Home Blog Page 95

පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරන්න

දරුවන්ගේ ඉන්ද්‍රිය සංවර්ධනයට වැලි සහ වතුර සමග කරන ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. ළදරු අධ්‍යාපනය පිලිබඳ මාරියා මොන්ටිසෝරි  සදහන් කරන අන්දමට අපිට දරුවන් මුල් කර ගෙන පරිසරයෙන් දැනුම ලබා දෙන අතරම ඔවුන්ගේ ඉන්ද්‍රිය සංවර්ධනයට පමණක් නොව දැනුම වෙනුවෙනුත් යමක් කිරීමට පුලුවනි. අද බොහෝ අම්මමලා තමන්ගේ පහසුවට ආලින්දයේ හෝ වෙනත් ඉඩ පරිසරයක් ඇති  තැනක ‍කොටුවක් සාදා එහිි සෙල්ලම් බඩු සමග දරුවා රඳවා තබනවා විනා ඔවුන්ට ගහක් ,කොළක්, නිලක් වටපිටාවක් පෙන්වන්නේම නැහැ. දරුවන්ගේ ආරක්ෂාවට වගේම දරුවා සමග මවට කාර්යන් ඉටු කර ගැනීමට මේ තත්වය ගොඩ නගා ගත්තත් ඔබට හැකි විටෙක හෝ දරුවාට පරිසරයේ මෙවන් සිදුවීම් පෙන්වා දීමට උනන්දු වුනොත් අනාගතයේදී පරිසර හිතකාමී දරුවෙක් ලෝකයට දායාද කරන්න පුලුවනි.

පරිසර ගවේශනයෙන් දරුවාට ලැබෙන වාසි

දරුවා පරිසරය සමග ගනුදෙණු කරන විට ඔහුගේ ඉන්ද්‍රියයන් සංවේදී වෙනවා. ඇසට යම් යම් දේ දැකීමටත්, බල්ලෙක් බුරන, බල්ලෙක් කෑගසන කුරුල්ලෙක් නාද කරන හඩ දෙසට අවධානය දැක්වීමටත්, ගඳ සුවද වෙනස, මෘදු සහ තද බව වැනි සංවේදන හඳුනා ගන්නවා.

කුතුහලය : 

පරිසරයට නිරාවනරය වුනාම දරුවාට විවිධ කුතුහලයන් ඇති වෙනවා. “ගිරවුන්ගේ පිහාටු කොළ පාට ඇයි… , අහස නිල් ඇයි…” මෙවන් විවිධතාවයන් ගැන දරුවා නිරීක්ෂනය කිරීම පටන් ගන්නේ අවට පරිසරය සමග ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයන් නිසයි.

අත්දැකීම් : 

පරිසරය නිසා දරුවන්ට බොහෝ අත්දැකීම් ලැබේවි. ඔවුන් මුලින්ම අත්දැකීම් ලබා ගන්නේ පරිසරයෙන්. මාළුවන් ගොඩට ගත් විට මියයන බව, සමනළ තටු ඉතා සිනිදු බව , මුහුදු රැළ නැගී බි‍ෙඳෙන බව වැනි අත්දැකීම් පොත පතින් කියනවාට වඩා තමාගේම අත්දැකීමෙන් ලබා ගැනීම ආරම්භ වෙන්නේ ඔවුන් සහ පරිසරය අතර තිබෙන සම්බන්ධතාවය නිසයි.

අපිට ඉතින් පරිසරය පෙන්වන්නත් වෙලාවක් … ඉඩක්

ඔබ උදේට මිදුල අමදින විට දරුවාටත් පුංචි ඉදලක් දෙන්න. ඉස්සර කාලයේ නම් පොල් අත්තේ රටාවට වැඩිහිටියන් මිදුල ඇමදූ පිලිවෙල අද නැතැත් හැකි අන්දමින් හෝ දරුවාටත් මිදුල ඇමදීමට ඉදලක් ලබා දෙන්න. මිදුල අමදින අතරවාරයේම ඔවුන්ට පුංචි පාඩමක් කියා දෙන්නත් පුලුවන්. මිදුල ලස්සනට තිබුන විට හිතට ඇති වෙන සතුට, අද දවසේ නම් ඩෙංගු වැනි මදුරුවන් බෝවීම වලක්වා ගැනීමට ඇති හැකියාව කියා දෙන්න පුලුවනි. සෙල්ලම් අවසාන වූ විට ආම්පන්න තැන තැන දමා පැමිනියොත් මිදුල අපිරිසිදු වෙනවා වගේම රෝග බෝ වෙන මදුරුවන්ට නිවාස සැදෙන බවත් කියා දීමට පුලුවනි.

මිදුල ඇමදීමෙන් පසුව කෝටුවකින් යම් යම් රටාවන් හෝ සතුන්ගේ රූප ඇඳ දරුවා සතුටු කරන්න පුලුවනි. ඉස්සර කාලයේ අම්මලා අත්තම්මලා දරුවන්ට සතුට ලබා දුන්නේ මේ විදිහටයි. ඔබ මේ පුංචි කවි පද අසා තිබෙනවාද..?

” මට මතකයි මට මතකයි සීයා අපේ තුම්
මිදුල පුරා කෝටුවකින් ගෝනෙක් ඇඳ දුන්…”

 

ඉතින් අද දරුවන්ට එවන් පරිසරයක් නැතැත් පුංචි හෝ ඉඩක් තිබෙනවා නම් මේ අන්දමට දරුවන් සතුටු වෙන පුංචි සිතුවම් හෝ රටාවන් ඇදීමෙන් ඔවුන් සතුටු කරන්න පුලුවනි.

ගහ කොළ හදුන්වා දෙන්න

කාලයක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලදී විශාල ආන්දෝලනයක් නැගුනේ පරිසරය ප්‍රශ්නවලට ගමේ දරුවන් වැඩි ලකුනු ලබන නිසා ඔවුන්ගේ සමත්වීම ඉහල බවයි. ඊට හේතුව වන්නේ මේ දරුවන් නගරයේ දරුවන් මෙන් නොව පරිසරයට සම්බන්ධව සිටීමයි. ජීවියෙකු ලෙසින්  උපත ලද ඔබේ දරුවාටත් කිසිම දිනක පරිසරයෙන් දුරස්ව සිටින්න බැහැ. ඒ නිසා නිතරම ගහ කොළ සතා සිවුපාවා ගැන කියා දෙනන්. හවසට නිදා ගන්නා පැලෑටි පොත පතින් කියා දෙනවාට වඩා නිදිකුම්බා පැලයක්, සියඹලා ගහක් දකින විට මතකයට නැගේවි. කුප්පමේනිය පැලයක් සමග බළලෙක් සෙල්ලම් කරන අන්දම දකින දරුවාට ඒ ගැන නැවත නැවත කියා දීම අවශ්‍ය නැත. බල්ලාගේ බිරීම, බළලාගේ ඤාව් ශබ්දය අනුව එක් එක් සතුන්ගේ නාද නිරීමේ වෙනස්කම් ඔවුන්ට හොදින්ම හුරු පුරුදු වෙනු ඇති.

පරිසරයට සම්බන්ධ වුනාම ලැබෙන වාසි

දරුවෙක් පරිසරය සමග සම්බන්ධ වුනාම ඔවුන් ඉතාම හොදින් පරිසරය නිරීක්ෂනය කිරීමට යොමු වෙනවා. ඒ වගේම පරිසරයේ රටාව හොදින්ම තේරුම් ගැනීමට සමත් වෙනවා. පරිසරයට ආදරය කරන වගේම තමා ජීවත්වෙන වටපිටාව ලස්සනට තබා ගැනීමට දරුවා මූලිකම අධ්‍යාපනය ලබා ගන්නේ අතදරු කාලයේ පටන්ම දෙමව්පියන් විසින් අවට වටපිටාව ට දරුවන් සම්බන්ධ කිරීමෙන් වුනත් බොහෝ දෙමව්පියන් ඒ ගැන සැලකීමක් දක්වන්නේ නැහැ. ඒත් ඔබ බාල කාලයේ පටන්ම දරුවා පරිසරයට සමීපව සම්බන්ධ කලොත් අනාගතයේදී ඔබේ දරුවා පරිසරයට ආදරය කරන දරුවෙක් බවට පත් වෙනු නොඅනුමානයි.

සමවයසේ ඇසුරට තහංචි නොදැමිය යුත්තේ මේ නිසයි

බොහොමයක් අපේ දෙමව්පියෝ හිතන්නේ දරුවන් තමා සමීපයේ තබා ගෙනම ඇති දැඩි කිරීම සම වයසේ දරුවන් සමග එක් වීමට වඩා දරුවාගේ පැවැත්ම යහපත් කරන බවයි.එය සාධාරණ හිතුවිල්ලත්. බොහෝ දරුවන් සම වයස් කණ්ඩායම් සමග එක්වීම නිසා නොමග යෑම සිදු වෙනවා. වයස අවුරුදු 9 සිට 12 දක්වා වූ කාලයේ අතරේදී සමවයසේ සම්බන්ධවීම් නිසා දරුවන්ගේ මානසිකත්වය වෙනස් වෙන අන්දම මනෝ විද්‍යාඥයින් දකින්නේ මේ විදිහටයි.

දෙමව්පියන්ට වඩා මිතුරන් සමග එක්වීමට කැමැතියි

වයස අවුරුදු 13 ක් පමණ වෙන දරුවන් වඩාත් කැමැත්තක් දක්වන්නේ සම වයසේ මිතුරන් සමග එක්ව අත්දැකීම් ලබා ගැනීමටයි. ඔවුන් අතරින් ලබන අත්දැකීම් දෙමව්පියන්ගේ සමාගමට වඩා ප්‍රියජනක ලෙසින් හිතනවා.

විරුද්ධ ලිංගිකයින් සමග ආකර්ශනය

අවුරුදු 15 ක් පමණ වෙන විට ගැහැනු දරුවන් පිරිමි දරුවන්ටත්, පිරිමි දරුවන් ගැහැනු දරුවන්ටත් ආකර්ශනය ඇති වීම නිසා විවිධ ආදර සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා. සමහර අවස්ථාවලදී දරුවන්ගේ මනසේ තිබෙන ලැජ්ජාශීලි බව නිසා ගැහැනු පිරිමි විදිහට විකර්ශනය වෙලා කටයුතු කරන අවස්ථාවනුත් තිබෙනවා.

මිත්‍රත්වය ප්‍රබලයි

මේ කාලයේදි ඔවුන්ගේ ලෝකයේ සිටින හොඳම මිතුරා වෙන්නේ තමන් ඇසුරු කරන සම වයසේ මිතුරන් වීම නිසා ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ අවවාද වෙනුවෙනු එතරම් තැකීමක් නැහැ. තමන්ගේ එකම විශ්වාසවන්තයා බවට පත් වෙන්නේ සම වයසේ ඇසුරු කරන මිතුරන්. ඒ නිසා නොමග යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉතාම ඉහලින්ම තිබෙනවා. නරක පුරුදු වෙනුවෙන් ඇබ්බැහිව සිටින දරුවන් ඉතාම පහසුවෙන් සමවයසේ මිතුරන් නොමගට යොමු කර ගන්නේ මේ වයසේ වැරැද්ද නිසයි.

සමිති සමාගම් වලට කැමැතියි මිතුරු සමාගම් වගේම සමහර ගම්වල දරුවන් විවිධ සුබසාධක කටයුතු වෙනුවෙන් සමිති පිහිටුවා ගෙන තිබෙනවා. අපි එවැනි කටයුතුවලදී දරුවන්ට නිශේධන පැනවිය යුතු නැහැ. සමවයස් කණ්ඩායම් වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මේ විදිහට සහයෝගය ලබා දීමට පුලුවනි.

සම වයස් කණ්ඩායම් සමග ඇසුර එපා යැයි තහංචි පනවනවා වෙනුවට දරුවාගේ මිතුරන් ගැන සොයා බලන්න. ඔහු වැරැදි මිතුරන් ඇසුරු කරනවා නම් පමණක්  ඒ ගැන දරැවාට අවවාද ලබා දෙනවා පමණක් නොව මේ දරුවන්ද වැරැදි ගති පැවැතුම්වලින් මුදවා ගන්න පුලුවන් නම් ඔබ සැබෑම අම්මෙක් වගේම තාත්තෙක් වෙනු ඇති.

සමවයසේ දරුවන් සමග කරන කටයුතුවලදී ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ඔබට සහයෝගය දක්වන්න පුලුවන්. ඔවුන්ගේ කටයුතුවලදී හැකි විදිහට සහයෝගය ලබා දීම මගින් ඔබත් දරුවාගේ සමවයස් කණ්ඩායමේ මිතුරෙක් බවට පත් වෙනු ඇති.

හුදෙකලා දරුවෙකුට වඩා මිතුරන් ඇසුරේ විශේෂයෙන්ම සමවයසේ මිතුරන් සමග සිටින දරුවන්ට ආවේග පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම සමවයසේ දරුවන්ටත් යහපත් සිරිත් විරිත් සහ ආචාරශීලී හැසිරීම් ගොඩ නගා ගත හැකි පරිසරයක් දෙමව්පියන් විදිහට ඔබට සූදානම් කරන්න පුලුවනි. මේ දරුවන් ආගමික වැඩ සටහන් වෙනුවෙන් සම්බන්ධ කිරීමට හෝ සමාජ සේවා කටයුතු වෙනුවෙන් සම්බන්ධ කිරීමට පරිසරය සකස් කරන්න පුලුවනි. උදාහරණයක් විදිහට කිව්වොත් වැඩිහිටි නිවාසයකට දානයක් දෙන විට එසේත් නැත්නම් ආරෝග්‍යශාලාවක සමාජ සත්කාරයක් කරන විට දරුවාගේ මිතුරන්ටත් ඒ වෙනුවෙන් ආරාධනා කිරීමට පුලුවන්. එසේ නැත්නම් ඔවුන්ට මෙම අදහස් ලබා දී එම සමාජ සත්කාර වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීමටත් පුලුවනි.

අද දරුවන්ගෙන් රසවින්දනාත්මක කටයුතු හීන වී යන බවට නැගෙන චෝදනාවන් ඔබටත් පුරුදු ඇති. එහෙත් ඒ වෙනුවෙන් නිරන්තරවම  චෝදනා කරනවා වෙනුවට  සාහිත්‍යමය කටයුතු සදහාත් දරුවන් යොමු කිරීම එතරම් අපහසුවක් නැහැ. ඔබට සමවයසේ මිතුරු සමාජයටම මෙම වින්දනාත්මක බව ලැබෙන සේ උසස් රසවින්දනයක් වෙනුවෙන් දරුවන් යොමු කිරීමට එතරම් අපහසුවක් වෙන්නේ නැහැ.

ඒ නිසා සමවයස් කණ්ඩායම් සමග ඇසුරේ හොඳ මෙන්ම අයහපත් විපාකත් තිබෙන්න පුලුවන්. නොමග යන දරුවන් සමග ඇසුරට බැඳීමෙන් ඔබේ දරුවා වුනත් ඉතාම සැනින් ඒ තැනට යොමු වෙන්න පුලුවනි. අයහපත් පැත්ත ගැන දෙමව්පියන් විදිහට ඹබ විසින්ම අවබෝධ කර ගැනීම වැදගත් . දරුවන් වගේම ඔවුන් ඇසුරු කරන අය ගැනත් විමසිල්ලෙන් සිටීමෙන් දරුවාගේ ඇසුරේ සිටින සමවයස් කණ්ඩායම් ගැනත් යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවනි.ඒ නිසා දරුවාගේ අනාගත පෞරෂ වර්ධනයට ඇවැසි බොහෝ දේ සමවයස් කණ්ඩායම් සමග ගොඩ නගා ගන්නා ඇසුර නිසා ලැබෙන බවත් අමතක කරන්න එපා. ඒ සියලල් යහමගට ගැලපෙන සේ හසුරුවා ගැනීම මව් දෙමව්පියන්ගේ හැකියාවක්.

After A/L මොකද කරන්නේ…

උසස් පෙළ අවසාන වුනාම දරුවන්ගේ හිත්වලට දැනෙන්නේ මහත් අස්වැසිල්ලක්. වසර දහතුනක පාසල් අධ්‍යාපනය පැය තුනක ප්‍රශ්න මත තීරණය වෙන රටාව නිසාම දරුවන් විභාගය අවසාන වෙන විට මානසිකව බොහොම හෙම්බත් වෙලා. ඒ නිසාම දරුවන් අතර දැන් මානසික වෙහෙස හෙවත් “ස්ට්‍රස් රිලීස්” කිරීමේ වැඩ සටහන් ඉතාම ජනප්‍රියයි. ඒත් සැබෑම “ස්ට්‍රස් රිලීස්” මෙය විය යුතුයි.

විභාගයෙන් පස්සේ තවදුරටත් ඒ මානසිකත්වයෙන් සිටීමට අවශ්‍ය නැහැ. දැන් විභාගය අවසානයි. අපි ලැබෙන ප්‍රතිඵලය භාරගත යුතුයි. ඒ නිසා තමන්ගේ හිතේ වෙහෙස දුරු කර ගැනීම ඇත්තටම වරදක් නැහැ. ඒ වුනත්,

විභාගය ගැන විශ්වාසය නැත්නම්

විභාගය ලියා අවසාන වුනාම ඒ ගැන ස්වයං තක්සේරුවක් කිරීම එතරම් අපහසු නැහැ. විභාගයට පිළිතුරු ලියන ලද ආකාරයට අනුව නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන ස්ථාවරයන් අතර දරුවන් රැඳී සිටිනු ඇත. මුල්ම වතාවට වගේම දෙවැනි වතාවට ලියන ලද දරුවන් තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීම අනුව නැවත ලියනවාද නැද්ද යන්න හඳුනා ගන්න පුලුවනි. ඒ නිසා කරන්නන් වාලේ “ස්ට්‍රස් රිලීස්” කරනවා වෙනුවට ඉදිරි වතාවේදී තමන් විභාගයට ඉදිරිපත් වීම ගැන තමාටම විශ්වාස නම් ටික දිනක් විවේකීව හිඳ ඉදිරි විභාගය වෙනුවෙන් සූදානම් වීම වැදගත්. අපි හිතමු ඔබ තුන්වැනි වතාවටත් උසස් පෙළට පෙනී සිටියා නම් නැවතත් විභාගයට ඉදිරිපත් වීමට අවශ්‍ය නැතැයි සිතනවා නම් ඔබගේ ඉලක්කය අනාගතය වෙනුවෙන් වූ යම් යම් ඉලක්ක ජය ගැනීමයි. ඒ වෙනුවෙන් වූ මාවත සොයා ගැනීමට දැන් යොමු වෙන්න ඔන්න කාලය ඇවිත්.

ටිකක් විවේක ගන්න

විභාගය වෙනුවෙන් වූ වෙහෙසකර මානසිකත්වයෙන් මදක් මිදෙන්න දැන් කාලය ඇවිත්. ඒ නිසා යම් මානසික විවේකයක් අවශ්‍ය නිසා විනෝද ගමනක් හෝ මිතුරන් සමග එක්ව විනෝද වීම වැනි වෙනසක් වෙනුවෙන් යොමු වීමත් වැදගත්. මේ වෙනසේදී වුනත් අනවශ්‍ය විදිහට අවදානම් කටයුතු වෙත යොමු නොවී ආත්මාරක්ෂාව සලසා ගැනීමත් ගැන හිතන්න. ගැහැනු දරුවන් වුනත් විනෝදය වෙනුවෙන් යොමු වෙන විට මුලින්ම තමන්ගේ ආත්මාරක්ෂාවට කටයුතු සලසා ගන්න. ඇතැම් ස්ථාන විනෝදයට සුදුසු වුනත් එවන් ස්ථානවල තිබෙන හුදෙකලා බව නිසා ගැහැණු දරුවන්ට තනිපංගලමේ යෑමට තරම් සුදුසු ස්ථාන නොවන්න පුලුවනි. ඒ නිසා විනෝදයටම බර නොවී තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවත් සලසා ගෙන කටයුතු කිරීමත් වැදගත්.

අමතර දේ ඉගෙන ගන්න

උසස් පෙළ අවසානයේදී ලැබෙන මේ විවේක කාලය ජීවිතයේ කිසිම දිනක නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා අමතර දෙයක් ඉගෙන ගැනීමට ගැලපෙන ඉතාම සුදුසු කාලයයි. රියදුරු පුහුණුවක් ලබා ගැනීමට නම් මේ කාලය ඉතාම සුදුසුයි. ඒ වෙනුවෙන් දැන් කාලය මිඩංගු කිරීමට හැකියාව තිබෙනවා. ඉවුම් පිහුම් එහෙම නැත්නම් රූපලාවන්‍ය වැනි කටයුතු වලටත් දැන් කාලය තිබෙනවා. කෙටි කාලීනව ඉගෙන ගත හැකි මෙවන් ඵල ප්‍රයෝජන සහිත දෙයක් වෙනුවෙන් සිත යොමු කරන්න ඔන්න කාලය ඇවිත්.

අනාගතයට පාර හදා ගන්න

මෙතෙක් කාලයක්ම විභාගය වෙනුවෙන් ඔට්ටු අල්ලපු ඔබට දැන් ටිකක් විවේකයි. මේ විවේකය වුනත් අපතේ යවන්න එපා. අනාගතය වෙනුවෙන් තව උගත යුතු බොහෝමයක් තිබෙනවා. මෙතෙක් ආ මග ඉතාම කෙටියි. යා යුතු මග දිගුයි. ඒ නිසා ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කුසලතාවයන් වගා කර ගැනීමට හොදම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා. අධ්‍යාපනය සමග දැන් බද්ධව තිබෙන ඉංග්‍රිසි භාෂාව සහ වෙනත් තොරතුරු තාක්ෂණ කටයුතු සමග ඔබේ ඉගෙණුම ඉදිරියට ගෙන යෑම අවශ්‍යම වෙනවා. ඒ නිසා මේ කෙටි කාලයේදී මේ වෙනුවෙන් ඉගෙණුම ලැබීමට කාලය යොදවන්න. එය ඉතාම වැදගත්.

ඉතින් ඔබට දැන් මොකද හිතෙන්නේ. උසස් පෙළ අවසාන වුනත් ජීවිතයේ ඉදිරිය ගොඩ නගා ගැනීමට කළ හැකි සහ කළ යුතු දේ බොහොමයක් තිබෙනවා. මේ ගෙවෙන කාලය නැවත අපට කිසිම දිනක ලබා ගැනීමට බැහැ. ප්‍රමාදය හැම විටම අපේ ශක්තීන් සහ ජීවිතයේ ඉලක්ක වෙනුවෙන් බලපෑම් ඇති කිරීමට හේතු වෙනවා. ඒ නිසා ටිකක් විවේක අරගෙන ඔබ කළ යුත්තේ මොනවාදැයි ඔබම තීරණය කරන්න. එහිදී අනුන් මත නොව ඔබගේ තීන්දු තීරණ ඔබට අවශ්‍ය සේ ගලපා ගෙන ඉදිරි අනාගතයට ගැලපෙන සේ මේ කෙටි කාලය යොදවා ගත්තොත් ඔබට කිසිම දිනක වරදින්නේ නැහැ.

තුන් වැදෑරුම් දෙමව්පියෝ….

දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ තිබෙන සෙනහස ආදරය සීමාවක් නැහැ. ඒ නිසාම දරුවන්ගේ ජීවිතයට දෙමව්පියන්ගේ අවධානය යොමු වෙන්නේ ඔවුන්ගේ අනාගතය ඉතාම යහපත් අන්දමින් සකස් කිරීමටියි. මේ නිසාම දරුවන්ගේ බාල කාලයේදී දෙමව්පියන් ක්‍රියා කරන ආකාරය එක් එක් අයට සාපේක්ෂව වෙනස්. සමාජ විද්‍යාඥයෙකු වන “බෝමිරින්ඩ්” විසින් දරුවන් මුල් කර ගෙන දෙමව්පියන්ගේ හැසිරීම තුන් ආකාරයකට පෙන්වා දෙනවා. ඉතින් ඔබ මේ තුන් ආකාරයෙන් අයත් වෙන්නේ කුමන කාණ්ඩයටද කියල ඔබටම තක්සේරු කරන්න පුලුවනි.

දරුවන් වෙනුවෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන දෙමව්පියන්

මේ කාණ්ඩයේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ඉතාම ලිහිල් විදිහට කටයුතු කරනවා. දරුවන්ගේ පෙරැත්තය ඉදිරියේදී ඔවුන්ට අවශ්‍ය විදිහට දෙමව්පියන් නම්මවා ගැනීමට පුලුවනි. මේ වගේ දෙමව්පියන් මුල් කර ගෙන බොහෝ දෙනෙක් මේ විදිහට කියනවා ඔබටත් ඇහිල ඇති “අම්මා තාත්තාගේ බුරුල නිසා තමයි ඔහොම වුනේ…”

මේ විදිහට දරුවන් හදා වඩා ගැනීම නිසා ඇති වෙන ආදීනවත් ඉහත සමාජ විද්‍යාඥයා විසින්ම පෙන්වා දෙනවා.

අම්මා තාත්තා තමාට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න පුලුවන් බව ඔවුන් හොදින්ම දන්නවා. ඒ නිසා මේ දරුවන් ඉතාම හිතුවක්කාර විදිහට කටයුතු කරනවා. ඊට හේතුව ඔවුන්ගේ ගති පැවැතුම් පාලනයට කිසිම කෙනෙක් නැති බව දන්නවා.

ඒ වගේම තමන්ට අවශ්‍ය දේ කිරීමට අපොහොසත් වූ විට ඉක්මනින්ම කෝප වෙනවා. වෙන දෙයක් තබා තමාව පාලනය කර ගැනීමටත් බැරි තරමට මේ කෝපය දරුණුයි. තමා ගැනවත් විශ්වාසයක් නැති නිසා අනාගත අරමුණු ඉලක්ක ඇති කර ගැනීමක් නැහැ.

දරුවන්ගේ නිදහසට බාධා කරන දෙමව්පියෝ

සමහර දෙමව්පියන් ඉතාම දැඩි විදිහට දරුවන් පාලනය කරනවා. “දරුවෝ වුනාම අපිට ඕන විදිහට ඉන්න ඕන…” මේ දෙමව්පියන්ගේ එකම පිලිගැනීම එයයි. ඒ නිසා දරුවන්ගේ ළමා කාලය පවා මේ කාණ්ඩයේ දෙමව්පියන් විසින් නොදැනීම උදුරා ගන්නවා. දරුවන් සහ දෙමව්පියන් අතර ලොකු පරතරයක් ගොඩ නගා ගෙන අපේ වචනයෙන් එහාට හා.. හ්ම් බැහැ යන ස්ථාවරයේ සිටිනවා. දරුවන් සමග කිසිම මිත්‍රහීශීලීත්වයක් නැහැ.

මේ දරුවන්ගේ අනාගතය : 

තමන්ගේ බාල කාලයේ ලද දැඩි පීඩනය ඔවුන්ගේ හිතේ තැන්පත් වෙනවා. මේ නිසා තමන්ගේ දෙමව්පියන් සමග ඇති වෙන්නේ තරහක්. නිතරම ඉන්නේ අසතුටෙන්. ඊට හේතුව ඔවුන්ගේ සමනළ ළමා ලෝකය ගෙවුනේ තද නීති රීති මැද  නිසා මානසිකව කිසිම සතුටක් ඇති වුනේ නැහැ. සමාජයේදීත් නිතරම ගැටුම් ඇති කර ගැනීම මේ දරුවන්ගේ පසුකාලීන ස්වභාවයයි. කිසිම කෙනෙක් සමග මිත්‍රශීලී නොවන මේ පිරිස චණ්ඩ ලෙස හැසිරීමට පටන් ගන්නවා.

දරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක නොකරන දෙමව්පියන්

මේ කාණ්ඩයට අයත් දෙමව්පියන් වැරැද්දට දඬුවම් කිරීමට වගේම හොඳ දෙය අගය කිරීම මගින් දරුවන් සමග ඉතා හොඳ අන්තර් සම්බනධතාවයක් ගොඩ නගා ගැනීමට සමත් පිරිසක්. ඔවුන් දරුවන් ගැන හිතන්නේ දරුවන් විදිහටයි. ඒ නිසා දඬුවමක් ලබා දුන්නත් දරුවාට දරන්න පුලුවන් මට්ටමකින් මිස දැඩි සේ දරුණු දඬුවම් පනවන්නේ නැහැ.

ඒ වගේම කිරීමට අපහසු දෙයකදී වුනත් දරුවන්ගෙනුත්  විමසා ඒ ගැන දෙපැත්තෙන්ම අදහස් හුවමාරු කර ගෙන නොකරන්න බැරි හේතු කරුණු පහදා දෙනවා. දරුවන්ගේ කැමැත්ත තුළ වුනත් කරන්න පුලුවන් නිවරැදි දෙයට පමණක් අවසර ලබා දෙනවා. කරන්න අපහසු දෙය වෙනුවෙන් විකල්ප ලබා දෙනවා.

ඉතින් මේ දරුවනුත් අනාගතයේදී මේ විදිහට හැසිරෙනවා…

තමන්ගේ බාල කාලය ඉතාම සතුටින්  ගෙවුන නිසා ඔවුන්ගේ ළමා කාලය වගේම ජීවිතයම ප්‍රිතියෙන් සහ සැහැල්ලුවෙන් ගෙවෙනවා. අම්මා තාත්තා සමග පවතින ඉතාම සමීප සම්බන්ධතාවය නිසා හැම රහසක්ම අම්මා තාත්තාට කියනවා. ඒ නිසාම නොමග යෑම් වලට ඇති අවස්ථාව අඩුයි. පවුලේ වගකීම් වුනත් දෙමව්පියන් සමග බෙදා ගැනීමට සූදානමින් සිටිනවා. සමාජය සමග වුනත් මිත්‍රශීලීව හැසිරෙන අතර ගැටුම් බොහෝ දුරට අඩුයි.

තමා ගැන ඇති වෙන විශ්වාසය නිසා අනාගත ඉලක්ක සහ අරමුණු මේ දරුවන්ගේ ජීවිතයේ ගොඩ නගා ගන්නවා. ඒ ඉලක්ක මුල් කර ගෙන ජීවිතය හසුරුවා ගන්නා අතර මේ වෙනුවෙන් ඇති අභියෝගවලදී පවා මේ දරුවන් ශක්තිමත්.

දැන් ඔන්න තුන්වැදෑරුම් ආකාරයක දෙමව්පියන් ඔබ දැනගත්තා නේ.

ඉතින් ඒ වගේ නිවසක ඇති දැඩි වෙන දරුවන් අනාගතයේ දක්වන ප්‍රතිචාර ගැනත් වැටහීමක් ලැබුන නිසා ඔබ අයිති කාණ්ඩය ගැන ස්වයං විනිශ්චයක් ලබා ගන්න. ඒ වගේම ඔබ වැරැදි තැනක සිටිනවා නම් එතැනින් මිදී දරුවන්ගේ ලෝකය ආලෝකමත්  කිරීමට හැකි පරිදි දරුවන්ට අද කටයුතු කරන්න. එවිට දරුවන්ගේ හෙට දවස ඔවුන් ජයගන්නා අතර ලෝකයට වටිනා පුද්ගලයන් තිලින කිරීමේ ආඩම්බර අම්මා තාත්තා ලෙසින් ඔබටත් ලැබෙන සැනසිල්ල සුලු පටු නැති බව අමුතුවෙන් කියන්නත් අවශයිද නේද…? අපිට දරුවන් තරම් සමපතක් නැති නිසා අද දවස ඔවුන්ගේ ලෝකයට ලැබෙන ආදරය සහ සෙනෙහස තුළ ඔවුන් අනාගතය දිනා ගනු ඇති.

දරුවන් සමග බැඳීම වඩාත් ශක්තිමත් විය යුත්තේ මේ නිසයි

තොටිල්ලේ සිටින කාලයේ පටන්ම පුංචි දරුවන්ගේ ප්‍රතිචාර ඔබට දැන හදුනා ගන්න පුලුවන්. දරුවාගේ ක්‍රියාශිලීත්වය මැන ගැනීමට අම්මලා හරිම කැමැතියි. ඒ නිසා ඉස්සර කාලයේ අම්මාවරුන් කරන්නේ තොටිල්ලට ඉහලින් වර්ණවත් කඩදාසිවලින් සකස් කරන ලද සැරසිල්ලක් එල්ලා තබනවා. දරුවා ඒ දෙස බලා ගෙන සිටිනවා පමණක් නොව එය සෙලවෙන විට සිනාසෙන්නත් පටන් ගන්නවා. අම්මලා මේ නිසා තමන්ගේ දරුවා වර්ණ දැකීමේ හැකියාවෙන් යුක්ත බව තේරුම් ගන්නවා.

පළමු මාසය වෙද්දී දරුවා තමන්ගේ වපසරිය හඳුනා ගන්නවා. තොටිල්ල, සෙල්ලම් බඩු ආදිය ගැන යම් හඳුනා ගැනීමක් ලබා ගන්නවා. අම්මාගේ කටහඬ දරුවා හොදින් හදුනනවා. ඒත් මුල් මාස දෙකේදී දරුවාට තමන්ගේ අම්මා වෙනත් අයගෙන් වෙනස්ව හඳුනා ගන්න බැහැ. ඒ නිසා වඩාගන්නා ඕනෑම කෙනෙක් අතට වෙනසක් නැතුව ගියත් මාස හතරක් විතර වුනාම නම් මේ රැවටිලි බැහැ. තමන්ගේ අම්මා ඉතාම හොඳින් හදුනන නිසා වෙනත් කෙනෙක් අතට යන්නේත් නැහැ. වෙන කෙනෙක් අත හිටියත් අම්මා දුටු සැනින් අඬන්න පටන් ගන්නවා. ඉතින් සමහර විට ඔබ මේ විදිහට කියාවි “ඉස්සරනම් ඕන කෙනෙක් අත හිටියා… දැන් කාගේවත් අතට යන්නේ නැහැ.” මට කිසිම දෙයක් කර ගන්න විදිහක් නැහැ. ඉතින් ඔබ මෙහෙම කිව්වත් දරුවා දැන් තමාගේ අම්මා කවුද කියන්න හොඳට දන්නා නිසා ඔහු රවටන්න අමාරුයි.

මාස පහක් විතර වෙද්දී දරුවා ශබ්ද හඳුනා ගන්නවා. ඒ වගේම දරුවන් ගේ අඩු පාඩු ගැන අම්මලාගේ හිතේ මොනවා වුනත් තියෙන්නේ බියක්. ඒ නිසා ඔවුන් තමන්ගේ දරුවාගේ කණ ඇසීමේ හැකියාව ගැන බලන්න විවිධ ශබ්ද නගනවා. පුංචි සෙල්ලම් බඩු  සොලවනවා. එහෙම නැත්නම් රිද්මානුකූල ශබ්දයක් ඇසෙන සේ විවිධ දේ එකටෙක ගැටීමෙන් මිහිරි නාද නගනවා. දරුවා එවිට මේ නාදය එන පැත්ත දෙස බලනවා නම් පැටියාගේ ඇසීම ගැන හිතේ බියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ්ම ඇස් හරවා බලන්නත් පුලුවන්.

මාස හයක් විතර වුනාම නම් දරුවා ටික වේලාවක් වාඩිවී සිටිනවා. මේ කාලය අම්මලාට ටිකක් කරදරයි. ඇගිලි කටේ දා ගැනීම වගේම දණගාගෙන ගොස් බිම තිබෙන දේ අහුලා කටේ දා ගන්නත් පුලුවනි. අතට හසු වෙන දේ ඇඟිලි ආධාරයෙන් හසු කර ගන්නවා. අම්මා දුටු සැනම එතැනට දණ ගා ගෙන එන්න පටන් ගන්නවා.

මාස හතක් වෙන විට ඔවුන් උනන්දුවක් දක්වන්නේ තමන්ට කෙලින්ම පෙනෙන දේ ගැන විතරයි. බෝලයක් පෙරලී වෙන තැනකට ගියොත් දිසාව හදුනා ගනන් බැහැ. අපි අර කාක්කා අරගෙන ගියා කියලා දිශාව වෙනස් කරන්නේ ඔන්න ඔය කාලයටයි. බෝලය හැංගුවාම එතැනින් එහාට තිබෙන තැන ගැන දැනීමක් නැහැ.

මාස නවයක් වෙද්දී සමහර දරුවන් අල්ලා හිටගනන්වා. මාස දහයක් විතර වෙද්දී සමහර දරුවන් අල්ලා හිට ගැනීමට වගේම ඇවිදීමට උත්සාහ ගන්නවා. “හතායි…හතායි…” කියමින් අපිත් ඔවුන්ගේ ඇවිදීමට සහයෝගය ලබා දෙනවා.

අවුරුද්දක් විතර වුනාම අතට අසුවෙන සෙල්ලම් බඩු එහා මෙහා විසි කිරීමට ඒ වගේම තල්ලු කර ගෙන යෑමට පුලුවනි. ආධාරයක් නැතුව ඉඳගන්නත්, ආධාරයක් ඇතුව හිටගන්නත් පුලුවනි. දණ ගාගෙන ඇවිත් පුටුවක් අල්ලා ගෙන හිට ගන්න උත්සාහ ගන්නවා.

අවුරුද්දකුත් මාස පහක් පමණ වෙන විට දරුවාගේ කුතුහලය අවදි වෙන කාලයයි. අතට හසුවෙන දේ ඇදීමට, පිරිමැදීමට පටන් ගනන්වා. නිවසේ තිබෙන විදුලි උපාංග සහ ස්විච් ආදිය ඉතාම පරිස්සමින් දරුවාගෙන් ඈත් කිරීම හෝ ඔහුට අනතුරක් නොවන සේ සකස් කිරීමට අවශ්‍යයි. වැලි ඇනීම, වතුර සමග සෙල්ලමට දැන් කාලය ඇවිත් මේ නිසා පොල්කටුවටල වතුර දැමීම වැනි ක්‍රියකාරකම් වලට අම්මලාත් සහයෝගය ලබා දීම වැදගත්.

අවුරුදු දෙකක් වෙද්දී අනුකරනය පටන් ගන්නවා. අනුන් කරන දෙයම කිරීම ඔවුන්ගේ උත්සාහයයි. මේ නිසා මුහුණ දස්දීම, ආහාරයට පෙර සහ පසු අත් සේදීම, තනියම ආහාර ගැනීම, ඇදුම් ඇඳීම වැනි කටයුතු පටන් ගැනීමට කියාපු කාලයයි. දරුවන් මේ අලුත් වැඩ කටයුතු බොහොම සතුටින් කරන නිසා අනාගතය වෙනුවෙන් මේ හැකියාවන් වගා කිරීම පහසුවෙන්ම පුලුවන්.

අවුරුදු දෙකක් වෙන විට මොළයේ වැඩීම සමග බුද්ධි වර්ධනය සිදු වෙනවා. තමාගේ අවයව හදුනා ගනන්වා. පුතාගේ අත කෝ.. කට කෝ… ඇසූ විට ඒවා පෙන්වනන් පුලුවනි.  පුතා හපනා කියල අම්මා තාත්තාත් සතුටට පත් වෙනවා. දරුවාගේ ලෝකය ඉතා සීමිතයි. මිතුරන් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. තනියම සෙල්ලම් කිරීමට පුරුදු වෙනවා. වාක්‍ය එකට එකක් සම්බන්ධ කර ගෙන කතා බහ පටන් ගන්නවා. මේ කාලය වෙද්දී එතරම් ලොකු වාග් කෝෂයක් නැති නිසා ඔහු වචන අහුලන කාලයයි. නිවස පුරා දුව පැන ඇවිදමින් අතට අසු වෙන දේ විසි කිරීමට විතරක් නොවෙයි  කඩා බිදින්නත් පුලුවන්. වැඩි වැඩ කරන්න ගිහිං අනතුරු සිදු වෙන්නත් පුලුවන්.ඒ නිසා මේ කාලයේදී අපි දරුවන් ගැන ඉතාම අවධානයෙන් සිටීමට වග බලා ගන්න අවශ්‍යයි.

දරුවන් ගැන සැලකිල්ලක් නොදක්වා ඉඳීමෙන් ඔවුන්ට සිද්ධ වෙන අනතුරු ගැනත් අපිට නිතරම ඇසෙන නිසා දෙමව්පියන් විදිහට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවන් දක්වන මේ ක්‍රියාකාරකම් වෙනුවෙන් දෙමව්පියන්ගේ ප්‍රතිචාරත් හොදින්ම අවශ්‍යයි. ඔවුන්ගේ ආරක්ෂාව වගේම දරුවන් සමග මව්පියන්ගේ සම්බන්ධතාවය ඉතාම හොඳින් ගොඩ නැගෙන්නේ එවිටයි.

ගෙදර ඉන්න කේන්තිකාරයන්ට පේන්නම කියවන්න

අම්මලා තාත්තලා  විදිහට අපිටත් ඉතින් කේන්ති යන්නේ නැතුවාම නොවෙයි. අපි කියලත් මස් ලේ වලින් උපන් අයනේ. අපිට තරහ යන්නත් හේතු ඇති වෙනවා.

අපි කැමැති විදිහට යම් යම් දේවල් සිද්ධ නොවෙන විට අපිටත් ඉතින් තරහ යනවා. උදේ ඉඳන් මහන්සි වෙලා ගෙදර ඇවිත් රෑ කෑම වේල හදල ඉවර වෙන කොට දරුවන් නිදාගනන්වා නම් අම්මාට තාත්තාට කේන්ති යෑම බොහොම සාධාරණයි. ඉතින් දරුවන් කියන්නේ අපිට මහන්සි නිසා නිදා ගත්තාම මොකද වෙන්නේ කියලයි. ඉතින් දෙගොල්ලන්ම තමන් සාධාරණ කර ගැනීම මේ කෝපය ඇති වීමට හේතු වෙනවා.

ඒ වගේම නිදහසේ ඉන්න වේලාවක මහ හයියෙන් සිංදුවක් දැම්මොත් ඇති වෙන කේන්තිය අපිට සාධාරණයි. මොකද අපි ඒ සිංදුව අහන්න කැමැති නැහැ. මේක නවත්වන්න කිව්වාම දරුවන් කියන්නේ අපි කැමැති දෙයක් කරන්න නිදහස නැති බවයි. ඔන්න අකමැති දේ නිසා දොගොල්ලන් අතරම ගැටුම ඇති වෙනවා. මේ විදිහට හදිසියේ ඇති වෙන කෝපය නිසා තමන් අනාරක්ෂිතයි කියන හැගීම නම් ඉවත්ව යනවාලු. ඒ ඉවත්වීම අපිට දැනේනේනේ කේන්තිය විදිහටයි.

හැමෝටම එක විදිහට කේන්ති යන්නේ නැත්තේ ඇයි….?

මේ සිද්ධි හැම පවුල්කම ඇති වෙනවා. හැබැයි එක් එක් අය ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වෙනස්. සමහර විට එකම සිද්ධිය වෙන්නත් පුලුවනි. සමහර දෙමව්පියන්ට ඒවා කේන්ති යන තරම් බරපතල නැහැ. ඒ වුනාට හොස්ස ලගින් මැස්සා යන බැරි දෙමව්පියන් නම් නිතරම දරුවන් සමග මේ සිද්ධි නිසා ගැටුම් ඇති කර ගන්නවා.

ජාන අනුවත් කේන්ති  යෑමේ ප්‍රවනතාවය එක් එක් අයට වෙනස්

ඒ වගේම විවිධ මානසික තත්වයන්ගෙන් යුක්ත අය අතරත් මේ වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහර විට බාල කාලයේදී ඉතාම අප්‍රසන්න මානසිකත්වයකින් කල් ගත කළ පුද්ගලයන් තමාගේ ස්වාධීන ජීවිත ගොඩ නගා ගත් විටත් අනවශ්‍ය විදිහට කේන්ති ගැනීමේ තත්වය ඉතා වැඩි බවත් පෙනී යන කරුණක්.

කේන්තිය අපේ ජීවිතවලට එතරම් ගුණ නැහැ

කේන්තිය නිසා ඇති වෙන රසායනික වෙනස්කම් අපේ සෟඛ්‍යයට අහිතකර විදිහට බලපානවා. කේන්තිය දරා ගෙන සිටීමත් එතරම් හොඳ තත්වයක් නොවෙයි. ඒ නිසා හිසරදය, ආහාර ජීරණ මාර්ගයේ රෝග, නින්ද නොයෑම, දද, කුෂ්ට, ආතතිය, අධි රුධිර පීඩනය ඇති වෙන්න පුලුවනි.

ඒ වගේම නිවසක කේන්ති යන පුද්ගලයා සමාජයේත් එතරම් ප්‍රසන්න චරිතයක් වෙන්නේ නැහැ. කේන්ති යන කළමනාකරවෙක් ගැන වුනත් අපි කතා වෙන්නේ “අදත් එන්නේ යකා වැහිලද දන්නේ නැහැ…” යනුවෙන්. ඉක්මන් කේන්තිකාර ප්‍රධාණීන් නිසා ආයතනයේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් එතරම් සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ.

කෝපය පාලනය කර ගන්නේ කොහොමද….?

කෝපය පිට කරන විදිහත් එක් එක් අයගෙන් වෙනස්. සමහර අය නම් කැත්තට පොල්ල වගේ. තවත් අය බඩු මුට්ටු පොළවේ ගහනවා වගේ විවිධ ආවේගශීලී හැසිරීම්වලින් කෝපය ප්‍රදර්ශනය කරනවා. නමුත් මේ හැම දෙයටම වඩා තමන් පාලනය කර ගත්තොත් ඔබ දිණුම්. සමහර විට කෝපය වැඩි වෙන නිසා එම ස්ථානයෙන් ඉවතට යන්න පුලුවනි. එවිට කෝපයත් හෙමින් සීරුවේම අඩු වේවි.

හැම දෙයම අසාධාරණය මුල් කර ගෙන හිතන්න එපා

අපිට කේන්ති යෑමට බොහෝ විට හේතු වෙන්නේ හැම දෙයම අපිට සාධාරණ කර ගන්නා නිසයි. එහෙම නැතුව සිද්ධිය සාධාරණ කර ගෙන හිතන්න අමාරුවෙන් වුනත් පුරුදු වෙනවා නම් කේන්තිය මට්ටු කර ගන්න පුලුවන්. දරුවන් මුල් කර ගෙන ඇති වෙන සිද්ධිවලදී ඔවුන්ගේ පැත්තෙන් එහි සාධාරණත්වයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් මුල් තැන දෙන්න. එවිට හිත හදා ගැනීම එතරම් අපහසු නැහැ. අපි දෙමව්පියෝ අපිට ඕන විදිහට දරුවෝ ඉන්න ඕන කියන තැන නොව දරුවන්ටත් තමන්ගේ නිදහසක් තියෙන්න ඕන කියල මැදිහත්ව හිතන්නත් පුලුවන්. ඒත් දරුවන්ට නිදහස ලබා දෙනවා කියන්නේ යා යුතු නොමගට යෑමට ඉණිමං බැදීමක් නොවෙයි. සමහ තැන්වලදී පමණක් අපිට නම්‍යශීලීව බලන්න පුලුවන්.

කේන්තියට සම්බන්ධ සිද්ධිය පමණයි

ඔබට සැනින් කේන්ති ගියේ යම් සිද්ධියකට නම් ඒ සිද්ධිය ගැන පමණක් කතා කරන්න. අතීත සිද්ධි ගලපන්න එපා. එදත් මෙහෙමයි… අදත් මෙහෙමයි… ඒ නිසාම හෙටත් මෙහෙමයි යනුවෙන් දොස් නැගුවොත් ඇත්තටම දරුවා වුනත් ඔබේ ස්ථාවර දෙස බලන්නේ නොසතුටෙන්. ඒ නිසා වර්තමානයේ ඇති වුන එම සිද්ධිය පමණක් සැලකිල්ලට ගෙන කෝපය නිවුනාට පසුව ඒ ගැන කියා දෙන්න.

විකල්ප හේතු සොයාගන්න

ඔබට කේන්ති යන සිදුවීමක් සමග එහි පසුබිම සොයා බලන්න. ඒ වෙනුවෙන් විකල්ප තිබෙනවා නම් ඒවා අනුගමනය කරන්න. විකල්ප නැත්තේ නම් ඒ වෙනුවෙනුත් සාකච්ඡා මාර්ගයෙන් යම් විසඳුමකට පැමිණෙන්න.

සංගීතයත් හොඳ ප්‍රතිකාරයක්

කෝපයට පත් අවස්ථාවක එය නිවෙන්න සංගීතය ඉතාම හොඳ ඔසුවක් බව දැන් හදුනාගෙන තිබෙනවා. ඒ නිසා දොඩ දොඩා බස් බෝ කර ගන්නවාට වඩා සංගීතයක් වෙත යොමු වෙන්න. තරහ නොදැනීම නිවී යාවි. හුස්ම ගැනීමේ ව්‍යායාම මගිනුත් ඇති වෙන සැහැල්ලුව කෝපය නිවන ඔසුවක් බවත් අමතක කරන්න එපා. ඒ නිසා තරහ ගිය වේලාවක හුස්ම ගැනීමේ ව්‍යායාමයේ යෙදෙන්න පුලුවන්.

අපිට ඉක්මන් තරහ යන්නේ ඇයි…

කාර්යබහුල වුනාම ඇති වෙන මානසික වෙහෙස එක් හේතුවක්. ඒ නිසා අපිට ඕනෑ දෙයටයි එපා දෙයටයි වෙනසක් නැතුව තරහ යනවා. නින්ද නැති වුනාමත් මේ වෙහෙසකර බව වැඩි වෙනවා. ඒවා අපි නොදැනීම පිට වෙන්නෙ තරහ විදිහටයි. මේ ගැන ඔබටත් අත්දැකීම් හොඳටම ඇති. හොදින් නින්ද ගිය දවසක සහ නින්ද නොගිය දවසක් යන දවස් අතර තිබෙන වෙනස ගැන සසදා බලන්න.

පිරිමි උදවියට නම් මද්‍යසාර නිසා අනවශ්‍ය විදිහට කේන්ති ඇති වෙනවා. මේ තත්වය ඉතාම බරපතලයි. පවුලක තාත්තා බීමත් නම් ඔහුට කරන්නේ මොනවද කියල තේරුම් ගන්න බැරි තරමටම මානසික තත්වය අවුල් ජාලයක්. ඉතින් ඒ වගේ  පවුලක අම්මාටයි දරුවන්ටයි ඇති පවුල් පරිසරය ඉතාම දුක්ඛදායකයි.

හරිහැටියට පෝෂණය සිරුරට නොලැබුන විට අපේ මනසේ සමබරතාවය නැති වෙනවා. විවිධ රෝගාබාධ තත්වයන් නිසාත් කේන්ති යෑමේ තත්වය එක් එක් අයට වෙනස්. ඒ වගේම අසාමාන්‍ය විදිහට කේන්තිකාරයෙක් පවුලක ඉන්නවා නම් ඔහු හෝ ඇය වෙනුවෙන් මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමත් වරදක් නොවෙයි.

ආපදා කළමනාකරනයේදී පුංචි දියණියගේ ශක්තිය

පුංචි දරුවන්ගේ හිත් බොහොම පිරිසිදුයි. ඒ වගේම සන්සුන් මනසකින් යුක්ත නිසාම ඔවුන්ගේ ධාරනයත් ඉහලයි. ඒත් හැම දෙයම ධාරනය කර ගත්තාට වඩා ඒවා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ආදේශ කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය වඩාත් වැදගත්. මේ කනින් අහල… අනිත් කනින් පිට කරන තත්වයට වඩා දරුවන් ඇසෙන දකින දේ තමන්ගේ හිතේ ඉතා තදින් ධාරනය කර ගන්නවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල වඩාත් ඉහලයි. ඒ නිසාම ලෝකයක් දිනන්න නම් දරුවන්ගේ ශක්තීන් මොන තරම් වැදගත් වෙනවාද යන්නට ඉතාම හොඳ සිදුවීමක් මේ විදිහට ඉදිරිපත් කලොත් දරුවන්ගේ ශක්තිය කොතරම්ද කියල ඔබටත් හිතේවි.

එදා නිවාඩු දවසක්. ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ හින්දුමාතා ආර්ථික නගරයේ මේ මහල් නිවාස සංකීර්නයේ නිවැසියනුත් වෙනදාට වඩා කාලයක් නිදා ගැනීමට ගත කළේ ඉඳහිට ලැබෙන විවේකයෙන් ප්‍රයෝජනයක් ගැනීම අවශ්‍ය නිසාය. මේ මහල් සංකීර්නයේ මහල් 12 ක් පිහිටා තිබුනා. ඉතාම අවසනාවන්ත විදිහට හතර දෙනෙක් මේ ගින්නට දැවී මියගිය අතර 18 දෙනෙක් තුවාල ලැබුවා.

අවාසනාව අතරේ 16 වැනි මහලේ නිවැසියන්ට ජීවත්වීමට වාසනාව ලැබුනා. ඒ පුංචි දැරියක් නිසයි. මේ දැරියගේ බුද්ධිමත් හැසිරීම මොන තරම් වටිනවාද යන්න ඇගේ මව විසින් ඉතාම සතුටින් බී.බී.සී පුවත් සේවයට මේ විදිහට සඳහන් කර තිබුණා. මේ මවගේ නම “ජය ශ්‍රී පටෙල්” ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

එදා උදේ මේ කියන්නේ පසුගිය අගෝස්තු 22 වැනි දා මම උදේ අටහමාරට විතර නාන කාමරයේ ඉදිද්දී එක පාරටම කලු දුමාරයක් දැක්කා. මම ඉක්මනට මගේ සැමියාට කතා කරල මේ ගැන කිව්වා. ඔහු ඇවිත් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න ජනේලය ඇරියා විතරයි දුමාරයෙන් මුලු ගෙයම පිරුනා. මට එකපාරටම මගේ දියණිය “සෙන් සදාර්තේ” මතක් වුණා. ඉක්මනට ගිහින් දුව අවදි කලා. එයා මේ වෙන විට තද නින්දක හිටියේ. මම දුවත්, සැමියාත් කැටුව ගිහින් විදුලිය විසන්ධි කරල පිරිසිදු වාතය ලබා ගන්න මුලුතැන්ගෙයි ජනේලය විවෘත කළා විතරයි මගේ මුහුණට ජල වාෂ්ප වැදුනා. අපි සේරම උදව් ඉල්ලා කෑ ගසන්න වුණා.

මේ වෙලාවේ අල්ලපු ගෙදර අයත් දොර ඇරියා. අපි තුන්දෙනා ඒ ගෙදරට ගියා. ඒත් දුම ඇවිත් ඒ නිවසත් පිරිලා. දැන් අපිට හුස්ම ගන්නත් අමාරුයි.

අපේ දුව මේ වේලාවේ ඉතාම බුද්ධිමත් විදිහට කටයුතු කළා. ඇයට පාසලේ පාඩමක් මතක් වුනා. ඒ විදිහට කටයුතු කරන්න ඇය අපි හැම දෙනාටම උපදෙස් දුන්නා. හදිසි ගින්නකදී ඇති වෙන දුම නිසා හුස්ම ගන්න බැරි වුනොත් තෙත් කළ රෙදි මුහුණ මත තබා ගන්න කියල පාසලේදී ඇය ඉගෙන ගෙන තිබුනා. ගිලෙන්න යන තැනැත්තා පිදුරු ගහේ හෝ එල්ලෙනවා වගේ අපි හැම දෙනාම ඇඳ ඇතිරිලි තෙමා ගෙන මුහුණ මත තියා ගත්තා.

“ඇත්තටම අපිට හුස්ම ගැනීමේ පහසුවක් දැණුනා. ඒ නිසා ගිනි නිවන හමුදාව ඇවිත් ඉනිමං සහ ට්‍රොලි ආධාරයෙන් ගින්න නිවලා අපිව පිටතට ගන්නා තෙක් දුවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් 16 වැනි මහලේ සිටි අපි හැම දෙනාම බේරුනා…” ජය ශ්‍රී පටෙල් ඇගේ දියණිය ගැන මහත් ආඩම්බරයෙන් ඒ විදිහට සඳහන් කළා.

“මම මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ. මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි. නමුත් මගේ දස හැවිරිදි දියණිය නිසා මම තාමත් ජීවතුන් අතර. ඇගේ තැනට සුදුසු නුවණ අපි හැමෝම බේරුවා.”

විදුලි පරිපථයක සිදුවූ දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවත්, පියගැටපෙළ අධික දුමෙන් වැසීයාම හේතුවෙන් ඉහළ මහල්වල සිරවූ පුද්ගලයන් 30 ක් පමණ බේරාගත් බව මුම්බායි නගරයේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී ප්‍රභාත් රහන්ග්ඩේල් සඳහන් කර තිබුණා.

ඉතින් ඔබේ දරුවන් තුළත් මේ විදිහට හැකියාවන් තිබෙන්න පුලුවන්. ආපදා කළමනාකරණය ගැන අද පාසල්වල වැඩි අවධානයක් දක්වන කෙෂත්‍රයක් නිසා දරුවන්ගේ හිත් ඇතුලත මේ වගේ ක්‍රමෝපායන් නිදන්ගත වෙලා තිබෙන්න පුලුවනි. ඒ නිසා නිතරම ඔවුන් සමග මේවා ගන කතා බහ කරන්න. තමා උගත් දෙය ආදේශ කළ හැකි තැන් හදුනා ගන්නා දරුවන් ඉතාම බුද්ධිමත්. එය ඔවුන්ගේ නිර්මානශීලිත්වයේ ලක්ෂණයක්. දෙමව්පියන් විදිහට දරුවන්ගේ දැන උගත් දේ තැනට ගැලපෙන විදිහට සම්බන්ධ කරන්න පුලුවන් අවස්ථාවන් ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. එවිට මේ හිතේ තැන්පත්ව තිබෙන දැණුම නිතරම යාවත්කාලීන වේවි.

දියණියක් විදිහට ඇය තමා උගත් දෙයින් ආපදා කළමනාකරණය කළ අන්දම ඉතාමත් අගෙයි. ඉතින් ඔබේ දරුවා තුළත් මේ වගේ දැන උගත් දැණුම බොහෝ සේ තිබෙන්න පුලුවනි. ඒවා තැනට ගැලපෙන විදිහට ආදේශ කරන්න ඔවුන්ත් අවස්ථාවක් ලද තැනදී ඉදිරිපත් වේවි. ඒ නිසා මේ සිද්ධිය අපේ රටේ නොවෙයිනේ… කියල ඉවතට දමන්න එපා. කුඩා දියණියකගේ පාසලේ පාඩම මහල් නිවාසයේ එක් මහලකම වැසියන්ගේ ජීවිත ආරක්ෂාවට හේතු වුන අන්දම ඔබේ දරුවාටත් කියා දෙන්න. එය ඉතාම අභියෝගාත්මක සිද්ධියක් විදිහට ඔවුන්ද යම් පන්නරයක් ලබනු ඇති.

ආහාර පාලනය කරන තරුණ දූවරුන්ට මේ ටිකත් කියා දෙන්න

දැන් කාලයේ තරුණ ගැහැනු දරුවන්ට අලුත් තාලයේ මානසිකත්වයක් පහල වෙලා තියෙනවා. තමන්ගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමේ මේ මානසිකත්වය නම් නරක නැහැ. තමන්ගේ රුප සොබාව විතරක් නොවෙයි, ශරීර සෞඛ්‍යත් යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවන්. ඒත් මේ ගැහැණු දැරිවියන් ඒ වෙනුවෙන් අනුගමනය කරන වැරැදි පුරුදු නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු කීපයක් තිබෙනවා. ඉතින් දෙමව්පියන් විදිහට ඔබත් මේ ගැනත් දැන සිටීම ඉතාම වැදගත්. එතකොට තමන්ගේ දරුවන්ගේ වැරැදි පුරුදු වලින් ඔවුන් ඈත් කරන්න පහසුවෙන්ම පුලුවනි. ඒ නිසා ආහාර පාලනයත් සැලසුමක් ඇතුව සිදු කර ගැනීම වැදගත්.

ආහාර නැතිව සිටියොත් සීනි මට්ටමට බලපානවා

ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. හැම ජීවියෙක්ම ආරක්ෂා වෙන්නේ ආහාරයේ බලයෙන්. ඒ නිසා පමණ දැන ආහාර ගැනීම විනා ආහාරයෙන් වැලකී සිටීම නම් ඒ තරම් හොඳ නැහැ. නව යෞවන වයසේ පසුවෙන ගැහැණු දැරිවියන් ආහාර නොගෙන තමන්ගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට ගන්නා උත්සාහය ඉතාම අහිතකර විදිහට බලපාන්න ඉඩ තිබෙනවා. ආහාර මගින් සිරුරට අවශ්‍ය ශක්තිය නැති වුනාම සිරුරේ තැන්පත්ව තිබෙන සීනි මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය සිද්ධ වෙනවා.මොළය, රතු රුධිරාණු සෛල සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය සපයනවා. ඒ නිසා මුල් පැය කීපය තුළ තිබෙන ප්‍රාණවත් බව ක්‍රමයෙන් නැති වීමට පුලුවන්.

සිරුරේ මේදයටත් බලපානවා

සීනි අවසාන වීමත් අපි සිරුරට අවශ්‍ය ශක්තිය ආහාර මගින් උපයා නොගන්නා විට සිරුරේ මේදයත් ප්‍රයෝජනයට ගැනීමට පටන් ගන්නවා.

හිසරදයත් ඇති වෙන්න පුලුවනි

අපි ඉතා තදින්ම ඉවක් බවක් නැතුව ආහාර පාලනය කිරීම නිසා ඇති විය හැකි අතුරු ආන්තරාවන් බොහොමයක් තිබෙනවා. සිරුරේ සිදු වෙන විෂහරණ ක්‍රියාවලිය නිසා සිරුර කොලස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පිරිසිදු වෙන විට එය අපිට දැනෙන්නේ කැරකැවිල්ල, මහන්සිය , පේශිවල වේදනාව සහ සන්දි වේදනා විදිහටයි.

සතුටත්  අඩුවේවි

පැය කීපයක් නිරාහාරව සිටින විට ඔබට ශාරිරිකව ඇති වෙන වෙහෙස සමග තරහයෑම, නුරුස්නාව වැනි සිතුවිලි පහළ වෙන්න පුලුවනි. ඒ නිසා ඔබේ දරුවාටත් පවුලේ අන් අය පවා නොරිස්නා ගතියක් ඇති  වෙන්න පුලුවන්. මේ නිසා නිතරම ආහාර පාලනය කරනවා නම් සැලසුමක් ඇතුව ආහාර පාලනය කළ යුතු බව දරුවන්ට කියා දෙන්න.

ආහාර පාලනයේ වාසිත් තිබෙනවා

අද තරුණ වයසේ දරුවන් බොහෝ දෙනෙක් දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් මිදෙන්න හොඳම මගක්. ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය යථා ත්වයට පත් කර ගැනීම ආහාර පාලනයෙන් සිදු වෙන නිසා කල වයස ඉකුත් වෙන්නත් පෙරාතුව ඇති වෙන දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් මිදෙන්න ඉතාම හොඳ මගක්. ඒ වගේම සිරුරේ කොලස්රෝල් මට්ටම යහපත් පරිදි තබා ගැනීම නිසා අද නිහඩ මාරයා විදිහට සැලකෙන කිරීටක ධමණීන් ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. අනවශ්‍ය විදිහට ආහාර මත යැපෙන්නේ නැතුව පිළිවෙලකට ආහාර රටාව පාලනය කර ගත් විට හැමදාම තරුණ පෙණුමින් ඉන්නත් පුලුවන් බව මෙම ලිපියේ සඳහන්ව තිබුණා. ආහාර ජීරණ පද්ධතියටත් ඇති වෙන විවේකය නිසා ජීරණ පද්ධතියත් යහපත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වීමට මේ ක්‍රමවත් ආහාර පාලන රටාව බලපාන්න පුලුවන්.

පාලනය කළ ආහාර රටාවක්

 සිරුරේ තරබාරුව අඩු කර ගෙන සිහින් සිරුරක් වගේම සිරුරේ බර මනා වූ තත්වයක පවත්වා ගැනීම වෙනුවෙන් අනුමත ආහාර රටාව ගැනත් සැලකිලිමත් වීම වැදගත්. නිතරම උදේ ආහාරය කැලරි සහිත ප්‍රමාණාත්මක ආහාර වේලක් වීම වැදගත්. එවිට විටින් විට ඇති වෙන බඩගින්න නොදැනීම නැති වෙනවා. දිවා ආහාරය උදේට වඩා අඩුවෙන් ගැනම වැදගත්. මෙතැනිදී වැඩිමනත් අවධානය දැක්විය යුත්තේ රාත්‍රි ආහාරයටයි. උදේ ඉඳන් සීතල වෙච්ච ඒවා කාලා දැන් තමයි පිරියක් ඇතුව යමක් කන්නේ කියල රාත්‍රි ආහාරය කැලරි සහිති විහාල ආහාරයක් නොවිය යුතුයි. එය ඉතාම සරල ආහාරයක් වීම වැදගත්.

ඒ වගේම අතුරුපස ගන්නවා නම් ඒවාත් උදේ ආහාර වේලට පසු ගැනීමෙන් සිරුර තරබාරු වීමේ ප්‍රවනතාවය අඩු වෙනවා. හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම නිසා පරිවෘත්තිය වේගය වේගවත් වෙනවා වගේම සිරුරේ විෂහරණය සිද්ධ වෙනවා. මේ ජලයට ලෙමන් හෝ දෙහි යුෂ බින්දු කීපයක් එක් කර ගැනීමෙන් සිරුරේ බර 10% සිට 17%ක් අතර ප්‍රමාණයක් අඩු කර ගැනීමට පුලුවන්.

උදය කාලයේ ව්‍යායාම කරන්න

දරුවන්ට ව්‍යායාම කිරීමට කාලවේලාවක් නැති  ඔවුන් හවස් කාලයේ ඒ වෙනුවෙන් යොදා ගැනීමට පුලුවන්. ඒත් ව්‍යායාම සහ ආහාර පාලනය වෙනුවෙන් හොදින්ම ගැලපෙන්නේ උදය කාලයයි. උදය කාලයේ ව්‍යායාම කළොත් 20% කින් පමණ සිරුරේ බර අඩු කර ගන්න පුලුවනි.

දවස සතුටින් පටන් ගන්න

උදේ පාන්දර දරුවන්ගේ මානසිකත්වය අවුල් කරන්න එපා. අද හැම නිවසකම දවස පටන් ගන්නේ මත බේද ගැටුම් හා වචන හුවමාරුවෙන්. මේ නිසා ඇති වෙන ආතතිය නිසා  ආහාර පාලනයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල පවා අහිමි වෙන්න පුලුවන්. හිතේ සෘණ සිතුවිලි ඇති වීමට ඉඩ දෙන විදිහට උදේ පාන්දරම ආයුධ අතට නොගෙන ඉන්නවා නම් වඩාත් ගුණයි.

සුරතල් සතුන් ගේ ඇසුර

උදේට නම් කොහෙද සත්තු හුරතල් කරන්න වෙලාවක්. මේ විදිහට කිව්වත් සතුන් හුරතල් කිරීමට දරුවන්ට ඉඩ දෙන්න. බල්ලා සමග ඇවිදීම නිසා කොල්ලටයි බල්ලටයි දෙන්නාටම ව්‍යායාම ලැබෙනවා. විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට සුරතල් සතුන් සමග දවසරින අයගේ ශරීර බර ඒ විදිහට සුරතල් සතුන් ඇසුරක නොසිටින අයට සාපේක්ෂව ශරීරබර සතුටුදායක මට්ටමින් පවත්වා ගැනීමට පුලුවනි. සුරතල් සතුන් සමග සිටින විට මානසික ආතතිය පහළ ගොස් ඇති වෙන හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා සිරුරේ බර යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවන්කම ලැබෙන නිසා ඒ වෙනුවෙන් දරුවන්ට අවසර ලබා දීමත් වැදගත්.

– How Does Fasting Affect the Human Body? ලිපිය ඇසුරින්

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

වර්තමන සමාජයේ බොහෝ දෙනා අතර මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්වය පිළිබද දැඩි කතබහට ලක්වෙනවා. සාමාන්‍ය වැසි සහිත කාලගුණයක් පවතින විට වෛරස් ආසදන ඇති විමේ අවදානම සුලබව දකිය හැකියි. ඒ අතරින් මේ දිනවල ප්‍රධාන මාතෘකවක් ලෙස මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය දකගත හැක. ඉතින් මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය.

බොහෝ දෙනා වැඩිදුර අසා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත උණ රෝග තත්ත්වයක්  පිළිබදවය. සාමාන්‍ය වෛරසය වැඩිපුරම දක්නට ලබෙන්නේ උණ  සහ සෙම්ප්‍රතිශ්‍යාව ලෙසය. නමුත් ඉන්ෆ්ලුවෙන්සා උණ ඊට වඩා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාවේ ප්‍රභේද

ඉන්ෆ්ලුවෙන්සා උණ, ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B, ඉන්ෆ්ලුවෙන්සා A1H1 යන ආදි ප්‍රභේද කිහිපයක් ලෙස දක්නට ලැබේ. මේවා අතරින්  A H1N1 වෛරස්  ආසදනය 2009 සිට ලෝකයේ අධි වසංගත  තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම වෛරසය ඉතා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාව වැළදෙන  ආකරය

මෙය අසාදිත  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පහසුවෙන් බෝ වන රෝගයකි. ආසදිත පුද්ගලයකු ගේ  ශ්වසන (සෙම/සොටු දියර/වතය) මගින් මෙම වෛරසය ව්‍යාපත වේ. වෛරසය, රෝගියෙකු කිවිසුම් හරින විට හෝ සෙම/සොටු ඉවත් කරන විට වාතයට පිට වී ව්‍යාප්ත වේ. මෙහිදි ආසදිත පුද්ගලයෙකු කිවිසුම් හරින විට සහ සෙම සොටු ඉවත් කරන විට ප්‍රවේශම්  විය යුතුයි.

රෝගියෙක් කිවිසුම් හරින විට අත්ල භාවිත නොකළ යුතුය. සෑම විටම ලේන්සුවක/ටිශූ කඩදාසියක් භාවිත කිරීම සුදුසුයි. තවද එසේ නොමැති අවස්ථාවක වැලමිට භාවිත කිරිම අත්ලට වඩා සුදුසු වේ. මන්ද යත් අත්ල මත තැවරීමෙන් ආසදනය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය. තවද ආසදිත පුද්ගලයෙකු ගේ තුවාය/පිඟාන/කෝප්පය ආදීය  ඔහු/ඇය පමණක් භාවිත කිරීම සුදුසු වේ.

එමෙන්ම මෙම රෝගය කූඩා දරුවන්ට වැලදීමේ  අවදානම  වැඩිය. යම් හෙයකින් මෙම රෝගී  තත්ත්වය  වැළදුන  හොත්  අසනීපය  සුව වෙන තෙක් පාසල්/පෙර පාසල් නොයැවීමට දෙමාපියන් වග බලගත යුතුය.

මෙම වෛරසය ශරීරය තුළ ක්‍රියාත්මක  වන ආකරය

මෙම වෛරසය ප්‍රබල වශයෙන්ම බලපෑම් කරන්නේ ශ්වසන පද්ධතියටයි. මුලින්ම නාසයෙන් වෛරසය ඇතුළු වන අතර පසුව නාසය උගුර ආශ්‍රිතව  ආසදන තත්ත්වයන් ඇති කරයි . අප ශරීරයේ, ශ්ලේශ්මල පටකය නැතහොත්  සාමාන්‍ය  ව්‍යවහාරයේ අප හඳුනන ශ්ලේෂ්මල  හෙවත් සෙම පවති. මෙම සෙම සම්බන්ධයෙන් සමාජයේ විශාල බියක් පවතී. සෙම ශරීරයෙන් පිටතට පැමිණීම හිතකර තත්ත්වයකි. සෙම අප ශරීරයේ පවතින ප්‍රතිෂක්තිකරණයේ කොටසකි. සෙම වැඩිපුර ශ්‍රාවය වනුයේ  ශරීරයෙන් වෛරස ඉවත් කිරීමටය. සෙම සඳහා වෙනත් විශේෂ ප්‍රතිකාර  අවශය නොවේ. ඉන් පසුව අප ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය හදුනාගෙන එවා මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරයි. (මෙම ක්‍රියාවලිය ආසදනය වී සතියකට පසු ක්‍රියාත්මක වේ) ඉන්පසුව එමගින් වෛරසය පාලනය කරයි. එම නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට නම්, විවේකය සහ උණ පාලනය තුළින් මෙම රෝගය සුව වේ.  ශරීරය දුර්වල  පුද්ගලයෙකුට නම් ඉන්ෆ්ලුවෙන්සා මගින් සංකූලතා ඇති කරයි. නිරෝගී තරුණ පුද්ගලයෙකුට වෛරසය සදහා විශේෂ ප්‍රතිකාර අනවශ්‍යය. තම ශරීරයෙ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු නම් දවස්  4 ක් 5 ක් අතර ඉබේම  සුව් වේ. නමුත් මුල් දවස් 4-5 අතර සාමාන්‍ය තද උණ ගතියක් පවතී.

රෝග ලක්ෂණ

  • සෙම්ප්‍රතිශ්‍යව
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • ඇඟ පත වේදනාව
  • හිසේ කැක්කුම
  • ඇස් රතු වීම

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයකදී  වුවත් ඇති විය හැක.

ඉන්ෆ්ලුවෙන්සාවේදී මෙම වේදනාව දරුණු ස්වභාවයක් ගනී.

  • අධික උෂ්ණත්වය
  • මස්පිඩු වේදනාව
  • තද හිසේ කැක්කුම
  • ඇස් ආශ්‍රිත ආසදන
  • වමනය/පාචනය

මෙහිදි ප්‍රථමයෙන් රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කළ යුතු ය.

වයස් ප්‍රභේද

සාමාන්‍යයෙන් මෙම රෝගය වැළදීමේ අවදානම පවතින්නේ කුඩ දරුවන්ට සහ මහලු අවදියේ පසුවන අයටයි. විශේෂයෙන්ම වයස අවරුදු  5ට අඩු දරුවන් සහ වයස අවරුදු 60 වැඩි පුද්ගලයන් මෙම වෛරසයෙන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය.

උණ තත්ත්වය ප්‍රථමයෙන් නිවසේදී පරික්ෂා  කරන ආකරය

වැඩිහිටි  පුද්ගලයෙකුගේ නම් උණ පරික්ෂා කරගත යුත්තේ උණ කටුව දිව යට තබමින්ය. සාමාන්‍ය උණ තත්ත්වයක් නම් ෆැරන්හයිට් 100 ( සෙල්ශියස් අංශක 38) වැඩිවිය යුතුයි. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ නම් (වයස අවරුදු 6 ට අඩු) උෂ්ණත්වය පරික්ෂා  කර ගත යුත්තේ උණ කටුව  අත යට තබමින්ය. මෙහිදි උෂ්ණත්වය නිවැරදිව ලබාගැනීමට නම්  පවතින උෂ්ණත්වය ෆැරන්හිට් නම් 1(සෙල්ශියස් නම් 0.5) ක් එකතු කරගත යුතුයි. මෙම මූලික දැනුම නොමැතිකම නිසා බොහෝ පුද්ගලයින් සාමාන්‍ය උෂ්ණත්වයකදී පවා අනවශ්‍ය බියක් ඇති කරගනී. ඉහත සදහන් කර උෂ්ණත්වයන් පවතී නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

ප්‍රතිකාර

සාමාන්‍ය උණ රෝගයකදී විවේකිව සිටීම,  උෂ්ණත්ව පාලනය සඳහා පැරසිටිමෝල්  භාවිත කිරිම දියර වර්ග බාවිත කිරිම සුදුසු වේ. නමුත් දින 3කට වඩා උණ තත්ත්වය පවතී නම් අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.

විශේෂයෙන්ම කුඩා දරුවන් හා වයස අවරුදු 60 ට වැඩි පුද්ගලයින් ගර්භණි මාතාවන් අනිවාර්යෙන්ම ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකළ  යුතු වේ.

ඉන්පසු වෛද්‍යාවරුන් කුමන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ද යන්න හඳුනා ගැනීමට සෙම සාම්පලයක් මගින් පරීක්ෂණ  කර ඒ සදහා සුදුසු ප්‍රතිකාර  ලබාදේ.

 ඉන්ෆ්ලුවෙන්සාවෙන්  පසු ඇතිවෙන ද්විතික සංකුලතා

ඉන්ෆ්ලුවෙන්සාවෙන් පසු නිව්මෝනියාව ඇදුම වැනි සංකූලතා පසුකාලීනව ඇති වීමේ හැකියාව පවතී. තවද සාමාන්‍ය සංකුලතා ලෙස කනේ ආසාදන දැකිය හැක.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී  සුදුසු ආහාරපාන

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී ආහාරපානවල බලපෑමක් නැත. රෝගියාට රුචි ආහාරපාන ගැනීමේ හැකියාව පවතී. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ආහාර අරුචිය ඇතිවන නිසා දියර වර්ග ගැනීම වඩා සුදුසු වන්නේ එසේ නොමැති වීමෙන් විජලන තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි බැවිනි.

ලංකා හොස්පිට්ල්ස්හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ මහත්මිය සමගින් සාකච්ජා කර සසිනි අරවින්දි විසින් සකසන ලද ලිපියකි.

 

අන්තර්ජාලය ඔස්සේ තම පුතා අපයෝජනය කළ මවක්

දරුවන් තරම් සම්පතක් අම්මා කෙනෙකුට තවත් නැත. දෙව්දත් වුනත් මවට මැනව යැයි කියන්නේ ඒ නිසාය. අපිට නිරන්තරව අසන්නට ලැබෙන්නේ පියවරු විසින් තම දියණිවරුන් දූෂනය කිරීමේ ප්‍රවෘත්තියි. ඒ සමග අපේ හිත් අම්මා වෙත තවත් තදින් බන්ධනය වන්නේ පියවරු එසේ වුනත් තවමත් අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂකයෙකු ලෙසින් සිටින නිසයි.

ඒත් පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වූ මෙම ලිපිය අනුව අපිට දරුවන් ගැන මේ විදිහට හිතන්නට සිදුව ඇත. එනම් “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව….” ලෙසයි.

අම්මා ජර්මානු ජාතික වයස අවුරුදු 39 ක කාන්තාවකි. ඇගේ පෙම්වතා 39 හැවිරිදිය. ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකි. දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා ගොදුර වූයේ නව හැවිරිදි පුතණුවන්ය.  ඔවුන් දෙදෙනා  අතර වූ ආදර බැඳීම අපට අදාල නොවුනත් මේ දෙන්නාගේ සම්මාදමෙන් තම කුසින් බිහි කළ පිරිමි දරුවා අපයෝජනය කිරීම ඉතාම ශෝචනීය සිදුවීමක් නොවන්නේද…? මෙම මව තම පුතා ලිංගික ලෙසින් අපයෝජනය කිරීමට හවුල් කර ගෙන ඇත්තේ Dark net නැමැති රහසිගත අන්තර්ජාල සේවාවයි. මෙම අන්තර්ජාල සේවාව ප්‍රධාන පෙල සෙවුම් යන්ත්‍රවලට හසු නොවෙන අන්තර්ජාල සේවාවකි. එමගින් සිදු වෙන රහසිගත කටයුතු රැසකි.

  • ළමා ලිංගික දූෂණය
  • දරුවන්ට ලිංගික අතවර කිරීම
  • බලහත්කාරයෙන් ගනිකා වෘත්තියේ යොදා ගැනීම
  • ළමා නිරුවත් ජයාරූප බෙදා හැරීම

මේ පිරිමි දරුවාගේ මව තම පෙම්වතාද සම්බන්ධ කර ගෙන වසර ගණනාවක් පුරා සිය පුතු අපචාර වෙනුවෙන් අලෙවි කළාය. ඇය තවත් තුන් හැවිරිදි ගැහැනු දරුවෙක්ද මේ අන්දමින් අපයෝජනය කිරීම වෙනුවෙන් හවුල් වී ඇත. කෙසේ හෝ ඔවුන්ගේ මෙම කූට ජාවාරම හෙලිදරව් විය. පසුගිය වසරේ ජූනි මාසයේ පටන් නඩු විභාගය පවත්වන ලද අතර අවසානයේදී අධිකරණ තීන්දුව මත මවට වසර දොළහමාරක සිර දඬුවමක් ලබා දීමට තීන්දු විය. ඇගේ පෙම්වතාටද මෙම කාලසීමාවේම සිර දඩුමවක් නියම කරන ලදී. මවගේ මූලිකත්වයෙන් සිදු වනු මෙම අපචාරයට තවත් පිරිමින් පස් දෙනෙක් හවුල් වූ අතර ඔවුන් එරෙහිවත් නඩු පවරා තිබේ.

මවකගේ අනුදැනුම තුළ අපයෝජනයට පත් දරුවා හදා වඩා ගැනීමට අධිකරණ නියෝගයකින් වෙනත් පවුලක් වෙත පවරා දෙන ලදී. චුදිත යුවලගේ ළමා අපයෝජන වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් Baden-Württemberg ප්‍රාන්ත බලධාරීන්ට දැඩි විවේචන එල්ලවෙමින් පවතින බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යුත් සන්නිවේදයේ අපි නොදකින භයානක පැත්ත මෙයයි. තමන්ගේ දරුවාට පවා ආරක්ෂාවක් නොලැබෙන තැනට මවක යොමු වූ මෙම සිදුවීම අපේ දරුවන් වෙනුවෙන්ද ආරක්ෂාව තර කිරීමට හොදම පියවරක් වේ. ඊට හේතුව වන්නේ මෙතෙක් අප විසින් කටයුතු යොදනු ලැබුවේ දරුවන් මුල කර ගෙන අන්තර්ජාලයේ ඇති විවිධ අකටයුතු වෙතින් ඔවුන් මුදවා ගැනීමටයි. එහෙත් අද වැඩිහිටියන් විසින්ම දරුවන් අපයෝජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට තරම් ප්‍රවනතාවයක් ඇති බව අපි දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ නිසා නිවස, පාසල, වටපිට පමණක් නොව අන්තර්ජාලයද දරුවන් අපයෝජනයට ඇති ප්‍රවේශ මාර්ග බව දැන ගැනීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකම බැව් අවධාරනයෙන්ම සිත තබා ගත යුතු වේ.