Home Blog Page 36

ගෙවත්තක වැදගත්කම

ගෙවතු වගාව ගැන හැම දෙනාගේම උනන්දුව උත්සාහය වගා වෙන්න පටන් ගත්තේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය නිසා තමන්ට අවශ්‍ය ආහාර බෝග සපයා ගැනීමේ ගැටළුව ඇති වුන පසුවයි. පුංචි ගෙවත්තක් හෝ වේවා නඩත්තු කර ගන්නා නම් එයින් ලැබෙන ආර්ථික ලාබ බොහොමයක් තිබෙනවා.ඒ මොනවාද කියනවා නම්…

  • පුංචි ඉඩ වපසරිය වුනත් කළමනාකරණයකින් පවත්වා ගැනීමට පුලුවනි.
  • පවුලේ අයට මේ පරිසරය ඉතාම සුවදායකයි. ඔවුන්ගේ විවේක කාලයේදී ගෙවත්ත සමග ගත කිරීම නිසා විවේකය  ඉතාම ඵලදායක විදිහට ගත කරන්න පුලුවනි. 
  • දර, පොහොර ආදිය ගෙවත්තෙන්ම ලබා ගන්න පුලුවනි.
  • හදිසියේ අවශ්‍ය විය හැකි ඔසු නිවස අසල තිබීමට 
  • කෘමි නාශක/වල් නාශක වැනි  ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම නිසා ඇතිවන රෝගාබාධයන්ගෙන් නිවාරණය වීම. 

ගෙවත්තක් කියන්නේ නිවසට යාබදව පවුලේ පෝෂනීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඉහල විභවයක් ඇති වගා පරිසරයෙකි’ 

අපි ජීවත්වෙන පරිසරය අනුව ඒ තත්වයන් වෙනස් වෙනවා. පර්චස් හත අටක තමන්ගේ නිවසත් සමග ගෙවත්තක් පවත්වා ගෙන යන කෙනෙකුට වඩා අක්කර බාගයක පමණ වපසරියක් තිබෙන අයෙකුගේ ගෙවත්තේ තත්වය වෙනස්. 

බඳුන්ගත වගාව

බඳුන්ගත වගාවේදී නිවසේ ඉවත දමන විවිධ භාජන යොදා ගත හැකියි. පොලිසැක් මලු වැනි දෙයින්ද බඳුන්ගත වගාව වෙනුවෙන් යොදා ගත හැකියි.බෝංචි වැනි දේ වගාකිරීමට ලීටර් 10 ක ධාරිතාවයක් ඇති භාජනද, කැරට්, රාබු වැනි දේ වෙනුවෙන් ලීටර් 5 ක් ධාරිතාවය  ඇති භාජන තෝරා ගන්න. 

සාර්ථක වගා මලු ක්‍රමය

ගෙවත්තක් වෙනුවෙන් ඉඩ වපසරිය නොමැති නම් වගා මලු වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැක.උස අඟල් පහළොවක් සහ පළල අඟල් 10 ක් පමණ වූ මෙම මලුවල වම්බටු,මිරිස්, තක්කාලි වැනි (Solanaceae) කුලයට අයත් එලවලු වගා කළ හැකියි.මෙම මල්ලට කොම්පෝස්ට් මිශ්‍ර පොහොර හා කොහුබත් මිශ්‍රණයක් දමා ගත් විට ජලයේ තෙතමනය රඳා පවතී.එක් මල්ලක පැල දෙක බැගින් සිටුවිය හැකි අතර බීට්,කැරට්, නෝකෝල් සහ ලීක්ස් වැනි වර්ග එක මල්ලක පැල හතරක් බැගින් වුව සිටුවා ගත හැකියි.

බඳුන්ගත පළතුරු වගාව

පළතුරු ගස් වගා කර ගැනීමට ඉඩකඩ නැති නාගරික ජනතාව බඳුන්ගත පළතුරු වගාව ඉතා යෝග්‍යයි.මේ වෙනුවෙන් ලීටර් 40-50 ප්‍රමාණයේ ප්ලාස්ටික් හෝ මැටි,සිමෙන්ති වැනි භාජනයක් තෝරා ගන්න.එහි පතුලේ හා පතුලට අඟල් දෙකක් පමණ ඉහළින් සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භයක් ඇති ජලවහනය වෙනුවෙන් සිදුරු හත අටක් තැබිය යුතුයි.අඟල් දෙකක් පමණ ඉහළට වන තුරු ගඩොල් හෝ උළු පුරවන්න.ඒ මත දිරාපත්වන කොළරොඩු තට්ටුවක් අසුරන්න.

වගා කුළුණු

පොහොර මළු දෙකක් එකතු කරල එය එකක් විදිහට සකස් කර ගන්න. දැන් මේ උරයට විෂ්කම්භය  මීටර් සෙ.මි 10 ක් පමණ සහිත මීටර් දෙකහමාරක් පමණ වූ උණ ලීයක් ඇතුලු කරන්න. මේ උණ ලීයේ අවසාන පුරුක පමණක් ඉතිරි වන සේ සිදුරු කරන්න. උණ ලීය මීටර් බාගයක් පමණ පොළව යටට වලලා ගන්න. එම උණ ලීයෙන් සෙ.මි 30 ක් පමණ පොහොර බෑගයට වඩා උසින් තිබීම අවශ්‍ය වෙනවා. එම වළට ගඩොල් කැබලි, වැලි සහ පස් වලින් පරවන්න. පිටතට පෙනෙන්නේ පොහොර උරය පමණි. මුලින්ම කොම්පෝස්ට්, මතුපිට පස්, සහ සියුම් වැලි කොටස් , ගඩොල් කැබලි අවශ්‍ය පරිදි සකස් කර ගෙන තබා ගන්නත දැන් පොහොර මල්ල යටටම සෙ.මි 15 ක් පමණ උසට ගඩොල් කැට අතුරා ගන්න. එයින් පසුව පොහොර මිශ්‍රණයයෙන් මල්ල පුරවා ගෙන වතුර දැමීමට උණ බටය යොදා ගන්න පුලුවනි. පොහොර උරය වටට හිල් සකස් කර ගෙන විවිධ වර්ගයේ පලා ( ගොටුකොල, කංකුං ) සිටවා ගන්න පුලුවනි.

බෝග තෝරා ගැනීමේදී කුඩා ඉඩමකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බෝග වඩාත් වැදගත් වේ. නිවිති, බටු, මෑ, තක්කාලි, මිරිස් ආදිය මෙහි ලා සැලකිය හැක. ඊට අමතරව වසරේ ඕනෑම කාලයක අස්වැන්න ලබා ගත හැකි පැපොල්, කෙසෙල් වැනි බෝග වර්ගත් වැදගත් වේ.

සෙවණ අවශ්‍ය බෝග සේ ගැනෙන කරවිල, පතෝල, දඹල වැනි බෝග ගෙවතු වගාවේදී තෝරා ගැනීමෙන් ඔබට ගෙවත්ත පහසුවෙන් කළමනාකරණය කර ගැනීමෙ පහසුව ලැබේ.

විශාල ගෙවතත්ක නම් වැටක් සේ අවහිර වෙන පරිදි මායිමට අලිගැටපේර, දෙල්, අඹ වැනි ශාඛ සිටුවිය හැක. නමුත් ඉඩකඩ සීමිත නම් ඔබගේ මනාපය අනුව බෝගයට අවශ්‍ය ආලෝකය, සෙවන වැනි සාධක සලකා බලමින් තිබෙන ඉඩ වපසරියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ පහසුව සලසා ගත හැකිය.

මේ අතරටම මල් වර්ග වගා කර ගැනීමෙන් ගෙවත්තට ආකර්ශනයක් මෙන්ම ආගමික වතාවත් වෙනුවෙන් අවශ්‍ය මල් නෙලා ගත හැකිය. එමෙන්ම මල් අතරත් ආර්ථික වටිනාකම් සහිත ඇන්තූරියම්, බාබන් ඩේසියා, වැනි මල් වර්ග වගාවෙන් අතිරේක ආදායම් ලබා ගැනීමට ඔබට ස්වාධීන අයිතියක් ඇත.

අතීතයේදී වගා කිරීමේදි ඵලදාව ලැබෙන ආකාරය අනුව තෝරා ගත් සුබ දිනයන් විය. ඒ වගේම දවසේ බෝග වගාවන්ට සුදුසු කාල වේලාවක්ද විය. අල බහින බෝග සහස් වරුවටත්, ඵල දරණ බෝග උදය වරුවටත්, වගා කරන ලදී. එමෙන්ම යම් වැලක් දකුණට ඇදෙනවා නම් එය උෂ්ණ හෙවත් සුර්ය ශාඛයක් ලෙසත් , දකුණට ඇදෙනවා නම් සීතල ශාඛයක් ලෙසත්  හඳුන්වන ලදී.

ඒ වගේම දැන් බොහොම දෙනක් ඉවත දමන මෙගා බෝතල්, ටයර් වැනි දේ පවා ගෙවතු වගාවන්ට යොදා ගන්න සූදානම්. තාප්පයක පවා අලංකාර අන්දමින් වගාවෙන් අලංකාර කර ගැනීමට හැකියාව තමන්ගේම ඇස යොදවා විමසා බලන්න පුලුවනි.

නිවසේ ඉවත දමන පොල්කටු වුනත් පාත්ති ආවරණයට යොදා ගත් විට ඒවා පොළවටම දිරාපත් වෙනවා පමණක් නොව පසට පොහොර විදිහටත් ලැබෙනවා. 

බොහොම දෙනෙක් කියන්නේ අපිට ගෙවතත්ක් හදා ගන්න ඉඩක් නැති බව වුනත් තමන් ජීවත්වෙන නිවස වුනත් තාම අලංකාර විදිහට හරිත ගොඩනැගිල්ලක් බවට පත් කර ගන්න පුලුවනි.

බෝතල් උද්‍යාන

මෙම බෝතල්වලට පැල රෝපනය කිරීමෙන් ඉතා අලංකාර වගා බිමක් ගොඩ නගා ගත හැකියි. මෙම වීදුරු බෝතලයක පතුල සෙ.මි 25 ක් පමණ උසට වැලි පුරවන්න. එයින් පසුව ජීවානුහරනය කරන ලද  කොම්පෝස්ට් අතුරන්න. එය හොඳින් තද කිරීමෙන් දිගු හැඳි මිටක ආධාරයෙන් එම මාධ්‍ය මත පැල රෝපණය කිරීමට අවශ්‍ය තැන්වල සිදුරු සාදා ගන්න. වීදුරු බෝතල් වගාවේදී පරවෙන වර්ගයේ මල් රෝපනය නොකල යුතුයි. ඊට හේතුව වන්නේ පර වෙන මල් එයින් ඉවත් කිරීම අපහසු නිසාය. මේ වෙනුවෙන් වඩාත් ගැලපෙන්නේ පර්ණාංග, පිටෝනියා, හෙඩේරා සහ සෙලැජිනෙල්ලා වැනි ශාඛ වර්ගයි.

 

තොරතුරු- හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ (විශ්‍රාම)ආචාර්ය ඩබ්.එම්.පී.බී ගිරාගම මහතා

 

දරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂාව දියුණු කරන්න ඔබට කළ හැකි ක්‍රියකාරකම් මොනවාද?

බොහොමයක් දෙමව්පියන් තමන්ගේ දරුවා කුඩා කාලයේ ඉඳලම ලස්සනට ඉංග‍්‍රීසී භාෂාව හසුරවනවා දකින්න කැමතියි. අන්න ඒ නිසාම දෙමාපියන්ට මේ සම්බන්ධව ගැටලුත් බොහොමයක් තිබෙනවා. කුඩා වියේ සිටම දරුවාට ඉංග‍්‍රීසී භාෂාව කියලා දෙන්නේ කොහොමද? කුඩා වියේ සිටම ඉංග‍්‍රීසී භාෂාව භාවිතය සුදුසුද? කියන ගැටලු වගේම ආයාසයකින් තොරව, ඉංග්‍රීසි භාෂාව ආසාවෙන් ඉගෙන ගන්න තැනට දරුවා පත්කරන්නේ ‍කොහොමද  කියන ගැටලුවත් අපේ දෙමාපියන්ට තිබෙනවා. මේ ලිපිය තුළින් අපි බලාපොරොත්‍තු‍ වෙන්නේ කුඩා දරුවන්ට ඉංග‍්‍රීසී භාෂාව උගන්වන්න ඔබට අත්වැලක් වෙන්නයි. 

ඇත්තටම කිව්වොත් අපේ පාසැල් කාලයේ අපේ නිවෙස්වල වගේම පාසැල්වලත් අද තරම් ලොකු පසුබිමක් ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධව පැවතුණේ නැහැ. මම මගේ පාසැල් වියේ අත්දැකීමකින්ම මේ ලිපිය ආරම්භ කරන්නම්. 

6 වසරේ ඉන්න කාලේ, අපේ ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පැවසූ දේ.

”ආයුබෝවන්, ඉංග‍්‍රීසී භාෂාව කියන්නේ අන්තර්ජාතික භාෂාවක්. ඉංග‍්‍රීසී භාෂාව අපි හැමදෙනාටම ගොඩක් ප‍්‍රයෝජනවත් වන්නේ ඒ නිසායි. ඒ වගේම ඉංග‍්‍රීසී භාෂාව හසුරවීමට හැකිවීම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහාත් අපි බොහෝ දෙනෙක්ට ප‍්‍රයෝජනවත් වෙනවා”

ඉතින් මේ හඳුන්වා දීම නිසාම ඉංග‍්‍රීසී භාෂාව පිළිබඳව අපට විශාල උනන්දුවක් ඇති වුණා. අන්න ඒ වගේම අපේ දරුවන් තුළන් උනන්දුව ආසාව ඇති කිරීම අපේ වගකීමක් වෙනවා. අපි ඒ ගැන කතා කරමු.

දරුවෙකුට ඉංග‍්‍රීසී භාෂාව ඉගැන්වීමට නියමිත වයසක් තියෙනවද?

නැහැ. සාමාන්‍යයෙන් දරුවෙකුට දෙවනි භාෂාවක් ආරම්භ කිරීමට නිශ්චිත වයස් සීමාවක් දක්වන්න බැහැ. නමුත්  බොහෝවිට පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ කුඩා වයසේ සිටම එනම් උපතේ සිටම දරුවෙකුට භාෂා කීපයක්ම භාවිත කිරීමේ ගැටලුවක් නොමැති බවයි. ඒත් මේ තත්ත්වයේදී අප සිහිතබාගත යුතු වන්නේ මේ සැම භාෂාවකින්ම සමාන උත්තේජනයක් දරුවාට ලබා දීමට අපට හැකි වීම ඉතාම වැදගත් කරුණක් බවයි. 

සෑම භාෂාවකින්ම සමාන උත්තේජනයක් ලබාදිය යුතුයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස තම දරුවා ලස්සනට ඉංග‍්‍රීසී කතා කරනවා දකින්න කැමති දෙමාපිය යුවළක් ඒ හේතුව මත දරුවා අන්තර්ජාතික පාසලකට යොමු කළත් නිවසේ වටපිටාව තුළ මව්පියන්ට දරුවාට දැක්විය හැකි වටපිටාව සීමිත නම් ඒ කියන්නේ දෙමාපියන්ගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව අවම මට්ටමක පවතිනවා නම් මෙන්න මේ වටපිටාව තුළ දරුවව අනවශ්‍ය පීඩනයකට ලක් කරලා අන්තර්ජාතික පාසලකට දාලා ඉංග‍්‍රීසී උගන්වන්න යාම දරුවාට කරන අසාධාරණයක් විය හැකියි. මොකද දරුවට තමාට අවශ්‍ය උත්තේජනය, තල්ලුව සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැති නිසා. 

දරුවෙක්ගේ නියමිත වයසේදී, භාෂාව ඉගෙන ගන්න හැකියාව තියෙන කාලේදී ඒ දරුවා අනිවාර්යයෙන්ම ඒ භාෂාව ඉගෙන ගනිවී. එතෙක් දරුවාට ඒ වෙනුවෙන් බලපෑමකින් ‍තොරව සිටිය හැකි නම් වඩාත් යෝග්‍යයි. ඒත් ඔබට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හැසිරවීමේ හැකියාව ඇත්නම් උපතේ සිටම දරුවාට ඒ භාෂා දෙකන්ම කතා කිරීමේ වරදක් නැහැ. 

ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව නිසි උත්තේජනයක් නොලැබීම මත දරුවෙක්ට ඇති විය හැකි බලපෑම කුමක්ද?

භාෂා හා කථන ව්‍යාධිවරයෙක් විදියට පේ සායනවලදී මට ගොඩක් දරුවෝ මුණගැහෙනවා. මම මගේ අත්දැකිමක් එක්ක මේ ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න කැමතියි. ඉගෙනීමේ අපහසුතා ඇති බව පවසමින් ජාත්‍යන්තර පාසලකින් අප වෙත දරුවෙක් පැමිණියා. ගුරුවරුන් හඳුනාගත් විදියටත් මේ දරුවාගේ පන්තා වාර්තා පොත අනුවත් යම් පසුබෑමක් මේ දරුවාගේ තිබුණා. බුද්ධදර්මය විෂයට ඔහු ලබාගෙන තිබුණේ 17ක් වැනි ලකුණු ප්‍රමාණයක්. මේ පිළිතුරු පත පරීක්ෂා කර දරුවාව තක්සේරු කර අවස්න් වූ පස් මම ඒ දරුවාගෙන් විමසුවා මේ ප්‍රශ්න පත්‍රය කොහොමද ඔයාට කරන්න පුළුවන් කියලා. ඉන් පස්සේ දරුවා සිනාසුණා. මම ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න සිංහල භාෂාවෙන් විමසුවා. ඔහු ඒ සියල්ලටම නිවැරදි පිළිතුරු සිංහලෙන් ලබා දුන්නා. දැන් ඔබට වැ‍ටහෙනවා නේද ගැටලුව වෙලා තිබුණේ භාෂා මාධ්‍යය බව. 

මේ දෙමාපියන්ට ඉංග්‍රීසි බස පිළිබඳ දැනුම අවම නිසා ඔවුන් දරුවාට සිංහලෙන් පාඩම් කියා දී තිබෙනවා. මේ දරුවාට අදාල ප‍්‍රශ්නවලට නිවැරදි උත්තරය දැන සිටියත් ඉංග්‍රීසි බසින් පිළිතුරු සැපයීමට ඉංග‍්‍රීසී දැනුම ප‍්‍රමාණවත්ව තිබිල නැහැ. ගණිතය වගේ විෂයක් කෙසේ හෝ කළ හැකි වුවත් බුද්ධ ධර්මය, ඉතිහාසය, විද්‍යාව වගේ විෂයයන් එසේ කළ නොහැකි බවත් දරුවා මා සමග පැවසුවා. 

මෙතැනදී ගැටලුව වුණේ දරුවාගේ අදක්‍ෂකමක් හෝ ‍ඉගෙනීමේ අපහසුතාවයක්වත් හෝ නොවන බවත් ඉංග‍්‍රීසී භාෂාවෙන් නිවැරදි ලෙස උත්තේජනය නොලැබීම නිසා ගැටලුව ඇති වූ බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා උත්තේජනයක් ලබාදිය නොහැකි නම් මාපියන්ට අවශ්‍ය වූ පමණින් දරුවව ජාත්‍යන්තර පාසලකට යොමු කිරීම විසදුමක් නොවේ. 

එහෙම නම් දරුවන්ගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව දියුණු කරගැනීමට සහය විය යුතුතේ කෙසේද?

අපිට කරන්න පුළුවන් මූලිකම දෙයක් තමයි ගෙදරදී දරුවා එක්ක ඉංග‍්‍රීසී භාෂාවෙන් කතා කිරීම. මම අර කලින් කිව්වා වගේම නිවසෙදී උත්තේජනය දෙන එක වැඩි කරන එක. 

  • ඉංග්‍රීසි කාටූන්, පුංචි පුංචි කතා – ඒ වගේම අපිට පුළුවන් දරුවාට සුදුසු සරල ඉංග්‍රීසි කාටූන්, පුංචි පුංචි කතා යම් සීමාවක් තුළ නැරඹීමට අවස්ථාව ලබාදෙන්න. ඒ සියල්ල පැහැදිලි, සරලව මනා භාෂා හැසිරවීම සහිත ඒවා විය යුතුයි. එවැනි සුදුසු දේ නැරඹීම තුළින් දරුවාගේ භාෂාව ග‍්‍රහණය කරගැනීමේ හැකියාව වැඩි කරගත හැකියි. 
  • ඉංග‍්‍රීසී කතන්දර පොත් – දරුවෝ ගොඩක් කැමතියි කතන්දර කියවන්න. කතන්දරය පින්තූරවලින් විස්තර කරලා තියෙන පොතක් භාවිත කළ හැකි නම් දරුවාට සම්පූර්ණ කතාව වටහාගත නොහැකි වුවත් හැකි අයුරින් පින්තූර ආධාරයෙන් හෝ එය වටහා ගැනීමට දරුවාට උත්සාහ කළ හැකියි. ඒක නිසා ඉංග‍්‍රීසී භාෂාවෙන් තියෙන පොඩි පොඩි කතන්දර පොත් ගෙනල්ලා දීලා ඒවා දරුවත් එක්ක කියවීම සහ ඒවා දරුවාට කියවීමට අවස්ථාව සලසා දීමත් දරුවාගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව දියුණු කිරීමට අපිට අත්වැලක් වෙනවා. 
  • වචන මාලාවට අළුත් වචන එකතු කරන්න – දරුවෝ දන්නේ ඉතාමත් සීමිත වචන ප‍්‍රමාණයක් නම් ඒ සීමිත වචන ප‍්‍රමාණයෙන් දරුවාට භාෂාව ප‍්‍රගුණ කරන්නට, සන්නිවේදනයේ යෙදෙන්නට ඉතාමත් අපහසුයි. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් නම් අලුත් වචන දරුවට කියලා දෙන්න සහ අලුත් වාක්‍ය රටාවන් දරුවට පුහුණු කරවන්න ඉතාම පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අත්වැලක් සපයනවා. 

ඉංග‍්‍රීසී කියන්නේ විෂයක් විතරක් නෙමෙයි. ඒක භාෂාවක්. ඉතින් ඔබ කැමති නම් ඔබේ දරුවා ඉංග‍්‍රීසී භාෂාව චතුර ලෙස කතා කරනවා දකින්න ඔහුට අවශ්‍ය උත්තේජනය කුඩා කාලයේ පටන්ම ලබාදෙන්න. ඒ සඳහා ශක්තිමත් ලෙස භාෂාව හැසිරවීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. එසේ නොමැති නම් දරුවා නිසි වයසට ආවිට දෙවන භාෂාවක් ලෙස ඉංග‍්‍රීසී භාෂාව ඉගෙනීමට අවස්ථාව සලසන්න ඔබට පුළුවන්. ඔබට නිවැරදි උත්තේජනය දීමට නොහැකිව කුඩා වියේ පටන් දරුවාට ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් බලකිරීම ඔබ, ඔබේ දරුවාට කරන අසාධාරණයක්. ඔබ ඔබේ මට්ටම හොඳින් වටහා ගනිමින් ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදිම තීරණය ගන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

වෙසක් සමයේ දරුවන්ගේ හිතේ මෙත් මල් පිපෙන්න නම්

දරුවෙක් පිනට යොමු කිරීම එතරම් පහසු කාර්යක් නොවෙයි. පින්වත් දරුවෙක් එක් රැයකින් බිහි කරන්නත් බැහැ. නමුත් දරුවෙකුගේ ගති පැවැතුම් පිනට දහමට යොමු නොවන පරිදි හැඩ ගැසුනොත් එහි විපාක දරුවාගේ දෙමව්පියන් පමණක් නොව සමස්ත සමාජයටම අත් විදින්න සිදු වෙනවා. 

එහෙමනම් මේ වෙසක් සමයේ අපේ දරුවන්ගේ හිත් තුළ මෙත් මල් පුබුදු කරන්නේ කොහොමද බලමු…

අපට දැන් වසර තුනක්ම වෙසක් පිංකම් වෙනුවෙන් කාලය යොමු කරන්න බැරි වුන බව ඇත්ත. ඒවා කාලයටම අපි බාර දෙමු. අපට එළියට බැහැලා වෙනදා වගේ පිංකම් කරන්නත් ඉඩ ලැබෙන දිනයක් කවදා හෝ උදා වේවි. එතෙක් මෙතෙක් අපේ ජීවිතයේ පිනක් දහමක් වෙනුවෙන් යොමු නොවී ඉන්නත් බැහැ.

වෙසක් ගැන දරුවාගේ ආකල්ප ගොඩ නගන්න…

අද බොහෝ විට වෙසක් කී විට දරුවන්ගේ මනසේ ඇති වෙන්නේ සැරසිලි, දන්සැල් ගැන සංකල්ප කිව්වත් වරදක් නැහැ. වසංගත සමයේදී මෙවැනි ආමිෂ පූජාවන් කිරීම අපහසු වුනත් නිවසේ පටන් දරුවාට කළ හැකි ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් ගැනත් අවදානයක් ලබා දෙන්න පුලුවනි.

පුංචි වෙසක් සැරසිල්ලක් කරන්න…

අතීතයේදී හැම නිවසකම වාගේ පුංචියට හෝ වෙසක් සැරසිල්ලක් ඉදි වුණා. අලංකාර අටපට්ටම් කූඩු හැම නිවසකද එල්ලා තිබුණා. අද නම් එවැනි තත්වයක් නැති වුනත් බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් ආමිෂ පූජාවන් පවත්වන දරුවාට වෙසක් සැරසිල්ලක් ඉදි කිරීමට උපදෙස් දෙන්න.

එය දරුවාටම බාර කරන්නත් එපා..

වෙසක් සැරසිලි සිදු කරන විට දරුවාටම පවරා ඔබ පසෙකට වෙන්න එපා. ඒ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දීම පමණක්ම ප්‍රමාණවත් නැහැ. දරුවාට කළ නොහැකි කටයුතු වලදි උදව් වෙන්න. ඒ කණ්ඩායම් හැගීම නිසා දරුවාගේ හිතට යම් උත්තේජනයක් ඇති වෙනවා. ඒ ශක්තිය නිසා තව තවත් මේ සැරසිල්ල ලස්සන කරන්න දරුවාගේ හිතට ප්‍රබෝධයක් ඇති වෙනවා.

අදහස් යෝජනා ලබා ගන්න..

වැඩිමහල් දරුවා සැරසිල්ලක් සිදු කරන විට අදහස් යෝජනා වෙනුවෙන් විවෘත සංවාදයක් ගොඩ නගන්න. පවුලේ වැඩිමහල් අයගෙන්ද එහි හැඩය, වර්ණ ආදිය ගැන අදහස් ලබා ගන්න. බාල දරුවන් සිටිනවා නම් ඔවුන්ටත් යම් කාර්යක් වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. සමහර විට ඔවුන්ද මේ ආභාෂය අනුව යමින් තවත් නිර්මානයක් කිරීමට අවසර ඉල්ලා සිටියොත් ඒ වෙුනවෙනුත් පුංචි ඉඩක් දෙන්න.

  • ඔයාට බැහැ..තවම ඔයා පුංචියි…පැත්තකට වෙලා ඉන්න. ලොකු වුනාම දෙන්නම්

 යනුවෙන් බාල දරුවන් ප්‍රතික්ෂෙප කරන්න එපා.

දානය වෙනුවෙන් දායකත්වය ලබා ගන්න..

මේ දිනවල දානමය පිංකම් වෙනුවෙන් අවස්ථාවන් බොහෝ තිබෙනවා.දානය කියන්නේ දන්සැල පමණක් නොවේ.නාගරික ප්‍රදේශයන්හි නිරෝධායනයට පත් නිවසක් වෙනුවෙන් අවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය නිවසට නොගොස් දුරකථනයෙන් ඒ බව දන්වා ගේට්ටුව අසලින් තබා එන්න පුලුවනි. වසංගත සමයේ සමාජ දුරස්ථ බව නිසා අදාල නිවසට යෑමට නොහැකි වුනත් එවැනි සුළු උපකාරයක් කිරීමත් අප නොදන්නා අන්දමින්ම දානමය පිංකමක් බවට පත් වෙනවා.මෙවැනි කටයුතු සංවිධානය කරන විට දරුවන්ගේද අදහස් ලබා ගන්න.

  • අපි අල්ලපු ගෙදර නැන්දලාට ගෙනියන්න බඩු පාර්සලයක් හදමු. මොනවාද ඒකට අපි එකතු කරන්නේ..

මෙවැනි සංවාදයකදී ඔබ නොසිතන අන්දමින් යම් යම් අවශ්‍යතාවයන් දරුවාගේ මනසට ඒවි.මෙවැනි කටයුත්තක් සංවිධානය කරන විට එක්තරා දියණියක් මවට රහසින් කියා සිටියේ

  • අම්මේ..පෑඩ් පැකට් දෙකක් දාන්න…සුරනියි එයාගේ අක්කයි දෙන්නම ඉන්නවා..අම්මටත් එපායැ…

මෙවැනි අදහස් වලින් දරුවා සම්මාදම් කර ගැනීමත් සමග ඔවුන්ටත් අනාගතයේදී දානමය කටයුතු වෙනුවෙන් යහලත් මානසිකත්වයක් නොදැනීම හිතේ ගොඩ නැගෙනු ඇත.

තවත් පුංචි බණ කතාවක්..

බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේදී එක්තරා රජතුමෙකුගේ මිණිපිරියක් බෝනික්කෙක් ඉල්ලා සිටියා. රජ බිසොව පුංචි මිණිපිරියට හාල්පිටි වලින් බෝනික්කෙක් සාදා දුන්නා. ටික වේලාවකින් බෝනික්කා බිදී ගියා. දියණිය අඩන්න වැලපෙන්න පටන් ගත්තා.

තම මිණිපිරියට සියල්ල නැසෙන සුළුය යන සංකල්පය හිතට ඇතුලු කිරීමට පමණක් නොව මියගිය පසුව සිදු කරන වතාවත් පවා පෙන්වා දීමට අවශ්‍ය වුණා.

රජතුමා හාල්පිටි බෝනික්කාට පාංශකූලය ලබා දෙමින් පුංචි මිනිපිරියට ජීවිතයේ අනිත්‍ය බව ඉතාම අපුරු ලෙසින් කියා දුන්නා.

  • නිතරම ප්‍රයෝගික වෙන්න..

දරුවන් ගුණයහපත් කිරීමට නම් අනිවාර්යෙන්ම දෙමව්පියන්ගේ ජීවිතය තුළ යහපත් ගති පැවැතුම් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.ඔබ අයහපත් ලෙසින් ජීවිතය ගොඩ නගා ගෙන දරුවන්ට පහපත් ලෙසින් හැසිරෙන්නට උපදෙස් ලබා දුන්නොත් මේ කවිය ඔබට හොදින්ම ගැලපේවි.

දුසිරිත දනන් දෙන- ඔවා වැද්දන් දෙසන බණ මෙන..

ඒ නිසා නිතරම දරුවන්ට යහපත කියා දීමේදී ඔබ යහපත් ලෙසින් ජීවිතය ගොඩ නගා ගන්න. එය ඉතාම වැදගත්. එවැනි පරිසරයකදී දරුවන් ඉදිරියේ ඔබ පරමාදර්ශි චරිතයක් වීම යනු ඔබේ දරුවන් අනිවාර්යෙන්ම සුචරිත දරුවන් බවට පත් වෙනු ඇත.

ආගමික වතාවත්වලට දරුවන් සම්බන්ධ කර ගන්න.

ඔබ පන්සල් යන දිනකදී දරුවන්ද කැටුව යන්න. නිවසේ වන්දනා මාන කරනවා නම් දරුවන්ද ඔබ සමග වන්දනා කිරීමට කැඳවා ගන්න. නින්දට පෙරාතුව පිරිත් සජ්ජායනා කිරීම හෝ විනාඩි කීපයක් මෛත්‍රි භාවනාවට යොමු කරන්න.

උදැසන අවදි වීමෙන් පසුව ආනාපානාසති භාවනා කිරීමට හුරු කරන්න. එයින් දරුවාගේ ධාරනය, සිතේ එකගබව පමණක් නොව පෙනහළු වෙනුවෙන්ද යෝග්‍ය ශ්වසන ව්‍යායාමයක් වී තිබේ.  

  • දහම් අධ්‍යාපනය ලබා දෙන්න..

දෙමව්පියන් ලෙස ඔබ දිනපතා පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දක්වන උනන්දුව දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමට දක්වන්නේ නැත.

  • ඉරිදාට විතරයි ගෙදර ඉන්නේ..එදාටත් නැගිටින්න බැහැ..
  • එහෙම නැත්නම් අතිරේක පංති සේරම ඉරිදට…

මෙවැනි අන්දමින් නිදහසට කරුනු කිව්වත්  දහම් පාසල් අධ්‍යාපනයෙන් දරුවා ලබන ශික්ෂනය, විනය සහ පිනට දහමට යොමු කිරීම වෙනුවෙන් දහම් පාසල් අධයාපනය සමග සිදු වෙන ( දානමය, ශිලමය ) ක්‍රියාකාරකම් දරුවාගේ ජීවිතයට විශාල ආලෝකයක් විය හැකිය.

ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබේ දරුවා සත්පුරුෂ දරුවෙකු ලෙසින් ගොඩ නගා ගැනීමේ මෙහෙවර ඔබ සතුය. නමුත් එය එක් දිනකින් ඉටු කළ හැකි කාර්යක් නොවේ. මේ වෙසක් පිංකම් කාලයේදී ඔබේ සියලු පුණ්‍ය කර්මයන් වෙනුවෙන් දරුවාගේ සහයෝගය ලබා ගනිමින් ඔවුන්ගේ ජීවිතය දහම් ආලෝකයෙන් පෝෂණය කරන්න.

 

කෝවිඩ් රෝගයෙන් දරුවන් රැක ගැනීම සඳහා උපදෙස්

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇත. වැඩිහිටියන්ට සාපේක්ෂව කෝවිඩ් වැළඳීමේ හැකියාව දරුවන්ට අඩු නමුත් ඕනෑම දරුවකුට මෙම රෝගය වැළඳිය හැකිය. බොහෝ දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, තවත් බහුතරයක් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් දරුවන් ද උග්‍ර කෝවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා සහ මරණ පවා ඇතිවිය හැකිය. පෙනහලු රෝග, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා, වෙනත්  නිදන්ගත රෝග වලින් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් හට අවදානම වැඩිය.

සමහර දරුවන්ට කෝවිඩ් රෝගය හා සබැඳිව Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නම් බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතා තත්ත්වය ද ඇති විය හැක. මෙම තත්වය ඇති වන්නේ ඇයිද කියා තාමත් නොදනී. මෙයින්ද  දරුවා අසාධ්‍ය විය හැකියි. බොහෝ දෙනා සුවවේ. ඇතැම් විට මාරාන්තිකයි.

මේ නිසා අපගේ දරුවන්ට කෝවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ සහ සියලු වැඩිහිටියන්ගේ වගකීම වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් ජනතාවගෙන් පහත උපදෙස් පිළිබඳව අවධානය යොමුකොට ඒවා අනුගමනය කිරීමට මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

සියලු සෞඛ්‍ය පුරුදු ඔබ විසින්ම ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ඒ සඳහා යොමු වීමට දරුවන්ටද ආදර්ශය ලබා දෙන්න.

  • දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් පිටතට රැගෙන යාමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් සහභාගී කර නොගන්න.
  • අවුරුදු දෙකට වැඩි සෑම දරුවකුටම මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයි. අවුරුදු දෙකට අඩු දරුවන් අනෙකුත් පුද්ගලයින්ගෙන් ඈත්කර තබා ගන්න. සිප ගැනීමට හෝ තුරුළු කර ගැනීමට ඉඩ නොදෙන්න.
  • සබන් හෝ විෂබීජ දියරයකින් නිතර දැන්  සෝදවන්න.
  • කැස්ස හෝ කිඹුහුන් යාමේදී වැලමිට, ලේන්සුවක් හෝ ටිෂු එකක් භාවිතා කරන්න.
  • විෂබීජ නාශකවලින් දරුවන් නිතරම අල්ලන ස්ථාන සහ අනෙකුත් දේවල් පිරිසිදු කරන්න.
  • අනෙකුත් දරුවන් සමග දුරස්ථ ක්‍රමවේද මගින් සම්බන්ධ වීමට උදව් කරන්න.
  • දරුවන්ගේ ඇති විය හැකි මානසික අසමතුලිතතා අවම කර ගැනීම සඳහා ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම්වල නිතරම නියැලෙන්න.
  • නිවසේ කෝවිඩ් රෝගියකු හෝ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් සිටී නම් දරුවන් එම පුද්ගලයා ගෙන් ඈත් කර තබන්න.
  • පවුලේ කිසියම් අයෙක් නිවසින් පිටතට ගොස් ආපසු පැමිණි විගසම දරුවන් තුරුළු කර ගැනීමෙන් හෝ සිප ගැනීමෙන් වලකින්න.
  • දරුවන් තුළ කෝවිඩ් රෝගයට අදාළ යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

 

ඔබගේ දරුවාට කොවිඩ් නොවන වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවුවද වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න. මෙම උපදෙස් අනෙකුත් දෙමාපියන් සමඟ ද හුවමාරු කරගන්න.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 

දරුවන්ට අම්මා/තාත්තා කොයිතරම් උවමනාද කියා ඔබ දැන සිටියාද?

”ජීවිතයේ කවදා හරි දවසක ඔබටත් ලොකු අසරණ කමක් දැණුනු අවස්ථා තිබිලා ඇති. අනේ මට කාත් එක්ක හරි මගේ මේ ප්‍රශ්නේ කතා කරන්න තිබ්බ නම්. මං කියන දේ අහගෙන ඉන්න කෙනෙක් හිටිය නම් කියලා ඒ වෙලාවට ඔබටත් හිතිලා ඇති. ඔබ අවට කොයිතරම් අය හිටියත් ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ කියන දේ අහන්න පුළුවන් කෙනෙක්. විනිශ්චයකින් තොරව ඔබේ කතාව අහගෙන ඉන්න පුළුවන් කෙනෙක්”

මේ වැඩිහිටි අපේ කතාවක් විතරද?

නැහැ… මේක අපේ දරුවන්ටත් ඇති විය හැකි තත්ත්වයක්. අපේ දරුවොත් අසරණ වෙන අවස්ථා තියෙනවා. ඔවුන්ටත් සමහර වෙලාවට හිතෙනවා අනේ මම කියන දේ අහගෙන ඉන්න මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටිය නං කියලා. 

දෙමාපියන් විදියට සමහර වෙලාවට අපේ කාර්යබහුල ජීවිතය තුළ අනෙක් හැම වගකීමකට මුල් තැන දෙද්දී අපිට අපේ දරුවෝ මගහැරෙන අවස්ථා තියෙනවා. ඒක හිතා මතා කරන දෙයක් නෙවෙයි. ඒ වගේම දෙමාපියන් එහෙම වෙහෙසෙන්නෙත් දරුවන් වෙනුවෙන්මයි. ඒත් අපේ ආර්ථික ගැටලු එක්ක අපි නොදැනම අපිව වැටෙන්නේ එතැනට. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපිට අපේ  දරුවෝ මගහැරෙන අවස්ථා තියෙනවා. දරුවන්ට අවශ්‍ය තරම් කාලය දෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා.

 

අපේ දරුවන්ට අපිව කොයිතරම් දුරට අවශ්‍යද? 

කථන හා භාෂා ව්‍යාධිවේදීවරයෙක් ලෙස සේවය කරන මා වෙත පැමිණෙන බොහොමයක් දරුවෝ හිතවත් වීමෙන් පසු තමන්ගේ ගෙදර සිදුවෙන දේවල් සම්බන්ධව අත්දැකීම් මා සමග බෙදාහදා ගන්නවා. මේ දරුවන්ගෙන් වැඩි දෙනෙක් කියන්නේ ”අම්මයි තාත්තයි උදේ ගෙදරින් ගියාම ගෙදර එද්දී ගොඩක් රෑ වෙනවා” කියලයි. ඒ වෙනකන් දරුවෝ එක්කෝ ආච්චි එක්ක නැත්නම් සහායකයෝ එක්ක කාලය ගත කරනවා. මෙන්න මේ අත්දැකීම් එක දරුවෙක්ගේ ජීවිතය වෙද්දී තවත් දරුවෙක් අම්මා තාත්තා එක්ක තමා කරපු දේවල්වල අත්දැකීම් ගැන පාසැලේදී කතා බහ කරනවා. ඔවුන් අම්මා එක්ක ඉවුම් පිහුම් කළ හැටි, තාත්තා එක්ක කාර් එක සෝදපු හැටි, එහමෙත් නැතිනම් ගමන් බිමන් ගිය හැටි දරුවෝ යාළුවෝ එක්ක කතා කරනවා. මේ දේ දෙමාපියන්ගේ මැදිහත් වීම අඩු දරුවෙකු‍ගේ හිතට දනවන්නේ වේදනවාක්. අම්මා තාත්තා එක්ක කාලය ගත කරන්න ඉඩක් නැති දරුවෙක්ට ”අනේ… අපේ තාත්තත් මාත් එක්ක මගේ ළඟ හිටිය නම්… අනේ අපේ අම්මත් මගේ ළඟ හිටිය නම්” කියලා හිතෙන අවස්ථා බොහොමයි. 

 

මේ වයසස අවුරුදු 6ක වගේ දරුවෙක් මා එක්ක කියපු එයාගේ කතාව

”එයාගේ තාත්තා ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. එයාට මල්ලියෙක් ඉන්නවා. අම්මා මල්ලී එක්ක කාර්යබහුල වුණාම මේ දරුවා එක්ක ඉන්න කවුරුවත් නැහැ. තාත්තා උදේම වැඩට ගියාම ආයෙ එන්නේ රෑ වෙලා. එයා එද්දි මම නිදි. පහුවදා උදේටත් මම නැගිටිද්දී තාත්තා ගිහිං. සමහරක් ඉරිදා දවස්වලට මං තාත්තව දකිනවා. ඒ එදාට තාත්තා චුට්ටක් පරක්කු වෙලා ගෙදරින් යන නිසා. ඒත් එදාටත් තාත්තා ගෙදර එන්නේ ගොඩක් රෑ වෙලා”

දරුවා ඒ කතාව ලේසියෙන් කිව්වට මං දැක්කා මුහුණේ ගොඩක් දුක්බර කතාවක් හැංගිලා තියෙන බව. මේ දරුවට සෙල්ලම් බඩු පිරුණු ලොකු සෙල්ලම් බඩු කාමරයක් තියෙනවා. ඒත් මේ දරුවා ඒ කිසිම සෙල්ලම් බඩුවකින් සතුටු වෙන්නේ නැහැ. ඔහුට  ඕනේ ඔහුගේ අම්මයි තාත්තයි ඔහුත් එක්ක ගත කරන කාලය. ඉතින් ඔහු මට කියනවා,

 ”මට කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් මං ආසයි මෙහේ ඇවිල්ලා අංකල් එක්ක සෙල්ලම් කරන්න කියලා. මං ඇහුවම ඇයි කියලා. නෑ අංකල් මාත් එක්ක සෙල්ලම් කරනවනේ. ඒක නිසා මං ආසයි අංකල් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒත් අපේ අම්මටයි තාත්තිටයි සෙල්ලම් කරන්න වෙලාවක් නෑනේ” ඒ වචන ටික කියන්නේ හරිම හිතේ තියෙන ලොකු දුකකින්.ඔබේ දරුවා ඒ අත්දැකීමට පත් වෙනවා දකින්න ඔබ කැමති නැතිව ඇති.

මේ ලෝකෙට අපේ දරුවෝ එන්නේ අපේ කැමැත්තට. අපේ සතුට වෙනුවෙන් මේ ලෝකේට එන ඒ දරුවන්ට හොඳ නරක කියා දෙන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක, හොඳ ඇඳම් පැළඳම්, හොඳ ආහාර වගේ මේ දේවල් දෙන එක විතරක්ම නෙමෙයි අපේ යුතුකම. ඔවුන් සමග ලස්සන මතක ගොඩනඟන්න, ඔවුන්ට අපේ ජීවිතේ වටිනාම කාලය පිරිනමන්න අපිට පුළුවන් නම් ඒ තමයි අම්මෙක් තාත්තෙක් විදියට අපිට අපේ දරුවා වෙනුවෙන් කළ හැකි ලොකුම ආයෝජනය.

ඔබ දරුවගේ උපන් දිනයට, එහෙමත් නැත්නම් දරුවා විභාගයක් සමත් වුණාම ලොකු මුදලක් වියදම් කරලා තෑගි ගෙනත් දෙනවාට වඩා දරුවා ගොඩක් ආස වේවී ඔබට පුළුවන් නම් ඔබේ දරුවා සමග දවසක් ගත කරන්න. දරුවත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න. දරුවව කරේ තියාගෙන ගේ වටේ රවුමක් යන්න. ඒ වගේ මිහිරි මතක ඔබේ ජීවිතේ අනිවාර්යයෙන් තියෙනවා ඇති. මම මේ කතාව කියද්දී ඔබට මතක් වෙනවා අති ඔබේ තාත්තත් එක්ක ඔබේ අම්මත් එක්ක කොච්චර ලස්සන කාලයක් ගත කරාද කියලා. හැබැයි ඒත් එක්කම ඔබ, ඔබේ හිතෙන් අහලා බලන්න ඒ ලස්සන කාලය ඔබ, ඔබේ දරුවන්ට දෙනවද කියලා. ගොඩක් වෙලාවට කොන්ක‍්‍රීට් තාප්පවලින් වට වෙච්ච ගෙදරක, අම්මා තාත්තා දරුවා විතරක් ඉන්න නිවසක, අම්මා තාත්තා තමන්ගේ අනිකුත් කාර්යයන් සමග කාර්යබහුල වුනහම දරුවෝ නිවෙස් ඇතුළේ හිරකාරයෝ වෙනවා. ඔවුන්ගේ සිතුවිලි කියාගන්න බැරුව ඔවුන් කුඩා කාලයේම ආතතියට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මානසිකත්වයේ ඉන්න දරුවෝ බොහෝවිට අඩු වයසේදීම වැරදි සම්බන්ධතාවලට යොමු වෙනවා. මොකද නිවසින් ආදරය හම්බවෙන්නේ නැති වෙද්දි නිවසින් තමන් පිළිබඳව සොයන්නේ නැති වෙද්දි, කාගෙන්වත් කාලය ඔහු/ඇය වෙනුවෙන් වෙන් වෙන්නේ නැති වෙද්දි ඒ කාලය ලැබේ යැයි සිතෙන පවුලෙන් පිටස්තර පරිබාහිර අයෙකුගෙන් ඒ කාලය,ආදරය සොයන්න ඒ දරුවා පෙළඹෙනවා. 

අම්මා/තාත්තා විදියට ඔබට පුළුවන් නම්,

  • දරුවා ගැන සොයා බලන්න
  • දරුවාගේ ජීවිතයට ළංවන්න
  • දරුවාට ඇහුම්කන් දෙන්න
  • සතියකට වරක්වත් දරුවට බත් කටක් කවන්න
  • දරුවව උකුලේ තියාගෙන ටිකක් හුරතල් කරන්න
  • දරුවගේ අධ්‍යාපන වැඩ කටයුතුවලට පොඩ්ඩක් සහය වෙන්න
  • පාසැල ඇරිලා එන දරුවා එක්ක එක විනාඩි 10 ක් කතා කරන්න

ඇත්තටම මේ සිදුවීම දරුවෙකුට මහමෙරක් තරම් බව අමතක කරන්න එපා. 

 

අම්මා/තාත්තා විදියට ඔබ,

  • නිවසට ආව වෙලාවේ ඉදලා දරුවා හෙට දවසට සූදානම් කරනවා නම්
  • දරුවගේ අඩු පාඩු ගැන පමණක් කතා කරනවා නම්
  • ඔබට තියෙන වෙනත් ව්‍යාපාර වෙත යොමු වෙලා සිටිනවා නම් 

ඔබේ නිවස සුපිරි නිවසක් වුණත් කිසිදු සුන්දරත්වයක් නැහැ. ඒ නිවස සතුටුදායක තැනක් වෙන්නේ නැහැ. මොකද අම්මා/තාත්තාගේ එකම වස්තුව වන දරුවා ඒ නිවසට පැමිණෙන්න, නිවසේ කාලය ගත කරන්න ආසාවක් නැහැ. අසතුටෙන් සිටින දරුවෙකු සිටිද්දී මොන සැප සම්පත් තිබුණත් ඔබ අසාර්ථක දෙමාපියන් බව අමතක කරන්න එපා.

අම්මා/තාත්තා විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා ඔබේ දරුවට කාලය දෙන්න. ඒ වගේම ඇහුම් කන්දෙන්න, ඒ වගේම ඔහු සමග කාලය ගත කරමින් සුන්දර මතක ගොඩනඟන්න. ඔබ ඒ දේ කළොත්, ඔබේ දරුවා ඔහුගේ/ඇයගේ දරුවට ඒ දේ දෙයි. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබ අසා ඇති. 

”මට ඔයා මේ ලෝකය තරම් වටිනවා” කියලා, ඒ වටිනාකම අපි දරුවට පෙන්නන්නේ නැත්නම්, ඒ ආදරය වෙනුවෙන් ඔබ කාලය වෙන් කරන්නේ නැත්නම් ඔබ උපයන මුදලේ වටිනාකමක් නැහැ. 

අපේ දරුවෝ හැමදාමත් මේ පොඩි වයසේ ඉන්නේ නැහැ. දෙමාපියන් වන අපිත් හැමදාම මේ වගේ ශක්ති සම්පන්නව ඉන්නේ නැහැ. අපේ දරුවෝ එන්න එන්න වයසින් මුහුකුරා යනවා. අපි එන්න එන්න වයසට යනවා. එතකොට කුඩා කාලයේ අපිට දරුවොත් එක්ක කරන්න පුළුවන් දේවල් දරුවොත් එක්ක ලොකු වුනාම කරන්න බැහැ. කුඩා කාලයේ දරුවොත් එක්ක අපි ගත කරන ලස්සන ජීවිතේ මතක වැඩිවියට පත් දරුවන්ට ලබාදෙන්න අපිට බැහැ. ඔබ අද ඔබේ දරුවා එක්ක කාලය ගත නොකරනවා නම් අනාගතයේ අනිවාර්යයෙන්ම ඔබටත් ඔබේ දරුවන් සමග කාලය ගත කරන්න අවස්ථාවක් නොලැබ්වී. ඔබේ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම, දෙමව්පියොත් සමග කාලය ගත කරන්න ඕන කියන අවබෝධය ලැබෙන්නේ කුඩාවියේ සිටයි. ඒ ඔබ හරහායි. ඔබ, ඔබේ දරුවාව ඔබේ ජීවිතයෙන් යම් කිසි දුරකට ඈත් කර තියනවාද ඒ තරමටම අනාගතයේ ඔබට මහලු නිවාසයක රැඳන්න තියෙන අවස්ථාව අනිවාර්යයෙන්ම එයට සමානුපාතිකව ලැබේවී. බොහෝ දුරට ඔවුන් හැම වෙලේම ජීවිතයේ වටිනාකම් පිළිබඳව ඉගෙන ගන්නේ ඔබෙන්. ඒක නිසා අද ඉඳන්ම මුදල් පසුපස හඹා යන අම්මෙක් තාත්තෙක් නොවී දරුවෝ වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන් දරුවොන්ගේ ජීවිත ලස්සන කරන්නට කැපවෙන ආදරණීය අම්මෙක්, ආදරණීය තාත්තෙක් වෙන්න. එය අපේ ජීවිත වගේම අපේ දරුවන්ගේ ජීවිතත් ලස්සන කරනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

දරුවාගේ ඉගෙනුමට දෙමව්පියන්ගේ උදව් අවශ්‍යයි.

පුංචි  පැටියා ළදරු පාසල් යන දා පටන් අකුරු ඉලක්කම් උගන්වන්න අම්මාට තාත්තාට තිබෙන දැඩි කැමැත්ත මනෝවිද්‍යාඥයින් නම් අනුමත කරන්නේ නැහැ.මේ කාලයේදී දරුවාට බලෙන් ඉගැන්වීමට ගියොත් දරුවාගේ අනාගත අධ්‍යාපනය බොහෝ දුරට නීරස වෙන්න පුලුවනි.ඒ නිසා වයස අවුරුදු පහට අඩු කාලයේදී දරුවාට සම්පූර්නයෙන්ම විමර්ශනයට සහ පරීක්ෂණයට ඉඩ ලබා දීම ඉතාම වැදගත්.

හැබැයි දිනපතා පාසල් යන දරුවා ගැන සැලකිලිමත් වෙන්න..

මේ අතර ඔබේ පුංචි පැටියා දිනපතා පාසල් අධ්‍යාපනයට යොමු වීමෙන් පසුව නම් ඔබේ අවධානය දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අවශ්‍යම වෙනවා. පාසලේ ගුරුතුමියගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතර ඔබ දරුවා ගැන අධ්‍යනයක යෙදීම ඉතාම වැදගත්.

ඉතින් කොහොමද අපි දායක වෙන්නේ…

දවසේ පැය කීපයක් පමණක් පාසලේ ගෙවන දරුවා දෙමව්පියන් සමග ලොකු බැදීමකින් කටයුතු කරන නිසා දරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව දෙමව්පියන්ට තිබෙනවා.පාසල් පංති කාමරයක දරුවන් පණහකට ආසන්න සීමාවක් තුළ ගුරුවරයා විසින් නොහඳුනන හැකියාවන් වගේම නොහැකියාවන් ගැන වඩාත්ම අවබෝධයක් දෙමව්පියන්ට තිබීස ඉතාම වැදගත්.

දැනගත්තා කියලා මොකද කරන්නේ…?

ඔබේ දරුවාගේ හැකියාවක් හඳුනා ගැනීමෙන් පසුව එය තවත් ඔපවත් කර ගැනීමේ දායකත්වය ලබා දීමේ හැකියාව දෙමව්පියන්ට තිබෙනවා. ඒ වගේම ඔබේ දරුවාගේ නොහැකියාවන් ගැනත් දැන ගැනීමෙන් ඔවුන්ට ඒ ගැටලු නැති කර ගැනීමටත් දෙමව්පියන් ලෙස ඔබට සහයෝගයක් දක්වන්න පුලුවනි.

අකුරු කියවන්න..ලියන්න අපහසු නම්..

පංතියේ ගුරුතුමියකට සිටින්නේ විවිධ දක්ෂතාවයන් සහ අදක්ෂතාවයන් සහිත දරුවන්. ඒ වගේම විෂය නිර්දේශයක් සමග කටයුතු කරන විට හැකියාව ඇති දරුවන් ඒවා සැනින් ග්‍රහණය කර ගනිද්දී නොහැකියාවන් සහිත දරුවන් මග හැරෙන්න පුලුවනි.

ඉතින් ඔබේ දරුවාට පෙළ පොත කියවා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ඒ නීරස තැනටම ඔවුන් යොමු කරනවාට වඩා රසවත් දෙයක් කියැවීමට උනන්දු කරන්න. පින්තූර සහිත කතාන්දර පොතක්..වර්ණවත් චිත්‍රවලින් කියැවෙන වචන හදුනා ගැනීමට උනන්දු කරන්න. එය පාඩම් පොතක් කියවන තරම් අසීරු නොවන අතර අකුරු කියැවීමේ පෙර පුහුණුව ලැබීමේදී මෙය ඉතාම වැදගත්.

මග තොට යන විට…

ඔබ දරුවා සමග මග තොට යන විට බසයක නාම පුවරුව..බිත්ති පෝස්ටරයක ඇති අකුරු ලොකු දැන්වීම කියැවීමට ඉඩ දෙන්න.ඔවුන් කැමැත්තක් දක්වන බිස්කට්, අයිස්ක්‍රිම් ගැන දැන්වීම් අකුරු අමුණමින් කියවන විටත් දරුවා තුළ අකුරු හඳුනා ගැනීමට මෙන්ම අකුරු එකතු කර වචන ගලපා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.මේ පුහුණුව නිසා පංති මට්ටමින් දරුවා තුළ සෙසු දරුවන්ට සාපේක්ෂව ඇති අකුරු කියැවීමේ අපහසුතාවයට යම් අන්දමකින් 

විසඳුමක් ලැබෙනු ඇති.

පාඩම් පොත ගේන්න..මේ පාඩම කියවන්න..කියනවාට වඩා දරුවා කැමැත්තෙන් කියවන කථා පොතක්..ළමා පත්තරයක් අකුරු අමුණමින් කියවීමට අවස්තාවක් සලසා දෙන්න.

ඉස්පිලි,පාපිලි මග හලනවා නම්..

ඉස්පිලි,පාපිලි ගැන නොසලකන දරුවාට අසා ලිවීමේ ක්‍රියාකාරකම බොහොම රසවත් අත්දැකීමක් කරන්න.

පුතා..අම්මට ගේන්න ඕන මේ බඩු ලැයිස්තුව මට ලියලා දෙන්න.ඔන්න මං කියන්නම්..ඒ වගේම අද හැන්දෑවට පුතාට ගේන්න ඕන දේවල් මට ලියලා දෙන්නකෝ…

මෙවැනි ක්‍රියාකාරකමක් පොත,පැන්සල අරගෙන අසා ලිවීමක් කිරීමට වඩා සුන්දර විය හැක.

පාසල කියන්නේ සමාජයීය වර්ධනයට උපකාරි වෙන ස්ථානයක්

නිවසට පසුව දරුවාගේ සමාජයීය කුසලතාවයන් වර්ධනයට ඉඩ ලැබෙන ප්‍රධාන සංස්ථව වන්නේ පාසලයි. ඒ නිසාම පාසල දරුවාට වඩාත් ප්‍රියජනක තැනක් වීම වැදගත්.නමුත් දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ඇති අපහසුතාවයන් නිසා ඔහු පසුගාමී දරුවෙකු වුනොත් පාසල සමග සහජීවනයෙන් කටයුතු කිරීම දරුවාට අපහසු විය හැක. පංතියේදී තමාගේ නොහැකියාවන් නිසා අසරණ වෙත්ම පාසල අපායක් තරමටම අප්‍රසන්න පරිසරයක් වීමට නම් ඉඩ තැබිය යුතුම නැත.

දරුවාගේ පාසල් වැඩ ගැන දෙමව්පියන්ගේ අවධානය

යාන්තම් රටේ හොදම පාසලට ඇතුලත් කලා. විවාහ වුන දැ පටන් කරපු සැලසුම නිසා අපි දැන් නිදහස්…ඒත් ඔබට එසේ නිදහස් විය නොහැක. දරුවා රටේ ජනප්‍රිය ප්‍රමුඛතාවයේ ඇති ඉහළම පාසලට ඇතුලත් කළත් ඔබ දරුවාගේ පාසල් වැඩ කටයුතු ගැන විමසා බලන්න.

දරුවාට හෙට දවසට පති පැවරුම් තිබිය හැකියි. යම් යම් ක්‍රියාකාරකම් වෙනුවෙන් ගෙන යා යුතු භාණ්ඩ හෝ ද්‍රව්‍යන් තිබිය හැක. ඒවා ගැන සොයා බලන්න. නමුත් ඒවා සූදානම් කර ගැනීම දරුවාට පවරන්න.එය දරුවාගේ වගකීමක් බැව් ඒත්තු ගන්වන්න.නමුත්..අවසාන නිරීක්ෂකයා ඔබ වෙන්න.දරුවාටම පවරා නිහඩ වීම සහ මේ සියල්ල ඔබ විසින් සූදානම් කිරීමත් නොකළ යුතුය.

විනෝදාංශයටත් ඉඩක්

දරුවාගේ වයසට අනුව යම් විනෝදයක් විවේකයක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ මනාපය අනුව දරුවාට ගැලපෙන රූපවාහිනි වැඩසටහනක් නරඹන්න සහ සෙල්ලමටත් වේලාවක් ලබා දෙන්න.

උත්තේජනයක් අවශ්‍යයි.

දරුවා පාසල් වැඩ කටයුතු හොඳින් කළ දිනයට ඒ වෙනුවෙන් පුංචි තිලිනයක් ලබා දෙන්න.ඒ වෙනුවන් උදාසීනකම් පෙන්වන දිනයකදී දරුවාගේ රූපවාහිනි නරඹන කාලය සීමා කරන්න.එය දඬුවමක් සේ පෙන්වා දෙන්න.

දරුවා වඩාත් දුර්වල හෙවත් ඩිෆ්ලෙක්සියා තත්වයක නම්

ඇතැම් අවස්ථාවලදී ඩිෆ්ලෙක්සියා තත්වය නිසා දරුවාගේ ඉගෙනුම් කටයුතුවල පසුගාමී බවක් සිදු විය හැකිය

  • කියවීමේදී නිතරම අකුරු වැරදීම
  • නිතරම උඩ,යට, වම, දකුණ මාරු කිරීම
  • වේලාව නිවරැදිව සඳහන් කිරීමට නොහැකි වීම.
  • මතක තබා ගැනීම දුර්වලය.
  • දිනය, මාසය, අකුරු, අංක ගැන අවබෝධය හීනය.
  • ඇඳුමක බොත්තම් දමා ගැනීම, සපත්තු ලේස් ගැට ගසා ගැනීමට පවා නොහැකිය.

මෙවැනි අපහසුතාවයන් ඇත්නම් එම දරුවන් වෙනුවෙන් විශේෂ අවශ්‍යතාවයන් ඇති බැව් වටහා ගෙන ඒ වෙනුවෙන් සහයෝගය දක්වන්න.බුද්ධිහීනතාවයක් තිබුනත් දරුවාගේ බුද්ධියට අනුව ඉගෙනීමට ආධාර කිරීමෙන් අනාගතයේදි ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කර ගැනීමට කිසිදු බාධාවක් නැත.

 

කිරි ගැන ඔබ දන්නේ මොනවද?

අද වන විට බොහෝ දෙනෙක් පිටිකිරිවලින් ඈත්ව කිරි පරිභෝජනයට පෙළඹී සිටිනවා. ඒ අතර සෝයා කිරි, එළකිරි සහ එළු කිරි මූලිකව හඳුන්වා දිය හැකියි. අද ඒ පිළිබඳව අපි දැනුවත් වෙමු.පිළිබඳව අද වන විට පැතිර යන කතනැවුම් කිරි 

සෝයා කිරි

එළකිරි සඳහා ආදේශකයක් ලෙස පවතින ශාක කිරි විශේෂයකි. සෝයා කිරි, පිටිකිරි බීමට නොහැකි ලැක්ටෝස් නොදිරවන (Lactose Intolerance) අයට කදිම ආදේශකයකි. සෝයා කිරි, පිසින ලද සෝයා ඇට, සෝයා ප්‍රෝටීන, ස්වභාවික හෝ සීනි හා තන්තු එකතු කිරීමෙන් පිළියෙල කරයි. අවුන්ස හතරක සෝයා කිරි වීදුරුවක කැලරි 40 ක්ද, ප්‍රෝටීන 3g – 4g ද මේදය 2g ද සීනි 500mg ද පමණ අඩංගු වේ. මීට අමතරව කැල්සියම්, යකඩ, පොටෑසියම්, වෙනත් ඛනිජ ලවණ ද සෝයා කිරිවල අඩංගු වේ. 

අවුරුද්දට වඩා අඩු දරුවන්ට එළකිරි, සෝයා කිරි හෝ වෙනත් කිසිම කිරි වර්ගයක් නොදිය යුතු අතර මව්කිරි පමණක්ම දිය යුතුය. අවුරුදු 1 – 5 දරුවන් සඳහා ලබාදිය හැකි නමුත් සීනි එක් කර ගැනීමෙන් වැළකිය යුතු අතරම අවුරුදු 1 – 2 දක්වා දරුවන්ට දිනකට කිරි කෝප්ප 2 – 3 ප‍්‍රමාණයක් ලබාදිය හැක. ලැක්ටෝස් ජීර්ණ ගැටලු ඇති අයට මෙන්ම සත්ව නිෂ්පාදන ලබානොගන්නා අයට පිටිකිරි වෙනුවට සෝයා කිරි හොඳ අදේශකයකි. 

පවුලේ සියල්ලටම ලැක්ටෝස් ජීර්ණ ගැටලු හෝ වෙනත් වෛද්‍යමය තත්ත්වයක් පවතී නම් සෝයා කිරි ලබාදිය හැක. එසේ නොවන්නේ නම් වැඩිවියට පත්වන තුරු සෝයා කිරි ලබා දීම නුසුදුසුය. සෝයා කිරිවල ඇති කැල්සියම් ප‍්‍රමාණය පිටිකිරිවල ඇති phthalates නම් සංයෝගය මගින් Ca අවශෝෂණයට බාධා කරවන බව පැවසෙන අතරම සෝයා කිරි පමණක් ගන්නා අයෙක් වේ නම් වෛද්‍ය උපදෙස් මත සිරුරට අවශ්‍ය කැල්සියම් ලබාදෙන වෙනත් ආදේශකයක් වෙත යොමු විය යුතු වේ. කිරි ආසාත්මික වීමේදී ඔක්කාරය, වමනය, උදර වේදනාව, පාචනය, ඇදුම, ස්වසන අපහසුව, කැස්ස, ඇස් කැසීම, කඳුළු ගැලීම, ඇස් ඉදිමීම ඇති විය හැක.

නැවුම් එළකිරි 

නැවුම් එළකිරිවල, කැලරි (146), ප්‍රෝටීන (8g), මේදය (8g), Ca (28%), විටමින් D (24), Riboflavin (26%) අඩංගු වේ. මේවායේ ප්‍රෝයෝජන ලෙස

  • අධික ප්‍රෝටීන ප‍්‍රමාණයක් පැවතීම 

එමගින් පටක අලුත්වැඩියාව, හෝමෝන නිෂ්පාදනය, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ක‍්‍රියාවට සහය වීම, පේශී තන්තු වල ව්‍යුහමය සැකසීම සඳහා දායක වේ. මෙහි අත්‍යාවශ්‍ය ප්‍රෝටීන අම්ල 9 ක් අඩංගු වේ. එනම් මෙය සම්පූර්ණ ප්‍රෝටීන ආහාරයක් ලෙස සැලකේ. මෙහි casein (70% – 80%) හා whey (15-20%) ලෙස ප්‍රෝටීන ආකාර 2 ක් අඩංගු වේ. Casein ප්‍රෝටීනය ආහාර ජීර්ණ පද්ධතිය තුලින් ජීර්ණය හා අවශෝෂණය සෙමින් සිදු වේ. ඉතා සෙමින් පිළිවෙලට ඇමයිනෝ අම්ල රුධිරයට නිදහස් කරයි. එමගින් වැඩෙන පේශී වලට පෝෂණය සපයයි. Whey ප්‍රෝටීනය ඉතා ඉක්මණින් ජීර්ණය හා අවශෝෂණය සිදු වේ. මෙමගින් වෙහෙස වූ පේශී සුවපත් කරයි. පේශී ක්‍ෂය වීම අඩු කරයි. 

  • දත් ශක්තිමත් කිරීම – මෙහි ඇති Ca (කැල්සියම්)  නිසා දත් කුහර ඇති වීම, දත් දිරා යාම වළක්වයි. 
  • අස්ථි නිරෝගීමත් කිරීම – ඔස්ටියෝපොරෝසිස් ඇතිවීම වළක්වයි. 
  • පේශී වර්ධනයට උදව් වේ
  • බර අඩු කරගැනීම පහසු කරවයි
  • ආතතිය අඩු කරවයි – කිරි වල ඇති විටමින් හා ඛනිජ ලවණ මගින් පේශීවල ආතතිය අඩු කරවයි. ස්නායු ගමනය පහසු කරවයි. 
  • කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ ඇති වන අපහසුතා අඩු කරවයි. 
  • ශක්තිය ලබාදෙයි
  • ආමාශයේ දැවිල්ල අඩු කරවයි. 
  • අධික රුධිර පීඩනය හා ආඝාතය (stroke) ඇති වීමේ අවදානම අඩු කරවන බව පර්යේෂණ වලින් පෙන්වා ඇත.
  • අක්මාවේ නිපදවන කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය අඩු කරයි
  • ඇස් වල පෙනීම වැඩි දියුණු කරවයි
  • සමහර පිළිකා ඇති වීමේ අවදානම අඩු කරවයි.

එළු කිරි

එළු කිරිවලද එළ කිරිවල මෙන්ම සියලු පෝෂක ගුණ අඩු වැඩි වශයෙන් පවතී. මෙහි පොටෑසියම්, යකඩ, විටමින් A හා ක්ලෝරයිඩ් අධිකව පවතින අතර Orotic acid, n-acetylneuraminic acid, ෆෝලේට්, විටිමින් B, විටමින් B12 අඩු ප‍්‍රමාණයක් පවතී. 

එළු කිරිවලින් හිමි වන ප්‍රයෝජන

  • ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරයි
  • කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩු වන අතර රුධිර පීඩනය අඩු කරයි. 
  • විටමින් A මගින් සමට සහ ඇස් පෙනීමට වැදගත් වේ. 
  • විටමින් B5 (Pantothenic acid) මගින් ශක්තිය ලබාදෙන අතර වෙහෙස මහන්සිය අඩු කරවයි. 
  • Probiotic ලෙස ක‍්‍රියා කිරීම – ආහාර ජීර්ණ පද්ධතියේ හිතකර බැක්ටීරියා වර්ධනයට උදව් කරයි. 

එළු කිරි දින 3 -10 දක්වා ශීතකරණයේ තබා භාවිත කළ හැක. ලෝකයේ මුළු කිරි නිෂ්පාදනයෙන් 2% එළු කිරි මගින් සපයයි. පැස්වරීකරණය තුළ කිරි මාස 6 දක්වා අධි ශීතකරණයේ තැබිය හැක. pH අගය 6.3 – 6.7 වේ. 

එළු කිරි හා එළ කිරි දෙකෙහිම ලැක්ටෝස් සීනි වර්ගය අඩංගු වන අතරම යම්තාක් දුරට ජීර්ණය අපහසුය. මේ නිසා සමහර පුද්ගලයන්ට උදර වේදනාව, උදර පේශී පෙරලීම, උදරයේ වාතය පිරීම, වමනය වැනි තත්ත්ව ඇති විය හැක. මීට අමතරව එළු කිරි මගින් අතුරු ආබාධ ඇති කරයි. 

  • අධික ලෙස බර වැඩි වීම. 
  • එළ කිරි ආසාත්මිකතා ඇති අයට එළු කිරිද ආසාත්මික විය හැක.

වයස අවුරුද්දට අඩු දරුවන්ට එළ කිරි හා එළු කිරි යන දෙකම ලබා දීම සුදුසු නැත. මෙහිදී කුඩා ප‍්‍රමාණ වලින් ආහාර ජීර්ණ පද්ධතියේ රුධිර ගැලීම් ඇතිවිය හැක. එසේම යකඩ, විටමින් E, අත්‍යාවශ්‍ය මේද අම්ල අඩුය. එසේම ප්‍රෝටීන හා මේදය ඇති ප‍්‍රමාණයන් මව් කිරි වල අගයන්ට සමාන නොවේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

කොරෝනාවට එරෙහි එන්නත් ගැබිනි මවට සුදුසුද?

කොරෝනා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙවැනි මොහොතක ගැබිනි මව්වරුන් ඉතා අවදානම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටින බව අපි කවුරුත් දන්නවා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වූයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ගැබිනි මව්වරුන්ටද ලබා දෙන ලෙසයි. ඇත්තටම මේ එන්නත ගැබිනි මවකට ලබා දීමේ අවදානමක් නැතිද? මේ පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මාහාචාර්ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි විමසුවා.

මහාචාර්යතුමනි, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ගැබිනි මවට ලබා දීම සුදුසුද?

ගර්භණි සම‍යේදී කාන්තාවන්ට කොවිඩ් 19 රෝගය වැළඳීමේ දැඩි අවධානමක් පවතිනවා. අන්න ඒ නිසාම ගැබිනි කාන්තාවන් මේ වසංගතයෙන් ආරක්ෂා කරගත යුතුමයි. ‍කෙසේ වුවත් ගර්භණීබාවය කෙරෙහි මේ එන්නතේ බලපෑම ගැන දැනට පවතින්නේ පර්යේෂණ මට්ටමේ. වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවට ඇති විය හැකි තත්ත්වය එන්නත්කරණය මගින් ඇති වන තත්ත්වයට වඩා අවදානම් විය හැකි බැවින් ගැබිනි මව්වරුන්ට මෙම එන්නත නිර්දේශ කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ පිළිබඳව අදාල වෛද්‍ය අංශ විසින් සාකච්ඡා කරමින් සිටිනවා. 

ගැබිනි සමයේ පිටගැස්ම එන්නත පමණක්ම ලබාදෙන අතරම මේ තත්ත්වය යටතේ කොරෝනා එන්නත ලබා දීම සුදුසුද?

සාමාන්‍යයෙන් ගැබිනි සමයේ ලබා දෙන එන්නත් වන්නේ පිටගැස්ම, ගලපටලය, ඉන්ප්ලුවෙන්සා වැනි එන්නත් වර්ගයි. ගර්භණී සමයේදී ඇති විය හැකි අතුරු ආබාධ නිසා සජීවී එන්නත් ලබාදීමෙන් වැලකී සිටිනවා. සාමාන්‍යයෙන් කලලයක විකසනය සිදු වන්නේ සති 5 – 11 දක්වා අතර කාලයේ වන බැවින් එම කාල සීමාව මගහැර එන්නත් ලබා ගැනීම වඩාත් සුදුසුයි. කොවිඩ් 19 එන්නත තවමත් ලංකාවේ ගැබිනි මව්වරුන්ට ලබා නොදීමට හේතුවක් වන්නේ මෙම එන්නත් ගැබිනි මව්වරුන් අතර භාවිත කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ට ලබාදෙනවාද? එය ලාබ දෙන්නේ කුමන අවස්ථා‍වේද යන්න මෙම එන්නත් පිළිබඳ යාවත්කාලීන දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති. 

මහාචාර්යතුමනි, සජීවී සහ අජීවී එන්නත් පිළිබඳව පැහැදිලි කළ හැකිද?

සජීවී එන්නතක් ලබා ගත්තාම බොහෝවිට ජීවිත කාලයටම ඒ හරහා අදාල රෝගයට ආරක්ෂාව සැලසෙනවා. සජීවී එන්නත් නිපදවෙන්නේ රෝගයට අදාල වෛරසයේ හෝ බැක්ටීරියාවේ කොටස් උපයෝගී කරගනිමින්. නවීන තාක්ෂණික ක්‍රම මගින් නිපදවෙන මේ සජීවී එන්නත්, රෝගය ඇති කළ හැකි වෛරසයේ හෝ බැක්ටීරියාවේ බලය ඉවත් කොට නිපදවනවා. පැපොල, සරම්ප, රුබෙල්ලා, කම්මුල්ගාය, කහඋණ වගේ රෝගවලට ලබා දෙන්නේ සජීවි එන්නත්. ඇතැම් අවස්ථාවල හරිම කලාතුරකින් මෙවැනි එන්නතක් ලබාගත් අයෙකුට සුළු වශයෙන් රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිසි ප්‍රතිශක්තීකරණයක් සිරුර තුළ ඇති වූ බව. සාමාන්‍යයෙන් මේ සජීවී එන්නත් ගැබිනි මව්වරුන්ට, පිළිකා රෝගීන්ට වගේම සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ පද්ධතියට හානි වුණු රෝගීන්ට ලබා දෙන්නේ නැහැ.

නමුත් අජීවී එන්නත් මගින් එවැනි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. උදාහරණ විදියට ජලභීකිතිකාව, ගලපටලය, කක්කල්කැස්ස වගේ රෝගවලට ලබාදෙන එන්නත් අජීවී එන්නත්. මෙහි ඇති අවාසිය එක එන්නත් මාත්‍රාවකින් දිගුකාලීන ප්‍රතිශක්තියක් ලබාගැනීම අපහසු වීමයි. පාරිසර සාධක අනුව එම වෛරසය/බැක්ටීරියාව වෙනස් විය හැකි නිසා අජීවී එන්නත් යම් කාල සීමාවන් තුළ නැවත නැවත ලබාගැනීමට සිදු වෙනවා.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් අයත් වෙන්නේ මේ කුමන කොටසටද?

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිපදවීමේදී පයිසර් බයෝ ටෙක් සමාගම යොදාගත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට වඩා අලුත් ක්‍රමයක්. එනම් වෛරස ප්‍රෝටීනය බාහිරින් ඇතුළත් නොකොට එම ප්‍රෝටීනය සිරුර තුළ නිපදවෙන ලෙස MRNA කේතය එන්නත ලෙස සිරුරට ඇතුළු කොට සිරුරෙන් වෛරස ප්‍රෝටීනය සැකසෙන්න ඉඩ හැර සිරුර තුළින්ම එයට අදාල ප්‍රතිදේහජනක නිපදවෙන්නට සැලස්වීමයි. මේ ක්‍රමය ඉතා සාර්ථක වුවත් පයිසර් එන්නත අපේ රටට මෙතෙක් ලැබී නැහැ. කොරෝනා රෝගය සඳහා අපේ රටේ දැනට ලබාදෙන එන්නත් වන Astrazeneca සහ Sputnik V එන්නත්වලදී වෙනත් හානිදායක නොවන වාහකයෙකු යොදාගනිමින් අදාල DNA අනුව ශරීර ගත කර ප්‍රතිශක්තිය නිපදවනවා. මීට අමතරව ලබාදෙන Sinopharm එන්නත මගින් අක්‍රිය කරන ලද SARS-CoV-2 වෛරසය ශරීරගත කොට ප්‍රතිදේහ නිපදවයි. 

එය ගැබිනි මවට සුදුසු වුවත් දීර්ඝ කාලීන ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ නේද?

අජීවී එන්නත් මගින් ජීවිත කාලයටම ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ. ගැබිනි මවකට කුමන එන්නතක් ලබා දුන්නත් ඇයගේ සියලු තත්ත්වයන් සොයා බලා හොඳින් නිරීක්ෂණය කොට තමයි ලබාදෙන්නේ. ඇතැම් අවස්ථා තියෙනවා තමා ගැබ් ගෙන ඇති බව නොදැන ඇතැම් කාන්තාවන් සජීවී එන්නත් ලබා ගත්ත. එවැනි තත්ත්වවලදී වුවත් දියුණු රටවල පවා කලලය ඉවත් කිරීමක් සිදුරන්නේ නැහැ. හොඳින් නිරීක්ෂණය කරමින් ස්කෑන් කිරීම මගින් කලලයට යම් බලපෑමක් සිදු වීද යන්න ගැන සොයා බලනවා. කෙසේ වුවත් අජීවී එන්නත් ලබා ගැනීමෙන් මෙවැනි කිසිදු බලපෑමක් නැහැ. අදාල කාලසීමාව තුළ අවශ්‍ය රැකවරණය සැපයෙන නිසා අජීවී එන්නත් ලබාගැනීම වුවත් මෙවැනි සීග්‍ර පැතිරීමක් ඇති වසංගත රෝග හමුවේ ඉතාම වැදගත් වෙනවා.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

Imageමහාචාර්ය ටිරාන් ඩයස් මහතා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම.

 

 

 

 


 

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපිය ඔබේ අවධානය යොමු විය යුතු කරුණු 6ක්

අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙමව්පියෝ විදියට අපි කොහොමද සහයෝගය දෙන්නේ? ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගැනීමට අපිට කරන්න පුළුවන් මොනවද? පියවරෙන් පියවර අපි මේ ගැන සාකච්ඡා කරමු.

  • කාල සටහන

ඔබ දරුවා වෙනුවෙන් කාල සටහන සකසන්න. කාල සටහනක් මගින් යම් කාලයක් තුළ යම් කාර්යයක නිරත වීම පහසු වෙනවා. අන්න ඒ නිසා ඔබට පුළුවන් නම් දරුවත් එක්ක එකතු වෙලා දවසකට එහෙම නැත්නම් සතියකට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාල සටහනක් සැලසුම් කරන්න. ඒත් ඔබ හිතන්න එපා එහි ඇතුළත් විය යුත්තේ විෂය ක්‍රියාකාරකම් පමණක් බව. එම කාල සටහන තුළ දරුවාට සෙල්ලම් කරන්න ඉඩක් රූපවාහිනිය නැරඹීමට ඉඩක් වගේම පොත්පත් කියවන්න ඉඩක් වෙන් කළ යුතුමයි. දරුවා ප්‍රිය කරන විවිධ වූ ක්‍රියාකාරකම් අන්තර්ගත කළ විට අධ්‍යාපනයට වගේම ඔබේ දරුවාට අනෙකුත් ක්‍රියාකාරම්වලටත් කාලය හිමිවෙනවා. 

මෙතැනදී ඔබට පුළුවන් දරුවාට මේ හරහා ඉලක්ක කරා යොමු කරන්න. ඒ හරහා දෙමාපියන් වන ඔබට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වීමට හැකියාව හිමිවෙනවා. උදාහරණයක් ලෙස මේ සතිය තුළ මේ මාසය තුළ දරුවා කළ යුතු වැඩ පිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව කල්තියා දරුවා දැනුවත් කිරීමෙන් ඔබට පුළුවන් දරුවාට ඔබේත් කාල කල් තියා වෙන් කරගනිමින් ඒ සඳහා සහය දක්වන්න.

  • බාධා අඩු කරමු

ඒවගේම අපිට කරන්න පුළුවන් තවත් වැදගත් දෙයක් තමයි දරුවා පාඩම් කරන වෙලාවෙදී දරුවාගේ වටපිටාවේ ඇති බාධක ඉවත් කරන්න. ඇතැම් අම්මලා තාත්තලා රෑපවාහිනය නරඹන ගමන් දරුවට ගිහින් පාඩම් කරන්න කියනවා. ඒත් ඔබ හිතන්න, නිවසේ රූපවාහිනිය ක්‍රියාත්මක වෙද්දී පුංචි හිත් නිතැතින්ම දුවන්නේ රූපවාහිනියට. ඉතින් අපට පුළුවන් නම් දරුවා පාඩම් කරන වෙලාවෙදී අන්න ඒ වගේ බාධා කිරීම් නොකර ඉන්න දරුවට පොතට යොමුවන්නට පුළුවන් අවකාශය ඉතාම වැඩියි. ඉතිං ඔබට හිතෙයි දරුවෝ වෙනුවෙන් හැමදේම කරද්දි අපිට ටිකක් රූපවාහිනියවත් බලන්න බෑ නේද කියලත්. නැහැ, ඔබ එහෙම හිතන්න එපා. ඔබේ දරුවා පාඩම් වැඩ කරනවා නම් ඔබටත් පුළුවන් රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා දරුවත් එක්කම එකට වාඩි වෙලා පොතක් පත්තරයක් කියවන්න. නැත්නම් ඔබේ කාර්යාලයේ කුමක් හෝ කටයුත්තක නියැලෙන්න. 

  • මසකට වරක්වත් ගුරුතුමිය හමුවෙන්න

දරුවා පාසලට යන හැම මොහොතකම පාසලට යන්න බැරි වුණත් ඔබට පුළුවන්කමක් තියෙනව නම් බලන්න අඩුම තරමේ මාසයකට සැරයක්වත් ඔබේ දරුවගේ පන්තිභාර ගුරුතුමාට ගුරුතුමියට කතා කරන්න. දරුවා‍ගේ දුර්වලතා ඇය/ඔහු හරහා හඳුනාගන්න ඔබට පුළුවන්. එමගින් දරුවාට අවශ්‍ය සහයෝගය උපරිමව ලබා දීමට දෙමාපියන් වශයෙන් ඔබට පුළුවන්. විශේෂයෙන්ම කිව යුතුයි පාසල් යන දරුවෝ ගොඩක් කැමතියි දෙමව්පියෝ තමන්ගේ ගුරුවරුත් එක්ක කතා කරනවට. ඒ වගේම තමන්ව ගුරුවරුන් සමග අගය කරනවට. ඉතින් ඒක නිසා ඔබ ගුරුතුමා/ගුරුතුමිය හමුවන වෙලාවෙදී මතක තියාගන්න දරුවා නිවසේදී කරන හොඳ ක‍්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම ගුරුතුමිය/ගුරුතුමා සමග අගය කරන්නට. එය දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වීමට සහ ඒ පිළිබඳව කැමත්ත වැඩි දියුණු කරගැනීමට අනිවාර්යයෙන්ම මහත් පිටුබලයක් ලබාදෙනවා. 

  • ඉගෙනුම් විලාසය (learning style)

ඔබ, ඔබේ දරුවාගේ ඉගෙනුම් විලාසය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදත් වෙනවා. එක් එක් දරුවා විවිධ විවිධ ඉගෙනුම් විලාස යොදාගන්නවා. වැඩිහිටියන් ලෙස අපි දරුවාගේ ඉගෙනුම් විලාසයට බාධා නොකළ යුතුයි. එයට සහය විය යුතුයි. ඇතැම් දරුවෝ ක‍්‍රියාකාරකම් තුළින් ඉගෙන ගන්නවා. තවත් දරුවෝ පොත පත ඇසුරේම ඉගෙනීම සිදුකරනවා. ක්‍රියාකාරකම් එක්ක ඉගෙනුම සුදු කරන දරුවෙකුට පුස්තකාලයට ගොස් පොතක් පතක් කියවන්නට ඔබ බල කලොත් එය අසාර්ථකයි. ඒ වගේ දරුවෙකුට අපි දෙන්න  ඕන ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් ඔස්සේ පාඩම් අවබෝධ කරගැනීමට අවස්ථාවයි. ඔබේ දරුවා දෘශ්‍ය ඉගෙනුම් (visual learner) විලාසය අනුගමනය කරන අයෙක් නම් ඒ දරුවා රූප සටහන්, කෙටි සටහන් වැනි දේ හරහා ඉගෙනීම කෙරේ යොමු කිරීමට ඔබට පුළුවන්. තවත් දරුවෙක් සවන් දීමෙන් තම ඉගෙනුම කළ හැකියි. මෙන්න මේ විදියට දරුවාගෙන් දරුවාට ඉගෙනුම් විලාසය වෙනස් වෙනවා. මෙතැනදී දරුවාට අවශ්‍ය ආකාරයට ඔබේ අධීක්ෂණය යටතේ සහයෝගය ලබා දීම මගින් දරුවා‍ ස්වකැමැත්තෙන්ම අධ්‍යාපන කටයුතු කෙරේ නැඹුරු කරවීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම එය දරුවාට රුකුලක් වෙනවා. දරුවාට පවුල තුළ මෙසේ තමාට රිසි සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නිදහස ලැබෙන විට ඔබත් සමග මේ ගත කරන කාලය මිහිරි මතක ගොඩක් එකතු කළ හැකි කාල සීමාවක් වෙනවා. 

  • තරවටු කිරීම්, දඩුවම් කිරිම් එපා

දරුවත් එක්ක අධ්‍යාපන කටයුතු යොමු වෙලා සිටින කාලයේදී දරුවට තරවටු කිරීම, දඩුවම් කිරීම වෙනුවට ළඟට රන් ආදරෙන් අවබෝධ කරවන්න. එය දරුවෙක් හීලෑ කරගන්න සුදුසුම ක්‍රමයක්. දරුවෝ ගොඩක් වෙලාවට අපට ඇහුම්කන් දෙනවා. නමුත් ඔබ මහා හඬින් අයියෝ පුතා,  ඕක ඔහොම නෙමෙයිනේ කරන්නේ. දැන් ඔයාට කී පාරක් කිව්වද? ඔයාට අපි කියන දේ අහන්න බැරිද? ඔහොම නම්  ඕක හරියන්නේ නෑ කියලා ඝෝෂා කළොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒත් වචන දෙක තුනකින් පුතා මෙතෙන්ට එන්න. දැන් බලන්න ඔයා මේ ඔක්කොම දේවල් හොඳට කරලා තියෙනවනේ, අපි මේකත් ඒ විදියට කරමුද? එතකොට ලස්සනයි. අන්න ඒ විදියට ඔබට ඔබේ දරුවාට ඒ දෙය සන්සුන්ව කිව හැකි නම් දරුවා බොහොම සතුටින් අද්‍යාපන කටයුතුවලට යොමු වේවි. ගොඩක් වෙලාවට නිවසේ අධ්‍යාපන කටයුතු වලට යොමු වන කාලය එහෙම නැත්නම් ඒ මොහොත ටිකක් අප‍්‍රසන්න අමිහිරි වුණොත් ගොඩක් වෙලාවට දරුවෝ නිවස තුලදී අධ්‍යාපන කටයුතුවලට යොමු වෙන්න මැලිකමක් දක්වන බව අමතක කරන්න එපා. 

  • දරුවා එක්ක කතා කරන්න වේලාව වෙන්කරන්න

පාසැලේ සිට නිවසට එන දරුවා සමග ගත කරන්න යම් කාලයක් වෙන් කළ යුතු බව පෙර ලිපිවලදීත් සඳහන් කළ බව ඔබට මතක ඇති. අද දවස තුළ මොනවද කළේ, අද දවස ගෙවුනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. එහිදී ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මොන මොන විෂය කාරණාද දරුවට අපහසු වෙන්නේ කියලත්. ඒ වගේම දරුවාගේ පසුබෑම් මොනවාද කියලා අවබෝධ කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. නමුත් මේ ගත කරන කාලය තුළ ඔබ ඔබේ දරුවාට බැණ වැදීම් නොකළ යුතුයි.ඒ වගේම දරුවා විනිශ්චය නොකළ නොකළ යුතුයි. යම් හෙයකින් දරුවට තේරුණොත් මේ කතා බහ තුළ මව/පියා තමා ගැන යම් විනිශ්චයකට එළැඹෙන බව දරුවාට වැටහුණොත් දරුවාට ඔබ කෙරේ ඇති විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. දරුවාට ඕනෑම දෙයක් තම මව/පියා සමග කතා කළ හැකිය යන විශ්වාසය ගොඩ නැංවීම ඉතාමත් වැදගත්. මෙවැනි අවස්ථාවකදී ඔබ දරුවාට අවබෝධ කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ජීවිතයේ/අධ්‍යාප‍නයේ යම් යම් පසුබෑම් ඇති වුවත් ඒ දේවල් අතදැකීම් කරගනිමින් ඉදිරිය සාර්ථක කර ගත හැකි බවයි. 

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයා ගන්නට කලින් 99 වාරයක් උත්සහ කරලාත් එය අසාර්ථක වෙනවා. නමුත් ඔහු කිසිම අවස්ථාවක පසුගාමී වෙන්නේ නැහැ. ඔහු එය හඳුන්වන්නේ විදුලි බල්බයක් නිෂ්පාදනය කරන්නට බැරි ක‍්‍රම 99 ක් ලෙසටයි. 100 වෙනි වතාවෙදී ඔහු සාර්ථක වෙනවා

මෙන්න මෙවැනි උදාහරණ දරුවන්ගේ ජීවිතයට එකතු කරන්න. යමක් අසාර්ථක වූ විට දරුවාගේ සිතට අපි ඇතුළු කළ යුත්තේ ඒ ක්‍රමය අසාර්ථක ක්‍රමයක් බව සනාථ වූ නිසා අපි වෙනත් සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට වෙහෙසිය යුතු බවයි. මව/පියා/වැඩිහිටියන් ලෙස අපේ වගකීම විය යුත්තේ දරුවා කඩා වැටෙන මොහොතේ බැන වැදීම/ මන්දෝත්සාහී කිරීම නොව දරුවාට අත්වැලක් සැපයීමයි. සහයෝගය ලබාදීමයි. මෙන්න මේ විදිය මව්පියන් ලෙස ඔබ ඔබේ දරුවා වෙනුවෙන් කාලය වෙන් කරමින් දරුවාට ඇහුම් කන් දෙමින් දරුවන් නවනුවෙන් වූ වගකීම් ඉටුකරනවා නම් අපේ සමාජය අදට වඩා හෙට ගොඩක් ලස්සන වේවී.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

සයිනොෆාර්ම් එන්නත සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු කරුණ 15ක්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන COVID-19  වෛරස ව්‍යාප්තිය ‍මැඩ පැවැත්වීමේ අරමුණෙන් ලබාදෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම්කොවිලෝඑන්නත පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතු වී තිබෙනවා.

ඒ හේතුව මත සයිනොෆාර්ම්කොවිලෝඑන්නත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මෙසේ දක්වා ඇත.

  1. සයිනොෆාර්ම්කොවිලෝඑන්නත, අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ් අඩංගු එන්නතකි.
  2. සයිනොෆාර්ම්කොවිලෝඑන්නත ලබා දීමට නිර්දේශිත වයස් සීමාවන් වන්නේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි වයස් ඛාණ්ඩවලටයි. (ශ්‍රී ලංකාව තුළ දැනට ලබා දෙන්නේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට පමණි)
  3. සයිනොෆාර්ම්කොවිලෝඑන්නත ලබාදීමේදී මාත්‍රා දෙකක් (මිලි ලීටර් 0.5) ලෙස ඩෙල්ටොයිඩ් මාංශ පේශිය (ඉහළ හස්තය) තුළට අභ්‍යන්තරව ලබා දෙන අතරම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාත්‍රා දෙක අතර සති 3 4 ක කාල පරතරයක් නිර්දේශ කරයි.
  4. සැපයුම් ගැටළු හේතුවෙන් සෞඛ්‍ය අංශ සේවකයින්ට සහ වෙනත් රෝග ඇති සහ නැති වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. මෙය සිදු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා මාර්ග සිතියමට අනුවයි
  5. මෙම එන්නතෙහි මාත්‍රාව වෙනත් COVID-19 එන්නත් සමග මිශ්‍ර කර ලබාගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිත කිරීම නිර්දේශ කරනු ලැබේ. මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය.
  6. උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම කල් දැමිය යුතුය. (ඔබට උණ වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න)
  7. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ද නිර්දේශ කරයි.
  8. දරුණු COVID-19 අවදානම වැඩි කරන බවට හඳුනාගෙන ඇති වෙනත් රෝග ඇති පුද්ගලයින් සඳහා එන්නත් කිරීම නිර්දේශ කෙරේ.
  9. එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නැත
  10. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ගර්භණී කාන්තාවන් සඳහා ද COVID-19 එන්නත එන්නත් කිරීම ගැටළුවක් නොමැති බවයි (මේ පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න)
  11. අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහා ද එන්නත භාවිත කිරීම නිර්දේශ කරයි.
  12. එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.
  13. ඔබට මින් පෙර කොවිඩ් 19 රෝගය වැළඳී තිබුනත් (රෝග ලක්ෂණ සහිත/ රෝග ලක්ෂණ රහිත) ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගත හැකිය.
  14. කොරෝනා අසනීපයෙන් සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගන්නා තුරු PCR තහවුරු කළ COVID-19 සහිත පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය.
  15. එන්නත ලබා දීමෙන් පසු COVID-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ඇන්ටිබොඩි පරීක්ෂණ දැනට නිර්දේශ නොකරයි.

ඉතින් ඔබත් මේ ගැන දැනුවත් වී එන්නතකරණයට සහභාගී වන්න.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ

වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා