අනේ මන්දා…ඒ දෙන්නා නම්. (written from a child’s perspective)

මම අමායා. නිකම්ම අමායා නෙමෙයි.  අමායා රන්සරණි වනිගසූරිය. වයස අවුරුදු දාහතයි. උසස් බාලිකාවේ ඉගෙන ගන්නේ. මට ඉන්නවා නාහෙට අහන්නේ නැති මල්ලි කෙනෙක්. එයා සවිරු. එයා තාම හය වසරේ.

අපේ අම්මයි, අප්පච්චියි දෙන්නම රාජ්‍ය සේවකයෝ.තාමත් රස්සාවේ යනවා. තාත්තගේ කසාද බැඳපු නැති පොඩි නංගී, ඒ කියන්නේ අපේ පොඩි නැන්දා තමයි අපිත් එක්ක පුංචි කාලේ ඉඳලා තනියට ඉන්නේ. 

” මහ නපුරු ගෑනියෙක් අනේ…මට පේන්න බෑ..”  මායි මල්ලි මොනවා කරත් එයාට වැරදියි. මල්ලි නම් නිතරම ගුටි කනවා. එයාටනං හොඳ වැඩේ තමයි . ඒ උනාට මල්ලිට ගහන එකටයි මට බනින එකටයි නම් මට එන තරහක්.

” මට පේන්න බෑ එයාව “

 

අම්මයි තාත්තයි ගෙට ගොඩ වෙන්නෙ කොයිවෙලේද?  අන්න ඒ වෙලාවේ ඉඳන් පොඩි නැන්දා පටන් ගන්නවා කේලම් කියන්න.  

” අමාට අද ටෙලිෆෝන් කෝල් දෙකක් ආවා. එකක් අමා ගත්තා.  අනේ මන්ද වරුවක් කතා කළා මේනකා ඔන්න මං කිව්වා “

මේනකා කියන්නේ අපේ අම්මා.

” බැලුවොත් ටෙලිෆෝන් වයර් එක බෙල්ල වටේ” පොඩි නැන්දා එහෙමයි සංක්ෂිප්ත වශයෙන් කේලම අම්මට කිව්වේ.

” ටෙලිෆෝන් එකෙන් ඔය හැටි මොන මගුලක් කියවනවද ළමයෝ?  ඔය හැටි බිල් යවාගෙන ?

කතා කරන දෙයක් ඉස්කෝලෙදි කතා කරන්න බැරිද?……. අප්පච්චියි මායි, මැරි මැරි හම්බ කරනවා නේ… උඹලට බැරියැයි ගෙදර ඉදන් කාබාසිනියා කරලා දාන්න.” (constantly trying to find faults with children)

අම්මා ඔය ටික කියන්නේ දියරෙද්දට මාරු වෙන්නත් කලින්. හැම අම්මෙක්ම මෙහෙමද? මට නිදහසට කරුණු කියන්නවත් අවස්ථාවක් නෑනේ. ඇත්තටම මට ඕන වුණේ ස්වර්ණදේවි බාලිකාවේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්තරේ ගැන මන්දනා ගෙන් අහගන්න. මන්දනායි මායි එකම අතිරේක පන්ති වලට යන්නේ. ඒ උනාට ඉස්කෝලේ දෙකක. මන්දනා මගේ උදව්වට දෙපාරක්ම මට කෝල් කලත්, මම මන්දනාට කෝල් කරේ එක පාරයි. ඒකත් ඉල්ලුම් නම්‍යතාවය ගැන තිබ්බ ප්‍රශ්න ගැන අහන්න.  

ඉගෙන ගන්නයි, බැනුම් අහන්නයි දෙකක් බෑනේ. මන්දනාට නම් මොබයිල් ෆෝන් එකක්ම තියෙනවා. මම කවදාවත් අම්මලගෙන් ඒව ඉල්ලලා නෑනේ. 

” මේගොල්ලන්ට නම් පිස්සු …..පිස්සුවෙත් හොදම එක  “

 

වෙලාව රෑ 7ට 20යි. ඔන්න අප්පච්චිගේ බයිසිකලේ සද්දේ ඇහෙනවා. මල්ලි නම් අප්පච්චි කන්න ගේන්නේ මොනවද බලන්න තාමත් ඉස්සරහට දුවනවා. මමත් ආසයි,  ඒත් මම ඒ දිවිල්ල නතර කරලා ටික දවසක් වෙනවා. මොකද ඔය ගේන දෙයක් දීලා, අප්පච්චි ඉස්සරහා පුටුවේ වාඩි වෙලා අපේ විස්තර අහන එක නෙමෙයි කරන්නේ.

” මෙන්න සවිරු විස්කිරිඤ්ඤා ….දැන් එකක් දහයක් වෙනවනේ….ඉස්සර නං එකක් සත පහයි..අපේ අප්පච්චිලා මෙහෙම නිකං ගෙනත් දෙන්නේ නෑ…..අපි හරක් දක්කලා, තණකොළ කපලා, ඔක්කොම වැඩ කලහම ඔන්න අපේ අප්පච්චි අපිට සතයක් දෙනවා ….

ඒකත් දවස් ගානක් එකතු කරල කන්න ලැබෙන්නේ එක විස්කිරිඤ්ඤයයි. උඹලට නම් සැප වැඩියි. ” 

ඔන්න අපේ මල්ලි විස්කිරිඥ්ඥා කන්න ගිහින් අහගන්න දේවල්. අප්පච්චිට දැන් අවුරුදු පනහයි. ඒ උනාට අවුරුදු හතළිස් පහකට කලින් ඒවා තමයි හැම වෙලාවෙම දොඩවන්නේ. (always living in the past )

මට නම් විස්කිරිඤ්ඤා කියන්නේ පේන්න බැරි කෑමක්.

මගේ O/L  ප්‍රතිඵල A7 යි B 2 යි. විද්‍යාවයි ගණිතයයි කොහොමත් තිබ්බේ පේන්න බැරි ගොඩේ වුණත් මට ගණිතයට A යි,  විද්‍යාවට B යි අර ගන්න පුළුවන් වුණා. මම ආසම විචාර ලියන්න. කථික තරග වලත් ටීම් ලීඩර් උනේ මම. මම හීන දැක්කේ නීතිඥයෙක් වෙන්න. ඒ කළු ලෝගුව ඇඳගෙන ගැම්මෙන් ඇවිදගෙන යන හීනේ අම්මයි අප්පච්චියි බොහොම ලස්සනට බොඳ කරලා දැම්මා. අපේ අම්මා, අප්පච්චිට මුලින්ම හැදුනේ දොස්තර-ඉංජිනේරු පිස්සුව.  තාත්තගේ ඔෆිස් එකේ ශාන්ත මාමගෙ දුව, ජනනි අක්කා මෙඩිකල් කොලෙජ් ගිය එක තමයි එයාලගේ ඔළුවේ වැඩ කළේ . මට බයෝ සයන්ස් හරි කම්බයින් මැත්ස් හරි තෝරගන්න කියලා දීපු වදයක්. විද්‍යාවට B ආපු එකට දෙවියන්ට මම පින් දුන් එදා.

” ජනනි අක්කා දොස්තර උනහම ලෙඩ්ඩුත් එපෑ…බෙහෙත් කරන්න..මම ලෙඩෙක් වෙන්නම් එතකොට ඉවරනේ ” මම එහෙම කිව්වම අම්මා මගේ කම්මුලට ගැහුවා.  

” කට වාචාලකමට කියවන් එනවද? උඹ කවුරු කියලද හිතන් ඉන්නේ ? ” කියලා ඇහුවේ අපේ අම්මා. ( speaking authoritatively )

අප්පච්චි නම් කිව්වේ ” මුන් දරුවො නෙමෙයි මරුවෝ … අනේ උඹ කලා විෂයන් කරලා කොරයි අපිට…උඹට පුළුවන් කලාව..” කියලයි. ( negative talk and approach ). මට මැරෙන්න තරම් දුක හිතුණා . අන්තිමේ මම කොමර්ස් කරන්න හිත හදාගත්තා. පුදුම අම්මෙකුයි අප්පච්චි කෙනෙකුයි මට ඉන්නේ.

 

අපේ මල්ලි නම් අනේ මන්දා . අපේ අම්මලා එයාට කියන ඒවා, එයාට තේරෙනවද කියලා මට හිතාගන්න බෑ. ගෙදරට කවුරුහරි ආව ගමන්, මල්ලිව ළඟට අරන් අප්පච්චි පටන් ගන්නවා වරුණාව. ” මේකා තමයි මගේ නමයි, පරම්පරාවයි ඉස්සරහට ගෙනියන්න ඉන්න එකා..මගේ කොල්ලා..මූට  තමයි මේ ගෙවල් දොරවල් ඔක්කොම “

අපේ මල්ලි නමයි, පරම්පරාව ගෙනියන එක ගැන හිතන් ඉන්නේ වාහනයක් ඩ්‍රයිවින් කරනවා වගේ ලේසි වැඩක් කියලා. අනේ එයාට තේරෙන පරම්පරාව. සමහරවිට එයා හෙනම උජාරුවෙන් ඉන්නේ, මේ ගෙවල් දොරවල් ඔක්කොම එයාට දෙනවා කියපු නිසා වෙන්න ඕන. එතකොට මේ අමායා රන්සරණි වනිගසූරිය කියන්නේ අනාථ ළමයෙක්ද? ඕව හිතලම මගේ ඔලුව විකාරයි.  ( not explaining properly ). නම ගෙනියන්නේ අපේ මල්ලි නම්, මට මොන කෙහෙල් මලකටද වනිගසූරිය කෑල්ල? 

මීට පස්සේ  මම නිකම්ම අමායා රන්සරණි.

 

ගිය සතියේ මගේ අතින් මගේ පිඟාන බිඳුණා. ඒක වුනේ බ්ලැකීට මාළු කෑල්ලක් දාන්න එලියට ගිය වෙලාවේ. බ්ලැකියා මාළු කන්න හදිස්සියට මගේ ඇඟේ එල්ලුනා. බ්ලැකී කියන්නේ අපේ බල්ලා. මේ වැහි දවස්වල පේමන්ට් එකේ වතුර පිරිලා. ඉතින් මම ලෙස්සලා යන එක අහන්නත් දෙයක්ද?  ආපෝ…එදා ඉරිදා. අපේ අම්මා ගෙදර උන්න දවසක්ම බලල මගෙ පිඟාන බිඳුණේ නම්  මගේම නරක වෙලාවට. 

” ආ.. බිඳලා විනාස කරපන්… මොකෝ අතින් පයින් යනවා කියලද?….එකක් ඇරෙනකොට  එකක් ගේන්න ඉන්නවනේ ඉතින්…”

ඔන්න අම්මාගේ කෑගැහිල්ල . ඒ උනාට ඊයේ පෙරේදා අම්මගේ අත බැරිවෙලා, එයා ආසම කරන පෝසිලෙන් පිඟන් හතරක්ම බිඳුනා. කෝ කවුරුත් බැන්නයෑ ( not accepting mistakes in front of children ). එක අතකට ඉතින් එයා වියදම් කරල ගෙනාපු දේවල්නේ. මට බැන්නට නම් හොදම වැඩේ.  

 

කවුරුහරි, කවදහරි මේවා කියෙව්වොත් හිතාවි මම මහ නරක ගෑනු ළමයෙක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. අම්මයි අප්පච්චි දැකපු ලෝකෙන් බාගයක්වත් මම තාම දැකලා නැහැ. හැමදේම ඉගෙන ගන්න මට තව කාලයක් ඕන. අම්මයි, අප්පච්චියි අපිට බැන්නට, එයාලා අපිට ආදරේ ඇති. ඒත් කවදාවත් කියල නම් නැහැ ( no communication with children ). වැරැද්දක් කරහම බැන්නට කමක් නැහැ. වැරැද්දක් ඇතුවත් නැතුවත් බැනුම් අහන්න මටනම් බෑ. මට ගොඩක් වෙලාවට මම ගැනම දුකක් දැනෙනවා. මම තනිවෙලා මට කවුරුත් නෑ වගේ හැඟීමක් දැනෙනවා. අම්මා අන්තිමට මගේ ඔලුව අත ගෑවේ කවදද කියලා මට මතක නෑ. රස්සාත් එක්ක ඒගොල්ලො හරිම කාර්යබහුලයි. ඒත් එයාලගෙ වෙහෙසයි, මහන්සියයි මගෙයි, මල්ලිගෙයි පිටින් යවනවට මම ආස නෑ.  අම්මට රසම කෑම හදන්න බැරි උනාට මට දුකක් දැනෙන්නෙ නෑ. අම්මට මට කවන්න බැරි උනාට දුකක් දැනෙන්නෙත් නෑ. ඒත් අම්මාටයි අප්පච්චිටයි බැරිද පුංචි වෙලාවක් මාත් එක්ක කතා කර කර ඉන්න. මට ගෙදරක් නෑ වගේ දැනෙන හැඟීමට මම වෛර කරනවා.  අම්මලාගේ ඇඟේ දැවටි දැවටි ඉන්න මගේ යාළුවන්ට මම ඊර්ෂ්‍යා කරනවා. මම වෙන මොනවා කරන්නද? මට ඕනේ හොඳට ඉගෙනගෙන ඉක්මනින්ම මේ ගෙදරින් පිටවෙලා යන්න. එතකොට මම මෙයාල ගැන හිතන්න ඕන නෑනේ.

ඔව් මම අමායා රන්සරණි  විතරක් උනාම හොඳටම ඇති.

 

ඔබට ඔබව මඟ හැරෙන තැන ඔබේ දරුවන්ද මඟ හැරෙනු ඇත. හොඳම මල් පිපෙන දීර්ඝ වසන්ත කාලය පටන් ගන්නේ අදය. අද හොඳම දවසය.

දෙමව්පියන්ට ආදරයෙනි. 

ඩොල්පින් මවුවරුන්ගෙන් ඉගන ගනිමු.

තම දියණියන් දැඩි දඬුවමින්ද , අතුල්  පහරවලින් ද, කෝටු කසායෙන්ද මට්ටු කරන්නට තැනූ පියෙක්ට , තම දියණියන්ගේ ආදරය තමන්ගෙන් ගිලිහී යාම ගැන හාංකවිසියක්වත් දැනගන්නට ලැබුණේ නැත.

දිනපතා තම දියණියන්  වාචිකව පීඩාවට පත් කළ, අන් අයගේ දරුවන් සමඟ සංසන්දනය කළ , නිතර පරිභවයට ලක් කළ මවකට දියණියන්ගේ චිත්ත පීඩාවක් හෝ මානසික අරගලය ගැන හාංකවිසියක්වත් දැන ගන්නට ලැබුණේ නැත. ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අඩු ලකුණු ලබා ගන්නා නමුදු චිත්‍ර කර්මය උපන්ගෙයිම පිහිටා තිබූ පුතුගේ පින්සල්ද, පාට පැන්සල්ද, චිත්‍ර පොත්ද ,මිදුලට වීසි කළ තාත්තාට සහ එයට අනුබල දුන් අම්මාට, පුතුගේ මානසික බිඳවැටීම  දැනගන්න ලැබුණේ නැත.

ආදරය වෛරයකට හැරවෙන පුංචි වැට සීමාව තමන් අතික්‍රමණය කර ඇති බව ඒ දෙමාපියෝ දැන ගන්නා විට අශ්වයා ස්ථාලයෙන් පැන ගොස් තිබිණි. 

ජීවිත වල වටිනාකම් ඔට්ටුවට තැබූ පෘථිවිය නම් සූදූපලෙහි අති ධාවනකාරී ජීවිතය අභිමුවේ, හිමිවන වටිනාකම්වලට වඩා අහිමි වූ මානුෂික වටිනාකම් ඉතා විශාල බව අප තේරුම් ගත යුතුය. ජීවිතය අසීරු වන්නේ ඔබට සහ මට පමණක් නොවේය.සියල්ලන්ටමය. වෙනස් කළ නොහැකි පොදු ධර්මතා හැරුනු කොට අනෙක් සියල්ල අපට වෙනස් කළ හැකි බව හෝ කළ හැකිව තිබුණු බව දෙමව්පියන් වන අපි තේරුම් නොගන්නේ ඇයි?

අපි ඒ ගැන කතා කරමු.

හැම මවක්ම, හැම පියෙක්ම දරුවාගේ මුල් ගුරුවරු ලෙස පිළිගැනෙන නමුදු ඔවුන් විසින් ඒ තනතුර නිසි ලෙස හසුරවනවාද යන්න විවාදිතය.

විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් පළ කරන හොඳම අදහස වනුයේ ,ඔබ හොඳ දෙමව්පියෙක් වෙන්නට නම් ඩොල්ෆින් මාළුවන් ගෙන් ඉගෙන ගත යුතු බවයි. 

සමාජශීලී, සහජ බුද්ධියක් ඇති, ජව සම්පන්න බවින් යුක්ත, ඉතා ප්‍රබෝධමත්, විනෝදකාමී ක්‍රීඩාවට බර ඩොල්ෆින් මාළුවා බොහෝ හැගීම් වල දී මිනිසාට ඉතාම ආසන්න සමානකම් දක්වන බව විද්වත් මතයයි. තම පැටියා ඉපදුන පළවෙනි මොහොතේම ඩොල්ෆින් මව තම දරුවා ගේ ගුරුවරයා බවට පත්වීමට කටයුතු කිරීම, සහජයෙන්ම අරඹන අතර ඉතා ආදරණීය සහ සාමකාමී කුඩා ජීවියෙකුගේ වර්ධනය  එතනින් පටන්ගැනෙන්නේය.

 

 

  •  අසමාන ඉවසීම 

 

ඩොල්ෆින් මාළුවන් නිතරම සිටින්නේ සතුටිනි. තම කුඩා පැටවුන් සමග ගැඹුරු දිය හා නොගැඹුරු දියේ ගිලෙමින් පාඩම් උගන්නන්නේ සෙමිනි. තම පැටවා සියල්ල ග්‍රහණය කර ගන්නා තුරු අසමාන ඉවසීමෙන් සිටීමට මේ ක්ෂීරපායි සත්වයා දනී  නම් ඉතා උසස් මනසක් ඇති මනුෂ්‍යයාට ඉවසීමට නොහැක්කේ ඇයි? ඔබේ පුංචි දරුවන් වැරදි වැරදි හෝ නිවැරදි දේ කරන තුරු ඉවසා සිටින්න . මන්ද ජීවිතය පාඩම් උගන්වන්නේ මන්දගාමීවය. ඔබේ අසමාන ඉවසීම, අනාගතයේ ඉතා සංතුලනාත්මක ජීවියෙක් මහපොළොවට දායාද කරනු ඇති බව අපේ විශ්වාසයයි.

 

 

  • නිවැරදි සන්නිවේදනය

 

ඩොල්පින් මව්වරුන්ට ඉතා  විශිෂ්ට මට්ටමේ සන්නිවේදන පද්ධතියක් ඇත. තම දරුවන් කිලෝමීටර් ගණනක් ඈත මහ මුහුදේ ගැඹුරු දියේ සිටියත් ඔවුන් හා සන්නිවේදනය කිරීමට ඩොල්පින්  මව්වරුන්ට හැකියාව ඇත. ඔබ ඔබේ දරුවා සමඟ හොඳින් සන්නිවේදන කාර්යය සිද්ධ කරනවාද? ඔබේ දරුවාගේ සිතැඟි සහ ආශාවන් ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද

තාත්තාගේ ආදරය කොන්දොස්තරගේ ඉතුරු සල්ලි වගේ, තියෙනවා කියලා දන්නවා නමුත් ඉල්ලන්නේ නැහැ, කොන්දොස්තර දෙන්නෙත් නැහැකියා කියමනක් සමාජ මාධ් වල සංසරණය වනවා ඔබ දැක ඇතැයි සිතමු. ඔබ ඔබේ දරුවන්ට ආදරේ බව අවසානයට කීවේ කවදාද? ඔවුන්ට අවශ් මොනවාද? ඔවුන් යම් ගැටලූවක සිටිනවාද ? කියා ඔබ අවසානයට තුරුලට ගෙන ඇසුවේ කවදාද? දරුවන් සමග හොඳ සන්නිවේදන පද්ධතියක් ඇති කර ගැනීමෙන් ඔබ අනාගතයේ වඩා හොඳ සවන් දෙන්නෙක් මේ සමාජයට මුදාහරිනු  ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

 

  • නම්‍යශීලී සහ ක්‍රීඩාශීලී බව 

 

ඩොල්පින් මව්වරුන් නිතර සතුටින් ඔවුන්ගේ දරුවන් සමඟ ක්‍රීඩා කරති. මහා ගැඹුරු දියඹේ ජීවිතය අනලස්ව පවත්වාගෙන යෑමට ඔවුහූ දරුවන්ට දිරි දෙති. ඔබ ඔබේ දරුවාගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමට සහ එමගින් ඔවුන්ගේ සංඡානන කුසලතා සහ ක්‍රියා ( cognitive skills and tasks) වර්ධනය කිරීමට දවසේ කොපමණ කාලයක් වැය කර තිබේද?  පුංචි තේරවිල්ලකින්, පුංචි පද පෙරලීමකින්  පවා දරුවෙකුගේ පරිකල්පන ශක්තිය ගොඩ නැගිය හැකිව තිබූ බව ඔබ විශ්වාස නොකිරීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් නැත.

ඔබේ දරුවාගේ ඉල්ලීම් සහ ඔහුගේ හඬට ඔබ කොයි තරම් දුරට අවධානය යොමු කරනවාද? දරුවන් තම යහළුවන් සමග කෙළිදෙලෙන් ගතකිරීමට  ඔබෙන් කරන පුංචි ඉල්ලීමක් ඔබ ඉතා නපුරු විදිහට බැහැර කරනවා නම් ඔබ  කරන්නේ වැරැද්දක් බව ඔබ තේරුම් ගත යුතුය . ඉතා කුඩා දේ කෙරෙහි ඔබ මවක් හෝ පියෙක් ලෙස නම්‍යශීලී  වීම තුළින් දෙන ආදර්ශයෙන් සහකම්පනය ඇති යහපත්  පුරවැසියකුට  අනාගත ලෝකයේ දොර කවුළු විවර වෙනු ඇත .

 

 

  • යහපත් සමාජ සම්බන්ධතා 

 

ඩොල්ෆින් මව්වරුන් සැමවිටම තමන්ගේ පුංචි පැටවුන්ට, අනෙක් ඩොල්ෆින් පැටවුන්ගේ මව්වරු සමග මුහු වීමට ඉඩ ලබා දෙති. අප සමාජයේ බොහෝ මව්පියවරුන් අනෙකාගේ දරුවන් පරයා තම දරුවන් ඉදිරියට යැවීමට ඉතා තරගකාරී සහ සංකීර්ණ ජීවිතයකට අවතීර්ණ වී සිටිති. ඒ බොහෝවිට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි ඉතා පටු මහා කුරිරු හැඟීම් වලිනි. ජයග්‍රහණයට වඩා සෑම විටම සහභාගිත්වය වැදගත් බව ඒත්තු ගන්වනු විනා, සෑම විට ම අනුන් පරයා නැගෙන මිනිසෙකු වීමට ඔබේ කුඩා දරුවාට දිරිදීම ඔබ නොකළ යුතුය. මන්ද යහපත් සමාජ සම්බන්ධතා සම්බන්ධතා වලට නිතරම දරුවන්ට දිරි දීම තුලින් හොඳ මිතුරෙකු වීමට, හොඳ අසල්වැසියෙකු වීමට සහ යහපත් පුරවැසියෙක් වීමට මග පෙන්විය හැක්කේ ඔබට පමණක් වීම නිසාය.

 

 

  • ස්වාධීනව වැඩීමට  සැලැස්වීම 

 

ඩොල්ෆින් මවුවරු තමන්ගේ පැටවුන් ආරක්ෂා කරන අතරම ස්වාධීනව පිහිනීමට සහ දිය ගැඹුරේ ජීවිතය මනා  ලෙස  අවබෝධ කර ගැනීමට ඉඩ දෙති. තනිව සිතීමට ,ඒ අනුව ක්‍රියා කිරීමට කුඩා කාලයේ සිට ඔබේ දරුවාට දිරි දෙන්න. ඔහුට හෝ ඇයට නොදැනෙන සියුම් ආරක්ෂිත පවුර ඔබ වෙන්න. ඔ දරුවන්ගේ සියලුම කටයුතු වලට ඥානිකව හෝ අවිඥානිකව මැදිහත් වීමෙන් වැළකෙන්න. එමගින් දරුවාගේ පෞරුෂ වර්ධනය මනා ලෙස සිදු වන බව ඔබ විශ්වාස කරන්න ඉගෙන ගන්න. මන්දයත් අනාගතයේ  අපට අවශ්‍ය ඉතා කෙළින් තීරණ ගන්නා ස්වාධීන පෞරුෂයන් පමණක් වන නිසා ය.

ලෝකය ඔබට අවශ්‍ය වෙන තැනක කිසිදා නවතින්නේ නැත. නවතින්නේ මනුෂ්‍යයන් වන අපය. ඒ නිසා අපේ සිහින දරුවන් තුළින් සැබෑ කරගැනීමට උත්සාහ කරනු වෙනුවට දරුවන්ගේ සිහින වර්ණ ගන්වන්නට අපි උත්සුක වෙමු. මන්ද දරුවන් යනු අනාගතයය. දරුවෝ යනු දෙව්ලොව සිට මෙලොවට එන උත්තම පණිවිඩකරුවෝය. ඔවුන්ගේ මිහිමත කාර්යයන්  වෙනුවෙන් වැඩිහිටි අප, අපගේ පූර්ණ සහයෝගය ඔවුන්ට ලබාදිය යුතුය. ඔබ ගසක් සිටවන්න, පොතක් ලියන්න, ඒ සියල්ල අවසානයේ යහපත් දරුවෙකු ලෝකයට දායාද කරන්න.

සියලු දරුවන්ට ආදරයෙනි.

හොඳ දෙමව්පියන්ගේ ලැයිස්තුවට එක් වෙන්න

දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට තවත් නැහැ.ඒ නිසාම දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුනත් දෙන්න තරම් දෙමව්පියන්ගේ කැපවීම විශිෂ්ටයි. ඒත් ඔබ නොදැන සිදු වෙන යම් යම් වැරදි නිසා ඇත්තටම ඔබ හොද දෙමව්පියන්ගේ ලැයිස්තුවට ඇතුලත් කරන්න අපහසු වෙනවා.

 

පමණට වඩා ආධිපත්‍යත් එපා

දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ පාලනයක් අවශ්‍ය බව සැබෑ වුනත් මෙය අනවශ්‍ය අන්දමින් ඒකාධිපති පාලනයක් නොවිය යුතුයි.දරුවන්ටත් තමන්ගේ අදහස් උදහස් බෙදා ගැනීමට හැකි ,ඔවුන්ගේ අවශ්‍යතාවයන් නොබියව පැවසීමට සහ දුක වේදනාව බෙදා හදා ගැනීමට සූදානම් දෙමව්පිය න් සැබෑවටම හොඳ ලැයිස්තුවට ඇතුලත් වෙනවා.

 

මුදල් පාලනය ගැන කියා දෙන්න

දරුවන්ට මුදල් ගැන කිසිම වටිනාකමක් නැහැ. ඒ නිසා නාස්තිය ඔවුන්ගෙන් පටන් ගැනීමට පෙරාතුව නිසි විදිහට මුදල් කළමනාකරණය කරන අන්දම ගැන දරුවන්ට කියා දීම ඉතාම වැදගත්. මේ ආදර්ශය දරුවා ඉගෙන ගන්නේ අම්මා තාත්තාගේ මුදල් හසුරුවන රටාව ගැන ලබන අත්දැකීමෙන් නිසා සාර්ථක දෙමව්පියන් ලෙස ඔබ දරුවන්ට මුදල් කළමනාකරනයේ මුල් පාඩම් ගැන දැණුවත් බව ලබා දීම ඉතාම වැදගත්.

 

පක්ෂපාතීත්වය එපා

දෙමව්පියන්ට තමන්ගේ ලෙසින් මසින් සදන දරුවන් එක සමානවම වැදගත්.ඒ නිසා කිසිම වියෙක එක් එක් දරුවන් වෙනුවෙන් විවිධ විශේෂතාවයන් පෙන්වන්න එපා.සමහර විට පොඩි දරුවාට..එහෙම නැත්නම් පරපුර ගෙනියන්න සිටින පුතාට විශේෂතාවයන් දැක්වීම මව් පිය චරිතයට ගැලපෙන්නක් නොවෙයි. ඒ නිසා ඔබ නිතරම කිසිම දරුවෙකු වෙනුවෙන් විශේෂත්වයක් දක්වන බැව් දරුවාට දැනෙන්න ඉඩ තබන්න එපා. දරුවෙකුගේ හදවතේ එවන් සිතුවිලි ගොඩ නැගෙනවා යනු ඔබ හොද මව්පිය භුමිකාවක් නිර්මානය නොකල බවට සාක්ෂියක්.

 

නොසලකා හැරීම

ඉතිං ඔබ මේ නොසලකා හැරීම  කරන්නේ හිතා මතා නොවෙයි.සමහර විට මේ ගැන ඒ තරම් සැලකිය යුතු දෙයක් තිබෙන බවත් ඔබට නොසිතෙන්න ඇති.සමහර විට දවසේ වෙහෙස මහන්සිය නිසාම වෙන්නත් පුලුවනි.එහෙම නැත්නම් තවත් බාල දරුවන් වෙනුවෙන් යොමු වෙද්දී වැඩිමහල් දරුවා ඔබට කරදරයක් ලෙස දැනෙන්න පුලුවනි. නමුත් ඔබ විසින් දරුවා නොසලකා හරිනවා නම් ඔබ හොඳ දෙමව්පියන්ගේ ලැයිස්තුවෙන් ඉවත් වෙනවා.

 

වාචසික අපයෝජනය

දරුවන් අපයෝජනයට පත් වෙන්නේ  ශාරිරිකව පමණක් නොවෙයි.වාචසික වශයෙන්ද දරුවන් අපයෝජනයට පත් වෙනවා. සමහර විට ඔබ මේ වචන කියන්නේ හදවතින් නොවෙන්න පුලුවනි. ඔබේ වචන දරුවාගේ හදවත පසාර කර ගෙන යන්න තිබෙන ඉඩ ගැන දෙමව්පියන් විදිහට ඔබ දන්නේ නැහැ. ඒ නිසා නිතරම දරුවා වාචසික ලෙසින් අපයෝජනයට පත් කරන දෙමව්පියන් හොදයි කියලා කියන්නේ කොහොමද..?

වැරදි ආදර්ශ

අම්මා, තාත්තා වැරදි කරමින් දරුවන් යහමගට යොමු කරන්න බැහැ.ඒ නිසා නිතරම වචනයෙන් කියන්නා වගේ දෙමව්පියන්ගේ ආදර්ශය අවවාදයට වඩා උතුම්.ඒ නිසා දෙමව්පියන් විදිහට නිතරම දරුවන්ට ආදර්ශමත් වීම වැදගත්.ඇදුම් පැළඳුම්, කථා බහ, ආචාරශීලිත්වය යන හැම අතින්ම දරුවන්ට ආදර්ශමත් වීම ඉතාම වැදගත් දරුවන්ට ආදර්ශමත් නොවන දෙමව්පියන් අයත් වෙන්නේ නරක යන ලැයිස්තුවටයි.

 

දරුවන් විශ්වාස කිරීම

දරුවන් සියයට සියයක් විශ්වාස කිරීමට අපහසු බව ඇත්ත. ඒ වුනත් දෙමව්පියන් විදිහට ඔවුන් විශ්වාස කරන බවත් ඒ විහ්වාසය ආරක්ෂා කිරීම දරුවන්ගේ යුතුකම බවත් පැහැදිලිව කියා දෙන්න.එසේ නොමැතිව මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ..යන සංකල්පයෙන් දරුවා දෙස බැලීම එතරම් සුදුසු නැහැ.ඒ නිසා දරුවා විශ්වාස කරන බව පෙන්වීම සමග වටපිටාවෙන් මේ ගැන විපරම් කිරීම හොඳ දෙමව්පියන්ගේ හැකියාවක්.

 

අලුත් තාත්තාගේ දිනපොතෙන්….

අලුත් තාත්තාගේ දිනපොතෙන්….

 

ජුලි 20 :  

අද මට දුවෙක් උපන්නා…

රෝහල් ගවීම කියන්නේ මගේ ශබ්දකෝෂයේ අඩුවෙන්ම පාවිච්චි වෙච්ච වචනයක්. මං හිතන්නේ අචිනිට දරුවා ලැබෙන්න ආවට පස්සෙ තමයි මම වැඩියෙන්ම රෝහල් වල කරක්ගහන්න පටන් ගත්තේ. දරුවා ලැබෙන්න අපි තෝරගත්ත පුද්ගලික රෝහලේ,  සූතිකාගාරයට මට යන්න පුළුවන් කියලා දැනගත්තම, ඇත්තටම මම ටිකක් බයත් වුණා. මොකද  මං මළාට ඕකකට ගිහිල්ල නෑනේ.

කොහොමටත් අචිනිගෙ අත අල්ලන් එයා ළගින් ඉන්න මට ඕන උනා (Hand holder).  අද දවල් සූතිකාගාරයේ සිද්ධ වෙච්ච දේවල් මට හීනයක් වගේ. මම අචිනිගෙ ඔලුව අතගෑවා. සූතිකාගාරයේ දිලිසෙන විදුලි පහන් , හිත අධෛර්යමත් කරන හිස් සිවිලිම දිහා බලාගෙන අචිනි හිටියේ වෙනම කල්පනාවක. ඇස් දෙකේ කඳුලු පිරිලා දිලිසෙනවත් මම දැක්කා. “අචී..අපේ පැටියා එන්නයි යන්නේ මොනවද කල්පනා කරන්නේ ?” මම ඇයගේ කණට ළං වෙලා මුදු හඬින් ඇහුවා. සද්ද කරන්නත් බෑනේ. අවුරුදු හතක අපේ ආදර කතාවේ අචිනි කැළඹෙන, නොකැළඹෙන  තැන් හරියටම කියන්න මම දැනගෙන හිටියා. 

මගේ ඇතුළාන්තයෙන් මමත් හොඳටම කැළඹිලා හිටියේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අචිනිව ටිකක් සනසවන්න ඇයගේ කණට ළං වෙලා…. “දීපු  IV fluid එක නිසා සීතලක් හැදෙන්න පුළුවන්” කියලා කිව්වේ ඇත්තටම වෙන මොකක්වත් කියන්න  ඔළුවට ආවේ නැති නිසා.  “ඔන්න දැන් පටන් ගන්නයි යන්නේ ” ( Information giver ) මම එහෙම කිව්වට මට ඇත්තටම කිසි දෙයක් පෙනුනෙ නෑ. මැද්දෙන් දාපු තිර රෙද්ද නිසා. මගේ මොකෝ , මං එක අතකට මොනා හරි කියන්න  උත්සාහ කළානේ. 

ටික වෙලාවකින් ” මහා ඇඬුම් සද්දයක්” , “මගේ කෙල්ල ආවා වගේ.. ” මම කලේ අචිනිගේ අත තව තද කරලා අල්ල ගත්ත එක. කොළ රෙද්දකින් ඔතපු ලේ කැටියෙක්ව මගේ මූණට ලං කරද්දි  (Skin to skin contact ) මම ගැස්සිලා ගියා. මම හිතුවේ පැටියාව එකපාරටම අචිනිට දේවි කියලා.

එතනින් එහාට හැමදේම  හීනයක්. ජීවිතේ තියෙන තුරාවට මම බැඳුණු මේ වගකීමට මම ආදරය කරාවි. ඔව් ජීවිතේ තියෙනකම්ම !

 

ජුලි 22:

අචිනියි දුවයි ගෙදර ආවා. තාමත් මම ආධුනික තාත්ත කෙනෙක් . හැබැයි අචිනි අම්මෙක් වෙන එක ලේවලටම කැවිලා. මං හිතන්නේ සංසාර පුරුදු . පවුලේ ප්‍රධාන උපයන්නා වුනේ මම (Bread winner). දැන් දුවගේ  සම්පූර්ණ අනාගතයේම තියෙන්නෙ මගේ අතේ . 

තාම පුංචි දුව රෑ තිස්සේ අඬනවා , සැරින් සැරේට අඬනවා. තාම අචිනිගෙ මැහුම්  වේලිලාත් නැති නිසා අචිනිට උදව් අවශ්‍යයි. ඒ නිසා මේ දවස් වල අචිනිගෙ අම්මා ඇවිල්ලා ඉන්නවා. එයා නරක කෙනෙක් නෙමෙයි . ඒ උනාට දුව  පොඩ්ඩක් අඬපු  ගමන් කාමරේට දුවගෙන එන්නේ ලෝකෙ පෙරලෙනව වගේ. මම දුව වඩාගන්න හදන හැම පාරකම, අපේ නැන්දම්මා කෑගහන්නෙ “හෝව්.. හෝව්….දරුවා වැටෙයි ” කියලා. පොඩි දරුවෙක් අල්ලන්නේ පලවෙනි වතාවට තමයි,  ඒ  උනාට මම නේ දුවගේ තාත්තා ( Feeling withdrawn and sulky). 

මට කේන්ති යනවා ඉතින්.  ඒ උනාට අත්දැකීමක් තියෙන කෙනෙක් අචිනිගෙ උදව්වට ඉන්න එක මේ වෙලාවේ ලොකු දෙයක්. ( Having experienced hands on duty).

 

ජුලි 23:

අචිනි තාම ඉන්නේ අමාරුවෙන්. එයාගෙ අපහසුකම් මට නොතේරෙනවා නෙමෙයි. එයාව පහසුවෙන් තියන්න පුළුවන් හැම උපරිම දේම කලත් එයාගෙ කායික වේදනාව හරි තෙහෙට්ටුව හරි  මට ගන්න බැහැනේ.  

යාලු මිත්‍රයන්ගේ  සුබපැතුම් වලින් මගේ දුරකථනය පිරිලා. අචිනිගෙ දුරකතනයටත් කිසිම නිවනක් නෑ. දුව බලන්න එන්නම අහනවා. ඒත් ඒක ටිකක් අපහසුයි. අචිනි දුවට නිතරම කිරි දෙන්න ඕනේ. එයා ඇඳන් ඉන්නේ එයාට පහසු ඇඳුම. දුව තාම හුඟක් පුංචියි. මව්කිරි දීම් සැසි වලට  (Breastfeeding classes)  සහභාගි වුණ නිසා අචිනිට ඒකෙ ප්‍රශ්නයක් නම් ආවෙ නෑ. ඒත් ගෙදරට එන අමුත්තන් කළමනාකරණය කරගන්න තාම අපි ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නෙ. දුව පුංචි නිසා විසබීජ යයි, එයාට කරදරයක් වෙයි කියලා අපිට බයයි. ඒ නිසා දුව ඉපදුණු සතුට සමරන්න ඉල්ලන මගේ යාළුවන්ගෙන් මං පොඩ්ඩක් මේ දවස්වල ඈත් වෙලා ඉන්නේ (Reluctance to socialize with friends).

 

ජුලි 26:

මම දැන් දවස් කීපයක්ම රාජකාරියට නොගිහින් ගෙදර හිටියා. දැන් මම වැඩට යනවා. දුවයි, අචිනියි  එක්කම ඉන්න තියෙනවා නම් හොඳයි, ඒත් මම දෙන්නව බලා ගන්න එපෑ. අපේ දුව රෑට හැර ගෙන හිටියට මොකද දවල්ට නිදියනවා (Complete change of daily routine ). ඉතින් අසාමාන් විදිහට දවල් කාලයේ මගේ උද්යෝගිමත් ගතිය නැති වෙලා ගිහිල්ලා. අචිනිට නොපෙන්වා ඉන්න මම ගොඩක් උත්සහ කරනවා. මටත්, අචිනි ටත් දෙන්නටම වෙනසක් අවශ් වුණත් අපි අපේ අවශ්යතාවයන්, අපේ පුංචි දුව වෙනුවෙන් පොඩ්ඩක් අමතක කරලා ඉන්නවා (Life becoming unusually flat ).

 

ජුලි 27:

දුවට නම තිබ්බේ අනන්යා කියලාඑයා එයාටම අනන්‍යා  මනුස්සයෙක්  වෙන එක තමයි මගේ සතුට. වෙනුවෙන් පුළුවන් හැමදේම, මගේ උපරිමයම සිද්ධ කරන එක, මම මටම වෙච්ච පොරොන්දුවක්. පුංචි අනන්‍යා පපුවට තුරුල් කරගන්න හැමවෙලේකමයිඑයා සැනසීමේ නිදාගෙන ඉන්නවා දකින හැම වෙලාවකමයි, මගේ පපුව පුදුමාකාර ආදරේකින් පිරිලා යනවා. මං හිතන්නේ මගේ ඔක්සිටොක්සින්  ප්රමාණය  හොඳටම වැඩි වෙනවා ( Cuddle hormone). මගේ තාත්තටත් මාව මේ විදියටම දැනෙන්න ඇති නේද කියලා හිතෙනකොට මගේ තාත්තා ගැන තියන ආදරයයි ගෞරවයත් වැඩි වෙනවා.

ුව කවදා “තාත්තේ” කියලා මට කතා කරයිද? ඔව් මම මේ ලෝකෙ අහන්න කැමතිම වචනේ තමයි ඒක.  දුව අචිනි වගේ ලස්සන වේවි. ඒ උනාට කෙල්ලට ඇවිල්ල තියෙන්නේ මගේ කැරලි කොණ්ඩෙමයි. ඔව් ඉතින් මේ මල් බෝනික්කි අචිනිගේ විතරක් නෙමෙයිනේ මගෙත්නේ. 

මගේ දුවට මම කොයි තරම් ආදරේ කරත්, කෙල්ලට ජීවත් වෙන්න වෙන්නේ මේ නපුරු නරක දුෂ්ටකමින් පිරුණු ලෝකේ . මට මගේ කෙල්ල වෙනුවෙන් ඕනම අන්තයක සටන් කරන්න පුළුවන් උනත් , මම නැති දාක මගේ පුංචි  කෙල්ල ස්වාධීන ගැහැනියක් විදියට , මඩේ පිපුණු නෙළුමක් විදිහට මේ ලෝකේ සුවඳවත් කරයි කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මව් පිය සෙනෙහේ ඇට මිදුළු විනිවිද යනව කියපු කතාව ඇත්තක් බව මට ඔප්පු කළේ මගෙ පුංචි කෙල්ල.

මගේ දුවේ ! උඹ මගේ මල් වත්තෙ පිපුනු එකම හොඳම මලයි.

දියණිවරුන්ට ආදරයෙනි.

අකුරු උගන්වන්න කලින් ඔබ දරුවා සමග කලයුතු දේ …

දරුවෙක් ළදරු පාසලකට ඇතුලත් කිරීමේදී වුනත් අම්මලා අහන්නේ…නර්සරියේ අකුරු උගන්වනවද…?අනේ එහෙම නැත්නම් අකුරු උගන්වන එකක් හොයා ගන්න වෙනවා. දරුවාට අකුරු උගන්වන්න අම්මාට තිබෙන්නේ පුදුම ලහියක්.නමුත් දරුවාගේ ශරීර වර්ධනය සහ මොළයේ සංවර්ධනයත් සමග අකුරු ලිවීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.අකුරු නොලීවාට පෙර පාසල් වයසේ දරුවන් වෙනුවෙන් කළ හැකි ක්‍රියාකාරකම්  බොහොමයක් තිබෙනවා.

සෙල්ලම් කරන්න ඉඩ දෙන්න

දරුවන් සෙල්ලම් කරනවාට අම්මලා බොහොම බයයි. සෙල්ලමට වැටුනොත් දිනපතා පාසලේදීත් අකුරුට නොවෙයි..සෙල්ලමට හිත වැටෙයි කියන අනියත බිය අම්මලාට තිබෙනවා.නමුත් ඒ ගැන බියක් ඇති කර ගන්න එපා. සෙල්ලම තුලින් දරුවා ලබන අත්දැකීම් ඔබට හෝ වෙනත් ගුරුවරයෙකු ලවා දරුවාට ලබා දෙන්න ඔබට හැකියාවක් නැහැ.ඒ නිසා පුංචි හිතට සතුට සදන සෙල්ලම් ලෝකයට බාධා කරන්න එපා.

 

පාට කරන්න ඉඩ දෙන්න

පාට කුරක් පැන්සලක් ඇල්ලූ සැනින් දැන් ඉතින් බිත්ති විනාස කරයි කියලා පාට කුර දරුවාගෙන් ඉවත් කරන්න එපා.බිත්තිය අපිරිසිදු කරනවා නම් හිතේ තිබෙන සිතුවිලි නිදහසේ මුදා හරින්න තැනක් හෝ කොළයක්, පොතක් ඔවුන්ට ලබා දෙන්න. අකුරු නොලීවාට චිත්‍රයෙන් සහ එකතු කරන වර්ණ වලින් දරුවා බොහෝ දේ ඔබට කියනු ඇති.

 

රූප අලවන්න සහ කපන්න ඉඩ දෙන්න

පත්තරවලින් හෝ පරණ සගරා ආදියේ ඇති පින්තූර කපන්න වගේම නිදහසේ අලවන්න අවසරය දෙන්න. පින්තුරයක් කපන විට වගේම අලවන විට දරුවා ඒ වෙනුවෙන් අවධානයක්,සැලකිල්ලක් දක්වනු ඇති. ඒ වගේම පින්තුරය අලවා අවසානයේදී එයින් තෘප්තියක් ලබනවා වගේම බොහෝ දේ මේ පින්තූරයෙන් ඉගෙනීමටත් දරුවාට අවස්ථාව ලැබෙනවා. අලියා ගේ රූපයක් කපන විට දරුවා නොදැනීම අලියාගේ කණ්වල විශාලත්වය, සොඬවැලක් ඇති බව සහ තරබාරු සිරුර වැනි සංකල්ප බොහොම නිදහසේ ඉගෙන ගැනීමට යොමු වීම සැබෑම ආශිර්වාදයකි.

 

වතුර අල්ලන්න,මැටි අනන්න

වතුර ඇල්ලුවොත් හෙම්බිරිස්සාව හැදෙයි කියලා ඔවුන් වලක්වන්න එපා. වතුර සහ මැටි සමග සෙල්ලම් කරන විට දරුවාගේ හසුරු කුසලතාවයන් වර්ධනය වෙනවා.ඔවුන්ගේ නිර්මානශීලිත්වය අවදි වෙනවා.ඇඟිලි තුඩු ක්‍රියාකාරී වීමත් මේ සෙල්ලම් ඇසුරින් දරුවාට ලැබෙන වාසි සේ  සලකන්න.

 

නූලකට පබළු අමුනන්න

නූලක් හෝ වෙනත් දෙයකට සිදුරු ඇති ඇට හෝ පබළු ඇමිණීම නිසා දරුවා යම් කාර්යක් ඉවසීමෙන් හා අවධානයෙන් කිරීමට ඉගෙන ගන්නවා. හැබැයි දරුවා ඇට කටේ කනේ දමා ගැනීමට ඉඩ තිබෙන නිසා ඔබේ අවධානයත් වැදගත්.මේ කාර්යය බොහොම සෙමෙන් සිදු වීමත් සමග එය අවධානයේදී දරුවාට තමාගේ කාර්යය අවසානව සතුටට පත් වීමට පුලුවනි.

 

බෝල ඇල්ලීම

බෝල ඇල්ලීම වැනි ක්‍රිඩා නිසා දරුවා යම් දිශාවක් අනුව හැසිරීමට වගේම හාරිරිකව වෙහෙස වීම නිසා ව්‍යායාමයක්ද නොදැනීම උපයා ගන්නවා.

 

ප්‍රහෙලිකා  සවි කිරීම

ප්‍රහෙලිකා පිරවීම වැඩිහටියන්ගේ මානසික ව්‍යායාමයක් වන්නා සේම ප්‍රහෙලිකා සවි කිරීම දරුවන්ගේ මනසට හොඳම ව්‍යායාමයක්. ප්‍රහෙලිකා සකස් කරන විට යම් තාර්තික බවක් වගේම අවධානය දැක්වීම වැනි හැකියාවන් ගොඩ නැගෙනවා.

 

පරිසරය සමග විවිධ දේ අත්හදා බලන්න

දරුවන් කුඩා කාලයේ පටන්ම පරිසරය දකින්න වගේම විඳින්න හුරු කිරීම ඉතා වැදගත්. දකුණු කොරියානු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා දරුවන් පරිසරය විඳිම වෙනුවෙන්ම යම් යම් මධ්‍යස්ථාන වෙත රැගෙන යනවා. එහිදී ඔවුන් සති දෙකක් පමණ දරුවා නේවාසික කරනවා. ඒ කාලයේදී දරුවා ගහ කොළ,මල්,පළතුරු සමග ජීවත්වෙන අතර මෙම පරිසරයෙන් ලබා ගන්නා ආහාරපානවලින්ම කාලය ගෙවන්න සැලසුම් කරනවා. මේ නිසා දරුවන්ට මලක් පිපෙන,පරවෙන,කුරුල්ලෙක් ඉගිලෙන, බළලෙක් ඤාව් කියන පාරිසරික සංසිද්ධීන් ගැන අත්දැකීම් ලබා ගත හැකියි.

 

කුඩා දේවල් අහුලන්න

ඉස්සර කාලයේ නම් අම්මලා දරුවන්ට මිදුලේ තිබෙන වැටුන කොළ අහුලන්න, හාල්වල තිබෙන වී ඇට අහුලන්න වැනි කුඩා දේවල් අහුලන්න පුරුදු කළේ අධ්‍යාපන මනෝවිද්‍යාව දැනගෙන නොවෙයි.නමුත් පෙර පාසල් වයසේ දරුවන්ට කුඩා කුඩා දේ අහුලන්න පුරුදු කිරීම ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට යෝග්‍ය තත්වයක්.

 

ඒ තාත්තා ගබ්සා වීය…

 ඒ තාත්තා  ගබ්සා වීය…

සුළැගිල්ලේ එල්ලී පය නගන්නට එන සිඟිත්තෙක් නැති බවද, ක්‍රිකට්  සෙල්ලම උගන්නන්නට බලා සිටි පුංචිත්තා දැන් නොඑන බවද,  උරතලයේ නිදි ගන්වන්නට සිහින මැව් බටිති පැටියා සදහටම සුරඟනන් උර නිදන්නට තීරණය කළ බවද තේරුම් ගත් පළවෙනි නිමේෂයේම ඒ තාත්තා ගබ්සා වීය.

සියල්ලම සර්වසම්පූර්ණ බව ඇදහූ තාත්තෙක්,  තම සිඟිති මුහුණ නොපෙන්වා,  කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, මේ ගමන එන්නට බෑ කියා, යන්න හැරුන කුඩා ප්‍රාණියාගේ නික්ම යෑම අසා කැබළි වලට බිඳී ගියේය. එතැන් පටන් ඒ තාත්තා ගැබෙන් නික්මෙන කළලයක සියළු වේදනාද , රිදුම්ද අම්මා සමඟ එක්ව දරන්නට අදිටන් කර ගත්තේය. 

සෑම අම්මාවරුන් හතර දෙනෙක් අතරින්ම එක අම්මා කෙනෙකුට තම සුරඟන පැටියාගේ අත අතර මඟදී අතහැරෙන අති වේදනානාත්මක පරිච්ඡේදයේ අවසන් පේළිය ලියන්නට සිද්ධ වන්නීය. එනමුදු ඒ කුඩා අත අතහැරෙන සුරඟන පැටියාගේ තාත්තා කිසිදා උත්කර්ෂයට නැගුනේ නැත. කුඩා ජීවියාගේ අකර්මණ්‍ය හෘද ස්පන්දන සායනික සටහන තම හදවත පහුරු ගෑ බව ද , තමන් සතු සියලු පුරුෂ ධෛර්යයන් බල ශූන්‍ය  කළ බවද දැන දැනම අම්මාගේ අත තදින් අල්ලාගෙන සිටි ඒ තාත්තා,  ගැබ නොදරා ම ගබ්සා වීය.

හිත් පුරා මල් පිපුන ආදරණීය වසන්ත කාල බර ගණනකට පසු පැමිනෙන්නට සිටි අලුත් අමුත්තා යළි නොපැමිණෙන බව දැන් වූ නපුරු පුවතද, ඒ පුවතින් පසු එන දුර්භික්ෂ කාලයටද මුහුණ දෙන්නට හිත හදාගත් ඒ තාත්තා, කඳුළු රසක් දිවට නොදැනීම වැළැක්වීම මුහුණ පුරා වැවුණු දැලි රැවුලට බාර කළේය. 

අම්මාගේ හිත සනසවන්නට නැදිමලයාදීන් රැස් වීමෙන් අනතුරුව විවිධාකාර උපදෙස්, අවවාද, යෝජනා සහ චෝදනා වලින් අම්මාව වැසී යනු වැළැක්වීමට අපමණ උත්සහ ගත් ගබ්සා වූ තාත්තා ” ඔයා මෝඩයෙක් වගේ බලාගෙන හිටියේ ඇයි? ඒ මිනිස්සුන් දොඩවනකම්..ඔයාට ගානක්වත් නෑ” කියමින් අම්මා කරන චෝදනා දෙස ආත්මානුකම්පාවෙන් බලාසිටියේය.

කුඩා ප්‍රාණියාගේ හැරයාමෙන් පසු අම්මාගේ විටෙක රළු , විටෙක වේදනාත්මක, විටෙක අවුල්වී ගිය ව්‍යාකූල හැසිරීම් දෙස උපේක්ශාසහගතව බලාසිටිනු හැර ගබ්සා වූ තාත්තාට කළ හැකි වෙන අන් යමක් නොවීය (Relationship effects). තමන් නොසලකා හැරියාසේ දැනෙන හැඟීම මැඩලනු වස් කිරීමට කිසිදු දෙයක් නැති බව ඒ තාත්තා වටහා ගෙන සිටියේය . 

 

  • පරාජිත හැගීම
  • බිය
  • අවිනිශ්චිතභාවය 
  • මංමුලාව 
  • වරදකාරී හැඟීම
  • අවිශ්වාසය 
  • මානසික අවපීඩනය 
  • බිඳුනු මානසික ඒකාග්‍රතාව 
  • හුදකලාව 
  • පාලනයකින් තොර පෑරුණු හදවත 

 

පවා ඒ තාත්තාට තනිව දරා ගන්නට සිදුවිය.

 “පිරිමියෙක් උනහම අඩන්න නෑ ..අඬන්නේ ගෑනු විතරයි” යන සමාජය රීතිය කවදා, කොතැන, කොයි ලෙස බිහි වුණා දැයි නොදන්නාමුත් ගබ්සා වූ තාත්තා එයට වෛර කළේ ය (Emotional drain). හොඳ සවන් දෙන්නෙක් මේ මොහොතේ තමන්ට අවශ්‍ය බව තේරුම් ගත්තද තාත්තාට සිටියේ කුඩා ප්‍රාණියාගේ නික්ම යෑම සරලව සමීකරණ තුළට යොදා තුලනය කළ මිතුරන් පමණි. 

තමන් ඇදහූ කිසිදු විශ්වාසයකට, කුඩා ජීවියා ගේ ජීවිතය රැක ගන්නට නොහැකි වූ බව තේරුම් ගත් ඒ තාත්තා, දෙවියන් ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ” ඇයි මමම ? …ඇයි මටම?”. කිසිදා පිළිතුරක් නොලැබෙන බව දන්නා මූත් ඒ තාත්තා දිගටම ප්‍රශ්න කිරීම සිදුකළේය (Spiritual effect). අවසානයේ “ඔබ ගැන මට කිසිම විශ්වාසයක් නැතැයි” දෙවියන්ට චෝදනා කරමින් ඔහු සිතින් වැලපෙන්නට පටන් ගත්තේය.

ලෝකයේ 25% ක් තාත්තලා අතුරින් කිසිදා පූරණය කිරීමට නොහැකි හානියකට මුහුණ දුන් ඒ තාත්තා දහසකුත් එකක් හිත තුල යුධ වදින සිතුවිලි ( Mixed emotions) සමග තනිව අරගල කළේය. මේ තුවාලය සුව කළ හැක්කේ කාලයට පමණක් බව ඔහු හොඳින් වටහා ගෙන සිටියේය. පළමුව ප්‍රතික්ෂේප කිරීමෙන් ද (Denial), දෙවනුව සිත පුරා පිරී ගිය දැඩි උදහසකින්ද (Anger), නොපෙනෙන දේව යාතිකා, යැදුම්  සහ ආයාචනා බර ගණනකට පසුව ද (Bargaining), දැඩි මානසික අවපීඩනයකින් අඳුරු අගාධයකට ඇද වැටීමෙන් පසුව ද (Depression), අවසානයේ මෙි අහිමිවීම පිළිගැනීමට (Acceptance) තරම් ඒ තාත්තා නිර්භීත වීය. 

“අපිට තව බබෙක් හදාගන්න පුලුවන්නේ” කියා ඔහු  කිසිදිනක ගබ්සා උන අම්මාට කීවේ නැත  (Choosing what to say and what not to say ).  මන්ද සෑම පුංචි පැටියෙක්ම එකිනෙකාට අනන්‍ය සහ විශේෂිත බව ඔහු හොඳින් දැන සිටියේය. ඒ වෙනුවට ඔහු, ඔහුගේ අචල ආදරය (Reassurance of love ) සහ උණුසුම (affection) ඇයට පුද කරන බව ඇය තුරුළු කරගෙන කීවේය.

වේදනාවන් අසන්නට හෝ සාධාරණව බෙදාගන්නට කිසිවෙකුත් නැති බව තේරුම් ගත් ඒ තාත්තා කෙදිනක හෝ තම දරුවෙකු ඉපිද , ලොකු මහත් වී කියවන තුරු තමන්ගේ අහිමි වීම ගැන  හැඟීම් ලියා තබන්නට ( Writing it down) තීරණය කළේය.

රාජකාරීන් ගෙන් වියුක්තව බොහෝ නපුරු සහ කටුක දේ ගැන සිතමින් කාලය ගත කිරීමෙන් තුවාල නැවත නැවත පෑරෙන බවද , කිසිදා සුව නොවෙන බව ද වටහා ගත් හෙතෙම මොනවා හෝ ප්‍රියජනක කටයුත්තක යෙදී , මනස කාර්යබහුල කිරීමට ඉටා ගත්තේය (Getting busy).  

එතැනින් නොනැවතී  සෑම කළු වලාවකම රිදී ඉරක් දැකිය යුතු බව ද , නපුරු නරක කාලවල් සියල්ලටම පසු අති මනරම් උදෑසනක් බිහිවෙන බව ද විශ්වාස කළ යුතු බව ඒ තාත්තා අම්මාට යෝජනා කළේය ( Hoping for the best). 

ලෝකයේ 25% ක් තාත්තලා තමන්ගේ කුඩා ප්‍රාණීන් අහිමිවීමේ වේදනාව දරා ගන්නා බව බොහෝ දෙනා අමතක කළ සහ නොසලකා හැරි (Most underrated) ප්‍රස්තාවනාවක් වන්නේය. ඔබ මහත් සේ බලාපොරොත්තු සහගතව සිටි වටිනා යමක අහිමිවීමේ වේදනාව ඔබ කෙදිනක හෝ විඳ ඇත්නම් , ඔබ තේරුම් ගත යුතු කාරණය වන්නේ, ගබ්සා වීමකට මුහුණ දුන් යුවළකගෙන්, ගැහැනිය මෙන්ම පුරුෂයාද එක සේ මානසික බිඳ වැටීම් වලට ලක්වෙන බවය. ඔබ ගබ්සාවකට පෙර කෙදිනක හෝ මොන මූණ දී ඇත්නම්, කිසිම විටෙක ඔබේ අත්දැකීම සමඟ ඒ වේදනාත්මක මාර්ගයේම ගමන් කරන අලුත් අම්මාගේ සහ තාත්තාගේ අත්දැකීම සමාන  බව කීමට හදිසි නොවිය යුතු වන්නේ මිනිසුන් එකිනෙකාට අනන්‍ය ජීවීන් හා විඳගැනීම් පුද්ගලානුබද්ධ බව අප දන්නා නිසාය.

ඉඳිකටු ඉතා කුඩා නමුත් තියුණු හෙයින්,  එය සමේ අපිචර්මය සිදුරු කරගෙන යන අතර  ඔබට වේදනාවක්ද දෙමින්  රුධිරය ගලා යාමට සැලැස්වීම  බොහෝ දෙනෙක්  විඳි පොදු අත්දැකීමකි. අප බොහෝ දෙනා නොසිතන, නොතකන නමුදු අපගේ වචන සහ ක්‍රියා , ඇතැම්විට පීඩිතයකුගේ ජීවිතයේ දිශානතිය පවා වෙනස් කරන ඉඳිකටු වන බවට ඔබ තවමත් ඉගෙනගෙන නැත්නම් , දැන් එය ඉගෙනීමට කාලය එළැඹ ඇති බව අපි යෝජනා කර සිටිමු . ලෝකය ලස්සන වන්නේ ඔබෙනුත්, මගෙනුත් පමණක් නොවේය, අප සියලු දෙනාගෙන්ය. අප සියලු දෙනාගේ දායකත්වයෙන්ය. සුවදායක ලෝකයකට  හෙට හිරු උදා වෙන්නට, අපි එකිනෙකා වෙනුවෙන් නැගී සිටිමු.

 තාත්තලාට ආදරයෙනි.

 

දරුවන්ගේ විටමින් ඩී ඌනතාවය ගැන ඔබ දැනගත යුතු කරුණු

විටමින් D ඌනතාවය අද වෙද්දි දරුවන් අතර බහුල වෙලා. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? විටමින් D ලොකු පොඩි කාටත් අත්යදවශ්යදයි. විටමින් D මූලිකව අපට ලැබෙන්නේ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන්. විටමින් D අඩු වු‍ණොත් ඔබේ දරුවාටත් මෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න බැරි නැහැ. Vitamin D

අලුත උපන් බිලිඳාගේ නාභිය සුව වීම ගැන ඔබ දැනගත යුතු කරුණු

අලුත උපන් දරුවාගේ නාභිය සුව අතට හැරීම සහ ඇති විය හැකි හර්නියා තත්ත්වය ගැන ඔබ දැනුවත්ද? චූටි පැටියෙක් ඉපදුණාම එයාගේ පෙකෙණිය අලුත් අම්මා කෙනෙක්ට ලොකු ගැටලුවක්. සමහර බබාලගේ පෙකෙණිය අඩද්දී ඉහළට එසවෙනවා. ඒ ඇයි?

මොකද්ද මේ දරුවගේ කොයි වෙලෙත් කියන බඩේ රිදිල්ල

මගේ දුව හැම නිතරම අඬනවා බඩ රිදෙනවා කියලා. කී පාරක් බෙහෙත් ගත්තත් බෙහෙත් බොන වෙලාවට විතරයි සුවයක් තියෙන්නේ. බෙහෙත් ඉවර වුණු වෙලේ ඉඳලම ආයෙම බඬ රිදෙනවා කියනවා. බොහෝ අම්මලා මේ ගැන කතා කරනවා. ඒත් ඒකට හේතු විය හැකි කරුණු ගැන අපි දැනුවත් නැහැ. ඒ නිසා මේ තත්ත්වයට හේතු විය හැක කරුණු ගැන අපි වෛද්‍යවරුන් එක්ක කතා කළා.

දරුවන් මේ මැසිවිලි නඟන බඩේ රිදිල්ලට හේතු වෙන්න පුළුවන් මොන වගේ තත්ත්වයන්ද?

දරුවෙක් නිතර නිතර බඩ රිදෙන බවට කියන්නට සාමාන්‍යයෙන් පොදු හේතු විදියට මුත්‍රා ආසාදන, මලබද්ධය‍, ළමා අපයෝජන, ගැස්ට්‍රයිටීස් යන තත්ත්වයන් දක්වන්න පුළුවන්.

පුංචි දරුවන්ටත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්ද?

ඔව්. මානසික ආතතිය වගේම බැක්ටීරියා ආසාදන තත්ත්වයන් නිසාත් මේ තත්ත්වය ඇති විය හැකියි 

බැක්ටීරියා ආසාදන තත්ත්වයක් දරුවෙකුගේ කුස තුළ ඇති විය හැකියද?

ඔව්..එසේ ආසාදන ඇති කරන බැක්ටීරියාවක් තමයි හෙලිකෝබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) කියන්නේ.

මෙම බැක්ටීරියාව දරුවෙකුගේ උදරයට ඇතුළු වෙන්නේ කොහොමද?

දූෂිත සනිපාරක්ෂාව ප්‍රමාණවත් නොවන ප්‍රජාව තුළ මේ තත්ත්වය බොහෝ විට දක්නට ලැබෙනවා. මේ බැක්ටීරියාව සිරුරට ඇතුළු වෙන්නේ මල අපද්‍රව්‍යවලින් දූෂිත ආහාර/ජලය/බඳුන් වලින්

මෙවැනි ආසාදනයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති තරම්. මේ තත්ත්වයේදී බැක්ටීරියාව මගින් ආහාර මාර්ග පද්ධතියට හානි කිරීම නිසා ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇති වෙනවා.

මෙවැනි ආසාදනයක් ඇති බව ස්ථිරව නිගමනය කරන්නේ කෙසේද?

මෙය මුඛය හරහා සිදුකරන ඒ කියන්නේ ඉහළ ආන්ත්‍රික එන්ඩොස්කොපි (upper gastrointestinal endoscopy) පරීක්ෂණයකින් සිදු කරන කුඩා බයොප්සි (biopsy) පරීක්ෂණයක් මගින් සනාථ කරගත හැකියි. ඒ වගේම මල පරීක්ෂා කිරීම මගිනුත් මෙය තහවුරු කරගත හැකියි.

මෙවැනි තත්ත්වයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

උදර වේදනාව ගැන මෙවැනි දරුවෙකු නිතර පවසනවා. මේ වේදනාව කෑම කන අවස්ථාවේදී/රාත්‍රියේදී ඉතාමත් අධික තත්ත්වයට පත්විය හැකියි. සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසුව එහෙමත් නැතිනම් කිරි වීදුරුවක් පානයෙන් පසුව අඩු විය හැකියි. උදර වේදනාවට අමතරව ඔක්කාරය/වමනය, තද රතු හෝ තද කලු මලපහ පිටවීම, කෝපි කුඩු පැහැ වමනය වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

මෙය අවදානම් තත්ත්වයක්ද?

මෙය කලින් තහවුරු කර ප්‍රතිකාර ලබාගත්තේ නම්, සුව කළ හැකිය. එසේ නොවී අසාදනය දිගටම පැවතිය හොත්, ආමාශයේ ආරක්ෂිත පටලය ඛාදනය වී, තුවාල ඇති විය හැකියි. මෙය ආමාශයේ ලේ ගැලීම හා සිදුරු වීමට හේතු වේ. මෙම බැක්ටීරියාව මගින් දීර්ග කාලයක් තිස්සේ ආසාදනය වීමෙන් විවිධ වර්ගවල අමාශ පිළිකා වුවද ඇති විය හැක.‍

මෙය නිට්ටාවට සිව කළ හැකි තත්ත්වයක්ද?

ඔව්, නියමිත ප්‍රතිකාර මගින්, මෙය සම්පූර්ණයෙන්ම  සුවකළ හැකියි. ඒ සඳහා වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ඖෂධ නිසි උපදෙස් සහිතව ලබා ගත යුතුය.

මේ තත්ත්වය ඇති වූ දරුවෙකු ප්‍රවේශම් කරගත යුත්තේ කෙසේද?

වෛද්‍යවරයා නියම කර ඇති ඖෂධ නිසි මාත්‍රාව නිර්දේශිත වාර ගණන ලබාගත යුතුය. රෝග තත්ත්වය අඩු වූවායැයි මව්පියන් තම මතයට අනුව බෙහෙත් නතර නොකළ යුතුය. එ‍සේම වැසිකිලි යාමෙන් පසු, ආහාර ‍ගැනීමට පෙර දෑත් පිරිසිදු කිරීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කළ යුතුය. 

එවන් දරුවෙකුට ලබා දිය යුතු සහ නොදිය යුතු ආහාර වර්ග සහ පාන වර්ග මොනවාද?

දිනකට ආහාර වේල් තුනක් ලෙස හොඳ සමබල ආහාර නියමිත වේලාවට දරුවාට ලබාදෙන්න. තෙල් සහිත හෝ සැර කෑම මෙන්ම තේ, කෝපි, කාබනේට අඩංගු පාන (සොෆ්ට්  ඩ්‍රින්ක්ස්) ලබා දීමෙන් වලකින්න.

මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය (ළමා රෝග) රුක්මල් ගුණතිලක මහතා සහ වැඩබලන විශේෂඥ වෛද්‍ය (දිලීරවේදී) නාමල් ජයවර්ධන මහත්මිය සමග සකස් කරන ලද ලිපියකි.

 

ඔබට වගේම ඔබේ දරුවාටත් භාවිතයට සුදුසු වතුර බෝතලයක් තෝරාගමු

පුංචි දරුවන්ගේ සිත් ඇද ගන්නා විදියට එක එක කාටූන් චරිත ප්‍රින්ට් කරපු ලස්සන ලස්සන බෝතල් දැන් වෙළඳ පොළේ ඕනෑ තරම්. මේවා දැක්කම දරුවන්ගේ හැසිරීම ගැන හැම අම්මා කෙනෙක්ටම වාගේ අත්දැකීම් ගොඩක් ඇති. ඒත් දරුවා වෙනුවෙන් ඔබ මිලදී ගන්නා වතුර බෝතලය කුමක්ද කියා තීරණය කිරීමට කිසිවිටෙකත් දරුවාට ඉඩ නොතැබිය යුතුයි. දරුවන් හැඬූ පමණින් නිසි ප්‍රමිතියට අදාලව නිපදවා නොමැති වතුර බෝතල් දරුවා වෙනුවෙන් මිලදී ගැනීමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු කිහිපයක් තිබේ.

ඔබටත් දරුවාටත් වතුර බෝතලයක් තෝරාගැනීමේදී 

  • ප්ලාස්ටික් වතුර බෝතල්

ප්ලාස්ටික් බෝතල් නුසුදුසු බව අද වන විට ඔබට අසන්නට ලැබෙන අවස්ථා බොහොමයක්. ඒත් පුංචි දරුවන්ට වීදුරු බෝතල් ලබාදෙන්න මව්පියන් කිසිසේත්ම එකඟ නොවන්නේ පාසැලේදී යම් අනතුරුවලට භාජනය වේ යැයි යන සැකෙන්. අන්න ඒ නිසා අද වන විටත් ප්ලාස්ටික් බෝතල් භාවිතය නතර කරන්නට අපි කවුරුත් සූදානම් නැහැ. වෙනත් විකල්පයක් නැති නිසා අප භාවිත කරන මේ ඵ්ලාස්ටික් බෝතල් මිලට ගැනීමේදී එහි ප්‍රමිත්ය ගැන සිතා බැලීම අපේ දරුවන්ගේ සෞඛ්‍ය කෙරේ ඉතාමත් වැදගත් වෙනවා. 

මේ ප්ලාස්ටික් බෝතල් බොහෝ විට සකස් කර ඇත්තේ විශේෂයෙන්ම අපේ පොඩ්ඩෝ වගේ පාසැල් යන දරුවන්ට. මේවා නැවත නැවත භාවිතයට සුදුසු අයුරින් සකස් කර තිබෙනවා. මෙවැනි තත්ත්වයේ බෝතල් සබන් හා ජලය යොදා පිරිසිදු කළ යුතු වුවත් කිසිදු විටෙක ඇතුළත පලුදු වීම් සිදු වීමට නොදිය යුතුයි. එනම් තද කෙඳි ඇති බුරුසු මගින් ඇතිල්ලීමේදී ඇති වන සීරීම් සිදු නොවන ආකාරයෙන් ප්‍රවේශමෙන් පිරිසිදු කරගත යුතුය. එසේම උණු වතුර පිරවීමත් සුදුසු නැහැ. කොයි ආකාරයෙන් හෝ බෝතලයේ මතු පිටට යම් හානියක් සිදු වුවහොත් එය ඉවත් කළ යුතු වනවා සේම නැවත නැවත  භාවිත කළ හැකි බෝතලයක් වුවත් එයවසර ගණනක් පුරා භාවිතය නුසුදුසු බව තරයේ සිහි තබාගන්න.

  • වෙළඳ පොළේ ඇති ජලය ඇසිරූ බෝතල් සහ සිසිල් කළ බීම බෝතල්

වෙලාවකට අපි දකිනවා ඇතැම් අය පානීය ජලය අසුරා ඇති ප්ලාස්ටික් බෝතලය නැවත නැවත දිගු කාලයක් භාවිත කරන අවස්ථා. ඒ වගේම සිසිල් බීම බෝතල් වුවත් ඇතැමුන් එදිනෙදා ජලය රැගෙන යාමට යොදා ගන්නවා. ඒත් මේ බෝතල් සැකසෙන්නේ එසේ නැවත නැවත ප්‍රයෝජනයට ගැනීමට සුදුසු ප්‍රමිතියෙන් නොවන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.මේවා සුදුසු වන්නේ එක් වරක් භාවිතයට පමණයි. කෙසේ වුණත් මේ බෝතල්වලට උණුවතුර පිර විය නොහැකි අතරම ඒවා ඍජු හිරු එළියට හෝ තාපයට හසුවීමෙන් සිරුරට අහිතකර රසායනික දුව්‍ය නිපදවෙන නිසා භාවිතය කිසිසේත්ම සුදුසු නොවේ. 

  • වීදුරු බෝතල්

පුංචි දරුවන්ට ගෙන යාමේදී සහ භාවිතයේදී ගැටලු ඇති විය හැකි වුවත් වැඩිහිටි අපිට නම් වීදුරු බෝතල්වලට හුරු වීම වඩාත් සුදුසුයි. දිගු කාලයක් පුරා හොඳින් පිරිසිදු කරමින් නැවත නැවත භාවිත කළ හැකි වීදුරු බෝතලයට උණුසුම් ජලය පිරවුවද කිසිදු හානි දායක තත්ත්වයක් ඇති නොවේ. 

  • මල නොබැඳෙන වානේ බෝතල්

ස්ටේන්ලස් ස්ටීල් ලෙස අපි එදි නෙදා ව්‍යාවහාරයේදී හඳුන්වන මේ බෝතලවල ඇතුළත හෝ පිටත මල නොබැදෙන නිසා භාවිතයට සුදුසු වේ. මෙම බෝතල් පිරිසිදු කර නැවත නැවත භාවිත කිරීමේ කිසිදු වරදක් නොමැත. නමුත් හොඳ ප්‍රමිතියේ බෝතලයක් තෝරා ගැනීම වඩාත් වැදගත් වේ. මන්ද ඇලුමිනියම් යොදා ගනිමින් නිපදවා ඇති බෝතල් බොහොමයක් වෙලඳ පොලේ ඇති නිසා හොඳම නිෂ්පාදනයක් තෝරා ගැනීමට මව්පියන් දැනුවත් විය යුතුය. උණු වතුර පිර වීමේදීද කිසිදු ගැටලුවක් නොව මල නොබැදෙන වානේ බෝතල් පුංචි දරුවන්ට වුවද ආරක්ෂාකාරී වේ. 

 

චූටියට දැන් අවුරුදු පහකුත් වෙලා.. මේ ‍දේවල් සාමාන්‍යනයි නේද?

අම්මගේ තුරුලේ හුරතල් වෙන චූටියා දවසින් දවස ලොකු වෙනවා දකිද්දී අම්මා කෙනෙක්ට සතුට වගේම දුකකුත් ඇති වෙනවා. ඉදිරියට අතේ වඩාගෙන හුරතල් කරන කාලය අවසන් වෙන නිසා ඇති වෙන දුකත් දවසින් දවස චූටියා උස්මහත් වෙන සතුටත් කියන දෙකම තමයි ඒ. 

චූටියා වගේම මේ වයස් සීමාවේ සිටින දරුවන්ගෙන් 5/6 ක් දරුවන්ට හොඳ සන්නිවේදන දක්ෂතාවයන් හා විවිධ ක්‍රියාකාරීත්වයන් සඳහා ඔවුන්ගේ භාෂාව භාවිත කිරීමටත් දියුණු කරගෙන තිබේ. මෙම වයසේදී කථනය, භාෂාව හා සන්නිවේදන දක්ෂතා වඩා වැදගත් වන අතර එය ඔවුන්ගේ සාක්ෂරතාවය හා කියවීමේ දක්ෂතා වර්ධනයට උදව් වේ

 

මෙම දරුවන්ගේ දක්ෂතාවයන් ආකාර 5 ක් යටතේ වර්ධනය කරගත හැක.

  • Cognitive Development දරුවාට ඉගෙනීමේ හැකියාව හා ගැටලු විසඳා ගැනීම
  • Social & emotional development සාමාජීය හා චිත්තවේගීය සංවර්ධනය
  • Speech and language development කථන හා භාෂාව සංවර්ධනය
  • Fling motor skill development සියුම් චාලක හැකියාවන් සංවර්ධනය
  • Gross motor skill development දල චාලක හැකියාවන් සංවර්ධනය

 

කථනය, භාෂාව හා සන්නිවේදනයේ පියවර

අවුරුදු 5 – 6

  • දිගු වේලාවක් මතක් කිරීමකින් තොරව එක් දෙයක් කෙරෙහි අවධානයෙන් සිටීම.
  • දිගු උපදෙස් කොටස් දෙකකින් යුතුව අවබෝධයෙන් කරගත හැක.

උදා: පහල තට්ටුවට ගොස් ශීතකරණය ඇර ඔබගේ පානය ඉවතට ගන්න.

  • වචන කාණ්ඩ කිරීමේ හැකියාව ඇත.

උදා: සතුන්, ඇඳුම්, ආහාර

  • විවිධ ශබ්ද හඳුනාගැනීමට අවබෝධය ලැබේ.
  • තවත් කෙනෙකු සමඟ කතා කරන සෙල්ලම් කරන ආකාරය බොරුවට අඟවයි.

 

අවුරුදු 7

  • බහු සංකීර්ණ උපදෙස් හඳුනාගනී. බොහෝ ප්‍රශ්න විමසන අතර අලුත් වචන ඉගෙන ගනී. ඒවා සුදුසු ලෙස යොදයි.
  • වස්තූන්ගේ, සතුන්ගේ කොටස් නම් කරයි. ඒවායේ හැඩය, ප්‍රමාණය, ක්‍රියාකරීත්වය පිළිබඳව පැවසිය හැක.
  • කතාන්දර අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න අනාවැකි පැවසිය හැක

 

අවුරුදු 9

  • තොරතුරුවලට සවන්දී ඊට අනුව වැඩ කිරීමේ හැකියාව ඇත.
  • වේලාව හා මිනුම් සම්බන්ධයෙන් පවතින වචන පරාසයන් භාවිත කරයි.
  • විශාල පරාසයක ක්‍රියා පද භාවිත කරයි.

 

අවුරුදු 12

  • සංකීර්ණ සංධිනිපාත භාවිතයට හැකි වේ.

උදා: මේ අතරතුරේදී

  • යම් වැකියක් ව්‍යකරණානුකූලව නිවැරදි නොවන විට එය හඳුනාගනී.
  • යමෙකුට යමක් අවබෝධ නොවන විට එය පැහැදිලි කිරීමට උත්සහ කරයි.

 

අවුරුදු 5 – 12 දරුවෙකුගේ වර්ධනය හා සංවර්ධනය

 

  • පාසලට ඇතුළු වීමේ සිට වැඩිවියට පත්වීම දක්වා කාලයයි. දරුවාගේ සිතුවිලිවල හැඟීම්වල සංවර්ධනය ආරම්භ වේ.
  • සමවයස් දරුවන් අතර අන්තර් ක්‍රියා වැඩිවේ
  • පළමු අවුරුදු 5 වඩා අඩු වේගයකින් වර්ධනය හා සංවර්ධනය සිදු වේ.
  • ශාරීරික ශක්තිමත්භාවය, පේශිවල සමාජානුයෝජනය වැඩි වේ. සෙල්ලම් කිරීම නැටීමට ඉගෙන ගනී
  • අවුරුදු11 දී වැඩිවියට පත්වීමට සූදානම් වේ.
  • ගැහැනු දරුවෙකුගේ පියයුරු වර්ධනය ආරම්භ වේ. පිරිමි දරුවන්ගේ මුහුණේ කෙස් වර්ධනය වන අතර උසින් වැඩිවේ. ලිංගික ප්‍රදේශවල රෝගම වැඩි වේ.

 

එකිනෙකා අතර අන්තර් ක්‍රියා පැවැත්වීම

අවුරුදු 6 – 7 දක්වා

  • සහයෝගය හා බෙදාගැනීම පවතී.
  • සහෝදර සහෝදරියන් අතර ඊර්ෂ්යාත්මක හැඟීම් පවතී.
  • වැඩිහිටියන් අනුකරණය කරයි
  • තනිව සෙල්ලම් කිරීමට කැමති අතර යහලුවන් වඩා වැදගත් වේ.
  • එම ලිංගයේ යහලුවන් සමඟ සෙල්ලම් කරයි.

 

අවුරුදු 8 – 9

  • තරගවලට හා ක්‍රීඩාවලට කැමැත්තක් දක්වයි.
  • විරුද්ධ ලිංගිකයන් සමග මිතුරුකම ඇති කරගී. සෙල්ලම් කරයි.
  • ශරීරය පිළිබඳව ලැජ්ජාව පවතී
  • බාලදක් ආදී කණ්ඩායම් සමග කටයුතු කරයි.

 

අවුරුදු 10 – 12

  • මිතුරන් සොයා ගැනීම වඩා වැදගත් වේ.
  • විරුද්ධ ලිංගිකයන් පිළිබඳව උනන්දු වේ.
  • වඩා හොඳ මිතුරන් සොයයි.
  • දෙමාපියන්ට කැමති හා ගරු කරයි.
  • අන් අය හා කතා කිරීමෙන් සතුටු වේ.

 

පාසැල් අවධියේ දක්ෂතා හා වටහා ගැනීම්

අවුරුදු 6 – 7

  • ඉලක්කම් පිළිබඳ සංකල්පය අවබෝධ කරගනී.
  • දිවා කාලය හා රාත්‍රී කාලය පිළිබඳව අවබෝධය ඇත.
  • වම් අත, දකුණු අත හඳුනාගනී.
  • සංකීර්ණ හැඩයන් පිටපත් කළ හැක

උදා: දියමන්තියක හැඩය

  • වේලාව පැවසිය හැක
  • වෙනම ක්‍රියාකාරකම් තුනක් අවබෝධ කරගනී.
  • යම් වස්තුවක භාවිතය පැහැදිලි කළ හැක.
  • ඉලක්කම් තුනක් ආපස්සට පැවසිය හැක
  • වයසට සරිලන පොත් කියවයි.

 

අවුරුදු 8 – 9

  • ආපස්සට ගණන් කළ හැක.
  • දිනය දැනගනී.
  • බොහෝ දේ කියවයි. කියවීමෙන් සතුටු වේ.
  • ඇඳීම, පාට කිරීම කරයි.
  • මාසය, දින, සති හඳුනාගනී.
  • වස්තූන් එකතු කර සතුටු වේ.

 

අවුරුදු 10 – 12

  • කතාන්දර ලියයි.
  • ලියුම් ලිවීමට කැමතිය.
  • හොඳින් කියවයි. දුරකථන භාවිතයෙන් සතුටු වේ.

 

සියුම් හා දළ චාලක හැකියාවන්

අවුරුදු 6 – 7

  • බොහෝ ක්‍රියාකාරකම් සමග විනෝද වේ.
  • චිත්‍ර ඇඳීම හා පාට කිරීමට කැමතිය
  • පුහුණු දක්ෂතාවයන්/හැකියාවන් ශක්තිමත් වේ.
  • කඹයකින් පැනීම, බයිසිකල් පැදීම වැනි දෑ කරයි.

 

අවුරුදු 8 – 9

  • හැකියාවන් හා චාලක ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් වේ.
  • උඩ පැනීම, කඹයකින් පැනීම, චෙස් ක්‍රීඩාව ආදියට කැමැත්තක් දක්වයි.
  • ඇඳුම් ඇදීම හා පිරිසිදුභාවය තමා විසින්ම පවත්වා ගනී.
  • මිටිය, බුරුමය ආදී උපකරණ භාවිත කළ හැක.

 

අවුරුදු 10 – 12

  • මැසීමට, පාට කිරීමට කැමතියි.

 

දරුවන්ගේ සමාජීය හැකියාවන් වර්ධනය සඳහා දෙමාපියන්ගේ දායකත්වය

 

  • ඔහුගේ/ඇයගේ හැකියාවන් සඳහා ක්‍රියාකාරකම් තෝරාගැනීමට උදව් කරන්න.
  • ඔහුගේ/ඇයගේ හැඟීම් විවෘතව කතා කිරීමට උනන්දු කරන්න.
  • විනෝදාංශ හා වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමට දරුවා උනන්දු කරන්න.
  • දරුවා කියවීමට උනන්දු කරන්න.
  • ශාරීරික ක්‍රියාකාරකම්වලට උනන්දු කරන්න.
  • ස්වයං විනය හා නීති පිළිපැදීමට උනන්දු කරන්න.
  • සමවයස් කණ්ඩායම් වල පීඩනයන් බෙදාගැනීමට උනන්දු කරන්න.
  • වගකිවයුතු පුද්ගලයන්ට ගරු කිරීමට හා ඇහුම් කන්දීමට උගන්වන්න.
  • රූපවාහිනි, වීඩියෝ, පරිඝණක, ජංගම දුරකථන භාවිතය සීමා කරන්න.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අම්මා වැඩිපුර ආදරේ නංගිට. මට පොඩ්ඩක්වත් ආදරේ නෑ..

අම්මා වැඩිපුර ආදරේ නංගිට, මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. ලොකු දුව හැම නිතරම එහෙම කියනවා නම් අම්මලා තාත්තාලා මොකද කරන්නේ? අක්කලා නංගිලා අම්මාව බෙදාගන්න බැරිව කොච්චරවත් රණ්ඩු නේද? මේ තත්ත්වය දෙමාපියන්ටත් වෙලාවකට හරිම හිසරදයක්. එහෙමයි කියලා දරුවන්ගේ හිත් රිදවන්න බැහැනේ. එහෙම නම් එයාලගේ හිත සැනසෙන විදියට වැඩිහිටි අපිම වෙනස් වෙමු නේද?

SHOW LESS