ඩයපර් පෑන්ට් එක අම්මටත් ලේසියි බබාටත් ලේසියි

පුංචි දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට අත් දහයක් තිබුණත් මදි කියන්නේ නිකමට නෙවෙයි. ගෙදර දොරේ මොන වැඩ කටයුතු තිබුණත් අම්මාගේ රාජකාරී ගොන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ පැටියගේ වැඩ ටික තමයි. පුංචි දඟයන්ගේ දඟ වැඩත් එක්ක එයාගේ වැඩ නම් කරලා ඉවර කරන්න බැහැ. ඒත් කොහොම හරි ඉවර කළා කියමුකෝ, ඔන්න අන්තිමට තෙමාගෙන. දැන් ආයේ පැටියා පිරිසිදු කරන්න වෙලා.

ඉතිං ඩයපර් එකක් දැම්මොත් මොකද?

මේ දඟයා එක්ක ඩයපර් අන්දන්නේ කොහොමද? ඩයපර් එකක් අන්දන්න ඇඳට ගත්තම අනික් පැත්ත හැරෙනවා. කොයි වෙලාවකවත් හරියට අන්දගන්න බැහැ. අනිත් එක බොහොම හොඳට ගලව ගන්නත් දන්නවා.

අම්මටත් පැටියටත් පහසුවක් සැලසෙන වෙන ක්‍රමයක් නැද්ද?

මොකද නැත්තේ… ඩයපර් පෑන්ට් එක තමයි මේකට තියෙන හොඳම විසදුම

ඩයපර් පෑන්ට් එක?

ඔව්.. දරුවාගේ කලිසමක් අන්දන විදියටම අන්දවන්න පුලුවන් නිසා හරිම පහසුයි. අනිත් එක පැටියට ගලව ගන්නත් බැහැ.

බබාට ඩයපර් පෑන්ට් ඇන්දුවම අම්මට ලේසි වෙන්නේ කොහොමද?

දඟ කරන පොඩ්ඩන්ට ඩයපර් එකක් අන්දලා තිබ්බම නිතරම ගලවාගන්න නිසා ඩයපර් පෑන්ට් එකක් ඇන්දුවාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. ඉතින් අම්මලාට තියෙන වැඩ අඩු වෙනවා වගේම හිතටත් බයක් නැහැ.

ඒත් කොහොමද ඩයපර් පෑන්ට් එක හොඳයි කියලා හිතන්නේ,

අන්න එතනදී නම් සැලකිලිමත් වෙන්න ඕනේ. සැමවිටම නියම ප්‍රමිතියේ උසස් නිෂ්පාදනයක් තෝරාගත යුතුයි.

ඉතිං හොඳ ඩයපර් පෑන්ට් වර්ග තියෙනවද?

මොකද නැත්තේ. හොඳ තත්ත්වයේ එකක් තෝර ගනිද්දී ඒවායේ තියෙන මේ ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ ඩයපර් පෑන්ට් එකක් තුනී වගේම උපරිම උරාගැනීමේ හැකියාවකින් යුක්තයි. මතුපිට සුමුදු වගේම වාතාශ්‍රය ගමන් කිරීමේ හැකියාවත් තියෙනවා. දරුවගේ ක්‍රියාකාරකම්වලට වගේම වර්ධනයට බාධාවක් නොවෙන විදියට තමයි ඒ ඩයපර් පෑන්ට් නිපදවලා තියෙන්නේ.

ඔය කියන තරමටම පැටියා තෙමා ගන්න වාරයක් පසා පිරිසිදු කරන එක අම්මා කෙනෙක්ට අපහසුවක්ද?

නැහැ. කිසිසේත්ම අම්මා කෙනෙකුට තමන්ගේ දරු පැටියාගේ වැඩ අපහසුවක් වෙන්නේ නැහැ. ඒත් එක දෙයක් නිසා වැඩ ගොන්නක් එකතු වෙනවා නම් ටිකක් හිතන්න වෙනවා. මේ බලන්න, ඩයපර් පෑන්ට් එක අන්දන්න පහසුයි. පැටියට ගලවගන්නත් බැහැ. අනික පාවිච්චියෙන් පසුව ඉවත් කරන නිසා හෝදන, වේලන, මදින රෙදි කන්දට එකතු වෙන රෙදි කන්දරාව අඩු වෙනවා. ඒ නිසා දරුවට අම්මා එක්ක සතුටින් ඉන්න වෙලාවක් ඉතුරු වෙනවා. දරැවාගේ මානසික සංවර්ධනයට ඒක හරිම වැදගත්. ඒ විතරක්ද දරුවට සුව නින්දකුත් ලැබෙනවා. ගෙදරින් පිටතට දරුවා රැගෙන යද්දී වුණත් අන්දන්න වගේම ඉවත් කරන්නත් ඩයපර් පෑන්ට් එක වඩාත් සුදුසුයි. මොකද දරුවා හාන්සි කරන්නේ නැතිව කලිසමක් අන්දවන ආකාරයෙන්ම ඇන්දවිය හැකි නිසා.

ඉතිං ඩයපර් පෑන්ට් පැටියාට හානියක් නැද්ද?

කිසිසේත්ම නැහැ. උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරාගන්න තාක් ඩයපර් පෑන්ට් නිසා දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඩයපර් පෑන්ට් ඇන්ද වීම දරුවාගේ නිදහසට බාධාවක් ලෙස සිතන පිරිසක් වගේම දරුවාගේ සුමුදු සමේ ආසාත්මිකතා, අවපැහැ වීම්, ගොරෝසු වීම්, කැපීම් තුවාල ඇති වීම ඩයපර් පෑන්ට් නිසා වෙන බවත් ඇතැමුන් විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි කකුල් බකල් වෙනවා, අස්ථි පද්ධතිය හොඳින් හැදෙන්නේ නැ, දරුවාගේ වර්ධනය අඩාල වෙනවා ව‍ගේ මිත්‍යාමතත් ඕනෙතරම් අහන්න ලැබේවි. මේ තත්ත්වයන් ඇති නොවන ආකාරයේ ඩයපර් පෑන්ට් වර්ගයක් තෝරාගැනීමට විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ වෙළඳපොළට එන උසස් නිෂ්පාදනයක් පිළිබඳව දැනුවත් වීම මව්පියන් වන ඔබේ වගකීමක්.

අපහරණයට ලක් වූ දරුවෙක්ට නොකිය යුතු මේ දේවල් ගැන ඔබ දැන සිටියාද?

මල් වගේ අපේ පුංචි දරුවෝ අපි රැක ගන්නේ අපේ ඇස් දෙක වගේ. ඒත් අපිට අත හැරෙන එක තත්ත්පරයකුත් මේ මල් කැකුලුවලට හානියක් සිද්ධ වෙන්න හොඳටම ඇති කියලා හිතෙන්නේ පුංචි දරුවන් මුහුණ දෙන එක් එක් ආකාරයේ හිරි හැර ගැන දවස ගානේ අසන්න ලැබෙන නිසයි. අපේ සමාජයේ වැඩිහිටියන්ට, හිතවතුන්ට ගරුකිරීම ආදරය දැක්වීම ඉතා හොඳ දෙයක් වුවත් ඇතැම් විට අපේ මේ පුංචි දරුවන්ට එය නරකට හිටින අවස්ථාත් එමටයි. මොකද මේ අපේ මල් කැකුළු වැඩිපුර මෙවැනි අපහරණයන්ට ලක් වෙන්නේ අපි හොඳින්ම දන්නා හඳුනන අපේම හිතවතුන් අතින්. එය හරිම ඛේදනීයය පුවතක්. නමුත් සමාජයක් විදියට අපේ දරුවන්ට සිදු විය හැකි මෙවන් ලිංගික පීඩා ගැන දැනුවත් වුනොත් මෙවැනි දේ අවම කරන්න අවස්ථාව ලැබෙනවා.

අපි නොහිතුවත්, විශ්වාස කල නොහැකි වුවත් පාසලේ ගුරුවරුන්, අචිචිලා සීයල, ඥාති සහෝදරයින්, පුජ්‍ය පක්ෂයේ ඇතැමුන්, මෙහෙකරුවන්, අසල වැසියන් විතරක් නෙවෙයි තමන්ගේම සහෝදර සහෝදරියන් වගේම තමන්ගේම දෙමාපියන් අතින් පවා දරුවන් ලිංගික අපහරනයන්ට ලක් වූ බවට සත්‍ය පුවත් අප වෙත ලැබී තිබෙනවා. මෙවැනි තත්ත්ව යටතේ මේ හය හතර නොදන්නා පුංචි දරුවෝ කොයි තරම් නම් අවසනාවන්තද කියා ඔබට වැටහෙනවා ඇති.

අපහරණයට ලක් වූ දරුවෙකුගේ පවුලක් අධ්‍යයනය කිරීමේදී පෙනී යන වැදගත්ම කරුණක් වන්නේ දරුවා අපහරණයට ලක් කල පුද්ගලයා (predators) එම පවුලට එනම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද ඉතාම වටිනා මෙන්ම අත්‍යවශ්‍ය අයෙකු බවටත් විශ්වාසනීය පුද්ගලයෙකු බවටත් පත්ව සිටි බවයි. එසේම මොවුන් තමා කෙරේ ආකර්ෂණයක් සහ ගරු කිරීමක් ඇති කර ගැනීමට (grooming) සමත් වනු ඇත. තවත් විදියකින් සිතුවොත් මෙවැනි පුද්ගලයින් දෙමාපියන්ගේ/පවුලේ දුරුවලතා හොඳි  වටහා ගෙන, ඒවා උදව්වෙන් මේ පුංචි දරුවන් වෙත ලංවෙනවා.

උදා : දෙමාපියන් නිතර ගැටුම් ඇති කර ගැනීම

මත්පැන් භාවිතය හුරුව සිටීම

දරුවන්ට සැමවිටම බැනුම් ගුටි බැට දෙන දෙමාපියන් වීම

සාමන්‍යයෙන් මෙසේ අපයෝජනයට ලක්වෙන දරුවෙකු ඒ පිළිබඳව තම වැඩිහිටියන්ට නොපවසන්නට හේතු කිහිපයක් තිබිය හැකියි. එකක් ලැජ්ජාව වන අතරම නිතර දරුවන්ට කෑකෝ ගසන දෙමාපියන්ගෙන් මේ සඳහා විසදුමක් නොලැබේය යන අවිශ්වාසය නිසාත් අපහරණයට ලක් කරන පුද්ගලයා විසින් මේ කරුණු හෙලි කල හොත් මරනවා/ දරුවාගේ ලගම කෙනෙක්ට හානි කරන බවට කියමින් දරුවා බියවද්දන  නිසාත් විය හැකියි. එසේත් නැතිනම් මේ සියල්ල දරුවාගේ අවශ්‍යතාවයට අනුව සිදු වූ බව පවසමින් දරුවා අන්ත අසරණ තත්ත්වයට පත් කරනවා විය හැකියි. මේවගේ සිදුවීම්වලදී මේ පුංචි දරුවෝ තම විසින්ම තමාව වැරදිකාරයා බවට පත්කරගනිමින් ජිවිත කාලය පුරාම දුක් විඳින තත්ත්වයට පත් විය හැකියි. මේ තත්ත්වය දරුවෙකුගේ මානසික සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කල හැකි අතරම දීර්ගකාලීනව පෞරුෂ වර්ධනයේ දුර්වලතා ඇති විය හැකියි.

දරුවන් අපහරණය ලක්වීම වලක්වා ගැනීමට නම්,

දරුවන්ට මේ සම්බන්ධව නිසි අධ්‍යාපනය ලබා දෙන්න

  • වයස අවුරුදු 2,3 සිටම දරුවන්ට තම සිරුරේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු ස්ථාන පිළිබඳව දැනුවත් කරන්න
  • එම ශරීර කොටස් කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් වෙනත් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ස්ථාන ස්පර්ශ කිරීමද නුසුදුසු බවත් වයසට සරිලන සරල බසින් දරුවාට කියා දෙන්න
  • එසේම මෙවැනි දෙයක් සිදු වුව හොත් බය නැතුව දෙමාපියන් වන ඔබට පවසන ලෙස දරුවට ආදරෙන් කියා දෙන්න.

තමන්ගේ දරුවා ගැවසෙන වටපිටාවේ සිටින්නන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගන්න.

උදාහරණයක් විදියට ළමයින්ගේ ඉස්කෝලේ ගුරුවරු සමග මෙන්ම යාළුවන්ගේ දෙමාපියන් සමගත් වඩාත් හොඳ සබඳතාවයක් ගොඩ නගාගෙන තමන් දරුවන් ගැන හොද අවදානයෙන් සිටින බව ඔවුන්ටත් දැනෙන්න සලස්වන අතරේම දරුවාට මේ සම්බන්ධව අවශ්‍ය දැනුම ඔබ ලබා දෙන බවට වටපිටාවේ සිටින යට ඒත්තු යන්නට ඉඩ හරින්න. හැම විටම දරුවන් සමග දවසේ විස්තර, ගුරුවරුන් සහ යාලුවන්ගේ විස්තර කතා කරන්න.

ඔබ දරුවන්ට සැර වැර කරන, ගහ බනින දෙමාපියෙක් නම් මෙවැනි අවස්ථාවකදී දරුවා ඔබ සමග කතා කිරීමට උනන්දු නොවිය හැකියි. විශේෂයෙන්ම ඔබ හැමදේකටම දරුවා වරදකාරයෙක් කරන මවක්/පියෙක් නම් ඔවුන් හැමදේම සිත තුල රඳවා ගනිමින් පිඩාවට පත්වනු ඇත. ඒ නිසා දරුවන්ට ආදරය, දයාව කරුණාව පාන මව්පියන් විය යුතු බව සිහියේ රඳවා ගන්න.

ඔබේ දරුවා අපහරණයට ලක්වුවහොත්

  • වහාම ළමා ආරක්ෂණ ආයතනයේ/පොලිසියේ සහය පතන්න
  • වෛද්‍යවරයෙකුට පෙන්වා අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගන්න.
  • දරුවා බියට/කලබලයට පත් කිරීමෙන් වැළකිය යුතු අතරම මේ සිදු වීම දරුවාගේ වරදක් නොවන බව දරුවාට වටහා ගත හැකි සරල බසකින් අවබෝධ කරවන්න
  • ඒවගේම දරුවා අත්වින්දේ ළමා මනස සලිත කරවන අත්දැකීමක් බවත්, එය සිදු නොවිය යුතු දෙයක් බවත්, මේගැන දෙමාපියන් වහාම ක්‍රියාත්මක වී දරුවා ආරක්ෂා කරන බවත් දරුවාට වැටහෙන සේ ආදරෙන් සහ ඉවසීමෙන් පැහැදිලි කරන්න.
  • සිදුවූ දෙය දරුවාගේ ආත්මගරුත්වයට සහ ආත්ම අභිමානයට කැළලක් නොවෙන්න වගබලාගන්නා බව දරුවාට පවසන්න.
  • කිසි විටක දෙමාපියන් දරුවාව තනි නොකරන බව දරුවාට ඒත්තු ගන්නන්න.
  • නව යොවුන් වියේ දරුවෙක් නම් ඔවුන්ට ගැටළු බොහොමයක් ඇති විය හැකි නිසා ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න

වැඩිහිටි ඔබ තරයේ සිතට ගත යුතු කරුණක් වන්නේ මේ සම්බන්ධව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීම ඔබේ දරුවා වසර ගණනක් පුරා අපයෝජනයට ලක්වීමටත් මානසිකව දරුණු ලෙස පහතට වටිමටත් හේතු වනු ඇත.

දෙමාපියන් ලෙස ඔබ නොකළයුතු දේ

ඔබේ දරුවා කුමන වයස් විමවේ වුවද මෙවැනි දේ දරුවාට පැවසීමෙන් වැළකිය යුතුය.

  • ඕක මොකක්ද? මට ඕවගේ දේවල් කොච්චර උනාද? ඕක අමතක කරලා දාන්න.
  • ආදරේට සෙල්ලමටනේ ඕක කරලා තියෙන්නේ
  • ඔයා කොච්චර නරක ළමයෙක්ද? මෙච්චර දෙයක් කරන කම්, ඔයා මොනවද කලේ
  • ඔයාගේ වරදින් තමයි මේවා උනේ, චික් කොච්චර ජරා වැඩක්ද කරලා තියෙන්නේ

ඉහත කියමන් අසන දරුවෙකුට ඇතිවෙන දරුණු ලැජ්ජාව සහ වේදනාව නිසාත්, දෙමාපියන් තමන්ව අවබෝධ නොකරගැනීමත්, තමන් වෙනුවෙන් නැගී නොසිටීමත් වැනි කරුණු මත දරුවාට තමාට වැදගත්කමක් නොලැබෙන වටපිටාවක් (chronic invalidating environment) දිගින් දිගටම ඇති වීම නිසා දරුණු මානසික රෝග සහ පෞර්ෂය ආබාධ ඇතිවිය හැකියි.

උද :  Borderline personality disorder.

දරුවන් අසරණයි.. අහිංසකයි… මෙබදු දේවල් ගැන අවබෝධායක් ඔවුන්ට සහජයෙන් පිහිටන්නේ නැහැ… බොහෝවිට ඔවුන් මෙබදු දේවලින්  ශාරීරික සතුටක් ලබන එක ස්වාභාවිකයි. විශේෂයන්ම, මෙබදු සතුටක් ලැබුවේ ඔවුන්ගේම පවුලේ කෙනෙක්ගෙන් නම්, ක්‍රමයෙන් මොළය වර්ධනය වීමේදී එය විශාල වරදක් බව අවබෝධ කර ගත්විට දරුවෙකුට ඇති වෙන මානසික කම්පනයෙන් මිදීමට, මත් පැන්/මත් ද්‍රව්‍ය, සුරා සූදු, අත පය කපා කොටා ගැනීම්, භයානක ලිංගික සම්බන්ධතා වගේම වැඩිහිටි වියේදී තමන්ගේ ජීවිතේ සහකරුට සහ තම දරුවන්ට නොයෙක් කායික මානසික වදහිංසා ඇතිකරන්න පෙලෙඹිය හැකියි. එසේම එබදු අය, තව කෙනකුගේ කෝණයකින් බැලීමට අපහසු අය බවට පත් විය හැකියි. එවන් දරුවන් යම් දිනක සමාජය ගැන ඉතා තද බල අවිශ්වාසයක් ඇති කරගන්නා අතරම මොවුන් දරුණු මානසික අතතියන්ට පත්  විය හැකියි. ඇතමුන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකියි. දරුවෙකු රක ගැනීම ඔබෙත් මගෙත් වගකීම සහ යුතුකම වන නිසාම ඔබේම දරුවා දෙස පමණක් නොව සමාජයේ මෙවන් තත්ත්වයන්ට පත්වෙන වෙනත් දරුවන් වෙනුවෙක් ඔබට යමක් කල හැකි නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

මවු ඇතිදාටත් සෙනෙහස පුදනා මවු නැතිදාටත් තුරුලේ රකිනා තාත්තා

දරුවන් ගේ මනා සංවර්ධනයට සහ යහපත් පෞර්ෂයයක් ගොඩ නැගීම සඳහා මව පියා යන දෙදෙනාගේ ම දායකත්වය අවශ්‍යය වේ. පවුලක් තුළ පියා ගේ කාර්යය ”බත සරි කිරීම” පමණක් නොව දරුවන් ගේ අධ්‍යාපනයේ දී , ආරක්ෂාව සැපයීමේ දී සහ දරුවන් විනයානුකූලව සාදා ගැනීමේ දී පියා ගේ භූමිකාව ඉතා වැදගත් වේ. එක් එක් වර්ධන අවධියේ දි පියාගේ භූමිකාව සහ කාර්යය භාරය විවිධාකාර වේ.

අලුත උපන් බිළිඳා සහ තාත්තා

දරුවාගේ ජීවිතයේ මුල් වසර කිහිපය තුළ දී, පියා ගේ සෙනෙහස සහ රැකවරණය ලැබීම, සුරක්ෂිතභාවය සහ ස්ථාවරභාවය පිළිබඳ හැඟීම් දරුවා තුළ ජනිත වීම සඳහා උපකාරී වේ. දරුවාගේ හැඬීමට හෝ අන් සංඥවලට ප‍්‍රතිචාර ලබා දීම මගින් දරුවා පියා සමග සුරක්ෂිත සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ලබයි. පියා තමාට ආදරය, අස්වැසිල්ල ලබා දෙන කෙනෙක් ලෙස දරුවා සැලකීමට පටන් ගනී. පියවරුන් මවුවරුන්ට වඩා ශාරීරික උත්තේජන ලබා දෙන බැවින් අලුත උපන් දරුවන් බලා ගැනීමේ දී පියවරුන් ද එම කාර්යය ට සම්බන්ධ කර ගැනීම දරුවන්ගේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමෙහි තබා ගැනීමෙහිලා අතිශයින් වැදගත් වේ. එනම් අලුත උපන් දරුවා සමග කටයුතු කිරීමේ දී මව පියා යන දෙදෙනාගේම සහභාගිත්වය ලැබීම තුලින් වඩා තෘප්තිමත්, සාර්ථක සහ විනීත දරුවන් බිහි වේ.

සිඟිත්තන් සහ තාත්තා

සිඟිති සිත් කුතුහලයෙන් බහුල යි. ඔවුන් දැඩි විපරමෙන් යුතුයි, ගවේෂණශීලීයි. මෙම අවධියේ දරුවාගේ පියා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ නියමුවා වෙයි. දරුවාගේ ගවේෂණයන් ට සහය දීම සේම දරුවාට අවශ්‍යය නීති රීති, සීමා පැණවීම ද මෙම අවධියේ දී පියාගේ කාර්යභාරය වේ. පියවරුන් මෙම අවධියේ දී දරුවාගේ සෙල්ලම් සගයා වීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයයෙන් පියවරුන් දරුවන් සමග රළු කී‍්‍රඩාවල යෙදීමට කැමැත්තක් දක්වයි. එසේ ම අභියෝගාත්මක දෑ කිරීමට දරුවා පොළඹවයි. මෙය දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩ නැගීම සඳහා ඉවහල් වේ. එසේම දරුවාට ඇති වන ගැටලු තනිවම විසදාගැනීමේ හැකියාව දියුණු කිරීමට ඉවහල් වේ. එසේම දරුවාට තමා තුළ පවතින ශක්තීන්, කුසලතාවන් පිළිබඳ අවබෝධය දියුණු වේ. එසේම පියා දරුවා සමග සමීපව කටයුතු කිරීම නිසා දරුවන් පහසුවෙන් සමාජයීය සහ භාවාත්මක සම්බන්ධතා ගොඩ නගා ගනියි.

පාසල් දරුවන් සහ තාත්තා

පියවරුන් අභියෝග සඳහා දරුවන් හුරු කරයි. එසේම අභියෝගවලට මුහුණ දීමට දරුවන් පොළඹවයි, දිරිමත් කරයි. ඔවුන්, දරුවන් තුළ ප‍්‍රමෝදය පෙළඹවීම ඇති කරයි. දරුවන් තම ක‍්‍රියාවන්හිදී පියාගේ අනුමැතිය අපේක්ෂා කරයි. පියවරුන් දරුවන් ට තනිව වැඩ කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ තුලින් ඔවුනගේ ආත්මවිශ්වාසය සහ ආත්ම අභිමානය ගොඩ නැගේ. දරුවන් සාරධර්ම සමාජ හරයන් ඉගෙන ගනුයේ දෙමාපියන් තුලිනි. මෙම නිසා විශේෂයෙන්ම දරුවන් ඉදිරියේ දී යහපත් චර්යාවන් පෙන්වීම ඉතා වැදගත් වේ.

දරුවා ගේ ජීවිතයේ පියාගේ භූමිකා

මනා පෞර්ෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී පියාගේ භූමිකාව විවිධාකාර වේ. වරෙක ඔහු සෙල්ලම් සගයාය, වරෙක ගුරුවරයා නැතහොත් පුහුණුකරුවාය, තවත් විටෙක ආරක්ෂකයාය, සහචරයාය, ආදර්ශ සපයන්නාය නැතිනම් ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ය. මෙම සෑම භූමිකාවක්ම මනා පෞරෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී අතිශයින් වැදගත් වේ.

සෙල්ලම් සගයා ලෙසින් – නැලවිලි ගී ගැයීම, කතාන්දර කීම වැනි දෑ මවුවරුන් ගේ කුසලතාව වන අතර ශාරීරිකව වෙහෙසකර කි‍්‍රයාවන්හි යෙදීම පියවරුන් ගේ කුසලතාව වේ. කුඩා කල අස්සයා පිට යාම, ලූණු ගෙන යාම, බයිසිකල් පැදීම, බෝල ගැසීම වැනි දෑ කිරීමේ දී සහ නව යොවුන් වියෙහි දී වීඩියෝ කී‍්‍රඩා කිරීමේ දී පියවරුන් කදිම සෙල්ලම් සගයන් වේ. මෙය මිතුරුකම් ඇති වන මූලික අවස්ථාවයි. දරුවා සමඟ සෙල්ලමෙහි යෙදීම ට පියා කාල වෙලාව වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් පියවරුන් නිහඬ චරිත බැවින් කී‍්‍රඩාව දරුවා සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමේ මාර්ගයක් වේ. දරුවා ට බෙදා හදා ගැනීම ජය පරාජය දරා ගැනීම වැනි ජීවිතය පිළිබඳ පාඩම් කියා දීමට මෙය අවස්ථාවක් වේ.

ගුරුවරයා නැතහොත් පුහුණුකරුවා ලෙසින් – ඉගැන්වීම නැතහොත් පුහුණු කිරීම යනුවෙන් මෙහි අදහස් කරනුයේ ජීවණ කුසලතා පුහුණු කිරීම යි. ඔවුන් වැඩිහිටිවියේ දී ද ඔබ ඔවුනට බයිසිකලය හුරු කළ බව, ඔවුන් සමඟ කි‍්‍රකට් ගැසූ බව සතුටින් සිහිපත් කරනු ඇත. එසේම ඔබ ඔවුනට අභියෝග දුන් බව, අභියෝග කළ බව, පරාජයන් හමුවේ දිරිමත් කළ බව ඔවුන් සිහිපත් කරනු ඇත. පියවරුන් තුල තම දරුවන් පිළිබඳ ඉහළ අපේක්ෂාවන් පවතී. එම නිසාම ඔවුන්ව විශිෂ්ඨත්වය දක්වා රැගෙන යාමට පියවරුන් පෙළඹේ. මෙය උපක‍්‍රමිකව සිදුකළහොත් ඔබේ සිතැඟි හඳුනන ඒවා සඵල කිරීමට පෙළඹවීමක් ඇති දරුවෙක් ගොඩ නැගේ. එසේ වුවද ඔබේ බලාපොරොත්තු සිතැඟි තුල දරුවා සිර කිරීම යුතු නොවේ. එම නිසා සාර්ථකත්වය සඳහා පෙළඹවීම සහ දරුවාට දරුවා ලෙසින් ගොඩ නැගීමට දීම යන කාරණා දෙකම සමතුලිතව පවත්වා ගැනීම වැදගත් වේ.

ආරක්ෂකයා ලෙසින් – පුරුෂ පක්ෂය සාමාන්‍යයෙන් ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්ය. ඔවුන් හොඳ ආරක්ෂකයන්ය. එම නිසා පියවරුන් බාහිරයෙන් තම දරුවන්ට පවුලට සිදුවිය හැකි අනතුරුවලින් වලක්වා ගැනීම සඳහා පවුලට සිටිනා වටිනාම ආරක්ෂකයාය. එසේම ස්වභාවයෙන්ම උරුම වූ වඩා ශක්තිමත් ස්වරූපය නිසා දරුවන් පියවරුන් ආරක්ෂකයන් ලෙස දකියි. දරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂා ව සැලසීම සේම දරුවන් ට අනතුරුවලින් ආරක්ෂා වන ආකාරය උගැන්වීම ද වැදගත් වේ. යහළුවන් අතර ඇති වන ගැටුමක දී ක‍්‍රියා කළ යුතු ආකාරය, ආරක්ෂිත සහ අන්තරායකාරී දෑ, ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස අවදානම් ගැනීම ආදිය පිළිබඳ ව දරුවා දැනුවත් කර තැබීම වැදගත් වේ.

සහචරයා ලෙසින් – පියවරුන්ට දරුවන් සමඟ ගත කිරීමට ඇති කාලය බොහෝ විට සීමිතය. එම නිසාම මෙම ලැබෙන කෙටි කාල සීමාව ගුණාත්මක ලෙස ගත කිරීම ඉතා වැදගත් වේ. එසේම දරුවාගේ විශේෂ අවස්ථා වලදී (නිවාසාන්තර කී‍්‍රඩා උළෙල, පංති කව වැනි) ඒ සඳහා කාලය වෙන් කරවා ගැනීම ද අතිශයින් වැදගත් වේ. දරුවා සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම දරුවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට උදව් වේ.

ආදර්ශ සපයන්නා ලෙසින් – දියණියකට තම ජීවිතයේ පළමු පරිපූර්ණ පිරිමියා ඇයගේ පියා ය. ඇය තම පියාගෙන් තමාට ලැබෙන ගෞරවය අනෙකුත් පිරිමින්ගෙන් ද බලාපොරොත්තු වෙයි. තම අනාගත ස්වාමිපුරුෂයා තුල පියා ගේ ගති ගුණ සොයයි. පුතෙක් තම පියා දෙස බලා වැඩෙයි. ඔහු ව අනුකරණය කරයි. පියා අනෙක් පුද්ගලයන් සමඟ ගනු දෙනු කරන ආකාරයට ගනු දෙනු කරයි. දිනපතාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ දරුවන්ට ආදර්ශ සපයයි. එම නිසා දරුවන් ඉදිරියේ වගකීමෙන් හැසිරෙන්න.

ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ලෙසින් – වගකීමෙන් කි‍්‍රයාකිරීම සහ ආර්ථික වශයෙන් ස්වාධීන වීම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඉහත කී කාර්යයන් මවුවරුන් විසින් ද සිදුකෙරුන ද පියවරුන් විෂයෙහි මෙම කාර්යයන් ඉතා වැදගත් වේ. දරුවන් ස්වාධීන පුද්ගලයන් කිරීමේ දී පියා ගේ කාර්යය භාරය සුවිශේෂී වේ. පියාගෙන් ලැබෙන කුසලතාවන් දරුවා ස්වයංපූරිත කිරීමට ද, විනීත වීමට සහ ශක්තිමත් වීමට ද උදව් වේ.

[කොළඹ 08, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය විසින් සකස් කරන ලද ලිපියකි.]

ගීත ගායනයෙන් වාසි ගොඩක්

ගායනය අපේ ජීවිතයේ නීරෝගී පැවැත්මට ඉතාම වැදගත්. අතීතයේදී නම් බොහෝ දෙනෙක් කිව්වේ සංගීතය ආහාරයක් කියලයි. මේ කතාවේ සුල මුල දැන් විදයාත්මක පර්යේෂණ මගිනුත් සනාථව තිබෙනවා.

ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් සංගීතය සහ අපේ මානසික පීඩනය අතර ඇති අන්තර් සම්බන්ධතාවය ගැන අධ්‍යනයක් සිදු කුරනු ලැබුවා. එහිදී ඔවුන් හඳුනාගත් විදිහට ගායනා කිරීමේදී අපේ ශරීරයෙන් එන්ඩොපින් (endorphins)හෝර්මෝනය නිදහස් වෙනවා. එන්ඩොපින් මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනයක්. මේ අධ්‍යනයේ ප්‍රධාණී ලන්ඩන් යුනිවර්සි(endorphins) ටි කොලේජ්හි මහාචාර්ය ඩේසි ෆැන්කෝර්ට් පවසන්නේ, ගායනා කරන අවස්ථාවලදී මිනිස් ශරීරය තුළ විපර්යාසයන් රැසක් සිදුවන බවයි..

ගායනය නිසා අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකළ මහාචාර්ය ෆෑන්කෝට් පවසන්නේ, එහි විවිධ බලපෑම් ඇති බවය.

“ගායනය කියන්නේ බහුවිධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක්. ඒක අංග රැසකින් සමන්විතයි. ගායනය මානසික සෞඛ්‍යයට යහපත්. ගායනය නිසා හුදෙකලා වෙලා කියන සිතුවිල්ල බැහැර කරනවා.” මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නමැති මානසික ආතතිය (stress) ඇති කරන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩු වන බව මේ අධ්‍යනය මගින් හදුනා ගෙන තිබෙනවා.ඒ වගේම මේ වෙනුවෙන්ම සීමා වුන ගීත සාහිත්‍යක් නැහැ. රොක් වේවා, හාස්ත්‍රිය වේවා ගායනය විසින් මේ අපුර්ව හැකියාව අපට ගොඩ නගන බැව් පර්යේෂිකාව විසින් වඩාත් ඉස්මතු කර පෙන්වනවා. ගායනා කරන විට අපේ මනෝ භාවයන්ට (mood) බලපාන හෝමෝන මට්ටම්වල වෙනසක් සිදු වෙන නිසා අපට මේ වාසිය ලැබෙනවා.

ගායනා කිරීම චොකලට් කනවා වගෙයි.

මේ ගැන ඔවුන් කියන්නේ ගායනා කිරීම හරියට චොකලට් කෑමට සමාන බවයි.අපි සිනාසෙන විට වගේම චොකලට් ආහාරයට ගන්නා විට නිදහස් වෙන එන්ඩොපින් මට්ටමට මෙය සමාන බවයි. ගායනා කරන විට අපි  ගැඹුරු ලෙස ස්වසනය කරනවා.  එයින්  ශරීරය පුරා රුධිර සංසරණ වේගය වැඩි වෙයි. එන්ඩෝෆින් හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක්

ජිම් මොකටද…?

එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ වාර්තාවක සඳහන් අන්දමට  “මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙනවා.ජර්මනියේ ප්‍රසිද්ධ කණ්ඩායම් ගායිකාවක වන ඇනාබෙල් ජීම් යෑම පැත්තක තියලා සතියකට පැය තුනක කාලයක් ගායනා කිරීමේ නිරත වෙනවා. ඇගේ වචනයෙන්ම කිව්වොත්..

“මම ගායනා කරද්දී මට දැනෙන්නේ ඒක භාවනාවක් වගේ. මම ඒ වේලාවට සංගීතය තුළ ගිලිලා ඉන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඒ වෙලාවට.”

“ගායනා කරන්න මුළු ශරීරය ම අවශ්‍යයි. මම ජිම් එකකට නොයාමට හේතුව ඒක,” ඇය පැවසීය

ඩිමෙන්ෂියා සහ පෙනහළු රෝගී තත්වයට

වෛද්‍ය සයිමන් ඕෆර් සඳහන් කරන්නේ ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට වැඩිපුර රුධිරය ගලා යනවා. ඩිමෙන්ෂියා රෝග තත්වයට මේ ස්ථාන බොහොම සංවේදීයි. ඒත් ගායනයෙන් මේ ස්ථානයන්ට හොදින් රුධිරය ලැබෙනවා. මේ නිසා ඩිමෙන්ෂියා රෝග තත්වයට ප්‍රතිකාරයක් විදිහට දැන් ගායනා කිරීම වඩාත් සුදුසු ඔසුවක් බැව් හඳුනා ගෙන තිබෙනවා.මේ නිසා එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මයින්ඩ් සෝන්ග් ආයතනය වැඩිහිටි නිවාසවලට නිරන්තරයෙන් සිය ගායන ශිල්පීන් සම්බන්ධ කරමින් වැඩිහිටියන් ගායනය සඳහා උනන්දු කරනවා.

ඔබ සමූහයක් ලෙස ගායනා කරන විට හිමි වන ප්‍රතිලාභ ඉතා යහපත්. ගායනාවලට සහභාගි වීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් ඊළඟ දවස වෙනකම් හොඳ මානසික තත්ත්වයක පසුවෙනවා කියලා ඒ වැඩිහිටි නිවාස පාලකයින් කියනවා,” මයින්ඩ් සෝන්ග් ආයතනයේ සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩි පවසයි.”මේ ගායනාවන්ගේ ප්‍රතිඵල මොනතරම් ඉහළ තත්වයක තිබෙනවාද කිව්වොත්  එම ආයතනයේ පෙනහලු ආබාධ නිසා හට ගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිළිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු නිතරම පැවැත්වීමට පවා කටයුතු සැලසුම් කර තිබෙනවා…

“ගායන වැඩමුළු පහකට හෝ හයකට සහභාගි වුණාට පස්සේ සමහර රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පැහැදිලි ලෙස යහපත් වුණා.”

එහෙමනම්  බරපතළ පෙනහලු ආබාධ සහිත රෝගීන් ගායනා කිරීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට උත්සහ දැරීම පුදුමයට හේතුවක් නොවෙයි නේද..?. පර්යේෂකයින් පවසන්නේ, සමූහයක් ලෙස ගායනාවලට එක් වීමෙන් හුදෙකලාව අඩු වන අතර සමාජය සමග ගැටීමේ හැකියාව ද වර්ධනය වන බවයි..

එහෙනම්…ඔබේ නිවස පුංචි ගායක සමාජයක් බවට පත් වුනොත් මේ වාසි ලබා ගැනීම එතරම් අපහසු නැහැ.පුංචි දරුවන්ටත් කටේ හිරි ඇරෙන්න හයියෙන් ගීතයක් ගායනා කරන්න අවසර ලැබුනොත් මුලින් කී වාසි සේරම එවුන්ට ලැබෙද්දී නිවසේ ඉන්න වැඩිහිටියන්ටත් කායික වගේම මානසිකව නිරෝගීව සිටිමට සංගීත පරිසරය නොදැනීම පිහිටක් වේවි.

බිබිසි පුවත් ඇසුරිනි.

මේ මිත්‍යා විශ්වාස 5 ඔබත් පිළිගන්නවාද?

අපේ ජීවිතයේ විවිධ සංසිද්ධීන් හමුවේ අනුගමනය කරනු ලබන සම්ප්‍රදායික ගති සිරිත් තුළ ඇතැම් විට මිථ්‍යාවන්ද සම්බන්ධ වී තිබෙන්න පුලුවනි. නමුත් අපි තවමත් මේ අදහස් බැහැර කිරීමට සූදානම් නැහැ. බී.බී.සී පුවත් සේවයට ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරන මේ අදහස් මත ඔබත් යැපෙනවාද බලන්න…

  1. ආහාර ආසාත්මිකයි..

අපට විවිධ ආහාර ගැන චෝදනා තිබෙනවා. මේවා හැම දෙනාටම එක හා සමානව ආසාත්මිකතාවයන් දක්වන්නේ නැහැ. ඒ නිසා කිසිම ආහාරයක් අපට ආසාත්මිකයි යන ලේබලය අලවා පැත්තකට කරන්න බැහැ. නමුත් යම් ආහාරයකින් සමේ කැසීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, කිවිසුම් යෑම, සොටු දියර ගැලීම වැනි තත්වයන් ඇති වුනොත් ඒ ආහාර අපට ආසාත්මිකයි. ඒ නිසා දරුවා කුඩා කාලයේ පටන් ඔවුන් ප්‍රතිචාර දක්වන ආාහර වර්ග හදුනාගත යුතු බව වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය විසින් පෙන්වා දෙනවා.

2. කිරි එරෙන්න අඬන්න ඕනද…?

දරුවෙකු උපත ලැබීමට පෙරාතුව සිටින්නේ ගර්භාෂයේ පාවෙමින්.දරුවා උපත ලබන විට උෂ්ණත්වය වෙනස් වෙනවා. එවිට දරුවා නොසන්සුන්ව අඬන්න පටන් ගන්නවා. ඒ වගේම දරුවා කිරි උරන විට තන පුඩු හරහා ස්නායු උත්තේජනය වී කිරි නිෂ්පාදනය වැඩි වෙනවා.

දරු උපතින් පසුව අම්මාට පලා ව්ග, හාල්මැස්සන් ආදිය ලබා දීමට වැඩිහිටියන් අකමැති වුනත් ආමාශය සහ ගර්භාෂය යනු දෙකක්. ඒ නිසා හාල්මැස්සන් ආහාරයට ගත් විට කිරි සමග හාල්මැස්සන් කටු දරුවාගේ කිරි සමග මිශ්‍ර වේය යන අදහසත්,පලා වර්ග ආහාරයට ගත් විට ගර්භාෂයේ ඇලෙයි යන කරුනුත් මිථ්‍යාවන් බව ඇගේ අදහසයි.

3. එතකොට කකුළුවන් තක්කාලි වැනි ආහාර..

මේවා නම්  ඇතැම් මව්වරුන්ට ආසාත්මිකයි. ඒ නිසා එවැනි ආසාත්මිකතාවයන් ඇති මව්වරුන් නැවත නැවත එම ආාහර ගැනීම දරුවාට බලපාන්න පුලුවනි.

4. බිත්තර එපා..

ගැබ් දරණ කාලයේදී බිත්තර කැඩීම නුසුදුසු බව සමාජගත අදහස වුනත් අද අඩුම මිලට ලබා ගත හැකි පෝෂණ ප්‍රභවයක් විදිහට බිත්තර සලකන්න පුලුවනි.බිත්තර වලින් විටමින් ‘ඒ‘ප්‍රෝටීන් සහ ඇතැම් ඛනිජ වර්ගත් ලබා ගන්න පුලුවනි.ගැබිණි මව පෝෂණයෙන් අඩු ුවනොත් එහෙම නැත්නම් නීරක්තියට පත් වුනොත් එය දරුවාගේ සෞඛ්‍යට බලපාන්න පුලුවනි. ඒ නිසා දුප්පතාගේ හිතවතා විදිහට සැලකෙන බිත්තර ගැබිණි අම්මාවරුන්ගේ ලැයිස්තුවෙන් නම් ඉවත් කළ යුතු නැහැ.

5. මල්වර වුනාම…

ගැහැණු දරුවෙකු මල්වර වුනාම එහෙම නැත්නම් මල්වර වුනාට පසුව මස්, තෙල් අධික ආහාර ලබා දිය යුතු නැහැ යන අදහසත් වෙද්‍යවරිය විසින් බැහැර කරනවා. එහි කිසිම විද්‍යාත්මක සත්‍යක් නැහැ.පළමු රුධිරය පිටවීම නිසා එය ඉතාම පීඩාකාරියි. ඒ වගේම දහනය වන දේවලුත් ඉහළයි.මාංශපේශි වර්ධනයට සහ හිමොග්ලෝබින් ප්‍රතිශතය ඉහළ නැංවීමට සත්ව ආහාර ලබා දීම තාම වැදගත් බැව් ශාන්ති ගුණවර්ධන මහත්මියගේ අදහසයි.ඒ නිසා ප්‍රෝටීන් සහිත ආහාර වගේම එළවලු,පළතුරු දරුවාගේ ආහාරයට එක් කිරීම ඉතාම වැදගත්. අදටත් දමිළ ජනතාව වැඩිවිට පත් දැරියට බිත්තර සහ තලතෙල් ලබා දෙනවා.

(බීබීසී පුවත් සේවයට ප්‍රජා සෞඛයය වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය දක්වන අදහස් ඇසුරිනි.)

මද්දුමයාට පවුලේ තැන…

සාමාන්‍යෙයන්  අපේ පවුල්වලදී වැඩිමහල් දරුවාට ටිකක් වගකීම් වැඩියි. දැන් එයා ලොකුයි. නංගියෙක් , මල්ලියෙක්  ඉන්නවා කියන බාරදූර වගකීම දෙමව්පියන් විසින්ම ඔවුන්ගේ හදවතටම සමීප කරනවා. එහෙම නැත්නම් අනේ අපි මුලින්ම දරු සුරතල් බලපු  දරුවානේ…කියන වැඩි තක්සේරුවකුත් ලබා දෙන අවස්ථා තිබෙනවා.

ඒ වගේම පවුලේ බාලයාත් සුවිහේෂයි. ඊට හේතුව ඉතින් බඩපිස්සානේ…හැමදාම බාලයා පවුලේ නොදරුවා. එහමනම් මේ මද්දුමයා ගැන මොකද හිතෙන්නේ…සමහර විට ඔබ කියාවි ඇයි ඉතින් මද්දුම බණ්ඩාර ළමා වීරයා…අයියා මරණයට බය වුනත් මද්දුමයා විදිහට වීරයෙක් වගේ එඩිතර වුනා.

අපි බලමු මද්දුම දරුවන්ගේ චරිත ගැන විවිධ පර්යේෂණ සාහිත්‍ය මගින් මොකද කියන්නේ…?

රදලන්ඩ් විහ්ව විද්‍යාලයේ මනෝවිදයාව පිලිබඳ මහචාර්යවරියක වන ‘‘කැතරින් සැල්මොන්“ සදහන් කරන අන්දමට මැද දරුවා නිතරම තමා වෙතට අවධානය ලබා ගැනීමට උත්සාහ ගන්නවා. වැඩිමලා ඉබේටම තමාට බාල සහෝදරයන් සිටින විට යම් තැන්පත්කමක් ගොඩ නගා ගන්නා අතරම බාල දරුවාට මේ ශක්තිය තවම ලැබී නැහැ. ඒ නිසා මදද්ුමයා මේ අවස්ථාවෙන් හොඳින් ප්‍රෙයා්ජන ගැනීමට උත්සාහ ගන්නවා. ඒ නිසා මද්දුම දරුවා නිතරම තමාගේ වැඩිමහල් සහෝදරයන්ගේ තැන අතික්‍රමනය කරනවා කිව්වත් නිවරැදියි.

ගැටළු නිරාකරනය කර ගැනීමටත් පුලුවනි.

පවුලක වැඩිමහල් දරුවාට යම් ගැටලුවක් ඇති වුනාම ඒ වෙනුවෙන් මැදිහත් කරුවන් සිටියේ නැහැ. ඒ නිසා ගැටලු ඉදිරියේ මේ දරුවා බොහොම අසරණ වුනා. නමුත් මද්දුමයාට පවුලේ වැඩිමහල් අයගෙන් උදව් ලැබුණා. ඒ නිසා මද්දුමයා හොද බේරුම්කරුවෙක් බවට පත් වුණා. ඒ වගේම මද්දුමයා පවුලේ වැඩිමහල් සහ බාල දරුවන් සමග අත්දැකීම් හොදින් බෙදා හදා ගන්නා නිසා ගැටලු නිරවුල් කර ගැනීමට විශාල හැකියාවක් උපයා ගන්නවා.

සමාජශීලියි..

හරියට මද්දුම බණ්ඩා ළමා වීරයා වගේ පවුලේ මද්දුම දරුවාත් බොහොම සමාජශීලියි.ඔවුන්ට ලොකු සමාගමක් තිබෙනවා. වැඩිමහල් සහ බාල පිරිස් අතර සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමෙන් උපයා ගත් මේ හැකියාවන් නිසා නොදැනීම සමාජය සමගත් හොඳින් ගණුදෙනු කිරීමේ හැකියාව ගොඩ නගා ගන්නවා.

අවදානමටත් සූදානම්…

පවුලක වැඩිමහල් දරුවාට තිබෙන්නේ විහාල රැකවරණයක්. හැම දෙනාම වැඩිමහල් දරුවා වෙනුවෙන් වැඩි අවධානයක් දක්වනු ලැබුවා. ඒත් දෙවැනි හෝ තුන්වැනි හතර වැනි වෙත්ම දෙමව්පියන්ට පෙර සේ වැඩි අවධානයකින් කටයුතු කිරීම අපහසුයි. දෙමව්පියන් කාර්ය බහුල චරිත බවට පත් වෙනවා. මේ නිසා මද්දුම දරුවා නිතරම අවදානම් කටයුතු වෙනුවෙන් සූදානම්. ඒ හැකියාව ඔහු පවුලෙන්ම උපයා ගන්නවා.

නිර්මානශිලියි…

ඔබේ පවුලේ සහ වෙනත් දන්නා හඳුනන අයගේ මද්දුම දරුවන් සමග මේ අදහස ගලපා බලන්න.අකුරු ඉගෙනීමේදී වුනත් මද්දුමයා දක්ෂයි. ඊට හේතුව වැඩිමහල් දරුවන් ඉගෙන ගන්නා දේ ඇසුරින් මදදුමයා බොහෝ දේ ඉගෙන ගනන්වා. එක් පවුලක වැඩිමහල් දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියන විට දෙවැනි දරුවා ළදරු පාසල් යන අවධියේ සිටියා. ඒත් වැඩිමල් දරුවාට කියා දෙන දෙයින් ලබා ගත් දැණුම මද්දුමයාට හොදින් පිහිටා තිබුනා. ඒ නිසා අයියාගෙන් අහන ප්‍රශ්නවලට නිතරම කඩිනමින් පිලිතුරු ලබා දීමට නංගී සූදානම් ශරීරයෙන්ම සිටියා. ඒ වගේම බොහොම නිර්මානශීලී කටයුතු වෙනුවෙනුත් හපන්කම් දැක්වූයේ වැඩිමහල් දරුවාට කියා දෙන දෙයින් ඇය ලැබූ ආභාෂය නිසයි.

හැබැයි පීඩනයකුත් තිබෙනවා.

බොහෝ පවුල්වලින් මද්දුම දරුවා නොදැනීම අතපසු වෙන අවස්ථා තිබෙනවා. බාල දරුවන්ට සැලකිය යුතු කාලය දැන් එළැඹ ඇවිත් බැව් දෙමව්පියන්ගේ අදහසයි. ඒ නිසා පවුලෙන්ම ප්‍රතික්ෂෙප වීමේ මානසික පසුතැවීමෙන් මද්දුම දරුවා පීඩා විදින බවත් අමතක කළ යුතු නැහැ.

පිය සෙනහසත් කොන්දේසි විරහිත විය යුතුයි

තාත්තා කියන්නේ පවුලක විශිෂ්ට චරිතයක්. පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය මුල් කර ගත් භුමිකාවේ තාත්තා පවුලක ආධිපත්‍ය්‍ය දැරූ වීරයෙක් බවට පත් වුනා. නිවසේ මූලිකයා, බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂකයා , දරුවන් හික්මවනු ලබන්නා වගේම සදාචාර උපදෙස් ලැබුනෙත් තාත්තා ගෙන්. ඇයි ඉතින් මේ කාලයේ අම්මා කියන කාන්තාවට තිබුනේ හැඳිමිටේ නුවණ කියලා පැත්තකට කොටු කළ යුගයක්නේ…

  • කාලය සමග වෙනස් වුණා..

ඇත්තටම කාලය සමග පිතෘත්වයටත් යම් යම් වෙනස්කම් ලැබුනා. අම්මා ගැන වැඩිමනත් කතා බහ ආරම්භ වුනාම ‘‘පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි“ යනුවෙන් පියවරුන් ගැනත් යම් ආත්මානුකම්පාවක් ඇති වුනා. ඒ වුනත් තවමත් තාත්තා කියන චරිතය පවුලේ අභිමානය බව අමතක කරන්න එපා.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ කෘතියේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික තාත්තා කියන චරිතයට වඩා තාත්තා යනු දරුවන්ගේ ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් විය යුතු බවයි. ආර්. එල්. ග්‍රිස්වල් පෙන්වා දෙන විදිහට බටහිර රටවල් වෙතින් නම් මේ තත්වය හොඳින් දක්නට ලැබුනත් තවමත් ආසියාතික කලාපයට තාත්තා ඉහත සඳහන් කරන ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් වී නැති බවයි.

  • තාත්තාටත් මෘදු කුසලතාවයන් ඕන.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

ඇත්තටම තවමත් පවුලක දරුවන් හුරතල් කිරීම, ආදරය දැක්වීම වැනි බොහොම මෘදු කුසලතාවයන් දරුවන්ට ලැබෙන්නේ අම්මා ගෙන්. සමහර තාත්තලා හිතන්නේ දරුවන්ට මෘදු කුසලතාවයන් විදිහට කියන ආදරය දැක්වීම, සුරතල් කිරීම වැනි සමීපතාවයක් ඇති වුනොත් දරුවන් ‘‘ ගෝනි නැතුව කරේ යන්න“ පුලුවන් බවයි. ඒ කියන්නේ තාත්තලගේ හිතේ තමන්ගේ තරාතිරම ගැනත් යම් අභිමානයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මෘදු කුසලතාවයන් හෙවත් දරුවන්ට සමීපව කටයුතු කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

  • එහෙම වුනොත් මොකද වෙන්නේ..

ඔව් ඉතින් තාත්තාගේ සමීපතාවය පුංචි කාලයේ පටන්ම දුරස්  වෙලා. දරුවන්ගේ ලෝකයේ තාත්තා කියන්නේ උත්තම චරිතයක් කියන සංකල්පය ගොඩ නැගුනත් කාලය සමග දරුවා තාත්තාගෙන්  දුරස් වෙනවා පමණක් නොව සෘජු සන්නිවේදනයක් පවත්වා ගන්නත් බැරි තරම් කුලෑටි දරුවෙකු බවට පත් වෙනවා.

  • තාත්තාලා කොහෙද දරුවන්ට බත් කැව්වේ…ඇදුම් සේදුවේ…

අපි නම් හිතන්නේ එහෙම වුනත් තාත්තා කෙනෙක් අතින් මේ කටයුතු ඉටු වීම මනෝවිද්‍යඥයින්ගේ පැත්තෙන් නම් කිසිම වරදක් නැහැ. අම්මා පමණක්ම බත් කවන්න…ඇඳුම් සෝදලා අන්දවන්න කියන නියමයක් ඉහත නැහැ. ඒ නිසා දරුවන් ඉන්න තාත්තා කෙනෙකුට නම් මේවා අවතක්සේරුවක් වෙන කටයුතු නම් නොවෙයි.

  • තාත්තා දරුවන් සමීප වීමෙන් ලැබෙන වාසි….

තාත්තා දරුවන් සමග සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි කීපයක් තිබෙනවා. දරුවන්ට මුල් කාලයේදී භාෂාව ඉගෙනීමේ දායකත්වය ලැබෙන්නේ තාත්තාගෙන්.ඒ වගේම පුද්ගලයන් අතර සන්නිවේදනයන් ගොඩ නගා ගැනීමේ හැකියාවත් දරුවාට ඉබේටම ලැබෙනවා. අපි කොටින්ම මෙහෙම කියමු. තාත්තා සමග හොදින් අදහස් හුවමාරු කර ගන්නා දරුවා ගේ තිබෙන ශක්තිය නිසා ඔවුන්ට මාමා, බාප්පා  වැනි චරිත සමග වුනත් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගන්න පුලුවනි. ඔබ මේ විදිහට අහලා ඇති..

අපේ පුතා තාත්තාට හරිම බයයි. එයාට උවමනා දෙයක් වුනත් මං හරහා තමයි කියන්නේ…තාත්තාගේ භුමිකාවේ මේ පැත්ත ගැන ඒ විදිහට ගාම්භීරව හිතුවත් එයින් දරුවාගේ පෞරෂයට නම් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

  • දරුවා තුළ පියා ගැන අභිමානයක් ගොඩ නැගෙන්නේ මේ විදිහටයි..

රෝස් ඩි පාර්ක්  විසින් ඇගේ ‘‘පීතෘත්වය“නැමැති කෘතියේ සඳහන් කරන්නේ දරුවා නිතරම පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවාගේ භුමිකාවේ ආදරශ ආකෘතිය බවට තාත්තා කියන චරිතය පත් වෙනවා. මේ නිසා සම්ප්‍රදායිකව හිතුවාට වඩා අලුත් මානයක් පියා වෙනුවෙන් ගොඩ නැගෙනවා.

  • තාත්තා දරුවන්ට සමීප නම් අධ්‍යාපනය දියුණු වෙනවා…

ජීවිතය ජයගත් බොහොම දෙනෙක් තමන්ගේ අතීත ආවර්ජනාවන්හිදී ඔවුන්ට අත හිත දුන් අය ගැන සඳහන් කරනවා. මේ චරිත අතරට අම්මා, තාත්තා, වගේම ගුරුවරුන් අයත් වෙනවා. ඒ වගේම යුනෙස්කෝ මගින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ දරුවන් සමග සම්බන්ධතාවයන් ඉතා සමීපව පවත්වා ගෙන යන, තමා  රැකබලාගන්නා සහතිකය දරුවන්ට ලැබී ඇති විට දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ලැබෙන බවයි. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට බොහොම හිතකර පරිසරයක් සකස් වෙන බවත් දැන් පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.

  • සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නේ කොහොමද…?

අලුත උපන් දරුවන්ට සරල ක්‍රියාකාරකම් මගින් යම් යම් දේ ඉගෙන ගන්න පුලුවනි. තාත්තාගේ තුරුලට දරුවා වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් සමහර තාත්තාලා දරුවාට මාස තුන හතරක් ගෙවෙන තෙක්ම වඩා ගන්නේ නැහැ. රැවුල ඇනෙයි…දරුවාට රිදෙයි…හදිසියේවත් රිදුනොත් වැනි අධි ආරක්ෂිත හේතු නිසා මේ තීරණ ගත්තත් දරුවා පියාගේ තුරුලට කැමැත්තක් දක්වනවා.

උපත ලැබීමෙන් පසුව මුල් මාස තුනේ දරුවාගේ ඇස් පෙනීම ඉතාම දියුනුයි.මේ කාලයේදී වර්ණ වස්තු, ඡායාරූප ආදිය පෙන්වීම , දරුවාට සිනාසෙන්නට හැකි අන්දමේ ක්‍රිඩා කිරීමෙන් තාත්තාට දරුවාට සම්බන්ධ වීමට පුලුවනි.

මාස හයක් පමණ ගෙවුනාම තාත්තාට  ආහාර ලබා දෙන වේලාවටත් සම්බන්ධ වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවාට පියාගේ ආදරය දැනෙන විදිහට තාත්තා හැසිරෙන්න ඒන. තාත්තාගේ ආදරය කොන්දේසි විරහිත බව දරවාට ඒත්තු යෑම ඉතාම වැදගත්.

UNICEF පත්‍රිකාවක් ඇසුරිනි

පන්තියේ ටීචර් නිසා මගේ දරුවා Bully වෙනවා… මේකට විසඳුමක් නැද්ද?

ගුරුවරු කියන්නේ දෙමාපියන්ගෙන් පසුව දරුවන්ගේ ජිවිතයට මග පෙන්නවන්නට හමුවෙන දෙවන මව්පියන් කිව්වොත් නිවැරදියි. බහුතරයක් ගුරුවරුන් දරුවන්ට ඉතා ලෙන්ගතුව මග පෙන්වීම් කළත් සුළුතරයක් ගුරුවරුන්ට දරුවන්ගේ අනාගතය ගොඩ නැංවීම ගැන විශේෂ අවශ්‍යතාවයක් හෝ මේ මගේ දරුවා වැනිම තවත් දරුවෙකු ලෙස සිතීමේ හැකියාවක් නැති තරම්. මගේ දියණියන් දෙදෙනාම පාසැල් වයසේ පසුවන නිසාම වසර ගණනක මුළුල්ලේ සිටම ගුරුවරුන් පිළිබඳව විවිධාකාරයේ අත්දැකීම් ලබා ඇත්තෙමි. කෙසේ වුවද සතුටට කරුණ වන්නේ ඔවුන් දෙදෙනාටම දරුවන්ට ආදරය දක්වන ගුරුමව්වරුන් මුණ ගැසීමයි. මේ ලඟදී දිනක, මගේ වැඩිමල් දියණිය ඇයගේ එක ගුරුවරියක් පිළිබඳව පැවසුවේ, ” අම්මා, තිලිනි ටීචර් නම් බුදුහාමුදුරුවෝ වගේ… එයාට තියෙන්නේ පුදුම ඉවසීමක්, කරුණාවක්” කියාය. වයස අවුරුදු එකොළහක් වන ඇයට තමන්ගේ ගුරුතුමිය ගැන ඒ ආකාරයෙන් පවසන්නට ඇය මොවුන්ට මවක් මෙන්ම වන්නට ඇතැයි මට සිතුණි. මේ මගේ කතාව වුවත් මෑතකදී මගේ යෙහෙලියකගේ දියණියකට අත්වූ ගැටලුව නම් මෙයින් හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඇයගේ දියණිය තුන වසරේ ඉගෙනුම ලබන අතරම ගුරුවරියගේ අනිසි හිරිහැර නිසා පීඩාවට පත්ව ඇති අතරම මගේ යෙහෙළියත් ඇයගේ සැමියාත් මේ වෙනුවෙන් කල හැකි කිසිවක් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටී. දරුවාගේ මානසික තත්වය සමතයකට පත් කිරීම වෙනුවෙන් කල හැක්කේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් ඒ පිළිබඳව සුවිශේෂී දැනුමක් ඇති ළමා මනොවෛද්‍යවරයෙකු සමග සාකච්ජා කිරීමටත් මෙවැනි තත්ත්වවලට මුහුණ දෙන තවත් දෙමාපියන් වෙනුවෙන් මේ සහටන සකස් කිරීමටත් මම සිතුවෙමි. මේ වෙනුවෙන් මට සිය දැනුම සහ උපදෙස් නොමසුරුව ලබා දෙන්නට දහසක් රාජකාරි මැද වුවද සිය වෙලාව වෙන්කර දුන් කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාගම ශික්ෂණ රෝහල ළමා සහ යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය  මියුරු චන්ද්‍රදාස මහතාට හදපිරි ගෞරවය සහ ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

ඔව්… ඇත්තටම ගුරුවරුන් නිසාත් දරුවන් මේ ආකාරයට පීඩාවට ලක්වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ගුරුවරුන්ට බිය නිසා හෝ දරුවාට තියෙන පීඩා තව තවත් වැඩිවෙයි කියා සිතා හෝ මෙවැනි තත්ත්වයකදී නිහඬව සිටීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙවැනි තත්ත්වවලදී දෙමාපියන් බොහෝසෙයින් අසරණ තත්ත්වයට පත්වෙනවා. ගුරුවරයා සමග කෙලින් මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පන්ති කාමරය තුල දරුවා තවත් අසරණ විය හැකි තත්වයක් නිසාම වක්‍රාකාරව මේ සම්බන්ධයෙන් කතා කිරීම ඔබට කල හැකියි. මෙවැනි හේතු මත දරුවන් පාසලෙන් ඉවත් කරගැනීමට පවා කටයුතු කරන දෙමාපියන් සිටිනවා. මෙතැනදී ඇති වන  ගැටළුවක් වන්නේ ගුරුවරයා යනු ශිෂ්‍යයෙකුට පරමාදර්ශී චරිතයක් බව ගුරුවරයා තුල අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ එක් ප්‍රතිචාරයක් දරුවෙකුගේ  අනාගතයට, ආත්ම අභිමානයට, ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට මෙන්ම පෞරුෂත්ව වර්ධනයට කෙතරම් බලපෑම් කරනවාද යන්න ඔවුන් දන්නේ නැහැ. මෙවැනි හේතු මත දරුවෙකුට ඇති වන මානසික බලපෑම නිසා විෂාදය වැනි තත්ත්වවලට පවා පත් විය හැකිය. දරුවා බියට පත්වීම, නින්ද නොයෑම, කලකිරුණු ස්වභාවය, ඉගෙනීම අත්හැරීම වැනි තත්ත්ව මෙන්ම තමා මුහුණ දෙන පීඩාකාරී තත්ත්ව විටින් විට සිහියට නැගෙන ආකාරයේ පසුකම්පන තත්ත්වවලට වුවද දරුවෙකු පත් විය හැකියි. ගුරුවරු කියන්නේ දරුවෙකුගේ මානසික සංවර්ධනයට විශාල බලපෑමක් කරන චරිතයක්. දරුවන්ගේ පරමාදර්ශී චරිත වන ගුරුවරු වැනි අයගෙන් හිරිහැර වෙන දරුවෙකුගේ ස්වාභිමානය ගොඩනැගෙද්දි විශාල පසුබෑමකට ලක්විය හැකියි.

මෙවැනි තත්වයකදී දෙමාපියන් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙන එක සාධාරණයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ දරුවාට ඇති වන මානසික බලපෑම හොඳින් මුදාහරින්න නිවසේදී දරුවාට අවස්ථාව ලබා දීමයි. දරුවාට සවන් දීම මෙතැනදී  බොහොම වැදගත් වෙනවා. නිවසේදී කිසිදු මානසික බලපෑමක් දරුවාට අත්විඳීමට සිදුනොවිය යුතු අතරම ඔබ දරුවාට ඇහුම්කන් දීම මගින් දරුවාට යම්තාක් දුරකට සහනයක් ලැබෙනවා.

මෙවැනි තත්ත්ව වලදී ඇතැම් දෙමාපියන් පාසලට ගොස් ගුරුවරයාට බැන වැදී ඉතා නොසන්සුන් ලෙස ආවේගශීලි ලෙස හැසිරෙන අවස්ථා තිබුනත් ඒක මේ ගැටලුවට හොඳ විසදුමක් නම් වෙන්නේ නැහැ. එයින් ඔබේ දරුවා තවදුරටත් පීඩාවට ලක්විය හැකියි.

මෙතැනදී ගුරුවරුන්ගේ තවත් සිතුවිල්ලක් වන්නේ, දිනපතා කටයුතුවලදී දරුවන්ට ලබාදෙන අවවාද, විධාන ඔවුන් ගන්නට නොගන්නා බවයි. එත් සමගම දරුවෙකු පීඩාවට පත්වන ආකාරයට හැසිරීම දරුවෙකුට බලපෑමක් ඇති කරවන බවක් ඇතැම් ගුරුවරු නොදන්නවා විය හැකියි. නමුත් සංවේදී දරුවෙකුට මේ අත්දැකීම නිසා තම ජිවිත කාලයටම බලපෑම් ඇති විය හැකියි/ උදාහරණය විදියට මෙවැනි පදිවකට ලක්වුණු දරුවෙක් සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වීමට පවා බිය විය හැකියි. එසේම රැකියාවක නියුතු වන විටත් ඉතාම බයාදු පෞරුෂත්වයක් සමගින් වින්දිතයාගේ චරිතය නිරුපණය කරන අතරම සමාජය එවැනි පුද්ගලයන්ගෙන් වාසි සහගත දේ ලබා ගැනීමට දෙවරක් සිතන්නේ නැත. මෙවැනි දරුවෙකුට වින්දිතයාගේ චරිතයෙන් මිදීම අතිෂය දුෂ්කර කටයුත්තක් වෙනවා.

මෙතැනදී දෙමාපියන් බොහොම සුක්ෂම විය යුතුයි. දරුවට එල්ල විය හැකි මානසික බලපෑම අවම වන ආකාරයට ක්‍රියාත්මක විය යුතුයි. ගුරුවරිය සමග වක්‍රාකාරව හෝ කතා බහ කොට ගැටලුව නිරාකරණය කර ගැනීමට සැලසුම් සහගත විය යුතුයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?

දරුවන් සම්බන්ධව මගේ අත්දැකීම් ගැන කියනවනම් ඒවා මගේම පුංචි දුවගෙනුත්, මගෙන් ප්‍රතිකාර ගන්න එන සාමාන්‍ය පවුල්වල ළමයින්ගෙනුත් , ළමා රක්ෂක සංවිධානය විසින් දෙමාපියන්ගෙන් වෙන් කරපු ළමයින්ගෙනුත්, නොයෙක් මානසික සහ කායික ලෙඩ තියෙන ළමයින්ගෙනුත් වගේම හිරේ ඉදගෙන හිරබත්කන ළමයින්ගෙනුත් ලබාගත්ත ඒවා වෙනවා.

අපි පොඩ්ඩකට ළමා ලෝකෙට යමුද?

මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව් හෝ වෙනත් ඕනම ළදරු සතෙක් උපන් දවසේ සිටම සතුන් දඩයම් කර ගෙන තමන්ව අරක්ෂාකර ගන්නවා. පරිණාමයේ ඉදිරියෙන්ම ඉන්න මනුෂ්‍ය දරුවා අවුරුදු 25 – 28 වනතුරුම ඉන්නේ යම්තාක් අනාරක්ෂිත තත්වයක.(vulnerable)

මනුෂ්‍ය දරුවා ස්වරැකවරණය සලසා ගත නොහැකි ජීවියෙක් වුයේ කෙසේද?

අනිත් සතුන් පසුකරමින් ලෝකයේ ඉදිරියෙන්ම අපේ තැන පවත්වා ගන්න නම් මනුෂ්‍ය දරුවා ශිෂ්ඨාචාරයෙන් සහ බුද්ධියෙන් ඉදිරියෙන්ම සිටිය යුතු අතරම ඒ සඳහා මනුෂ්‍ය දරුවාගේ මනස තමන්ගේ පරිසරයෙන් ඒ කියන්නේ වටපිටාව සහ තමා වටා වෙසෙන අනෙක් පුද්ගලයන්ගෙන් (වැඩිහිටියන්ගෙන්) ලැබෙන අත්දැකීම්  සමග වර්ධනය විය යුතුයි. මේ අතරින් දෙමාපියන්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වටිනා අතරම දරුවෙකුගේ මොළයට කල්පනාකාරී ලෙස තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වන තුරු ඔවුන් දරුවන්ව රැකගන්නවා.

වැඩිහිටියෙක් ලෙස ලොවට අවතීර්ණ වීම සඳහා අපේ මොළයේ වම් පැත්ත බුද්ධියෙන් ඉදිරියට යද්දී දකුණු පැත්ත පෞරුෂ වර්ධනය, හැඟීම් සහ ආවේග පාලනය කරමින් වර්ධනය විය යුතුයි. අපේ සමාජය බොහෝ විට අගයන්නේ දරුවෙකුගේ බුද්ධියයි. අපේ පාසල්වල තරග විභාග මගින් වුවත් සැමවිටම ප්‍රමුඛත්වය දෙන්නෙත් ගණිත හැකියාව, අකුරු ලිවීමේ හැකියාවට. නමුත් මෙතැනදී දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස සිදුවිය යුතු වර්ධනය මගහැරෙනවා.

දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස වර්ධනය වෙන්නේ කෙසේද?

මෙහි වර්ධනය සිදුවන්නේ දෙමාපියන් හෝ දරුවා රැකබලාගන්නා වෙනත් වැඩිහිටියෙක් සමග දරුවන් ගොඩ නගා ගන්න සම්බන්දකම් මතයි. මෙන්න මේ

ආකාරයට දරුවන් දෙමාපියෝ සමග ඇතිකර ගන්නා  බැඳීම attachment  කියලා  පුළුවන්. මේ බැඳීමට දරුවා විතරක් නෙමේ, දෙමාපියොත් එක වගේම දායක විය යුතුයි. වැඩිහිටියෙක්ගෙන් ලැබෙන ආදරය, දයානුකම්පාව, නිවුණු සැනසුණු බව (calm), දරුවා ට දරුවෙක් ලෙස දක්වන පිළිගැනීම, කොන්දේසි විරහිත ගෞරවය (unconditional positive regard) යන කරුණු දරුවෙක්ට දෙමාපියන් සමග ආරක්‍ෂිත බැදීමක්(secure attachment) ඇතිකරගන්න බොහෝසෙයින් වැදගත් වේ. මෙලෙස ආරක්‍ෂිත බැදීමක් ඇතිකරගන්නා දරුවා ආත්ම විශ්වාසයෙන්, තමන්ට දක්වන ආදරයෙන් ගරුකිරීමෙන් වගේම අන්‍යයන්ටත් අනුකම්පාව, දයාව, ගෞරවය ලබාදෙමින් ජිවිතයේ ඉදිරියට ගමන් කරයි. එවැනි දරුවන් තම ආවේග මනාව පාලනය කරගන්නා අතරම දරුවන් ක්‍රමක්‍රමයෙන් වැඩිහිටි වයස කරා යනවිට ඉතා හොඳ මානසික සෞඛ්‍යයක් සහිත පුද්ගලයන් බවට පත් වේ. එසේම මත්ද්‍රව්‍ය, මත්පැන්, සියදිවි නසාගැනීම්, තමාටම හානි සිදුකරගැනීම් වැනි දේ වෙත මෙම තත්වයේ දරුවන් පෙළඹෙන්නේ අවම වශයෙනි. තවද මේ ආකාරයෙන් මනස ගොඩ නැගෙන දරුවෙකු අනාගතයේදී තම ජිවන සහකරු හෝ සහකාරිය සමග වුවද ගැටුම් ඇති කරගැනීම අවම වන අතරම ඔවුන් ඔවුන්ගේ දරුවන්ට යහපත් දෙමාපියන්ද වනු ඇත.

දරුවෙකුගේ මනසේ නිසි වර්ධනයට දෙමාපියන්ට පැවරෙන වගිකීම කොයි ආකාරද?

දරුවාගේ මනස සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබ දෙමාපියන් ලෙස සර්වසම්පූර්ණ වියයුතු නැති අතරම දෙමාපියන්ට දරුවන් සම්බන්ධයෙන් පැවරෙන වගකීම වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ බැරෑරුම් වගකීමකි. සමීක්ෂණ අනුව පවසන්නේ දරුවන්ට 30% ක හොඳ දෙමාපිය/රැකබලාගන්නාගේ රැකවරණයක් හිමිවීම දරුවෙකු සමග ආරක්‍ෂිත බැඳීමක් (secure attachment) ඇති කර ගැනීමට රමාණවත් බවයි. දරුවන් සමග නිසි ලෙස බැඳීම් සංවර්ධනය නොවුනහොත් Attachment Disorder තත්ත්වය ඇති විය හැකි අතරම ඒ හරහා අප පෙර සඳහන් කළ මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වීම, සියදිවි නසා ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට (Self-destructive) මෙන්ම  කායික රෝග තත්ත්ව වලටද හේතු විය හැකියි.

දෙමාපියන් දරුවන් සමග ආරක්‍ෂිත බැඳීමට (Secure attachment) වැඩිහිටි අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

කේන්තියෙන් කෑගහන පුංචි දරුවෙක් දිහා බලලා බොහෝ විට අපි හිතන්නේ මේ දරුවා මේ විදිහට හැසිරෙන එක කොපමණ වැරදිද කියලයි. මෙහෙම හිතන අම්මා කෙනෙක් සමහරවිට දරුවට කායිකව හෝ මානසිකව දඩුවම් කරන්නත් ඉඩ තියෙනවා. දරුවාගේ වයසට අනුකූලව සිදුවිය යුතු මානසික වර්ධනය ගැන අවබෝධයක් නැති කමින් අපේ අතින් බොහෝ විට දරුවා සමග ඇති කර ගත යුතු බැඳීමට බාධා (attachment  disruptions) ඇති විය හැකියි. එය ගෙදර මවගෙන් පමණක් නොව මෙවැනි දරුවන් සහ මව්වරුන් දෙස බලා  වෙන්න පුලුවන්. දැරුවන්ගේ අම්මල විතරක් නෙමෙයි දරුවා සහ අම්මල දෙස බලා හිතෙන හිතෙන විනිශ්චයන් ලබාදෙන සමාජයත් මෙතැනදී දරුවන්ට ඇති විය හැකි attachment disruptions තත්ත්වයට හේතු විය හැකියි. ඊට අමතරව දෙමාපියන් අතර ඇති වන රණ්ඩු සරුවල් (domestic violence), මත්ද්‍රව්‍ය, මානසික රෝගී තත්ත්වත් මේ තත්ත්වයට බලපානවා. ඒ වගේම දෙමාපියන් ඔවුන්ගේ දෙමාපියන් සමග බැඳුණු ආකාරයත් තමන්ගේ දරුවන් සමග බැඳීම් ඇතිකර ගැනීමේදී වැදගත් වෙනවා. දරුවන්ගේ මානසික අවශ්‍යතා දෙමාපියන්ට අවබෝධ කර ගන්න බැරිවීම නිසා දරුවෝ තමන්ගේ හිතේ ඇති පීඩනය දෙමාපිය/වැඩිහිටියෝ අනුමත නොකරන ක්‍රියාවලින් පිට කිරීමට උත්සාහ කරනවා.

සාමාන්‍ය  දරුවෙකුගේ මානසික වර්ධනය සිදුවන පියවර .

උපතේ සිට අවුරුදු දෙක දක්වා

මෙම සංවර්ධනයේ ආරම්භක අවධියේදී, දරුවන් තම සහජ කුසලතා සහ හැකියාවන් (බැලීම, උරා ගැනීම, ග්‍රහණය කර ගැනීම සහ සවන්දීම වැනි) පරිසරය පිළිබඳ වැඩිදුර උගනි. වෙනත් වචනවලින් කිව්වොත්, ඔවුන් ලෝකය අත්විඳින්න ඔවුන්ගේ සංවේදීතාවන් සහ චලනයන් තුළින් දැනුම ලබා ගනී. දරුවන් ඔවුන්ගේ පරිසරය සමග අන්තර්ක්‍රියා කරන විට, එයට සාපේක්ෂව කෙටි කාලයක් තුළ මොළයේ විශාල වර්ධනයක් කරා ගමන් කරයි.

උපතේ සිට මාස 12 දක්වා ළදරුවන් වැඩිහිටියන් විශ්වාස කළ හැකි බව ඉගෙනගන්නනා අතරම එය සිදුවන්නේ වැඩිහිටියන් දරුවෙකුගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා සපුරාලන විටය. ළදරුවන්ගේ ජීවීතය සම්පූර්ණයෙන්ම ඔවුන්ව රැකබලා ගන්නන් මත රඳා පවතී. එබැවින් ළදරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන සහ සංවේදීව රැකබලා ගන්නන් තම දරුවාට විශ්වාසනීය හැඟීමක් වර්ධනය කර ගැනීමට උපකාරී වේ. ඔවුන්ගේ දරුවා ලෝකය ආරක්ෂිත ස්ථානයක් ලෙස දකින්නට පටන් ගනී. තම දරුවාගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති ප්‍රතිචාර නොදක්වන දෙමාපියන්ට දරුවන් තුළ දැකිය හැක්කේ කාංසාව, බිය සහ අවිශ්වාසය වැනි හැඟීම්ඇය. ඔවුන්ගේ දරුවන්ට ලෝකය අනාරක්ෂිත තැනක් ලෙස දිස් විය හැකියි. එය දරුවන් තුළ දරුණු ලෙස . එතකොට දරුණු කාංසාව (anxiety) හා සම්බන්ධ රෝග ඇති කල හැකියි. ළදරුවන්ට කුරිරු ලෙස සැලකුවොත් හෝ ඔවුන්ගේ අවශ්‍යතා නිසි ලෙස සැපිරුවේ නැත්තම්, ඔවුන් ලෝකයේ මිනිසුන් කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට පමණක් හුරු වන ඇත.

වයස අවුරුදු 2 සිට අවුරුදු  7දක්වා

මෙම අවධියේ දරුවන්ට තවමත් තාර්කික අවබෝධයක් නොමැති බවත්, මානසිකව තොරතුරු හැසිරවිය නොහැකි බවත්, අනෙක් පුද්ගලයින්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමට අපොහොසත් බවත් වැඩිහිටි ඔබ අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. ඒ නිසා මේ වයස් සීමාවේ ළමයින් Egocentric සහ narcissist වශයෙන්  සමහරු දකිනවා.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් තම ලෝකය ගවේෂණය කිරීමට පටන් ගන්නා විට, ක්‍රියාවන් පාලනය කිරීමට තමන්ගේ පරිසරය හසුරුවන්න ඉගෙන ගන්නවා. ආහාර, සෙල්ලම් බඩු සහ ඇඳුම් පැළඳුම් වැනි පරිසරයේ ඇතැම් අංග සඳහා ඔවුන් පැහැදිලි රුචිකත්වයක් පෙන්වන මෙම කාලය බොහෝ අය “terrible two” ලෙස හඳුන්වනවා.

නිදසුනක් වශයෙන්, අවුරුදු 2 ක් වයසැති දරුවෙක්‌  තෝරාගෙන ඇඳුම් ඇඳීමට කැමත්තක් පලකරනවා. ළමයා තෝරන ඇඳුම් ආයිත්තම් නුසුදුසු වුනත්, එවැනි මූලික තීරණවලට දරුවා ඇතුළත් කිරීම දරුවාගේ ස්වාධීනත්වය වර්නධය කිරීමට බලපායි. දරුවන්ට මේ අවස්ථා අහිමි වුවහොත්, තමන්ගේ හැකියාවන් සැක කළ හැකි අතර, එමඟින් ආත්ම අභිමානයට, පෞරුෂ වර්ධනයට  හානි විය හැකියි. ඉතින් කොච්චරවත් අවුරුදු දෙකක පොඩි දරුවෙක් “no,no,no,no” කිව්වා කියල බිය විය යුතු නැහැ. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක් වන තරම ඔබ කල යුත්තේ එය වෙනස් කිරීමට උත්සාහ නොකිරීමයි.

අවුරුදු 7 සිට 11 දක්වා

මෙම වයසේ දරුවන් විශේෂිත දේවල් පිළිබඳව වඩාත් තාර්කිකව සිතන්නට පෙළඹුනත් ඔවුන්ට තවමත් ව්‍යුක්ත අදහස් ( abstract thinking) නිසි ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැහැ. මුලපිරීම, අභිලාසය සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති වන්නේ දෙමව්පියන් විසින් දරුවෙකුට සීමාවන් තුළ ගවේෂණය කිරීමට ඉඩදී දරුවාගේ තේරීමට සහාය වන විටයි. එවිට දරුවන්ගේ ආත්ම විශ්වාසය හොදින් වර්ධනය වේ. මේ වයසේදි දෙමාපියන් දරුවන්ව අධික ලෙස පාලනය කිරීම දරුවන්ගේ මානසික වර්නධයට හානිකරයි.

අවුරුදු 12 සිට ඉහළට

දරුවන්ට ව්‍යුක්ත හා න්‍යායාත්මක සංකල්ප ගැන සිතිය හැකි අතර ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා තර්කනය භාවිත කළ හැකිය. තාර්කික චින්තනය, අඩු කිරීමේ තර්කනය සහ ක්‍රමානුකූල සැලසුම් කිරීම වැනි කුසලතා ද මෙම අදියරේදී මතුවෙයි.

මෙන්න මේ ආකාරයට දරුවන්ගේ මොළය වර්ධනය පියවරවලින් පෙන්වුයේ දරුවන්ට වැඩිහිටියන් මෙන් එක රැයින් තම අවේග සහ ක්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බව අවබෝධ කරවීමටයි. සමහර වැඩිහිටියෝ බුද්ධියෙන් ඉදිරියට ගිහින් සමාජයේ ඉහළම රැකියාවල නිරත වුනත් අවුරුදු 7 – 11 දරුවන් මෙන් හැසිරෙන අවස්ථා ඔබ දැක ඇති. ඒ වයසින් මුහුකුරා ගියත් ඔවුන් වයස අවුරුදු 7-11 අතර වන මානසික සංවර්ධන පියවරේ (emotional development stage) අදටත් හිර වී සිටින නිසයි. එය සංවර්ධනය සිර කිරීම (development arrest) විදියට හඳුන්වන්න පුළුවන්. එයට හේතුව දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම/වටහා නොගැනීම කියන හේතු නිසයි. කුඩා වියේ එවැනි අවශ්‍යතා සපුරාගත නොහැකි වූ දරුවන් වැඩිහිටි වූ පසුවද . ඒ අවශ්‍යතා පොඩි කාලේ නොපිරීමෙන් ඒවා වයසින් මුහුකුරා යත්ම නුසුදුසු අවශ්‍යතා (unmet needs) බවට පත්වෙනවා. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙන්නේ එවැනි පුද්ගලයන්ගේ ජිවන සහකරු.සහකාරියන් සහ දරුවන්.

දඟ, අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කරන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වගේම හැම දරුවෙක්ටම පවුල තුළත් සමාජය තුළත් ඔවුන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරා ගන්නට වගකීම් සහගත වැඩිහිටියන් ලෙස අපි සහය වෙමු.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

විද්‍යුත් උපාංග නිසා දරුවා හුදෙකලා වෙනවාද?

ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විශේෂඥ සංගමය දැඩි විදිහට කියා සිටින්නේ මාස 18 ට වඩා අඩු දරුවන්ට වුනත් ජංගම දුරකථන, රූපවාහිනිය වැනි විවිධ විද්්‍යුත් උපාංගයන්ට නිරාවරණය වීමට නම් අවස්ථාව නොදෙන්න යන පණිවිඩයයි. මේ කාලයේදී නම් කෙසේ හෝ මට්ටු කර ගැනීමට ලැබුනත් ටිකක් දැනුම් තේරුම් ඇති වෙන විට නම් දෙමව්පියන්ගෙන් මිදිලා..එහෙම නැත්නම් කන්නලව් කරලා හෝ මේ විද්යුත් මෙවලම් සමග එකතු වීම වලක්වන්න බැහැ.

එහෙම වුනොත් අපි මොකද කරන්නේ…

වෛද්‍ය විහේෂඥ සංගමය ප්‍රකාශ කරන විදිහට දරුවන් කිසිම විදිහකින් මේ උපාංග සමග හුදෙකලා කරන්න එපා. නිවසේ රූපවාහිනියක් එහෙම නැත්නම් ජංගම දුරකථනයක් තිබෙනවා නම් දරුවා ඒ සමග සම්බන්ධ වීම අපට වලක්වා ගන්න බැහැ. ඒ නිසා දෙමව්පියන්ද දරුවා සමග අන්තර් සහයෝගයෙන් මේ උපාංග පරිහරණය කරනවා නම් අගෙයි යන සංකල්පය ඔවුන් ඉදිරිපත් කරනවා.

ඒත් අපිට තියෙන වැඩ රාජකාරි සමග කොහොමද…?

ඒක ඇත්ත. උදේ හතරට පමණ අවදි වෙලා දවස පටන් ගෙන හැන්දෑවේ නිවසට ආ තැන පටන් රාත්‍රි ආහාර පිලියෙල කරන්න…උදේ ඉතිරි කරල ගිය දේවල් කරන්න..දහසකුත් එකක් ප්‍රශ්න මැද දරුවා සමග රූපවාහිනියට එහෙම නැත්නම් ජංගම දුරකථනය සමග ගණුදෙණු කරන්න පුලුවනෑ…

අපි උයන පිහින කම් මොකද ටිකක් බැලුවත්…

ඔව් ඔබටත් නිදහසේ ඉවුම් පිහුම් කරන්න පුලුවන්. නැත්නම් ඉතිං ළගින් ගියත් ඇහැක් නැතුවා වගෙයිනේ…ඒ වුනාට මේ විදිහට දරුවන්ට තිරය සමග හුදෙකලා වීමට ඉඩ දෙන්න එපාය යන සංකල්පය වෛද්‍යවරුන්් විසින් ඉදිරිපත් කරන්නේ නිකම්ම නොවෙයි. ඔවුන් සදහන් කරන අන්දමට දරුවා අපේ මුහුණ දිහා බලාගෙන හිටියාම අපිටත් දරුවා ගැන සෙනෙහසක් ඇති වෙනවා.ඒ නිසා අපි නොදැනීම දරුවාට ප්‍රතිචාර දක්වනවා. එය දරුවාට විශාල ආඩම්බරයක්. මොකද කිව්වොත් ඔහු වෙනුවෙන් දෙමව්පියන් සිටින බව දන්නවා.

නමුත් විද්‍යුත් උපාංගවලින් සිදු වෙන්නේ ඒක පාර්ශවික ගණුදෙනුවක්. දරුවා මොන තරම් වේලාවක් තිරය දිහා බලා ගෙන හිටියත් ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට කෙනෙක් නැහැ. ඒ නිසා දරුවා ගොඩ නගා ගන්නේත් ඒක පාර්ශවික සම්බන්ධතාවයක් මිසක පවුල කියන සංකල්පයෙන් නොදැනීම දුරස් වීමට පුලුවනි.

දරුවාට කිසිම ගැටලුවක් නැහැ..

රූපවාහිනිය එහෙම නැත්නම් ජංගම දුරකථනය දරුවා වෙනුවෙන් හැම මොහොතකම සූදානමින් සිටිනවා. බොත්තම එබූ තැන පටන් ලැබෙන දේ බොහොමයි. නමුත් සමාන්‍ය ජීවිතයේදී මේ සැහැල්ලුව නැහැ. ඒ හින්දා දරුවාට බොහොම කේන්ති යන්න පුලුවනි. ඉවසීම ඇත්තේම නැති වෙන්නත් පුලුවනි.

මේ විදිහට ගියොත්

දරුවා පවුලෙන් මිදී ඔවුන්ගේ ලෝකයම මේ උපාංග බවට පත් කර ගත් තැනදී නොදැනීම ඔවුන් මේ උපාංගයන්හි ගොදුරක් බවට පත් වෙනවා. ටිකක් දවස් ගෙවෙී දරුවා යම් වයසකට ආ පසුව මේ උපාංග සමග කාමරයේ හුදෙකලා වෙන්න පටන් ගන්නවා. කන්න බොන්න වුනත් උවමනාවක් නැහැ. ගමනක් යන්න කතා කලාට එන්නෙත් නැහැ. නොගොහින් බැරි නිසා පාසල් ගියත් හැමදාම විවිධ හේතු කාරණාවන් ඉදිරිපත් කරමින් නිවසේ රැදී ඉන්නමයි හිත.

කනවා…සැතපිලා මේ උපාංග ගනුදෙණුව පටන් ගන්නවා. කිසිම ව්‍යායාමයක් නැහැ.බොහොම උදාසීන සහ අලස චරිතයක් බවට පත් වෙනවා. එක තැනම සිටිමේ විපාකයට දරුවා අනවශ්‍ය විදිහට තරබාරු වෙනවා. මේ නිසා වයස අවුරුදු අදහ දොළහ වෙද්දීම දෙවන වර්ගයේ දියවැඩියා තත්වයේ ගොදුරක් වීම වලක්වන්නත් බැහැ.

දැන ගැනීමත් අවදානමක්…

සාමාන්‍යයෙන් දරුවන් තාක්ෂණය සමග ගොඩ නගා ගෙන තිබෙන ගනුදෙනුව ඉතාම යහපත්.ඒ නිසාම සමාජජාල සම්බන්ධතාවයනුත් ඉහලයි. මේවායේ කාලය ගෙවමින් සෙල්ෆි හෙවත් තමන්ගේ ඡායාරූප මුදා හරිනවා. මේ තත්වයත් එක්තරා ආකාරයක ‘‘ ස්වයං රූප කාමයක්““ විදිහට හැදින්වෙනවා. මේ නිසා ඉතාම අපචාරයන්ට පත් වුන වගේම තවත් අයගේ බියවැද්දීම් නිසා අසරණ වුන දරුවනුත් සිටිනවා. මේ සියල්ලටම මුල දරුවන්ට යා යුතු මග නොමග පැහැදිලිව කියා දී නැති කමයි.

ඇබ්බැහිය මතට විතරක් නොවේ…

ඇබ්බැහියක් කිව්වාම අපි හිතන්නේ මතට විතරයි කියලා. ඒ නිසා මතට තිත තිබ්බාම ප්‍රශ්න හමාරයි කියල අපිට හිතන්න බැහැ. මොනම දෙයක වුනත් සීමාවක් නැතුව ඒ හුරුව අත්හැර ගැනීමට අපහසු නම් එතැන තිබෙන්නේ ඇබ්බැහි වීමක්. ඒ විදිහට බැලුවොත් අපේ දරුවන් දැන් විද්යුත් උපාංගයන්හි ගොදුරක් වී අවසානයි.

ඔබත් දරුවාගේ හැසිරීම් රටා නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වනවාද?

”මගේ බබා හරිම දගයි. කෑගහනවා. අම්මට තාත්තලට වුනත් ගහනවා. කියනදේ අහන්නැනෙම නැහැ. සමහර වෙලාවට අපි දෙන්නත් මේවට රණ්ඩු  වෙනවා.  කොහේ හරි ගියත් වැඩිහිටි අය මගෙන් අහනවා මෙහෙමද ඔයා දරුවා හදන්නේ කියලා. අනිත් ළමයි  හොඳට ඉන්නවා. මෙච්චර දේවල් කරද්දීත් ඇයි මගේ දරුවා වගේ”. මේ අපේ අම්මලා බොහොම දෙනෙකුට ඇති වුනු ප්‍රශ්නයක් නිසාම මේ ගැන සාකච්ජා කිරීම වැදගත් කියලා හිතුණා.

අපි දෙමාපියන් විදිහට දරුවන්ට ලෝකය ගවේෂණය කරන්නට ඉඩ දිය යුතුයි. එසේ ඉඩ දෙන අතරේම අපි අපේ දරුවන් ආරක්ෂා කළ යුතුයි. මොකද දරුවන්ට වයස අවුරුදු  25 – 28 වනතුරු තනිව රැකෙන්න අපහසුයි. මිනිස්සුන්ගේ සුවිශේෂී හැකියාවන් (Executive Functions) විනිශ්චය කිරීමේ හැකියාව, තීරණ ගැනීම, සමාජයට අනුකූලව හැසිරීම, ආවේග පාලනය, අවදානම් සහගත දේවල්වලින් මිදීමේ හැකියාව, ලැබෙන්නේ දරුවන්ගේ මොළයේ ඉදිරි කොටස (Frontal lobe) වර්ධනය සම්පූර්ණ වීමත් සමගයි. Frontal lobe වර්ධනය හමාර වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 – 28 දීයි. මෙය ඇතම් දරුවන්ගේ කල්තියා සිදුවන අතර ඇතැම් දරුවන්ගේ ප්‍රමාද වී සිදුවේ.

මින් පෙර ලිපියේ මොළයේ වම පස බුද්ධියද දකුණු පසින් චිත්තාවේග ඇතිකරන බව සඳහන් කළා ඔබට මතක ඇති. මේ වම හා දකුණු පස යා කරන කොටස Corpus Callosum (CC) ලෙස හැඳින්වෙනවා. මව්කුස තුළ වැඩෙන සමයේ 12 සතියේදී පමණ එය වර්ධනය වීම ඇරඹෙනවා. මෙය වම දකුණ යාකරමින් තව දුරටත් වර්ධනය වෙන්නේ මෙලොවට බිහිවන දරුවා තම පරිසරයෙන් ලබන අත්දැකීම් සමගයි. සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත්තේ ළමා වියේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන්ගේ CC වර්ධනය පමා වන බවයි.

උදාහරණයක් විදියට වයස අවුරුදු 2 – 3 දරුවෙක්ගේ මේ කාලය තුළ මොළයේ වර්ධනය සිදුවෙන්නේ විශ්වය නිර්මාණය වෙනවා වගේ. මිලියන ගන්නින්  මොළයේ ස්නායු ඉපදෙනේවා, අවශ්‍ය නැතැයි කියලා මොළයෙන් වටහා ගන්නා ස්නායු මියැදෙනවා. අවශ්‍ය ස්නායු තව දුරටත් වර්ධනය වෙනවා. මේ සඳහා මොළයට මේ හැකියාව ලැබෙන්නේ දරුවාට තම දෙමාපියන්ගෙන් වගේම අවට පරිසරයෙන් ලැබෙන උත්තේජනයන් මගින්.  මෙය Pruning ලෙස හඳුන්වනවා. මේ pruning අවුරුදු 25 – 28 වෙනතුරුම ඒ කියන්නේ මොළය සම්පුර්ණයෙන්ම වර්ධනය වෙනතුරුම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය මගින් අපේ මොළයේ නිර්මාණය පවත්වාගෙන ගියත් ඉන් පසු ඒ හැකියාව යම්තාක් දුරට බාල වෙනවා. වයස් ගතවීමත් එක්ක මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරන්න දරුවෙක්ගේ චර්යාවන් වෙනස් කරනවට වඩා මහන්සියක් දරන්න ඕන කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසයි.

වයස අවුරුදු දෙකේ සීමාවේ දරුවන් ලෝකය දකින්නේ අත්හදා බැලිය හැකි තැනක් ලෙසටයි. උපතේ සිට අවුරුදු දෙක පමණ වන තෙක් දරුවෙකුගේ මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය මතයි. තමන්ට ඇවිදින්නයි, කතා කරන්නයි පුළුවන් වෙනකොටම මේ පැටවු චන්ඩි වගේ ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න වැයම් කරනවා. උදාහරණයක් විදියට සුපිරි වෙළඳ සලකදී මේ වයසේ දරුවෙක් කෑගහලා, පෙරලිකරනවා දැක්කම ඒ දරුවාව අපි දකින්නේ අම්මලාට ලැජ්ජා කරන පොඩි ත්‍රස්තවාදියෙක් විදියට නේද? ඔන්න ඔතනදි තමයි සමාජයෙන් අම්මට ” අනේ මෙහමත් අම්මල ඉන්නවනේ, ළමයි හදන හැටි” කියන චෝදනාව එන්නේ.

දරුවන්ගේ මේ හැසිරීම් රටා අසාමාන්‍යද?

නෑ… හරිම සාමාන්‍යයි. දරුවෙක් ඒ වගේ ලොකු පෙරලියක් කරනකොට වැඩිහිටි අපි නොදැනුවත්වම අපේ ළමාවියේදී, අපේ දෙමාපියන් මේවගේ වෙලාවට කියපු සහ කරපු දේවල් මනසට එනවා. මේ තත්ත්වය procedural නොහොත් implicit memory කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි සපත්තුවක ලේස් එක ගැට ගහන්ත්, බයිසිකලය පදින්න පියවරින් පියවරට හිතන්නේ නැහැ. පුංචි කාලේ ඉගෙන ගත්තට පස්සේ ඒ දේ ඉබේම සිදු වෙනවා. මෙන්න මේ දේම අපි දෙමාපියන් විදියට හැසිරෙද්දීත් අපේ දෙමාපියන් අපිව හදපු ආකාරයටම නොදැනුවත්වම අපි අපේ දරුවන් වෙනුවෙනුත් ක්‍රියා කරනවා. මෙන්න මේ හේතුව නිසා දරුවන්ගේ ඉතාම අහිංසක ආසාවන් අපේ මොලය තුළ දරුණු දෙයක් විදියට හඳුනා ගැනීම තුළින් දරුවාගේ අහිංසක අවශ්‍යතා වටහා ගැනීමට දෙමාපියන් ලෙස අපි අසමත් වෙනවා. මේ ගැන බොහොම පැහැදිලි ලෙස ” Circle of security parenting” හි පැහැදිලි කරනවා.

මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත් පසුව අපේ මොළයේ පෙර තිබූ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහවෙනවා. ඉන් පසුව ඇහෙන්නේ පෙන්නේන්නේ තමන්ගේ දරුවා, දරුවන්ගේ හඩ පමණයි. තමන්ගේ ළමාවියෙන්වත්, සමාජයේ ලැබෙන තීරණ මතවත් මේ තත්ත්වයේදී අපේ මනසට බලපෑම් කළ. නොහැකියි.

දරුවෙක්ගේ මෙවැනි හැසිරීම් රටාවකදී කළ යුත්තේ කුමක්ද?

උදාහරණයක් විදියට වයස අවුරුදු තුනක දරුවෙකුගේ කළහකාරී හැසිරීම් රටාවකදී මව්පියන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන අපි කතා කරමු.

  1. වැඩිහිටි ඔබ සන්සුන් වෙන්න
  2. 2. අතීතයෙන් ඔබේ මනසට එන මතක අවම කරගන්න (පෙර සඳහන් කර පරිදි මෙවැනි අවස්ථාවකදී කුඩා කල ඔබ ලැබූ අත්දැකීම්)
  3. වයස අවුරුදු තුනක මොළයකින් තම දරුවා සිය අවශ්‍යතාවය ඔබට කියන්නට සැරසෙන බව වටහා ගන්න
  4. දරුවා තනි නොකර සමීපයට ගන්න
  5. දරුවා ක්‍රමෙයන් සන්සුන් වන විට ”ඔයාට දුක හිතුනද, කේන්ති ගියාද පුතේ” කියා ආදරයෙන් විමසන්න. මේ ආකාරයෙන් දරුවාගේ හැඟීම් ඔබ වටහා ගනිද්දී දරුවා විසින් ඔබ තම හැඟීම් හඳුනා ගන්නා (emotional validation) බව වටහා ගනීවි.
  6. දරුවා සෙමින් සන්සුන් වන විට තුරුලට අරගෙන සිප වැළඳ ගෙන (දරුවා කතා නොකලත්) ඔහු/ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් වන තුරු සිටින්න

අපේ අතින් වන වරදක් තමයි දරුවෝ නොසන්සුන් හැසිරීම් පෙන්නුම් කරද්දී අපිත් කෝප ගැන්වෙන එක. එකෙන් දරුවාට යැවෙන පනිව්දය වෙන්නේ ”ඔයාගේ හැගීම් මට වටින්නේ නැහැ” කියන එක.  එහෙම උනාම අපි නොදැනුවත්වම ”emotional invalidation” තත්ත්වයක් ඇති වෙනවා.දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමෙන් දරුවා අනාගතයේදී දරුණු පෞරුෂ ආබාධයන්ට ලක්විය හැකියි.අපේ කාර්ය බහුල ජීවිතේ මේ දෙය සමහර වෙලාවට ඔබට මගහැරෙන්න බැරි නැහැ. නමුත් පසු අවස්ථාවකදී හෝ දරුවාට වටහා ගත හැකි අයුරින් සිදු වූ දෙය අවබෝධ කරවන්න.

”පුතාට කේන්ති ගියාට කාටවත් ගහන එක වැරදියි” කියලා ඔබේ දරුවාට ආදරයෙන් පහදා දෙන්න. කාලයාගේ ඇවෑමෙන් දරුවා එය වටහා ගනීවි. මිනිසා පරිණාමයෙන්ම තනිව යමක් අවබෝධ කරගන්න සත්ත්වයෙක් නොවේ. මිනිස් දරුවා සියල්ල උකහා ගන්නේ තම වැඩිහිටියාගෙනි. අන්න ඒ නිසාම දරුවා වටහා ගනීවි කේන්තියාම මනුස්ස ගතියක් බවත් අපි වටහා ගත යුත්තේ එය නිවැරදිව ප්‍රකාශ කිරීම බවත්. මේ විදියට දරුවා ඔබෙන් සන්සුන් වන්නට උගනී. එය co-regulation ලෙස හඳුන්වයි.

අපි දරුවන් ඔවුන්ගේ හැඟීම් අතර තනි කලොත් හෝ දඬුවම් කලොත් ඔවුන් තුළ දයානුකම්පාව( empathy), වැරදිවලින් ඉගෙනීම( learning from mistakes and reflective capacity) සහ තව කෙනෙක්ගේ කෝණයෙන් බලා තවකෙනෙක්ගේ දුක අවබෝධ කරගැනීමේ හැකියාව (mentalistaion capacity) නොමැති වනු ඇත.

දරුවෙක්ට තරහ යාම අසාමාන්‍යද?

තරහ යන එක සාමාන්යි දෙයක්, ඒක පාලනය කරන හැටි අපි දරුවට ආදර්ශයෙන් කියා දිය යුතුයි. අපේ අතින් වෙන විශාල වරදක් තමයි දරුවන්ට තරහගන්න එක සපුරා තහනම් කරන එක. අපේ තරහා අපිට කරන්නේ අනගි සේවයක් කිව්වොත් වරදක් නැහැ. මොකද අපි තමන්ට වන අසාදාරණ දේවල් හඳුනා ගන්නේ තමන්ට ඒවෙලාවට දැනෙන හැඟීම් වලින්. ඉතින් ඒ හැඟීම් පුංචි කලේම යටපත් කෙරුවොත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එහෙම සමහර අය පීඩාකාරී බන්දිම්වල හිර වෙලා සදහටම ගුටි බැට කකා දුක් විදිනවා. සමහර අයගේ පුංචි කාලේ යටපත් කරවන කේන්තිය වැඩිහිටි වෙද්දී පිට කරනවා. පුංචි කාලයේ කේන්තිය පාලනය කරන්න ඉගෙන නොගත් නිසා, සමහරවිට ක්ෂණික කෝපය පාලනය කරන්න බැරුව අයෙක් මරණ තත්ත්වයට පවා පත් විය හැකියි.

මෙන්න මේ විදියට අපි අපේ දරුවන්ට මග පෙන්නුවොත් එයාල නිසි මානසික සෞඛ්‍යයත් සමගම ඉදිරියට යාවි. නව යොවුන් වියට එළඹෙද්දී ඔබට වැටහේවි දරුවාට නිවැරදි මගපෙන්වන්නා ඔබ බව දරුවා වටහාගෙන ඇති ආකාරය. ඔබව විශ්වාස කරන බව.  නව යොවුන් වියේදී පවා ඔවුන්ට ඇතිවන  ලිංගික ගැටලු ඇතුළු ඕනෑම ගැටළුවක් ගැන පවා ඔබ සමග පැවසීමට තරම් දරුවා ඔබට සමීපව සිටිනු ඇත.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

රටට බරක් නැති දරුවෙක්….

දරුවන් කියන්නේ ලෝකයටම ආශිර්වාදයක්.ඒත් සමහර විට රටට බරක් බවට පත් වුන දරුවන්ද නැතුවාම නොවෙයි. අකමැත්තෙන් වුනත් අපේ රටේ පවා බාලාපරාධකරුවන් විදිහට හදුන්වන දරුවන් පිරිසක් සිටිනවා.ඒ විදිහට දරුවන් වර්ග වෙන්නේ ඔවුන් සමාජයට හිරිහැරකාරී විදිහට හැසිරීම සහ පවත්නා විනය නිති රීති වෙනුවෙන් අනුගත නොවන විටයි.ඒත් මේ දරුවන් රටට බරක් නොවන විදිහට බාල කාලයේ පටන්ම හැඩ ගසා ගත්තොත් ඔවුන් අනාගතයේදී රටටම ආශිර්වාදයක් වේවි.එහෙමනම් අපි අපේ දරුවන් රටට බරක් නොවන විදිහට හදා වඩා ගන්නේ කොහොමද….?

තරහ පාලනය කරන්න

අපේ වැඩිහිටියන් වගේම දරුවන් අතරත් තරහ පාලනය කර ගැනීමට අපොහොසත් දරුවන් සිටිනවා. ඔවුන්ගේ මේ හැසිරීම නිසා විවිධ විදිහට සමාජයට හිරිහැර සිදු වෙන්න පුලුවනි. පාසලක වුනත් ඇතැම් දරුවන්ගේ ආවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව නිසා විවිධ අන්දමින් ගැටුම් ගොඩ නගා ගන්නවා. තරහ ආවාම තමන් සිටින තැන, කවුද, මොකක්ද යන වග තේරුම් ගන්න බැරි වුනොත් අනාගතයේ විවිධ අන්දමින් සමාජයට හිරිහැරදායක වෙන්න පුලුවනි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ආවේග පාලනය කිරීමේ ගුනාංගය ගොඩ නැගීම ඉතාම වැදගත්.

අහිමිවීම් වලදී ශක්තිය ගොඩ නගා ගන්න..

අපේ ජීවිතය කවදාවත්ම අපට අවශ්‍ය විදිහට ගොඩ නගා ගන්න බැහැ. අට ලෝ දහම අපට විවිධ විදිහට බලපෑම් ඇති කරන්න පුලුවන්. ඒ නිසා දරුවන්ටත් යමක් අහිමි වුනාම එතැනින් නැගී සිටින්නට අවශ්‍ය ධෛර්ය ලබා දෙන්න.එහෙම නැති වුනොත් ඔවුන් ජීවිතයේදී ලබන අහිමිවීම් වලදී බොහොම බෙලහීන වීමට වගේම අනාගතය මුලුමනින්ම බිඳ ගැනීමට සිදු වෙනවා. අද කළ යුතු දේ අදම නොකලොත් හෙට දවසට සාර්ථකව මුහුණ දීමට බැහැ. ඒ හින්දා අහිමිවීම් මත තැවෙනවා වෙනුවට ශක්තියෙන් හෙට දවසට සූදානම් වීමේ වැදගත්කම ඔවුන්ට පහදා දෙන්න.

එකඟතාවය ගොඩ නගා ගන්න..

අද දරුවන් බොහෝ සෙයින් හුදෙකලාව සිටින නිසා ඔවුන්ට සමාජයක් නැහැ. ඒත් අතීතයේදී සමූහයක් විදිහට සෙලල්ම් කරද්දී පංචි වුනත් සමාජයක් තිබුනා. එහිදී ක්‍රිඩාව මුල් කර ගෙන ඔවුන් විසින් ගොඩ නගා ගත් එකගතාවයන් පසුකාලයකදී ජීවිතයටත් බොහොම ප්‍රෙයා්ජනවත්  වුනා. අද දරුවන් අතර  විවිධ ගැටුම් ඇති වෙන්නේ යම් දෙයක් වෙනුවෙන් එකඟතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසාම සමාජයේ අය අතර බොහොම අප්‍රසන්න චරිතයක් බවට නොදැනීම පත් වෙනවා. යම් දෙයක් වෙනුවෙන් එකගනොවන නිසා ඇති වෙන ගැටුම් නිසාම නීතියෙන් පවා දඬුවම් ලබන තරමටම තත්වය දරුණු අතට හැරේවි.

තමා ගැන තොරතුරු කියා දෙන්න.

අද ඇතැම් දරුවන් මවගේ නම, පියාගේ නම පවා නොදන්නා තරම් තමාගේ පවුල ගැන තිබෙන දැනුවත්බව අඩුයි. මේ නිසා හදිසියේවත් පාසලේ කටයුත්තකට දුරකථන අංකයවත් දරුවාගෙන් ලබා ගැනීමට අපහසුයි.හැබැයි නොදන්නා අයට මේ තොරතුරු ලබා නොදෙන විදිහටත් දරුවා දැනුවත් කිරීම වැදගත්.ඒ නිසා නොදන්නා අයට නම් තමා ගැන වැඩිමනත් කතා බහ නොකලාට කමක් නැති බවත් දරුවාට කියා දෙන්න.

වගකීම ගැනත් කියා දෙන්න

වගකීමේ සංකල්පය දරුවාට බාල කාලයේ පටන්ම වටහා දිය යුතු සංකල්පයක්. වගකීමකින් තොරව කටයුතු කරන දරුවා අනාගතයේදීත් මේ අන්දමින්ම කටයුතු කරන නිසා සමාජයට ඔහුගෙන් ඇති වෙන්නේ හිරිහැරයක්. ඒ නිසා බාල කාලයේ පටන්ම වගකීම ගැන දරුවාට කියා දෙන්න.

අනුන් මත වරද පවරන්න එපා

අද බොහෝ වැඩිහිටියන් පවා තමාගේ වරද පිලි නොගන්නා තරමටම දුර්වලයි. වරදක් වුනොත් එය නොපැකිලව පිළිගැනීම මහත්මා ගතියක්. එය වෙනත් අයට යොමු කිරීම එතරම් වටිනා ගුණයක් නොවෙයි.ඒ නිසා පුංචිකාලයේ පටන්ම තමන්ගෙන් වරදක් වුනොත් ඒ වරද තමාගෙන් වුන බව පිලිගැනම නින්දාවට කරුණක් නොවන ව දරුවාට කියා දෙන්න. සමහර විට ඔබේ කුඩාදරුවා නිවසේදී ඔහු අතින් සිදු වුන වරද පවා බාල හෝ වැඩිමහල් සහෝදරයන්ට පවරන අවස්ථා තිබෙන්න පුලුවනි. එවන් අවස්ථාවලදී තමන්ගෙන් වුන වරද අනුන්ට පවරනවාට වඩා එය තමා විසින් බාරගැනීම හොද දරුවාගේ හොඳ ගතිගුණයක් බැව් පෙන්වා දෙන්න.

අද ඔබේ සෙවනේ බොහොම කෙලි දෙලෙන් කාලය ගෙවුවත් හෙට මේ පුංචි දරුවා සමාජය සමග ගණුදෙනු කළ යුතුමයි. එවිට පිටුපසින් සිට මේ ම් අන්දමින් හැසිරෙන්න යැයි පෙන්වා දීමට කිසිවෙක් නැහැ. ඒ වගේම දරුවාට හැසිරෙන සම්මත ආකෘතියක් ගොඩ නගන්නත් බැහැ. අවස්ථාවෝචිතව ඔවුන් හැසිරිය යුතුයි. ඒත් ඒ හැසිරීම කිසිම දවසක සමාජයට බරක් නොවන විදිහට ගොඩ නැගී තිබුනොත් දෙමව්පියන් විදිහට ඔබ දිණුම්.