ගර්භණීත්වය සහ අවදානම් සාධක කීපයක්…

මවක් වීම කාන්තාවකට සැබෑම ආශිර්වාදයක්. දරුවෙකු පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන් පවුලේ සෑම දෙනාගේම අවදානය යොමු වෙන්නේ අම්මා වගේම දරුවාගේ ජීවිතය ගැන සුරක්ෂිතතාවය ගොඩ නැගීමයි.නමුත්…දරුවෙකු ගැබ් ගැනීමත් සමග ඇති අවදානම් සාධක ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්.

ගැබ් ගැනීමේ වයස

ප්‍රථම මල්වර වීමේ පටන් දැරියක් ගැබ් ගැනීමට ජීව විද්‍යාත්මකව සුදුසුකම් ලැබුවත් අඩු වයසේ දැරියන් දරු ප්‍රසුතිය සඳහා කායිකව සුදුසුකම් ලැබුවත් දරුවෙක් හදා වඩා ගැනීම වෙනුවෙන් වූ මානසික හැකියාව තුළ යම් පසුගාමිත්වයක් තිබේ. සම වයස් දැරියන් තවමත් විනෝදයෙන් සිටීම, සමාජයෙන් ඇති වෙන පීඩනය සහ අත්දැකිම් නොමැති කම නිසා බාල වයසේ මවක් වීම අනුමත කරන සිදු වීමක් නොවේ. බාල වයසේ මව්වරුන් දරු ප්‍රසුතියේදී විවිධ අවදානම් වලට ලක් වේ.

බාල වයසේ මව්වරු- Teenage pregnancy outcomes 

  • අඩු බර  සහිත දරු උපත්
  • ගර්භණීත්වයට අදාල සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව සිදු වෙන දරු උපත් preterm delivery ලෙසින් සැලකේ. 
  • රක්ත හීනතාවය
  • අධි රුධිර පීඩනය Gastational  hypertension ඇති වේ.
  • අධි රුධිර පීඩනය සමග  මුත්රා සමග ප්රෝටීන පිටවීමේ eclampsia සංකුලතාවයන්

වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවක් ගැබ් ගැනීමේදී ඇති වෙන සංකුලතාවයන් . Advanced maternal age

ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය කාන්තාවකගේ වෙනස්වීම් සිදු වෙන ලෙසින්ම වයස අවුරුදු 40 ක් පසුව කාන්තාවකගේ ඩිම්බවල සාරවත්බව ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. මදසරුභාවය සහ වර්ණදේහ විකෘතිතා සහිත දරුවන් උදාහරණ ලෙස Down”s syndrome බිහි වීමේ අවදානමක් ඇත. ඒ වගේම අඩු බර දරු උපත් ගබ්සා විම්, පසු ප්‍රසව රුධිරවහනය , මාතෘ මරණ වගේම දරුවා වැඩිහිටි වීමට පෙරාතුව මවගේ ස්වභාවික මරණය  ( වයස්ගත වීම ) සිදු වීම.

ගර්භණී අධි රුධිර පීඩනය- Gestational  hypertension

ගර්භණීත්වයෙන් සති 20 කට පමණ පසුව අධි රුධිර පීඩනය ඇති වෙනවා.   ගර්භණී අවස්ථාවේදී රුධිර පීඩනය ඇති වීම සාමාන්‍ය දෙයක් වුනත් එයින් කලලයට ඇති වෙන බලපෑම ගැනත් අවධානයෙන් සිටීම වැදගත්. නිදන්ගත අධි රුධිර පීඩනය ගර්භණීත්වයට පෙර හා පසුව තිබෙන තත්වයක් වුනත් අධි රුධිර පීඩනය නිසා ගර්භණී මව විවිධ සංකුලතාවයන්ට පත් වෙන්න පුලුවනි. 

  • දරුවාගේ වර්ධනය අඩාල වීම. ( IUGR ) (Intrauterine growth restriction සහ සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව දරුවන් බිහි කිරීමට සිදු වීම. (preterm delivery)
  • වැදෑමහ ගැලවී යෑම (placental  abruption)
  • caesarean සැත්කම් මගින් දරුවා බිහි කිරීමට සිදු වීම.
  • මල දරු උපත්
  • මාතෘ මරණ

රෝග ලක්ෂණ

  • රුධිර පීඩනය වැඩි වීම
  • ඉදිමුම
  • ශරීර බර ඉතා ඉක්මනින් වැඩි වීම.
  • ඔක්කාරය සහ වමනය
  • දිගටම පවතින හිසරදය

අධි රුධිර පීඩනය නිසා අවදානම වැඩි වීමට බලපාන හේතු

  • අවුරුදු 20 අඩු  සහ වයස අවුරුදු 40 වැඩි මව්වවරු
  • වකුගඩු රෝග
  • නිදන්ගත අධිරුධිර පීඩනය
  • ත්රොම්බොෆීලියා තත්වය ( Thrombophilia )
  • නිවුන් දරු පිළිසිඳ ගැනීම
  • වැදෑ මහ විකෘතිතා
  • mවුලේ රෝග ඉතිහාසය

රෝග විනිශ්චය කර ගන්නේ කෙසේද…?

  • අවස්ථා දෙකකදී රුධිර පීඩනයේ අගය 140/90 mmHg අගයට වඩා වැඩි වීම.
  • මීට අමතරව මුත්රා සමග ප්රෝටීන පිටවීම–  මෙය pre eclampsia රෝග තත්වය ලෙසින් සැලකෙනවා.

HELLP  syndrome (hemolysis, elevated liver enzymes, and low platelets)

අක්මා එන්සයිම වැඩි වීම. රුධිර  පට්ටිකා අඩු වීම. රතු සෛල කැඩී ඇති වෙන රක්ත හීනතාවය යන ලක්ෂණ සියල්ල එකට ගත් විට  HELLP  syndrome ලෙස හැදින්වෙනවා . මෙය අවදානම් සහිත තත්වයක්.

අධි රුධිර පීඩනය නිසා නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සමග fit හෙවත් වලිප්පුව රෝග තත්වය eclampsia ඇති වෙන්න පුලුවනි. මෙයද අධි අවදානම් තත්වයක්.

ප්‍රතිකාර

  • කලලයට හානි නොවන අන්දමේ රුධිර පීඩනය අඩු කරන ඖෂධ ලබා දීම.
  • දරුවාට අවදානමක් ඇති අවස්ථාවලදී දරු ප්රසුතියට පෙරාතුව සිසේරියන් සැතaකමකින්  ( caesarean )  දරුවා ලබා ගැනීම.

රුධිරගත සීනි මටට්ම ඉහළ යෑම

කාන්තාවක් ගර්භණීත්වයට පත් වීමෙන් පසුව ඒ කාලසීමාව තුළ රුධිරයේ අඩංගු ග්ලුකෙසේ මට්ටම තාවකාලික ලෙසින් ඉහළ යෑම (Gestational Diabetes Mellitus) ලෙසින් හැඳින්වෙනවා.මේ තත්වය වැඩිහිටි වයසේ වැලඳෙන දියවැඩියාවට වඩා වෙනස්. ඊට හේතුව වන්නේ මේ දියවැඩියා රෝග තත්වය දරු ප්‍රසුතියෙන් පසුව නැවතත් සාමාන්‍ය තත්වයටප පත් වීමට ඉඩ තිබෙනවා. මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය හෝ ඉන්සියුලින් ස්‍රාවය අඩු වීම නිසා ඇති විය හැක.

ගර්භණි සමයේ දියවැඩියාව ඇති වීමට අවදානම් මව්වරු

  • ගර්භණී මවගේ ස්ථුලතාවය හෙවත් ශරීරයේ බර වැඩි වීම.
  • පෙර ගර්භණීත්වයේදී දියවැඩියා තත්වයට පත් වීම.
  • ජාන සම්බන්ධතාවය
  • පොලිසිස්ටික් ඩිම්බකෝෂ PCOS

රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ

ඔබ දියවැඩියා තත්වයට පත්ව සිටිනවාදැයි තහවුරු කර ගැනීමට සිදු කරන වෛද්‍ය පරීක්ෂණ කීපයක් තිබෙනවා.

  • සති 24 සිට 28 අතර කාලයේදී සිදු කරන  oral  Glucose tolerant test (OGTT) පරීක්ෂණය. මේ සඳහා මව පැය දහයක කාලයක් නිරාහාරව සිට Fasting blood sugar අගය ලබා ගනී. ඉන්පසු ජලය මිලිලීටර් 300 ක දියකර ගත් ග්ලූකෝස් ග්‍රෑම්  180 ක් පානයට ලබා දී පැයකින් සහ පැය බාගයකින් පසුව නැවතත් රුධිර පරීක්ෂාවකින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය මැන බැලීම සිදු වේ. එහිදි ලැබිය යුතු අගයන් මෙසේය.

මෙම පරීක්ෂනයේ සාමාන්‍ය අගයන්

  • නිරාහාර රුධිර පරීක්ෂාව  (Fasting blood sugar ) 100 අඩු <100 mg/dL
  • පළමු පැය -170 අඩු <100 mg/dL
  • පළමු පැය -140 අඩු <100 mg/dL

ගැබි ගෙන සති 12 කින් පසුව සිදු කරන PPBS රුධිර පරීක්ෂණය.ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසුව සිදු කරන පරීක්ෂනය

Gestational Diabetes ප්‍රතිකාර

මෙය ග්ලුකෝස් මට්ටම අනුව තීරණය වේ. ග්ලුකෝස් මටට්ම යන්තමින් වැඩි වී ඇති අයට සරල ව්‍යයාම සහ ආාහර පාලනය මගින් රෝගය පාලනය කෙරේ.ඉහත ක්‍රම මගින් පාලනය කළ නොහැකි මව්වරුන්ට ඖෂධ භාවිතා කෙරේ.මෙහිදී ‘‘ මෙට්ෆෝමින් ‘‘ ඖෂධය භාවිතා කෙරේ. පෙති මගිනුත් පාලනය කළ නොහැකි මට්ටමේ මව්වරු සඳහා ඉන්සියුලින් නික්ෂේපනය භාවිතා කෙරේ. රෝගය පාලනය වී ඇත්දැයි මසකට හෝ ඇතැම් විට සති දෙකකට වරක් ආහාරයට පැය දෙකට පසු රුධිර පරීක්ෂා ( blood sugar series ) වක් මගින් තහවරු කර ගත හැක.

ප්‍රසුතියෙන් සති හයකට පසුද blood sugar series කළ යුතුය.

ගර්භණීත්වය සමග ඇති වෙන දියවැඩියාව නිසා ඇති වෙන සංකුලතාවයන්

ගර්භණී කාලයේදී දියවැඩියාව ඇති සෑම මවක්ම සංකුලතාවයන්ට මුහුණ දෙන්නේ නැත. නිසි උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඉතා නිරෝගි දරුවන් බිහි කරන දියවැඩියා රෝග තත්වයට පත් මව්වරුන් සිටිති.නමුත් ඇති විය හැකි අවදානම් අවස්ථා කීපයක්ද තිබෙනවා.

  • දරුවාගේ බර වැඩිවීම නිසා සිසේරියන් සැත්කමක් හෝ අඬු භාවිතය.
  • නියමිත කාලයට පෙරාතුව බිහිවීම. .(preterm delivery )
  • මල දරු උපත් ඇති වීමේ අවදානම
  • නව ජන්ම ශ්වසන අපහසුතාවය (respiratory distress syndrome)
  • නව ජන්මයාගේ රුධිර ග්ලුකෝස් මටට්ම ඉතා පහළට යෑම (hypoglycaemia )
  • මවට නිදන්ගත දියවැඩියාව ඇති වීමේ හැකියාව  ( type 2 diabetes )
  • විකෘති දරු උපත්  (birth defects )

කල් ඉක්මවූ දරු උපත් සිදු වීම.

ගර්භණිත්වය ඔබේ අවසාන ඔසප් වූ දිනයේ පටන් දින 280 ක කාලයකදී සිදු විය යුතුය. අදාල දිනට වඩා වැඩි කාලයකදී දරු උපත සිදු නොවුනේ නම් එය කල් ඉක්ම වූ දරු උපතක් ලෙස සැලකේ. මෙහිදී දරුවාගේ චලනය වීමේ ක්‍රියාවලිය සහ හෘද ස්පන්ධනය පිලිබඳව නිරතුරුව පරීක්ෂා කිරිම සිදු වේ.

දරුවා තට්ටමෙන් සිටීම

ගර්භණී සමය අවසාන වෙන විට දරුවා සිටින්නේ පාද ප්‍රමුඛව තම සිරුර පහලට සිටින සේ නම් එය තට්ටමෙන් පිහිටීම breech position  ලෙස හැඳින්වේ. මෙහිදී වෛද්‍යවරුන් විසින් දරුවාගේ හිස පහලට සිටින සේ (External cephalic version-ECV)  සුදානම් කිරීම සිදු වේ.මේ ක්‍රියාවලිය නිසා සාමාන්‍ය දරු උපතක් වෙනුවෙන් සූදානම් කිරීමට හැකි වුනත් එය සාර්ථක නොවුනහොත් වෛද්‍යවරයා විසින් Vaginal breech birth  හෝ සිසේරියන් සැත්කම වෙනුවෙන් තීරණයක් ගනු ලැබේ.

මේ අනුව බලන විට මවක් වීම කාන්තාවකට ආශිර්වාදයක්  වුනත් දරුවෙකු පිලිසිඳ ගැනීමේ නිමිත්තේ පටන් දරුවා මොලොව එළිය දකින තෙක් ඇය ගෙවන්නා වූ අවදානම් සහිත කාලපරිච්චේදයේ සංකුලතාවයන් ගැනත් දැණුවත්ව සිටීම අනාගතයේ මවක් වීමට පෙරුම් පුරන සෑම කාන්තාවකට ඉතා වැදගත් වෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත් 

(ප්‍රසව හා නාරි )

කෑගල්ල මහ රෝහල

 

 

ස්වයං පියයුරු පරීක්ෂාව ගැන ඔබ දැනුවත්ද?

රටක පැවැත්ම උදෙසා පවුලේ කාර්යභාරය උසුලන්නී රටේ ජීවනාලීය කාන්තාවයි. බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙසින් මහඟු වූ කාර්යයක් ඉටු කරමින් පවුලේ අවශ්‍යතා සොයා බලමින් සියලු කාර්යයන් මනාව කළමණාකරණය කරමින් පවුලක අභිවෘද්ධිය සලසාලන අතරම සමාජය හා ගැටෙමින් සියලු කරදර බාධක ජයගැනීමට පවුල මෙහෙයවීමේ කටයුත්ත ඉටු කරනු ලබන්නේ කාන්තාවක විසිනි. 

එවැනි වූ කාර්යභාරයක් උසුලන කාන්තාව වයසින් මුහුකුරා යත්ම විවිධ වූ ලෙඩ රෝග වලට ලක්වීමේ නැඹුරුතාවයක් දක්වයි. එසේ වීමට බොහෝවිට හේතු පාදක වන්නේ කාන්තා ශරීරයේ සමතුලිතභාවයට නිරෝගී සෞඛ්‍යයට බලපෑම් එල්ල කරනු ලබන හෝමෝන යාන්ත්‍රණය අඩුවීමයි. මෙසේ හෙයින් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අධික ස්ථූලතාව මෙන්ම පිළිකා තත්ත්වයන් කරා ලඟාවීම වයසින් මුහුකුරා යත්ම දක්නට ලැබේ. එසේම පිළිකා රෝග සම්බන්ධව සලකා බැලීමේදී කාන්තාවන් අතර බහුලතම පිළිකා රෝග වන්නේ පියයුරු පිළිකා හා ගැබ් ගෙල පිළිකාවයි. එසේම කල්තියා හඳුනාගැනීම මඟින් රෝගී තත්ත්වය වැඩි දියුණු වීම වළක්වා ගත හැකි හෙයින් මෙම රෝගී තත්ත්වය පාලනය කරගැනීමට අවස්ථාව ලැබේ. එසේ හෙයින් කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති වුවද රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේද භාවිත කිරීමෙන් වෙනත් පිළිකා තත්ත්වයනට වඩා පහසුවෙන් මෙම පිළිකා වළක්වා ගත හැකි වේ. 

ගැබ් ගෙල පිළිකාව සඳහා ප්‍රථම ලිංගික එක්වීමට පෙර හියුමන් පැපිලෝමා වෛරසය සඳහා එන්නත් ලබාදීමට හා ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කළ සෑම කාන්තාවක්ම ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කල පසු සෑම වසර 5 කට වරක් පැප් පරීක්‍ෂණය සිදු කරවා ගැනීම මඟින් පිළිකා සෛල ඇති වීම කල්තියා හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාර සඳහා මුල් අවස්ථාවේදීම යොමු වීමට හැකි වීම තුලින් ගැබ් ගෙල පිළිකා අවධානමින් මිදිය හැකි වේ. ගැබ්ගෙල පිළිකා සඳහා ඇති එකම හා හොඳම පරීක්‍ෂණය පැප් පරීක්‍ෂණය වේ. 

එමෙන්ම පියයුරු පිළිකා සඳහාද ඊස්ට්‍රජන් හෝමෝනය බලපෑමක් සිදුවන බවට වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇති හෙයින් සෑම කාන්තාවක්ම තම වයස අවුරුදු 20 සිටම පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුතු වේ. 

ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුත්තේ කවුරුන්ද?

  • මෙය වසය අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම
  • ලිංගික හෝමෝන සක්‍රීයව පවතින සමයේ පසුවන එනම් මාසික ඔසප් වීම සිදුවන කාන්තාවන් මාසික ඔසප් වීම සිදුවී දින 7 – 10 ත් අතරදී
  • ආර්තවාහරණයට (Menopause) එනම් ඔසප් වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නියමිත දිනයකදී 

පියයුරු පරීක්‍ෂාව කළ යුත්තේ කෙසේද?

  • පියයුර නිරීක්‍ෂණය කිරීම (කණ්ණාඩියක් ඉදිරිපිටදී)
  • පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම (ඝර්ෂණය මඟින්)

පියයුර නිරීක්‍ෂණය කිරීම

  • මේ සඳහා සුදුසු ස්ථානයක් (නාන කාමරය හෝ කාමරයේ කණ්ණාඩිය ඉදිරිපස වඩාත් සුදුසු වේ) තෝරා ගන්න.
  • උඩුකය ඇඳුම් ඉවත් කරගෙන කණ්ණාඩියක් ඉදිරියේ සිට ගන්න. එසේ සිට,
  • දෑත් දෙපසට සිටින සේ සෘජුව තබාගන්න
  • අත් දෙකම ඉහළට ඔසවන්න
  • අත් දෙක ඉණ මත තබාගෙන මඳක් ඉදිරියට නැමෙන්න

මේ ඉරියව් වලදී පියයුරු වල මීට පෙර නොදුටු වෙනස්කමක් ඇත්දැයි නිරීක්‍ෂණය කරන්න. එහිදී,

  • පියයුරු වල ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනස්කමක් හෝ අසමමිතික බවක් (ලඟදී ඇති වූ) ඇත්ද? 
  • පියයුරු වල සමේ වර්ණයේ වෙනසක්, ගැටිත්තක්, ගෙඩියක් හෝ ඉදිමුමක් ඇත්ද ඒවා වේදනා රහිතද?
  • පියයුරේ මතුපිට සම දොඩම් ලෙල්ලක් මෙන් ඝන ස්වභාවයක් වේද?
  • ලඟකදී ඇති වූ පියයුරේ වල කැසීමක් වේද?
  • මෑතකදී තන පුඩුව ඇතුලට ගිලී යාමක් සිදුව ඇත්ද?

මේ ලෙසින් දෑසට දැකිය හැකි වෙනස්කම් කලින් නුදුටු ලඟකදී ඇති වූ ඒවා තිබේදැයි නිරීක්‍ෂණය කරමින් එම නිරීක්‍ෂණය තුලින් දැකිය හැකි වෙනස්කම් හඳුනා ගන්න. 

පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම 

මෙය ඇඳක නිදා සිටින අයුරින්/වැතිරී සිටින ලෙසින් හෝ නාන කාමරය තුල ස්නානය කරන විට හෝ සිදු කළ හැකිය.

ඇඳක වැතිරී පියයුරු පරීක්‍ෂාව කරන අයුරු

  • ඇඳ මත උඩු අතට දිගාවෙන්න
  • පරීක්‍ෂා කරන පැත්තේ උරහිසට යටින් පැතිලි කොට්ටයක් හෝ ඝනකම් ලෙස නවාගත් බෙඩ් ෂීට් එකක් තබන්න. 
  • පරීක්‍ෂා කරන පැත්තේ අත්ල මත හිස තබා විරුද්ධ අතින් පියයුර පරීක්‍ෂා කරන්න. මෙවිට වම් අතින් දකුණු පියයුර ද දකුණු අතින් වම් පියයුර ද පරීක්‍ෂා කරන්න. 
  • අතේ ඇඟිලි එක්කොට ඇඟිලි වල ඇතුල් පැත්තේන් පියයුර මත පැතලි ලෙස තෙරපීම් පපු කුහරයට තද වන සේ කරමින් පරීක්‍ෂා කරන්න. එවිට 
  • පියයුරෙහි ගැටිති
  • සමට යටින් තද ගතියක්
  • වේදනාවක්

ඇත්දැයි බලන්න. එසේම පියයුරේ සෑම කොටසක්ම පරීක්‍ෂාවට හසුවන සේ එක් තැනකින් පටන් ගෙන ඔරලෝසු මුහුණතක කටු දිවෙන ආකාරයට රවුමෙන් රවුමට පියයුරේ පිටත සිට තන පුඩව දක්වා හොඳින් පරීක්‍ෂා කරන්න. කිසිදු විට ඇඟිලි එක්කර මිරිකමින් පරීක්‍ෂා නොකරන්න. මෙම පරීක්‍ෂාවේදී සැහැල්ලු බවෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් තද කරමින් පියයුර උරස් බිත්තිය දක්වා වඩාත් තද කරමින් පරීක්‍ෂා කරන්න. 

අනතුරුව මහපටඟිල්ල හා දබරඟිල්ල මඟින් පියයුරේ කළු කොටස එනම් ඇරියෝලාව මිරිකා බලන්න. අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවේ දැයි බලන්න. පසුව වම් අතින් දකුණු කිහිල්ලත් දකුණු අතින් වම් කිහිල්ලත් හොඳින් පරීක්‍ෂා කරන්න. ගැටිති ඇති දැයි විමසිලිමත් වන්න. 

මෙසේ පියයුරු තමන් විසින් පරීක්‍ෂා කරගැනීම එනම් ස්වයං පියයුරු පරීක්‍ෂාව කර ගැනීමෙන් තමන්ටම පියයුරු වල අසාමාන්‍යතාවයක් ඇත්නම් හඳුනා ගත හැකියි. 

එසේම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල පැවැත්වෙන සුවනාරී සායනයේදී, ප්‍රසව හා නාරී වේදීය විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලක නාරිවේදීය සායනයේදී හෝ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ලවා හෝ සැකයක් ඇති ඕනෑම අවස්ථාවක ඕනෑම කාන්තාවකට පියයුරු පරීක්‍ෂාවක් සිදු කරවා ගත හැකිවා මෙන්ම පුද්ගලික වෛද්‍ය ආයතන හෝ පුද්ගලික රෝහල් මඟින් ද රජයේ ඕනෑම රෝහලක බාහිර රෝගී අංශයේදී වුවද සැකයක් ඇති වූ ඕනෑම අවස්ථාවක ඔබට වෛද්‍ය උපදෙස් පැතිය හැකියි. එමෙන්ම අවශ්‍යතාව අනුව අදාල සායන වෙතට එනම් ලඟම රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමු කර ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගනු ලබනවා. 

මෙසේ හෙයින් පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ උදව් ලබාගැනීම මඟින් ඔබට ඔබගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගත හැකි සෞඛ්‍ය පද්ධතියක් පැවතීම අපේ වාසනාවයි. මේ නිසා ඔබටත්, ඔබගේ දෙමාපියන්, දරුවන් වෙනුවෙන් මේ සියළු සෞඛ්‍ය පහසුකම් සලසා ගනිමින් නිරෝගීතාවය අත්විඳීමට කාන්තාවකට ලැබෙන අවස්ථාව සමස්ත පවුලේ අභිවෘද්ධියට හේතු වනු නොඅනුමානයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

සාර්ථක මා පිය යුවළක් වන්නට ඔබටත් අවශ්‍ය ද?

ආදරණීය කිරි කැටියා මෙලොව එළිය දකින තෙක් අම්මා ඇඟිලි ගනිනවා වගේම මවගේ සෙවනැල්ල සේ ලඟ රැදෙමින් මවගේ සියලු දුක සැප බෙදාගනිමින් පියා සිටින්නේ ද දරුවාගේ මුහුණ දැකීමට ඉමහත් ආසාවකිනි. දරු පිළිසිදීම දැනගත් මොහොතේ සිට පිය පදවිය පිළිබඳ දැනුනු හැඟීම් එදින සිට දිනෙන් දින මව් කුස තුල වැඩෙන බිළිඳා, ඒ සමඟ මව අත්දකින කටුක අත්දැකීම් දෑසින් දකිමින් ඇගේ අවශ්‍යතා ඉටු කරමින් පියෙකු ලෙසින් පෙරුම් පුරන්නේ දරුවා සමඟින් නව ජීවිතයකට එකතු වෙන්නයි. මව් කුස තුලදී දරුවාගේ වර්ධනය වන හා ක්‍රියාත්මක වන පංච ඉන්ද්‍රියයන් හරහා පියාගේ මේ කැපවීම, ආදරය, සෙනෙහස දරුවාට දැනෙන්නට පටන් ගන්නවා. දරුවා තුල මේ පිළිබඳ මතකයන් ගබඩා වී තිබෙනවා. එසේ හෙයින් පියා දරුවාට සමීප වීම, සුරතල් කිරීම, රැකබලා ගැනීම තුලින් දරුවා පියා සමඟ ඉතා ඉක්මණින් සබඳතා ගොඩනඟා ගැනීමට හේතුවක් වෙනවා. 

එසේම ප්‍රසූතිය සමඟ මව පත්වන අපහසුතා වගේම බැරෑරුම් වගකීම් සම්භාරය හමුවේ අසරණ වන මවට තිබෙන එකම සහනය මේ තත්ත්වය තේරුම්ගත් ස්වාමිපුරුෂයෙකු ලැබීමයි. එසේ සහනදායී වටපිටාවක් තුල මවකට තම දරුවා පෝෂණය කිරීම, රැකබලාගැනීම සඳහා ලැබෙන සහය සහනයක්ම වෙයි. මෙසේ හෙයින් මව දරු සබඳතා ශක්තිමත් වීම වගේම දරුවාගේ අවශ්‍යතා සියල්ලද ඉටුවේ. එවිට දරුවාගේ කායික අවශ්‍යතා ශක්තිමත් වනවා මෙන්ම මානසික බැඳීමද යහපත් ලෙස ඉටු වේ. එවන් වටපිටාවකදී දරුවාගේ අවශ්‍යතා යහපත් ලෙස ලැබෙන හෙයින් තෘප්තිමත් වන දරුවා සුවෙන් නිරෝගී ලෙස වැඩේ. ඒ සමඟම මව ලබන සහනදායී වට පිටාව හේතුවෙන් පවුලේ බැඳීම් ද යහපත් වේ. 

ශක්තිමත් බැඳීම් සහිත පවුල් පරිසරයක් තුලදී අලුත උපන් දරුවා රැකබලා ගැනීමේ කටයුත්ත මව මෙන්ම පියා අතින්ද සිදු වේ. මෙසේ වන විට මව පවසන අවශ්‍යතා මෙන්ම දරුවා ඉඟි මඟින් පවසන අවශ්‍යතා හඳුනා ගැනීමට මවට මෙන්ම පියාටද හැකි වේ. මෙවන් අවශ්‍යතා හඳුනා ගැනීමට පියාට අවස්ථාව ලැබෙනුයේ පියා දරුවාගේ කටයුතු සඳහා සක්‍රීයව දක්වන දායකත්වය නිසයි. 

අලුත උපන් දරුවා මව පියා අතර නිදාගැනීම වඩාත් සුදුසු වේ. එවිට දරුවාගේ ක්‍රියාකාරකම් අවශ්‍යතා සම්බන්ධව මවට මෙන්ම පියාටද වැටහීමක් ලැබේ. එසේම දරුවාගේ නින්ද, නින්දට ඇති බාධක හඳුනා ගැනීමටද ඒ ඒ අවශ්‍යතා වලදී දක්වන ප්‍රතිකාර පිළිබඳව අවබෝධ කර ගැනීමටද මෙය අවස්ථාවක් වේ. එසේම එම අවශ්‍යතා සඳහා දරුවාට පහසුකම් සැලසීමටද පියාට අවස්ථාව ලැබේ. එමෙන්ම පහසුකම් සැලසීමට අවශ්‍ය පසුබිම සැකසීමටද දැනුමක් පියාට ලැබේ. ඒ අනුව පියාට වෙහෙසකර අවස්ථාවකදී වුවද විවේකය ලබාගැනීමට පෙර මේ පිළිබඳව සොයා බලා පෙර සූදානමක් සකස් කර මවට අවශ්‍ය සහාය ලබාදීමේ අවස්ථාව මින් උදාවේ. 

පූර්ව මුල් ළමා වියේ සත්කාරය පටන් ගැනෙනුයේ ගර්භනී සමයේ සිටයි. මෙසේ පටන් ගන්නා මේ සත්කාරය එනම් මොළයේ සංවර්ධන ක්‍රියාවලි සිදුවන සමය, ප්‍රමූඛ ලෙස කුස තුල සිටින සමයේ සිට මුල් අවුරුදු තුන දක්වා හෙයින් දරුවාගේ ප්‍රශස්ත සංවර්ධනයට මූලික ලෙසම දායකත්වය සැකසිය යුතු කාල සීමාවේදී පියා සමීපයේ සිටීම දරුවාට අත්දැකීම් ලබාගැනීමටද තීව්‍ර අවස්ථාවක් වේ. 

මව සමඟ මව් ඇකයේ මෙන්ම පියාගේ තුරුලද දරුවාට සලසන උණුසුම මෙන්ම ප්‍රතිචාරාත්මකව දක්වන ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව මින් උදාවේ. මෙසේ පියාගේ උණුසුමට හුරුවීම සමඟ මවගේ කටයුතු සඳහා මවට ලැබෙන අස්වැසිල්ලද අතිමහත්ය. එපමණක්ද නොව මව හා පියා අතරින් දරුවාට හඳුනාගත හැකි කටහඬ, පැහැය, හැඩය ආදී ලෙසින් වූ වෙනස් දේ හඳුනා ගැනීමේ කුසලතාවයන් වර්ධනයටද මෙය අවස්ථාවක් වේ. 

මෙසේ වුවද අධික ලෙස තෙහෙට්ටු වී හෝ අපහසුතා ඇති අවස්ථා වලදී දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වීම සිදු වී යුතුමයි. මොකද අධික නිදිමත නිසා දරුවාගේ අවශ්‍යතා නොදැනීම හෝ එයට සම්බන්ධ වීමට නොහැකි අවස්ථා වලදී ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමක් සමඟ දරුවා තබාගැනීම වඩාත් සුදුසු වේ. තවද දරුවාගේ මනෝ සමාජීය සංවර්ධනය සඳහා ගීත ගායනය, කතා කීම, කවි කීම ආදී ලෙසින් වූ වැදගත් සිදු වීම් වෙනුවෙන් පියාටද මැදිහත් වීමට අවස්ථාවක් උදාවීම මනෝ සමාජීය සංවර්ධනය වැඩි කිරීමට හේතුවක් වේ. 

දරුවා ස්පර්ශය, චලනය ආදී ලෙසින් ක්‍රියාවකට දක්වන ප්‍රතිචාර හරහා පංච ඉන්ද්‍රියයන් උත්තේජනයට අවස්ථා සැලෙසන හෙයින් ඒ සඳහා දරුවෙකුට මවගේ රැකවරණයටද පියා සමීපයේ සිටීම ද ඉතා වැදගත් වේ. එසේම මවගේ රැකවරණය තුලින් මව ලබන සහනය, සැනසිල්ල, ආදරය මෙන්ම සහය දැක්වීම මඟින් මවට ලැබෙන අස්වැසිල්ල දරුවාගේ වර්ධනය තීව්‍ර කරයි. 

එසේම පවුලක මව, පියා අතර ඇති යහපත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දරුවාගේ සමස්ත ජීවිතයටම බලපෑම් එල්ල කරන අතරම අභියෝග හමුවේ මුහුණ දීමට ඇති ශක්තිය වඩවාලීමටද පවුලක ඇති යහපැවැත්ම හේතු වේ. දරුවෙකුට එහි මූලික අඩිතාලම ව‍ැටෙන්නේ සිය පවුල් පරිසරය තුලිනි. මව පියා අවශ්‍ය සීමවිටම දරුවාට මව පියා දකින්නට ලැබේ නම් දරුවාට එයම ආදරණීය බැඳීමකි. ශක්තියකි. මේ ශක්තිය වඩවාලන්නට හැකි අවස්ථා අප මඟ හැරිය යුතු නොවේ. ඒ සඳහා උපරිම අවස්ථා ඇති කිරීම අප සැමගේ වගකීම වේ. 

මෙසේ හෙයින් අළුත උපන් දරුවා සඳහා දෙමාපිය රැකවරණය දරුවාට දැනෙන ලෙස ලබාදීමට හැකි අවස්ථා උපරිම ලෙස රඳවාලන ජීවිතයක් දරුවාට උරුම කල හැකි  අප කෙතරම් වාසනාවන්තද? එසේම ඒ වාසනා මහිමය දරුවාගේද මුළු ජීවිතයටම දැනෙන ආශිර්වාදයක් ද වනු නිසැකය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අම්මාගේ කෑම බීම කිරි බොන පැටියට බලපාන්නේ කොහොමද?

කිරි සිහිනය සැබෑවු හැම අම්මෙකුගේම ඊලඟ බලාපොරොත්තුව මව්කිරි වලින් දරුවා පෝෂණය කිරීමයි. මේ සඳහා හැම අම්ම කෙනෙක්ම ගැබ්ගත් දා සිටම කල්පනාකාරී වෙනවා පමණක් නොව ඒ වෙනුවෙන් පූර්ව සූදානමකුත් වෙනවා. ඒ වගේම උපන් විගස ළදරුවාට කිරි ලබා දිය හැකි නම් මව්කිරි යාන්ත්‍රණය උත්තේජනය වනවා පමණක් නොව ඒ මඟින් දරුවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න වගේම අම්මගේ ශරීරයේ විශේෂයෙන් ගර්භාෂය හැකිලීමත් නිසි පරිදි සිදු වනවා. 

මෙසේ කිරි යාන්ත්‍රණය ශක්තිමත් වීමට මවගේ මානසික නිරෝගීතාව ඉතා වැදගත් වන අතරම එසේ මවගේ මානසික නිරෝගීතාවය ඇති වෙන්නේ ඇයගේ මූලික අවශ්‍යතාවයන් නිසි පරිදි ඉෂ්ඨ වුවහොත් පමණි. ඒ මූලික අවශ්‍යතා අතරේ ආහාර, ජලය වගේම අනෙකුත් මූලික අවශ්‍යතා ද ඇතුලත් වේ. මේ මූලික අවශ්‍යතා සපිරෙනවා නම් මව කායිකව මෙන්ම මානසිකවද සන්තෘෂ්ඨීයට පත් වන අතරම එය මව්කිරි හොඳින් එරීමට උත්තේජනයක් සපයයි. 

මෙසේ කායික අවශ්‍යතා වල මූලික කරුණ ආහාර හා ජලයයි. ආහාර සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. මව්කිරි දෙන මවකටත් එසේම නිසි පෝෂණයක් සහිත ආහාර අවශ්‍යයි. මෙතනදි විය යුත්තේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීමත් ඒ මඟින් මවට අවශ්‍ය පෝෂණ කොටස් සැපයීමත්ය. ඒ සඳහා කිරි මවකට සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ආහාරයේ මේ තියෙන ගුණාත්මකභාවය මඟින් මවගේ පෝෂණ අවස්ථා නිසි ලෙස සපිරෙද්දි මවගේ කායික නිරෝගීතාවය වගේම මානසික නිරෝගීතාවයටත් එය හේතුවක් වෙනවා. මේ කරුණ මත මවගේ සංතෘෂ්ටිය ඉහළ නැංවීම නිසා මව්කිරි යාන්ත්‍රණය හොඳින් ශක්තිමත්ව සිදු වේ. දරුවගේ පෝෂණය නංවන්නට හේතුවන ප්‍රභලම හේතුවත් එයමයි. ඒ වගේම මවගේ ශරීරයේ පවතින නිරෝගීතාවය මව්කිරි ලාබාදීමටත් මහඟු රුකුලක් වනු ඇත. 

අම්මගේ පෝෂණ තත්ත්වය ඉහළ යාම නිසා දරුවාගේ පෝෂණ තත්ත්වයත් ඉහළ යන හෙයින් මව විසින් ලබාගන්නා ආහාරයේ ඉහළ පෝෂණ අගය දරුවාගේ පෝෂණයට මුසු වනු ඇත. එසේම විටමින් අවශ්‍යතා වගේම කැල්සියම් වැනි ඛනිජ ලවණ අවශ්‍යතා දරුවාගේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්නා සේම කෙස්, නිය, දත් වල නිරෝගීතාවයට ද  බලපායි. මේ නිසා මවගේ ශරීරය තුල එවැනි ලවණ ප්‍රමාණවත්ව පැවතීම මව්කිරි වල ගුණාත්මකතාවයට හේතු වේ. දරු ප්‍රසූතිය සිදුවෙලා මුල් සති දෙක තුල මවට විටමින් A අධි මාත්‍රාව ලබාදෙන්නේ ද ඒ නිසයි. මේ ලබාදෙන විටමින් A මව්කිරි හරහා දරුවා වෙතට යැවෙන නිසා දරුවාට එහි බලපෑම ලැබෙන අතරම මව්කිරි දෙන කාලය තුල මවට යකඩ විටමින් ලබාදීම තුලින් ද සිදුවන්නේත් මේ ක්‍රියාවලියයි. මවගේ පෝෂණ අවශ්‍යතා නිවැරදි කිරීම තුලින් දරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වන බව දැන් එබට වැටහෙනවා ඇති.  

පොලොස්, කරවිල, පලා වර්ග, පළතුරු මගින් මවට අවශ්‍ය ඛනිජ කොටස් වැඩිපුර ලබාදිය හැකි අතරම රතුපාට මාළු, කරවල මගින් මවට අවශ්‍ය යකඩ කොටස් ලැබේ. එමගින් මවගේ රතු රුධිර සෛල නිෂ්පාදනයට රුකුලක් සැලයේ. එය මවගේ යහපත් පැවැත්මට බොහෝසෙයින් උපකාරී වේ. 

කෙඳි සහිත ආහාර මඟින් එනම් රළුව සපයන ආහාර මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වගේම පරිවෘත්තීය ක්‍රියාත් යහපත් ලෙසින් සිද්ධ වීම මවට පෝෂණ කොටස් වලින් වගේම ලැබෙන තවත් සහයකි. පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම මව අසහනයට පත් කරනව ක්‍රියාවක් වන අතරම එහි ප්‍රතිඵලය මවට මානසික සහනයක් නොමැති වීමයි. ඒ වගේම මල බද්ධය වැනි තත්ත්වයක් ඇති වුවහොත් එයද මවගේ ගර්භාෂය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීමට බලපාන අතරම මව අධික රුධිර වහන තත්ත්වයට වුවද පත් විය හැක. එවැනි තත්ත්වයක් මවගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි අතරම එවිට දරුවාව නිසි පරිදි පෝෂණය කරීමටද මවට අපහසු විය හැකියි. 

මවගේ ශාරීරික ක්‍රියාවලි සඳහා බලපාන සෑම පෝෂණ කොටසක්ම ඍජුව දරුවාටත් බලපාන අතරම මවට ඌනතා සිදුවෙන සෑම දෙයකම ඊලඟ බලපෑම සිදුවන්නේ දරුවාටයි. ඒ වගේම තමයි මවට ආසාත්මික ආහාර නිසා ඇතිවන තත්ත්වයන් වලදී මවගේ සෞඛ්‍ය දරුවාට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා සේම මවට දෙන සමහර සැර ඖෂධයන් දරුවටත් බලපෑ හැකියි. 

මව්කිරි වල වැඩිපුර ඇත්තේ ජලයයි. මේ සඳහා මවගේ ශරීරයේ තරල ප්‍රමාණයත් මව්කිරි සඳහා බලපායි. මව විජලනයට පත් වුනොත් මව්කිරි නිෂපාදනයට එය බලපෑ හැකි නිසා මව හොඳින් ජලය පානය කළ යුතුයි. ඒ වගේම ලවණ අඩංගු පලතුරු යුෂ පානය වඩාත් හිතකර වන්නේ ඒ හරහා මවට ලැබෙන විටමින් හා ලවණ දරුවාට ලැබෙන නිසා පමණක් නොව පැඟිරි රසය ආහාර රුචිය ඇති කරවන්නක් නිසාත් මවට ආහාර රුචිය වැඩි කරන්නත් ඒ පලතුරු සාන්ද්‍රණ මඟින් දරුවාට ලවණ හා විටමින් හොඳින් ලැබීමටත් ඒක හේතුවක් වන නිසාය. 

නමුත් තේ, කෝපි, බීම මව්කිරි වලට අහිතකරයි. කෝපි වල කැෆේන් මඟින් මව්කිරි නිෂ්පාදනය අඩු කළ හැකියි පමණක් නොව ඒවා උත්තේජක නිසා දරුවාට අයහපත් උත්තේජන ඇති විය හැකියි. නින්ද පමාවීම නිසා දරුවා නොසන්සුන් වීමට ද හැකියි. ඒ වගේම විජලනයට පත්වීමටද හැකියි. මෙසේ හෙයින් අනවශ්‍ය ලෙස තේ, කෝපි පානය වගේම අධික ලෙස චොකලට් භාවිතය කිරි දෙන මවකට නුසුදුසුය. 

එසේම මත්පැන් පානය කරන්නේ නම් එයද බරපතල අහිතකර තත්ත්වයක් ඇති කල හැකියි. අපේ මව්වරු අතර කලාතුරකින් දැකිය හැකි පුරුද්දක් වන මෙය සහමුලින්ම වලකා ගත යුතුය. කුඩා කල සිටම ලබාදෙන වැරදි උත්තේජන හා වැරදි ආහාර සංස්කෘතිය දරුවාට ඒ මොහොතේ පමණක් නොව දීර්ඝකාලීන ලෙසට බලපෑම් ඇති කල හැකි තත්ත්වයන් නිර්මාණය කල හැකිය. 

ආයුර්වේදයේ සඳහන් පරිදි පොලොස්, කරවිල, මුරුංගා කොල, සාරණ, නිවිති, කිරි අගුණ වැනි පලා එළවළු ද කෙඳි සහිත කොස් වැනි ආහාරද පියලි වර්ගද වැව් මාළුද කිරි දෙන මව්වරුන් සඳහා ගුණදායක ලෙසින් සැලකේ. ඒ මේ ආහාර වල පෝෂණ ගුණය වගේම රළුවද බහුලව අඩංගු නිසයි. නිවුඩු සහිත සිංහල හාල, මාළු වර්ග වගේම පලතුරු වර්ග මඟින් ප්‍රමාණාත්මක වගේම ගුණාත්මකව කිරි මවට සැපයෙන පෝෂණය මවගේ ශක්තිය වඩාලමින් එය දරුවාගේ ජීවතයට පෝෂණීය අත්වැලක් සපයනු නිසැකය. 

මෙසේ හෙයින් ආසාත්මිකතා ඇති කරන ආහාර හා උත්තේජක පාන/ආහාර මගහැර අනෙකුත් වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වීම මඟින් දරුවාට ලැබෙන මව්කිරි බලාපොරොත්තු වන ප්‍රශස්ත පෝෂණය හා වර්ධනය සපයාදීමට සෑම මවකටම හැකි වනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අලුත් බබාගේ හමේ මතුවන බිබිලි ගැන බයෙන්ද?

 දරු උපතක් කියන්නේ යුවලකගේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක්. මේ අත්දැකීමත් එක්ක හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැහැ. ඒ වගේම තමයි ඒ සංතෝෂයන් එක්කම හිතට දැනෙන බය, දුක, වේදනාව. එහෙම වෙන්නේ කුඩා දරුවව තේරුම් ගන්න ටික කාලයක් ගත වෙන නිසා. ඒ නිසා ඒව දැක අඳුනගෙන පිළිතුරු හොයාගන්නකම් දෙමාපියන් හරියට නොසන්සුන් වෙනවා. ඒ වගේ අත්විඳිය හැකි එක ගැටළුවක් තමයි බබාගේ හමේ මතුවෙන බිබිලි හෝ ලප. 

බිබිලි හෝ ලප වර්ග කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දරුවා ඉපදිලා දින දෙකේ තුනේ ඉදන්ම ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද මේ පිළිබඳව අධ්‍යයනය කරන එක දැනුවත් වෙන එක වගේම ඒවට කළ යුතු දේ පිළිබඳවත් සොයා බලන එක වැදගත්. 

කුසෙහි ඉන්න බිළිඳා ඉන්නේ හරිම ආරක්‍ෂිත පරිසරයක. පරිසරය ඉතාම සිනිඳු සමක් දරුවට තියෙන්නේ. ඒකට ආරක්‍ෂාවක් හැටියට දරුව ඉන්න පැස ගැබ් තරලයෙන් පිරිලා තියෙන්නේ. මේ දරුව හරියට මාළුවෙක් වගේ. මේ ජලජ පරිසරය තුල ඉන්නේ. මේ ලෝකෙට ආවට පස්සේ එයාගේ පරිසරය වෙනස් වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වයත් එයාට බලපානවා. ඒ එක්කම එයාගේ පෙනග් පෙනහළු ශ්වසනයත් පටන් ගන්නවා. එතකොට එයා මේ පරිසරයට හැඩ ගැහෙන්න ඕනා. ඒ හැඩ ගැසීම් වලට ඔරොත්තු දෙන්න යම් යම් වෙනස්කම් ඇති වෙනවා. එයින් එකක් තමවි මේ දරුවගේ ඇගේ මතුවන රතු බිබිලි. මේක ජනවහරේ නැතිනම් අපේ ආච්චිලා අත්තම්මලා කියන්නේ රතගාය කියලා. මේක හරිම ස්වභාවික සිද්ධියක්. ඒ වුනාට ඒක දකින්නේ ඉපදිලා දින දෙක තුනකදි නිසා එයාලා හරියට කලබල වෙනවා. ඒ වුනත් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ පරිසරයට අනුවර්තනය වීමක්. බිබිලි ටිකක් පිටදාලා හම ගොරෝස් කරන එකත් සමේ ක්‍ෂෙත්‍රඵලය වැඩි කරන එකත් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ වගේම දින කීපයකින් මේක අඩුවෙලා යනවා. පරිසර අනුවර්තනයට ඉඩදීලා දරුවා නෑවීමත් සම වියලිව තැබීමත් පමණක් මීට සෑහෙනවා. 

එහෙත් දින කීපයකදී අඩු වෙන්නෙත් නැත්නම් ක්‍රමයෙන් බිබිලි වැඩිවෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම තමයි කළ යුත්තේ. 

මේ එන බිබිලි වලට අමතරව කිහිල්ල, ඉකිලි ප්‍රදේශය ආශ්‍රිතව සැරව එන බිබිලි කීපයක් මතුවෙන්න පුළුවන්. ඒකත් බිය විය යුතු නැහැ. නෑවීම දිගටම කිරීමත්, ගලායන සේ ජලය ඇඟට වත් කර සේදීමත් මඟින් මේවා පහව යන්න පුළුවන්. ඒ වුනත් මේ සැරව බිබිලි ක්‍රමයෙන් වැඩිවෙනවා නම් එයත් වෛද්‍ය උපදෙස් ලැබිය යුතු හේතුවක්. 

දරුවන් මව්කුස සිටින කාලයේ ගර්භාෂ තරලය හේතු කොටගෙන පිටි දියකලා සේ උකු තරලයක් ඇඟ පුරා තැවරී තිබෙනවා. මේවා උපන් විගස සියල්ලම එකවර ඉවත් කෙරෙන්නේ නැහැ. එසේ කෙරෙනුයේ එම ගර්භ තරලය දරුවාගේ උෂ්ණත්වය තරමක් දුරට ආරක්‍ෂාවට හේතුවක් නිසයි. එහෙත් පසුව මේවා ඉවත් නොකර සිටීමෙන් තෙත ගතිය හේතු කොටගෙන ඒවායේ බැක්ටීරියා වර්ධනය වීමක් සිදුවිය හැකියි. බොහෝ විට එසේ වන්නේ ඉකිලි, කිහිලි, බෙල්ල ආදී නැමෙන ස්ථාන වල. මේ නිසා ඒවා පිරිසිදු කිරීමත් වියළිව තැබීමත් මඟින් ආසාදනයට ලක්වීම වළක්වා ගැනීමටත් බිබිලි මතුවීම අඩු කර ගැනීමටත් එය හේතුවක් විය හැකියි. 

සමහර මව්වරුනට ප්‍රසූතියට පෙර වතුර බෑගය බිඳී යාම සිදුවී වතුර පිටවීම සිදුවිය හැකියි. මෙවන් අවස්ථා වලදීද දරුවාට ආසාදන ඇති වීමට ඉඩකඩ ඇති හෙයින් බොහෝ විට දරුවා ඉපදීමට පෙර මවට ප්‍රතිජීවක දෙන අවස්ථා දකින්නට ලැබෙනවා මෙන්ම මෙවන් තත්ත්වයට පත්වන දරුවන්ට ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා. 

රතුපාට බිබිලි වල මැද කහපාට සැරව තිත් මෙන් දක්නට ලැබේ නම් ඒවා ආසාදිත බිබිලි ලෙස හඳුනා ගත හැකිය. රතු පාට පමණක් වන බිබිලි සමේ ආරක්ෂාව පිනිස වන අතරම සැරව පිරී ඇති විට එය ආසාදනයක්ද යන්න සැක හැර දැන ගත යුතුය. මන්ද සැරව බිබිලි එකක් දෙකක් පමණක් නම් එය සුව වී යාමට හැකි අතර දිගටම තැබීමෙන් ක්‍රම ක්‍රමයෙන් මතුවන සැරව බිබිලි ප්‍රමාණය වැඩි වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වන අතර එවැනි අවස්ථාවලදී බොහෝ විට ප්‍රතිජීවක අඩංගු ක්‍රීම් වර්ග සමට ආලේප කිරීමට ලබාදෙයි. ආසාදිත තත්ත්වය වැඩි වේ නම් හෝ ඒ සමඟම උණ ඇති වේ නම් දරුවාටද ප්‍රතිජීවක ඖෂධ ද ලබාදීමට සිදුවන අවස්ථා ඇත. 

තවද අලුත උපන් දරුවා නිවසට රැගෙන ආ පසු නිවැසියන් වගේම දරුවා බැලීමට පැමිණෙන අය වඩාගැනීම, අතපත ගෑම හේතු කොටගෙන බැක්ටීරියා වැනි විෂබීජ දරුවාට සම්ප්‍රේෂණය වීම නිසා සම මත සැරව බිබිලි ඇති විය හැකියි. මෙසේ ඇතිවන සැරව බිබිලි සඳහා ද වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා සේම කුඩා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේදී සීමිත පිරිසක් පමණක් එනම් අම්මා, තාත්තා, ආච්චි ආදී ලෙසින් කීපදෙනෙකු පමණක් ඒ සඳහා මුහුවීමත් අන් අය විසින් නිවැසියන්ට අවශ්‍ය උදව් ලබාදීම තුලින් අලුත උපන් ළදරුවා ආරක්ෂා කර ගැනීමට මග පෑදෙනු ඇත. 

මෙවැනි ස්වභාවික සංසිද්ධි වගේම මැසි මදුරුවන් නිසාත් දරුවාගේ සමේ ලප හෝ බිබිලි ඇති විය හැකියි. එසේ හෙයින් දරුවා සිටින කාමරයට ආහාර ගෙනයාම, දූවිලි මඟින් හෝ අපවිත්‍ර වීම සිදු නොවීමට වගබලා ගත යුතුය. හොඳින් වාතාශ්‍රය, හිරු එළිය ලැබෙන කාමරයක දරුවා තබාගැනීම දරුවාගේ ඉන්‍ද්‍රීය සංවර්ධනයටද හිතකර වෙනවා මෙන්ම කූඹි, මැස්සන් ආදී කෘමි සතුන් එම කාමරයට පැමිණීම වළක්වා ගැනීමටත් පුළුවන්. 

කූඹින් දෂ්ඨ කිරීමෙන් මෙන්ම මදුරුවන් ද්ෂඨ කිරීමෙන් ද දරුවාගේ සිරුර තුල බිබිලි/ලප ඇති විය හැකියි. එවන් අවස්ථා අවම කිරීම කළ යුතුවා සේම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගැනීමටත් දාඩිය දැමූ ඇඳුම් එම කාමරය තුල තබා නොගැනීමටත් වග බලා ගත යුතු වනවා සේම මදුරුවන් සඳහා දැලක් භාවිත කිරීමත් කළ යුතුයි. එමෙන්ම දරුවාගේ ඉවත් කරන නැපි පියන සහිත භාජනයකට දැමීමත් හැකි ඉක්මණින් සෝදා පිරිසිදු කිරීමත් මඟින් කාමරයේ මෙන්ම දරුවාගේ ඇඳුම් වලද පවිත්‍රතාවය ආරක්‍ෂා වන අතර එමඟින් දරුවා වෙත ආසාදන පැතිරීම වළක්වා ගත හැකියි. 

උපතින් පසු ඇති විය හැකි මෙවන් වූ බිබිලි වර්ග මෙන්ම සමහර දරුවන් තුල වෙනස් වූ උපන් ලප ද පැවතිය හැකියි. ඒවා ස්වභාවික වන අතරම තදින් පිහිටන ඇතැම් ලප වැඩෙන විට එයට සම මත පැතිරී විසිරී යන අවස්ථාද දක්නට ලැබෙනවා. 

මෙසේ දරුවන්ගේ සම තුල ඇති වන බිබිලි ඇති වීමට සාමාන්‍ය හා ස්වභාවික සංසිද්ධි හේතු කොටගෙන මෙන්ම බාහිර පරිසරය තුලින් ඇති කරන යම් යම් තත්ත්වයන්ද බලපාන බව පැහැදිලියි. එසේ හෙයින් එවැනි අභියෝග සඳහා හොඳින් මුහුණදීමට අවශ්‍ය වූ දැනුමින් සන්නද්ධ වීම තුලින් මෙම අභියෝග පහසුවෙන් ජයගත හැකි වේ. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ට නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළ‍ෙඳන්නේ ඇයි?

සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ අප නිතරම අත්දකින රෝගීතාවයක්. එය වැඩිහිටියන් අතර වගේම දරුවන් අතරත් බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් වැඩිහිටියන්ට වඩා හතර පස් ගුණයටත් වැඩි වාර ගණනකදී දරුවන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැකියි. මෙසේ නිතර අත්දකින, නිතර වැළඳෙන මේ සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මඟින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති කරන රෝගී තත්ත්වයක්. මෙය බිඳිති ආසාදනයක්. එනම් රෝගියාගේ මුඛයෙන් හෝ නාසයෙන් පිටවන බිඳිති නිරෝගී පුද්ගලයෙකු වෙතට යාමෙන් බෝවෙන රෝග තත්ත්වයක්. මෙසේ කැස්ස, කිවිසුම් යාම වැනි අවස්ථා වලදී පිටවන කෙළ/සෙම බිඳිති පරිසරයට මුසු වන අතරම පරිසරයේ ගැටෙන කෙනෙකුගේ අත් වල තැවරී මුහුණ, මුඛය හෝ ඇස් මත ගැටීමෙන් මේ රෝගී තත්ත්වය ඇති වනවා. කුඩා දරුවන් තුල මෙය බහුලව දක්නට ලැබෙන්නේ එම දරුවන් සෑම තැනකම අතපත ගෑම වගේම ඒ අත් වලින් මුහුණ ඇල්ලීමත් සිදු කරන නිසයි. 

සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික රෝග ලක්‍ෂණ 

  • කැස්ස
  • උගුරේ වේදනාව
  • කිවිසුම් යාම
  • හොටු දියර ගැලීම
  • උණ 

සාමාන්‍යයෙන් වෛරස් මඟින් ඇති කරන රෝග බොහෝමයක් ශරීරය තුල ඇති වී එය විසින්ම සාදාගන්නා ප්‍රතිශක්තිය මඟින් දින 7 – 10 අතර දී ඉබේම සුව වුවත් ඇති වන රෝග ලක්‍ෂණවලට අනුව තත්ත්වය පිළිබඳව අවබෝධ කරගත යුතුය. බොහෝවිට වෛරස් රෝග සඳහා ඖෂධ අනවශ්‍ය වුවද ඇති වන අපහසුතා සැලකිල්ලට ගෙන ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය ලෙස ආහාර හෝ සුළු ඖෂධ ලබාදීම වැදගත් වේ. එසේම මෙවන් තත්ත්ව ඇති වීමට පරිසරයේ පවත්නා සීතල දේශගුණය, තෙත් දේශගුණය, අධික උෂ්ණත්වය, සමහර ආහාර වර්ග මෙන්ම පරිසරයේ නොයෙකුත් දූවිලි අංශු අසාත්මික වීමද හේතු විය හැකියි. මෙසේ හෙයින් මේ තත්ත්වය ඇති වීමට හේතුව වටහා ගැනීම මඟින් ආසාත්මිකතා ඇති කරවන දෙයින් දරුවන් ඈත් කිරීම මඟින්ද මෙය වළක්වා ගත හැකිය. 

  • ශීතල දේශගුණයකදී උණුසුම් ඇඳුම් භාවිතය
  • ආසාත්මික ආහාර වලින් වැළකීම
  • පරිසරයේ දූවිලි තත්ත්ව වලින් වැළකීමට උනන්දු වීම
  • (පරිසරයේ දූවිලි ලෙස බල්ලන්, බළලුන් වැනි සතුන්ගේ ලොම්, කුරුලු පිහාටු වර්ග, සමහර සත්ව අපද්‍රව්‍ය, මල් රේණු මෙන්ම පුයර වර්ග, ඩයි වර්ග, කොලොන් වර්ග)
  • එසේ හෙයින් මෙවන් තත්ත්ව අවබෝධ කොටගෙන ඒවායින් දරුවා ඈත් කර තබාගැනීම වැදගත්. එසේම නිවස තුල අධික ලෙස බඩු මුට්ටු ගොඩ ගසා දැමීම, පිරිසිදු කිරීමට අපහසු වීම මඟින් දූවිලි රැඳී තිබිය හැකියි. එසේ හෙයින් නිවාස තුල දිනපතා උපකරණ එහා මෙහා කරමින් දූවිලි පිසදා පිරිසිදු කිරීමට හැකිවන සේ අවම හා අත්‍යවශ්‍යම භාණ්ඩ පමණක් තබාගැනීම වැදගත්. 

එසේම ඇඳ රෙඳි, පොරෝනා, කොට්ට, මෙට්ට, මදුරු දැල් ආදිය ද දොර ජනෙල් පිරිසිදු කිරීම මඟින් දූවිලි හා ගැටීම අවම කර ගත හැකියි. එසේම නිවාස තුල වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ ජනෙල් දොරවල් විවෘතව තබාගැනීමත් වැදගත්. නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන්ගේ ඇඳ රෙඳි පොරෝන් ආදිය දිනකට වරක් වත් වනසේ පිරිසිදු කරගත යුතුය.

එසේම සියලුම පිළිවෙත් කිරීමේදී පෙර හා පසු දෑත් හොඳින් සබන් යොදා නිසි පරිදි සේදීමෙන් මුඛ ආවරණ භාවිතයෙන්, සෙම සොටු පිසදැමීමේදී භාවිත කරන ටිෂූ නිවැරදි ලෙස බැහැර කිරීමත්, ලේන්සු දිනපතා පිරිසිදු කිරීමත් වැදගත්. එසේම රෝගියෙකු සිටින විට අන් අය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත් රෝගියාටද අනිවාරයයෙන් මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබාදීමත් වැදගත්. එසේම සෙනග ගැවසෙන ස්ථාන වලදී මෙවන් රෝග බෝවීම සීඝ්‍ර වන හෙයින් නිරෝගී අය මෙන්ම රෝගී අයද එවන් ස්ථාන වල නොගැවසීම ඉතා වැදගත්. එපමණක් ද නොව පාසැල් හා පෙර පාසල් තුලදී රෝගී වූ දරුවන් සිටිනවා නම් සුව වන තුරු ගෙදර රඳවා විවේකය ලබාදීමට කටයුතු කළ යුතුමයි. 

රෝගී වූවන් වෙන් කර තබාගැනීමෙන් හා උපකරණ පොදුවේ භාවිත නොකිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීමට ඇති හැකියාව වැඩි කරයි. රෝගී වූවන් සඳහා සරල හා පහසු ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමද වැදගත්. එහිදී මූලික ලක්‍ෂණ පහළ වන අවස්ථාවේදීම, 

  • මඳ උණුසුම් ලුණු වතුරින් උගුර සේදීම (යම්තම් ලුණු සානද්‍රණයක් සකසා ගන්න) 
  • උණුසුම් රෙදි කැබැල්ලකින් නලල, නහය අවට තැවීම
  • හුමාලය ඇල්ලීම (උණුසුම මඟින් කෝටරකවල සිරවී ඇති සෙම ඉවත් කිරීම පහසු වේ) 
  • නලල අවට සම්භාහනය කිරීම
  • පිරිසිදු බව මෙන්ම සනීපාරක්‍ෂක ක්‍රමවේද පාවිච්චිය
  • පෝෂණීය ආහාර වේල් උණුසුම් ලෙසින් ලබාදීම
  • උණුසුම් පාන වර්ග ලබාදීම. 
  • විටමින් අඩංගු ආහාර වර්ග ලබාදීම (විශේෂයෙන් විටමින් C හා විටමින් A අඩංගු ඇඹුල් රස හා කහ පැහැති එළවළු හා පළතුරු, පලා වර්ග)
  • ස්වභාවිකව ආහාරයෙන් ලබාගන්නා විටමින්, රෝග සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමට වැදගත් වේ. 
  • ඉඟුරු කොත්තමල්ලි පානය (අත් බෙහෙත් ලෙස කොත්තමල්ලි බැඳ, ඉඟුරු සමඟ තම්බා ගන්න)
  • හැකිතාක් විවේකය ලබාදෙන්න. 
  • උණුසුම් බව රැකෙන පරිසරයක/මව් ඇකය, සුදුසු පරිසරයකි. 
  • වේදනා නාශක ඖෂධ නියමිත මාත්‍රාව ලබාදෙන්න (ඇඟපත වේදනාව සහ උණ සඳහා) 

එමෙන්ම නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන දරුවන් මේ හේතුවෙන් ඇදුම තත්ත්වයටද පත්වීමට ඉඩක් ඇති හෙයින් සැලකිලිමත් වීමත් ඔවුන්ගේ පරිසරය දූවිලි වලින් තොරව සකස් කරදීමත් වැදගත් වේ. විශේෂයෙන් කොට්ට මෙට්ට ආශ්‍රිතව දූවිලි අවස්ථාවන් අවම කිරීම. පුළුන් කොට්ට භාවිතා කරන විට ආවරණ (කොට්ට උර) දෙකක් වත් දමා පාවිච්චියට ගැනීමත් ඒවා තද අව්වට නිරාවරණය කොට දූවිලිහරණය කර දැමීමත් වැදගත් මෙන්ම පුරුද්දකට යා නොදන ලෙස මූලික ප්‍රතිකාර හා සෞඛ්‍ය පිළිවෙත් මඟින් සෑදෙන වාර ගණන අඩුකර සමනය කර ගැනීම කළ යුතුයි. 

මේ අයුරින් ශරීරය තුල ප්‍රතිශක්තිය වඩවන ක්‍රමවේද, සෞඛ්‍ය පිළිවෙත් හා සමනක ප්‍රතිකර්ම මඟින් නිතර වැළඳීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමම මින් ඇති වන කායික හා මානසික අපහසුතා වළක්වා ගැනීමටත් හේතුවක් වන අතරම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කුඩා කල සිට පුරුදු පුහුණු කිරීමට මඟ විවර කිරීම තුලින් සමාජීය වශයෙන්ද මෙවන් වූ බෝ වන රෝග පාලනයට හේතුවක් වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

මුත්‍රා ආසාදන දරුවන්ටත් ඇති වෙනවා ද?

පුංචි දරුවන්ගේ වෙනස් වීම් හඩා වැටීම් සමහර අවස්ථාවලදී රෝග තත්ත්ව හේතුවෙන් විය හැකි බව හැම අම්මා කෙනෙක්ම දන්නා කරුණකි. ඇතැම් විට දරුවාට තමාට ඇති විය හැකි අපහසුතාවය කුමක්ද කියාත් කීමට නොහැකි විය හැකිය. මව්පියන් දරුවාගේ අපහසුතා හඳුනා වෛද්‍ය උපදෙස් පැතීමට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය. දරුවන් අතර සුලබව ඇති වන රෝග තත්ත්වයක් වන මුත්‍රා  ආසාධනයකදී වුවද දරුවාට නිවැරදිව තම අපහසුතාවය පැහැදිලි කළ නොහැකි විය හැකියි. ඒ නිසාම මේ ලිපිය තුළින් දරුවන්ට ඇති විය හැකි මුත්‍රා ආසාදන පිළිබඳව අපි දැනුවත් වෙමු.

මුත්‍රා ආසාදන ගත් කල එය,

  • ඉහළ මුත්‍රා ආසාධන (වකුගඩු වල හෝ මුත්‍රා වාහිනී වල වේ)
  • පහළ මුත්‍රා ආසාධන (මුත්‍රාශයේ ඇති වේ) ලෙස කොටස් දෙකක් දැක්විය හැකිය. 

දරුවන්ට මුත්‍රා ආසාදන ඇති වීමට බල පෑ හැකි හේතූ

බොහෝ විට මුත්‍රා ආසාධනවලට හේතූ වන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටීරියාවන් මුත්‍රා මාර්ගයට ඇතුළු වීමයි. මෙය ආකාර කිහිපයකින් සිදු වේ. 

  • මල පිටවූ පසු ජලය ප්‍රමාණවත් ලෙස යොදා පිරිසිදු නොකිරීම හෝ තෙත් කඩදාසි වලින් මල පිස දැමීමේදී මුත්‍රා මාර්ගයේ තැවරීම. 
  • ළදරුවන්ගේ නැපි මාරු කිරීමේදී මල පහ කොටස් මුත්‍රා මාර්ගය පෙදෙස් තැවරීම. 
  • මුත්‍රාශය හොඳින් හිස් නොවීම (මුත්‍රාශය හිස් කිරීමේ ගැටළු ඇති අවස්ථාවලදී ) 

මුත්‍රාශය හොඳින් හිස් නොවීමට බලපෑ හැකි හේතු 

  • මළ බද්ධය – මළ ද්‍රව්‍ය පිරීම හේතුවෙන් මහන්තක ඉදිමී එමඟින් මුත්‍රාශයට පීඩනයක් යෙදෙන නිසා මුත්‍රාශය සාමාන්‍ය ලෙස හිස් නොවේ. 
  • මුත්‍රා පිටකර හැරීම හොඳින් සිදු නොවීම (Dysfunctional Elimination Syndrome) –. සමහර දරුවන් මුත්‍රා පිට කිරීම අතර මැද නතර කරයි. 
  • මුත්‍රාශයේ ඇති මුත්‍රා වාහිනී හරහා වකුගඩු වලට ගමන් කිරීම (Vesicoureteral Reflux) – මෙය සුලබ තත්ත්වයක් නොවේ. යි. 

මුත්‍රා ආසාදනයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ 

  • අධික උණ
  • ශරීරයේ අප්‍රාණික බව
  • නොරිස්සුම් ස්වභාවය
  • ආහාර අරුචිය 
  • බර වැඩි වීම නිසි ලෙස සිදු නොවීම
  • කුඩා ළදරුවන්ගේ සම හා ඇස් කහ පැහැවීම

මීට අමතරව මුත්‍රා ආසාධන වලදී ඇති වන විශේෂ ලක්‍ෂණ ලෙස,

  • මුත්‍රා පිට කිරීමේදී වේදනාව/දැවිල්ල
  • නිතර නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
  • මුත්‍රා පිට කිරීම නැවතීම
  • සාමාන්‍ය වැසිකිලි පුරුදු වෙනස් වීම
  • පිට කොන්දේ වේදනාව
  • මුත්‍රා වල ගන්ධයක් දැනීම
  • මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • මුත්‍රා අපහැදිලි ස්වභාවයක් ගැනීම

දරුවාට මුත්‍රා ආසාදනයක් වැලදී ඇති බව සක හැර දැනගන්නේ කෙසේද?

  • මුත්‍රා සම්පූර්ණ වාර්තාව (Urine Full Report)
  • මුත්‍රා වගා කිරීම හා සංවේදීතා පර්යේෂණය (Urine Culture & ABST)

මුත්‍රා ආසාදන තත්ත්වයකදී ප්‍රතිකාර ලෙස ප්‍රතිජෛවක ඖෂධ ලබා දීම සිදු කෙරේ. 

දරුවන් මෙන්ම වැඩිහිටයන් අතරත් මුත්‍රා ආසාදන වළක්වා ගැනීම සඳහා,

  • පිරිසිදු ජලය නිසි පරිදි පානයට දරුවන් හුරු කොට සැමවිටම දරුවන් හොඳින් සජලනය කල යුතුය.
  • ක්‍රමානුකූලව මුත්‍රා බහිස්‍රාවය කරවීම වැදගත් වේ. (ක්‍රමානුකූලව මුත්‍රා පහ නොකිරීමෙන් මුත්‍රාශය තුල මුත්‍රා රැඳීමෙන් බැක්ටීරියා වර්ධනය පහසු කරවයි. ඉන් මුත්‍රා ආසාධන ඇති වේ) 
  • බැක්ටීරියා වර්ධනය වැඩි කරවීමට හේතු විය හැකි නිසා කෘත්‍රිම යට ඇඳුම් (නයිලෝන් වැනි) භාවිත කිරීමෙන් වැළකී  බුරුල් පහසු කපු යට ඇඳුම් භාවිතය සුදුසු වේ. 
  • සුවඳ සහිත සබන් භාවිතයෙන් වැළකීම. 
  • මළ බද්ධය ඇති වීම වැළැක්වීම. 

මුත්‍රා ආසාධන ඇති කරන ක්‍ෂුද්‍ර ජීවීන්

සාමාන්‍යයෙන් මුත්‍රාවල කිසිදු ක්‍ෂුද්‍ර ජීවියෙකු නොසිටී. සාමාන්‍යයෙන් මුත්‍රා ආසාධන ඇති වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් මුත්‍රා මාර්ගය හරහා ඇතුළු වී ඉන්පසු එහි හොඳින් වර්ධනය වීම නිසයි. Escherichia Coli (E-Colin) බැක්ටීරියාව (බොහෝ විට දරුවන්ගේ මුත්‍රා ආසාදනවලදී දැකිය හැක්කේ මෙම බැක්ටීරියාවයි) මඟින් මෙම ආසාධන ඇති කරන අතර සාමාන්‍යයෙන් මොවුන් ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත් වේ.

මුත්‍රා ආසාධන ඇති කරවන ජීවීන් ලෙස  

  • Escherichia Coli (E-Colin) 
  • Klebsiella
  • Proteus
  • Enterobacter
  • Citrobacter
  • Staphylococcus Saprophyticus
  • Enterococcus දැක්විය හැකි අතරම ඉහත ජීවීන් දරුවාගේ ආහාර මාර්ගය, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හෝ සමේ ජීවත් වේ. 

මුත්‍රා ආසාධනයකදී කුඩා දරුවෙකු රෝහල් ගත විය යුතු වන අවස්ථා මොනවාද?

  • අධික උණ 
  • කොන්දේ වේදනාව 
  • දරුවා විජලනයට ලක්වීම
  • මුඛ ප්‍රතිජෛවක ඖෂධ වලින් පාලනය කළ නොහැකි වීම

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය

අපේක්ෂා රෝහල , මහරගම.

 

 

 


                

අලුත උපන් දරුවාගේ උපත් බර අඩු වීම ගැටලුවක් ද?

දහසක් පැතුම් මැද්දේ වේදනා විඳ මොලොවට බිහි කළ දරු පැටියා රැගෙන නිවසට එන ඕනෑම මවකට ගැටලු රාශියක් ඇති විය හැකියි. ඒ අතරින් මව්කිරි දීම අම්මා මෙන්ම කිරි කැටියාටත් අලුත් අත්දැකීමක් නිසා මවත් දරුවාත් අපහසුතාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ කෙසේ වෙතත් අවසානයේ දරුවාගේ බර වැඩි වීම අත්‍යවශ්‍යම කරුණයි. දරුවාගේ බර වැඩිවීමක් දක්නට නොලැබුණහොත් මවට දැනෙන්නේ වරදාකාරී හැඟීමක් වුවත් එය මවගේ වරදක් නොවන බව ස්ථිරවම කිව හැකිය. 

අලුත උපන් නිරෝගී දරුවෙකුගේ උපත් බර 3kg – 3.5kg අතර ප‍්‍රමාණයක් වන අතරම සාමාන්‍යයෙන් උපත් බර 2.5kg ට වඩා වැඩි වීම හොඳ බර ප්‍රමාණයක් ලෙස සැලකෙනවා. එසේම උපත් බර 2.5kg ට වඩා අඩු වුවහොත්  උපත් බර අඩු දරුවෙකු ලෙස සැලකෙනවා. එයට හේතු විය හැක්කේ නොමේරූ ළදරුවෙක් වීම, නියමිත දිනට පෙර ඉපදීම, මවගේ රෝග තත්ත්ව වැනි හේතු නිසා විය හැකිය. බොහෝ විට ගර්භයට සති 37 සම්පූර්ණ වීමට පෙර ඉපදුණු දරුවන් එනම් ප‍්‍රාග් පරිනත දරුවන් වගේම ගර්භාෂය තුල වැඩීම බාල වූ දරුවනුත් උපත් බර අඩු දරුවන් විය හැකියි.

ළදරුවෙකුගේ උපත් බර අඩු වීමට හේතු 

  • අම්මගේ වයස 20 ට අඩු හෝ 35 ට වැඩි වීම
  • මාතෘ මන්ද පෝෂණය
  • මවගේ රෝග තත්ත්ව
  • නිවුන් දරුවන්
  • මවගේ දුම් පානය/මත්ද්‍රව්‍ය භාවිතය
  • පියා දුම්පානය හෝ දුම්පානය කරන තැන්වල ගැවසීම
  • ගර්භාෂයේ විකෘතිතා
  • භ‍්‍රෑණ විකෘතිතා 
  • මවගේ අධික සිත් තැවුල 

එවැනි යම් හේතුවක් මත දරුවෙකුගේ උපත් බර අඩු වුවත් උපතින් පසු දරුවාට ලැබෙන නිසි පෝෂණය හේතුවෙන් උපත් බරට අනුපාතිකව දරුවාගේ බර වැඩි වීම සිදු වේ. 

උපතින් පසු මුල් දින කිහිපයේදී බොහොමයක් ළදරුවන්ගේ බර උපත් බරට වඩා අඩු විය හැකි වුවත් දින 14 ක පමණ කාලයක් ගතව යද්දී උපත් බර ඉක්මාවා යා හැකියි. මුල් දින වල බර අඩු වීම උපත් බරින් 10% ක් වැනි ප්‍රතිශතයක් විය හැකි අතර එය ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ බසී නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එවිට දරුවාගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඔබට ක‍ටයුතු කිරීමට සිදු වනු ඇත. 

හොඳ උපත් බරක් ඇතිව ඉපදෙන දරුවන්ගෙන් උපත් බර අඩු වීම මුල් දින වලදී අඩු වෙන්නේ ඇයි?

එයට බලපාන මූලිකම හේතුව වන්නේ දරුවාට ලැබෙන තරල ප‍්‍රමාණය අඩු වීමයි. උපතින් පසු මිකෝනියම් පිට වීමත් මුත‍්‍රා පිටවීමත් සිදු වන අතර ඒ පිටවීමට සරිලන ලෙසින් සිරුරට තරල ප‍්‍රමාණයක් නොලැබේ. මුල් දිනවල මව්කිරි වලින් ලැබෙන කොලස්ට‍්‍රම් ප‍්‍රමාණවත් අවශ්‍ය සියලු පෝෂක අඩංගු පෝෂකයක් වුවත් එය ලැබෙන්නේ කුඩා වුනාට ප‍්‍රමාණයකිනි. මව‍කගේ පියයුරේ සාමාන්‍ය ලෙස කිරි නිෂ්පාදනයට දින තුනක පමණ කාලයක් ගත වේ. 

දරුවා ඉපදී මුල් පැය ½ හෝ පැය ඇතුලත මව්කිරි ආරම්භ කිරීමෙන් කිරි නිෂ්පාදනයට ප‍්‍රබල උත්තේජනයක් සැපයිය හැකියි. එසේම දරුවාට කිරි ලබාදීම සඳහා මවට හුරු වීමටත් යම් කාලයක් ගත වන අතරම මවට පමණක් නොව දරුවාටද මේ අත්දැකීඹ නිසි ලෙස විඳගැනීමට දින දෙක තුනක් ගත වේ. පළමු දරුවා බිහි කළ මවකට එක්වරම මව්කිරි දීමට හුරු විය නොහැකි විය හැකි නිසාම මෙවැනි කරුණු හේතුවෙන් මුල් දින කිහිපය තුළ මව්කිරි ලබාදීමේදී යම් යම් ගැටළු ඇති විය හැකියි. 

ඒවගේම ප‍්‍රසූතියෙන් පසු මවගේ වේදනා, අපහසුතා වගේම ඇය ලැබූ අත්දැකීමත් හේතුවෙන් ඇති වූ තත්ත්වයන් ද මව්කිරි නිෂ්පාදනයට බලපෑමක් ඇති කළ හැකි අතරම මවට මෙන්ම ළදරුවාටත් මෙලොවට බිහිවී පෙකෙණි වැල හරහා මව සමග කිබූ සම්බන්ධය නතර වීමත් සමගම අවශ්‍ය පෝෂණය ලබා ගැනීම වෙනුවෙන් වෙහෙස වීමට සිදු වීම නිසා යම් යම් ගැටලු ඇති විය හැකියි. 

මෙසේ මුල් දින කිහිපයේ ඇති විය හැකි මේ සියලු කරුණු ගත් කළ ඒවා හේතුවෙන් ළදරුවාගේ උපත් බරින් 10% ක බර අඩු වීමක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. නමුත් මවගේ කැපවීම, දැනුවත් වීම හේතුවෙන් ළදරුවාට මව්කිරි ලබාදීමේ ක‍්‍රමවේදය සාර්ථක වීම මත වගේම දරුවා ඊට එකතුවන අන්දම අනුව දින 14 වන විට දරුවාගේ උපත් බරට වඩා වැඩි වීමක් දැකිය හැකියි. මෙම සිද්ධිය පරිසරය, ලබන අත්දැකීම් මත සිදුවන සංසිද්ධියක් හෙයින් එය ස්වභාවික තත්ත්වයකි. මේ නිසා මුල් දින 10 තුලදී 10% කින් බර අඩු වීම පිළිබඳව මව්වරු කනස්සල්ලට හෝ බියට පත් විය යුතු නොවේ. 

එහෙත් මෙසේ අඩු වන උපත් බර අඩුවීමේ ප්‍රතිශතය 10% ඉක්මවා යන්නේ නම් එය පැහැදිලිවම යම් ගැටළුවක් වන අතරම එය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී දරුවාගේ පාර්ශවයට මෙන්ම මවගේ පාර්ශවයටද යම් ගැටලු තිබිය හැකිය.

දරුවගේ

  • කිරි උරා බීම‍
  • කිරි උරා බීමට දරුවා ගත කරන කාලය
  • දරුවාට කිරි දීමට මව ස්ථාපිත කර ගන්නා අන්දම
  • පියයුර හා මුඛය සම්බන්ධ වීම නිවැරදිව සිදු නොවීම 

මවගේ 

  • ධෛර්ය
  • ආත්ම විශ්වාසය
  • මවට ඇති වන බිය/වේදනාව
  • කනස්සල්ල 

මීට අමතරව නොමේරූ දරුවකු නම් කිරි උරා බීමට අපහසු විය හැකියි. එසේම දරුවා තුල ඇති රෝග හැම විශේෂයෙන් හෘද රෝග, තල්ල/මුඛය ආශ‍්‍රිත විකෘතිතා මෙන්ම ආහාර මාර්ග පද්ධතිය/ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු නිසාවෙන්ද බලාපොරොත්තු වන බර වැඩි වීම අපේක්‍ෂා කල නොහැකියි. 

මෙවන් විටකදී පුහුණු සෞඛ්‍ය සේවිකාවකගේ, විශේෂයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සේවය ලබාගැනීම තුලින් මවට පහසුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට හැකි වෙනවා මෙන්ම එය නිරාකරණය කරගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත.  

මේ නිසා ඉපදී මුල් දින කීහිපය තුල උපත් බරට වඩා බර අඩු වීම විය හැකි නිසා එය අවබෝධ කරගැනීමත් ඒ අනුව අවශ්‍ය කරන දැනුමින් පරිපූර්ණ වීමත් කුසලතා වර්ධනය කර ගැනීමත් මගින් සියලු කටයුතු ජයගත හැකියි. එසේ හෙයින් උපන්දා සිට දරුවාට අවශ්‍ය පමණට කිරි සැපයීමට උනන්දු වීම මගින් දරුවාගේ වර්ධන ගැටළු අවම කරගැනීමටත් මවගේ කනස්සල්ල නැති කර ගැනීමටත් හැකි වනු නොඅනුමානයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

පැප් පරීක්ෂාව සිදු කරන නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවක තම ජීවිතයේ අවස්ථාවන් ගණනාවක් පසු කරන අතර මේ විවිධ වූ අවස්ථාවන් වලදී සුන්දර එමෙන්ම ක්‍රියාශිලීව සැහැල්ලු ජීවිතයක් විටෙක ගත කරනු ලබයි. ඒ බිළිඳියකව ඉපිද දෙමාපිය තුරුලේ ඇති දැඩි වී, සුන්දර ළමා කාලයක් සැහැල්ලුවෙන් චමත්කාර ලෙස අත්විඳිමිනි. මේ කාලය අවසානයේ යෞවනත්වයට පා තබන්නේ ශරීරය තුල සිදුවන හෝමෝන වෙනසත් සමඟිනි. මේ කාල වකවානුව තුලදී නැවතත් මේ දැරිය ඉක්මන් ශාරීරික වර්ධනයක් පෙන්වන අතරම පියයුරු විශාල වීම, උකුල පලල් වීම ආදිය මෙන්ම ලිංගික ප්‍රදේශ වල, කිහිල වල රෝම වැඩෙන්නට පටන් ගනී. මෙසේ සිදුවන්නේ ශරීරය තුල සිදුවන හෝමෝන ක්‍රියාත්මක වීම නිසයි. මේ යෞවනත්වය කෙලවර වන්නේ බොහෝ දැරියන්ගේ විවාහ දිවියත් සමඟිනි. 

විවාහ දිවිය සමඟින් ආරම්භ කරන ලිංගික ජීවිතය තම වර්ගයාගේ පැවැත්ම උදෙසා කැප කිරීමට ඇයට සිදු වේ. මේ ලිංගික ජීවිතය ආරම්භ කිරීමත් සමඟම ඇයට හියුමන් පැපිලෝමා නම් වෛරසය ආසාදනය විය හැකි අතරම එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. මේ වෛරසය ගැබ්ගෙල පිළිකා ඇති කිරීමට හේතුවක් වේ. මෙසේ පැවසූ විට සෑම කාන්තාවකටම එසේ සිදුවිය හැකිද යන ගැටලුව ඔබටත් පැනනගිනු නොඅනුමානය. සෑම අයෙකුටම එම වෛරසය සම්ප්‍රේෂණය විය හැකි වුවත් එක් එක් පුද්ගලයාගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිය අනුව ගැබ් ගෙල පිළිකාව කෙතරම් දුරට ඇතිවේද යන්න තීරණය වේ. මේ නිසා විවාහ වූ සෑම කාන්තාවක්ම/ලිංගික සංසර්ගය පටන් ගෙන ඇති සෑම කාන්තාවක්ම ලිංගිකව සක්‍රීයව වසර 5 කදී හියුමන් පැපියුලෝමා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරගත යුතුයි. 

පැප් පරීක්ෂණය සිදු කරගන්නේ කෙසේද? කොතැනින්ද?

මේ පරීක්‍ෂණය කර ගැනීමට සුදුසුම තැන ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැවැත්වෙන සුවනාරී සායනයි. එසේත් නොමැති නම් ප්‍රසව හා නාරී වේදීය වෛද්‍යවරයෙකු සිටින රෝහලක පවත්වනු ලබන නාරිවේදීය සායනයයි. ඒ වගේම පුද්ගලික රෝහල් වලදීත් මේ පරීක්‍ෂණය කරගත හැකියි. මේ පරීක්‍ෂණය පිළිබඳව ඔබට අවශ්‍ය විස්තර ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන් එහෙමත් නැත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකතුමා, හෙද සොයුරිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගෙන් දැනගත හැකියි. 

පැප් පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද?

කුඩා උපකරණයක් ආධාරයෙන් ගැබ්ගෙල ප්‍රදේශයෙන් ලබා ගන්නා ස්‍රාව කොටස් වීදුරු කදාවක් මත හිරකර රසායනාගාරය වෙත යවා මෙම ස්‍රාවයේ පූර්ව පිළිකා සෛල හෝ පිළිකා සෛල ඇති දැයි පරීක්‍ෂා කිරීම සිදු කරන අතර මේ අවස්ථාවේදීම ගැබ්ගෙල හෝ යෝනි මාර්ගය අවට ඇති ඉන්නන් ආදිය ද නිරීක්ෂණය වුවහොත් (ඒවාද පිළිකා බවට පත්විය හැකි හෙයින්) ඒ සඳහාද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරේ. 

මෙම පරීක්‍ෂණ ලිංගික ජීවිතය පටන් ගෙන ඇති සෑම කාන්තාවක්ම සෑම වසර 5 කට වරක් සිදු කරවා ගැනීම මඟින් පූර්ව පිලිකා ලක්‍ෂණ හඳුනා ගැනීමට හැකිවීම තුලින් එය පිළිකාවක් බවට පත්වීමට පෙර ප්‍රතිකාර ලබාදී සුව කරගැනීමට හැකි වේ. එසේම පැතිරීමට පෙර හඳුනා ප්‍රතිකාර ලබාදීම තුලින් ජීවිතය යහපත් ලෙසින් ගෙවීමට තමාගේ සම්පූර්ණ ආයු කාලයම භුක්ති විඳීමටත් හැකි වීම තුලින් ඇගේ ආදරණීයයන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකය සැමදා හිමිවනු ඇත. 

මෙම පරීක්‍ෂණය යෝනි මාර්ගය තුලින් සිදු කරන්නක් හෙයින් ඔසප් පවතින විට සිදු කල නොහැකි නිසා ඔසප් වාර දෙකක් අතර කාලයතුළ සිදු කළ යුතුය. 

පැප් පරීක්ෂණය සිදු කිරීමේදී අදාල කාන්තාව ඇඳක උඩුබැලි අතට වැතිරී පාද ඇද මට්ටමට නවා (මෙය ශ්‍රෝණිය ආශ්‍රිත ශල්‍යකර්ම/ සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා සිටින අයුරින්) සිටිය යුතුය. ඉන්පසු ස්පැකියුලම් (Speculum) නම් උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුළු කොට ගැබ් ගෙල පැහැදලිව නිරීක්ෂණය කරන අතරම සැහැල්ලු ප්ලාස්ටික් හෝ ලී වලින් සාදන ලද කතුරක් ආකාරයේ කුඩා උපකරණයක් උපයෝගී කරගෙන ගැබ් ගෙලින් ස්‍රාවය ගෙන ඒවා වීදුරු කදාවක (වීදුරු තහඩුවක) මත තබා එය ඇල්කොහොල් භාජනයක බහා වෛද්‍ය රසායනගාරය වෙත යවනු ලබයි. එම රසායනාගාරයේදී අන්වීක්‍ෂ පරීක්‍ෂණ මඟින් මෙම ගැබ්ගෙල ස්‍රාව තුල ඇති සෛල අතර ඇති අසාමාන්‍ය සෛල වේ නම් ඒවා හඳුනා ගැනීම සිදු කෙරේ. ඒ අනුව එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල

  • CIN – I සුළු පෙර පිළිකා අවධිය
  • CIN – II සාමාන්‍ය පෙර පිළිකා අවධිය
  • CIN – III තීව්‍ර පෙර පිළිකා අවධිය
  • Normal Smear/Negative for Intraepithelial lesion or malignancy ලෙස ලැබිය හැකිය. 

ගැබ් ගෙල පිළිකාවකදී එහි ආරම්භය ගැබ් ගෙල මූලික කරගෙන ඇති වේ. ගැබ් ගෙල ඇති ස්ථම්බික අපිච්ඡද සෛල හා යෝනි මාර්ගයේ ඇති ශල්කමය අපිච්ඡදය හමුවන ස්ථානයේ පිළිකාව ආරම්භ වීම සිදු වේ. ගැබ්ගෙල බාහිර විවරය මතුපිට ස්ථරයේ සෛල විභාජනය අසාමාන්‍ය වීම නිසා අසාමාන්‍ය සෛල ඇති වේ. මෙසේ ඇතිවෙන අසාමාන්‍ය සෛල වසර 5 – 15 අතර කාලයකදී කිසිම ප්‍රතිකාරයක් හෝ නොමැතිව නොදැනීම සාමාන්‍ය තත්ත්වයට පත්වන අතරම අසාමාන්‍ය සෛල පිළිකා බවට පත් විය හැකිය. පැප් පරීක්‍ෂණයේදී අපි හඳුනා ගන්නේ එම සාමාන්‍ය සෛල සහිත පෙර පිළිකා අවධීන්ය. මෙම අවස්ථාවන් හඳුනා ගැනීම තුලින් ප්‍රතිකාර ලබාදී එම සෛල පිළිකා බවට පත්වීම වළක්වා ගැනීමට හැකි හෙයින් රෝග ලක්‍ෂණ කිසිත් නොපෙන්වන අය මේ පරීක්‍ෂණ සඳහා නියමිත කාල පරතරය ඇතිව යොමු වීම මඟින් ගැබ් ගෙල පිළිකා ඇති වීම පහසුවෙන් වළක්වා ගත හැකි වේ. 

මෙම අසාමාන්‍ය සෛල 1 අවස්ථාව – 2 අවස්ථාව – 3 අවස්ථාව – ලෙසින් පැතිරී ගොස් පිළිකාව ඇති වීමටත් සාමාන්‍ය සෛල – 1 අවස්ථාව – 2 අවස්ථාව – 3 අවස්ථාව – 1 අවස්ථාව – සාමාන්‍ය සෛල ලෙස ආපසු පත්වීමටත් හැකියාව තිබේ. 

ගැබ් ගෙල පිළිකාව වෙනත් පරීක්‍ෂණ මඟින් හඳුනා ගත නොහැකි අතර එය හඳුනා ගැනීමට හැකි එකම පරීක්‍ෂණය පැප් පරීක්‍ෂණය වේ. 

ගැබ් ගෙල පිළිකා සඳහා අවධානම් කවුද?

  • අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූවන්
  • බහු පුරුෂ සේවනයේ හෝ බහු ස්ත්‍රී සේවනයේ යොදවන පිරිස්
  • සක්‍රීයව හෝ අක්‍රීයව දුම්පානයේ යෙදෙන්නන්
  • ලිංගිකව බෝවන රෝග ඇති වූ අය
  • විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ භාවිත කරන්නන්

පැප් පරීක්‍ෂණය සඳහා වයසක් තිබේද?

ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් වයස් බේදයකින් තොරව පළමු ලිංගික එක්වීමේ සිට වසර 5 කට පසු සෑම වසර 5 කට වරක් පැප් පරීක්ෂාව කරගත යුතුයි. ලංකාවේ සෑම විවාහක කාන්තාවකම/ලිංගිකව සක්‍රීය සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35 දී හා 45 දී පැප් පරීක්‍ෂණය කර ගැනීමට උනන්දු විය යුතු අතර වෙනත් රටවල නම් මෙම වයස් සීමාව ඒ රටවල පවත්නා සමාජ සම්බන්ධතා මත වෙනස් වේ. 

මීට අමතරව වයස අවුරුදු 33 පමණ වන විට කාන්තාවන් තුල හෝමෝන මට්ටම අඩුවීමට පටන් ගනී. ඔවුන්ගේ ශරීර පාලනය කරනු ලබන මෙම ස්ත්‍රී හෝමෝන අඩුවන විට ඔවුන්ගේ ශරීර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඈත් වීමට උත්සහ දරයි. එසේ හෙයින් මේ තත්ත්වය බෝ නොවන රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉහළ දමයි. එසේ හෙයින් මෙම හෝමෝන අඩුවීමට පටන් ගන්නා වයස ඉලක්ක කරගෙන පරීක්ෂණය සඳහා වයස් සීමාවක් වෙන් කරගෙන ඇත. 

අප රටේ නිදහස් සෞඛ්‍ය මගින් නොමිලේ මේ සියළු පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා අති පසුබිමක එම පහසුකම් නොලබා නොසොයා සිට රෝගි වීම, රෝගි වී ජීවිතයෙන් වන්දි ගෙවීම නිසා එම තත්ත්වයන් මඟින් බැට කන්නේ අනාගත දරු පරපුර බව අප අමතක නොකළ යුතුයි. 

දරුවනට සියළු සැප පහසුකම් සැලැස්වීමට සැදි පැහැදී සිටින අම්මාවරුන් පහසුවෙන් වළක්වා ගත හැකි මෙවන් රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට උත්සහ ගන්නේ නම් දරුවනට මව්වරු අහිමි කරවන, ස්වාමිපුරුෂයනට බිරින්දෑවරුන් අහිමි කරවන, මහලු දෙමාපියනට දිරිය දෙන දියණියක් අහිමි කරවන තත්ත්වයන් නැති කිරීමටත් ඔවුන්ගේ අනාගතයට සැමදා අත්වැලක් වී ජීවිත සටන ජය ගන්නට හැකි වටපිටාවක් සැකසීමටත් හැතියාව ලැබෙනු ඇත. 

ඔබේ ජීවිතයේ වටිනාකම හඳුනා දැයේ දරුවනට යහපත් හෙටක් තනන්නට ඔබේ කැදැල්ල සැමදා සතුටින් සොම්නසින් තබන්නට වහ වහා සුවනාරි සායනය වෙතට ගොස් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කරවාගන්න. ගැබ්ගෙල පිළිකා වළකාගන්නට හැකි වෙනත් කිසිදු පරීක්‍ෂණයක් නැත. ඇත්තේ පැප් පරීක්‍ෂාවම පමණි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ජීවිතය නැති කරගන්න තරම් කෙනෙකුට ශක්තිය ලැබෙන්නේ කාගේ වරදින්ද?

සියදිවි නසා ගැනීමට තරම් කෙනෙකුගේ සිත ශක්තිමත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්. එය ඉතාම සංකීර්ණ මාතෘකාවක්. අපි සැමවිටම සිතන්නේ අපේ ජීවිත ස්ථිර බවයි. අපට අවශ්‍ය පරිදි එය පාලනය කළ හැකි බවයි. සතුටින් සිටිනතාක් අපිට දැනෙන මේ සිතුවිලි සමුදාය ගැටලුකාරී තත්ත්වයක් හමුවේ බොහෝ සෙයින් වෙනස් වේ. මන්ද ඒ ඇති වන ගැටලු හමුවේ ඕනෑම අයෙක් මානසික පීඩනයට ලක් විය හැකියි පමණක් නොවෙයි ජීවිතය තොර කරගැනීමට වුවත් අයෙකු‍ට සිතිය හැකියි. එය මනුෂ්‍ය ස්වභාවයයි. මෙවැනි අවස්ථාවකදී එවැනි අයෙකුගේ මුළු ජීවිත කතාවම දන්නා ලෙස සමාජය විසින් ඔහුගේ ගැටලුව තීරණය කිරීම සුදුසු නොවේ. ඒ එක් එක් පුද්ගලයාට තමාටම ආවේණික වූ ජීවිත කතාවක් ඇති නිසයි.

 සියදිවි නසා ගැනීම පිළිබඳ අර්ථ කථනයක් සැපයීමේදී එය කොටස් 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි. 

  1. සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල ඇති වීම – මේ තත්ත්වය ඕනෑම විටෙක ඇති විය හැකියි. විශේෂයෙන්ම ‍යොවුන් වියේ, නව යොවුන් වියේ දරුවන්ට මේ තත්ත්වය ඇති විය හැකියි. උදාහරණයක් විදියට ඇතැම් යොවුන් දරුවන් තම ප්‍රේම සබඳතා බිඳ වැටීම හේතුවෙන් තමාට සියදිවි නසා ගැනීමට සිතෙන බව පැවසිය හැකියි. නමුත් ඒ වෙනුවෙන් ඒ දරුවා සැලසුමක් සකස් කොට නැති නම් එය මානසික රෝග තත්ත්වයක් නොවේ. 
  2. ගැටලු හමුවේ තම සිරුරට හානි කරගැනීම – තමාට යම් ගැටලුවක් පීඩනයක් ඇති වූ විට අත පය කපා ගැනීම, සූරා ගැනීම 
  3. සියදිවි නසා ගැනීම – බොහෝ විට මේ තත්ත්වයට පත් වන්නේ මානසික රෝග තත්ත්වය කිසයි.

යමෙක් කාලයක් යම් ගැටලුවකින් පීඩාවිඳිමින් සිටීම ගැන සමීපතමයන් නොදැනුවත් වන්නේ කෙසේද කිය ඔබට සිතෙනු ඇත. සාමාන්‍යයෙන් යමෙක් හිතවත් අයෙක් තමාට ගැටලුවක් ඇති බව පැවසුවහොත් අපි ඒ පිළිබඳව ඒ පුද්ගලයාට කරන උදව්වක් ලෙස එයට සවන් දීමට පෙලඹෙනවා. ඒත් එක්වරම තමාට සියදිවි නසා ගැනීමට හිතෙන බව පැවසුවොත් ඕනෑම අයෙක් කලබලයට පත් වෙනවා. එයට හේතුව ජීවත් වීම හොඳ දෙයක් ලෙස අප සිතන නිසාත් එයින් පිටස්තර යමක් පැවසූ විට එය අපි පිළිගැනීමට ඇති අකමැත්ත නිසයි. එවැනි අවස්ථාවක බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන්නේ ඔයාට පිස්සුද? ඔහොම කියන්න එපා. අම්මලා කොච්චර මහන්සි වෙලාද ඔයාව මේ තත්ත්වෙට ගෙනල්ලා කියෙන්නේ. ඔය සිත්විල්ල අයින් කරගන්න ලෙසටයි.

අපි එක මොහොතකට අදාල පුද්ගලයාගේ ජීවිතය, මුහුණ දී ඇති ගැටලු සුළු කොට තැකීමට පෙළඹෙනවා. නමුත් අපිට කිසිම පුද්ගලයෙකුගේ ජීවිත කතාව පිළිබඳව නිශ්චිත තීරණය කිරීමට නොහැකියි. මෙවැනි පුද්ගලයෙකු හමුවේ පළමුවෙන්ම අප කළ යුත්තේ අදාල පුද්ගලයාට හොඳ සවන් දෙන්නෙකු වීමයි. එවිට ඒ පුද්ගලයාගේ හිතේ තෙරපෙන හැඟීම් මුදා හැරීමට අවස්ථාව හිමි වෙනවා. එයාගේ පීඩනය යම්තාක් දුරකට හෝ පහව යන අතරම මනසට යම් සුවයක් සැලසෙනවා. එසේ නොවන්නට ඒ පුද්ගලයා සිතන්නේ තම ගැටලුවලට ඇති එකම විසදුම ජීවිතයෙන් පලා යෑම බවයි.

නමුත් අපි ලබාදෙන්නේ උපදේශනයක් නොවිය යුතුයි. එනම් ගැටලුවලට විසදුම් ලබාදීම නොකළ යුතුයි. ඒ අපි මේ වන විටත් දන්නේ අදාල පුද්ගලයාගේ ජීවියෙන් යම් කොටසක් නිසා එසේ අපට ඔහුගේ/ඇයගේ ගැටලුවලට විසදුම් ලබා නොදිය හැකි බවයි. මේ සියල්ලට පෙර ඔබ අතින් සිදු විය යුත්තේ සවන් දීමයි. ඉන් පසුව අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. මම ඔයාට මෙන්ම මේ ටිකට සහය වෙන්නම් යනුවෙන් අදාල පුද්ගලයාට සහය වීමට තමාත් සිටින බව හැඟවීම තුළින් තමා තනි වී නොමැති බව ඔහුට/ඇයට දැනෙනවා. 

ඒ වගේම මෙහි අනෙක් පැත්ත පිළිබඳව කතා කළොත් අපි ඉතා පීඩාකාරී තත්ත්වයකදී ඒ තත්ත්වය ගැන කතා කිරීමට අයෙක් තෝරාගත යුත්තේ කෙසේද යන්න ඉතා වැදගත් කරුණකි. ඒ ගැටලු පැන නගින හැම අවස්ථාවකදීම වෛද්‍යවරු වෙත යන්න අපි පෙළඹෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි අපට හිතවත් යමෙක් සමග අපේ ගැටලු පැවසීමට පෙළ‍ඹිය හැකියි. අප තෝරාගන්නා එම පුද්ගලයා දිගු කාලීනව සමීපව ඇසුරු කරන තමා පිළිබඳ හොඳින් දන්නා අයෙන් නම් එය ඉතා වැදගත්. 

අපි තෝරා ගන්නා පුද්ගලයා, 

  • මනෝමීය පරණත බවකින් යුත් අයෙක් විය යුතුයි
  • ගැටලුව ඇති පුද්ගලයාට වඩා කලබලයට පත් නොවිය යුතුයි
  • ඔහු/ඇය හොඳ සවන්දෙන්නෙක් විය යුතුයි
  • තම මතයේම එල්බ තම අදහස්ම ත්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන්නෙක් නොවිය යුතුයි. 
  • සමබර පුද්ගලයෙකු විය යුතුයි. 
  • පුද්ගලික රහස්‍යබාවය රුකිය යුතුයි.
  • ප්‍රායෝගිකව විසදුමක් දැකිය හැකි අයෙක් විය යුතියි.

යම් හෙයකින් යමෙකුට එවැනි පුද්ගලයෙකු‍ නොමැති නම් 1926 හරහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතන්න. මානසික සුවතාව වෙනුවෙන් දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක සේවාවක් එම ආයතනය මගින් ලබාදෙනවා. 

සියදිවි නසා ගැනීමට තීරණය කර ඇති අයෙකු පෙන්නුම් කරන ලක්ෂණ

යම් පුද්ගලයෙක් බොහොම සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරමින් තම කාර්යයන් වල නිරත වී සිට කාලයක සිට ඒ දේවල් වෙනස් කරමින් සිනහව, කතාබහ අඩු වී යම් කැපී පෙනෙන වෙනස්කම් පෙන්වයි නම් ඇතැම් විට ඔහු/ඇය යම් ගැටලුවක් නිසා පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. ඇතැම් විට යමෙක් තම ගැටලුව යහළුවන් අතරේ බෙදා ගනිමින් එය විසඳා ගැනීමට උත්සාහ කරයි. ඇතමෙක් එය සඟවා ගනීමින් විඳවමින් සිටිනවා විය හැකියි. 

තම සාමාන්‍ය පැවැත්මේ වෙනස් කම් සමග එවැනි පුද්ගලයක් තවත් ලක්ෂණ පෙන්නුම් කරයි.

  • නින්දේ ඇති වෙනස්කම් – නින්ද තදබලව අවශ්‍ය වුවත් නින්ද නොයෑම/විටින් විට නින්දට බාධා ඇති වීම
  • ආහාර රටාව – ආහාර අරුචිය වගේම ආහාර ලබා ගත්තත් සිරුරේ පෘෂ්ඨිමත් බවක් නොමැතිවීම/කෙට්ටු වීම. 
  • තරහා යෑම

මේ තත්ත්ව‍යන් සමග දිගින් දිගටම පැවතීමක් තම ගැටලුවට විසදුමක් නොමැති වීම ‍නිසා සියදිවි නසාගැනීමට පෙළඹිය හැකියි. 

පළමුව සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල මුහුදේ රළ මෙන් එනවා.. යනවා.. කාලයත් සමගම ඒ සිතිවිලි වේගවත්ව නිතර නිතර ඇති වෙනවා. ගැටලුවට විස්දුමක් නොමැති නම් සියදිවි නසා ගැනීම සඳහා සැලසුම්ක් නිර්මාණය කෙරෙනවා. මෙවැති තත්ත්වයකදී හිතවතුන්ට නෑදෑයන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඔයාට මගෙන් වරදක් වුණා මට සමාවෙන්න… එසේත් නැති නම් තමා සතු යමක් වෙනත් අයෙකුට පැවරීම, තම සිතුවිලි කොළයක ලිවීම, අද වන විට මුහුණු පොත මත ලිවීම වැනි දේ දැකිය හැකියි. එවැන්නත් අපේ සමීපතමයෙකුගෙන් දුටුවහොත් සැලකිලිමත් වීඹ ඉතා වැදගත්.

ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය 

90 දශකයේ වගා ණය මුදල් ගෙවා ගත නොහැකිව පලිබෝධ නාශක පානය කර ජීවිත අහිමි කරගත් පිරිස ඔබට මතක ඇති. ඒ වෙනුවෙන් හානිය අවම වන පරිදි පලිබෝධ නාශක නිෂ්පාදනය කොට ඒ තත්ත්වය අවම කිරීම සිදු කෙ‍රුණා. ඒ නිසා රෝහල් වෙත ඇතුළු කොට ඔවුන් බේරා ගැනීමට අවස්ථාව උදා වුණා. එවැනි සාධක කීපයක් ඉවත් වූ පසු 90 දශකයට සාපේක්ෂව සියසදිවි නසාගැනීමේ ප්‍රතිශතය අඩු වී තිබුණත් අද වන විටත් ලොව තුළ සියදිවි නසා ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රී ලංකාව තිබෙනවා. එය හොඳ සාධකයක් නොවෙයි. සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමක් හරහා ජීවිතය නතර වන අය ගත්තම වැඩිම ප්‍රතිශතය පුරුෂ පාර්ශවය වන අතර ශරීරය කපා ගැනීම සූරා ගැනීම වැනි ක්‍රියාවලින් වැඩි පිරිසක් සිටින්නේ කාන්තාවන්ය. අනිත් රටවලට සාපේක්ෂව ගත් කළ ජීවිතය කෙලවර කරගන්නා කාන්තාවන් ගත් කළ අපේ රටේ කාන්තාවන් ප්‍රතිශතය ඉහළ අයක් ගනී. ඒ සඳහා බොහෝ විට සමාජ විද්‍යාත්මක කරුණු හේතු‍ වේ. අද වන විට කාන්තාවෝ බහුතරයක් බුද්ධිමත් වන අතරම සරසවි අධ්‍යාපනය ලබන පිරිසගෙන් 60% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් වෙනවා. අපේ සමාජය කාන්තාවට සමතැන දෙන බව පැවසුවත් එකම සුදුසුකම් තියෙන ගැහැණු පිරිමින්හට ආයතනවල ලැබෙන උසස්වීම් වෙනස් වන ආකාරය අපි කොතෙකුත් දැක තිබෙනවා. පීතෘ මූලික සමාජයක කාන්තාවකට ලැබිය යුතු දේ නොලැබීම සියදිවි නසා ගැනීම් දක්වා යාමට හේතු විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ රටේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමිගේ ආවේගශීලී බව වැඩියි. කුඩා දේටත් විශාල ප්‍රතිචාර දැක්වයි. මත්පැන් භාවිත කිරීමත් සමගම තව තවත් ආවේගශීලීව සියදිවි නසා ගැනීමට වුවත් පෙළඹිය හැකියි. ඒ වගේම ඇතැම් මත්ද්‍රව්‍ය හේතුවෙන් අනිසි සැකය, කිසිවෙක් නැති තැනත් කතා කරනවා වගේ ඇසීම වැනි මනෝ සංකූලතා ඇති විය හැකියි. සමහර මත්ද්‍රව්‍ය නිසා අයෙකුගේ මුළු ජීවිතයම මත්ද්‍රව්‍ය වටා ගෙතී අනික් කිසිවක් කෙරේ අවධානයක් නොමැති විය හැකියි. එහිදී මත්දුව්‍ය ගැනීමට නොහැකි වුවහොත් විශාල ගැටලුවක් විය හැකියි. 

අපේ රටේ කාන්තාවන් වැඩි කොටසක් මුහුණ දෙන තත්ත්වයක් ලෙස දිගුකාලීනව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වීඹ දැක්විය හැකියි. දරුවන් වෙනුවෙන් ඉවසලා විශාල පීඩනයකින් කාලය ගත කළත් එය පුපුරා යන මොහොතකදී දරුවන්ද සමග මවක් ගඟට පනී වැනි පුවත් අපට අසන්නට දකින්නට ලැබනු ඇත. 

අන්න ඒ නිසාම තවකෙකුගේ ජීවිතය අපිට තීරණය කළ නොහැකියි. එයට අර්ථදැක්වීම් දිය නොහැකියි. ඒ නිසාම හැකි නම් ගැටලුවකදී අයෙකුට හොඳ සවන් දෙන්නෙකු ලෙසින් පිහිට වන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස

රාගම ශික්ෂණ   රෝහල

 

 

 


                

බබා බයයි…

බිය කියන්නේ අපේ එදිනෙදා මුහුණ දෙන ජීවිතයේ  සුලබ චිත්තවේගයක්. මේ තත්වය අපේ ජෛව රසායනික ක්‍රියාවලිය  සමග වගේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්. වගේම ඇතැම් අවස්ථාවලදී බිය අපේ ජීවිතයේ පැවැත්මට හිතකර විදිහටත් බලපානවා. සමාජයේ නීතිය කැඩුවොත් ලැබෙන  දඩුවමට අපි බිය නිසාම සමාජ නීති රීතිවලට අනුගතව ජීවත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් ‘‘යක්කුන්ට බිය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ‘‘ යන ස්ථාවරයේ පිහිටා ගෙන වැරදි හැසිරීම් වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසාම අපි මේ අන්තවාදී හැසිරීමෙන් මිදෙන්න අවශ්‍ය වගේම අපේ දරුවන්ටත් ‘‘ බිය “ කියන සංකල්පය සමග ජීවිතය පවත්වා ගෙන යෑමට උදව් කිරීම ඉතාම වැදගත්. 

දරුවන්ගේ බිය සාධාරණයි…

පුංචි දරුවන්ට බිය ඇති වීමට අපට වගේ සාධාරණ හේතු අවශ්‍ය නැහැ. සමහර දරුවන් අලුත් මුහුණක් දුටු විට පවා බියක් දක්වනවා.දරුවාගේ මනසේ අලුත් පුද්ගලයෙක් යන චිත්ත රූපය මැවෙන නිසාම ආගන්තුක පුද්ගලයා සමග ගණුදෙණු කිරීමට බියක් දැක්වීම සාමාන්‍යයි. ඒ අතර තවත් දරුවෙක් කිසිම චකිතයක් බියක් නැතුව ඕනෑම පුද්ගලයෙක් සමග ගණුදෙණු කිරීමට උනන්දුවක් දක්වනවා.

බිය නිසා දරුවා ආරක්ෂා වෙනවා…

බිය නිසා  දරුවා ආරක්ෂා වෙන බව මේ වෙන විට විද්‍යාඥයින් පවා පිලිගෙන තිබෙනවා.කොටින්ම එය ස්වභාව ධර්මයෙන් දරුවාට ලැබුන තෑග්ගක්.සමහර අවස්ථාවලදී බිය නිසාම දරුවා ආරක්ෂා වෙනවා. ගින්දර නිසා පිච්චෙන බව දන්නා දරුවා එයට අත තබන්නේ නැහැ. ඔහු බුද්ධිමත්ව ඒ බව තේරුම් ගනන්වා. නමුත් ඒ වයසේම තවත් දරුවෙක් කිසිම බියක් නැතුව ගින්දරට අත දමා පිලිස්සීම් තුවාල සිදු කර ගනිති. ඒ ගින්දර දැවෙන බවට අවබෝධයක් ඔහුගේ සිතේ නැති නිසාය.

සමාජයේ බිය විය යුතු තැන් කියා දෙන්න..

පසුගිය ඇසළ පෙරහැර කාලයේදී වයස අවුරුදු පිරිමි දරුවෙකු එක්තරා පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගිය සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අප දුටු බව මතක ඇති. එවැනි ආගන්තුක පුද්ගලයන් ගැන බිය සැක ඇතුව ජීවත් වීමෙන් දරුවාගේ ආරක්ෂාව සැලසෙන බව ඔවුන්ට කියා දෙන්න. ආගන්තුක හැම දෙනාම අප සිතන තරම් සුදු චරිත නොවන  නිසා සමාජය කියවන දැණුම තුළ ඉදිරිය ඇති කර ගන්නා චරිත ගැනත් දරුවා දැණුවත් කරන්න.

දොස් නගන්න හෝ සමච්චල් කරන්න එපා…

විටෙක ඔබේ දරුවා අනවශ්‍ය දෙයට බියක් දක්වන්න පුළුවනි. දරුවන්ගේ බය සාමාන්‍යයි. කළුවරට, ගොරවන ශබ්දයට අපිත් කුඩා කාලයේ බිය වුනත් වයස සමග ඒවා අපේ ජීවිතයෙන් ඉබේම මගහැරෙනවා.ඒ නිසා දරුවා බියක් දක්වන විට ඒ ගැන දුවම් කිරීම හෝ බැන වැදීම සුදුසු නැහැ.

 බ්ලෙන්ඩරයේ ශබ්දයට බියකින් පීඩා විදින මා මිතුරියෙකුගේ දරුවෙක් මෙන්ම වැසිකිලියේ වතුර  flush  කරන ශබ්දයට බියක් දක්වන දරුවන් මා දැක ඇත. එය අපට බියක් ඇති නොවන කරුණක් වුනත් දරුවා බියකින් පසු වන්නේ නම් ඒ ගැන දොස් නගන්න එපා. මේක විකාරයක් යැයි කියමින් බය නැති කිරීමට යැයි සිතා දරුවාට ඒ ශබ්ද බලහත්කාරයෙන් අසන්නට සලස්වන්නත් එපා. කාලයත් සමග දරුවාගේ බිය සිතෙන් දුරු වීම සාමාන්‍ය තත්වයක්.

හේතු ඵල සම්බන්ධතාවය අනුව කියා දෙන්න..

දරුවාට බිය විය යුතු යම් යම් සිදුවීම් ගැන හේතු ඵල සම්බන්ධතාවයක් ඇතුව කියා දෙන්න. ගඟ දිය ගැඹුරු විට  ඇති වෙන අනතුරු ගැන මනසට ඒත්තු යන අන්දමින් කියා දෙන්න. ඒ වගේම සෑම දෙයක් වෙනුවෙන්ම අනවශ්‍ය අන්දමින් බිය ඇති කරන්න එපා. සමහර දෙමව්පියන් තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට කැරපොත්තා, මකුළුවා , ඇනකොන්ඩා වැනි සතුන් ගැන කියමින් දරුවා බියට පත් කළත් එය එතරම් තාර්තික නැත. එවිට දරුවා අවදානම් සහිත ක්‍රියාවක් නොකරන්නේ එහි අවදානම ගැන සලකා ගෙන නොව සතා මුල් කර ගත් බිය නිසාය. ඒ නිසා දරුවන් සතුන්ට, විවිධ පුද්ගලයන්ට බිය ගැන්වීමට වඩා අදාල අවදානමේ තරම කියා දීම ඉතා වැදගත්.

දරුවාගේ එකම ආරක්ෂකයා ඔබයි…

දරුවාට සිටින එකම ආරක්ෂකයා දෙමව්පියන්. ඒ බව අමතක කරන්න එපා. නමුත් සමහර අවස්ථාවලදී ඔබ දරුවාට ‘‘පොලිස් අන්කල්ට කියනවා. ‘‘ නැත්නම් ‘‘ඩොක්ටර් අන්කල්ට කියලා කටුවෙන් ඉන්ජක්ෂන් ගහනවා ‘‘යැයි බිය වද්දන්න එපා.බත් නොකන විට ඔබ දරුවාට සේලයින් කටුව ගහනවා…එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ගහනවා යැයි බිය වද්දන අවස්ථා ඇත. නමුත් එවැනි බිය වැද්දීම් නිසා දරුවාගේ මනස තුළ ඇති වෙන බියජනක සංකල්ප සමහර විට ඔවුන් වයසින් වැඩුනත් හිතෙන් දුරස් නොවන තරමටම ප්‍රබල විය හැකියි. ඒ නිසා දරුවා නිතරම සැකයෙන් ජීවත් වීමට පටන් ගනී. වෛද්‍යවරයා යනු බියජනක චරිතයක් ලෙසින් දෙමව්පියන්ගේ අර්ථ ගැන්වීම නිසා දරුවාගේ හිතේ ඇති වෙන බිය මානසික ලෙසින්ද අයහපත් අන්දමින් බලපෑමට ඉඩ තිබේ.

දකින දේ ගැන ඇති වෙන බිය සාමාන්‍යයි…

එදිනෙදා ජීවිතයේදී වැස්සට, කලුවරට, සතුන්ට හෝ ගින්දරට දරුවා බියක් දක්වන්නේ නම් එය ඉතාම සාමාන්‍යයි. කළුවර තැනකින් ඉවත් වීමට දරුවා දනී. ගොරවන විට නිවස ඇතුලට වී මව්පියන්ට තුරුල්ව සිටි. එහෙත්…දරුවා නොදකින හෝ නූපන් අනාගතයක් ගැන බියක් දක්වනවා නම් එය යම් අන්දමක ගැටළුවක් විය හැකියි.

සමහර විට ඔබ නොදකින රාස්සයෙක් ගැන දරුවා කියනවා නම්…හෙට දවසක අම්මා තාත්තා නැති වුනොත් යැයි අසුබවාදී සිතුවිලි නිසා හිතේ බියක් ඇති කර ගෙන ඇත්නම් එය එතරම් සුදුසු තත්වයක් නොවේ.සමහර විට දරුවා නරඹන ලද චිත්‍රපටයක සිතින්.(Delusions)  මවා ගත් බියකරු රාස්සයෙක් විය හැකියි. එසේත් නැත්නම් දරුවා දුටු බියකරු සිදුවීමක යම් චරිතයක් විසින් දරුවාගේ හිතට වධ දෙන මානසික තත්වයක් ඇති වීමට පුලුවනි. එවැනි අවස්ථාවකදී දරුවාට මානසික ලෙසින් සුවපත් බවක් ඇති වීමට කටයුතු කිරීමත් ඉතාම වැදගත්.

සෘණ සිතුවිලි ගැන කියන්න එපා…

දරුවන්ගේ සිත් බොහොම මුදු මෙලෙක නිසා ඔවුන්ගේ සිත් තුළට අසුබ සිතුවිලි එසේත් නැත්නම් සෘන ආකල්ප ඇති කරන්න එපා. පාරේ සිඟමන් යදින පුද්ගලයෙක් දුටු විට ඔන්න ඉගෙන ගන්නේ නැතුව ඉන්න ඔයාටත් මේ වගේ පාරේ බස්ටෑන්ඩ් එකක තමා ඉන්න වෙන්නේ. අම්මා..තාත්තා මැරිලා ගියාම කන්න දෙන්නේ කවුද..? මේ අන්දමින්  දරුවාගේ හිතට මවන විවිධ සංකල්ප නිසා (Hallucinate) ඔහුගේ හිත පීඩාකාරි සිතුවිලිවලින් හෙම්බත් වෙනු ඇත. ඒ නිසාම දරුවා නිතරම නූපන් අනාගතය මුල් කර ගත් බියකින් පසු වීමත් බරපතල මානසික ගැටලුවක් බවට පත් විය හැක.ඒ නිසා දරුවාගේ බිය තුළ යම් අසාමාන්‍ය බවක් ඇත්නම් ඒ ගැනත් නොසලකා සිටින්න එපා. මානසික උපදේශනයෙන් දරුවා නැවත යතා තත්වයට පත් කර ගැනීමට දැන් ඒනෑ තරම් අවස්ථා තිබෙන නිසා මිථ්‍යාවන් ලුහු බැදීම වෙනුවට සුදුසුකම් ලත් මානසික උපදේශනයන් වෙත යොමු කිරීම ඉතා වැදගත්.

 

 

සතිමත් බව වැඩීමේ ප්‍රයෝජන මොනවාද?

සතිමත් බවේ අරමුණ වන්නේ පුද්ගලයාගේ ඇතුළාන්තයේ ඇති ශාරීරික, මානසික සහ භාවාත්මක ශක්තිය අවධි කිරීමයි. ඒ අවදි කිරීම තුළින් ප්‍රතිලාභ රැසක් පුද්ගලයාට හිමි වනු ඇත. වර්තමානයේ පවතින ප්‍රීතිමත් බව අපි අපේ ශරීරයට දැනෙන්නට හැරිය යුතුයි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අපේ සිත අපේ සිහිය මේ වර්තමාන මොහොතේ පවතින වාර ගණන, කාලය දීර්ඝ වන විට සතුට අපේ සිත තුළ ප්‍රීතිය පවතින කාලය ද  වැඩි වේ. සතිමත් බව මගින් සමස්ත වශයෙන්ම යහපත් බවක් පුද්ගලයාට හිමි වනු ඇත. 

සතිමත් බව වැඩීම මගින් කායිකව අපිට හිමිවන ප්‍රතිලාභ

පර්යේෂන මගින් සනාථ වූ ආකාරයට සතිමත් බව වැඩීම මගින් පුද්ගලයෙකුට කායිකව හිමිවන ප්‍රයෝජන පහත පරිදි වේ.

  • හෘද රෝගවලට ඇති අවදානම සහ හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු වේ
  • අධිරුධිර පීඩනය ඇති වීම අවම කරයි
  • නින්දට ඇතිවෙන බාධා නැති කරයි
  • ආම්ලිකතාවය (ගැස්ට්‍රයිටීස්) නිසා ශරීරයට ඇතිවන වේදනාවන් පහ කරයි‍
  • දිගුකල් පවත්නා වේදනා ඇති පුද්ගලයන් (පිළිකා රෝගීන් වැනි) වෙත සහනය සලසයි
  • ඇබ්බැහි වීම් වලින් ගලවා ගනී
  • ආහාර රටා වල ඇති අක්‍රමිකතා හැඩගස්වා ගැනීමට සහය වේ
  • මානසික ආතතිය/ සාංකාව හේතුවෙන් ඇතිවන සංකූලතාවලට සහනය සලසයි 

සතිමත් බව වැඩීම මගින් සමාජමය වශයෙන් අපට හිමිවන ප්‍රතිලාභ 

ශාරීරිකව හා මානසිකව ලැබෙන ප්‍රතිලාභ තනි තනි පුද්ගලයාට පමණක් හිමි වන අතර අප ලොව පුරා පතුරවන්නේ සමාජ ප්‍රතිලාභයි. සතිමත් බව තමන්ට තමන් ගැන ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහය වේ. උදාහරණ ලෙස පංචේන්ද්‍රියන් තුළින් අපිට දැනෙන ආකාරය, යමක් දැනුනේ කොහොමද, ඒ සිතුවිල්ල තමා යටපත් කරගත්තේ කොහොමද කියන දේ අපිට අවබෝධ වෙන අතරම ඒ හරහා තමාට තමා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ දේ පුරුදු පුහුණු වීමේදී තමන් ගැන දැනගන්නා අතරම එය අනික් පුද්ගලයා පිළිබඳව දැනීමටත් ප්‍රයෝජනවත් වනු ඇත. එවිිට තමා තමා දෙස බලන අයුරින්ම අනෙක් පුද්ගලයා දෙස බලන්නටත් පුරුදු පුහුණු වනු ඇත. 

ඔබ මට දැනෙනවා, මටත් මාව දැනෙනවා. එහෙමනම් වචනයක් පාවිච්චි කිරීමේදී පවා සැලකිලිමත් වනු ඇත. අපි මේ සමාජය තුළ කටයුතු කරන විට ගනුදෙනු කරන විට හොඳ මගපෙන්වීමක් සතිමත් බව තුළින් හිමි වෙනවා.

සතිමත් බව පිළිබඳව අපි සිදු කරන ප්‍රායෝගික අභ්‍යාස තුළින් එක අරමුණක සිත රඳවා ගැනීමට පුරුදු පුහුණු විය හැකියි. සතිමත් බව ඉගෙනීමේ යෙදෙන දරුවන්ට අවධානය රඳවා ගැනීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. දරුවෙක් විභාගයකට මුහුණ දෙනවා නම් ඔහුගේ/ඇයගේ සිත කැළඹිලා නම්  සිත එක තැනකට ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. 

සතිමත් බව ජීවිතයට ළං කරගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් 

මේ සඳහා වන සරල ක්‍රියාකාරකම් කිහිපයක් පහතින් දක්වා ඇත.

Mind full Jar

මෙය කුඩා බෝතලයක් වන අතරම එයට දිලිසෙන කුඩු වර්ගයක් දමා ඇත. මෙය අපෙ සිත එගඟ කර ගැනීමට සිදුකරන සරලම ක්‍රියාකරකමකි. මේ බෝතලය හොඳින් සොලවන්න. එවිට එය ඔබේ සිත මෙන් කැලඹී නැවත සන්සුන් වනු ඇත. මෙය ඉතා සරල ක්‍රියාරකමක් වුවත් මෙහි ඇති ප්‍රයෝජන ඉතා වැදගත් වනු ඇත. සෙලවීමෙන් කැළඹුණු මේ දිලිසෙන කොටස් දෙස බලා සිටීමෙන් වර්තමාන මොහොතේ තත්ත්පර ගණනකට හෝ සිත පවත්වා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එය තප්පර ගානක්/ විනාඩි ගානක් දක්වා වැඩි විය හැකියි. මෙය ඉකා සරල ක්‍රියාකාරකමක් වුවත් මෙමගින් තත්පර ගානකට හෝ සිත එක් තැනක රඳවා ගැනීමට මූලික පුහුණුවක් ලබා දෙනවා. එය ප්‍රීතිමත් ජීවිතයකට බොහෝ‍ සෙයින් වැදගත් වනු ඇත. ඔබේ හිත යම් කැළඹීමකට පත් වූ අවස්ථාවක එය ඔබට පාලනය කර ගත නොහැකි අවස්ථාවක එසේත් නොමැති නම් විනාශකාරී හැඟීමක් ඇති වූ විට මේ දෙස බලා සිටීමෙන් විනාශකාරී හැඟීම් ඔබේ මනසෙන් ඉවත් වන තුරුම එසේ ඉවත් වී ඔබට මානසිකව සුවයක් දැානන තුරුම නැවත නැවත එය සිදු කිරීමට ඔබට හැකියි‍. 

සතිමත්ව සවන්දීම

මෙය ඉතාම සරලව ඔබ ඉන්න ඕනම තැනක ප්‍රායෝගිකව සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. ඔබ පහසුවෙන් හිඳ ගනිමින් දෑස් පියා ඔබේ වටපිටාවට අවධානය යොමු කරන්න‍. ඔබ ඉන්නේ එළිමහනක නම් සුළඟට ගස් සෙලවෙන හඬ, යමක් වැටෙන හඬ, යන එන වාහන  ශබ්ද වෙත අවධානය යොමු කරන්න. ඔබ මේ ශබ්ද පෙර අසා තිබුණත් සිතා මතා අවධානය යොමු කොට අසා නොමැති විය හැකියි. මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී වර්තමාන මොහොතේ මේ ශබ්දවලට ඔබ සවන් දිය යුත්තේ විනිශ්චයකින් තොරවයි. උදාහරණයක් ලෙස ඒ ඇහුණේ කාගේ වාහනයේ හඬද වැනි ලෙස විනිශ්චය කිරීම සුදුසු නැත. එවිට ඒ ඔස්සේ ඔබේ සිත දිගින් දිගටම ගමන් කරන අතරම වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීමට ඔබට අපහසු වනු ඇත. වර්තමාන මොහොතෙන් ඔබේ සිත ගිලිහෙන වාරයක් ගානේ ඔබ නැවත පැමිණ ක්‍රියාකාරකම ආරම්භ කරන්න. විනාඩි පහකින් පමණ ආරම්භ කොට ක්‍රමක්‍රමයෙන් දිනකට වරක් විනාඩි දහයක/පහලොවක සිට විනාඩි තිහක් දක්වා කාලය වැඩි කිරීමට ඔබට හැකියි. මේ ක්‍රියාකාරකම වෙනුවෙන් විශේෂ සූදානමක් අවශ්‍ය නොව අතර කෑම පිසීමේදී, ස්නානය කිරීමේදී වුවද සිදු කළ හැකිය.

සතිමත්ව ආහාර ගැනීම

යමක් වටහා ගැනීමට අපේ පංචේන්ද්‍රියන් උදව් වේ. අපි කරන ඕනම දෙයකට පංචෙන්ද්‍රිය එක්තැන් කළොත් එය අපිට හොඳින් දැනෙනවා. අනෙක් අවස්ථාවලදී පංචේන්ද්‍රිය ගත් විට රස දැනීම එකතු කළ නොහැකි වුවත් ආහාර ගැනීමේදී එයද එක් කළ හැකි වීම නිසා එය සතිය වැඩීමට ඉතා හොඳ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. උදාහරණයක් ලෙස ටොෆියක් ගත්තොත් එහිදී පංච ඉන්ද්‍රිය භාවිත කරන්නේ කෙසේද ?ටොෆිය ඔතා ඇති කොළය දෙස බැලූ විට එහි සඳහන් දේ අපිට පෙනේ. අපේ ඇස ක්‍රියාත්මකයි. එය පොඩි කළ විට එහි හඬ ඇසේ. අපේ කන ක්‍රියාත්මකයි. ටොෆිය ස්පර්ශ කිරීමේදී එහි සුමුදු බව, හැඩය අපට දැනෙනවා. එහි සුවඳ බැලීම නිසා රැචිය ඇති වෙනවා. මේ ක්‍රියාකාරකමේදී පංච ඉන්ද්‍රියන් භාවිත වන බව පැහැදිලි වනු ඇත. මොළයට පණිවිඩයක් දෙන කොට මේ පංචේන්ද්‍රියන් සියල්ලම හරියට අරගෙන මොළයට පණිවිඩයක් දුන්නම තමයි මේකේ රසය කියන දේ හරියටම අපි ගන්නෙ. 

සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීමේ පුරුද්ද (Over Eating Habits) පාලනය සඳහා යොදා ගැනෙන්නේත් මේ ක්‍රමයයි. ආහාර වැඩිපුර ලබාගන්න පුද්ගලයන් බොහෝ විට ආහාර ගන්නේ එක්කෝ රූපවාහිනිය නරඹමින්. නැතිනම් වෙන කල්පනාවක. ඒ නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් කොයිතරම් ප්‍රමාණයක් ආහාර ගත්තාද යන බව. ‍ඇතැම් විට තමා ආහාරඑයට ගත්තේ මොනවාද කියාත් නොදන්නවා විය හැකියි. නමුත් ඉහත ක්‍රමය අනුගමනය කොට ආහාර වේල සඳහා සකසා ඇති දේ බලා ආහාර බෙදාගෙන,  සුවඳ විඳ හොඳින් අනා ටිකෙන් ටික රස විඳින්න. එවිට අපේ මොළයට පණිවිඩය ලැබෙනවා කුස පිරුණු බවට,  එය මානසික කාරණයක්. පිඟන් දෙකක් ආහාරයට ගෙන ඔබේ කුස නොපිරුණත් මේ ක්‍රමයට ආහාර ගැනීමේදී ඉතා ඉක්මනින් පිරෙනවා. එය සිදුවන්නේ ඔබේ මොළයට නිවැරදිව මෙන්ම පැහැදිලිව පණිවිඩය ගමන් කළ නිසයි. අන්න ඒ නිසාම මොළය සමග සිදුකරන ගනුදෙනුව ඉතා පැහැදිලිව සිදුකළ යුතුයි. ඒ සඳහා අපිට පංච ඉන්ද්‍රියයන් බොහෝ සෙයින් වැදගත් වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය