ඇතැම් දරුවන් කතා කිරීමේදී උච්චාරන දෝෂ බොහොමයක් දැක ගත හැකියි. මෙය දරුවා වයසින් වැඩෙත්ම නිවැරදි වන බවයි බොහෝ දෙනාගේ අදහස. මේ තත්ත්වය නොසලකා හැරිය හැකිද? දැන් ඔය වචන එක දෙක වැරැද්දුවට ටිකක් ලොක් වෙද්දි හරියට කියයි. අත්තම්මා එහෙම කිව්වේ චූටි පුතා වචන හරියට ශබ්ද කරන්නේ නෑ කියලා අම්මා නෝකක්ඩු කිව්ව වෙලේ. ඇත්තටම මේ තත්ත්වය දෝෂයක්ද? සුව වීම කාලයට බාර දිය හැකිද?
සමහර පුංචිදරුවන්ගේ කතාව වයසට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ – Speech Pathologist Nimeera Weeraratne
සමහර පුංචි දරුවන්ගේ කතාව දරුවාගේ වයසට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් කල යුත්තේ කුමක්ද? දුවට දැන් අවුරුදු තුනක්. ඒත් බලන්නකෝ අවුරුද්දක පුංචි දරුවෙක් වගේ තාම හරියට කතා කරන්නේ නෑනේ. මොකද මේකට කරන්නේ.
ගොතය කුඩා වියේ සිටම ඇතිවිය හැකි තත්වයක්ද? – Speech Pathologist Nimeera Weeraratne
ගොතය කුඩා වියේ සිටම ඇතිවිය හැකි තත්වයක්ද? එය හදුනා ගන්නේ කෙසේද? වෙලාවකට පුතාගේ පොඩි ගොතයක් වගේත් දැනෙනවා. ඒත් පුංචි ළමයින්ට ගොතය එන්න විදියක් නෑනේ. මේ වීඩියෝව බලලා දැනුවත් වෙමුද ගොතය ගැන.
තනි වූ මවුවරු
දස මස කුස දරා, සිය ජීවිත කාලය පුරා හදෙහිද දරාගෙන දරුපැටවුන් කෙරෙහි අපිරිමිත ආදරයෙන් සහ ප්‍රාණ පරිත්‍යාගයෙන් ජීවත් වන යම් කෙනෙක් ඇත්නම් ඒ දෙමව්පියන් පමණය. දරුවන් ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන අභියෝග වලට මුහුණ දීමට වීර්යය වැඩිය හැක්කේද, අසීමිත ධෛර්යයක් ඇත්තේද දෙමව්පියන්ට පමණි. මව්පිය ආදරයට හෝ රැකවරණයට සම කළ හැකි කිසිවක් මෙදියත ඇතැයි විශ්වාස කළ නොහැක්කේ, දාරක ස්නේහය ඇට මිදුළු පවා විනිවිද යන බව තථාගත බුදුන්වහන්සේගේ දේශනාවේ සඳහන් නිසාය.
දෙමාපියන් එක මඟ නොයා වෙන් වෙන් වශයෙන් තනි මග යන්නට තීරණය කළ එහෙමත් දිනයක, එතෙක් තම දරුවන් වෙනුවෙන් දෙදෙනා එක්ව දැරූ සියලු අභියෝගයන්ද, සියලු ප්‍රයත්නයන්ද, සියලු විශ්වාසයන්ද බෙදී යන්නේය. මෙහිදී පුතුන් තනන්නටද, පුතුන් රජුන් කරන්ටද දුක්ගන්නා අම්මලාට ඒ සියලුදේ තනිව දරන්නට වන අනපේක්ෂිත අරගලයක කොටස්කාරියන් වීමට සිදුවන්නේය.
single mom එහෙමත් නැත්නම් තනි වූ මවක්ගේ අරගල මොනවාද ?
අද කතාව ඒ ගැන..
- රාජකාරි ජීවිතයේ අභියෝග ( work life challenges )
දරුවෙක් කිසිදා මවකට හෝ පියෙකුට බරක් නොවන මුත් තනිව දරුවන් හදා වඩා ගැනීම රාජකාරි කරන මවකට වඩා අසීරු වන බව පොදු මතයයි. එයට හේතුව ඇයට කරන්නට සිදුවෙන අසීරු කාල කළමනාකරණයයි. තම රාජකාරි ජීවිතය සහ දරුවන්ගේ සියලු අවශ්‍යතා හා වුවමනා වලදී අම්මාත් තාත්තාත් යන චරිත ද්විත්වයේම වගකීම් ඇයට දැරීමට සිදුවේ. මෙහිදී තමන්ගේ කායික හා මානසික විවේකය නිතැතින්ම දරුවන් වෙනුවෙන් අහිමි කර ගැනීමේ ආවස්ථික පිරිවැය තනි වූ අම්මාට දරන්නට සිදුවේ. ඇතැම් තනි වූ මවකට තම දරු පැටවුන් ගේම අනාගතය වෙනුවෙන් අතිරේක පැය ගණනක් ( extra working hours ) පවා වෙහෙසෙන්නට සිදුවෙනු ඇත.
මෙම තත්ත්වය කළමනාකරණය කරගත නොහැකිද ?
- ඔබ උදව් ඉල්ලන්න ,ඔබට උදව් ලැබේවි යැයි සිතෙන ඕනෑම ආසන්න ඥාතීන්ගෙන් හා වැඩ සගයන්ගෙන්.
- ඔබට වඩා නම්‍යශීලීව රාජකාරි කළ හැකි වේලාවන් සොයාගන්න ( flexible working hours ).
- නිවසේ සිට සේවය කිරීමට හැකි රැකියාවක් සොයා යන්න ( work from home ).
- රාජකාරි සහ ගෘහස්ත කටයුතු සඳහා ඉලක්ක සකසා ගන්න ( set goals ).
- වරදකාරී හැඟීම නිසා ඇතිවන අභියෝග ( guilty feeling )
තනි වූ මවකගේ සිතුවිලි අප සිතනවාට වඩා බොහෝ සංකීර්ණ විය හැකිය. කාල කළමනාකරණයේ අසමත් බව නිසාම තමන්ට දරුවන් මඟ හැරෙන බව හෝ තමන් හොද අම්මෙක් නොවන බව සිතීමෙන් ඔවුහු බොහෝ විට පීඩාවට පත්වෙති. තම හිතවත් යුවලක් ඔවුන්ගේ දරුවාට ලබාදෙන සියලු දේ හෝ ඉටු කරන සියලු යුතුකම් තනි අම්මා කෙනෙක්ට කරන්නට නොහැකි බව දැන, ඔවුහු පශ්චාත්තාප වෙති. ඉතින් මේ වරදකාරී හැඟීමෙන් මිදීමට නොහැකිද?
- දෙමාපිය රැකවරණය දරුවන්ට ලබා දීමේ හරි හෝ වැරදි කියා නියමිත ක්‍රමයක් නැත. අනිත් පවුල් සමග සංසන්දනය කර එයට අනවශ්‍ය තරගකාරීත්වයක් ආරෝපණය කර ගැනීමෙන් වළකින්න.
- අනවශ්‍ය තරම් වන සමාජ ජලා ජලා භාවිතයෙන් මිදෙන්න. මන්ද එහි බොහෝ විට ඇත්තේ බොරුව වර්ණනාත්මක ස්වරූපයෙන් පමණකි.
- මේ මොහොතේ ජීවත් වෙන්න .
- දරුවන් සමග සතුටින් සහ විනෝදයෙන් ගත කිරීමට කාලය සොයා ගන්න.
- ඔබ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න .
- ඔබව දිරිමත් කරන ඔබ වැනි ම සමාන අදහස් දරන මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට තරම් බුද්ධිමත් වන්න .
- මානසික අභියෝග ( emotional challenges )
තම සහකරු සමඟ එතෙක් බෙදා ගත් අත්දැකීම්, අදහස්, යෝජනා සහ චෝදනා ද තනි වූ මවක් වන පළවෙනි මොහොතේම මොහොතේම ඇයට අහිමිව යන්නේය. තීරණයක හොඳ හෝ නරක පිළිබඳ එතෙක් තිබූ අන්ත දෙකෙන් එක් අන්තයක් නිෂ්ප්‍රභ ව යන්නේය. මේ හේතුවෙන් තනි වූ මව්වරු කාන්සියෙන්ද ඇතැම් විට විෂාදයෙන්ද පීඩා විඳින්නෝය. ඉතින් මෙය සමනය කරගත නොහැකිද?
- දරුවන් සමග ආදරණීය සබඳතාවක් ගොඩනඟා ගන්න. ඔවුන්ට ළං වෙන්න.
- ඔබ තනි ගැහැනියක්ව සිට සිදුකරන මේ අතිවිශාල මෙහෙය පිළිබඳ ඔබටම ස්තුතිවන්ත වෙන්න.
- ලෝකයේ සර්ව සම්පූර්ණ කිසිදු යමක් නැති බවත් ඔබේ දරුවාගේ ප්‍රීතිමත් සිනහව පසුපස ඇත්තේ ඔබේ අප්‍රමාණ කැපකිරීම් බවත් නිතර සිතන්න.
- ආර්ථිකමය අභියෝග ( financial strain )
බොහෝ තනි මව්වරුන් දැඩිව ආර්ථිකමය ගැටලූ වලට මුහුණ දෙන බව නොරහසක්. එතෙක් දෙදෙනකු පවත්වාගෙන ආ ජීවන රටාවට තනිව මූල්‍යමය වශයෙන් අවතීර්ණ වීම දැඩි අභියෝගකාරී වනුයේ උද්ධමනය, රුපියලේ අගය ක්ෂයවීම, විවිධ බදු වැනි ආර්ථිකමය සංකල්පවලින්ද ඇයට බැට කන්නට සිදුවන නිසාය. දරුවන්ට අවැසිදේ ඒ ඇසිල්ලේම ලබා දීමට ඔබට නුපුළුවන් විය හැක. එනමුදු එය ඔබ නරක අම්මෙක් බවට පත් කරන සාධකයක් නොවන්නේය. මේ ආර්ථික අභියෝග කළමනාකරණය කරගැනීමට නොහැකිද ?
- අරපිරිමැස්මට හුරුවෙන්න .
- හැකිතාක් ණය නොවී සිටීමටත් ණය ලබා ගතහොත් ඒවා පියවා දැමීමටත් උත්සුක වන්න.
- මාසික අයවැය පිළිබඳ දළ සැලසුමක් ඇතිව වියදම් කරන්න.
- කෙසේ හෝ ඉතිරි කරන්න. රුපියලෙන් රුපියල එකතු වීමෙන් දසදහස්ද කෝටි ප්‍රකෝටි ද හැදෙන බව නිතර සිතට ගන්න.
- ශාරීරික වෙහෙස නිසා ඇතිවන අභියෝග ( fatigue )
තම සහකරුවා වෙන්වී ගිය දින තමන්ද තමන්ට අහිමිව ගිය බව සිතීම සාධාරණය කළ නොහැක. එනමුදු ජීවිතයේ ජීවිතයේ මහා පෙරළියකට ඔබට ක්ෂණිකව හැඩ ගැසීමට නොහැකි බව නම් අවිවාදිතය. නිවසේ ප්‍රධාන ආදායම් උපයන්නාද , අම්මාද, තාත්තාද එකෙකු වූ කලී දැනෙන ශාරීරික වෙහෙස ගැන වෙසෙසින් පැහැදිලි කළ යුතු නැත. එහෙත් මානසික මෙන්ම කායික රෝගවලද ගොදුරක් බවට ඔබ නොදැනුවත්වම පත්වීම ඔබ වළක්වා ගත යුතුය. එය කරන්නේ කොහොමද ?
- ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන සහ විටමින් අවශ්‍යතාව කෙසේ හෝ සපුරා ගන්න.
- ජලය ප්‍රමාණවත් පරිදි පානය කරන්න.
- රාජකාරි කටයුතු නැති අනෙක් සෑම විටම දුරකථනයෙන් ඇති සිටින්න.
- කුඩා විවේක හෝ නින්දක් ඔබට අවශ්‍ය යයි හැඟෙන ඕනෑම විටක එයට ඉඩදෙන්න.
- ව්‍යායාම සඳහා ඇවිදින්න.
මේ කරුණු සියල්ල තනි මවක් වූ ඔබ කළයුතුම යැයි නියමයක් නැත. තනි වූ මවක් ලෙස දරුවන් හදාවඩා සමාජයට මුදාහැරීමට අති විශාල ධෛර්යයක්, ඉවසීමක් සහ මානසික ශක්තියක් අවශ්‍යය. ඔබව නිකරුණේ විවේචනයට ලක්වීමටද, පීඩාවට ලක්වීමටද ලාංකික සමාජයේ ඕනෑතරම් ඉඩකඩ ඇතත් ඒ සියල්ල විඳදරාගනිමින් ඔබ කරන කාර්යය ප්‍රශංශනීයය. තනි වූ මවක් වීම අවමානයක් නොව ආත්ම අභිමානයෙන් නැඟී සිටීමට උත්තේජනයක් බව පසක් කර දෙන ඔබට අපේ ගෞරවය.
මව්වරුන්ට ආදරයෙනි.
දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කළ යුතු සතර ආකාරය
දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට නොමැති බව ඇත්ත. ඒ නිසා දෙමව්පියන් විසින් තමන්ගේ උපරිමයෙන් දරුවන්ට සංග්‍රහ කිරීමට හදවතින්ම බැඳී සිටිනවා. එහෙමනම් දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කිරීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කළ යුත්තේ කෙසේද…?
- ආහාර
දරුවා උපත ලද අවස්ථාවේ පටන් මව්කිරෙන් පෝෂණය වී එතැන් පටන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය ආහරපාන ලබා දෙන දෙමව්පියන් විසින් කාලයකදී දරුවන්ගේ ආහර ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.දරුවන් ඉල්ලන ආලවටට්ම් ආහාර ගැනම යොමු වෙනවා මිසක ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවීම බොහෝ දුරට අඩු වෙන ප්‍රවනතාවයක් තිබෙනවා.
අපේ පුතා කන්නේ බර්ගර්, පේස්ට්‍ර ජාති විතරයි කියමින් මේ ගැන උදම් ඇනුවත් දෙමව්පියන් විසින් දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්.
මෙහිදී ආහාරයන්හි ප්‍රමාණාත්මක බව වගේම ගුනාත්මක බව ගැනත් සැලකිලිමත් වීම දෙමව්පියන්ගේ යුතුකමක්.උදේ ආහාරය නොවැරදීම ලබා දීම, ඒ වෙනුවෙන් වූ පෝෂණය ගැන සැලකිළිමත් වීමට දෙමව්පියන් විසින් වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙනවා.
2. ආදරය
දෙමව්පියන්ගේ ආදරය කොන්දේසි විරහිතයි. එය ඇත්ත.නමුත් මේ ආදරය සඟවා ගෙන සිටීමට වඩා දරුවාට දෙමව්පියන්ගේ ආදරය දැනිය යුතුයි.ආදරය නිසා දරුවාගේ පෞරෂය පිළිබඳව සිදු වෙන වර්ධනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වැදගත්කමකින් යුක්තයි. ඒ නිසා දරුවාගේ ශාරිරික පෝෂණයට ආහාර වැදගත් වන්නේ යම් සේද,ඔවුන්ගේ මානසික සතුට සහ සුවතාවය වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනහස මහඟු පිටුවහලක් වෙනු ඇත.
3. ආරක්ෂාව
දරුවන්ගේ ආරක්ෂාව ගැන අද දැඩි විමසිල්ලෙන් සිටිය යුතු යුගයක් වී තිබේ. අතීතයේදී දරුවාට අම්මා,තාත්තා වගේම මාමා,බාප්පා සීයාගෙන් ලැබුන ආරක්ෂාව ගැන අද යම් කුකුසක් මතු වී තිබේ. කොටින්ම ගැහැණු දරුවාට තමාගේ පියාගෙන් පවා අතවර සිදු වෙන යුගයකදී දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන්ගේ අවධානය වැඩියෙන් යොමු වීමේ අවශ්‍යතාවය ඇති වී තිබේ.අපචාරයට ලක්වුන දරුවන් අලලා සිදු කරන ලද සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ බොහෝ දරුවන් අපයෝජනයන්ට පත්ව ඇත්තේ ඔවුන්ගේ සමීපතම ඇසුරක් ඇති අසල්වැසියන්,ඤාතීන් හෝ හිතවතුන් මගින් බවයි.
- ගැහැණු දරුවා වගේම පිරිමි දරුවාටත්..
එදා නිතරම කතා බහ ගොඩ නැගුනේ ගැහැණු දරුවා වෙනුවෙන් ආරක්ෂාව සලසා දුන්නත් පිරිමි දරුවා ගැන එතරම් වෙහෙසිය යුතු නැති බවයි.එහෙත් අද පිරිමි දරුවන් ගැනත් විමසිල්ලෙන් සිටිය යුතු යුගයකි. මත්ද්‍රව්‍ය, අනිසි සම්බන්ධතාවයන්,අස්වාභාවික ලිංගික හැසිරීම් වැනි විවිධ අපචාරයන්ට පිරිමි දරුවන් ගොදුරු විය හැකි කාලවකවානුවක් අප ඉදිරියේ පවතී.
4. අධ්‍යාපනය
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා …කියන්නාසේම දරුවන්ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අධ්‍යාපනය ඉතාම වැදගත් සාධකයක් වේ. අධ්‍යාපනය යනු ඔබේ ඉලක්කයට අනුව දරුවා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකුගේ තැනට පත් කිරීම නොවේ.දරුවාගේ හැකියාවට අනුව ඔවුන්ගේ අධ්‍යාපන මාවත හෙලි පෙහෙලිකර දීමයි.
අධ්‍යාපනය යනු විභාග සහතික එක්රැස් කිරීම පමණක් නොවේ.දැණුම,ආකල්ප සහ කුසලතාවයන් සමග දරුවාගේ ගුණධර්ම වගා කිරීමත් ඉතාම වැදගත්.දෙමව්පියන්ගේ අවධානය විභාග ඉලක්ක කර ගත් විට ඔවුන්ගේ ජීවිතය දැනුමෙන් සන්නද්ධ වන බැව් ඇත්ත. එහෙත් දරුවාගේ ගුණධර්ම වගාව බිඳවැටෙන පරිසරයකදී ඔවුන් අනාගතයට දායාද වන්නේ යහ ගුණ ඇති පුරවැසියන් ලෙසින් නොවේ.
එසේනම් දෙමව්පියන් ලෙස ඔබ දරුවාට දායාද කළ යුතු සංග්‍රහයන් සතරක් මේ අන්දමින් ඉදිරිපත් කළ හැක. අහාර,ආදරය,ආරක්ෂාව සහ අධ්‍යාපනය යන සංග්‍රහයන් ලබන ඔබේ දරුවා මතු දවසේ ලෝකය දිනන පමණක් නොව සංයමයෙන් යුක්ත පුරවැසියෙකු ලෙසින් සමාජගත වෙනු ඇත.
සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වුණු ඔබට නොදැනුවත්වම සිදුවන අවාසි 8ක්
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිශතය අද ලෝකේ පුරාම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති මනෝවෛද්‍ය පර්යේෂණවලින් සොයා ගත් කරුණක් නම් වැඩි වශයෙන්ම මේ සමාජ මාධ්‍යවල සැරි සරන්නේ නව යොවුන් වියේ සහ යොවුන් පිරිස් බවයි. සමාජ මාධ්‍යවල අධික ලෙස සැරිසැරීම අපේ මනසට කුමන ආකාරයෙන් බලපෑම් ඇති කරනවාද යන්න පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත්.
සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස වැඩිපුර භාවිතයෙන් ඇති විය හැකි තත්ත්ව
- සුව නින්දට බාධා පමුණුවයි
නින්දට යන්න සුළු වෙලාවකට පෙර සමාජ මාධ්‍යක් භාවිත කිරීම මගින් ස්මාර්ට් දුරකතනයේ ආලෝකය අපේ ඇහැට ඇතුළු වෙනවා. නින්ද, කෑම රුචිය වගේ දේවල් ජීව විද්‍යාත්මකව බොහොම ක්‍රමානුකූලව පාලනය වෙනවා. ඒවා පැය 24ක චක්‍රයක් අනුව ඉතාමත් සියුම්ව පාලනය වන අතරම ඇසට ආලෝකය ඇතුළු වීමත් සමාජ ජාලවල පෝස්ට් මගිනුත් රෑ නින්දට පෙර හෝ නින්ද අතර මැද බාධා ඇතිවිය හැකියි.
නින්දට බාධා ඇති වීම ගුණාත්මකව මෙන්ම ප්‍රමාණාත්මකවත් විය හැකියි. ගුණාත්මකව නින්දට ඇතිවන වෙනස්කම් මත නින්දේදී මොළයේ තරංග ක්‍රියාකරන ආකාරය වෙනස්වීම නිසා අපේ කාලීන තත්ත්වය වෙනස් විය හැකියි. එසේ නින්දට බාධා ඇතිවීමෙන් සිරුරට විඩාබර ගතියක් දවස තිස්සේ නිදිමත කම්මැලි ස්වභාවයක් ඇති විය හැකියි. ඒ වගේම හිසේ කැක්කුම, මහන්සිය විතරක් නෙවෙයි දිගු කාලීනව නින්ද අඩු වීම නිසා මතක හිටීමේ හැකියාව අඩු වීමත් යම්කිසි දෙයකට සිහිය පවත්වා ගැනීම දුර්වල වීමත් ඇති විය හැකියි.
- මිනිසුන් අතරේ පවතින සමාජීය සම්බන්ධතා වෙනස් වෙයි
සමහරවිට අපි හිතමිතුරෙකුට නෑයෙකුට ඍජුව මුහුණට නොකියන බොහොම දරුණු දෙයක් වුනත් පෝස්ටුවක්, කමෙන්ටුවක් මගින් එළිදැක්වෙන්න පුළුවන්. එතකොට මේ අපේ සමාජීය සම්බන්ධතා බිඳ වැටීම මගින් අපි ඉතා දක්ෂ ලෙස සමාජයේ කටයුතු කිරීම වෙනස් වෙන්න එවැනි දේ හේතු විය හැකියි. එතකොට අපිට නෑදෑ හිත මිතුරන් අහිමි වෙන්නත් ඉදිරියේදී අපි සමාජ සම්බන්ධතා භාවිත කොට කරන රැකියාවක නිරත වෙනවා නම් එයට සමාජීය කුසලතා නැතිවීමත් සිද්ධ වෙන්න පුළුවන්.
- අවධානය තබා ගැනීමේ කාල සීමාව අඩු වෙයි
සමාජ මාධ්‍ය ජාලවල මිනිත්තු කිහිපයකදී අපිට පෝස්ට් සිය ගණනක් නැත්නම් ඡායාරූප සිය ගණනක් නැරඹිය හැකියි. මෙහිදී ඉතාමත් සුළු කාලයකදී ඉතාම ඉහළ ප්‍රමාණයකින් අපේ මොළයට තොරතුරු ඇතුලත් කිරීම සිදු වෙනවා. මේ විදිහට ඉතා සුළු කාලයකදී අපි තොරතුරු රාශියක් අපිට අවශ්‍ය විදිහට ලබා ගන්නකොට අපේ අවධානය තබා ගැනීමේ කාල සීමාව අඩු විය හැකියි. අපි පාසලේ/විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා නම් මේ හේතු මත මතක හැකියාව අවධානය පවත්වාගැනීමේ හැකියාව අඩු වෙලා අපේ අධ්‍යාපන කටයුතු අසාර්ථක විය හැකියි.
- අදාල අවස්ථාව පිළිබඳව විනදනයක් නොමැති වෙයි
විනෝද චාරිකාවක් යද්දී එහෙමත් නැත්නම් වෙනත් වැදගත් අවස්ථාවකට සහභාගී වෙද්දී බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල පලකරන්න ඡායාරූප ගන්න පෙළඹෙනවා. සෑම අවස්ථාවකදීම මෙවැනි තත්ත්වයක් උදා වීම නිසා අපි සිටින වැදගත් අවස්ථාව අපෙන් ගිලිහෙන්න පුළුවන්. මොකද අපේ වැඩි අවධානය තියෙන්නේ ඡායාරූප ගැනීම සහ ඵල කිරීම වෙනුවෙන් නිසා. ඒ වැදගත් අවස්ථාවේ තියන රූපේ අපේ ස්මාර්ට් දුරකතනයේ රැඳවීමක් සිදුවුණාට ඒ වැදගත් අවස්ථාවේ තියන වෙනත් සමාජීය අවස්ථාව, නෑදෑ හිතමිතුරන් සමග කතා කිරීම, යහළුවන් හමුවීම වැනි වැදගත් සමජීය අවස්ථා පිලිබඳ මතක අපිට අහිමි වෙන්න පුළුවන් වගේම ඒ මතක නැවත ලබාගන්න බැරිවෙන්නත් ඉඩ තියනවා.
- ආත්ම විශ්වාසය හීන වෙයි
බොහෝ දෙනා තමන්ගේ ජිවිතේ ජයග්‍රහණ වැදගත් අවස්ථා සමාජ මාධ්‍යවල පල කරනවා. අපි මේකට හයිලයිට් රීල් (highlight reel) කියා කියනවා. අනෙක් අයගේ ජීවිතවල ජයග්‍රහණ සහ එයාලගේ ලස්සන දේ නිතර ඇස ගැටීම ඇතැම් විට තවත් අයෙකුගේ ආත්ම විශ්වාසය, විශ්වාසය අඩු වෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය හීන වීම කියන්නේ අන්න ඒ තත්ත්වයටයි. ඒක වෙන්නේ ඉරිසියාව හින්දම නෙමෙයි අනිත් අයගේ මෙන්න මේ කුසලතා තියනකොට අපිට බෑ කියන එක යොවුන් වියේ කෙනෙකුගේ හිතට රිංගගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා සමාජ මාධ්‍ය මගින් අපේ මනසට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්.
- ජිවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමි වේය යන බිය (fear of missing out)
සමහර වෙලාවට සමහර අය නිතරම සමාජ මාධ්‍ය මගින් තොරතුරු ලබාගන්න හින්දා ඒගොල්ලන්ගේ හිතට ඇතුළු වෙන දෙයක් තමයි ”අපි සමාජ මාධ්‍යවල තොරතුරු කමෙන්ට්ස්, ලයික්ස්, නොටිෆිකේෂන්ස් චෙක් කලේ නැත්නම් අපිට ලෝකේ/අපේ යාළුවන් සම්බන්ධ වැදගත් කරුණක් මගහැරෙයි” කියන එක. ඒ කියන්නේ සමාජ මාධ්‍යවලටම සුළු වෙලාවක් හරි යෙදීලා ඉන්නේ නැත්නම් අපිට අපේ ජිවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමිවෙයි කියන එක තමයි මේ ෆියර් ඔෆ් මිසින් අවුට් කියලා කියන්නේ.
- කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ
සමාජ මාධ්‍යවල ඉතා දිගු කාලයක් උග්‍ර ලෙස රැඳී ඉන්නකොට ඒ හරහා සමහර අයගේ බිය/කාංසාව විෂාදය/ශක්තිය අඩුවීම/නින්ද අඩුවීම/ කෑම අරුචිය/හිතට දිගු කාලයක් සතුට නැතිවීම වගේ කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ ඇති විය හැකියි.
- මනෝමීය සංකුලතා
මනෝවෛද්‍ය පරීක්ෂණ අනුව නව යොවුන් වියේ සහ යොවුන් වියේ පිරිස් සමාජ මාධ්‍ය වැඩිපුර භාවිතා කිරීමෙන් මනෝමීය සංකුලතා ඇති වන බව කියවෙනවා. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට දිනපතා වගේ සමාජ මාධ්‍ය වැඩිපුර භාවිත කිරීම නිසා අවධානය අඩුවීම/අධ්‍යාපනය දුර්වල වීම/අධ්‍යාපන කුසලතා අහිමි වීම යන තත්ත්වයන්ට මුහුණ දී සිටින නව යොවුන් වියේ සහ යොවුන් වියේ දරුවන් බොහොම දෙනෙක් අපේ පරීක්ෂාවට ලක් වෙනවා. කලින් පාසලේ දක්ෂ ලෙස ඉගෙනීම කළ දරුවන් සමාජ මාධ්‍යවලට කාලය ගත කිරීම නිසා එයාලගේ අධ්‍යාපන ජයග්‍රහණ බිඳ වැටෙන අවස්ථා ඕනෑ තරම්.
මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවිට කිව හැකි වැදගත්ම දෙයක් වන්නේ ඔබේ දරුවා පාසැල් යන අයෙක් නම් අඩු තරමේ උසස් පෙළ අවසන් වන තුරුවත් ඔබේත් ගුරුවරුන්ගේ අනුදැනුම සහ අවවාදය මත සමාජ මාධ්‍ය වලින් පුළුවන් තරම් ඈත් කළ හැකි නම් එය ඉතාහ හොඳ තීරණයක් බවයි.
එසේම ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හෝ රැකියාවක නියුත් තරණයෙක් හෝ තරුණියක් නම් සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමෙන් ඔබේ මානසික සෞඛ්‍ය නිසි තත්ත්වයේ පවත්වා ගත හැකියි.
මේ සඳහා,
- සමාජ මාධ්‍ය සයිට්ස් ගණන සීමා කරන්න. එනම් සමාජ මාධ්‍ය කිහිපයක් යොදා නොගෙන එක් සමාජ මාධ්‍යක් පමණක් භාවිත කරන්න.
- ඔබට ලැබෙන නෝටිෆිකේෂන් සංඛ්‍යාව සීමා කරන්න. එවිට ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ඒවා නොපෙනී තිබීම මෙයට උදව්වක්.
- සමාජ මාධ්‍ය හා බැඳුනු වෙනත් වෙබ් ඇප්ලිකේෂන් හැකිතාක් සීමා කරන්න
- ඔබට පුළුවන් හැමවිටම දවස් කිහිපයක් හෝ සතියක් දෙකක් සමාජ මාධ්‍යවලින් වැලකී සිටින්න. ඔබ ඔබේ මිතුරන් සමග ලස්සන චාරිකාවක් ගියොත් ඔබට සමාජ මාධ්‍යවලින් තනිකරම ඉවත්වෙලා එම චාරිකාව වින්දනය කරන්න පුළුවන්.
- සමාජ මාධ්‍ය භාවිත කරද්දී යහළුවන්ට හිතමිතුරන්ට දමන පෝස්ට් කමෙන්ට්ස් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතරම ඒ මගින් තවකෙකුගේ ගෞරවයට අභිමානයට හිරිහැරයක් නොවිය යුතුයි.ඔබ සාමාන්‍යයෙන් යාලුවෙක් මුණ ගැහුණු විට කියන දේ සහ ඔබේ පෝස්ට් අතර තියන සංසන්දනය අනුවත් ඔබ මනුෂ්‍යයෙක් හැටියට වෙන මනුස්සයෙක්ට දැක්විය යුතු ගෞරවය සහ ඔබේ පරිණත භාවය ඔබේ සමාජ මාධ්‍ය පෝස්ට් මගිනුත් දිස් විය යුතුයි.
මෙන්න මේ වැදගත් කරුණු ගැන සැලකිලිමත් වෙමින් ඔබ පාසල් දරුවෙක් නම් හැකි තාක් සමාජ මාධ්‍ය වෙතින් වැළකී සිටීමටත් ඔබ යොවුන් වියේ අයෙක් නම් සමාජ මාධ්‍ය නිවැරදිව භාවිත කිරීමටත් අදිටන් කරගන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය
දුවකගේ තුවාල..
මගේ මුහුණේ ප්‍රතිබිම්බය මා පළමුව දුටුවේ මගේ අම්මාගේ මුහුණෙනි. එය කැටපතටත් වඩා පැහැදිලි බව මට දැනුදු ආවර්ජනය කළ හැක. ඒ මුහුණේ වූ මායාමය ආකර්ෂණය විනා අම්මත් මාත් ආදරෙන් බැඳී සිටි එකදු දවසක් හෝ මගේ මතකයේ නැත.
( Being a daughter to an unloving mother )
අම්මාගේ ආදරය හෝ අවධානය ඉල්ලා ගන්නෙ කෙසේදවත් නොදත් පීඩිත ළමා කාලයක් මට හිමි විය . අම්මාත්, මමත් ආච්චි අම්මලා සමග මහගෙදර විසුවෙමු. කෙදිනකවත් නොදුටු තාත්තා රටවිරුවෙක් වීම එයට ආසන්නතම හේතුව විය යුතුය. ඇයි? ඒ ඇයි? කොහොමද? කවුද? කියා ප්‍රශ්න කිරීමටවත් මට අයිතියක් නොතිබූ හෙයින් මා ඒ ගැන දන්නේ නැත ( lack of self confidence ).
මා දැන සිටි එකම කාරණය නම්, මා කුණු මාළු කෑල්ලක් හා සමානව පිළිකුල් කෙරෙන බවය ( not knowing that she is lovable or worthy of attention ).
මා කිසිදා වැරදි නොකළ මුත් ….. නැත මම කිසිදු දෙයක් වැරදෙනවාට බිය වුනෙමි. මන්ද අම්මාගේ පරිභව කිරීම් තරම් මගේ හිත කැබලි වලට ඉරිය හැකි වෙන කිසිදු තියුණු ආයුධයක් නොමැති බව මම අදටත් විශ්වාස කරන නිසාය. ” මෝඩ මූසලී , ගස් බැල්ලි , කාලකන්නි මූසලී ” වැනි ආක්‍රොශයන් මට සුපුරුදු ඒවා විය (criticized at every turn ).
පසුකලක ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම ” මම මෝඩ මූසල ගස් බැල්ලියෙක් ” බව විශ්වාස කිරීම නිසාම මම පැරදුනෙමි. මගේ මනසේ මගේ අම්මා නොඅඩුව තැන්පත් කළ දුෂ්ට සහ දීන වැකිවල දෝංකාරයෙන් මට අදද මිදීමට නොහැකිය ( internalized mother’s voice will continue to undermine child’s future accomplishments ).
මගේ උපන්දිනය යනු මා වැඩි වශයෙන් නින්දාවටත්, අපහාසයටත් පත්වන දවසක් පමණක්ම විය. එකම වෙනස වූයේ වෙනදා මා කෙරෙහි කිසිදු ඇඟෑලුම් කමක් හෝ විශේෂත්වයක් නොදක්වන ආච්චි අම්මා පවා, අම්මා අශ්ශීල ලෙස සිදුකරන පරිභව කිරීම් වලට උල්පන්දම් සැපයීමය. ” අපේ කරුමේ තොගේ මදන කුලප්පුව ” කියමින් ආච්චි අම්මා, ඇගේ දියණියට එදින විශේෂයෙන්ම බැණ වැදුණාය. එහි අග්‍ර ඵලය වූයේ මා අම්මාගේ අපමණ දෝෂදර්ශනයන්ට සහ ගුටි පහරවල් වලට ලක් වීමය.
මිනිසුන්ට මම බියවීමි. මිතුරෝද, සතුරෝද මට හඳුනාගත නොහැකි විය. මගේ අම්මා මට නොදුන් විශ්වාසය ලෝකයා විසින් මට දෙනු ඇතැයි අදද මම නොසිතමි ( lack of trust ). මම අම්මාගේ සමාගමය ප්‍රිය කළ හැම දිගු තත්පරයකම, ඇය එය නපුරු ලෙස ප්‍රතික්ෂේප කළාය. මා වැඩිවිය පැමිණීම හෝ ඉන් පසු ගැහැණු දරුවෙකු ලෙස මට මුහුණ දීමට සිදුවන අභියෝග කෙරෙහි ඇය අල්ප මාත්‍රයක හෝ උනන්දුවක් දැක්වූයේ නැත.
ඉතින් මට යමක හොඳ හෝ නරක කියා දෙයක් තිබුණේ නැත මම කවුද හෝ මට උවමනා මොනවාද යන්න මම නොදැන සිටියෙමි (difficulty seeing the self accurately ).
පාසල් පන්ති කව හෝ සංවර්ධන සමිතියේ රැස්වීම් වලට ගෙනියන්නට මට කිසිදා මවක්, පියෙක් හෝ භාරකරුවෙක් සිටියේ නැත. ඒ සෑම දිනයක්ම මට තවත් එක් හැඩුමක් පමණක් විය. ඇතැම් දිනෙක උගුරේ සිර වෙන බත් ටිකක් පවා මට කඳුළු ගෙනාවේය. ඉතා අසරණ හැඟීමක් අදෘශ්‍ය ලෙස මා වෙලාගෙන සිටීම මට වළක්වනු නොහැකි විය ( being overly sensitive ).
දැනුදු මම පිටස්තරයෙක් සමග ඉඳහිටක කායිකව බැඳෙමි. එනමුදු ආදරයෙන් නොබැඳෙමි. ආදරයට මම ඒ තරම් බියය. ආදරය යන වචනය සමග මට අම්මාගේ සියලු දෝෂාරෝපණයන් සිහිවේ ( replicating the mother bond in relationships ).
කිසිදා මවක් වීමේ අවශ්‍යතාවයක් මට නැත. නොදුටු පියෙකුට දාව අනාදර මවකට උපත ලැබීමේ සාපය ඔබට වටහා ගත නොහැකි තරම් විසල්ය, ව්‍යාකූලය. බුහුටි කෙල්ලකගේ සිට සමාජශාලා නළඟනක් දක්වා මා කැන්දාගෙන ආවේ ඒ අනාදරයම පමණය. මගෙන්, මගේම දරුවෙකුට එය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මට වුවමනාය.
අම්මා විසල් රුකක්ය. මට එහි සෙවන හෝ සිසිල කිසිදාක නොලැබුණ මුත් ඔබ අතින් ඒ වැරැද්ද සිදු නොවුණු දැකීමට මට වුවමනාය.
ආදරණීය අම්මේ……
ඔබේ දියණියට ඔබ සිතනවාට වඩා බොහෝ වැඩියෙන් ආදරය අවශ්‍යය. බොහෝ අවධානය අවශ්‍යය. ඇයට කන් දීමට හොඳ මිතුරියක් අවශ්‍යය. ඈ වෙනුවෙන් ඕනෑම මොහොතක නිවසේ දොරවල් විවෘත බවට වගවීමක් අවශ්‍යය. අහස පුරා ඉගිලීයන්නට නිදහස අවශ්‍යය. සතුටු කඳුළු ද, දුක් කඳුළු ද හෙලීමට ඔබේ උණුසුම් ආදරණීය උරහිස අවශ්‍යය. කොන්දේසි විරහිතව නාවා ගෙට ගත හැක්කේ පුතුන් විතරක් නොවන බවට සහතිකයක් අවශ්‍යය. තොටිල්ල නලවන අත ලොව රජ කරවන බවට නිදර්ශනයක් අවශ්‍යය. ඒ සියල්ල සැපයිය හැක්කේ ඔබට පමණමය.
සියලු අම්මලාට ආදරයෙනි.
දරුවාට හෙඩ්ෆෝන් එකක් ලබා දීමේදී සැලකිය යුතු කරුණු
අද හෙඩ් ෆෝන් භාවිතය අපි කාටත් සුලබ දර්ශනයක්. එයිනුත් වැඩි පිරිසක් නව යොවුන් වියේ පසුවෙන දරුවන් කිව්වොත් නිවරැදියි.කොවිඩ් වසංගත තත්වය සමග මේ විද්යුත් මෙවලම් දරුවන්ටත් නැතිවම බැරි තරම් සමීප වුණා.
ඒ වුනත් හෙඩ්ෆෝන් භාවිතා කිරීමේදී වැඩිහිටියන් විසින් දැනගත යුතු කරුණු කීපයක් තිබෙනවා.
දරුවන් හෙඩ්ෆෝන් පාවිච්චි කරනවා නම් වැඩිහිටියන් පාවිච්චි කරන උපාංගයම දරුවන්ට ගැලපෙන්නේ නැහැ.ඒ නිසා දරුවන්ට මේවා භාවිතයට අවසරයක් දෙනවා නම් හෝ දරුවාට හෙඩ් ෆෝන් භාවිතා කළ යුතු අවස්ථාවක් තිබෙනවා නම් මේ ගැනත් සිතන්න වෙනවා..
සමහර දරුවන් ඝෝෂාකාරී සංගීතයට සවන් දීමට හෙඩ්ෆෝන් පැළඳ ගැනීම එතරම් සුදුසු නැහැ. ඒ නිසා දරුවන්ගේ ශ්‍රවණ පිලිබද ගැටලු ඇති වෙන්න පුලුවනි. දරුවන්ගේ ශ්‍රවණ මාර්ගය පටුයි. ඒ නිසා ශබ්ද මට්ටම 60% කට වැඩියෙන් පවත්වා ගැනීම සුදුසු නැහැ.ඒ නිසා දරුවාට හෙඩ් ෆෝන් එක සමග තනි වෙන්න දීලා අම්මා ,තාත්තා තමන්ගේ වැඩ කටයුතු කර ගෙන යන්නත් එපා. දරුවා සවන්දෙන සංගීතය හෝ වෙන යම් දෙයක් මීටරයක දුරට ඇසෙනවා නම් එයින් තේරුම් යන්නේ ශබ්ද මට්ටම ඉහළ බවයි. දරුවා පවත්වා ගෙනයන ශබ්ද පරාසය ගැන විමිසිල්ලෙන් සිටින්න. ඒ වගේම In Ear Audio Piece වලට වඩා හෙඩ් ෆෝන් ආරක්ෂිතයි.
ඒ වගේම දරුවා කියන්නේ හයක් හතරක් තේරෙන කෙනෙක් නොවෙයි. ඔවුන් බලන්නේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒත් හෙඩ්ෆෝන් එකක් පැයකට වඩා වැඩි කාලයක් පැළඳගෙන සිටීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. ඒ නිසා දරුවා මේවා සමග ගණුදෙණු කරන කාලය ගැනත් විමසිල්ලෙන් සිටින්න.
තවත් අනතුරු දැන්වීම් තිබෙනවා..
දරුවා හෙඩ්ෆෝන් එකක් භාවිතා කරනවා නම් එය මිතුරන් අතරේ බෙදා හදා ගැනීමත් සුදුසු නැහැ. ඒ ඇයි කිව්වොත් කණ වැනි විවෘත කුහර ඔස්සේ විෂබීජ සම්ප්‍රේෂණයට ඇති අවස්ථාව ඉතාම ඉහලයි.
සමහර අවස්ථාවලදී හෙඩ්ෆෝන් නිසා අවට පරිසරයේ ඇති ශබ්ද ඇසෙන්නේ නැහැ. අම්මා,තාත්තා කතා කළත් දරුවා ඒ ගැන අවධානයක් දක්වන්නේ නැහැ.
හෙඩ්ෆෝන් නිසා හිසරදය,කැරකැවිල්ල වැනි රෝග තත්වයන් ගැනත් සමහර විට දරුවා පැමිණිලි කිරීමට පුළුවනි.
දරුවන්ට ගැලපෙන හෙඩ් ෆෝන් තිබෙනවා..
මෙහිදී දරුවාට අපහසු නොවන විදිහට තෝරා ගැනීම ඉතාම වැදගත්.
- හෙඩ්ෆෝනය හිස මත රැදී ඉතා හොඳින් කණට ස්ථානගත විය යුතුයි.පමණට වඩා තද වීම දරුවාගේ කණට සහ හිසට ගැටලුවක්. ලිහිල් වුනොත් එය රඳවා ගෙන සිටීමේදී අපහසුතාවයක් ඇති වේවි.
- ශබ්ද සීමාව
- කල්පැවැත්ම-දරුවන් ගේ දඟකාරකම නිසා හෙඩ්ෆෝන් ඉතා පහසුවෙන් බිම වැටී කැඩෙන්න පුලුවන් නිසා Wireless සුදුසුයි.
- ආකර්ශණීය බව-පොඩ්ඩන්ගේ ඇසට ආකර්ශනයක් දැනෙන හෙඩ්ෆෝන් වඩාත් සුදුසුයි.
- ළමුන් සඳහා නිර්මාණය කර ඇති හෙඩ්ෆෝන් වල උපරිම ශබ්දය සීමා කරයි
- Noise-cancelling හෙවත් ශබ්දය අවලංගු කරන හෙඩ්ෆෝන් මිල අධික වුවත් තවත් විකල්පයකි. පිටත ශබ්දය ආක්‍රමණය අඩු කිරීමෙන්, එයින් අදහස් කරන්නේ දරුවන්ට හෙඩ්ෆෝන් ශබ්ද මට්ටම අඩු මට්ටමක තබා ගත හැකි බවයි.
බඩගිනි පැටියාට අලිගැටපේර
අම්මේ බඩගිනියි…පැටියා දුවගෙන ආවා.
ඉන්න බිස්කට් දෙන්නම්..අම්මා අත් දෙකටම බිස්කට් දෙකක්ම දුන්නේ ටික වෙලාවක් යනකම් බඩගිනි විප්ලවය නැති වෙන හින්දා..
බිස්කට්වල ගුණයක් ඇතෑ…ඔය දරුවට අලිගැට පේර ගෙඩියක් හදලා දෙන්න..අර ගස් යට කුණු වෙවි අලිගැට පේර වැටිලා..අත්තම්මා කිව්වා
අනේ දැන් ඕවාට වෙලාවක් නැහැ. මට උයන්න වෙලා යනවා.ඔය බිස්කට් ඇති.
ඒ වුනත් අලිගැටපේර පැටියාගේ පොඩි බඩගින්නට විතරක් නොවෙයි,පැටියා කුස දරණ අම්මලාටත් ගුණදායක ආහාරයක්.
අලිගැටපේර ග්‍රෑම් 40 ක ගුණ
ශක්තිය කැලරි 64
මේදය ග්‍රෑම් 6 යි.
කාබොහයිඩ්රේට ග්‍රෑම් 3.4
තන්තු ග්‍රෑම් 3 යි.
මේ ගුණයන්ට අතිරේකව විටමින් C, E, K සහ B-6 අඩංගුයි.රයිබොෆ්ලේවින්,ෆෝලේට්, pantothenic අම්ලය,ඔමේගා 3,මැග්නීසියිම්, පොටෑසියම් සහ බිටා කැරොටින්වලින් සමන්විත නිසා නිරෝගි ගැබ් ගැනීමක් වෙනුවෙන් අලිගැටපේර ඉතාම ගුණදායකයි. නිරෝගී ගැබ් ගැනීමක් සඳහා ෆෝලේට් අතිශයින් වැදගත් වේ.අලිගැටපේර ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීමෙන් ගබ්සා වීමේ හා neural tube දෝෂ ඇතිවීමේ අවදානම අඩු කරයි.
මීයන් ආශ්‍රිත පරීක්ෂණ
අලිගැට පේර කලළ ආරක්ෂවට ඇති වැදගත්කම අලලා මැක්හිල් විශ්ව විද්‍යාලය විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.එහිදී අලිගැටපේර ආහාරයට ලබා දුන් මීයනේගේ
මැක්ගිල් විශ්ව විද්‍යාලයේ මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ෆෝලේට් ඌනතාවය ඇති මීයන්ගේ විවිධ උපත් ආබාධ ෆෝලේට් ඇති මීයන්ට සාපේක්ෂව 30% කින් ඉහළ ගොස් ඇති බවයි.ඒ නිසා ගැබිණි මව්වරුන්ටත් අලිගැටපේර බෙහෙවින් ගුණදායකයි.
මානසික සෞඛ්‍ය
අද නිතරම අපට ඇසෙන මානසික ආතතිමය තත්වයෙන් දුරස් වීමට නම් අලිගැටපේර ආහාරයට ගන්න.අලිගැටපේරවල ඇති ෆෝලේට් මගින් homocysteine ගොඩ නැගෙන නිසා මොළයට යහපත් රුධිර සංසරනයක් ලැබී යහපත් මානසික සෞඛ්‍ය තත්වයක් ඇති කරනවා.
පැටියාගේ රස හඳුනන දිවට
පුංචි පැටව් රස ගැන දැනීම ලබා ගන්නේ ඔවුන්ට ලැබෙන මුල් ආහාර අනුවයි.ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රොබට් මරේ සදහන් කරන්නේ පුංචි කාලයේදී අලිගැටපේර ආහාරයට ලබා දුන් විට සීනි වෙනුවෙන්පොඩිත්තන්ගේ උනන්දුව අඩු වෙන බවයි.
විවිධ විදිහට දෙන්න පුලුවනි.
- අලිගැටපේර මද ආහාරයට දීම.
- පළතුරු සලාදයට අලිගැටපේර එකතු කිරීම.
- අලිගැටපේර යුෂ පානය
- ආහාර පිළියෙල කරන විට බටර් සහ මයෝනිස් චීස් වෙනුවට අලිගැටපේර යොදා ගන්න පුලුවනි.
අම්මා,තාත්තාගේ නිරෝගිතාවයට
දරුවාට ආදරෙයි නම් අම්මා,තාත්තා නිරෝගිව සිටීම වැදගත්. අද බෝනොවන රෝගයන්හි ගොදුරුබවට පත් වෙන සීඝ්‍රතාවය ඉතාම ඉහලයි.අගිලැටපේරවල අන්තර්ගත ස්වභාවික ශාඛ sterol මගින් රුධිරගත කොලස්ටරෝල් ගිනුම වගේම හිතකර කොලස්ටරෝල් මට්ටම හොඳින් පවත්වා ගෙන යනවා.
පිළිකා කියන්නේ අපි විසින්ම ගොඩ නගා ගත්ත ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්නම් ආරෙට එන රෝගයක් වෙන්නත් පුළුවන්.අලිගැටපේරවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා නැති කිරීමේ හැකියාවෙන් යුක්තයි. ආතරයිටිස් සහ වකුගඩු රෝග තත්වයට ගුණදායකයි.
අම්මාගේ ලස්සනට
දරුවා ලැබුනාට පස්සේ රුව ලස්සන වෙන්න සැලොන් යන්නත් බැහැ. ඒ වුනත් අලිගැටපේර සත්කාරයක් මගින් අම්මාගේ ලස්සන රැක ගන්න අවස්ථාව ලැබී තිබෙනවා.අලිගැටපේරවල ඇති විටමින් ‘සී” නිසා සම රැළි වැටීම වලක්වා ගන්න පුලුවනි.ඒ වගේම හිරු එලියට නිරාවරනය වීමෙන් ඇති වෙන සමේ රැලි වැටීම් වලක්වා අම්මාගේ ඇසටත් ආරක්ෂාව ලැබෙනවා.ඒ නිසා අලිගැටපේර පේස්ට් එකක් සාදාගෙන මුහුණේ ආලේප කිරීම නිවසේ ඉදන්ම තමන්ටම සිදු කර ගත හැකි සත්කාරයක්.
ඊටත් වාරෙට හැදෙන පළතුරු ආහාරයට ගැනීම ජීවිතයේ තවත් අත්දැකීමක්
තාත්තාගෙන් දූට
කුඩා ළදැරියකගේ හැඬුම් හඬ, මට මා අහිමි කරන බව හෝ සදාතනිකවම මම ඇයට බැඳෙන බව, මගේ දියණියගේ පළමු හැඬුම් හඬ ඇසෙන තුරුම මම විශ්වාස නොකළෙමි. ඇගේ හෙට දවස වෙනුවෙන් මගේ අද දවසේ සතුට මට විලංගුලා දැමිය හැකිබව තේරුම් ගැනීමට, ඇගේ එකම එක පුංචි ඉකි ගැසුමක් ප්‍රමාණවත් විය. මහදේ දොරගුලු වෙන කිසිදු ස්ත්‍රියකට විවර නොකරන බවට නුඹේ අම්මාට දුන් පොරොන්දුව නුඹ කිරිකැටියෙක්ව උපන් දා මම බිද දැම්මෙමි. කිසිදා නොබෙදී යනු ඇතැයි විශ්වාස කළ මගේ ප්‍රේමය, නුඹ උපන් දා බෙදී ගියේය. දුවේ නුඹ උපන්දා මමද ඉපදුනෙමි.
ලෝකය විෂම බව ද නපුරු බව ද මම නුඹට සෙමින් උගන්වමි. නුඹ දිරිය ගැහැනියක ලෙස ජීවිතය දිනන තුරු, මේ තාත්තා නුඹේ අත අල්වාගෙන ඉදිමි. ඉතා අසීරු ජීවන දහම නුඹ සෙමින් ග්‍රහණය කර ගන්නා තුරු ඉවසීමෙන් සිටිමි. ජීවිතයේ සියලු පාඩම් සංයමයෙන් වටහා දෙමි.
මගේ පුංචි දුවේ……..
ගිනි අවුලවන්නට ලේසිය. ගිනි නිවීම අසීරුය. ඇවිලුනු ගිනිදැල් නිවීමේ මාර්ගද, කිසිදා ගිනි නොඇවිලෙන ලෙස ක්‍රියා කිරීමේ උපාය මාර්ගද මගේ දූ ඉගෙන ගත යුතුය. ගැහැනියක පරිණත වන්නේ නිවීමෙන්ම බව දූ තේරුම් ගත යුතුය ( be a problem solver ).
ඔබ උපන්නේ පරිපූර්ණ ( perfect ) ගැහැනියක් වීමට නොවේය . ඔබටම අනන්‍ය අසම්පූර්ණ (imperfections ) කතන්දර වලට ඔබ තුළම ජීවත් වීමට ඉඩ හරින්නට උවමනාය. නුඹ නුඹම වනු දැකීමට මේ තාත්තාට ඕනෑය. වැරදීම්ද, අතපසුවීම්ද සිදුවන්නේ මිනිසුන් අතින් බව මගේ දූ දැනගන්නට අවශ්‍ය ය. ඉතින් වැරදේ හෝ පැරදේ යැයි බියෙන් ඉදිරියට ගත් පය පසුපසට නොගැනීමට තරම් මගේ දූ ධෛර්යමත් විය යුතුය. පැරදීමට බිය විය යුතු නැත ( don’t be afraid to be wrong or mistaken ).
ලෝකයේ සෑම කුඩා අංශුවක්ම පරීක්ෂණ වලටද, ප්‍රශ්න කිරීම් වලටද ලක් වන බව දූ දැනගත යුතුය. ඉතින් මගේ දූ ප්‍රශ්න වලට මුහුණදීමට ඉගෙන ගත යුතුය. ප්‍රශ්න වලට පිළිතුරු හෝ විකල්ප මගේ දුව තනිව සොයා ගත යුතුය (come to the table with more solutions than problems ). ජීවිතයට බය නැති බව මගේ දූ ඔප්පු කරනු දකින්නට මට වුවමනාය.
මම මහල්ලෙක් වෙන වේගයට සමානුපාතිකව මගේ දූ ලස්සන තරුණියක් වෙන බව මට විශ්වාසය. පෘථිවියේ පරිභ්‍රමණය නවත්වන්නට හෝ දූ පුංචි පැටියෙක්ව සදහටම තබා ගන්නට මේ තාත්තාට අවශ්‍ය මුත් එය මට කළ නොහැකි බව දුව දන්නවා ඇතැයි සිතමි. ඒ නිසා අදුරු මතකද, නිදි වර්ජිත කඳුළු කඳුලු පිරුනු ඇස් ද දූගේ මතකයෙන් අතුගා දැමිය යුතු බව මම යෝජනා කරමි. එහෙත් අපි පවුලක් ලෙස එකට ආදරයෙන් බැඳී හුන් මතක ගබඩාව මගේ දු ලග තිබීමට මට වුවමනාය. ඒ ආදරණීය මතක සටහන් මගේ දූ කෙදිනක හෝ ඉතා හොඳ පෙම්වතියක්, ඉතා හොඳ බිරිඳක්, ඉතා හොඳ යෙහෙළියක්, ඉතා හොඳ අසල්වැසියෙක් සහ ඉතා හොඳ පුරවැසියෙක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි ( keep beautiful moments in your heart ).
ඔබ උපන්නේ රෝස පාට සිඟිති අත් දෙක කිටිකිටියේ ගුලි කරගෙනය. සෙමෙන් දිගහැරුණු ඒ රෝස පාට අත්ල මත පාරිශුද්ධභාවය හැර වෙන අන් යමක් දූගේ තාත්තා දැක්කේ නැත. ඒ පුංචි දෑත්වලින් ඔබ අනාගත ලෝකයට යමක් දායාද කළ යුතුමය. නුඹේ තාත්තාට නුඹට දෙන්නට වතුපිටි හෝ හෝ හරකාබාන නැත. මට ඔබට දිය හැකි අමිල සම්පත වන්නේ අධ්‍යාපනය පමණය. ඉතින් නුඹ හොඳින් ඉගෙන, පරිකල්පනයේත් නවෝත්පාදනයේත් විශිෂ්ටයෙකු වනු දැකීමට මේ තාත්තාට උවමනාය ( you can make something out of nothing ).
මගේ සෙවණේ, මගේ දූට කැමති විටෙක නිදන්නටද, කැමැති විටෙක කන්නටද, කැමැති විටෙක කෙළිදෙලෙන් සිටින්නටද හැකිමුත් එසේ කළ නොහැකි අතිශය කාර්යබහුල, අතිධාවනකාරී ලෝකයකට මගේ දූ කෙදිනක හෝ ප්‍රවිශ්ට වෙනු ඇත. එදිනට මේ තාත්තා බොහෝවිට බොහෝ විට පස් ගොඩක් පමණක් වනු ඇත. ඒ නිසා හැම විටම කම්මැලි වීම ඉතාම කම්මැලි බව මගේ දූ තේරුම් ගත යුතුය ( being bored is boring ). අවශ්‍ය විට අනලස්ව කටයුතු කිරීමේ පාඩම මගේ දූ ඉගෙනගෙන තිබිය යුතුය.
ඇතැම්විට බොහෝ දේවල් වචනයෙන් දිනන්නට මගේ දුවට සිදුවෙනු ඇත. එනමුදු ජලයට විසි කරන ලද ගලක් හෝ කටින් පිටවුණු කිසිදු වචනයක් නැවත ගත නොහැකි හෙයින්ද, මහනෙල් සුවඳමුත් කුඩමසු පිළීගඳ හෙයින්ද මගේ දූ වචන ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට උගත යුතු වන්නේය. ඔබේ ඉවසීම අතික්‍රමණය වන ස්ථානවලදී පවා සංයමයෙන් වචන හැසිරවීමට මගේ දුව සෙමින් පුහුණුවිය යුතුය (our words are a thing of beauty ).
දූගේ සීයාගේ ලෝකය වර්ණවත් කළ ස්භාවික ලෝකයේ චමත්කාරයට වඩා දූගේ තාත්තාගේ ලෝකයේ තිබුනේ තාක්ශණික ලෝකයේ අරුමැසි පෙරළීන්ය, වෛද්‍ය විද්‍යාවෙන් පවා පිළිතුරු සොයා ගැනීමට නොහැකි වූ රෝගාබාධය. සෑම කරුණක් අරභයාම විච්ජින්න වූ මිනිසුන්ය. සින්තටික් සිහිනය. නපුර වෙනුවෙන්ම පෙළ ගැසුන චතුරංගනී සේනාය. විපරීත බුද්ධීන්ය. ඉතින් ඒ සෑම අභියෝගයක්ම දූ ටය. ඒ සියල්ලටම මුහුණ දෙද්දී දුව මතක තබා ගත යුතු එක් කරුණක් වන්නේය. එනම් හැම බර සුසුමකට පසුවද, කඳුලකට පසුවද, පැරදුමකට පසුවද දූ හැරී බලනවා නම්, දූගේ තාත්තා දූ පසු පස්සේ ඉන්නා බවය.
දියණිවරුන්ට ආදරයෙනි.
උදානිගේ ලෝකය
අපි ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන හීනේ පාට කරන්න තදින්ම උවමනාව තිබ්බෙ තාත්තට. අයියයි මමයි අතරෙ වයස පරතරය අවුරුදු දෙකයි. මල්ලි ඉපදෙනකොට මම දෙක වසරේ. අග්‍රබෝධි විද්‍යාලය ගමේ ඉස්කෝලේ, තිබුණේ හූවක දුරින්. මම ඉපදෙන කොටත් මට කලින් අයියා ඉපදෙන කොටත් අපිට තිබුනේ කටුමැටි ගේකුයි, පිදුරු අස්සෙන් ඉරයි, හදයි, තරුයි බලන්න පුළුවන් වහලකුයි විතරයි. අපිට ඉස්කෝලේ වැඩ කරන්න, කන්න, බොන්න, නිදියන්න ඇතුළු ඕනෑම වැඩකට තිබ්බේ සාලෙ කෑල්ල විතරයි, තව කුස්සියයි එළිපත්තයි. තාත්තා නිදාගත්තේ එළිපත්තේ. ගේ අස්සේ අපි තුන් දෙනෙකුට ඉඩ තිබුණත් මල්ලි ලැබුණම ඒ පුංචි ඉඩ, හතරට බෙදා ගන්න හිත හදාගන්න අයියටයි මටයි සිද්ධ වුණා.
තාත්තා කළේ කුලී වැඩ. ගමේ මනුස්සයෙක් මැරුනම වළ දාන්න, වළ කපනකම් ඉඳලා ගස්වල අතු පාහින එක දක්වා ඕනෑම වැඩක් තාත්තාට කරන්න පුළුවන්කම තිබුනා. එහෙම වුණත් වුණත් මට තේරෙන කාලේ ඉඳන්ම අපිට පිළිගැනීමක් තිබ්බෙත් නෑ ( low self confidence ).
” ගුණයගේ කෙල්ල මෙහෙට්ට වර…….ගුණයගෙ කොල්ලා දුවපිය යන්න…” වගේ වචන වලින් මිසක් කරුණාවන්ත වචනයක් ඇහුවානම් අපි, ඒ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි විතරයි .
ගුණපාල කියන්නේ මගේ තාත්තා.
හැම වෙලාවෙම විට හපාපු, කලාතුරකින් දවසක හැර කමිසයක් නොඇඳපු, ඉර එලියටම පිච්චිලා බරු ගැහුණු තාත්තාගේ ඇඟේ, නිතර කඳුළුවලින් බොඳ වෙච්ච ඇස් දෙකක් පිහිටුවේ කොහොමද කියලා මම හිච්චි කෙල්ල සංදියේ ඉදලා කල්පනා කළා. එළිපත්ත උඩ වාඩිවෙලා මිදුලේ මල්ලි සෙල්ලම් කරන දිහා බලාගෙන කල්පනා කරන තාත්තගේ ඇස් ගොබ, රතු වෙලා නිතරම නලියනවා මම දැකලා තියෙනවා ( unhappiness and sadness ).
අපිට කිසිම දවසක ගමේ ගෙදරක එළිපත්තට ගොඩවෙන්න දීලා නෑ. පිළිකණු එක්ක අපිට තිබ්බෙ ආත්මගත බැඳීම්. බැරිවීමකින් අපේ මල්ලි ගෙදරක ඉස්සරහින් ගොඩ උනොත් ” මේ පද්දා පැටියා කොහේ රින්ගනවද? පල එළියට.. හුජ්ජ කොල්ලා..” වගේ ගෝරනාඩු තමයි අපිට අහන්න ලැබුණේ. එහෙම වගේ වෙච්චි හැමවෙලාවකම මගේ අසරණ අම්මා බිම බලාගෙනම දුවගෙන ඇවිත් ( shyness ), මල්ලිව ඇදන් යන සිද්ධිය තමයි මට දැනටත් ඇස් පියාගත්තම ක්ෂණිකව මැවෙන චිත්තරූපය ( regular exposure to social isolation ).
” පද්දෝ “
මම ජීවිතේ අහන්න අකමැතිම ඒත් වැඩිම වාර ගාණක් අහපු එකම වචනය. මගේ ලොක්කයියා “උදාර ” වුනත් ” උදාර පද්දෙක් ” කියළා සමච්චලේට ලක් වුනේ කවදා ඉදලද කියන්න මම දන්නේ නෑ ( regular exposure to humiliation ). පදු කියන්නේ අඩුකුලයක් ය.මගේ තාත්තා පදු ය. අම්මා පැදුරු වියන කින්නර කුලේ ය. අපි යටහත් පහත්ව ඉන්න ඕනය, කියල අම්මා අපිට මන්තරයක් වගේ කිව්වට, ඒ යටහත් පහත් විල්ලෙන් අපිට සෙතක් නම් වුණේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි ( victim becomes emotionally withdrawn ).
අපිට හරියට කන්න ලැබුනේ තාත්තට හරිහමන් වැඩක් පලක් ලැබුණා නම් විතරයි. තාත්තා ඒකෙනුත් බොහෝ කොටසක් වැය කළේ අපේ ඉගෙනීමට. අපි ඉස්කෝලේ ගෙනිච්චේ පොල්සම්බෝල තෙල් දාලා බත්. ඒ වුණත් ඒකත් නැති දවස් තමයි ගොඩක් තිබ්බේ. කිසිම ළමයෙක් කවදාවත් මා එක්ක කෑම බෙදා ගෙන නැහැ . පංතියේ අන්තිම කෙලවරේ බංකු කොන තමයි උදානිගේ ( not having a support network or friends ).
උදානි කියන්නේ මේ මම.
මම ගමේ ඉස්කෝලෙට පිරිසුදුට ඇන්දත්, තිබ්බ ඇඳුම් දෙක ඇදලම, හෝදලාම, වැස්ස දවසට දුමේ වේලලාම අපිරිසිදු පාටක් වෙලා තිබ්බා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නවත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. මම තනි වෙලා හිටියේ. ඒත් හරිම වචනය මාව තනි කළා කියන එකයි (victim feels lonely ). ඉස්කෝලේ ගුරුවරු පවා එහෙමයි. මොකද එයාලා මේ ගමේම අය. පස්සේ කාලෙක ආපු කුමාරිහාමි ටීචර් නොවෙන්න මගේ කතාව මෙහෙම නොලිය වෙන්නත් තිබ්බා.
මගේ අහිංසක ලොක්කයියා නම් ඒ දවස්වල නිතරම හිටිය තරහෙන්. අපේ කුලේ හරි දුප්පත්කම හරි නැත්තම් වෙන මොකක් හරිම හේතුවක් නිසා දිනපතා අපිව පෙළෙන එකට ලොක්කයියා වෛර කළා. එයා චිත්‍ර අඳින්න උපන්ගෙයිම දක්ෂයෙක්. ඒත් කුමාරිහාමි ටීචර් එන්න කලින් එයා සියලු දේ අතඇරල ඉස්කෝලෙන් පවා කට්ටි පැන්න ඇට්ටර කොල්ලෙක් ( academic performances of the victim starts plummeting ). ලොක්කයියා ඉස්කෝලෙ ටැප් එක ලඟදි කුලේ මතක් කරලා විහිළු කරපු කොල්ලො දෙතුන් දෙනෙක්ට ගහලා තිබ්බා ( physical aggression ). වැරැද්ද මොකක් උනත්, කාගේ උනත් අපි තමයි හැමදාම දඬුවම් වින්දේ.
අපේ දුප්පත් අම්මටයි තාත්තටයි හීන බලන්න පවා තිබ්බ අයිතිය ගමේ මිනිස්සු උදුරන් තිබ්බේ. අපිට කවුරුහරි අපහාසයක් නින්දාවක් නොකලා නම් ඒ එහෙම දවසක. පුංචි කාලේ නිතර නිතර ඒ පැමිණිලි ගෙදර අරන් ගියත් ඒ දවසට අම්මයි තාත්තයි කන්න තියෙන බත් දංකොඩ ටිකවත් හරියට කන්නේ නෑ, හරියට නිදාගන්නේ නෑ ( victim is having trouble sleeping and skipping meals) කියලා තේරුම් ගත්තම අපි නිහඬව ඒ අපහාස දරාගන්න පුරුදු වුණා.
කුමාරිහාමි ටීචර් අග්‍ර බෝධියට ආවේ වෙන ඈත ඉස්කෝලෙකින්. ටීචර්ගේ මහත්තයට රාජකාරි මාරුවීමක් ලැබිලා. මගේ අත් අකුරු ලස්සන බවයි, මට ඉගෙන ගන්න පුළුවන් බවයි ඒ වගේම අපේ ලොක්කයියාගේ චිත්‍ර ඇදිල්ලයි ටීචර්ගේ ඇහැ නොගැටෙන්න අද අපි දෙන්නම මෙතන නෙමෙයි. මම ශිෂ්‍යත්වෙන් පාස් වෙන්නේ ස්කෝලෙන් වැඩිම ලකුණු අරන්.ඒත් ඇත්තටම ඉස්සෙල්ලම ටවුමේ ස්කෝලෙකට ගියේ අපේ ලොක්කයියා , ඒ ලොක්කයියා චිත්‍රවලින් සමස්ත ලංකා මට්ටමේ කුසලතා පෙන්නුවම කුමාරිහාමි ටීචරුයි එයාගේ මහත්තයගෙයි මැදිහත්වීමෙන් ටවුමේ ඉස්කෝලයක් ලැබීම නිසා. කුමාරිහාමි ටීචර්, ඇගේ පඩිපතෙන් වැඩි කොටසක් අයියගේ කළමනාවලට වෙන් කළ බව අමතක කරන්න බෑ. ඇය හිතෙනුත් පොහොසත් ගුරුවරියක්.
ටවුමේ ඉස්කෝලේදී අපිට කවුරුත් “පද්දෝ” කියලා එලිපිට විහිළු නොකළත් මුණු මුණුව නම් තිබ්බා. සමහරු කුලේ නමින් හොයාගෙන තිබ්බා. ” ලස්සන අකුරු තියෙන උදානි “කියලා මම ඉස්කෝලේ ප්‍රසිද්ධ වුණා. ඒ දවස්වලම අම්මට අලුතෙන් පටන් ගත්ත රබර් ෆැක්ට්‍රියේ රස්සාවක් ලැබිලා තාත්තවත් ඒකට පංගඩාත්තු කරගත්තට පස්සේ තමයි අපේ මල්ලිට සුදු බත් ටිකක් එක්ක මාළු කෑල්ලක් කන්න ලැබෙන්න ඇත්තේ.
අපි ඉගෙනීමෙන් ඉහලට යද්දි තාත්තට බයක් දැනිලා අපේ වාසගම අපිට කවද හරි පරහකට ඉදීවි කියලා. අපි දන්නෙවත් නැතුව තාත්තා ගමේ උගත් මහත්තැන් කෙනෙක්ගෙන් වාසගම වෙනස් කරන්න උපදෙස් ඉල්ලලා . ” අනේ යකෝ උඹලා නම් ගම් වෙනස් කලාම අපේ ළමයින්ට, උඹලට එක මේසේ වාඩි වෙන්න පුළුවන්නේ…පල මගේ දෑහැට නොපෙනී ” කියලා තාත්තාව එලවගෙන (repeatable harassment ). මේ කතාව අම්මා මට කීවේ විශ්විද්‍යාලේ නිවාඩුවකට මම ගමේ ගියාම.
අපේ අවසානය කඳුලක්ම, වේදනාවක්ම වෙන්නැති කියලා හිතනවා නම් මට ඒකට කියන්න තියෙන්නේ, ඒක අර්ධ සත්‍යයක් කියන එකයි.
උදාන සම්පත් කියන සම්මානලාභී ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියාව අද කවුද නොදන්නේ? ඒ මගේ ලොක්කයියා. එයා විවාහ වුනේ ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පිණියක් එක්ක. එයා බෙලා.
ලස්සන අකුරු තියෙන උදානි මේකලා දැන් නීතීඥයෙක්. මම නීති පීඨේදිම ජේෂ්ඨ නීතී ශිෂ්‍යයෙක් එක්ක ආදරෙන් බැඳුනා. අපේ මල්ලිට විද්‍යාපීඨ කැඳවුම ආවේ ගිය මාසේ.
අම්මටයි, තාත්තාටයි උවමනා වුනේ අපි, උපන්ගමට කවදාවත් නොඑන්න. ඒත් ලොක්කයියා ගේ හැදුවේ ගමේ. ඔව් ! කටුමැටි ගෙදර කඩලා, එතන සාරසුභාවට හදපු ගෙට මුල්ගල තියපු දවසේ, අයියට ඇඩුනා. අවුරුදු ගාණක නින්දා අපහාසවල බර එයා මුල්ගල එක්කම යටකරන්න ඇති. මමත් මගේ කාර්යාලයක් ඒ ගෙදරම විවෘත කලේ ……. ඔව් මේ කතාව කියවන ඔබට හිතෙන දේටම තමයි.
නැතිදා නොසිටි සියළු මිනිසුන් ඇතිදා රැස් වෙන රීතියට ඒ ගමේ මිනිසුන් සෙමින් අනුගත වෙමින් තිබුනා. අපි ඉස්සරහ දොරින් ගැනීමට පිළිකුල් කළ මිනිසුන් අපේ නිවසේ දොර ඉදිරිපිට සිටගෙන සිටියේ මගේ හෝ අයියගේ සේවය ලබා ගන්නයි. ඔවුන්ගේ දරුමුණුපුරන්ගේ ඇස් පාදන්න අපේ මල්ලි නුදුරේදිම පටන් ගන්නා බව මට විශ්වාසයි. අපේ තාත්තට හෘදයාබාධයක් ( heart stroke ) ආවේ නොසිතූ වෙලාවක. අපේ තාත්තා පපුව පැලෙන්න තරම් වේදනා වින්දේ අද ඊයේ නෙමෙයිනේ. විශාදයට ( depression ) තාත්තා බෙහෙත් ගත්තේ ඇත්තටම ලොක්කයියාගේ බල කිරීමට. එතකොට මම විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නවා.
තාත්තාගේ හෝ අම්මාගේ බයාදු ගතිය යැවීමට අපට තවමත් නොහැකිය. වසර ගණනක් පුරා දුක, අපහාස, ප්‍රතික්ෂේප වීම් වලින් මිරිකුණු ඒ අසරණ ජීවිත වලට සුන්දර ළමා කාලයක් හෝ තරුණ කාලයක් නොදීමට වග බලාගත් මිනිසුන් ලබා ගත්තේ මොනවා දැයි නොදනිමි. මා සහ මගේ පවුල හංවඩු ගසන්නට මුල් වූ මගේ වාසගම සහිත දිගු නම ලියනා විටද, ඇසෙනා විටද පිටදිගේ එන විදුලියක් උගුර හිර කිරීම හෝ නළලත දාඩිය මතුවීම අදද මට වළක්වනු නොහැකිය. ජීවිතයේ සෑම ජයග්‍රහණයකදීම අතීත මතක වලින් ජීවිතය වෙව්ලුම් නොකන බව මට කියන්නට බැරිය. Bully කියන වචනය පවා නොදත් යුගයක පවුලක් ලෙසම bully වීමු. දිවි අහිමි කරගැනීමට ( suicide ) සිතූ බොහෝ වාර ගණනකදී ජීවිතය අල්ලාගෙන සිටින්නට එකදු උත්තේජනයක් හෝ සැපයූ මිනිසුනි, ඔබ ගෞරවනීයය. ජීවිතය අසීරුම කළ මිනිසුනි, ඔබට දැන් සතුටුදැයි ඇසීමට මට උවමනා මුත් එය ඇසීමට පවා මම අසතුටුය. මිනිසාම ලොව දෙවියන් වී, ලොව තිරිසන් වන්නේ ඔබ වැනි අය නිසාය.
Stop bullying !
සියලු මනුෂ්‍යයින්ට ආදරයෙනි.
ඔබටත් කෙටි කාලීන මතකය අමතක වෙනවාද ?
දෙමව්පියන් නිතරම තමන්ගේ දරුවන් ගැනම හිතනවා මිසක තමන්ගේ නිරෝගිකම ගැන එතරම් සැලකීමක් නැහැ. දෙමව්පියන්ගේ අද දවස තරුණ වුනත් දරුවන්ගේ වැඩීමත් සමග කාලය නොදැනීම ගෙවී යනවා.ඒ සමග තමන්ගේ ශරීර ශක්තිය වගේම නිරෝගිබවත් නැති වෙන්න පුලුවන්.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන් ගැන වෙහෙසෙනවා වගේම ඔබේ සෞඛ්‍ය ගැනත් අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.වයසත් සමග ඇති වෙන රෝගාබාධයන් වගේම වයසට පෙරාතුව වැලදෙන රෝගාබාධ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.මේ අතර අපි ඒ තරම් නොසලකන වගේම වැඩ වැඩි හින්දා යන උපකල්පනය ගොඩ නගා ගෙන වැඩි සැලකිල්ලක් නොදක්වන රෝග තත්වයක් තිබෙනවා. මේ ”කෙටිකාලීන මතකය අමතතක වීම” රෝග තත්වය සමහර විට ඔබටත් දැනෙන්න පුලුවනි.මේ විදිහට කෙටි කාලීන මතකය අමතක වෙන්නේ ඇයි..?
කෙටි කාලීන මතකය අමතක වීම
කාලය සමග බොහෝ දේ අමතක වීම සාමාන්‍ය දෙයක්.ඒත් කෙටි කාලීන සිදුවීම් අමතක වීම ඔබේ දෛනික ජීවිතයටත් ගැටළුවක්.උදාහරණයක් විදිහට අල්මාරියේ යතුර තිබු තැන…දරුවෙකුගේ පනිවිඩය වැනි අද හෝ ඊයේ සිදු වුන දෙයක් අමතක වෙනවා නම් එය ඇත්තටම ගැටළුවක්.මේ ගැටළුව සමග ජීවත්වීම තවත් ගැටළුවක්..
ක්‍රියාශිලී නොවීම..
දරුවන් ලැබුනාම ඇතැම් මව්වරුන්ගේ අතට පයට කටයුතු සිදු වෙන නිසා ඔවුන් තමන්ගේ පැටියා සමග අධි විවේකී ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. තාත්තා වුනත් කාර්යාලයේ වැඩ වෙනුවෙන් වෙහෙසුනත් ශාරිරික ක්‍රියාකාරකම් වල නිරත නොවන රටාවක් තිබෙනවා. මේ අක්‍රියශීලී ජීවිතය නිසා කෙටිකාලීන මතකය අමතක වෙන තත්වයක් ඇති වෙන්න පුලුවන්.
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය නිසා ඇති වෙන්නේ දියවැඩියාව,පිලිකා, හදවත් රෝග සහ ශ්වසන ආබාධ පමණක් යැයි හිතන්න එපා.මේ අනිසි භාවිතය නිසා මොළයේ සෛල වලට සිදු වෙන හානිය නිසා කෙටි කාලීන මතකය අමතක වීමේ ගැටළු ඇති වෙන්න පුලුවන්.
මානසික සෞඛ්‍ය පිරිහෙනවා..
යහපත් මානසික තත්වයක් ඇති විට අමතකවීමක් ගැන පැමිණිල්ලක් ඇති වෙන්නේ නැහැ.ඒ වුනත් මානසික අවපීඩනය, සාංකාව,මානසික වෙහෙස වැනි හිතට කනස්සල්ලක් ඇති මානසික තත්වය නිසා කෙටි කාලීන දේ වුනත් අමතක වෙන්න පුලුවනි.
නින්ද
නින්ද නිසා අපේ මොළය පිරිසිදු වෙනවා. සුවදායක නින්දක් නැති නම් එය සිරුරටත් වෙහෙසක්.ඒ විතරක් නොවෙයි, දිගින් දිගිටම නින්ද නොයා හිටියොත් කෙටිකාලීන මතකයත් අමතක වෙන්න පුලුවනි.ඒ නිසා දරුවන් වෙනුවෙන් වෙහෙසෙන බව ඇත්ත. ඒත් සුවදායක නින්දක් ලබා ගන්නත් අමතක කරන්නත් එපා.සමහර විට ඔබ සතියේ දිනයන්හි සුව නින්දක් නොලබන නිසා සති අන්තය හෝ අවස්තාවක් ලැබෙන විට වැඩි වේලාවක් නිදා ගත් පමනින් ඔබ සාමාන්‍ය නින්දකින් ලබන සුවය ලැබෙන්නේ නැහැ.දිගින් දිගටම නින්ද අඩු වීම නිසා ඇති වෙන ”ලයිම් ” රෝගය පසුකාලීනව ඔබේ මතකය අමතක කරන තත්වයට පත් කරන්න පුලුවනි.
තයිරොයිඩ් ග්‍රන්ථි පිලිබද ගැටළු
ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්වයක් තිබෙනවා නම් එය කෙටි කාලීන මතකය පිලිබඳ ගැටළුවලට හේතු වෙන්න පුලුවනි.
දුර්වල ආහාර
අම්මා,තාත්තා දරුවන් පෝෂණය කළත් තමන්ගේ පෝෂණය ගැන හිතන්නේ නැහැ.දරුවෝ කෑවා නම් ඒ ඇති කියලලා හිතුවත් ඔබේ මතකය හොදින් පවත්වා ගැනීමට නම් ආහාර ගැනත් උනන්දු වෙන්න.දුර්වල ආහාර පුරුදු හා පෝෂණයක් නැති ආහාර නිසා මතකය ඉක්මනින්ම අමතක වෙන්න පුලුවනි.