ඉතිරි වෙන දෙයින් ප්‍රයෝජන ගන්න

පවුලේ අම්මා වුනොත් තමන්ගේ නිවසේ සිටින අයට ප්‍රමාණවත් විදිහට බත් , ව්‍යංජන පිළියෙල කර ගැනීමට දැන ගෙන ඉන්නවා නම් බොහොම අරපිරිමැසුම්දායකයි. ඒත් සමහර අයට අමුද්‍රව්‍ය සහ කලමනාවන් හරියට ගණනක් මිමිමක් නැති නිසා අපතේ යෑම් වැඩියි.එහෙමනම් අපතේ යෑමක් නැතුව මුලුතැන්ගෙයි වැඩ කටයුතු කර ගන්නේ කොහොමද…?

නිවසේ සංඛ්‍යාව

නිවසේ සිටින සංඛ්‍යාව අනුව ඔබ වේලට ගන්නා හාල් ටික ගැන දැණුවත්ව සිටීම ඉතාම වැදගත්.උදාහරණයක් විදිහහට දැනට නම් අනුමතව තිබෙන්නේ හාල් කිලෝවක් හය දෙනෙකුටයි. හැබැයි ඒ ප්‍රමාණවත්ව වැඩුන පුද්ගලයන් සිටින තැනකටයි.ඔබේ නිවසේ සිටින්නේ කුඩා දරුවන් නම් ඔය කියන මිම්ම වෙනස් වෙන්න පුලුවන්. ඊටත් දැන් ඉස්සර වගේ නොවෙයි, බොහෝ නිවෙස්වල රයිස් කුකරයෙන් බත පිසින නිසා මිම්ම ගැනීමත් පහසුයි. හාල් කෝප්ප තුනකින් ඉතිරි වෙනවා නම් අනිත් දවසට කෝප්ප දෙකක් හෝ දෙකහමාරක් ගන්න.ඒ වගේම සමහර විට මේ ප්‍රමාණය මදි හෝ වැඩි වෙනවා නම් තව මිටක් අඩු කරන්න හෝ මිටක් එකතු කරන්න පුලුවනි.

ඉතිරි වුනොත්…

හරියටම හාල් ඇටයක්වත් නැතුව නම් බත් ටික පිසින්න  බැරි වෙන්න පුලුවනි.එහෙම වුනොත් ඒ බත් ටික අනවශ්‍ය විදිහට එළියේ තියන්න එපා.ආහාර අරගෙන අවසාන වූ පසුව ශිතකරණයට දාන බත් ටික පහුවදා පිසින මත උඩින් තියන්න. එහෙම නැත්නම් වෙනම ස්ටීම් කර ගෙන මුලින්ම ආහාරයට ගන්නත් පුලුවන්. මේ විදිහට කලවම් කරනවා නම් මුලින්ම එකතු කරන බත් පාවිච්චියට ගැනීම වැදගත්.

තවත් ක්‍රමයක්

ඉතිරි බත් ටික වෙනම ස්ටීම් කරන්නග දැන් කැරට් අලයක්, බෝංචි කරල් දෙකක්, ලික්ස් ගසක කොළ පැහැති කොටස ආදිය හීනිවට කපා ගෙන, බටර් ටිකකින් මේ දේවල් තෙම්පරාදු කරන්න. දැන් බත් ටිකත් මේ එළවලු මිශ්‍රණයට දාලා බිත්තරයක් ගසා ගෙන එයට එක් කරන්න. රසවත් බතක් සකස් කර ගන්න පුලුවනි.

අනපේක්ෂිත විදිහට ඉතිරි වුනොත්…

මොනතරම් ගණන් මිම්මක් ඇතුව කළත් අනවශ්‍ය විදිහට බත් ඉතිරි වුනොත් කරන්නත් දෙයක් තිබෙන්න එපායැ. එහෙම වුනොත් මේ බත් ටික හොඳින් තුනී වෙන විදිහට වට්ටියක අතුරලා වේලා ගන්න. බත් වේලුනාට පසුව සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරා තබන්න. එතැනින් පසුව තේ වේලාවට වියලා ගත් බත් ටික බදින්න.දැන් මෙය සිහින්ව අඹරා ගන්න. සීනි උනුකරලා එයට පොල් සහ පිටි කළ බත්  එකතුකරගෙන අග්ගලා හදා ගන්න පුලුවන්.

ඉදිආප්ප ඉතිරි වුනාමත් හොදින් වහලා ශීතකරණයේ තබා ගත් විට පසුදා උදේට ස්ටීම් කර ගෙන ආහාරයට ගන්න. ඒ වගේම ඉදිආප්ප වුනත් වියලා ගෙන එයින් පසුව තෙලෙන් බැදලා උනු පැණි දවටා ආහාරයට ගැනීමට පුලුවනි.

එළවළු වුනත් අපතේ එපා..

හාල් වලට නම් මිම්මක් හදා ගන්න පුලුවනි. එළවලුවලට..? පුංචි ප්‍රශ්නයක්ඇති වේවි. ඉතින් එකම උත්තරයයි..අතේ මිම්ම..

  • අතේ මිම්ම කොහොමද ගන්නේ…?බලමු 

එක එක එලවළුවට නිවසේ අයගේ කැමැත්ත වෙනස්. බෝංචි වගේ එළවලුවක් තෝරා ගනිද්දී එක් අයෙකුට බෝංචි කරල් ගණනක් විදිහට මිම්මක් හදා ගන්න පුලුවනි.

අල ගෙඩියකින් වුනත් ගෙඩියේ ප්‍රමාණයට අවශ්‍ යගෙඩි ගණන තෝරා ගන්න අපහසුවක් නැහැ.

සමහර එලවලු වර්ග පිස අවසාන වුනාම අස්වැන්න අඩු වෙනවා. උදාහරණයක් විදිහට ,ලීක්ස්, කතුරුමුරංගා මල් පිස ගත් විට අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා ගෘහනියක් විදිහට තින්දු තීරණ තමන්ට අයිතියි.ඉවුම් පිහුම් කර ගෙන යද්දී මේ හැකියාව නොදැනීම ඔබටම දැනේවි. හැබැයි ඒ අත්දැකීම ඔබම උපයා ගන්නත් ඕන.

ඉතුරු කලමනා මිශ්‍ර  කරන්න…

සමහර විට ඔබේ නිවසේ ගෙනා එළවලුවලින් යම් යම් දේ ඉතුරුව තිබෙන්න පුළුවනි. උදාහරණයක් විදිහට බෝංචි කරල් දෙක තුනක්, කැරට් අලයක් වැනි ප්‍රමාණයක් එක වේලක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන්න පුලුවනි. එවැනි අවස්ථාවක සුප් හෝ නූඩ්ල්ස් වැනි ආහාරයක් සදහා මේ ඉතුරු එලවලු යොදා ගැනීමට හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් අල, කැරටි සහ බෝංචි වැනි එළවලු එකට මිහ්‍ර කර ගෙන සකස් කරන්න පුලුවන්.ඒ පිරිමැස්ම නිසා ආහාරයේ රසය, විවිධත්වය යන දෙකම ඔබට ලැබෙනවා.

උදේ ආහාරයෙන් ඉතුරුව ඇත්නම්…

සූදානම් කළ උදේ ආහාරය ඉතිරිව ඇත්නම් එය එදින රාත්‍රි ආහාරය වෙනුවෙන් සැලසුම් කරන්න. උදාහරණයක් ලෙස උදේ ආහාරයට ගත් පාන් වැඩි කොටසක් ඉතිරිව ඇත්නම් එදින රාත්‍රි ආහාර වේලත් පාන්වලින් සකස් කරන්න. වෙනසක් වීම සදහා උදේ ආහාරයට නොතිබුන සුප් එකක් රාත්‍රියට සූදානම් කර ගන්න. ඒ වගේම ආප්ප වෙනුවෙන් සකස් කළ මිහ්‍රණය ඉතිරිව තිබෙනවා නම් එදින රාත්‍රියටත් ආප්ප සූදානම් කරන්න. දැන් ශීතකරණයක් හැම නිවසකම ඇති නිසා මිශ්‍රනයේ ඉතිරි කොටස එහි තබන්න.

බොහෝ දෙනාගෙන් සිදු වෙන එක් වරදක් තබනවා. ඔවුන් ඉතිරි යමක් වේ නම් එය ශීතකරනයේ තබා දින ගණනාවකින් පසුව ඉවත දමනවා. ශීතකරනයේ වුනත් තබා ගත හැකි කාලයක් තිබෙනවා. අනවශය ලෙසින් ශීතකරනයේ තැබීමෙන් ගුනාත්මක බවටත් හානි වෙන්න පුලුවන් නිසා එදින රාත්‍රියට ආහාරය වෙනුවෙන් උදේ ඉතිරි කොටස සමග ගලපා මදි ප්‍රමාණය සූදානම් කර ගන්න.

 

ආසාත්මිකතාවය- Allergy

ආසාත්මිකතාවය එහෙම නැත්නම් අප අතර හුරු පුරුදු ඉංග්‍රිසි වචනයෙන් කියනවා නම් Allergy ඇති වෙන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.

ආසාත්මිකතාවයන් ඇති කරන ප්‍රධාන හේතු

  • ආහාර
  • ඖෂධ
  • කෘමින්
  • පරිසරය

 ආසාත්මිකතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතූන් නිසා ආසාත්මිකතාවයන් ඇති වෙනවා.උදාහරණයක් විදිහට තක්කාලි  ආහාරයට ගත්තාම එක් අයෙකුට එයින් අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. නමුත් හැම කෙනෙකුටම තක්කාලි නිසා අපහසුතාවයන් ඇති වෙන්නේ නැහැ.ඒ වගේම තක්කාලි ආහාරයට ගන්නා හැම අවස්ථාවකදීම කුමන හෝ  රෝග ලක්ෂණ ඇති වුනොත් ඒ තත්වය පහසුවෙන්ම ආසාත්මිකතාවයක් විදිහට අපට හඳුන්වන්න පුලුවනි.

ආසාත්මිකතාවය ඇති වෙන්නේ…

අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරක වලට ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරනය වුනාම ඊට විරුද්ධව ප්‍රතිශක්තිය පද්ධතිය මගින් ඉමියුග්ලෝබින් ^ IgE& ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා.  මෙම ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහළ කරන්නේ නැතුව basophil සෛල සමග  සම්බන්ධ වී තිබෙන්න පුලුවන්.  මේ සෛල ඇතුලත ගබඩා වී   හිස්ටමින් preformed mediator   මුදාහරින විට ආසාත්මික  රෝග ලක්ෂණ පහළ වෙනවා. මීට අමතරව basophil හා Mast සෛල වලට අලුතින් ක්‍රියාකාරී වුන preformmediators රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්වය උත්සන්න කරන්නත් පුලුවන්.  

ආසාත්මිකතාවය කාලය සමග සම්බන්ධයි…

ආසාත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි. උදාහරණයක් විදිහට යම් හේතුවකට නිරාවරණය වීමෙන් පසුව තත්පර ගණනක සිට පැය දෙකක් වැනි කාලපරාසයකදී රෝග ලක්ෂණ ඇති වෙනවාග මේ නිසා ආසාත්මිකතාවයක් ගැන පැමිණිලි කරන රෝගියෙකුගේ රෝග තත්වය නිශ්චය කිරීමට ආසාත්මිකතාවයට තුඩු දුන් හේතුව ( රෝගියා ආසන්නව ලබා ගත් ආහාර, ඖෂධ වැනි ) සහ කාලය ගැන සලකා බැලීම සිදු වෙනවා.

ආහාර සහ ඖෂධ වැනි හේතූන් නිසා රෝගී වුන අවස්ථාවකදී කාලය ගැන සලකා බැලුවත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකදී  නම් කාලය ගැන සලකා බැලීම අපහසුයි. ඊට හේතුව මෙතැනදී ශ්වසන පද්ධතියට රෝගකාරකයන් ඇතුළු වූ කාලය ගැන අපට යම් නිවරැදි අනුමානයක් ගොඩ නගා ගැනීම අපහසු වීමයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකට උදාහරණයක් පාන්දරින්ම නිවසින් පිටට යද්දී කිවිසුම්යෑම, සොටු දියර ගැලීම වැනි තත්වයක් ඇති වෙන්න පුලුවන්. මෙහිදී විශේෂයෙන් උදේ කාලයට උෂ්ණත්වය අඩු නිසා පරාග ඝනත්වය වැඩියි. ඉර අව්ව සමග සිදු වෙන වාෂ්පීකරණය නිසා පරාග ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා රෝග දහවල් වෙන විට රෝග ලක්ෂණ අඩුවෙනවා.

1.ආහාරවලට ආසාත්මිකතාවයන් ඇති වීම.

ඕනෑම අයෙකුට ඕනෑම ආහාරයකට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විදේශ රටවල ආහාර ආසාත්මිකතාවය ප්‍රධාන වශයෙන් කිරි, පාන්පිටි , සෝයා රටකජු වැනි ආහාර සමග සම්බන්ධයි. අපේ රටේ රකජු සම්බන්ධව එතරම් පැමිනිලි නැහැ. නමුත් එළකිරි,ක්ෂිරපායී සත්ව මාංශ , සත්ව කිරි නිෂ්පාදන වෙනුවෙන් ආසාත්මිකතාවයන් දැක්වීම සාමාන්‍යයෙන් තිබෙන තත්වයක්

2.ඖෂධ

බොහෝ විට ප්‍රතිජීවක  වෙනුවෙන් ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ සම්බන්ධයෙන්  ආසාත්මිකතාවයන් ගැන රෝගීන්ගෙන් පැමිණිළි ලැබෙනවා. ඇස්ප්‍රින් වැනි වේදනා නාශක ඖෂධ වලටත් බොහෝ දෙනෙකු  ආසාත්මිතකාවයන් දක්වනවා.

3.කෘමි සත්තු

මීමැස්සන්, දෙබරු, බඹරුන්, කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයන් ඇති වෙනවා. මෙය අපේ රටේ ඉතාම තරමක් සුලබ තත්වයක්. මෙහිදී එක බඹරෙකුගේ දෂ්ටනයෙන් වුනත් දරුණු ආසාත්මිකතාවයන් ඇති වීමට පුළුවන්. මෙය බඹරුන් රැසක් දෂ්ට කළ විට ඇති වෙන විෂ ශරීරගත වීමට වඩා වෙනස්.කෘමිසතුන්ගේ දෂ්ටනයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත් වෙනවා. 

4.පරිසරය

පරිසරය ගැන සඳහන් කරන විට  නිවස තුළ  සහ පිටත විදිහට පරිසරය කොටස් දෙකකට  සලකන්න පුලුවනි.

අභ්‍යන්තර පරිසරයේදී දූවිලි කීටයා (house dust mite) ආසාත්මිකතාවයන් ඇති කරන හේතුකාරකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි. මේ දූවිලි කීටයා නවා තිබෙන රෙදි, ඇඳ ඇතිරිලි, කොටට් උර වැනි ස්ථානයයන්හි බහුලව සිටිනවා. ආසාත්මිකතාවයන් ඇති අයට  නැගිටින විට රෝග ලක්ෂණ වැඩියි.නිවසෙන් පිටව ගියාම රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒ වගේම නිවැසි බල්ලන්, බළලුන් වැනි සතුන්ගේ ලොම් නිසාත් ආසාත්මිකතාවයන් ඇති වෙනවා.

බාහිර පරිසරයේදී නිවස අවට ඇති මල් රේණු , පරාග, සතුන් , ආදී තත්වයන් ආසාත්මිකතාවයට හේතු විදිහට පෙන්වා දෙන්න පුලුවන්.වාහන දුම නිසා ආසාත්මිකතාවයට වඩා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ ඇති වෙන වෙනස්කම් වැඩියි.  

රබර් මිශ්‍ර පාවහන්, ඔරලෝසු පටි වැනි දේ වෙනුවෙන් ඇති වෙන ආසාත්මිකතාවයන් ඇති වෙන්නේ ඉමියුග්ලෝබින් “ ඊ’ ක්‍රියාකාරිත්වය නිසා නොවෙයි. ඒ තත්වය ඇති වෙන්නේ “zzT ZZ ” සෛල ක්‍රියාකාරිත්වය නිසයි. ඒ නිසා එවැනි රෝග ලක්ෂණ සලකා බලන්නේ මීට වඩා වෙනස් අයුරින් .

ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ

  • සම,මුඛය, කණ වැනි විවිධ ස්ථානයන්හි ඇති වෙන  කැසීම

සමේ පලු මතුවීම (කරප්පං වැනි )- නමුත් සමේ වෙනස්වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙනුත් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා හමේ ඇති වෙන වෙනස්වීම් ආසාත්මිකතාවයම කියන්න බැරි වුනත් ආසාත්මිකතාවය ඇති අයගෙන්  90% ක් පමණ පලු මතුවීම සිදු වෙනවා.  සම රතුවීම- ඇස් වටා, කණ් ආදී ස්ථානයන්හි රතු පැහැ ගැනීම.

  • ශ්වසන අපහසුතාවයන් හුස්ම ගැනීමේ අපහසුතාවය, කිවිසුම් යෑම ඇදුම, වැනි
  • ඇස් රතු වීම සහ කැසීම

ආසාත්මිකතාවයේ දරුණු තත්වය- Anaphylaxis

දරුණු මාරාන්තික ආසාත්මිකතාවය Anaphylaxis යනුවෙන් හැ‍්ින්වෙනවා.. මේ උග්‍ර තත්වය මාරාන්තිකයි. සමේ ඇති වෙන රෝග ලක්ෂණයන්ට  අමතරව 

  • හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම
  • දිව, තොල් ,උගුර ඉදිමීම නිසා ඇති වෙන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාවය 
  • රුධිර පීඩනය අඩු වීම
  • මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය,කල්පනාව අඩු වීම.
  • තද උදර වේදනාව -( Colics)
  • නොනවත්තාම ඇති වෙන වමනය, 
  • මලපහ පිටවීම.

මෙලෙස ශරීරයේ ඉන්ද්‍රියයන්  දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුනොත් එය මාරාන්තික මාරාන්තික ආසාත්මිකතාවය යනුවෙන් හැඳින්වෙනවා.

ආසාත්මිකතාවය නිශ්චය කරන්නේ කොහොමද…?

  • රෝග ඉතිහාසය 

රෝගියාගේ දැනීමේ හැටියට මට ඇලජි එකක් කිව්වත් සමහර විට මේ තත්වය ඊට වෙනස් වීමට පුළුවනි. ඒ නිසා රෝගියාගේ ඉතිහාසය ගැන ලබා ගන්නා විස්තර ඉතාම වැදගත්.

  • සමේ පරීක්ෂාව 

මෙහිදි රෝගියා ආසාත්මිකතාවය දක්වන ආහාර හෝ ඖෂධ යම් මාත්‍රාවක් සමට ඇතුලු කරනවා. ඊට පසුව විනාඩි 15 කින් පසුව ප්‍රතිචාර ගැන වාර්තාව ලබා ගන්න පුලුවනි. සමේ පරීක්ෂාවට සමගාමීව පාලක පරීක්ෂාවන් දෙකක් සිදු කරනවා.

 ( අ) Positive control

හෙිදී අපි “හිස්ටමින් ” පාවිච්චි කරනවා.අදාල පරීක්ෂනයට සති කීපයක පටන් රෝගියාට ලබා දෙන ප්‍රති- හිස්ටමින් කාණ්ඩයේ ඖෂධ නවත්වනවා. මෙය රෝගියා නිසි ලෙස කර නැත්නම් මෙමගින් හඳුනා ගත හැකියි.

( ආ) Negaitive control

ඇතැම් පුද්ගලයන්ගේ සම සංවේදී නිසා සමේ වෙනස්වීම් වෙන්න පුලුවන්. සේලයින් යොදා ගෙන සංවේදී බව හඳුනා ගන්නවා.

හමේ ගැටළු ඇති අයට , ප්‍රති ආසාත්මික ඖෂධ නැවැත්වීමට නොහැකි රෝගීන් වෙනුවෙන් නම් රුධිර පරීක්ෂාවට යොමු වීමට සිදු වෙනවා.

  • රුධිරයේ ඇති ප්‍රතිදේහ පරීක්ෂාව 

ආසාත්මික කාරක  උපයෝගී කර ගෙන රුධිර පරීක්ෂාව කර හැකියි.

ආසාත්මික රෝග තත්වයට ප්‍රතිකාර…

කෙසේ වුනත් ආසාත්මිකතා රෝග තත්වයන් ඇති වුනොත් වහාම .ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනෑම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. 

රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතාම වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතාවය තවත් නරක අතට හැරෙනවා පමණක් නොවෙයි, ජීවිත හානියට පවා ඉඩ තිබෙනවා.ඒ නිසා රෝගියා හැකිතාක් විවේකීව වගේම සන්සුන්ව තබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නොවුනොත් හෘදයාබාධ තත්වය වැනි අතුරු අවදානම් තත්වයටත් ඉඩ තිබෙනවා.

ඒ නිසාම ආසාත්මිකතාවයන් ඇති අයෙකු සිටිනවා නම් ඒ වෙනුවෙන් පවුලේ අය තුළ  සැලසුමක් තිබෙන්න ඕන. 

මාරාන්තික ආසාත්මිකතාවය වෙනුවෙන්  දැන් හඳාුන්වා දී තිබෙන ඇඩ්රිනලින් ස්වයං නික්ෂේපනය මගින් මාරාන්තික තත්වයේ ආසාත්මිකතාවයකදී ජීවිත ආරක්ෂාව ලබා ගත හැකියි. 

  • ඇඩ්රිනලින් පෙන් Adrenaline pen

මෙය සාමාන්‍යයෙන් රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම එය නික්ෂේපනය කළ යුතු අවස්ථාව සහ එය නික්ෂේපනය කරන ආකාරය ගැනත් දැණුවත්ව සිටීම අවශ්‍යයි. එවිට මාරාන්තික තත්වයෙන් මිදෙන්න පුලුවන්.. මෙය භාවිතා කර රෝගියා සුව අතට හැරුනත් රෝහලට ගෙන ඒම වැදගත්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය

 

 

 


                

තරුණ දරුවන් කිසිදු විටෙක පවුලෙන් දුරස් කරන්න එපා.

අපේ පුතා කාමරයෙන් එළියට එන්නේ නැහැ. දවසට අපිත් එක්ක වචන දෙක තුනක්වත් කතා කරන්නේ නැහැ. එනවා….කනවා.කාමරයට යනවා…

අද කාලයේ බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මේ වගේ ගැටලු ඇති. අද කාලයේ පවතින අධ්‍යාපන රටාව හෙවත් මාර්ගගත අධ්‍යාපනය නිසා දරුවන්ට මේ තත්වය තවත් සාධාරණ වුණා. කොටින්ම කිව්වොත් පනින රිලවුන්ට ඉනි මං තැබුවා වගේ මාර්ගයක් හැදුනත් මේ ජීවන රටාව දරුවන් සම්බන්ධයෙන් එතරම් සුදුසු නම් නැහැ. ඒ වෙනුවෙනුත් බලපාන හේතු කීපයක් තිබෙනවා.

දරුවා පවුලෙන් දුරස් වීම…

කාලයත් සමග දෙමව්පියන් සහ දරුවන් අතර පුංචි කාලයේ පැවැති දැඩි සම්බන්ධතාවය දුරස් වෙනවා. ඉස්සර වගේ කවන්න පොවන්න අවශ්‍ය නැහැ.පාසල් වැඩ කටයුතු වුනත් දරුවන් තනියම කර ගන්න තැනට පත්ව සිටිනවා. ඒ වුනත් දරුවා සහ පවුල අතර පවතින සම්බන්ධතාවය දුරස් වීම කොහොත්ම අනුමත කරන්න බැහැ.මාර්ගගත පාඩම් කියමින් දරුවා පවුලෙන් විතැන් වීම නිසා ඇති වෙන ගැටළු ගැනත් දැනගෙන සිටීම  දෙමව්පියන්ට වැදගත්. දරුවා දුරස් වීමේ ප්‍රතිවිපාක බොහොමයක් තිබෙනවා.

දරුවා මානසිකව හුදෙකලා වීම

දරුවන් පිලිබදව සිතන විට ඔවුන්ටත් ගැටලු බොහොමයක් තිබෙනවා. කන්න අදින්න ලැබෙනවා නම් දරුවන් සිටින්නේ සතුටින් කියල දෙමව්පියන් හිතනවා නම් ඒ සංකල්පය වැරදියි.දරුවන්ටත් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අධ්‍යාපනය සම්බන්ධව වුනත් දැනෙන පීඩනය සමග ඔවුන් ජීවත් වෙනවා. ඒ වගේම මිතුරු ඇසුර තුලින් ඇති වෙන ප්‍රශ්න දරුවන්ට දරා ගැනීමට සිදු වෙනවා. මේ සියල්ල අතර අද දවසේ අන්තර්ජාල සම්බන්ධතාවයන් ඔස්සේ දරුවන් බිය වැද්දීම වැනි කටයුතු පවා සිදු වෙනවා.

දරුවන්ගේ ප්‍රශ්න අපි ගන්නද…?

දෙමව්පියන් විදිහට ඔබ එහෙම හිතනවා නම් වැරදියි. ඔබට දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේ හොද සවන්දෙන්නෙක් වෙන්න පුලුවනි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් ඒ වෙනුවෙන් විකල්ප ඉදිරිපත් කරනවා විතරක් නොවෙයි, ප්‍රායෝගිකව දරුවන්ට ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුලුවනි. දරුවා ඇසුරු කරන මිතුරන් සම්බන්ධයෙන් ඇති වෙන ගැටුම් සහ ගැටළු ඉදිරියේදී වුනත් දරුවාගේ පීඩනය බෙදා ගැනීමට මැදිහත්කරුවෙක් විදිහට ක්‍රියාකරන්නෙක් වෙන්න පුලුවනි.

ඒ වුනාට සමාජජාලා  බියවැද්දීම් ඉදිරියේදී…?

ඇත්ත. අද දවසේ සන්නිවේදන තාක්ෂණය ඉදිරියේ දරුවන් සිටින්නේ බොහොම ඉදිරියෙන්.දෙමව්පියන් සතුව ඒ තාක්ෂනය අද නැහැ. ඒ නිසාම දරුවන් සමාජජාලා සමග ගණුදෙනු කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙනවා.දෙමව්පියන් විදිහට අනේ අපි ඔය තාක්ෂණය දන්නේ නැහැ කියනවාට වඩා ඒ ගැන යම් දැණුමක් ලබා ගැනීම වැදගත්. අද තරුණ දරුවන් සිටින දෙමව්පියන් කියන්නේ වයස අවුරුදු හැට ඉක්මවා ගිය අය නොවෙයි. අවම වශයෙන් ඔවුන් හතලිහේ දශකයේ විය හැකියි. ඒ නිසා සන්නිවේදන තාක්ෂණය ගැන යම් දැනුවත්බවක් ලබා ගැනීම ඉතාම වැදගත්.

දරුවා යන මාර්ගය ගැන ඉවෙන් දැන ගන්න පුලුවන්.

අද බොහෝ දරුවන් දෙමව්පියන් රවටා සමාජාලා පරිශීලනය කරන බැව් රහසක් නොවේ. ඒ වුනත් ඔබට යම් දැණුමක් තිබෙනවා නම්දරුවා මේ සිටින්නේ ”සූම් ” හෝ වෙනත් මෘදුකාංගයක් ඔස්සේ විකාශය වන අධ්‍යාපන වැඩසටහනකටද එසේ නොවේ නම් වෙනත් සමාජජාලා සමග සම්බන්ධතාවයකද යන බව දැන ගැනීමේ හැකියාව ලැබෙනවා.

සමාජාලා ඔස්සේ දරුවා බියවැද්දීමට පත්ව සිටිනවා නම්..

දෙමව්පියන් ලෙස ඔබ සමාජාලා ඔස්සේ ඇති විවිධ හිරිහැරකාරී තත්වයන් ගැන පැමිණිලි කිරීමට ඇති විදුලි සංදේශන ආයතන ගැන දැනුවත්ව සිටීම වැදගත්. දරුවා මෙවැනි ආයතන ගැන දැනසිටියත් ඒ ගැන තනි තීරණ ගැනීමට ඔවුන්ට දෛර්යක් නැහැ.නමුත් ඔබ දරුවා සමග සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරනවා නම් එවැනි ආයතනයක් සමග ශබට සම්බන්ධ වීමට පුලුවනි. වැඩිහියෙක් ලෙසින් එය කිසිදු අපහසුවක් නැති කාර්යක්.දරුවා පත්ව සිටින පීඩනයෙන් මුදවා ගැනීමට සාර්ථක විසදුම ඔබට ඉදිරිපත් කිරීමට පුලුවන්.

දරුවා මානසිකව දැඩි පීඩනයකට පත් වීම

දරුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් දුරස්ව සිටින විට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. දරුවන් සහ දෙමව්පියන් අතර පවත්නා සම්බන්ධතාවය යහපත් වන තරමටම දෙපාර්ශවය අතර සාර්ථක සන්නිවේදනයක් සිදු වෙනවා.දුරස්ව සිටින දෙමව්පියන් සමග දරුවන් කිසිමි දිනක තමන්ගේ ගැටළු ගැන සාකච්ඡා මාර්ගයකට පැමිණෙන්නේ නැහැ.හදවතින් දුරස් විට හදවතේ ගැටුම් සහ ගැටලු ඉදිරිපත් කිරීමටත් ඔවුන් උනන්දු වෙන්නේ නැහැ.

තරුණ දරුවන් සමග සම්බන්ධ නොවීම ඉතා දරුණු විදිහට ඔවුන්ගේ ජීවිතයට බලපාන්න පුලුවනි.

දෙමව්පියන් විදිහට ඔබේ දරුවා දැන් හය හතර තේරෙන වයසේ සිටින හොද ඉලන්දාරියෙක්. ඒ හින්දා දැන් ඉස්සර වගේ පිටුපස්සෙන් සිටින්න අවශ්‍ය නැහැ කියල හිතුවත්නිතරම දරුවාගේ හදවතට ඔබේ ශක්තිය ලබා දෙන්න. ඔබ දරුවාගේ හදවතට සමීප වුන තරමටම දරුවා තමන්ගේ ගැටලුවලදි දෙමව්පියන් සමග සාකච්ඡා කරන විට

  • දරුවාගේ මානසික පීඩනය ඉහිල් වෙනවා.
  • තමන්ගේ ශක්තියට දෙමව්පියන් සිටින බව දැන ගන්නවා.
  • ජීවිතය ගැන බලාපොරොත්තු ඇති වෙනවා.
  • සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සාර්ථක විසදුමක් ලැබෙනවා. 
  • ගැටලුවලට මුහුණ දීමේ ආත්ම ශක්තිය ඇති වෙනවා.

දරුවා හුදෙකලා වීමේ දරුණු විපාකත් තිබෙනවා..

ඔබේ තරුණ දරුවා පවුල තුළම විතැන් වීමේ ප්‍රතිවිපාක ඉතාම දරුණු අන්දමින් බලපාන්න පුලුවන්.තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න කෙනෙක් නොමැති නිසා දැනෙන පීඩනය අවසානයේදී සියදිවි නසා ගැනීමක් වැනි අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුලුවනි.

ඒ වගේම පාසලේ, පංතියේ ඇති ඉතා සුලු සිදුවීම් පවා දරුවෙක් ලෙසින් දැඩි පීඩාකාරි අත්දැකීම් වුනොත් දරුවා නිතරම මානසිකව දැඩි පීඩනයකින් ජීවත් වෙන්න පුලුවනි. ඒ නිසාම තමන්ගේ ජීවිතය පවා දරුවාට ඉතාම අසුන්දර අත්දැකීමක් බවට පත් වීමට ඉඩ තිබෙන නිසා ඔබේ තරුණ දරුවන් කිසිදු විටෙක පවුලෙන් විතැන් කරන්න එපා.

විටමින් E හොඳද? නරකද?

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ කියන්නා වගේ ශරීරයේ යහ පැවැත්ම උදෙසා අපි ලබාගන්නා විටමින් වර්ග වුවත් අධික මාත්‍රාවන්ගෙන් ලබා ගැනීම සුදුසු තත්ත්වයක් නොවන බව කිව යුතුමය. විටමින් කොහොමත් සිරුරට හොඳයිනේ කියන අදහසේ එල්බගෙන ඇතැම් අය වැඩි මාත්‍රාවන් ලබා ගන්නා අවස්ථා කෙතෙකුත් තියෙනවා. අදට අදාල මාත්‍රාව යම් අමතක වීමකින් මගහැරුණ හොත් හෙට දින මාත්‍රාව සමග එය මාත්‍රා දෙකක් එකවර ලබාගන්නා අයත් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සුදුසු නැහැ. වැඩිවෙන්න වැඩිවෙන්න හොඳ දේත් නරක අතට හැරෙන්න බැරි නැහැ. මේ ලිපිය තුළින් අපි සාකච්ඡා ‍කරන්නට බලාපොරොත්තු වන්නේ විටමින් E ගැනීමේදී ප‍්‍රවේශම් විය යුතු කරුණු සම්බ්න්ධවයි.

විටමින් E වල අතුරු ආබාධ 

මාත‍්‍රාව වැඩිවීමත් සමග ඇති වන අතුරු ආබාධ ප‍්‍රමාණයද වැඩිවේ. 

  • ඔක්කාරය හා වමනය
  • පාචනය
  • ආමාශයේ අපහසුතාවයන්
  • තෙහෙට්ටුව
  • දුර්වලභාවය
  • හිසරදය
  • බොඳවී පෙනීම
  • සමේ දද ඇති වීම
  • සමේ රත්පැහැ සිරීම් ඇති වීම
  • රුධිර වහනය

දිනක මාත‍්‍රාව 1000mg වඩා ගැනීම අනාරක්‍ෂිත වේ. කෘත‍්‍රිම විටමින් E (all-rac-alpha-tocopheryl) ස්වභාවික විටමින් E (RRR-alpha tocopherol) වේ. කෘත‍්‍රිම විටමින්  E මාත‍්‍රාව 1100IU, ස්වභාවික විටමින් E මාත‍්‍රාව – 1500IU ටසමාන වේ. 

විටමින් E ගැනීමේද ප‍්‍රවේශම් විය යුතු කරුණු

  • ගර්භනී මුල් සති 8 තුල වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් E ගැනීමෙන් වළකින්න 
  • ගර්භනී අවධියේ අවසාන මාස 3 දී ගත හැකි අනුමත දිනක මාත‍්‍රාව වන්නේ 800mg වේ. 
  • අවුරුදු 14 – 18 දක්වා හා අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට ලබාගත යුතු දිනක මාත‍්‍රාව 1000mg වේ. 
  • මව්කිරි ලබාදෙන කාන්තාවන්ගේ දිනක මාත‍්‍රාව 800mg වේ. 
  • දරුවන් අවුරුදු 1 – 3 දිනක මාත‍්‍රාව 300IU/අවුරුදු 4 – 8 දිනක මාත‍්‍රාව 450IU/අවුරුදු 9 – 13 දිනක මාත‍්‍රාව 900IU/අවුරුදු 14 – 18 දිනක මාත‍්‍රාව 1200IU වේ.
  • නොමේරූ දරුවන්ට විටමින් E  අන්ත:ශෛරීකව (සේලයින් ලබාදෙන ආකාරයට) ලබාදීම අනාරක්‍ෂිත විය හැක. 
  • රුධිරවහනය වීමේ රෝග තත්ත්ව ඇතිවිට විටමින් E ගැනීමෙන් එම තත්ත්වය දරුණු විය හැක. 
  • හෘද රෝගීන් විටමින් E ගැනීමෙන් ජීවිතය පවා අවදානමට ලක් විය හැකි අතරම අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලබා දෙන මාත්‍රාව ගත යුතුය. 
  • දියවැඩියාව සහිත රෝගීන්ගේ හෘද අකරණිය තත්ත්වය වැඩිකරවීමේ අවදානම වැඩි කරවයි. 
  • හිස හා ගෙල ආශ‍්‍රිත පිළිකාවලදී මෙම විටමින් E මගින් නැවත පිළිකාව ඇතිවීමේ අවදානම වැඩි කරයි. දිනක මාත‍්‍රාව වන 400IU වඩා නොගත යුතුයි. 
  • අස්ථි පර්වදාහයේදී අස්ථි ශක්තිමත් කිරීම සඳහා සමහරවිට ව්‍යායාම භාවිත කරයි. නමුත් ව්‍යායාම, විටමින් E හා විටමින් C මගින් අස්ථි ශක්තිමත් කිරීම සඳහා සිදුකරන ව්‍යායාම වල ප‍්‍රයෝජන අඩු කරයි. 
  • දැනටමත් පුරස්ථි ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකා තත්ත්වයේදී එම තත්ත්වය වැඩි දියුණු කරයි. 
  • ශල්‍යකර්මයක් සිදු කරන පුද්ගලයෙකුගේ රුධිරය වහනය වීමේ අවදානම ශල්‍යකර්මය තුලදී හා පසුව වැඩි විය හැක. මේ නිසා ශල්‍යකර්මයට සති දෙකකට පෙර විටමින් E ගැනීම නැවැත්විය යුතුය. 

ඖෂධ අතර විටමින් E සමග ඇතිවන අන්තර් ක‍්‍රියා

  • Cyclosporine drug සමග විටමින් E ගැනීමෙන් එම ඖෂධය ශරීරයට උරා ගන්නා ප‍්‍රමාණය වැඩි කරයි. ප‍්‍රතිඵල වැඩිවනවා සේම අතුරු ප‍්‍රතිඵලද වැඩි කරයි. 
  • සමහර ඖෂධ අක්මාවේදී වෙනස්වී බිඳ හෙලීමකට ලක්වේ. විටමින් E මගින් ඖෂධ අක්මාව තුල බිඳ හෙලීම ඉක්මන් කරවයි. මේ නිසා ලැබෙන ඵලදායී බව අඩු වේ. 

උදා: lovastatin, Ketoconazole, Itraconazole, Fexofenadine, triazolam

  • විටමින් E මගින් රුධිර කැටි ඇතිවීම ප‍්‍රමාද කරවයි. මේ නිසා රුධිරවහනයක්, සමේ තැනින් තැන රතුවීම් ඇති විය හැක. 

උදා: aspirin, clopidogrel, diclofenac, Ibuprofen, Naproxen, enoxaparin, heparin, Warfarin

  • විටමින් E ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති නිසා පිළිකා සඳහා ගන්නා සමහර ඖෂධ වල ඵලදායී බව අඩු කරයි. 
  • කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා ගනු ලබන ඖෂධ වල ඵලදායී බව අඩු කරයි. 
  • Niacin වල ප‍්‍රයෝජන අඩු කරයි. Niacin මගින් HDL (සිරුරට හිතකර කොලෙස්ටරෝල්) ප‍්‍රමාණය වැඩි කරයි. විටමින් E සමග ගැනීමෙන් මෙම සිරුරට හිතකර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩු කරයි. 
  • Warfarin මගින් රුධිර කැටි ප‍්‍රමාද කරයි. විටමින් E මගින්ද ප‍්‍රමාද කිරීම නිසා රුධිරවහනය ඉක්මනින් ඇති විය හැක. 

විටමින් E අඩංගු ආහාර

  • තිරිඟු
  • කොට්ටම්බා
  • සූරිය කාන්ත ඇට
  • අලිගැට පේර
  • රටකජු
  • මාළු – මාළුන්ගේ ඇති Omega – 3 fatty acid වල ප‍්‍රතිඵල වැඩි කිරීමට ඉවහල් කරයි. 
  • රතු බෙල් පෙපර්
  • එළවළු තෙල් (සූරියකාන්ත, බඩ ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි)
  • කොළ පැහැති කොළ එළවළු – නිවිති, බ්‍රොකලි
  • පළතුරු යුෂ
  • මාගරින්
  • පළතුරු – අඹ, කිව් ෆෘට්, බ්ලැක් බෙරි, කළු මිදි, වෙරළු, ඇප්‍රිකොට්

විටමින් E ඌනතාවය ඇති විය හැකි රෝග 

පහත රෝග ඇති අයට විටමින් E ඌනතාවය ඇතිවීමේ අවදානම වැඩියි. 

  • කාලීන අග්න්‍යාශයික දාහය
  • පිත්තාශයේ ආසාධන
  • cystic fibrosis
  • ප‍්‍රාථමික පිත්තාශයික සීරෝසියාව
  • Crohn’s disease
  • short bowel syndrome

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ඇබ්බැහි වූවාට පසුව අරගලය පහසු නැත.

 රෝග පිලිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ (International Classification of Diseases) දී වීඩියෝ ක්‍රිඩා මගින් සිදු වෙන කැළඹිලි සහගත තත්වයත් මානසික රෝග ලැයිස්තුවට 2022 වසරේදී එක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර තිබෙනවා. ඊටත් වඩා මෙහි තිබෙන ඉරපතල තත්වය වන්නේ අද දරුවන් අතර විඩියෝ ක්‍රිඩාවන්ට අවස්ථාවක් නොලද විට ඇති වෙන සහ ඔවුන්ටවත් පාලනය කර ගත නොහැකි මානසික ආවේගයයි.පසුගිය දිනකදී තමාගේ මව විසින් ජ’ගම දුරකථනය නුදුන් නිසා සිය දිවි හානි කර ගත් දරුවෙකු පිලිබදව පුවත ඔබත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දකින්න ඇති.සැබැවින්ම දරුවෙක් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් වුනේ ඇයි…? එයට වග කිව යුත්තේ වීඩියෝ ක්‍රිඩාවද..? එසේත් නැත්නම් දෙමව්පියන්ද..?

ඇබ්බැහි විමක් වුනොත්…?

අපි ඇබ්බැහි විම ගැන කතා කළත් සැබැවින්ම ඇබ්බැහි වීම කියන්නේ කුමක්ද..? මතට, දුමට ඇබ්බැහි වීම ගැන අපි දැන සිටියත් සැබැවින්ම වීඩියෝ ක්‍රිඩාවන් වෙනුවෙන් දරුවන් ඇබ්බැහි වෙනවාද..? එහෙමනම් දරුවන් මේ ඇබ්බැහි වීමෙන් මුදවා ගැනීමට වැඩිහිටි සමාජයට නොහැකිද..?

අපි කරන යම් කාර්යක් නිසා හිතේ සතුට ඇති වෙනවා නම් ඒ කාර්යයයේ නිරත වීමට අපි වැඩි කැමැත්තක් දක්වනවා. මේ අවස්ථාවේදී සතුට ලබා දෙන ”ඩොෆමින් ” රසායනය මොළයෙන් නිදහස් කරන නිසාම අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම යොමු වෙන තත්වයක් ඇති වෙනවා.පරිගණක ක්‍රිඩාවත් එහමයි.දරුවෙක් තමාගේ දෛනික ජීවිතයේ කටයුතුවලින් බැහැරව පරිගණක ක්‍රිඩා වෙනුවෙන්ම යොමු වෙන ප්‍රවනතාවයක් ඇත් නම් එය ඇබ්බැහි විමක් ලෙසින් හදුන්වන්න පුලුවනි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ PUBG ක්‍රීඩාවට දරුවන් ඇබ්බැහි වීම නිසාම එරට රජය විසින් මෙම පරිගණක ක්‍රිඩාව තහනම් කළත් ඇතැම් දරුවන් තහනම නොතකා මෙම ක්‍රිඩාවේ යෙදුන නිසා ඉන්දියාවේ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට පවා ගෙන තිබුණා.  පසුව ඇප මත මේ දරුවන් නිදහස් කළත් ඔවුන්ගේ ඇබ්බැහි වීම ඒ තරමටම දරුණු ලෙසින් සිදු වුණා.

සමහර පරිගණක ක්‍රිඩා ප්‍රචණ්ඩකාරියි…

මෙම පරිගණක ක්‍රිඩාවන්හි යෙදිමේදී දෙමව්පියන්ගේ ඒ වෙනුවෙන් මැදිහත් විමක් නැහැ. අතීතයේදි නම් සිනමා පටයක්…ටෙලි නාට්‍යක් වුනත් දෙමව්පියන්ගේ අනුමැතිය යටතේ වැඩිහිටියන්ට සුදුසු නම් එය දරුවන්ට නුසුදුසු ලෙසින් පිළිගැනීමක් තිබුණා. ඒ නිසාම ප්‍රබන්ධ සාහිත්‍ය කතාවක් වුනත් දරුවාට ලැබුනේ දෙමව්පියන් විසින් එය දරුවන්ට වඩාත් සුදුසුයි කියන පිලිගැනීම යටතේ පමණයි.

නමුත් අද පරිගණක ක්‍රිඩාවන් සම්බන්ධයෙන් දෙමව්පියන්ට මේ හැකියාව නැහැ. සමහර විට දරුවා මෙම ක්‍රිඩාවන් මිළට ගන්නවා. එහෙම නැත්නම් මිතුරන් සමග හුවමාර කර ගන්නවා. ඒ වගේම අන්තර්ජාලයෙන් හෝ සන්නිවේදන මධ්‍යස්ථානයකින් බාගත කර ගන්නවා. ඒ නිසා පරිගණක ක්‍රිඩාවේ ඇතුලාන්තය ගැන වැඩිහිටින්ට දැණුමක් ඇත්තේම නැහැ.

දරුවා විසින්ම තෝරා ගන්නා මෙම පරිගණක ක්‍රිඩාවන් සමහර විට බොහෝ සෙයින් ප්‍රචන්ඩකාරී විය හැකියි.දරුවාගේ මනස විකෘති කරන සහ ඉක්මනින් තරහ යෑමේ හැකියාව ඇති කරනවා.2018 වසරේදී Call of Duty ක්‍රීඩාවෙන් පරාජයට පත් තරුණයෙකු, තමන්ගේ මිතුරාට උල් ආයුධයකින් ඇන තුවාල කිරීමට තරම් පරිගණක ක්‍රිඩා නිසා දරුවන්ගේ මනස වෙනස් වී තිබෙනවා.

පරිගණක ක්‍රිඩාවේ වීරයෙක් වීම…

දරුවන් මෙවැනි පරිගණක ක්‍රිඩාවන්හි යෙදෙන විට දරුවාද එම ක්‍රිඩාවේ සිටින වීරවරයන්ගේ චරිත බවට පත් වීමට උත්සාහ ගන්නවා. මේ නිසා දරුවා එවැනි වීරත්වයකට, දුෂ්ට චරිතයක් හෝ දාමරිකයෙක් ලෙසින් සිය චරිත ලක්ෂන ගොඩ නගා ගන්නවා. ඔවුන්ගේ ජීවිතයේ සැබෑ විරයා වන්නේ පරිගණක ක්‍රිඩාවේ සිටින ආදර්ශමත් නොවන චරිතයක් විය හැක.

සූදුව සඳහා ඇබ්බැහිවීම

ඇතැම් පරිගණක ක්‍රිඩාවන් මගින් මුදල් ඉපැයීමේ රටාවක්ද දැන් පවතිනවා. තරුණ පරම්පරාව දැන් ලෝකයට විවෘතයි. ඔවු්නගේ ජීවිතයේ භෞතික සම්පත් වෙනුවෙන් ඇගි ඇල්ම ඉතාම අධිකයි. ඒ වගේම තරුණ පරම්පරාවට මුදල් උපයා ගැනීමට සහ රැකියා වෙනුවෙන් ඇති අවස්ථාවන් ඉතාම සිමිත නිසා ඔවුන් තුළ පරිගණක ක්‍රිඩාවන් මගින් මුදල් උපයා ගැනීමේ මාර්ග සොයා යෑමත් අද අපි නොදකින විදිහට සමාජ ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා.

දරුවන් හුදෙකලා වීම..

පරිගණකය සමග හුදෙකලා වීම නිසා දරුවා සමාජයෙන් දුරස් වෙනවා. ඔවුන්ට සැබෑ ලෝකයේ හොද මිතුරෙක්, හිතවතෙක් නැහැ.ඒ නිසා තමාගේ හිතේ යම් ගැටලුවක් ඇති වුන විට එය බෙදා හදා ගැනීමට හෝ උපදෙස් ගැනීමට කිසිවෙකුත් නැහැ.මේ හුදෙකලා තත්වය නිසාම දරුවාට ගැටලු විසදා ගැනීමේදී බරපතල මානසික ගැටුමක් ඇති වෙනවා. මෙවැනි හුදෙකලා විමක් නොවුන අතිත සමාජයේදී කතා කළ කළ්‍යාණ මිතුරා අද දරුවාගේ ලෝකයේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ බෞතික ලෙසින් වූ ජංගම දුරකථනය හෝ වෙනත් උපාංගයක් පමණයි.

පරිගණකයේත් යක්ෂයෙක් වගේම හොඳත් තිබෙනවා..

පරිගණකය සමග සම්බන්ධතාවයන් දැක්වීම ගැන අපි චෝදනා කළත් එයින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමටත් දරුවාට හොදින්ම අවස්ථා තිබෙනවා.ඒ නිසා අපි යක්ෂයා ගැනම කියනවාට වඩා ජංගම දුරකථනය යහපත් ලෙසින් හසුරුවන ආකාරය කියා දෙන්න.කොටින්ම කොවිඩ් වසංගත කාලයේදී අධ්‍යාපන කටයුතු සම්පුර්නයෙන්ම මග හැර යා නොදී පවත්වා ගත හැකි වූයේ මෙම තාක්ෂනයේ සම්බන්ධතාවය නිසාවෙන බවත් සදහන් කළ යුතුයි.

ඒ වගේම යම් කිසි ආකාරයකින් මානසික ව්‍යයාමයක් ලබා ගත හැකි ආකාරයේ පරිගණක ක්‍රිඩාවන් මෙන්ම , දැණුම ලබා ගැනීම, විවේකය ගත කිරීමේ දී සහ විනෝදාංහයක් ලෙසින්ද ජීවිතයට සම්බන්ධ කර ගත හැකි ආකාරයේ වීඩියෝ වැඩ සටහන් තිබෙන බැව් අමතක නොකළ යුතුයි.

ඒ වගේම දරුවන්ගේ වීඩියෝ ක්‍රිඩා පමණක් නොව ජංගම දුරකථනය පවා පාවිච්චි කරන ආකාරය පිලිබදව දෙමව්පියන්ගේ නියාමනය අවශ්‍ය වෙනවා. දරුවා ඇබ්බැහි වූ පසුව ඒ වෙනුවෙන් කටයුතු කිරීම පහසු නැත. එවිට වෙන්නේ මව්පියන් සහ දරුවන් අතර ඇති වෙන අරගලය සමහර විට දරුවාගේ සිය දිවි හානියෙන් කෙළවර වෙන්නත් පුලුවන්. ඒ නිසා නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන්වත් කපා ගත නොහැකි සේ ඔඩු දුවන තෙක් නොසිට දරුවා සහ ඔබ අතර සම්බන්ධතාවයත් යහපත් පරිද්දෙන් පවත්වා ගැනීමට කටයුතු කරන්න.

 

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය එකම කාසියක දෙපැත්තක් වගෙයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝම්බර් පළමු වැනි දිනට යෙදී තිබෙනවා. දරුවා යනු ලෝකයට සම්පතක්. අද දරුවා හෙට ලෝකයේ වගකිය යුතු චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා දරුවා යනු සුවිශේෂී චරිතයක්.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද….?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 193 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර ඒ සඳහා තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දුන්නා.

දරුවා ගැන දාර්ශනික අදහස්

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කලේ  ‘පුත්තා වස්තු මනුස්සානං” යනුවෙනුයි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරෙක කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනිය. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන් තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොඳම දෙය බවයි. චීනයේ නිර්මාතෘ මා වෝ සේතුං කියා සිටියේ ලෝකයේ උත්තම චරිතය වන්නේ දරුවා බවයි.

ඔක්තෝබර් පළමුවැනි දිනටම ළමා දිනය සමරන්නේ නැහැ

රොමේනියාව ජාත්‍යන්තර ලමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයන්ට ඇතුළු වී විනෝද වෙන්න පුළුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා. බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගත්තේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී ඇති නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්තානයත් මේ දවසම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් යොදා ගත්තා.

ළමා දිනයක් වැදගත් ඇයි…..

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය , රැකවරණය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතාබහ කරමින් කතිකාවතක් ගොඩ නගනවා. මේ කතිකාවත තුළින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරණයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකවත ගොඩ නැගිය යුත්තේ….

දරුවෙක් යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චරිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂන කිපයක් තිබෙනවා.

දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර දර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් කර දීම අවශ්‍යයි.

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් යන දෙකම ඔක්තෝබර් පළමු වැනි දිනට යෙදී තිබිම ගැන….

අද දරුවන් හිතන්නේ බොහොම යාන්ත්‍රික විදිහටයි. දරුවන් පිළිසිඳ ගැනීම යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. ඒ නිසාම මෙතැනින් ඉදිරියට ඒ ගැන සිතීමට අවශ්‍ය නැති බව දරුවන්ගේ අදහසයි. තමන් මව් පියන් විදිහට කටයුතු කරන යුගයකදීත් දරුවන්ගෙන් ඔවුන් යමක් බලාපොරොත්තු නොවෙන බව ඔවුන් කියනවා.

වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි දිනයක් අවශ්‍යද….?

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වැඩිහිටි අවධිය කියන්නේ දෙවැනි ළමා අවධියක්. දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කොට ඒ දරුවන් සමාජයේ ස්ථානගත වුන පසුව ජීවිතයේ තිබෙන වගකීම් නිදහස් වුනත් මානසිකව ඇති වෙන හුදෙකලාවට පිලියම් අවශ්‍යයි. තමා වෙනුවෙන් ඇගයීම , ගරුත්වය සහ පිළිගැනීම ඔවුන් ඉහලින්ම අපේක්ෂා කරනවා. මේ නිසා දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ සුබ සිහින වෙනුවෙන් මග පෙන්වන ලද වැඩිහිටියන් ඇගයීම වෙනුවෙන් දිනයක් වෙන් කිරීම වැදගත් සමාජ මෙහෙවරක් වෙනවා.

ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි..

  • පරම්පරා අතර ගැටුම

අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි.එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. 

  • වැඩිහිටියා අවලංගු කාසියක් වීම.

එදා පවුල මුල් කර ගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තීරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත්ව ඇත. නමුත් අද . ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් නිවසේ තමාට ලබා දෙන නොවැදගත්කම හෙවත් අවලංගු කාසියක් බවට පත් වෙන විට අනේ….මටත් ගිය කලක් යන ආත්මානුකම්පාවෙන් වැඩිහිටියන් මහත් කම්පාවට පත් වෙනු ඇත.

පුංචි පවුල රත්තරන් වීම.

පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙකු හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නනට මැලි වූයේ නැත. අද පවුලක ඇත්තේ දරුවන් දෙදෙනෙක් පමනි. මේ රත්තරන් පවුලේ දරුවන්ද තමාගේ ස්වාධීන ජීවිතය ගොඩ නගා ගැනීමේදී ගම මුල් කර ගත් පවුල හැර දමා නගරයට විටෙක විදේශගත වන්නට පවා අවශ්‍යතාවයන් ගොඩ නැගෙනු ඇත. එවන් අවස්ථාවලදී දෙමව්පියන් රැක බලා ගැනීමට සෙසු දරුවන්ට යැයි පැවරිය හැකි කෙනෙක්ද නැත. දෙමව්පියන් නඩත්තුව බරක් වීම

දරුවන්ගේ බාලකාලයේදී ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පවා උපරිමයෙන් ලබා දීමට දෙමව්පියන් නොගන්නා උත්සාහයක් නැත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා ඔවුන් දරුවන්ගේ බත් පත වැරැද්දුවේ නැත. ඒත් අද දරුවන්ගේ ආහාරපාන තුළ දෙමව්පියන්ට කිසිදු තැනැක් නැත. දරුවන් කන බොන දෙය මිස මව්පියන් කන බොන දෙය විමසන්නේ නැත. හවසට නිවසට පැමිණ විමසන්නේ පුතා / දුව බත් කෑවාද…තාත්තා අම්මා කෑවා නොවේ. තමන්ගේ දරුවන්ගේ සුව දුක් ගැනයි.

අද වැඩිහිටි ජනගහනය සිඝ්‍ර ලෙසින් ඉහළ යමින් පවතී. මේ නිසාම වැඩිහිටි ජනගහනය සමාජයට ප්‍රශ්නයක් බවට පත්ව ඇත. පවුල තුලින් පවා තමා ප්‍රතික්‍ෂෙප වන විට මෙම වැඩිහිටි පිරිස් දරුවන්ගෙන් දුරස් වෙන ප්‍රවනතාවයක් නොදැනම ගොඩ නැගෙනු ඇත. කෙසේ හෝ වේවා වැඩිහිටි පිරිස් සිය ජීවිතයේ අවසාන කාලය ගත කරන ආකාර කිහිපයක් ඇත.

  • දරුවන් සමග මහගෙදර ජීවත්වීම.
  • මහගෙදර තුළ දරුවන් නොමැතිව වාසය කිරීම.
  • මෙහෙකරුවන් සමග හෝ ඥාතිවරයෙක් සමග ජීවත්වීම.
  • වැඩිහිටිනිවාසයන්හි ගත කිරීම.
  • මහමගට වැටිම.

එහෙමනම් දරුවා වගේම වැඩිහිටියාගේ ජීවිතයටත්  ආදරය, ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය බැව් දෙවරක් හිතන්න අවශ්‍ය සිදුවීමක් නොවේ.

 

දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත ප්‍රජා මධ්‍යස්ථානයකදී ලබා නොදී රෝහලක් තෝරා ගන්නේ ඇයි…?

2019 වසරේ පටන් පැතිරෙන කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ආරක්ෂාවක් ලබා ගැනීමට විකල්ප වෛද්‍ය පිලිවෙත් ගැන ලෝකයේම පර්යේෂකයන් සහ විද්‍යාඥයන් විමසිලිමත් වුණා. ඒ අතර කොවිඩ් පැතිරීර්‍ම පාලනය වෙනුවෙන් වූ ප්‍රතිශක්ති එන්නත ගැන දැනට යම් විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.

එන්නතකින් සිදු වෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අපේ සිරුර සූදානම් කිරීමයි. රෝග කාරක ජිවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇති කරන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන එකි ජිවියාගේ අනු පිටපතක් මිනිස් සිරුරට ඇතුලත් කරනවා. එවිට එම ජීවියා සිරුරට ඇතුලු වී ඇති බව හඳුනාගත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවනවා.

පාසල් දරුවන් අවදානම් කාන්ඩයේ හෝ එන්නත ලබා දීමේ ප්‍රමුඛතා කණ්ඩායමට ඇතුලත් නොවීම

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග වැලැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන අන්දමට එන්නත යනු රෝග සුව කිරීමට ඇති ඔසුවක් නොව එම රෝගය වැළඳීමට තිබෙන අවස්ථාව වලක්වන හැකියාව ඇති ශක්තිමත් දෙයකි. කොවිඩ් ආසාදිතව මිය ගිය අතර පසුගිය කාලයේදී වැඩි පිරිසක් අයත් වුනේ වයස අවුරුදු 60 ඉක්මවු , විවිධ සංකුලතාවයන් ඇති කන්ඩායමටයි. ඒ වගේම එන්නත් සැපයුම සමග ඇති වෙන හිගතාවය නිසාත් දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීම නොදැනීම මග හැරී ගියා. 

 එන්නත් බෙදා හැරීමේ සදාචාරාත්මක බව ඉදිරියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාවය මෙසේ පෙළ ගස්වා තිබෙනවා. ඒ අනුව  මුල් අදියරේදී එන්නත්කරණය වෙනුවෙන් පාසල් දරුවන් සම්බන්ධ කර ගත්තේ නැහැ.ඒ වගේම  දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා දීමේ සුරක්ෂිතතාවය ගැනත් මේ වෙන විට ප්‍රමාණවත් දත්ත ලැබී තිබුනේ නැහැ.නමුත් දැන් ලැබී තිබෙන දත්ත අනුව දරුවන්ට එන්නත ලබා දීම ගැන විද්‍යාත්මක තහවුරුවීමක් තිබෙනවා.

රටක ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශයේ නිරත වෘත්තිකයන් ඇතුලු සියලු සේවා කාර්ය මණ්ඩල /ආරක්ෂක අංශ

විදුලිය, ජල , සනීපාරක්ෂක සේවාවන්හි නිරත පිරිස

වයස අවුරුදු 60 ට වැඩි විවිධ සංකුලතාවයන් ඇති පුද්ගලයන්

නොවන රෝග ඇති පිරිස- මුල් කොවිඩ් 19 වසංගතයේදී ආසාදිත වී මියයෑමට වැඩි අවස්ථාවක්  ඇත්තේ බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය වුනා.

නමුත් වසංගතයේ පැතිරීමේ වේගය සහ ප්‍රාදේශීය ව්‍යාප්තියේ සිඝ්‍රතාවය අනුව එන්නත්කරනයේ ප්‍රමුඛතාවයේ වෙනස්කම් සිදු වී තිබෙනවා.

එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාවය වයස අවුරුදු 30 ට වැඩි පිරිසට ලබා දීම නිසා පාසල් දරුවන් පමණක් නොව උසස් අධ්‍යාපනය ලබන කණ්ඩායමත් මුල් අදියරේදී මෙතැනට ඇතුලත් වුනේ නැහැ.

එන්නත ගැනීමට තරුණ කණ්ඩායම බිය ඇයි…?

කොවිඩ් වෙනුවෙන් එන්නත නිපදවීමට ගත වුන කාලය කෙටි වීම නිසා එන්නත ගැන බොහෝ දෙනාගේ ඇත්තේ යම් සැකයක්.එය ඇත්තක්. එන්නතක් පිලිබඳව අධ්‍යනයන් දිගු කාලයක් පුරා සිදු වෙන ක්‍රියාවලියක්. 

නමුත් කොවිඩ් වැනි වසංගත තත්වයක් හමුවේදී එවැනි දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කරන්න දිගු කාලයක් ලැබුනේ  නැහැ. ගෝලීය වසංගතයක් නිසා වසරක් වැනි ඉතාම කෙටි කාලයකින් එන්නත අත්හදා බැලීමට සිදු වුණා. එන්නතක අත්හදා බැලීම  වෙනුවෙන් වසර හත අටක කාලයක් ගෙවුනත් කොවිඩ් වෙනුවෙන් එන්නත හඳාුන්වා දීම වසර එකහමාරක් වැනි ඉතාම කෙටි කාලයකදී සිදු වුනා. එහෙත් එන්නතක් සමාජයට හඳාුන්වා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලියේ එක් අවස්ථාවක්වත් අත් හැරියේ නැහැ. හදිසි තත්වය යටතේ මෙම අවස්ථාවන් අතහැර යෑමක් නොව අදාල ක්‍රියාවලියේ අවස්ථාවන් අතර සමපාත කිරීම පමණක් සිදු වුනා.ඒ නිසා කෙටි කාලයකින් කොවිඩ් වසංගතය වෙනුවෙන් වූ ප්‍රතිශක්තිකරණ එන්නත ගැන අනිසි සැකයක් ඇති කළ ගත යුතු නැහැ.

දරුවන් අනාරක්ෂිතද…?

ඉහත දැක්වෙන දරුවන් අතර කොවිඩ් 19 ආසාදිත දරුවන් සිටින්න පුලුවනි. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.අපහසුතාවයක් පෙන්නුම් කරන්නෙත් නැහැ. එහෙත් ඔවුන් ආසාදිතයි. මේ නිසා ඉහත කණ්ඩායම් සමාජයේ රෝග වාහකයන් විදිහට ඔවුන්ගේ ආශ්‍රිත කන්ඩායම් වෙත රෝගය සම්ප්‍රේෂනය කරන්න පාසල් දරුවන් සමුහ හැසිරීම් ඇති පිරිසක්. ඒ වගේම පාසල, පංතිය සමග ගැටෙන විට මිතුරන් සමග හැසිරෙන විට කොවිඩ් වසංගතයක් සමග අපි ජීවත්වෙනවාය යන සංකල්පය දරුවන්ගේ හිතේ නැහැ.ඒ නිසා ආසාදිත පවුලක පළමු ආශ්‍රිතයෙකුගෙන් හෝ නිහඬ වාහකයන්ගෙන් දරුවන්ට කොවිඩ් ආසාදනය වීමට හැකියාවක් තිබෙනවා.දැනටමත් ශ්‍රි ලංකාව පුරා එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක වන නිසා දරුවා වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත නොලැබුනත් පවුලේ වැඩිහිටියන් කුමන හෝ කණ්ඩායමකට ඇතුලත්ව එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.ඒ නිසා දරුවාත් කොවිඩ් වැළඳීමේ අවදානමෙන් බොහෝ දුරට නිදහස් වෙන්න පුලුවනි.

දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත..

ෆයසිර් සහ මොඩර්නා

ෆයසිර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුලු කරනවා.  මෙම එන්නත් මගින් 90% ක සඵලතාවයක් ලැබෙනවා. වයස අවුරුැදු 19 ඉක්මවූ කණ්ඩායම් වෙනුවෙන් ඉහත එන්නත් දෙක ලබා දී තිබෙනවා. නමුත් වයස අවුරුදු 12 -19 අතර පාසල් දරුවන් වෙනුවෙන් ෆයසිර් එන්නත ලබා දීම දැනට නිර්දේශ වී තිබෙනවා.

කොවිඩ් වෛරසය නිසා වැඩි අවදානමක් ඇති දරුවන් කවුද…?

කොවිඩ් 19 වෛරස රෝග තත්වයට දරුවන් ගොදුරු වීමේ අවදානම වැඩිහිටියන්ට සාපේක්ෂව අඩු වුනත් යම් ලෙසකින් මෙම කණ්ඩායමේ දරුවන්ට වෛරස ආසාදනය වීමේ යම් අවදානමක් ඇති වෙනවා.

උපතින්ම දරුනු ශ්වසන ආබාධ සහිත දරුවන් 

දරුණු හතිය 

පෙනහලු ආබාධ

සංජානනීය හෘද රෝග

උපතින්ම ප්‍රතිශක්තිය දුර්වල දරුවන්

මෙවැනි දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත ලබා දීමේදී රෝහලකින් ලබා ගැනීම වඩාත් ආරක්ෂිතයි.

වයස අවුරුදු 12-19 කාණ්ඩයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත ප්‍රජා මධ්‍යස්ථානයකදී ලබා නොදී රෝහලක් තෝරා ගන්නේ ඇයි…?

දරුවන් තුළ අපි මතුපිටින් නොදකින සෞඛ්‍ය ගැටලු තිබෙන්න පුලුවනි. සමහර විට ඔවුන්ගේ ආසාත්මිකතාවයන් තිබුනත් තවම ඒ වෙනුවෙන් දරුවන් නිරාවරනය නොවුන නිසා එවැනි ආසාත්මිකතාවයන් හඳුනාගෙන නැති වෙන්න පුලුවනි. වයස අවුරුදු 20 ඉක්මවන විට තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන යම් තහවුරු වීමක් තිබෙනවා.

ඒ වගේම තවමත් වයස අවුරුදු 19 ට අඩු දරුවන් වෙනුවෙන් එන්නත ලබා දීම ආරම්භක අවස්ථාව නිසා එහි ප්‍රතිචාර හඳුනාගෙන නැහැ. හදිසියේ හෝ ඇති වෙන ආසාත්මිකතාවයකදී ප්‍රජා මධ්‍යස්ථානයකට වඩා රෝහලකින් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. එය දරුවන් වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂාවක්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය

 

 

 


                

මොකද්ද මේ මාර්ෆන් සින්ඩ්‍රෝමය කියන්නේ

බහුලව දකින්නට නොලැබුණත් Marfan Syndrome තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ඇතැම් දරුවන් සිටිනවා. ශරීරයේ සම්බන්ධක පටක වලට බලපානු ලබන රෝගයක් වන මෙය අවයව ඇද බැඳ තබන තන්තු සහ අනෙක් ව්‍යුහයන්ගේ තන්තු මෙහිදී බලපෑමට ලක්වේ. මෙහිදී බහුල වශයෙන් හෘදය, ඇස්, රුධිරවාහිනී සහ අස්ථි පද්ධතිය බලපෑමට ලක්වේ. මෙම රෝගය සහිත පුද්ගලයන් සාමාන්‍යයෙන් උස හා කෙට්ටු වන අතර අසාමාන්‍ය දිගු අත්, පාද, අතේ ඇඟිලි හා පාදයේ ඇඟිලිවලින් යුක්තය. මෙහිදී ඇති වන හානිය සුළු අවස්ථාවේ සිට තීව‍්‍ර අවස්ථාව දක්වා පවතී. මෙම රෝගයෙන් මහා ධහමනියට (හෘදයෙන් ශරීරය පුරා රුධිරය පොම්ප කරන ධමනිය) හානි වුවහොත් ඉන් ජීවිත අවදානමක් පවා ඇති විය හැක. 

Marfan Syndrome තත්ත්වයේ ලක්‍ෂණ

මෙම රෝගය ශරීරයේ විවිධ ප‍්‍රදේශවලට බලපාන බැවින් ලක්‍ෂණ විවිධ වේ. එකම පවුලේ සාමාජීකයන් අතරද මෙම ලක්‍ෂණ විවිධ වේ. සමහර පුද්ගලයන්ට සුළු ලක්‍ෂණ ඇතිවන අතර තවත් පුද්ගලයන්ට ජීවිත අවදානම් සංකූලතා වර්ධනය වේ. පහත ලක්‍ෂණ පොදුවේ දැකිය හැක. 

  • උස සිහින් සිරුර
  • එකිනෙකට වෙනස් දිග, අත්, පාද, ඇඟිලි
  • පියයුරු පෙදෙසේ අස්ථිය ඉදිරියට හෝ ඇතුලට නෙරා තිබීම
  • පොකුරු දත් තිබීම, තල්ල වක්වීම
  • හෘදයේ සිදුරු ඇති බවට ශබ්ද ඇසීම
  • අසාමාන්‍ය ලෙස නැවුන සුෂුම්නාව
  • පැතලි පාද

Marfan Syndrome තත්ත්වය ඇති වීමට හේතූ

සම්බන්ධක පටකවල ප‍්‍රත්‍යස්ථතාවය හා ශක්තිමත්භාවය පවත්වා ගැනීමට හේතුවන ප්‍රෝටීන නිෂ්පාදනය කරන ජාන වල ආබාධ තත්ත්ව මීට හේතු වේ. මෙහි අවදානම් සාධකය වන්නේ දෙමාපියන්ට මෙම රෝග තත්ත්වය පැවතීමය. 

Marfan Syndrome තත්ත්වයේදී ඇති වන සංකූලතා

  1. කන්තුක වාහිනී සංකූලතා

භයානක සංකූලතාවයන් ඇති විය හැක්කේ හෘදයට හා රුධිර වාහිනීවලට බලපෑමයි. එවිට මහා ධමනිය සම්බන්ධක පටක දුර්වල වේ. 

  • මහා ධමනිය බිත්තියේ දුර්වල ස්ථානයක් ඉදිරියට නෙරා ඒම. (Aortic aneurysm) මෙම තත්ත්වය බොහෝ විට මහා ධමනියේ මුල් ඇති විය හැක. 
  • Aortic dissection – මහා ධමනි බිත්තිය ස්ථරවලින් සෑදී ඇත. මෙහි ඇතුලත ස්ථරය කුඩා ඉරීම් ඇතිවී පටක හා ඇතුළු ස්ථර අතරම රුධිරය එකතු වේ. මේ නිසා පපුවේ හෝ පිටේ තද බල වේදනාවක් ඇති වේ. එම ඉරීම් ඇති වූ ස්ථානවලින් පිපිරී යා හැක. එය ජීවිත අවදානමකි.
  • Valve malformation හෘදයේ කපාටවල පටක දුර්වල වේ. මේ නිසා කපාටය ඇදීමකට ලක්වන අතර අසමාන්‍ය කපාට ක‍්‍රියාකාරීත්වයන් ඇතිකරයි. එනම් හෘද කපාට හොඳින් ක‍්‍රියා නොකරයි. මේ නිසා හෘදයට බොහෝ ලෙස වෙහෙසට පත්වේ. ඉන් හෘද අකරණීය ඇතිවේ. 
  •  
  • 2.ඇස්වල සංකූලතා
  • ඇසේ කාචයේ උදව්වට ඇති ව්‍යුහයන් දුර්වල වී පිහිටුම වෙනස්වීම
  • ඇසේ දෘෂ්ටි විතානය (Retina) ගැලවීම හෝ ඉරීමේ අවදානම
  • ඇසේ පීඩනය වැඩිවීම (glaucoma) හෝ ඇසේ සුද ඇතිවීම (cataracts)

3.අස්ථිවල සංකූලතා

  • සුෂුම්නාවේ අසාමන්‍ය නැවීම් ඇතිවීමය. 

උදා: ඔටු කුදය, පැති කුදය 

මෙහිදී පර්ශුද වෙනස් විය හැක. 

  • පියයුරු අස්ථිය ඉදිරියට නෙරීම හෝ ඇතුලට ගිලා බැසීම.
  • හෘදයේ වේදනාව හා කොන්දේ පහළ කොටසේ වේදනාව

ගර්භනීතාවයේදී ඇතිවන සංකූලතා

ගර්භනි කාලයේදී හෘදය තුලින් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක රුධිරය පොම්පකරන බැවින් මහා ධමනිය පිපිරීමේ අවදානම වැඩි වේ. 

රෝග විනිශ්චය

  • ශාරීරික පරීක්‍ෂණ සිදු කිරීමේ.
  • හෘදය, ඇස්, රුධිරවාහිනී, පේශී හා අස්ථි පද්ධතිය.
  • ලක්‍ෂණ ගැන විමසීම.
  • පවුලේ ඉතිහාසය විමසීම
  • Chest X-ray
  • ECG
  • Echo පරීක්‍ෂණ
  • ජානමය පරීක්‍ෂණ
  • MRT/CT Scan

ප‍්‍රතිකාර

මෙහි ප‍්‍රතිකාර කිරීම සඳහා ජාන පිළිබද විශේඥයන්/විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්/හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු/දන්ත විශේෂඥ වෛද්‍යවරුන්/අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරුන්/විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් යන කණ්ඩායමක් හා සම්බන්ධව ප‍්‍රතිකාර සිදු කළ යුතුය. ඊට හේතුව වන්නේ ඉහත පද්ධති සියල්ලටම බලපා ඒනිසා ආබාධ තත්ත්වයන් ඇති කරන නිසාය. ඖෂධ ප‍්‍රතිකාර නොමැති වුවද ලක්‍ෂණ සඳහා එක් එක් අවයව ආශ‍්‍රිත රෝග ලක්‍ෂණ වලදී ඖෂධ ප‍්‍රතිකාර ලබාදේ. 

මෙම රෝගයෙන් ජීවන රටාවට ඇති වන බපෑම

  • ක‍්‍රියාකාරකම්

මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සඳහා විශේෂ වර්ගයේ ශාරීරික හෝ විනෝදාත්මක ක‍්‍රියාකාරකම් සිදු කළ යුතුය. මහා ධමනිය වියකරණය වූ පුද්ගලයා අධි ක‍්‍රියාකාරී කටයුතුවලින් වැළකිය යුතුය.

වෛද්‍යවරයා උපදෙස් මත ක්‍රියාත්මක විය යුතුය. 

  • ගර්භනීභාවය

මෙහිදී මහා ධමනියේ මුල් කොටසින් වෙන්වීම සිදුවිය හැක. එය අධික අවදානමකි. එසේම ආතතිය සහිත ගර්භනීභාවය (Stress pregnancy) මගින් ඉතා ඉක්මණින් වියකරණය වේ. (මහා ධමනිය) නිතර රුධිර පීඩනය පරීක්‍ෂා කරගැනීම, මසකට වරක් Echo පරීක්‍ෂණ කිරීම ගර්භනී කාලයේදී කළ යුතුය. මහා ධමනි වියකරණය ඇති වූවකි. ඇද විවේකය ගත යුතුය. 

  • හෘද කපාට වල ආසාධන 

බැක්ටීරියා මගින් මෙම ආසාධන ඇති වන්නේ රුධිරයට බැක්ටීරියා එක්වීමෙන් මේ නිසා දන්ත හෝ ශල්‍ය පිළිවෙත් වලට පෙර ප‍්‍රතිජෛවක ගත යුතුය.

  • මානසික තත්ත්ව

මෙම රෝගයේදී තරහ, බිය වීම හෝ දුක ආදිය ඇති වේ. ඒවා සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ගෙන ජීවිතය වීවේකීව ගත කළ යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

දරුවාගේ ඉගෙනමට බාධා විය හැකි මේ හේතු මඟ හරින්න එපා

අපි කොයි තරම් කැපකිරීම් කළත් වෙහෙස වුණත් ඇතැම් අවස්ථාවලදී දරුවන් ඉගෙනීම පැත්තෙන් පසුබාද්දී ඒකට හේතුව දරුවාගේ උනන්දුවක් නැතිකම කියලා බොහෝ දෙනෙක් හිතුවත් එතැනදී ඒ තත්ත්වය ගැන තවත් පැත්කින් හිතන්න වැඩිහිටියන් විදියට අපිට හැකි විය යුතුයි. ඇයි දරුවෙක් ඉගෙනීමට පසුබාන්නේ. මොනවද මේ ඉගෙන ගැනීමේ අපහසුතා කියන්නේ කියලා අපි අද කතා කරමු.

දරුවෙකුට ඉගෙනීමේ අපහසුතා ඇති කිරීමට හේතු බොහොමයක් බලපානවා. නමුත් අවබෝධයක් නොමැතිකම නිසා දෙමාපියන් ඇතැම් විට මේ තත්ත්වය වටහා නොගන්නවා විය හැකියි. අන්න ඒ නිසාම ඔවුන් හිතන්නේ ඉගෙනීමට දුර්වල වීමට හේතුව දරුවාගේ මුරණ්ඩුකම, කියන දේ අහන්නේ නැති එක වගේම කිසිම උනන්දුවක්  නැතිකම කියලයි. අන්න ඒ නිසාමයි අපි කොච්චර ඔයාට උදව් කරනවද, ඔයා යන්නේ හොඳම ටියුෂන් සර් ළගට, ඒත් ඔයා ඉගෙන ගන්නේ නෑනේ කියලා මව්පියන් අතින් කියවෙන්නේ බො‍හෝ විට තත්ත්වය ගැන අවබෝධයක් නොමැතිකම නිසයි. ඒත් තත්ත්වය හරිහැටි නොදැන දරුවාට සෘණාත්මක ප‍්‍රතිචාර ලබාදීම සුදුසු නැහැ. ඒ, බොහෝවිට දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතා ඇති වෙන්න පහත තත්ත්ව හේතු වෙන නිසයි. 

  • ලිවීමේ අපහසුතාවය

යම් දරුවෙක්ට ලිවීමේ අපහසුතාවයක් ඇත්නම්, යම් හෙයකින් පැන්සල අල්ලන්න හරියට දන්නේ නැත්නම් එහෙමත් නැත්නම් පැන්සල අල්ලද්දී එයාගේ ඇඟිලි රිදෙනව නම් ඒ සංවේදනය එයාට ප‍්‍රසන්න අත්දැකීමක් නොවෙනව නම් ඒ අවස්ථාව අපට ඉගෙන ගැනීමේ අපහසුතාවයකට මුල පාදන හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒවගේම තවත් දරුවෙක් නිවැරදි පැත්තට නැතිව අනෙක් පැත්තට ලියනවා විය හැකියි. උදාහරණ විදියට b වෙනුවට d ලියන අවස්ථා, ස යන්නට වෙනුවට ය යන්න ලියන අවස්ථා තියෙනවා. ඒ වගේම ත වෙනුවට න යන්න මාරු වෙන අවස්ථා තියෙනවා. මේ හේතුවත් ඉගෙන ගැනීමේ අපහසුතා යටතේ ලිවීමේ අපහසුතා කියන කොටසට ඇතුළත් වෙනවා.

  • නිවැරදිව කියවීමට නොහැකි වීම  

නිවැරදිව කියවීමේ නොහැකියාවත් ඉගෙනීමේ අපහසුතාවයක්. උදාහරණයක් විදියට දරුවෙක් යමක් කියවගෙන යද්දී සමහර තැන්වල නැති ශබ්ද දරුවා උච්චාරණය කරනවා. ඒවගේම තවත් සමහර තැන් වල තියෙන ශබ්ද මගහැරලා ඒ ශබ්දය වෙනුවට වෙන ශබ්දයක් ආදේශ කරනවා. එහෙමත් නැත්නම් ඒ ශබ්දය නැතුව වාක්‍යය ඉස්සරහට කියවනවා. තවත් සමහර දරුවන්ට ඒ කියවන දේ තේරුම්ගන්න බෑ. අපි එදිනෙදා ව්‍යවහාරයේ කතා කරද්දී කියනව නම් ගිරවු කියවනවා වගේ කියවනවා, හැබැයි තේරුමක් නැහැ. තමන් මොකක්ද කියෙව්වේ, තමන් කියෙව්ව එකේ අන්තර්ගතය මොකක්ද කියන එක ඔවුන්ට තේරුම් ගැනීමේ අපහසුතා තියෙනවා. මේකත් අපිට ඉගෙන ගැනීමේ අපහසුතා ඇති වීමේ තත්ත්වයක් වෙනවා. 

  • වටහා ගැනීමේ අපහසුතා‍

ඒවගේම ඇතැම් දරුවන්ට ගුරුවරයා කියන දේ වටහා ගැනීමට අපහසුයි. ගුරුතුමිය පාඩමක් කියා දෙන විට කියන වචන ඔක්කොම ඇහුනත් ඒ වචන ටික ගලපලා ගුරුවරයා කිවූ දේ නිවැරදිව ගලපගන්න අපහසු දරුවොත් ඉගෙන ගැනීමේ අපහසුතා තියෙන කොටසට ඇතුළත් වෙනවා. 

  • උච්චාරණයේදී ප්‍රකාශනයේදී ඇති වෙන ගැටලු 

උච්චාරණයේදී ප්‍රකාශනයේදී ඇති වෙන ගැටලු ද ඉගෙනීමේ අපහසුතා ලෙස දැක්විය හැකියි. වචන උච්චාරණ අපහසුතා තියෙන දරුවන්ගේ පසුකාලීනව ඉගෙන ගැනීමේ අපහසුතා ඇතිවීමේ අවස්ථා තියෙනවා.  උදාහරණයක් විදියට යම් කිසි දරුවෙක් ට වෙනුවට ත යොදා කියනව නම්, එය මුල් අවධියෙම නිවැරදි නොකළොත් අට සහ අත යන වචන දෙකම එකක් විදියට දකිනවා. අසා ලිවීමකදී වුවත් අට කියලා ලියන්න දුන්නත් දරුවා ලියන්නේ අත ලෙසයි. මෙය සුළු වැරැද්දක් වුවත් එය නිවැරදි නොකළහොත් ඉතා විශාල ලෙස බලපෑම් කළ හැකියි. 

  • අවධානයේ මට්ටම අඩු වීම ‍

ඒවගේම දරුවගේ අවධානයේ මට්ටම අඩු වීම තවත් ඉගෙනීමේ අපහසුතාවයක් ලෙස දැක්විය හැකියි. කිසිම දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්න නොහැකි වීමයි. මේ නිසා යම් කිසි ක‍්‍රියාකාරකමකදී දුන්නොත් අපි ඒක හැකි ඉක්මනින් අවසන් කළ යුතුයි. පරිබාහිරව එන උත්තේජන හේතුවෙන් ඉතා ඉක්මනින් අවධානය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ හේතුවෙන් ක්‍රියාකාරකම සමග සම්බන්ධ වීමට බාධා වෙනවා. ඒ වගේම ඇතැම් දරුවන් තුළ මතකය සම්බන්ධ ගැටලු දැකිය හැකියි. 

මෙවැනි තත්ත්ව අවබෝධ කරගනිමින් අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර වෙත දරුවන් යොමු කිරීම මව්පියන්ගේ වගකීමක්. මෙහිදී මනෝ චිකිත්සක ප‍්‍රතිකාර හෝ දරුවාට අවශ්‍ය විශේෂ අධ්‍යාපන පහසුකම් හෝ ලබා දී දරුවා පිළිබඳව තක්සේරුවකට පැමිණ දරුවාගේ කුසලතා මෙන්ම අපසුතා හඳුනා නිසි මල පෙන්වීම යටතේ අවශ්‍ය නිවැරදි ප‍්‍රතිකාර ලබාදී ඉගෙනීමේ අපහසුතා මග හරවා ගත හැකියි. දරුවා වෙනත් දරුවන් සමග සන්සන්දනය කිරීම, දරුවාගේ වැරදි අඩුපාඩු නිතර නිතර අන්‍යයන් ඉදිරියේ පවා පැවසීම කිසිසේත්ම සුදුසු නොවේ. 

මව්පියන් විදියට අපි මේ තත්ත්වය හඳුනා ගන්නේ කොහොමද ?

අපි ගොඩක් වෙලාවට හිතනව අපේ දරුවගේ කන හොඳට ඇහෙනව නම් ඒවගේම දරුවට හොඳට පේනව නම් ඒවගේම දරුවගේ අත් ඇඟිලි හොඳට වැඩ කරනව නම් දරුවගේ කට හොඳට වැඩ කරනව නම් දරුවට ඉගෙන ගැනීමේ අපහසුතාවයක් තියෙන්න බැහැ කියලා. ඒත් ඇත්තටම අපි බැලූවොත් ඇස අපිට දකින දේවල් ලබාදෙනවා, කන අපිට ඇහෙන දේවල් ලබාදෙනවා, එතකොට අතින් අපි අකුරු ලියනවා, එහෙමත් නැත්නම් චිත‍්‍ර අඳිනවා. කටින් අපි ප‍්‍රකාශ කරනවා, කියවනවා, කතා කරනවා. හැබැයි මේ හැමදේටම central processing unit එකක් තියෙනවා. අපි බැලූවොත් අපේ සිරුරේ හැමදෙයක්ම පාලනය වෙන්නේ මොළයෙන්. හැබැයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ අපේ දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතා වලදී මෙන්න මේ මොළයේ යම් අපහසුතාවයක් තියෙනවා කියලා. අන්න ඒ නිසයි අපි ගොඩක් වෙලාවට කියන්නේ ඇස් දෙක පේනව නම්, කන් දෙක ඇහෙනව නම්, දරුවගේ අත වැඩ කරනව නම්, කට වැඩ කරනව නම් ඇයි මේ දරුවට වැඩ කරන්න බැරි කියලා. ඒත් ඇත්තටම එතන ප‍්‍රශ්නය වෙන්නේ කිසිවකත් නොව මොළයේ ක්‍රියාකාරීත්වයයි. මෙහිදී භාෂාව, මතකය, සංකල්ප යන දේවල් සාමායෝජනය කොට ඉදිරිපත් කිරීමට දරුවාගේ මොළය නිවැරදිව පණිවිඩය වටහා ගැනීම මෙන්ම එය නිවැරදිව ප්‍රකාශ කිරීමට අපොහොසත් වනු ඇත. මෙය ඉගෙනීමට බාධා ඇති කරනු ඇත. දෙමව්පියන් මෙවැනි අවස්ථාවකදි ඉතා කාරුණිකව දරුවන්ට අවශ්‍ය සහය ලබාදිය යුතුය. 

අවධාන මට්ටම ඉතාම අඩු මට්ටමක ඉන්න දරුවෙක් නම් බාධක අවම වටපිටාවක් සමග ඉගෙනීමට සලසා දෙන්න. අද වෙද්දී  දරුවෝ ඉගෙනීම් කටයුතු සිදුකරන්නේ දුරකතනය, පරිගණකය හෝ ටැබ් ආධාරයෙනි. විශාල බෝඩ් එකක් ආධාරයෙන් පන්ති කාමරය තුළ ඉගෙන ගත් දරුවන් අද වෙද්දී දුරකතනයේ කුඩා තිරය සීමා වී සිටී. මේ දිනවල පවතින ඔන්ලයින් අධයාපන ක්‍රමය ඉගෙනීමේ අපහසුතා ඇති දරුවෙකුට සුදුසු නොවේ. එවැනි දරුවෙකුට දෙමාපිය සහය අනිවාර්යෙන්ම අවශ්‍යය. දරුවාට බාහිර පරිසරයෙන් ආ හැකි සෘණාත්මක බලපෑම්, උත්තේජන පුහැකි තරම් අවම කරමින් සහය ලබා දිය යුතුය. ගුරුවරු සමග නිතර දරුවා සම්බන්ධව සාකච්ඡා කළ යුතුය. දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතාවලදී ඉතාම ප‍්‍රායෝගිකව සහය විය හැක්කේ එවිටයි. 

ඔබ, මේ හා සම්බන්ධව දැනුවත් වෙන්න. එවිට ඔබේ දරුවාගේ ගැටලුව ඔබට අවබෝධ වනු ඇත. එවිට ඔබ දරුවාට උදව් කළ යුතුතේ කෙසේද යන්න වටහා ගත හැක. අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සහිත පලපුරුදු වෘත්තිකයන් හමු වී අවශ්‍ය සහය ලබාගන්න. 

සමාජය ඔබට  මොන දේ පැවසුවත් අඔබගේ දරුවා යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කිරීම, ඒවගේම ඔබේ දරුවා සවිමත් කෙනෙක් කිරීමේ වගකීම ඇත්තේ ඔබටයි. ඔබට හැර අන් කිසිවෙකුටත් ඔබේ දරුවගේ අධ්‍යාපනයට උදව් කිරීම, දරුවගේ අපහසුතා අවම කිරීම කළ නොහැකියි. අන්න ඒ නිසා සමාජයට බියේ දරුවන්ට උදව් කළ යුතු මග අවහිර කර නොගත යුතුයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 


                

කල්පනාවෙන් …..කොවිඩ් නිසා ගෙදරට කොටු වුණ දරුවා සුරතලා නිසා ලෙඩ වෙන්නත් බැරි නැහැ

වසර එකහමාරකටත් අධික කාලයක් පුරා නිවසට කොටු වුණු අපේ පුුංචි පැටව් දවස ගෙවා ගන්න බැරිව බොහොම උදාසීනව කාලය ගත කරනවා. ඔන්ලයින් අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක අපේ දරුවෝ තවත් අතකින් හිර වෙලා . ඇත්තටම අපේ දරුවොත් ගෙවන්නේ හරිම අසීරු කාලයක්. ඔන්න ඔය අතරේ දරුවන් සුරතලුන් එක්ක ගත කරන කාලය වැඩි වෙලා. මොකද පුුංචි දරුවෝ කවුරුත් සුරතලුන්ට දක්වන්කනේ බොහොම කැමැත්තක්, ආදරයක්. සුරතල් සතුන් එක්ක ඔවුන්ගේ ජීවිතයට ගොඩක්  සුන්දර අත්දැකීම් එකතු වෙනවා. මෙවැනි කාලසීමාවක් තුළ ගෙදරක  සුරතලෙක් ඉන්නවා කියන්නේ නිවසටම කොටු වුණු දරුවෙකුට ලොකු අස්වැසිල්ලක් වුණත් සුරතල් සතුන් නිසා දරුවන් රෝගාතුර විය හැකි අවස්ථාත් ‍තිබෙන බව නම් අමතක කරන්න එපා. මේ ලිපිය තුළින් අපි සාකච්ඡා කරන්නේ සුරතල් සතුන් හේතුවෙන් දරුවන්ට ඇති විය හැකි Toxocara නම් වූ රෝග තත්ත්වය පිළිබඳවයි. 

මොකද්ද මේ Toxocara කියන්නේ ? 

එනම්, Toxocariasis යන බල්ලාගේ ශරීරයේ ඇති වන වට පණුවන්ගේ (Round worm) පිලා අවධිය වන Toxocara canis හෝ බළලුන්ගේ සිටින වට පණුවන් වන Toxocara cati ගෙන් ඇති වන ආසාදන තත්ත්වයකි. උද්‍යානවල හා සෙල්ලසම් පිට්ටනිවල පස, මෙම වට පණුවන්ගේ බිත්තරවලින් දූෂිත වීමෙන් පසු මිනිසුන්ට ඇතුළු වී මිනිසා ආශ්‍රිතව ඇති වන ආසාදනයක් වන අතර මින් මිනිසාගේ අක්මාව, පෙනහලු, හෘදය, පේශී, ඇස් හා මොළය ආදී අවයවවලට බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි. 

මෙම රෝගය එනම් Toxocara ආසාදනය සහ ලක්ෂණ (Syndrome) 3 ක් ලෙස හඳුනාගෙන ඇත. 

1) දරුවන් තුළ ඇති වන Toxocariasis ආසාදනය 

මෙය උණ සහිත රෝග තත්ත්වයකි. මෙහි ලක්ෂණ ලෙස කැස්ස,නිදා ගැනීමේ අපහසුතා, උදර වේදනාව, හිසරදය, හැසිරීමේ වෙනස්කම් ඇති වේ. 

දරුවා පරීක්ෂා  කිරීමේදී දැකිය හැකි ලක්ෂණ 

  • අක්මාව විශාල වීම 
  • වසා ගැටිති විශාල වීම හා ආසාදනය 
  • ස්වසන අපහසුතාව (wheezing

2) Visceral larva migrans 

මෙහිදී මෙම පිළවා මිනිසාලේ අභ්‍යන්තර අවයවවලට ප්‍රදාහමය ප්‍රතික්‍රියාවක් ඇති කරවයි. ලක්ෂණ ගණනාවක් වර්ධනය වේ. තෙහෙට්ටුව, කෑම අරුචිය, බර අඩුවීම, නියුමෝනියාව, උණ, කැස්ස, ක්ලෝමනාල වල ගැස්ම, උදර වේදනාව, හිසරදය, දද සහ කලාතුරකින් වලිප්පුව වැනි තත්ත්ව ඇති වේ.. 

රෝගියා පරීක්ෂා කිරීමේදී දැකිය හැකි ලක්ෂණ 

  • අක්මාව විශාල වීම 
  • වසා ගැටිති ඉදිමී ආසාදයට පත්වීම 
  • ස්වසන අපහසුතාවය (wheezing) 
  • පෙනහලුවල ප්ලූරා පටක අවකාශය තරකලයන් පිරීම (කලාතුරකින්) 
  • දිගු කලක් පවතින කැසීම් (සමේ), රතු පැල්ලම්
  • හෘදයට බලපෑම් (Myocarditis) 
  • ස්වසන අකරණිය (Respiratory failure) 

3) Ocular larva migrans 

මෙම පිලවා කුඩා ළමුන්කේ හා වැඩිවියට පත් ළමුන්කේ ඇස්වල අපර කොටසට ගමන් කරයි. 

රෝගියා පෙන්නුම් කරන ලක්ෂණ

  • ඇසේ එක් කොටසක පෙනීම අඩුවීම 
  • ඇස් රතුවීම 
  • ඇසේ කණීනිකාව සුදු පැහැවීම 
  • දෘෂ්ටිවිතානයේ තන්තු ඇතිවීම (Retinal fibrosis) 
  • දෘෂ්ටිවිතානය ගැලවීම (Retinal detachment), retino blastoma 
  • Retinoblastoma තත්ත්වය 

මෙම Toxocara පරපෝෂිත ආසාදනය මිනිසුන්ට ඇති කරන්න Toxocara canis මගිනි. බලු පැටවුන්ට තම මවගෙන් ඉපදීමට පෙර හෝ කිරි මගින් ශරීර ගත වේ. ඉන්පසු මෙම පිළවා බලු පැටවාගේ අන්තකවල ඉතා වේගයෙන් මේරීම සිදුවේ. බලු පැටවාට වයස සති 3 – 4 වන විට බලු පැටවා තුළ ඇති පණුවන් විශාල ප්‍රමාණයකින් බිත්තර නිපදවීමට පටන් ගනී. ඉන්පසු බලු පැටවාගේ මළ හරහා මෙම බිත්තර පරිසරයට මුදා හැරේ. මෙම ආසාධිත පිලවා බිත්තර තුළ සති 2 – 4 කාලයක් වර්ධනය වේ. ඉන්පසු මෙම බිත්තරවලින් එකක් හෝ මිනිසාට ශරීරගත වුවහොත් ඔහු Toxocariasis ආසාධිතයෙකු බවට පත්වේ. මෙම ආසාදනය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවේ. බිත්තරවලින් දූෂිත උපකරණ මතු පිටවල් හරහා ආසාදනය ඇති වේ. මැස්සන් මගින්ද මෙම බිත්තර ආහාරවලට, මතුපිටවල් (පෘෂ්ඨයන්) මතට ගෙන එයි. ප්‍රමාණවත් ප්‍රමාණයක ඔක්සිනන් හා තෙතමනය ලැබෙන තුරු මෙම බිත්තර ආසාදිත තත්ත්වයෙන් වසර කිහිපයක් වුවද තිබිය හැක. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ බිත්තර වටා පවතින ප්‍රතිරෝධී කටුව මගින් බොහෝ විට පාරිසරික තර්ජනයන් ආරක්ෂා කරන බැවිනි. 

Toxocara රෝග විනිශ්චය 

  • PCR පරීක්ෂආණ 
  • ELISA පරීක්ෂආණය 
  • රුධිර, මස්තු පරීක්ෂආණ 

Toxocara සඳහා ප්‍රතිකාර  

මෙහිදී නිසිවෛද්‍ය උපදෙස් ඖෂධ ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 

  • Corticosteroids – Prednisolone 20mg – 40mg 
  • Anti parasitic drugs – Albendazole, Mebendazole, Thiabendazole, Diethylcarbamazine 
  • ඇස හා සම්බන්ධ ආසාදනවලදී ප්‍රතිකාර ඉතා දුෂ්කර වේ. මෙහිදී ඇසට සිදු විය හැකි හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. 

Toxocara වැළක්වා ගැනීමට 

  • ඔබ විසින් ඇති කරන සුරතලුන් (බල්ලන්, පූසන්) පශූ වෛද්‍යවරුන් වෙත ගෙන ගොස් පරීක්ෂාවට ලක් කිරීකමන් අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරවා ගන්න
  • සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීමෙන් පසු, ගෙවත්තේ කටයුතුවලින් පසු මෙන්ම ආහාර පිසීම‍ට පෙරත් ආහාර ගැනීමට පෙරත් සබන් යොදා දෑත් හොඳින් පිරිසිදු කරගන්න
  • අත් සේදීමේ වැදගත්කම දරුවන්ට කියා දෙන්න 
  • සතුන්ගේ මළවලින් දුෂිත පස් ආශ්‍රිතව දරුවන්ට සෙල්ලස් කිරීමට ඉඩ නොදෙන්න. 
  • සතියකට වරක් හෝ සුරතල් සතුන් සිටින ස්ථාන පිරිසිදු කිරීම. සතුන්කේ මළ ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් පසු හොඳින් සබන් යොදා අත් සෝදන්න 
  • පස් මත වැටී තිබුණු හෝ අපිරිසිදු දෑ ආහාරයට ගැනීමේ අවදානම දරුවන්ට අවබෝධ කරවන්න 

 

කිරි සිහිනය පමා කරන PCOS තත්ත්වය හදුනා ගනිමු..

විවාහක යුවලකගේ ජීවිතේ පලමු පැතුම වන්නේ තමන්ගේම දරු පැටියෙකුගේ කිරි සිනා දැකීමයි. අද බොහෝ  කාන්තාවන්ට කිරි සිහිනය, සිහිනයක් පමණක්ව තිබීම නිතර අසන්නට  දකින්නට පුලුවන්. මේ සඳහා විවිධ හේතු බලපානු  ලබන අතර  පෙරට වඩා කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශවයද එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් කරා යොමුවීම නිසා නිසි ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබගෙන දරු සුරතල් බලනවා.

කාන්තාවන්ට දරුඵල පමාකරන නැතිනම් මඳසරුභාවය ඇති කරන තවත් එක් මූලිකම තත්ත්වයක් ලෙස PCOS රෝගය හඳුන්වන්න පුලුවන්. මෙමගින් සිදුවන්නේ  කාන්තාවන්ගේ ඔසප්  චක්‍රයේ  අක්‍රමවත් භාවයක් පැවතීමයි. එනම් ඩිම්බ කෝෂ මගින් නිසියාකාරව මේරූ ඩිම්බ පිට නොවීම නිසා ඇතිවන සංකූලතා තත්ත්වයකි. මෙම හේතුව නිසා බොහෝ කාන්තාවන්ට  දරුඵල ලබාගැනීමේ හැකියාව පමා වී ඇත. මෙම ගැටලු කාරී තත්ත්වය අද  කාන්තාවන්  අතර බහුලව දක්නට  ලැබෙන අතර PCOS  තත්ත්වය ගර්භනීභාවය පිළිබද සෘජු සම්බන්ධතාවයක් පවතී.

PCOS මගින් සාමාන්‍යයෙන් ආර්තව චක‍්‍රයට බාධා ඇති කරමින් ගැබ්ගැනීම අසීරු කරයි. PCOS ඇති කාන්තාවන්ගෙන් 70% 80% සඳහා සරුභාවය පිළිබඳ ගැටළු ඇති වේ. මෙම තත්ත්වය ගර්භනීභාවයේදී සංකූලතා ඇතිවීම වැඩි කිරීමට  පවා ඉවහල් වේ. 

මෙම PCOS තත්ත්වය නැතිනම් ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව  ඇති කාන්තාවන්  ගර්භනීභාවයට පත්වුවද,

  • ගබ්සා වීම් (miscarriages) 
  • අධික රුධිර පීඩනය (Hypertension) ඇතිවීම 
  • ගර්භනී කාලයේදී ඇතිවන දියවැඩියා තත්ත්වයට (Gestations Diabetes) මුහුණ දීමට සිදුවීම වැනි ගැටලු කාරී තත්ත්වයන්ට පවා මුහුණ දීමට සිදුවිය හැක.

මෙම PCOS තත්ත්වය නැතිනම් මේරූ ඩිම්බ නිසියාකාරව ඩිම්බ කෝෂ මගින් පිට නොවීමෙන් සිදුවන සංකුලතා සදහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය හැකි අතර ඒ පිළිබඳව නිසියාකාරව දැනුවත් වීමද වැදගත්වේ. මේ ලිපියේ අරමුණ වන්නේද එයයි.  ඕනෑම කාන්තාවකට  ඩිම්බරණය දියුණු කරගෙන සරුභාවය සදහා ප‍්‍රතිකාර ගැනීමෙන් ගර්භනී භාවයට පත්වීමට  පුලුවන්. ඒනිසා ඒ ගැන බිය විය යුතු තත්ත්වයක් නැහැ.

ඒවගේම PCOS තත්ත්තවයට මුහුණ දුන් ගර්භනී කාන්තාවකට බර අඩු කරගැනීම, රුධිරයේ සීනි මට්ටම අඩුකර ගැනීම තුලින් නිරෝගී දරු උපතක් ලබාගැනීමේ හැකියව පවතී. එමෙන්ම   ආහාර පුරුදු  හා ජීවන රටාව වෙනස් කිරීම මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

ශරීරයේ බර අඩු කරගැනීම, ආහාර පාලනය හා ව්‍යායාම මගින්ද  ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගැනීම සමග PCOS  සදහා ප‍්‍රතිකාර ලබා ගැනීමට පුලුවන්. පවතින  අධික ශරීර බරින්  5%-10% අඩු කරගැනීමෙන් ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරගෙන බර අඩුකර ගැනීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත්විදිය හැක.

 ඒ විතරක් නෙමෙයි එම යහපුරුදු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගැනීම, හෘද රෝග හා දියවැඩියා අවදානම  අඩුකර ගැනීමෙන් නීරෝගී දිවි පෙවතකට හුරුවීමේ භාග්‍යයද උදා වේ. PCOS සදහා පිෂ්ඨය අඩු ආහාර සුදුසු වන අතර මෙමගින්  බර අඩු කරගැනීම හා ඉන්සියුලින් මට්ටම පාලනය කළ හැක.  විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් අඩංගු 1000 glycemic Index (low GI) ආහාර මේ සඳහා වඩාත් උපකාරී වන අතර පළතුරු, එළවළු හා ධාන්‍ය වර්ග  මගින්  බර අඩු කරගැනීමටත්  වඩා ආර්තව චක‍්‍රය පාලනයට උපකාරී වේ. 

එසේම මේ සමබන්ධව කරන ලද අධ්‍යයනයකදී හෙලි වී ඇත්තේ මිනිත්තු 30ක් පමණ  මධ්‍යස්ථ ප‍්‍රමාණයේ සිට තීව‍්‍ර ප‍්‍රමාණය දක්වා සතියකට දින 3 ක් බැගින් ව්‍යායාම කිරීමෙන්  PCOS සහිත කාන්තාවන්ගේ බර අඩු කරගැනීමට හැකියාව ලැබුන  බවයි. ඒ අනුව  නිසියාකාර ව්‍යායාම සිදුකිරීම තුලින් ශරීරයෙ බර අඩුකර ගැනීම හා ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමෙන්  ඩිම්බහරණය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින බව පෙනේ.

PCOS තත්ත්වය සදහා ව්‍යායාම හා ආහාර පාලනයට අමතරව පොදු ප‍්‍රතිකාර ක්‍රම ද රාශියන්  පවතිනවා.

උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කර PCOS ලක්‍ෂණ වලට ප‍්‍රතිකාර ලබාදීමද සිදුකරනවා.

උදාහරණ ලෙස  රෝම වර්ධනය, කුරුලෑ සදහා ප්‍රතිකාර කිරීම දරක්විය හැක.

1) උපත් පාලන පෙති ලබාදීම  – Birth control pills

progesterone සහිත පෙති දිනපතා ගැනීමෙන්

හෝමෝන සමබරතාවය යථා තත්ත්වයට පත්වේ. 

  • එමගින් ඩිම්බනිහරණය ක‍්‍රමානුකූල වේ
  • අධික රෝම වර්ධනය වැනි ලක්‍ෂණ නැති වී යයි. 
  • අන්තෝචක්වාලයේ (ගර්භාෂයේ ඇතුළු ස්තරයේ) පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. 

2) මෙට්ෆොමින් (Metformin)

මෙම ඖෂධය  දෙවන  වර්ගයේ දියවැඩියාව සදහා ප‍්‍රතිකාරයක් ලෙස භාවිතා කරයි. එමගින් ඉන්සියුලින් මට්ටම වැඩි දියුණු කරගැනීම තුලින් PCOS  වලට ප‍්‍රතිකාරයක් ලෙස යොදාගැනීමද සිදුවේ.

3) Leptazol

මෙම ඖෂධය කාන්තාවන්ගේ සරුභාවය ඇති කරවන ඖෂධයක් වන අතර PCOS සහිත කාන්තාවන්ට ගැබ් ගැනීමට උදව් වේ. බොහෝ අවස්ථාවල මෙම ඖෂධය මගින් සාමාන්‍යයෙන්  නිවුන් දරු උපත් ඇතිවීම වැඩි කරයි. 

4) PCOS තත්ත්වයට පත්වූ කාන්තාවන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අනවශ්‍ය රෝම ඇතිවීම දැක්විය හැකි අතර එය කාන්තාවන්ට මානසික වශයෙනුත් මහත් පීඩාවක් ගෙන දෙන තත්වයකි.  අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීමේ ඖෂධ ලෙස එෆ්ලොරමිතින් (Eflornithine cream) ආලේප කිරීම හැදින්විය හැකි අතර එමගින් බොහෝ දුරට රෝම වර්ධනය අඩු කරගත හැක. මීට අමතරව Laser nail removal සහ electrolysis මගින් මුහුණේ හා ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කළ හැක. 

5) ශල්‍යකර්ම සිදුකිරීම ද තවත්  එක් ප්‍රතිකාර ක්‍රමයකි. ඩිම්බකෝෂ මත කරන ප්‍රතිකාර ක්‍රමයක් වන අතර  (Ovarian drilling) යනුවෙන් එය හඳුන්වයි. මෙමගින් ඩිම්බ කෝෂය තුල ලේසර් කිරණ හෝ තුනී රත්කල ඉදිකටුවක් ආධාරයෙන් කුඩා සිදුරු ඇති කරයි. මෙමගින් මේරූ ඩිම්බ පිටවීම  යථා තත්ත්වයට පත්වේ. මේ අනුව දැන් PCOS, තත්ත්වයට මුහුණ දී කාන්තාවන් තවදුරටත් කනස්සල්ලට හා පත් වී බිය විය යුතු නොවේ. විවධ ප්‍රතිකාර ක්‍රම මගින් එම ගැටලුව නිරාකරණය කරගැනීමට පුලුවන්. 

මෙම තත්ත්වය සඳහා කෙනෙකු ප්‍රතිකාර සදහා යොමු වීමට නම් තමාට එම රෝගී තත්ත්වය වැලදී ඇති බව දැන ගන්නේ කෙසේද කියන කාරණයත් විමසා බලන්න අවශ්‍යයයි. ඒ අනුව ඔබ  වෛද්‍යවරයෙකු හමුවීමට නම් මෙන්න මේ තත්වයන්ට ඔබ මුහුණ දී  තිබේදැයි සිතා බලන්න.

  • මාසික ඔසප් වීම වරින් වර සිදුවීම හා ගැබ් නොගැනීම
  • ශරීරයේ, මුහුණේ අනවශ්‍ය රෝම ඇතිවීම වැනි PCOS ලක්‍ෂණ
  • අවුරුද්දකට වැඩි කලක් ගැබ්ගැනීමට උත්සහ කලද ප‍්‍රතිඵල නොලද විට
  • ඔබට අධික පිපාසය, අධික බඩගින්න, බොදවී පෙනීම හෝ අනවශ්‍ය ලෙස බර අඩුවීම වැනි දියවැඩියාවේ ලක්‍ෂණ ඇතිවීම. 

මෙන්න මේ කාරණා එකකට හෝ කිහිපයකට ඔබ මුහුණ දී තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවී ප‍්‍රතිකාර සදහා යොමුවිය යුතු වේ. වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වී  නිරන්තරයෙන් ව්‍යායාම ජීවිතයට එක්කර ගැනීමෙනුත් මෙම රෝගී තත්ත්වයෙන් මිදී කිරි සිහිනය මල්ඵල ගන්වා ගෙන ජීවිතයේ ඒ සුබ පණිවිඩය ලබන්නට දැන් ඔබටත් පුලුවන්. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

ඇදුම, පීනස නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ආසාත්මික වෙතැයි බිය වෙන්න එපා.

කොවිඩ් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගැනීමේදී අපේ සිතේ යම් බියක් ඇති වෙනවා. සාමාන්‍ය පුද්ගලයන් විදිහට එය සාධාරණ සිතුවිල්ලක්. මේ විදිහට බියක් ඇති වෙන්නේ ඇයි..?

  • තවමත් කොවිඩ් ප්‍රතිශක්ති  එන්නත ලෝකයට අලුත්
  • ඒ වගේම එන්නතේ පසු අවස්ථාවන් ගැන ලැබී ඇති  දත්ත  ප්‍රමාණවත් මදි.
  • තමන්ට ආසාත්මික වෙතැයි වූ බිය

සාමාන්‍යයෙන් එන්නතක් සමාජගත කිරීම වෙනුවෙන් වසර ගණනාවක් ගත වුනත් පවතින වසංගත තත්වය ඉදිරියේ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත වසර එකහමාරක්  වැනි කෙටි කාලසීමාවක් තුළ සමාජගත වුණා.නමුත් හදිසි තත්වයක් යටතේ වුනත් එන්නතක් සමාජගත කිරීමේදී අනුගමනය කරන එකදු පිලිවෙතක් හෝ අතපසු කළේ නැහැ.

ආසාත්මික වුනොත්…?

මේ අතර බොහෝ දෙනෙකුගේ හිතේ තමන්ට මෙම එන්නත ආසාත්මික වෙතැයි බියක් තිබෙනවා.ඇදුම, පීනස වැනි තත්වයන් තිබෙන නිසා එන්නත මට ආසාත්මික වුනොත්…? එහෙම නැත්නම් තක්කාලි , අඹ, අච්චාරු කෑවාම මගේ ඇඟ කසලා පලු දානවා. ඒ නිසා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත මට අගුණ වුනොත්…?

මෙවැනි බිය ඇති කර ගන්න එපා.

ආසාත්මිකතාවයක් යනුවෙන් හදුන්වන්නේ Allergy ඇති වෙන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.ආහාර,ඖෂධ, කෘමි සතුන් , පරිසරය වැනි දේ වෙනුවෙන් ඔබ ආසාත්මික වෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට උදේ පාන්දර පින්නට නිරාවරනය වුනොත්…උෂ්ණ ආහාරයක් ගැනීමෙන් පසුව සිරුර කැසීම, පලු දැමීම හෝ කරප්පං ඇති වීම වැනි තත්වයන් එබේ ජීවිතයේදීත් ඇති වෙලා ඇති. මේවා කාලය සමග අවසාන වෙන සුලු ආසාත්මිකතාවයන්.

දරුණු ආසාත්මිකතාවයන් ඇති වෙලා ඇති..

සමහර විට ඉහතින් දක්වන ලද ආසාත්මිකතාවයන් වෙනුවට සමහර විට ඔබ උග්‍ර ආසාත්මිකතාවයන්ටත් ගොදුරු වුන පුද්ගලයෙක් වෙන්නත් පුලුවනි.මෙවැනි අවස්ථාවකදී හුස්ම ගැනීමේ අපහසුතාවය , දිව, තොල් ඉදිමී ගිලිම, කතා කිරීම අපහසු වීම, රුධිර පීඩනය අඩු වීම, බඩ බුරුල් වීම, නොනවත්වාම ඇති වෙන වමනය ක්ලාන්තය, කල්පනාව අඩු විම වැනි රෝග තත්වයන් ඇති වෙන්න පුලුවනි.මේ තත්වය මාරාන්තික ආසාත්මිකතාවය (Anaphylaxis) යනුවෙන් හැඳින්වෙනවා.

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ආසාත්මික වෙන අවස්ථා…

ඕනෑම පුද්ගලයෙකුට කොවිඩ් එන්නතක් ආසාත්මික වෙන අවස්ථා දෙකක් තිබෙනවා.

පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමේදී දරුණු ලෙස ආසාත්මික  වූ අය 

එන්නත් මාත්‍රාවේ අඩංගු සංඝටකයන්ට මීට පෙරාතුව දරුණු ලෙස ආසාත්මික වූ අය

මෙවැනි ආසාත්මිකතාවයක් ඇති වෙන්නේ  ඇයි….?

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ ඇති ”පොලිසෝබියේට්” (polysorbate) සංඝටකය නිසා යම් ආකාරයක ගැටළුවක් ඇති වෙන්න පුලුවනි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි වාර්තා වීම් ඇත්තේ ඉතාමත් කලාතුරකින්.

ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල අඩංගු ”පොලිඑතලින් ග්ලයිකෝජල් ” glycol (polyethylene glycol) වැනි සංඝටකවලට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි. මේ සංඝටකය එන්නත් ලෙසින් ලබා දෙන ප්‍රතිජීවක ඖෂධවල වගේම සුවඳ විලවුන් වලත් අන්තර්ගතව තිබෙනවා.යම් පුද්ගලයෙක් ”පොලිඑතලින් ග්ලයිකෝජල් ”ආසාත්මිකතාවයක් දක්වනවා නම් ඒ පුද්ගලයාට එවැනි සංඝටක අඩංගු එන්නත මගින් ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුලුවනි.

ආසාත්මිකතාවයක් ඇති වුනොත්…?

සමහර විට ඔබට දරුණු ආසාත්මිකතාවයන් (Anaphylaxis) ගැන ඉතිහාසයක් නැතැත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නතේ පළමු මාත්‍රාව ඔබට ආසාත්මික වෙන්න පුලුවනි. එවැනි තත්වයක් ඇති වුනොත් ඔබට දෙවැනි මාත්‍රාව විදිහට වෙනත් එන්නතක් ලබා දීමට කටයුතු කරනවා. දෙවැනි මාත්‍රාවේ රසායන සංඝටකයන් ඔබට ආසාත්මිකතාවයන් ඇති නොවන ලෙසින් ගලපා ගැනීම මෙතැනදී සිදු වෙනවා. ඔබ ආසාත්මික වුනොත් ඒ ගැන ලබා ගත් වාර්තාව අනුව දෙවැනි මාත්‍රාව ලබා දීමට භාවිතා කරන එන්නත් වර්ගය ගැන තීරණයක් සිදු වෙනවා.

ඔබට ඇති ආසාත්මිකතාවයන් එන්නත ගැනීමට පෙරාතුව සදහන් කරන්න.

සැබැවින්ම සුලු ආසාත්මිතාවයක් එන්නත ප්‍රතික්ෂෙප කිරීමට කිසිම ලෙසකින් සාධාරණ හේතුවක් නොවෙයි. ඔබට එක්තරා දවසක අන්නාසි ආහාරයට ගැනීමෙන් පලු නැගී තිබුනොත්..මල් පරාග, දුවිලි මයිටාවන්ට නිරාවරනය වීමට අපහසු ලෙසින් ආසාත්මිකතාවයන් ඇති වෙනවා නම් ඒවා එන්නත ප්‍රතික්ෂෙප කිරීමට හේතුවක් නොවෙයි.

ඒ වගේම උග්‍ර ආසාත්මිකතාවයක් ඇති පුද්ගලයෙක් වුනත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැහැ…

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා දෙන සෑම ප්‍රජා මධ්‍යස්ථානයක්ම එන්නත් ලබා දීමෙන් පසුව ඇති වෙන තත්වය කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. එන්නත ලබා ගෙන විනාඩි 20 ක කාලයක් මධ්‍යස්ථානයේ රඳවා ගෙන පසුවිපරම් කරනවා. පැය හතරක් තුළ ආසාත්මිකතාවයක් ඇති වීමට ඉඩ තිබුනත් ලංකාවේ එවැනි වාර්තාවන් ඇත්තේ ඉතාමත්ම කලාතුරකින් පමණයි.

ඒ වගේම උග්‍ර ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට පෙරාතුව තමාගේ රෝග ඉතිහාසය වගේම පසුගිය වෛද්‍ය පරීක්ෂන වාර්තාවන්ද රුගෙන යෑම ඉතා වැදගත්.සත්‍ය කිව්වොත් එන්නත නොලැබෙතැයි බියක් ඇති කර ගෙන රෝග තත්වයන් සගවන්න එපා.ඔබේ සැබෑ තත්වය සදහන් කළ විට එන්නත ලබා දීම වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබා දිය හැකි රජයේ රෝහලක් වෙත ගොස් එන්නත ලබා ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.

එන්නතෙන් පසුව ඇති වෙන තවත් අපහසුතාවයන්..

එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබට උණ , හිසරදය අත ඉදිමීම, වේදනාව. තුවාල මුඛය කැසීම වැනි සුළු තත්වයන් ඇති වෙන්න පුලුවනි. ඒවා ආසාත්මිකතාවයන් යැයි වරදවා වටහා ගන්න එපා. ඒ වගේම වයස අවුරුදු 18 සිට 30 අතර කාණ්ඩයේ පිරිස බොහෝ අවස්ථාවලදී එන්නත ලබා ගැනීමේදී ක්ලාන්ත වෙනවා. එයත් ආසාත්මිකතාවයක් නොවෙයි.

එන්නත ලබා ගැනීමට පැමිණෙන පසුබිම නිසා විය හැකියි…

ඔබ එන්නත ලබා ගැනීමේදී කුසගින්නේ පැමිණීම, අධික ලෙසින් වෙහෙස වීම හෝ දිගු වේලාවක්  අව්වේ සිටිම නිසා ඇති විඩාව ක්ලාන්තයට හේතුවක් වෙන්න පුලුවනි. ඒ නිසා එන්නත ලබා ගැනීමට පෙරාතුව හොඳින් ආහාර ගෙන විවේකීව පැමිණෙන්න.

කොහොම වුනත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබට ආසාත්මිකතාවයන් ගැන පුරෝකථනයන් තැබීම අපහසුයි. නමුත් එන්නත් නොගෙන සිටීම නිසා ඔබ කොවිඩ් ආසාදිත වීමට ඇති හැකියාව ඉතාම ඉහළ තත්වයක ඇති බවත් අමතක කරන්න එපා.ඒ නිසා ඔබ දරුණු අන්දමේ ආසාත්මිකතාවයන්ට ගොදුරු වුන බවට අතීත අත්දැකීම් ඇත්නම් ඒ බව එන්නත් ලබා දීමට පෙරාතුව අදාල මධ්‍යස්ථානයේ වෛද්‍ය කන්ඩායම දැණුවත් කරන්න. එවිට සුරක්ෂිත ලෙසින් එන්නත ලබා ගැනීමට සුදුසු පරිසර තත්වයක් ඔවුන් විසින් ඔබට සලසා දෙනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය