අපේ පුංචි පැටවුන්ටත් ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්ද?

 ක්ෂය රෝගය සම්බන්ධව බොහෝ දැනුවත් කිරීම් මීට පෙරත් අප සිදු කළා ඔබට මතක ඇති. බොහෝ විට අපි ක්ෂය රෝගය වැළදුණු අයෙකුගේ ආශ්‍රිතයෙකු හෝ වූයේ කුඩා දරුවන් ඇතුළුව නිවසේ සිටින සෑම අයෙක්ම ලය සායනය හරහා පරීක්ෂාවට ලක් වී තමා රෝගයට ගොදුරු වී ඇතිය යන්න සැක හැර දැන ගත යුතුමය. මේ ලිපිය වෙන්වන්නේ විශේෂයෙන්ම පුංචි දරුවන් සිටින මව්පියන් දැනුවත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධවයි. ‍

වැඩිහිටි ඔබ විතරක් නොවෙයි, පුංචි දරුවොත් පරීක්‍ෂා කරවාගැනීම ඉතාම වැදගත්. බොහෝ විට ඇතැම් වැඩිහිටියෝ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් රෝගය ගැන හිතේ තියෙන මිත්‍යා මත හේතුවෙන් හෝ ලැජ්ජාව නිසා හෝ ඒ ගැන පරීක්ෂා කරගැනිම අතපසු කරනවා. ඒත් වැඩිහිටි ඔබට වගේම පුංචි දරුවන්ටත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමියනි, ක්‍ෂය රෝගය පුංචි දරුවන්ටත් බෝ වෙන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම ඔව්. ක්‍ෂය රෝගය හැම තිස්සෙම කුඩා දරුවෙක්ට බෝවෙන්නේ නිසි ප‍්‍රතිකාර නොගන්නා  ක්‍ෂය රෝගියෙකුගෙන්. ඒ නිසා ගෙදර ක්‍ෂය රෝගියෙක් ඉන්නව නම් ප‍්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවිට අවුරුදු  5 ට අඩු දරුවන් නිවසේ ඉන්නවා නම් පරීක්‍ෂා කොට ක්‍ෂය රෝගය නැතිනම් ඒ දරුවා සුරක්‍ෂිත කිරීමට රෝග නිවාරණ ඖෂධ එහෙමත් නැත්නම් ප්‍රොෆිලැක්සිස් ඖෂධය ආරම්භ කරනවා. 

වෛද්‍යතුමියනි, ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්, 

ඔව්, දරුවට ලෙඩක් නැහැ, නිරෝගී දරුවෙක්. ඒත් ක්‍ෂය රෝගියෙක් ගෙදර ඉද්දී විෂබීජය නිවසේ තිබෙනවා. එවැනි අවස්ථාවලදී එම නිරෝගී දරුවට සාමාන්‍යයෙන් මාස 6 ක් වගේ දීර්ඝ කාලයකට රෝග නිවාරණ ඖෂධ ලබා දීම ආරම්භ කරනවා. ඉතින් මේ දරුවන්ට ලබාදෙන ඖෂධත් අඛණ්ඩව ලබාගත යුතුමයි. 

පුංචි දරුවන්ට ක්ෂය රෝගය හැදෙන්නේ කොහොමද?

බොහෝවිට පුංචි දරුවන්ට මේ රෝගය ගමන් කරන්නේ වැඩිහිටියන් හරහායි. පුංචි දරුවන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වැඩිහිටියන් පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට වඩා වෙනස් විය හැකියි. 

ක්ෂය රෝගය වැලඳුණු පුංචි දරුවෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • සති 2 කට වඩා පවතින උණ
  • දිගුකාලීන කැස්ස
  • බර අඩුවීම/නියමිත ලෙස බර වැඩි නොවීම
  • ප‍්‍රතිජීවක වලට සනීප නොවන නියුමෝනියාව
  • සනීප නොවන ඇදුම
  • මහන්සිය/කම්මැලි/ක්‍රියාශීලී අඩුකම

මේ ලක්‍ෂණ ඔබේ දරුවාත් පෙනුනුම් කරනවා නම් ඉතා ඉක්මනින් දිස්ත‍්‍රික් ළය සායනයට හෝ ළඟම රජයේ රෝහලට රැගෙනයන්න. මේ දිනවල ප‍්‍රායෝගික අපහසුතා තිබුණත් නිසි සෞඛ්‍ය උපදෙස් මත සායන සඳහා සහභාගී විය හැකියි. ඒ සඳහා ඔබේ කාඩ්පත අවසර පත්‍රයක් ලෙස යොදා ගැනීමට හැකියාව පවතිනවා. මේ දිනවල දරුවෝ ගෙදරින් එළියට එක්ක යන්න මව්පියන් අකමැති වුවත් ඔවුන්ගේ පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍යයි. ලය චිකිස්තාගාරයේ කිසිදු රස්තියාදුවකින් තොරව සේවාය ලබාගැනීමට හැකියාව පවතිනවා. ඒ නිසා ආරක්ෂාකාරීව දරුවන් රැගෙන එන්න. 

මොන ගැටලුව තිබුණත් මව්වරු නිසි කලට අදාල රෝගවලට අවශ්‍ය දරුවන්ගේ එන්නත් කාඩ් පතේ ඇති එන්නත් ලබා දීම සඳහා දරුවන් රැගෙන යාම සිදු කරනවා. ඒ, අදාල මාසයට අදාල එන්නත් ලබා නොදීමෙන් දරුවන්ට ඇති විය හැකි අහිතකර තත්ත්ව ගැන ඇති දැනුවත්භාවය නිසයි. එය වසංගත සමයේ පවා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් අදාල එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා මව්වරුන් සායනයට දරුවා රැගෙන ගියත් ක්ෂය රෝගය වැනි තත්ත්වයකදී ප්‍රතිකාර හෝ පරීක්ෂණ වෙනුවෙන් ලය සායනයට දරුවන් රැගෙන යාම සිදු නොකරන්නේ ඒ ගැන හරිහැටි අවබෝධයක්, අවදානම ගැන හැඟීමක් නොමැති නිසයි. නිසි දැනුවත්භාවයක් තියෙනව නම් ඒවගේ මූලිකත්වයක් ඔවුන් මේ රෝගය සඳහාත් ලබා දෙන බව විශ්වාසයි. 

වෛද්‍යතුමියනි, මේ දිනවල පවතින කොවිඩ් 19 රෝගයේ අවදානම වැඩිහිටි හෝ පුංචි දරුවන් හෝ කියා වෙනසක් නැතිව බලපානවා. ක්ෂය රෝගය ඇති දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම අවදානම් සහගතද?

ක්‍ෂය රෝගයට නිසි පරිදි ප්‍රතිකාර ලබාගන්නා දරුවෙකුට නම් යම් පාලනයක් තියෙනවා. කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මණට ඒ පුංචි දරුවන්ගේ සිරුරට ඇතුළු විය හැකියි. විශේෂයෙන්ම අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය ඉතාම අඩු නිසා, විශේෂයෙන්ම මාස හයට අඩු දරුවෙකුට ක්‍ෂය රෝගය තියෙනව නම් ඒ දරුවාට කොරෝනා රෝගයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන් ක්‍ෂය රෝගී දරුවෙකු රැකබලා ගන්නව නම් ඔවුන්ගේ බෙහෙත් වේල අඛණ්ඩව ලබාදීම ඒ කටයුතු සිද්ධ කරන්නම  ඕන. 

මේ කොරෝනා සමයේ ක්ෂය රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අංශවලට වැඩපිළිවෙළක් තියෙනවද? 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම දිස්ත‍්‍රික් ලය චිකිත්සාගාර එක බැගින් තියෙනවා. විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මධ්‍යම ලය චිකිත්සාගාරය බොරැල්ලේ පිහිටා තිබෙනවා. ඒ වගේම කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා මුල්ලේරියාව රෝහල ආශ‍්‍රිතවත්, කළුබෝවිල රෝහල ආශ‍්‍රිතවත් තව වැඩිපුර සායන දෙකක් පිහිටුවා තිබෙනවා. ඉතින් ඒ සායන මේ වසංගත සමයේදීත් අඛණ්ඩව මේ රෝගීන් වෙනුවෙන් විවෘතයි. රටා වසා දමා ඇති කාලය තුළත් අදාල සායන පෙර පරිදිම පැවැත්වෙනවා. සදුදා සිට සෙනසුරාදා දහවල් 12 වෙනකන් සායන විවෘතයි. සියලුම පරීක්‍ෂණ සියලුම බෙහෙත් සහ සියලුම අනිකුත් සේවාවන් නොමිලේ ඔවුන්ට ලබාගත හැකියි. ඒ නිසා ඔබේ දරුවා නිසි කලට අදාල සායන වෙත රැගෙන යාම අමතක කරන්න එපා.

වෛද්‍යතුමියනි, අපේ දරුවන් නිරෝගීව හෙට දවසට යොමු කිරීම අපේ ‍වගකිමක් වගේම යුතුකමක්. ඒ නිසාම 2035 වන විට ඔබ සැමගේ  ඉලක්කය ශ්‍රී ලංකාවෙන් ක්‍ෂය රෝගය තුරන් කිරීම නේද?

අපි රෝගයට මූලික තැනක් දෙනව නම් මේ රෝගයේ ලක්‍ෂණ මොනවද? මේක සනීප කරන්න පුළුවන් නේද? කියන ආකල්පය හැඟීම අප තුළ තියෙනව නම් රෝගයෙන් බේරෙන්න පුළුවන්. මේ රෝගයත් එක්ක බැදිච්ච ගොඩක් වැරදි ආකල්ප, මිත්‍යා මත අපේ සමාජයේ තියෙනව.කෙටියෙන්ම කිව්වොත් ක්ෂය රෝගය හැදුණු නිවසකින් විවාහයක් කරගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඇතැම් විට නිවස තුළම රෝගියෙක් අසරණ විය හැකියි. මෙවැනි ආකල්පවලින් මිදිලා නිසි කළට නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් වැඩිහිටි අපි වගේම අපේ දරුවනුත් මේ රෝගයෙන් මුදවා ගත හැකියි. 

ප‍්‍රතිකාර නොගත් ක්‍ෂය රෝගියෙකු කහින විට හෝ කිවිසුම් අරින විට රෝග කාරක විෂබීජ වාතයට මුසු වෙනවා. නිරෝගී පුද්ගලයෙකු හුස්ම ගන්නා විට ඒ විෂබීජ අපිට ඇතුළු වෙන්න පුළුවන්. විෂබීජ ඇතුළු වෙච්ච පමණින් අපි හැමෝටම රෝගය වැළදෙන්නේ නැහැ. එහෙම වැළඳුනත් මාස හයක් නොකඩවා බෙහෙත් ගැනීමෙන් සම්පූර්ණයෙන් සුව කරගත හැකියි. 

වැඩිහිටි අපි මෙන්ම කුඩා දරුවනුත් ක්ෂය රෝගයෙන් ආරක්ෂා කරගැනීමට නම්,

  • ක්‍ෂය රෝගය අන් අයට බෝ වීම වළක්වා ගැනීමට කහින විට, කිවිසුම් යන විට ලේන්සුවකින් හෝ වැලමිටෙන් මුහුණ ආවරණය කරගැනීම ඉතාම වැදගත්. 
  • සෙම්, කෙළ බදුන් නිසි පරිදි බැහැර කළ යුතුය
  • නිවසට හොඳින් වාතාශ‍්‍රය, හිරු එළිය ලැබීමට සැලැස්විය යුතුය (ක්‍ෂය රෝග විෂබීජය හිරු එළිය හමුවේ විනාශ වී යන නිසා)

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න

  • කොළඹ දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0112673460
  • කොළඹ දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරි, නයනා ද සිල්වා මහත්මිය – 0774839797
  • ගම්පහ දිස්ත‍්‍රික් ලය චිකිත්සකාගාරය – 0112071940
  • ගම්පහ දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, කෞෂල්‍ය රාජපක්‍ෂ මහතා – 0716850253
  • කළුතර දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0342222677
  • කළුතර දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, ජී.එච්. අමරසිරි මහතා – 0777902348

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


                

දරුවාගේ භාෂාව දියුණු වීමට අවශ්‍ය වන ක්‍රියාකාරකම් තෝරා ගනිමු. සකසා ගනිමු.

දරුවන් භාෂා ඉගෙනීම ආරම්භ කරනුයේ මවු කුස පිළිසිඳ ගත් දා පටන් ය. තවද දරුවා මෙලොව එලිය දුටු දා සිට දරුවාගේ කුසලතා දියුණුව සඳහා අවශ්‍ය වන ලෙස පසුබිම සකසා දෙනු ලබන ඔබ දරුවාගේ කතාව, භාෂාවට උදවු දෙන ක්‍රියාකාරකම් සකසා ගැනීමට උනන්දු වනවා නොඅනුමානයි. එමනිසා දරුවාට වයසට  සුදුසු ලෙස ක්‍රියාකාරකම් හා සෙල්ලම් බඩු තොර ගන්නා ආකාරය හා සකසා ගන්නා ආකාරයත් එහි වැදගත්කමත්  අපි අද සාකච්චා කරමු.

අලුත උපන් බිළිඳාට

ඔබ ඔබේ අලුත උපන් බිළිඳා ට ශබ්ධ නගන සෙල්ලම් බඩු තොරා ගනු ලබන්නේ එහි වටිනාකම නොදැන විය යුතුය. එමගින් බිළිඳාගේ ඇහුම්කන් දීම, ශබ්ධ වලට සවන් දීම වැනි කුසලතා දියුණු වීමට මේවා රුකුල් වනු ඇත. එමනිසා දරුවා හට මෙම සෙල්ලම් බඩු ලබා දීමට උනන්දු වන්න.

තවද දරුවා සිටින ඇඳ ආසන්නයේ පින්තුර එල්ලීම, බිත්තියේ පින්තුර රැදවිම ද ඔබට සිදු කල හැකි දේ අතර වේ. ඒ සදහා  ඔබට අවශ්‍ය පින්තුර සකස් කර ගත හැකිය. එමගින් දරුවාගේ  පෙනීම, පින්තුර හදුනා ගැනීම උපකාරී වේ. 

මාස 06 පමණ වන දරුවාට 

මාස 06 පමණ වන විට දරුවා ශබ්ධ නැගීම ආරම්භ කරන අතර දරුවා හට ශබ්ධ නගන සෙල්ලම් බඩු ලබා දීම තුලින් දරුවා ඒ සඳහා උනන්දු කල හැකිය. තවද දරුවාගේ පෙර භාෂා කුසලතා දියුණු වීමට  අවශ්‍ය වන ලෙස Pop up toys, සංවේදී අවයව උත්තේජනය වන ලෙස සකසා සෙල්ලම් බඩු මෙම කාලයේදී ලබා දිය හැකිය. ඒවා දරුවාගේ සංවේදී අවයව උත්තේජනය ට උපකාරී වනු ඇත.

මාස 08 පමණ වන දරුවාට

දරුවා මස 08 පමණ වන විට වචන පිලිබඳ අවබෝධය ආරම්භ වන අතර සරල තනි වචන ප්‍රකාශ කිරීම ද ආරම්භ කල හැකිය. මෙම කාලයේදී ඔබට පින්තුර පොත්, පින්තුර කාඩි පත් සකසා ගත හැකිය. මෙම පින්තුර සැබෑ පින්තුර වීම වැදගත් වන අතර ඒවා චිත්‍ර, කාටුන් පින්තුර නොවීම ඉතා වැදගත් වේ. තවද මෙම පින්තුර කාඩි පත් ව්ශාල වීමද, පාට සහිත වීමද ඔබ සිහි තබා ගත යුතු දෙයකි. මේ ආකාරයට ඔබට විවිධ කාණ්ඩ වලට අයත් පින්තුර දරුවාට හදුන්වා දිය හැකිය. උදාහරණ ලෙස සත්තු, පලතුරු, පවුලේ අය, කෑම ආදී දේ ඊට ඇතුලත් කර ගත හැකි අතර ඒවා දරුවාට සමීප වචන වීම සුදුසු වේ.

අවුරුදු 1-2 අතර දරුවාට

දරුවා අවුරුද්ද පමණ වන විට තනි වචන කතා කරන අතර අවුරුදු දෙක පමණ වන විට සරල වචන 2-3 ක් එකතු කර වාක්‍ය තැනීම ට දරුවා උත්සහ කරනු ඇත. ඒ සඳහා දරුවාට උදවු වන ලෙස ඔබට ක්‍රියාකාරකම් සකසා ගත හැකිය. ඒ සඳහා ඔබ හා දරුවා අතර සන්නිවේදනය ගොඩ නගා ගැනීමට හැකියාව ඇති වන සෙල්ලම් බඩු තෝරා ගත යුතුය. ඒඅතර බෝනික්කන්, වාහන, tea cup set, cooking set ආදී දේ තිබිය හැකිය. මෙහි ඇති වැදගත්කම නම් ඔබ හා දරුවා අතර වාචික සන්නිවේදනය මෙම සෙල්ලම තුලින් සිදු කල හැකිද යන්න සිතීමයි.

අවුරුදු 3-4  අතර දරුවාට

දරුවා අවුරුදු 03 පමණ වන විට වචන 3-4 ඇතුලත් වාක්‍ය ප්‍රකාශ කල යුතු අතර භාෂා අවබෝධය ද දියුණු විය යුතුමය. එමනිසා දරුවා හට එම කුසලතා කරා ලගා වීමට උදවු වන ලෙස ඔබට සෙල්ලම් බඩු තොරා ගත හැකි අතර සරල කතන්දර පොත්, දරුවා හට විවිධ සෙල්ලම් සිදු කල හැකි දේ එනම් shopping cart, doctor set, ring tower toys මෙන්ම කැපිය හැකි එළවලු පලතුරු ආදී දේ ඔබට තොර ගත හැකිය. එමගින් දරුවා හට සෙල්ලම් කරන අතරතුර අවස්තානුකුල ව භාෂාවක් භාවිතා  කිරීම දියුණු කර ගත හැකිය. 

මිට අමතර දරුවාගේ උසස් භාෂා කුසලතා (Higher language skills) දියුණු කිරීමට අවශ්‍ය වන ක්‍රියාකාරකම් දෙමවුපියන් වන ඔබට සකස් කර ගත හැකිය. ඒ සඳහා සමාන පින්තුර තේරීම ට පින්තුර කාඩ්පත් සැකසීම, පාට හැඩතල, හා වචන වලට අදාළ පින්තුර තොර ගැනීමට දරුවා පුහුණු කිරීමට ඔබට පින්තුර පත් සකස් කර ගත හැකිය. ඒවගේම Puzzles ද දරුවාගේ වයස අනුව ඔබට තොර ගත හැකිය. එමගින් දරුවාගේ ගැටළු විසදීම (problem solving), logical thinking, සිතීම හා දරුවාගේ ඉගෙනුම් කුසලතා ද දියුණු කර ගත හැකිය. එමනිසා දරුවාගේ භාෂා කුසලතා දියුණු කිරීමට අවශ්‍ය වන ලෙස සරල ක්‍රියාකාරකම් සකසා ගැනීමටත් නිවැරදිව තෝරා ගැනීමටත් ඔබට හැකියාව පැවතීම ඉතා වැදගත් වේ.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

 

දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන මව් කුස පටන්ම උනන්දු වෙන්න.

ප්‍රතිශක්තිය කියන්නේ ආගන්තුක දෙයක් වෙනුවෙන් අපේ සිරුර විසින් දක්වන ප්‍රතිචාර .. සියළුම වෛරස සහ බැක්ටීරියා අපේ සිරුරට ආවත් ඒ සියලුම විෂබීජ වෙනුවෙන් ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව අපේ සිරුරට තිබෙනවා. උපතින්ම අපේ සිරුරට ලැබී තිබෙන ප්‍රතිශක්තිය ඉහළයි. නමුත් අපට හිමිව තිබෙන මේ සුවිශේෂී හැකියාව නැති කර ගන්නේ ඇයි…? අපේ ප්‍රතිශක්තිය රැක ගෙන පවත්වා ගෙන යන්නේ කොහොමද..?

අපේ ප්‍රතිශක්තිය කොටස් දෙකකට බෙදෙනවා

  • innate immunity-සහජ ප්‍රතිශක්තිය 
  • Adaptive immunity– අත්කර ගත් ප්‍රතිශක්තිය

innate immunity- සහජ ප්‍රතිශක්තිය

ඕනෑම පුද්ගලයෙකුට උපතින් ලැබෙන ප්‍රතිශක්තිය සහජ ප්‍රතිශක්තිය (innate immunity ) යනුවෙන් හැදින්වෙනවා. 

Adaptive immunity

අත්කර ගත් ප්‍රතිශක්තිය  (Adaptive immunity ) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙහිදී අපේ සිරුරට ඇතුළු වෙන විෂබීජයට එරෙහිව සිරුර ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිශක්ති එන්නතකින් ලැබෙන්නේ එවැනි ආරක්ෂාවක්. උදාහරණයක් විදිහට සරම්ප,පිටගැස්ම වැනි රෝග තත්වයන්හිදී සිරුරට ලබා දුන් ප්‍රතිශක්තිය මතක තබා ගෙන නැවත වෛරසයක් ඇතුළු වූ විට ඒ වෙනුවෙන් ඇති මතකය උපකාර කර ගෙන ඒ රෝග තත්වයෙන් ආරක්ෂාව ලබා දෙනවා.

සෞඛ්‍ය සමීකරනය…

අපේ සෞඛ්‍ය ගැන එහෙමත් නැත්නම්  නිරෝගි ජීවිතයක් පවත්වා ගැනීමේදී සෞඛ්‍ය සමීකරනය ගැන කතා කිරීමට අවශ්‍යයි. මෙම සමීකරණය නිර්මානය වෙන්නේ මේ විදිහටයි.

පරම්පරා ලක්ෂණ + ආහාර, , මානසික සෞඛ්‍ය සහ වයස

කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න කලින් පටන්ම තමාගේ දරුවාගේ නිරෝගිව හදා වඩා ගැනීමට පියවර ගත යුතුයි. 

පරම්පරා ලක්ෂණ

ඩෙනි ජොන්සන් විසින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන අන්දමට පරම්පරා දෙකක් අතර කාලයක් පුරා යම් වෛරයක් කාලයක් තිබිලා මේ පරම්පරා දෙකින් ගැහැනු පිරිමි දෙන්නෙක් විවාහ වුනොත් මේ අඹු සැමියන්ට දාව උපත ලබන දරුවන්ට බොහෝ විට ස්වයං ප්‍රතිශක්තිකරණ ඌනතාවයක් ඇති වෙන්න පුලුවනි. මේ ගැන තව දුරටත් අධ්‍යනයන් සිදු වෙමින් පවතිනවා. අපේ රටේ වුනත් සමීප ලේ ඥාතීන්ගේ විවාහය  , ඇවැස්ස නෑනා මස්සිනා විවාහයත් නිසා විවිධ ආබාධ සහිත දරුවන් උපත ලබන බැව් සදහන් වෙනවා.

අම්මාගේ පෝෂණය ලබා දීමත්

ගර්භණී කාලයේදී මව ලබන පෝෂණය නිරෝගී දරු උපතකට හේතු වෙනවා. මේ වෙන විට හැම ගර්භණී මවක්ම ඒ ගැන දැනුවත් වගේම සායන මගින් ඔවුන් දැණුවත් කිරීමත් සතුටට හේතුවක්.

මානසික සෞඛ්‍යයත් වැදගත්..

දරුවෙක් මව්කුස පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන්ම අම්මා තාත්තාගේ බලාපොරොත්තුව තමන්ගේම ලෙයින් මසින් ලැබෙන පැටියා නිරෝගී වගේම පෞරෂයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් කරන සිහිනයක පසු වෙනවා. ඒ හැම මව් කෙනෙකුටම පොදුගුණයක්.දරුවෙක් ගැබ් දරණ කාලයේදී කාන්තාවක් ඉතාම යහපත් සිතුවිලිවලින් ජීවත්වීම අවශ්‍යයි. විශේසයෙන්ම ආගමික කටයුතුවලින් යම් මානසික සුවතාවයක් ලැබෙනවා. අතීතයේ පටන්ම අපේ වැඩිහිටියන් ගැබ් දරණ කාන්තාවකගේ මානසික සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. අතීතයේදී දරුවෙක් ලැබෙන්න සිටින අම්මාට අසුබ සහ අවලස්සන දර්ශන නෙත ගැටෙන්න දුන්නේ නැහැ.වෙන දෙයක් තබා තමන්ගේ නිවසේ අළුත්වැඩියා කටයුත්තක් පවා කරන්න ඔවුන් පෙළඹුනේ නැහැ. ආයුධ සහ දැව එකටෙක ගැටෙන ශබ්ද පවා ගැබිණි මවට ඇසෙන්න ඉඩ දුන්නේ නැහැ.

කුස සිටින දරුවාට ආමන්ත්‍රණය කිරීම..

අපි නොසිතුවත් කුසේ සිටින දරුවාට අම්මාගේ සිතුවිලි හොදින් තේරුම් ගන්න පුලුවනි.ඒ නිසා කුසේ සිටින දරුවාට මවගේ ආදරණීය ආමන්ත්‍රණය වැදගත්. ගැබ මෝරන විට තමන්ගේ දරුවා සමග කථා කරන්න ඕන. දරුවා ඒ හඩ අදුනනවා. තමන්ට කතා කරන බව තේරුම් ගන්නවා. අම්මා වගේම තාත්තාත් මෙලොව එළිය දකින්න සුදානමින් සිටින පැටියාට ආමන්ත්‍රණය කිරීම අවශ්‍යයි. මව්පියන් සහ දරුවා අතර සමීප සම්බන්ධතාවය එතැනදී ගොඩ නැගෙනවා.එය දරුවාගේ ප්‍රතිශක්තියටත් බලපාන අපි නොහිතන පැත්තක්.

ප්‍රතිශක්තිකරණය සහ සාමාන්‍ය දරු ප්‍රසුතිය..

අද බොහෝ මව්වරුන් සාමාන්‍ය දරු ප්‍රසුතියකට වඩා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරන්න කැමැත්තක් දක්වනවා.

සිසේරියන් සැත්කමකින් බිහිවෙන දරුවෙකුට වඩා සාමාන්‍ය දරු ප්‍රසුතියකින් උපත ලබන දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත්. නමුත් විවිධ හේතුන් නිසා වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් ගැන තීරණය කරනවා නම් ඒ උපදෙස් පිලිපැදීමට අවශ්‍යයි

මුල් මාස තුන..

අතීතයේ වැඩිහිටිව් අලුත උපන් දරුවා මාස තුනක් ගෙවෙන තෙක් නිවසෙන් පිටතට ගත්තේම නැහැ. දරුවා බැලීමට පැමිනෙන නෑ හිත මිතුරන් පවා දරුවා සමග වැඩි වේලාවක් රදවා ගත්තේ නැහැ.මෙම සිදුවීමෙත් යම් සත්‍යක් තිබෙනවා.

අපේ මුතුන් මිත්තන් මාසයක් ගණනය කරන්නේ දින 28 කින්. වසරකට මාස දොළහක් තිබෙනවා. මව් කුසේ සිටින මාස දහයක් සිටින දරුවා  මව්කුසෙන් බිහි වීමෙන්  පසුව අලුත් පරිසරයක ජිවත් වෙනවා. ඒ නිසාම මේ පරිසරයට හුරු වීමට දරුවාට යම් කාලයක් අවශ්‍යයි.ඒ නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය මේ මාස තුනක කාලයේදී පවත්වා ගැනීම වැදගත්. අම්මා තම දරුවා සමග මුල් තුන් මාසය ගත කිරීම නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. බාහිර පරිසරයට ඔරොත්තු දෙන හැකියාව ලබා ගන්නවා.

මේ සම්ප්‍රදාය නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය වැඩි වුණා. මව සහ පවුලේ එකම වහලක් යට ජීවත්වෙන පිරිස හැර වෙනත් බාහිර පුද්ගලයන්ට දරුවා නිරාවරණය වුනේ නැහැ.නෙමුත් අද පවුල් පසුබිම සහ සමාජ රටාව තුළ අතීතයේදී සම්ප්‍රදායක්ව පැවැති මේ ඇවැතුම් පැවතුම් දුරස් වෙලා. මවක් ප්‍රසුති නිවාඩුවෙන් පසුව නැවත සේවයට යා යුතුයි. ඒ වගේම දැන් පවුලක් තුළ එදා වගේ අත්තම්මලා..නැන්දා.. එකට ජිවත් වෙන්නෙත් නැහැ. බොහෝ දුරට වැටුප් ගෙවා ලබා ගන්නා සේවිකාවක් දරුවා රැකබලා ගන්නවා. මෙවැනි වටපිටාවන් නිසා මවක් ලෙද අතීතයේ මවක් දැක්වු දරු සෙනහස සහ රැකවරණය අද දරුවන්ට අහිමි වීමකුත් සිදු වෙනවා. ඒ නිසා අම්මාට හැකි හැම විටම දරුවා සමග රැදී සිටීම, මව්කිරි ලබා දීම වැනි දරුවා රැකබලා ගැනීමේදී දක්වන උනන්දුවත් දරුවාගේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වීමට බෙහෙවින් හේතු වෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

තරිදු ප්‍රනාන්දු  CCII (IIPA) – USA

Iridologist

Integrated health practitioner

Iridologist of the year-2019

 

 


                

ක්ෂය රෝගීන්ට කොවිඩ් 19 රෝග‍යේ බලපෑම ගැන දැනුවත් වෙමු

ක්ෂය රෝගය  පිටට කොරෝනත් ආවොත් ඔබත් කබලෙන් ලිපට……

මේ දිනවල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 රෝගය සම්බන්ධව අපි කවුරුත් පසුවන්නේ තරමක බියකින්. ඒ නිසාම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එයින් වැළකෙන්නට කවුරුත් උත්සාහ කරනවා. ක්ෂය රෝගයත් කොවිඩ් 19 මෙන්ම පෙනහලු ආශ්‍රිතවත් ඇති විය හැකි රෝග තත්ත්වයක් නිසා මේ පිළිබඳව සකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඒ නිසාම ක්ෂය රෝගය හා කොවිඩ් 19 නිසා ක්ෂය රෝගීන්ට ඇති බලපෑම ගැන අපි දැනුවත් වෙමු.

ක්ෂය රෝගය මෙන්ම කොවිඩ් 19 රෝගය කල් තියා හඳුනා ගැනීම සහ ඒ තුළින් රෝගය වළක්වා ගැනීමට පියවර ගැනීම වඩාත් වැදගත් වන්නේ රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන නිසාත්ය. 

වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?

කොවිඩ් 19 රෝගයේදී මෙන්ම ක්ෂය රෝග හඳුනා ගැනීම සඳහාත් සිදුකරන්නේ PCR පරීක්ෂණයක්. ක්ෂය රෝගය සඳහා විශේෂිත වූ TB PCR පරීක්‍ෂණයක් එනම් GeneXpert නමින් හඳුන්වන පරීක්ෂණයක් සිදුකරනවා. එය ඉතාමත් මිලෙන් අධික පරීක්‍ෂණයක්. නමුත් රජය මගින් සියලුම ලය චිකිත්සාගාර ආශ‍්‍රිතව හා සමහර රෝහල් ආශ‍්‍රිතව මේ පරීක්‍ෂණය මුළු දිවයින පුරාම නොමිලේ ලබාදෙනවා. ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ ලිපියක් අවශ්‍ය නොවන අතරම ඕනෑම ලය චිකිත්සාගාරයක් මගින් පරීක්ෂණයට යොමු වීමට හැකියාව පවතිනවා. 

ප්‍රධාන වශයෙන්ම මේ TB PCR පරීක්‍ෂණය එහෙමත් නැත්නම් GeneXpert පරීක්‍ෂණය සිදු කරන්නේ සෙම සාම්පල මගින්. ඒ වගේම අනිකුත් තරල වලටත් සිදු කළ හැකියි. ඒ පරීක්‍ෂණය සහ පපුවේ X-ray පරීක්‍ෂණය  මූලිකවම සිදුකරනවා. ඒත් රෝගය ඇති වී ඇති ස්ථානය අවයව අනුව සාම්පල් ලබාගන්නා ස්ථාන වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් කුද්දැටියක් ඉදිමීම වැනි අවස්ථාවකදී එහි ඇති තරලය ලබාගැනීම, මොළයේ මස්තිෂ්ක, සුෂුම්නා තරලය ආශ‍්‍රිතව ඇත්නම් එහි තරලය ලබා ගැනීම උදාහරණ විදියට දැක්විය හැකියි.  මෙතැනදී කොන්ද ආශ‍්‍රිතව ඇති වීම යම් අවදානම් සාධකයක් විය හැකියි. එවැනි අවස්ථාවලදී තරලය ලබාගැනීම ටිකක් අපහසු වුවත් එය ඉතාමත් ආරක්‍ෂිත ලෙස සිදු කරනවා. 

ක්‍ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වූවොත් ඇති වන තත්ත්වය කුමක්ද?

ඔව්, ඇත්තටම ක්‍ෂය රෝගියෙක්ටගේ සිරුරේ ප‍්‍රතිශක්තිකරණය ඉතාමත්ම අඩු මට්ටමක පවතින නිසා ඉක්මනින් කොරෝනා වෛරසය අසාදනය විය හැකියි. මේ කොරෝනා රෝගයත් ක්‍ෂය රෝගය වගේම පෙනහලු පටක ආශ‍්‍රිතව ඇති වෙන රෝගයක්. එය lung parenchyma නමින් හඳුන්වනවා. මේ රෝග දෙකේදිම බලපෑම් කරන්නේ පෙනහලු පටකයට. ක්‍ෂය රෝගියෙකුගේ පෙනහලුවල කැලැල්, කුහර වැනි දේ පවතින නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මෙන් පෙනහලුවල ශක්තිය නැහැ. එක්වරම මේ තත්ත්වය අඩු නොවුණත් නිසි ප්‍රතිකාර ගද්දී මේ තත්ත්වය අඩු වී යනවා. කොරෝනා වෛරසය ආසාදිත වූවෙක්ගේත් පෙනහලුවල ඔය ආකාරයේ කැලැල්/කුහර ඇති වෙනවා. ඒ නිසා කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇති වන ලක්ෂණ සහ සංකූලතා ටිකක් වැඩි වශයෙන් ක්‍ෂය රෝගින් තුළ දැකිය හැකියි. උදාහරණයක් විදියට ක්‍ෂය රෝගය ඇති අයෙකුට කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ස්වසන අපහසුතා වැඩි වශයෙන් දැකගත හැකියි. ඒ වගේම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය වුවත් ක්ෂය රෝගියෙකුට වැඩි සංකූලතා පෙන්නුම් කළ හැකියි. ඇතැම් විට මරණයෙන් පවා කෙළවර විය හැකියි. 

මේ විතරක් නෙවෙයි, ක්ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වීම මගින් ද්විතියික බැක්ටීරියා ආසාදන තත්ත්වයක් (secondary bacterial infections) ඇති වීම මගින් වෙනත් ආසාදන තත්ත්වත් පෙනහලු තුළ ඇති විය හැකියි. අන්න ඒ නිසාම ඔබ ක්ෂය රෝගියෙක් නම් මෙවැනි වසංගත තත්ත්වයකදී ඉතාම පරිස්සම් විය යුතු බව සිහිතබාගන්න. 

කොරෝනා වෛරසය ආසාදනය වී උත්සන්න වන විට ඇතිවන ස්වසන අපහසුතා ක්ෂය රෝගය උත්සන්න වූ විටත් ඇති වෙනවාද?

ඔව්. නිසි ප්‍රතිකාර නොගැනීම නිසා ක්‍ෂය රෝගියෙක්ගේ පෙනහලුවලට හානි සිදු වෙනවා. ඒ තත්ත්වය උත්සන්න වූ විට ස්වසන අපහසුතා ඇති වෙනවා.

වෛද්‍යතුමියනි,ක්ෂය රෝගියෙන් කොරෝනා වෛරස ආසාදනයෙන් වැලකීමට කළ යුත්තේ මොනවාද?

  • ඔබ, සිරුරේ ප්‍රතිශක්තිය අඩු නිසා ඉතා ඉක්මනින් ආසාදිත වීමේ හැකියාවක් ඇති අතරම සියලුම සෞඛ්‍ය නීති රීතී අනුගමනය කිරීම අනිවා‍ර්යයි. 
  • ඔබ, ඖෂධ ලබාගන්නා රෝගියෙක් නම් එය අඛණ්ඩව ලබාගන්න. ඖෂධ ලබා ගැනීමට මොන යම් හෝ අපහසුතාවයක් ඇත්නම් දිස්ත‍්‍රික් ක්ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී තුමා සහ දිස්ක්‍රික් ලය චිකිත්සාගාරය අමතා ඖෂධ ලබා ගැනීමට යොමුවන්න 
  • ඔබ, කැස්ස අලුත් වන බවක් හෝ කොරෝනා ආසාදනය වූ ඇත්දැයි සැකයකින් සිටී නම් කල් නොයවා කොවිඩ් රෝගය සඳහා PCR පරීක්‍ෂණයකට හෝ අන්ටිජන් පරීක්ෂාවක් සඳහා ඉතා ඉක්මණින් රජයේ රෝහලකට යොමු වෙන්න.

අන්න ඒ නිසයි මම කිව්වේ ක්‍ෂය රෝගිය පිටට කොරෝනත් ආවොත් අපේ රෝගීන් කබලෙන් ලිපට කියලා. ඇත්තටම ක්‍ෂය රෝගය කියන්නේ නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තියෙන රෝගයක්. ඒත් කොවිඩ් 19 නිසි ඖෂධයක් තවම නැහැ. ඒ නිසා ඔබ ක්ෂය රෝගියෙක් නම් මේ වසංගත කාලය තුළ ඉතාමත්ම පරිස්සමින් සෞඛ්‍ය නීතිවල අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි. 

ඒ විතරක් නෙවෙයි, අවුරුදු 5 ට අඩු දරුවෙක්/ HIV ආසාදිතයෙක් හෝ වේවා රෝග නිවාරණ ඖෂධ මාත‍්‍රාවන් අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කළ යුතුමයි. 

කොවිඩ් 19 මෙන්ම ක්ෂය රෝගයටත් නිදන් ගත රෝග නිසා ඇතිවන සංකූලතා වැඩිද?

ඔව්.. සාමාන්‍යයෙන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අඩුවන දියවැඩියාව, වකුගඩු රෝග, HIV ආසාදනය, පිළිකා වැනි රෝගවලදී ක්‍ෂය රෝගය මතුවීමේ අවධානම වැඩි වගේම ඇති විය හැකි සංකූලතාත් වැඩියි. ඒ නිසා කළින්ම රෝගය හඳුනාගැනීම වැදගත්. එමගින් ක්ෂය රෝගය නිට්ටාවටම සුව කරගත හැකියි.

මේ දිනවල කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. ක්‍ෂය රෝගියෙක්ට මෙම එන්නත් ලබා දීම සුදුසුද?

ඇත්තටම කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ලබා දෙන එන්නත් ක්‍ෂය රෝගය තියන පුද්ගලයෙකුට ලබාගැනීමට බාධාවක් නෙවෙයි. පැහැදිලි ලෙසම නිදන් ගත රෝග දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ සාමාන්‍ය තත්ත්වවලදීත් කොරෝනා එන්නත ලබාගන්න පුළුවන්. ඒ වගේම ක්‍ෂය රෝගය කියන්නේ තවත් එක් බැක්ටීරියාවකින් බෝ වෙන ලෙඩක්. ඒක නිසා ක්‍ෂය රෝගීන්ට ඒ එන්නත ලබාගන්න පුළුවන්. ඔවුන්ට විශේෂිත වූ ආසාත්මිකතාවයක් ඇත්නම් ඒ ගැන  එන්නත්කරණයේදී දැනුවත් කළ යුතුයි.  එවිට අදාල වෛද්‍යවරු අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සූදානමක් ඇතිව එන්නත සාමාන්‍ය නිරෝගි පුද්ගලයන්ට මෙන්ම ලබා දීම සිදු කරනවා. එහි කිසිම ගැටලුවක් නැහැ. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ තමා එන්නත ගත්තා කියලා කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන් මෙතෙක් පිළිපැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ එනම් මුඛ ආවරණ/දුරස්ථභාවය /නිතර අත් සේදීම වැනි පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි. 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

 

දරුවාගේ පෙනීම ගැන ගැටලුවක් ඔබටත් තිබෙනවාද?

අපේ දරුවන්ගේ සංවර්ධනයේදී දරුවාගේ ගැටළු මුල් අවධියේදීම හඳුනාගෙන ඒවාට නිවැරදි ප‍්‍රතිචාර ක‍්‍රම භාවිත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙහිදී පෙනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ හොත් පහත කරුණු ඉතාමත් වැදගත් වෙනවා. ඒ ඇතැම් විට දරුවාගේ පෙනීමේ දුර්වලතාවයක් ඇති නිසා ද විය හැකියි. දරුවාගේ පෙනීමේ සම්බන්ධව යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් තියෙනවාද යන්න අවබෝධ කරගත හැකි හොඳම කාලය දරුවාගේ ජීවිතයේ පළවෙනි අවුරුද්දයි. දරුවාගේ පළමු වසර තුළ පහත දැක්වෙන ගැටලු ඔබට ඇති වෙනවා නම් ඒ පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට ප්‍රමාද නොකළ යුතුයි.

  • මාසයක් ඇතුළත දරුවා ආලෝකය දෙස බලනවද?
  • අපි මුහුණ විවිධ පැති වලට හරවද්දී ඒ හරවන පැති වලට හැරී දරුවා ප‍්‍රතිචාරත්මකව සිනාසෙනවාද ?
  • බාහිර පරිසරයේ තියෙන දේවල් දිහා දරුවා බලන්නේ නැද්ද?
  • අතපය දිගු කරලා සෙල්ලම් බඩු අල්ලන්න උත්සහ කරන්නේ නැත්ද?
  • අදුරේ සිට එකවර එළියක් වැටුණු විට දරුවා ඒ දිහා බලනවාද?
  • පළවෙනි මාසය ඇතුළතදී අම්මා දිහා බලලා අම්මගේ මූණ හඳුනා ගන්න උත්සහ කරනවාද?

මේ ගැටලුවලට ලැබෙන්නේ ඍණාත්මක පිළිතුරු නම් දරුවා‍ට පෙනීමේ දුර්වලතාවයක් ඇති බවට ඔබට සැක කළ හැකියි. 

වයස මාස දෙකක් පමණ ගත වෙද්දී දරුවෙක්ට අපි මුහුණ විවිධ පැති වලට හරවද්දී දෑස් ඒ ඒ පැත්තට හරවමින් ප්‍රතිචර දැක්වීම කළ හැකියි.  එලෙස ප‍්‍රතිචාරාත්මකව සිනාසෙන්න අපහසු නම් යම් හෙයකින් දරුවාගේ ඇස් දෙකම එකට චලනය වෙන්නේ නැත්නම් වයස මාස දෙකක් විතර කාලය ගතවෙද්දී ඒ පිළිබඳව අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. 

වයස මාස හයක් පමණ වන විට සාමාන්‍යයෙන් දරුවෙක් බාහිර පරිසරයේ දේවල් දෙස බලනවා, ඒ වගේම ඒ පිළිබඳව අවධානය යොමු කරනවා ඉතාමත්ම වැඩියි. යම් හෙයිකින් ඔබ සැක පළකරනව නම් ඔබේ දරුවා බාහිර පරිසරයේ තියෙන දේවල් දිහා බලන්නේ නැහැ සහ අත් දිගු කරමින් ඒ දේවල් ඉල්ලන්න සූදානමක් නැහැ හෝ බාහිර පරිසරයේ තියෙන දේවල් එක්ක ප‍්‍රතිචාරාත්මකව ගනුදෙනු නොකරන බව සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. 

උදාහරණයක් විදියට තොටිල්ලට උඩින් එල්ලන විවිධ විවිධ සෙල්ලම් බඩු දිහා දරුවා බලන්නේ නැත්නම් ඒ වගේම අතපය දිගු කරලා මේ සෙල්ලම් බඩු අල්ලන්නට උත්සහ කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔබ ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. 

ඒ වගේම දරුවා දිහා දැඩි නිරීක්‍ෂණයකින් කල් ගත කරනව නම් දරුවාට වපරයක් තියෙනවාද යන්න ගැනත් මාස හය වන විට හඳුනාගන්න පුළුවන්. ඇතැම් විට වැඩිහිටියෝ ඒක පිං වපරයක්/ලොකු වෙද්දි ඇරිලා යාවී වගේ උපදෙස් ලබා දුන්නත් ඔබ ගත යුතු හොඳම තීරණය වන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට එහෙමත් නැත්නම් ළමා අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙලා ඒ තත්ත්වය පිළිබඳ සැක හැර දැන ගැනීමයි. 

වයස මාස දහය වගේ වෙද්දී අපේ දරුවෝ දණ ගානවා, බඩ ගානවා. ඉතින් මෙහෙම ඇවිදිද්දී කරද්දී අපේ දරුවෝ දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල යොමු කර බිම වැටිලා තියෙන ඒවා අල්ලන්නේ නැත්නම්, එහෙම නැත්නම් cot එකේ තියෙන පොඩි පොඩි දේවල් අල්ලන්න උත්සහ කරන්නේ නැත්නම් එයත් දරුවගේ පෙනීම ගැන සැලකිලිමත් විය යුතු තවත් එක් අවස්ථාවක්. යම් හෙයකින් මාස 10 විතර වෙද්දිත් ඔබේ දරුවට දබර ඇඟිල්ල සහ මහපට අඟිල්ල එකතු කරලා කුඩා දේ ඇල්ලීම දරුවාට අපහසු නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු බව අමතක කරන්න එපා. 

වයස මාස දොළහා එහෙම නැත්නම් අවුරුද්දක් විතර වෙද්දී යම් හෙයකින් ඔබේ දරුවට අත දිගු කරලා ඔහු කැමති ද්‍රව්‍යයකට ප‍්‍රතිචාරයක් දක්වන්නට නොහැකි නම් ඒ වගේම ඔහු කැමති දෙයක් තිබෙනව නම් යම් හෙයකින් අතපය දිගු කරලා එය ඉල්ලීමට අපහසුතාවක් තිබෙනව නම් ඒ වගේම ළ`ගම පවුලේ ඥාතීන් කතා කරන විට මුහුණ දිහා බලලා ඔවුන්ව අ`දුරගන්නේ නැත්නම් අනිවාර්්‍යයනේම එයත් අවධානය යොමු කළ යුතු කාරණාවක් වෙනවා. 

ඉහත සඳහන් වූ යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඔබේ දරුවාගේ පළමු වසර තුළ දැකගන්න ලැබෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම නුවණට හුරුයි. 

දරුවාගේ පළමු වසර තුළ මව්පියන් විශේෂ අවධානයක් යෙමු කළ යුතු කරුණු

  • ඉපදී පළමු මාසයේ සිට දරුවා ආලෝකය දෙසට ඇස් යොමු කරනවාද?
  • දරුවා ඔබේ මුහුණ දෙස හොඳින් බලනාවද?
  • මාස දෙක වන විට ඔබ මුහුණ දෙපසට හැරවීමේදී ඔබ දෙසම බලා දරුවා ප‍්‍රතිචාරාත්මකව සිනාසෙනවාද? එවිට දරුවාගේ ඇස් දෙකම එකවර චලනය වේද?
  • මාස 6 පමණ වන විට දරුවා විමසිල්ලෙන් අවට බලනවාද? දරුවා අත දිගු කර යමක් ඇල්ලීමට උත්සහ කරනවාද?
  • මාස 6 වන විට දරුවාට වපරයක් ඇතැයි ඔබ සැක කරනවාද?
  • මාස 10 දී දරුවාට මහපටඟිල්ල හා දබරඟිල්ල ආධාරයෙන් කුඩා ද්‍රව්‍ය අහුලාගැනීමට හැකියාවක් ඇත්ද?
  • මාස 12 දී ඔබේ දරුවා නොයෙක් දේවල් දෙසට අත දිගු කොට ඒවා ඉල්ලනවාද? හඳුනන පුද්ගලයෙක් දුටු විට ඔවුන් දරුවාට කතා කිරීමට පෙර දරුවා ඔවුන්ව හඳුනා ගන්නවාද?

අපේ දරුවන් සංවර්ධනයේදී දරුවන්ගේ ගැටලු මුල් අවධියේදිම හඳුනාගෙන ඒවාට නිවැරදි ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කිරීම ඉතාමත්ම වැදගත් වන බව දෙමාපියන් වන ඔබ සිහියේ රඳවා ගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 

 


                

ඔබත් දරුවා සමඟ කතන්දර කියනවාද?

“කතන්දර” යනු දරුවන් මහත් ප්‍රිය කරන දෙයකි. දරුවන් කතන්දර අසන විට ඔවුන් ඊට අදාළ වන ලෙස පරිසරය, හැඟීම්, අදහස් මෙන්ම නිතැනින්ම එම කතන්දරයට අදාලව පසුබිම් වන පරිසරයක් තනා ගනිති. කතන්දර වලට ඇලුම් කරන දරුවන් කතන්දර පවසන විට එම කතන්දරය තුළ ජිවත් වනවා යයි පැවසුවහොත් එය නිවැරදි ය. 

ඇතැම් විට කිසි දිනක නොදුටු, නොඅසපු, මෙන්ම ස්පර්ශයෙන් නොදැනුනු යමක් වුවද ඔවුන් කතන්දර තුලින් ග්‍රහණය කර ගනිති. මේ හරහා දරුවන් ට දුක, සැප, ජයග්‍රහණයන්, පරාජයන් මෙන්ම සමාජ වටිනාකම් ද කියා දීමට ඔබට හැකියාව පවතී.

අතීතයේ අපේ ආච්චිඅම්මා, සීයා තම මුණුපුර මිනිපිරියන් වට කරගෙන රසවත් කතා කියා දුන් බව අප අසා ඇති නමුත් අද සමාජ පසුබිමත් සමඟ එය ප්‍රයෝගික නොවනු ඇත. නමුත් දෙමවුපියන් වශයෙන් දරුවන් ගේ සමීපතයන් ඔබ බැවින් කතන්දර පැවසීමට ඔබට කටයුතු කිරීමට සිදුවනු ඇත.

කතන්දර කියා දීමේ වටිනාකම පිලිබඳ ඔබ නොසිතන්න ට ඇති.

නමුත් දරුවාගේ භාෂා වර්ධනය ට එය රුකුල් දෙන බව ඔබ දන්නවාද? භාෂා අවබෝධය සහිත දරුවන් කතන්දර ඇසීම තුලින් ඒ හා සමඟ බැඳී පවතින වචන, වාක්‍ය කණ්ඩ, ඒ සමඟ යොදා ගන්නා විවධ භාෂා කොටස් ( ප්‍රස්ථා පිරුළු , උපමා ආදී), කතා විලාසයන් අනුකරණයටත් ඉගෙන ගනු ලබයි. තවද දරුවන් ප්‍රථමයෙන් කතන්දර ඇසීමට ප්‍රිය කරන අතර පසුව තමා අසු කතන්දරය  තව කෙනෙකුට ප්‍රකාශ කිරීමට පෙළබිම ද දරුවාගේ භාෂා දියුණුවේ ප්‍රබල සංදිස්ථානයකි. මන්ද බාහිර පුද්ගලයකුට තේරෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම, මුල මැද අග නිසි පරිදි ගැලපෙන ලෙස වාචික ප්‍රකාශනය කිරීමට ඉගැනීම, තමන්ගේ වාචික ප්‍රකාශනයෙන් නිසි ලෙස තොරතුරු ලබා දීම ආදී බොහෝ දේ දෙවන කොට දරුවා ඉගෙන ගනු ලබයි. 

තවද කතන්දර වලට සවන් දීම

තවද කතන්දර වලට සවන් දීම තුලින් දරුවාගේ සවන්දීමේ කුසලතා, අවධානය දීමේ කුසලතා ද දියුණු වනු ඇත. මන්ද ඔබ කතන්දරය අවසන් වූ විට ප්‍රශ්න අසන බවට දරුවා ට ප්‍රථමයෙන් පවසා කතන්දරය කියා දිය හැකිය. එහිදී දරුවා දරුවා කතන්දරය අවධානයෙන් සවන් දිය යුතුමය. තවද කතන්දරය  අවසානයේදී අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ද භාෂා ඉගෙනුමෙහි ලා මහත් කුසලතාවයකි. මන්ද කතාව අවබෝධ කර ගැනීම, ප්‍රශ්නයට අදාළ පිළිතුරු කතන්දරය  ආශ්‍රයෙන් සොයා ගැනීම, ඉලක්ක ගත පිළිතුරු නිවැරදි ලෙස වාචිකව ප්‍රකාශ කිරීම ආදී බොහෝ කුසලතා මේ තුලින් දරුවාගේ දියුණු වනු ඇත. 

දරුවාගේ  දැනුම දියුණු කල හැකිය

තවද කතන්දර මගින් දරුවාගේ  දැනුම දියුණු කල හැකිය. උදාහරණයක් ලෙස ඔබ ඉතිහාසයට අදාළ කතාවක් පවසනවා යයි සිතන්න. එවිට දරුවා අපගේ අතීතයේ පවතී සමාජ පසුබිම, පරිසරය පිලිබඳ දැනගනු ඇත. මේ ආකාරයට දරුවා ට ඒ ඒ කතන්දරය සමඟ දැනුම් පද්ධතියක් ලැබෙනු ඇත.

දරුවන් කතන්දර අසන විට අසන ප්‍රශ්න 

ඔබේ දරුවන් කතන්දර අසන විට ප්‍රශ්න අසන වාර පිලිබඳ ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. එය දරුවාගේ භාෂා ඉගැනුමෙහි ලා වැදගත් කුසලතාවයකි. මන්ද වාචික ප්‍රශ්න නැගීම දරුවාගේ භාෂා ඉගැනිමෙහි ලා ඉතා වැදගත් වන බැවිනි. තමාට දැනගත යුතු දෙය ප්‍රශ්නයක් ලෙස ඇසීම, නිවැරදි ලෙස ප්‍රශ්න කාණ්ඩ   (WH questions) හසුරුවා ගැනීමට ද දරුවා මේ තුලින් ඉගෙන ගනු ලබයි.

දරුවාගේ චින්තනය දියුණු වීම

තවද දරුවාගේ චින්තනය දියුණු වීමට මෙය ඉතාමත් වැදගත් වේ. මන්ද දරුවා පළමුකොට කතන්දර අසන විට එම කතන්දර මනසින් නිර්මාණය කර ගැනීම, ඇතැම් විට ඊට අදාළ චිත්ත රූප ජනනය කර ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. පසුකලෙක දරුවා තනිව සකස් කරගත් කතන්දර ඔබට පැවසීමට ඉඩකඩ පවතී. එහිදී, දරුවා සිතීම, වාචිකව අදහස් ගලපා ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. මේ අනුව දරුවාගේ භාෂා භාවිතය දියුණු වීමට ද කතන්දර කීම ඉමහත් ලෙස උදවු වනු ඇත.

දෙමවුපියන් වශයෙන් ඔබට ඔබේ දරුවා සමඟ කතන්දර පැවසීමට විශේෂ කාලයක් අවශ්‍ය නොවනු ඇත. දරුවා සමඟ ගත කරන සුළු කාලයත් දරුවා හට කතන්දරයක් පැවසීමට ඔබට කල හැකි දෙයකි. ඇතැම්විට ඔබට කතන්දර පැවසීමට සුවිශේෂී වෙලාවක් කාලයක් තබා ගැනීමත් දරුවා හට මේ සදහා ඇති උනන්දුව වැඩි කරනු ඇත. ඇතැම් විට ඔබ පවසන කතන්දරයට අදාළ වන ලෙස සෙල්ලම් බඩු, කතන්දර පොත් ආදිය තුලින් ඔබට දරුවාගේ රුචිකත්වය වැඩි කර ගත හැකිය. එමනිසා දරුවන් සමඟ කතන්දර කීම දරුවාගේ භාෂාව දියුණු වීමට උදවු වන බව ඔබට වැටහෙනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

Baby Talk හි වැදගත්කම

වැඩිහිටියෙකු ලෙස ඔබ තවත් වැඩිහිටියකු සමඟ  සංවාදයේ යෙදෙන ස්වරූපය ඔබ ළදරුවෙකු සමඟ සන්නිවේදනයේ යෙදීමට වඩා මුළුමනින්ම වෙනස් වේ. ඔබ මෙහි ඇති වෙනස්කම් ඒවායේ ඇති වටිනාකම් පිළිබඳ මොහොතකටවත් සිතුවා ද?

ලොව පුරා සිටින දෙමව්පියන් ළදරුවන් සමඟ වඩාත් වෙනස් වූ ස්වරූපයෙන් කතා කරති. එනම් ඔබ කුඩා දරුවෙකු සමඟ  කතා කරන විට ඔබගේ කතා විලාශය බොහෝ ආකර්ෂණීය, ඇද පැද කතා කරන ලයාන්විත ස්වරයෙන් යුතු වන අතර ඔබගේ කතා විලාශය ළදරුවකුගේ කතා විලාශය ට නිතැතින්ම මාරු වීම සිදු වන අතර හා එම ස්වරයෙන් දරුවා සමඟ සන්නිවේදනයේ දීම  baby talk ලෙස හඳුන්වයි. 

දරුවාගේ උපතේ සිට සිදුවන භාෂා වර්ධනය ට baby talk ඉතා වැදගත් බව අද වන විට පිළිගන්නා මතයකි. මන්ද මේ හරහා ඔවුන්ට භාෂාව පෝසත් පසුබිමක් නිවසේ සකස් කර දිය හැකි අතර ඔවුන් සමඟ  මෙම සිදුකරන සුහද සංවාද දරුවා හට ශබ්ද, වචන මෙන්ම වාචික, අවාචික සන්නිවේදනය දියුණුවට ද  මංපෙත් විවර කරනු ඇත. 

ඇතැම්විට baby talk අවස්ථාවන් අත්‍යවශ්‍ය නොවන බවක් දෙමවුපියන් හට දැනිය හැකි නමුත් එය එසේ නොවේ. මන්ද කුඩා දරුවන් මෙම අතිශයෝක්තියට නැංවූ කතා විලාශය ඇහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වනවා පමණක් නොව එමගින් ඔවුන් තම වචන වඩාත් පහසුවෙන් ඉගෙනගනීති.  තවද මේ හරහා විවිධ ශබ්ද අනුකරණය, ශබ්ද අතර ඇති වෙනස්කම් හා එම ශබ්ද නිපදවීමට කථන ව්‍යුහය සකසන අයුරු ද ඉස්මතු කිරීම සිදු කිරීම තුළින් දරුවන් හට ශබ්ද ධාරාවන් අර්ථවත් භාෂා ඒකක බවට පරිවර්තනය කර ගැනීමට උපකාරී වේ. උදාහරණ ලෙස ඔබ දරුවා අතට ගෙන නලවන විට /ආ/ /ඕ/ වැනි ශබ්ද නැගීම තුලින් ඔවුන් එම ශබ්ද ඇහුම්කන්දීම, හඬ වෙනස්කම් හඳුනා ගැනීම ආදී කුසලතා ද ශබ්ද පදනම් කරගත් භාෂා පද්ධතියක් ද සකසා ගනු ඇත. 

Baby talk වැදගත්කම දෙමව්පියන්ට පැහැදිලි කරන විට ඇතැම් දෙමව්පියන් හට ඇති ගැටළුවක් වන්නේ baby talk කරන්නේ කෙසේද, කුමන අවස්ථාවේදී ද යන්නයි. එහිදී කිව යුතුම දෙයක් වන්නේ දරුවා සමඟ  හැකි සෑම විටම සංවාදයේ යෙදීම උචිත බවයි. මේ සඳහා ඔබ දෛනිකව සිදු කරන සෑම ක්‍රියාවලියක් තුළ දීම සංවාදයක් ගොඩනැගිය ගෙනීමට දෙවරක් නොසිතන්න. උදාහරණ ලෙස දරුවා සෝදන විට, දරුවා ඇඳේ සිටින විට , දරුවා ඔබගේ අතේ සිටින විට, සෙල්ලම් කරන විට ආදී බොහෝ දෛනිකව සිදු කරන ක්‍රියාවලියන් මේ සඳහා  කදීම අවස්ථා සලසා දෙනු ලබයි. දරුවා සමඟ ඇති කර ගනු ලබන කුඩා සංවාද තුළින් දරුවාගේ භාෂා කුසලතා දියුණු වන වා සේම භාෂාව ට  අවශ්‍ය වන පෙර කුසලතා ද එනම් ඇසට ඇස බැලීම, අනුකරණය, අවධානය ලබා දීම ආදී බොහෝ කුසලතා ද දියුණු කරගත හැකිය. 

තවද ඇතැම් දෙමව්පියන් තුළ පවතින පෞරුෂමය ලක්ෂණ හේතුවෙන් මෙම අවස්ථාව ගැටළුකාරී වන අවස්ථා ද දක්නට ලැබේ. මන්ද, ඇතැම් දෙමවුපියන් ද වැඩි වශයෙන් වාචික නොවීම, කාලය අවම වීම ආදී ගැටළු තිබිය හැකි නමුත්  ඇතැම් දෙමව්පියන් ස්වභාවිකවම ලයාන්විත ස්වරයෙන් යුතු විය හැකියි. නමුත්  baby talk සඳහා අවශ්‍ය ලෙස පරිසරය සකසා ගැනීම හා එහි ඇති වැදගත්කම ඔබට දැන් වැටහෙනවා නොඅනුමානයි.

තවද, මෙම කතා කරන අවස්ථාවේදී ඔබේ කතාව ඉතාමත් රිද්මයානුකූල මෙන්ම ලයාන්විත මෘදු ස්වරයකින් යුක්ත විය යුතු අතර ඔබ සරල බස එහිදී භාවිතා කළ යුතුය. එමෙන්ම වාචික භාෂාව එහිදී තවත් සරල වීම තුළ දරුවා හට ඔබ වඩාත් පැහැදිලි වන අතර, නිතර දරුවා හට සිනාමුසු මුහුණෙන් දරුවාගේ මුහුණ දෙස බලමින් කතා කිරීමත්, සුදුසු තැන් වලදී විවිධ සෙල්ලම් බඩු (ශබ්ද නඟන සෙල්ලම් බඩු, සංවේදන අවයව උත්තේජනය වන සෙල්ලම් බඩු) ආදිය මේ සඳහා ඔබට යොදාගත හැකිය.

තවද දරුවා  විද්‍යුත් තිර ඉදිරිපිට ගත කරන කාලයට වඩා ඔබ මෙම අවස්ථාවන්ට baby talk time ආදේශ කර ගැනීම තුළින් දරුවා හට නිවැරදි ලෙස කතාව, භාෂාව හා අනෙකුත් ආශ්‍රිත කුසලතා දියුණු  කර ගැනීමට උපකාරී වේ. 

තවද දෙමවුපියන්ගේ කාර්යබහුලත්වයත් සමඟ baby talk අවස්ථාවන් සඳහා තිබෙන කාලය සීමිත වීමට හා අවම වීමට ඉඩකඩ වැඩි විය හැකිය. නමුත් ඔබ නොමැති අවස්ථා නිවසේ ඇත්නම් දරුවා රැකබලා  බලා ගන්නා කෙනෙකු නිතර දරුවා සමඟ රැඳෙනවා නම් ඔහුට/ඇයට මෙහි වැදගත්කම පවසා දීමත් ඔවුන් එය සඳහා උනන්දු කරවීමත්, දෙමව්පියන් වශයෙන් ඔබට කාලය ලැබුණ විට එය උපරිම වශයෙන් දරුවා සමඟ ගත කිරීමත් තුළින් baby talk සඳහා ඇති ගැටළු අවම කරගත හැකිය. එමනිසා ඔබේ දරුවාගේ ළදරු කාලය දරුවාගේ කුසලතා දියුණු කිරීම කෙරෙහි මහත් සේ බලපාන අතර ඒ සඳහා ඔබගේ මැදිහත් කම ද ඉතාමත් අවශ්‍ය වේ. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

වාචික නොවන ඔටිසම් තත්වය සහිත දරුවන් සමඟ සන්නිවේදනය

අද බොහෝ දෙනෙකු ඔටිසම් තත්වය පිළිබඳ යම් තරමකින් හෝ දැනුවත් බව කිව යුතුමය. ඊට හේතු ලෙස කිව හැක්කේ මෙම තත්ත්වය පිළිබඳ සමාජ කතිකාවතේ ව්‍යාප්තිය වැඩි වීම හා මේ සඳහා ඇති ප්‍රතිකාර හා චිකිත්සක ක්‍රම වල දියුණු වීමයි. 

ඔටිසම් තත්වය සහිත දරුවන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ හා ගැටලු ද විවිධාකාර වන බව කිව යුතුය. සරලව ම කිව්වොත් මෙම තත්ත්වය  බින්දුවේ  සිට සියය දක්වා රේඛාවක් තුළ විහිදී ඇත්නම් ඔටිසම් තත්වය සහිත දරුවන් මෙම රේඛාවේ යම් යම් ස්ථාන වල නැවතී සිටිය හැකියි.

ඔටිසම් තත්වය සහිත දරුවන් හඳුනා ගැනීමට මෙන්ම ප්‍රබල ලෙස පෙන්නුම් කරන ගැටලුවක් වශයෙන් ඔවුන් තුළ පවතින සන්නිවේදන ගැටලු හේතු වන බව හොඳින් දන්නා කරුණකි. ඇතැම් විට මෙම දරුවන් කුඩා කල සාමාන්‍ය ලෙස කතාව ආරම්භ කර ක්ෂණික ව කතාව හා භාෂාවේ පසුබෑමක් පෙන්නුම් කිරීම හෝ ඇතැම් විට පෙර  භාෂා කුසලතා හා කතාව, භාෂාව මෙන්ම සන්නිවේදනයේ  ප්‍රමාදයක් මුල සිට ම පෙන්නුම් කල හැකි අතර මෙම ලක්ෂණ හේතු කරගෙන දෙමව්පියන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගනිති.

දරුවෙකුට ඔටිසම් තත්වය පවතින බව විනිශ්චය වූ පසු දෙමාපියන් මේ සඳහා ඇති  ප්‍රතිකාර සඳහා යොමුවීම සුලබ කරුණකි. නමුත් චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වුවද ඇතැම් විට දරුවන් මෙම තත්වයේ ඇති ප්‍රබල බව, හඳුනා ගන්නා වයස, දරුවා හට ඇති අනෙකුත් ගැටලු ආදී බොහෝ දේ මත චිකිත්සාවන් තුළින් ලැබෙන ප්‍රතිඵල සඳහා විවිධ කාලයන් ගත වනු ඇත. 

අද වන විට කථන චිකිත්සාව ඔටිසමි තත්වය සහිත දරුවන් නිතැතින් ම යොමුවන චිකිත්සාවකි. කථන චිකිත්සාව සඳහා යොමුවන සියලුම දරුවන් ගේ කතාව, භාෂාව හා සන්නිවේදන එක හා සමාන නොවන අතර ඔවුන් පෙන්නුම් කරන ගැටලු ද එකිනෙකාට වෙනස් බැවින් ඒ සඳහා සුවිශේෂී ලෙස සකස් කළ චිකිත්සක ක්‍රම උපයෝගී කරගත යුතුවේ. ඒ අනුව ඇතැම් ඔටිසම් තත්ත්වය සහිත දරුවන් ශබ්ද නැගීම, ඇතැම් දරුවන් තනි වචන භාවිතා කිරීම, ඇතැම් දරුවන් සරල වැකි ප්‍රකාශ කිරීම, තවත් දරුවන් ප්‍රශ්න වලට පිළිතුරු දීම/නොදීම, මෙන් ම සංවාදයේ නොයෙදෙන දරුවන් විය හැකි අතර ඇතැම් දරුවන් මුළුමනින්ම අවාචික වීමට ද ඉඩකඩ පවතී. එනම් වාචික සන්නිවේදනය නොයෙදෙන ඒ වෙනුවට අවාචික සන්නිවේදන ක්‍රම ලෙස සිනාසීම, දුක ප්‍රකාශ කිරීම,  අත දිගු කර පෙන්වීම, ශරීරය ආධාරයෙන් අවශ්‍යතා පෙන්නුම් කිරීම වැනි අංග චලන යොදා ගනිමින් සන්නිවේදනය කරන දරුවන් ද බහුලව දැකගත හැකිය.

මෙම මට්ටමේ ඔටිසම් තත්වය සත දරුවන් සිටින දෙමව්පියන් හට මහත් පීඩාකාරී සිතුවිලි පැමිණෙන්නේ තම දරුවා කොපමණ චිකිත්සාවන් ලබා දුන්නද  අවාචික වීම හේතුවෙනි. නමුත් මෙම තත්ත්වය තුළ වුවද ඔබට ඔබේ දරුවාගේ සමග සන්නිවේදන කුසලතා දියුණු කිරීම සිදුකර ගත හැකිය. ඒ සඳහා ඔබගේ කතා චිකිත්සකවරුන් උපදෙස් ලබා දෙනු ඇත. තවද දෙමාපියන් වශයෙන් ඔබ ද අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් සාකච්ඡා කරමු.

  • දරුවා සමඟ සෙල්ලම් කරන්න.

දරුවන් සෙල්ලම් කරන විට බොහෝ දේ ඉගෙන ගනිති. මේ තුළින් ඉගෙන ගන්නා දේ අතර භාෂාව, කතාව සමග සන්නිවේදනය ද පවතී. දරුවා කැමති ලෙස සෙල්ලම් කිරීම තුළින් දරුවා හට විනෝදාත්මකව සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව ගොඩනැගේ. එපමණක් නොව සමාජානුයෝජනය වීමටද එය බලපානු ලබයි. මෙම සෙල්ලම් කරන අවස්ථාවේදී ඔබ නිතර දරුවා ඉදිරිපිට වාඩි වීම දරුවාගේ ඇස් මට්ටමට ඔබ ළඟාවීම තුළින් දරුවාට ඔබ පැහැදිලිව දැකීමට, ඇසීමට මෙන්ම අනුකරණය කිරීමට ද අවස්ථාව සැලසේ. 

  • දරුවාව අනුකරණය කරන්න. 

දරුවා අවාචික සන්නිවේදනය යෙදුණ ද ඇතැම් විට දරුවා ශබ්ද නගන්නේ නම් ඔබ ද එය අනුකරණය කරමින් දරුවා හට ඊට තවත් ශබ්ද නැගීමට උනන්දු කරවීම ඔබට කළ හැකි දෙයකි. ඒ හරහා දරුවා අනුකරණය මෙන්ම වාර ගැනීම ද උගනි. උදාහරණ ලෙස ඔබේ දරුවා කාරයක් ගෙන ශබ්ද නගමින් තල්ලු කරන්නේ නම් ඔබත් එය අනුකරණය කරන්න. මෙය තවත් එක් සෙල්ලමක් ලෙස ඔබට කළ හැකියි.

  • දරුවාගේ අවාචික සන්නිවේදන ක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. 

උදාහරණ ලෙස ඇසට ඇස බැලීම, අංග චලන භාවිතය සන්නිවේදන විධික්‍රම ලෙස හඳුන්වා දිය හැකි අතර දරුවා පෙන්නුම් කරන මෙම ක්‍රම පිළිබඳ ඔබ වැඩි අවධානයෙන් සිටින්න. ඒ සමගම ක්‍රියාවට අදාළ වචන  ඔබ දරුවා හට එකතු කරන්න. උදාහරණ ලෙස ඔබ දරුවා හට දෙයක් පෙන්නුම් කරන විට අත දිගු කර “බලන්න” යන වචනය යොදා ගන්න. එහිදී එකවර වාචික ක්‍රමය මෙන්ම ඊට අදාළ අවාචික සන්නිවේදන කොටසද යන දෙකම එකවර ක්‍රියාවේ යෙදේ. එමගින් දරුවා එය නිතර නිතර ඇසීමෙන් හා දැකීමෙන් එය භාෂා අවබෝධයට හා භාවිතයට උදව් වේ. 

  • දරුවා හට සන්නිවේදනයෙහි යෙදීමට විශේෂයෙන්ම ඉඩක් ලබා දෙන්න. 

ඔබ සන්නිවේදනය කරන ආකාරයෙන්ම ඔබේ දරුවා සන්නිවේදනය නොයෙදෙන නිසා ඔබ නොදැනුවත් මම දරුවා හට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ලබා නොදීමට ඉඩ කඩ වැඩිය. නමුත් ඔබ දරුවා සමග සන්නිවේදනයේ යෙදෙන විට දරුවා හට ප්‍රමාණවත් ලෙස වැඩි කාලයක් ලබා දෙන්න. දරුවා ප්‍රතිචාර නොදක්වයි නම් උදව් දීම (prompts) ඔබට සිදු කළ හැකිය. 

  • සරල භාෂාවෙන් දරුවා සමග සන්නිවේදනය යෙදෙන්න. 
  • දරුවාගේ කැමැත්තට අනුකූල වන්න.
  • මේ සඳහා ඇති උපකාරක ආයිත්තම්  (AAC/ Apps/ PECS) යොදාගන්න. 

අද වන විට උපකාරක ආයිත්තම්  දරුවන් හට පුහුණු කිරීම කථන චිකිත්සකවරුන් සිදුකරනු ලබයි. එමනිසා ඔබේ චිකිත්සකවරුන් මේ සඳහා ඔබට උපදෙස් ලබා දෙන අතර දරුවා හට ගැලපෙන ආයිත්තම් තෝරා ගැනීමට ද උදව් වනු ඇත. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

දරුවන්ට කියවන පුරුදු ගොඩ නගමු.

කියවීම අපේ ජීවිතයට බද්ධ කර ගැනීමෙන් ලැබෙන වාසි තිබෙන අප්‍රමාණ බැව් වැඩිහිටියන් වන අපි දන්නවා. නමුත් අපට තියෙන කියවීමේ උනන්දුව දරුවන් තුළ ඇති කිරීම පහසු නැති බවට සෑම දෙමව්පියෙක්ම මැසවිලි නගනවා.ඒ අතරම සමහර විට දරුවන් අතිරේක පොතක් පතක් කියවන විටත් ඒ ගැන එතරම් කැමැතත්ක් නොදක්වන දෙමව්පියනුත් ඉන්නවා. කථන්දර පොත් කියවන්න ගියොත් පාඩම් පොත් පත් වලට තිබෙන උනන්දුව නැති වෙන්න පුලුවන්. ඒ තවත් අයගේ අදහසක්.නමුත්…දරුවා තුල කියවන පුරුද්දක් ඇති වුනොත් ලැබෙන වාසි ගැන ඔබ දැන සිටිනවා නම් කවදාවත් දරුවා පොතක් කියවන විට අමනාප සිතක් ඇති කර ගන්නේ නැහැ..

ස්වයං ඉගෙණුමක්..

දරුවෙක් තමන් කැමැති පොත පත් කියවනවා නම් ඔවුන් ස්වයං ඉගෙනුමක් ලබනවා. අන්තර්ජාලය නිසා අද අවශ්‍ය හැම දෙයක්ම සැනින් සොයා ගත්තත් මුද්‍රිත පොතක තරම් සමහර කරුනු නිවරැදි නොවන අවස්ථා පවා තිබෙනවා. පොතක තිබෙන කරුණුවලට වගකිව යුතු කතුවරයෙන් හෝ සංස්ථාවක් තිබෙනවා. ඒ නිසා පොත පත කියැවීමෙන් දරුවා බොහෝ විෂය කරුණු පමණක් නොව බාහිර ලෝකය ගැනත් ස්වයං දැනුමක් ලබා ගන්නවා.

දරුවන්ට ඇසෙන සේ කතාන්දර කියැවීම..

බොහෝ දෙමව්පියන් දරුවන් නිදා ගන්නා විට ඔවුන්ට නින්ද යන තෙක් කතාන්දර කියා දෙනවා. ඒවාට ඇහුම්කන් දෙමින් දරුවා නිදි ගත්තත් ඔවුන් තුළ සවන්දීමේ කුසලතාවය ඇති වෙනවා. පෙරදිග ලෝකය ඇහුම්කන් දීමට බොහොම කැමැතියි. අතීතයේ හැම දෙනාම අකුරු නොදැන සිටි කාලයක පවා පණ කතා ඇසීමට අතීතයේ බණ මඩුවට එක්රැස් වුන යුගයක් තිබුනා.  මේ පුරුදු නිසා ගමක සහජිවනය වගේම බණ කතාවලින් කියා දෙන යහ සිතුවිලිවලින් තමන්ගේ චරිතය පවා ගොඩ නගා ගැනීමත් සිදු වුනා.

දරුවාගේ චරිත සංවර්ධනය ගොඩ නගා ගැනීමටත් පොත් කියවීමේ හුරුව වඩාත් උපකාරී වෙනවා.වචන දහස් ගණනකින් ලබා දෙන අවවාද වලට වඩා කතා පොතකින් ලබා දෙන ආදර්ශය ඉතා ප්‍රබලලෙසින් දරුවාගේ හදවතට ආමන්ත්‍රනය කරනු ඇත.

ධාරනය..

සමහර විට ඔබ විසින් දරුවාට යම් යම් දේවල් කොතෙක් කිව්වත් අමතක වෙනන් පුලුවනි. ඒ වුනත් පොතක් පතක් අවධානයෙන් කියවා රස විඳින දරුවාට තමා විසින් පොත කියවා ලද දැණුම ධාරණය වෙනවා විතරක් නොවෙයි, එය අවශ්‍ය අන්දමින් ගලපා ගැනීමේ හැකියාවත් දරුවන් බාල කාලයේ පටන්ම ලබා ගන්නවා.ඒ වගේම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය අතිරේක දැණුම ඔවුන් කියවන පොත් පතින් සොයා දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. 

නිර්මාශීලි චින්තනය අවදි වීම..

පොත් පත් කියවන විට දරුවාගේ වාග් කෝෂය පුළුල් වෙනු ඇත. පොත පතින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේම ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමේ නිර්මානශීලි චින්තනය  අවදි වෙනවා. නව  දැණුම තමාගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නා දරුවා සමාජයේ කැපී පෙනන චරිතයක් බවට පත් වෙනවා.

  • පොත් කියවීම පුරුදු කරන්නේ කොහොමද…?

සමහර විට ඔබේ බාලකාලයේදී පවා පොතක් බිම වැටුන අහුලා ගත් පොතට වැදීමට වැඩිහිටියන් කියූ අන්දම මතක ඇති. පොත් පත් කියන්නේ ඒ තරමටම වන්දනීය වස්තුවක් විදිහට එදා සැලකුවා.නමුත් අද බොහෝ වැඩිහිටියන් දරුවන් පොත් පත් ඉරා නාස්ති කරයි කියන සිතුවිල්ල නිසා පොත් පත් දරුවන්ගෙන් දුරස් කරනවා.දරුවන්ට පොත් පත් ඉරා නාස්ති නොකොට ඒවා පරිස්සමින් කියවන අන්දම කියා දෙන්න.පොත් පත් අපිරිසිදු නොකොට පරිස්සමින් පාවිච්චි කිරීම ඉතා හොඳ පුරුද්දක් බව කියා දෙන්න. නමුත් අදටත් පාසල් පොත් නොමිලයේ ලබා දෙන යුගයක වසර අවසානයේදී එකම පංතියක එකම වයසේ දරුවන් පොත් පත් පරිසස්ම් කිරීමේදී දක්වන විවිධ ප්‍රතිචාර ගැන ඔබටත් අත්දැකීම් ඇති. ඇතැම් දරුවන් ඒවා තමන්ගේ පොත් පත්වලටත් වඩා පරිස්සමින් පාවිච්චි කරනවා විතරක් නොවෙයි, හොදින්ම ඉගෙනුම් කටයුතුත් කරන අතර තවත් දරුවන් කොටසක් පොත් පත් අපිරිසිදුව සහ අප්‍රවේසමෙන් පාවිච්චි කරන්නට පෙළඹී තිබේ. ඒ අතරම මෙවැනි අප්‍රවේසමින් පොත් පත් පාවිච්චි කරන දරුවන් ඉගෙනුමටත් එතරම් උනන්දු නැති වීම සමග පොත හා දරුවන්ගේ අධ්‍යාපනයේ දක්වන පසුගාමි බව අතරත් සාජු සම්බන්ධතාවයක් තිබෙන බැව් පෙනේ.

දරුවන්ට පොත් පත් ලබා දෙන්න..

ඔබේ දරුවාට ලැබෙන ආහාරපාන ,ඇදුම් පැළදුම් සහ වෙනත් තැගි බෝග අතරටම පොත් පත් අරගෙන දෙන්නත් අමතක කරන්න එපා. අඩුම වශයෙන් දරුවා වෙනුවෙන් පුවත්පතක් හෝ මිලට ගැනීමට උනන්දු වෙන්න. හැකි නම් නිවසේ පුංචි පුස්තකාලයක් ආරම්භ කරන්න.ඒ වෙනුවෙන් එක්වර වැයබරක් අවශ්‍ය නැහැ. විටින් විට මිලට ගන්නා පොත් එකතුවෙන් පුංචි පුස්තකාලය පටන් ගන්න.

පුස්තකාලයන සාමාජිකත්වය…

ඔබේ නිවසට සමීප පලාත් පාලන ආයතනයක ඇති පුස්තකාලයේ සාමාජිකත්වය දරුවාට ලබා දෙන්න.පාසල් පුස්තකාලයෙන් පොත් පත් ගැනීමට දරුවා උනන්දු කරන්න. පුස්තකාල පොත් ප්‍රවේසමෙන් අදාල දිනයට හෝ ඊට පෙරාතුව නැවත භාරදීමේ වගකීම සිතට ලබා දෙන්න.

පුංචි දැනුම මිනුම තරඟ…

ඔබ විවේකව සිටින දවසක දරුවන් සමග දැණුම මිනුම තරගයක් පවත්වන්න. ඒ වෙනුවෙන් දරුවාගේ පුස්තකාලයේ ඇති පොත් පත්වලින් ප්‍රශ්න සකස් කිරීමට පුලුවන්. ඒ වගේම පොතක කොටසක් ගෙන එතැනින් ඉදිරියට කතාවක් ගොඩ නැගීමේ නිර්මානශීලි ක්‍රියාකාරකම් ලබා දෙන්න.අපේ රටේ වගේම විශ්ව සාහිත්‍යධරයන්ගේ ජීවන චරිත ගැන තොරතුරු එක්රැස් කිරීමට දරුවන් උනන්දු කරන්න.ඔවුන්ගේ ජීවිතයේ රසවත් සිදුවීම් ගැන දරුවාත් යම් ආශ්වාදනීය අත්දැකීමක් ලබනු ඇති.

එසේනම්… වෙනදාට සෑම තැනින්ම  ඇසෙන සාහිත්‍ය වසන්තය දැන්  අපට නෑසුනත් දරුවාගේ ජීවිතයෙන් කියවීමේ පුරුදු දුරස් කරන්න එපා. කියව උණක් ඇති දරුවෙක් නිර්මානය කිරීම අද දවසේ වැඩිහිටියන්ගේ වගකීමයි.

 

 

විභාග වෙහෙස හෙවත් exam stress

මේ දවස්වල දරුවන්ගේ හිතේ විභාග මානසිකත්වය ටිකක් දුරස් වුනත් අනාගත දිනයකදී නැවතත් දරුවන් ඔවුන්ගේ සුපුරුදු ඉගෙනුම් රටාවට යොමු වෙනවා.මේ දවස්වල අතිරේක පංති සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් නැති හින්ද දරුවන්ට තමන්ගේ අනාගත විභාග කටයුතු වෙනුවෙන් සැලසුමක් ගොඩ නගා ගැනීම බොහොම පහසුයි. සෑම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තිබෙනවා වගේ මේ ලැබුන කාලයේදී ඔබට විභාගය ගැන මනා සැලසුමක් ගොඩ නගා ගන්න පුලුවනි. ඉතින් කොහොමද මේ අනාගත විභාගය ඔවුන් අද සැලසුම් කරන්නේ…?

ඉතින් විභාගය ඉලක්ක කර ගෙන සිටින ඔබ තව ඉදිරියට තිබෙන කාලය ගැන යම් වැටහීමක් තිබෙනවා. ඒ වගේම විභාගය වෙනුවෙන් තිබෙන විෂය නිර්දේශය ගැනත් දැණුවත් බවක් තිබෙනවා. ඒ නිසා විෂය නිර්දේශය ඔබේ කාලරාමුව සමග ගලපා ගන්න. ඒ නිසා දැන් ඔබට බොහොම විවේකී කාලසටහනක් සකස් කර ගන්න පුලුවනි.අනාගත සැලසුම තුළ විවේකය, විනෝදාංශය වෙනුවෙනුත් යම් කාලයක් ඇතුලත් කරන්න.

පුංචි විවේකයක් ගන්න..

පාඩම් කරලාම දවස ගෙවන්නත් බැහැ. විභාග මානසිකත්වය නිසාම අපට තෝරා ගන්න බැරි ආකාරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්.ඒ නිසා පාඩම් කරන පැය අතරවාරයේම පුංචි විවේකයක් ගන්න. මේ වෙලාවේ සිංදුවක් කියන්න, නැටුමක් නටන්න…ඔබට වෙලාව වෙන් කර ගන්න පුලවනි.

තවත් වෙලාව තිබෙනවා නම් මල්පාත්තියට යන්න..නිවසේ බල්ලා ,බළලා සමග ටිකක් විනෝද වෙන්න. කොවිඩ් සමග ගැටෙන අපේ හෙද හෙදිය සහ වෛද්‍යවරුන් පවා විවේකය ලද විට ගීත ගයන…රංගනයේ යෙදෙන අවස්තා ඔබ දැක ඇති. කොවිඩ් වසංගත තත්වයට පෙරාතුව මේ අයගේ මෙවැනි දර්ශන අපි දැක්කේ නැහැ. නමුත් දැන් ඔවුන්ගේ සේවාව සමග ඇති මානසික වෙහෙස නිදහස් කර ගන්න මේ විදිහට පුංචි පුංචි විනෝදවීම්වල යෙදෙනවා.ඉතින්…විභාගය වෙනුවෙන් වෙහෙසෙන ඔබත් ඒ ගැනම සිතමින් සිත වෙහෙස කර ගන්න එපා. පුංචි විවේකයක් ගන්න. ඒ විවේකය හිතට සතුට වගේම යම් ඵලදායක බවක් ඇති වෙන අන්දමින් සැලසුම් කර ගන්න.

සිත එකග කරන භාවනාවක්..

අතීතයේදී නම් භාවනාවක් කිව්වාම අපේ වැඩිහිටි උදවිය මතක් වුනත් අද දරුවන්ට බාල කාලයේ පටන්ම ”සතිමත්බව ” පිහිටුවා කටයුතු කිරීමට උපදෙස් ලැබෙනවා. එවැනි සතිමත් භාවනාවක් මගින් ඔබේ විසුරුන සිත එකතැන් වෙනවා. ඒ වගේම මානසිකව ඇති වෙහෙස අඩු වෙනවා. ඉතින්…පාඩම් කරන අතරවාරයේ මනසට ව්‍යායාමයක් සහ සිත එකග කරන භාවනාවක යෙදෙන්න.

සමාජ න්නිවේදනයත් වැදගත්…

මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා..එහෙම නැත්නම් උසස් පෙළ කියන්නේ ජීවිතයේ කඩඉම. මෙවැනි වෙහෙසක් හිතට ගන්න එපා.පාඩම් කරන අතරවාරයේ ඔබේ ගැටලු මිතුරන් සමග බෙදා ගන්න.ඔවුන්ගේ ගැටළුවලටත් සවන් දෙන්න. එවිට ඔබේ ගැටළුවලටත් එතැනින්ම පිලිතුරු ලැබේවි.ජංගම දුරකථනය මහා හානියක් විදිහට දැක්කත් ඔබට හිතමිතුරන් සමග වීඩියෝ ඇමතුමක් ගැනීමටත් අවස්ථාව තිබෙනවා. පාඩම් සාකච්ඡා කරන්න..දැණුම බෙදා ගන්න..ගැටළු බේරා ගන්න ඔන්න දැන් අවස්ථාවක් තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරී රටාවක් නිසා ඔබේ හිතේ දරුණු අන්දමින් බලපාන විභාග වෙහෙස  (exam stress )ඉතාම පහසුවෙන් මග හැර ගැනීමට පුලුවනි.

 අවදානමත් තිබෙනවා..

විභාගයක් කියන්නේ අපි දන්නා දැනුම පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉදිරිපත් කරන කලාවක්. ඒ නිසා ඔබ පාඩම් කළත් මේ දැණුම ඉදිරිපත් කිරීමේදී කාලය සහ දැණුම ගලපා ගැනීම වැදගත්. වැදගත් කරුණුවලට ප්‍රමුඛතාවය ලබා දීම , ලකුණු ලබා දීමේ පරිපාටිය ගැනත් දැණුවත්ව සිටීම ඉතාම වැදගත්. ඒ නිසා කාලයට අනුව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමේ වේගය වගේම හැකි තරම් පැරනි ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු ලිවීම වැදගත්. ඔබ ලියන පිලිතුරු ලකුනු දීමේ පරිපාටිය සමග ඔබටම සංසන්දනය කරන්න. එවැනි පරිපාටියක් නොමැත්තේ නම් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සහභාගී වන ඔබේ ගුරුතුමාගේ  සහය ලබා ගන්න. ඔබ දක්වන උනන්දුව අනුව ගුරුතුමා ඔබට ප්‍රතිචාර දක්වනු ඇති.

විශ්වාසයෙන් විභාගයට යන්න…

බොහෝ දරුවන් විභාගය ගැන වැඩි විශ්වාසයක් තබන්නේ නැහැ. ඇතැමුන් එය පමණට වඩා සරලව සිතනවා.තවත් පිරිසක් අවශ්‍ය විදිහට සූදානම් වෙන්නේ නැහැ. අප දන්නා බොහෝ දරුවන් විභාගයේදී ලියන ප්‍රශ්න ගැන කල් තබාම තීරණය කරනවා. විෂය නිර්දේශයේ ඔවුන් කැමැති කොටස් වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන අතර සමහර කොටස් සම්පූර්නයෙන්ම ඉවත් කරමින් පාඩම් කරනවා. එහෙත්…ඔබ සූදානම් වූ අන්දමේ ප්‍රශ්න නොලැබුනොත්…? එසේත් නොමැති නම් සූදානම් නොවුන ප්‍රශ්නයක් අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වුනොත් ඇති වෙන මානසිකත්වය ගැන හිතා ගන්නත් බැරි තරම් වෙහෙසක්. ඒ නිසා ඉදිරි කාලය වුනත් ප්‍රමාණවත් නිසා සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරනය වන පරිදි සූදානම් වෙන්න.

විභාගයට පිලිතුරු ලියන විට ඔබ හොදින් සූදානම් වුන පාඩම් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වැඩි ඉඩක් ලබා දිය හැකියි.නමුත් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සූදානම් වීම වැදගත්. එසේ නොමැති වුනොත් පිලිතුරු ලියන අවස්ථාවේදී ඔබ බෙහෙවින් අසීරුතාවයකට පත් වෙනු ඇත.

 ධනාත්මකව සිතන්න..

අපි විභාගයක් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ අසමත් වීමට නොවේ.ඒ නිසා අපේ සිත සාර්ථක ප්‍රතිඵලයක් ලැබීම වෙනුවෙන් මානසිකවත් සූදානම් විය යුතුයි. කියමනටත් කියන සේ ”ඉර ඇල්ලීමට ගන්නා උත්සාහය නිසා අඩුම වශයෙන් තරුවක් ඩැහැ ගැනීමට හැකි වේ…” ඒ නිසා නිතරම යාන්තම් ලකුණු 40 ක් ගැනීමට සීමා නොවන්න. හැකි උපරිම ලකුණ වෙනුවෙන් උත්සාහ කරන්න.එවිට ඔබ කිසිදා පරාජය නොවනු ඇත.

 

විටමින් E, ඵලදායී වන සහ ඵලදායී නොවන තත්ත්ව මොනවද?

විටමින් E යනු මේද ද්‍රාවී විටමිනයකි. ඒවා ආහාරවලින් සහ අතිරේකයක් ලෙස කරල් වශයෙන්ද ලබාගත හැක. මෙය හොඳ ප්‍රතිඔක්සිකාරකයකි. බොහෝ අවයව වල මනා ක‍්‍රියාකාරීත්වය සඳහා ද අවශ්‍ය වේ. 

විටමින් E භාවිත කරන අවස්ථා 

  • ආරයේ බලපෑමෙන් ස්නායු පද්ධතියේ චාලක ක‍්‍රියාවන් පාලනය කිරීමේ හැකියාව නොමැති වීම විටමින E ඌනතාවය නිසා ඇති වන තත්ත්වයකි. එසේම විටමින් E අතිරේක ලෙසද ලබාදේ. මෙම තත්ත්වය ataxia ලෙස හඳුන්වයි. මෙහිදී පේශී සමායෝජනය නැති වේ. 
  • විටමින් E ඌනතාවය සඳහා එය වැළැක්වීමට හා ප‍්‍රතිකාරයක් ලෙස මුඛයෙන් ලබාදේ. 

විටමින් E ඵලදායී විය හැකි තත්ත්ව

  • ස්නායු රෝග තත්ත්වයක් වන Alzheimer රෝගය සඳහා මෙය වැළැක්වීමට ප‍්‍රතිකාරයක් නොවුනද දැනටමත් ඒ සඳහා ලබාදෙන ඖෂධ සමග විටමින් E දීර්ඝ කාලයට ගැනීමට යොමු වී සිටී. මෙහිදී මතකය අමතක වීමේ වේගය අඩු කරගැනීමට ඉවහල් වන බව විශ්වාස කෙරේ. 
  • රුධිර රෝගයක් වන Beta thalassemia තත්ත්වයේදී ලබාදේ. 
  • ආර්තවයේදී ඇතිවන වේදනාව (Dysmenorrhea) තත්ත්වය වේදනාව අඩු කරගැනීම සහ පිටවන රුධිර ප‍්‍රමාණය අඩු කරගැනීමට භාවිත කරයි. ඔසප් චක‍්‍රය ආරම්භයට දින දෙකකට පෙර හා ආරම්භ වී දින තුනක් යනතුරු භාවිත කරයි. විටමින් E තනිව ගන්නවාට වඩා Fish oil සමග ගැනීමෙන් වඩාත් හොඳ වේදනානාශක ගුණයක් ලැබේ. 
  • ආරය නිසා ඇතිවන G6PD Deficiency සඳහා භාවිත කරයි. මෙහිදී රතු රුධිර සෛල කැඩී යාමක් සිදුවේ. විටමින් E තනිව හෝ Selenium සමග භාවිත කරයි. 
  • නොමේරූ ළදරුවන්ගේ හිස් කබල තුල ඇති වන රුධිර ගැලීම (Intracranial Hemorrhage) සඳහා ප‍්‍රතිකාරයක් ලෙස විටමින් E මුඛයෙන් ලබාදේ. 
  • නොමේරූ ළදරුවන්ගේ මොළයේ තරලය පිරුණු ප‍්‍රදේශ එනම් කෝෂිකා (Ventricles) තුලට හෝ එය වටා ඇතිවන රුධිර ගැලීම් ඇතිවීමේ අවදානම අඩුකර ගැනීමට ලබාදේ. 
  • අධික ලෙස ලබාදීමෙන් රුධිරයේ ආසාධන/ප‍්‍රතික තත්ත්ව (blood infection Sepsis) ඇතිවීමේ අවදානම වැඩිවේ. 
  • පුරුෂයන්ගේ නිසරුභාවයට ප‍්‍රතිකාර ලෙස ද විටමින් E ලබාදේ. නමුත් විටමින් E අධික මාත‍්‍රාවක් විටමින් C සමග ගැනීමෙන් මෙම ප‍්‍රතිඵලය නොලැබේ. 
  • නයිට්‍රේට් ප‍්‍රතිකාරයේ ප‍්‍රයෝජනය අඩු කිරීමට එනම් නයිට්‍රේට්වල අවශ්‍යතාවය වැඩිවීම අඩු කිරීමට විටමින් E මුඛයෙන් දිනපතා ලබාදේ. 
  • ඇල්කොහොල් ඉතා සුළුවෙන් හෝ භාවිත කරන හෝ භාවිත නොකරන පුද්ගලයන්ගේ අක්මා රෝග තත්ත්ව (Nonalcoholic steatohepatitis/NASA) වලදී ඇතිවන ඉදිමාව හා මේදය තැන්පැත්වීම වැළැක්වීමට වැඩිහිටියන්ට මෙන්ම ළදරුවන්ට විටමින් E භාවිත කරයි.
  • Premenstrual syndrome (PMS) – ඔසප් චක‍්‍රය ඇතිවීමට පෙර සමහර කාන්තාවන් තුල ඒ පිළිබඳව ඇතිවන කාංසාව, මානසික අවපීඩනය අඩු කිරීමට භාවිත කරයි. 
  • මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ (antipsychotic drug) ලබාගන්නා විට ඇතිවන ලක්‍ෂණ වැඩිවීම වැළැක්වීමට ලබාදේ. 

විටමින් E ඵලදායී නොවන තත්ත්ව

  • වයසට යාමත් සමග ඇති වන දෘෂ්ඨී ආබාධ සඳහා
  • Lou Gehrig’s disease (amyotrophic lateral Sclerosis /ALS)
  • පපුවේ වේදනා (chest pain/angina) සඳහා මෙහිදී රුධිර වාහිනීවල ක‍්‍රියාකාරීත්වයට ප‍්‍රතිඵයක් ලැබුනද වේදනාව අඩුවීමක් සිදු නොවේ. 
  • Atherosclerosis ධමනි තුල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ධමනි දෘඩභාවයට පත්වීම සඳහා විටමින් E ගැනීම මගින් එම තත්ත්වය වැළැක්වීමට උදව්වක් නොලැබේ. 
  • Eczema (atopic dermatitis) – සමේ රෝග තත්ත්වයකි. 
  • පියයුරු පිළිකා පවතින රෝගීන්ට ඇතිවන Hot flashes තත්ත්වය අඩු කිරීමට දායක නොවේ. 
  • අලුත උපන් දරුවන්ගේ පෙනහලු රෝගයක් වන bronchopulmonary dysplasia තත්ත්වයේ ලබාදුන්නද මෙම තත්ත්වය ඇති වීමේ/වර්ධනය වීමේ අවදානම අඩු නොවේ. 
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමේ ගුණයක් නැත. 
  • ඇසේ සුද ඇතිවීම (cataract) වැළැක්වීමට ඵලදායී නොවේ. 
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධවලින් අතේ හා පාදයේ ස්නායු වලට හානිවීම අඩු කරගැනීමට ලබාදීම ඵලදායී නොවේ. 
  • මහන්තක පිළිකා හා ගුද පිළිකා ඇතිවීමේ අවදානම වැළැක්වීම නොකරයි. 
  • හෘදයේ තරලය එකතුවීම නිසා ඇතිවන සංචයන හෘද අකරණය (Congestive cardiac failure-CCF) වල ලක්‍ෂණ ඇතිවීම වැළැක්වීමක් නොකරයි. 
  • හිස හා ගෙලේ ඇතිවන පිළිකා තත්ත්වයන් නිසා නැවත නැවත එම තත්ත්වය ඇතිවීම වැළැක්වීමට දායක නොවේ. 
  • අධික රුධිර පීඩනය සඳහා
  • අක්මා රෝග වලින් මිය යාමේ අවදානම නොවැළැක් වෙයි. 
  • දුම්බීම නිසා මුඛය තුල ඇතිවන සුදු පැහැති ලප (Oral leukoplakia) මෙම විටමින් E හරහා අඩුවීමක් ඇති නොවේ. 
  • ඔස්ටියෝ ආතරයිටිස්වලින් ඇති වන වේදනාව, සන්ධි වල තද ගතිය වැළැක්වීමක් සිදු නොවේ. 
  • අග්න්‍යාශයක පිළිකා ඇතිවීම වැළැක්වීමක් හෝ අවදානම අඩු නොකරයි. 
  • උගුරේ ඇති වන පිළිකා තත්තතව (ග‍්‍රසනිකාවේ පිළිකා – pharyngeal cancer) ඇතිවීමේ අවදානම/අඩු කිරීමේ හැකියාව නැත. 
  • ගර්භනී කාලයේ ඇති වන අධික රුධිර පීඩනය හා මුත‍්‍රා සමග ඇල්බියුමින් පිටවීම (Pre-eclampsia) අවදානම අඩු නොකරයි. 
  • නොමේරූ දරු උපත් ඇති වීම අඩු නොකරයි. 
  • පුරස්ථි ග‍්‍රන්ථියේ (Prostate gland) පිළිකා අවදානම අඩු නොකරයි. 
  • ස්වසන මාර්ගයේ ඇති වන ආසාධන අඩු කිරීමේ හෝ වැළැක්වීමේ හැකියාවක් විටමින් E වලට නැත. 
  • එසේම ආරය මගින් ඇසේ ඇති වන දෘෂ්ඨී ආබාධ (Retinitis pigmentosa) තත්ත්වයට ප‍්‍රතිකාරයක් නොලැබේ. මෙමගින් ඇත්ත වශයෙන් දෘෂ්ඨී ආබාධය වැඩිවීමේ ප‍්‍රවණතාවයක් පවතී. 
  • නොමේරූ දරුවන් තුල අන්ධභාවය ඇති කිරීමට හේතු විය හැකි (Retinopathy of prematurity) තත්ත්වය ඇති වීමේ අවදානම අඩු කිරීමට හේතු නොවේ. නමුත් විටමින් E ලබාදීමෙන් රුධිර ආසාධන වැඩිවීමේ හැකියාවක් පවතී. 
  • සමේ කැලැල් සඳහා (විශේෂයෙන් ශල්‍යකර්ම වලින් ඇති වන) විටමින් E ආලේප කිරීමෙන් ඵලයක් නැත. 
  • මළදරු උපත් අඩු කිරීමේ හැකියාවක් නැත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය‍

සූතිකා පුහුණු හෙද නිළධාරිනී (1 ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය, පළාත් මහ රෝහල, කුරුණෑගල

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

පොඩ්ඩන්ගේ ද්විත්ව චරිත රංගනය….

පුංචි පැටවුන්ගේ ගති පැවැතුම් ගැන දෙමව්පියන්ටවත් විශ්වාස තබන්න බැහැ. ඒ තරමටම ඔවුන්ගේ හැසිරීම් රටාවන් බොහොම වෙනස් වෙන්න පුලුවනි. සමහර පුංචි පැටවුන් නිවසේදී යහපත් ගති පැවැතුම් පෙන්වුවත් පිටස්තර තැන්වලදී ඔවුන්ගේ හැසිරීම නිවසේ හැසිරීමට වඩා බොහොම වෙනස්. තවත් දරුවන් කොටසක් සිටිනවා ඔවුන් නිවසේදී බොහොම දඩබ්බර ගති පැවැතුම් පෙන්නුම් කළත් පිටස්තර ලෝකයට බොහොම සුවච කීකරු දරුවන් විදිහට ප්‍රශංසා ලබනවා . සමහර විට ඔබේ දරුවාත් මේ විදිහට ද්විත්ව චරිත ලක්ෂණ පෙන්වනවා වෙන්නත් පුලුවනි.

ඔබ මෙහෙම හිතනවාද…?

අපේ පුතා ගෙදරදී නම් හරිම අමාරුකාරයෙක්. ඒ වුනත් පිටස්තර ලෝකයේදී හරිම තැන්පත් දරුවෙක්. අනේ අපිට කොහොම වුනත් කමක් නැහැ. බාහිර ලෝකයට එයාගෙන් කරදරයක් නැහැනේ…කියල හිත හදා ගන්නවාද…?

ඒ වගේම තවත් දෙමව්පියන්ට මේ විදිහට සැකයක් ඇති වෙන්න පුලුවනි. අපේ පුතා හරිම තැන්පත් දරුවෙක්. ඒ වුනත් එයාගේ පුංචි සමාජයේදී එනම් අසල්වැසි දරුවන් සමග එහෙම නැත්නම් පංතිය..පාසල වැනි තැන්වලදි හරිම කරදරකාරයෙක්…

අනේ හිතාගන්නත් බැහැ…

හැබැයි නිවසේ සිටින දරුවාගේ තැන්පත් ගති පැවැතුම් නිසා පිටස්තර අයගෙන් විවිධ පැමිණිලි ආවත් ඒවා ඔබට විශ්වාස කරන්නත් අපහසු වෙන්න පුලුවනි. අනේ කවුද දන්නේ ඔය කියන දේවල් ඇත්තද කියලා. අපේ දරුවට ඉරිසියාවට වෙන්නත් ඇති. මේ අන්දමේ සිතුවිලිවලින් ඔබ සමහර විට හිත හදාගන්නවා වෙන්නත් ඇති.

දරුවන් මේ විදිහට ද්විත්ව චරිත රංඟනයක යෙදෙන්නේ ඇයි..?

සමහර දරුවන් නිවසට බොහොම හික්මුන විලාසයක් පෙන්වන අතරවාරයේදී බාහිර ලෝකයට ඔවුන්ගෙන් හිරිහර සිදු වීම පිටුපසින් දිවෙන මානසික හේතුවක් තිබෙනවා.ඔබේ නිවසේ පුංචි වපසරියේදී දරුවා ඔබේ අණසකට යටත්ව හදා වඩා ගත්තත් එයින් ඔබ්බට තිබෙන බාහිර ලෝකයේදී හැසිරෙන ආකාරය ඔවුන්ට හිතට දැනෙන විදිහට වටහා දී නැති වීම ප්‍රධාන හේතුව විදිහට පෙන්වා දෙන්න පුලුවනි.

දරුවා පීඩනය පිටකරන ආකාරය වෙන්නත් පුලුවනි…

ඔබ නොදකින තවත් හේතුවක් මෙතැන තිබෙනවා. බිත්ති අතර සිරගතව සිටින දරුවා ඔවුන්ගේ මානසික පීඩනය මුදා හරින්නත් අවස්ථාවක් ගොඩ නගා ගන්නවා. ඒ නිසාම අසල්වැසි දරුවන් සමග සිටින විට හෝ පංති කාමරයේ සමවයස් කන්ඩායම් අතර ඔබේ දරුවා අනුන්ට බොහොම හිරිහැරකාරී චරිතයක් වීමට පුලුවනි.එය දරුවාටත් නොදනීම ඔහුගේ මානසික බලපැමෙන් සිදු වෙන ස්වයංක්‍රිය හැසිරීමක් බවත් අමතක කරන්න එපා.

කිසිම කරදරයක් නැති දරුවෙක්…

ඔබේ ඇසුරේ සිටියදී ඉතාම නොහික්මුණ ඔබේම දරුවා බාහිර සමාජයේදී ඉතාම හික්මීමක් ඇති දරුවෙක් ලෙසින් ඇගයුම් ලැබීමටත් හේතුවක් තිබෙනවා.පිටස්තර උදවිය මේ අන්දමින් ඔබේ දරුවාට ප්‍රංශසා කරන විට එය අදහා ගත නොහැකි වුනත් ඇත්තටම එකම දරුවා තුලින් මේ අන්දමින් පරස්පර ගති පැවැතුම් ප්‍රදර්ශනය වෙන්නේ ඇයි…?

දෙමව්පියන්ගෙන් නොලැබෙන මානසික අවශ්‍යතාවයන් ලැබෙනවා ඇති.

පවුලක් වෙතින් දරුවාට ලැබෙන රැකවරනය සහ සුරක්ෂිත බව ලැබුනත් සමහර විට දරුවාට ලැබෙන ආදරය, දරුවාට ඇගයුම් ලැබීම, සහ දරුවා ගැන දක්වන අවධානය පිළිබඳව දරුවා තුළ තිබෙන හිස්බව නිසාම මෙවැනි තත්වයන් ඇති විය හැකියි.

ඒ නිසාම බාහිර සම්බන්ධතාවයන්හිදී දරුවාට පුංචි ඇගයුමක් ලැබුනත් ඔහු ඒ ගැන මහත් තෘප්තියට පත් වෙනු ඇති. ඔබේ බාලකාලය ගැන සිතන්න. පංතියේදී ලැබෙන රතු ලකුණ ගැන ඔබේ සිතට දැනෙන අභිමනාය ගැන ඔබටත් අත්දැකිම් ඇති. ඒ වගේම කළු ලකුණක් ලද තැන ලෝකයම බිඳ වැටුනා සේ  දැනෙන කම්පනය ගැනත් ඔබේ ජීවිතයේ අත්දැකීම් ඇති.මේ අවස්ථාවන් ගැන ආවර්ජනය කරද්දී ඇගයුමට සහ චෝදනාව ගැන ළමා සිත දක්වන ප්‍රතිචාර ගැන ස්වයං අවබෝධයක් ඔබටත් ඇති.

අද ඔබේ දරුවා සිටින්නේ එතැනයි..

ඒ නිසාම පවුලක් වෙතින් දරුවාට ලැබෙන ගරුත්වය. ඇගයුම නොමැති තැන දරුවා මෙවැනි ගුනාංගයන්ට දැඩි සේ ඇළුම් කරන්න පටන් ගන්නවා. ඒ නිසාම බාහිර සමාජයෙන් ලැබෙන පැසසුම් පසුපසම ලුහුබඳිමින් ඒ අනුව තමාගේ ජීවිතය හැඩගසා ගැනීමට දරන උත්සාහය නිසා බාහිර සමාජයේදි ඔබේ දරුවා යහපත් යන ආකෘතිය මත පිහිටා කටයුතු කිරීමත් මනෝවිද්‍යාත්මක තත්වයක් බැව් අමතක කරන්න එපා.

ද්විත්ව රංගනයක් නැති දරුවෙකු දකිනු රිසි නම්…

මේ අන්දමින් බාහිර සමාජයේදී හොඳ සහ නරක අතර දෝලනය වන ද්විත්ව රංගනයක් නොමැති සුවච දරුවෙකු දකින රිසයෙන් පසුවෙන දෙමව්පියන් විදිහට ඔබේ දරුවා සමග බොහොම ප්‍රවේසමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

දරුවෙක් ලෙසින් හොඳ යන සංකල්පයෙන් ඇගයුම ලැබීමට සුදුසු වන සේ බාල කාලයේ පටන්ම දරුවා හැඩ ගසන්න. අතීතයේදී දෙමව්පියන් දරුවන්ට කියා දුන්නේ

”දහ දෙනෙක් හොඳයි කිව්වොත් දෙවියොත් හොදයි කියනවා…යන සංකල්පයයි. ඒ නිසා දෙමව්පියන් දරුවන්ට දැනමුතුකම් දුන්නේ නිවසේදී වගේම බාහිර සමාජයෙන්ද ඇගයුම් ලැබෙන සේ දරුවා ගොඩ නැගීමටයි.

”හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී..”‘

දරුවාට මෙවැනි ආදර්ශ පාටයක් අනුව ජීවිතය ගොඩ නගා ගැනීමට උපදෙස් දෙන්න. අම්මා..තාත්තා…ආච්චි..සීයා වගේම ගම..රට ආදරය කරන දරුවෙක් ලෙසින් ජීවත්විය යුතු බව කියා දෙන්න.ඒ වගේම බාහිරව ලබන ඇගයුම වගේම දෙමව්පියන්ට සුවචව සිටිය යුතු බැව් දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න. එවිට මෙම ද්විත්ව රංගනය වෙනුවට සැබෑ ලෙසින්ම සුවච කීකරු දරුවෙකුගේ දෙමව්පියන් වීමේ වාසනාව ඔබටත් ලැබෙනු ඇත.