හොදම එන්නත නොව මුලින් ලැබෙන එන්නත ලබා ගන්න.

කොවිඩ් වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත් ලබා ගැනීමේදී අපි එය අනාගතයට කල් තබන ප්‍රවනතාවයක්  තිබෙනවා. ලැබෙන එන්නත ගැන නොව හොදම එන්නත ගැන වෙහෙසෙනවාට වඩා ඥානාන්විත පියවර ලෙසින් සැලකෙන්නේ මුලින් ලැබෙන එන්නත ලබා ගැනීමයි. ප්‍රතිශක්ති එන්නතක් මගින් ලබා දෙන සඵලතාවය හෙවත් පුද්ගලයාට කොවිඩ් ආසාදිත වීමෙන් පසුව රෝග තත්වය බරපතල නොවීමට සහ මරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ඇති අවස්ථාව 82% කින් අඩුයි. (එයින් අදහස් වෙන්නේ  රෝගයෙන්  ආසාදිත නොවීමේ සම්භාව්‍යතාවය   82% කින් අඩු බවක් නොවේ )

කොවිඩ් එන්නත් ක්‍රියාකාරිත්වය

  • AstraZeneca $ Covishield එන්නත 

මෙම එන්නත මගින් ප්‍රෝටිනය  නිපදවීමට අදාල  DNA ජාන කොටස මිනිස් සිරුරට හානි නොවන වෙනත් DNA වෛරසයක් ඇතුලත බහා මිනිස් සිරුරට ඇතුලු කරනවා. සෛලය තුළ DNA කොටස නිදහස් වී එම ප්‍රෝටීනය මගින් ඇති කරන Spike protein මගින් ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප්‍රතිදේහ ගොඩ නගනවා.

  • ෆයසර් සහ මොඩර්නා

ෆයසිර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුලු කරනවා.  මෙම එන්නත් මගින් 90% ක සඵලතාවයක් ලැබෙනවා.

  • Sinopharm එන්නත

චීනයේ නිෂ්පාදිත මෙම එන්නතේදී කොවිඩ් වෛරසය සිරුරට ඇතුලු කරනවා. ප්‍රෝටින කොටස නිදහස් වීම නිසා ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙන අතර මුල් අදියරේදී මෙහි සඵලතාවය 50 % ක් වුනත් පසුව මේ අගය වැඩි වී තිබෙනවා.

කොවිඩ් එන්නතේ ප්‍රතිඵල…

කොවිඩ් එන්නත අද ලබා ගත්තම හෙට වසංගතය අඩු වීමේ ප්‍රවනතාවයක් අපේක්ෂා කරන්න බැහැ. එහි ප්‍රතිඵල කෙටිකාලීනව ලබා ගැනීමේ යම් අපහසුවක් තිබුනත් මධ්‍යකාලීන සහ දිගුකාලීනව අපට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

එන්නතේ දෙවැනි මාත්‍රාවක්…

කොවිඩ් 19 වෙනුවෙන් ලබා දෙන ප්‍රතිශක්තිය මාත්‍රා දෙකකින් යුක්තයි. මුල් මාත්‍රාව ලබා ගෙන යම් අන්තරයකින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මුල් මාත්‍රාවෙන් ලබා දෙන ප්‍රතිශක්තිය දෙවැනි මාත්‍රාවෙන් බලගැන්වීමක්  ( boost) සිදු වෙනවා.

කොවිෂීල්ඩ්, ස්පුට්නික් සහ එන්නත්වල මුල් මාත්‍රාව මගින් යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා. දෙවැනි මාත්‍රාව ලබා ගන්නා තෙක් කොවිඩ් ආසාදනය වුනත් ප්‍රබල සංකුලතාවයන් ඇති වීම වගේම මාරාන්තික තත්වයෙන් ආරක්ෂාව ලැබෙනවා.

Sinopharm එන්නත මුල් මාත්‍රාවෙන් පමණක් ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. මුල් මාත්‍රාවෙන් ශරීර ප්‍රතිශක්තිය ගොඩ නගා ගැනීමටත් සති දෙකක පමණ කාලයක් අවශ්‍ය වෙනවා.

ඇස්ට්‍රාසෙනිකා මුල් මාත්‍රාව ලබා ගෙන සති හතරක් තුළ දෙවැනි මාත්‍රාව ලබා ගැනීම ගැන මුලින් සඳහන් වුනත්  මුල් මාත්‍රාවෙන් සති දොළහ සිට දහසයකින් පසුව ශරීර ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙනවා. ඒ නිසා  දෙවැනි මාත්‍රාවට සුදුසු කාලය ලෙසින් සති 12- 16 කට පසු කාලය පෙන්වා දි තිබෙනවා. 

මද සරු බව ඇති වෙනවාද..?

 කොවිඩ් එන්නත ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් මද සරු බවට පත් වෙනවාද යන්න ගැන වාර්තාවන් නැහැ.

පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට

එන්නත් පරීක්ෂණ වෙනුවෙන් වූ සායනික අධ්‍යනයන් සඳහා වූ නියැඳියට වයස අවුරුදු 20 ට අඩු පිරිස ඇතුලත් වුනේ නැහැ. එහෙත් මේ වෙන විට කැනඩාව සහ සිංගප්පුරුව විසින් වයස අවුරුදු 12 සිට 15 අතර දරුවන් වෙනුවෙන් ෆයසර් එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඇස්ට්‍රා සෙනිකා ” සයිනොෆාම් “සහ ස්පුට්නික් එන්නත මේ කන්ඩායමට ලබා දීම තවමත් නිර්දේශ වී නැහැ.

අපේ රටේ විශ්ව විද්‍යාල වගේම වෙනත් උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාව  ඇතුලත් වෙන්නේ වයස අවුරුදු 30 ට අඩු කණ්ඩාටමටයි.ඔවුන් කොවිඩ් 19 වසංගතය හමුවේ අවදානම් කණ්ඩායමක් ලෙස සලකන්නේ නැහැ.

ඒ වුනත් නේවාසිකාගාර සහ පංති කාමර හැසිරීම සමග සමාජයේ ගැවසීම වැඩි නිසා ඔවුන්ටත් ප්‍රතිශක්තිකරණය අවශ්‍යයි. 

අතුරු සංකුලතාවයන්…

කොවිඩ් 19 වෙනුවෙන් ලබා දෙන ප්‍රතිශක්තිකරනය සමග අතුරු සංකුලතාවයන් ඇති වීමේ අවදානම ගැනත් බොහෝ බිය තිබෙනවා. එන්නතකින් පසුව සංකුලතාවයන් ඇති වීමට පුළුවන් වුනත් එවැනි වාර්තා වීම් දුර්ලභයි. 

කොවිඩ් ආසාදිත වූ පුද්ගලයෙක් එන්නත් ලබා ගැනීම

කොවිඩ් ආසාදනය වුන පුද්ගලයෙකුගේ සිරුරේ දෙසතියක් පමණ කාලයක් ප්‍රතිදේහ ගොඩ නැගී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට එන්නත් ලබා දිය යුත්තේ ප්‍රතිදේහ හීන වෙන කාලයක් හෙවත් මාස කීපයක් පමණ ගෙවුන විටයි.

ආසාත්මිකතාවයන්  හෝ බෝ නොවන රෝග පිලිබඳ ඉතිහාසයක් ඇත්නම් එන්නත ලබා ගැනීම..

ආසාත්මිකතාවයන් ගැන කිව්වොත් විශාල පරාසායක පැතිරෙන දෙයක්. එය කොටස් දෙකකට බෙදා පෙන්වන්න පුලුවනි.

  • ආහාර ,ඖෂධ වැනි දේ වෙනුවෙන් ඇති වුන සුලු ආසාත්මිකතාවයන්
  • ආසාත්මිකතාවයකට පත් වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ ඉතිහාසයක් තිබීම

එන්නත ලබා ගැනීමේදී ආසාත්මිකතාවයන් ගැන යම් චකිතයක් ඇත්නම් ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වෙත පැහැදිලිව සහ නිරවුල්ව පවසන්න. බෝ නොවන රෝග තත්වයක පසු වෙන පුද්ගලයන්ට එන්නත ලබා ගැනීම ආරක්ෂාවක් මිසක කිසිදු ලෙසකින් හානියක් සිදු වෙන්නේ නැහැ.

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Rotaract සංගමය විසින් ZOOM තාක්ෂනය ඔස්සේ පවත්වන ලද  Get vaccinated  සාකච්චාව ඇසුරිනි. 

සහභාගිත්වය

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ මහජන සෞඛ්‍ය පිලිබඳව ආසියානු පැසිපික් අධ්‍යන සංසදයේ උප සභාපති ඉන්දික කරුණාතිලක මහතා

සහ

කොළඹ විශ්ව විද්‍යාලයේ  ප්‍රජා සෞඛ්‍ය   පිලිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වෛද්‍ය මනුජ වීරසිංහ මහතා

 

 

Vitamin K ගැන අපි මොනවද දන්නේ

විටමින් K ලේ කැටි කැහෙන්න ඕනෙ වෙන බව පුංචි කාලේ ඉඳලම අපි අහලා තියෙනවා. ඒත් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ දැනුමේ ගබඩා වෙලා නැති වෙන්න පුළුවන්. විටමින් K මගින් රුධිර කැටි සෑදීම, අධික ලෙස රුධිරය වහනය වීම වළක්වනවා. විටමින් K අඩු මට්ටමක පැවතීමෙන් පාලනය කළ නොහැකි රුධිර ගැලීම ඇතිවීමේ අවදානමක් පවනතින බව කියවෙන අතරම වැඩිහිටියන් අතර නම් විටමින් K ඌනතාවය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් මේ තත්ත්වය අලුත උපන් දරුවන් අතර බහුලයි. 

අනෙක් විටමින් වගේ නෙවෙයි, මේ K විටමිනය ආහාර මගින් ලබාගන්නා විටමිනයක් ලෙස (dietary supplement) භාවිත වෙන්නේ නැහැ. විටමින් K කියන්නේ සංයෝග කාණ්ඩයක්. මෙහිදී වඩාත් වැදගත් වන්නේ විටමින් K1 හා K2. විටමින් K1 සමහර එළවළු හා කොළ පැහැති කොළවලින් ලබාගන්න පුළුවන්. විටමින් K2, මස්, චීස්, බිත්තර කෘත‍්‍රිම බැක්ටීරියා වලින්ලැබෙනවා.  ඒ කොහොම වුණත් වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් K අඩංගු ද්‍රව්‍ය නොගත යුතුයි.  

විටමින් K ප‍්‍රධාන වර්ග 3 කි. 

  1. විටමින් K1 – (Phylloquinone or Phytomenadione) ස්වභාවික ආකාරයේ විටමින් K වේ. ආහාර මගින් විශේෂයෙන් කොළ පැහැති කොළ (නිවිති), එළවළු ලබාගත හැක. 
  2. විටමින් K2 – Menaquinones

අන්තක වල සිටිනා බැක්ටීරියා මගින් සාදයි. මෙම බැක්ටීරියා මගින් K1 K2 බවටද පත් කරයි. 

3. Menadione

මිනිසා විසින් සාදන රසායනික සංයෝග අඩංගු කෘතිම විටමින් K වේ. මෙය විටමින් K3 ලෙස හඳුන්වයි. 

K1, K2 මේද ද්‍රාව්‍ය වන අතර අක්මාවේ හා ශරීරයේ මේද පටක වල ගබඩා වේ. 

විටමින් K ඌනතාවය හේතුවෙන් බහුල නොවුනද පහත තත්ත්වවලදී ඌනතාවයන් ඇතිවීමේ අවදානමක් පවතී. මේ තත්ත්ව වලදී වෛද්‍ය නිර්දේෂය මත විටමින් K ලැබෙන වෙනත් ආහාර ද්‍රව්‍ය දිය යුතු වේ. 

  • ආහාර මාර්ගයේ අවශෝෂණයට බලපාන රෝග තත්ත්වයක් තිබීම.

උදා: Crohn’s Disease, celiac disease

  • විටමින් K අවශෝෂණයට බාධා ඇති කර ඖෂධ ගැනීම. 
  • තද බල ලෙස මන්දපෝෂණය තිබීම.
  • මත්පැන් අධික ලෙස පානය. 

බොහෝ විට විටමින් K වල ක‍්‍රියාවට බලපෑම් ඇති කරයි. උදාහරණ ලෙස ප‍්‍රති අම්ලකර ඖෂධ, රුධිරයේ තුනී කරන ඖෂධ, ප‍්‍රතිජෛවක, Asprin, පිළිකා සඳහා දෙන ඖෂධ, අධික කොලෙස්ටරෝල් සඳහා ලබාදෙන ඖෂධ, අපස්මාරය සඳහා දෙන ඖෂධ ගැනීමේදී විටමින් K ඌනතාවයක් ඇති වීමේ හැකියාවක් ඇති. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුවේ. 

විටමින් K  අන්තර්ගත ආහාර

  • කොළ පැහැති කොළ එළවළු, නිවිති
  • ගෝවා, ගෝවා මල්, බ්‍රොකලි, එළවළු
  • මාළු, අක්මාව, මස්, බිත්තර, ධාන්‍ය වර්ග වල

විටමින් K  අන්තර්ගත පළතුරු

  • අලිගැට පේර
  • black berries, blue berries 
  • දෙළුම්
  • තක්කාලි

ප‍්‍රතිකාර ගත යුතු අතුරු ආබාධ 

  • කෑම අරුචිය අඩුවීම
  • ක‍්‍රියාකාරීත්වය අඩුවීම
  • ස්වසන අපහසුව
  • අක්මාව විශාල වීම
  • ශරීරය ඉදිමීම
  • පේශි වල තද ගතිය
  • සුදුමැලි බව
  • සම හෝ ඇස් කහවීම

කලාතුරකින් ඇති වන ලක්‍ෂණ

මේවා ඇතිවන්නේ එන්නත් මගින් පමණි.

  • ගිලීමේ අපහසුව
  • වේගවත්, අක‍්‍රමවත් ස්වසනය
  • ක්ලාන්තය හෝ සුළු හිසරදය
  • කෙටි හුස්ම
  • සමේ දද ඇතිවීම
  • මුහුණ, තොල්, ඇහිබැම ඉදිමීම
  • පපුවේ තද ගතිය

විටමින් K විවිධ ප්‍රෝටීන සෑදීම සඳහා දායක වේ. මෙම ප්‍රෝටීන රුධිර කැටි ගැසීම හා අස්ථි පරිවෘත්තියට උදව් වේ. prothrombin යනු විටමින් K dependant ප්‍රෝටීනයක් වන අතර සෘජුවම රුධිරයේ කැටි ගැසීමට බලපායි. Osteocalcin යන අනෙක් ප්‍රෝටීනය වන අතර එය නිෂ්පාදනයට විටමින් K අවශ්‍ය වේ. එමගින් අස්ථි පටක වල නිරෝගී බව ආරක්‍ෂා වේ. 

විටමින් K මගින් තුවාල, සිරීම් හා ශල්‍යකර්ම කළ ස්ථානවල කැලලි සුව වීමට උදව් වේ. එසේම සමේ ඇදීම නිසා ඇති වන stretch marks, spider veins ආදිය සුව වීමට උදව් කරයි. තවද රුධිරයේ කැල්සියම් මට්ටම පාලනයටද උදව් වේ. 

විටමින් K ඌනතාවයේ ලක්‍ෂණ

  • සම පහසුවෙන් ඉරීම
  • නාසය හා විදුරුමසින් ශ‍්‍රාවයන් වෑස්සීම
  • අධික ලෙස රුධිරය ගැලීම. (තුවාල, සම සිදුරු වූ ස්ථාන, එන්නත් දුන් ස්ථාන, ශල්‍යකර්ම කළ ස්ථාන)
  • ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රුධිර ගැලීම
  • මළ හා මුත‍්‍රා සමග රුධිරය පිටවීම
  • රුධිර පරීක්‍ෂණයක් වන PT (INR) වැඩිවීම
  • කුඩා දරුවන්ගේද විටමින් K ඌනතාවයේදී ඉහත ලක්‍ෂණ ඇතිවීමට අමතරව හිස් කබල තුළ රුධිර (intracranial bleeding) ඇති වේ. 

රුධිරයේ ඝනකම වළක්වන ප‍්‍රති කැටිකාරක ඖෂධයක් වන warfarin ගැනීමේදී විටමින් K අධික ආහාර නොගත යුතු වේ. මේවා සීමා කිරීමෙන් විටමින් K ඌනතාවයද ඇති වේ. warfarin මගින් අක්මාවේ විටමින් K, රුධිරය කැටි ගැසීම සඳහා භාවිතයට ගැනීමේ හැකියාව අඩු කරයි. මේ නිසා warfarin හා විටමින් K යනු එකිනෙකාට විරුද්ධව ක‍්‍රියා කරන ඖෂධ වර්ග දෙකකි. මෙයින් රුධිරය තුනී කරන අතර අනවශ්‍ය රුධිර කැටි ඇති වීම වළක්වයි. 

රෝග විනිශ්චය පරීක්‍ෂණ

  • Prothrombin time (PT/INR)

මෙමගන් රුධිරය කැටි ගැසීමට ගතවන කාලය පරීක්‍ෂා කරයි. කාලය දිගු නම් විටමින් K ඌනතාවයක් පවතින බව සැක කළ හැක. 

  • PTT (partial) Thromboplastin time)
  • Thrombin time
  • Platelet count
  • Platelet function test
  • Coagulation factor tests

විටමින් K3 ජලයේ දියවන විටමිනයක් වන අතර අධික ප‍්‍රමාණයක් ශරීර ගත වීමෙන් විෂ විය හැක. කුඩා දරුවන්ට hemolytic anemia ඇතිවීමට වීමට K3 හේතුවක් වුවද ප‍්‍රතිකාර කිරීමේදී කුඩා දරුවන්ට භාවිත නොකරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

අලුත උපන් දරුවන්ගේ බඩවැල් අවහිර වීම සුලබ තත්ත්වයක්ද?

අලුත උපදින ළදරුවන් අතර දක්නට ලැබෙන තත්ත්වයක් වන බඩවැල් අවහිර වීමේ තත්ත්වය එනම් අන්තක අවරෝධනය හදිසි ශල්‍යමය තත්ත්ව ලෙස දැක්විය හැකිය. කල් ඇතිව රෝග විනිශ්චය කිරීම හා ප‍්‍රතිකාර කිරීම තුලින් අවදානම් තත්ත්වයන් අඩුකර ගත හැකි අතරම ශල්‍යකර්ම ප‍්‍රමාද වීම හේතුවෙන් බඩවැල්වල විශාල කොටස් අහිමි වී යාමට වුවද හැක. 

බඩවැල් අවහිරවීමකදී ළදරුවා පෙන්වන ලක්‍ෂණ

  • පිත සමග හෝ රහිතව වමනය කිරීම 
  • කිරි දීමට පෙර ආමාශයික ද්‍රව්‍ය වැඩිවීම.
  • පැය 24 ක් ඇතුලත ‍මල (මිකෝනියම්) පිට කිරීමට නොහැකි වීම. 
  • බඩ පිපීම (abdominal distension) බඩවැල්වල පහළ කොටස්වල අවහිර වීම්වලදී මෙය දැකිය හැක. 
  • බඩවැල්වල හඬ (bowel sounds) අඩුවීම හෝ නොමැති වීම. 

පිත රහිත වමනය ඇති විය හැකි බඩවැල් අවහිරවීම් අන්තක අවරෝධනයන් 

  • ග්‍රහනිය ආසන්නයේ පටුවීම – ග‍්‍රහනික අදෘක්‍ය (Duodenal atresia)
  • ග්‍රහනිය අවහිර වීම – ග‍්‍රහනික සංකෘෂ්ඨීය (Duodenal Stenosis) – 
  • අමතර අග්න්‍යාක පටක වලින් ඇතිවන මුදුවක් මගින් ග‍්‍රහනිය ආවරණය වීම (annular pancreas) 
  • ආමාශයේ පහළ කොටසේ සිහින් වීම – ආලාර සංකෘෂ්ඨීය (Pyloric stenosis) ඉපදී සති 4 – 6 අතර කාලයේදී බොහෝ විට ලක්‍ෂණ පෙන්වන අතර කලාතුරකින් මුල් සතිය තුලද පෙන්නුම් කළ හැක. 

පිත සහිත වමනය ඇති කරවන බඩවැල් අවහිර වීම්  

  • අන්තක වැරදි ලෙස ඇඹරීම (Malrotation) හා වොල්පියුලසය (Volvulus)
  • ග‍්‍රහනික සංකෘෂ්ඨීය (ග‍්‍රහනියේ විදුර කෙලවර ඇතිවන) Duodenal Atresia
  • කුඩා බඩවැල් පටු වීම – ශුන්‍යාන්තික සංකෘෂ්ඨීය (Jejunal Atresia
  • මහා බඩවැලේ, කුඩා බඩවැලේ මෙකෝනියම් තදින් ඇලී පැවතීම (Meconium ileus)
  • මල බඩ වැල් අවසානයේ හිරවීම (Meconium plug Syndrome)
  • හර්ෂ්ප‍්‍රන්ගේ රෝගය (Hirschsprung’s Disease) – ගුදය හා බඩවැල්වල ස්නායු සැපයීම අඩාල වීම නිසා ඇති වන තත්ත්වයකි

බඩ පිපුම හේතු වන බඩවැල්වල අවහිරවීම

  • කුඩා අන්තක කෙලවර කො‍ටසේ ඇති පටුවීම (Ideal atresia)
  • හර්ෂ්ප‍්‍රන්ගේ රෝගය
  • මහා බඩවැලේ කුඩා බඩවැලේ මෙකෝනියම් තදින් ඇලී පැවතීම  (Meconium ileus)
  • මල බඩ වැල් අවසානයේ හිරවීම (Meconium plug Syndrome)
  • උපතේදී ගුද මාර්ගයේ සිදුරක් නැති වීම (Imperforated anus)

ග‍්‍රහනික අදෘත්‍ය හෙවත් ග්‍රහනිය පටු වීම  (Duodenal Atresia)

ග‍්‍රහනියේ ඇති පටලවල හෝ අන්තකවල තුවාල ලෙස ඇතිවීමෙන් එය පටු වීමයි. මෙය කලලය වර්ධනය වීමේදී ග‍්‍රහනියේ දෙවන කොටස සෑදීමට නොහැකි වීම තුල අවහිර වීමක් ඇති වේ. බහුලව දක්නට ලැබෙන්නේ අලුත උපන් පිරිමි දරුවන්ගේය. තවද 25% ඩවුන්ස් සහලක්‍ෂණය (Down syndrome) සහිත දරුවන්ට ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය.

බඩවැල්වල විකෘතිතා සහ ආබාධ (Midgut Malrotation and Volvulus)

කලල අවධියේදී ආහාර මාර්ගයේ සිදුවන අසාමාන්‍ය කැරකැවීමක් වේ. මෙම තත්ත්වය බොහෝ විට උපත් 6000 කට එකක් වන අතර ග්‍රහනිය ආසන්නයේ පටුවීම, ග්‍රහනිය අවහිර වීම, ප‍්‍රාචීරයේ ඇති වන හර්නියා තත්ත්ව (Diaphragmatic hernia) උදර බිත්තියේ සම්පූර්ණයෙන් නොවැඩි ඇති වන ආබාධ ආදිය සමග මෙම තත්ත්වය බැඳී පවතී. ඉපදී මුල් සතිය තුලදී මෙම අසාමාන්‍ය කැරකවීමත් සමග වොල්වියුලසය වර්ධනය වේ. පහත ලක්‍ෂණ දැකිය හැක. 

  • පිත සමග වමනය මූලික ලක්‍ෂණය වන අතර උදරයේ පිපුම අවසන අවස්ථාව වනතුරු සුළුවෙන් පවතී. 
  • ඕනෑම වයසකදී  ඕනෑම අවස්ථාවකදී ඇති විය හැක. මෙහිදී රුධිර සැපයුම අවහිර වීමෙන් අන්තක විසන්‍ය (necrosis – මියයාම) තත්ත්වයට පත්වී අවහිර වේ. 
  • උදරයේ x-ray සාමාන්‍ය වේ. 
  • උත්තර අතුනුබහන් වාහිනී (Superior Mesenteric vessels) වැරදි ලෙස පිහිටා ඇති බව පරීක්‍ෂණය මගින් හඳුනාගත හැක. 

ලක්‍ෂණ ඇති වූ වහාම ශල්‍යකර්ම කිරීම අත්‍යවශ්‍ය වේ. 

ශුන්‍යාන්ත‍්‍රික අදෘක්‍ය (Jejunoileal Atresia)

මෙම තත්ත්වය ඇතිවන්නේ කළල අවදියේදී අතුනුබහන් වාහිනීවල ඇති වන වාහිනී අනතුරු මගිනි. පහත ලක්‍ෂණ ඇති වේ. 

  • උපතින් 24 ඇතුළුත පිත සමග වමනය සහ උදර පිපුම. 
  • X-ray මගින් ආසන්න කොටසේ (ශුන්‍යාන්තිකයේ ආරම්භයේ) වාතය තරල රැඳුනු මට්ටමක් දැකිය හැක. 
  • Meconium – උපන්දින කිහිපය තුල පවතින කළු පැහැති මල නිසා ඇති වන රතානදාහය (Peritonitis) හේතු කරගෙන කැල්සිනීභවනය වී තිබිය හැක. 

Meconium ileus

ඝන, තදින් ඇලී ඇති මළ අන්තක වල ශුන්‍යාන්ත‍්‍රය, ශේෂාන්ත‍්‍රය හෝ මහ බඩවැල් ආදියේ රැඳීමෙන් සිර වීමක් ඇති වේ. මෙම තත්ත්වය පහත රෝග තත්ත්වයන් හා සමග 50% දරුවන්ගේ බැඳී පවතී. 

  • වොල්පියුලසය
  • ශුන්‍යාන්ත‍්‍රික අදෘත්‍ය
  • අන්තක පිපිරී යාම (Bowel perforation)
  • මල නිසා ඇති වන පරිතානදාහය (Meconium Peritonitis)

15% දරුවන්ගේ මෙම තත්ත්වය cystic fibrosis තත්ත්වය සමග ඇති වේ.

Cystic fibrosis

මෙහිදී ශ‍්‍රාවයන් යන හා ඇලෙන සුළු වන අතර ඒවා පහසුවෙන් චලනය නොවේ. මේවා ස්නෙහක ලෙස ක‍්‍රියා කිරීම වෙනුවට නාල මෙම ඝනකම් ශ‍්‍රාවයන්ගෙන් අවහිර වේ. සම මත දහදිය වල ලූණු ගතියද වැඩි කරයි. 

ලක්‍ෂණ

  • කලින් ඇති වන ව්‍යාතතිය
  • පිත සමග වමනය
  • උදරයේ සම මත රතුවීම, උදරය අල්ලන විට රිදීම. සැලකිය යුතු තරමේ උදර ව්‍යාතතිය. මෙම ලක්‍ෂණ මගින් අන්තක පිපිරීමක් ඇතිවී ඇති  බව පැහැදිලි වේ. 
  • ගුද පරීක්‍ෂණයේදී (අතේ සුලඟිල්ල ආධාරයෙන්) ගුදයේ ශ්ලේෂ්මල හිරවී ඇති බව දැකිය හැක.

X-ray මගින්

  • ඝන වූ අන්තක බිත්ති හා විශාල වූ අන්තක කොටස් (පිම්බුනු අන්තක කොටස)
  • වාතය සමග මිශ‍්‍ර ව ගිලී ඇති විශාල මළ ප‍්‍රමාණයකි. ground glass sign
  • කැල්සීනීභාවනය හෝ නිදහසේ වාතය තිබීම හෝ තරලය අන්තක තුල පැවතීම. 

ප‍්‍රතිකාර

  • සංකීර්ණ නොවුනු මෙම තත්ත්වයේදී hypotonic වස්තියන් ලබාදීම. මේ තත්ත්වය තුල දරුවාට අන්ත:ශෛරීක ආම්ලයික ලබාදී තරල සමතුලනය කළ යුතුය. (කිරි දීමට නොහැකි නිසා)
  • මෙම තත්ත්වය අසාර්ථක වීමේදී ශල්‍යකර්මය ඉක්මණින් කළ යුතුය. 

Meconium plug syndrome

  • අන්තකවල කෙලවර කොටසේ මළ සිරවීමයි. 
  • මහන්තක කෙළවර හෝ ගුදයේ මළ සිරවී ඇති බව දැකිය හැක. 
  • සාමාන්‍ය සැලකිය යුතු උදර ව්‍යාතතියන් සමග මළ පිට කිරීමට නොහැකි වීම දැකිය හැක. 
  • X-ray අන්තක වලින් විස්තාරණය වූ අන්තක දැකිය හැක. 
  • ඩයි වර්ගයක් දමා වස්තියක් ලබාදීමේ පේනුවේ (Meconium plug) බාහිර සීමාව දැකිය හැක. 
  • ඇඟිල්ලෙන් මෙම පේනුව ක‍්‍රමයෙන් ඉවත් කළ හැකි වේ. මෙය සිදු කිරීමෙන් පසු මළ පිටවීම සාමාන්‍ය විය යුතුය. එසේ නොවේ නම් හර්ෂ් ප‍්‍රන්ස්ගේ රෝගයද යන්න හඳුනාගත යුතු වේ. 

හර්ෂ්ප‍්‍රන්ගේ රෝගය (Hirschsprung’s Disease)

ගුදෙහි හා අන්තක තුල ප‍්‍රත්‍යානුවේගී ගැග්ලියම් පිහිටා නොතිබීම නිසා ඇති වන රෝග තත්ත්වයකි. ගැංග්ලියම් නොපිහිටන ස්ථාන අතරින් මහන්ත‍්‍රය විස්තාරණය වීම සිදු වේ. 

  • ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් අතර බහුලය. (1:4)
  • ඉපදී පළමු සති 6 තුල 80% ලක්‍ෂණ පෙන්වයි. 
  • 8% දරුවන්ට මෙම තත්ත්වය සමග Down syndrome ලක්‍ෂණ පවතී. 
  • ඉපදී මුල් පැය 24 තුලදී මළ පිට නොවීම සමග උදර ව්‍යාතිය හා වමනය යන ලක්‍ෂණ පෙන්වයි. 
  • මෙහිදී ඇතිවන දරුණු සංකූලය වන්නේ අන්තක ආසාධන තත්ත්වයය. (Enterocolitis)

මෙහිදී මහන්තක විස්තාරණය වන අතර ශේෂාන්ත‍්‍රිකයේ හා මහන්තක වල තරල ප‍්‍රති අවශෝෂණය අඩු වේ. මළ ද්‍රව්‍ය අන්තක තුල රැඳීමෙන් ඒවා මත බැක්ටීරියා වර්ධනය වීම හා ශ්ලේෂ්මලය විපන්‍ය තත්ත්වයට පත් වේ. මේ සමගින් පාචනය, කම්පනය හා විජලන තත්ත්වයන් සමග විශාල තරල ඉවත් වීමත් සිදුවේ.

  • අන්තක පිපිරී යාමට ඉඩ ඇති නිසා වස්ති ලබාදීම නොකළ යුතුය. 

ලක්‍ෂණ

කුඩා දරවෙකු නම්

  • මළ පහ නොවීම
  • පිත හෝ මළ ද්‍රව්‍ය අන්තර්ගත වමනය
  • උදර ව්‍යාතතිය (බඩ පිපුම)
  • කාලීන මළ බද්ධය
  • ආහාර අරුචිය

වැඩි වයස් දරුවෙකු නම්

  • ක‍්‍රමයෙන් වැඩි දියුණු වන උදර ව්‍යාතතිය
  • කාලීන මළ බද්ධය
  • රිබන් පටි ආකාරයට මළ පිටවීම
  • වර්ධනය බාල වීම

රෝග විනිශ්චය

  • ගුද පරීක්‍ෂණ – ගුදය තුල මළ අන්තර් ගත නොවන බව පැහැදිලි වේ.
  • බේරියම් වස්තිය
  • ගුද ජෛවීක්‍ෂාව (Rectal biopsy) – ගැංග්ලියම් ස්නායු සෛල ඇති නැති බව පරීක්‍ෂණයට

ශල්‍ය ප‍්‍රතිකාර

  • ගැංග්ලියම් ස්නායු සෛල නොපිහිටි අන්තක කොටස් ඉවත් කිරීම
  • Colostomy – මහන්තක ද්වාරණය සිදු කිරීම. 

මෙහිදී ආකාර 3 කට ශල්‍යකර්ම කරයි.

  1. Duhamel Procedure – සාමාන්‍ය තත්ත්වයේ පවතින අවිදුර

ගැංග්ලියම් කොටස් දිගු අතට පැත්තෙන් පැත්තට ප‍්‍රතිමුඛනය (anastomosis) කිරීම මගින් එහි පැවැත්ම ආරක්‍ෂා කිරීම. 

2. Swenson’s procedure

ගැංග්ලියම් නොපිහිටි අන්තක කොටස ඉවත් කර අපාත වේෂ්ඨනිය ආරක්‍ෂා කරමින් ඉතිරි අන්තක කොටස් ප‍්‍රාභිමුඛනය (anastomosis) කිරීම.

3. Soave Procedure

ගුද ශ්ලේෂ්මලය ඉවත් කර අවිදුර සාමාන්‍ය අන්තක කොටස ගුදයට එක්කර මැසීම

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

බබාගේ බඩේ පැත්තක් රිදෙනවලු‍ …. ඇපෙන්ඩිසයිටිස්වත්ද?

පුංචි දරුවෝ බඩ රිදෙනවා කියලා නිතර නිතර පැමිණිලි කරනවා. මේ අත්දැකීම හැම අම්මා කෙනෙක්ටම ඇති. ගොඩක් වෙලාවට බඩ පොඩ්ඩක් අත ගලා එහෙමත් නැත්නම් ග්‍රයිප් වෝටර් ටිකක් දීලා දරුවව සනසනවා. ඒත් යම් විදියකට දරුවෙක් බඩේ එක පැත්තක්, තැනක් නම් කරලා මෙන්න මෙතන රිදෙනවා කිව්වොත් නම් අම්මලා ටිකක් බය වෙනවා. ඒ ඇපෙන්ඩිසියටීස් වත් ද කියන සැකය නිසා. 

ආහාර මාර්ග පද්ධතියේ උණ්ඩුකයට (Caecum) ඇතුළු පැත්තට වන්නට පිහිටන පණුවෙකු මෙන් වූ කුඩා අවයවය උණ්ඩුක පුච්ඡය කියලා හඳුන්වනවා. ඒක 5 cm – 15cm දක්වා දිගින් යුක්ත 5cm වඩා ඝනකම් නොවේ. මෙය මහබඩවැල හා සම්බන්ධ වේ. මෙමගින් කෙරෙන කාර්යය නිවැරදිව කිසිවෙකු නොදන්නා නමුත් එය ඉවත් කිරීමෙන් ද හානියක් සිදු නොවේ. මෙම අවයවය බැක්ටීරියා ආසාධනයකට ලක්වී ඉදිමීම උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය එහෙමත් නැත්නම් ඇපෙන්ඩිසයිටිස් කියන අපි අහලා පුරුදු නමෙන් හඳුන්වනවා. මෙම උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය අවුරුදු දෙකට අඩු දරුවන්ට ඉතා කලාතුරකින් ඇති වුනත් වයස අවුරුදු 10 – 30 දක්වා දරුවන්, වැඩිහිටියන් මෙම තත්ත්වයට ගොදුරු වීම වැඩි වශයෙන් දැකගන්න පුළුවන්ය. 

ඇපෙන්ඩිසයිටීස් ඇති වීමට හේතූ

උණ්ඩුක පුච්ඡු ආස්ථරය අපද්‍රව්‍ය (ආහාර නොදිරපු කොටස)මගින් අවහිරවී එය තුළට බැක්ටීරියා ඇතුළු වී වේගයෙන් ගුණනය වී උණ්ඩුක පුච්ඡුය ඉදිමීමට ලක් කරයි. රතු වීම, වේදනාව ආදී ප‍්‍රදාහමය ලක්‍ෂණ සමග එය තුළ බැක්ටීරියා විසින් සැරව සාදයි. මෙයට ඉක්මණින් ප‍්‍රතිකාර නොකළ හොත් පුපුරා යයි. 

ඇපෙන්ඩිසයිටීස් රෝග ලක්‍ෂණ

  • දකුණු පස පහළ උදරයේ එක්වර ඇතිවන වේදනාව
  • පෙකණිය වටා වේදනාව ආරම්භ වී දකුණු පහළ උදරය දෙසට මෙම වේදනාව ගමන් කරයි. 
  • කැස්ස, ඇවිදීම වැනි චලනවලදී මෙම වේදනාව වැඩි වේ. 
  • ඔක්කාරය හා වමනය. 
  • කෑම අරුචිය.
  • මද උණ – රෝග තත්ත්වය දරුණු වන විට උණද වැඩි වේ. 
  • මළ බද්ධය හෝ පාචනය
  • වාතය පිට නොවීම
  • උදරය ඉදිමීම
  • මස්පිඬු පෙරලීම
  • මුත‍්‍රා පිටකිරීමේදී වේදනාව

රෝග විනිශ්චය

  • රෝගියා පවසන තොරතුරු හා ශාරීරිකව සිදුකරන පරීක්‍ෂණ, වෛද්‍යවරයා අත භාවිත කරමින් උදරය ඇල්ලීමේදී වේදනාව දැනීම.
  • මුත‍්‍රා පරීක්‍ෂා කිරීම මගින් මුත‍්‍රා ආසාධනයක් නොවන බව තහවුරු කරගැනීම.
  • ගුදය හරහා සිදුකරන පරීක්‍ෂණ
  • CT Scan
  • USS 
  • X-ray abdomen

සංකූලතා

  • ආසාධනය වූ උණ්ඩුක පුච්ඡුය පුපුරා යාම 

මෙසේ පිපුරුණ උණ්ඩුක පුච්ඡුය මගින් එය තුළ වූ ආසාධනය පරිතාන කුහරය (Peritoneal cavity) පුරා පැතිර පරිතාන දාහය (Peritonitis) ඇති කරයි. මෙය ජීවිතයට තර්ජනයක් ඇති කරයි. 

  • උදරය තුළ සැරව සහිත කුඩා බිබිලි ඇතිවීම 

ආසාධිත උණ්ඩුක පුච්ඡුය පිපිරීමෙන් සැරව සහිත කුඩා ගෙඩි ඇති වේ. ශල්‍ය වෛද්‍යවරයා කුඩා drain නලයක් ආධාරයෙන් උදරය තුළට ඇතුළු කර සැරව ඉවතට ගලා ඒමට සලස්වයි. සති දෙකක් පමණ මෙම නලය තබා ඉවත් කරයි. ඉන්පසු ප‍්‍රතිජෛවක ලබාදේ. 

ප‍්‍රතිකාර 

  • රෝගියාගේ රෝග තත්ත්වය අනුව වෛද්‍යවරයා ප‍්‍රතිකාර සැලසුම් කරයි. 
  • ශල්‍යකර්මයක් මගින් උණ්ඩුක පුච්ඡුය ඉවත් කිරීම.
  • සැරව පිරුණු ගෙඩි ඉඳිකටුවක් අධාරයෙන් පිටතට වෑස්සීමට සැලැස්වීම. 
  • ප‍්‍රතිජෛවක ලබාදීම
  • වේදනා නාශක ලබාදීම
  • අන්ත:ශෛරික ආම්ලයික ලබාදීම
  • දියර ආහාර

වර්තමානයේ උදරයේ කැපුමක් සිදු නොකර Laparoscope නම් උපකරණය ආධාරයෙන් සිදු කරයි. උණ්ඩුක පුච්ඡුය පිපිරීමක් සිදුවී නම් පළමුව ප‍්‍රතිජෛවක ලබාදී තත්ත්වය පාලනය කර පසුව ශල්‍යකර්මය සිදු කරයි. ශල්‍යකර්මය කර සති දෙකකින් පසු රෝගියා යථා තත්ත්වයට පත්වන අතර සති හයක් පමණ යනතුරු බර වැඩ කිරීමෙන් වැළකී සිටීම සුදුසු වේ. 

ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු රෝගියාට පහත ලක්‍ෂණ පවතී නම් වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුවේ.

  • අඛණ්ඩව පවතින, පාලනය කළ නොහැකි වමනය. 
  • උදර වේදනාව වැඩිවීම
  • කරකැවිල්ල
  • ක්ලාන්තය
  • මළ හෝ වමනය සමග රුධිරය පිටවීම
  • උදරයේ ශල්‍යකර්මය සිදු කළ ස්ථානයේ රතුවීම හා වේදනාව
  • උණ
  • ශල්‍ය කෘන්තය කළ ස්ථානයේ සැරව ඇතිවීම.

පහත ආහාර ගැනීමෙන් උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය වඩාත් දරුණු විය හැක.

  • බදින ලද ආහාර – මේදය මගින් ආහා ජීර්ණ පද්ධතිය, උද්දීපනය විය හැක. 
  • ඇල්කොහොල් ගැනීම – මේවා අක්මාවට හානිකර වන අතර අක්මාව ආහාර ජීර්ණයට බලපාන බැවින් ඒ සඳහාද බලපෑම් ඇතිවිය හැක. 
  • රතු මස් – මේවායේ අධික තෙල් ප‍්‍රමාණයක් පවතින නිසා ජීර්ණය අපහසුය.
  • කේක්, පේස්ට්‍රීස් ආදියෙහි අධික ලෙස සීනි පැවතීම නිසා එයද ආහාරයට නොගත යුතුය. 

ප‍්‍රදාහයට පත් උණ්ඩුක පුච්ඡුය පිපිරීමට හේතු විය හැකි හේතූ

  • වේදනා නාශක ගැනීම
  • ප‍්‍රති ආම්ලික ඖෂධ ගැනීම
  • මළ බුරුල් කිරීම සඳහා ඖෂධ (විරේචක ඖෂධ) ගැනීම
  • උණුසුම් පෑඩයන් වේදනාව සහිත උදරය මත තැබීම

ඉහත හේතූ මගින් ප‍්‍රදාහයට පත් උණ්ඩුක පුච්ඡුයක් පුපුරා යා හැකි නිසා ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීමෙන් වැළකිය යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

මොකද්ද මේ PCOS කියන්නේ ?

අද වන විට නිතර නිතර අසන්නට ලැබෙන මේ PCOS ලෙස හඳුන්වන තත්ත්වය පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් යැයි හැඟුණේ මේ පිළිබඳව දැනුවත් බව නොමැතිකම හේතුවෙන් ඇතැම් කාන්තාවන් බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටින නිසාය. මෙය රෝගයක් ලෙසම නම් කළ නොහැකි වුවත් අද වන විට මේ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන් ඉන්සියුලීන් ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව කියවේ. එනම් දරුවන් ලැබිය හැකි වයසේ පසුවන (අවුරුදු 15 – 44) කාන්තාවන් අතර බහුලව පවතින හෝමෝන අසාමාන්‍යතාවයක් නිසා ඇතිවන තත්ත්වයකි.  මෙහිදී දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවයි. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ජානමය තත්ත්වයන් ද තවත් හේතු ලෙස  නිසි ආහාරපාන රටාවක් නොතිබීම මෙන්ම නිසි ලෙස ව්‍යායාමවල නොයෙදීමත් දැක්විය හැකිය. 

PCOS තත්ත්වයේදී කාන්තාවන්ගේ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිපුර පුරුෂ හෝමෝන ශ‍්‍රාවය වේ. මෙම හෝමෝන අසමතුලිතතාවය ආර්තව චක‍්‍රය අක‍්‍රමවත් කරවන අතර ගර්භනීවීමද තරමක් දුෂ්කර වේ. මෙම රෝග තත්ත්වයේදී බලපෑම් ඇතිවන ඉන්‍ද්‍රිය වන්නේ ඩිම්බකෝෂ වේ. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිපදවයි. මෙම හෝමෝන මගින් ආර්තව චක‍්‍රය පාලනය කරන අතර ඩිම්බ කෝෂ මගින් ඉතා සුළු ප‍්‍රමාණයක් Androgen වන පුරුෂ හෝමෝනය ශ‍්‍රාවය වේ. 

ඩිම්බ කෝෂ මගින් පිරිමි ජන්මානු වන ශුකාණු හා සංසේචනය සඳහා ඩිම්බ නිපදවයි. මසකට වරක් ඩිම්බ කෝෂ දෙකෙන් මාරුවෙන් මාරුවට ඩිම්බයක් මුදාහරී. මෙය ඩිම්බනීහරණය (Ovulation) ලෙස හඳුන්වයි. පිටියුටරි ග‍්‍රන්ථිය මගින් නිෂ්පාදනය කරන කූප උත්තේජනය හෝමෝනය (FSH – Follicle Stimulating Hormone) හා ලූටෙයිනීකාරක හෝමෝනය (LH – Lutinizing Hormone) මගින් ඩිම්බනීහරණය පාලනය කරයි. FSH මගින් ඩිම්බ කෝෂයේ කූපයක් උත්තේජනය කර ඩිම්බය සහිත කූපය සාදන අතර LH හෝමෝනය මගින් මේරූ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් නිදහස් කිරීමට උදව් කරයි. 

PCOS යනු, ලක්‍ෂණ කිහිපයක එකතුවක් වන අතර එය ඩිම්බනීහරණයට බලපායි.

මෙහි ප‍්‍රධාන ලක්‍ෂණ 3 කි

  • ඩිම්බ කෝෂවල දිය පිරුණු ගෙඩි ඇතිවීම
  • රුධිරයේ අධික මට්ටමකින් පිරිමි හෝමෝන තිබීම
  • අක‍්‍රමවත් ඔපස් චක‍්‍රය

ඉතා කුඩා තරලය පිරුණු ”මසිනි – SAC” වැනි ව්‍යුහයක් ඩිම්බ කෝෂය තුළ ඇතිවන අතර මේ නිසා මේවා Polycystic (බොහෝ ගෙඩි ඇති) යනුවෙන් හඳුන්වයි. මෙම මසිනි වැනි කූපයන් තුළ නොමේරූ ඩිම්බයක් පවතී. මේවා ඩිම්බ, ඩිම්බහරණීය වීමට තරම් මෝරන්නේ නැත. ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්, FSH, LH ආදි හෝමෝනයන් රුධිරයේ පැවතිය යුතු මට්ටමට වඩා අඩු අගයක පවතින නිසා ඩිම්බනීහරණයේ අක‍්‍රමවත්භාවයන් ඇති කරයි. එසේම පුරුෂ හෝමෝනය (Androgen) ශ‍්‍රාවය වන පිරිමි හෝමෝනය මගින් ආර්තව චක‍්‍රයට බාධා ඇති කරයි. PCOS ඇති කාන්තාවන්ට ඇති වන ආර්තව චක‍්‍රයේ රුධිර වහනය සාමාන්‍ය කාන්තාවන්ට වඩා අඩුය.

PCOS ඇති වීමට හේතූ

මේ සඳහා නිවැරදි හේතුවක් නොදන්නා නමුත් අධික මට්ටමකින් යුතුව ශ‍්‍රාවය වන පිරිමි හෝමෝන මගින් ඩිම්බ කෝෂවල හෝමෝන නිෂ්පාදනය වළක්වන අතර සාමාන්‍යයෙන් ඩිම්බ සෑදීමද වළක්වන බවට විශ්වාස කෙරේ.

  1. ජාන වල බපෑම – Genus – අන්‍යයන් මගින් පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි බව පෙන්වා දී ඇත. 
  2. ඉන්සියුලින් ප‍්‍රතිරෝධය (Insulin resistance) – PCOS  සහිත කාන්තාවන්ගෙන් 70% වඩා වැඩි ප‍්‍රමාණයකට මෙම තත්ත්වය ඇති වේ. එනම් මෙම රෝගීන්ගේ ‍සෛලවලට ඉන්සියුලින් භාවිත කිරීමට (ප‍්‍රයෝජනයට ගැනීම) නොහැකි වේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශයෙන් ලැංගර්හැන් දීපිකාවලදී සෛලවල නිෂ්පානදය වන අතර මෙමගින් ආහාරවලින් ලැබෙන සීනි (ග්ලූකෝස්) ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් කිරීමට මෙම හෝමෝනය මගින් සිදු කරයි. සෛලවලට ඉන්සියුලින් ප‍්‍රමාණවත් ලෙස භාවිත කිරීමට නොහැකි විට ශරීරයෙන් ඉන්සියුලින්වලට ඇති ඉල්ලුම වැඩි කරයි. මේ නිසා අග්න්‍යාශය මගින් බොහෝ ලෙස මෙම ඉල්ලුම සමථයකට පත් කිරීම සඳහා ඉන්සියුලින් නිපදවයි. මෙසේ නිපදවන අමතර ඉන්සියුලින් මගින් ඩිම්බ කෝෂවලින් පුරුෂ හෝමෝන වැඩිපුර නිෂ්පාදනයට උනන්දු කරයි. 
  3. ප‍්‍රදාහය (Inflammation)PCOS සහිත කාන්තාවන්ගේ ඔවුන්ටත් ශරීරයේ ප‍්‍රදාහයන් ඇතිවීමේ මට්ටම වැඩි කරයි. තරබාරුභාවයද මේ සඳහා දායක වේ. අධ්‍යාපනයක් මගින් පෙන්වා දෙන ආකාරයට පුරුෂ හෝමෝන මට්ටම හා ප‍්‍රදාහයන් ඇති වීම අතර සබඳතාවයන් පවතී. එනම් පුරුෂ හෝමෝන ඇති විට ප‍්‍රදාහයන් ඇතිවීමේ හැකියාව වැඩි කරයි. (තරබාරු බව ඉන්සියුලින් ප‍්‍රතිරෝධීතාවය ඇති කරවන ප‍්‍රධාන හේතුවක් වේ. තරබාරු බව හා ඉන්සියුලින් ප‍්‍රතිරෝධීභාවයෙන් Type II වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි)

PCOS ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

සමහර කාන්තාවන්ට මෙම ලක්‍ෂණ පළමු ආර්තව චක‍්‍රයන් සමග ඇති වන අතර තවත් සමහර කාන්තාවන්ට බර වැඩිවීම හා ගර්භනී වීම අපහසු වූ විට ඇති වේ. 

  1. අක‍්‍රමවත් ආර්තව චක‍්‍රය – Irregular periods

ඩිම්බ මුදාහැරීම අඩුවෙන් සිදුවන නිසා සෑම මසකම ගර්භාෂ ආස්තරණය වීම වැළැක්වීම හෝ අඩුවෙන් ආස්තරණය කිරීම සිදු කරයි. මේ නිසා සමහර කාන්තාවන්ට අවුරුද්දකට ඔසප් චක‍්‍ර 8 කට වඩා ඇති නොවන අතර තවත් සමහරුන්ට ඔසප් චක‍්‍රය ඇති නොවේ.

2.අධික රුධිරවහනය – Heavy Bleeding

දීර්ඝ කාලයක් ගෙන ගර්භාෂ ආස්තරණය සාදන නිසා ඔසප් වීම ඇති වූ විට රුධිරවහනය වැඩි වේ. 

3. රෝම ඇතිවීම – Hair Growth

කාන්තාවන්ගෙන් 70% කට මෙම රෝගයේදී මුහුණේ, ශරීරයේ රෝම ඇති වේ. පිටුපස, බඩ, පපුව ආදී ස්ථාන වල මෙසේ අධික ලෙස රෝම ඇති වේ. (Hirsuitm) 

4. කුරුලෑ ඇතිවීම – Acne

පිරිමි හෝමෝන මගින් සමේ තෙල් ගතිය වැඩි කරවන අතර මේ හේතුවෙන් මුහුණ, පපුව, පිටුපස ඉහළ කොටසේ සමේ කුරුලෑ ඇති වේ. 

5.බර වැඩිවීම

මෙම රෝගය ඇති වන්නන්ගෙන් 80% ස්ථූල අය වේ. 

6. පිරිමින්ගේ මෙන් තට්ටය පෑදීම (Male Pattern baldness)

හිසේ ඇති හිසකෙස් තුනී වී පසුව නැතිවී යයි. 

7.සම අඳුරු පැහැගැනීම (Darkening of the skin)

බෙල්ල, ඉකිලි, කිහිලි වැනි සමේ නැවෙන ස්ථාන අඳුරු පැහැයක් ගනී. 

8.හිසරදය (Headache)

හෝමෝන වෙනස්කම් නිසා ඇති වේ. 

PCOS  මගින් ශරීරයට සිදුවන බලපෑම

  1. නිසරුභාවය/වඳභාවය (Infertility)

ගර්භනී වීම සදහා ඩිම්බහරණය වීම අවශ්‍ය වේ. මෙහිදී ක‍්‍රමානුකූල ඩිම්බහරණය නොවන අතර සංසේචනය සඳහා බොහෝ ඩිම්බ නිපදවන්නේ නැත. මේ නිසා දරුවන් බිහිකිරීම අපහසු විය හැක. 

2. පරිවෘත්තීය රෝග – Metabolic Disorder 

80% කාන්තාවන් තරබාරු/බර වැඩිවීම නිසා

  • රුධිර ගත සීනි ප‍්‍රමාණය වැඩිවීම
  • අධික රුධිර පීඩනය
  • යහපත් කොලෙස්ටරෝල් (HOL) අඩුවීම (Good Cholesterol)
  • අයහපත් කොලෙස්ටරෝල් (Bad Cholesterol වැඩිවීම – LOL)

ඉහත සියලු සාධක එකට ගන්නා විට එය පරිවෘත්තිය රෝග සහලක්‍ෂණයන් වේ. මේ නිසා හෘදරෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ.

3.Sleep Apnea

රාත‍්‍රියේ නින්දට බාධා ඇති කරමින් වරින් වර ස්වසනය නැවැත්වීම සිදුවේ. බර අධික අයට (කාන්තාවන්ට) මෙම තත්ත්වය බහුල වේ. PCOS සහිත කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීම PCOS නොමැති කාන්තාවන්ට වඩා වාර 5 – 10 ගණනින් වැඩි වේ. 

4.ගර්භාෂයේ අන්තෝචක්වාලයේ පිළිකා (Endometrial Cancer)

ඩිම්බනීහරණය කාලය තුලදී ගර්භාෂයේ ඇතුලත ආස්ථරයේ ආස්ථරණය වීම ඩිම්බනීහරණයක් සිදු නොවුනද සෑම මසකම සිදු වේ. මෙසේ එම ආස්තරණය ඝනකම් වීම තුල මෙම පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරයි. 

5.මානසික අවපීඩනය (Depression)

හෝමෝන වෙනස්කම් හා අනවශ්‍ය රෝම වර්ධනය වැනි ලක්‍ෂණ හේතුවෙන් මානසික අසහනයකට පත් වේ. මේ නිසා මෙම රෝග තත්ත්වය සමග මානසික අවපීඩනය හා කාංසාව (anxiety) ඇති වේ. 

රෝග විනිශ්චය කිරීම

කාන්තාවන්ට ඇති වන පහත ලක්‍ෂණ 2 – 3 මගින් වෛද්‍යවරයාට සායනික ලෙස මේ තත්ත්වය විනිශ්චය කළ හැක. 

  • පුරුෂ හෝමෝන මට්ටම වැඩිවීම. 
  • අක‍්‍රමවත් ආර්තව චක‍්‍රය
  • ඩිම්බ කෝෂවල තරලය පිරුණු ගෙඩි ඇති වීම. එසේම මෙම ලක්‍ෂණ සමග කුරුලෑ ඇතිවීම, ශරීරයේ අනවශ්‍ය රෝම ඇති වීම, බර වැඩිවීම ආදිය පිළිබඳව විමසයි.

එසේම පහත පරීක්ෂණ මගින් මේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට ලක්කිරීම සිදු කරයි.

  1. ශ්‍රෝණී පරීක්‍ෂණ – Pelvic exam

මෙහිදී වෛද්‍යවරයා අත් වැසුමක් යොදා ගනිමින් යෝනි මාර්ගය හරහා ඇඟිලි ඇතුළු කර එහි වර්ධනයක් (ඩිම්බකෝෂ හා ගර්භාෂයේ)ඇති දැයි පරීක්‍ෂා කරයි. 

2. රුධිර පරීක්‍ෂණ

මෙහිදී සාමාන්‍ය ප‍්‍රමාණයන්ට වඩා පුරුෂ හෝමෝන ප‍්‍රමාණය (Androgen level) වැඩි වේ.

එසේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, ඉන්සියුලින් හා triglyceride level මට්ටම සොයාගනී. ඒවා වැඩි නම් හෘද රෝග හා දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි වේ. 

3. Ultrasound ස්කෑනින් පරීක්‍ෂණ 

මෙමගින් අසාමාන්‍ය කූපයන් හා වෙනත් ඩිම්බකෝෂයේ හා ගර්භාෂයේ ගැටළු හඳුනාගත හැක. 

PCOS තත්ත්වය හා ගර්භණී බව පිළිබඳව ලිපියකින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

කොරෝනා නිසා නිවසේම රුඳුණු දරුවන්ට ඇති විය හැකි ගැටලු ගැන දැනුවත්ද?

මේ දිනවල කොරෝනා වෛරසය පිළිබඳ කොතෙක් කතා කළත් එය අවසන් කළ නොහැකිය. එසේම වැඩිහිටියන් හෝ වේවා දරුවන් හෝ වේවා මේ අවාසන්වන්ත කාලය තුළ අප සැවොම සෑම පැත්තකින්ම ආරක්ෂා වන්නේ කොසේද යන්න පිළිබඳව දැනුවත් විය යුතුමයි. ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් ඔබත් මමත් අපේ දරුවනුත් සුරක්ෂිත විය යුතුමයි. අන්න ඒ නිසාම කොරෝනා වෛරසයේ පැමිණීමත් සමග වසර දෙකකට ආසන්න කාලයත් නිවසටම කොටු වී ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව සිටින අපේ දරුවන් ගැන අපි කතා කරමු.

ඔන්ලයින් අධ්‍යාපනය නිසා දරුවන්ට පෙන්නුම් කරන රෝග තත්ත්ව

  • ගෙලේ සහ කොන්දේ ඇති වන වේදනාව
  • අත දිගේ දිව යන වේදනාව
  • ඇඟිලි හිරි වැටීම්
  • මැණික් කටුව ආසන්නයේ ඇති වේදනාව
  • වැලමිට ආසන්නයේ ඇති වේදනාව 

දරුවන් හිස නවා දුරකථනය හෝ පරිගණක තිරය වෙත යොමුව සිටීම නිසා ගෙලෙහි වේදනාව සහ ගෙල අවට මාංශ පේශී වල දෘඩ බවක් (Muscle Spam) ඇති වේ. මේ නිසා අතට දිවයන ස්නායු ද තෙරපී හිරි වැටීම් ද ඇති විය හැක. ඊට අමතරව පපු ප‍්‍රදේශයට සහ හිසේ පිටුපසට වේදනාවක්ද ඇති වේ.

මෙය වැළැක්වීමට දුරකථන තිරය හෝ පරීගණක තිරය ඇස් මට්ටමට ගෙන එනම් චිත‍්‍ර ඇඳීමට යොදා ගන්නා ආනත තලය වැනි හැඩයට තිරය තබාගත යුතුය. තවද කොන්ද පුටුවේ (කෑම මේසයට තබන පුටු මේ සඳහා වඩාත් සුදුසුය) කෙලවරට වන සේ වාඩි වී හිස පුටුවේ හේත්තු කරගෙන මේසය ලඟටම පුටුව ගෙන පාඩම්වල නිරත විය යුතුය.දැනටමත් වේදනාවක් ඇත්නම් නලලට අත් තබා හිසෙන් ශක්තිය ගෙන අත් තද කරන්න. චලනය නොවන සේ වරින් වර අත් දෙක හිසේ හතර පැත්තටම තබා මෙය කරන්න. 

මෙසේ සිදුවන ඔන්ලයින් කටයුතු සඳහා භාවිත කරන ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් දුරකථන සමග කටයුතු කිරීමේදී ඇඟිලිවලින් ස්ක‍්‍රීන් එක පැත්තකට පිරිමැදීම (Swipe) කළ යුතු වේ. මේ චලනය නිසා ඒ අදාල පේශී නිරතුරු එකදිගට වැඩ ‍කොට වෙහෙසට පත් වීම හේතුවෙන් මාපට ඇඟිල්ල දාරයේ මැණික් කටුව ආසන්නයේ වේදනාවක්ද (Tenosynovitis) වැලමිට ආසන්නයේ වේදනාවක්ද (Tennis elbow) ඇති වේ. දුරකථනය Swipe කිරීමේදී එකම ඇඟිල්ල භාවිත නොකරන්න. නැතහොත් සෑම විනාඩි දහයකටම වරක්  විනාඩියකවත් විවේකයක් ලබාගන්න. 

එසේම ස්මාට් දුරකතනයේ හෝ පරිගණක තිරයේ එළිය අඩු කරගත හැකි නම් වඩාත් සුදුසුය. නිතරම එළිය විහිදුවන තිරයක් බලා සිටිනා නම් සෑම විනාඩි දහයකට වරක්වත් ඈත බලන්නට දරුවාට උපදෙස් දෙන්න. මන්ද 

බොහෝ දරුවන්ට දැනටමත් පෙනීමේ දුර්වලතා ඇති බව අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. පරිගණක තිරය ඇස් මට්ටමට වඩා ඉහළින් තබා තිබීම නිසා ඇස පිය ගැසීම අඩු වී ස්නේහණය නැතිව යන නිසා ඇස් නිතර ආයාසයෙන් විවිරය කරමින් බැලීමට සිදුවන බැවින් ඇසෙහි වියළි බවක් ඇති විය හැකිය.

මෙහිදී තවත් වැදගත්ම කරුණක් වන්නේ බිම එසේත් නැතිනම් අඳන් මත සිට දරුවන් අධ්‍යාපන කටයුතුවල නිරත වීඹයි. මේ හේතුව නිසා අද වන විට බොහෝ දරුවන් කොන්දේ යම් යම් ආබාධ තත්ත්වයන්ට ගොදුරුව සිටිනවා.  මේ හේතුන් මත කොඳු ඇට පෙළේ විකෘතිතා ඇති අතරම ඒ අතරින් කයිපෝසිස් (Kyphosis) සහ ස්කෝලියෝසිස් (Schliosis) තත්ත්ව මූලිකව දැක ගත හැකියි. ඒ නිසාම වැඩිහිටි ඔබ, ඔබේ දරුවා අධ්‍යයන කටයුතු සිදුකරන ඉරියව් සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානය යොමු කරන්න. 

එසේම අධ්‍යාපන වැඩසටහන් නිමා වුවද, දිගින් දිගටම තිරයේ කාලය ගතකරන දරුවන් එයින් මගහරවා ගැනීම අත්‍යවශ්‍ය වේ. වීඩියෝ ක‍්‍රීඩාවල යෙදීමෙන් ඒවාටම ඇබ්බැහි වන දරුවන් විශාල සංඛ්‍යාවක් අද වන විට සිටින අතරම  ඔවුන් එළිමහනේ ක‍්‍රීඩාවලට කැමැත්තක් නොදක්වයි. එය එසේ වුවද එයින් දරුවන් මුදවා ගැනීම මව්පියන් වශයෙන් අපේ වගකීම බව අමතක නොකළ යුතුය. 

ශරීරයට ව්‍යායාම නොලැබී යාමෙන් දරුවන් අධික බර නැතහොත් ස්ථූලභාවය වැනි රෝගවලට ලක් වීමේ ඉඩ කඩ මෙවැනි වාතාවරණයක් යටතේ වැඩි වනු ඇත. දැනට දියවැඩියාව ඇති ළමයින්ද දක්නට ඇත. එබැවින් ඔවුන් ශරීරය වෙහෙසවන ක‍්‍රීඩාවලට යොමු කරන්න. නිවස තුළ හෝ ඔවුන්ට යම් යම් ක්‍රියාකාරකම් ලබා දෙන්න. එසේම දරුවන්ගේ ආහාර රටාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න. නිවස තුළම කොටවූ අපේ දරුවන්ට තෙල් කෑම, පැණි රස කෑම, පිටි කෑම වැඩිපුර ලබා දීම නුසුදුසු බවත් පළතුරු, එළවළු, කොළ, ධාන්‍ය වර්ග දරුවන්ට ලබාදෙන්නටත් උනන්දු වන්න. 

හිරු එළියේ නිරාවරණයට නොයන බැවින් දැනට විටමින් D ඌණතාවයක් ඇති දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඇත. විශේෂයෙන් කුඩා දරුවන්ට විටමින් D අඩු වුනොත් අස්ථි රෝග ඇති වේ. දෙපා බකල වීම ඇති දරුවන්ද විශාල වශයෙන් අපට මුණගැසේ. එබැවින් උදෑසන අව්වේ පැයක්වත් ක‍්‍රියාකාරකමක දරුවන් යොදවන්න. 

එමෙන්ම අපේ දරුවන්ට පරිසරය, සතා සිව්පාව ගැන වගේම අපේ සිරිත් විරිත්, කෘෂිකාර්මික තොරතුරු පිළිබඳව කරුණු කාරණා රැස් කරන්නට ඉගෙනීමට වැඩිහිටියන්ගෙන් අතීත රස කතා පිළිබඳව අසා දැනගැනීමට මේ කාලය යොදවන්න. ආගමික කටයුතු වැනි දේ පුරුදු පුහුණු කිරීමද මේ කාලය වඩා හොඳින් යොදා ගත හැකිය.

තවද කොරෝනා වෛසරය හෝ වෙනත් වෛරසයක් ශරීර ගත වුවොත් ශ්වසන පද්ධතියේ ආසාධන ඇති වේ. ශ්වසන රෝග, නියුමෝනියා තත්ත්ව ඇති විය හැක. යම් හෙයකින් එසේ ආසාධනයක් ඇති වුවොත් එයින් වෙන සංකූලතා අවම කිරීමට පෙනහලු ශක්තිමත් කරගෙන සිටීම වැදගත් වේ. ඒ සඳහා මේ දිනවල ගෙදරදී සියලු දෙනාටම හුස්ම ගැනීමේ ව්‍යායාම කළ හැක. එමගින් පෙනහලු ධාරිතාව වැඩි කරගත හැක. එවිට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ලබාගත හැකි බැවින් සෙම ස‍්‍රාවයන් වැනි දේ ආවත් වැඩි අවදානමකට මුහුණ දීමට සිදු නොවේ. තල තුනක් ඔස්සේ පෙනහලු ධාරිතාව වැඩි කරගැනීමට හුස්ම ගැනීමේ ව්‍යායාම තුනක් ඇත. ඉදිරියට පපුව පුම්බමින්, පැත්තට පපුව පුම්බමින් සහ උදරය ඉදිරියට එන ලෙස හුස්ම ගැනීමෙන් ලෙස ව්‍යායාම ඇත. 

දරුවන්ගේ ජීවිත එක් තැනක නතර වී ඇති ස්වභාවයක් ඔවුන්ට නොදැනෙන ලෙස මේ කාලය ගෙවා දැමීමට වැඩිහිටියන් ලෙස අප සැමවිටම කල්පනාකාරී විය යුතුය. දරුවන් ශාරීරිවත් මානසිකවත් සුවෙන් තැබීම මව්පියන් වශයෙන් අපේ පළමු යුතුකම බව කිසිවිටෙකත් අමතක කරන්න එපා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 


                

කොරෝනා වෛසරය අපේ සිරුරේ ඇතැම් පද්ධතීන්ට සිදුකරන බලපෑම් ගැන ඔබ දැනුවත්ද?

අද වෙන කොට ලෝකේ පුරාම පැතිරිලා තියෙන මේ කොරෝනා වසංගතය ඇත්තටම අපි කාගේත් හිත්වලට බරක්. ගෙදරින් පිටට යද්දි වෙනදා වගේ හිතේ නිදහසින් එළියට බහින්නවත් පුළුවන්කමක් මේ වෙද්දි අපිට ඉතිරි වෙලා නෑ. මේ වසංගතයෙන් ආරක්ෂා වෙනවා ඇරෙන්න වෙනත් විසදුමක් නෑ. කොහොම කොයි දේ වුණත් කොරෝනා වෛරසය ආසාදනයෙන් පස්සේ ඇති වෙන යම් යම් සංකූලතා ගැන අපි දැනුවත් වීම වැදගත්. 

සාමාන්‍යයෙන් කොරෝනා ආසාදනය වූ විට ඇති වන රෝග ලක්ෂණ පිළිබඳව අපි මේ වන විට බොහෝ සෙයින් දැනුවත් වී අවසන්. කොරෝනා රෝගීන් 138 දෙනෙකු විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයකදී පහත දක්වා ඇති පොදු ලක්‍ෂණ පෙන්නුම් කළ ප‍්‍රතිශතය පහත ආකාරයෙන් දක්වා තිබුණා.

  • උණ – 99%
  • තෙහෙට්ටුව- 70%
  • වියළි කැස්ස – 59%
  • කෑම අරුචිය – 40%
  • පේශී වේදනාව – 40%
  • ස්වසන අපහසුතා – 31%
  • සෙම ඇතිවීම – 27%

මීට අමතරව හිසරදය, උගුරේ අපහසුතා, සොටු දියර ගැලීම, රස හා ගඳ සුවඳ නොදැනීම මෙහි ඇති වන වෙනත් ලක්‍ෂණ විදියට දැක්විය හැකියි. මෙසේ ඇති වන ආසාදන තත්ත්වය හේතුවෙන් සිරුරේ පද්ධති වෙත කෙරෙන බලපෑම ගැන අපි විමසා බලමු.

ස්වසන පද්ධතිය

ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප‍්‍රධාන බලපෑම වන්නේ වෛරස නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමයි. මෙහිදී ලක්‍ෂණ ලෙස කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, ස්වසන අපහසුව ආදී ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් ඇති වේ. තීව‍්‍ර නිවුමෝනියා ආසාදනයකදී මරණය පවා ඇතිවිය හැක.

නාසයේ හා උගුරේ අපිච්ඡද සෛලවල අධික ප‍්‍රමාණයෙන් ඇති ACE-2 (Angiotensin converting enzyme – 2) වෛරස ඇතුළු වීමට ඇති ප‍්‍රතිග‍්‍රාහකයක් ලෙස ක‍්‍රියාකරයි. මෙම ප‍්‍රතිග‍්‍රාහක මොළය, අක්මාව, අග්න්‍යාශය, වකුගඩු, තයිමස් ග‍්‍රන්ථිය, ඇටමිඳුළු, නාස ග‍්‍රසනිකාව, මුඛය, නාසයේ ශ්ලේෂ්මලය, පෙනහලු, කුඩා අන්තක, ආමාශය, මහන්තක, වසා ග‍්‍රන්ථි, සම හා ධමනි ශිරාවල පවතී. මෙම ACE-2 පවතින ශරීර පටක වෛරස ආසාධනවලට ගොදුරු වීමේ හැකියාව ඇත. නාසයේ හා උගුරේ අපිච්ඡද සෛලවල ඇති ACE-2 නිසා මෙම වෛරසවලට මෙම ස්ථාන වඩා හිතකර පරිසර වේ. මෙම වෛරස මෙම සෛල තුළ ගුණනය වුවහොත් වෛරස විශාල ප‍්‍රමාණයකින් වැසී යයි. මෙම නිසා අනෙක් පුද්ගලයන්ට පැතිරේ.  මෙම වයිරස්වල ඊලඟ ඉලක්කය වන්නේ පෙනහලුය. ඊට හේතුව පෙනහලු ACE-2 ප‍්‍රතිග‍්‍රාහක මගින් පොහොසත්ව පැවතීමය. සාමාන්‍යයෙන් Type 2 pneumocyte මගින් ගර්ත තුළ සර්ඇක්ටන්ට් නම් රසායනිකය නිෂ්පාදනය කරන අතර එමගින් ගර්තවල හා වාමග බිත්තිවල පවතින සෂ්ධික ආතතිය අඩුකර ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් අක‍්‍රීය වීම වළක්වයි. වෛරසය මෙම සෛල තුළට ඇතුළු වී ඒවායේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරමින් පෙනහලු අභිපාත තත්ත්වය (Lung collapse) පත්කරයි. මේ හේතූ මගින් පුද්ගලයෙකු මිය යා හැක. 

රුධිර සංසරණ පද්ධතිය

රුධිර සංසරණ පද්ධතිය, විශේෂයෙන් හෘදය, ධමනි, ශිරා ආදියේද මෙම ACE ප‍්‍රතිග‍්‍රාහකය පවතින නිසා මෙම වෛරසය මගින් හානිවීමට ලක්වේ. චීනයේ වූහාන් රෝහලේ කොවීඩ් ආසාධිතයන් 416 කින් 19.7% කට හෘදයට අනතුරු වී ඇත. හෘද අකරණිය තත්ත්වය (Heart failure) මෙහිදී ඇතිවන භයානක තත්ත්වයකි. කොඩිඩ් රෝගීන් 46,248 ගෙන චීනයේ සිදු කරන ලද අධ්‍යනයකදී ඉන් 17% අධික රුධිර පීඩනය, 8% දියවැඩියා රෝගය, 5% කට රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග වැළඳුන බවට අනාරවරණය වී ඇත. එසේ රුධිර පීඩනයේ වෙනස්කම්, හද ගැස්මේ රිද්මය වෙනස්වීම (Arrhythmias), අභිස්පන්දනය (Palpitation), හෘදයෙන් පිටවන රුධිරය ප‍්‍රමාණවත් නොවීම (Cardiac insufficiency) හා හෘදය විශාල වීම (cardiomegaly) ආදී අහිතකර තත්ත්වයන් රුධිරවාහිනී පද්ධතියට කොරෝනා වෛරසට හේතුවෙන් ඇතිවී ඇත. 

එසේම තවත් අධ්‍යයනයකදී කොවීඩ් වැළඳුන රෝගීන් 184 කින් 31% කට රුධිර කැටි ගැසීමේ අවධානමක් ඇති වූ බව හෙලිවී ඇත. මෙම තත්ත්වයන් ධමනි හා ශිරා දෙකෙහිම ඇතිවන අතර මෙම රුධිර කැටි පෙනහලු, මොළය, හෘදය තුළට ගමන් කර අවහිර කර අනතුරු ඇති කරවයි. පෙනහලු තුළ දී Pulmonary embolism, හෘදයේ කන්තුක ඇණ හිටීම (Cardiac arrest) හා මොළයේ අඝාතය (stroke)  තත්ත්වය ඇතිවී රෝගියාගේ ජීවිතය අනතුරට ලක්විය හැක. 

ආහාර ජීර්ණ පද්ධතිය

චීනයේ Sun Yat Sen University hospital හි කොවීඩ් – 19 රෝගය වැළඳුණු රෝගීන් 58 දෙනෙකුගෙන් කරන ලද අධ්‍යයනයක් මගින් ආමාශය අශ‍්‍රිතව ඇතිවී ඇති කෑම අරුචිය, පාචනය, ඔක්කාරය, වමනය ආදී ලක්‍ෂණද මේවා දරුණු වූ විට අන්තශ්‍රෝතය ආශ‍්‍රිතව රුධිර වහනයන් ඇති වූ බවට වාර්තා වී ඇත. නමුත් මෙම තුවාල ඇතිවීම පිළිබඳව තවම පර්යේෂණ මට්ටමේ පවතී. ආමාශය, අන්තශෝතය, ග‍්‍රහනිය හා ගුදය ආශ‍්‍රිත පටකවලද මෙම වෛරසය හමුවී ඇත. නමුත් මෙම පටක වලින් බෝවීමේ හැකියාවන් ඇතිමුත් එසේ අනාවරණය වී නැත. ACE ප‍්‍රතිග‍්‍රාහක කුඩා අන්තක, මහාන්තක, ආමාශයේ පවතින නිසා මෙම ආසාධන බෝ වීමේ ප‍්‍රවණතාවයක් ඇත. නමුත් පර්යේෂණවලින් ඔප්පුකර නැත. 

මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය

චීනයේ කොවීඩ් – 19 රෝගීන් සිටින විශේෂ ප‍්‍රතිකාර ඒකකවල  කොවීඩ් – 19 වැළඳුන රෝගීන් 214 කගෙන් 36.4%ට ස්නායුගත ආබාධ ලක්‍ෂණ පෙන්වයි. ඔවුන්ට මස්තිෂ්ක වාහිනි අනතුරු (cerebrovascular accident මොළයට අනතුරුවීම), අපස්මාරය (වලිප්පුව), ශරීරයේ අතපය හැසිරවීම පාලනය කිරීමට අපහසු වීම (ataxia), සිහි තත්ත්වයේ වෙනස්කම්, හිසරදය, කරකැවිල්ල, සැකිලි පේශිවලට හානි වීම, ගඳ සුවඳ රස දැනීමේ වෙනස්කම්, දෘශ්‍යාබාධ ආදී ලක්‍ෂණ ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීමෙන් ඇති වේ. මධ්‍ය ස්නායු පද්ධතියේ ACE – 2 ප‍්‍රතිග‍්‍රාහක පවතින නිසා කොවීඩ් වලින් ඇති වන හානිය වැඩිවේ. 

අක්මාව

ALT (Alanine Transaminase), AST (Aspartate Amino Transpera) යනු අක්මාවට හානි වූ විට ඒ බව පෙන්වා දෙන සංඥා වේ. මේවායේ අගයන් ඉතා ඉහළ මට්ටමකට යාම තුළ අක්මාවට බලපෑමක් ඇත. බිලිරූබන් ප‍්‍රමාණයද සුළුවෙන් වැඩිවේ. 

ඇස

ඇස් රතුවීම/ ඇසේ ආසාධන (conjunctivitis), ඇසෙන් කඳුළු ගැලීම ආදී ලක්‍ෂණ පෙන්වයි. 

වකුගඩු

ගුච්ඡුක්‍ෂණ හා අවිදුර සංවලිත නාලිකාවේ ACE-2 ප‍්‍රතිග‍්‍රාහක පැවතීම නිසා වකුගඩුද කොවීඩ් – 19 හි ඉලක්කයක් වී ඇත. මේ නිසා කොවීඩ් රෝගීන්ගේ මුත‍්‍රා සමග ප්‍රෝටීන පිටවීම (Proteinuria) මුත‍්‍රා සමග රුධිරය පිටවීම (Haematuria), රුධිරයේ යූරියා, නයිට‍්‍රජන් හා ක‍්‍රියටීනින්වල අගයන් ඉහළ යාම බහුලව නිරීක්‍ෂණය කළ හැකි ලක්‍ෂණ වේ. ප්ලාස්ම ප්‍රෝටීන සාමාන්‍යයෙන් උරාගනු ලබන්නේ අවිදුර සංවලිත නාලිකාව හරහාය. මෙයට හානි වූ විට මුත‍්‍රා සමග ප්‍රෝටීන පිටවේ. 

සම

ආසාධනය ඇති වී සති 3 – 4 කාලයක් ගිය පසුව සමේ අත්, පා, ඇඟිලි ආදියෙහි තුවාල ඇති වේ. 

ඉහත ආකාරයට ශරීරයේ සෑම පද්ධතියක්ම ආසාධනය කිරීමේ හැකියාව ‍කොරෝනා වෛරසය සතුයි. මේ පිළිබඳ තවත් තොර‍තුරු පර්යේෂණ මට්ටමේ පවතී. මේ සියලු අවදානම් තත්ත්වයන්ගෙන් මිදී අපේත් අපේ ආදරණීයන්ගේත් ජීවිත සුරක්ෂිතව පවත්වා ගනිමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජීවත් වීමට අප සිතට ගත යුත්තේ මෙවැනි අවදානම් තත්ත්වවලින් වැලකී සිටීමටය. ඒ නිසා ඔබත් අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිවසින් පිටතට නොයන්න. සැම  විටම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


                

කොරෝනා ආසාදනයෙන් පසු දරුවන්ට ඇති විය හැකි MIS – C

අද වන විට ලොව පුරා පවතින තත්ත්වයත් සමග මව්පියන් බොහෝ සෙයින් බියට පත්ව සිටින්නේ තම කුඩා දරුවන් සම්බන්ධවයි. ඒ නිසාම ඔවුන් දරුවන් රැක ගැනීමට මහත් සේ වෙහෙස වේ. කෙසේ වුවද අද වන විට සීග්‍රයෙන් රට පුරා පැතිර යන මේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා දරුවන්ට පසුව ඇති විය හැකි බහු ඉන්ද්‍රිය ආසාදන රෝගතාව (Multisystem Inflammatory Syndrome in Children (MIS-C)) යන තත්ත්වය ගැන දැනුවත්ව සිටීම බොහෝ සෙයින් වැදගත් වන්නේ මේ තත්ත්වයට දරුවන් නොදැනුවත්වම ගොදුරු විය හැකි අවදානමක ඇති නිසා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් කල්තියා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට අවස්ථාව සලසා ගත හැකි බැවිනි. 

Multisystem Inflammatory Syndrome in Children (MIS-C)

එනම් දරුවන් තුළ ඇති වන බහු ඉන්ද්‍රිය ආසාදන රෝගතාව ඇති විය හැක්කේ කොරෝනා වෛරසය ආසාදනය වී පළමු දින 14 න් පසුවයි. එහිදී කොරෝනා රෝග ලක්ෂණ සහිතව හෝ රහිතව සති 2 ත් 6 ත් අතර කාලයේදී ඇති විය හැකි මේ තත්ත්වයේදී දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ Kawasaki රෝගයේ රෝග ලක්‍ෂණ හා සමාන වේ. 

කොරෝනා ආසාදනයෙන් පසුව සිරුරේ නිපදවෙන ප‍්‍රතිදේහ සිරුරේ ඉන්ද්‍රිය සමග ක‍්‍රියාකාරී තත්ත්වයට පත් වී  මොළය ඇතුළු අනෙක් ඉන්ද්‍රියයන් එනම් හෘදය, අක්මාව, වකුගඩු, පෙනහලු සමග ප‍්‍රතිදේහ ක‍්‍රියාකාරීත්වයක් දක්වන අතරම ඒ ඒ ඉන්ද්‍රියයට අදාලව වෙනස්කම් දැකිය හැකිය. මෙම MIS-C රෝග තත්ත්වයෙන් රුධිරය කැටි ගැසීම, හෘදයේ ක‍්‍රියාකාරීත්වය හා වකුගඩු වල ක‍්‍රියාකාරීත්වය දුර්වල වීම ආදිය ප‍්‍රතිඵල ඇති කරයි. 

එක් එක් ඉන්ද්‍රිය අනුව ගත් කළ,

  • මොළයට ඇති වන බලපෑම අනුව වලිප්පුව/අත් පා අඩපණ වීම
  • ඇස්වලට ඇති වන බලපෑම අනුව ඇස් වපර වීම
  • හදවතට ඇති වන බලපෑම් අනුව  කිරීටක ධමනි විශාල වීම, රුධිර පීඩනය අඩුවැඩි විය හැකියි
  • අක්මාවට ඇති වන බලපෑම් අනුව ඇස් කහ පැහැ වීම, අක්මාව විශාල වීම, උදර වේදනාව
  • පෙනහලුවලට ඇති වන බලපෑම අනුව නිව්මෝනියා තත්ත්වය
  • වකුගඩුවලට ඇති වන බලපෑම අනුව මුත්‍රා පිටවීම අඩු වීම, මුත්‍රා සමග රුධිරය පිට වීම, වකුගඩු අකර්මණ්‍යතාව වැනි තත්ත්ව ඇති විය හැකියි.

MIS-C රෝග තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ

මෙහිදී දරුවෙක් ඉතා තදබල ලෙස රෝගී විය හැකි අතරම ශරීරයේ අන්තක, හෘදය, මොළය, පෙනහලු, සම, වකුගඩු ආදී අවයව රෝගී වේ. මෙහිදී පහත ලක්‍ෂණ දැකිය හැක. මෙම ලක්‍ෂණ ඇත්නම් COVID-19 සඳහා පරීක්‍ෂා කිරීම මගින් හෝ කොවිඩ් රෝගියෙකුට පසුගිය සති 4 ක කාලය තුල නිරාවරණය වී ඇතිදැයි නිශ්චිතව දැනගත යුතුය. 

  • දින 03කට වඩා පවතින උණ 
  • ඇඟපත වේදනාව
  • උදර වේදනාව, පාචනය හා වමනය
  • සිරුරේ සහ දිවේ ඇති වන රතු ලප
  • බෙල්ලේ වසා ගැටිති ඇති වීම /වේදනාව
  • සමේ දද ඇතිවීම හෝ සමේ පැහැයේ වෙනස්කම්
  • රත්පැහැවූ දිව/තොල්/ඇස්
  • අධික වෙහෙසකර බව
  • ස්වසන අපහසුව – කෙටි හුස්ම
  • පපුව තුල වේදනාව හෝ තෙරපීම
  • ව්‍යාකූලභාවයට පත්වීම
  • අවදිවීමට නොහැකිවීම හෝ අවදි වී සිටීම

රෝග විනිශ්චය සඳහා රුධිර හා මුත‍්‍රා පරීක්‍ෂණය/රුධිරය – හෘද රෝග වලදී සිදු කරන troponin i පරීක්‍ෂාව/X-ray- Chest/ECG/Echo යන පරීක්ෂණ අවශ්‍යතාවය අනුව වෛද්‍යවරුන් යොදාගනී.

MIS-C රෝග තත්ත්වයේදී හදිසි අවස්ථාවකදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස,

  • තද බල උදර වේදනාව
  • ස්වසන අපහසුව
  • සුදුමැලි වීම
  • අළු පැහැ හෝ නිල් පැහැ සම, තොල්, ඇඟිලි තුඩු
  • අලුතින් ඇති වූ ව්‍යාකූලභාවය
  • අවදිවීමට නොහැකි වීම හෝ අවදිවී සිටීම

ප‍්‍රතිකාර

ප‍්‍රතිකාර ලබාදිම ලක්‍ෂණ හා පරීක්‍ෂණ වල ප‍්‍රතිඵල මත රඳයි.

  • ඉදිමාව හෝ ප‍්‍රදාහමය තත්ත්වයට ප‍්‍රතිකාර සඳහා Steroids භාවිතය
  • ප‍්‍රතිශක්තිය ලබාදීමට Immunoglobulin (IgG)IV ලබාදීම
  • සේලයින් ලබාදෙන ආකාරයට (අන්ත:ශෛරීක) ලෙස තරලය ලබාදීම
  • හෘද රෝගීන් සඳහා ඒ ඖෂධ ලබාදීම හා අඩු මාත‍්‍රා ඇස්ප්‍රින් ලබාදීම.
  • ආසාධන වලින් වළක්වා ගැනීම සඳහා ප‍්‍රතිජෛවක භාවිතය
  • ස්වසනය පහසු කිරීම සඳහා ඔක්සිජන් ලබාදීම
  • රුධිර කැටි ඇතිවීම අවම කිරීම සඳහා රුධිර ප‍්‍රති කැටිකාරක ඖෂධ ලබාදීම

ඉහත ලක්‍ෂණ ඇති විට දරුවෙක් වෛද්‍ය අධීක්ෂණය ඇතිව රෝහලකදී ප්‍රතිකාර ලැබිය යුතු අතරම එහිදී අවශ්‍යතාවය මත දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කෙරේ. 

පසු විපරම

මෙවැනි දරුවෙකු රෝහලේ සිට ප‍්‍රතිකාර ලබා නිවසට ගිය පසුවද ඔවුන් පිළිබඳ පසු විපරමක් තබාගැනීම වැදගත් වේ. 

  • රෝහලෙන් පිටව ගොස් සති 2 – 3 අතර කාලයේදී නැවත දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම
  • MIS-C මගින් හෘදයේ බිත්ති ආසාධනයට ලක්වී myocarditis තත්ත්වයට පත්වි වූ දරුවෙක් නම් ව්‍යායාම, ක‍්‍රීඩා ආදිය ටික කලකට නැවැත්විය යුතු වේ.
  • මෙම රෝගය සඳහා Steroids භාවිත කර ඇත්නම් ළමා රක්තවාතවේද විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම කළ යුතුය. 

දරුවෙකු කුමන අසනීප තත්ත්වයකට ගොදුරු වූවත් මව්පියන් දරුවන්ගේ පෝෂණය පිළිබඳව නිසි අවධානයක් යොමු කළ යුතුමය. මෙවැනි තත්ත්වයකදී ද එය එසේමය.

මාස හයට අඩු දරුවෙක් නම් අනිවාර්යෙන්ම මව්කිරි පමණක්ම ලබා දිය යුතුය. එය දරුවාට අවශ්‍ය ප්‍රත්ශක්තිය ලබාදෙනු ඇත. වයස මාස හයට වැඩි දරුවන්ට නිසි සමබල ආහාර වේලාක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. අනෙක් දරුවන්ගේ ආහාර වේලට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ මෙන්ම විටමින් (A,B,,C,D,E,K), ඛනිජ ලවණ, සින්ක්, යකඩ සහ කැල්සියම් අන්තර්ගත කිරීම අතිශයින්ම වැදගත් වේ‍. ඒ නිසාම දිනකට ආහාර වේල් පහක් පමණවත් ලබා දෙමින් ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුතුය. දරුවාගේ ආහාර වේල් සඳහා බිත්තර, හාල්මැස්සෝ, පළා වර්ග, එළවළු වර්ග එක්කරන්න. සැමවිටම නිවසේ පිරිසිදුව පිසින ලද ආහාර දරුවාට ලබා දිය යුතු අතරම දරුවා විජලනයට පත් වීම වළක්වා ගැනීමට හැකි තරම් දියර වර්ග (උණු කර නිවා ගත් ජලය, ජීවනී, පලතුරු යුෂ, බැදි හාල් කැඳ,) ලබා දීමත් අත්‍යවශ්‍ය බව සිහිතබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා

රිජ්වේ ආර්යා ළමා රෝහල

 

 

 


                

කොරෝනා රෝගියෙක් ගෙදර ඉන්නවා නම් අවුරුදු දෙකට වැඩි දරුවන්ට මාස්ක් අත්‍යවශ්‍යයි.

අද වෙන විට ලොව පුරාම පවතින මේ කොරෝනා වසංගතය හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම පත්ව සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකටයි. විශේෂයෙන්ම දිනකට දෙ‍දහසකට අධික වූ ප්‍රමාණයකින් ආසාදිතයන් අපේ රට තුළින් වර්තා වන නිසාම රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙනවා. එය ඉතාම අවදානම් තත්ත්වයක්. අද වන විට ලංකාව පුරා දරුවන් 45,000කට අධික සංඛ්‍යාවක් කොරෝනා උවදුරට ගොදුරු වී සිටිනවා. ඒ නිසාම දරුවන් කොරෝනා වෛරස ආසදනයට ගොදුරු වීම වළක්වා ගැනීමට, ආසාදිත දරුවෙක් රැක බලා ගැනීමට වගේම නිවසේ වැඩිහිටියෙක් ‍කොරෝනා අසාදිතයෙක් බවට පත් වූවොත් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න දැනුවත්ව සිටීම බොහෝ සෙයින් වැදගත් වනු ඇත. 

දිනකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන නිසාම රෝහල් ධාරිතාවය පිරී ගොස් අද වන විට සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස් තුළම කළමනාකරණය කරගැනීමට සිදුව ති‍‍‍බෙනවා. එය එසේ වුවත් සෑම නිවසකම කොරෝනා රෝගියෙකුට වෙන්ව සිටීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ නොවිය හැකියි. නිවස තුළ කොරෝනා ආසාදිත පුද්ගලයෙක් සිටිනවා නම් නිවසේ වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් සම්බන්ධව විශාල වගකීමක් මව්පියන්ට පැවරෙනවා. එය කෙසේ වුවත් පවතින තත්ත්වයට අනුගතව ජීවිතය ආරක්ෂා කරගැනීමට අපට සිදුව තිබෙනවා. 

ඔබේ නිවසේ කොරෝනා රෝගියෙකු ප්‍රතිකාර ලබනවා නම්,

  • නිවසේ දරුවන්ගෙන්/වැඩිහිටියන්ගෙන් වෙන්ව සිටිය යුතුය
  • ඔහු භාවිත කරන පිගන්/කෝප්ප සියල්ල වෙන්ව තැබිය යුතුය
  • ඇඳ ඇතිරිලි/තුවා ඇතුළු රෝගියා විසින් පරිහරණය කරනු ලබන සියලු දේ නිවසේ අනෙක් අයගෙන් වෙන් කළ තැබිය යුතුය
  • වෙනම නාන කාමරයක් ලබා දිය හැකි නම් වඩාත් සුදුසු වුවත් එම පහසුකම් නැතිනම් රෝගියාගේ පාවිච්චියෙන් පසු විෂබීජහරණය කළ යුතු අතරම ඒ සඳහා වුවත් ඇතුළු විය යුත්තේ ආසාදිත පුද්ගලයා භාවිතයෙන් විනාඩ් 15කට පමණ පසුය. මන්ද ආසාදිතයා හරහා වාතයට මුසු වූ බිදිති පහළට වැටීමට විනාඩි 15ක් පමණ ගත වන නිසාය. (මෙය රැකියා ස්ථානයේදී පොදු වැසිකිලි/නාන කාමර භාවිතයේදී වුවද සැලකිලිමත් විය යුතු විශේෂිත කරණකි)
  • වයස අවුරුදු දෙකට වැඩි සියලු දෙනාම මුඛ ආවරණ පැලදිය යුතුය
  • ආසාදිතයා සමග දුරස්ථභාවය තබා ගත යුතුය
  • නිවස තුළට හොදින් වාතාශ්‍රය/හිරු එළය ලැබෙන සේ දොර ජනෙල් විවෘතව තබන්න
  • නිසි පෝෂණය සපිරි ආහාර වේලක් ලබා දෙන්න
  • විවේකය ලබා ගැනීමට සලස්වන්න

අපේ දරුවෙක් කොරෝනා ආසාදිතයෙක් වුවහොත් වැඩිහිටියන් දෙමාපියන් ලෙස මූලිකව මානසිකව සන්සුන් වීම ඉතා වැදගත් වේ. වෛද්‍ය උපදෙස් අනුව යමින් නිසි උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක වුවහොත් ‍කොරෝනා ජය ගැනීමට අපට හැකිය. අද වන විට රෝහල්වල ඉඩකඩ ගැටලුව මත කොරෝනා වෛරස ආසාධිත දරුවන්ගෙන් සංකූලතා පෙන්නුම් කරන දරුවන් රෝහල් ගත කෙරෙන අතරම ආසාදිත එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන දරුවන් නිවෙස් තුළම තබා ගනිමින් රෝග තත්ත්වය කළමනාකරණය කිරීමට වෛද්‍යවරුන් මව්පියන්ට උපදෙස් ලබා‍ දෙයි. වැදගත්ම කරුණ වන්නේ මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගැනීමයි. රෝග ලක්ෂණ පෙන්නමු කළ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුළින් රෝගය ඇත්නම් එය හඳුනා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමෙන් සංකූලතා අවම කරගැනීමට හැකියාව උදා වෙනු ඇත.

කොරෝනා ආසාදිත දරුවෙකු පෙන්නුම් කළ හැකි ලක්ෂණ

  • උණ – උණ ගතිය දින 03 ක් යනතුරු පැවතිය හැකි අතරම වෛද්‍ය නිර්දේශයට අනුව බරට සරිලන පරිදි පැය හයෙන් හයට පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා දෙන්න, මද උණුසුම් වතුරින් දරුවාගේ කිහිලි, යටි පතුල් සහ නළල තෙතමාත්තු කරන්න.  
  • හිසරදය
  • සෙම්ප‍්‍රතිශ්‍යාව/සෙම ගතිය – දරුවාට යම් ස්වසන අපහසුතාවක් ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් පතන්න. ඇතැම් විට එක්ස් රේ පරීක්‍ෂණය සිදුකර අවශ්‍ය නම් කෘතිම ස්වසනය ලබාදීමට/ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත.
  • කැස්ස
  • බඩඑළිය යාම/පාචනය
  • ඇඟපත රුදාව

කුඩා දරුවන් තමාට ඇති අපහසුතා පිළිබඳව නිවැරදිව පැවසීමට සමත් නොවන අතරම යම් යම් අතුරු ආබාධ පැන නගී ද යන්න පිළිබඳව මව්පියන් සැමවිටම සැලකිලිමත් විය යුතුයි. කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් ඇති විය හැකි එවැනි තත්ත්ව ලෙස රුධිරයේ කැටි ගැසීම්, ස්වසන අපහසුතා මෙන්ම නිව්මෝනියා තත්ත්වය මත පෙනහලුවල ඇති විය හැකි බැක්ටීරායා ආසාධන වැනි තත්ත්වයන් ඇතැම් විට මව්පියන් වන ඔබටත් අවබෝධ කර ගත නොහැකි විය හැකියි. අන්න ඒ නිසාම දරුවා පෙන්නුම් කරන ලක්ෂණ මත නිසි සැලකිලිමත් බවින් සිටිමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසි කලට ලබා ගැනීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණකි. එවිටි රුධිර පරීක්ෂණ,එක්ස් රේ පරීක්ෂණ හරහා දරුවාගේ තත්ත්වය පිළිබඳව නිගමනය ‍‍කොට සිදුවිය යුතු ප්‍රතිකර්ම පිළිබඳව වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරනු ඇත. ස්වසන අපහසුතා, නොනවතින කැස්ස වැනි තත්ත්වයකදී ළඟම ඇති රජයේ රෝහලට දරුවා රැගෙන යා යුතුය.

වැඩිහිටියන් ලෙස ඔබ සිහි තබාගත යුතු තවත් වැදගත් කරුණත් වන්නේ ඔබ එන්නත ලබාගත් විගස ඔබේ සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැගීමක් සිදු නොවන බවයි. ඒ සඳහා යම් කාලයක් ගත වන අතරම මාත්‍රා දෙකම ලබාගෙන තිබීමද ඉතා වැදගත් වේ. එසේම ඔබ එන්නත ලබාගත්තද නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අතිශයින් වැදගත් වන‍්නේ එන්නත මගින් රෝගය බෝවීම සම්පූර්ණයෙන් වැළැක්වීමක් සිදු නොවන නිසාය. එන්නත විද්දත් රෝගය බෝවනවා නම් එය ලබා ගන්නේ කුමටදැයි ඔබට සිතෙනු ඇත. එමගින් ඔබ ආසාදනයට ලක් වුවහොත් තවත් කෙනෙකුට ඔබෙන් රෝගය බෝ වීමේ අවදානම මෙන්ම ඔබට ඇති වන සංකූලතාවන් අවම කරනු ඇත. එන්නත් ලබා ගැනීමේ තවත් එක් වාසියක් වන්නේ ජීවත අවදානම අවම කරගැනීමට හැකියාව ලැබීමයි.‍ 

ඇතැම් පිරිස් කොරෝනා වෛරසයට ගොදුරු වූ බව සඟවාගෙන සිටීමට උත්සාහ කිරීම නිසා රෝගය නිවෙස් තුළ සිටින වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද පැතිර යනවා. අන්න ඒ නිසාම ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයෙක් නම් පීසීආර් පරීක්ෂණයට යොමු වී ඔබේ මෙන්ම ඔබේ පවුලේ අයගේත් සමාජයේත් ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. පීසීආර් පරීක්ෂණයට යොමු වී ප්‍රතිඵලය ලැබෙන තුරු නිවසින් පිටව යාම හෝ පවුලේ අනෙක් පිරිස් සමග සමීපව රුඳී සිටීම නොකරන්න. අපි කොයි කාටත් මෙවැනි තත්ත්වයකිදී අප ගැන මෙන්ම සමාජය ගැනත් විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකරන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා

රිජ්වේ ආර්යා ළමා රෝහල

 

 


                

කොවිඩ් ආසාදිතයන් නිසාම හඳුන්වා දුන් 1904 කෙටි පණිවිඩ සේවාව

කොවිඩ් 19 වෙනුවෙන් වූ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග මේ වෙන විට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා මේ වෙන විට ආසාදිත වූ සෑම රෝගියෙකුටම  නේවාසිකව ප්‍රතිකාර ලබා දීම පිළිබඳ යම් යම් ගැටළු ඇති නිසා නිවෙස්වල සිට ප්‍රතිකාර ලබන රෝගීන් ගැනත් සෞඛ්‍ය පද්ධතියේ අවධානය යොමු වී තිබෙනවා.නමුත්….කොවිඩ් ආසාදිත රෝගියෙක් නිවසේ සිට ප්‍රතිකාර ලබන විට රෝගියාට වාසි කීපයක් තිබෙනවා.

  • හොදින් ආහාරපාන ලැබීම
  • වැසිකිලි කැසිකිලි පිලිබඳව ගැටලුවක් නොවීම.
  • නිවසේ සෙසු සාමාජිකයන් සිටින නිසා අවශ්‍ය පහසුකම් දුරස්ථව හෝ ලැබීම.
  • තමාට සුපුරුදු පරිසරය

මේ අන්දමින් වාසි තිබුනත් ආසාදිත රෝගියෙක් නිවසේ සිටියදී ඇති වෙන ගැටලු කීපයක්ද තිබෙනවා.

  • හදිසි සෞඛ්‍ය ප්‍රතිකාර නොමැති නිසා තමා අනාරක්ෂිත යැයි සිතීම.
  • රෝග තත්වය උත්සන්න වීමේ අවදානම ගැන මානසික ගැටුමකින් පසුවීම.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයෙක් හදිසියේ හෝ දැඩි රෝග තත්වයන්ට පත් විය හැකියි.

කොවිඩ් වෛරසයේ ආසාදනය නිසා පෙනහලුවල ගර්ත හෙවත් වා සිදුරු සංකෝචනය වීම නිසා වායතය හුවමාරු වීම හොඳාින් සිදු නොවන අවස්ථාවන් ඇති වෙන්න පුලුවනි. එවැනි අවස්තාවකදී රුධිරයේ ඔක්සිජන් මටට්ම පහළ බැසීම නිසා රෝගියාගේ ජීවිතයට පවා දැඩි අවදානමක් ඇති වීමට පුළුවන්. ඒ නිසා රුධිරයේ ඔක්සිජන් මටට්ම රෝග ආසාදිතයාගේ ජීවිතයේ තීරනාත්මක සාධකයක්.හෘදයවස්තුව, මොළය සහ පෙනහලු වැනි ප්‍රධාන අවයවයන්හි ක්‍රියාකාරිත්වයට රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය තීරනාත්මක සාධකයක්.

රුධිරයේ ඔක්සිජන් මටට්ම අඩු වෙන බව දැනගන්නේ කොහොමද…?

කොවිඩ් ආසාදිතව නිවසේ රැඳී ප්‍රතිකාර ලබන රෝගීන් විසින් මේ ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්. රුධිරගත ඔක්සිජන් පහළ බසින බැව් හඳාුනා ගත හැකි ලක්ෂණ කීපයක් තිබෙනවා. හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ් 19 රෝගයේ මූලික ලක්ෂනයක්ද…?

කොවිඩ් ආසාදිතව දින දෙක තුනක් අතර කාලයේදී පෙනහළුවල වෙනස්කම් ඇති වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති විය හැකියි.

  • විවේකව සිටින විට හෝ සුලු මන්සියකින් පවා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම.
  • තෙහෙට්ටු ගතිය ක්‍රමයෙන් වැඩි වීම
  • හුස්ම ගැනීමේ වේගය වැඩි වීම.
  • ව්‍යාකුලබව 
  • කැස්ස  සමග ලේ පිටවීම.
  • අධික වමනය සහ පාචනය

ඒ වගේම කොවිඩ් ආසාදිත රෝගියාට වැසිකිලි යෑමේදී පවා වෙහෙසකර බවක් දැනීම වගේම කැරකැවි්ලි ස්වභාවයක් ඇති වෙන්න පුලුවනි.මෙම වෛරසය නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ යන අතර ඇතැම් විට ක්ලාන්තගතිය සමග පපුවේ ගැස්ම වැඩි වීම මහ හෘදයාබාධයක් පවා ඇති වෙන අවදානමක් තිබෙනවා.මෙවැනි අපහසුතාවයක් ඇති වූ විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගියෙකු නම් වහාම ඔක්සිජන් සැපයුම ලබා දෙනවා. එහිදී රෝගියාගේ තත්වය අනුව ලබා දෙන ඔක්සිජන් ගැන තීරණය වෛද්‍යවරයා විසින් තීරණය කරනවා.

නිවසේ සිටින කොවිඩ් ආසාදිතයාට මෙම පහසුකම් ලබා දීම ගැටළුවක්…

රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ බැසීම නිසා “ Happy hypoxia “ තත්වයට පත් වෙන්න පුලුවනි.මෙවැනි රෝගීන්ට හැකි ඉක්මනින් රෝහල්ගත කිරීම අවශ්‍යයි.නමුත් නිවසේ සිටින රෝගියා හැකි ඉක්මනින් රෝහල්ගත වීම පහසු ක්‍රියාවලියක් නොවෙයි. ඒ වෙනුවෙන් පියවර ගණනාවක් අවශ්‍ය වෙනවා. කොටින්ම රෝහල්ගත වීමට වාහනයක් සොයා ගැනීමේ පටන් රෝගියා නේවාසික කරන තෙක්  සිදු වෙන මෙම ක්‍රියාවලිය හදිසි ප්‍රතිකාර අවශ්‍ය ආසාදිතයෙකුට දරා ගැනීම අපහසුයි.

ඔක්සිජන් අඩු වෙන බව දැන ගන්නේ කොහොමද…..?

රෝගියෙකුගේ රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රනය අඩු වෙන බව කල් තබා දැන ගැනීමෙන්  රෝගියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා.ඒ නිසා ඔබේ නිවසේ Pulse oximeter ක් තිබෙනවා නම් ඒ බව  ඔබටම මැන ගැනීමට හැකියාව තිබෙනවා. මෙම උපකරනයෙන් රුධිරයේ ඔක්සිජන් අගය ඉතාම පහසුවෙන් දැන ගැනීමට පුලුවනි. ඔබේ ඇඟිල්ල මේ උපාංඟයේ රඳවා ගත් විට පෙන්වන අගය 95 ට වැඩි නම් ඔබේ රුධිරයේ ඔක්සිජන් මට්ටම හොඳ අගයක තිබෙනවා. 94 ට වඩා අඩු අගයක් නම් තව දුරටත් මෙම මට්ටම පහළ බැසීමට යම්කිසි අවදානමක් ඇති නිසා අවදානයෙන් සිටීම ඉතාම වැදගත්. ඒ නිසා නිවසේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගියෙක් නම් පැය හතරකට වරක් හෝ ඡමකිැ දංසපැඑැර මගින් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ගැන දැන ගැනීම ඉතාම වැදගත්.ඔක්සිජන් සාන්ද්‍රනයේ අගය 92 ට වඩා අඩු නම් හැකි ඉක්මනින් රෝහල්ගත වීම අවශ්‍ය වෙනවා.

1904 පණිවිඩ සේවාව

නිවසේ රැඳී සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකුට ඉහත අංකය යටතේ ඕනෑම ජංගම දුරකථන          ජාලයකින් වුනත් කෙටි පණිවිඩයක් ලබා දෙන්න පුලුවනි. ඒ නිසා 1904 සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත රෝගියාට තමන්ගේ වර්තමාන රෝගි තත්වය ගැන ඉතාම පහසුවෙන් දැනුම් දීමට හැකියාවක් ලැබෙනවා.  ( දැනට මෙම සේවාව බස්නාහිර පලාතේ ක්‍රියාත්මක අතර ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්ක සමග සම්බන්ධ කිරීමට අදහස් කෙරේ. ) දවසේ පැය 24 මුළුල්ලේම 1904 දුරකථන සේවාව ක්‍රියාත්මකයි. මෙම අංකයට ලැබෙන කෙටි පණිවිඩ පහත දැක්වෙන පරිදි වර්ග කරනවා. 

හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වහා ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 

වහා ප්‍රතිකාර අවශ්‍ය නොමැති වුනත් රෝහල්ගත වීමේ අවශ්‍යතාවය සහිත

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්

මෙම යාන්ත්‍රනයේ ක්‍රියාත්මක වීම.

කෙටි පණිවිඩ ඔස්සේ  තොරතුරු ලබා දුන්  රෝගින්ට නැවතත් මෙම සේවාව මගින් දුරකථන ඇමතුම් ලබා දී ඔවුන්ගේ තත්වය ගැන විමසා සිටිනවා. මෙතැනදී රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවය අුැති රෝගීන් 1990 සුවසැරිය සේවාව ඔස්සේ රෝහල්ගත කිරීම සිදු වෙනවා. උපදෙස් අවශ්‍ය වන ආසාදිතයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමත් මෙම සේවාව මගින් සිදු කරනවා.

247 දුරකථන සේවාව

ඒ වගේම කොවිඩ් ආසාදිත රෝගියෙකුට ඕනෑම සාමාන්‍ය දුරකථනයකින් ඕනෑම සන්නිවේදන ජාලයකින් 247 අංකයට ඇමතුමක් ලබා දෙමින් තමන්ගේ රෝග තත්වය ගැන වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න  පුලුවනි. මෙම යාන්ත්‍රනයට වෛද්‍යවරුන් 300 ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 100 ක් පමණ සම්බන්ධයි.මේ අන්දමින් රෝගියාට තමන්ගේ රෝග තත්වය ගැන වෛද්‍ය උපදෙස් ලැබෙන විට තමන් සුරක්ෂිතයි යන හැඟීම ඇති වෙනවා. මේ අවස්ථාවේදී රෝගියාගේ මානසික සුවතාවත් ඉතාම වැදගත්. කොවිඩ් ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට තමාගේ රෝග තත්වය ගැන ඇති වෙන සංකුලතාවයන් ගැන ලැබෙන උපදෙස් ඉතාමත් වැදගත් . මේ සේවාව මගින් රෝගියාට අවශ්‍ය උපදෙස් ලැබෙනවා.

මේ සේවාව නිසාකොවිඩ් රෝගින් තුළ තමා සුරක්ෂිතය යන හැඟීම නිසාම මානසික සුවතාවය ඇති වීම. රෝග තත්වය උත්සන්න වීමේදී හෝ සංකුලතාවයන් හැකි ඉක්මනින් සුවපත් කර ගැනීමේ හැකියාව වගේම කොවිඩ් මරණයක් නොවී තව දුරටත් ජීවත්වීමේ වාසනාව ලැබෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා

වෛද්‍ය පීඨය

කොළඹ විශ්ව විද්‍යාලය

මහජන සෞඛ්‍ය පිලිබඳව ආසියානු පැසිපික් අධ්‍යන සංසදයේ උප සභාපති

 


                

ගර්භණීත්වය, ගර්භණී කාඩ්පත සහ රතු ලේබලය

කාන්තාවක් විසින් තමා ගැබ්ගත් පුවත දැනගැනීමත් සමග ඇගේ කුස පිලිසිඳගත් දරුවාගේ මෙන්ම තමාගේ නීරෝගිබව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීම සිදු වෙනවා. ඊටත් අමතරව ඇය තමා ජීවත්වෙන ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සායනයේ  ලියාපදිංචිය  ලබා ගැනීමත් ඉතා වැදගත්. පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ගර්භණී කාන්තාවකට ලබා ගත හැකි සේවාවන් රාශියක් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සායනයේදී ගර්භණී මවගේ පුර්ව ප්‍රසව සෞඛ්‍ය තත්වය, පසු ප්‍රසව සෞඛ්‍ය තත්වය වගේම දරුවා හදා වඩා ගැනීමට අවශ්‍ය උපදස් ලබා දෙනවා. 

පූර්ව ප්‍රසව සේවාවන්…

ගර්භණී මවක් වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සායනය වෙතින් උපදෙස් වගේම ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. ඒ අතර ගර්භණීත්වයේ යම් අවදානම් තත්වයක් හදුනා ගැනීමෙන් පසු එම අවදානම් තත්වය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙමින් නිරෝගී දරුවෙකු බිහි කිරීම සදහා මවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරනවා.

ඒ වගේම ගර්භණී මවක් ලෙසින් ඇගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පෝෂණය වෙනුවෙන් උපදෙස් ලබා දිම සහ ගර්භණී කාලයේදී කළ යුතු ව්‍යායාම වෙනුවෙන් දැණුවත් කිරීමත් පවුල් සෞඛ්‍ය සායනයකදී මවකට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. 

පසු ප්‍රසව අවස්ථාව වෙනුවෙන් ලබා දෙන උපදෙස්…

ගර්භණී කාන්තාවක් මව් පදවිය ලැබීමෙන් පසුවත් ඇය ගේ වගේම උපත ලද දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් හදා වඩා ගැනීම ගැන හෙවත් ”දෙමව්පියකරණය ” ගැන දැණුවත් කිරීම,  දරු ප්‍රසුතිය සමග ඇති වෙන ආසාදන, මව්කිරි දීමේ ගැටළු සහ පසු  ප්‍රසව මානසික ගැටළු හෙවත් විශාදය තත්වයට නිසා  නව ජන්ම දරුවා මෙන්ම මව ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීමත් වැදගත්.පසු ප්‍රසවයෙන් පසුව පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ගැනත් දැනුවත් වීමක් ලබා දෙනවා.

පරීක්ෂණ සිදු කිරීම

මෙම මධ්‍යස්ථානය මගින් මවගේ උස, බර පිළිබඳව සටහන් කිරීම මගින් නිරෝගි බර මටට්ම පවත්වා ගැනීමට ඇයට උපදෙස් ලැබෙනවා

  • මුලික රුධිර පරීක්ෂණ,  (රුධිර ඝනය පරික්ෂා කිරීම, රුධිරගත සීනි ,රක්තහීනතාවය හඳුනා ගැනිම, කළලය සඳහා බලපානු ලබන ලිංගාශ්‍රිත රෝග හඳුනා ගැනීම) 
  •  මුත්‍රා පරීක්ෂණ සිදු කිරීම
  • පෝෂණ සම්බන්ධ ගැටළු හඳුනා ගැනීම, දත් සහ මුඛ පරික්ෂා සිදු කිරීම
  • හෘද ඇතුළු වෙනත්  කායික,  මානසික සහ සමාජීය ගැටළු හඳුනා ගැනීම මෙම සායන වලදී සිදු කරනු ලබයි. එහිදී ගැටළු හඳුනා ගෙන ඉක්මනින්  ඒවාට පිළියම් යෙදීම සිදු කරනු ලබන අතර වැඩි දුර පරීක්ෂණ කිරීමට හෝ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්, ඒ සඳහා වෙනත් සායන හෝ රෝහල් වෙත යොමු කරනු ඇත.
  • අවශ්‍ය එන්නත් ලබා දීම ( පිටගැස්ම, කොවිඩ් )
  • ත්‍රිපෝෂ ලබා දීම.

ඖෂධ ලබා දීම

ගර්භණී මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් අවශ්‍ය විටමින්, කැල්සියම්, යකඩ වැනි ඖෂධ සායනය මගින් ලබා දීම.

ගර්භණී මවක් විවිධ අවස්ථාවන්හිදි අවදානම් විය හැකියි.

ගැබ්ගත් කාන්තාවක් එම අවස්ථාවේ පටන් දරුවා බිහි කිරීම සහ පසු ප්‍රසව අවධිය දක්වාම විවිධ අන්දමින් අවදානමට පත් විය හැකියි. එවැනි අවදානම් සාධක හදුනා ගෙන ඒ වෙනුවෙන් පුර්ව ආරක්ෂාව සලසා දීම පවුල් සෞඛ්‍ය සායනකයක් වෙතින් ලැබෙන විශේෂ වාසියක්.

ගර්භණීත්වයට පෙර පටන් පවතින අවදානම

  • මවගේ වයස අවුරුදු 19 ට අඩු වීම හෝ 35 ට වැඩි වීම.
  • ගර්භණී මව බෝනොවන රෝග හෙවත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්මාරය,
  •  රුධිරයේ රිසස් සාධක වැනි අවදානම් කාණ්ඩයකට අයත් වීම
  • මවගේ බර අඩුවීම වැඩිවීම, , උස අඩු වීම , රක්තහීනතාවය, වැනි තත්වයන්

පෙර ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව දරු ප්‍රසුතියක් සිදු කර ඇත්නම් ඒ අවස්ථාවේදී ඇගේ දරු ප්‍රසුතිය සමග ඇති වුන පෙර ප්‍රසව තත්වයන් ගැනත් සලකා බැලීම සිදු වෙනවා.

  • මීට පෙරාතුව ගැබ් ගත් අවස්ථාවන්හිදි සිදු වුන ගබ්සා වීම.
  • පෙර දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් සිදු වීම.
  • නොමේරූ දරු උපත්
  • මළ දරු උපත්.

වර්තමාන ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව අවදානම් කාණ්ඩයකට අයත් නොවී දරු ප්‍රසුතියක් සිදු කළත් මේ අවස්ථාවේදී ඇය යම් සංකුලතාවයකට පත්ව සිටින්නට හැකියි.

  • දරුවා පමණට වඩා විශාල වීම.
  • දරුවා පමණට වඩා කුඩා වීම
  • තට්ටමෙන් පිහිටිම.
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව, වැනි බෝ නොවන රෝගයකට ගොදුරු වීම
  • නිවුන් දරුවන් පිහිටීම.
  • ගර්භණි සමයේ ඇති වෙන රුධිර වහනය

පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ලැබෙන ගර්භණී කාඩ්පත 

ගර්භණී කාන්තාවක් අදාල පවුල් සෞඛ්‍ය සායනයේ ලියාපදිංචිය ලැබීමෙන් පසුව ඇයට කාඩ්පතක් ලබා දෙනවා. මේ කාඩ්පතේ අදාල කාන්තාවගේ සියලු විස්තර ඇතුලත් කරනු ලබනවා.

. මෙම ගර්භණී කාඩ්පතේ කුළුදුල් දරු ප්‍රසුතිය ලබන මවක් නම් නිල් ලේබලයක් අලවනවා. ප්‍රථම දරු ප්‍රසුතියේ වුනත් අවදානමක් ඇත්නම් නිල් ලේබලයට අමතරව එහි රතු ලේබලයක්ද අලවනවා.

රතු කියන්නේ අනතුරක් නොවේ…

මෙම රතු ලේබලයෙන් හැඟෙන්නේ ඔබේ දරු ප්‍රසුතිය අවදානම් බවක් නොවේ. නමුත් ඔබේ ඉතිහාසයේ ඇති යම් යම් රෝග තත්වයන් සහ ගර්භණිත්වය සමග ඇති යම් ගැටලු සහගත බවක් එයින් දන්වා තිබෙනවා. මේ නිසා ගර්භණී කාන්තාව පරීක්ෂා කරන තවත් වෛද්‍යවරයෙකුට හෝ දරු ප්‍රසුතියේදී රෝහල්ගත වීමෙන් පසුව ඇය පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම ඇගේ තත්වය ගැන වැඩි අවදානයක් යොමු කිරීම නිසා දරුවා ප්‍රසුත කිරීමේදී මවගේ සහ දරුවාගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමත් සිදු වෙනවා.

ගර්භණී කාඩ්පත ළඟ තබා ගන්න…

ගර්භණී මවක් විසින් මෙම ගර්භණී කාඩ්පත නිතරම තමා  සමීපයේ තබා ගැනීම වැදගත්.දරු ප්‍රසුතිය ආසන්න නොවුනත් යම් යම් ගැටළු ඇති වූ විට ඇගේ රෝග ඉතිහාසය මේ කාඩ්පතේ දක්වා තිබෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී කාඩ්පත රැගෙන යෑම ඉතාම වැදගත්. ඒ වගේම දරු ප්‍රසුතියට ආසන්න නොවුනත් ඔබ දුර ගමනක් හෝ  යන විටත් මේ කාඩ්පත රැගෙන යෑමට අමතක කරන්න එපා. හදිසියේ හෝ ඔබට පදිංචි ප්‍රදේශයෙන් බැහැර රෝහලක රෝහල්ගත වීමට සිදු වුනොත් ඔබේ වෛද්‍ය ඉතිහාසය මෙහි සටහන් වී තිබීම වඩාත් පහසුවක් වෙනු ඇති. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ ගාමිනී පෙරේරා මහතා

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

 

 


                

දරුවාට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද?

අම්මා තාත්තා මට ආදරේ නැහැ….මේ බොහෝ දරුවන්ගේ හිතේ ඇති වෙන මානසික තත්වයක්. ඒ වුනත් හැම මවක් පියෙක්ම තමන්ගේ දරුවාට පණටත් වඩා ආදරෙයි කිව්වොත් නිවරැදියි.නමුත් මෙතැන ඇති හිස්තැන කුමක්ද…? දෙමව්පියන්ගේ ආදරය දරුවාගේ හදවත ආමන්ත්‍රණය නොකිරීමයි.එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ මේ වැරැදි නිවරැදි කර ගන්නේ කොහොමද…?

දරුවාට දැනෙන්න ආදරය කරන්න…

ආදරය තිබෙන්නේ හිතේ බව ඇත්ත. ඒත් හිතේ තිබෙන ආදරය දරුවාට දැනීම ඉතාම වැදගත්.ඒ නිසා නිතරම දරුවාගේ මානසික නිරෝගිතාවය වෙනුවෙන් ඔබ දරුවාට ආදරය බව දැනෙන්න ඉඩ දෙන්න. දරුවා සමග කාලය ගත කරන්න, සෙල්ලම් කරන්න. සිප වැළඳ ගන්න.

පුංචි වුනත් ගෞරවය වැදගත්…

දරුවා පුංචි වුනත් ඔවුන්ටත් ආත්ම ගරුත්වයක් තිබෙන බව අමතක කරන්න එපා. බොහෝ දෙමව්පියන් විසින් නොදැන කරන මේ කටයුතු නිසා දරුවා මානසිකව බිඳ වැටෙනවා. දරුවාට යම් ගරුත්වයක් පවුල තුලින්ම ගොඩ නැගෙන්න ඕන. ඔබ නිතරම දරුවා නිගරුවට පත් කරනවා නම් අම්මා…තාත්තා මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතේ නොදැනීම ගොඩ නැගෙනවා. එය නැවත ගොඩ නැගීමත් එතරම් පහසු නැහැ.

සහයෝගය දෙන්න..

දරුවාගේ වයස සහ ඔබේ වයස අතර ලොකු පරතරයක් තිබෙන බව ඇත්ත. නමුත් දරුවාගේ කටයුතු නිසා විටෙක ඔබ දරුවාගේ තැනට පත් වීම වැදගත්. ඒ අන්දමින් දරුවාගේ කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වීම ඉතාම වැදගත්. අපේ අම්මා…තාත්තා..මා සමග සිටින්නේ මට ආදරේ නිසා බැව් දරුවා එවිට ඒත්තු ගන්නවා. එය ඉතාම සුබවාදී  තත්වයක්.එතැනින් ඔබ්බට දෙමව්පියන් මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතට ඇති වෙන්නේ නැහැ.

දරුවාට ශක්තියක් වෙන්න…

දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවාට ශක්තියක් වීම වැදගත්. ඔවුන්ගේ ජයග්‍රහණවලදී සතුටු වීම වගේම පරාජයන් ඉදිරියේදී ඔවුන්ට වැටෙන්නට ඉඩ නොදී රැකගැනීම ඉතාම වැදගත්. පරාජය දරා ගැනීම දරුවාට අපහසුයි.

නමුත් අද බොහෝ විට සිදුවන්නේ දරුවන්ගේ පරාජයන් ඉදිරියේදී ඔවුන්ටත් පෙරාතුව දෙමව්පියන් මානසික වැටෙන නිසා දරුවන් වෙනුවෙන් ශක්තියක් ඇති කිරීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ.

දොස් නැගීම පලක් නැත..

දරුවන් බොහෝ විට ඔබ අකමැති දේ කිරීම සාමාන්‍ය තත්වයක්. ඔබේ ප්‍රතිචාර නිසා දරුවා සහ ඔබ අතර පවත්නා ආදර බන්ධනය පවා දුරස් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මනෝවිද්‍යත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්.විටෙක ඔබේ අවධානය දිනා ගැනීමට අවශ්‍ය වූ විටත් දරුවා විවිධ හැසිරීම් වෙත යොමු වෙන අවස්ථාවන් තිබෙනවා.එවන් අවස්ථාවලදී අනවශ්‍ය ලෙසින් කෝප ගන්න එපා.

අම්මා පුතාට ආදරෙයි…පුතා අම්මට ආදරෙයි නම් අම්මා එපා කියන දේවල් කරන්නේ නැහැ..ආදි ලෙසින් දරුවාගේ හදවතට සමීප වෙන්න.

ප්‍රසිද්ධියේ සමච්චල් එපා..

ඇතැම් දෙමව්පියන්ට දරුවන්ගේ අඩු පාඩු දුර්වලකම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් විනෝදයක් ලබා ගැනීමේ දුර්වල මානසිකත්වයක් තිබෙනවා. ඔබ නොදැන කරන මේ කටයුත්ත දරුවාට යම් පිඩාකාරි තත්වයක් ඇති වීමට පුලුවනි.විකෙ දරුවාගේ ගොත ගැසීමක්…එහෙම නැත්නම් දරුවා කලුවරට…සතුන්ට දක්වන බිය ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කිරීම එතරම් සුදුසු නැහැ.

සසඳන්නත් එපා…

ඔබේ දරුවාගේ වයසට සාපේක්ෂව බලන විට සෙසු දරුවන්ට වඩා ඔබේ දරුවා ඉතාමත් දුර්වලයෙක් ලෙසින් ඔබට හිතෙනු ඇති. නමුත් එවැනි උපකල්පන ගොඩ නගා ගැනීම කොහෙත්ම නොකල යුතුය. ඔබට සාපේක්ෂව තවත් අයෙකු ගැන හිතන්න. ඔවුන් ඔබට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු ඇති.දරුවාත් ඊටම සමාන බව හිතන්න. ඒ නිසා වෙන දරුවන් සමග සසදමින් ඔබේ දරුවාගේ ආත්ම අභිමානය බිඳ දැමීම කිසිදු ලෙසින් කළ යුත්තක් නොවේ.

ප්‍රශංසාවටත් කැමැතියි…

දරුවන් ප්‍රශංසා ලබන්න කැමැති කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අගයන්න. ඒවාට ප්‍රශංසා කරන්න. දරුවා විසින් නිවස අතුගා ඇත. ඒත් බොහෝ අඩුපාඩු ඒ අතර තිබුනත් මුලින්ම අඩුපාඩු ගැන ඇගිල්ල දිගු කරන්න එපා. දරුවා විසින් කළ දේ ගැන අගයන්න. දරුවාගේ හිතේ සතුට එතැනයි.එතැනින් පසුව අඩු පාඩු කියා දෙන්න. පුතා අනිත් දවසේ අතුගාන කොටකෛාස්ස දාලා ඇඳ ඇතුලේ කුණු ටිකත් පිටතට ගන්න…පුතා ලස්සනට අතුගාලා…අම්මට හරි සතුටුයි…මේ විදිහට දරුවා අගයන්න.

පුංචි වුනත් පුංචි තීරණ ගැන අහන්න..

ඔබේ පුංචි දරුවා හැමදාම අම්මට තාත්තට පොඩිත්තෙක්. ඒ නිසා හය හතර නොතේරෙන පොඩි පැටියාගෙන් තීන්දු තීරණ ගැනීම ගැන විමසීම අවශ්‍ය නැතැයි ඔබ සිතනු ඇති.ඊටත් ඔවුන්ට ඒ ගැන දැනුමක්, තේරුමක් නැතැයි ඔබ විසින්ම උපකල්පනය කරනු ඇති.

නමුත්…පවුලේ යම් තීරණයක් ගැනීමේදී දරුවාගෙන් විමසන්න. ඒ ගැන එතරම් වෙහෙසෙන්න එපා. දවල් ආහාරය සූදානම් කරන විට අද මොනවද උයන්නේ…මෙන්න ගෙදර තියෙන එලවලු..පුතා තෝරන්න අද අපි මොනවද දවල්ට උයන්නේ..

මෙතැනදී දරුවා ගොටුකොළ සහ මුකුණුවැන්න යන දෙකම තෝරා ගත්තා යැයි සිතමුකෝ..එවැනි අවස්ථාවකදී පුතේ මේ දෙකම මැල්ලුම්.ඒ නිසා මෙතැනින් එකක් ගනිමු. දැන් මේ දෙකෙන් එකක් තෝරන්න…

මේ අන්දමින් තිරණ ගැනිමේදී දරුවා සම්බන්ධ කර ගත් විට මමත් වැදගත් චරිතයක්…මට මේ විදිහට අම්මා තාත්තා වැදගත් කමක් දෙන්නේ මට තියෙන ආදරය නිසානේ…යන ආත්ම තෘප්තිය හිතේ ගොඩ නැගෙනු ඇත.එයින් පෙනේනේ ඔබ දරුවාට දැනෙන්න ආදරය කරන මවක්…පියෙක් බවයි.