පවුලේ සෞඛ්‍ය වෙනුවෙන්ආහාර පිලියෙල කිරීමේ වගකීමක් තියෙනවා..

අම්මා කෙනක් විදිහට ඔබ පවුලේ සියලු දෙනාගේම නිරෝගිතාවය ගැන වැඩියෙන් උනන්දු වීම ඉතාම වැදගත්. අපේ ආහාරයේ අන්තර්ගත විය යුතු පෝෂණ පදාර්ථ ගැන දැනගැනීම වගේම අවශ්‍ය පෝෂණය පවුලේ අයට ලැබෙන විදිහට සංග්‍රහ කරන්නේ කොහොමද කියලත් දැන ගැනීම ඉතාම වැදගත්. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද පත්‍රිකාවක දැක්වෙන අන්දමට පවුලක පෝෂණය ගැන අපේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් මේ…

  • වෙනස් රටාවක්…..
    අපේ ආහාරය හැමදාම එකම රටාවකින් නැතුව වෙනස් වෙනස් අන්දමින් පෝෂණය ලැබෙන විදිහට පිලියෙල කර ගැනීම ඉතාම වැදගත්. බොහෝ අම්මලා පාන්, ඉදිආප්ප වගේ තමන්ට පහසුවෙන් සකස් කර ගත හැකි එහෙම නැත්නම් ලබා ගත හැකි දෙයින් තෘප්තිමත් වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ ආහාර වේලක බත්, තිරිගු වැනි පිෂ්ටයත් සමග පරිප්පු, බෝංචි වැනි රනිල කුලයේ එළවලු සමග පලා වර්ගයක් ඇතුලත් වුනොත් නම් බොහොම අගෙයි.පලා නොකියා පලා හදා ගන්නත් අම්මලා දැන ගන්න අවශ්‍යයි. උදේට තෝරා බේරා ගැනීම අපහසු නම් රාත්‍රියේදී තෝරා තියන්න පුලුවනි. හැබැයි මැල්ලුම නම් උදේට ලියාගැනීම වඩාත් හොදයි. එහෙම නැති වුනොත් එහි පැහැය වෙනසවෙන්නත් පුලුවනි..
  • තන්තු පොහොසත් ආහාර ගැනත් අමතක කරන්න එපා.බඩඉරිගු,මෙනේරි, ඕට්ස්, දුඹුරු සහල් වැනි ආහාර තන්තු බහුලයි. තන්තු නිසා නිරන්තර ඇති වෙන කපුටු බඩගිනි ඇති වෙන්නේ නැහැ. පොඩි බඩගිනි ඇති වුනාම අපි ආහාරයට ගන්නා බිස්කට් සහ විවිධ කෙටි කෑම වලින් අනවශ්‍ය විදිහට පිෂ්ට සහ සීනි ගබඩා වෙනවා. ඒත් අවශ්‍යම නම් අමු එළවළුවකින් සදා ගත් සලාදයක්, ඇට වර්ගයක් හෝ නැවුම් පළතුරක් තෝරා ගන්න. ඒ නිසා නිරන්තර බඩගිනි නොවෙන විදිහට තන්තු බහුල ආහාර ගැනත් ඔන්න අම්මලා සැලකිලිමත් වෙන්න…

 

  • ලුණු හොඳ නැහැ…

ලුණු ගැන දිව නම් රස හොයාවි. ඒත් ලුණු කියන්නේ එතරම් හොඳ දෙයක් නොවෙයි.ලුණු අදික විදිහට යොදා ගත්තාම රුධිර පීඩනයත් වැඩි වෙන්න පුලුවනි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත මාත්‍රාව විදිහට දිනකට අප විසින් පරිභෝජනය කළ යුතු ලුණු ග්‍රෑම් තේ හැන්දකට සමානයි. ආහාරයට ලුනු වැඩියෙන් එකතු නොකලත් ඇතැම් ආහාර මගින් සිරුරට ලුණු එකතු වීමේ අවදානමත් වැඩියි.

ලුණු යොදා සකස් කරන ලද සෝස්,ස්ටොක් වගේම ලුණු යොදා සකස් කරන ලද බයිටිස් වර්ගත් අඩුවෙන් නිවසේ උදවියගේ ආහාරයෙන් සීරුවට ඉවත් කරන්න පුලුවනි.

  • ටින් සහ කෑන් කරන ලද ආහාර
  • වියලන ලද එළවලු, ඇට වර්ග,පළතුරු වලත් ලුණු අධිකයි.
  • කෑම මේසයේ තබා ඇති ලුණු බෝතලයත් නම් අවශ්‍ය නැහැ. බෝතලය දැක්කාමත් ලුණු එකතු කර ගන්න පුලුවනි.
  • ඒ වගේම ආහාර ඇසුරුමේ සෝඩියම් ප්‍රතිශතය ගැන සටහන තිබෙනවා. මිළට ගැනීමේදී අඩු ප්‍රතිශතයක් ඇති ඇසුරුම තෝරා ගන්න.
  • ආහාර වෙනුවෙන් යොදා ගන්නා තෙල් සීමා කරන්න.

මේද බහුල වුනාම තරබාරුව, හදවත් රෝග වගේම ආඝාත තත්වයට ගොදුරු වීමේ අවදානම වැඩියි. මේද අධික ආහාර වේලකින් හෘද රෝග ඇති වීමේ අවදානම 30% කින් වැඩි වෙන බවත් විවිධ පර්යේෂණයන් මගින් හදුනා ගෙන තිබෙනවා.අපි බලමු මේද බහුල ආහාර කප්පාදු කරන්නේ කොහොමද…?

  • බටර්, ගිතෙල් වෙනුවට ඉරිගු, සුරියකාන්තා වැනි තෙල් ආදේශ කරන්න.
  • රතු මස්වලට වඩා තෙල් අඩු කුකුළු මස්, මාළු වැනි සුදු මස් වර්ග ආහාරයට ගන්න.සැකසූ මස් පරිභෝජනය සීමා කරන්න.
  • ආහාර බැදුම් වෙනුවට ස්ටීම් හෝ තම්බා ගන්න.

    ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර සහ ක්ෂනික ආහාර වලකින්න.

  • මාගරින්, ගිතෙල්. , ස්නැක් , බැදපු ආහාරවලින් දුරස් වෙන්න.

    සීනි පරිභෝජනයත් අඩු කරන්න.

අධික සීනි සිරුරට එතරම් හොඳ නැහැ. අධික සීනි තරබාරුවට මග කියනවා. සෝඩා කෑන් එකක සැගවුන සීනි ප්‍රමාණය තේ හැඳි දහයක්.එහෙම නම් සීනි අඩු වෙන විදිහට ආහාර රටාව ගොඩ නගා ගන්නේ…

  • රසකාරක සහ සීනි සහිත බීම
  • පළතුරු යුෂ සහ යුෂ බීම, කුඩු, සාන්ද්‍රණ, රසකාරක ජලය, ශක්තිජනක පාන, ක්‍රිඩා පාන,

    වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අනුපුරක ආහාර ලබා දෙන විටත් ලුණු සහ සීනි එකතු කිරීමේදී අඩුවෙන් යොදා ගන්න.

    පවුලට මත්පැන් එපා

අද මත්පැන් නැති සාදයක් නැති තරම් ඒ වුනත් මත්පැන් පානය නිසා අක්මාවට හානි වීම, පිලිකා, හදවත් රෝග වගේම මානසික රෝග තත්වයන් පවා ඇති වෙන්න පුලුවනි.දැන් අලුත් මතයක් විදිහට මද පමණින් පානය ගුණයි කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මත්පැන් පානයේ ඔය කියන ආරක්ෂිත මටට්මක් නම් නැති බවයි. ඒ නිසා නිවසේ අලුත් අවුරුදු, දරුවන්ගේ උපන්දින සාද හා වෙනත් උත්සව වෙනුවෙන් මත්පැන් එපා කියන ස්ථාවරයේ ඔබට සිටින්න කිසිම බාධාවක් නැහැ.

[ලෝක සෞඛ්‍ය සංවිධානයේ පත්‍රිකාවක් ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

දරුවන් වෙනුවෙන් වූ අතීත චාරිත්‍ර

බිලිදු පැටියාට රන්කිරි කට ගෑවේ කවුද දන්නේ නෑ…ඉස්සර අම්මලා අතර මේ වගේ කතා බහ තිබුනා. නමුත් අද දරුවෙකු උපත ලැබීමත් සමග මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ නැහැ. ඊට එක හේතුවක් තමයි ඉස්සර වගේ අද කාලයේ දරු ප්‍රසුතිය නිවසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුනත් ‘‘රන්කිරිකටගෑම “ විදිහට එදා හැඳින්වූ සිරිත මෙහෙමයි.

දරුවා උපත ලද සැන පැටියාට කිරි පෙවීමේ සිරිත පැවැතුනා. එය ‘‘රන්කිරි කට ගෑම““ විදිහට හැදින් වූ අතර සිද්ධ වුනේ මේ විදිහටයි.

අම්මාගෙන් ලබා ගත්තු කිරි ස්වල්පයක් රත්රන් මුදුවක් හෝ ආභරණයක ගල ගාලා ඒ තුළ බැලතණ නමින් හදුන්වන ලද කණකොළ දෙක තුනක් තබලා බැලතණ කොළයකින් දරුවාගේ දොතොලේ මව්කිරි ආලේප කරනවා. මේ ආලේප කිරීම ඇගිල්ලකින් කළ අවස්ථාවනුත් තිබෙනවා.

ඒ වගේම රන්කිරි කට ගෑම බොහෝ විට කරන්නේත් වාසනාවන්ත තැනැත්තෙකු විසිනුයි. සමහර විට දරුවාගේ පියා හෝ පවුලේ දරුවාට  සමීප ඥාතියෙකු විසින් කරනවා. සමහර විට ගමේ වෙද මහතා විසිනුත් රන්කිරි කට ගෑම සිදු වෙනවා. රන්කිරි කට ගෑ පුද්ගලයා අනුව දරුවාගේ අනාගතය තීරණය වෙනු ඇතැයිද විශ්වාස කළා.

ඒ වගේම අතීතයේදී අලුත උපන් දරුවෙකු ගෙයින් පිටතට ගැනීම ‘‘ දොරට වැඩීම “ යනුවෙන් හැදින්වුණා. දරු උපතින් දින හතක් ගත වුනාම අම්මා කොළ තම්බන ලද ජලයෙන් නාවනවා. එය ‘‘කොළවතුර නෑවීම “ යනුවෙන් හැදින්වෙනවා. මේ සදහා පාවට්ටා කොළ, ඉරිවේරිය, තිප්පිලි, එඩරු,නික ආදි ඔසු ශාඛ පත්‍ර යොදා ගන්නවා.

දරුවා උපත ලබා මාස තුනක් ගෙවුනාම බෝධියකට හෝ විහාරස්තානයක් වෙත දරුවා ගෙන යනවා.දරු උපතින් මාස තුනක් ගෙවෙන තෙක් කිලි යනුවෙන් සීමාවක් පැනවී ඇති නිසා එතෙක් දරුවා පුජනීය ස්ථානයකට රැනෙ යන්නේ නැහැ.මේ අන්දමින් දරුවා ගෙන යන විට බෝ ගසක් හෝ කිරි ගසක් යටින් ගෙන යෑමත් එක්තරා සිරිතක්.මේ දොරට වැඩුම ඇතැම් දෙමව්පියන් කතරගම කිරි වෙහෙර, ජයසිරි මහ බෝධිය , දළදා මාලිගාව වැනි පුජණීය ස්ථාන වෙතටත් දරුවා රැගෙන යෑමෙන් ඉස්ට කර ගන්නවා.ගමේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට බිම තබා වන්දනාමාන කර දේවාලයක් ඇතොත් එතැනටත් රැගෙන ගොස් දේවාශිර්වාද ලබා ගන්නවා.

ළදරුවා බිම දණගාන අවධියේදී අතට හසු වෙන දේ කටේ දමා ගන්නා නිසා ඊට පෙරාතුව සුබ මොහොතින් ආාහර ලබා දීම ‘‘ ඉදුල්කට ගෑම “යනුවෙන් හැදින්වෙනවා.මෙහිදී ව්‍යංජන සමග බත් දීම සිදු වෙනවා. එහිදී පැදුරක් බිම එලා ඒ මත සුදු වස්ත්‍රයක් එලා කිරිබත්, කැවිලි, කෙසෙල්ගෙඩි, මිළ මුදල්, පොතක් ආදිය තබනවා. දරුවා ඒ අතරින් මුලින්ම අතට ගත් දේ අනුව අනාවැකි කීමටත් අතීතයේදී බොහෝ දෙනා පුරුදුව සිටියා. පොතක් අතට ගත් විට අනාගත උගතෙක් වන බවද, මුදල් අතට ගත් විට ව්‍යාපාරිකයෙකු හෝ බොහෝ මිළ මුදල් ඇත්තෙකු  විය හැකි බවද පිලිගත් මතයන් අතර විය.

අද කන් විදීම වෛද්‍යවරුන් විසින් සිදු වුනත් එදා කන් විදීම නිවසේදී ඉටු කරන ලද පුංචි උත්සවයක්. උල් කරන ලද රන් කෙන්දකින් කන් විද ඒ රන් කෙඳි කණට පළදවනවා.රන් කෙඳි ලබා ගැනීමට වත්පොහොසත්කම් නැති උදවිය ඉදිකටුවකින් කණ විද සිදුරු පෑහීම වලක්වා ගැනීමට කරපිංචා නැටි අතැලු කරනවා.

අද නම් උපත ලද විට හිසකෙස් කැපුවත් අතීතයේදී දරුවන්ගේ හිසකෙස් කැපීම සිදු වුනේ  බහ තෝරන්න පෙරාතුවයි.අසුබ හොමොතකදී හිස කෙස් කැපීම දරුවා ගොලු වීමට හේතුවක් යැයි සැලකුනා. මුල්ම කෙස් රොද ආරක්ෂිතව තබා ගෙන ගලා යන දියපහරකට එකතු කලා.

හිසකෙස් කැපීමේදී ඊතණ,අබ, කැකුලු සහල්,විළඳ. සමන් කැකුළු යන ලදපස්මල් වලින් ස්වල්පයක් හක් ගෙඩියකට දමා එයට පිරිසිදු ජලය එකතු කර ‘‘බවතු සබ්බ මගලං ““ ගාතාව තුන්වරක් කියමින් නියම කරන ලද දිසාව බලා හක්ගෙඩිය දරුවාගේ හිස වට තුන්වරක් කරකවා එහි ජලය හිසට වත් කර සුබ මොහොතකින් කතුරකින් හිසකෙස් කැපීම සිදු වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

දැන් කාලයේ දරුවන්ට ලේනාගෙන් දත් ඉල්ලන්න අවස්ථාවක් නැහැ…

ඉස්සරකාලයේ පුංචි දරුවන්ගේ දත් වැටුනාම ‘‘ලේනෝ…ලේනෝ….මේ දත අරගෙන පුංචි දතක් මට දියෝ දියෝ කිව්වත් අද වෙද්දී දරුවන්ට ඒ විදිහට ඉල්ලීම් කිරීමට අවසර නැහැ. ඊටහේතුව තමා දරුවන්ගේ කිරිදත් ස්වභාවයෙන්ම වැටෙන්න පෙරාතුව ඒ දත් නරක් වීම නිසා ගලවා දැමීමට සිදු වෙනවා.

දරුවන්ගේ සුන්දරත්වය, ඒ වගේම ප්‍රසන්නබව මුලින්ම අපේ හිතට ඇති වෙන්නේ ඔවුන් කිරි දත් පෙන්වා සිනාසෙන විටයි. ඒ වගේම දරුවන්ගේ දත් ලස්සනට නිරෝගීව තිබුනොත් ඔවුන්ට තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට පුලුවනි.

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වෙනවා. අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වෙනවා. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20ක්. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වෙලා. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙනවා.

”කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕන. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා,”

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදනවා. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

කිරිදත් නරක් වෙන්නේ ඇයි….?

කිරිදත් නරක් වීමට බලපාන හේතු කීපයක්ම තිබෙනවා. ඒ වගේම දරුවා කුසේ සිටින කාලයේ පටන්ම අම්මා කෙනෙක් තම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.

ඒ වගේම අප විසින් මෙතෙක් අවදානය යොමු කළ කරුණක් මෙහිදී වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා විසින් පෙන්වා දෙනවා.

අම්මාගේ විතරක් නොවෙයි, දරුවා ළඟින් සිටින තාත්තා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්..

දත් මැදීම පටන් ගන්නේ…

දරුවාගේ මුල්ම කිරිදත මෝදු වුන තැන පටන්ම දත් මැදීම සිදු විය යුතුයි. බොහෝ අම්මලා දරුවන්ගේ කිරිදත් මැදීමට උනන්දු නොවුනත් දත් මැදීම පටන් ගත යුත්තේ මුල්ම දත මෝදු වුන දිනයේ පටන් බව අමතක කරන්න එපා.

ඒ වගේම දත් මැදීමට මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කරමින් , ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම අවශ්‍යයි. මෙහිදී ෆ්ලෝරයිඩ් දන්තා ලේපය යොදා ගත යුත්තේ දත් බුරුසුවේ ගෑවෙන නොගෑවෙන තුනී පටලයක් විදිහටයි.

ෆ්ලෝරයිඩ් යොදා ගන්නේ ඇයි….?

”දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.”

ආහාර ගැනත් අපි උනන්දු වීම වැදගත්.

පුංචි කාලයේ පටන්ම සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට අම්මලාගේ උනන්දුව වැදගත්. ඒ වගේම දිනකට දෙවතාවක් දත් මැදීම වැනි පුරුදු ගොඩ නගා ගත්තොත් ඔබේ දරුවාගේ දත් කැකුළු රැක ගැනීමට පුළුවන්.

දතක් දිරන බව හදුනා ගන්නේ…

දතක් දිරන්න පටන් ගැනීම අපට හදුනා ගන්න පුලුවනි. හොඳින් ආලෝකය තිබෙන තැනකට ගිහින් බැලුවොත් දත සහ විදුරුමස අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි  පැහැති පැල්ලම් තිබෙනවා නම් දත දිරන බවට එය පෙරනිමිත්තක්. එතැනදී ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත්.

[පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා]

පුන්‍යා චාන්දනී ද සිල්වා

නීරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවලු සහ පළතුරු

දවසකට එළවලු සහ පළතුරු පංගු පහක් ආහාරයට ගන්න ….මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවලු සහ පළතුරු වලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වලක්වා ගන්න පුලුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

  • නිවිති

නිවිතවල අන්තර්ගත ‘‘ ලුටෙයින් “ ( Lutein)සහ ‘‘සෙක්සතින් “ ( zexanthin) ශාඛ රසායනයන් වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත්  ( Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුලුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවලු වර්ග මගින් පෙනහලුවල නීරෝගීබව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවලුවල ‘‘ ඉන්ඩෝල් “, ‘‘ කාබිනෝල් “, වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා.දැවටමත් නිව්යෝක් නගරයේ ‘‘ස්ට්‍රේන්ජ් “ පිලිකා මර්ධන ආයතනය විසින් හදුනා ගෙන ඇති අන්දමට කාබිනෝල් “, රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුලුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිලිබඳ මහාචාර්ය ‘‘ මැන්ප්‍රෙඩ් කෝනර් “ පෙන්වා දෙන අන්දමට සුදුලූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිලිකා සහ හදවතේ නීරෝගීතාවයටත් ඉතාම වැදගත්.allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් ( allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුලුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කලොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලි වල අන්තර්ගත ‘‘ ලයිකොපෙන්“ ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිලිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ එඩ්වඩ් ජිම්වනුසි “ සඳහන් කරන්නේ තක්කාලි පෙනහළු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් ““ සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති  ‘‘ ෆිනොලිකා “ ( phenolics ) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විදයාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ….ඔබේ හදවත ආරක්ෂා කර ගැනමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න…ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සදහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් ‘‘සී “බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආහ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers” digest ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

ඔබ තෝරාගත් ඩයපර් පෑන්ට් වර්ගය නිසා ඔබේ පැටියා අපහසුවෙන්ද?

අම්මෙක් හැම මොහොතකම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාට උපරිම සුව පහසුව සලන්න. තමන්ගේ දරු පැටියා අපහසුවෙන් අකමැත්තෙන් කාලය ගතකරනවා තරම් දුකක් අම්මෙක්ට තාත්තෙක්ට තවත් නැහැ. ඒත් ඔබේ නොදැනුවත්කම දරුවාට ලබා දිය යුතු සුව පහසුවට බාධාවක් විය හැකි නිසාම ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගයේ තිබිය යුතු ගුණාංග ගැන අපි දැනුවත් වෙමු.

ඩයපර් පෑන්ට් එක අම්මලාට ලොකු පහසුවක්. මොකද දඟකාර පුංචි පැටව් එක්ක ඩයපරයක් අන්දවනවා කියන එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. කොහොම හරි මහන්සි වෙලා ඩයපර් අන්දලා ආයෙත් බලද්දී ඒක ගලවගෙන. ඉතිං දඟ පැටියෙක්ට ගැලපෙන්නේ නම් ඩයපර් පෑන්ට් එකක්ම තමයි. එහෙමයි කියලා ඕනෙම ඩයපර පැන්ට් වර්ගයක් පුංචි පැටියට ගැලපෙයිද? කොහොමද හොඳම වර්ගයේ ඩයපර් පෑන්ට් එකක් දරුවා වෙනුවෙන් තෝරගන්නේ. හොඳම ඩයපර් පෑන්ට් වර්ගයක තිබිය යුතු ගුණාංග මොනවාද කියලා දැන් ඔබටත් හිතෙනවා ඇති.

ඔබේ දරුවාගේ අපහසුතා මගහරවන ගුණාංගයන්ගෙන් යුතු නිසාම පුංචි දඟයන්ට උපරිම සුවපහසුව සලසන ඩයපර් පෑන්ට් වර්ගය ලෙස බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් හැඳින්විය හැකියි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සතු මූලික ලක්ෂණය වන්නේ එය වැඩි තුනී බවකින් මෙන්ම ඉහළ උරාගැනීමේ හැකියාවකින් යුක්ත වීමයි. මේ වන විටත් ඩයපර් පෑන්ට් එකේ ඇති ඝනකම නිසා ඔබේ පුංචි දඟයා අපහහසුවෙන් විය හැකියි. වෙළඳ පොලේ ඇති බොහොමයක් ඩයපර් පෑන්ට් මහතින් වැඩි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. මහතින් වැඩි ඩයපර් පෑන්ට් දියර පිරීම නිසා දෙපා අතරින් එල්ලා වැටීම දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධා ඇති කරනවා. නමුත් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්වල වැඩි තුනී බව සහ වැඩි උරාගැනීමේ හැකියාව නිසා දරුවා වෙනදා මෙන් අපහසුතාවයට පත් නොවන බවට සහතිකයි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්හි උරා ගැනීමේ හැකියාවත් එසේ උරාගත් දියර ඇතුළත සිර කර රඳවා තබා ගැනීමේ හැකියාවත් සැබවින්ම සුවිශේෂයි. ඒ සුවිශේෂි හැකියාවන් සමගින් එන බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් එකෙහි මතුපිට වියළි බව එලෙසින්ම රඳවා ගන්නා අතරම කිසිදු ආකාරයකින් කාන්ඳු වීමක් සිදු නොවේ. එසේම තෙත් බවේ ප්‍රමාණය හැඟවීමේ හැකියාව (wetness Indicator) ඇති නිසා ඩයපර් පෑන්ට් එක මාරු කළ යුතු අවස්ථාව මව්වරැන්ට අවබෝධ කරගැනීමත් ඉතා පහසුයි.

ඒ වගේම බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිපද වී ඇත්තේ සුමුසු සම මත ආසාධන ඇති නොවන පරිද්දෙන් වීම එහි ඇති අනෙක් විශේෂත්වයයි. එනම් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිසා කිසිදු විටෙක ඔබේ පැටියාගේ සුමුදු සම මත ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති නොකරයි. බේබි ෂෙරමි ඩයපර් සුමුදු සමට උපරිම සුව පහසුව ගෙන එන පරිද්දෙන් අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට ගැලපෙන පරිදි මූලික පියවරේ සිටම සැකසී ඇති නිසාත් කපු වැනි මතුපිට වූ සුමුදු බවත් ඒ හරහා වතාශ්‍රය හොඳින් ගමන් කරන අයුරින් සැකසී ඇති නිසාත් ඔබේ දරුවා අපහසුතාවයට පත් නොවෙයි.

ඒ නිසාම වෙනදා මෙන් අපහසුතාවයන් නිසා දෛනික ක්‍රියාකාරකම් මගහරින, සුව නින්දට මගහැරෙන ඔබේ පැටියා බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සමගින් නිදහසේ දවස ගතකරයි.

පැණි බීම වල වර්ණ සංකේත (Traffic Light) ගැන මේ දේවල් ඔබ දන්නවාද?

මග තොටට ගිය හැම විටකදීම අම්මලා තාත්තලා සහ දරුවන් අතර අරගලය ඇති වෙන්නේ සීනි සහිත පැනි බීම වෙනුවෙන් බව අපි අත්දැකීමෙන්ම දන්නවා.ඒ වුනත් සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති.

ඒ විතරක් නොවෙයි, කිරීටක ධමනී ආහ්‍රිත රෝග, වකුගඩු ගල් සහ ආශ්‍රිත රෝග ඔස්ටියෝපොරෝසිස්,ප්‍රජනන ආබාධ වැනි අතුරු සංකුලතාවයන් බොහොමයක් වෙනුවෙන් පැණි බීම පානය බලපානවා.

පැණි බීමක් යනු කුමක් ද?

සීනි සාන්ද්‍රණය 5% කට වඩා වැඩි නම් එය පැණි බීමක් හෝ සීනි සහිත පානයක් (sugary drinks) ලෙස හඳුන්වන්න පුලුවනි. ඒ අනුව ඔන්න මේ සියල්ලම පැණි බීම ලැයිස්තුවට ඇතුලත් වෙනවා..

  • පළතුරු යුෂ,
  • සිසිල් බීම
  • රස කාරක යෙදූ කිරි
  • ශක්ති ජනක පාන
  • සීනි අඩංගු කළ තේ හෝ කෝපි
  • සීනි මිශ්‍ර නොකළ (no added sugar) පලතුරු බීම ද මීට ඇතුළත්ය.

පැණි බීම සහ එහි අතුරු ප්‍රතිඵල අලලා සිදු කරන ලද මෙම අධ්‍යනයට ලක්ෂයකට අධික පිරිසක් යොදා ගත්තා. පර්යේෂණය මෙහෙය වූ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පැරිස්හි උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින්  වසර පහක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල මත මෙම නිගමනයට පැමිණ ඇති අතර එම අධ්‍යයනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ද (British Medical Journal) පළකර තිබුණා. පර්යේෂණයට යොදා ගත් සමස්ත පිරිස අනුපාතයක් ලෙස ගත් කල සෑම පුද්ගලයන් 1000ක් අතරින් විසි දෙදෙනෙකු (22) පිළිකා තත්ත්වයක් පෙන්නුම් කර තිබුණා..මේ අධ්‍යයනය අතරතුර වාර්තා වූ පිළිකා රෝගීන් අතරින් 693 දෙනෙකුට පියයුරු පිළිකාවත් 291 දෙනෙකුට පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ 166 දෙනෙකුට මහා බඩවැල ආශ්‍රිත පිළිකා වැළඳී තිබුණා..

දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා, පැණි බීම මිලි ලීටර් 100 ක් අමතරව පානය කිරීම තුළින් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යා හැකි බව මෙම පර්යේෂණයේ නිගමනය වී තිබේ. සතියකට සිසිල් බීම කෑන් දෙකක් පානය කිරීමෙන් මෙම අවදානමට ගොදුරු විය හැක.

පර්යේෂකයන් පවසන්නේ සමස්ත පිරිස ම දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අමතරව මිලි ලීටර 100ක් පැණි බීම පානය කළේ නම් වසර පහක් තුළ තවත් හතර දෙනෙකුට පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය. ඒ අනුව මෙම අනුපාතය දහසකට 26 දෙනෙකු දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ඔවුහු පවසති.

“සීනි සහිත බීම සහ පිළිකා අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට මේ අනුව අනුමාන කළ හැකි නමුත් එය සහතික කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදුකිරීමට අවශ්‍යයි,” එක්සත් රාජධානියේ පිළිකා අධ්‍යයන ආයතනයේ දත්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වෛද්‍ය ග්‍රැහැම් වීලර් පවසයි.

ශ්‍රී ලංකාවේ සිසිල් බීම සඳහා වර්ණ සංකේත හෙවත් Trafic- light

1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සදහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වසරේදී පියවර ගනු ලැබීය.

ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයක ම මිලිලීටර් 100 ක් සදහා ග්‍රෑම් 11 කට වැඩි වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණයෙන් වර්ණ ගැන්වීම.

ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණයෙන් වර්ණ ගැන්වීම.

මෙසේ වර්ණ සංකේතවත් කිරිම මගින් මහ ජනතාවට බීමවල සීනි මට්ටම් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව සුදුසු බීම වර්ග තෝරා ගත හැකිය.

එමගින් බෝ නොවන රෝග පාලනය කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ විය .

[මහනුවර දිස්ත්‍රික් රෝහලේ බෝනොවන රෝග අංශයේ දැන්වීම් පත්‍රිකාවක් සහ බීබීසී පුවත් ඇසුරිනි]

*පුන්‍යා චාන්දනී ද සිල්වා*

අපේ අම්මලා දියවැඩියාවෙන් මිදෙන්න

කාන්තාවන් දියවැඩියා රෝගයෙන් පෙළීම අජීවී දරු උපත්වලට ප්‍රධාන හේතුවක් විය හැකි බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

අපේ අම්මාවරුන් ගැබිණි කාලයේදී දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙනවා නම් අජීවි දරු උපත්වලට හේතු වීමේ විශාල අවදානමක් ඇති බව ග්ලාස්ගෝ’ සරසවියේ සිදු කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා. ඒ නිසා ගර්භනී සමයෙහි කාන්තාවකගේ රුධිරයේ සීනි මට්ටම අධි මාත්‍රාවක පැවැත්ම අජීවී දරු උපත්වලට හේතු වෙනවා.

දරුවන් ප්‍රසූත කරනු ලැබීම සඳහා කාන්තාවන්ට ඇති හොඳම කාලය වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර බව ” ග්ලාස්ගෝ සරසවි සමීක්ෂණයේ නියමුවරිය වන වෛද්‍ය ෂරෝන් මැකින් (Dr Sharon Mackin) සඳහන් කරනවා. .  ඒ වගේම මේ කාලයේදී වුනත් ගැබ් ගත් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයට පත් වුනොත් ඔවුන්ගේ එම සංකුලතාවයන් සඳහා වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත් බැව් මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දෙනවා.ඒ නිසා වෛද්‍ය වෘත්තිකයන් විසින් නිතරම ගැබ් ගත් මවට ශරීරයේ බර සහ රුධිරයේ සීනි මට්ටම යහපත් අන්දමින් පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනවා.

වෛද්‍ය ෂරෝන් මැකින් පෙන්වා දෙන අන්දමට යම් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයෙන් පසුවෙනවා නම් ඇය ගර්භණීත්වය පිලිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. ඒ වගේම අහඹු ලෙසින් ගැබ් ගත් විටෙකදී වුනත්  ඒ වෙනුවෙන් ඇය දක්වන සැලකිල්ල මත ගැබිණි බවේ සංකුලතාවයන් අවම කර ගැනීමට පුලුවනි.

“දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මෙය සිතේ තබා ගැනීම වැදගත්. ඉක්මනින් පිළිසිඳ ගැනීමක් ගැන සැලැස්මක් නොමැති තත්වයක් යටතේ වුනත්, ඔවුන්ට දරු ගැබක් පිළිසිඳ ගැනීමට පෙර සුදුසු සායනික උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා” වෛද්‍ය ෂරෝන් මැකින් වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය ෂරෝන් මැකින් සඳහන් කරන අන්දමට “දියවැඩියා රෝගය සහිත කාන්තාවන් ඔවුන්ගේ සායනවලට යා යුතුයි. ඔවුන් ගැබ් ගෙන ඇති බව තහවුරු වූ වහාම අපට ඔවුන් පරීක්ෂා කරලා කල්තබාම උදව් වෙන්න පුළුවන්”

1998 සහ 2016 අතර කාලය තුළ ස්කොට්ලන්තයේ මව්වරුන් 3,847 දෙනෙකු විසින් ප්‍රසූත කරන ලද බිළිඳුන් 5,392 ක් ‘ග්ලාස්ගෝ’ සරසවි සමීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබුවා.ඔවුන්ගේ නිරීක්ෂණ අනුව,නිරෝගී මවරුන්ට සාපේක්ෂව, පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත මවක් සජීවී බිළිඳකු ප්‍රසුත කිරීමට වඩා අජීවී බිළිඳකු ප්‍රසූත කිරීමට ඇති ඉඩකඩ තුන් ගුණයකටත් වඩා වැඩි අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත මවක් අජීවී බිළිඳකු ප්‍රශූත කිරීමට ඇති ඉඩකඩ යටත් පිරිසෙන් එහි හතර ගුණයක් වෙයි.

පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.ඒ අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 22.9 ක් විය.පොදුවේ සමස්ත මව්වරුන්ගේ ප්‍රසූතීන් සංඛ්‍යාව ගත්විට දරු උපත් දහසකට අජීවී දරු උපත් අනුපාතය දහසකට 4.9 ක් විය.

අජීවී දරුවන් ප්‍රසූත කළ පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාම රුධිරයෙහි පැවතිය යුතු සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි පැවති අය වෙති.

ඒ අතරම, ගැබ් ගැනීමට පෙර රුධිරයේ සීනි මට්ටම දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ අජීවී දරු ප්‍රසූතීන් පිළිබඳව වඩාත් වැදගත් පුරෝකථනයක් වෙයි.

වැඩිම බර සහ අඩුම බර සහිත දරු උපත් ඉතා දැඩි අනතුරුදායක තත්වයක වූ බව ‘Diabetologia’ සඟරාවේ පළ කරනු ලැබ ඇති සමීක්‍ෂණ වාර්තාවෙන් කියැවෙයි. ”

එක්සත් රාජධානියේ දියවැඩියා ආයතනයේ (Diabetes UK) පර්යේෂණ සන්නිවේදන අංශයේ ප්‍රධානී වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සදහන් කරන අන්දමට  දියවැඩියාවෙන් පෙළෙන බොහෝ මව්වරුන් ගර්භනී කාලයේ සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, නිරෝගී දරුවන් ප්‍රසූත කරනවා. ඒත් මේ සමීක්‍ෂණ ප්‍රතිපලය මගින් වැදගත් කරුණක් යලිත් පෙන්වා දෙනවා. ඒක තමයි, දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් ,රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීමට එම කාන්තාවන්ට උදව් වීමේ වැදගත්කම.සංකීර්ණ තත්වයක් ඇතිවීමේ අන්තරාය අවම කර ගැනීමට එවැනි වැඩ පිළිවෙලක් අවශ්‍යයි”

“දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත අධි ස්ථූලභාවයෙන් යුක්ත කාන්තාවන්ගේ එම අතිරේක බර අඩුකර ගැනීමත් ප්‍රසූතයේ දී නරක ප්‍රතිපල අවම කර ගැනීමට ඉවහල් වෙන බව සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා” වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සඳහන් කරයි.

ශ්‍රි ලාංකික කාන්තාවන් අතරත් උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරු දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු කරන ගෘහණියෝ සිටිති. ඔවුන් නගන මැසිවිල්ලක් වන්නේ තමන් කොතරම් වැඩ කළ ද ශරීරය ස්ථුල වීමේ අඩුවක් නොමැති බවය.

එදිනෙදා වැඩ කිරීමේදී ශරීරයට තෙහෙට්ටුව දැනුණ ද ඒවා ශරීරයේ තැන්පත්ව ඇති තෙල් හා මේදය දහනය වීමට ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. එබැවින් දිනකට අවම වශයෙන් දහදිය දමන තුරු විනාඩි විස්සක්වත් ව්‍යායාම කිරීම යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා නාගරික පදික මං තීරුවල ඇවිදීම, ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම සහ ‘එරෝබික්’ වැනි නර්තනයන්හි නිරත වීම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

වැරදි ආහාර පුරුදු, ව්‍යායාම අඩුකම හා ජීවන රටාව වෙනස් වීම කාන්තාවන්ගේ තරබාරු බව වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවාරාත්‍රී ආහාර ගැනීම ප්‍රමාදවීම ද තරබාරු බව වැඩිවීමට හේතු වී තිබේ. ප්‍රමාදවී රාත්‍රී ආහාර ගත් පසු බොහෝ දෙනෙකු නින්දට යාම පුරුද්දක් කරගෙන ඇති නිසා එම ආහාර මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමක් සිදු වේ.

පෝෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ කාන්තාවන් එතරම් ක්‍රියාශීලී නොවන නිසා ඔවුන්ගේ ආහාර වේලට එකතු කරගන්නා බත් ප්‍රමාණය අඩකින් අඩුකර ඒ සඳහා වැඩිපුර එළවලු හා පළතුරු වර්ග එක්කර ගැනීම ඉතා යෝග්‍ය බවය.

නින්ද අඩුකම ද තරබාරු බව වැඩිවීමට හේතුවක් ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. වැඩිහිටියෙකුට දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් අවශ්‍ය වන අතර අලුයම 1-2 අතර නින්ද ඉතා වැදගත් බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිවී තිබේ.

බිබිසි පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

පියසෙනහසත් කොන්දේසි විරහිත විය යුතුයි

තාත්තා කියන්නේ පවුලක විශිෂ්ට චරිතයක්. පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය මුල් කර ගත් භුමිකාවේ තාත්තා පවුලක ආධිපත්‍ය්‍ය දැරූ වීරයෙක් බවට පත් වුනා. නිවසේ මූලිකයා, බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂකයා , දරුවන් හික්මවනු ලබන්නා වගේම සදාචාර උපදෙස් ලැබුනෙත් තාත්තා ගෙන්. ඇයි ඉතින් මේ කාලයේ අම්මා කියන කාන්තාවට තිබුනේ හැඳිමිටේ නුවණ කියලා පැත්තකට කොටු කළ යුගයක්නේ…

  • කාලය සමග වෙනස් වුණා..

ඇත්තටම කාලය සමග පිතෘත්වයටත් යම් යම් වෙනස්කම් ලැබුනා. අම්මා ගැන වැඩිමනත් කතා බහ ආරම්භ වුනාම ‘‘පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි“ යනුවෙන් පියවරුන් ගැනත් යම් ආත්මානුකම්පාවක් ඇති වුනා. ඒ වුනත් තවමත් තාත්තා කියන චරිතය පවුලේ අභිමානය බව අමතක කරන්න එපා.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ කෘතියේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික තාත්තා කියන චරිතයට වඩා තාත්තා යනු දරුවන්ගේ ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් විය යුතු බවයි. ආර්. එල්. ග්‍රිස්වල් පෙන්වා දෙන විදිහට බටහිර රටවල් වෙතින් නම් මේ තත්වය හොඳින් දක්නට ලැබුනත් තවමත් ආසියාතික කලාපයට තාත්තා ඉහත සඳහන් කරන ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් වී නැති බවයි.

  • තාත්තාටත් මෘදු කුසලතාවයන් ඕන.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

ඇත්තටම තවමත් පවුලක දරුවන් හුරතල් කිරීම, ආදරය දැක්වීම වැනි බොහොම මෘදු කුසලතාවයන් දරුවන්ට ලැබෙන්නේ අම්මා ගෙන්. සමහර තාත්තලා හිතන්නේ දරුවන්ට මෘදු කුසලතාවයන් විදිහට කියන ආදරය දැක්වීම, සුරතල් කිරීම වැනි සමීපතාවයක් ඇති වුනොත් දරුවන් ‘‘ ගෝනි නැතුව කරේ යන්න“ පුලුවන් බවයි. ඒ කියන්නේ තාත්තලගේ හිතේ තමන්ගේ තරාතිරම ගැනත් යම් අභිමානයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මෘදු කුසලතාවයන් හෙවත් දරුවන්ට සමීපව කටයුතු කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

  • එහෙම වුනොත් මොකද වෙන්නේ..

ඔව් ඉතින් තාත්තාගේ සමීපතාවය පුංචි කාලයේ පටන්ම දුරස්  වෙලා. දරුවන්ගේ ලෝකයේ තාත්තා කියන්නේ උත්තම චරිතයක් කියන සංකල්පය ගොඩ නැගුනත් කාලය සමග දරුවා තාත්තාගෙන්  දුරස් වෙනවා පමණක් නොව සෘජු සන්නිවේදනයක් පවත්වා ගන්නත් බැරි තරම් කුලෑටි දරුවෙකු බවට පත් වෙනවා.

  • තාත්තාලා කොහෙද දරුවන්ට බත් කැව්වේ…ඇදුම් සේදුවේ…

අපි නම් හිතන්නේ එහෙම වුනත් තාත්තා කෙනෙක් අතින් මේ කටයුතු ඉටු වීම මනෝවිද්‍යඥයින්ගේ පැත්තෙන් නම් කිසිම වරදක් නැහැ. අම්මා පමණක්ම බත් කවන්න…ඇඳුම් සෝදලා අන්දවන්න කියන නියමයක් ඉහත නැහැ. ඒ නිසා දරුවන් ඉන්න තාත්තා කෙනෙකුට නම් මේවා අවතක්සේරුවක් වෙන කටයුතු නම් නොවෙයි.

  • තාත්තා දරුවන් සමීප වීමෙන් ලැබෙන වාසි….

තාත්තා දරුවන් සමග සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි කීපයක් තිබෙනවා. දරුවන්ට මුල් කාලයේදී භාෂාව ඉගෙනීමේ දායකත්වය ලැබෙන්නේ තාත්තාගෙන්.ඒ වගේම පුද්ගලයන් අතර සන්නිවේදනයන් ගොඩ නගා ගැනීමේ හැකියාවත් දරුවාට ඉබේටම ලැබෙනවා. අපි කොටින්ම මෙහෙම කියමු. තාත්තා සමග හොදින් අදහස් හුවමාරු කර ගන්නා දරුවා ගේ තිබෙන ශක්තිය නිසා ඔවුන්ට මාමා, බාප්පා  වැනි චරිත සමග වුනත් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගන්න පුලුවනි. ඔබ මේ විදිහට අහලා ඇති..

අපේ පුතා තාත්තාට හරිම බයයි. එයාට උවමනා දෙයක් වුනත් මං හරහා තමයි කියන්නේ…තාත්තාගේ භුමිකාවේ මේ පැත්ත ගැන ඒ විදිහට ගාම්භීරව හිතුවත් එයින් දරුවාගේ පෞරෂයට නම් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

  • දරුවා තුළ පියා ගැන අභිමානයක් ගොඩ නැගෙන්නේ මේ විදිහටයි..

රෝස් ඩි පාර්ක්  විසින් ඇගේ ‘‘පීතෘත්වය“නැමැති කෘතියේ සඳහන් කරන්නේ දරුවා නිතරම පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවාගේ භුමිකාවේ ආදරශ ආකෘතිය බවට තාත්තා කියන චරිතය පත් වෙනවා. මේ නිසා සම්ප්‍රදායිකව හිතුවාට වඩා අලුත් මානයක් පියා වෙනුවෙන් ගොඩ නැගෙනවා.

  • තාත්තා දරුවන්ට සමීප නම් අධ්‍යාපනය දියුණු වෙනවා…

ජීවිතය ජයගත් බොහොම දෙනෙක් තමන්ගේ අතීත ආවර්ජනාවන්හිදී ඔවුන්ට අත හිත දුන් අය ගැන සඳහන් කරනවා. මේ චරිත අතරට අම්මා, තාත්තා, වගේම ගුරුවරුන් අයත් වෙනවා. ඒ වගේම යුනෙස්කෝ මගින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ දරුවන් සමග සම්බන්ධතාවයන් ඉතා සමීපව පවත්වා ගෙන යන, තමා  රැකබලාගන්නා සහතිකය දරුවන්ට ලැබී ඇති විට දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ලැබෙන බවයි. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට බොහොම හිතකර පරිසරයක් සකස් වෙන බවත් දැන් පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.

  • සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නේ කොහොමද…?

අලුත උපන් දරුවන්ට සරල ක්‍රියාකාරකම් මගින් යම් යම් දේ ඉගෙන ගන්න පුලුවනි. තාත්තාගේ තුරුලට දරුවා වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් සමහර තාත්තාලා දරුවාට මාස තුන හතරක් ගෙවෙන තෙක්ම වඩා ගන්නේ නැහැ. රැවුල ඇනෙයි…දරුවාට රිදෙයි…හදිසියේවත් රිදුනොත් වැනි අධි ආරක්ෂිත හේතු නිසා මේ තීරණ ගත්තත් දරුවා පියාගේ තුරුලට කැමැත්තක් දක්වනවා.

උපත ලැබීමෙන් පසුව මුල් මාස තුනේ දරුවාගේ ඇස් පෙනීම ඉතාම දියුනුයි.මේ කාලයේදී වර්ණ වස්තු, ඡායාරූප ආදිය පෙන්වීම , දරුවාට සිනාසෙන්නට හැකි අන්දමේ ක්‍රිඩා කිරීමෙන් තාත්තාට දරුවාට සම්බන්ධ වීමට පුලුවනි.

මාස හයක් පමණ ගෙවුනාම තාත්තාට  ආහාර ලබා දෙන වේලාවටත් සම්බන්ධ වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවාට පියාගේ ආදරය දැනෙන විදිහට තාත්තා හැසිරෙන්න ඒන. තාත්තාගේ ආදරය කොන්දේසි විරහිත බව දරවාට ඒත්තු යෑම ඉතාම වැදගත්.

UNICEF පත්‍රිකාවක් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

ඩයපර් පෑන්ට් එක අම්මටත් ලේසියි බබාටත් ලේසියි

පුංචි දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට අත් දහයක් තිබුණත් මදි කියන්නේ නිකමට නෙවෙයි. ගෙදර දොරේ මොන වැඩ කටයුතු තිබුණත් අම්මාගේ රාජකාරී ගොන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ පැටියගේ වැඩ ටික තමයි. පුංචි දඟයන්ගේ දඟ වැඩත් එක්ක එයාගේ වැඩ නම් කරලා ඉවර කරන්න බැහැ. ඒත් කොහොම හරි ඉවර කළා කියමුකෝ, ඔන්න අන්තිමට තෙමාගෙන. දැන් ආයේ පැටියා පිරිසිදු කරන්න වෙලා.

ඉතිං ඩයපර් එකක් දැම්මොත් මොකද?

මේ දඟයා එක්ක ඩයපර් අන්දන්නේ කොහොමද? ඩයපර් එකක් අන්දන්න ඇඳට ගත්තම අනික් පැත්ත හැරෙනවා. කොයි වෙලාවකවත් හරියට අන්දගන්න බැහැ. අනිත් එක බොහොම හොඳට ගලව ගන්නත් දන්නවා.

අම්මටත් පැටියටත් පහසුවක් සැලසෙන වෙන ක්‍රමයක් නැද්ද?

මොකද නැත්තේ… ඩයපර් පෑන්ට් එක තමයි මේකට තියෙන හොඳම විසදුම

ඩයපර් පෑන්ට් එක?

ඔව්.. දරුවාගේ කලිසමක් අන්දන විදියටම අන්දවන්න පුලුවන් නිසා හරිම පහසුයි. අනිත් එක පැටියට ගලව ගන්නත් බැහැ.

බබාට ඩයපර් පෑන්ට් ඇන්දුවම අම්මට ලේසි වෙන්නේ කොහොමද?

දඟ කරන පොඩ්ඩන්ට ඩයපර් එකක් අන්දලා තිබ්බම නිතරම ගලවාගන්න නිසා ඩයපර් පෑන්ට් එකක් ඇන්දුවාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. ඉතින් අම්මලාට තියෙන වැඩ අඩු වෙනවා වගේම හිතටත් බයක් නැහැ.

ඒත් කොහොමද ඩයපර් පෑන්ට් එක හොඳයි කියලා හිතන්නේ,

අන්න එතනදී නම් සැලකිලිමත් වෙන්න ඕනේ. සැමවිටම නියම ප්‍රමිතියේ උසස් නිෂ්පාදනයක් තෝරාගත යුතුයි.

ඉතිං හොඳ ඩයපර් පෑන්ට් වර්ග තියෙනවද?

මොකද නැත්තේ. හොඳ තත්ත්වයේ එකක් තෝර ගනිද්දී ඒවායේ තියෙන මේ ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ ඩයපර් පෑන්ට් එකක් තුනී වගේම උපරිම උරාගැනීමේ හැකියාවකින් යුක්තයි. මතුපිට සුමුදු වගේම වාතාශ්‍රය ගමන් කිරීමේ හැකියාවත් තියෙනවා. දරුවගේ ක්‍රියාකාරකම්වලට වගේම වර්ධනයට බාධාවක් නොවෙන විදියට තමයි ඒ ඩයපර් පෑන්ට් නිපදවලා තියෙන්නේ.

ඔය කියන තරමටම පැටියා තෙමා ගන්න වාරයක් පසා පිරිසිදු කරන එක අම්මා කෙනෙක්ට අපහසුවක්ද?

නැහැ. කිසිසේත්ම අම්මා කෙනෙකුට තමන්ගේ දරු පැටියාගේ වැඩ අපහසුවක් වෙන්නේ නැහැ. ඒත් එක දෙයක් නිසා වැඩ ගොන්නක් එකතු වෙනවා නම් ටිකක් හිතන්න වෙනවා. මේ බලන්න, ඩයපර් පෑන්ට් එක අන්දන්න පහසුයි. පැටියට ගලවගන්නත් බැහැ. අනික පාවිච්චියෙන් පසුව ඉවත් කරන නිසා හෝදන, වේලන, මදින රෙදි කන්දට එකතු වෙන රෙදි කන්දරාව අඩු වෙනවා. ඒ නිසා දරුවට අම්මා එක්ක සතුටින් ඉන්න වෙලාවක් ඉතුරු වෙනවා. දරැවාගේ මානසික සංවර්ධනයට ඒක හරිම වැදගත්. ඒ විතරක්ද දරුවට සුව නින්දකුත් ලැබෙනවා. ගෙදරින් පිටතට දරුවා රැගෙන යද්දී වුණත් අන්දන්න වගේම ඉවත් කරන්නත් ඩයපර් පෑන්ට් එක වඩාත් සුදුසුයි. මොකද දරුවා හාන්සි කරන්නේ නැතිව කලිසමක් අන්දවන ආකාරයෙන්ම ඇන්දවිය හැකි නිසා.

ඉතිං ඩයපර් පෑන්ට් පැටියාට හානියක් නැද්ද?

කිසිසේත්ම නැහැ. උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරාගන්න තාක් ඩයපර් පෑන්ට් නිසා දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඩයපර් පෑන්ට් ඇන්ද වීම දරුවාගේ නිදහසට බාධාවක් ලෙස සිතන පිරිසක් වගේම දරුවාගේ සුමුදු සමේ ආසාත්මිකතා, අවපැහැ වීම්, ගොරෝසු වීම්, කැපීම් තුවාල ඇති වීම ඩයපර් පෑන්ට් නිසා වෙන බවත් ඇතැමුන් විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි කකුල් බකල් වෙනවා, අස්ථි පද්ධතිය හොඳින් හැදෙන්නේ නැ, දරුවාගේ වර්ධනය අඩාල වෙනවා ව‍ගේ මිත්‍යාමතත් ඕනෙතරම් අහන්න ලැබේවි. මේ තත්ත්වයන් ඇති නොවන ආකාරයේ ඩයපර් පෑන්ට් වර්ගයක් තෝරාගැනීමට විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ වෙළඳපොළට එන උසස් නිෂ්පාදනයක් පිළිබඳව දැනුවත් වීම මව්පියන් වන ඔබේ වගකීමක්.

අපහරණයට ලක් වූ දරුවෙක්ට නොකිය යුතු මේ දේවල් ගැන ඔබ දැන සිටියාද?

මල් වගේ අපේ පුංචි දරුවෝ අපි රැක ගන්නේ අපේ ඇස් දෙක වගේ. ඒත් අපිට අත හැරෙන එක තත්ත්පරයකුත් මේ මල් කැකුලුවලට හානියක් සිද්ධ වෙන්න හොඳටම ඇති කියලා හිතෙන්නේ පුංචි දරුවන් මුහුණ දෙන එක් එක් ආකාරයේ හිරි හැර ගැන දවස ගානේ අසන්න ලැබෙන නිසයි. අපේ සමාජයේ වැඩිහිටියන්ට, හිතවතුන්ට ගරුකිරීම ආදරය දැක්වීම ඉතා හොඳ දෙයක් වුවත් ඇතැම් විට අපේ මේ පුංචි දරුවන්ට එය නරකට හිටින අවස්ථාත් එමටයි. මොකද මේ අපේ මල් කැකුළු වැඩිපුර මෙවැනි අපහරණයන්ට ලක් වෙන්නේ අපි හොඳින්ම දන්නා හඳුනන අපේම හිතවතුන් අතින්. එය හරිම ඛේදනීයය පුවතක්. නමුත් සමාජයක් විදියට අපේ දරුවන්ට සිදු විය හැකි මෙවන් ලිංගික පීඩා ගැන දැනුවත් වුනොත් මෙවැනි දේ අවම කරන්න අවස්ථාව ලැබෙනවා.

අපි නොහිතුවත්, විශ්වාස කල නොහැකි වුවත් පාසලේ ගුරුවරුන්, අචිචිලා සීයල, ඥාති සහෝදරයින්, පුජ්‍ය පක්ෂයේ ඇතැමුන්, මෙහෙකරුවන්, අසල වැසියන් විතරක් නෙවෙයි තමන්ගේම සහෝදර සහෝදරියන් වගේම තමන්ගේම දෙමාපියන් අතින් පවා දරුවන් ලිංගික අපහරනයන්ට ලක් වූ බවට සත්‍ය පුවත් අප වෙත ලැබී තිබෙනවා. මෙවැනි තත්ත්ව යටතේ මේ හය හතර නොදන්නා පුංචි දරුවෝ කොයි තරම් නම් අවසනාවන්තද කියා ඔබට වැටහෙනවා ඇති.

අපහරණයට ලක් වූ දරුවෙකුගේ පවුලක් අධ්‍යයනය කිරීමේදී පෙනී යන වැදගත්ම කරුණක් වන්නේ දරුවා අපහරණයට ලක් කල පුද්ගලයා (predators) එම පවුලට එනම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද ඉතාම වටිනා මෙන්ම අත්‍යවශ්‍ය අයෙකු බවටත් විශ්වාසනීය පුද්ගලයෙකු බවටත් පත්ව සිටි බවයි. එසේම මොවුන් තමා කෙරේ ආකර්ෂණයක් සහ ගරු කිරීමක් ඇති කර ගැනීමට (grooming) සමත් වනු ඇත. තවත් විදියකින් සිතුවොත් මෙවැනි පුද්ගලයින් දෙමාපියන්ගේ/පවුලේ දුරුවලතා හොඳි  වටහා ගෙන, ඒවා උදව්වෙන් මේ පුංචි දරුවන් වෙත ලංවෙනවා.

උදා : දෙමාපියන් නිතර ගැටුම් ඇති කර ගැනීම

මත්පැන් භාවිතය හුරුව සිටීම

දරුවන්ට සැමවිටම බැනුම් ගුටි බැට දෙන දෙමාපියන් වීම

සාමන්‍යයෙන් මෙසේ අපයෝජනයට ලක්වෙන දරුවෙකු ඒ පිළිබඳව තම වැඩිහිටියන්ට නොපවසන්නට හේතු කිහිපයක් තිබිය හැකියි. එකක් ලැජ්ජාව වන අතරම නිතර දරුවන්ට කෑකෝ ගසන දෙමාපියන්ගෙන් මේ සඳහා විසදුමක් නොලැබේය යන අවිශ්වාසය නිසාත් අපහරණයට ලක් කරන පුද්ගලයා විසින් මේ කරුණු හෙලි කල හොත් මරනවා/ දරුවාගේ ලගම කෙනෙක්ට හානි කරන බවට කියමින් දරුවා බියවද්දන  නිසාත් විය හැකියි. එසේත් නැතිනම් මේ සියල්ල දරුවාගේ අවශ්‍යතාවයට අනුව සිදු වූ බව පවසමින් දරුවා අන්ත අසරණ තත්ත්වයට පත් කරනවා විය හැකියි. මේවගේ සිදුවීම්වලදී මේ පුංචි දරුවෝ තම විසින්ම තමාව වැරදිකාරයා බවට පත්කරගනිමින් ජිවිත කාලය පුරාම දුක් විඳින තත්ත්වයට පත් විය හැකියි. මේ තත්ත්වය දරුවෙකුගේ මානසික සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කල හැකි අතරම දීර්ගකාලීනව පෞරුෂ වර්ධනයේ දුර්වලතා ඇති විය හැකියි.

දරුවන් අපහරණය ලක්වීම වලක්වා ගැනීමට නම්,

දරුවන්ට මේ සම්බන්ධව නිසි අධ්‍යාපනය ලබා දෙන්න

  • වයස අවුරුදු 2,3 සිටම දරුවන්ට තම සිරුරේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු ස්ථාන පිළිබඳව දැනුවත් කරන්න
  • එම ශරීර කොටස් කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් වෙනත් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ස්ථාන ස්පර්ශ කිරීමද නුසුදුසු බවත් වයසට සරිලන සරල බසින් දරුවාට කියා දෙන්න
  • එසේම මෙවැනි දෙයක් සිදු වුව හොත් බය නැතුව දෙමාපියන් වන ඔබට පවසන ලෙස දරුවට ආදරෙන් කියා දෙන්න.

තමන්ගේ දරුවා ගැවසෙන වටපිටාවේ සිටින්නන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගන්න.

උදාහරණයක් විදියට ළමයින්ගේ ඉස්කෝලේ ගුරුවරු සමග මෙන්ම යාළුවන්ගේ දෙමාපියන් සමගත් වඩාත් හොඳ සබඳතාවයක් ගොඩ නගාගෙන තමන් දරුවන් ගැන හොද අවදානයෙන් සිටින බව ඔවුන්ටත් දැනෙන්න සලස්වන අතරේම දරුවාට මේ සම්බන්ධව අවශ්‍ය දැනුම ඔබ ලබා දෙන බවට වටපිටාවේ සිටින යට ඒත්තු යන්නට ඉඩ හරින්න. හැම විටම දරුවන් සමග දවසේ විස්තර, ගුරුවරුන් සහ යාලුවන්ගේ විස්තර කතා කරන්න.

ඔබ දරුවන්ට සැර වැර කරන, ගහ බනින දෙමාපියෙක් නම් මෙවැනි අවස්ථාවකදී දරුවා ඔබ සමග කතා කිරීමට උනන්දු නොවිය හැකියි. විශේෂයෙන්ම ඔබ හැමදේකටම දරුවා වරදකාරයෙක් කරන මවක්/පියෙක් නම් ඔවුන් හැමදේම සිත තුල රඳවා ගනිමින් පිඩාවට පත්වනු ඇත. ඒ නිසා දරුවන්ට ආදරය, දයාව කරුණාව පාන මව්පියන් විය යුතු බව සිහියේ රඳවා ගන්න.

ඔබේ දරුවා අපහරණයට ලක්වුවහොත්

  • වහාම ළමා ආරක්ෂණ ආයතනයේ/පොලිසියේ සහය පතන්න
  • වෛද්‍යවරයෙකුට පෙන්වා අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගන්න.
  • දරුවා බියට/කලබලයට පත් කිරීමෙන් වැළකිය යුතු අතරම මේ සිදු වීම දරුවාගේ වරදක් නොවන බව දරුවාට වටහා ගත හැකි සරල බසකින් අවබෝධ කරවන්න
  • ඒවගේම දරුවා අත්වින්දේ ළමා මනස සලිත කරවන අත්දැකීමක් බවත්, එය සිදු නොවිය යුතු දෙයක් බවත්, මේගැන දෙමාපියන් වහාම ක්‍රියාත්මක වී දරුවා ආරක්ෂා කරන බවත් දරුවාට වැටහෙන සේ ආදරෙන් සහ ඉවසීමෙන් පැහැදිලි කරන්න.
  • සිදුවූ දෙය දරුවාගේ ආත්මගරුත්වයට සහ ආත්ම අභිමානයට කැළලක් නොවෙන්න වගබලාගන්නා බව දරුවාට පවසන්න.
  • කිසි විටක දෙමාපියන් දරුවාව තනි නොකරන බව දරුවාට ඒත්තු ගන්නන්න.
  • නව යොවුන් වියේ දරුවෙක් නම් ඔවුන්ට ගැටළු බොහොමයක් ඇති විය හැකි නිසා ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න

වැඩිහිටි ඔබ තරයේ සිතට ගත යුතු කරුණක් වන්නේ මේ සම්බන්ධව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීම ඔබේ දරුවා වසර ගණනක් පුරා අපයෝජනයට ලක්වීමටත් මානසිකව දරුණු ලෙස පහතට වටිමටත් හේතු වනු ඇත.

දෙමාපියන් ලෙස ඔබ නොකළයුතු දේ

ඔබේ දරුවා කුමන වයස් විමවේ වුවද මෙවැනි දේ දරුවාට පැවසීමෙන් වැළකිය යුතුය.

  • ඕක මොකක්ද? මට ඕවගේ දේවල් කොච්චර උනාද? ඕක අමතක කරලා දාන්න.
  • ආදරේට සෙල්ලමටනේ ඕක කරලා තියෙන්නේ
  • ඔයා කොච්චර නරක ළමයෙක්ද? මෙච්චර දෙයක් කරන කම්, ඔයා මොනවද කලේ
  • ඔයාගේ වරදින් තමයි මේවා උනේ, චික් කොච්චර ජරා වැඩක්ද කරලා තියෙන්නේ

ඉහත කියමන් අසන දරුවෙකුට ඇතිවෙන දරුණු ලැජ්ජාව සහ වේදනාව නිසාත්, දෙමාපියන් තමන්ව අවබෝධ නොකරගැනීමත්, තමන් වෙනුවෙන් නැගී නොසිටීමත් වැනි කරුණු මත දරුවාට තමාට වැදගත්කමක් නොලැබෙන වටපිටාවක් (chronic invalidating environment) දිගින් දිගටම ඇති වීම නිසා දරුණු මානසික රෝග සහ පෞර්ෂය ආබාධ ඇතිවිය හැකියි.

උද :  Borderline personality disorder.

දරුවන් අසරණයි.. අහිංසකයි… මෙබදු දේවල් ගැන අවබෝධායක් ඔවුන්ට සහජයෙන් පිහිටන්නේ නැහැ… බොහෝවිට ඔවුන් මෙබදු දේවලින්  ශාරීරික සතුටක් ලබන එක ස්වාභාවිකයි. විශේෂයන්ම, මෙබදු සතුටක් ලැබුවේ ඔවුන්ගේම පවුලේ කෙනෙක්ගෙන් නම්, ක්‍රමයෙන් මොළය වර්ධනය වීමේදී එය විශාල වරදක් බව අවබෝධ කර ගත්විට දරුවෙකුට ඇති වෙන මානසික කම්පනයෙන් මිදීමට, මත් පැන්/මත් ද්‍රව්‍ය, සුරා සූදු, අත පය කපා කොටා ගැනීම්, භයානක ලිංගික සම්බන්ධතා වගේම වැඩිහිටි වියේදී තමන්ගේ ජීවිතේ සහකරුට සහ තම දරුවන්ට නොයෙක් කායික මානසික වදහිංසා ඇතිකරන්න පෙලෙඹිය හැකියි. එසේම එබදු අය, තව කෙනකුගේ කෝණයකින් බැලීමට අපහසු අය බවට පත් විය හැකියි. එවන් දරුවන් යම් දිනක සමාජය ගැන ඉතා තද බල අවිශ්වාසයක් ඇති කරගන්නා අතරම මොවුන් දරුණු මානසික අතතියන්ට පත්  විය හැකියි. ඇතමුන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකියි. දරුවෙකු රක ගැනීම ඔබෙත් මගෙත් වගකීම සහ යුතුකම වන නිසාම ඔබේම දරුවා දෙස පමණක් නොව සමාජයේ මෙවන් තත්ත්වයන්ට පත්වෙන වෙනත් දරුවන් වෙනුවෙක් ඔබට යමක් කල හැකි නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

මවු ඇතිදාටත් සෙනෙහස පුදනා මවු නැතිදාටත් තුරුලේ රකිනා තාත්තා

දරුවන් ගේ මනා සංවර්ධනයට සහ යහපත් පෞර්ෂයයක් ගොඩ නැගීම සඳහා මව පියා යන දෙදෙනාගේ ම දායකත්වය අවශ්‍යය වේ. පවුලක් තුළ පියා ගේ කාර්යය ”බත සරි කිරීම” පමණක් නොව දරුවන් ගේ අධ්‍යාපනයේ දී , ආරක්ෂාව සැපයීමේ දී සහ දරුවන් විනයානුකූලව සාදා ගැනීමේ දී පියා ගේ භූමිකාව ඉතා වැදගත් වේ. එක් එක් වර්ධන අවධියේ දි පියාගේ භූමිකාව සහ කාර්යය භාරය විවිධාකාර වේ.

අලුත උපන් බිළිඳා සහ තාත්තා

දරුවාගේ ජීවිතයේ මුල් වසර කිහිපය තුළ දී, පියා ගේ සෙනෙහස සහ රැකවරණය ලැබීම, සුරක්ෂිතභාවය සහ ස්ථාවරභාවය පිළිබඳ හැඟීම් දරුවා තුළ ජනිත වීම සඳහා උපකාරී වේ. දරුවාගේ හැඬීමට හෝ අන් සංඥවලට ප‍්‍රතිචාර ලබා දීම මගින් දරුවා පියා සමග සුරක්ෂිත සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ලබයි. පියා තමාට ආදරය, අස්වැසිල්ල ලබා දෙන කෙනෙක් ලෙස දරුවා සැලකීමට පටන් ගනී. පියවරුන් මවුවරුන්ට වඩා ශාරීරික උත්තේජන ලබා දෙන බැවින් අලුත උපන් දරුවන් බලා ගැනීමේ දී පියවරුන් ද එම කාර්යය ට සම්බන්ධ කර ගැනීම දරුවන්ගේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමෙහි තබා ගැනීමෙහිලා අතිශයින් වැදගත් වේ. එනම් අලුත උපන් දරුවා සමග කටයුතු කිරීමේ දී මව පියා යන දෙදෙනාගේම සහභාගිත්වය ලැබීම තුලින් වඩා තෘප්තිමත්, සාර්ථක සහ විනීත දරුවන් බිහි වේ.

සිඟිත්තන් සහ තාත්තා

සිඟිති සිත් කුතුහලයෙන් බහුල යි. ඔවුන් දැඩි විපරමෙන් යුතුයි, ගවේෂණශීලීයි. මෙම අවධියේ දරුවාගේ පියා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ නියමුවා වෙයි. දරුවාගේ ගවේෂණයන් ට සහය දීම සේම දරුවාට අවශ්‍යය නීති රීති, සීමා පැණවීම ද මෙම අවධියේ දී පියාගේ කාර්යභාරය වේ. පියවරුන් මෙම අවධියේ දී දරුවාගේ සෙල්ලම් සගයා වීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයයෙන් පියවරුන් දරුවන් සමග රළු කී‍්‍රඩාවල යෙදීමට කැමැත්තක් දක්වයි. එසේ ම අභියෝගාත්මක දෑ කිරීමට දරුවා පොළඹවයි. මෙය දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩ නැගීම සඳහා ඉවහල් වේ. එසේම දරුවාට ඇති වන ගැටලු තනිවම විසදාගැනීමේ හැකියාව දියුණු කිරීමට ඉවහල් වේ. එසේම දරුවාට තමා තුළ පවතින ශක්තීන්, කුසලතාවන් පිළිබඳ අවබෝධය දියුණු වේ. එසේම පියා දරුවා සමග සමීපව කටයුතු කිරීම නිසා දරුවන් පහසුවෙන් සමාජයීය සහ භාවාත්මක සම්බන්ධතා ගොඩ නගා ගනියි.

පාසල් දරුවන් සහ තාත්තා

පියවරුන් අභියෝග සඳහා දරුවන් හුරු කරයි. එසේම අභියෝගවලට මුහුණ දීමට දරුවන් පොළඹවයි, දිරිමත් කරයි. ඔවුන්, දරුවන් තුළ ප‍්‍රමෝදය පෙළඹවීම ඇති කරයි. දරුවන් තම ක‍්‍රියාවන්හිදී පියාගේ අනුමැතිය අපේක්ෂා කරයි. පියවරුන් දරුවන් ට තනිව වැඩ කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ තුලින් ඔවුනගේ ආත්මවිශ්වාසය සහ ආත්ම අභිමානය ගොඩ නැගේ. දරුවන් සාරධර්ම සමාජ හරයන් ඉගෙන ගනුයේ දෙමාපියන් තුලිනි. මෙම නිසා විශේෂයෙන්ම දරුවන් ඉදිරියේ දී යහපත් චර්යාවන් පෙන්වීම ඉතා වැදගත් වේ.

දරුවා ගේ ජීවිතයේ පියාගේ භූමිකා

මනා පෞර්ෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී පියාගේ භූමිකාව විවිධාකාර වේ. වරෙක ඔහු සෙල්ලම් සගයාය, වරෙක ගුරුවරයා නැතහොත් පුහුණුකරුවාය, තවත් විටෙක ආරක්ෂකයාය, සහචරයාය, ආදර්ශ සපයන්නාය නැතිනම් ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ය. මෙම සෑම භූමිකාවක්ම මනා පෞරෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී අතිශයින් වැදගත් වේ.

සෙල්ලම් සගයා ලෙසින් – නැලවිලි ගී ගැයීම, කතාන්දර කීම වැනි දෑ මවුවරුන් ගේ කුසලතාව වන අතර ශාරීරිකව වෙහෙසකර කි‍්‍රයාවන්හි යෙදීම පියවරුන් ගේ කුසලතාව වේ. කුඩා කල අස්සයා පිට යාම, ලූණු ගෙන යාම, බයිසිකල් පැදීම, බෝල ගැසීම වැනි දෑ කිරීමේ දී සහ නව යොවුන් වියෙහි දී වීඩියෝ කී‍්‍රඩා කිරීමේ දී පියවරුන් කදිම සෙල්ලම් සගයන් වේ. මෙය මිතුරුකම් ඇති වන මූලික අවස්ථාවයි. දරුවා සමඟ සෙල්ලමෙහි යෙදීම ට පියා කාල වෙලාව වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් පියවරුන් නිහඬ චරිත බැවින් කී‍්‍රඩාව දරුවා සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමේ මාර්ගයක් වේ. දරුවා ට බෙදා හදා ගැනීම ජය පරාජය දරා ගැනීම වැනි ජීවිතය පිළිබඳ පාඩම් කියා දීමට මෙය අවස්ථාවක් වේ.

ගුරුවරයා නැතහොත් පුහුණුකරුවා ලෙසින් – ඉගැන්වීම නැතහොත් පුහුණු කිරීම යනුවෙන් මෙහි අදහස් කරනුයේ ජීවණ කුසලතා පුහුණු කිරීම යි. ඔවුන් වැඩිහිටිවියේ දී ද ඔබ ඔවුනට බයිසිකලය හුරු කළ බව, ඔවුන් සමඟ කි‍්‍රකට් ගැසූ බව සතුටින් සිහිපත් කරනු ඇත. එසේම ඔබ ඔවුනට අභියෝග දුන් බව, අභියෝග කළ බව, පරාජයන් හමුවේ දිරිමත් කළ බව ඔවුන් සිහිපත් කරනු ඇත. පියවරුන් තුල තම දරුවන් පිළිබඳ ඉහළ අපේක්ෂාවන් පවතී. එම නිසාම ඔවුන්ව විශිෂ්ඨත්වය දක්වා රැගෙන යාමට පියවරුන් පෙළඹේ. මෙය උපක‍්‍රමිකව සිදුකළහොත් ඔබේ සිතැඟි හඳුනන ඒවා සඵල කිරීමට පෙළඹවීමක් ඇති දරුවෙක් ගොඩ නැගේ. එසේ වුවද ඔබේ බලාපොරොත්තු සිතැඟි තුල දරුවා සිර කිරීම යුතු නොවේ. එම නිසා සාර්ථකත්වය සඳහා පෙළඹවීම සහ දරුවාට දරුවා ලෙසින් ගොඩ නැගීමට දීම යන කාරණා දෙකම සමතුලිතව පවත්වා ගැනීම වැදගත් වේ.

ආරක්ෂකයා ලෙසින් – පුරුෂ පක්ෂය සාමාන්‍යයෙන් ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්ය. ඔවුන් හොඳ ආරක්ෂකයන්ය. එම නිසා පියවරුන් බාහිරයෙන් තම දරුවන්ට පවුලට සිදුවිය හැකි අනතුරුවලින් වලක්වා ගැනීම සඳහා පවුලට සිටිනා වටිනාම ආරක්ෂකයාය. එසේම ස්වභාවයෙන්ම උරුම වූ වඩා ශක්තිමත් ස්වරූපය නිසා දරුවන් පියවරුන් ආරක්ෂකයන් ලෙස දකියි. දරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂා ව සැලසීම සේම දරුවන් ට අනතුරුවලින් ආරක්ෂා වන ආකාරය උගැන්වීම ද වැදගත් වේ. යහළුවන් අතර ඇති වන ගැටුමක දී ක‍්‍රියා කළ යුතු ආකාරය, ආරක්ෂිත සහ අන්තරායකාරී දෑ, ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස අවදානම් ගැනීම ආදිය පිළිබඳ ව දරුවා දැනුවත් කර තැබීම වැදගත් වේ.

සහචරයා ලෙසින් – පියවරුන්ට දරුවන් සමඟ ගත කිරීමට ඇති කාලය බොහෝ විට සීමිතය. එම නිසාම මෙම ලැබෙන කෙටි කාල සීමාව ගුණාත්මක ලෙස ගත කිරීම ඉතා වැදගත් වේ. එසේම දරුවාගේ විශේෂ අවස්ථා වලදී (නිවාසාන්තර කී‍්‍රඩා උළෙල, පංති කව වැනි) ඒ සඳහා කාලය වෙන් කරවා ගැනීම ද අතිශයින් වැදගත් වේ. දරුවා සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම දරුවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට උදව් වේ.

ආදර්ශ සපයන්නා ලෙසින් – දියණියකට තම ජීවිතයේ පළමු පරිපූර්ණ පිරිමියා ඇයගේ පියා ය. ඇය තම පියාගෙන් තමාට ලැබෙන ගෞරවය අනෙකුත් පිරිමින්ගෙන් ද බලාපොරොත්තු වෙයි. තම අනාගත ස්වාමිපුරුෂයා තුල පියා ගේ ගති ගුණ සොයයි. පුතෙක් තම පියා දෙස බලා වැඩෙයි. ඔහු ව අනුකරණය කරයි. පියා අනෙක් පුද්ගලයන් සමඟ ගනු දෙනු කරන ආකාරයට ගනු දෙනු කරයි. දිනපතාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ දරුවන්ට ආදර්ශ සපයයි. එම නිසා දරුවන් ඉදිරියේ වගකීමෙන් හැසිරෙන්න.

ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ලෙසින් – වගකීමෙන් කි‍්‍රයාකිරීම සහ ආර්ථික වශයෙන් ස්වාධීන වීම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඉහත කී කාර්යයන් මවුවරුන් විසින් ද සිදුකෙරුන ද පියවරුන් විෂයෙහි මෙම කාර්යයන් ඉතා වැදගත් වේ. දරුවන් ස්වාධීන පුද්ගලයන් කිරීමේ දී පියා ගේ කාර්යය භාරය සුවිශේෂී වේ. පියාගෙන් ලැබෙන කුසලතාවන් දරුවා ස්වයංපූරිත කිරීමට ද, විනීත වීමට සහ ශක්තිමත් වීමට ද උදව් වේ.

[කොළඹ 08, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය විසින් සකස් කරන ලද ලිපියකි.]

ගීත ගායනයෙන් වාසි ගොඩක්

ගායනය අපේ ජීවිතයේ නීරෝගී පැවැත්මට ඉතාම වැදගත්. අතීතයේදී නම් බොහෝ දෙනෙක් කිව්වේ සංගීතය ආහාරයක් කියලයි. මේ කතාවේ සුල මුල දැන් විදයාත්මක පර්යේෂණ මගිනුත් සනාථව තිබෙනවා.

ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් සංගීතය සහ අපේ මානසික පීඩනය අතර ඇති අන්තර් සම්බන්ධතාවය ගැන අධ්‍යනයක් සිදු කුරනු ලැබුවා. එහිදී ඔවුන් හඳුනාගත් විදිහට ගායනා කිරීමේදී අපේ ශරීරයෙන් එන්ඩොපින් (endorphins)හෝර්මෝනය නිදහස් වෙනවා. එන්ඩොපින් මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනයක්. මේ අධ්‍යනයේ ප්‍රධාණී ලන්ඩන් යුනිවර්සි(endorphins) ටි කොලේජ්හි මහාචාර්ය ඩේසි ෆැන්කෝර්ට් පවසන්නේ, ගායනා කරන අවස්ථාවලදී මිනිස් ශරීරය තුළ විපර්යාසයන් රැසක් සිදුවන බවයි..

ගායනය නිසා අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකළ මහාචාර්ය ෆෑන්කෝට් පවසන්නේ, එහි විවිධ බලපෑම් ඇති බවය.

“ගායනය කියන්නේ බහුවිධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක්. ඒක අංග රැසකින් සමන්විතයි. ගායනය මානසික සෞඛ්‍යයට යහපත්. ගායනය නිසා හුදෙකලා වෙලා කියන සිතුවිල්ල බැහැර කරනවා.” මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නමැති මානසික ආතතිය (stress) ඇති කරන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩු වන බව මේ අධ්‍යනය මගින් හදුනා ගෙන තිබෙනවා.ඒ වගේම මේ වෙනුවෙන්ම සීමා වුන ගීත සාහිත්‍යක් නැහැ. රොක් වේවා, හාස්ත්‍රිය වේවා ගායනය විසින් මේ අපුර්ව හැකියාව අපට ගොඩ නගන බැව් පර්යේෂිකාව විසින් වඩාත් ඉස්මතු කර පෙන්වනවා. ගායනා කරන විට අපේ මනෝ භාවයන්ට (mood) බලපාන හෝමෝන මට්ටම්වල වෙනසක් සිදු වෙන නිසා අපට මේ වාසිය ලැබෙනවා.

ගායනා කිරීම චොකලට් කනවා වගෙයි.

මේ ගැන ඔවුන් කියන්නේ ගායනා කිරීම හරියට චොකලට් කෑමට සමාන බවයි.අපි සිනාසෙන විට වගේම චොකලට් ආහාරයට ගන්නා විට නිදහස් වෙන එන්ඩොපින් මට්ටමට මෙය සමාන බවයි. ගායනා කරන විට අපි  ගැඹුරු ලෙස ස්වසනය කරනවා.  එයින්  ශරීරය පුරා රුධිර සංසරණ වේගය වැඩි වෙයි. එන්ඩෝෆින් හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක්

ජිම් මොකටද…?

එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ වාර්තාවක සඳහන් අන්දමට  “මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙනවා.ජර්මනියේ ප්‍රසිද්ධ කණ්ඩායම් ගායිකාවක වන ඇනාබෙල් ජීම් යෑම පැත්තක තියලා සතියකට පැය තුනක කාලයක් ගායනා කිරීමේ නිරත වෙනවා. ඇගේ වචනයෙන්ම කිව්වොත්..

“මම ගායනා කරද්දී මට දැනෙන්නේ ඒක භාවනාවක් වගේ. මම ඒ වේලාවට සංගීතය තුළ ගිලිලා ඉන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඒ වෙලාවට.”

“ගායනා කරන්න මුළු ශරීරය ම අවශ්‍යයි. මම ජිම් එකකට නොයාමට හේතුව ඒක,” ඇය පැවසීය

ඩිමෙන්ෂියා සහ පෙනහළු රෝගී තත්වයට

වෛද්‍ය සයිමන් ඕෆර් සඳහන් කරන්නේ ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට වැඩිපුර රුධිරය ගලා යනවා. ඩිමෙන්ෂියා රෝග තත්වයට මේ ස්ථාන බොහොම සංවේදීයි. ඒත් ගායනයෙන් මේ ස්ථානයන්ට හොදින් රුධිරය ලැබෙනවා. මේ නිසා ඩිමෙන්ෂියා රෝග තත්වයට ප්‍රතිකාරයක් විදිහට දැන් ගායනා කිරීම වඩාත් සුදුසු ඔසුවක් බැව් හඳුනා ගෙන තිබෙනවා.මේ නිසා එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මයින්ඩ් සෝන්ග් ආයතනය වැඩිහිටි නිවාසවලට නිරන්තරයෙන් සිය ගායන ශිල්පීන් සම්බන්ධ කරමින් වැඩිහිටියන් ගායනය සඳහා උනන්දු කරනවා.

ඔබ සමූහයක් ලෙස ගායනා කරන විට හිමි වන ප්‍රතිලාභ ඉතා යහපත්. ගායනාවලට සහභාගි වීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් ඊළඟ දවස වෙනකම් හොඳ මානසික තත්ත්වයක පසුවෙනවා කියලා ඒ වැඩිහිටි නිවාස පාලකයින් කියනවා,” මයින්ඩ් සෝන්ග් ආයතනයේ සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩි පවසයි.”මේ ගායනාවන්ගේ ප්‍රතිඵල මොනතරම් ඉහළ තත්වයක තිබෙනවාද කිව්වොත්  එම ආයතනයේ පෙනහලු ආබාධ නිසා හට ගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිළිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු නිතරම පැවැත්වීමට පවා කටයුතු සැලසුම් කර තිබෙනවා…

“ගායන වැඩමුළු පහකට හෝ හයකට සහභාගි වුණාට පස්සේ සමහර රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පැහැදිලි ලෙස යහපත් වුණා.”

එහෙමනම්  බරපතළ පෙනහලු ආබාධ සහිත රෝගීන් ගායනා කිරීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට උත්සහ දැරීම පුදුමයට හේතුවක් නොවෙයි නේද..?. පර්යේෂකයින් පවසන්නේ, සමූහයක් ලෙස ගායනාවලට එක් වීමෙන් හුදෙකලාව අඩු වන අතර සමාජය සමග ගැටීමේ හැකියාව ද වර්ධනය වන බවයි..

එහෙනම්…ඔබේ නිවස පුංචි ගායක සමාජයක් බවට පත් වුනොත් මේ වාසි ලබා ගැනීම එතරම් අපහසු නැහැ.පුංචි දරුවන්ටත් කටේ හිරි ඇරෙන්න හයියෙන් ගීතයක් ගායනා කරන්න අවසර ලැබුනොත් මුලින් කී වාසි සේරම එවුන්ට ලැබෙද්දී නිවසේ ඉන්න වැඩිහිටියන්ටත් කායික වගේම මානසිකව නිරෝගීව සිටිමට සංගීත පරිසරය නොදැනීම පිහිටක් වේවි.

බිබිසි පුවත් ඇසුරිනි.