දරුවන්ගේ ශාරිරික සහ මානසික ගැටළු

දරුවන් ගැන කථා  කිරීමේදී අප විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම් දරුවා කියන්නේ  කුඩා කරන ලද වැඩිහිටියෙක් නම් නොවෙයි. ඒ වගේම යුනෙස්කෝ නිර්වචනයට අනුව දරුවා කියන්නේ වයස අවුරුදු 18 ට අඩු සාමාජිකයෙක් බව ඇත්ත. ඔවුන් මව්පියන්ගේ ආහාර මගින් පෝෂණය වෙන සමාජයේ වගකීමක් නොලද පිරිසක් වුනත් මනෝවිද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව ළමා වයස සහ තරුණ වයසට පිවිසෙන කාලය සැබැවින්ම කුනාටු සමයක්. ඉතින් මේ කුනාටු කාලයේදී දරුවන් නිසි ලෙසින් රැක බලා නොගතහොත් අනාගතයේදී ඔවුන් මුහුණ දෙන ශාරිරික සහ මානසික අර්බුදයන්හි වැඩි බරක් වැඩිහිටියන් විසින්ද බාර ගැනීමට සිදු වෙනවා.

දරුවන් මුහුණ දෙන ශාරිරික සෞඛ්‍ය ගැටලු…

අද පවතින තරඟකාරී අධ්‍යාපනය නිසා දරුවන්ට අතිරේක පංති වෙනුවෙන් සහභාගී වීම අනිවාර්යෙන්ම විය යුත්තක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ඔවුන් සොයන්නේ හොඳම පංතිය. හොඳම පංතිය තිබෙන්නේ ආසන්න නගරයේ. ඒ වෙනුවෙන් කිලෝමීටර් ගණනාවක දුරක් ගෙවාගෙන යන්නත් සිදු වෙනවා. එහෙම නැත්නම් නේවාසිකව ඉගෙන ගැනීම වැනි විකල්පයක් සොයා ගැනීමට සිදු වෙනවා.

ඉතින් මේ වගේ දුරක් ගෙවා ගෙන යන දරුවා පංතියට යෑමට පාන්දරින් පිටත් වෙන විට අම්මාට ඔවුන් වෙනුවෙන් හොඳ පෝෂ්‍යදායී ආහාරයක් සකස් කරන්න අවස්ථාවක් නැති බව කියනවා. නමුත් එය එතරම් සාධාරණ නැහැ. දරුවා වෙනුවෙන් කැප වෙන මවක් නම් පෙරදා රාත්‍රියේ වුනත් පහසුවෙන් සකස් කර ගත හැකි එළවළුවක් , පලා මැල්ලුමක් පසුදාට සකස් කිරීමට පහසු වෙන සේ සූදානම් කරන්න පුළුවන්. අතීතයේ ශිතකරණ නොතිබුන යුගයක වුනත් අම්මා කියන චරිතය රාත්‍රියේ පරිප්පු ව්‍යංජනයක් සකස් කරලා එය ලිප අසල තබා පසුවදාට පොල් සම්බෝලයක් සහ කරවල බැදුමක් සමග දරුවාගේ බත් මුල වැරැද්දුවේ නැහැ.අදටත් මේ විදිහට පහසු ක්‍රම ගලපා ගන්න පුළුවනි.

උදේ ආහාරය වැදගත්…

සාමාන්‍යයෙන් අපි දන්නවා උදේ ආහාරය රජෙක් වගේ ගත යුතුයි. නමුත් අද දරුවන්ගේ වරදින්නේම උදේ ආාහරය නිසා ඔවුන් මුල් කර ගත් සෞඛ්‍ය ගැටලු බොහොමයක් තිබෙනවා. විටමින් සහ අයඩින් ඌනතාවයන් නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය, උස පිලිබඳ ගැටලු වගේම ධාරණය පිලිබඳ ප්‍රශ්නත් ඇති වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් නිරාහරව සිටීම නිසා මිග්රේන් හිසරදය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයන් අද නව යොවුන් දරුවන් අතර ඉතා බහුලයි. ගැහැනු දරුවන් අනාගත මව්වරුන් බවට පත් වීමේදී පවා අද ඔවුන් මුහුණ දෙන පෝෂණ ගැටලු බලපානවා.ඒ නිසා දරුවාගේ පෝෂණය වෙනුවෙන් අම්මා කෙනෙකුගෙන් වැඩි දායකත්වයක් ලැබීම වැදගත්.

අපේ දරුවා ගුණ දෙයක් කන්නේ නැහැ..

ඔව් ඒක ඇත්ත. නමුත් ගුණදායක එළවලු, පලා වැනි දේ දරුවා නොකනවා නම් එය වෙනස් විදිහකින් පිලියෙළ කරන්න පුළුවනි. පලා මැල්ලුම  එපා කියනවා නම් නිවසේ සිටින දිනයකදී කොළ කැඳ කෝප්පයක් සකස් කර දෙන්න අපහසුවක් නැහැ. ඒ වගේම වර්ණවත් එළවලු යොදා ගෙන රසවත් සහ අලංකාර බතක් සකස් කරන්න පුළුවනි. පාසල් යන දරුවාට වුනත් කැරට්, බෝංචි, බිත්තර  සහ ගොටුකොල ටිකක් ලියා ගෙන වර්ණවත් අන්දමින් බතක් සකස් කර දුන්නොත් එයින් යම් පෝෂණයක් දරුවාට ලැබෙනවා. සොසේජස් බනිස් එකකින් හෝ පැටිස් එකකින් වේල සපුරන දරුවා මේ අන්දමේ රසවත් සහ ලස්සන බත් කටක් දෙකකින් වුනත් යම් අන්දමකින් කුස පුරවා ගැනීම වගේම පෝෂනයත් ලබා ගැනීමට සමත් වෙනවා.

වතුර පානය කිරීම…

පාසල් යන වයසේ දරුවන් ජලය පානය කිරීමේ ඇති ගැටලුව පිටුපසින් තිබෙන්නේ ඉතාම ශෝකාකූල තත්වයක්. ඔවුන් ජලය පානය කිරීමට සමානුපාතිකව මුත්‍රා පිට වීම සාමාන්‍ය සිදුවීමක්. ඒ නිසා කිසිසේත්ම දිනකට අවශ්‍ය ජලය ලීටර් දෙකක ප්‍රමාණය දරුවන්ට සපුරන්න බැහැ. ප්‍රවාහනයේ වැඩි වේලාවක් නිරත වීම, වැසිකිලි ගැටලු නිසා ඔවුන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වලක්වා ගැනීමට ජලය පානය කිරීමෙන් වලකිනවා. නමුත් මේ අවස්ථාවන්හිදී ඇති වෙන පිපාසය කෘතිම සහ පැනි බීම මගින් සපුරා ගැනීම තත්වය තව දුරටත් නරක අතට පත් කරනවා කිව්වොත් නිවරැදියි. සිරුරට අවශ්‍ය ජලය නොලැබෙන නිසා මුත්‍රා ආසාදන, වකුගඩු ගල් ඇති වීමේ අවදානම ඔවුන්ගේ තරුණ කාලයේදීම ඇති වෙන බවත් අමතක කරන්න එපා.

ඒ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා දරුවන් නිවසේ සිටින දවසට වුනත් ජලය වගේම මුත්‍රා කාරකයන් ලෙස සැලකෙන තැඹිලි, බාර්ලි රනවරා, බෙලි මල් වැනි දියර වර්ග පානය කිරීම වැදගත්.

ළමා වයසේ දියවැඩියාව…

මෑතකදී මගෙන් ප්‍රතිකාර ගැනීමට වයස අවුරුදු 13 ක දියණියක් ඇගේ මව සමග පැමිනියා. දියණිය තරබාරු බව බැලු බැල්මට පෙනුනා.රෝග විස්තර සහ රුධිර පරීක්ෂනයකින් පසුව ඇය ළමා අවධියේ දියවැඩියා රෝග තත්වය හෙවත් ඔහචැ 2 දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙන බව තහවුරු වුණා.

දියණියගේ හැසිරීම ගැන අසන විට ඇගේ මව කියා සිටියේ නිතරම පොත් කියවීම ඇගේ විනෝදංශය බවයි. පොත් කියවීම ඇත්තටම දරුවන්ට හොඳයි. නමුත් මේ දියණිය ඇගේ මල්ලි සමග හෝ නිවසේ සිටින බලු පැටියා සමගවත් සෙල්ලම් කිරීමක් නැහැ. පොත් කියවීම ඇගේ ජීවිතය බවට පත් වී  තිබුනා.

පුටුවෙන් ඇඳට…ඇඳෙන් පුටුවට..

මේ වගේම අද අපේ බොහෝ දරුවන් විභාග නිසාම ජීවිතයේ ක්‍රියාශීලිත්වයක් නැහැ. අතීතයේ දරුවන් ළමා කාලයේදී කණ්ඩායම් විදිහට සෙල්ලම් කලා..ඇළ දොළ පිහිනුවා. නමුත් ඔවුන් අතරිනුත් අනන්තවත් වෛද්‍යවරුන්…ඉංජිනේරුවන් සහ පරිපාලන ක්ෂෙත්‍රයේ ඉහළ තනතුරුවල නිළධාරීන් බිහි වුණා. සෙල්ලම් කිරීම නිසා දරුවන්ගේ ශාරිරික ක්‍රියාශීලිත්වය ඇති වෙනවා. මොළයට හොඳින් ඔක්සිජන් පරිවහනය වෙනවා.එය ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් වගේම ශාරිරික නිරෝගිතාවයටත් වැදගත්.

ඉස්සරකාලයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව,  රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැනි ලෙඩ රෝග වාර්තා වුනේ වයස අවුරුදු 40 ඉක්ම වූ පිරිස වෙතින් වුනත් අද මේ රෝග දරුවන් අතරත් දකින්න ලැබෙනවා. ඒ නිසාම අනාගත දිනකදී දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අවමංගල්‍යට සහභාගී වීමට සිදු වෙන තරම් අවාසනාවන්ත දිනයක් උදා වෙන බවටත් සෞඛ්‍ය වෘත්තිකයන් අනාවැකි පළ කරනවා. ඉතින් අපි මේ අනාවැකි සැබෑ නොවන්න කටයුතු කිරීම වැදගත්. දරුවන්ට සෙල්ලමට ඉඩ දෙන්න, විභාගය ජීවිතය නොවන බව කියා දෙන්න.

මානසික ගැටුම්…

කුනාටු සමයත් දරුවන්ට ඇති වෙන මානසික ගැටුම් ගැන වැඩිහිටියන් සැලකීමක් ඇත්තේම නැහැ. තරුණ වසසේ දියණිවරුන් නිතරම තමා සෙසු ගැහැණු දරුවන් සමග සංසන්දනය කරනවා. එයින් පසුව මම කළුයි..මිටියි..කොණ්ඩය ලස්සන නැහැ. මුහුණේ කුරුලෑ තියෙනවා. මගේ යාලුවෝ ලස්සනයි. වැනි සිතුවිලි මත  තමන් ගැන අවතක්සේරුවක් ඇති කර ගන්නවා. පිරිමි දරුවන් තමන්ගේ රැවුල, මාංශ පේශි වැනි ශාරිරික ලක්ෂණ මුල් කර ගෙන  විවිධ මානසික ගැටුම් ගොඩ නගා ගන්නවා.

ඒ අතර දෙමව්පියන් විසිනුත් සසංන්දය මුල් කර ගෙන දරුවන්ට පීඩනයක් ලබා දෙනවා. අහවල් දරුවා විශිෂ්ඨ සම්මාන තුනක් අරගෙන මුල් වතාවෙම වෛද්‍ය පීඨයට ගියා. ඔයා තුන් වතාවක් කරලත් යාන්තමින් පාස් වුනා විතරයි. විභාග මානසිකත්වය දරුවන්ට දැරීම පහසු නැහැ. අපේ රටේ හැම වසරකදීම උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් සතියක් දෙකක් ගෙවෙන විට දරුවන් සිය දිවි හානි කර ගැනීම් වාර්තා වෙන රහස පිටුපස තිබෙන හේතුව දැන් ඔබටත් තේරුම් යනවා ඇති.

හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි…

අපේ දරුවන් අතර ඇති වෙන පාසල් ප්‍රේමය ගැන සඳහන් කලොත්…එක් දවසක් මගේ පංතියේදී පුංචි පිරිමි දරුවෙක් මගේ බෙල්ල බදා ගෙන “ සර් මට බයයි..මාව බේරා ගන්න කිව්වා.මම පුංචි පුතා ළඟට අරගෙන ආදරයෙන් විස්තර ඇහුවා. ගැහැනු ළමයෙක් ආදරය ප්‍රකාශ කරපු ලියුමක් පුතාට දීලා. ඔහුට මෙය දරා ගන්න බැහැ.නමුත් ඔහු මේ විස්තරය අම්මාටත් කියා තිබුනා. දරුවා ඉල්ලන්ගේ චිත්තවේග ආරක්ෂාවක්. මේ වගේ අවස්ථාවලදී ඔහුගේ චිත්තවේග සුරකින්න කෙනෙක් නොසිටියොත් තත්වය දරුණු වෙනවා.

සිය දිවි හානි කර ගත්තාට පසුව පශ්චාත් මරන පරීක්ෂනය අවශ්‍ය නැහැ…

මෑත කාලයේදී තරුණ හෙවත් ගැටවර වයසේ දරුවන් අතර සිය දිවි හානි කර ගැනීම් අවාසනාවන්ත විදිහට ඉහළ ගියා. දරුවන්ට ප්‍රශ්න නැහැ කියල අපි හිතුවට ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා. වරද ඇත්තේ දරුවන්ට ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. දරුවෙක් සිය දිවි හානි කර ගැනීමෙන් පසුව සම වයස් කණ්ඩායම් මුහුණු පොතේ සටහන් තබනවා.වැඩිහිටියන් දරුවාගේ මරණයට හේතු සාධාරණ කරනවා. එහෙම නැත්නම් දරුවන්ට දොස් නගනවා.නමුත් අපේ පශ්චාත් මරණ පරීක්ෂන හෝ වැලපීම් කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපි අවදි විය යුතුයි. තවත් තරුණ දරුවෙක් මේ තත්වයට පත් නොවන්නට කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීම විදිහට සලකන්න ඕන.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය කිත්සිරි දිසානායක

 

 

 

 


                

අලුත් බබා කහ පැහැයට (Neonatal jaundice ) හැරුනොත්….?

දරුවෙක් මව් කුසයේ පිලිසිඳ ගත් අවස්ථාවේදී කළළය මගින් ඔක්සිජන් පරිවහනයට භාවිතා කළ  කළල හිමොග්ලෝබින් (fetal haemoglobin)  දරුවා උපත ලැබීමෙන් පසුව වැඩිහිටි හිමොග්ලෝබින් (adult haemoglobin බවට පත් වෙනවා. වැඩිහිටි හිමොග්ලෝබින් නිපදවා ගැනීමේදී  ඉවත් කරන කළල හිමෝග්ලෝබින් බිඳී ‘‘බිලිරුබින් “ නැමැති රසායනය ළදරුවාගේ රුධිරයට මුදා හැරෙනවා. නමුත් මේ නව ජන්ම ළදරුවාගේ අක්මාව මේ අවස්ථාව වෙන විට හොඳින් වර්ධනය වී නැති නිසා සමහර අවස්ථාවලදී බිලිරුබින් රුධිරයට එක් වී නව ජන්ම පැටියා කහ පැහැ ගැනීමට පුළුවනි. වෛද්‍ය විද්‍යාවේදී එවැනි තත්වයක් Neonatal jaundice යනුවෙන් හැඳින්වෙනවා. 

දරුවා කහ පැහැයට හැරුනොත් අවදානමක් තිබෙනවාද….?

දරුවා උපත ලබා  පළමු පැය 24 ක් තුළ මේ තත්වය ඇති වෙන්න පුළුවනි. ළදරුවාගේ රුධිරයේ ඇති ‘‘ බිලිරුබින් “  රසායන සංයුතිය ඉහළ යෑම නිසා සම සහ ඇසේ සුදු ඉඟිරියාව කහ පැහැයට හැරෙනවා. මේ විදිහට කහ පැහැයට හැරුනත් ඒ වෙනුවෙන් පැහැදිළි හේතුවක් හඳුනා ගැනීමට නොහැකි අවස්ථාවන්ද තිබෙනවා. එවැනි අවස්ථාවන් අපි ‘‘ ව්‍යාධි ජනක නොවන කහ පැහැ ගැන්වීම ‘‘  (physiological jaundice) යනුවෙන් හඳුන්වනවා. 

අවදානමක් ඇති තත්වයන් ගැන සඳහන් කළොත්…?

මම මුලින් සඳහන් කලේ අපට පැහැදිලි හේතුවක් හදුනා ගැනීමට නොහැකි අවදානම් නොවන තත්වයක්. ඒ වුනත් සමහර අවස්ථාවලදී ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන ලද හේතුවක් පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යාවේදී ඒ තත්වය ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීම (pathalogical jaundice)  යනුවෙන් හදුන්වනවා. 

ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීමට බලපාන හේතු තිබෙනවාද..?මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • රතු රුධිර සෛල බිඳ වැටීම(Haemolytic jaundice)
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටලු සහ ආසාදන
  • පරිවෘත්තීය ගැටළු
  • තයිරොක්සින් හෝර්මෝන ඌනතාවය

මෙතැනදී රතු සෛල බිඳ වැටීම (Haemolytic jaundice) නිසා දරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • දෑකැති රතු සෛල රෝගය (Sickel cell disease )
  • Hereditary spherocytosis රෝග තත්වය
  • G6PD එන්සයිමය හිග වීම
  • රුධිර ගණ නොගැලපීම නිසා රතු රුධිර සෛල බිඳ වැටෙන haemolytic disease of newborn).
  • තත්වයක් ඇති වීම

මේ විදිහට රතු රුධිර සෛල බිඳ වැටීම නිසා ඇති වෙන කහ පැහැ ගැනීමේ තත්වයට වගේම රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරවත්දරුවා කහ පැහැ ගැනීමට පුළුවනි.අපි ඒ තත්වය (Non haemolytic jaundice) යනුවෙන් හදුන්වනවා.

 

රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරව (Non haemolytic jaundice) ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු මොනවාද…?  

මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • මව්කිරි දීමේදී ඇති වෙන ගැටළු
  • Forceps සහ vaccum උපත් වලදී ඇති වෙන රුධිරය එකතු විම්.(cephalhaematoma).
  • මුත්‍රා සහ බැක්ටීරියා ආසාදන
  • තයිරොක්සින් හෝර්මෝනයේ අඩු පාඩු(Hypothyroidism)
  • පරිවෘත්තිය එන්සයිම ආශ්‍රිත ගැටළු
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටළු(Crigler Najjar syndrome)

 

අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරෙනවා වගේම මෙවැනි රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවනි.

  • සම සහ ඇසේ සුදු කොටස කහ පැහැයට හැරීම.
  • අසාමාන්‍ය ලෙස නිදා ගැනීම.
  • මව්කිරි ප්‍රතික්ෂෙප කිරීම.
  • මළ වල වර්ණය අඩු වීම(pale colour).
  • මුත්‍රා තද කහ පැහැ ගැනීම

ළදරුවා කහ පැහැයට හැරීම Neonatal jaundice නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවාද..?

ඔව්…නව ජන්ම ළදරුවාගේ බිලිරුබින් රසායනය රුධිරයට දිගුකාලයක් පුරා එකතු වීම නිසා ඒවා මොලයේ තැන්පත් වී Kernicterus රෝග තත්වය ඇති වෙන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම ළදරුවාට වලිප්පු (seizers) තත්වය ඇති වීමටත් යම් අවදානමක් තිබෙනවා.

රෝග තත්වය හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවාද…?

ළදරුවාගේ රැධිරයේ ඇති බිලිරුබින් ප්‍රමාණය මැනීමෙන් ලබා ගත් (Serum bilirubin Direct and Indirect ) වාර්තාව අනුව ප්‍රතිකාර සිදු වෙනවා.ප්‍රතිකාර ආරම්භ කිරීමට දරුවාගේ වයස, රෝගී ස්වභාවය සහ බිලිරුබින් මට්ටම අනුව ප්‍රතිකාර විධි තීරණය වෙනවා.

ලබා දෙන ප්‍රතිකාර ගැන සදහන් කළොත්…?

ළදරුවාගේ දෑස ආවරණය කරලා නිල් පැහැති විශේෂ ආලෝකයක් වෙනුවෙන් දරුවා නිරාවරණය කරනවා. ඒ අනුව ළදරුවාගේ රුධිරයේ බිලිරැබින් ප්‍රමාණය යම් මට්ටමකින් ඉවත් කරන්න පුලුවනි.

සමහර විට නව ජන්ම ළදරුවාගේ රුධිරයේ බිලිරුබින් මට්ටම ඉතාම ඉහල නම් ක්‍රමානුකූලන ළදරුවාගේ රුධිරය ඉවත් කොට ගැලපෙන දායකයෙකුගේ රුධිරය පාරවියලනය (Exchange transfusion ) කරනවා.

හදිසියේවත් නව ජන්ම ළදරුවෙක් කහ පැහැයට හැරුනොත් ඔබ විසින් ලබා මව්පියන්ට ලබා දෙන අවවාදය..?

අද වෛද්‍ය විද්‍යාව වගේම ප්‍රතිකාර ක්‍රම ඉතාම දියුනුයි.ඒ නිසා හදිසියේවත් අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරුනොත් ප්‍රමාද වෙන්න එපා. හැකි ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වෙන්න.එහෙම වුනොත් දරුවාගේ ජීවිතය වගේම අනාගතයේ ඇති විය හැකි සංකුලතාවයන් පවා අවම කර ගන්න පුළුවනි. නිතරම දෙමව්පියන්ගේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන නිසා දරුවන් සම්බන්ධව ඇති වෙන රෝග තත්වයන් නොසලකා සිටින්න එපා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත් 

කෑගල්ල මහ රෝහල

 

 

කෙටි සටහන් හදන හුරුව දරුවන්ට ගොඩ නගමු.

මවක් ගෘහණියක් විදිහට ඔබේ මුලුතැන්ගයි මේසයේ වේල්  තුනටම උයන පිහින කළමනා ගොඩ වී තිබුනොත් මනසට වෙහෙසක් දැනෙනවා ඇති. දරුවන්ට වුනත් ඔවුන්ගේ සම්පූර්ණ විභාග විෂය නිර්දේශයම තමන්ගේ ඇස ඉදිරියේ ගොඩ වී තිබෙන විට දැනෙන්නේ මානසික අපහසුතාවයක්. ඒ නිසා දරුවන්ටත් තමන්ගේ විෂය නිර්දේශය කෙටි සටහන් ක්‍රමයෙන් සකස් කර ගැනීමේ රටාව අනුගමනය කිරීම ඉතාම වැදගත්.

කෙටි සටහනක් කියන්නේ….

කෙටි සටහනක් කියන්නේ  සම්පූර්ණ පාඩම කුඩා කොලයක කුඩා අකුරින් නැවත සටහන් කිරීමක් නම් නොවෙයි. සමහර දරුවන් තුළ කෙටි සටහනක් සකස් කර ගැනීමේ පිලිවෙල ගැනත් දැණුවත් බවක් නැහැ. ඒ නිසා කෙටි සටහනක් ගොඩ නගා ගැනීමට පෙරාතුව සම්පූර්ණ පාඩම හොදින් කියවා එහි අන්තර්ගතය ගැන පැහැදිලි දැණුමක් දරුවා තුළ ඇති වීම වැදගත්. ඒ නිසා කෙටි සටහනක් කියන්නේ සම්පූර්ණ පාඩමේ හොඳම සාරය කිව්වොත් වරදක් නැහැ.එහෙමනම් කෙටි සටහනක තිබිය යුතු ගුණාංග මොනවාද…?

සරල බව

කෙටි සටහන නිතරම සරල වීම වැදගත්.සම්පූර්ණ පාඩමක ඇති පිටු ගණනාවක තොරතුරු ප්‍රමුඛතාවය අනුව පෙළ ගසා ගන්න.වැදගත් කරුණු වෙනුවෙන් වර්ණ යොදා ගෙන ඒවා ඉස්මතු වෙන සේ සටහන ගොඩ නගන්න. සමහර විට මතක තබා ගැනීමේ පහසුව වෙනුවෙන් විවිධ ක්‍රම ශිල්ප යොදා ගැනීමේ හැකියාවත් තිබෙනවා. අංක ගණිතයේදී සුලු කිරීමේදී දැක්විය යුතු ප්‍රමුඛතාවය පෙන්වීම වෙනුවෙන් යොදා ගන්නා ‘‘ Bodmas ” මුලින්ම වරහන් දෙවැනුව ‘‘ න් “ වැනි පහසු ක්‍රම අනුගමනය කිරීමටත් අවස්ථාවන් තිබෙනවා.

පැහැදිළි බව

කෙටි සටහන පිලියෙළ කිරීමේදී පැහැදිළිව සකස් කර ගන්න. මුල් පාඩමෙන් ලබා ගත් සාරය නිසා එය නැවත කියවීමේදී පැහැදිළිව අවබෝධ කර ගත හැකි අන්දමින් සකස් කර ගැනීම ඉතාම වැදගත්.පැහැදිළි සටහනක් කියවන විටත් මනසට ඇති වෙන නිරවුල් බව අදාල අධ්‍යන කාර්ය කර ගෙන යැමේදී උත්තේජනයක් ලබා දෙනු ඇත.

විෂය ආවරණය වීම

දිගු පාඩමක් කියවන විට බොහෝ වැදගත් කරුණු මග හැරෙනන්නට තිබෙන අවස්ථාව කෙටි සටහනක් පිළියෙළ කිරීමේදී ඉබේටම විසදෙනු ඇත. විභාගයක් ආසන්නේයීදී දිගු පාඩමක් කියවන විට ඇති වෙන වෙහෙස නිසාම වැදගත් කරුණු මග හැරෙනන්ට ඉඩ තිබෙනවා. නමුත් කෙටි සටහනක් පිළියෙළ කරන්නේ විභාගය ආසන්නයේදී නොවේ. එවැනි කාලයක තිබෙන විවේකී බව නිසා සම්පූර්ණ පාඩමට අදාලව කෙටි සටහන පිළියෙළ වෙන නිසා විෂය නිර්දේශය ආවරනය වන පරිද්දෙන් කෙටි සටහන සකස් කිරීමේ විවේකී මනසක් තිබීම සාමාන්‍ය තත්වයක්. එය සම්පූර්ණ විෂය නිර්දේශයට අනුව සකස් කර ගැනීමේ පහසුව ලැබේ.

ප්‍රශ්න වලටත් පිලිතුරු ලැබෙනවා…

කෙටි සටහනක් පිළියෙළ කිරීමේදී අදාල ගැටලුවලටත් විසඳුම් ලබා ගනිමින් ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා. වෙහෙසකර මානසිකත්වයකින් පාඩමක් කියවනවාට වඩා කෙටි සටහනක් පිළියෙළ කරන විට අදාල පාඩමේ ගැටලුවලට පිලිතුරු ලබා දෙමින් ඉදිරියට යෑමේ හැකියාව ඇති වෙනවා.

තර්ක ගොඩ නැගෙනවා..

කෙටි සටහනක් සකස් කර විට ඇති වෙන තර්ක සඳහාත් වැඩි අවධානයක් යොමු කිරීම තවත් වාසියක්.එවැනි තර්ක වෙනුවෙන් කරුණු ගවේශනය කිරීමටත් යොමු වීමේ ප්‍රවනතාවයන් නොදැනීම ඇති වෙනවා.එවැනි අවස්ථාවන්හිදී වෙනත් විෂය කරුණු පවා සම්බන්ධ කර ගෙන තමන්ගේ දැණුම සංවර්ධනය කර ගැනීමේ හැකියාවන්ටත් අවස්ථාව සැලසෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රායෝගික තාක්ෂන කුසලතා විෂයකදී ආහාර සංරක්ෂන හෝ පසු අස්වනු තාක්ෂනය පිළිබඳව ලබන තාක්ෂණික දැනුමට විද්‍යාව පාඩමේ ඇති රසායනික විද්‍යාව වැනි විෂයකින් ලැබෙන දැණුමත් ඉතාම පහසුවෙන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

පුනරීක්ෂනය…

කෙටි සටහනක් නිසා නිරන්තරව විෂය කරුණු පිලිබඳව ලැබෙන පුනරීක්ෂනය විභාගය වෙනුවෙන් වූ මනා සූදානමක් වෙනවා. අදාල පාඩම කියවනවාට වඩා කෙටි සටහනකින් ලැබෙන සාරවත් සාරංශය මනා ලෙසින් කරුණු ගොණු කර ගෙන පුනරීක්ෂනයක යෙදෙන වාසිය පහසුවෙන්ම ලබා ගත හැකියි.

ස්මරණයට

අද කාලයේ බොහෝ දරුවන්ට විෂය කරුණු මතක තබා ගැනීමේ ඇති ගැටලුව නිසාම අධ්‍යාපනය පවා අප්‍රසන්න වීමට ඇති අවස්ථාවට ඉතාම හොඳ විකල්ප විසදුමක් ලෙසින්  කෙටි සටහන් සකස් කර ගෙන තමන්ගේ විෂය දැණුම සමග ඉදිරියට යන රටාව වටහා දෙන්න. කෙටි සටහනක් නිරන්තරව කියවන විට ධාරණය පහසු වෙනවා.

ඉගෙණුම රසවත්

සාමාන්‍ය කියමනට පවා ඉගෙනීම කටු අත්තකි..එහ ප්‍රතිඵල මල් ඉත්තකි..කිව්වත් බොහෝ දරුවන් කටු අත්තක පිපෙන මල් නෙලා ගැනීමට එතරම් උත්සාහයක් දකවන්නේ නැහැ. ඒ නිසාම ඉගෙණුම ඔවුන්ගෙන් ගිලිහී යන අවස්ථාවන් පවා නැතුවාම නොවේ. නමුත් දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ට කෙටි සටහන් සකස් කර ගෙන ඒවා ඉගෙනුම් කාර්යන් සදහා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ලබා දෙන දැණුවත් බව නිසාම දරුවාට ඉගෙනුම යනු රසවත් අත්දැකීමක් බවට පත් ටවන දිනයක් උදා වෙනු ඇත.

විභාගයට අමුතු සූදානමක් අවශ්‍ය නැත..

අපේ අධ්‍යාපනය තුළ දරුවාගේ දැණුම මනින ඒකකය ලෙසින් විභාගය නිර්ණායකයක් ලෙසින් සැලකෙන නිසාම දරුවන්ට විභාග මානසිකත්යෙන් තෙරව ජීවත් විය නොහැකි බව ඇත්ත. නමුත්…විභාගය මානසික වධයක් ලෙසින් සැලකේනනේ දරුවා ඒ වෙනුවෙන් සූදානමක් නොමැති විටෙක බැව් රහසක් නොවේ.විෂය නිර්දේශය දන්නා දරුවා විභාගයට අනිවාර්යෙන් සූදානම් විය යුතුය. එය විභාග කාලසටහන ලැබෙන තෙක් සිටිය යුතු අවස්ථාවක් නොවේ. ඒ නිසා කෙටි සටහන් ක්‍රමය උපයෝගී කර ගෙන ඉගෙනුම් කාර්යෙහි යෙදෙන දරුවාට විබාගය යනු අමුතු සූදානමක් විය යුතු අවස්ථාවක් නොවේ. ඔවුන් දැනටමත් තමන්ගේ විෂය නිර්දේශය හොදින් දැන හදුනා ගෙන ඒ අනුව දැණුමෙන් සන්නද්ධව සිටින පිරිසක් බවට පත් වී අවසානය.

එසේ නම් අද පාසල් අධ්‍යාපන ආරම්භ කරන ඔබේ දරුවා තව වසර කීපයකින් විභාග ඉලක්ක කර ගත් දිනයක් වෙනුවෙන් මුහුණ දෙනු ඇත. ඒ දිනය දරුවාට වෙහෙසක් නොවන්නට නම් පූර්ව සූදානම ඉතාම වැදගත් බව රහසක් නොවේ. ඒ නිසා දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේදී කෙටි සටහන් භාවිතයට මගින්  උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන ඔවුන්ට කියා දෙන්න.

 

 

චර්යාබාධ ගැටලු හා කලහාකාරී හැසිරීම් රටා දරුවෙක් උපතින්ම රැගෙන එනවාද?

දරුවෙකුගේ චර්යාබාධ ‍හා සමාජ විරෝධි චර්යාත්මක ගැටලු කෙරෙහි බලපාන ජීව විද්‍යාත්මක සාධක, පාරිසරික සාධකයන්ටත් වඩා දීර්ඝ කාලීනව මෙන්ම ස්ථිර ලෙස බලපවත්වනු ලබන ප්‍රබලතම සාධකයක් ලෙස හැඳින්විය හැකියි. 

දරුවන්ගේ චර්යාබාධ සඳහා බලපාන ජීව විද්‍යාත්මක සාධක

  • මොළයට සිදුවන හානි සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයන්
  • ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව
  • ස්නායු ක්‍රියාවලියේ දුබලතා
  • ජානමය සාධක

මොළයට සිදුවන හානි සහ ව්‍යූහාත්මක අසාමාන්‍යතාවයන්

සමාජ විරෝධි හෝ චර්යාත්මක ගැටළු සඳහා කම්පනයන් හේතුවෙන් මොළයට සිදුවන හානි මෙන්ම මොළයේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා සහ කෘත්‍යයන් මූලික භූමිකාවක් සිදුකරන අතර මොළයේ ලලාට ඛණ්ඩිකාව (Frontal Lobe) තුල සිදුවන ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් වේ. මූලික වශයෙන් විධායක ක්‍රියාකාරිත්වයන් පිළිබඳ වගකීම, උසස් මට්ටමේ ක්‍රියාවලීන් මෙන්ම මෙම කලාපය පුද්ගලයකුගේ විනිශ්චයන්, චිත්තවේග පාලනයන්, සැලසුම් පවත්වා ගැනීම් ආදිය සම්බන්ධව වගකීම දරනු ලබයි. මේ අනුව පුද්ගලයකුගේ මෙම ලලාට ඛණ්ඩිකා කලාපයට උපන් අවස්ථාවේදි සිදුවන හානි හෝ ලලාට ඛණ්ඩිකාවේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා උපතින්ම ඇතිවීම හෝ සමාජ විරෝධි හැසිරීම් සඳහා වන මූලික රෝගී ලක්‍ෂණ කෙරෙහි සම්බන්ධ වන බව පෙන්වා දෙයි. ලලාට ඛණ්ඩිකාව ඉරීම හෝ තුවාල වීම සෘජුවම පුද්ගලයෙකුගේ ආවේගික හා චිත්තවේගික ක්‍රියාවලීන් සඳහා සම්බන්ධ වන අතර මෙය සමාජ විරෝධි කලහකාරී හැසිරීම්වලට බලපාන බව කියවේ. එමෙන්ම ඇමිග්ඩලා ප්‍රදේශය චිත්තවේග, හැඟීම්, භාවයන් සහ එම භාවමය ප්‍රතිචාරයන් සඳහා විශේෂිත කලාපය වන බව පෙන්වා දෙන අතරම මෙම ප්‍රදේශය හීනවීම හෝ ඇමිග්ඩලා කලාපයට හානි වීම උද්වේගකර කලහකාරී හැසිරීම් මෙන්ම දුබල භාවමය නියාමනයන් සහ සදාචාරාත්මක ප්‍රතීයමානයන් කෙරෙහි සතිය අවම වීම කෙරෙහි ද බලපාන  බවට විෂයානුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කරයි. 

ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව

චර්යාබාධ කෙරෙහි ඇති ජීව විද්‍යාත්මක බලපෑම් පිළිබඳව විමර්ශනයේ දී ස්නායු සම්ප්‍රේෂණ වෛද්‍යවරුන් විසින් ඉතා වැදගත් සාධක කීපයක් පෙන්වා දෙනු ලබෙන ආකාරය පිළිබඳව  මෙන්ම චර්යාත්මක ගැටළු සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීම බලපාන ආකාරය ද පෙන්වා දී ඇත. ස්නායු සම්ප්‍රේෂණ අතර සෙරටොනින් ස්නායු සම්ප්‍රේෂණය මෙහිලා ප්‍රධාන භූමිකාව නියෝජනය කරයි. මොළයේ සෙරටොනින් ක්‍රියාකාරිත්වයේ දෝෂ චර්යාබාධ හැසිරීම් සඳහා හේතුකාරක වේ. සෙරටොනින් සම්ප්‍රේෂණය අවම වීම උද්වේගකර හැසිරීම්, චිත්තවේග ගමන් කිරීම්, කඩාකප්පල්කාරී වීම  යන සියලු චර්යාත්මක ගැටළු කෙරෙහි බලපායි. මස්තිෂ්ක සුෂුම්නා ගමන් පථයේ සෙරටොනින් පරිවෘතිය අවම වීම කලහකාරී සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපායි.

සෙරටොනික් නියුරෝ සම්ප්‍රේෂණයේ බලපෑම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් සිදු කළ අධ්‍යයනවලට අනුව වයස අවුරුදු 15ක අපරාධකරුවෙකු ලෙස සිරගත වූ චර්යාබාධ රෝගයෙන් යුත් යෞවනයාගේ රසායනික ද්‍රව්‍ය හා සාමාන්‍යය යෞවනයින් 10 දෙනෙකුගේ ස්නායු රසායනයන් සමඟ සංසන්දනය කිරීමෙන් සෙරටොනික් නිෂ්පාදන ක්‍රියාවලිය හා ඇමයිනෝ ඇසිඩ් යන රසායනික ඉතා ඉහළ අගයකින් වෙනස් වී ඇති ආකාරය දැකගන්නට ලැබුණි. මෙම ඇමයිනෝ අම්ල ක්‍රියාකාරිත්වයේ ඉහළ අගය තුලින් සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ දමන අතර මෙසේ සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය අසමතුලිත වීම තුලින් කලහකාරී හා අපරාධ චර්යා තුල නියැලීමට අවශ්‍ය ඉන්ධන හා පසුබිම සලසා දෙයි‍. මෙම පර්යේෂනවලට අනුව අපරාධ හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් ප්‍රකට කරන්නන්ගේ නියුරෝ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය මුළුමනින්ම අසාමාන්‍ය බව සනාථ කර ඇත.

ජානමය සාධක

මේ සම්බන්ධව සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ජානමය බලපෑම ළමා කාලයේ චර්යාබාධවල ලක්‍ෂණයක් වන දැඩි හැඟීම් (Callus emotion) නොමැති ස්වභාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති බවයි. මෙම රෝගී තත්වයෙන් පෙළෙන්නන් දඬුවම් කෙරෙහි දක්වන්නේ ද අසංවේදී මානසික තත්ත්වයකි. මේ පිළිබඳව තවදුරටත් පෙන්වා දෙන පරිදි මෙම යෞවනයින්ගේ ප්‍රමාණවත් නොවන චිත්තවේගී හැසිරීම් ප්‍රතිචාර දැක්වීමේ කුසලතාවය නිසි පරිදි වර්ධනය නොවීමට ඔවුන් සමාජානුයෝජනය වීමේදී සිදුවන දුබලතා හේතුවන වන බව ද අවධාරණය වේ. සමාජානුයෝජන සහ ධනාත්මක අත්දැකීම්වල ඇති හිඟකම චිත්තවේගී ප්‍රතිචාරාත්මක චිත්තවේග නිවැරදිව හසුරුවා ගැනීමේ කුසලතාවය වර්ධනය නොවීමට හේතුවක් වේමෙවැනි හැසිරීම් සහිත ළමුන්ගේ චිත්තවේග කළමනාකරණය කිරීමට නොහැකි ගැටළුවේ ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ පාලනය කරගත නොහැකි, කළමනාකරණය කරගත නොහැකි කෝපය ආවේග තුල සහ සමාජ විරෝධි ක්‍රියා තුලට ඇතුල්වීමයි.

පූර්ව යොවුන්විය එනම් අවුරුදු 6 13 අතර ළමුන් 166 පර්යේෂණයට ලක්කරමින් ඔවුන්ගේ දුෂ්කෘත්‍යයන් සඳහා බලපානු ලබන හේතු සම්බන්ධව සිදුකරන ලද ගවේෂණයකදී වයස, ලිංග භේදය, ජාන විකාශන විද්‍යාව, ජන වර්ගය, සමාජ ආර්ථික මට්ටම, බුද්ධි මට්ටම් වැනි සාධක අනුව චර්යාබාධ රෝගීත්වය පිළිබඳ ලැබෙන ලක්‍ෂණ තොරතුරු විවිධාකාර බව වටහා ගත් අතරම ඒ අනුව චර්යාබාධ අවධානම් සාධක මෙන්ම හේතු විද්‍යාව පිළිබඳව කරනු ලබන ගවේෂණ ඉතා සංකීර්ණ විවිධ බැරූරුම් ස්වරූපයක් ගනියි. මව්පිය සබඳතාවය දුබල චර්යාබාධ සහිත යෞවනයින්ගේ ප්‍රතිවිරුද්ධ චිත්තවේග ප්‍රතිචාර (Opposing emotional responses) ප්‍රදර්ශනය වන බව ප්‍රකට වන අතර මේ සඳහා ස්නායු විද්‍යානුකූල මනෝ විද්‍යාත්මක චර්යාත්මක සාධක බලපානු ලබයs.

චිත්තවේග ප්‍රතිචාර කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව කතා කිරීමේදී චර්යාබාධ ගැටළු සඳහා මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන වෙනස්කම් පිළිබඳව ස්නායු මනෝ විද්‍යාඥයින්ගේ කරුණු අනාවරණය කර ඇත. FMRI ස්කෑන් පරීක්ෂණය (Functional magnetic resonance imaging) මගින් චර්යාබාධ ගැටළු ප්‍රකට වන ළමුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හඳුනා ගෙන ඇත. 

මෙම පර්යේෂණ වාර්තාවට අනුව මෙම ස්කෑන් පර්යේෂණ සඳහා වයස අවුරුදු 10 -16 අතර චර්යාබාධ සහිත යෞවනයින් තෝරාගෙන ඇති අතර මෙහිදි අවධානය යොමුකර ඇත්තේ දැඩි හැඟීම් රහිත (CU Trails) ගති ස්වභාවය ඇති චර්යා ගැටළු පෙන්වන යෞවනයින් කෙරෙහිය. මෙම දැඩි හැඟීම් රහිත වූවන්ගේ මොළයේ ඇමිග්ඩලා ප්‍රදේශය භීතිය හා සම්බන්ධ ගැටළු උත්තේජනයට දුබල ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම තවත් පර්යේෂණයක් තුලින් භීතියට දනවන උත්තේජනයකදී ජීව විද්‍යාත්මක ප්‍රතිචාරය මැන බැලීම සිදුව ඇති අතර දඬුවම් පිළිබඳව අවස්ථා මැවීමේදී ඔවුන්ට ඒ පිළිබඳව ඇති බියජනක බව පිළිබඳව ද සංවේදීතාවය කෙබඳුදැයි නිරීක්‍ෂණය කිරීම සිදුකර ඇත. මේ අනුව Chronic CD සහ CU Trail ගැටළු ඇති ඇති සහ නැති අය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල පෙන්වා ඇත. ඉහළ මට්ටමේ CU Trail සහිත චර්යා ගැටළු ඇති යෞවනයින් දඬුවම් කෙරෙහි දක්වා ඇති භිය හා සංවේදිතාවය දුබල බව වාර්තා වේ. CU Trail වැඩි ළමුන් බිය ගැන්වීමේ ප්‍රතීක ක්‍රියාවලිය දුබල බවත් සංවේදිතාවය දුබල බවත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙයි.

පිරිමි දරුවන් වීම

සමාජ විරෝධි හැසිරීම් තුල නිරතවන්නන්ගෙන් බහුතරය පිරිමි දරුවන් බවට සනාථ කර ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම පිරිමි දරුවන් තුළ ක්‍රියාකාරී වන ටෙස්ටෙස්රෝන් හෝමෝනය, ආබාධ තුල ප්‍රබල භූමිකාවක් සිදුකරන බවයි. පිරිමින්ගේ කලහකාරිත්වය තුල නිසඟවම අධිකව ක්‍රියාත්මක වන ටෙස්ටෙස්රෝන් කාන්තාවන් තුළ ඔසප් සමය තුල අධිකව ක්‍රියාකාරී වේ. කාන්තාවන් විසින් සිදුකරනු ලබන අපරාධාත්මක චර්යාවලින් බහුතරයක් ඔසප් සමය තුල ක්‍රියාත්මක වන බව පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙයි. මේ අනුව කලහකාරී තත්වය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ටෙස්ටෙස්ටරෝන් මගින් සපයනු ලබන බව ජීව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.

ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය 

චර්යාබාධ යෞවනයාගේ ගැටළුව සඳහා හේතු වන තවත් ජීව විද්‍යාත්මක සාධකයක් ලෙසට  ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය (Neural Processing Abnormalities) හේතුවන ආකාරය ද විද්‍යාඥයින් පෙන්වා දෙනු ලැබේ. චර්යාබාධ, යෞවනයාගේ කලහකාරී හැසිරීම් අතර ප්‍රභලව ප්‍රදර්ශනය කරනු ලබන චිත්තවේගික ප්‍රතිචාරාත්මක හැසිරීම් ලෙස අන් අයට විරුද්ධව පහරදීම්, ප්‍රචණ්ඩකාරී බව, බැන වැදීම් වැනි චර්යාවන් බහුලය. මෙවැනි අවස්ථාවල නිරන්තරව නියැලීම සමග සහකම්පනයේ ඌණතාවය හේතුකාරක වේ. පර්යේෂණාත්මක අනාවරණවලට අනුව යෞවනයින්ගේ මොළයේ ස්නායු සැකසුම් තුල සහකම්පනය සම්බන්ධ මොළයේ කලාප සෙසු පාලිත කණ්ඩායම් සමග සංසන්දනයේදී වෙනස් ප්‍රතිචාරයන් දක්වා ඇත.

මේ සඳහා කලහකාරී චර්යාබාධ ඇති යොවුන් දරුවන් අට දෙනෙකු සහ සාමාන්‍ය දරුවන් අට දෙනෙකුගේ මොළයේ FMR ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති මොවුන්ගේ සහකම්පන ප්‍රතිචාර පරීක්ෂා කිරීමේදී චර්යාබාධ සහිත යෞවනයින්ගේ මොළයේ ස්වයං නියාමන සිද්ධාන්තයන් සහ සාදාචාර තර්කන ක්‍රියාවලියන් මෙන්ම ප්‍රජානන වැනි ක්‍රියාවන් සඳහා ද හේතු කාරක වන Cingulate Cortex සහ Orbital Frontal Cortex වැනි මොළයේ කලාප ක්‍රියාකාරී නොවී පැවති අතර පාලිත කණ්ඩායමේ මෙකී අදාළ කලාප ක්‍රියාකාරිත්වය ප්‍රදර්ශනය කර ඇත. මෙම පර්යේෂණය තුලින් දොම්නස් සහගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම ලෙස සිදුවෙන සහකම්පන ප්‍රතිචාරයන් චර්යාබාධ යෞවනයා තුළ අඩු බවට නිගමනය වී ඇත.

ජානමය සාධක 

සමාජ විරෝධි ක්‍රියාවන් සඳහා ආරමය බලපෑම පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ බොහොමයකි. ඒ මගින් සමාජ විරෝධි චර්යාවන්වල නිරත වන රෝගීන්ගෙන් 65%ක ප්‍රතිශතයකට එම ස්වභාවය සඳහා ආරමය බලපෑම් ඇති බව හඳුනාගෙන ඇත.

චර්යාත්මක අක්‍රමිකතා සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපානු ලබන සාධක ඉතා විවාදාත්මක මෙන්ම සංකීර්ණ බවට පත්ව ඇත. මේ අතර චර්යාබාධ සඳහා හේතු විද්‍යාව තුල මෙම ජානමය සහ පාරිසරික සාධක පිළිබඳව ඇති මතවාද ප්‍රබල වේ. බොහෝ පර්යේෂකයින්ගේ මතය වන්නේ ජානමය මෙන්ම පාරිසරික සාධක යන දෙකම රෝගීන් කෙරෙහි බලපාන බවයි. බොහෝ පර්යේෂකයන් දක්වන අදහස්වලට අනුව  ඇතැම් අය තුළ ජානමය හෝ ආරමය බලපෑමක් කිසිසේත් නොමැතිමුත් පාරිසරික සාධක මත පමණක්ම සමාජ විරෝධි චර්යා කෙරෙහි ඔවුන් යොමුව ඇත. එනම් චර්යාබාධ සඳහා ජීව විද්‍යාත්මක බලපෑමක් නොමැතිව උත්පත්තිය ලද දරුවෙකු වුවද පසුව සෘණාත්මක පාරිසරික බලපෑම් මත වර්ධනය වීමේදී එනම් ආතති ජනක පසුබිමක් තුළ හැදී වැඩීමේදී ඔහු හෝ ඇය තුල ජීව විද්‍යාත්මක අසමතුලිතතා වර්ධනය වීමට ඉඩ ඇති බවයි. නිදහසුන් ලෙස ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීමටත් (Neuro Chemical Imbalance) ස්නායු සැකසුම් අසාමාන්‍ය වීමටත් සෘණාත්මක ආතති ජනක පරිසරය තුළ කුඩා කල සිටම දීර්ඝ කාලීනව දරුවකු හැදී වැඩේ නම් ජීව විද්‍යාත්මක අසාමාන්‍යතා ඇතිවීම කෙරෙහි බලපෑමක් සිදුවිය හැකි බවයි. 

බොහෝ මනෝ විද්‍යාඥයින් දරණ අදහසට අනුව ජීව විද්‍යාත්මක සාධක මත පමණක්ම නිසා හෝ පූර්ණ වශයෙන්ම පාරිසරික සාධක පමණක්ම නිසා හෝ දරුවන් තුළ චර්යාබාධ/කලහකාරී හැසිරීම් රටා ඇති විය නොහැක. ජීව විද්‍යාත්මකව උපතින්ම ගැටලු ඇති දරුවෙකු සුදුසු පරිසර සාධක යටතේ ඇති දැඩි වීමේදී චර්යාමය ආබාධ ඇති වන ප්‍රවණතාවය අවම බවත් ජීව විද්‍යාත්මකව අංග සම්පූර්ණව උපත ලද දරුවෙක් නුසුදුසු වටපිටාවක එනම් නුසුදුසු පරිසර සාධක සහිතව ඇති දැඩි වන්නේ නම් එම දරුවා චර්යාබාධ මෙන්ම කලහකාරී හැසිරීම් රටා පෙන්නුම් කිරීමට ඇති ප්‍රවණතාවය වැඩි බවයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


                

යොවුන් දරුවන්ගේ කලහාකාරී හැසීරීම් රටා අවම කරන්නට ප්‍රතිකර්ම නැද්ද?

දරුවන්ගේ චර්යාබාධ සහ කලහකාරී හැසිරීම් පිළිබඳව බලපාන පාරිසරික සාධක සහ ජීව විද්‍යාත්මක සාධක පිළිබඳව පසුගිය ලිපි දෙකක් හරහා සාකච්ඡා කළා. මෙම ලිපිය තුළින් ඔබටව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇති වන චර්යාබාධ සඳහා සිදුකළ හැකි ප්‍රතිකර්ම පිළිබඳවයි. 

දරුවන්ට චර්යාබාධ ඇති කිරීම කෙරෙහි බලපාන සාධක පිළිබඳ සහ චර්යාබාධ ලක්ෂණ පිළිබඳ සලකා බලමින් මෙය වැලැක්වීම සඳහා වැඩිහිටියා මැදිහත් විය යුතු ආකාරය සහ ඒ සඳහා වන ප්‍රතිකර්ම විධික්‍රම පිළිබඳව අදාල විෂයයේ විශේෂඥවරුන් විසින් ප්‍රතිකර්ම ක්‍රම ශිල්ප කීපයක් හඳුන්වාදී ඇත. ඒ සියලු ප්‍රතිකර්ම සඳහා මීට පෙර සාකච්ඡා කරන ලද මනෝවිද්‍යාත්මක පසුබිම වැදගත් වන අතර ප්‍රතිකර්ම සැලසුම්කරණය කර ඇත්තේ එකී මනෝවිද්‍යා ප්‍රවේශයන්ගේ පදනම මත සිටයි. 

මෙම මාතෘකාව තුල අරමුණ වන්නේ චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදුවන ලොව පිළිගත් ප්‍රතිකාර විධි ක්‍රම කීපයක් හඳුනා ගැනීම සහ මෙකී මනෝවිද්‍යානු ප්‍රතිකර්මවලට අමතරව චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදු කර ඇති සෞන්දර්යාත්මක මැදිහත් වීම් පිළිබඳ විමර්ශනය කිරීමයි. 

ප්‍රසමාජ විරෝධී චර්යා හා චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදුවන ප්‍රතිකාර 

  • පුද්ගල කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකාර
  • පවුල් කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකාර
  • බහුවිධි ප්‍රතිකාර 
  • විවිධ සෞන්දර්යාත්මක ප්‍රතිකර්ම 

පුද්ගල කේන්ද්‍රීය මැදිහත් වීම් ක්‍රම ශිල්ප

චර්යාබාධා සහිත යෞවනයා තුළ ප්‍රජානන ගැටලු හා සමාජීය ප්‍රජානන දුබල වීම දැකිය හැක. මේ අනුව චර්යාබාධ යෞවනයාගේ ආකල්පයමය වශයෙන් සෘණාත්මක මෙන්ම ආවේග පාලන ගැටලුවලින් යුතුවීම කැපී පෙනෙන ලක්ෂණයන්ය. මේ හේතුවෙන් මිතුරන් දිනා ගැනීමේ හා අන්තර් පුද්ගල සබඳතා ඇතිකර ගැනීමේ කුසලතාවය අවම මට්ටමක පවතී. තවද සාමාන්‍ය, සංසුන් අවස්ථාවන් හා පසුබිම් තුල මෙන්ම එවැනි පුද්ගලයන් ඉදිරියේ ප්‍රතිපක්‍ෂ හෝ විරෝධී චේතනාවන් ඇති කරගැනීම චර්යාබාධ සහිත  යෞවනයාගේ ස්වභාවයකි. මෙම ස්වාභාවය පදනම් කර ගනිමින් මෙකී සුවිශේෂ සමාජීය ප්‍රාජනන කුසලතා සහ ඒ ඔස්සේ චර්යා පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් ඒකල වශයෙන් ප්‍රජානන කුසලතා පුහුණු කිරීම වෙනුවෙන් ප්‍රජානන චර්යා කුසලතා පුහුණුව (CBSTCognitive Behavior Skill training) හඳුන්වා දී ඇත. 

චර්යාවාදි ප්‍රවේශය සහ ප්‍රජානන ප්‍රවේශයන්ගේ සංකලනයෙන් සැදුම්ලත් ප්‍රජානන චර්යා කුසලතා පුහුණුව (CBST) පුද්ගල මානසික ගැටළු නිරාකරණය සඳහා බහුලව භාවිත කෙරෙන ප්‍රජානන චර්යා ප්‍රතිකාරය (CBT Cognitive Behavior Therapy&  මත පදනම් ව ඇත. මේ දෙක අතර වෙනස්කම වන්නේ චර්යාබාධ සහිත යෞවනයා වෙනුවෙන් චිකිත්සකවරයාගේ මැදිහත් වීම තුල අවශ්‍ය පුහුණුව සිදු කිරීමට වැඩි ප්‍රබලතාවයක් ලබා දිය හැකි වීමයි. ප්‍රජානන චර්යා පුහුණුව ඔස්සේ ගැටළු විසඳුම් කුසලතා පුහුණුව (PSST problem salving skill training) ලබා දීම මෙම යෞවනයින් සඳහා තවත් ප්‍රතිඵල දායක ක්‍රමයක් වන අතරම චිකිත්සකවරයා, චර්යාබාධා සහිත යෞවනයා සමග ගොඩනගා ගන්නා විශ්වාසනීය උණුසුම් සබඳතාවය මෙවැනි පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර සාර්ථක කරගැනීමට බෙහෙවින් බලපාන බව මනෝ විශේෂඥවරුන්ගේ අදහසයි. මෙහිදී චිකත්සකවරයාගේ නිර්මාණශීලී කුසලතාවය සහ අත්දැකීම් මත විවිධාකාර ශිල්ප ක්‍රම මෙවලම් භාවිත කළ හැකි අතර ඒ සඳහා අකෘතිකරණයන් (modelling) භූමිකා රංගනය (role playing ) පෙර පුහුණුවීම් (practicing) සහ සෘජු මෙන් ප්‍රබල උපස්ථම්භනයන් භාවිත කෙරෙයි.‍

මෙම ප්‍රතිකාර ක්‍රම මගින් චර්යාබාධ යෞවනයාගේ ලක්‍ෂණ අතර මූලික ලක්ෂණ දෙකක් වන කලහකාරීත්වය සහ සමාජ විරෝධී හැසිරීම් අවම වු ආකාරය පිලිබඳව අනාවරණය වී ඇත. මෙම ප්‍රජානන චර්යා කුසලතා පුහුණුවේදී මේ සඳහා යම්තාක් පරිණත බවක් හා ප්‍රජානන හැකියාවක් චර්යාබාධා යෞවනයාට තිබිය යුතුයි. එම නිසාම  CBST හා PSST  වැනි ක්‍රම ශිල්ප ළමාවියේ චර්යාබාධ සහිත වුවන් සඳහා එතරම් ප්‍රතිඵල දායක නොවේ. 

පවුල් කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකර්ම

චර්යාබාධ සඳහා මුල් වන හේතු සාධක පිළිබඳව පෙර ලිපි මගින් පෙන්වා දුන් පරිදි පාරිසරික සාධක මූලික වන අතර පවුල් පරිසරය ප්‍රබල බලපෑමක් එල්ල කරන ආකාරය පිළිබඳවද ඔබ මේ වන විට දැන්වත්ය. චර්යාබාධා සහ සමාජ විරෝධී හැසිරීම් ඇතිවීම කෙරෙහි බලපාන පවුල් පරිසරය මුල්කර ගත් සාධක වන,

  • බිදුණු පවුල,
  • සෙනෙහස අහිමිවීම
  • මව් පිය දැඩි විනය පාලන ක්‍රම
  • මව්පිය දැඩි ලිහිල් භාවය
  • සෙනෙහස අහිමි වීම
  • උපස්ථම්භන් හා ඇඟයීම් නොමැති වීම්
  • වැඩිහිටි දුෂ්චර්යා අභ්‍යන්තරීකරණය වීම 

යන අවදානම් සාධක පසුබිම් කොටගෙන පවුල් සාමාජිකයන් මුල්කර ගත් ප්‍රතිකර්ම කීපයක් හඳුන්වා දී ඇත. සමාජ ඉගෙනුම් න්‍යාය සහ පදනම් කොට ගනිමින් මෙම ප්‍රතිකාර ක්‍රම ගොඩනැගී ඇත.

මෙහිලා, ප්‍රබලම ප්‍රතිකාර ක්‍රමය ලෙස පවුල් කළමනාකර පුහුණුව (PMTparent Management Training) ප්‍රතිඵලදායකය. මේ සඳහා මව්පියන් හෝ භාරකරුවා සජීවීව මැදිහත් කරගනු ලැබේ.

චර්යාබාධා සහිත යෞවනයාට ප්‍රතිකර්ම සිදුකිරීමට ප්‍රථම පවුල් උපදේශනය (family therapy) මගින් වැඩිහිටියා හෝ මව්පියන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් චිකිත්සාමය පුහුණුව ලබාදීම සිදු කරනු ලැබේ. චර්යා න්‍යාය (behavior theory) පදනම් කොට ගත් පුහුණු වීම් රැසක් චිකිත්සකවරයා විසින් මව්පියන්ට දෙනු ලැබේ. මෙම පුහුණුව තුල වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ

  • ආදර්ශමත් මව්පිය හැසිරීම‍
  • යෞවනයා සමඟ සිදුවන මැදිහත් වීම
  • හැසිරිම් නිරික්‍ෂණය මෙන්ම ධන උපස්ථම්භයන් ලබා දෙන ආකාරය හා ඒ සඳහා පුහුණු කිරීම
  • timeout වැනි මධ්‍යස්ථ දඬුවම් ක්‍රම හඳුන්වා පුහුණු කිරීම
  • දරුවාගේ අහිතකර චර්යාව වෙත වැඩිදුර යොමු නොවී හිතකර චර්යාවන් ඇගයීම

වැනි ක්‍රම පවුලේ සාමාජිකයින්ට පුහුණු කර ඒ තුලින් සුභවාදී පවුල් පරිසරයක් හා ධනාත්මක අනුකරණ මෙන්ම ආදර්ශමත් ආකෘතිකරණයන් තුලින් චර්යාබාධා යෞවනයා හට බලපැම් එල්ල කිරීමත් මෙහි අරමුණ වේ. ඒ තුලින් කලහකාරීත්වය අවම කිරීමට යොමු කිරීම මෙහි දී සිදුවේ.

පවුල් තුළ මේ ආකාරයේ සුභවාදී කළමණාකරණයක් සිදු කිරිමට සමාගාමීව පාසල තුල ගුරුවරයා සහ සම වයස් කණ්ඩායම් තුලද මෙම ධනාත්මක උපස්ථානයන් ලබාදීමද වැදගත් වේ. මේ සඳහා පාසල හා ගුරුවරයා මැදිහත් කරගැනීම තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වන අතරම මනෝ විශේෂඥයින් පෙන්වා දෙන පරිදි  පවුල් කළමනාකර පුහුණු ක්‍රමවේදය වඩාත් සාර්ථකව භාවිත කල හැක්කේ නව යොවුන් වියේ පසුවන්ව සමඟයි.

වයස අවුරුදු 10 ත් 13 ත් අතර පසුවන කනිෂ්ඨයින් පවුල් කුටුම්භ තුල සිටීම මෙම ප්‍රතිකාර ක්‍රමය වාසි සහගත වීමට හේතුව වන අතර තරුණ වියේ පසු වන වයස අවුරුදු 14 18 අතර පසුවන චර්යාබාධ සහිත වුවන් පවුල් ග්‍රහණයෙන් මිදී සම වයස හෝ අපගාමී චර්යා සහිත කණ්ඩායම් තුල වැඩි කාලයක් ගත කිරීම මෙම ක්‍රම ශිල්පය වැඩිහිටි රෝගීන් කෙරෙහි සාර්ථක ව භාවිතය කිරීමට බාධවකි. තවද පවුල් කළමනාකර පුහුණු ක්‍රමවේදය ප්‍රතිකාර සාර්ථකව සිදු කිරීමට ඇති තවත් බාධාවක් ලෙස මව්පියන් හා පවුලේ වැඩිහිටියන් චි චිකිත්සා පිළිබඳව දැනුවත් කිරීමේ සැසිවලට සහභාගී කර ගැනීමට ඇති දුෂ්කරතාවය ද පෙන්වා දෙයි. වැඩිහිටියන්ට සැසි කීපයක් තුල මෙම මෙවලම් සහ ක්‍රම ශිල්ප පිලිබඳව පුහුණුව ලබා දිය යුතු අතර චර්යාබාධිත යෞවනයා අයත් පවුල්වල මව්පියන් බොහෝ විට ක්‍රමිකව සහභාගි වීම දුර්ලභය. පවුලේ සජීවී මැදිහත් වීම මත සිදුවන මෙම ක්‍රියාවලිය ක්‍රියාකාරී පවුල් චිකිත්සාව ලෙසද හඳුන්වන අතරම මෙහි මුලික පදනම වන්නේ චර්යාබාධිත යෞවනයා ඔහුගේ පවුල සමඟ ඇති සහසම්බන්ඳතාවය වර්ධනය කිරීමයි. පවුල් සමඟ පැහැදිලි සන්නිවේදනයක් ඇති කර ගැනීමේ මාර්ග විවර කරමින් තම අන්තර් පුද්ගල ගැටළු විසඳා ගැනීමට පවුලේ උපකාරය ලබාදීම කෙරෙහි මෙහිදී සලකා බැලේ.

බහු විධි මැදිහත් වීම්

චර්යාබාධා ඇතිවීම කෙරෙහි බලපානු ලබන සාධක තුල ඇති විවිධත්වය සහ සංකීර්ණත්වය පසුබිම් කොටගෙන ප්‍රතිකාරත්මක මැදිහත් වීම් තුළ ද වඩාත් විවිධත්වයෙන් යුතු පුළුල් ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. චර්යාබාධ සහිත ළමයා සහ යෞවනයා අරමුණු කොට ගනිමින් ඔහු/ඇය ජීවත්වන පාරිසරික සාධකයන්ට අනුරූප වන ලෙස විවිධාකර වු ප්‍රතිකාරත්මක මැදිහත් වීම් සිදු කිරීම බහුවිධි මැදිහත් වීම තුළ ද සිදු වේමේ සඳහා භාවිත වන ප්‍රතිකාර ශිල්ප ක්‍රම බහුවිධ ප්‍රතිකර්ම (Multi systematic therapy) ලෙස ප්‍රචලිත වේ. පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රම වන ප්‍රජානන චර්යා කුසලතා වර්ධන පුහුණුව (CBST) ගැටළු විසඳුම් කුසලතා පුහුණුව (PSST) මෙන්ම පවුල කේන්ද්‍ර කොට ගත් මව්පිය කළමණාකාරණ ප්‍රතිකාර (PMT) සහ ක්‍රියාකාරී පවුල් ප්‍රතිකාර (FFT) යන සියළු ප්‍රතිකාර වර්ග නියමිත ප්‍රතිකාර සැලැසුමක් තුල භාවිත කිරිම මෙහිදී සිදු වේ. මෙම ප්‍රතිකාර ක්‍රම සිදු කිරිම මාස 3 ත් 5 ත් අතර කාලයක් නොනවත්වා සිදු වන අතර චිකිත්සකවරයා චර්යාබාධ තම සේවාලාභියා සමඟ නිරන්තර සබඳතාවය පැය 24 පුරාම තබා ගත යුතු බවත් මුහුණට මුහුණලා හෝ සෑම විටම සේවාලාභියා සමඟ සබඳතාවය පවත්වා ගැනිම අවම වශයෙන් දින 07 ක් වත් පුරාවට සිදු කල යුතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම ජීව පරිසර විද්‍යාත්මක න්‍යාය තුල බ්‍රොන්ෆෙන් බ්‍රෙනර් විසින් අවධාරණය කරනු ලබන ළමයාගේ වර්ධනය කෙරෙහි බලපාන පරිසර හා සමාජ පද්ධති 5 ම යලි ධනාත්මක රාමුවක් තුල ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණු පෙරදැරිකොට ගෙන මෙම ක්‍රමවත් බහුවිධි ප්‍රතිකාර ක්‍රම ගොඩනගා ඇත. ජීව පරිසර න්‍යායට අනුව ළමයාගේ හැසිරීමේ අක්‍රමතා හා සමාජ විරෝධී හැසැරීම් සඳහා බලපානු ලැබු ක්‍ෂුද්‍ර පද්ධතිය වන පවුල්, පාසල, අසල්වැසියන්, සමවයස් කණඩායම් යන ඒකකයන්ගේ සිට මහා පද්ධතිය සහ ඓතිහාසික පද්ධතිය අයත්, සමාජීය, සංස්කෘතිය, විශ්වාස, ආකල්ප, අතීත උරුමයන්, අතීත අත්දැකීම් යනාදී සමස්ත පද්ධතීන් කෙරෙහි බල පැවැත්වෙන ආකාරයට ප්‍රතිකාර සංවිධායන කල යුතු බව අවධාරණය කරනු ලැබේ. තවද මේ අතර සිදුවන ඉතා වැදගත් ක්‍රියාවලියක් ලෙස ක්‍රීඩා හෝ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා යෞවනයාගේ රුචිකත්වය පරිදි නියැලීමට අවශ්‍ය මඟ විවර කිරීම වඩාත් ප්‍රතිඵලදායක බවද පෙන්වා දෙයි.  

ක්‍රමවත් බහුවිධි ප්‍රතිකාර ශිල්ප ක්‍රමය භාවිත කරනු ලබන චිකිත්සකවරයා සියලු ක්‍රම ශිල්ප පිළිබඳව මනා පුහුණුකරුවකු විම අනිවාර්ය වන අතරම ප්‍රතිකාරයේ ඵලදායීතාවය මුළුමනින්ම රදා පවතින්නේ චිකිත්සකවරයා සතු දක්‍ෂකම මතය. චර්යාබාධයේ බරපතල බව සහ ස්වාභාවය මත වඩාත් නම්‍යශීලීව භාවිතා කල හැකි ශිල්ප ක්‍රමයක් ලෙස බහුවිධි ශිල්ප ක්‍රමය හැඳින් විය හැකිය. 

දරුවන්ගේ මේ ගැටළු සඳහා මවුපියන්ට නිවසේදී භාවිතා කළ හැකි,නිර්මාණාත්මක ප්‍රතිකර්ම පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 

 

 

 


                

යොවුන් දරුවන්ගේ හැසිරීමේ ගැටලු සඳහා බලපාන පාරිසරික සාධක ගැන ඔබ දන්නවාද?

යොවුන් දරුවන්ගේ හැසිරීම් පිළිබඳව ඇතැම් විට බොහෝ මව්පියන් කණස්සල්ලෙන් පසුවනවා විය හැකියි. මනෝවිද්‍යා න්‍යායයන් තුළ සිදු කර ඇති බොහෝ අනාවරණ අතර ළමා වියේ සංවර්ධන අවධීන් ඇසුරෙන් දරුවෙකුගේ පෞර්ෂය හැඩගැසීම‍ට ඉවහල් වන සාධක රැසක් පෙන්වා දී ඇත. දරුවෙකුගේ හැසිරීම් ගැටලු සඳහා බලපාන සියලු සාධක මූලික වර්ගීකරණ දෙකක් යටතේ සාකච්ඡා කළ හැක. චර්යාබාධ සඳහා මුල් වන පාරිසරික සාධක, ජානමය සාධක, ප්‍රජානන සාධක, පෞරුෂ සාධක, මව්පිය ඇබ්බැහිකම් සහ මව්පිය ඍණාත්මක බලපෑම්, ස්නායු මනෝ විද්‍යානුකූල සාධක, සමවයස් කණ්ඩායම් ආදි වශයෙන් වූ සාධක රැසක් හේතු විද්‍යාව තුළ සාකච්ඡා වුවත් ඉදිරිපත් කිරීමේ පහසුව සලකා මෙකී සමස්ථ හේතු සාධක මූලික කොටස් දෙක යටතේ වර්ගීකරණය කර ඉදිරිපත් කර ඇත. එනම්,

  • පාරිසරික සාධක 
  • ජීව විද්‍යාත්මක සාධක

චර්යාබාධ සඳහා වන ප්‍රබල හේතු සාධකයක් වන ආරය මගින් ඇති වන බලපෑම් ඇතැම් විට ජීව විද්‍යාත්මක සාධක ඛාණ්ඩය තුලටම ඇතුලත් කර විග්‍රහ කරන අතර ආරයේ බලපෑම් තුළ සාකච්ඡා වන ජානමය සාධක (Janatic) මෙම විමර්ශනය තුලද ජීව විද්‍යාත්මක කාණ්ඩය තුල සාකච්ඡා කරනු ලැබේ. මේ ලිපිය තුළින් මූලිකවම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චර්යාබාධ ඇති වීම කෙරෙහි බලපාන පාරිසරික සාධක පිළිබඳවයි. ලොව බොහෝමයක් මනෝ පර්යේෂකයන් අතරින් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද අනාවරණ ඇසුරෙන් දරුවන් තුළ චර්යාබාධ ඇති වීමට බලපෑ හැකි හේතු මොනවාදැයි යන්න පිළිබඳව දැනුවත් වෙමු.

දරුවන් තුළ චර්යාබාධ ඇතිවීම කෙරෙහි බලපානු ලබන පාරිසරික සාධක

බොහෝ මනෝව්‍යාධීන් සඳහා හේතු වන ප්‍රබල සාධකයක් වන ආරය සහ පරිසරය, චර්යාබාධ ඇතිවීම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව  Modeling Genetic Environmental Influences in the Etiology of conduct Disorder යන නමින් දෙදහස් හයසිය අසූ දෙකක් තරම් වූ නියදියක් ඇසුරෙන් ඕස්ට්‍රේලියාවේ වොෂින්ටන් විශ්ව විදයාලයේ මනෝ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණ අනාවරණයට අනුව පවුලේ භූමිකාව දරුවාගේ චර්යාබාධ සහිත යෞවනයකු බවට පත් වීම කෙරෙහි මූලිකවම බලපාන බව අනාවරණය විය. 

චර්යාබාධ සහිත යෞවන‍යෙක් බිහිවීමට පවුල තුළින් දැකිය හැකි ඍණාත්මක සාධක 

  • දුබල මාපිය අධීක්‍ෂණය
  • උදාසීන දෙමාපිය සබඳතාවයන්
  • මව්පිය අරගලයන් සහ විවාහ බිඳ වැටීම/ දික්කසාද වීම්
  • මව්පියන් විභේදනය
  • මව්පියන්ගේ දැඩි විනය පාලනයන්

මේ කරුණු පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් වීම මාපියන් ලෙස අපි සැමටම ඉතා වැදගත් වනු ඇත.

  • මව්පියන්ගේ උදාසීන රැකබලා ගැනීම මෙන්ම දැඩි නීති රීති සහ ප්‍රබල මාපිය ආධිපත්‍ය පැතිරවීම ‍

පැටර්සන් ඇතුළු පිරිස විසින් සිදු කරන ලද අනාවරණ තුල මව්පියන්ගේ උදාසීන රැකබලා ගැනීම මෙන්ම දැඩි නීති රීති සහ ප්‍රබල මාපිය ආධිපත්‍ය පැතිරවීම ද දරුවා තුල කලහකාරී හැසිරීම් වර්ධනය වීම කෙරෙහි බලපාන බව පෙන්වා දී ඇත. ඒ වගේම මේ පිළිබඳව ඇමතා සහ කෙයිට් විසින් සිදු කළ අණාවරණයේදී අධ්‍යාපනයට අනුව මව්පියන්ගේ අරගල, අඩදබර මෙන්ම දික්කසාද වීම් දරුවා තුළ චිත්තවේගික අරගලයන්  ඇතිවීමට මුල්වන අතර මෙම තත්ත්වය වර්ධනය වීම තුළ දරුවා යොවුන් වියේදී සමාජ විරෝධී හැසිරීම් වෙත යොමු වන්නෙකු බවට ද පත්වන ආකාරය පෙන්වා දෙයි.

  • මව්පිය මනෝව්‍යාධීන් 

දරුවන්ගේ සමාජ විරෝධී හැසිරීම් කෙරෙහි මව්පිය මනෝව්‍යාධීන් ජානමය වශයෙන් බලපෑමක් සිදුකිරීමේ අවධානමක් ඇති කරවන අතරම මව්පිය විවාහ දෙදරා යාම මෙන්ම ජාතක වීමේ ස්වභාවය ද පසුකාලීනව දරුවා තුළ සමාජ විරෝධී චර්යා පෙන්වීම කෙරෙහි බලපෑම් ඇති කරනු ලබයි. තවද පවුල් සංස්ථා තුල සිදුවන වෙනස්වීම් නැතහොත් අස්ථීරතාවය දරුවාට චර්යාත්මක ගැටළු ඇති වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදුකරයි. 

  • අසතුටුදායක පාරිසරික පසුබිම් මත ඇතිදැඩි වීම 

ළමා කාල චර්යාබාධ සංවර්ධනය සඳහා අවදානම් සාධක ලෙස අසතුටුදායක පාරිසරික පසුබිම් මත ඇතිදැඩි වීම එනම් මව්පිය අධීක්‍ෂණය දුබලතා, අවම වටිනාකම් සහිත පාසල් වැනි සෘණාත්මක පාරිසරික සාධක ළමා කල චර්යාබාධ සංවර්ධනය කෙරෙහි අවධානම් සාධක ලෙස බලපායි. මෙය පසුකාලීන සමාජ විරෝධි හැසිරීම් ප්‍රකට කර චර්යාබාධ සහිත යෞවනයා නිර්මාණය කිරීමෙහිලා ප්‍රබල සාධකයක් ලෙස නැඟී සිටී. මෙම ළමා කාලයේ සෘණාත්මක සබඳතා පසුකාලීනව එනම් යොවුන් වියේ සමාජානුයෝජන ක්‍රියාවලිය තුල නොකළ යුතු දේ සිදු කිරීම කෙරෙහි බලපානු ලබයි. විශේෂයෙන් මව්පිය සබඳකම් සහ සමවයස් කණ්ඩායම්වලින් ලැබෙන වැරදි සහගත දුර්වල සබඳකම් නිසා පසුකාලීන යෞවනයාගේ වැරදි සහගත සමායෝජන ක්‍රියාවලිය සිදුවේ. මව්පියන්, සහෝදරයින් පිටස්තර සමවයස් කණ්ඩායම් හා ගුරුවරුන් යන සියලු අංශවලින් සිදුවන සෘණාත්මක බලපෑම් දීර්ඝ කාලීනව දරුවාගේ මනෝ සමාජීය අනුවර්තනීය ක්‍රියාවලිය කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කරවයි.

  • පවුල් පසුබිම 

චර්යාබාධ සහ සමාජවිරෝධි හැසිරීම් ඇතිවීම කෙරෙහි පවුල් පසුබිම බලපාන ආකාරය පිළිබඳව Holmes ඇතුළු පිරිස විසින් සිදු කළ අනාවරණයේදී ද සමාජ විරෝධි ක්‍රියා සඳහා ද හේතුවන්නේ මෙම පවුල් පසුබිම බව ඔහු අනාවරණය විය. උග්‍ර විඩාව, ගැටළු සහිත හිරිහැර තුලින් එන යෞවනයින් විශාල පවුල් සංස්ථාවන්, මවගේ මානසික අසහනයන්, හදාවඩා ගැනීමේ ක්‍රමයන් යන මේ සියල්ල ක්‍හේතුවෙන් චර්යාබාධ ඇති දරුවන් බවට පත් වීමට ඇති ඉඩකඩ වැ බව පෙන්වා දෙයි. මව්පිය වෙන්වීම් සහ ඒක පාර්ශ්වීය මව්පිය පසුබිම ද චර්යාබාධ හා සමාජ විරෝධි හැසිරීම් ගතිපැවතුම් නිර්මාණය වීම කෙරෙහි බලපායි. දරුවාට වයස අවුරුදු 5ට පෙර මව හෝ පියාගේ වෙන් වීම වයස අවුරුදු 15 වනවිට චර්යා ගැටළු මතුවීම කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල වන සාධකයක් බව පෙන්වා දෙයි. එමෙන්ම දුබල මව්පිය දරු සබඳතාවය චර්යාබාධ සඳහා සබදකම් දක්වන බවද පැහැදිලි වේ. බොහෝ චර්යාබාධ සහිත යෞවනයින් මව්පිය සෙනෙහස අඩු වු මෙන්ම, දෙමාපිය අවධානය සහ අධීක්‍ෂණය අඩු වු දරුවන්ය. තවද මව්පිය දරු සබඳකම්වල ගුණාත්මක බවේ ස්වභාවය අනුවද උදාසීන දෙමාපිය විලාසයන් යන සාධකයන්ද ළමාවියේ චර්යාත්මක ගැටළු සහ යොවුන්වියේ සමාජ විරෝධි ගති ස්වභාවයන් ඇතිවීම කෙරෙහි බලපානු ලබයි. තවද අන්තවාදී ලෙස දරුවන් පාලනය කිරීම, තද නීති රීති, පරුෂ ලෙස බැණ වැදීම, නිදහස සීමා කිරීම යන කරුණුද මේ තත්ත්වය බලපෑ හැක. 

තවද නව යොවුන් වියේ චර්යාබාධ තුලින් සමාජ විරෝධි පෞරුෂ ගොඩනැගෙන බොහෝ අපරාධකරුවන් පිළිබඳව සිදුකර ඇති ගවේෂණයන් තුලින් ද ඔවුන්ගේ එකී සමාජ විරෝධි ගති ස්වභාව සකස් වීම කෙරෙහි පහත සඳහන් සාධක ද බලපා ඇති බව කිව හැකිය.

  • ලිංගික අපයෝජන
  • මව්පිය විවාහය දෙදරායාම
  • ආර්ථික දුෂ්කරතා (උග්‍ර ආර්ථික දුෂ්කරතාවයන්)
  • සංචලන වර්ධනය
  • කාන්තා වෘත්තීයකරණය
  • දුබල ආර්ථික මට්ටම

යොවුන් වියේදී චර්යාබාධ ඇති දරුවන් ලෙස ඔබේ දරුවා සමාජයට මුද හරින්නට ඔබට හැකිද? මව්පියන් කිසිදු විටෙක තම දරුවන්ගේ කලහකාරී හැසිරීම් දැකීමට ප්‍රිය නොකරන අතරම චර්යාබාධවලින් තොර දරුවෙකු නිර්මාණය කිරීමට නම් දරුවා කුසට ආ දිනයේ සිටම ඍණාත්මක සාධක දරුවාගේ වටපිටාවෙන් ඉවත් කරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 

 

 

 


                

ළමා වියේදී දරුවෙකුට කිසිසේත්ම හිමි නොවිය යුතු අත්දැකීම් 10ක්

තිත්ත බෙහෙතක් දරුවෙකුට පොවන්න වුණොත් අම්මා කෙනෙක් ඒක රසවත්ව ලබා දෙන්න නොයෙක් ක්‍රම උපයෝගී කරගන්නවා. සීනි/මී පැණි තවරනවා. චොක්ලට් ගෙනත් දෙනවා. මේක බිව්වම මම ඔයාට ආසම දෙයක් අරන් දෙන්නම් කියලා කොහොම හරි දරුවා කැමති කරවගෙන බෙහෙත් ටික ‍පොවා ගන්න අම්මා දක්ෂයි. ඒත් දරුවෙකුට යමක් පැහැදිලි කරද්දී, උපදෙසක් දෙද්දී විතරක් නෙවෙයි ගෙදර දොරේ පරිසරයේදී ඒ පරිසරය රසවත් කරන්න සුන්දර කරන්න මව්පියන් වෙහෙසෙනවාද කියන ගැටලුව අද වෙන විට බොහෝ දරුවන්ගේ මානසික තත්ත්ව ගැන අහන්න දකින්න ලැබෙද්දී ඇතිවෙන ගැටලුවක්. ආහාර පාන ඇුම් පැලදුම්බෙහෙත් හේත් මේ හැමදේම දරුවන්ට උපරිමයෙන් ලබා දෙන්න අපේ රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම වෙහෙසෙනවා. ඒ වගේම ඒ දෙවල් හැකි උපරිමයෙන් ලබා දෙනවා. එක දෙයක අඩුපාඩුවක් උනොත් ඒක ඉටු කරලා දෙන තුරු මවට/පියාට ඉවසිල්ලක් නැහැ. ඒ අතින් අපේ රටේ දරුවෝ හරිම වාසනවන්තයි. නමුත් අපේ දරුවෝ අවාසනාවන්ත වන එක් තැනක් තියෙනවා. ඒ දරුවන්ගේ හැඟීම්වලට නිසි තැන නොදීමත් ඔවුන්ගේ මානසිකත්වය හරිහැටි වටහා නොගැනීමත්ය‍. 

මව්පියන් තුළ ඇති ඒ අනවබෝධය නිසාම ඇතැම් අවස්ථාවල ඇතැම් දරුවන් මුහුණ දෙන අත්දැකීම් ගැන අසද්දී සිතට එන හැඟීම ඉතා දුක්ඛිතය. මන්ද මේ අත්දැකීම් දරුනවකුට දරා ගත හැකිද යන්න සිතෙන නිසාමය. කිසිසේත්ම දරුවෙකුට අත්දැකීමක් නොවිය යුතු ව්‍යසන අත්දැකීම් පිළිබඳව අපි දැනුවත් විය යුතු වන්නේ ඒ නිසයි. එහිදී සාකච්ඡාවට ලක් කළ හැකි අත්දැකීම් ගණනාවක් තිබුණත් මෙතැනදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ අතරිනුත් සුවිශේෂ වන කරුණු 10ක් සම්බන්ධව කතා කිරීමටයි. මේ අත්දැකීම් දහයෙන් තුනක් තිහෝ යම් දරුවෙකු ලබනවා නම් දරුවෙකුගේ පෞර්ෂයේ ගති ලක්ෂණ විකෘති විය හැක. 

1.වාචික අපයෝජනය

හිතන්න ඔබේ දරුවා රූපවාහිනය නරඹනවා. එවිට ඔබ පුතා ඕක නවත්තලා පාඩම් කරන්න.. දවසේම ටීවී බලලා බෑනේ යනුවෙන් දරුවාට බැන වදිනවා. 

එසේ අමිහිරි ලෙස දරුවාට ලැබුණු උපදෙස නිසා මොලේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වීමෙන් දරුවා කෝප ගැන්වෙනවා පමණක් නොව ආවේගය, කල කිරීම, එපා වීම වැනි හැඟීම් සමුදායක් දරුවෙකුගේ මනසේ ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හරහා දරුවෙකුගේ අභිමානයට, ගෞරවයට යම් හානියක් සිදු වෙනවා. අභිමානය, ගෞරව බිඳ දමා හොඳ මිනිසෙකු තැනිය නොහැකි බව ඔබ අසා ඇත. දරුවන්ටද එය එසේමය. නමුත් අදාල උපදෙස පණිවිඩය දරුවාට ලබාදෙන්නට පෙර එය මිහිරි හැඟීමක දවටන්න ඔබට හැකි නම් මොළයේ බලය, නිර්මාණශීලීත්වය, ධාරිතාවය ඉහළ යනවා. ඒ තුළින් දරුවෙකුට ස්වයං අවබෝධය වැඩි වෙනවා. තම වරද නිවුරදි කර ගැනීමට ඇති කැමැත්ත වැඩි වෙනවා. 

උදාහරණයක් විදියට බත් කා අවසන දරුවා පිඟාන සෝදන්නේ නැතිනම් කෑවා නම් පිගාන හෝදන්න මෙහේ වැඩට අය නෑ ‍කියනවාට වඩා මගේ පුතා අද මොකද මේ .. හැමදාම පිඟාන හෝදන ළමයට මොකද අද වුණේ.. අමතක වෙලාවත්ද? හෝදලා තියන්න මැණික ඔයාගේ පිඟාන  ලෙස කියා දරුවාගේ වෙනස ඔබ බලන්න. ඔබේ උපදෙස, තරහා තුළින් දරුවෙකු වාචිකව අපයෝජනය විය හැකි අවස්ථා මගහරවා ගන්න. 

2.කායික අපයෝජනය

නොගහා හදන ළමයා හැඳි නොගා හදන කිරි හොද්ද වගේ කියලා කතාවටත් කියනවා ඔබ අසා ඇති. අම්මෙක් තාත්තෙක් දරුවෙක්ට ගහන්නේ අනාදරයක් නිසා නම් නොවෙයි. හරියට හදා ගන්න. මේ ලෝකේ කිසිම අම්මෙක් තාත්තෙක් තරහෙන් දරුවන්ට ගහන්නේ නම් නැහැ. ඒත් දරුවෙකුට අතක් උස්සන්න කලින් අපි හිතන්න ඕනේ ඒ දරුවාගේ අභිමානයට ගෞරවයට සිදු වෙන හානිය ගැනත්. ගැහීම පමණක් නෙවෙයි, කන් මිරිකීම, ටොකු ඇනීම මේ දේවල් අයත් වෙන්නේ කායික අපයෝජන කොටසටයි.  දරුවෙකුට පහරක් ගැහුවම ඒ පීඩනය හේතුවෙන් මොළයේ රසායන ද්‍රව්‍ය වෙනසකට භාජනය වෙනවා. විශේෂයෙන්ම අධික ලෙස කොටිසෝල් ස්‍රාවය වෙනවා. මොලයේ නලල කොටසේ සියුම් ස්නායු මේ රසායනික වෙනස්කම් හේතුවෙන් හානියට ලක් වී ඒ පරිපත විනාශ වෙනවා. අතීතයේදී ඒ කියන්නේ අපේ කුඩා කාලයේදී අපි බොහෝ සෙයින් පරිසරය සමග ජීවත් වුණා. අපි ලබපු අත්දැකීම් එක්ක අපේ මොළයේ සවිමත් බව වැඩියි. දරා ගැනීමේ හැකියාව ඉහළයි. නමුත් අද දරුවන් බොහොම ‍කුඩා ලෝකයකට සීමා වී සිටින නිසාම ඔවුන් එතරම් සවිමත් නැහැ. අද අපි ළමයි හදන්නේ යාන්ත්‍රික විදියට. ළමයින්ගේ මොලේ සවිමත් නැති නිසා පහර දීම ඔවුන්ට දරා ගත නොහැකි දරුණු ක්‍රියාවක් බව විද්‍යාත්මකව පවා පිළිගන්නා කරුණක්. සිරකරුවන්ට පවා  පහර දීම සම්බන්ධව නීති රීති තියෙනවා. ඒ් විතරක් නෙවෙයි, නේපාලය වැනි රටවල දරුවන්ට පහර දීම තහනම් කළා. ඇත්තටම අපි මානව වාදී සමාජයකට ප්‍රගමනය විය යුතුයි‍.

පහර දීම හැර දරුවෙක්ගේ වැරදි ක්‍රියාවන් නතර කරන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. දරුවෙක් නරක වැඩක් කරද්දි අම්මාට පුළුවන්  අවධානය යොමු නොකර ඉන්න, මෙතෙක් දුන් දේවල් කපා හරින්න, වැරදි කරොත් ටීවී බලන වේලාව අඩු කරන්න වගේ පුංචි උපක්‍රම මගින් දරුවෙක් පහසුවෙන්ම පාලනය කරන්න අපිට පුළුවන්. බටහිර රටවල පාසැලේ දඟ කළ දරුවන්ට දඩුවම ලෙස ඔවුන් ලබා දෙන්නේ ප්‍රින්සිපල් ගේ කාමරය ආසන්නයේ ඇති පුස්තකාලයේ පොත් කියවන්න යොමු කිරීම වැනි දේයි. 

3.පවුල තුළ අර්බුද

දරුවෙක්ට සතුට ප්‍රබෝධය ආස්වාදය ඇති එකම නැත තමන්ගේ නිවස. පවුල. දරුවන්ට වටිනම දේ වෙන්නේ අම්මා තාත්තාගේ සුහද බව, ආදරය, සතුට. එවන් පරිසරයක දරුවන් ඉතා සතුටෙන් කාලය ගත කරනවා.

අඩදබර කරගනිමින් එකිනෙකා විවේචනය කරගනිමින් එකිනෙකාට පහත් ලෙස ආමන්ත්‍රණය කරගනිමින් ගහ ගනිමින් කොන්ඩ වලින් ඇද ගනිමින් රණ්ඩු මැද ගෙවෙන පවුල් ජීවිතයක් තුළ ජීවත් වෙන දරුවෝ පත්වෙන්නේ ඉතා අසරණ තත්තවයකටයි. නිවසේ පවතින මේ කලහකාරී වටපිටාව දරුවන්ගේ මොළය සංවර්ධනයට ඉතා ප්‍රභල ලෙස බලපානවා. අම්මා තාත්තා සුහදව විනෝදයෙන් සතුටින් කාලය ගත කරන නිවසක දරුවන්ගේ මනස ඉතා නිරවුල්. ඔවුන් ජීවිතය දකින්නේ සතුට පිරුණු ලොවක් තුළින්. ඒ වටපිටාව තම දරුවන්ට ලබාදීමේ වගකීම මව්පියන් සතුයි. 

4.මවට පහර දීම

සාමාන්‍යයෙන් තමන්ගේ මවට යම් පීඩාවක් ඇති වෙන එක දරුවෙකුට දරාගන්න අපහසුම කරුණක්. දරුවෙක් මව වටා තමන්ගේ ජීවිතය දකිනවා. ඔවුන් තම මවට දුකක් කරදරයක් වනු දැකීමට අපහසු පිරිසක්. අන්න ඒ නිසාම නිවසේ මව සැමවිටම සතුටින් සිටීම ලස්සන ළමා මනසකට බොහොම වැදගත් කරුණක්. ඒ වගකීම පියා සතු වෙනවා. මව සතුටින් තැබීමමේ වගකීම පියා විසින් ඉටු කරද්දී සතුටින් සිටින දරුවන් වෙනුවෙන් පියාගේ යුතුකම ඉබේම ඉටු වෙනවා. 

5.දික්කසාදය

පවු‍ලේ සුරක්ෂිත බව කැඩී බිඳී වෙන්වෙද්දී ඒ වෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනෙන මනෝවිද්‍යාත්මක ක්‍රියිවලියක් පවතිනවා. එතැනදී තියෙනවා. එතැනද සතුටින් සිටීම, ප්‍රතිරූපය කඩා වැටීම, ගැටුම් ඇති වීම, වරද අවබෝධ වීම, ගැටුම උග්‍ර වීමට වටපිටාවෙන් ලැබෙන කරුණු සහ වෙන්වීඹ කියන අවධි හතක් සමග දික්කසාදය බැඳී පවතිනවා. දෙන්නා වෙන්වීමත් සමග දරුවන්ගේ අයිතිය පිළිබඳ ගැටලු ඇති වෙනවා. දරුවා බෙදාගන්න බැරිව ගැටුම් ඇති වෙනවා. ඇතැම් අවස්ථාවල අම්මා/තාත්තා ඒ දෙදෙනාගෙන් පලිගැනීමට දරුවා යොදාගන්නවා. මේ හේතු මත දරුවෙක් විශාල ලෙස පීඩාවට පත්වෙනවා. 

පවුලේ යම් ගැටුමක් පවතිනවා නම් ඒවා සාකච්ඡා කොට ඒත් නොහැකි නම් උපදේශන සේවාවකට යොමු වී හෝ විසඳා ගත යුතුයි. උපදේශන සේවාවලදී කිසි ලෙසකින්වත් යුවළක් වෙන් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. හැමවිටම උත්සාහ දරන්නේ ගැටුම් නිරකරණය කර දී එක් කිරීමටයි. මව්පියන්ගේ වෙන්වීම දරුවන්ට දරාගත නොහැකි අසරණ තත්ත්වයක්. ඒ නිසා තමන්ගේ ආගම දහමට අනුව හෝ සිතා බලා ඒ ගැටුම් නිරාකරණය කරගනිමින් සතුටින් සිටීම දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ යුතුකමක්. 

6.දරුවන් නොසලකා හැරීම

මේ හේතුවෙන් දරුවන්ගේ මොළයේ බොහෝ වෙනස්කම් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ළමා නිවාස වල ජීවත්වන දරුවන්ගේ මොළයේ පරිමාව අවම මට්ටමක පවතින බවත් ඊට හේතුව දරුවාගේ මොළයට ලැබෙන උත්තේජනය අඩු වීමත්ය. සාමාන්‍යයෙන් මව්පියන් ළඟ හැදෙන දරුවන්ට එවන් තත්ත්වයක් නැහැ. අපේ රටේ මව්පියන් සාමාන්‍යයෙන් ඔවුන් දරුවාගේ අවශ්‍යතා අකුරටම ඉටු කරනවා. උපරිම ආරක්ෂාව දාරුවාට ලබා දෙනවා. ලෙඩකදී ඕනෑවටත් වඩා බලාගන්නවා. නමුත් මව්පියන් අතින් සිදු වෙන එක අඩුපාඩුවක් තියෙනවා. කායිකව දරුවා වෙනුවෙන් හැම යිතුකමක ඉටු කළත් බොහෝ අවස්ථාවලදී මව්පියන් දරුවාගේ චිත්තවේගික පීඩාවන් ගැන තැකීමක් නැහැ. මනෝවිද්‍යාඥයින් පවසන්නේ දරුවෙකුට කියන්න කෙනෙක් සිටියදීත් කියාගන්න ඕනේ දේ කියා ගන්න බැරිව ඒ තැනැත්තා එක්කම ජීවත් වීමට සිදුවීම තරම් දුකක් නොමැති බවයි. අන්න ඒ නිසාම දරුවාගේ චිත්තවේග වටහා ගනිමින් දරුවාට කතා කරන්නට අවස්ථාව දෙමින් දරුවාට ඇහුම් කන් දෙමින් සහය විය යුතුමයි. පාසැල්වල මේ තත්ත්වය ඉතාම ඛේදනීයයි. දරුවන් වටහා ගැනීම අවමයි. වැඩිහිටියන් ලෙස අප වටහා ගත යුත් වන්නේ ධනාත්මක චිත්තවේග මොළයේ සටහන් වෙනවා වගේම ධනාත්මක චිත්තවේග ඇති දරුවන්ගේ මොළය ඉතා සුන්දරව වර්ධනය වන බවත්ය. 

7.ලිංගික අපයෝජනය

මෙය ඉතාම නරක, ඉතාම දුර්දාන්ත ක්‍රියාවලියකි. දරුවන් අතපත ගෑම, සිප වැළඳ ගැනීම (දරුවන් තුළ ලිංගික උත්තේජනයක් ඇති කරන විදිහේ) කිසිසේත්ම ඉඩ නොදිය යුතු තත්ත්වයකි. මෙතැනදී පවුල් ව්‍යූහය ඉතාම වැදගත්‍. කැඩී බිඳුණු, ගැටුම් ඇති, මත් පැන් සුරා සූදුවට යොමුවුණු වැඩිහිටියන් සිටින පවුල්වල දරුවන් අපයෝජනය වීමට ඇති සම්භාවිතාව වැඩියි. මොකද දරුවන්ගේ ආරක්ෂාව ළ පවතින නිසා. දරුවන් රැක ගැනීමේ වගකිම මව්පිය වැඩිහිටියන්ට මග හැරිය නොහැකි වගකීමක්. 

8.මත්දියර භාවිතය

විශාල කලහකාරී ලෙස හැසිරෙන ඇඳුම් නැතුව මත්පැන පානය කොට පාරේ වැටිලා ඉන්න තාත්තෙක් ගෙදර ඉන්නවා නම් දරුවෙක්ගේ ගෞරවයට ආරක්ෂාවට ඒක විශාල බාධාවක්. එසේත් නැතිනම් මත්දියර භාවිත කොට වෙනදාටත් වඩා දරුවන්ට ආදරෙන් කතා බහ කරන හුරතල් කරන පියෙක් නම් එයත් දරුවෙකුට හානියක්.

9.මානසික රෝග ඇතත් ප්‍රතිකාර නොගැනීම

සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා වූ මානසික රෝග තුන්සිය ගණනක් පමණ තිබෙනවා. සැකය මේ අතරින් ගොඩක් පවුල් තුළ ගැටුම් ඇති කරන මානසික තත්ත්වයක්. සැකය කියන්නේ එක්තරා ආකාරයක මානසික රෝගයක්. අපි සාමාන්‍යයෙන් මානසික ආබාධ කියන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් මිදී අමුතු හැසිරීමක් පෙන්නුම් කිරීමේදීයි. ඒ පිටතට පෙනෙන මානසික රෝග තත්ත්ව. නමුත් පිටතින් හඳුනා ගත නොහැකි මානසික රෝග තත්ත්ව බොහොමයක් තිබෙනවා. මිනිස්සුත් එක්ක ගණුදෙනු කරද්දී, තීරණ ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. කායික රෝගයකට පුතිකාර වෙත යොමු වුවත් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්න මිනිස්සු කැමති නැහැ. නමුත් තමන්ගේ සිතුම් පැතුම් හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙද්දී එය පවුලට දරුවන්ට අනිසි ලෙස බලපානවා. දරුවන්ගේ මොළය සංවර්ධනයට ඒ මවගේ හෝ පියාගේ හැසිරීම බොහෝ සෙයින් බලපෑම් කරනවා. 

10.බන්ධනාගාර ගත වූ අයෙන් නිවසේ සාමාජිකයෙකු වීම

ධනාත්මක උත්තේජයක් ඇතිව හැදුණු දරුවෙක්ගේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුවත් මෙවැනි ව්‍යසන තත්ත්වයකදී  ඒවාගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සුදු නොවෙන බව මනෝ විද්‍යාඥයින් පවසනවා. එය දරුවාගේ වර්ධනයට බොහෝ සෙයින් බලපෑම් කරන තත්ත්වයකි. 

කෙසේ වුවත් ඔබේ දරුවා මේ කරුණු වලින් ආරක්ෂා කර නොගතහොත් දරුවාට විකෘති මොළයක් හිමි වන අතරම එවැනි විකෘති මොළයක් සහිත දරුවෙක් සමාජයට ව්‍යසනයක් වන බවත් කිසිසේත්ම අමතක නොකළ යුතුය.. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

දරුවාගේ වර්ධනයේ ගැටලුවක් ඇති විට ප්‍රතිකාර ආරම්භ කිරීමට සුදුසුම වයස කුමක්ද?

දරුවෙකුගේ වර්ධනයේ යම් ගැටලුවක් ඇති බව හදුනා ගන්නා මුල් කාලයේම ප්‍රතිකාර ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි. එම ප්‍රතිකාර ආරම්භ කරන කාලය මත අපිට හිමිවන ප්‍රතිඵල වෙනස් විය හැකියි. විද්‍යාත්මක සමීක්ෂණ හරහා පෙන්වා දී ඇති ආකාරයට දරුවෙකුගේ පළමු අවුරුදු පහ ඉතාමත්ම ගැටලුකාරී අවධියක් ලෙස දැක්විය හැකියි. මොකද පුංචි දරුවෙක් තම ලෝකයත් සමග ගනුදෙනු අරභන්නේත් අත්දැකීම් ඔස්සේ අලුත් අලුත් කුසලතා ඉගෙන ගන්නේත් එම කුසලතා අත්හදා බලන්නේත් මේ වයස් සීමාව තුළයි. මෙතැනදී දරුවාගේ වර්ධනයේ යම් යම් අඩුපාඩු තිබෙද යන්න පිළිබඳව හඳුනාගැනීම වෙනුවෙන් මවට/පියාට විශාල වගකීමක් පැවරෙනවා.

උදාහරණ ලෙස දරුවාගේ ප්‍රතිචාර දැක්වීමේ අඩුවක් ඔබ දකිනවා නම් මේ තත්ත්වය දරුවා තව ටිකක් ලොකු වුණාම මගහැරෙයි වැනි හේතු මත වෘත්තීමය සුදුසුකම් ඇති පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ප්‍රමාද නොකල යුතුය. 

එසේම ඇතැම් විට අපේ වැඩිහිටියන් පිරිමි ළමයි කතා කරන්න පරක්කු වෙනවා ගෑනු ළමයි ඉක්මනට කතා කරනවා වැනි අදහස් සේම අපල නිසා දරුවෝ කතා කරන්නේ නෑ, කොන්ඩෙ කැපුව නිසා දරුවා කතා කරන්නේ නැහැ වැනි විවිධ මතිමතාන්තරවල එල්ඹ සිටිනවා විය හැකියි. නමුත් මේ කිසිවක් විද්‍යාත්මකව සනාථ වූ ඒවා නොවේ. මෙවන් කරුණු මත දරුවාගේ වර්ධනයේ අඩු පාඩු දකිමින් නිසි උපදෙස් කරා යොමු නොවීම අනුවණකමකි. එය අපි, අපේ දරුවන්ගේ වර්ධනය වෙනුවෙන් සිදු කරන ලොකු අසාධාරණයක්. යම් හෙයකින් ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබ විසින් හඳුනා ගන්‍නා දරුවාගේ කතාවේ, භාෂාවේ හෝ සන්නිවේදනයේ වර්ධනය අඩුවක් ඇත්නම් ඒ ගැන සිතමින් කාලය ගත කරනවාට වඩා සායනයකට යොමු වී දරුවා පරීක්ෂා කරගැනීම ඉතා වැදගත් වේ. එහිදී දරුවා පිළිබඳව පරීක්ෂා කොට තක්සේරුවක් ලබා දෙන අතරම එමගින් දරුවාගේ අඩුපාඩුවක් නැති නම් ගැටලුවක් ඇති නොවේ. නමුත් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඔබව ඉන් ඉදිරියට අවශ්‍ය උපදෙස් වෙත යොමු වෙනු ඇත. 

දරුවෙකුගේ වර්ධනයේ යම් අඩුපාඩුවක් ඇත්නම් එය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එසේ කල්තියා හඳුනා අවශ්‍ය උපදෙස් වෙත යොමු වීම වැදගත් වීමට ප්‍රධාන කරුණු රැසක් තිබේ. 

ජීවිතයේ මුල් අවුරුදු 3 ඇතුළත දරුවාගේ මොළයේ සෛල වර්ධනය ඉතාමත්ම සීග්‍රව සිදු වේ. මේ කාලය තුළ සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙක් විවිධ විවිධ කුසලතා අත්හදා බලයි. මේ අවස්ථාව වන විට දරුවාගේ යම් අඩුපාඩුවක්, වර්ධනයේ අඩාල වීමක් කල් තියා හඳුනා ගෙන තිබේ නම් දරුවා සිදුකරන ක්‍රියාකරකම් සමග වර්ධනයේ අඩුපාඩු ඇති කොටස්වලටත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් ලබා දීම කළ හැකියි. එසේ වර්ධන ඌනතාවයක් ඇති කොටස් සඳහාත් ක්‍රියාත්මක වීමට සැලැස් වූ විට දරුවාගේ බර ද වයසට සාපේක්ෂව දරුවාගේ කුසලතා වර්ධනය ද සිදු වෙනවා සේම ඊට සමාන්තරව දරුවාගේ ප්‍රමාද වන කුසලතා සංවර්ධනය කරගැනීමටත් සහය විය හැකියි. දරුවෙක්ගේ ජීවිතයේ මුල් අවුරුදු පහ තුළ මෙසේ අවධානය යොමු කිරීම මගින් පසුකාලීනව මුහුණ දීමට සිදු විය හැකි බොහෝමයක් අභියෝගකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට දරුවාට අවස්ථාව උදා වේ. 

දරුවන් සම්බන්ධව මව්පියන්ගේ තවත් පැමිණිල්ලක් වන්නේ පාසැලට ගිය පසු අධ්‍යාපන කටයුතු කෙරේ හරි අවධානයක් යොමු නොකිරීම, පාඩම් අමතක වීම, අකුරු නිවැරදිව පිළිවෙළට නොලිවීම යන කරුණුයි. මෙවැනි ගැටලු ඇති වෙන්නේ කුඩා වියේදී දරුවාගේ වර්ධනයේ ඌනතා දැක්කත් නිවැරදිව ඒ තත්ත්වයන් හඳුනා නොගැනීම සහ අවශ්‍ය  විශේෂඥ උපදෙස් ලබා නොගත් නිසයි. දරුවාගේ පාසල් අධ්‍යාපන කාලයේදී දරුවා ඉගෙනීමේ ගැටලු පෙන්නුම් කරනවා නම් වඩා හොඳ දරුවා පෙන්නුම් කරන යම් යම් අපහසුතා සඳහා වූ සාර්ථක චිකිත්සක ප්‍රතිකාර ක්‍රම කුඩා වයසේදීම ආරම්භ කිරීම කළ යුතුය‍. 

සමහර අම්මල තාත්තලගේ අදහස දෙමාපියන් කුඩා වියේ කතාව ප්‍රමාද වූවා නම් දරුවාද ප්‍රමාද වන බවයි. දරුවාගේ කතනය ප්‍රමාද වුවත්, අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ඔවුන් යොමු නොවන්නේ ඒ නිසයි. නමුත් සිහිතබා ගත යුතු වැදගත්ම දේ වන්නේ මව්පියන්ගේ කුඩා වියේ කථන ප්‍රමාදය දරුවාගේ කථන ප්‍රමාදයට හේතු විය නොහැකි බවයි. ඔබේ දරුවාගේ කථන කුසලතාවන් දරුවාගේ වයසේ අනෙක් දරුවන් ට සාපේක්ෂව අඩු නම් ඒ සඳහා කල්තියා හඳුනාගැනීම ඉතා වැදගත් බව සිහි තබා ගන්න.

ඔබේ දරුවා,

  • වයස අවුරුද්දක් වෙද්දිත් (අඩුම තරමේ එක වචනයක්වත්) කතා කරන්නෙ නැත්නම් 
  • වයස අවුරුදු එකහමාරක් වන විටත් වචන මාලව වර්ධනය නොවේ නම්
  • වයස අවුරුදු දෙක වෙද්දී අඩුම තරමේ වචන දෙකක වාක්‍ය කතා නොකරයි නම්
  • වයස අවුරුදු තුනක් වෙද්දී අඩුම වචන තුනක් එකතු කර වාක්‍ය සාදන්නේ නැත්නම්
  • වයස අවුරුදු හතරක් වෙද්දි වචන හතරකට වඩා වැඩි වාක්‍ය (කතන්දර කීම, අදහස් දැක්වීම වැනි) කතා නොකරයි නම් 
  • වයස අවුරුදු පහ වෙද්දී යම් සිද්ධියක් (පාසලේ/පෙර පාසලේ සිදු වන දේ) විස්තර කළ නොහැකි නම් 

 දරුවාගේ කතාවේ, භාෂාවේ වර්ධන ගැටලුවක් ඇති බව පැහැදිලියි. එවැනි අවස්ථාවක තව තවත් කාලය ගත නොකොට පූර්ව මැදිහත්වීමේ වැඩසටහනකට (Early Intervention Program) යොමු වීම ඉතා වැදගත් වේ. 

සාමාන්‍යයෙන් දරුවෙකුගේ වර්ධනය දෙස විමසිලිමත්ව බැලුවහොත් අපට ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ එම වර්ධනය සිදුවන බව අඳුනා ගත හැකියි. 

  • භෞතික සංවර්ධනය
  • සමාජ සංවර්ධනය
  • ප්‍රජා සංවර්ධනය‍
  • සන්නිවේදන සංවර්ධනය

ඇතැම් මව්පියන් ‍ඉහත කොටස් හතර තුළ යම් කොටසක අඩුවක් දුටුවහොත් අනිත් කොටස්වල අඩුපාඩුවක් නොමැති නිසා සැලකිලිමත් විය යුතු නැති බව සිතියි. ඇතැම් දෙමාපියන් කුඩා වියේදීම දරුවාගේ ගැටලුවක් දුටුවත් දරුවා දුව පැන සෙල්ලම් කරමින් සමාජය හා ගැටෙමින් යහළුවන් හා එක්වෙමින් සාමාන්‍ය පරිදි සිටි නිසා වැඩි අවදානයක් යොමු නොකරයි. නමුත් දරුවාගේ යම් අඩුපාඩුවක් දුටු විගස පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා ගැනී වෙත යොමු වීම ඉතා වදගත් වේ. 

පූර්ව මැදිහත්වීමේ වැඩසටහනකට (Early Intervention Program) සම්බන්ධ වීම මගින් දරුවා ඒ අවස්ථාවේදි සංවර්ධනය කරන කාරණාවටත් වඩා දරුවන්ට අනාගතයේ දී ඇති විය හැකි ප්‍රශ්න වලට ඉතාමත් සාර්ථක විසඳුම් ලබා දිය හැකියි. මෙවැනි වැඩසටහනකට දරුවෙක් නිවැරදිව සම්බන්ධ වී නැත්නම් ඒ හේතුවෙන් ඇති විය හැකි පෞරුෂත්ව ගැටලු, සබඳතා අතර ගැටලු, ඉගෙනුම් ගැටලු, සමාජ ජීවිතය පවත්වා ගැනීමට නොහැකි විය හැකියි. මව්පියන් ලෙස අප බලාපොරොත්තු වන්නේ අපේ දරුවන්ගේ සතුටයි. මගේ දරුවාට මෙහෙම ප්‍රශ්නයක් නෑ .. මගේ දරුවාට කිසිම ආබාදයක් නෑ… යන මතයේ සිටීම මව්පියන් වන ඔබේ අදහස නොවිය යුතු අතර කෙසේ හෝ හරි දරුවාට උදව් කළ යුතු බව සිතට ගත යුතුය. දරුවාට යම් ආබාධයක් ඇති බව පිළිගැනීමට මව්පියන් අකමැති වීම පුදුමයක් නොවේ. නමුත් දරුවාගේ ගැටලුවක් ඇති බව ඔබ දුටුවහොත් ඒ කෙරේ අවධානය යොමු කර අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කිරීම මිස එය කල් දැමීම කිසිසේතම නොකළ යුතුය. 

මෑතකදී මගේ සායනයට වයස අවුරුදු හයක දැරියක් පැමිණි අතර ඇය ගැන පාසැලෙන් පැමිණිලි කොට තිබුණේ  ඇයව පන්ති කාමරය තුළ රඳවා ගැනිම අපහසු බවයි. මා වෙත පැමිණි මේ දරුවාගේ තත්ත්වය මා වටහා ගත් අතරම එය මව්පියන් නිරීක්ෂණය කර නැතිද යන්න විමසූ විට දැරියගේ මව කියා සිටියේ ඇයට වෙනසක් දැනුනු බවත් දරුවාගේ පියා හෝ නිවසේ වෙනත් අයෙක් හෝ එය විශ්වාස නොකළ බවත්ය. එසේම එය ඇය විසින් සිතින් මවා ගත්තක් මිස දරුවාට කිසිදු ගැටලුවක් නොමැති බව ඔවුන් පවසා තිබුණි. නිවැසියන්ගේ මතය වී තිබුණේ දරුවාගේ පියා කතා කරන්නට ප්‍රමාද වූ නිසා දරුවාගේ තත්ත්වය ද එයම බවත් එය ඉදිරියේදී නිවැරදි වන බවත්ය.  දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් ගැටලුවක් ඇති වුවහොත් එහි සැක හැර ගැනීමට හෝ වෛද්‍ය උපදෙස් පැතීම ඇතැම් විට අපේ වැරදි වැටහීම් ඉවත් කරගෙන නිවැරදි මගට අවතීර්ණ වීමට හේතුවක් විය හැකිය. එසේ නොවීම මත අද වන විට ඒ දැරියට පන්ති කාමරය තුළ ඉගෙනීමට ඇති අවස්ථාව ද ගැටලුකාරී තත්ත්වයකට පත් කොට ගෙන ඇත. මෙවැනි සිදුවීම්වලින් අසරණ වන්නේ මව/පියා හෝ නිවසේ වෙනත් අය නොවේ. ඔබේ ආදරණීය දරුවායි. 

ඔබේ දරුවාගේ ගැටලුවක් ඔබ දකිනවා නම් හෝ කිසිවෙකු පවසනවා නම් එය සුදුසුකම් ලත් විශේෂඥයෙකු සමගින් සකච්ඡා කරන්න. ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබාගන්න. දරුවාගේ වර්ධනයේ යම් ගැටලුවක් පවතී නම් චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු වෙන්න. ඒ හරහා දරුවාගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබට ලොකු අත්වැලක් සපයන්නට හැකි වෙනවා පමණක් නොව දරුවා දියුණුවට පත් කිරීමටත් විශාල සහයෝගයක් වනු ඇත. 

යම් හෙයකින් ඔබේ හෝ ඔබ ආශ්‍රය කරන ඔබේ වටපිටාවේ යම් දරුවෙක් කතාව, භාෂාව සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයකින් පසුවනවා නම් නොපැකිලිව ඒ පිළිබඳව දරුවාගේ වැඩිහිටියන් දැනුවත් කරන්න. එමගින් දරුවා ළඟම පිහිටි රෝහල වෙත ගෙන ගොස් තක්සේරුකරණයකට ලක් කොට ඇති දුර්වලතාවය හඳුනා අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර ආරම්භ කරනු ඇත. එය ඕනෑම දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් වැඩිහිටි අපගේ යුතුකමක් බව අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)

කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,

 

 

ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7


                

සතිමත් බව (Mindfulness) ගැන ඔබ දන්නවාද?

කැළඹිලා එහෙම නැත්තම් විසිරිලා එහෙමත් නැත්තං අරමුණක් නැතුව පාවෙන ජීවිතයකට ඇති හොඳම ඔසුව සතිමත් බවයි. සතිමත් බව ඉංග්‍රීසි භාෂාවෙන් mindfulness ලෙස හඳුන්වනවා. මේ සතිමත් බව දුර්ලභ මාතෘකාවක් හෝ ඔබ අසා නොමැති දෙයකුත් නොවුණත් එහි අරුත නිවැරදිවම දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මන්ද සතිමත් බව ප්‍රායෝගිකව අපේ ජීවිතයට ළඟා කරගැනීමට අපට හැකියාව ලැබෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව අවබෝධයක් අපි තුළ තිබුණොත් පමණයි. 

මෙහි ප්‍රායෝගික සත්‍යයක් හෝ වටිනාකමක් නැති බවක් යමෙකුට දැනුනත් සතිමත් බව කියන්නේ සාර්ථක ජීවිතයකට ඉතාම වටින සංකල්පයක්. ඒ වගේම ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි තරමේ ප්‍රබල දෙයක්. ගැටලුව වී ඇත්තේ මේ දෙය ගැන අපි නිවැරදිව දැනුවත් වී ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති වීමයි. එතැනදී අපි මේ පිළිබඳව න්‍යායාත්මක කරුණ පිළිබඳවද දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

සතිය කියන්නේ පාලි වචනයක්. සතිය යනු මේ ගෙවෙන මොහොතේ එනම් වර්තමාන අවස්ථාවේ සිත පවත්වා ගැනීමයි. සතිමත් බව පිළිබඳව හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සිදු කළ පර්යේෂණයක මනුෂ්‍ය ජීවිතයේ ආයු කාලයෙන් 47% අසිහියෙන් එහෙමත් නැත්තං අසතියෙන් අපි ගත ‍කරන බව කියවෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු අසූවක් ජීවත් වුනොත් අවුරුදු හතළිහකට ආසන්න ප්‍රමාණයක් අසිහියෙන් ජීවත් ජීවත් වෙනවා. 

සතිය සරල ලෙස විග්‍රහ කළ හැකි වුණත් එය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම එතරම්ම සරල කාරණයක් නොවේ. වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම සතිය ලෙස විග්‍රහ කළත් එතැනින් ඉදිරියට ගොස් පරිපූර්ණ අර්ථයෙන් සතිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ තුළ සම්පූර්ණ විය යුතු ඉතා වැදගත් කරුණු හතරක් තිබෙනවා. 

වර්තමානයේ ජීවත් වෙමින් අපි කරන දෙයට සිතාමතා අවධානය යොමු කිරීමෙන් ලබන විනිශ්චයකින් තොර දැනුවත් වීම සතිමත් බවයි. 

විනිශ්චයකින් තොරව සැබෑවටම යමක් වෙත අවධානය යොමු කිරීමයි. ඔබ යමක් විනිශ්චය කිරීමට යොමු වුවහොත් අනිවාර්යෙන්ම ඔබ මේ පවතින මොහොත එනම් වර්තමාන මොහොතෙන් ඉවත් වෙනවා. සතිමත් බව වඩන කෙනෙක් විනිශ්චයකට යොමු වෙන්නේ නැහැ. බොහොම අවස්ථාවලදී අපි අන්‍යයන්ගේ විනිශ්චයන් තුළින් තමාගේ සතුට, මානසික තෘප්තිය විනාශ කරගන්නවා. 

සතිය එහෙම නැත්නම් සතිමත් බව ගැන කතා කරද්දී වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම සරල කාරණයක් ලෙස හැඟුණත් ඇත්ත වශයෙන්ම අපි අපේ සිතුවිලි සමග එක්කෝ අපේ අතීතයට හෝ ඉදිරි අනාගතයට සිත ගමන් කරවනවා. අපිට ආතතිය, සාංකාව වැනි තත්ත්වවලට මුහුණ දීමට සිදුවන්නේ මෙන්න මේ තත්ත්වය නිසායි. ඒ තත්ත්ව දෙකේදීම සිදුවන්නේත් අපේ මේ වර්තමාන මොහොතේ සතුට විනාශ වීමයි. 

සාමාන්‍යයෙන් මනුෂ්‍ය ස්වභාවය වන්නේ සෘණාත්මක අදහස් වල එහෙම නැත්තං අතීතයේ දී විඳි දුක්ඛ දෝමනස්ස කටුක අත්දැකීමක් නැවත නැවත මතක් කිරීමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි කටුගාලක පැටලිලා එයින් ලැබුණු තුවාලය සුව වෙන්න නොදි නැවත නැවත කටුවකින් පාර ගන්නවා හා සමාන දෙයක් තමයි අතීතය සමග සිත පැටලීම නිසා මානසිකව නිදහසක් ලැබීමට නොහැකි වීම. එයින් ඇති වන වේදනාවෙන් කිසිදු අවස්ථාවක ගැලවිය නොහැකියි. ඒ වගේම වර්තමාන මොහොතේ සිට අපි ඉදිරි අනාගතය ගැන සිතමින් එහිදී සිත් පෑරීම් කටුක අත්දැකීම් ඇතිවේද යන බියෙන් කාලය ගතකරනවා. එය කිසිසේත්ම සුදුසු නැහැ. අතීතයේ සිදු වූ කටක අත්දැකීම අනාගතයේ සිදු වේය යන ස්ථිර සිතුවිල්ලක සිටීම වැරදියි. අන්න ඒ සිතිවිලි ඔස්සේ අපි අපේ වර්තමානයත් අහිමි කරගන්නවා. 

සතිය, සතිමත් බව කියන සංකල්පයෙන් අපේ ජීවිතයට ගත හැකි ප්‍රධානතම ප්‍රායෝගික සත්‍යය සහ ප්‍රධානතම ආකල්පය වන්නේ වර්තමාන මොහොතේ සතුට භුක්ති විඳීමට පහුගිය අතීතයත් එළඹෙන අනාගතයත් අත්හැරීමයි. 

සතිමත් බවේ ඉතිහාසය

සතිමත් බව අසල්වැසි ඉන්දියාවෙන් ඇරඹූවක්. සතිමත් බවෙහි ආරම්භය හින්දු ආගම හා බැඳී ඇත. අවුරුදු දහස් ගණනක් ඈත අතීතයේ සිට පැමිණි  ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සංකල්පයක් ලෙස සතිමත් බව හැඳින්විය හැකියි. මේ සංකල්පය භගවත් ගීතාවේ සඳහන් වේ. හින්දු ආගම තුළ භගවත්ගීතාව වගේම යෝග වැනි ක්‍රියාකාරකම් තුළ වර්තමාන මොහොතේ සිහිය මනාකොට පවත්වා ගැනීම යන සංකල්පය වෙනුවෙන් මූලික ක්‍රියාකාරකම් ඇති අතරම උදාහරණයක් ලෙස භාවනාව දැක්විය හැකියි. එහිදී අපි භාවනාවෙන් ඉවත් වී ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකමක යෙදෙනවා උනත් වර්තමාන මොහොතේදී හුස්ම ඉහලට පහල දැමීමේ ශරීරික ක්‍රියාවලියේ සිත රඳවා සිටිනවා.

මෙම සතිමත් බව ඉතා ප්‍රබල ලෙස බුදු දහම තුළ සාකච්ඡා වන අතරම ඒ බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ බුද්ධත්වයට පත්වීමට මේ සතිමත් බව කියන සංකල්පය විශාල වශයෙන් උපකාර කොටගත් නිසයි. බුද්ධත්වය යනු මනුෂ්‍ය සිතක ඉහළම අවධියයි. වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම තුළින් උසස්  ස්ථානයකට පිවිසෙන්නට සිත දියුණු කළ හැකියි යන සිතුවිල්ලෙන්ම බාධාවන් බාධාවක් කර නොගනිමින් ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න වටහා ගත හැකියි. බුද්ධාගම, හින්දු ආගම පමණක් නොව අනෙකුත් සෑම ආගමකත් සිත වර්තමාන මොහොතේ පවත්වා ගැනීමට, සිතාමතාව සිත එක අරමුණක පවත්වා ගැනීමට ගීතිකා, පූජනීය වස්තු, පිළිම වන්දනා වැනි ක්‍රියාකාරකම් දැකිය හැකියි. එසේ සෑම ආගමකින්ම පුද්ගලයාගේ සිත එකග කොටගෙන වර්තමානයේ පිහිටවා ගැනීම යන සංකල්පයට ඉඩ වෙන්වන්නේ මනුෂ්‍ය සිතට බාධාවක් ඇති වුවහොත් මනුෂ්‍යයා කැළඹීමට පත් වන නිසයි.  

සතිමත් බව ලොව පුරා ව්‍යාප්ත වෙන්නේ පෙරදිගින් අපරදිගට ගමන් කිරීමෙන් පසුවයි. සතිමත් බව අපරදිගට ගමන් කරන්නේ විද්‍යාත්මක පදනමක් සමගයි. ඕනම ආගමකම විද්‍යාත්මක පදනමක් (දර්ශනය) සහ සහ සාහිත්‍යයක් ඇති අතර ආගමක සාහිත්‍යය කොටස හේතුවෙන් මිනිස්සුන් අතර බෙදීම් ඇති විය හැකියි. නමුත් ආගමක දර්ශනය පදනම් කරගත් පුද්ගලයා සෑම ආගමකම දර්ශනය එක සමාන බව වටහා ගන්නවා. 

හින්දු ධර්මයෙන් ඇරඹී බුද්ධ ධර්මයට පැමිණි සහ වෙනත් ආගම් වල ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක සතිමත් බව කියන සංකල්පයේ ඇති ඒ දර්ශනයේ ඇති විද්‍යාත්මක බව අවබෝධ කරගත්ත ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙකු වන ජෝන් කබාඩ් සිං, සතිය යන සංකල්පයේ විද්‍යාත්මක පදනම ලෝකයට රැගෙන යන්න විශාල මෙහෙවරක් ඉටු කළා. එතුමා තම විශ්ව විද්‍යාලයේ Mind Full Based Stress Reduction Clinic (සතිමත් බව පදනම් කරගත් ක්‍රියාකාරකම් මගින් මානසික ආතතිය වැළැක්වීම පිළිබඳ සායනය) ලෙස සායනයක් පවා ආරම්භ කළ අතරම  එතුමා සිදු කළ පර්යේෂණ මගින් කායිකව මානසිකව සහ සමාජයීය වශයෙන් එදා ඉන්දියාවේ උපත ලද මේ සතිමත්බව විද්‍යාත්මකව ගත් කළද පුද්ගලයකුගේ ජීවිතය වෙනස් කීරීමට, ජීවිතයේ සුබ ඵල ගෙන දීමට කොයිතරම් සහය වෙනවාද යන්න පෙන්වා දෙනවා. 

සතිමත් බව යන සංකල්පය විද්‍යාවට අවතීර්ණ වන්නේ ආගම තුළින් වුවත් එය ලෝකය පුරා ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මක පදනම තුළිනුයි.  විද්‍යාව යනු තර්කයකින් තොරව පිළිගත හැකි දෙයක් වුවත් ආගම  නම් වූ සංකල්පය තුළින් අපි අපිට අදාල නොවන දේ මෙන්ම පුද්ගලයන්ද ඉවත් කරනු ඇති. ඒ නිසා මෙවැනි වටිනා යහපත් ප්‍රායෝගික සංකල්පයක් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ.

මුහුදේ හුළං හමන එක වෙනස් කරන්න අපිට බෑ….. නමුත් රුවල් සීරුමාරු කරන්න අපිට පුළුවන්. තමන්ගේ  ආලෝකය තමන්ම දල්වා ගන්න. ඒ අ‍ාලෝකය ලෝකයටත් බෙදන්න.‍

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

බබාගේ බඩ පිපිලා… ඒකයි බබා අඬන්නේ .. දැන් මොකද කරන්නේ ?

චූටි බබා ගෙදරට එක්කගෙන ආවට පස්සේ අම්මලට දහසක් ප‍්‍රශ්න. ඒ චූටි පැටියගේ එදිනෙදා කටයුතුත් එක්ක අම්ම, තාත්තා, ගෙදර නිවැසියන් සේරගේම හිත එක තැනක. ඉතින් පුංචි වෙනසක් උනත් කට්ටිය බය වෙනවා. ඒ අතරේ එක එක්කෙනාගේ දන්න පමණින් ඒවට දහසක් හේතුත් තිබෙනවා. ඒව තේරුම් බේරුම් කරගන්න ගමන් දරුවගේ වෙනසටත් අපි උත්තර හොයන්න  ඕන.

ඒ අතර නිතරම ඇහෙන කතාවක් තමයි බඩ පිපුම. මේකට අම්මල හරියට බය වෙනවා. දරුවත් නොසන්සුන්. එයාවත් එයාගේ හැමදෙයක්ම ප‍්‍රකාශ කරන්න අඩනවා. ඉතින් දරුව අඬන්න ගත්තම හැමෝම කනස්සල්ලෙන්. මේ කනස්සල්ල නැති කරගන්න අපි මේ අපහසුතා වගේම ඒවට හේතුත් දැනගෙන ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

පුංචි පැටියගේ බඩ පිපුණේ කොහොමද? පැටියට දෙන්නේ මව්කිරි විතර නම් මෙහෙම වෙන්නේ කොහොමද?

අම්මට බබා ලැබුණම අම්මටත් අලුත් අත්දැකීමක්. හැම අම්ම කෙනෙකුටම හැම බබෙක් එක්කම ලැබෙන අත්දැකීම් විවිධාකාරයි. එකම අම්මට උනත් පළමු බබාට වඩා දෙවන බබාගෙන් ලැබෙන අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්ද හැම තිස්සෙම අපි ලබන හැම අවස්ථාවකදීම නිවැරදි දැනුම පාවිච්චි කරන්න  ඕන. 

දරුවගේ මුල්ම ආහාරය මව්කිරි. කුස තුලදී දරුවගේ පෝෂණය මවගෙන් ලැබෙන රුධිරය හරහා සිදු වුනාට ඉපදුනාට පස්සේ දරුවගේ පෝෂණය ලබාදෙීමේදී අපි මේ ගැන හුඟක්ම හිතන්න  ඕන. උපතත් එක්කම මව්කිරි එරුනට මේ මව්කිරි වලින් දරුවගේ කුස පුරවන්න නම්, දරුවගේ ඉරීමේ, ගිලීමේ ප‍්‍රතීකය වගේම මවගේත් ඒ සඳහා ලබාදෙන දායකත්වය වැදගත් වෙනවා. ඒ කියන්නේ දරුවට කිරි ටික උරාගන්න පුළුවන් විදියට ඉරියව් කරගන්න  ඕන. ඒක හරිම වැදගත්. 

මොකද දරුවගේ මුඛයට හරියට පියයුර සම්බන්ධ නොවුනහොත් කිරි නිෂ්පාදනය වගේම කිරි ගලා එ්ම සිද්ධ වෙන්නේ නෑ. නිෂ්පාදනය වෙච්ච කිරි උරාගන්න තුරු ගබඩා වෙලා තියෙන පියයුරේ කළු කොටසේ එනම් ඇරියෝලාව ප‍්‍රදේශයේ. දරුවා කිරි උරන විට මේ ඇරියෝලාවේ වැඩි කොටසක් දරුවාගේ මුඛයට යන ලෙස තිබිය යුතුයි. හොඳින් ”ආ” ස්වරයට මුඛය ඇරුනම තමයි මෙහෙම වෙන්නේ. එතකොට පියයුරයි මුඛයයි හොඳට සම්බන්ධ වෙනවා. එහෙම නොවුනම පියයුරයි මුඛයයි අතර ඇති වන හිදැස් තුලින් වාතය දරුවගේ මුඛයට ඇතුල් වුණාම දරුව කිරිත් එක්ක ඒ වාතය ගිලිනවා. එහෙම වුනාම දරුවගේ බඩට වාතය පිරෙන්න ගන්නවා. මේ විදියට හැම කිරි වේලකදීම සිද්ධ වෙන්නේ ගත්තොත් දරුවගේ උදරය වාතයෙන් පිරිලා තියෙනවා. එතකොට ඒක දරුවට දරාගන්න අමාරුයි. බඩ පිම්බිලා තියෙන කොට දරුව කරන්නේ අඬන එක. මේකට හොඳම විසදුම තමයි කිරි දෙන විට දරුවාට කිරි උරාබීමට පහසු ලෙස දරුවා අල්ලා ගැනීමත් නිවැරදි ලෙසින් පියයුරට සම්බන්ධ කරගැනීමත්. එහෙම වුනාම දරුවා පහසුවෙන් කිරි උරා බොන නිසා වාතය පෙවෙන්නේ නැහැ. 

ඊලඟ දේ තමයි හැම කිරි වේලකටම පස්සේ කිරි සමග පෙවෙන වාතය පිට වීමට ගුඩුස් යැවීම කරන එක. දරුවගේ උදරය තෙරපමින් රඳවා ගන්නා ඉරියව් කිහිපයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එසේ නැතිනම් දරුවාගේ උදරය තදවන සේ මුහුණු පැත්තට හරවා මුනින් තැබීමද කල හැකියි. එසේ තැබූ විට අවදියෙන් සිටී නම් දරුවා දණගාන ඉරියව්වෙන් සිටීමට දරන උත්සාහයේදී උදරය තෙරපීම නිසා ගුද මාර්ගයෙන් හෝ ඒ වාතය පිටවන නිසා දරුවාට සහනයක් ලැබෙනවා. 

එසේ නොවන විට සෑම කිරි වේලකදීම සිදුවන වාතය පෙවීම, බොහෝ විට දරුවාට වේදනාකාරී වන්නේ දිනයේ සවස් කායේදීයි. මෙය හඳුනාගත හැක්කේ දරුවා සවස් වන විට නුරුස්සනා ස්වභාවයෙන් නොනවත්වා අඬන්න, පටන් ගැනීමෙන්. මේ නිසා සෑම කිරි වේලකදීම නිවැරදි ලෙස කිරි උරා බීමට අවස්ථාව උදාකර දීමත්, සෑම කිරි වේලකටම පසුව ගුඩුස් යැවීමට උනන්දු වීමත් වැදගත්. 

මීට අමතරව කුඩාම දරුවනට බලපාන විශේෂිතම හේතු නොමැති වුවත් කලාතුරකින් කිරි දිරවා ගැනීමට අපහසු වීම මතින් ඇතිවන අජීර්ණය තත්ත්වයන් නිසා බඩ පිපුම ඇති විය හැකියි. එවැනි අවස්ථාවලදී දිගින් දිගටම ප‍්‍රශ්න පැන නැගේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. මන්ද දරුවාගේ මල රසායනාගාර පරීක්‍ෂාවකට ලක්වීමට එවැනි අවස්ථා වලදී සිදුවන අතරම ඒ සඳහා වෛද්‍ය ප‍්‍රතිකාරද ලබාදිය යුතු විය හැකිය. 

අමතර ආහාර ලබාදීමට පටන් ගත් පසු ආහාර සෞඛ්‍යයේ දුර්වලතා ඇති විය හැකි අජීර්ණ හේතු කොටගෙනද බඩ පිපුම ඇති විය හැකියි. ආහාර මාර්ගයට විෂබීජ ඇතුළු වීම හේතු කොටගෙන ඇති වන ආසාත්මිකතා හේතුවෙන් හටගන්නා උදරාබාධ වලදී බඩ පිපුම, උණ, වමනය, නිතර මල පහවීම හෙවත් පාචනය, ආහාර අරුචිය ඇති විය හැකියි. උණ, වමනය, නිතර මල පහවීම සමග බඩ පිපුම ඇති විට හොඳින් උපදෙස් ලබාගැනීම කල යුතුයි. 

තවද මල බද්ධය නිසාද බඩ පිපුම ඇති විය හැකියි. ආහාරයේ අඩුවීම මීට හේතුව විය හැකියි. මේ නිසා ආහාර ලබාදීමේදී හාල්, කෙඳි සහිත එළවළු, පලා වර්ග මෙන්ම පළතුරු ආහාරයට එක් කිරීමද වැදගත් වෙනවා. 

තවද මවගේ සෙඛ්‍ය පුරුදුද මීට දායක වේ. ආහාර පිළියෙල කිරීමේදී ආහාර පිළියෙල කිරීමට පෙරත් ආහාර ලබාදීමේදී ඊට පෙරත් මවගේ දෙ අත් හොඳින් සේදීම මගින්ම ආහාර වල සුරක්‍ෂිතතාව ආරක්‍ෂා කිරීමද වැදගත් වෙනවා. එසේම නිවැරදි වැසිකිලි භාවිතය, භාවිතයෙන් පසු සබන් යොදා දෑත් සේදීම ද විෂබීජ ශරීරගත වීම පාලනය කිරීමට හේතුවක් වනවා මෙන්ම පණු රෝග වලින් ආරක්‍ෂා වීමටද එය හේතුවක් වෙනවා. අනවශ්‍ය ලෙස පණු බෙහෙත් ලබාදීමට වඩා පණු රෝග වලින් වැළකෙන සෞඛ්‍ය පුරුදු වල ඇබ්බැහි වීම පවුලේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට ලැබෙන මහඟු අත්වැලකි. 

යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සුරැකෙන ආහාර සෞඛ්‍ය, ජීවිතයේ සියළු තැන්හිදී වඩාත් සෞඛ්‍යමත් ජීවිතයක් ඔබට ලබාදෙනවා. ඒ වගේම ගැබිනි සමයේදීම නිවැරදි දැනුම ලබාගත හැකි සියළු අවස්ථා වලදී සක‍්‍රීයව සහභාගී වීමෙන් බොහෝ ගැටළු නිරාකරණය කරුනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. 

ඒ නිසා අලුත උපන් දරුවා එක්ක වැඩ කරන්නේ කොහොමද කියන අභියෝගය වඩාත් හොඳින් ජය ගන්න පුළුවන් නිසා නිතර මුහුණ දීමට සිදුවන මෙවැනි කරුණු පිළිබඳව දැනුම ශක්තිමත් කර ගැනීම තුලින් දරුවාටද පවුලේ සියළු දෙනාටද ලැබෙන අස්වැසිල්ල, සැනසුම කියා නිමකල නොහැකියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

මන්ද පෝෂණය ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද?

මන්ද පෝෂණය, අද වන විට වටපිටාවෙන් නිතර ඇසෙන වචනයක් බවට පත් ‍ වී තිබෙන්නේ රට තුළ උද්ගතව ඇති තත්ත්වයන් හමුවේ ඇති වන ආහාර හිඟතාවයන් හේතුවෙන්  මන්දපෝෂණ තත්ත්වයට පත් වුණු දරුවන් ගණන ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති නිසාය. සිරුරේ වර්ධන ක‍්‍රියාවලිය හා බැඳී ඇත්තේ පෝෂණයයි. එනම් ශරීර අවශ්‍යතා වලට අනුකූලව සියලුම පෝෂණාංගවලින් සමන්විත සමබර ආහාරයක් ලැබීම පෝෂණය ප‍්‍රශස්ත ලෙස වර්ධනය කරයි. එහෙත් ලැබෙන්නා වූ පෝෂකාංග අඩු වූ විට මන්ද පෝෂණ තත්ත්වය ඇති වීමට එය හේතුවක් වෙයි. 

මන්ද පෝෂණය යනු ශරීරයේ උස, බර මගින් පමණක්ම නොව හෝමෝන, ඉන්‍ද්‍රියයන් ක‍්‍රියාකාරීත්වය සමග ද බැඳී ඇති තත්ත්වයකි. මෙසේ හෙයින් සෑම විටම මන්ද පෝෂණයේදී ඌන වූ පෝෂකාංග කුමක් ද යන්න සහ එය ලබාදීමට ක‍්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට වැදගත් වේ. 

පෝෂක හිඟවීම මෙන්ම අධික වීමද දුර්වල සෞඛ්‍ය තත්ත්වයට හා විවිධ රෝග වලටද හේතුවක් වේ. පෝෂක ඌන වීම හෙවත් ඌනතාවය ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල උග‍්‍ර  ප‍්‍රශ්නයක් හෙයින් ශරීර අවශ්‍යතා වලට අනුව සියලුම පෝෂකාංග හා ශක්තිය නිවැරදි ප‍්‍රමාණයෙන් හා නිවැරදි අනුපාතයෙන් ලබාගැනීම මන්ද පෝෂණය වළක්වා ගැනීමට හේතුවක් වේ. 

ජීවිතයේ විවිධ වයස් හිදී පෝෂණ අවශ්‍යතා වෙනස් වේ. එසේ වෙනස් වන්නේ වර්ධන වේගයන් පවත්වා ගැනීමට විවිධ අවස්ථා වලදී අවශ්‍යතාවයන්ද වෙනස් වීම නිසයි. ළදරුවෙකුගේ වර්ධන වේගය වැඩිවන අතර ළමා කාලයේදී එය තරමක් අඩු වේ. එසේම වැඩිවිය පැමිණෙන කාලයේදී නැවතත් සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම කාල සීමා වලදී ඊට අනුරූප ලෙස පෝෂණය සැපයීම වැදගත් වේ. එසේම ජීවිතයේ වෙනස් වූ අවස්ථාවන් වලදී එනම් ගර්භනී මවක, කිරි මවක වැනි අවස්ථාවකදී සාමාන්‍ය කාන්තාවකට වඩා පෝෂණය අවශ්‍ය වේ. මීට අමතරව වයස, ස්ත‍්‍රී/පුරුෂ භාවය, නිරත වී ඇති කාර්යයන් හෝ රැකියාව අනුව ද අවශ්‍ය පෝෂණ අවශ්‍යතා වෙනස් වේ. 

දරුවකු කුස දරා සිටින මවකගේ පෝෂණය දුර්වල වූ විට එම මවගෙන් පෝෂණය සැපයෙන දරුවාට ද සැපයෙන පෝෂණය දුර්වල වීම නිසා කුස තුලදීම දරුවාගේ වර්ධනය බාලවීමට ලක්වීය හැකියි. එසේම උපන් සිඟිත්තා නිසි පරිදි පෝෂණය නොකලහොත් ඔහුද මන්ද පෝෂණයට ලක් වෙයි. මෙම දරුවා විශේෂයෙන් ගැහැණු දරුවකු නම්, එම දරුවා මවක වන විට ඇයගේ දුර්වල පෝෂණය නිසා ඇය උපදවන දරුවාද මන්ද පෝෂණයට ලක් විය හැකියි. එය චක‍්‍රයක් ලෙසින් පරම්පරාගත වීමට වුවද හැකියාවක් ලබයි. 

අපගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. මේ ශක්තිය ලබාගැනීම කාබෝහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන ආහාර මගින් සිදුවේ. මේ ආහාර අවශ්‍ය පමණ නොලැබීම නිසා කායික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය මුදා හැරීම සඳහා සිරුරේ තැන්පත්ව ඇති මේදය උපයෝගී කරගනී. මේ නිසා සිරුර කෘෂ වේ. එනම් වයසට සරිලන බරක් නොමැති වේ. මේ නිසා ශාරීරික ක‍්‍රියාවලි කරගැනීමට අපහසු වේ. එසේම අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ශක්තිජනක ආහාර ලැබුනහොත් ඒවා තෙල් ලෙස ශරීරයේ තැන්පත් වීම නිසා තරබාරුව ඇති වේ. මෙවිට පෙර ලෙස ශාරීරික ක‍්‍රියාවලි කිරීමට අපහසු වීම හේතුවෙන් මෙන්ම බර දරා සිටීමේ අපහසුව හේතුවෙන්, රෝග තත්ත්ව වලට ගොදුරු වේ. විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම මෙන්ම පිළිකාව වැනි බෝ නොවන රෝග වලට තරබාරුව හේතුවක් වේ. 

ලවණ ඌණතාවය 

මෙය තවත් මන්ද පෝෂණ ගැටළුවකි. ශරීරයේ සියළු අවයව ක‍්‍රියාකාරීත්වය සමබරව පවත්වා ගැනීමට ලවණ මගින් කෙරෙන මෙහෙය අති විශාලය. මෙසේ ශරීර ක‍්‍රියාකාරීත්වයට බලපාන ලවණ අතර යකඩ, කැල්සියම්, අයඩීන් මෙන්ම පොස්පරස්, සින්ක් ආදී ලෝහද වේ. මේවා සියල්ලක්ම ශරීර ක‍්‍රියාකාරීත්වයන් හා බැ`දී පවතී. 

යකඩ ඌනතාවය

යකඩ ඌනතාවය නිසා ශරීරයේ ලේ හිඟ වීම සිදු වේ. සිරුරේ සියළු ඉන්‍ද්‍රියයන් සජීවීව පවත්වා ගෙන යාමට ඒ ඒ ඉන්‍ද්‍රියයන් වෙත හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වේ. එහෙත් ආහාරයේ යකඩ ඌන වූ විට රුධිරයේ ඇති රතු සෛල  ප‍්‍රමාණය අඩු වීම නිසා සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමේ යාන්ත‍්‍රණය දුර්වල වේ. මේ නිසා අධික ලෙස මහන්සිය, තෙහෙට්ටුව ඇති වන අතරම මතක ශක්තිය පවා දුර්වල වේ. මොළයට අවශ්‍ය පමණ ඔක්සිජන් සැපයීමට රුධිරයේ රතු සෛල හොඳින් පැවතීම හේතුවක් වේ. එසේ නොවීම නිසා හෘදය වස්තුවටද දරන්න සිදුවන පීඩනය හේතුවෙන් හෘදය ක‍්‍රියාකාරීත්වය පවා දුර්වල විය හැකියි. එසේ හෙයින් යකඩ ඌනතාවය බරපතල මන්ද පෝෂණ ගැටළුවකි. 

අයඩීන් ඌනතාවය

මෙයද ශරීරයේ සියළු කටයුතු හා බැඳී පවතී. තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රධාන ඛනිජය අයඩීන් වේ. මෙය මොළයේ වර්ධනය, සුවය මෙන්ම පරි වෘත්තිය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරයි. අයඩීන් ඌනතාවය නිසා තයිරොයිඩ් ග‍්‍රන්ථියට ශරීර ක‍්‍රියාකාරීත්වය ප‍්‍රමාණවත් තරම් තයිරොක්සීන් හෝමෝන නිෂ්පාදනයට නොහැකි වේ. මේ නිසා ගර්භනී මවක් නම් ඇගේ දරුවාට දරුණු සංකූලතා ඇති විය හැකියි. එසේම 

  • හිසකෙස් සහ සමේ ගැටළු
  • අනපේක්‍ෂිත ලෙස බර වැඩිවීම
  • තෙහෙට්ටුව හා දුර්වල බව
  • මානසික අවපීඩනය හා කාංසාව
  • බෙල්ලේ තයිරොයිඞ් ග‍්‍රන්ථියය ඉදිමුම
  • හෘද ස්පන්දන වේගය මන්දගාමී බව
  • ඉගෙනීමේ ගැටළු සහ මනස දුර්වල වීම
  • මද සරු බව සහ ගැබ් ගැනීමේ ගැටළු
  • හෘදයාබාධ හෝ පිළිකා වැනි දරුණු රෝග තත්ත්ව (ප‍්‍රතිකාර නොකලහොත්) 

කැල්සියම් ඌනතාවය

කැල්සියම් යනු සැකිලි පද්ධතිය සම්බන්ධ වූ විශේෂිතම ලවණයයි. සිරුරේ සියලු බර දරා සිටීමට හැකි සේ ශක්තිමක් සැකිල්ලක් උරුම වීමට නම් කලල අවධියේ සිටම නිසි පරිදි කැල්සියම් ලවණය ලැබිය යුතුයි. මෙසේ නොවීම තුලින් අස්ථි කෙටි වීම හේතු කොටගෙන කුරු වීම සිදු විය හැකිවා සේම දත්, නිය ආදියට බලපෑම් එල්ල විය හැකියි. වයසට සරිලන දිගක්/ උසක් නොමැති වීම කැල්සියම් ඌනතාවයේ ලක්‍ෂණයක් ලෙසත් හඳුනාගත හැකි මන්ද පෝෂණ ගැටළුවකි. 

විටමින්

විටමින් A,B,C,D,E,K ආදී ලෙසින් නම් කර ඇති අතර මේ විටමින් වර්ග මගින් ශරීර අවයව හොඳින් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය මග සාදයි. 

විටමින් A – ප‍්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීම මගින් ලෙඩ රෝග වලින් ආරක්‍ෂා වීමට ඇති හැකියාව ඇති කරයි. එසේම ඇස්වල පෙනීමේ ක‍්‍රියාකාරීත්වය සඳහා ප‍්‍රබල ලෙස බලපෑම් එල්ල කරයි. පෙනහළු ආශ‍්‍රිත ශ්වසන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහාද විටමින් A බහුල ලෙස බලපායි. සමෙහි ගොරෝසු බව, කොරල සහිත වීම, රැලි වැටීම, කුරුලෑ ඇති වීම, දහදිය ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරීත්වය, දද, වණ, කුෂ්ඨ සුව වීමට කල් ගත වීම, නියපොතු පහසුවෙන් කැඩීම මෙන්ම රාත‍්‍රී අන්ධතාවය ඇති වීමටද විටමින් A ඌනතාවය බලපායි. 

විටමින් B –  B1, B2, B3, ආදී ලෙසින් B කාණ්ඩයේ විටමින් වර්ග බොහොමයක් වේ. මේවා ඌනතාවය හේතු කොටගෙන ශරීරයට සිදුවන බලපෑම් හේතුවෙන් ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මේ නිසා අලස බව, වෙහෙස, කෙණ්ඩ පෙරලීම, ක්ලාන්තය, හෘදය ක‍්‍රියාකාරීත්වයේ දුර්වලතා, හිසරදය, බෙරි වෙරි රෝගය, අවපීඩනය, අමතක වීම, කට දෙකොණ වන වීම, ආලෝකය දෙස බැලීමේ අපහසුව, ඇස් වල කැසීම දිවේ/තොල් වල තුවල, තොල් ඇලීම, සමේ සංවේදී බව අඩු වීම, අකලට හිසකෙස් යාම, වර්ධනය බාල වීම, ලේ ගමනාගමනය නිසි පරිදි සිදු නොවීම, පේශී දුර්වලතාවය, නින්ද දුර්වල වීමි, ඉක්මන් කේන්තිය, වලිප්පුව, මස්පි`ඩු පෙරලීම, ලේ හිඟකම (නීරක්තිය), ස්නායු ආබාධ, අඩු බර දරු උපත්, ස්නායු ආබාධ සහිත දරු උපත් ආදිය මෙන්ම පාචනය වැනි රෝග තත්ත්ව පවා ඇති විය හැකියි. විටමින් B ඌනතාවය හේතු කොටගෙන ඇති වන තත්ත්ව වළක්වා ගැනීමටද සියළු ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාකාරීත්වයට හේතුවක් වේ.

විටමින් K – ලේ කැටි ගැසීමේ ක‍්‍රියාවලිය සඳහා බෙහෙවින් වැදගත් වේ. ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි වල ඛනිජ ඝනත්වය අඩු තත්ත්ව වලදී එහි ඝනත්‍වය වැඩි කිරීම සඳහා ද මෙය හේතූ කාරක වේ. අවශ්‍ය පමණට විටමින් K  නොමැති වීම නිසා එනම් විටමින් K ඌනතාවය නිසා අධික ලෙස ලේ ගැලීම් පාලනය අපහසු වේ. 

මේ කෙසේ වුවද විටමින් වර්ග (B හා C) සමහරක් ජලයේ ‍ දියවේ. අනෙක් විටමින් වර්ග ජලයේ දිය නොවන අතර මේදයේ දියවේ. මෙසේ හෙයින් විටමින් B හා C සිරුරට වැඩිපුර ලැබුණු විට ඒවා මුත‍්‍රා මගින් පිටවන නමුදු ජලයේ දිය නොවන (A,D,E හා K) විටමින් වර්ග ශරීරයට වැඩිපුර ලැබුණු විට ඒවා ජලයේ දිය නොවන නිසා අක්මාව තුල තැන්පත් වීම සිදුවන අතර අතුරු ආබාධ ඇති විය හැකියි. එසේම පිත්තාශය, අක්මාව හා අග්න්‍යාශය කියන ඉන්‍ද්‍රියයන් වල නිසි ක‍්‍රියාකාරිත්වය නිසා මේදයේ දියවෙන විටමින් නිසි ලෙස ශරීර ගත වීමත් දීර්ඝ කාලීන ලෙස රඳා පැවතීමත් නිසා ඌනතාව දක්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් ජලයේ දියවෙන විටමින් B හා C සිරුරේ සෑම පටකයකටම පැතිරි යයි. එසේම ශරීරයේ සෛලවලට අවශ්‍ය වන ශක්තිය නිපදවීමේ ක‍්‍රියාවලියට ද දායක වේ. ඒ නිසාම නිරතුරුවම ආහාරය සමග විටමින් B හා C ලබාගත යුතුමයි. එසේම මීට අමතරව ආහාරයේ තන්තු බහුල නොවීමත් ආහාර ජීර්ණ ක‍්‍රියාවලියට බලපානු ලබයි.

විටමින් C – ප‍්‍රතිශක්ති පද්ධතියට බෙහෙවින් බලපාන විටමිනයකි. රුධිර වාහිනී පද්ධතිය ආරක්‍ෂා කිරීමට මෙන්ම රක්තහීනතාවය වැළක්වීමටද විටමින් C ප‍්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම සමේ සෞඛ්‍ය වෙනුවෙන්ද මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබයි. විටමින් C මගින් යකඩ උරාගැනීම පහසු කරන හෙයින් හා එය යකඩ උරාගැනීමට හැකි උත්ප්‍රේරකයක් ලෙස ක‍්‍රියාත්මක වන හෙයින් විටමින් C යකඩ ඌනතාවය වැළැක්වීමටද හේතුවක් වේ. සමෙහි වියලි ගතිය/රළු ගතිය මෙන්ම සන්ධි වේදනා සඳහාද හේතුවක් ලෙස විටමින් C ඌන වීම හඳුනාගත හැකියි. 

විටමින් D – කොණ්ඩය, දත්, අස්ථි හා නියපොතු වල මෙන්ම සමේ සෞඛ්‍ය සඳහාද විටමින් D බලපානු ලබයි. කැල්සියම් ලවණයේ ක‍්‍රියාකාරීත්වයටද විටමින් D බලපෑමක් එල්ල කරනු ලබන හෙයින් විටමින් D ඌනතාවය අස්ථි රෝග ඇති කිරීමටද හේතුවක් වේ. ඔස්ටියෝපොරෝසිස් හා අධික රුධිර පීඩනය සමගද විටමින් D සම්බන්ධතාවක් පවතින හෙයින් විටමින් D ඌනතාව ඒ හා සම්බන්ධ රෝග වලදී වැදගත් වේ. 

විටමින් E – සමේ නිරෝගීභාවයට වැදගත්ය. එම නිසා විටමින් E ඌනතාවය සමේ රෝග තත්ත්ව ඇති කරයි. ප‍්‍රමාණවත් තරම් විටමින් E සිරුරට ලැබෙන්නේ නම් රෝග නාශක ගුණයක් හෙවත් රෝගයනට එරෙහිව ප‍්‍රතිශක්තියක් ඇති කරයි. ලප කැලල් ඉක්මණින් සුවපත් කිරීමටත්, හිරු රැස් නිසා ඇති විය හැකි සමේ පිළිකා වළැක්වීමට විටමින් E බොහෝ සේ උපකාරී වේ. දද හා කුෂ්ඨ රෝග සුවපත් කිරීමටද හැකියාවක් ඇති අතරම සමේ පැහැපත්භාවයට විටමින් E උපකාරී වේ. 

ඒ අනුව විවිධ පෝෂක කොටස් බහුලව අඩංගු ආහාර පිළිබඳව පහත වගුව මගින් හඳුනා ගනිමු. 

 

පෝෂකාංග අඩංගු ආහාර
කාබෝහයිඩ්‍රේට් බත්, ධාන්‍ය, ආප්ප, ඉඳි ආප්ප, අල වර්ග, කොස්, දෙල් (පිටි ආහාර)
ප්‍රෝටීන මස්, මාළු, බිත්තර, කිරි, පියලි ඇට වර්ග, 
තෙල් හා මේද පොල්, පොල්තෙල්, බටර්, ඔලිව් තෙල්, එළවළු තෙල්, තල, කොට්ටම්බා මද, රටකජු, කජු
යකඩ මස්, මාළු, තද කොළ එළවළු, පලා වර්ග, ඇට වර්ග, අලි පේර, කජු, (රතු පැහැති ආහාර- මාළු, තම්පලා), මුරුංගා
අයඩීන් මුහුදු මාළු, මුහුදු පැලෑටි, මුහුදු ලූණු, ඉස්සන්, බෙල්ලන්, දැල්ලන්, පලා වර්ග, බිත්තර, හරක් මස්, කිරි, බටර්, ධාන්‍ය, තක්කාලි, නිවිති, සලාද කොළ, රාබු, කෙසෙල්, දොඩම්, ලෙමන්, අන්නාසි
කැල්සියම් කිරි හා කිරි නිෂ්පාදන, කුඩා මාළු, සැමන්, බෝංචි, පරිප්පු (රනිල කුලයේ ඇට වර්ග), තල, පොල් වතුර, දිවුල්, බිත්තර
විටමින් A තැඹිලි/කහපාට එළවළු, පළතුරු, තද කොල පළා වර්ග, බිත්තර කහ මද
විටමින් B හාල් නිවුඩ්ඩ, කව්පි, සෝයා වැනි රනිල් බෝග, පීකුදු, ගව මස්, මාළු, කිරි, බිත්තර, පලා වර්ග, අර්තාපල්, යීස්ට්, හතු, රටකජු, කජු (ඇට වර්ග පෑහීම මගින් මෙන්ම             පැල වීමට සැලැස්වීමෙන් විටමින් B වැඩිපුර ලබාගත හැක)
විටමින් C නෙල්ලි, පේර, අඹ, දෙහි, දොඩම්, නාරං (ඇඹුල් රසැති පලතුරු), පලා වර්ග
විටමින් D මාළු, බිත්තර කහ මද, හතු, කිරි, කතුරුමුරුංගා
විටමින් E අලි පේර, රටකජු, කොල පැහැති එළවළු, ධාන්‍ය,  ආමන්ඩ්, කොට්ටම්බ මද, මස්, මාළු, 
විටමින් K වියලි පළතුරු, ලූණු, පලා වර්ග, ගෝවා කොල, ඔලිව් තෙල්, කුළු බඩු
තන්තු බහුල නිවුඩ්ඩ සහිත හාල්, නිවුඩ්ඩ සහිත ඇට වර්ග, පලා, එළවළු (වැටකොළු, කොහිල, කෙසෙල් මුව, කරවිල, කොස්), පළතුරු

 

මෙසේ බලන කල ආහාර වල අඩංගු සියළුම පෝෂක කාණ්ඩ සියළු පද්ධතීන් හා සම්බන්ධව පවතින හෙයින් අඩු වීමක් වූ විට විවිධ ඉන්‍ද්‍රිය පද්ධතියකට බලපෑම හේතුවෙන් මන්ද පෝෂණ තත්ත්වයකට ලක්වීමට හේතු වන අතරම මන්ද පෝෂණය වළක්වා ගැනීමට දැනුවත්ව අවශ්‍ය ආහාර කාණ්ඩ තෝරා ගැනීම වැදගත් වේ. තවද ආහාර වර්ගයන්හි විවිධත්වය ආහාර වලින් අවශ්‍ය පෝෂකාංග බහුල ලෙස ලබාදීමට හේතුවක් වේ. එසේ හෙයින් මන්ද පෝෂණය වළක්වා ගැනීමට නම් ප‍්‍රධාන ආහාර කාණ්ඩ වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද අඩංගු ආහාර කාණ්ඩ මෙන්ම ඛනිජ ලවණ හා විටමින් අඩංගු ආහාර කාණ්ඩ ද දිනපතා ආහාරයට එකතු විය යුතුයි. ආහාරයේ විවිධත්වය තුල එකතු කිරීම් සිදු කල විට බොහෝ විට මන්ද පෝෂණය වළක්වා ගත හැකියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අලුත් බබාගේ ඇස්වලින් කබ එන්නේ ඇයි?

අලුත් පැටියාගේ රෝස මලක් වගේ සුමුදු මුහුණේ තරු කැට වගේ දිලිසෙන පුංචි ඇස් දෙක දකින ඕනෙ කෙනෙක්ට ආදරේ හිතෙනවා කිව්වොත් හරි. රෝහලෙන් නිවසට ඇවිත් බබා‍ගේ අලුත් වැඩවලට හුරු‍ වෙන්න පටන්ගන්න අම්මට බබාගේ එක ඇහැක් හෝ ඇස් දෙකම ටිකක් විතර පුංචි වෙලා වගේ, කබ ඇවිත් වගේ පෙනෙන්න ගත්තොත් ටිකක් හිතට දුකයි. ඕනෙම අම්මා කෙනෙක් මේ ගැන කලබල වෙනවා. ඊළඟට දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යනවා. අන්න ඒ වගේම අලුත උපන් බබාලගේ ගැටළු ගැන අම්මලා කොච්චර වද වෙනවද කියන එක හිතාගන්නවත් බැරි තරම්. මොකද මේ බබාලගේ ප‍්‍රශ්න වලදී අම්ම තාත්තා වගේම ගෙදර අනෙක් අයත් සැලෙනවා. එහෙම වෙන්නේ නිවැරදි අවබෝධය, දැනුම නොමැති නිසා. 

අලුත උපන් බබාලගේ ඇස් වලින් කබ එන්නේ ඇයි?

අලුත උපන් බබාලගේ අස්වලින් කබ එන එය ගැටලුවක් කියා ඔබ සිතනවා නම් එය නිවැරදියි. නමුත් එය බිය විය යුතු තත්ත්වයක් නොවෙයි. ඒ, එය විසදුමක් ඇති ගැටලුවක් නිසයි. 

අලුත උපන්  දරුවාගේ අසෙන් කබ, කදුළු ගලන විට පළමුව ඒවා සෝදා පිරිසිදු කිරීම කළ යුතුයි. ඒ සඳහා මවගේ දෑත් හොඳින් පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව පුළුන් මාත්තු කීපයක් ගෙන උතුරුවා නිවාගත් ජලයෙන් පොඟවා ජලය මිරිකා හැර අදාල ඇසේ කන පැත්තේ සිට ඇතුලට පිස දැමීම කළ හැකියි. මේ සඳහා ඇස් දෙකට පුළුන් මාත්තු කීපයක් ගත හැකි අතරම එකම පුළුන් කැබැල්ල යොදා ගනිමින් ඇස් දෙකම පිහි දැමීම නොකල යුතුයි. සාමාන්‍යය සෞඛ්‍ය තත්ත්වයේ සිටින දරුවෙක් දිනපතා නෑවිය හැකි අතරම මෙසේ කිරීමේදීත් දිගින් දිගටම කබ,කදුළු ගලයි නම් ඉන්‍ද්‍රියයන් පරිනත වීමේ සංසිද්ධිය පිළිබඳව සලකා බැලිය යුතු වෙයි.  

දරුවෙක් මෙලොවට බිහිවන විටම සියලුම ඉන්‍ද්‍රියයන් පරිනත නොමැත. එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන අතර ස්වභාවික තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. ඇස් වලින් කබ ගැලීඹද එවැනිම වූ ස්වභාවික තත්ත්වයකි. කුඩා ඇසෙහි කබ/කදුළු නාසය ඔස්සේ පිටකරන කාලය (නාස ඇස‍්‍රැ ප‍්‍රනාලය) සම්පූර්ණයෙන්ම විවෘතව නොතිබීම නිසා මේ තත්ත්වය ඇති විය හැකියි. ඇස් වලින් කබ ගැලීම දැකිය හැකි වන්නේ ඒ නිසයි.  එසේ වන විට දරුවාගේ ඇසේ කෙළවර එනම් ඇසේ කබ ස‍්‍රාවය වන ස්ථානය (Lacrimal Carci) විවෘත කිරීමට උපකාර වන සම්බාහනයක් කල හැකියි. මේ සඳහා ඇසේ කබ වල පිහිටා ඇති කෙලවර නාසය මුල මවගේ අතේ කුඩා ඇඟිල්ල තබා (සියුම් ග‍්‍රන්ථියක් ඇඟිල්ලට දැනෙනු ඇත) දස වතාවක් වමටත් දස වතාවක් දකුණටත් රවුමට සම්භාහනය කිරීමෙන් නාල විවෘත වීමට උත්තේජනයක් සැපයිය හැකියි. එසේ දිනකට තුන් වරක් බැගින් සම්බාහනය කිරීමේදී මේ තත්ත්වය මගහැරී යනු ඇත. 

දරුවාගේ ඇස අග සම්භාහනයේදී මව, දරුවාට විෂබීජ ඇතුළ නොවීමට වගබලා ගත යුතු අතරම දෑත් පිරිසිදුව තබා ඒ සඳහා දෑත් පිරිසිදුව තබා ගැනීම පමණක් නොව නියපොතු කොටට කපා තිබීමත් වැදගත්. නියපොත් කොටට කපා තිබීම නිසාත් විෂබීජ අවම වන අතරම නියපොතු වලට දරුවා සිරීම නිසා තුවාල වීඹ වළක්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා.  

උපතේදී සම්පූර්ණයෙන් පරිනත නොවූ අවස්ථාවක ඉහත ලෙසින් දෑසින් කබ/කදුළු ගැලීම සිදු වූ විට ඉහත අයුරින් ක‍්‍රියාත්මක වීමෙන් එම ගැටලුව විසඳා ගත හැකි වුවත් ඒ හේතුව හැර වෙනත් හේතු කරාරණා නිසාද දරුවෙකුගේ ඇසින් කබ/කදුළු ගැලිය හැකියි. එනම්, විෂබීජයක් ආසාදනයක් වූ විටක හෝ ඇස් ලෙඩ පැතිරෙන කාල සීමාවකදී දරුවා ආසාධනයට ලක් වූයේ නම් කබ, කදුළු ගැලීම පැවතිය හැකියි. එහෙත් එය පිස දැමීම, සම්බාහනය මගින් නිරාකරණය කරගත නොහැකියි. මෙවන් අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යයයි. ඇසි පිය ඉදිමීම, සුදු ඉංගිරියාව ප‍්‍රදේශය රතු වීම, කබ/කදුළු ගැලීම ආසාධනයක ලක්‍ෂණ විය හැකියි. මෙවිට පිටවන කබ වල පැහැය, ප‍්‍රමාණය, සාන්‍ද්‍රණය ආදිය පිළිබ`දවද සැලකිලිමත් වීම කළ යුතු අතරම වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර ලබාදීමද වැදගත් වේ. 

ඇස යනු ශරීරයේ පිහිටා ඇති ඉතා කුඩාම ඉන්‍ද්‍රියයක් වගේම ඉතාමත් සංකීර්ණ සැකැස්මක් ඇති ඉන්‍ද්‍රියකි. ඒ වගේම පංච ඉන්‍ද්‍රියන්ගෙන් එකකි. පංච ඉන්‍ද්‍රියන් උත්තේජනයෙන් ලැබෙන හැකියාවන්, කුසලතාවයන් ජීවිත මග හෙලිකරන නිසාම ඒවා ජීවීතයට ඉතා වැදගත් වේ. 

සෑම දෙයක්ම දකින්න ඒ අනුව හිතන්න, ඉගෙන ගන්න අවස්ථාවන් ලැබෙන නිසා ඇස හරිම වැදගත්, ඒ වගේම මේ සියලු ඉන්‍ද්‍රියයන් සඳහා අවශ්‍ය පෝෂණය සැපයීමත් මව් කුස තුල සිටම ආරම්භ කළ යුතු වන්නේ ඒවා විකසනය වී වර්ධනය වීමට පටන් ගන්නේ මව්කුස තුල සිටමයි. ඒ නිසා ඇසේ ක‍්‍රියාකාරීත්වයට විටමින් A මගින් කෙරෙන මෙහෙය අති විශාලයි. ඒ නිසා දරුවන්ගේ ආහාරයේ විටමින් A බහුල කිරීමට උනන්දු වීමත් ඇස් වල නිරෝගීභාවයට ඉතා වැදගත් වේ. 

එසේම දරුවන්ගේ ඇති ආබාධවලට පෝෂණ ඌනතා වගේම ජානගත බලපෑමත් හේතු විය හැකි නිසා දෙමාපියන් තුල ජානගත වූ අක්‍ෂි ආබාධ ඇති විට දරුවන්ගේ ඇස් පිළිබඳ අවධානය යොමු කිරීමත් ගැටළු ඇති දැයි සැක ඇති විට වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වැදගත්. එසේ විය යුත්තේ මෙවැනි දුර්වලතා බොහොමයක් කුඩා කලදිම නිට්ටාවට සුව කරගැනීමට හැකි නිසයි.

දරුවෙකුගේ ශරීරයේ ප‍්‍රධාන පාලක මැදිරිය වන්නේ මොළයයි. මේ මොළය හා ඇස් අතර ස්නායු ජාල සම්බන්ධතා වර්ධනය වීම වසර දහයක් පමණ කාලයකදී සිදුවෙනවා. එසේම මොලයේ සංවර්ධනය මුල් වසර තුනදී 80% ක ප‍්‍රමාණයකින් සම්පූර්ණ වන හෙයින් ඇස් වල වර්ධනයත් බොහෝ විට වසර තුනකදී පමණ සම්පූර්ණ වේ. 

උපන් විගස කුඩා දරුවන් ආලෝකයට සංවේදී බව දක්වන්නේ ඇස් පියා ගැනීමෙන්. ඒත් මාස දෙක තුන වන විට සෙලෙවන දේ දෙස දිහා බලන්නත් ඒවාට ප‍්‍රතිචාර දක්වන්නත් පුරුදු වේ. එසේ වන්නේ ඇස් වල වර්ධනය සිදු වන නිසයි. 

මෙසේ හෙයින් මේ වර්ධනය හැඳින ගැනීමත් ඒවායේ ස්වභාවික තත්ත්ව තේරුම් ගෙන ඒවාට සුදුසු පරිදි ක‍්‍රියාත්මක වීමත් වැඩිහිටි ඔබ සතු කාර්යභාරයක් මෙන්ම පුංචි ඉන්‍ද්‍රියයේ ක‍්‍රියාකාරීත්වය මුළු ජීවිතයටම බලපෑමක් එල්ල කල හැකි හෙයින් අවශ්‍ය පරිදි ගැටළු හඳුනා ඊට සුදුසු පිළියම් යෙදීමත්, අවශ්‍ය මැදිහත් වීම මෙන්ම අවශ්‍ය විටදී වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමත් දරුවාගේ අනාගතයට අතිශයින් සුබදායක වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල