවගේ ඇඳුම් වලට බොත්තම් ඇල්ලීමෙන් වැලකිය යුතුයි. 

ඇඳුම් තෝරාගැනීමේදී වර්ණය පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. අලුත උපන් දරුවාට තෝරාගත යුත්තේ ලා පාටයි. මේ මගින් කිරි බීම අඩු වූ විට හෝ වෙනත් හේතුවක් නිසා කහ පැහැ වීම හඳුනා ගැනීමට පහසුවෙන් හැකිවනවා සේම, මුත‍්‍රා වල පැහැය, කක්කා වල පැහැයි හොඳින් බලා ගැනීමටද හැකි වන්නේ සුදු පැහැති ඇඳුමකදීයි. එසේම පෙකණියෙන් ඉස්ම ගලන හෝ ලේ එන විටක වුවද ගෑණු දරුවෙකුගේ යෝනිය මගින් රුධිර පිටවීමකදී වුවද එය පහසුවෙන් දැක හඳුනාගැනීමට ලා පාට ඇඳුම් තෝරාගැනීම තුලින් හැකිවනවා. එසේම ලා පාට ඇඳුම් ඇසටද ප‍්‍රිය මනාප බවක් ලබාදෙනවා. 

දේශගුණයට අනුවද සීතල දේශගුණයක් පවතින විට ඊට සුදුසු ලෙසත් උෂ්ණ දේශගුණයකදී ඊට සුදුසු ලෙසත් ඇඳුම් තෝරාගැනීම වඩාත් සුදුසුයි. 

රෙදි පිළි තෝරාගැනීම තුලින් සිරුරට ආවරණයක් සැපයීම මෙන්ම අලංකාරයක්ද ලැබෙන නමුත් අලුත උපන් බිළිඳුන්ගේ ලපටි මොලකැටි ස්වභාවය ඉස්මතු වන සේ සැහැල්ලු 100% ක් කපු රෙද්දෙන් නිර්මාණය කරන ලද ඇඳුම් තෝරාගැනීම තුලින් දරුවාට සැහැල්ලූවක් ලැබෙනවා. එසේ හෙයින් ඉහත කරුණු කෙරෙහි සැලකිල්ලක් යොමු කරන රෙදි පිළි තෝරාගැනීම දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම ඔබගේ පසුම්බියටද අනවශ්‍ය වියදම් ඉවත්වන සැහැල්ලුවක් ගෙනේවි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

බබාගේ සම වියලි වන්නේ ඇයි ?

අලුත උපන් ළදරුවාගේ සම ගැලවී යාම සාමාන්‍ය සංසිද්ධියකි. ඇත්තෙන්ම අලුත් උපන් සියලු දරුවන්ගේම සමේ පිටත ස්ථරය දරුවා ඉපදී මුල් සති දෙක තුන තුළදී ගැලවී ඉවත් වී යයි. දරුවන් කුස තුල සිටින මාස නමයක කාලයේදී ඔහු/ඇය වටා ආරක්ෂිත තරලයකින් (උල්බ තරලය) වට වී පවතී. ඉපදීමෙන් පසු වියලි වාතයට  නිරාවරණය වන නිසා ඒ සඳහා සුදුසු ඔරොත්තු දෙන සමක් තිබිය යුතුය. මේ නිසා පරණ පැවැති සම ඉවත් වී ඒ වෙනුවට සමේ අලුත් ස්ථරයක් අලුත් පරිසරයට ගැලපෙන සේ නිර්මාණය වේ. ඒ සම තරමක් රළු වන අතර පහසුවෙන් නැමෙන සුලු ඇදෙන සුලු නිසා බොහෝ දරුවන්ගේ සම පහසුවෙන් ගැලවී ඉවත් වී යයි.

දරුවා කුස තුළ සිටින කාලයේදී ඔහු වටා ඇති උල්බ තරලය ආරක්ෂාව සපයයි. ඒ හරහා පෝෂක කොටස් මවගෙන් දරුවාට ගමන් කරයි. ගැබිනි සමයේ සති 20 ක පමණ කාලයක් එැඹෙන විට දරුවාගේ සම වටා ඇති ආරක්ෂක තුනී ඉටි වැනි ආරක්ෂිත ස්ථරයක් ඇතිවේ. මේවා Vernix Caseosa. මෙය ලතින් වචනයක් වන අතර එහි අර්ථය “Cheesy varnish” ලෙස සරලව ගත හැක. මෙම vernix මගින්

  • ගර්භාෂය තුළ සිටින කාලය තුළ දී අධික ලෙස තරලය උරා ගැනීම වළකයි
  • දරුවා ප්‍රසූත කිරීමේදී ස්වභාවික ස්නෙහකයක් ලෙස ක්‍රියා කර ප්‍රසූතිය පහසු කරවයි
  • ගර්භාෂය තුළ සිටින කාලය තුළ දී බැක්ටීරියා මඟින් ආරක්ෂා කරයි.
  • දරු ප්‍රසූතියේදී හා උපන් විගස දරුවාගේ සම ආරක්ෂා කරයි.

දරුවා වර්ධනයේ දී මෙම vernix වැදගත් කාර්යයක් ඉටු කළ ද දරුවා උපන් පසු මේවා සෝදා හරි. සමහර විට කුඩා පැල්ලම් තැනින් තැන (කිහිල්ල,පාද ඇඟිලි අතර) ඉතිරිව තිබිය හැක. නමුත් වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ ඒවා ස්වභාවයෙන්ම සමෙන් ඉවත් වී යාමට ඉඩ  හරින ලෙසයි. එක්වරම මෙම ආරක්ෂිත vernix ඉවත් වී යාමෙන් දරුවාගේ සමට අනතුරු විය හැකි ප්‍රවණතාවය වැඩි වේ. ඇත්තටම දරුවාගේ සම සම්පූර්ණයෙන්ම මෘදු වන අතර පහසුවෙන් කැසීම, දැවිල්ල ආදිය ඇතිවිය හැක. බාහිර පරිසරයේ ඇති වියළි වාතය මගින් මූලිකව සම වියලීමට හේතු වන අතර සම ගැලවී යයි.

මෙසේ සම ගැලවී ඉවත් වී යන විට දෙමාපියන්ට දැනෙන්නේ සම ගැලවීමෙන් දරුවා වේදනාවකට අපහසුතාවයකට ලක්වන බවයි. නමුත් කොහෙත්ම එසේ නොවේ. ඉපදී මුල් මාසය තුල මෙසේ සම ගැලවී ඉවත් වීම සාමාන්‍ය වනවා පමණක් නොව, අත්‍යාවශ්‍ය සිදුවීමකි. දරුවා ඉපදීමෙන් පසු අලුත් පරිසරයට ඔරොත්තු දීම සහා අලුත්, ශක්තිමත් ස්ථරයක් සම මත ඇති වීම අවශ්‍ය වේ. 

මේ සහා පිළියම් ලෙස,

  • දරුවා ඉක්මණින් නහවා ගන්න. 

දරුවා නැහවීමට දිගු වේලාවක් ගත කිරීමෙන් දරුවාගේ සමේ තෙත්බාවය සා සජලන ගතිය ඉවත් වේ. මිනිත්තු 5-7 අතර කාලය තුල දරුවා නහවා අවසන් කරන්න. විනාඩි 10 කට වඩා ගත නොකරන්න. දිනකට එක්වරක් සේදීම ප‍්‍රමාණවත් වේ. දරුවා නැහැවීමෙන් පසු ඉතා මෘදු ලෙස හිසේ සිට පාසට දක්වා පිසදමන්න. කිහිලි, ඉකිලි, පාදයේ නැවුන ස්ථාන, පිටුපස පෙදෙස ජලය නොරැුදෙන සේ පිස දැමීම කරන්න. තෙතමනය පැවතීමෙන් සමේ උද්දීපනතාවයක් (අපහසුතා, කැසීම, දැවිල්ල) ඇති විය හැක. 

  • දරුවා නැහැවීම සඳහා ඇල් මැරුණ ජලය භාවිත කරන්න.

උණු ජලය භාවිත කිරීමෙන්  ඕනෑම වයසක පුද්ගලයන්ගේ සම වියලීමට ලක් වේ. අලුත උපන් දරුවාගේද එසේමය. දරුවාගේ සම ගැලවී ඉවත් වේ නම් අනිවාර්යෙන්ම උණුසුම් ජලය භාවිත නොකළ යුතුයි. මද උණුසුම් ජලය දරුවාගේ සමට සුදුසු වේ.

  • බේබි ක්ලෙන්සර් භාවිතය 

මෙමඟින් සමට සත්කාරයක් ලැබෙන අතර සම ගැලවී යාම වළක්වයි. මේ වෙනුවෙන් දරුවන් සඳහාම සැකසුන ස්වභාවික දෑ අඩංගු ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරන්න. 

  • බාත් ඔයිල් එකතු කරන්න

දරුවන් නහවන විට සම වේලීම අඩු කිරීම සඳහා නෑවීමට පෙර බාත් ඔයිල් බිංදු දෙක තුනක් ජලයට එකතු කරන්න. මෙමගින් සම සජලනය සහිතව පවත්වා ගැනීමට උදව් වෙයි. එසේම මෙම බාත් ඔයිල් මගින් සම වියලි කිරීම සඳහා සම මත ඇති ඕනෑම රසායනිකයක් උදාසීන වේ. මෙමගින් සම ගැලවී යාම වළක්වයි. එසේම දරුවා නැහැවීමට තෙල් භාවිත කිරීමේදී යොදා ගන්නා බේසම හෝ භාජනය ලිස්සන සුළු විය හැකි අතරම දරුවා ඇතුළට හා පිටතට ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය. මේ නිසා දරුවා නැහැ වීමෙන් පසු තෙල් ගතිය යනතුරු පිරිසිදු කරන්න.

  • සිසිල් වාතයෙන් සහ සුළඟින් දරුවා ආරක්ෂා කරන්න 

දරුවා උල්බ තරලයෙන් වට වී සිටීමට සාපේක්ෂව දරුවා ඉපදීමෙන් පසුව ඇති බාහිර පරිසරයේ වාතය ඉතා වියළිය. මේ නිසා දරුවා සීතලෙන් ආරක්ෂා කිරීම සඳහා හොදින් ඔතා තබන්න.

  • බේබි මොයිස්චරයිසර් ගැල්වීම

දරුවන් නැහැවීමෙන් පසු ගැල්වීම ළදරුවන් සඳහාම සැකසුණු බේබි මොයිස්චරයිසර් ගැල්වීඹ සමේ තෙතමනය ආරක්ෂා කරයි.

  • දරුවාගේ රෙදි මෘදු සබන් වර්ගයකින් සේදීම 

දරුවාගේ ඇඳුම්, රෙදි මගින් ද දරුවාට අපහසුතා ඇති කරවයි. දරුවන්ගේ සම ගැලවෙමින් පවතී නම් දරුවාට භාවිතයට පෙර සියලුම රෙදි සෝදා ගත යුතුයි.

  • දරුවාට සුදුසු පහසු ඇඳුමක් අන්දවන්න 

තද ඇඳුම් ඇන්දවීමෙන් වළකින්න. මේ නිසා සමේ කැසීම, දද ආදිය ඇති විය හැක.පරිසරය සීතල නම් දරුවාගේ ඇඳුම් තුනී ස්ථර කිහිපයකින් යුක්ත වීම ප්‍රමාණවත්ය. තද ස්ථර දෙකක් පමණක් පවතී නම් ඇඳුම් සුදුසු නැත.

  • දරුවාට හැකිතරම් මව්කිරි ලබා දෙන්න 

සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකුට සෑම මිනිත්තු 90 – 120 කට මව්කිරි දීම අවශ්‍ය වේ. මුල් මාස කිහිපය තුළ තරල අවශ්‍යතාවය පිරිමසා ගන්නේ මව්කිරි වලිනි. කලාතුරකින් විශේෂ හේතුවක් මත පිටිකිරි ද භාවිත කරයි. මව්කිරි වල සියලු පෝෂක අඩංගු නිසා නීරෝගිමත් අඛණ්ඩව වැඩෙන සමක් හිමිවේ.

සාමාන්‍ය දරුවන්ගේ සම ගැලවී ඉවත් වීම රෝග තත්ත්වයක් නොවුනද කලාතුරකින් එසේ වන රෝග තත්ත්ව ද ඇති විය හැක.

  • සාමාන්‍ය දද 

විවිධ වර්ගයේ දද (ඩයපර දද)  හේතුවෙන් සුළු ආසාත්මික තත්ත්වයක් දරුවාට ඇති කරයි. එසේම උණුසුම නිසා ඇතිවෙන දද පවතී. මේවා මැණික් කටුව, වලලුකර, බෙල්ල, කිහිල්ල ආදියේ ඇතිවිය හැක. උණුසුම් ඇඳුම් හා උණුසුම් පරිසරය නිසා මෙම දද ඇති වේ.

  • Atopic Dermatitis (Eczema)

මෙම තත්ත්වය Eczema ලෙස හඳුන්වයි. මෙහිදී ප්‍රදාහමය(Inflammation) තත්ත්වයක් ඇති වන අතර එමගින් වියලීම, කැසීම, රතු ලප දරුවාගේ සම මත ඇති වීම සිදුවේ. මෙමගින් ජීවිත තර්ජනයක් හෝ ස්පර්ශයෙන් බෝ වීමක් හෝ සිදු නොවේ. නමුත් තද පැහැති ලෙස රත් පැහැ ලප ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

  • කුරුලෑ 

තරුණ දරුවන්ගේ සාමාන්‍යයෙන් ඇති වන තත්ත්වයක් වුවද කුඩා දරුවන්ගේද ඇති විය හැක. කුඩා රතු පැහැ බිබිලි ආකාරයට ඇති වේ. අලුත උපදින දරුවන්ගේ 30% කට පමණ ඇති වන අතර හේතුව මෙතෙක් නොදනී. Probiotic අසමතුලිතතාව මවගේ හෝමෝන වලට (මව්කිරි හරහා) හෝ ඖෂධ වලට ප‍්‍රතික‍්‍රියා ලෙස ඇති වේ. 

  • Cradle Cap 

සමේ ඇති වන රෝග තත්ත්වයකි. මෙහිදී සම ප‍්‍රදාහයට පත්වන අතර රතු, ලිස්සන සුළු, කසන සමකින් යුක්ත වේ. මේවා දරුවාගේ හිස (Scalp) මත ඇති වේ. සාමාන්‍යයෙන් සුව වී යන කාලය අතර කලාතුරකින් පැසවිය හැක.

ඉහත තත්ත්ව සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

දරුවෙකුට කියවීම හුරු කරන්න හොඳම කාලය කුමක්ද?

දරුවෙක් පොත් වලට හුරු කළ යුතුතේ ඇයි? එහි වැදගත්කම කුමක්ද?

අපේ බුද්ධි වර්ධනයෙන් සියයට අනූවක්ම සම්පූර්ණ වෙන්නේ ළමා කාලයේදී. අපිට කොයිතරම් මුදල් තිබුණත් කොයිතරම් ආසාවක් තිබුණත් දරුවෙකුගේ බුද්ධිය වර්ධනය කරන්න ඒ දේවල්වලට හැකියාවක් නැහැ. බුද්ධි වර්ධනය සම්පූර්ණ කිරීමට කියවීම හුරු කරවිය යුතුයි.

එමගින් දරුවෙකුට තමාගේ මුළු ජීවිත කාලය පුරාම අත්දැකිය හැකි ප්‍රතිලාභ හිමි වෙනවා. එයින් ලොකුම ප්‍රතිලාභය වන්නේ කියවීම තුළින් දරුවා ලබන සතුට.

අපි ජීවිතය තුළ සතුට එක් එක් විදයට සොයනවා. දරුවන්ට සතුට හොයගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ කියවීම. අන්න ඒ නිසයි කියවීම හොඳම විනෝදාංශයක් කියන්නෙත්. ඒක එක ප්‍රතිලාභයක් විතරයි.

සතුටෙන් කියවන දරුවා තම පරිකල්පන ශක්තිය විශාල වපසරියක් තුළ ක්‍රියාත්මක කරනවා. පරිකල්පන හැකියාව කියන දේ අපිට අපේ දරුවෙකුට බාහිරව ලබා දිය නොහැකියි. එය දරුවා තුළින්ම ඇති විය යුතු දෙයක්. එමෙන්ම මේ පරිකල්පන ශක්තිය දරුවා තුළින්ම නිතැතින්ම ඇති කරගැනීමට දරුවා කියවන පොත් දායක වෙනවා. 

පරිකල්පන ශක්තිය සංවර්ධනය කරගත් දරුවා ලෝකයේ අනෙක් මිනිසුන් දිහා බලන්නේ ලෝකය දකින්නේ ඒ පරිකල්පන ශක්තිය සමගයි. එනම් පොත පතෙන් තමා ග්‍රහණය කරගත් දේ සමගයි. 

කියවීම තුළින් දරුවෙකුට ලෝකය දකින්න හුරු කරනවා වගේම දරුවා තුළ සහකම්පනය ඇති කරනවා. දරුවෙකුට තවත් කෙනෙකු ගැන සිතන්නට අවස්ථාව ඇති කරවනවා. ඒ, පොත් පත් හරහා තවත් පුද්ගලයෙකුට දැනෙන සිතුවිල්ල ඒ ආකාරයෙන්ම අපටත් දැනෙන්නට සලස්වනවා. 

උදාහරණයක් විදියට Sugar කියන පොත ‍ගත්තොත් ඒ පොත කියවන දරුවෙකු තවත් කෙනෙක් ගැන හිතන්න නිතැතින්ම පෙළඹෙනවා. ඒ පොතෙන් කතා වෙන්නේ මිසිසිපි ගංගා ද්‍රෝණියේ ජීවත්වෙන කුඩා දැරියක් හා සම්බන්ධ කතාවක්. ඇයගේ මව සහ පියා දෙදෙනාම උක් වත්තක සේවය කරන අතරම කම්කරුවන් ලෙස එහි චීන ජාතිකයන් පැමිණෙනවා. අපිට සීනි කොයිතරම් රසවත් වුණත් ඒ සීනි පිටුපස ඇති කතාව කොයිතරම් තිත්තද කියන එක එම කතාවෙන් කියවෙනවා.  අන්න ඒ වගේ කතා තුළින් දරුවන් තුළ සහකම්පනය ගොඩ නංවනවා. 

මේ වෙනුවෙන් තවත් උදාහරණයක් දැක්වූවොත් ඔටිසම් තත්ත්වයේ සිටින තම නිවුන් සහෝදරයාගේ දෛනික ජීවිතය ගැන ලියවුණු පොතක් වුණු My brother Charly කියන පොත දක්වන්න පුළුවන්. ඇත්තටම අපි ඔටිසම් කියන තත්ත්වය ගැන දැනගෙන හිටියත් එවැනි දරුවෙකුට කොහොමද ලෝකේ පේන්නේ කියන දේ ඔහුගේ මේ නිවුන් සොයුරියගේ පොතින් අපිටත් අත්දකින්න අවස්ථාව උදා වෙනවා. ඒ තුළින් අපේ සමාජයේ සිටින එවැනි දරුවන් ගැන සිතන්න හැකියාව, දැනුවත් බව අපට ලැබෙනවා.

පොත්පත් විතරක් නෙවෙයි, මෙතැනදී කතන්දරත් බොහොම වැදගත් වෙනවා. මේ හැම කතාවක් වගේම පොත් හරහා අපේ ජීවිතවලට ආදර්ශයන් එකතු කරනවා.

උදරහරණයක් විදියට ඕනෑම පුංචි දරුවෙකුට අපි කියා දෙන ඉබ්බගෙයි හාවගෙයි කතාව ගැන හිතන්න. ඒ කතාව පිටිපස්සේ ලොකු ආදර්ශයක් තියෙනවා. මෙතැනදී ඉබ්බා හා හාවා යන දෙදෙනාම තමන්ගේ අරමුණ දැනගෙන හිටියා. ඉබ්බා තමන්ගේ ශක්ති ප්‍රමාණය  ගැනත් දැනගෙන හිටියා වගේම තමා යෙදිය යුතු ක්‍රමය (slow but steady) ගැනත් දැන සිටියා. හාවා එයාගේ හැකියාව ගැන දැනගෙන හිටියා වගේම ඒ ගැන අධිතක්සේරුවකින් හිටියා විතරක් නෙවෙයි ඉබ්බා ගැන අවතක්සේරුවකින් හිටියා. අන්න ඒ හේතු නිසා තමයි හාවාට සහ ඉබ්බාට දෙවිදියකට දිනුම් කණුව වෙත යන්න සිදු වුණේ. මේ විදියට ගත්තොත් අපේ කතාන්දරවලත් සරල කතාවේ සිට සංකීර්ණ කතාවකට යනකල් හැම වෙලාවෙම කතාවකින් ආදර්ශයක් ගන්න තියෙනවා.

පොත් ගැන තව දුරටත් කතා කළොත් දරුවන් වෙනුවෙන් වෙනුවුණු පොත් වල දකින්න ලැබෙන හොඳ ලක්ෂණයක් විදියට දරුවන්ගේ පොත්වල චිත්‍ර තිබීම දක්වන්න පුළුවන්. ඒ චිත්‍ර වලින් අර නොකියූ කතාවක් දරුවාට ගොඩනඟා ගත හැකියි. එමගින් දරුවෙකුගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරනවා. පරිකල්පන ශක්තියෙන් පොහොසත් දරුවෙක් (අකුරු කියවන්න බැරි වයසක හිටියත්) චිත්‍ර දිහා බලලා ඒ කතාව ගොඩනගා ගන්නවා.

පූර්ව ළමාවිය සංවර්ධනය වගේ දේවල් ගැන සාකච්ඡා කරද්දී අපේ සංවර්ධන ක්‍රියාවලිය අනුව ගත්තොත් දරුවෙක් අකුරු ඉගෙන ගන්නේ වයස අවුරුදු පහෙන් පස්සේ. නමුත් කතාවක් කියන්නේ අකුරු නෙවෙයි. ඊට කලින් දරුවෙක් මේ චිත්‍ර දිහා බලලා තමාගෙම කතාවක් නිර්මාණය කරනවා. අන්න ඒ නිසයි කුඩාම අවධියේ සිටම දරුවෙකුට කියවීම හුරු කළ යුතු වෙන්නේ. 

ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපේ දරුවන් පාසැලට ඇතුළත් කරන්නේ වයස අවුරුදු හයේදී‍. එතැන පටන් ඒ දරුවා කියවීම තුළින් එයාගෙ ජීවිතයට උකහා ගත් හැකියාවන් එයාගෙ ඉගෙනුම් පැත්තට යෙදවීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි පොතක් කියවීමේදී හොඳ මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒ වගේම මනා විග්‍රහත්මක හැකියාවක් අවශ්‍යයි. මේ කරුණු දෙක දරුවෙක් තමන්ගේ පාසැල් විෂය මාලාව තුළත් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. තම සිත එකඟ කරගෙන විෂය මාලාව තුළින් ලබා දෙන දැනුම ග්‍රහණය කරගත යුතුයි. මේ හැකියාව කුඩා වියේ සිටම කියවීම ප්‍රගුණ කර සිටි දරුවෙකුට නිතැතින්ම හිමි වෙනවා. 

ඒ වගේම කියවීමට හුරු වුණු දරුවෙකුට අතිරේක කියවීම් නිර්දේශ කොට ඒ පිළිබඳව නැවත නැවත ගුරුවරයෙකුට සැලකිලිමත් විය යුතු වන්නේ නැහැ. මන්ද ඒ දරුවා කියවීම හුරු කරගනිමින් පාසැලට පැමිණි දරුවෙක් නම්, එවැනි දරුවෙක් කිසිම විටෙක විෂයමාලාවට, පෙළපොත් වලට පමණක් සීමා වෙන්නෑ.  එයාගේ කතාව, හැකියාව, තර්කන හැකියාව මේ සියලු දේ සමග ඒ දරුවා ඉදිරියට ගමන් කරනවා. ඒ මන්ද ඒ දරුවා තම ඉගෙනුම් ජීවිතය තුළින් බුද්ධිය ලබා තිබෙන නිසා. තමන්ගේ පෞද්ගලික ජීවිතයට වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමටත් විශාල අඩිතාලමක් කියවීම තුළින් දරුවාට හිමිවෙනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

මාපිය ගුරුවරු යොවුන් දරුවන්ගේ චිත්තවේග හා හැසිරීම් ගැන දැනුවත් විය යුතු කරුණු

චිත්තවේග යනු මනසේ සමබරතාවය නැති වී ගොස් අකූල ස්වභාවයක් ඇතිවීමකි. යම් උත්තේජනයක් නිසා ඇති විය හැකි සංවිධානයෙන් තොර බලවත් ප්‍රතිචාරය චිත්තවේග ලෙස සරලව අර්ථ දැක්විය (මූර්ති, 2009) හැක. බිය, නිතර ඇතිවන කෝපය, කාංසාව, විශාදය, උදාසීනත්වය, ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා චිත්තවේග තත්ත්වයට නිදසුන්ය. ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ මනෝ විද්‍යා ශබ්දකෝෂය චිත්තවේග පිළිබඳව අර්ථ දක්වා ඇත්තේ  යම් සිදුවීමකට හෝ අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පුද්ගලයකු තුළ සුවිශේෂ වශයෙන් නැගී එන ජීව විද්‍යාත්මකවූත්, හැඟීම් හා ප්‍රජානන ක්‍රියාවලියෙහිත්, චර්යාවෙහිත් සිදුවන වෙනස්වීමේ සංකීර්ණ රටාව ලෙසයි. පුද්ගලයන් තුළ පහළවන අවශ්‍යතා සන්තෘප්තියට පත් නොවීම හෝ අඩුවෙන් තෘප්තියට පත්වීම චිත්තවේග කැළඹීමකට හේතු විය හැකි බව සලකනු ලැබේ. චිත්තවේගයට සම්බන්ධ වේදනය ප්‍රසන්න වනුයේ අවශ්‍යතාවය තෘප්තිමත් වීමෙනි.  එසේ නොවීම අප්‍රසන්න වේදනයකට හේතු වේ.

 

යොවුන් මොළයේ  සියල්ල ඉන්ධනයි. තිරිංග නැත. සුක්කානම්, රෝද නැත (Bell & McBrid,2010) 

යොවුන් අවධිය තුල නිසඟ ගුණයක් ලෙස ඇතිවන චිත්තවේගිය අසමබරතාවය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හැසිරීමේ වෙනස්කම් සඳහා බලපානු ලබන කරුණු රැසක් මෑතකාලීන ස්නායු ජිව විද්‍යාක්මක පර්යේෂණ ක්ෂේත්‍රය මඟින් අනාවරණය කරගනු ලැබිය.

යොවුන් වියේ පසුවන දරුවන්ගේත් යොවුන් වියේ දරුවන්ගේ ගැටලු වලින් පීඩා විදින දෙමාව්පියන්ගේත් දරුවන් සමඟ කටයුතු කරන ගුරුවරුන්ගේත් අනු දැනුම සඳහා යෞවන චිත්තවේග හා හැසිරීම්  පිළිබඳව පර්යේෂණාත්මක අනාවරණයක් ගෙන ඒම මේ ලිපියේ අරමුණයි.

“”අපි කියන හැමදේම වැරදියටමයි පේන්නේ””

“”එයා වෙනුවෙන් අපි කරන කිසිදේක හොදක් පේනනේ නැහැ””

“”පුංචි දේකටත් එකට එක කියනවා කිසි දෙයක් පිළිගන්නේ නැහැ””

“”හරිම හිතුවක්කාරයි තමන්ට ඕන දේමයි කරගන්ඩ බලන්නේ””

“”ඉක්මනයටම කේන්ති යනවා””

“”කිසිදෙයක් අපිට කියන්නෙ නැහැ අදහසක් බෙදා ගන්නෙ නැහැ””

“”මුළු දවසම ෆෝන් එකේ තනියෙන්මයි ඉන්න හදන්නේ””

මේ වයස අවුරුදු 13 ත් 18 ත් අතර කාලය තුල පසු වන තම දුව/පුතා පිළිබඳව මව්පියන් නිතර නගන  චෝදනා කිහිපයක්. මෙවැනි කතා පිටුපස ඇති ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක යථාර්තයන් පෙන්වා දී යොවුන් දරුවා නව මුහුණුවරකින් පිළිගැනීමටත් ඔවුන්ගේ ශක්ති ප්‍රවාහයන් නිසි කළමනාකරනයකින් භාවිත කිරිමට ඔවුන්ට උපකාර කිරිමටත් අවශ්‍ය අත්වැලක් සැපයීම වැඩිහිටි අපගේ වගකීමයි. 

 

අන්න ඒ නිසාම දෙමාපිය ගුරුවර වැඩිහිටි පිරිසගේ දැනුවත් බව උදෙසා යොවුන් චිත්තවේග කෙරෙහි මූලිකව බලපෑම් කරනු ලබන මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන පරිනාමීය වෙනස්කම් මත ඇතිවන චිත්තවේගීය අසමබරතාවය හා හෝමෝන පද්ධතියේ වෙනස්කම් සහ යොවුන් චිත්තවේග යන  ප්‍රධාන ක්ෂෙත්‍ර දෙක ඔස්සේ කරුණු සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වේ.

 

යොවුන් මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන පරිණාමීය වෙනස්කම් මත ඇතිවන චිත්තවේගික ගැටලු

යෞවන චිත්තවේගික චර්යාවන් සඳහා වන  හේතු ගවේෂණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කිරීම කෙරෙහි විද්‍යාඥයින්ගේ උනන්දුවක් මෑත යුගයේ කැපී පෙනුණි. මේ සඳහා නවීන ස්නායු මුර්තන ශිල්ප ක්‍රම (new neuroimaging Techniques), MRI ස්කෑන් මෙන්ම ඊට අමතරව fMRI (functioning magnetic resonance imaging) භාවිත කිරීම තුලින් වඩාත් විශ්වසනීය අනාවරණ රැසක් ලබා ගැනීමට හැකිව ඇත. යම් ක්‍රියාවලියක් තුල පුද්ගලයා නිරතව සිටීමට ඉඩ සළස්වා පංචේන්ද්‍රියන් තුලින් ලබන සංවේදනා වලට අනුව මොළයේ සුවිශේෂ කලාප තුල ස්නායු පරිපත උත්තේජනය වන ආකාරය නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදි පවති. මේ ආකාරයට නිරීක්ෂණය කිරීමේදී  මොළයේ පරිනත භාවයට පත්වීමේ ක්‍රියාවලිය හා යොවුන් වියේ චිත්තවේගික හැසිරීම් අතර ඇති සබඳතාවය පිළිබඳව කරුණු අනාවරණය විය. ළමා සහ යොවුන් අවධින් තුල මොළය කලාප තුනක් මූලික කෘත්‍යන් තුනක් සිදු කිරීම වෙනුවෙන් ක්‍රමයෙන් පරිනතියට පත් වන ආකාරය විශේෂඥවරුන් විසින් පෙන්වා දෙයි. එසේ පරිණතියට  පත්වීමේ අනුපිළිවළ නම්,

  1. මූලික කායික කෘත්‍යයන්  සඳහා වන බලප්‍රදේශය (Physiological center)
  2. චිත්තවේගාත්මක බලප්‍රදේශය (Emotional center)
  3. ප්‍රජානනය සඳහා වන බල ප්‍රදේශය (Cognitive center)  

සංවර්ධන අවධීන් වලට සාපේක්ෂව මොළය පරිණත භාවයට පත්වන්නේ පහළ සිට (අනුමස්තිෂ්යේ සිට) ඉහළට (පූර්ව ලලාටඛණ්ඩිව) හා ඊට සාපේක්ෂව මොළයේ අභ්‍යන්තරයේ හෙවත් ඇතුලතින් පිටතට (ලිම්බික් පද්ධතියේ සිට මස්තිෂ්ක කලාප දක්වා) විහිදී යන ලෙසටය. 

පළමුවෙන්ම දරුවකුගේ ජීවිකාවේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක වන චලනයන් හෘද ස්පන්දනය මාංශ පේශීන් සම්බන්ධීකරණය, සමබරතාවය වැනි කායික කෘත්‍යන් සඳහා වගකියනු ලබන අනුමස්තිෂ්ක කලාපය ප්‍රථමයෙන් පරිණතියට  පත් වන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දෙයි.

දෙවනුවට වර්ධනය වන්නේ චිත්තවේගාත්මක බල ප්‍රදේශයයි. එනම් මොළයේ අභ්‍යාන්තරයේ මැද කලාපය වන ලිම්බික් පද්ධතිය (Lymbic system) යි. මෙය තැලමසය, හයිපොතැලමසය, ඇමිග්ඩලා, හිපොකැම්පසය යන ඉන්ද්‍රීයන්ගෙන් සමන්විත වන අතර ච්ත්තවේග(බිය, දුක, කෝපය, කලහකාරීත්වය, මතකය, අභිප්‍රේරණය, උද්දීපපයන්, පිබිදීම්, බලගැන්වීම්) වැනි වැදගත් මානසික කෘත්‍යන් රැසක් සිදු කරනු ලබන කලාපය යි.

තෙවනුව පරිණතභාවයට පත් වන කලාපය වන්නේ පූර්ව ලලාට කණ්ඩිකාවයි. මෙය තර්කානුකූල සිතීම, හේතුවාදී චින්තනය, ඉදිරි සැළසුම් කිරීම්, අවේග පාලනය කිරීම, තීරණ ගැනිම් වැනි වැදගත් ප්‍රජානන (බුද්ධිමය) කෘත්‍යන් රැසක් සිදුකිරීම කෙරෙහි බලපානු ලබන කලාපයයි. වයස අවුරුදු 18 වන තුරුත් දරුවකුගේ පූර්ව ලලාට කණ්ඩිකාව නිසි ලෙස සංවර්ධනය වී නොමැත. මෙම කලාපය පූර්ණ වශයෙන් සංවර්ධනය වී අවසන් වන්නේ වයස අවුරුදු  25 වන විට බව මොළය පිළිබඳ විශේෂඥවරුන්ගේ අදහසයි. 

 

යෞවනයාගේ ගැටලුකාරී හැසිරීම් හා හැඟීම්බර මනෝගති සඳහා හේතු 

ඉහත සඳහන් ආකාරයට යොවුන් වියට පත් වූ දරුවාගේ චිත්තවේගාත්මක කලාපය මේ වන විට මැනවින් සංවර්ධනය වී ඇතිමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට, තර්කානුකූලව සිතීමට උපකාරීවන බුද්ධි මණ්ඩලය තවමත් පූර්ණ ලෙස සංවර්ධනය වී නොමැත. මේ අනුව ලිම්බික් පද්ධතිය මඟින් බල ගැන්වෙන ඉෂ්ඨ විපාක සඳහා හේතුවන අභියෝගාත්මක ක්‍රියාවන් සිදු කිරීමට යොවුන් දරුවා තුල නිසඟ පෙලඹීමක් ඇති බවත් එවැනි ක්‍රියාවන්ගේ අනිසි විපාක තර්කානුකූලව වටහා ගැනීමට ඇති හැකියාව අවම බවත් පෙන්වා දෙයි.

දෙබෝරා යෝගා (Deborah Yoga,2013) විසින් වයස අවුරුදු 11 – 17 වියේ පසු වන යෞවනයින් හා වැඩිහිටියන් චිත්තවේගික සංසන්දනාත්මකව මැන බැලීම වෙනුවෙන් පර්යේෂණය සිදුකරන ලදි. විවිධ  හැඟීම් සහිත පින්තූර පෙන්වමින් ඒවා නරඹන අතර තුර  ඔවුන්ගේ අත්දැකීම්  සම්බන්ධව ප්‍රශ්න අසමින් මොළයේ ක්‍රියාකාරී වන කලාප fMRI ස්කෑන් ඔස්සේ නිරීක්ෂණය සිදු කිරීමේදී, යෞවනයින්ගේ පූර්ව ලලාට කණ්ඩිකා කලාපය වැඩිහිටියන්ට වඩා අඩුවෙන් ක්‍රියාකාරී වන ආකාරයත් මොළයේ පහළ කලාපය වැඩිහිටියන්ට වඩා වැඩියෙන් ක්‍රියාකාරීවන වන ආකාරයත් නිරීක්ෂණය විය. මේ අනුව අන් අයගේ චිත්තවේග පිළිබඳව හඳුනා ගැනීමේදි දුරවබෝධ අර්ථකතන සැපයීමේ නැඹුරුතාවයක් යෞවනයින් තුලින් විද්‍යමාන විය. ඔවුන් තීරණ ගැනීමේදී චිත්තවේගාත්මක භාවමය පාර්ශවය කෙරෙහි වග කියනු ලබන  ලිම්බික් පද්ධතිය කෙරෙහි වැඩි යැපීමක් සිදු වන බවත් ප්‍රජානන පාර්ශවය කෙරෙහි බලපානු ලබන පුර්ව ලලාට ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය අවම වීමෙන් තර්කානුකූල සහේතුක තීරණ ගැනීමේ හැකියාව අවම බවත් නිගමනය විය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක

 

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor


                

යොවුන් වියේ සිටින දරුවාගේ නින්ද ගැන ඔබටත් ගැටලු තියෙනවාද?

මිනිස් ජෛව පද්ධතිය සොබාදහමේ රිද්මයට අනුකූලව වැඩසටහන්ගතව ඇත. නින්ද සහ අවධි වීම අපගේ දෛනික රිද්මයයි. ජෛව ඔරලෝසුව ක්‍රියාකරනු ලබන්නේ සොභාදමේ ආලෝකයට අනුගතවය. මොළයේ pineal gland තුල නිෂ්පාදනය වන මෙලටොනින් හෝමෝනය අඳුරත් සමඟ උත්තේජනය වන අතර නින්ද හා අවදි වීමේ චක්‍රය මේ අනුව ක්‍රියත්මක වේ. මෙම මෙලටොනින් නිෂ්පාදනය අක්‍රමවත් වීම නින්ද පිළිබඳව ගැටලු අතිවීමට හේතු වේ.

යොවුන් විය ගත් කළ හෝමෝන වෙනස් වීම් සිදුවන අවධියකි. මෙසේ යොවුන් විය තුළ වෙනස් වන හෝමෝන අතර මෙලටොනින් නිපදවීමේද වෙනසක් පවතින බව 1990 වන විට පර්යේෂකයින් විසින් සොයා ගන්නා ලදි. යොවුන් මොළය මෙලටොනින් නිපදවන්නේ වැඩිහිටියෙකුට සාපේක්ෂව පැය  තුනක පමණ ප්‍රමාද විමකින් බවත් මෙලොටනින් නිපදවීම බෝහෝවිට රාත්‍රී 11න් පසුව සිදුවන බවත් නින්ද පිළිබඳ පර්යේෂිකා දෙබොරා යෝගා (Deborah Yoga)  විසින් පෙන්වා දී ඇත. එමෙන්ම වැඩිහිටියන්ට සාපේක්ෂව යෞවන මොළයේ මෙලොටනින් ස්‍රාවයේ වර්ධනයක් ඇති බවත් නින්ද අක්‍රමවත් විම සඳහා  එයද බලපෑ හැකි බවත් පෙන්වා දී ඇති අතරම යොවුන් වියේ දරුවන් ප්‍රමාද වී නින්දට යාමත් ප්‍රමාද වී අවධි වීමත් මෙම හෝමෝනවල බලපෑම මත සිදුවන්නක් බව කිව හැකිය. 

යොවුන් වියේ නින්දේ ගැටලු පිළිබඳව සිදුකර ඇති පර්යේෂණාත්මක අනාවරණ රැසක් ඇසුරෙන් ලියන ලද ඇමරිකාවේ ඉහළම අලෙවියක් පෙන්නුම් කළ ඩේවිඩ් රැන්ඩොල්ගේ Dreamland කෘතිය තුලින්  පෙන්වා දෙන්නේ පාසල් යාම සඳහා උදෑසනින් යොවුන් දරුවන් අවධි කිරීම ඔවුන්ගේ ස්වභාවික ජෛව රසායනික පද්ධතියට කරන බලවත් අසාධාරණයක් බවයි. පාසල් යාමේ වර්තමාන කාලසටහන මේ ආකාරයට සකස් වුයේ දැනට දශක කීපයකට පෙර යොවුන් දරුවා වැඩිහිටියෙකු ලෙස සළකා ඔවුන් නිශ්පාදන කටයුතු හා වෘත්තිය කටයුතු සඳහා දායක කරගත් යුගයේ බව පෙන්වා දෙන රැනඩෝල්  යෞවනයා යන පදය ව්‍යාවහාරයට පැමිනෙන්නේ 1930 න් පසුව බවද පෙන්වා දෙයි. පාසල් අවසන් වී රැකියා හෝ නිශ්පාදන ක්‍රියාවලියට ඔවුන් සම්බන්ද විය යුතුව ඇති බැවින් උදෑසනින් පාසල් ඇරඹීම සිදු විය. දශක ගණනාවකට පසුවත් මෙම කාලසටහන මේ අයුරින්ම ක්‍රියාත්මක වන අතර වෙනසකට ඇත්තේ වර්තමානයේ පාසලින් පසුව වෘත්තීය කටයුතු වෙනුවට අතිරේක පංති හා වෙනත් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යෞවනයා යොමුවීමයි. නිදන්ගත නින්දේ අක්‍රමතා සහිතව සිටින යෞවනයින් මේ ආකාරයේ දෛනික කාල සටහනකට හුරුවීමේ අනිසි ප්‍රතිවිපාක පහත පරිදි පෙන්වා දී ඇත 

ප්‍රමාණවත් නින්දක් නොලබන යොවුන් දරුවා තුල ඇතිවන සෞඛ්‍යමය ගැටලු

  • මානසික අවපීඩනය ඇතිවීම
  • විශාදය ඇති වීමේ නැමියාව
  • චිත්තවේගික අසමබරතාවය 
  • මතකය පිළබඳ ගැටලු ඇතිවිම
  • උගත් කරුණු නිසි ලෙස කළමනාකරණය හා ගබඩා වීම පිළිබඳව ගැටලු ඇතිවීම
  • නොරිස්සුම් ගති හා ක්ෂණික කෝපයට පත්වීම

කොළොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව රාත්‍රී 10 ට හෝ ඊට පෙර නින්දට ගිය යොවුන් දරුවන් මධ්‍යයම රාත්‍රියෙන් පසුවත් හොඳින් අවධිව සිටි අයට වඩා මානසික අවපීඩනයෙන් හා සියදිවි නසා ගැනිමේ මානසිකත්වයෙන් පීඩා විඳි බව පැවසේ. මධ්‍යම රාත්‍රියෙන් පසුව නින්දට ගිය යොවුන් දරුවන් ජෛව රිද්මයට අනුකූලව නින්දට ගොස් ප්‍රමාද වී එනම් ප්‍රමාණවත් නින්දක් ලැබීමට හුරු වීම තුල මානසික සෞඛ්‍යයමය ගැටලු අවම වී ඇත.  

1990 මැද භාගයේදී යෞවනයාගේ මෙම නින්ද හා සම්බන්ධ ගැටලු පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සඳහා සංවේදී වූ ප්‍රථම පාසල බවට පත්වන්නේ එක්සත් ජනපදයේ මිනියැපොලිස් (Minneapolis) ජනපදයේ එඩිනා නගරයේ එඩිනා මහජන පාසල (Edina public school) යි. යෞවනයින්ගේ නිදි චක්‍රයේ වෙනස්කම් හා එයින් සිදුවන සෞඛ්‍යමය ගැටලු හා අධ්‍යාපනික  පසුබෑම් පිළිබඳ වූ විද්‍යාත්මක පර්යේෂණ අනාවරණ පරිශීලනයෙන් පසු තම  උසස් පාසල ආරම්භ කිරිමේ වේලාව උදෑසන 8.30 දක්වා ප්‍රමාද කිරීමට පාසල් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

යෞවනයින් ද තම මව්පිය විරෝධතා නොසළකා අමතර පැය නින්දේ ගත කර විවේකී මනසින් යුතුව පාසල් පැමිණ ඇත.  විවිධ සාධක පෙන්වා දෙමින් මේ සඳහා දෙමාපිය විරෝධතා රැසක් මතු කල ද පාසල් පාලක මණ්ඩලය පුරා වසරක් මෙම තීරණය තුල නොසැලි සිටින ලද්දේ මේ පිළිබඳව සැබෑ පර්යේෂණාත්මක අනාවරනයක් තුලින් කරුණු සනාත කොට ගැනිම සඳහාය. වසරක් අවසානයේ අපක්ෂපාතී ලෙස පත් කරන ලද පර්යේෂිකාවක් විසින් මේ පිළිබඳව තම පර්යේෂණ අනාවරනය ඉදිරිපත් කරන ලදි. යෞවනයින් දිනපතා පාසල් පැමිණිමේ ප්‍රවණතාවය වැඩි වීම, චිත්තවේගික ගැටලු සහිත ළමුන් සංඛ්‍යාත්මකව අවම විම, විශාදි ලක්ෂණ අවම වීම යන සාධනීය ලක්ෂණ රැසක්  මෙන්ම  සියයට අනූදෙකක් 92%  මව්පියන් යොවුන් වියේ පසුවන තම දරුවා සමඟ වෙනදාට වඩා ජීවත් වීමට පහසු බවට  ප්‍රකාශ කර තිබීමත් ඉතා වැදගත්. 

රජයේ ආධාර යටතේ පසුවන සාමාන්‍ය පාසලක් වන මෙම පාසැල ආරම්භ කිරීමේ වේලාව පැයකින් ප්‍රමාද කිරීම හේතුවෙන් ලද ප්‍රතිලාභ ගැන සලකා බලා මිනියැපොලිස් මහජන පාසල (Minneapolis public school) ද වහාම ක්‍රියාත්මක වන පරිදි  1997 වසරේම තම පාසල් ආරම්භක වේලාව ද පැයකින් ප්‍රමාද කිරිමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීය. මේ අනුව යෞවනයින්ට අමතර නින්දක් ලබා ගැනිම වෙනුවෙන්ම පාසල් ඇරඹීමේ වේලාව කල් දැමූ  ලොව දෙවන පාසල වීමේ ගෞරවය මිනියැපොලිස් පාසලට හිමි වූ අතර 1997 – 1998 පුරා වසරක් මෙය ක්‍රියාත්මක විය. මෙම පර්යේෂණයේ ද සාධනීය ප්‍රතිඵල රැසක් අධීක්ෂණයට ලක් කළ උසස් පාසල් අටක් පැයක් ප්‍රමාද වී පාසල් ඇරඹිමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ අතර ක්‍රමයෙන් වෙනත් අධ්‍යාපනිත ඇකඩමි ද මෙම ප්‍රත්පත්තිය ක්‍රියාවට නගන ලදි. සියලු ප්‍රතිඵල ධනාත්මක වීම විශේෂ වේ. මෙම සමස්ත පර්යේෂණ ක්‍රියාවලිය හා ඒවායෙහි ප්‍රතිඵල පිළිබඳව සවිස්තර වාර්තාව ඇමරිකා මිනෙසොටා විශ්වවිද්‍යාලයේ (Mennesota university) කේලා වාල්ස්ට්‍රෝම් (Kyla L.wahlstrom,2014) විසින් ඉදිරිපත් කර ඇත. මේ වන විට ලොව බොහෝ දියුණු රටවල් පාසල් උදෑසන 8 .30 පසුවට ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ නව යොවුන් දරුවන්ගේ ස්වභාවික ජෛව රසායනික පද්ධතියට අසාධාරණයක් නොවන ලෙසටයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක

 

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor