පෙර පාසල් යන්න පටන් ගත්තාම දරුවා වෙනස් වුනාද?

දරුවන්ගේ හිත් අම්මලාට තාත්තලාට කියවන්න පුලුවන් වුනත් සමහර වේලාවල් තිබෙනවා මොන විදිහටවත් දරුවාගේ හැසිරීම් තේරුම් ගන්න බැරි. විශේෂයෙන් දරුවාගේ පැවැති පරිසරය වෙනස් වුනාම මේ තත්වය ඇති වෙනවා. උදාහරණයක් විදිහට පෙර පාසල් යන්න පටන් ගත්තාම අර වෙනදා තිබුන සංයමය හුරතලය දරුවාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. තේරුමක් නැතුව අඩනවා. ඇහුවාට හේතුවක් කියන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපට නොපෙනෙන හේතු නිසා දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්. එහෙමනම් දෙමව්පියන් විදිහට දරුවාගේ අලුත් හැසිරීමක් ඇති වුනොත් ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු ගැනත් ටිකක් අවධානය දෙන්න. මේවා දරුවා ඔබට පැහැදිලිව නොකීවට, ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඒ අවශ්‍යතාවයන් වෙන්න පුලුවනි.

  • පැටියා කියන දේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ.

සමහර වේලාවට තමන්ට අවශ්‍ය දෙයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් පැහැදිලිව දෙමව්පියන්ට සන්නිවේදනය නොවුනොත් දරුවාගේ හිත සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අඩන්න, හැපෙන්න පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ තමාගේ අවශ්‍යතාවය තවමත් ඉෂ්ට නොවුන බවක්. ඉතින් අම්මලා බොහොම යාප්පුවෙන් දරුවාගේ භාෂාව තේරුම් ගන්න ඕන. නැත්නම් ගෝරනාඩුව අවසාන වෙන්නේ නැහැ.

  • බඩගින්න

නිවසේ සිටියදී දරුවාගේ කටට මොනවා හරි දෙයක් අම්මලා දෙනවානේ. ඒත් ළදරු පාසල් ගියාම කන්න බොන්න වෙලාවක් තියෙනවානේ. ඒ නිසා දරුවාට බඩගින්න කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඒ ගැන නම් දරුවන් ලොකු මහත් වෙද්දී අම්මලාටත් තේරෙනවා ඇති. ඉතින් මේ බඩගින්න කියන්නෙත් නැහැ. බඩගින්නට කන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුනාම විවිධ ගති පැවැතුම්වලින් ඒ බව පෙන්වන්න උත්සාහ ගන්නවා. අද ප්‍රාථමික පංතිවල බොහෝ විට පංතියේ වැඩ කටයුතු පටන් ගන්න ඉස්සරින් ආහාරවේලක් ලබා දෙන අවස්ථා තිබෙනවා. මේ තත්වය  නිසා දරුවා අඩන්නේ තේරුමක් නැතුව බව අපට පෙනුනත් ඔහුට හේතුවක් තිබෙනවා.

  • මහන්සියි…මට

ළඟම ළදරු පාසලක් තිබුනත් අපේ දෙමව්පියන් දරුවා රැගෙන නගරයට යන ගමනත් දැන් මහන්සියි. නිවසේ මලක් වගේ අම්මාගෙන් අත්තම්මාට මාරු වෙවී හිටිය දරුවා දැන් කිලෝමීටර් හතර පහක් දුරක් යන්න වෙලා. දහඩිය, ගමන මහන්සිය මේ සේරම එකතු වුනාම ඉතින් අඩනවා හැර වෙන මොනවා කරන්නද නේද…? ඒත් මහන්සිය නිවුනේ නැත්නම් තව තවත් දරුණු වෙන්න පුලුවනි.

  • යාළුවෝ කරදර කරනවා..

සමහර පොඩි දරුවෝ ළදරු පාසල් පරිසරයට ඉතාම ඉක්මනින් අනුගත වෙනවා. ඒත් සමහර දරුවන්ට අලුත් පරිසරයට අනුගත වෙන්න ඉක්මනින් බැහැ. ඒ නිසා මේ වගේ දරුවන්ට ළදරු පාසල මානසික වදයක් වෙන්න පුලුවනි. උදේට වදෙන් පොරෙන් එකතු කර ගෙන ගියාට පොඩි එකා කැමැත්තෙන් යන ගමනක් නොවෙයි. ඒ වුනත් දෙමව්පියන්ගේ අණසක නිසා නොගිහින් බැහැ. එහෙම බලහත්කාරයෙන් ළදරු පාසලට යන දරුවන් නොදැනීම විවිධ විදිහටට තමන්ගේ නොසතුට පෙන්වන්න පුලුවනි.

හිතේ හංගාගෙන ඉන්න දේ නිසාත්..

  • ළදරු පාසලේදී දරුවාගේ හිතටත් විවිධ සිතුවිලි ඇති වෙනවා. සමවයස් අතර තරගයක් තියෙනවානේ. සමහර විට ගුරුතුමිය වෙනදා පැටියාට දැක්වූ අවධානය දැන් අලුත් පුතෙක් වෙත යොමු වෙන්න පුලවනි. ඒ බව පැහැදිලිව කියා ගන්න බැරි වුනත් හැසිරීමේ රහස පිටිපසින් ඇත්තේ මෙන්න මේ හේතුව වෙන්න පුලුවනි.
  • අනුකරණය නිසාත්..

ළදරු පාසලක විවධ හැසිරීම් රටාවන් ඇති දරුවන් සිටිනවා. මේ අතරින් දරුවාගේ හිත යම් දරුවෙකුගේ හැසිරීමට ඇදී ගියොත් ඔහු එතැන් පටන් ඒ හැසිරීම් රටාවට යොමු වෙනවා. අපට දරුවන් වර්ග කරන්නත් බැරි නිසා ටිකක් හෙමින් කියා දුන්නොත් ඔය විදිහට හොද ළමයි හැසිරෙන්නේ නැහැ කියලා, එවිට දරුවාටත් ටිකක් හෝ තේරුම් යාවි. මේ තත්වය දරුවන්ම පමණක් නොවෙයි, වැඩිහිටියෙක්, රූපවාහිනියෙ චරිතයක් වෙන්නත් පුලුවනි. නමුත් හොඳට වඩා වැඩි වේගයකින් නරක දේ අනුකරණය වීම සාමාන්‍ය සිද්ධියක්.

  • කුතුහලය…

අපි නොහිතන තරම් දරුවන්ගේ කුතුහලය වැඩියි. ඒ නිසා ඔවුන් හැම විටම හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා යම් දෙයක් දරුවාගෙන් සගවන බවක් යාන්තමින් හෝ දැනුනොත් දරුවාගෙත් සීමාව පනින්න පුලුවනි. ඒ නිසා යම් යම් දේ ඔහුට නොදැනෙන සේ සගවනවා මිස , ඔහුට යාන්මින් හෝ දැනෙන සේ කිරීමට ගියොත් නම් වැඩ වරදිනවා.

තහංචි දැම්මොත් වැඩියි

පුතා…ඔතනට යන්න එපා…ඔය දේ කන්න එපා. ඔය දේ අල්ලන්න එපා… මේ වගේ නිශේධන නම් පුංචි අයට රුස්සන්නේ නැහැ. එහෙම වුනොත් මේ එපා කියන දේ ච්ිම පසු පසම හඹා යෑමට පටන් ගන්නවා.  එතැනදී අම්මා, තාත්තා තව තවත් එපා කිව්වොත් ඔන්න දෙපැත්තම යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.

ඇදුම් පැළදුම්..

දරුවන්ට නිතරම මෝස්තරය නොව සැහැල්ලු සහ පරිසරයට ගැලපෙන ඇදුම් ඇන්දවීම වැදගත්. ගිනි ගහන මද්දහනට දහඩිය උරා ගන්නේ නැති රෙදිවලින් නිම කළ ඇදුමක් අන්දවා තිබුනොත් එයින් දැනෙන අපහසුව නිසා දරුවා ආවේශ වෙනවා. ඒ වගේම මුදු, එල්ලෙන කරාබු වගේ දේවල් නිසාත් ඇති වෙන අපහසුතාවය විවිධ විදිහට ප්‍රකාශ කරන්න පටන් ගත්තාම අපි කියන්නේ මොන දේකට අඩනවාද මන්දා…කියල වුනත් ඔන්න ඇඬියාවට හේතුව.

අවධානයට…

ගෙදර පරිසරයේ එකා යකා වගේ ඉදල අලුත් අමුත්තෙක් විදිට පුංචි පැටියෙක් නිවසට ආවාම ලොකු දරුවා ගිලිහෙන ගතියක් ඇති වෙනවා. ඒ අනාදරයට නොවෙයි. අම්මාටත් දැන් අලුත් දරුවා ගැන යොමු වෙන්න එපායැ. දැන් ලොකු දරුවාටත් හොදින් හෝ නරකින් තමාට අවධානය ගන්න එපායැ. හොදින් ලැබෙන පාටක් නැති වුනාම තමාට අවධානය ගන්න දරුවා උත්සාහ කරන්නේ ඔන්න ඔය දඩබ්බර විදිහටයි.

ඉතින් දරුවෙකුගේ ගති පැවැතුම් වෙනස් වුනොත් ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුනවාට වඩා බොහොම සෙමෙන් සීරුවේ ඔය උඩින් තිබෙන ලැයිස්තුවේ හැටියට අඩුපාඩුව කොතැනද කියල බලන්නකෝ..

දරුවන්ගේ කෝපය පාලනය කරන්න හොඳම විදිය මොකද්ද ?

”අනේ මගේ පුතාට හරියට තරහා යනවා. මේකට මොකද කරන්නේ” මේ අපේ parenting.lk ෆේස් බුක් පිටුවට අම්මා කෙනෙක් යොමු කළ ගැටලුවක්. ඒ අම්මට නිවැරදිම පිළිතුර ලබාදීම අපේ වගකීම වගේම යුතුකම නිසාම අපි මේ ගැන දරුවන්ගේ මනස ගැන කතා කරන්න සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙක් ඇමතුවා. එතුමාගේ දැනුවත් කිරීම ලිපියක් විදියට සකස් කරලා මේ විදියට බෙදා ගන්න හිතුවේ බොහොමයක් අම්මලාට මේ ගැටලුව ඇති කියලා හිතුනු නිසයි. .

මොකද්ද මේ තරහ කියන්නේ

තරහ කියන්නෙත් අනෙත් හැඟීම් වගේම සාමාන්‍ය හැඟීමක්. සාමාන්‍ය  කෙනෙකුට තරහ කියන හැඟීම සම්පූර්ණයෙන්ම යටපත් කරන්න බැහැ. කොහොමත් දරුවන්ගේ හැඟීම් යටපත් කිරීම සුදුසු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ, දරුවාගේ තරහා තවත් කෙනෙකුට බාධාවක් නොවෙන විදියට මුදාහරින්න අවශ්‍ය මගපෙන්වීම දරුවට ලබාදෙන්නයි. සාමාන්‍යයෙන් දරුවෙකුට තරහ කියන හැඟීම ඇති වෙන්න  මනෝ විද්‍යාත්මක හේතූ බොහොමයක් තිබුනත් අධික තරහ තියෙන හැම දරුවෙක්ම මානසික ගැටලු  සහිත දරුවන් විදියට සලකන්න බැහැ. අධික තරහ විවිධ සමාජීය, මනෝ විද්‍යාත්මක හේතූන් නිසා ඇතිවෙන්න පුළුවන්.

ඒ හේතූ අතරින්

  • ආවේගශීලී බව
  • ස්ථාවර නොවන නිවසේ පරිසරය
  • දෙමාපියන්ගේ නිතර වෙනස්වන ක්‍රියා කලාපය
  • කම්පනය ඇති කරවන අත්දැකීම් ආදිය විශේෂ හේතු ලෙස සැලකිය හැකියි.

මේ තරහව අනෙක් අයට/තමාට/භාණ්ඩවලට හානිදායක නොවන තාක් දරුවා ප්‍රයෝජනවත් කටයුත්තක නිරත වීමට බාධාවක් නොවන තාක් තමාට අසාධරණයක් වූවා යැයි නොසිතෙන තාක් ගැටළුවක් නොවේ. නමුත් දරුවෙකු තුළ තම පිළිබඳව වූ විශ්වාසය අවම නම් ඔවුන් නිරන්තරයෙන් සිතන්නට පෙළඹෙන්නේ තමාට අසාධාරණයක් වූ ලෙසටයි. එවිට එවැනි දරුවන් ක්‍රියා කරන්නේ තරහව සමගයි. මෙන්න මේ නිසා දරුවෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට වැඩිහිටි අප ක්‍රියාත්මක වෙමින් සහයෝගය ලබාදිය යුතුයි.

දරුවෙකුගේ ආත්ම විශ්වාසය දියුණු කිරිම සඳහා

  • අනෙක් දරුවන් සමග ඔබේ දරුවා සැසඳීමෙන් වළකින්න
  • දරුවාගේ කටයුතු අගයන්න, නිතර ප්‍රසංසා කරන්න
  • දරුවාගේ වැරදි කිහිපයක් මත යමින් දරුවා පිළිබඳ සමස්ත තීරණවලට එළඹීමෙන් වලකින්න
  • දරුවා සමග ගතකරන කාලය වැඩිහිටි ඔබට විශාල සතුටක් බව හඟවන්න

දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,

වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙනි. නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බවත් මතකයේ රඳවා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම මෙහිදී වැදගත් වන තවත් කරුණු වේ.

ඔබේ දරුවා තරහෙන් කාලය ගත කරන්නේ නම්, ඔබ මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • දරුවා තරහ ගන්නේ නම් ඒ සඳහා රටාවක් තිබේද?
  • නිවස තුළ විනය ගැන පැහැදිලි මඟපෙන්වීමක් තිබෙනවාද?
  • නිවසේ සියලු වැඩිහිටියන් එක ලෙස කටයුතු කරනවාද?
  • පාසැලින් හෝ දරුවා යන එන තැන්වලින් දරුවාට පීඩනයක් තිබේද?

තරහා පාලනය කරගනිමින් සන්සුන්වීමට අපි දරුවාට සහය වෙමු

සෑම දරුවකුටම ගැලපෙන ක්‍රමයක් ඇති අතරම මෙය පුහුණු කිරීම සිදුකල යුත්තේ දරුවා සාමාන්‍ය තත්ත්වයේ එනම් තරහ නිවී ගොස් සිටින අවස්තාවේදීය.

දරුවාගේ තරහා පාලනය කරගැනීම සඳහා,

  • තරහව ඇති වන දෙයින් හෝ කෙනාගෙන් ඉවතට යාමට දරුවාට උපදෙස් දෙන්න
  • සිතින් 10 ට සෙමින් ගණන කිරීම පුහුණු කරවන්න
  • ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යොදවන්න
  • නිස්කලංක දැකුම්කළු ස්ථානයක් වෙත සිත ගෙන යාමට දරුවාට කියා දෙන්න
  • විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවකට දරුවා යොමු කරන්න
  • සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම නප්‍රගුණ කරවන්න
  • සංගීතයට සවන්දීමට හුරු කරවන්න
  • කලින් පුහුණු කල භාවනාවක යෙදීම උනන්දු කරවන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

මොනවා, පුංචි දරුවෙක්ට අංශ බාගේ හැදිලා?

පුංචි දරුවෙක්ට අංශ බාගේ හැදිලා .ඔබේ හිතටත් පොඩි තිගැස්මක් ඇති වුන නේද? ගේ පුරා ඉවරයක් නැතිව දුව පනින මේ පුංචි දරුවෙක් හිටි හැටියේ මේ වගේ තත්ත්වයකට පත්වුනොත් දෙමාපියන් විදියට කාටද මේ දේ දරා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන ඇහුවේ ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා හමුවෙන්න රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය අවස්ථාවක. මම එතනට යන මොහොතේ එතුමා ළඟ  වයස අවුරුදු තුනක විතර පොඩි දරුවෙක් ප්‍රතිකාර ලබමින් හිටියා. සාමාන්‍යයෙන්  දරුවෙක් ඒ විදියට ව්‍යායාම කරවද්දී සන්සුන්ව ඉන්නේ නැහැ. ඒ නිසාමයි මට ඒ ගැන අහන්න හිතුණේ. එතකොටයි දැ න ගත්තේ, මේ දරු පැටියා අංශභාග රෝග තත්වයට පත් වුනු දරුවෙක් බව.

 මොකද්ද මේ පුංචි දරුවන්ටත් පීඩා කරන අංශභාගය

අංශභාගය කියන්නේ සිරුරේ එක් අංශයක් පණ නැතිව යාම. මේ තත්ත්වය ඇති වෙන්නේ අපේ මොළයට සිදුවන හානිදායක තත්ත්වයක් නිසයි. නිවැරදි ප්ර තිකාර වෙත යොමු වුනොත් සුවකර ගත හැකි මේ අංශභාග රෝගය සුව වීමට ගත වන කාලය වගේම සුව වන ප්රිමාණය තීරණය වෙන්නේ මොළයේ  හානියට ලක්වූ ප්රයදේශය, හානියේ ප්ර්මාණය, අනතුරේ ස්වභාවය වගෙඅ රෝගියාගේ වයස යන කරුණු මත.

අංශභාගය ඇති වීමට හේතු

  • හිසට සිදුවන දරුණු අනතුරු
  • රුධිර කැටියක් හිර වීම
  • මොළයේ සෛල තුළට රුධිරය ලැබීම ඇන හිටීම/රුධිර වාහිනියක් පිපිරී සෛල තුළට රුධිර වහනය වීම
  • මොළයේ ඇති වන ගෙඩි
  • රිය අනතුරු වැනි අවස්ථාවලදී මොළයට දරුණු ලෙස අනතුරු සිදුවීම සිදු වන අනතුරුත්

මේ අංශභාගය තත්ත්වය නිසා වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේත් අත්පා  අසාමාන්‍ය ඉරියව්වකට යොමු වන අතරම ආබාධයට ලක් වූ අත, උරහිසෙන් ශරීරයට හේත්තු වී වැළමිට සන්ධියෙන් නැමී පවතින අතර පාදය දණහිසෙන් දිග හැරී පතුල පහතට කඩා වැටී තිබෙනු දැකිය හැකිය. මෙම තත්වයට පත් වූ අංශයේ අත්පා සෙලවිමේදී තද ගතියක් පෙන්නුම් කරයි.

අංශභාග තත්වයට පත් වූ දරුවෙකුට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ඖෂධීය ප්‍රතිකාර

ශල්‍ය ප්‍රතිකාර

භෞතචිකිත්සක ප්‍ර තිකාරද

අංශභාග තත්ත්වයට පත් දරුවෙකුට භෞතචිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍යමද?

ඔව්..  භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවහොත් දරුවාට ඇතිව තිබෙන අසාමාන්‍යතා වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසාම සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත ආබාධිත ඉරියව්වලට විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී සිදු කරනු ලබන්නේ  පී.එන්.එෆ්. :ඡුගභගත්‍* නමින් හඳුන්වන ව්‍යායාම වන අතරම එමගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදන ගරාච  හක සහ ස්නායු උත්තේජනය කරයි.

එසේම රෝගී දරුවා සිහි නැතිව සිටින අවධියේදී පවා නිවැරදි ඉරියව්වල තැබිමට වගබලා ගත යුතු වන්නේ දරුවා ඉදිරියේදී ඇති විය හැකි දරදඬු  ඉරියව්වලට පත්වීම වළක්වා ගැනීමටයි. තවද මේ තත්වය මත දරුවෙකු එක්තැන් වී සිටියහොත් එම දරුවාට නිතර නිතර ශ්වසන ආබාධ හා ඇඳ තුවාල ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමටත් පියවර ගත යුතුය.

ශ්වසන ආබාධ වැළැක්වීමට

භෞතචිකිත්සාවේ උරස් චිකිත්සක ක්‍රම උපයෝගී කරගනී. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටින රෝගී දරුවෙක් නම් රෝගියාගේ උපකාරයක් නොමැතිවම  ශ්වසන ව්‍යායාම හා චූෂණ ක්‍රම මගින් උරස් චිකිත්සාව ලබාදෙන අතර සිහි ඇතිව සිටින රෝගී දරුවෙක් නම් ඔවුන්ගේ උදව් උපකාරයද ඇතිව ශ්වසන ව්‍යායාම ඇතුළත් උරස් චිකිත්සක ක්‍රම මගින් ශ්වසන ආබාධ වළක්වා ගැනීමට පියවර ගනී.

ඇඳ තුවාල වළක්වා ගැනීමට

රෝගී දරුවා මෙන්ම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගත යුතුය. සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය අතරම පැය 1/2 කට වරක් වත් දරුවා හැරවීමෙන් ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීමට ඇති  ඉඩ කඩ වැළක්විය යුතුය.

මෙවනි රෝගී දරුවෙකු සුව අතට ගැනීමේදී වැදගත්වන තවත් කරුණු කිහිපයකි. මෙම රෝගී  දරුවා කතන අබාධ පෙන්නුම් කරනවා නම් කථන චිකිත්සකවරයෙකු වෙත යොමු කල යුතුය. එසේම දරුවාගේ සමබරතාව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යායාම, මොළයේ සෛල උත්තේජනය කරන ව්‍යායාමවලට අමතරව අංශභාග රෝගීන් පෙන්නුම් කරන විලාසය මගහරවා ගැනීමට අවශ්‍ය ව්‍යායාම මගින් මෙවැනි දරුවන්  එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම, සංවේදන ක්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගාසිටුවීම සහ ඇවිදීම පුහුණු කිරීම ද ඉතා වැදගත් වේ. මේ සඳහා සුදුසුකම් සපිරි පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ සේවය අත්‍යවශ්‍යය.

වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි. 

ප්‍රචණ්ඩකාරී සිදුවීමකින් පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කරන්නේ කෙසේද?

පසුගිය සමයේ අපේ රට තුළ ඇති උණු ප්‍රචණ්ඩකාරී මෙන්ම කළහකාරී වටපිටාව දරුවන්ට දරා ගැනීමට පහසු නොවන තත්ත්වයක් බව පෙර ලිපිය හරහා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එවැනි තත්ත්වයකදී එක් එක් වයස් සීමා වල දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ අනුව ඔවුන්ට ලබා දිය යුතු සහයෝගය කෙබදුද යන්න පිළිබඳවත් මව්පියන් වශයෙන් ඔබ දැනුවත් වීම ඉතා වැදගත් නිසාම මේ ලිපිය යටතේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ජා කරමු.

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

  • දරුවන් ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන්වලින් ඈත් කර තබන්න
  • දරුවා ඉදිරිපිට අනෙක් වැඩිහිටියන් සමග සිද්ධිය පිළිබඳ කතා කිරීමේදී දරුවා බිය වද්දන දේවල් පිළිබඳ කතා කිරීමෙන් වැලකී සිටීමට වග බලා ගන්න
  • දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • දරුවා වෙනදාට වඩා නිහඬ නම්, පැත්තකට වී සිටී නම්, ඔහුට/ඇයට හැඟිම් ප්‍රකාශ කිරීමට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දෙන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යැමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කතා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම) කරන්න
  • දරුවා නැවත ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගතහොත්, එය දරුවා උවමනාවෙන් කරන දෙයක් නොව, සිතෙහි ඇති අසහනකාරී තත්ත්වය නිසා සිදුවන දෙයක් බව තේරුම් ගන්න. දරුවාට එයට දඬුවම් කිරීමෙන් හෝ විහිළු කිරීමෙන් වළකින්න
  • ඔබට දරුවාගෙන් වෙන්වී යෑමට සිදුවේ නම්, දරුවාට එය දන්වා ඔබ නැවත එන බව තහවුරු කරන්න. සෑම විටම දරුවාව ඔහු/ඇය හොඳින් හඳුනන කෙනෙක් සමගම තබා යන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

පාසැල් වයසේ දරුවන් හා නව යොවුන් වයසේ ළමුන්

 බොහෝවිට මේ වයස් සිමාවේ දරුවන් රූපවාහිනිය, ගුවන්විදුලිය මගින් හෝ වැඩිහිටියන්ගේ කතාබහට සවන් දීමෙන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ යම් අවබෝධයක් ලබාගනී. එමනිසා දරුවා සමග සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ කතාකිරීම වැදගත් වේ. පළමුවෙන් දරුවා සිදුවූදේ පිළිබඳ දන්නේ මොනවාදැයි විමසා බලන්න. දරුවා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාගෙන් ඇතිදැයි විමසිලිවත් වන්න. දරුවා සිදුවූ ක්‍රියාවන් පිළිබඳ වැරදි තොරතුරු දන්නේනම් ඒවා සෙමින් නිවැරදි කරන්න. දරුවාගේ වයසට ගැලපෙන වචන මාලාවක් හා වයසට ගැලපෙන තොරතුරු පමණක් කියන්න.

  • දරුවාට ඇති ප්‍රශ්න ඔබෙන් අසා නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබාදෙන්න. දරුවා අසන ප්‍රශ්නවලට පිළිතුරු ඔබ නොදන්නේ නම් ඒ බව පවසන්න
  • දරුවන්ව සුරක්ෂිතව තබාගැනීමට ඔබ හා අනෙකුත් වැඩිහිටියන් නිරන්තරයෙන් කටයුතු කරන බව පැහැදිලි කරන්න. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරට පත්වූවන් සඳහා උදව් හා ප්‍රතිකාර ලැබෙන බව පැහැදිලි කරන්න.
  • දරුවන්ට ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන් නැරඹීම සීමා කරන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යෑමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කථා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම/ ඇසීම) කරන්න
  • දරුවාට සිද්ධිය පිළිබඳ ඇති හැඟීම් ගැන කතා කිරීමට අවස්ථාව ලබාදෙන්න. දරුවාට ඔවුන්ගේ සුරක්ෂිතභාවය ගැන ගැටලු/ බියක් ඇත්දැයි විමසන්න. නමුත් කිසිවිටෙකත් දරුවාට ඒ පිළිබඳ කතා කිරීමට බල නොකරන්න
  • දරුවා පාසැල් යාමට බියක් දක්වයි නම්, පාසල සුරක්ෂිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දරුවා දැනුවත් කරන්න. ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා පාසැල සුරක්ෂිත ස්ථානයක් බව දරුවාට පැහැදිලි කරන්න.
  • දරුවාට වෙනදා පැවති දින චර්යාවම පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • මෙවැනි සිද්ධීන්ට පසුව දුක, කණගා‍ටුව, බිය ඇතිවීම සාමාන්‍යය දෙයක් බව දරුවාට කියා දෙන්න
  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී ඔහු/ඇය කළ දේවල් නිවැරදි බවත්, සිදුවූ දේවල් කිසිම ආකාරයකින් ඔහුගේ/ඇයගේ වැ‍රැද්දක් නොවන බවත් පහදා දෙන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

සැලකිය යුතුයි : දිගින් දිගටම දරුවාගේ හැසිරීමේ වෙනස්කම් දක්වන්නේ නම් හෝ හැසිරීමේ වෙනස්කම් නිසා දරුවාගේ එදිනෙදා ජීවිතයට බධා වන්නේ නම්, ළඟම ඇති මනෝ වෛද්‍යය සායනය වෙත යොමු කරන්න.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

ත්‍රස්තවාදී ක්‍රියාවලට දරුවෙකුගේ මනසට බලපෑම් ඇති කළ හැකිද?

පසුගිය කාලයේ රට තුළ සිදු වූ අකාරුණික සිදුවීම අපි කාගේත් මතකයෙන් තවමත් ගිලිහිලා නැහැ. වැඩිහිටියන් විදියට අපි පවා සසල වූ මේ සිදු වීම පෙළ දරුවන්ගේ මනසට කොයි ආකාරයෙන් බලපාන්නට ඇත්ද යන්න නොසලකා හරිය හැකි කරුණක් නොවෙයි. මේ තත්ත්වය මත දරුවෙක් පීඩනයට පත්ව සිටිනවා නම් අපි ඔවුන්ට සහයෝගය අවශ්‍ය පරිදි ලබා දිය යුතුයි. ඒ සියලු දේ වෙනුවෙන් මව්පියන් වන අපි මෙවැනි තත්ත්වයකදී දරුවෙක්ට ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි.

දරුවෙකු ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම සාධක කිහිපයක් මත රඳා පවතිනවා. දරුවා එම සිද්ධිය සිදුවූ ස්ථානයේ සිටියාද, සිද්ධිය සියැසින් දු‍ටුවාද, සිද්ධියෙන් තමා ළඟින් ඇසුරු කරන කෙනෙකුට කරදරයක් සිදුවුනාද යන්න එවැනි කරුණු කිහිපයක්. එමෙන්ම දරුවාගේ වයස, පෞරුෂය, දරුවා කලිනුත් බියජනක සිදුවීම්වලට මුහුණදී තිබෙනවාද යන්නත් දරුවා ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම කෙරෙහි බලපානවා.

බොහෝ දරුවන් ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී, එයට කෙළින්ම මුහුණ නොදුන්නේනම්, විශේෂ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. එසේ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කළත්, එය බොහෝවිට තාවකාලිකයි. නමුත් දරුවන් බොහෝවිට කුතුහලය නිසා මෙවැනි අවස්ථා ගැන විමසිලිමත් වීමත්, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සාමාන්‍යය දෙයක්. ප්‍රචණ්ඩකාරී අවස්ථාවකට කෙළින්ම මුහුණ දුන් දරුවන් හෝ එවැනි දෙයක් නිසා තම පවුලේ සාමාජිකයින් අහිමි වූ දරුවන් බොහොමයක් මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙවැනි බොහෝ දරුවන් කාලයත්, නෑදෑ හිතවතුන්ගේ සහයත් සමග සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම දරුවෙක්ගේ වයස අනුව ප්‍රචණ්ඩ ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම වෙනස් වෙනවා. එක් එක් වයස් සීමාවන්ට අනුව

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

මේ වයසේ දරුවන්ට තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට අපහසුය. එමනිසා මේ වයසේ දරුවන්ගේ සිතෙහි ඇති නොසන්සුන්තාවය/බිය පෙන්නුම් කරන්නේ හැසිරීමේ වෙනස්වීම් වලින්. පෙර පාසැල් දරුවන් අතර ප්‍රචණ්ඩකාරී සිදුවීමකට මුහුණ දීමෙන් පසු පහත හැසිරීම් දක්නට හැකියාවක් තිබෙනවා.

  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • දෙමාපියන්ගෙන් වෙන්වීමට බිය වීම
  • වෙනදාට වඩා කතාව අඩුවීම, පැත්තකට වී සිටීම
  • කලින් මුත්‍රා/මලපහ පාලනයක් තිබූ දරුවෙක් නැවතත් ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගැනීම
  • සෙල්ලම් කිරීමේදී සිද්ධිය නැවත නැවත රඟ දැක්වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් දු‍ටු විට හෝ හමුවූ විට බිය වීම/ එවැනි දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • වෙනදා බිය නොවුනු දේවල් වලටත් බියක් දැක්වීම
  • වෙනදාට වඩා කේන්ති යාම

පාසැල් වයසේ දරුවන් (අවුරුදු 6-12 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැවත සිදුවේදැයි බිය වීම
  • තමාගේ හා තමා ආදරය කරන අයගේ ආරක්ෂාව පිළිබඳ බිය වීම
  • පාසැල් යෑමට/ නිවසෙන් පිටතට යෑමට යෑමට බියවීම
  • ශාරීරික අපහසුතා ඇතිවිම (උදා: හිසරදය, බඩේ කැක්කුම)
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • වෙනදාට වැඩියෙන් කේන්ති යාම
  • සිදුවූ සිද්ධිය පිළිබඳ නැවත නැවත කතා කිරීම/ප්‍රශ්න කිරීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම

නව යොවුන් වියේ දරුවන් (අවුරුදු 13-18 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • පවුලේ අයගෙන්/ යහළුවන්ගෙන් ඈත්වීම / තනිව කාලය ගතකිරීම
  • වෙනදාට වඩා කේන්ති යෑම
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • තමාටම හානි කරගැනීම

ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ දරුවෙකුගේ හැසිරීම රටාවේ මෙවැනි වෙනස්කම් ඔබත් දුටුවා නම් ඒ පිළිබඳව නොසලකා හැරීමට වඩා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට උදවු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමත් නිවැරදි ක්‍රමයට අනුව ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත් වේ. ඊලග ලිපිය මගින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට මව්පියන් වන ඔබ සහය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසමු.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

ඔබත් සාර්ථක පියෙකු නම් මේ ලක්ෂණ ඔබ තුළත් ඇති

දරුවෙකුගේ ජිවිතයට පියෙකුගෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැක්කකි. මුල් ළමාවිය සත්කාරය හා සංවර්ධනය සඳහා පියෙකුගේ දායකත්වය ලෙස කාන්තා සවිබලකරණය, හිංසා කිරීම වැළැක්වීම, නිවෙස තුළ සිදු කරන කටයුතු හා දරුවන් හදා වඩා ගැනීමේදී දක්වන සහයෝගය, ප්‍රජනන සෞඛ්‍ය කටයුතුවලදී දෙදෙනා එක්ව තීරණ ගැනීම, ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළැක්වීමට කටයුතු කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ්‍ය රැකගැනීම උදෙසා දක්වන දායකත්වය යන කරුණු ඉතා වැදගත් වනු ඇත. දරු සත්කාරයේදී පුරුෂ පාර්ශවය එනම් පියවරු සම්බන්ධ වීම තුලින් වඩාත් හිතකර ප්‍රතිඵල දැකිය හැකි බව ඇද වන විට පර්යේෂණවලින් පවා සනාථ කර ඇත. දරුවෙකුගේ ජීවිතයේ මුල් කාලයේ පියා ඔවුන් සමග වැඩි වශයෙන් අන්තර් සබඳතා ඇති කරගැනීම නිසා එවැනි දායකත්වයක් නොදක්වන පියවරුන්ගේ දරුවන්ට වඩා ඉහළ බුද්ධි ඵලයක් උරුම කරගැනීමට එම දරුවන් සමත් වී ඇත. දරුවන්ගේ මුල්ම දෙගුරුන් වනුයේ තම මව්පියන් බව සතුටින් හා ආදරයෙන් අවබෝධ කරගැනීමට දෙමාපියන්ට ඉඩ සැලසිය යුතුය. ළමා උත්තේජන සඳහා ශක්තිමත් වූ පරිසරයේ පවතින අවස්ථා හා ද්‍රව්‍ය හඳුනා ගැනීමට පියවරු සමත් විය යුතුය. වචනයෙන් මෙන්ම ක්‍රියාවන් මගින්ද ඔවුන් දරුවන් සමග අන්තර් ක්‍රියාවන්හි යෙදිය හැක. දරුවන් තුළ කුතුහලය, නිරීක්‍ෂණය, සිතින් මවා ගැනීම, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඇති කිරීම පියවරුන්ට කළ හැක.

ඔබ සාර්ථක පියෙක් නම් මේ ලක්ෂණ ඔබ තුළත් ඇති

  • ආරක්‍ෂිත බව

හොඳ පියෙකු පැහැදිලි සීමාවක් තුළ දරුවන් වඩා කැමති දේ පිළිබඳව උනන්දු වේ. වැරදි තේරීම් සිදු වන විට ඒ බව පැහැදිලි කරදෙමින් ක්‍රම ක්‍රමයෙන් චරිත සංවර්ධනයට දායක වේ.

  • සෙනෙහස

මව සිදු කරන ආකාරයට දරුවා සිප වැළඳ ගනී. ඔහුගේ සෙනෙහස මව් සෙනෙහසට අඩු නොවේ.

  • විශ්වාසනීයත්වය හා සුරක්‍ෂිතභාවය

තම පියා නිරන්තරයෙන් නිවැරදි බව විශ්වාස කරයි. ඔහු කිසිදා බොරු නොකියන බව දරුවාගේ හැඟීමයි. ඔහු කිසිදිනක විශ්වාසය කඩ නොකරයි. ඔහු කිසිදා දුෂ්කරතාවයකදී දරුවන් හැර නොයයි. මෙම විශ්වාසය දරුවා තුළ හොඳ පියෙකු ගොඩනැංවීමට ඉවහල් වේ.

  • උද්යෝගී බව

පියා සෑම විටම දරුවාගේ උත්සහාය, උද්යෝගයේ මූලාරම්භයයි. පාපන්දු තරගයකදී, විවාද තරගයකදී එම ස්ථානයට පියා පැමිණීම උසස් කොට සලකයි. විශ්වාසනීයත්වය ඇති කරයි. ඔවුන්ගේ ජයග්‍රහණයකද වඩාත්ම සතුටුවන පුද්ගලයා පියා වන අතර ඔවුන්ගේ අසමත් වීමකදී වඩාත් දුක්වන කෙනාද ඔහු වේ. පියාගේ වචන දරුවාට වෙනම ලෝකයක් තනා දෙයි. එසේම එම වචන දරුවා ඇති කිරීමට මෙන්ම කඩා වැටීමටද හේතුවක් වේ.

  • ඇහුම්කන් දීම

පියා කාලයක් ගත කර දරුවාට ඇහුම්කන් දෙයි. දරුවාට නොබෙදුන අවධානයක් ලබාදේ. ඔවුන්ගේ දෘෂ්ටිකෝණය පිළිබඳව යමක් තේරුම් ගැනීමට උත්සහ කරයි.

  • ජීවිතයේ අවශ්‍යතා ඉටුකරදීම

පවුලේ මූලිකයා ලෙස දරුවන්ට විටින් විට අවශ්‍ය වන ආහාර, නිවාස, අධ්‍යාපනය, ආරක්‍ෂාව අවධානය ලබාදීමට බැඳී සිටී

  • මවට හා දරුවන්ට ගරු කිරීම

දරුවා තම මව්පියන් එකතු වී වැඩ කරන ආකාරය දකින අතර හොඳින් එය ඉගෙන ගනී. හොඳ පියෙකු තම දරුවාට මවට ගරු කරන ආකාරය උගන්වයි. එය ක්‍රියාවෙන් කර පෙන්වයි. තම සහකාරියට ගරු කිරීම මඟින් දරුවන් ඉදිරියේ ඇයගේ අදහස්වලට ගරු කරන අතර කිසි දිනක ඇය සමඟ තර්ක නොකරයි. මෙම නිවැරදි පණිවිඩය දරුවාට ලැබේ. තම මාපියන් එකට එක්ව වැඩකරන බව හා දෙදෙනාටම සමානව ගරු කල යුතු බව ඔහු/ඇය අවබෝධ කරගනී.

  • දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීම

පියා ගෙදරසිටින විට එම දරුවන්ට එය විනෝදාත්මක කාලයක් වනු ඇත. ඔහු දරුවන් සමඟ සෙල්ලම් කරයි. උපායශීලී කෙටි ක්‍රම උගන්වයි. නිවසේ කටයුතු විනෝදජනක ලෙස කල හැක. රූපවාහිනිය, ලැප්ටොප්, දුරකථන තුල දරුවා රැඳී නොසිටිනු ඇත.

  • පියා හොඳ ගුරුවරයෙකි.

පියා අධ්‍යාපනික පැත්තටත් වඩා ජීවිතය පිළිබඳව පාඩම් කියා දෙයි. අසමත්වීමකදී හෝ බලාපොරොත්තු කඩවීමකදී ඊට මුහුණදෙන ආකාරය කියා දෙයි. ඔවුන්ගේ හැකියාවන්, ශක්තීන් හොඳ දේවල් සඳහා භාවිත කිරීමට හැකි බව උගන්වයි.

මව මෙන්ම පියාගේ දායකත්වය දරුවාගේ සත්කාර ක්‍රියාකාරකම්වලට එක්ව නිරතවීම තුලින් මෙම විවිධ අවශ්‍යතා සපුරාලීම පහසුවෙන් සිදුකල හැකිය. එමඟින් යහපත් වූ ළමා සංවර්ධනයක් ඇති වනු නොඅනුමානය.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

දරුවන්ගේ ආවේගයන් පාලනයට ඉදිරිපත් වන අකුරු හතරේ මන්තරය

කුඩා දරුවන් තුල ඇතිවෙන පාලනයකින් තොර කෝපය සහ කලකිරීම. ඔව්,,, මේ ස්වභාවය ඔයාලා දෙමව්පියෝ වශයෙන් තේරුම් ගන්නේ, අර්ථ දක්වන්නේ කොහොමද ? අවුරුද්ද ට අඩු දරුවන් විතරක් නෙමෙයි විශේෂයෙන් අවුරුද්දට වැඩි හෝ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් අතරත් මේ ලක්ශනය පොදුවේ දක්නට පුලුවන්. මම මෙහි කතා කරන්න යන්නේ වචන ගැට ගහ ගන්න පුලුවන් සහ හොදින් අදහස් හුවමාරු කර ගන්න පුලුවන් පැටව්ගේ පාලනයකින් තොර කෝපය සහ හැඩීම්, කලකිරීම් ගැනයි. මේ දරුවන් ගෙන් අපි දකින පොදු දේවල් නම් ඔවුන් දෙමව්පියන් නොරිස්සීම, දෙමව්පියන්ට හිත් රිදෙන දේවල් ප්‍රකාශ කිරීම වගේ සංවේදී කාරණා .. මේවා ඔබ තේරුම් ගන්නේ කෙසේද?
“මට ඔයාව පේන්න බැහැ “
“මට ඔයා එපා, යන්න මෙතනින්”
“ඔයා මහ නපුරුයි”
“මට වෙන අම්මෙක් ඕන”
මේ වගේ වචන විතරක් නෙමෙයි..
“දෙමව්පියන් දෙස රවා බැලීම”
“ගස්සාගෙන යාම”
“යමකින් දමා ගැසීම”
“එකට එක කීම”
මේ වගේ ක්‍රියාවල් ද නොඅඩුව දකින්න පුලුවන් කම තියෙනවා මේ වගේ පොඩ්ඩොන්ගෙන්..
මේ වගේ වචන ඔයාලට ඇහෙනකොට , මේ ක්‍රියාවල් දකින කොට ඔයාලට දැනෙන්නෙ කොහොමද ? ඔයාලා ඒවා අහල , දැකල දරුවා ගැන විනිශ්චය කරන්නෙ කොහොමද ? මේක හරිම සංවේදී තත්ත්වය ක් නේද? ඒත් අපි , දරුවා කියන මේ වචන මේ ආකාරයෙන්ම පෞද්ගලිකව ගත යුතුද? මම දන්න දේවල් ටිකක් මේ සම්භන්දයෙන් ඔයාලට කියන්නයි මම මේ ලිපිය ලියන්නේ ….
ඉහත මම සදහන් කල වචන ඇත්තටම පොඩ්ඩො කියන්නෙ , ඒ වගේ ආවේගශීලී වැඩ කරන්නේ ඔයාලා ගැන තරහින්ද? ඒ ගැන ඔබ දුක් වෙනවා නම් එය වහාම නවත්වන්න . මොකද බොහෝ දරුවන් මේ වගේ දේවල් කියන්නේ කරන්නේ තේරුමක් නැතිවයි. නමුත් දරුවන් කෙරෙහි දිවා රෑ නොබලා තම ජීවිතය කැප කර සිටින ඔබට මේ ගැන දනාත්මකව සිතන්න යොමු කරන්න උදව් වන පොඩි අකුරු 4 ක් ගැන මම ඔබට කියල දෙන්නම්. මේ සරල අකුරු 4 ට පුලුවන් ඔයාලව සංවේදී භාවයෙන් මුදවල බුද්දිමත් ව මේ ගැන සිතීමට පොළඹවන්න. ඒ වගේ ම ඔයාලගේ දරුවන්ට ත් එයාලා බලාපොරොත්තු වන දේ ලබා දී එයාලව සතුටින් තියන්න.
HALT
ඔව්. මතක තියාගන්න හරිම ලේසියි.
H – Hungry – බඩගින්න
A – Angry – තරහව
L – Lonely – තනිකම
T – Tired – මහන්සිය
ඉතින් හිතන්න අවස්තාව දැන් ඔයාලට තියෙනවා. ලොකු මිනිස්සු වගේ නෙමෙයි. පොඩ්ඩො හරිම නිර්මලයි. ඉතින් එයාලා යම් ආවේගයක් පෙන්නුම් කරන්නේ එයාට සාදාරණ හේතු සාදක සහිතව කියලයි මම නම් හිතන්නේ. ඉතින් ඉහත A අකුරෙන් නිරූපණය කල Angry එහෙම නැත්නම් තරහව නිසා පැටියයි දෙමව්පියනුයි රණ්ඩු වෙන අවස්තා තිබුනත් ඒ ඉතා අතලොස්සක් විය හැකි
බවයි මගේ අදහස. බඩගින්න, තනිකම සහ මහන්සිය යන කාරණා හේතුවෙන් පොඩ්ඩො එහෙම හැසිරෙන සම්භාවිතාවයන් වැඩි බව ඔයාලට ම තේරුම් යාවි මේ
ගැන ටිකක් දුරට කල්පනා කලොත්.
ගෙදර දරුවා යම් විටෙක ආවේගශීලී වේ නම් මුලින්ම ඔබ සන්සුන් වීම අත්‍යාවශ්‍ය වෙනවා. ඔබට තරහ ගියොත් හෝ දුක හිතුනොත් මුකුත් කර ගන්න බැරි වෙන නිසා; ඔයාට හිතන්න හිතේ ඉඩ නැතිවෙන නිසා. ඉන්පසු මේ සිදුවීම හිමීට අපේ H, L, T කියන කාරණා වලට අනුගත කරල බලන්න. ඔයාලටම වැටහෙයි දරුවාගේ
මෙම හැසිරීමට හේතු වූ සත්‍යම කාරණාව. ඉන්පසු එය හරහා පිලියම් සොයා දරුවා සැනසීම ඔබට ඉතා පහසු වේවි. මගේ දරුවන් තිදෙනාගේ හැසිරීම් වලින් මා අත්දුටු කාරණා කීපයක් සදහන් කරන්නම්. මගේ දරුවන් ඉතා පොඩි කාලයේ මෙසේ හැසිරුනේ මහන්සියට සහ බඩගින්නටයි. පස්සේ ටික ටික ලොකු වෙනකොට තනිකම කියන කාරණය ඔවුන් ඉදිරියට ආවා. ඉතින් මේ අවස්තාවල්
වලදී මමත් ඔවුනගේ ආවේගයන්ට සංවේදී වී දුක් වුනා. හැඩුවා. නමුත් කාලයත් එක්ක දරුවන් ව හදුනා ගන්න  වුවමනාවෙන්ම මහන්සි වූ නිසාවෙන් දැන් මෙවන් අවස්තාවල් වලට යම් තාක් දුරකට සාර්තකව මුහුණ දෙනවා. නමුත් තවමත් මම හොදින් HALT අද්‍යනය කරන්න පුරුදු වෙන ගමන් ඉන්නේ.
පොඩ්ඩොන්ගේ මේ පාලනය කල
නොහැකි ආවේගයන් ඇතිවීම වැලැක්වීමට හැකිනම් කෙතරම් අගෙයිද? එය ආවේගයන් පැමිණි පසු එය නවත්වන්න පිලියම් යොදනවාට වඩා වටින දෙයක්. ඉතින් අපිට සුලු හෝ
උත්සාහයක් ගන්න පුලුවන් මේ HALT හරහා ටිකක් හිතුවොත්.
Hungry හෙවත් බඩගින්න නිසා කලබල කරන පොඩ්ඩන්ව ඉන් වලක්වා ගන්න පුලුවන් කාල සටහනකට හෝ නිශ්චිත වේලාවකට අනුව නිසියාකාරව ආහාර ලබා දෙනවා නම්.  බඩ පිරුණු දරුවන් ඉන්නේ ඉතා සතුටින් හා ක්‍රියාශීලි වයි.
Lonely හෙවත් තනිකම ඇති වීම
වලක්වා ගන්න පුලුවන් දෙමව්පියෝ විදියට දරුවන් ට හොද අවදානයක් ලබා දෙනවනම්. දවසට වේලාව වෙන් කරගෙන ඔවුන් සමග සෙල්ලම් කරනවානම්. ඔවුන්ට රසවත් කතාවක් දෙකක් කියල දෙනවනම්.
Tired හෙවත් මහන්සිය නිසා ඇතිවන ආවේගයන් වලක්වා ගන්න පුලුවන් ඔවුන්ට සුවබර නින්දක් ලබා දී ඔවුන්‍ ට කායික මානසික සුවය සලසනවා නම්. ඒ වගේම දරුවා ලගට වෙලා හිස , පිට , කකුල් අතගා ඔවුනට පොඩි සනීපදායක කාලයක් සකසා දෙනවනම්. ඒ වගේම අද්‍යන කටයුතු වල නිරතවීමට අදික පීඩනය ක් දරුවන් වෙත ලබා නොදී ඔවුන් එක්ක සැහැල්ලු වෙන් පාඩම් කටයුතු නිම කිරීමෙන් අනවශ්‍ය කායික හා මානසික තෙහෙට්ටුවීම් වලට පුංචි දරුවා ලක් නොවීමට වග බලා ගන්නත් දෙමව්පියන්ට පුලුවන්.
අපි මෙහිදී වැඩි අවදානයක් යොමු නොකල Angry හෙවත් තරහව නිසා ආවේගශීලී වීම ගැන වෙනමම කතා කල යුතු වූවක්. අනපේක්ෂිත අවස්තාව න්ට මුහුණ දීම, අනපේක්ෂිත සිදුවීම් වලට ලක්වීම වගේ දෙවල් හේතුවෙන් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්. ඉතින් මේ ගැන මම මේ ලිපියේ කතා කරන්නේ නැහැ . නමුත් HALT අකුරු හතරේ H, L, T වලට පුලුවන් දරුවන් සමග ඇතිවන ගොඩක් ප්‍රශ්න අපිට මග හරවා දෙන්න. ඒ නිසයි කවුරුත් නොහිතන මේ ගැන විතරක් මම මේ ලිපියේ කතා කලේ.

බබාට කෑම හදමු 7 – පැණි කොමඩු වලින් බබාට කෑම

ලොකු පොඩි කවුරුත් ආස කරන , තිබහට කන්න කියාපු පළතුරක් තමයි පැණි කොමඩු කියන්නේ. ඒ වගේම මේක ලංකාවේ සුලභ පළතුරක්..නමුත් සමහර අම්මලා එච්චර සැලකිල්ලක් නොදක්වන පළතුරක් කියල කියන්නත් පුලුවන්. සමහරු මේවා බබාට සීතලයි කියමින් නොදී ඉන්න පෙළඹෙනවා. බලන්න​, එවන් අම්මලා කොච්චර ගුණ සහ වටින පළතුරක් ද මේ අත් හරින්නේ කියල මේ ලිපිය කියවල ඉවර වුනාම ඔයාලට තේරෙයි.

සමහර අය තවමත් විශ්වාස කරන්නේ කොමඩු කියන්නේ වතුර හා සීනි මිශ්‍රණයක් කියලයි. නමුත් කොමඩු ඔබ සිතනවාට වඩා වඩා සෞඛ්‍ය සම්පන්න, විටමින් වර්ග​, ඛණිජ ලවණ​, ප්‍රථිඔක්සිකාරක බහුල පළතුරක්.  කොමඩු වල වැඩි වශයෙන් තියෙන්නේ විටමින් ඒ, සී සහ කැල්සියම්. බීටා කැරොටින් වලින් පිරුණු, කොමඩු ළදරුවන්ගේ ප්‍රියතම ආහාර වලින් එකක් බවට පත්ව තිබෙන බව මේවා දෙන අම්මලා මේ වෙනකොටත් හඳුනාගෙන ඇති. අපේ ඇස්, හෘදය හා සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහාම හොඳ මේ පළතුර හෙඹිරිස්සාව​, කැස්ස​, උණ වගේ අසනීප හැදුනු දව්ස්වලට බබාට දෙනවනම් හොදයි කියල මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ විටමින් C හා ඔක්සිහාරක කොමඩු වල අඩංගු නිසයි. මම කියන නිසා ඔබ පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබට මේ පිළිඹඳව ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න පුලුවන්. මෙය සුදුසු නම් ඔවුන් නිර්දේශ කරාවි. මම බෙදා ගන්නේ මගේ අත්දැකීම් නිසා මෙය මගේ දරුවන් සුවපත් කරන පළතුරක් ලෙස මම හඳුන්වා දෙන්න කැමතියි.

කොමඩු සාමාන්‍යයෙන් බබාලට හදුන්වා දෙන්න කියන්නේ මාස 8 සිට ඉහලටයි. සමහර බබාලට කොමඩු වල තියෙන ආම්ලිකතාවය නිසා ආසාත්මිකතා අතිවීමට ඉඩ කඩ ඇති නිසයි එහෙම කියල තියෙන්නේ. නමුත් සමහර අම්මලා මාස 6 සිට කොමඩු දෙන අවස්තා තියෙනවා. කොහොම වුනත් කොමඩු මුල් වරට හඳුන්වා දෙද්දී දරුවාව හොදින් නිරීක්ශණය කරන එක වැදගත්.

දැන් මම කියන්නම් කොමඩු බබාලට කෑමට හදල දෙන්න පුලුවන් ක්‍රම කීපයක්. මේවා දැනටමත් හදල දෙන අම්මලා ඉන්නවනම් ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා.

කොමඩු දෙන්න පුලුවන් මූලික ක්‍රම 2යි.

  1. කොමඩු යුශ​
  2. පොඩියට කපා ගත් කොමඩු කෑලි

කොමඩු යුශ කෙලින්ම කොමඩු කෑලි පොඩි කරල අරගන්න පුලුවන්. ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කරන්නත් පුලුවන්. ඒ වගේම කොමඩු පොඩි බබාලට අතින් අල්ලගෙන පහසුවෙන් කන්න පුලුවන් දෙයක්. ඒ නිස චූටි කොටු වගේ කෑලි කපල බබාට අල්ලගෙන කන්න පුරුදු කරන්න​. මතක තියාගන්න​, අම්මලා ලඟින්ම ඉන්න ඕන මේ වෙලාවෙදි.

කොමඩු දෙන්න පුලුවන් වෙනත් අලුත් ක්‍රම :-

මේවා නම් ඕන තරම් මට කියන්න පුලුවන්. නමුත් සරලව පහත ආකාරයට මම සඳහන් කරන්නම් ඔයාලට ටිකක් හිතන්න​.

  1. බත් සමග අනා කවන්න පුලුවන්

මගේ බබාගේ බත් එක ගොඩක් තද ගතියක් සහිත නම් මම සාමාන්‍යයෙන් උණු වතුර ටිකක් එකතු කර පදම සාදා ගන්නවා. නමුත් කොමඩු ගෙදර තියෙනවානම් අනිවාර්‍යෙන් කොමඩු යුශ තමයි මේ වැඩේට මම යොදා ගන්නෙ. රසයත් වෙනසක් වෙන නිසා මගේ බබා නම් ආසාවෙන් බත් ටික කනවා. බබා බත් කන්න හොරයි කියන අම්මලට මේක හොඳ ටිප් එකක් වෙයි.

  1. තවත් පළතුරු එකක් හෝ කීපයක් සමග මිශ්‍ර කර සාදා ගන්නා කෑම ජාති

කොමඩු වල වතුර ගතිය නිසා වෙනත් පළතුරු එක්ක මිශ්‍ර කරාම හොඳයිද කියල හිතන අය ඉන්නවනම් මේක අත් හදා බලන්න කියල මම ඉල්ලා සිටිනවා. කෙසෙල්, අඹ, අලිගැටපේර වගේ පළතුරු එකක් හෝ කීපයක් එක්ක කොමඩු එක් කලාම රසම රස පළතුරු ස්නැක් එකක් හදලා ඔයාලගේ බබාට කවන්න පුලුවන් වෙයි.

  1. කිරි, යෝගට් හෝ මුදවපු කිරි සමග එකතු කර සාදාගන්නා කෑම ජාති

මේ දේවල් එක්ක කොමඩු එකතු කලාම රසම රස පුරී (තලපයක්) එකක් හෝ ස්මූතී බීම එකක් හදා ගන්න පුලුවන්. ඒක අපි හිතනවට වඩා ගොඩක් රසවත්. මගේ ඤාති සොහොයුරියකුත් කොමඩු සහ රසකල උකු කිරි (condensed milk ) සමග රසම රස බීම එකක් හදනවා..ඒ නම් ලොකු බබාලට​..

  1. මස් සහ මාලු සමග මිශ්‍ර කර සාදාගන්නා කෑම ජාති

තම්බගත්ත මස් මාලු එක්ක කොමඩු එකතු කලාම රසවත් කෑමක් බබාට හදා ගන්න පුලුවන්. ඒ ආහාරයට යෝගට්, මුදවපු කිරි එකතු කලාම තවත් රසයි.

  1. පොප්සිකල් / අයිස් පැකට්

මේ නම් අපේ අයිස් ක්‍ර්‍රිම් කන්න පුලුවන් වයසේ බබාලට කදිම ක්‍රමයක්. අයිස් පැකට් සහ පොප්සිකල් ඉතා පහසුවෙන් ගෙදර හදා ගන්න පුලුවන්.

ඉහත කිවූ ආහාර ජාති කීපයක්ම මම හදල පෙන්වපු වීඩියෝ දෙකක ලින්ක්ස් දෙකක් පහත දක්වා තිබෙනවා. ඔයාලත් ඒවා බලලා අදහසක් අරගෙන බබාලට රසට කෑම හදල දෙයි කියල මම හිතනවා. මේ ලින්ක් වලින් ක්‍රම 7ක් ඔයාලට බලා ගන්න පුලුවන්.

පැණි කොමඩු වලින් බබාට කෑම​​ – Part 1

 

පැණි කොමඩු වලින් බබාට කෑම – Part 2

තවත් පොඩි දෙයක් සදහන් කරන්නම්. කොමඩු කපද්දී එහි පිට පොත්ත ඉවත් කරන විට ඇතුලේ ඇති සුදු පැහැති මද කොටසත් සමගම ඉවත් කරන්න එපා. සුදු මද කොටසේත් වැඩි විශේශ ගුණ අන්තර්ගත නිසා ඒ කොටසත් රතු පාට මදය සමගම එකතු කර ගන්න උත්සහ කරන්න​.

බබාට කෑම හදලා ඉතිරිවුන කොමඩු වල මාංශමය කොටස හොදින් වැසෙන සේ ආවරණය කර ශීතකරණයේ තැබීමෙන් වැඩි කලක් කොමඩු කල් තබා ගන්නත් පුලුවන්.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

එකිනෙකාට ගරු කරන අනාගත ලංකාවක් බිහි කිරීමට නම්..

ජාතික හෝ වෙනත් කුමන හෝ ආපදාවක් ඇති වුන තැනදී අපි ජාතික සමගිය ගැන කතා කරනවා. කවි, ගීත ලියනවා. මාධ්‍ය ඔස්සේ දැනුවත්වීම් ලබා දෙනවා. ඒත් කාලය සමග ඒ සමගිය ගැන හැඟීම අවසාන වෙනවා. ඒත් ජාතික සමගිය ගැන හැඟීම බාල කාලයේ පටන්ම  දරුවන්ගේ මනසේ ගොඩ නගන්න පුලුවන් නම් අපිට කාලයෙන් කාලයට පමණක් මේ ගැන කතා කිරීමට සිද්ධ වෙන්නේ නැහැ.

තමන්ට ආදරය කරන්න

දරුවාට බාල කාලයේ පටන්ම තමන්ට ආදරය කරන්න පුරුදු කරන්න. ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ට ආදරය දක්වන්න. එවිට දරුවා ආදරය කියන්නේ කුමක්දැයි හදුනා ගනු ඇති. තමාට ආදරය නොකරන කෙනෙක් තවත් අයෙක් වෙනුවෙන් ආදරය දැක්වීම යනු අදහා ගැනීමටත් බැරි දෙයක්. සාපරාධී කටයුතුවල යෙදුන බොහෝ දෙනෙකුගේ බාල කාලය පවා ඉතාම අමිහිරි අත්දැකීම් මත ගෙවී තිබෙනවා. එයින් පෙනී යන්නේ ඔවුන් ආදරය ගැන කිසිම අත්දැකීමක් නොලද නිසා තමන්ට ආදරය කිරීමටවත් නොදන්නා බවයි.

හොඳ ගතිගුණ කියා දෙන්න..

දරුවන් කියන්නේ හෙට දවසේ නායකයන්. ඒ නිසා අපි ඔවුන් ලෝකයට දායාද කළ යුත්තේ වඩාත් හොඳ ගතිගුණ සමගයි. වෛරය නොව දයාව දරුවන්ට උගන්වන්න. මේ දිනවල වුනත් අනෙකාට වෛරයට වඩා දයාවෙන් සැලකීමට කියා දෙන්න. ඒ හැර අනෙකාට වෛර කිරීමේ බීජ වපුරන්න එපා. පසුගිය පාස්කු ඉරිදා සිදුවීම ගැන මහනුවර සියඹලාගස්තැන්න කතෝලික පල්ලියේ හෝක ප්‍රකාශ බැනරයේ වෙනත් ස්ථානයන්හි මෙන් කෘර, ම්ලේච්ඡ, අධම වැනි විශේෂණ පද නොවීය. තම සහෝදර අගමිකයන්ගේ වියෝවය වෙනුවෙන් වූ සටහන මෙසේය.

ස්වාමින්වහන්සේ දුන් සේක…ස්වාමින්වහන්සේ ගත් සේක..අපගේ සාතිශය ශෝකය..

මෙහි වෛරයේ ගිනිසිලු කිසිත් නැත. අපි දරුවන්ටත් විවිධ ජනවාර්ගිකයින් සමග ජිවත්වීමේදී වෛරය වෙනුවට දයාවෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ කලාව  පෙන්වා දීම ඉතාම වැදගත්.

සමාව දෙන්න පුරුදු කරන්න..

විශාල වරදක් කර සමාව ඉල්ලීම සාධාරණ නොවන බවට දැන් මත ගොඩ නැගුනත් දරුවන්ගේ මනසට එවන් සිතුවිලි වෙනුවට ඇවැසි තැන සමාව දීමේ ගුණය පුරුදු කරන්න.අපිටත් කවදා හෝ දිනක වැරදීමට හැකි බවත් අමතක කරන්න එපා. එදාට අපිත් කාගේ හෝ හව්හරණක් වෙනුවෙන් සහය පතනු ඇත. දැන් සිදු වූ ව්‍යසනය සිදුවී අවසාන නමුත් හෙට දවස බාරගන්නා දරුවන්ට සහජීවනයෙන් ජීවත්වෙන කලාව ඉගැන්වීම අවශ්‍ය වෙනවා. එය එක් පැත්තකින් පමණක් කිරීමට නොහැකියි. එය හැම අම්මා කෙනෙක් හැම තාත්තා කෙනෙක් විසින් තමාගේ දරුවන්ට කියා දිය යුතු පාඩමයි.

කිසිම කෙනෙක් පීඩාවට පත් කරන්න එපා..

අද පංතියේ පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා පවතින බියගැන්වීම, වධ දීම, මානසිකව බිද දැමීම වැනි  අප්‍රසන්න කටයුතු සමාජගත රැල්ලක්ව පවතී. ඒ නිසා පුංචි වයසේ පටන්ම තම සමවයස් කණ්ඩාමෙන් පවා එල්ල වෙන විවිධ අකටයුතුකම් නිසා දරුවන් මහත් පීඩනයට පත්ව සිටිති. ඒ නිසාම එහි ප්‍රතිචාර හෙට දවසේ සමාජයට ලැබෙන්නේ පලිගැනීම් ලෙසින්ය. ඒ නිසා නිතරම දරුවන්ට තවත් අයෙක් බියවැද්දීම, හිරිහැර කිරීම වැනි කටයුතු නොගැලපෙන බැව් තරයේ පහදා දෙන්න. සමාජගතව සිටින්නේ මිතුරන් මිස කිසිදු තරාතිරමක් දරුවන් ලෙසින් ඔවුන් අතර නොමැති බැව් පහදා දීම දෙමව්පිය ගුණයකි. එවිට හෙට දවසේ සමාජගත වෙන පරම්පරාවටවත් සහනයෙන් ජීවත්වීමට ඇවැසි පරිසරයක් නිර්මානය වෙනු ඇති.

ධනාත්මකව හිතන්න..

දරුවන්ට බාලකාලයේ පටන්ම ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ…කියනු වෙනුවට අපි නැවත නැගී සිටිය යුතුය යන ධනාත්මක බව හිතේ ආරෝපණය කිරීමට උනන්දු වෙන්න. ආයේ නම් ඉතින් අපිට ආත්මයක් නැතැයි දරුවන් ඉදිරියේ කීම වෙනුවට හෙට දවස යහපත් වේවි යන සංකල්පනාවෙන් ඔවුන් සවිබල ගන්වන්න.

පොඩ්ඩක් දන්න එක මුකුත් නොදන්නවාට වඩා භයානකයි කියලා කියනවා නේද?

සියත රේඩියෝවේ ”රෑ දහයයි ගී දහය” ඔබත් අහනවා ඇති. මමත් නොවරදවාම අහනවා. බොහොම ආදරණීය ගීත ගොන්නක් පැයක් ඇතුළත ලස්සනට කැටි වෙන්නේ ගීත තෝරන කෙනාගේ සුන්දර අත්දැකීම් හෝ රසවින්දන හැකියාවත් එක්ක. මේ මෑත දවසක මේ වැඩසටහනට සම්බන්ධ වුණා මගේ සරසවි මිතුරෙක්, මාලක වැලිගොඩපොල. බොහොම දක්ෂ රචකයෙක්, ජායාරුප ශිල්පියෙක්. හැමදේටම වඩා කතාවට බොහොම දක්ෂයෙක්. ඉතින් එදත් රෑ දහයයි ගී දහය බොහොම රසවත්. ඒ වැඩසටහනේ මගේ හිතට තදින්ම කා වැදුණු එක තැනක් තිබුණා. සුනිල් එදිරිසිංහයන්ගේ ”ඉස්සර මං ගිය පාසල ඇරිලා” ගීතය ඔහු තේරුවේ ඒ කතාවේ ඉන්න පුංචි දරුවා ඔහුගේ පුතා විදියට ඔහුට දැනිල තිබුණු නිසයි. ඔහු ඒ ගීතය තෝරද්දී ”අමූලික ඇත්ත” කතාවකුත් කිව්වා.

”මම දරු දෙදෙනෙක්ගේ පියෙක්. මගේ එක පුතෙක් බොහොම දඟකාරයි. අනිත් පුතා ඊට හාත්පසින්ම වෙනස්. ඔහු කටේ ඇඟිල්ලක් ගහගෙන ඔහේ බලාගෙන ඉන්න විදියේ චරිතයක්. දෙන්නට දෙන්නා හාත්පසින්ම වෙනස්. දැන් දැන් අපේ රටේ තියෙනවනේ දරුවෝ දිහා බලලා මෙයා හයිපරැක්ටිව් දරුවෙක්, මෙයා ඔටිසම් දරුවෙක් කියලා නිකන්ම නිගමනය කරන තත්ත්වයක්. අද වෙනකොට දරුවෙක්ව ලෙඩ රෝගවලින් විස්තර කරන්න පුරුදු වෙච්ච පරම්පරාවක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒක නම් හරි කරුමයක්

මේ කතාව කිව්වේ මුකුත් නිසා නෙවෙයි. අද වෙනකොට දන්න අයටත් නොදන්නා අයටත් වඩා වැඩියෙන් ඉන්නේ හැමදේම ගැන ටිකක් දන්න අය. ඉතින් මේ තත්ත්වෙත් එක්ක අපේ වටපිටාව ටිකක් විතර භයානකයි. මොකද අපි දැනුවත් වෙන්නේ හරි තොරතුරක් ඇතිව නොවන නිසා.  දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් උනත්, දරුවෙක් ලැබුණු අම්මා කෙනෙක් වුනත්, දරුවෙක් ගැන වුනත්, වැඩිහිටියෙක් ගැන වුනත් මේ විදියට ක්‍ෂණික තීරණ අරගෙන තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අද වෙද්දී අපේ වටපිටාව පසුබට නොවෙන්නේ තමන් හැමදේම දන්නවා කියන අදහස නිසා. ඇත්තටම කිව්වොත් අද වෙද්දී කිසිම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුර්තිමය පළපුරුද්ද හෝ සුදුසුකම් සහිත පුද්ගලයන් අවශ්‍ය නැති තත්ත්වයක් ඇතිවෙලා. සමාජ මාධ්‍ය හරහා ඒ තරමටම සමාජය දැනුවත් වෙනවා. කිසිදු බියකින් තොරව තමන් දන්නා දේ හරි හෝ වැරදි වේවා පිරිස අතර බෙදා හරිමින් විශ්වසනීයත්වයෙන් තොර දැනුවත් කිරීම් ඇතැම් විට තවත් අයෙකුගේ ජිවිතයට තර්ජනයක් වෙන්න වුනත් බැරි නැහැ.

තමන් ලබපු අත්දැකීම් එක්ක වෛරය වපුරන්නත්, තව කෙනෙක් ලබන ආදර සැලකිල්ලක් දැක්කම ඒකට ඊර්ශියා කරන්නත් හෙළා දකින්නත් පසුබට වෙන්නේ නැත්තේ එක අතකින් තමාට හැර ආදරණීය අත්දැකීම් අනිත් අයට අකැප ලෙස සිතන නිසා හෝ ආදරණිය අත්දැකීම් තමාට නොලැබෙන නිසා හෝ විය හැකියි. අන්න ඒ නිසයි ”හබී මතම ඩිපෙන්ඩ් වෙන්න එපා” කියා ලියන අතම තමා දුන් උපදෙස් මාලාව මතකයේවත් නැතිව සැමියා නැතිව ගෙවන පැයක කාලය කොතරම් දිගුද කියා ලියන්නට නැවෙද්දී  ” ඔයාලට වගේ නෙවෙයි අනේ මට නම් එයා නැතිව බෑ” කියා පෙන්වන්නට දරන උත්සාහය අනෙක් කාන්තාවන් වටහා ගත යුතු වෙන්නේ. තමන්ගේ පවුල් ජිවිතය ගැන, දරුවන් ගැන කොටින්ම නිවසේ සිටින සුරතලා පිළිබඳව පවා ඉහළින් වර්ණනා කළත් තවත් හිතවතෙකුගේම හිත රිදවීමට දරුවෙකුගේ හෝ සැමියෙකුගේ අඩු පාඩු ගැන කතා කරන්න මෙවැනි පිරිස් පසුබට වෙන්නේ නැහැ. ”ඒක නම් මාර ෆැමිලි එකක්” කියා සිතමින් ඔවුන් වටේ රොක් වන බොහෝ දෙනෙක් නොදන්නා කරුණ වන්නේ සමාජය හදන්නට වෙහෙසෙන බව පෙන්වන වැඩි පිරිසක් තම පෞද්ගලික ජීවිතය තුළදී පිටතට ලබා දෙන උපදෙස් නම් සියයට දහයක්වත් පිළිනොපදින බවයි.

මෙවැනි චරිතයක යම් අඩුපාඩුවක් ඔබ පෙන්වා බලන්න, ඔබ ඔවුන්ව පිළිගත්තාක් මෙන් ඔබේ එක වචනයක් ඔවුන් පිළිගන්නවාද කියා. නැත. ඔබේ දරුවාගේ යම් තත්ත්වයක් ඔබ ඔවුන් සමග පවසා ඔවුන් දරුවාට ඔටිසම් බව තීරණය කළොත් වෛද්‍යවරුන් දහසක් නැත යැයි පැවසුවද ඔවුන් ඔබේ දරුවාට ඔටිසම් බවට ස්ථිරව නිගමනය  කරයි. අන්තිමේදී ඔවුන්ගේ දැනුවත් කිරීම් උපදෙස් මාලාවන් අවසන් වන්නේ ඔබවත් ඔටිසම් තත්ත්වයට පත් කරමිනි.

දරුවන්ගේ මානසික තත්ත්ව ගැන කිසි දැනුමක් තේරුමක් නැතත් මුහුණු පොතෙන් හෝ පුවත් පතකින් හෝ දකින දෙයක් අරඹයා යම් දරුවෙක් මානසික රෝගයකින් පෙළෙනවා කියන තැනට එනවා විතරක් නෙවෙයි බහුතරයක් ඒ පිළිබඳව දරුවා ඉදිරියේදීම ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔබ වටහා ගත යුත්තේ එවන් පුද්ගලයින් වෙත ඔබේ දරුවා රැගෙන යාමෙන් වැළකීමයි. යම් ගැටලුවක් වේ නම් වෛද්‍ය උපදෙස් පැතීම මිස වටපිටාවෙන් හෝ මුහුණු පොතෙන් උපදෙස් පැතීම එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. එහි ප්‍රතිපලය වන්නේ ”අරයගෙ බබා ඔටිසම් අරයගෙ බබා හයිපරැක්ටිව්” කියා තැන් තැන්වල කතා වීම පමණි. ඒ, එතනින් එහා ඔවුන්ට කළ හැක්කක් නොමැති නිසා මිස ඔවුන්ගේ ඇති වෙනත් වරදක් නිසා නොවේ.

දරුවෙකුගේ එක් හැසිරීම් රටාවකින් ඒ දරුවා යම් මානසික ව්‍යාදියකින් පෙලෙන බව පවසන්න වෛද්‍යවරයෙකුට පවා අපහසු විය හැකි වුවත් අපේ සමාජයට නම් තමන්ගේ දරුවා හැර අනෙක් හැම දරුවෙක්ගේම අඩු පාඩු දහසක් රෝග දස දහසක් කල්තියා හඳුනා ගැනීමේ උපරිම හැකියාව හිමි වී ඇත. එක අතකින් බැලුවම අද වෙද්දී මිනිස්සුන්ට දැනුවත් වෙන්න තියෙන මාර්ග වැඩිද කියලා හිතීමේ වරදක්ද නැත. මොකද කෙනෙක් ලබන අත්දැකීමක් හැමටම පොදු එකම අත්දැකීම ලෙස සමාජයට බෙදා හැරීමෙන් එය කාගේත් හිත්වල සනිටුහන් වෙන්නේ ”පරම සත්‍යයක්” විදියට. ඒ කරුණුවල විශ්වසනීයත්වය, තමාට අදාලද නැද්ද යන වග කිසිවෙකුට වැදගත් නැහැ. මොකද අනවශ්‍ය තරමට සුන්දර වටපිටාවකට කැන්දන රචනාවලට ධ්‍යානයකට සම වැදී මෙන්  රොක් වෙන්න අද බොහෝ දෙනෙක් පුරුදු වී ඇත. ඒ වගේම පවතින රටාව හරි හෝ වැරදි වේවා අමුතු විදියට හිතල ඒවා පොදු මාධ්‍යයට බෙදා හරින අමුතු විදියේ චරිත වටා රොක් වෙන්න පටන් අරගෙන. තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන්නේ ”අමුලික අසත්‍යයක්” වුනත් ඔවුන් එයට ප්‍රතිචාර දක්වන්නේ සත්‍යයක් විදියට. මොකද එල්ල වෙන ප්‍රති ප්‍රහාරවලට බහුතරයක් බය නිසා. කොයි දේ කොහොම වුනත් අපේ පවුල, අපේ දරුවෝ කාටත් වගේම අපිටත් මේ මිහිපිට තිබෙන එකම සම්පත නිසාම නුවණින් අවබෝධයෙන් කටයුතු කරන්න. පොඩ්ඩක් දන්නා අය මුකුත් නොදන්නා අයට වඩා භායනක නිසාම හරියටම දන්න කෙනෙකුගෙන් ඔබට අවශ්‍ය දේ දැනගන්න.

රැකබලාගන්නා අන්දම අනුව දරුවාගේ හැසිරීම වෙනස් වෙයිද?

අද කාලයේ බොහෝ පවුල්වල අම්මා, තාත්තා දෙන්නම රැකියා කරනවා. ඒ නිසා ළදරු කාලයේ පටන්ම දරුවන් වෙනුවෙන් රැකවරණයක් ලබා දීමට ගැලපෙන කෙනෙක් පවුල් සංස්ථාවේ නැහැ. සමහර විට දරුවා යැපෙන්නේ අත්තම්මා, සීයා සමීපයේ, සේවිකාවක යටතේ හෝ මේ දෙකම නොමැති නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙන්න පුලුවන්. සමහර විට ආච්චි, සීයා සමග ගෙවන දරුවන්ට වඩා සේවිකාවක හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටින දරුවන්ගේ වෙහෙසකර තත්වය වැඩි වෙන්න පුලුවනි.ඊට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • දරුවාට ආදරයක් නැහැ

අත්තම්මා සීයා නම් දරුවාට තමන්ගේ ලේ සුවඳ සමග වූ බැඳීමක් තිබෙනවා. ඒ නිසා ඔවුන් දරුවා බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා. ‘‘ටයිම් “ සගරාවේ සඳහන් අන්දමට දූ පුතුන්ගේ දරුවන් බලා ගැනීම නිසා අත්තම්මලා , සීයලා තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නොසලකා සිටීම නිසා ඔවුන්ට හෘදයාබාධ වැළඳීමට තිබෙන අවදානම 55% කින් ඉහළ ගොස් ඇති බව කාන්තාවන් 55,000 ක් අලලා සිදු කරන ලද සමීක්ෂණයකින් හදුනාගෙන තිබෙනවා. ඔවුන් තමන්ගේ දිවි දෙවැනි කොට මුනුපුරන් රැක්කත් ඒ ආශිර්වාදය නැති වගේම අත්තම්මලා සීයලා සෙවනේ වුනත් දරුවාගේ මානසිකත්වය තේරුම් නොගතහොත් ඇති විය හැකි අවදානම බොහොම බරපතලයි.

ඒ නිසා දරුවන්ගේ හිතේ අම්මාට තාත්තාට කියනන්ට නොහැකිව හිර කර ගෙන සිටින සිතුවිලි නිසා ඔවුන් නොදැනීම මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

දරුවන්ට අඩන්තේට්ටම්..

සේවිකාවක යටතේ නිවසේ හුදෙකලාව හැදෙන වැඩෙන දරුවන් බොහෝ විට ඔවුන්ගේ අඩන්තේට්ටම්වලට පත් වෙනවා. සේවිකාවන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට අවශ්‍ය විදිහට දරුවා හසුරුවා ගන්නවා. ඒ නිසා දරුවාට නිදහසේ හැසිරෙන්න බැහැ.සමහර අවස්ථාවල දරුවා නිදි කරවීමට ‘‘පෙරිටන්“ වැනි සිරප් වර්ග පවා ලබා දුන් අවස්ථා ගැන වාර්තා වෙනවා. ඒ වගේම මව සහ පියා කාර්යාලයට ගියාට පසුව නිවසේ දරුවාද සමග නගරයට ගොස් සිඟමන් යැදි සේවිකාවන් ගැනත් තොරතුරු තිබෙනවා. ඒ නිසා මෙහෙකාරියන් යටතේ සිටින දරුවන්ගේ ගැන දෙමව්පියන් නිතරම අවදියෙන් සිටීම ඉතාම වැදගත්.

ලිංගික අපයෝජනබොහෝ අවස්ථාවන්හිදී මෙහෙකරැවන් විසින් දරුවන් ලිංගිකව අපයෝජනය කළ අවස්තා ගැනත් වාර්තා තිබෙන නිසා එහෙමදේවල් සිදු වීමට ඉඩක් නැත්තේමත් නැහැ.

  • අධ්‍යාපන කටයුතු ගැන බලන්න කෙනෙක් නැහැ…

දැනුම් තේරුම් ඇති අත්තම්මලා නම් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවා සේම මුනුපුරන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් විපරම් කරනවා. ඒ අවිදිහට නොබලන පරිසරයකදී නම් දරුවා පංතියේ පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි. ඔවුන්ට බාල කාලයේදි ඉගෙනුමට උදව්වක් නොලැබුනොත් දැන් පවතින තරඟය සමග ඉදිරියට යෑම අපහසුයි. ඒ නිසා පසුදිනට තිබෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අතිරේක ඉගෙනුම් ද්‍රව්‍ය, පාඩම්, දැනුම් ද්‍රව්‍ය සොයා ගෙන එක්රැස් කර දෙන කෙනෙක් නැති වෙන්න පුලුවනි. රෑ බෝ වී නිවසට එන අම්මාට ,තාත්තාට මේ වෙනුවෙන් කාලයක් නොමැති නිසා දරුවාගේ ඉගෙනුම නොදැනීම පසුගාමී වීම සාමාන්‍ය දෙයක්.

  • මිතුරන් සමග නොමනා ඇසුර

දරුවන් නොදැනීම අත්වැල ලිහී ගිය තත්වයට පත් වුනොත් ඔවුන් කුමන හෝ විකල්ප විනෝදයන් සහ ඇසුරු ගොඩ නගා ගන්නවා. පාසල ඇරී කලට වේලාවට නිවසට නොපැමිනීමෙන්  පටන් ගන්නා මේ තත්වය නොදැනීම ඉතා දරුණු තත්වයට පත් වෙන්න පුලුවනි. බාල කාලයට වඩා මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන්වියේදීයි. එවිට දරුවා නිවසේ හුදෙකලාව රැඳෙන පරිසරයක් ගොඩ නැගී තිබෙනවා. හවස් කාලයම ඔහු ගැන සොයන විමසන කෙනෙක් නොමැති නිසා තමාගේම ලෝකයක අතරමං වීම නිසා මේ අන්දමේ පරිසරයක් ගොඩ නරක මිතුරන් සමග ඇසුරට ඉතාම පහසුවෙන් යොමු වීමට පුලුවනි.

  • දරුවා මුරණ්ඩු වෙන්න ඉඩ තිබෙනවා..

ආච්චි, සීයා යටතේ හැදෙන දරුවන් නිතරම ඔවුන් මට්ටු කර ගෙන තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ උපයා ගන්න තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ දරුවන් තුළ නිතරම ඇත්තේ මුරන්ඩු ස්වරූපයක්. ඔවුන් දෙමව්පියන්ටත් මෙල්ල නොවන තතත්වයට පත් වෙන්න පුලුවනි. ඒ වගේම දිවා සුරුකුම් මධ්‍යස්ථානයක එහෙම නැත්නම් සේවිකාවක යටතේ හැදෙන දරුවන්ට හිතේ සිරවී තිබෙන ආවේග මුදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ දෙමව්පියන් ඉදිරියේදියි. ඒ නිසා දරුවන් තුළ පමණට වඩා මුරණ්ඩු ගති පැවැතුම් වගේම ආවේගශීලී හැසිරීම් රටාවන් ගොඩ නැගෙන්නත් පුලුවනි.

මේ සියල්ල ඇත්ත වුනත් දරුවයි, රැකියාවයි දෙකම එපායැ.  ඒ නිසා රැකියාවක නිතර දෙමව්පියන් තමන්ගේ දරුවා ගෙන අවධානය දක්වන්න ඕන. එහෙනම් නිවසට පැමිණි පසුව දරුවාගෙන් දවසේ ආගිය තොරතුරු ටිකක් අහන්න. කාර්යාලයේ සිටියත් දුරකථනයෙන් හෝ අමතන්න. නිවසට පැමිනීමට පෙරාතුව ඔහුට හෙට දිනයට අවශ්‍ය යමක් තිබෙනවාදැයි විමසා සිටින්න. ඒ වගේම දරුවා ඇසුරු කරන මිතුරන් ගැන ඔබත් දැගෙන සිටින්න.

ටයිම් සඟරාව ඇසුරිනි

විටමින් C පවුලටම ආරක්ෂාවට

පැටව් විටමින් C පෙති කන්න හරිම හපන්නු. එයින් දිවට දැනෙන මිහිරි රසයට ඔවුන් බොහොම ප්‍රියයි. විටමින් C මුත්‍රා මගින් පිටවෙන නිසා පොඩි අයට ඒ තරම් ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒත් කරල් පෙති මත යැපෙන්නේ නැතුව ආහාර මගින් විටමින් C උපයා ගැනීමට අපට තිබෙන අවස්ථාවන් අමතක කරන්න එපා.

හැබැයි ඔබට විටමින් C ගැන බොහොම හොඳ දැනුමක් තිබෙනවා. උදාහරණයක් විදිහට විටමින් C අන්තර්ගත පලතුරු මොනවාදැයි ඇහුවොත් දෙහි, දොඩම්, නාරං යන ලැයිස්තුවක්ම ඉදිරිපත් කරාවි. ඒ සියල්ලම ඇත්ත. නමුත් ඔබ විටමින් C මගින් පොඩි පැටියාට ලබා දෙන්න පුළුවන් නිරෝගීතාවයේ අත්වැල ගැනත් දැන සිටියොත් හොදයි..

විටමින් C ප්‍රතිශ්‍යාවට ගුණයි. මේ ගැන පුංචි පැටව් හොඳින්ම දන්නා නිසා ඔවුන් බොරුවටත් විටමින් C ඉල්ලා සිටින බව ඔබත් දන්නවා නේ. ඒක ඇත්ත. දැනට පවත්වා ඇති අධ්‍යයනයන් මගින් හඳුනා ගත් අන්දමට රෝග ලක්ෂණ පහළ වූ සැනින්ම දිනකට විටමින් C මිලිග්‍රෑම් 1000 සිට 6000 ක් අතර මාත්‍රාවක් ගත්තොත් ප්‍රතිශ්‍යාව පවතින කාලය 21% කින් අඩුකර ගැනීමට හැකියාවක් තිබෙනවා.

තුවාල සුව වෙන්න…

තුවාල ගැන නම් ඉතින් කියල අවසානයක් නැහැ. පාසල් යන වයසේදී විතරක් නොවෙයි, ළදරුපාසල් යන්න පටන්ගත් තැන පටන්ම ඔන්න වැටිලා, හීරිලා තුවාල ඉවරයක් නැහැ. සමහර විට මේ තුවාල පැසවලා පුංචි පැටියාට ලොකු වේදනාවක් වගේම අපහසුතාවයක් ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා මේ නිසා විටමින් C ගැන වැඩි අවධානයක් දක්වන්න පුළුවනි. විටමින් C වල තුවාල සුවපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ මෙහෙමයි. විටමින් C මගින් සියුම් රුධිර නහර ශක්තිමත් කරනවා. ඒ නිසා පැසවීමේ ක්‍රියාවලියට අවස්ථාවක් නොදී තුවාලය ඉක්මනින් සුවපත් කරනවා. ඒ නිසා කෙළවරක් නැතුව තුවාල කර ගන්නා පැටියාගේ තුවාල ඉක්මනින් සුවපත් කර ගැනීමට නම් විටමින් C වටිනා මෙහෙයක් ඉටු කරනවා.

විදුරුමස් රෝග..

”දත් කැකුළු පාලා” කිව්වට අද පුංචි පැටියන්ගේ දත් රෝග ගැන වාර්තාවන් බොහොමයක් ලැබෙනවා. කැකුළු දත් ආරක්ෂා කර ගත්තේ නැත්නම් එයින් ඇති වෙන ප්‍රතිඵල අනාගතයට බලපානවා. ලස්සන දත් දෙපෙලක් අහිමි වුනාම සමාජයේදී ඇති වෙන විවිධ ප්‍රශ්න නිසා දරුවා අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා දත් ආරක්ෂා කර ගැනීමට නම් පුංචි පැටියාගේ විදුරුමස් ගැනත් දෙමව්පියන්ගේ අවධානය වැඩිපුර යොමු කළ යුතුයි. ඒ නිසා විදුරුමස ආරක්ෂාවට විටමින් C අඩංගු අහාර වගේම විටමින් C කුඩු කර ගෙන ඒ කුඩුවලින් විදුරුමස මැදීමත් හොඳයි. ඔන්න අම්මලාට ඉතිං පුංචි පැටියාගේ විදුරුමස මදින්න විටමින් C පෙත්තක් සහය ලබා ගන්න පුළුවනි

කොලස්ටරෝල්…

”අනේ මේ කිරි දරුවන්ට කොහෙද කොලස්ටරෝල්…” ඔබ එහෙම හිතනවා නම් වැරදියි. අද දරුවන්ට ලැබෙන ආහාර වගේම ඔවුන්ගේ අලස සහ කිසිම ක්‍රියාකාරීත්වයක්, ක්‍රියාශීලීත්වයක් නැති ජීවිත නිසා කොලස්ටරෝල් ඇති වෙන අවදානම වයස අවුරුදු දහ දොළහ වෙද්දී වුනත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු දහයක් වෙද්දී කොලස්ටරෝල් ඇති වෙනවා කියන එක හෙම නොවෙයි. අපේ ජීවන රටාව නිසා බොහොම ඉක්මනින්ම කොලස්ටරෝල් වැලඳෙන අවදානම තිබෙනවා කියන එකයි.

විටමින් C කොහොමද විසඳුම් දෙන්නේ…

හදවත් රෝග වෙනුවෙන් එල්.ඩී. එල් හෙවත් අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම බොහොම ඉහළයි. ඒ වුනත් විටමින් C මගින් එල්.ඩී. එල් හෙවත් අහිතකර කොලස්ටරෝල් සඳහා ලබා දෙන ඔක්සිකරණ ආරක්ෂාව නිසා මේ තත්ත්වයෙන් අහිතකර බලපෑම් ඇති කරන්නේ නැහැ. කොලස්ටරෝල්වලත් හිතකර හෙවත් එච්. ඩී. එල් යනුවෙන් හැදින්වෙන විශේෂයකුත් තිබෙනවා. විටමින් C මගින් මේ හිතකර කොලස්ටරෝල් මටට්ම හිතකර විදිහටම තබා ගෙන හදවත් රෝගවලින් ආරක්ෂාවට වඩාත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

පිළිකා

”පිළිකාවට වයසක් ඇත්තේ නැහැ. අද මට නම් හෙට ඔබට” කියන තරමටම පිළිකා රෝගයේ ගොදුරක් වීමේ අවස්තාව කොතැනද කියල නැහැ. නමුත් විටමින් C ඔක්සිකාරකයක් විදිහට කටයුතු කරන නිසා නිදහස් ඛණ්ඩ හෙවත් free radicals මගින් සිදු වෙන හානියෙන් ඔබේ දරුවා විතරක් නොවෙයි, පවුලම ආරක්ෂා වෙනවා.

Reader’s digest