දරුවාගේ “අවධානය” ( Attention skills) වැදගත් වන්නේ ඇයි?

අවධානය” (Attention) කියන වචනය ලොකු පොඩි අප කාගේත් යහපත පිණිස අවශ්‍ය වන්නා වූ සාධකයකි. අවධානය කුඩා දරුවකු විසින් ප්‍රගුණ කළ යුතු එක්තරා කුසලතාවයක් බව ඔබ මොහොතකටවත් සිතුවාද?

වර්තමානයේ බොහෝ දෙමව්පියන් ගේ මැසිවිලි අතර,

  • දරුවා වැඩ වලට අවධානය දෙන්නෙ නෑ 
  • දරුවා කරන කිසි දෙයක් අවධානයෙන් කරන්නේ නෑ 
  • වැඩ කරන්න උනන්දුවක් උත්සහයක් නෑ 
  • එක වැඩක් එක තැනකට සිට සිත යොමුකරමින් කරන්නේ නෑ 
  • කිසි වැඩක් ඉවර වෙනකල් කරන්නේ නෑ ආදිය සුලභ වේ. අද අපි කතා කරන්නට යන්නේ මෙම ප්‍රශ්න වලට පිළිතුරු කීපයකි
  1. අවධානය නැත්නම් Attention කියන්නේ මොකද්ද?

දරුවෙකු කිසියම් කටයුත්තක්, ක්‍රියාකාරකමක් සදහා ලබා දෙන හා එම ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට පැවතිය යුතු විශේෂ සැලකිල්ල/උනන්දුව “අවධානය” ලෙස සරල ම හඳුන්වා දීමට හැකි ය. තවද දරුවකු තුළ පවතින අවධානය අඩු වැඩි වීමට විවිධ සාධක බලපානු ලබයි. 

  1. දරුවාගේ අවධානය වැදගත් වන්නේ ඇයි?

දෙමව්පියෝ වශයෙන් ඔබටත් ඔබගේ අවධානය හි වටිනාකම වැටහෙනවා ඇති. එමෙන් ම කුඩා දරුවෙකු තුළ වර්ධනය විය යුතු කුසලතා අතර අවධානය ට හිමි වන්නේ ද ප්‍රබල ස්ථානය කි. මන්ද, 

  • යම් ක්‍රියාකාරකමක් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට 
  • එම ක්‍රියාකාරකම අඛණ්ඩව පවත්වාගෙන යාමට 
  • ක්‍රියාකාරකම කරන විට අවට පරිසරයේ ඇතිවන බාධාකාරී ක්‍රියා (Environmental disturbances) වලින් තම ක්‍රියාකාරකම් කිරීමට ලබාදෙන අවධානය බිඳ ගැනීම වලක්වා ගැනීමට 
  • දරුවා වැඩෙත් ම ක්‍රියාකාරකම් කරන විට ඒ අතරතුර තවත් ක්‍රියාකාරකම් කිරීමට (multitasking) අවධානය යොමු කර ගැනීමට 
    • උදා: ගුරුවරයා පන්තියේ යමක් පවසන විට එයට සවන් දෙමින් තම පොතෙහි ක්‍රියාකාරකමක් සිදුකිරීම
  • ක්‍රියාකාරකම ට හෝ යම් පණිවිඩයක අන්තර්ගත විශේෂ කරුණු ග්‍රහණය කර ගැනීමට හෝ සංඥාවක් මතක තබා ගනිමින් එය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමට
  • යම් ක්‍රියාකාරකමක් කිරීමට අවශ්‍ය  තම අවධානය හා සංයමයක් පවත්වා ගනිමින් එහි දිගු වේලාවක් රැඳී සිට ප්‍රගුණ කිරීමට 
    • උදා: විභාගයක දී පැය දෙකක් හෝ තුනක් එක ම ක්‍රියාකාරකමක දිගු වෙලාවක් රැඳී සිටීමට අවශ්‍ය වීම ආදී බොහෝ වටිනාකම් අවධානය දියුණු කිරීමෙන් ලබා ගත හැකිය. 

තවද ඔබේ දරුවාගේ අවධානය වර්ධනය කිරීම සඳහා ඔබ දරුවා කුඩා කාලයේ දී සිදු කරනු ලබන ක්‍රියාකාරකම් බොහෝ වැදගත් බව වර්තමානයේ පරීක්ෂණවලින් පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

  1. අවධානය වර්ධනය වීමට දරුවා තුළ තිබිය යුතු වෙනත් කුසලතා මොනවාද?

අවධානය බොහෝ විට තවත් කුසලතා බොහෝමයක් සමග බැඳී පවතී. අවධානය වර්ධනය වීමට ඒ හා බැඳී පවතින කුසලතා වල බලපෑමක් ද සිදුකරනු ලබයි. ඒ අතර, දරුවා තුළ පවතින 

  • සංවේදන කළමනාකරණය 
  • භාෂා අවබෝධය හා භාවිතය 
  • ශ්‍රවණය හා ඇහුම්කන් දීම 
  • ආත්ම විශ්වාසය, උනන්දුව හා උත්සාහය 
  • ශ්‍රවණ සැකසුම් හැකියාව මෙන්ම දරුවාගේ පරිසර ද බලපෑමක් සිදු කරනු ලබයි. 

එමනිසා මෙම බලපෑම් කරනු ලබන සාධක වල ගැටළු පවතින දරුවන්ගේ අවධානයේ ගැටලු ඇති වීම සුලබ තත්වයකි. එම නිසා මෙවන් ගැටළුකාරි තත්ව පවතින දරුවන්ගේ අවධානය රඳවා ගැනීම සඳහා විශේෂ වූ ක්‍රියාකාරකම් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. 

එම නිසා ඔබේ දරුවාගේ අවධානය හා අවධානය පවත්වා ගැනීම පිළිබඳ කුඩා කාලයේ සිට සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වන අතර එහි ගැටලු පවතී නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් හා වෘත්තීයවේදීන් වෙත යොමු වීම ඉතාමත් වැදගත් කොට පෙන්වා දිය හැකි ය. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත දරුවෙක් ගොඩ නගමු…

ඔබට ඔබේ දරුවා රටක් ,ලෝකයක් වටිනවා. ඒ වගේම ඔබේ දරුවාගෙන් රටට ලෝකයට කරදරයක් නොමැති නම්..ඔහු යහපත් චරිතයකින් සමාජ හිතකාමී පුද්ගලයෙක් ලෙසින් සමාජය සමග ගණුදෙනු කරනවා නම් ඔබට ඊටත් වඩා තවත් සතුටක් නැහැ.එහෙමනම් ”ආත්මසාක්ෂාත්කරණයෙන් “යුක්ත දරුවෙකු හෙට සමාජයට දායාද කිරීම දෙමව්පියන් ලෙස අද දවසේ ඔබේ යුතුකමයි.

ආත්ම සාක්ෂාත්කරණය කියන්නේ..

සෑම පුද්ගලයෙකුටම අනන්‍ය වුන එහෙම නැත්නම් ඔවුන්ට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. මේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්නේ දෙමව්පියන් විසින්. මෙම හැකියාවන් සහ කුසලතාවයන් ඔබ විසින් හඳුනාගෙන දරුවාට ඒවා සංවර්ධනය කර ගැනීමට ඉඩක් ලබා දීම ඉතාම වැදගත්.එසේ සංවර්ධනය වුන දරුවා අනාගතයේදී තමාගේ හැකියාවන්ගෙන් සමාජයට උපරිම සේවාවක් සැපයීමට සූදානම්.ඒ වගේම තමන් උගත් දෙයින් ඔවුන් තෘප්තිමත් වේවි.මානසික සැහැල්ලුවෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ඔහු සමාජ වගකිම් සහ යුතුකම් ඉටු කරන ඵලදායී පුද්ගලයෙකු ලෙසින් අනාගතයේදී සමාජගත වීම හෙවත් ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයෙකු බවට පත් වේවි.

ආත්ම සාක්ෂාත්කරණයට පත් දරුවෙකු වෙතින් ඉස්මතු වෙන සුවිශේෂී ගුණාංග….

උගත් ශිල්පයෙහි ප්‍රවීනයෙකු වීම.

ඔබේ දරුවාට බාල කාලයේ පටන් ඔහු වෙතින් ප්‍රකට වෙන හැකියාවන් සහ කුසලතාවයන් හඳුනා ගෙන ඒවා සංවර්ධනයට ඔබෙන් ලැබෙන දායකත්වය නිසා දරුවා අනාගතයේදී තමා උගත් දෙයින් ප්‍රවීනයෙකු බවට පත් වෙනු ඇත. මෙතැනදී අදහස් කරන්නේ විභාග ඉලක්ක කර ගත් අධ්‍යාපනය පමණක් නොවේ.සාමාන්‍යයෙන් අධ්‍යාපනයට සම්බන්ධ පොදු විභාග ඉදිරියේදී දරුවා දක්ෂකම් ප්‍රදර්ශනය නොකළත් ඔහු සතුව සුවිශේෂී හැකියාවන් සහ කුසලතාවයන් රාශියක් තිබිය හැක. මව්පියන් ලෙසින් ඔබ ඒවා හඳුනා ගෙන සංවර්ධනයට ලබා දෙන දායකත්වය නිසා ඔබේ දරුවා අනාගතයේදී ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයෙකු වීම ඉතාම සරල සංසිද්ධියක් බවට පත් වෙනු ඇත.

දරුවාගේ කුසලතාවයන් සමාජයට යෙදවීම

ඔබේ දරුවා ඔහු සතුව පැවැති හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනය කර ගත් දිනක එයින් වැඩි ප්‍රතිලාභයක් සමාජයට අත් වෙනු ඇත.මෙතැනදී දරුවාගේ අකුරු ශාස්ත්‍රය පමණක් නොව සෞන්දර්යාත්මක හැකියාවන්ද සමාජයට ඉතාම යහපත් අන්දමින් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබේ දරුවා දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූයේ නම් ..එසේත් නැත්නම් ගායන ,වාදන හිල්පියෙකු වූයේ නම් ඔහුගේ හැකියාවෙන් නිවුන සමාජයක් නිර්මානය කිරීම දුෂ්කර කාර්යක් නොවේ. ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයා තමාගේ හැකියාවන් සමාජයට දායාද කිරීමට නිර්ලෝභීව ඉදිරිපත් වෙන චරිතයකි.

ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරයි..

අද බොහෝ පුද්ගලයන් යම් කටයුත්තක්  කරන්නේ එහි ප්‍රතිලාභයක් ලෙසින් තමා ප්‍රසිද්ධ කර ගැනීමයි.එහෙත් ජන වහරේ කියන පරිදි ”පිරුණ කලේ සෙලවෙන්නේ නැත…”ඔබේ දරුවා ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු වන නිසා ඔවුන් කිසි විටෙකත් ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරනු ඇත.ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් පුද්ගලයෙකුට යම් සේවාවක් සලසා එහි ප්‍රතිලාභය ලෙසින් ආත්ම තෘප්තියට පත් වීම පමණි.

සරලයි…

ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයා පරිපුර්ණ චරිතයකි. ඒ නිසාම ඔවුන්ගේ ගති පැවැතුම් බෙහෙවින් සරලය. නිහතමානීය. පුහු ආටෝපයන්ගෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ ඔවුන්ට ඇවැසි නැත.තමන්ගේ සරලබව, නිහතමානීත්වයම ඔවුන්ට ආභරණයක් වී ඇත.

විනයගරුකයි…

පුද්ගලයෙකු තුළ විනය ගොඩ නැගීමට නම් බාල කාලයේදී පටන්ම දෙමව්පියන් විසින් එම ශික්ෂණය ලබා දීම වැදගත්ය. විනය යනු නීති රීති පනවා ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ.සැබැවින්ම වටින්නේ ස්වයං විනයයි. අද බොහෝ වැඩිහිටි පුද්ගලයන් තුළ පවා නැත්තේද එයයි.කොවිඩ් වසංගතය හමුවේ පවා මෙම ස්වයං විනය නොමැතිකම නිසා වසංගත තත්වයෙන් පවා සමාජය පීඩාවට පත්ව සිටිති. එහෙත් ස්වයං විනයක් පනවා ගෙන කටයුතු කරන සමාජයකදී එය තවත් එක් අවස්ථාවක් තරම් සරල කටයුතත්කි.ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයා ස්වයං විනයකින් හැසිරෙන විනීත චරිතයක්ලෙසින් ගොඩ නැගෙනු ඇත.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී..

ඔබේ දරුවා ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ගොඩ නැගුනොත් ඔවුන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී වඩාත් සාර්ථක ගති පැවැතුම් ප්‍රදර්ශනය කරනු ඇත. සමාජයකදී අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගැනීම එතරම් පහසු කාර්යක් නොවේ. පුද්ගලයන් විවිධය. විෂමය. එවන් සමාජයක් තුළ සෑම පුද්ගලයෙකු සමග  මනා වූ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට නම් දරුවා තුළ ගොඩ නැගෙන ආත්ම සාක්ෂාත්කරණය වඩාත් ඵලදායී වෙනු ඇත.

ඉවසීම

පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමග ඉවසීමේ ගුනාංගය ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

”ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය…” කියන ලෙසින්ම ඉවසීමෙන් පුද්ගලයෙකු ලබන  ප්‍රතිලාභ වචනයෙන් විස්තර කළ නොහැක. ඒ නිසාම ඔබේ දරුවාටත් බාල කාලයේ පටන්ම ඉවසීමේ පුරුදු ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා දෙමව්පියන් ලෙසින් දරුවාට බාල කාලයේ පටන් ලබා දෙන ශික්ෂනය ඉතාම වැදගත් වේ.

කාලය කළමනාකරණය

ආත්ම සාක්ෂාත්කරණයට පත් වීමට නම් කාල කළමනාකරණය ඉතාම වැදගත් වේ. කාලය රන් වලටත් වඩා වටිනා බැව් දරුවාට පැහැදිලි කර දෙන්න. අතීතයට එකතු වන කාලය නැවත කවදා හෝ නොලැබෙන බැව් සිහියේ තබා ගෙන අද දවසේ කටයුතු හෙටට කල් නොතබා අද දවසේම ඉටු කිරීමේ පුරුද්ද දරුවා තුළ ගොඩ නගන්න.දරුවන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනය කරන විට කාලය කළමනාකරණය කිරීමේ පාඩම අමුතුවෙන් කියා දිමට අවශ්‍ය නැත.

අභියෝගවලට සාර්ථකව මුහුන දීම..

අද දවසේ ඔබේ සෙවනේ වැඩෙන දරුවා හෙට දවසේ ස්වාධීන පුද්ගලයෙකු ලෙසින් සමාජගත වූ විට අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තිය අනිවාර්යෙන්ම ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. එවැනි පෞරෂයක් නොවුන විට දරුවා අභියෝග ඉදිරියේ දුර්වල චරිතයක් බවට පත් වේ.ඒ නිසාම දරුවන්ගේ කුසලතාවයන් සහ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන දායකත්වය හමුවේ දරුවා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන හැකියාව දරුවා විසින්ම ගොඩ නගා ගනු ඇත.

එසේනම්…මව්පියන් ලෙස ඔබ දරුවාගේ අනාගතය අද දවසේ පටන්ම ගොඩ නැගීම වැදගත් බැව් අමතක නොකරන්න.දරුවා අනාගතයේදී ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් සමාජගත වීමට නම් දෙමව්පියන් ලෙස අද දවසේ ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනයට ඔබෙන් ලබා දෙන දායකත්වය ඉතාමත් වැදගත්. 

 

 

පුංචි ලිඳේ රස ගුණ වතුර

පොල් පිලිබඳව අපි වඩාත්ම කථා කරන්නේ මේද බහුල ආහාරයක් විදිහට එහි තිබෙන අගුණ පිලිබඳව පමණයි. එහෙත් දැන් සම්ප්‍රදායිකව අපි කථා බහ කළ අගුණට වඩා පොල් වතුරේ ගුණාත්මක බව  පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. මේ නව ප්‍රවනතාවාය පිලිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය  ටෙරන්ස් මදුජිත් මහතා විසින් 

අපේ පොල් යොදා ගත් අතුරු නිෂ්පාදන කීපයක් තිබෙනවා. දීසදි පොල්, කොප්පරා, වර්ජින් පොල් තෙල් . පොල් කිරි, පොල් පිටි, පොල්තෙල් සහ පොල්වතුර…

පොල්වතුර රසවත් වගේම සම්පූර්නයෙන්ම ස්වභාවික පානයක් බවට වූ පිලිගැනීම නිසා ඇමරිකාව, යුරෝපය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව සහ චීනය වැනි රටවලට අපනයන කිරීම සිද්ධ වුනා. පොල්වතුර අමුද්‍රව්‍යක් විදිහට භාවිතා කරමිින් කොකා  කෝලා (coca cola), Pepsico (පෙප්සිකෝ) වැනි නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන වෙනුවෙන් පොල්වතුර යොදා ගත්තා. ඒ වගේම අමුද්‍රව්‍යක් විදිහට පොල්වතුර යොදා ගත් නිෂ්පාදන විවිධාංගීකරණය නිසා ප්‍රභේද රාශියක් තිබෙනවා. උදාහරණයක් විදිහට රසය වෙනුවෙන් වැනිලා, කෝපි, ස්ට්‍රෝබෙරි  යොදා ගත්  පොල්වතුර නිෂ්පාදන වගේම ඇලුමිනියම් ඇසුරුම් ,කෑන්, විදිහට වෙනත් විවිධ ඇසුරුම් බිහි වුණා.

දැන් ලංකාවේත් විවිධ වර්ණ යොදා ගෙන රසවත් කළ සහ පැස්චරීකරණය කරන ලද කුඩා ප්‍රමාණයේ පොල්වතුර ඇසුරුම් විදේශ වෙළඳපොලට නිකුත් කරනවා. 2015 වසරේ පොල්වතුර ලීටර් මිලියන පහලොවක්  පමණ අපනයන කරල තිබෙනවා.

පොල්වතුර වෙනුවෙන්  සමාජයේ පිලිගැනීම ඇති වුනේ ….

බෝනොවන රෝග වෙනුවෙන් තිබෙන උනන්දුව නිසාම ආහාරවල සුරක්ෂිතාවය ගැන සමාජය උනන්දු වෙද්දී මේ නිසා හැම දෙනාම රසායනික නැත , අඩු මේද සහිත  සම්පූර්ණයෙන්ම  ස්වභාවික ආහාර වෙනුවෙන් යොමු වෙන්න පටන් ගත්තා. පොල්  වලට රසායනික යෙදීම ඉතාම අවමයි.

ඒ වගේම පොල්වතුර විෂබීජවලින් තොරයි. ස්වභාව ධර්මයෙන්ම ඒ වෙනුවෙන් නිර්මානය සිද්ධ වෙලා තිබෙනවා. ක්ෂුද්‍රජීවින්ගෙන් තොර පරිසරය ගෙඩිය වටා ඇති ආවරනය නිසාම ලැබී තිබෙනවා.

පොල් වතුරවල කැලරි ප්‍රමාණය අඩුයි. ආම්ලිකතාවය අඩුයි. PH අගය 5-6 ක් අතර . ඒත් පැණිබීම වලදී මේ ආම්ලික තාවය වැඩියි. පොල්වතුරවල  මේද ප්‍රතිශතයත් ඉතාම  අඩුයි.

පොල් ගෙඩියක වර්ධනයට වසරක් වැනි කාලයක් ගත වෙන අතර පොල් ගෙඩියක උපරිම  වතුර ධාරිතාවය තිබෙන්නේ මාස අටක කාලයේදී. එයින් පසුව පොල්වතුරේ ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ පොල්ගෙඩියකින් මිලිලීටර් තුන්සියයක් පමණ ලැබෙනවා. පැණිබීමට සාපේක්ෂව බලද්දී පොල්වතුරේ සීනි ප්‍රමාණය ඉතාම අඩුයි. පැණිබීම බෝතලයක සීනි ප්‍රමාණය ග්‍රෑම් 10-17 ක් පමණ වෙනවා.පොල්වතුර මීලිලීටර් සියයක අඩංගු වෙන්නේ සීනි ග්‍රෑම් හතරක්. පොල් ගෙඩිය මෝරන විට මේ තත්වය ග්‍රෑම් 2. 5 ක් පමණ දක්වා අඩු වෙනවා. 

පොල්වතුරේ ඛනිජ ලවණ, පොටෑසියම්, සෝඩියම් ,ක්ලෝරින්, මැග්නීසියම් වැනි සංඝටක  නිසා පොල්වතුරේ ජල විච්ඡේදක අගය රුධිර ප්ලාස්මාවේ පවතින ජලවිච්ඡේදක අගයට  ඉතාම සමානයි. ඒ නිසා සිරුරේ ලවණතාවය රැක ගැනීමට පුළුවන්. මේ  නිසා පශ්චාත් ලෝක යුධ කාලයේදී සේලයින් වෙනුවට පොල්වතුර නික්ෂේපනය කරනු ලැබුවා.එය විජලන තත්වයට ගුණ ලබා දෙන ඖෂධ නික්ෂේපනයක් විදිහට සාර්ථක වුනා.

පිලිකා රෝග පාලනය කළ හැකියි

පොල්  වතුරේ අඩංගු  Cytokinin සංයෝගය මගින් ඇතැම් පිලිකා රෝග පාලනය කළ හැකියි. ඊට අමතරව පොල් වතුරේ එන්සයිම ගණනාවක් අඩංගුයි. උදාහරණයක් විදිහට Phosphatase  (පොස්පටේස් ), diastase  (ඩයස්ටේස් ) , Reaductase ( රිඩක්ටේස් )මෙම එන්සයිම මගින් ජීරණය පහසු කරනවා. විටමින් C සුලු ප්‍රමාණයක් අඩංගුයි. විටමින් B කාණ්ඩයේ රයිබොප්ලේවින්, නියැසින් සහ Aauxin වැනි ශාඛමය හෝර්මෝනයත් පොල්වතුරේ අඩංගුයි.

පොල්වතුරේ වැඩි වශයෙන් තිබෙන්නේ සුක්රෝස්. ඊට අමතරව Sorbitol ෆ්‍රක්ටෝස්, (Galactose) Xylose, Mannsoe වැනි සීනි වර්ග ඇතුලත් වෙනවා. පොල්ගෙඩිය මෝරන විට සුක්රෝස් වැඩි වෙලා අනිත්  සීනි පහළ වැටෙනවා.

පොල්වතුරේ තිබෙන  ආවේනික සුගන්ධයට හේතු වෙන්නේ  Aldehyde වාෂ්පශීලී සංයෝගයි.

පොල්වගාකරුවන් නයිට්‍රජන් යොදා ගත්තාට පොල්වතුරේ සංයුතියට බලපෑමක් වෙන්නේ නැහැ.  පොටෑසියම් සහ පොස්පරස් පොහොර නිසා පොල්වතුරේ තිබෙන පොටෑසියම් පොස්පරස් ඉහල යන බව සොයා ගෙන තිබෙනවා. එහෙත් පැහැයට හෝ ගන්ධයට  එයින් වෙනසක් ඇති වෙන්නේ නැහැ. පොල්ගෙඩිය මෝරන විට ප්‍රතිඔක්සිකාරක ගුණය පහළ යන බව දැන් සොයා ගෙන තිබෙනවා. පොල්වතුර රත් කරන විට ලා දුඹුරුපැහැයක් ගන්නේ පොල්වතුරේ තිබෙන polyphenol oxidase එන්සයිම නිසයි.පොල්වතුර සකසන අය කල්තබා ගැනීමට ඇස්කොබික් අම්ලය එක් කරනවා. එයින් නිෂ්පාදනයේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා.

ලෝකයේ පොල්වතුර නිෂ්පාදනයෙන් ඉහළින් සිටින්නේ බ්‍රසිලයයි.  පොල්වතුර පැසවීමට ලක් කරල නටාඩි කොකෝ  (Nata de coco)වැනි මිළ අධික ආහාර් නිෂ්පාදනය කරනවා. ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල මෙය මිළ අධික අතුරුපසක්.

පොල්වතුර සකසන විට ඉහළ උෂ්ණත්වයක රත්කරල වේගයෙන් නැවත සිසිල් කරනවා. මෙය UHT ක්‍රියාවලිය යනුවෙන් හැඳින්වෙනවා. එයින් පසුව සුරක්ෂිත තත්වයක් තුළ කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරලා මුද්‍රා තබා විදේශ වෙළඳපොලට යවනවා. පොල්වතුර වෙනුවෙන් විදේශවෙළඳපොලේ ඇති වටිනාකම කොතෙක්ද කිවහොත් මිලිලීටර් තුන්සියයක පැකැට්ටුවක් ඇමරිකානු ඩොලර් හයක් පමණ වෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

ජනක්‍රිඩාවන් කළ එළි දකින සිංහල අලුත් අවුරුද්ද..

ජනක්‍රිඩාවන් කළ එළි දකින සිංහල අලුත් අවුරුද්ද..

 

සිංහල අලුත් අවුරුද්ද කිව්වාම ජන ක්‍රිඩා කළ එලි බහින යුගයක්. නමුත් අද සමාජ රටාව අනුව ජන ක්‍රිඩා වෙනුවෙන් කාලයටත් වඩා අවස්ථාවත් අඩුයි. බොහෝ දෙනා තුළ ජන ක්‍රිඩා ගැන වැටහීමකුත් නැහැ. ඒ නිසා අද අපේ පුංචි පැටව් ජන ක්‍රිඩාවන් ගැන කිසිදු දැනුමක් වගේම ඇල්මක් දක්වන්නේත් නැහැ. ඉතින්..මේ පුංචි පැටව් හෙට දවසේ අපේ අනාගතය බාර ගත් දිනයකදී ජන ක්‍රිඩා ගැන කිසිදු දැනුමක් නොමැති පිරිසක් බවට පත් වෙන්නත් පුලුවනි.

ජන ක්‍රිඩාවන් කියන්නේ…

යම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතියට ගැලපෙන ලෙස නිර්මානය වී තිබෙන ක්‍රිඩාවන් ජනක්‍රිඩා ලෙසින් හැදින්වෙනවා.ජනක්‍රිඩාවන්ට ආවේනික ලක්ෂණ කීපයකුත් තිබෙනවා.

  • සරලයි.
  • විනෝදයි.
  • සහභාගීත්වය වැඩියි.
  • උපකරණ සරලයි.
  • තරගකාරිත්වය අඩුයි.
  • කණ්ඩායම් හැගීමක් තිබෙනවා.
  • ආගමික මුහුණුවර සහිතයි.
  • සෞන්දර්යාත්මකයි.
  • එකමුතුබව ඇති වෙනවා.
  • ශාරිරික මානසික ක්‍රියාකාරිත්වය ඇති වෙනවා.

ඒ වගේම ජන ක්‍රිඩාවන් ගෘහස්ථ සහ එළිමහන් ලෙස කොටස් දෙකක්ට බෙදෙනවා.

  • ගෘහස්ථ ක්‍රිඩා
  • එළිමහන් ක්‍රිඩා

ගෘහස්ථව සිදු කරන  ක්‍රිඩාවන්…

  • ඔළිඳ කෙලිය
  • පංච දැමීම.
  • චතුරංඟ කෙලිය.
  • දාම් ඇදීම.
  • ගල් පෙලීම.
  • සොනාරු පෙත්ත.
  • සීග කෙළිය
  • නෙරෙංචි ඇදීම

මේ අතර එලිමහනේ සිදු කරන ක්‍රිඩාවන් කීපයක්ද තිබෙනවා..

  • චක්ගුඩු පැනීම
  • ඉනිවැට පෙරලීම.
  • කොප්පර පිපිඤ්ඤා
  • බුහු කෙළිය.
  • ඔන්චිලි පැදීම.
  • රබන් ගැසීම.
  • අතක පතක ක්‍රිඩාව
  • මේවර කෙළිය
  • පොරපොල් ගැසීම.
  • අං කෙලිය
  • කඹ ඇදීම

ජන ක්‍රිඩාවන්හි යෙදීමෙන් ඇති වෙන වාසි…

  • සිරුරට ක්‍රියාකාරිත්වයක් ඇති වෙනවා..

ජන ක්‍රිඩාවන්හි යෙදෙන විට සිදු වෙන ශාරිරික ක්‍රියාකාරිත්වය බෙහෙවින් වටිනවා. අද කාලයේ සිරුරට අවශ්‍ය ව්‍යායාම වෙනුවෙන් ජිම් ආයතන සොයන යුගයක සිංහල අලුත් අවුරුදු කාලයේදී ජන ක්‍රිඩාවක යෙදීමෙන් වඩාත් වාසි ලබන්න පුලුවනි.උදාහරණයක් ලෙස ජන ක්‍රිඩාවක යෙදෙන විට ශාරිරිකව ඇති වෙන දිවිම, පැනීම. උඩ පැනීම වැනි ස්වයංක්‍රියව ඇති වෙන ඉරියව් නිසා කිසිදු වෙහෙසෙක සිතට නොදැනීම ව්‍යායාම ලබා ගන්න පුලුවනි.

  • සතුට ඇති වෙනවා…

ජන ක්‍රිඩාවන්හි යෙදන විට බොහොම සතුටක් ඇති වෙනවා.මේ කාලයේදී හැම දෙනෙකුම වාගේ සතුටින් සැහැල්ලුවෙන් කාලය ගෙවන නිසා ජන ක්‍රිඩාවන්හි යෙදීමෙන් සතුටක් ලබන්න පුලුවනි. 

  • සෞන්දර්යාත්මක වින්දනයක්..

ජන ක්‍රිඩාවන් සමග සෞන්දර්ය අනිවාර්යෙන් බැඳී තිබෙනවා. ඔන්චිල්ලාවකදී වාරම් කවි ගයන්න..රබන් ගැසීමේදී ඇති නාද රිද්මය…මේවර කෙළිය…එළුවන් කෑම…වැනි ක්‍රිඩාවන්හිදී සිදු වෙන ගායනීය බව නිසා සෞන්දර්යාත්මකවත් ඇති වෙන ප්‍රබෝධය ජනක්‍රිඩාවකින් ඔබ ලබන තවත් අතිරේක වාසියක් ලෙස පෙන්වා දෙන්න පුලුවනි.

  • කණ්ඩායම් හැගීම..

ඕනෑම ජයග්‍රහණයක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙසින් අපේ සංවිධානාත්මක බව වැදගත්.ජන ක්‍රිඩාවක් සමග සම්බන්ධව තිබෙන මෙම ලක්ෂණය නිසා සාමුහිකත්වය නොදැනීම සමාජය තුළ වගා වෙනවා. එකමුතුව ජයග්‍රහනයේ එකම මාර්ගය බැව් දන්නා නිසා ඔවුන් අතර ඇති සාමුහිකත්වය ක්‍රිඩාවේ ජයග්‍රහණයට හේතු වෙන බැව් දන්නා නිසා එකමුතුව කටයුතු කිරීමේ ගති පුරුදු දරුවන් තුළ වුනත් ගා වීමට ජනක්‍රිඩාවන්ට සහභාගී වීම ඉතාම වැදගත්.

ජන ක්‍රිඩා හැමදාමත් නැහැ..

ජනක්‍රිඩා කළ එළි දකින්නේ සිංහල අලුත් අවුරුදු කාලයට නිසා දරුවන්ට ඒ ගැන යම් අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත්.ඔබට ඒ වෙනුවෙන් වටපිටාවක් නැති බව ඇත්ත..එක්රැස්වීමටත් වසංගත කාලයේ නොහැකි බවත් අපි පිලිගන්නවා.එහෙත්..දරුවන්ට ගෘහස්ථව හෝ ක්‍රිඩා කිරීමට පරිසරයක් සාදා දීම ඉතාම වැදගත්. ශක්තිමත් තැනක ඔන්චිල්ලාවක් සාදා දෙන්න…පංච පෙතක් ගෙනැවිත් දී සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දීම…වැනි ක්‍රිඩාවන්ට දරුවන්ට හදුන්වා දීමට මේ කාලය තරම් ගැලපෙන පරිසරයක් තවත් නැහැ.

ජන ක්‍රිඩාවන්ට සම්බන්ධ ඉතිහාසය කියා දෙන්න..

  • රබන් ගැසීම
  • ඊශ්වර ‍දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මානය සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක් ජන ප්‍රවාදයක් වේ .රබාන වටා නටමින් මෙන්ම දෑතින් මෙන්ම වැලමිටෙන්ද රබානට පහර දෙමින් අති දක්ෂ ලෙසින් ක්‍රිඩා කරන පිරිස් අප අතර වේ .
  • පංච කෙළිය

ජනප්‍රවාදයට අනුව ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය සිංහල සේනාවට පොළිය ලෙස සොළී රටෙන් දොළොස් දහසක් සෙනග රැගෙන එන ලදී . මෙම ගමනේදී පත්තිනි දේවියගේ සලඹද රැගෙන එන ලදී . . මේ සමගම පංච කෙළිය වැනි ක්‍රිඩාවන්ද මෙරටට සම්ප්‍රාප්ත වන්නට ඇතැයි අපේක්ෂා කෙරේ . සිංහල අලුත් අවුරුදු කාලයට කල එලි දකින මෙම ක්‍රිඩාවට සම්බන්ධ වීමෙන් පත්තිනි දේවියගේ ආශිර්වාදය තමන් වෙතට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි .

  • පොර පොල් ගැසීම

පත්තිනි දේවිය  සහ පාලඟ කුමරු සම්බන්ධව ගොඩ නැගී ඇති මෙම ක්‍රිඩාවේදී වැස්ස සහ සශ්‍රිකත්වය බලාපොරොත්තු වේ .උණ රෝග , ගව සහ කුකුළු වසංගත නියඟය වැනි අවස්ථාවන්ගෙන් සහනය අපේක්ෂා කළේ පොර පොල් ක්‍රිඩාවෙන්ය .

  • අං කෙළිය

පත්තිනි දේවිය වෙනුවෙන් සිදු කරන මෙම ක්‍රිඩාවේදී පත්තිනි දේවිය  සහ පාලඟ කුමරුගේ කතාව ගායනයෙන් ඉදිරිපත් කරයි .වර්ෂාව බලාපොරොත්තුව සිදු කරණ මෙම ක්‍රිඩාවේ උද්වේගකර අවස්ථාව අනුව ගීයේ ස්වභාවය වෙනස් වේ .

  • අං කෙලිය

පත්තිනි දේවිය මුල් කර ගත් ක්‍රිඩාවන් දොලහක් ඇති අතර එයින් මුල්ම ක්‍රිඩාව අං කෙලියයි . සොලි වංශයේ මායා රජුට සිටි පාළභ නම් කුමරු පත්තිනි දේවිය සමග විවාහ විය .දිනක් මේ දෙදෙනා උයනට ගිය විට සපුමල් සුවඳක් දැනෙන්නට විය .අවාරයේ දැනෙන සපුමල් සුවඳඔස්සේ ගිය ඔවුන් මල් පිපි තිබුන ඉසව්ව සොයා ගන්නා ලදී .බිම සිට කඩන්නට බැරි ඉසව්වක තිබුන මල් කඩන්නට කෙකි දෙකක් කපා ගත් අතර එකක් පත්තිනි දේවිය සමග සටි පිරිසද අනෙක් කෙක්ක කුමරුන් සමග සිටි පිරිසද අතරට ලැබුණි  කෙකි දෙක පැටලී අවසානයේදී පිරිමින් අතර වූ කෙක්ක බිඳී ගියෙන් මෙම සිද්ධිය සිහිපත් කරන්නට අංකෙලිය බිහි වූ බව ජනප්‍රවාදයේ සඳඳහන්ය .

  • කඹ ඇදීම

සිංහල අළුත් අවුරුදු කාලයේදී දක්නට ලැබෙන කඹ ඇදීම සිංහළ ජන ක්‍රිඩාවන් අතරට ගැනෙන විශේෂිත ක්‍රිඩාවකි . මෙම ක්‍රිඩාව නාවිකයන්ගෙන් ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ . මාස ගණනක් මුළුල්ලේ මුහුදු ගමනෙහි යෙදුන නැවියන් ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා කඹ ඇදීම සිදු කළ බැව් විශ්වාස කෙරේ .

අපේ සංස්කෘතික වටිනාකම් හඳුනා ගැනීම..

පුද්ගලයෙකුගේ පැවැත්ම ඔවුන්ගේ අතීතය සමග බොහොම සම්බන්ධයි.රටක වුනත් ඉතිහාසය මගින් ජාතියක අබිමානය ගොඩ නගනවා. ජන ක්‍රිඩාවන්ට සම්බන්ධ වීම සමග දරුවන් තුළත් අපේය..අපේම ක්‍රිඩාවන්..කියන සංකල්පය නොදැනීම ගොඩ නැගෙනවා. අද හැම තැනින්ම ඇසෙන්නේ අපේ රට.. අපේ ජාතිය.. අපේ දරුවන් පිරිහෙන අන්දම ගැන දුක් ගායනා වුනත් මේ එකම රටාව කියමින් සිටිමට වඩා අපේය අපේ රට..ජාතිය යන සංකල්පය ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

 

 

 

 

ඔබේ දරුවා දියවැඩියා රෝගියෙකු නම් ප්‍රතිකාර කිරීමේදී මේ කරුණු ගැනත් සිතන්න

නිරෝගී දරුවෙක් මව්පියන්ගේ එකම පැතුම වුවත් යම් යම් හේතු මත දරුවෙකු රෝගී තත්ත්වයට පත් වීම සැබවින්ම දුක්ඛිත තත්ත්වකි. විශේෂයෙන්ම තමන්ගේ දරු පැටියා දියවැඩියා වැනි රෝග තත්ත්වයකට ගොදුරු වීම මව්පියන් ලෙස දරා ගැනීමට අපහසු තත්ත්වයක්. එය එසේ වුවත් අතරමග හැරීමට නොහැකි මව්පියන් වන ඔබේත් මගේත් වගකීම් සමුදායේ කිසිවක් අත්හැරිය නොහැකි බවයි. අන්න ඒ නිසා දියවැඩියාව නොව ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවත් ධෛර්යවන්තව දරුවාද කැටුව ඉදිරියට යාමට මාපියන් වශයෙන් අපි ශක්තිමත් විය යුතුමය. 

දියවැඩියා තත්ත්වය හේතුවෙන් දරුවෙකුට මුහුණ දීමට සිදු විය හැකි සංකූලතා පිළිබඳව අපි දැනුවත් වෙමු.

කීටෝ ඇසිඩෝසියාව

මෙහිදී මේදය බිඳ හෙලීම නිසා රසායනිකයක් වන කීටෝන දේහ ඇති වන අතරම එමගින් රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම සිදු වේ. මේ තත්ත්වයේදී රෝහල් ගත වී ප‍්‍රතිකාර ගත යුතුය. බොහෝ විට දැඩි සත්කාර ඒකකයේදී සාත්තුව ලබාදේ. ප‍්‍රතිකාර නොකළහොත් දියවැඩියා කෝමා තත්ත්වයට පත්වන අතරම මේ තත්ත්වයේදී දරුවා අසිහිය තත්ත්වයට පත්වේ. මෙසේ වන්නේ රුධිරයේ ඇති අධික සීනි ප‍්‍රමාණය නිසා මොළය ඉදිමීම හේතුවෙනි.

මෙය ඇති වීමට හේතු වන්නේ,

  • නිසි ලෙස ප‍්‍රතිකාර නොගැනීම
  • නිසි ඉන්සියුලින් මාත‍්‍රාව ලබා නොගැනීම
  • නිසි උපදෙස් පිළිපදිමින් ආහාර නොගැනීම
  • ආසාධන පැවතීම

මන්ද මධුරක්තිය (Hypoglycemia)

එනම් ඉන්සියුලින් ලබාදෙන විට හෝ වෙනත් ප‍්‍රතිකාරයකදී රුධිර ගත සීනි ප‍්‍රමාණය අඩුවීමය. 

  • වකුගඩුවලට හානි වීම. – Nephropathy
  • ස්නායුවලට හානි වීම – Neuropathy
  • අන්ධභාවය – Retinopathy
  • සම හා පාදයේ ගැටලු
  • හෘද රෝග හා රුධිරවාහිනී රෝග
  • දත් හා විදුරුමස්වල ගැටලු
  • පද කපා ඉවත් කිරීම

දරුවෙකු දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වීමට ඇති අවධානම් සාධක

  • බර/තරබාරු බව (Obesity/over weight) – සාමාන්‍යයෙන් දරුවන්ගේ මේද පටක වැඩිපුර පිහිටන්නේ උදරය වටා, පේශී හා සම අතරයි. 
  • අක‍්‍රීයභාවය (Inactivity)ක‍්‍රියාකාරී වන විට බර පාලනය වේ. ග්ලූකෝස් ශක්තිය ලෙස ප‍්‍රයෝජනයට ගනී. 
  • පවුල් ඉතිහාසය – මව්පියන් හා කිරි අම්මා/ කිරි අත්තා දියවැඩියා රෝගීන් වීම
    • ජාතිය – අප‍්‍රිකානු, ආසියානු, ඇමෙරිකානු ජාතිකයන් සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ බව පැවසේ‍‍
  • වයස හා ස්ත‍්‍රී/පුරුෂ භාවය -ඇතැම් විට දරුවන්ගේ දියවැඩියා තත්ත්වය හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන්නේ වැඩිවියට පත්වීමට ආසන්නයේදීයි 
  • උපත් බර අඩු වූ විට හා ගර්භනීභාවයේදී දියවැඩියාව ඇති වීමේ අවදානමක් ඇත

දියවැඩියා තත්ත්වයට ගොදුරු වූ දරුවෙකුට ලබා දිය යුතු ප‍්‍රතිකාර හා සාත්තුව

ඉන්සියුලින් ප‍්‍රතිකාරය 

මෙම ප්‍රතිකාරය Type I ආකාරයේ රෝග තත්ත්වයේදී ලබාදේ. මෙහිදී උදෑසන ආහාරය පැය ½ ට පෙර ඉන්සියුලින් ලබාදීම (වර්තමානයේ ඇති ඉන්සියුලින් වර්ග සමහරක් ආහාර ලබාදෙන විට ලබාදිය හැක) සිදු කෙරේ. 

මෙහිදී,

  • ක‍්‍රමානුකූලව එන්නත ලබාදෙන ස්ථාන මාරු (එවිට පළමුවරට දුන් ස්ථානයට නැවත දීමට සිදුවන්නේ සති කිහිපයකිනි) කරයි. 
  • එන්නත සීත දාමය නොකැඩෙන ලෙස ශීතකරණයේ 20C- 80C උෂ්ණත්වයක තැබිය යුතු අතරම එය ලබා දීමට පෙර කාමර උෂ්ණත්වයට පත් විය යුතුය.
  • සිරින්ජරයට මාත‍්‍රාව ගැනීමට පෙර කුප්පිය දෑත් අතර සෙමින් කරකැවීමෙන් හොඳන් මිශ‍්‍ර කළ යුතුය
  • එන්නත සමට යටින් ඇති පේශී පටලයට (උපත්වචීය පටකය – subcutaneous – S/C) ලබාදෙයි. 

ඉන්සියුලින් ලබාදීමේදී ඉන්සියුලින් සන්‍යාසය (කෝමා) ඇතිවිය හැක. ඇතැම්විට මෙහිදී රුධිරයේ සීනි මට්ටම ක්‍ෂණිකව අඩුවිය හැකි අතරම ඒ තත්ත්වයේ ලක්‍ෂණ ලෙස,

  • හදිසි කුසගින්න
  • ශරීරයේ දුර්වල බව
  • නොසන්සුන් බව
  • සුදුමැලි වීම
  • අධික ලෙස දහදිය දැමීම
  • වෙව්ලීම
  • කරකැවිල්ල
  • ශරීර උෂ්ණත්වය අඩුවීම
  • පෙනීමේ වෙනස්කම්
  • ඇසේ කණීනිකාව විස්තාරණය
  • සිහි නැති වීම 

මේ තත්තවයට හදිසියේම නිවසේදී මුහුණ දීමට සිදු වුවහොත් සීනි සහිත පානයක්/ග්ලූකෝස් වැනි යමක් බීමට දිය යුතුය. 

දරුවාගේ වර්ධනය හා විකසනය නිසි තත්ත්වයේ පවත්වා ගැනීමට,

  • ව්‍යායාම, ක‍්‍රියාකාරීත්වයට, ශරීර බරට හා පවුලේ ආර්ථිකයට ගැලපෙන ආහාර වේලක් ලබා දිය  යුතුය
  • කොලෙස්ටෙරෝල් මට්ටම (Serum cholesterol level) සාමාන්‍ය අගයෙහි තබාගත යුතුය 
  • ශරීර බර ප‍්‍රශස්ත මට්ටමක තබා ගත යුතුය
  • පෝෂණ අවශ්‍යතා සපිරි මේද එනම් කාබෝහයිඩ්‍රේට් (55%), මේදය (25%-30%), ප්‍රෝටීන (20%) නිසි මට්ටමෙන් ලබාදිය යුතුය
  • ආහාර දවස පුරාම ලැබෙන පරිදි සැලසුම් කළ යුතු අතර ක‍්‍රියාකාරීත්වය අනුව වෙනස් කළ යුතුය. 
  • ආහාර පාලනයේ වැදගත්කම පැහැදිලි දරුවාට වැටහෙන අයුරින් පැහැදිලි කළ යුතුය
  • දරුවාට ස්වාධීනව වර්ධනයට ඉඩ සැලසිය යුතුය 
  • දරුවා රෝගියෙකු ලෙස සැලකීම නොකළ යුතුය 
  • දරුවාගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට සහය දිය යුතුය
  • රෝගය සමග ජීවත් වීමට දරුවා හැඩගැස්විය යුතුය 
  • දියවැඩියා තත්ත්වයට ගොදුරු වූ දරුවාට සම වයසේ දරුවන් සමග කාලය ගත කිරීමටත් ඔවුන් සමග අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දිය යුතුය 

 

දියවැඩියා තත්ත්වය ඇති දරුවා වෙනුවෙන් දෙමාපියන් දැනුවත් විය යුතු වැදගත් කරුණු

දියවැඩියා තත්ත්වයට ගොදුරු වූ දරුවෙකු සිටී නම් දරුවා මෙන්ම මාපියන්ද පහත කරුණු පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම වැදගත් වේ. 

1.ව්‍යායාම, චිත්තවේගීය ආතතිය හා ආසාධන තත්ත්ව සමගින් ඉන්සියුලින් අවශ්‍යතාව වෙනස් වන ආකරය දරුවාට පැහැදිලි කිරීම මගින් ක්‍රියාශීලී දින චර්යාවකට දරුවා යොමු කිරීම. 

2.මධුමේහ ආම්ලිකතාවය (Diabetic Reto Acidosis) ඉන්සියුලින් කෝමා තත්ත්වය හඳුනාගන්නා ආකාරය මෙන්ම එය වැළැක්වීමට සහ ප‍්‍රතිකාර පිළිබඳව දැනුවත් විය යුතුය.

3.ආසාධන වැළැක්වීමට ගත යුතු පියවර ක්‍රියාත්මක කළ යුතුය 

  • නැහැවා පිරිසිදුව දරුවා තබා ගැනීෂ
  • පාද සාත්තුව හා සමේ සාත්තුව
  • සමේ තුවාල සඳහා ඉක්මන් ප‍්‍රතිකාර

ආසාධන සඳහා ඉක්මන් ප‍්‍රතිකාර

4.ගැලපෙන සුවපහසු පාවහන් තෝරාදීම

5.කාලගුණයට ගැලපෙන ඇඳුම් තෝරාදීම

6.වයසට නියමිත ප‍්‍රතිශක්තීකකරණය ලබා දීම

7.මුත‍්‍රා පරීක්‍ෂාව සිදු කිරීම පිළිබඳව දැනුවත් කිරීම.

8.ආහාර පාලනය උනන්දු කරවීම සහ උදව් වීම

9.ඉන්සියුලින් ලබා දීම පිළිබඳව දරුවා දැනුවත් කිරීම

10.නිරීක්‍ෂණය යටතේ දරුවාට නිවැරදිව එන්නත් මාත‍්‍රාව ගැනීමටත් එන්නත ලබාගැනීමටත් (වයස් සීමාව අනුව හැකියාව නම්) සැලැස්වීම

11.විෂබීජ ඇතුළු නොවන සේ ආරක්ෂිතව එන්නත ලබාගන්නා ආකාරය පැහැදිලි කිරීම 

12.තම ආරක්‍ෂාවට ගතයුතු පියවර පිළිබඳව දරුවාට පැහැදිලි කිරීම

13.නිතර රෝග විනිශ්චය කාඩ්පත ළඟ තබාගැනීම

14.හදිසි අවස්ථාවට ප‍්‍රයෝජනයට ගැනීමට ග්ලූකෝස් ස්වල්පයක් දරුවා ළඟ තබාගැනීමට දැනුවත් කිරීම

 

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් අනුව යමින් දරුවාගේ ආහාර වේල සකස් කිරීමත් සැමවිටම ක්‍රියාශීලී දිවිපෙවෙතකට දරුවා හුරු කිරීමත් ඉතා වැදගත් වන බව දෙමාපියන් වශයෙන් ඔබ සිහිතබා ගත යුතුමය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

දියවැඩියා තත්ත්වය මත දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?

දියවැඩියාව කියූ සැනින් වැඩිහිටියන්ගේ රෝගයක් ලෙස සිතුණත් අද වන විට මේ රෝග තත්ත්වයට ගොදුරු වූ කුඩා දරුවනුත් දැකගත හැකියි. කාබොහයිඩ්‍රේට් පරිවෘත්තියෙහි අසාමාන්‍යතාවයක් මත රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පවතින නිසා මුත‍්‍රා සමග ග්ලූකෝස් පිටවන රෝගී තත්ත්වයක් වන මේ රෝග තත්ත්වය මේද හා ප්‍රෝටීන පරිවෘත්තියෙහි අසාමාන්‍යතා හේතුවෙන්ද ඇති විය හැකිය. වේ. මෙය Auto Immune රෝගයකි. මෙහිදී ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලවලට හානිකරයි. ඉන්සියුලින් යනු හෝමෝනයකි. එමගින් රුධිරයේ ඇති සීනි සෛල තුළට ඇතුළු කිරීමට උපකාරී වේ. මෙසේ රුධිරයේ ඇති සිනී ප‍්‍රමාණය සෛල තුළට ඇතුළු නොවීම නිසා රුධිරයේ සිනී මට්ටම වැඩිවේ. මෙය Hyperglycemia (අති මධුරක්තිය) ලෙස හඳුන්වයි. 

දියවැඩියා රෝග තත්ත්වයේදී සිරුරේ ඇති වන වෙනස්කම් පහත පරිදි වේ. 

  • අග්න්‍යාශයෙන් ප‍්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම. 
  • ශරීරයට ග්ලූකෝස් නියම ආකාරයෙන් දහනය කිරීමට නොහැකි වීම.
  • මේදය හා ප්‍රෝටීන අසාමාන්‍ය ලෙස දහනය වීම. 
  • පටකවලට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ග්ලූකෝස් ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි බැවින් රුධිර සිනී මට්ටම වැඩිවීම. 
  • වකුගඩු වලින් රඳවා ගත හැකි ප‍්‍රමාණයට වඩා රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය ඉහළ යාමෙන් ග්ලූකෝස් මුත‍්‍රා සමග පෙරී යාම. 
  • ශරීරයෙන් වැඩිපුර ජලය පිටවීම නිසා විජලනය ඇතිවීම. 
  • වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම. 
  • මේදය අසාමාන්‍ය ලෙස දහනය වීමෙන් රසායනිකයක් වන කීටෝන දේහ ඇතිවීම. 
  • මුත‍්‍රා සමග කීටෝන දේහ පිටවීම.
  • කීටෝනියාව වැඩිවීමෙන් ඇසිඩෝසියාව ඇතිවීම. 

දියවැඩියාව ප‍්‍රධාන ලෙස ආකාර 02 කි. 

  1. පළමු වර්ගයේ දියවැඩියාව (Type I Diabetes Mellitus)
  2. දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus)

 

පළමු වර්ගයේ දියවැඩියාව (Type I Diabetes Mellitus)

මේ තත්ත්වය ඕනෑම වයසක පුද්ගලයෙකුහට ඇති විය හැකි අතර දරුවන් අතර බහුලව දැකිය හැකි වන්නේ වයස අවුරුදු 4 – 6 හා අවුරුදු 10 – 14 යන වයස් ඛාණ්ඩවලයි. මෙහිදී අග්න්‍යාශයේ බීටා සෛල ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් විනාශ කිරීම නිසා ඉන්සියුලින් නිපද නොවේ. මෙය ආරය නිසාද ඇති විය හැක. තයිරොයිඩ් ග‍්‍රන්ථි රෝග ඇති දරුවන්ට ද රෝගය ඇති වීමේ අවධානමක් පවතී. 

ඉන්සියුලින් හිඟවීම නිසා මේ තත්ත්වයට පත්විය හැකි අතරම සැකිලි පේශීවලට ග්ලූකෝස් භාවිත කිරීමට නොහැකි වේ. මේ නිසා ශක්තිය ලබාගැනීමට මේදය බිඳ හෙලයි. මේදය බිඳ හෙළිමෙන් කීටෝන දේහ ඇති වේ. මෙමගින් රුධිරයේ ආම්ලිකතාවය වැඩිවේ. කීටෝ ඇසිඩෝසියම (Keto acidosis) ඇති වේ.  මේ තත්ත්වය මත ජීවිත තර්ජනයක් වුවද ඇතිවිය හැක. 

දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus)

වයස අවුරුදු 15 – 19 අතර දරුවන්ට බහුලව ඇතිවිය හැකි තත්ත්වයක් ලෙස දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus) හැඳින්විය හැකි අතරම අතර දරුවාගේ මහත/තරබාරුව (Obesity) යන තත්ත්ව මත සමානුපාතිකව ඇති වේ. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ශ‍්‍රාවය වන මුත් විවිධාකාරයෙන් ඉන්සියුලින්වලට ප‍්‍රතිරෝධී වේ. ශ‍්‍රාවය වන ඉන්සියුලින් ප‍්‍රමාණය රුධිරයේ සිනී මට්ටම පාලනයට ප‍්‍රමාණවත් නොවේ. මෙයට බොහෝ විට හේතු වන්නේ තරබාරු බව හා පවුලේ ආරයයි. 

දියවැඩියා තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන මූලික ලක්ෂණ 

  1. පිපාසය 
  2. අධික ලෙස මුත‍්‍රා පිටවීම 
    • දරුවන්ගේ Diapers නිතර මාරු කිරීමට සිදුවේ. 
    • දහවල් කාලයේ මුත‍්‍රා අසංයමයක්ද පැවතිය හැක.
    • රාත‍්‍රී කාලයේදී වැඩිපුර මුත‍්‍රා පිට වීම (ඇඳ තෙමීම, ඇඳුම්වල මුත‍්‍රා පිටවීම)
  3. අධික ලෙස ඇතිවන කුසගින්න (polyphagia) නමුත් බර අඩුවේ. 
  4. ශරීරය ක්‍ෂය වීම 
  5. ඉතා ඉක්මණින් වෙහෙසට පත්වීම. 

සුළු ලක්‍ෂණ

  • චර්ම ආසාධන
  • සම වියළීම
  • ගැහැනු දරුවන්ගේ යෝනි ආශ්‍රිතව දීලිර ආසාධන ඇති වීම (යෝනි ප‍්‍රදාහය)

දියවැඩියා තත්ත්වය උග්‍ර වීමෙන් ඇති විය හැකි තත්ත්ව

මධුමේහ ඇසිඩෝසියාව (Diabetic ketoacidosis (DKA))

මෙහිදී පෙර කෝමා අවස්ථාවේදී 

  • නිදිබර ස්වභාවය
  • වියළි සම
  • දෙතොල් රත්පැහැවීම
  • ස්වසන වේගය වැඩිවීම
  • ඔක්කාරය හා වමනය
  • උදර වේදනාව වැනි රෝග තත්ත්ව පෙන්නුම් කරයි.

එසේම කෝමා තත්ත්වයේදී

  • කූෂ්මාල් (දියවැඩියා රෝගියා අශ්වාස ප්‍රශ්වස කිරීමේ ආකාරයක්) ස්වසනය
  • ඇස් යටට ගිලීයාම
  • උදරයේ තද ගතිය
  • දුර්වල වේගවත් නාඩි
  • ශරීර උෂ්ණත්වය අඩුවීම
  • රුධිර පීඩනය අඩුවීම

වකුගඩු අක්‍රිය වීම

වකුගඩු අක්‍රිය වීම ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ‍රෝගී දරුවා පහත පරීක්ෂණ වෙත යොමු කරනු ලබයි.

1.FBS – Fasting Blood Sugar

පැය 8 ක කාලයක් නිරාහාරව සිට ශිරා රුධිර සාම්පලයක් ගැනීම. (රුධිර සීනි ප‍්‍රමාණය ≥126mgldl (≥7mmol-1) ට වඩා වැඩිවීම)

2.RBS – Random Blood Sugar

දවසේ  ඕනෑම වේලාවකදී රුධිරය ලබාගෙන සිදු කළ හැක. 

RBS ≥200mgldl (≥11.1mmdl-1)

3.PPBS – Post Prandial Blood Sugar

ඉතා හොඳ සමබල ආහාර වේලක් ගෙන පැය 2 කින් පසුව රුධිර සාම්පලයක් ගෙන පරීක්‍ෂා කරයි. 

HbA1C 6.5%

4.GTT – Glucose Tolerance Test

ග්ලූකෝස් 75mg ජලය 150ml දියකර බීමට දී රුධිර සාම්පල් හා මුත‍්‍රා සාම්පල් ගැනීම. පරීක්‍ෂණ ආරම්භ කිරීමට පෙර රුධිර හා මුත‍්‍රා සාම්පල් ගත යුතු වේ. 

අද වන විට දරුවන් දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානම් ඇතැයි කිවහොත් නිවැරදිය. නිසි සමබල ආහාර වේලක් නොගැනීම, ක්‍රියාශීලී බවින් තොර වීම මේ තත්ත්වයට හේතුවන තවත් කරුණු වේ. එසේම දරුවෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ කෙරෙහි මව්පියන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය. තවත් ලිපියකින් දියවැඩියාව හේතුවෙන් දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා, ප්‍රතිකාර මෙන්ම දරුවෙකුට සාත්තාර කළ යුතු ආකාරය ගැන සකච්ඡා කරමු.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

පුංචි පැටියට ඉදිකටුවක් නූලක් අල්ලන්න දෙන්න

මීට දශක කීපයකට පෙරාතුව නම් අපේ රටේ පංති පාඩමට මැහුම් වෙනුවෙන් වෙන් කළ කාලපරිච්ඡේදයක් තිබුණා. ඒ නිසා සෑම දරුවෙක්ම ඉදිකටුව,නූල අල්ලන්න බයක් දැක්වූයේ නැහැ. ඒත් අද දවසේ පුංචි පැටියට ඉදිකටුවක් නූලක් අල්ලන්න දෙන්න අපේ අම්මලා බයයි. 

දැන් ඉතිං මහන්න අවශ්‍ය නැහැ…

ඉස්සර වගේ දැන් ගැහැණු දරුවන්ට ඇදුම් මහන්න ඉගෙන ගන්න ඕන නැහැ. ඊටත් දැන් කවුද ඇඳුම් මහගෙන අඳින්නේ..ඔබ මේ විදිහට හිතුවත් දරුවෙකු විසින් යමක් මැසීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.

අත හුරුවීම

දරුවන්ගේ සියුම් ඇගිලිවල ක්‍රියාකාරිත්වයට ඉදිකටුවක් සමග ගණුදෙණුව ඉතාම වැදගත්. දරුවාට ඉදිකටුවෙන් කටයුතු කරන පරිස්සම ගැන අම්මාගෙන් ලැබෙන දැණුවත් වීම සමග ඇයට ඒ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.ඉදිකටුව අතේ ඇන ගන්නේ නැතුව මහන සංයමය පවා දරුවා එතැනදී ඉගෙන ගන්නවා. ඒ නිසා දරුවෙකුගේ සංයමට අලුත් පාඩමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

ඉවසීම

දරුවක් යමක් මසන විට එය බොහොම ඉවසීමෙන් කරන දෙයක්.හදිසියේ කිරීම ඉතාම අපහසුයි. ඒ වගේම අවධානය දැක්වීමත් ඉතාම වැදගත්. ඉදිකටුව සහ මැස්ම අතර අවධානය රදවා ගැනීමට දරුවාට ලැබෙන පාඩම අපට සරලව හිතන්න බැහැ.විනාඩ 40 ක් එකතැන ඉන්න බැරි දරුවා සමහර විට මහන්න දෙයක් අතට ගත්තොත් අවධානයෙන් කටයුතු කරන රටාව ඉගෙන ගනීවි.

නිර්මාණශීලිත්වය වැඩි වෙනවා..

මැහුමක් කියන්නේ බොහොම නිර්මානශීලී කටයුත්තක්. අතීතයේදී දරුවන් කඩදාසි බෝනික්කන්ට කඩදාසි වලින් විවිධ ඇඳුම් සකස් කළා. එය බොහොම අහිංසක ක්‍රිඩාවක්. කඩදාසි බෝනික්කන්ට තමන්ගේ හිතේ මැවෙන අන්දමින් ඇඳුම් සකස් කිරීම එදා ගැහැණු දරුවන්ගේ විනෝදාංශයක්.ඊටත් අමතරව අත් කකුල් ඇති ප්ලාස්ටික් බෝනික්කන්ට නිවසේ ඉතුරු රෙදි කැබැලිවලින් ලස්ස ගවුම් සකස් කිරීම ඔවුන්ගේ විනෝදාංශය වුණා. ඒ නිසාමදෝ අපුරු අන්දමේ නිර්මානශීලී කටයුතු ඔවුන් වෙතින් නිර්මානය වුණා.

ඇස් අතර  සම්බන්ධීකරණය වැඩි වීම

අද කාලයේ දරුවන් විද්‍යුත් මෙවලම් සමග සිදු කරන ගනුදෙනුව නිසා ඇස් දුර්වල වීම සහ ස්නායු පිලිබඳ ගැටළු ඇති වුනත් මැහීමේ කටයුතුවලදී ඇස් අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නගනවා. වේදනාව සමනය කිරීමට සහ මොළයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා.

බුද්ධියට ව්‍යායාමයක්.

සාමාන්‍ය මැස්මක් මහන විට වුනත් එය කපන, මූට්ටු කරන අන්දම ගැන දරුවා යම් වයසකදී හිතන්න පටන් ගන්නවා. නමුත් කතිර මැස්ම වැනි බුද්ධිය සහ අවධානය දක්වන මැහුම් ක්‍රම නිසා දරුවාගේ බුද්ධියට ලැබෙන වයායාමය ඉතාම වැදගත්. කතිර ගනන් කිරීම සහ ඒ අනුව මැස්මට දක්වන අවධානය ඉතා වැදගත්.

විවේකය යහපත් පරිදි ගත කරන්න පුලුවනි..

තමන්ගේ විවේක කාලයේදී මැහුමක් ගෙතුමක් කිරීම නිසා විවේක කාලය ඉතා යහපත් අන්දමින් ගෙවන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මැහුමක් හෝ ගෙතුමක් අවසානයේදී තමන්ගේ අතින් මැවුන නිර්මානය ගැනත් ලැබෙන සතුට මුදලින් තක්සේරු කිරීමට බැරි තරම් වටිනවා.

මැහුම් මගින් ආතතිය හා කාංසාව සමනය කරන්නේ කෙසේද?

ඔන්න සේරටම වඩා වැදගත් දේ…මැහුමක් මැසීමෙන් අප ලබන සතුට නිසාමදෝ සතුටට හේතු වන ඩොපමයින් රසායනය නිපදවීමට උපකාරී වෙනවා.  ඒ නිසා  දිගු කාලීනව ඔබේ දරුවා සතුටින් තබා ගැනීම ඉතා පහසුයි.

දරුවන්ට පමණක් නොවෙයි ඕනෑම කෙනෙක් නිදන්ගත ආතතියෙන් හා කාංසාවෙන් පීඩා විඳින්නේ නම් මැහුමක් වැනි කටයුත්තක් වෙත යොමු වීමෙන් ඔවුන්ගේ සෘනාත්මක සිතුවිලිවලින් මුදවා ගත හැකියි.

ඇගයීමක් දෙන්න..

දැනටත් තාක්ෂණ කුසලතා විෂය වෙනුවෙන් ඇතැම් දරුවන් කතිර මැස්මෙන් සිදු කරන නිර්මාන ඇතැම් දෙමව්පියන් විසින් පින්තුර රාමුවක් යොදා නිවසේ එල්ලා තබනවා. මෙය ඉතාම වැදගත්. එයින් දරුවාගේ හැකියාවට ලැබෙන ඇගයීම නිසා ඔවුන් තව තවත් විසිතුරු මැහුම් රටා වෙත යොමු වෙනවා. සැබැවින්ම ගැටපිස්මේන්තුව, ප්‍රංශ ගැටය වැනි විසිතුරු මැහුම්වලින් දරුවන්ගේ හැකියාව හැඩ ගැන්වීමත් ඉතාම වැදගත්.

අනාගත ආයෝජනයක්..

දරුවෙකුට තමන්ගේ ඇඳුමක් සකස් කර ගැනීමට ලැබෙන දැණුම නිසා අනාගතයේදී ඇදුම් වෙනුවෙන් සිදු වෙන වැය බර අඩු කර ගත හැකියි.උදාහරණයක් විදිහට කොට්ටඋරයක්, ඇද ඇතිරිල්ලක් වැනි දෙයක් ඉතා අලංකාරව තමන්ගේ දෑතින් නිර්මානය වීමෙන් ලබන ඇගයුම තක්සේරු කිරීමට පවා අපහසුයි.

ආදායම් මාර්ගයක්

ඔබේ පුංචි පැටියා හැමදාම ඔය විදිහට ඉන්නේ නැහැ.යම් දවසක ඔවුන් තමන්ගේම ජීවිතයක් ගොඩ නගා ගන්නවා. අන්න එවැනි දිනකදී නිවසේ ඉදන්ම අතිරේක ආදායමක් ලබා ගැනීමටත් ඔවුන් අද දවසේ ලබන මේ ඉගෙනුම වැදගත් වේවි.සමහර විට ඔවුන් නොදැනීම විහාල ව්‍යවසායකයින් බවට පත් වීමට පවා මේ පන්නරය උපකාරී වෙන්න පුලුවනි.

මැහුම මිතුරා කරගන්න..

ඔබේ දරුවාට මේ වාසි ලබා ගත හැක්කේ මැහුම මිතුරා වුනොත් පමණයි. ඒ වගේම මැහුම සමග මිතුරු වුනොත් උක්ත වාසි ලැබෙනවා වගේම විද්‍යුත් මෙවලම්ව නිල් ආලෝකයෙන් වගේ අහිතකර තත්වයන් ඇති වෙන්නෙත් නැහැ.ඒ නිසා පුංචි හිතට සතුට ඇති වෙන අන්දමින් පුංචි වයසේ පටන්ම මැහුම් ගෙතුම් සමග දරුවා මිතුරු කළොත් දෙමව්පියන් විදිහට ඔබ දිනුම්.

 

දරුවන්ගේ මල මුත්‍ර ආවේග

පුංචි පැටියාගේ ආහාරපාන වගේම මල මුත්‍රා කිරීම් ගැනත් මව්පියන්ගේ අවධානය දැක්විම ඉතාම වැදගත්.තොටිල්ලේ සිටියදී නම් මල මුත්‍ර පිටවීම දරුවාගේ හැඬීමෙන් අපට සන්නිවේදනය වුනත් කාලය සමග දරුවාට මල මුත්‍ර පිලිබඳ ස්වභාවික වාත වේග දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසාම ඔවුන්ට මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට ඒ ගැන මව්පියන් වෙත සන්නිවේදන කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වුනත් මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය ගැන මව්පියන් දැනුවත් නොකරන පුංචි පැටවුන් නැතුවා නොවෙයි.

රාත්‍රි නින්දෙන් ඇද තෙමීම

වයස අවුරුදු පහක් පමණ වෙන විට දරුවාට රාත්‍රි නින්දේදී මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනුනොත් ඒ ගැන දෙමව්පියන්ට කියන්න පුලුවනි.දිවා කාලයේදී වුනත් මේ පනිවිඩය දැනුම් දෙන්න වගේම වැසිකිලියට යන තෙක් අවශ්‍යතාවය පාලනය කර ගැනීමේ හැකියාව දරුවන්ට තිබෙනවා.ඒත් ඇතැම් දරුවන් රාත්‍ර නින්දෙන් ඇද තෙමීම හෙවත් මුත්‍රා පිටකිරීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

ඇඳ තෙමීමට බලපාන හේතු

  • ඇතැම් දරුවන්ගේ මුත්‍රාශයේ ගෙල නිසි පරිදි පරිණත නොවීම නිසා මුත්‍රා පිටවීම ගැන ස්වයං පාලනයක් ඇති කර ගැනීම අපහසුයි.
  • මානසික ආතතිය
  • මුත්‍රා මාර්ගයේ ආසාදන
  • පාරම්පරික හේතු

පුංචි කාලයේවත් නොකළ දෙයක් මේ..

සමහර දරුවන් පුංචිම සන්දියේදී පවා රාත්‍රි කාලයේදී ඇඳේ මුත්‍රා පිට නොකලත් හොදින්ම දැනුම් තේරුම් ඇති කාලයේදී ඇද තෙමන අවස්ථා තිබෙන්න පුලුවනි. එවැනි අවස්ථාවලදී ඔබ විසින් දරුවාට දඬුවම් කරන්න එපා. මේ හදිසි වෙනස්වීමට හේතුව කුමක්දැයි සොයා බලන්න.

  • ඒ වගේම කිසිම දිනක දරුවා රාත්‍රි නින්දෙන් ඇද තෙමීම ගැන ප්‍රසිද්ධියේ උපහාසයට පත් කිරීමත් නොකල යුතුයි.
  • සමහර විට දරුවා නින්දට ආසන්නයේදී ප්‍රමාණය ඉක්මවා දියර ගැනීහ වැනි හේතුවක් මේ සදහා බලපානවා නම් නින්දට පෙර ලබා දෙන ජලය හෝ දියර පාන මාත්‍රාව අඩු කරන්න.
  • මුත්‍රා කිරීමෙන් පසුව දරුවාට නින්දට යෑම හුරු කරන්න.
  • නින්දෙන් කීප වාරයක් ඇඳ තෙමනවා නම් ඉහත දැක්වෙන පිලියම් ගැලපෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී දරුවා වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලැබීම ඉතා වැදගත්

මලපහ කිරීමේ පුරුදු..

දරුවෙකුට මලපහ පිට වීම පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ මුත්‍රා පාලනය කිරීමටත් පෙරාතුවයි. මාස විස්සක් පමණ වෙන තෙක් මලපහ කිරීම පාලනය කළ නොහැකි වුනත් වයස අවුරුදු දෙකක් පමණ වෙන විට දරුවා පොටියට පුරුදු වෙනවා. ඒත් සමහර දරුවන් මේ පොටියෙන් මිදී සාමාන්‍ය වැසිකිලියක් වෙනුවෙන් යොමු කිරීම ඉතාම අපහසුයි. ඒ වුනත්  දෙමව්පියන් විදිහට ඔබ මේ තත්වයෙන් දරුවා මුදවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊට හේතුව දරුවා දිනපතා පාසලට යොමු වුනාට පසුව ඔවුන්ට පොටිය සමග පාසලට යෑමට බැහැ. හදිසියේ නොව සාමාන්‍ය පරිදි මල මුත්‍රා පිටවීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඇති වෙන නිසා වැසිකිලි යෑමේ පුරුද්ද ඇති කිරීම වැදගත්. එය එක රැයකින් ඇති කිරීමට පැහැ මේ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ වැසිකිළි පුරුදු නිර්මානය වෙනුවෙන් ඔබ අනුගමනය කළ යුතු ක්‍රමවේද තිබෙනවා..

පංතියේදී වුනත් අවශ්‍යතාවය දැනුම් දෙන්න

නිතරම දරුවාට පාසලේදී වුනත් එම අවශ්‍යතාවය ඇති වූ විට වැසිකිලි යෑමේ අවහ්‍යතාවය ගුරුතුමියට දන්වා සිටිමට උපදෙස් දෙන්න. ඇතැම් දරුවන් මෙම අවශ්‍යතාවයන් සිර කර තබා ගෙන පංතිකාමරයේ මලපහ පිට කිරීමෙන් පංතියේම දරුවන්ගේ අපහාසයට ලක් වෙන අවස්ථාවන් ඇත. ඇතැම් ගුරුවරුන් පවා මෙවන් අවස්ථාවන්හිදී දරුවන්ට චෝදනා නගනු ඇත. ඇත්තටම එය ගුරුවරුන්ට පවා කරදරකාරී කටයුත්තකි. මෙවන් කටයුතත්කින් අපහාසයට පත්වුනොත් දරුවාට පාසල පවා අප්‍රිය වෙන අවස්ථාවක් මෙන්ම මානසිකව ඇති වෙන බිඳවැටීම පහසු දෙයක් නොවේ. නැවත දරුවාගේ මානසිකත්වය ගොඩ නැගීමත් ඉතා අපහසුය.

එමෙන්ම නිතරම පාසල් යන දරුවාගේ පොත් බෑගයේ හෝ  පංතිකාමරයේ අතිරේක ඇඳුමක් තබන්න. යම් හෙයකින් වැසිකිලි යෑමේ කටයුත්තකින් හෝ වෙනත් කටයුත්තක් නිසා ඇඳුමට තෙමීම වැනි අනපේක්ෂිත සිදුවීමක් වුවහොත් මෙම ඇඳුම ඔහුට පහසුවක් වෙනු ඇත.

සෝදන්නත් පුරුදු කරන්න

වැසිකිලියයට හුරු කිරීම වගේම වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමටද දරුවාට හුරු කිරීම වැදගත්. අද පාසල් යන දරුවන්ට දෙක, තුන වසරේ වුනත් වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමට හුරුවක් නැති අවස්ථාවන් ඇත. ඔවුන්ට එසේ හැකියාවක් ඇතොත් ඒ නිවසේ පිහිටි නවීන පන්නයේ වැසිකිලියෙන් පමණි. එහෙත් සාමාන්‍ය පාඨශාලාවක තිබෙන වැසිකිලියකින්ද මෙම කටයුතු කරන අන්දම ගැන දරුවා දැනුවත් කරන්න. ඔබ දරුවා පිරිසිදු කිරීමෙන් පසුව ඔබ ඉදිරියේ සිටියදී දරුවාට එය කිරීමට අවස්ථාව ලබා දෙන්න. එයින් පසුව ඔබ වතුර වත් කරන විට සෝදා ගැනීමට හුරු කරන්න. මේ අන්දමට අදියරෙන් අදියරට දරුවා වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමේ කටයුතු ඉගෙන ගනු ඇත.

මලපහ පුරුදු ගොඩ නැගීමට  නම්..

ඩයපර් අවස්ථාව ඉක්මනින්ම නවත්වන්න.දරුවාට ඩයපර් ඇන්දවීමේදී එහිම මලපහ පිටකර ගැනීමේ පුරුද්ද දිගින් දිගටම පවත්වා ගත හැකි නිසා හැකි ඉක්මනින්ම දරුවා පොටියටත් එතැනින් වැසිකිලයටත් හුරු කරන්න.

ඔබේ දරුවාට වැසිකිලි යෑමේ රටාවක් ගොඩ නගන්න. පාසල් යෑමට පෙරාතුව උදේ වැසිකිලි යෑම දවසේ චර්යාවක් බවට පත් කරන්න.

වැසිකිලියෑම මානසික පසුබිම සමග සම්බන්ධ නිසා වැසිකිලියේදී දරුවාට බියක් නැති පරිසරයක් ඇති කරන්න. ඇතැම් දරුවන් වැසිකිලයේ දොර වසා ගැනීමට බියයි. තවත් අය වැසිකිලයේ දකින මකුලුවන් වැනි කෘමින්ට බියක් දක්වති.ඒ නිසා වැසිකිලි යෑම සමග ඇති වෙන මානසික ගැටුම් සමහර විටෙක භීතිකාවක් බවටත් පත් විය හැකියි.

නිතරම දරුවාට පහසුවෙන් ගැලවීමට හැකි යට ඇඳුම් අන්දවන්න. එසේ නොමැති වුනොත් දරුවාට මේවා ගලවා ගැනීමේදී ඇති වෙන අපහසුතාවයන් නිසා ඇදුම්වලම මල පහ පිටවීමට ඉඩ තිබෙනවා.

සෞඛ්‍ය හේතු

මලපහ පුරුදු සමග සෞඛ්‍ය හේතුන්ද සම්බන්ධව තිබෙනවා. දරුවාට ලබා දෙන ආහාර රටාවේ තන්තු ආහාර අඩු වීමත් මලපහ පිට නොවීමට හේතු විය හැකියි. කෝපි වැනි පාන වර්ග බහුලව පානය කිරීම සහ හොදින් ජලය පානය නොකිරීම නිසාත් මලපහ කිරීමේදී මල ඝන වීම වැනි අහසුතාවයන් ඇති විය හැකියි. මේ අපහසුතාවය නිසා දරුවා මලපහ කිරීමට බියක් දැක්වීම තෙක් තත්වය බරපතල විය හැකියි.

උදර සහ ආන්ත්‍රික ගැටළු නිසාත් දරුවාගේ මලපහ පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකියි.

වැසිකිලි  පහසුකම්…

පවුලක් තුළ සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගැනීමට නම් වැසිකිළි පහසුකම් ඉතාම වැදගත්. දරුවාට පාවිච්චි කළ හැකි අන්දමින් මෙන්ම මනා ජල සැපයුම් සහිත වැසිකිලියක් පවුලක අනිවාර්ය අංගයක් වීම ඉතාම වැදගත්

 

ඔබ දරුවාට මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න

දරුවෙකු ලෝකයට බරක් නොවන යහපත් චරිතයක් ලෙසින් දායාද කිරීමට නම් මව්පිය භුමිකාවත් කාලයෙන් කාලයට වෙනස් විය යුතුයි. පුංචි දරුවෙකු මෙල්ල කර ගැනීම පහසු වුනත් දරුවන් වැඩෙන විට සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා විට මව්පියන් ලෙස ඔබේ  භුමිකාවත් වෙනදාට වඩා වෙනස් විය යුතුයි.

නයෙක් වුනත් පෙනය පෙන්වන්න ඕන..

සාමාන්‍ය ජනවහරට අනුව කතාවක් තියෙනවා. නයෙක් වුනත් පෙනය පෙන්නුවේ නැත්නම් දර මිටියක් බදින්න වුනත් යොදා ගන්න පුලුවනිලු. එයින් කියැවෙන්නේ ”නයා ” කියන බලගතු පෞරෂය පවත්වා ගත යුතු  බවයි. දෙමව්පියන් වුනත් තමන්ගේ භුමිකාව පවත්වා ගැනීම වැදගත්. ඔබ දරුවන්ගේ හොදම මිතුරා විය යුතු බැව් ඇත්ත. ඒ මිත්‍රත්වයේදීත් යම් සීමාවක් අවශ්‍ය වෙනවා. ඔබ දරුවාගේ සමීපතමයා  වීම ඊට වඩා වැදගත්.එවිට දරුවාට ඔබ සමග ඒනෑස දෙයක් කතා කරන්න පුලුවනි. ඔබ හොඳම සවන්දෙන්නා වීමත් අවශ්‍ය වෙනවා.අන්න එතැනදී මිතුරාට වඩා සමීපතයාගේ භුමිකාව වැදගත්.

අවශ්‍ය තැනදී මව්පියන්ගේ පෞරෂයත් අවශ්‍ය වෙනවා

අම්මා,තාත්තා විදිහට ඔබ දරුවාට මිත්‍රත්වයේ දෑත දිගු කරන අතරවාරයේදීම ඇතැම් අවස්ථාවලදී දරුවන් වෙනුවෙන් යම් නීති රීති සහ සීමාවන් පැනවීමටත් සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී ඔබේ මව්පිය භුමිකාව වඩාත් වැදගත්.මිතුරෙකුට වඩා ඔබ්බට ගිය දෙමව්පියන්ගේ තීන්දු තීරණ දරුවාගේ ජීවිතය යහපත් අතට යොමු කරවන බවත් අමතක කරන්න එපා. ඒ වගේම දරුවා ඔබේ අවවාද පිලිගන්නා තැනට පත් වෙන්නේ ඔබ විසින් දරුවාගේ ලෝකයේ දෙමව්පියන් ලෙස ඔබ මුල් කර ගෙන ගොඩ නගා ඇති චිත්‍රයට අනුවයි.

හොඳම සවන්දෙන්නා වෙන්න

දරුවාගේ ප්‍රශ්නවලදී දෙමව්පියන් ලෙස ඔබ හොඳ සවන්දෙන්නෙක් බව ඇත්ත. බොහෝ විට දරුවාගේ දවසේ සියලු ප්‍රශ්න ඔබ සමග කතා කිරීමට කාලය එලැඹෙන තුරු බලා සිටිනු ඇත. ඒ නිසා දරුවා ඔබ සමග කතා බහට සූදානම් අවස්ථාවලදී ඔවුන් මග හරින්න එපා.

කාලය නැති බව ඇත්ත..

උදේ පටන් රාත්‍රිය වන තුරු ජීවිතයේ විවිධ ගැටලු සහ ගැටුම් දෙමව්පියන් විදිහට ඔබටත් ඇති.ඒ වුනත් කිසිම දිනක දරුවා දවසේ කාලය ගෙවූ අන්දම කතා බහ කිරීම මග අරින්න එපා.දරුවන්ට ඔබ සමග කතා බහට කාලයක් නොවුන තැන ඔවුන්ගේ ප්‍රශ්න හිතේ සිරගතව තිබෙන නිසා එය පුපුරා යන තෙක් දෙමව්පියන් හෝ නොදන්නා තැනට පත් විය හැකියි. ඒ නිසා දරුවාගේ මිතුරාට වඩා හොදම සමීප හිතවතා වුන තැනදී දරුවන් ඔබ සමග ඔවුන්ගේ හිතේ ඇති සියල්ල නොවලහා කීමට මැලි වෙන්නේ නැහැ.ඒ සමගම දරුවාගේ ගැටලුවලට නිසි මාර්ගයක්ද කියා දෙන්න. කළ යුතු දෙය සහ නොකළ යුතු දේ ගැන දැණුවත් බව දෙමව්පියන් විදිහට ඔබේ අත්දැකීමෙන් ලබා ඇති දැණුමෙන් දරුවන්ට යා යුතු මග නොමග කියා දෙන්න.

 දරුවන්ට ආදර්ශමත් වෙන්න

ඔබේ දරුවා උස් මහත් වෙන විට දෙමව්පියන් ලෙස ඔබ පුර්වාදර්ශ චරිතයක් විය යුතුයි. දරුවන් බොහෝ විට ආදර්ශය ලබන්නේ දෙමව්පියන්ගෙන්. එය වචන ලක්ෂ ගණනින් වැය වෙන අවවාදයන්ට වඩා වැදගත්

ඔවා දෙනු පරහට- තමා සම්මතෙහි පිහිටා සිට

දුසිරිත දනන් දෙන- ඔවා වැද්දන් දෙසන බණ මෙන

මෙය ඔබ මුල් කර ගෙන හිතන්න. දරුවන් මෙතැනදී ඔබට ඇඟිල්ල දිගු කිරීමට ඉඩ තබන්න එපා. ඔබ දරුවාට එක් ඇඟිල්ලක් දිතු කරන විට තවත් ඇඟිලි හතරක් ඔබ වෙතට එල්ල වී තිබෙනවා. ඔබ සැබෑම ආදර්ශමත් දෙමව්පියෙකු නොවුනේ නම් දරුවා විසින්ම ඔබේ වැරදි ගැන පාරාවළල් ඔබ වෙතට එල්ල කිරීමට පුලුවනි. ඒ නිසා නිතරම අවවාදයට වඩා ආදර්ශය උතුම්. විශේෂයෙන් හය හතර තේරෙන විට දරුවා දෙමව්පියන්ගේ චරිතය පාදක කර ගෙන මවා ගන්නා ප්‍රතිරූපය ඔවුන්ගේ ජීවිතය සැලසුම් කර ගැනීමට ප්‍රබල අන්දමින් බලපාන්න පුලුවනි.

පවුලක් වුනොත් රහස් නැහැ.

පවුලක් වුනොත් අම්මා මුළුතැන්ගෙයි..තාත්තා කන්තෝරුවේ…දුවයි පුතයි ඔන්ලයින්..මෙන්න මේ හැසිරීම ඔබේ පවුලෙන් දුරස් වීම වැදගත්. පවුලේ සාමාජිකයන් විවිධ හේතු මත විවිධ අවස්ථාවල වෙන් වෙන් කාර්යන්හි නිරත වෙන්න පුලුවනි. එය සාමාන්‍යයි. ඒත් පවුලක තිබිය යුතු සහජිවනය මේ කාර්යන් සමග පවා සම්බන්ධ කර ගැනීම වැදගත්. දරුවන් කරන දේ අම්මා වගේම තාත්තා දැන ගෙන සිටිම වැදගත්. අම්මා,තාත්තාගේ කටයුතු දුව වගේම පුතාද දැන ගෙන සිටීම අවශ්‍යයි.පවුලක අම්මා නොදන්නා රහස් වගේම දරුවන් නොදන්නා රහස් තිබිම එතරම් සුදුසු නැහැ.ඒ නිසා පවුලේ හැම දෙනාම එකට එක්ව එකම මාවතක ගමන් ගැනීම ඉතාම වැදගත්.පවුලක පැවැත්ම ඇත්තේ එතැනයි.

 විශ්වාසය පෙන්වන්න හැබැයි විපරමින් ඉන්න..

ඔබ දරුවන් අවිහ්වාස නොකරන බව පෙන්වුවත් ඒ අතර විපරමින් සිටීම වැදගත්. දරුවන් වුනත් අපට සියයට සියයෙන්ම විහ්වාස කරන්න බැහැ. ඇතැම් විට ඔවුන් බොරු කියන්න පුලුවනි. පාසල අවසානයේදී මිතුරෙකු සමග වෙනත් ගමනක් යා හැකියි. ඒ නිසා පාසල අවසානයේ සහ නිවසට පැමිනෙන වේලාව අතර කාලය ගලපා ගෙන ඔබට යම් බොරුවක් කියනවා නම් ඒ ගැන සොයා ගන්න. මුලින්ම දරුවාගේ යම් වැරැදි මගක යනවා නම් එය හසු කර ගැනීමට ඔබේ උකුසු ඇස වැදගත්.

අපේ පුතා එහෙම නැහැ.

ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන උපරිම විශ්වාස තබනවා. අද සමාජය බොහොම විෂමයි. දරුවන් ගිල ගන්නා අකටයුතු දරුනුයි. විෂ මත් ද්‍රව්‍යන්ට දරුවන් ගොදුරු වෙන වාතාවරණයකදී ඔබේ දරුවා ගැන යම් පනිවිඩයක් ලැබුනොත් එය කියන ලද තැනැත්තට ස්තුතිවන්ත වෙන්න. එතැනින් පසුව ඒ ගැන සොයන්න. අනවශ්‍ය අන්දමින් දරුවන් විශ්වාස කරන්නත් එපා.

තොරතුරු දුන් අය ආරක්ෂා කරන්න

ඇතැම් දෙමව්පියන්ට මෙවැනි තොරතුරක් ලද විට එය ලබා දුන් තැනැත්තා ගැනත් දරුවා කියනවා.මේ අන්දමින් තොරතුරු දුන් අය ගැන දරුවාට කියන්න එපා. එය තවත් ප්‍රහ්නයටක මුල පිරීමක්. නව යොවුන් දරුවන්ගේ ඉවසීම අඩුයි. ඔවුන් මේ තොරතුරු ලබා දුන් පුද්ගලයන් සමග අනවශ්‍ය අන්දමින් පැටලෙන්න පුලුවනි. ඒ නිසා මේ තොරතුරු වටිනා බව පමණක් සිතන්න.සමහර විට තොරතුරු අසත්‍ය නම් දරුවාගේ ආවේග තවත් දරුණු විය හැකියි. ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව සිතා ඒ අනුව කටයුතු කරන්න. එය හොඳම විසඳුමක්.

එහෙමනම්…දරුවන් විශ්වාස කරන බව කියන්න. දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටුන විට එය ගොඩ නැගීමත් පහසු කාර්යක් නොවන බවත් කියා දෙන්න.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න. එවිට දරුවාගේ ලෝකයේ  ඔබ තරම් විශ්වාසවන්ත තවත් පුද්ගලයෙකු නොමැති බව රහසක් නොවේ.

 

 

පැටියෝ…අම්මා හෙට ඔෆිස් යනවා.

පුංචි පැටියා ලැබිලා දැන් මාතෘ නිවාඩු උපරිමයෙන්ම අරගෙනත් අවසානයි. දන්නේම නැතුව මුල් මාස හයත් ගෙවී ගියා. දැන් ඉතින් ආපසු කන්තෝරු යන්නත් ඕන.ඉගෙනගෙන අමාරුවෙන් උපයා ගත්තු රැකියාව අහිමි කර ගෙනත් බැහැ.ඒත් පුංචි කිරිකැටියා නිවසේ දාලා රාජකාරියට යන්නේ කොහොමද කියල හිතන්නත් බැහැ..

ඒත් යන්නම එපායැ..

ඔව් මවක් ලෙස ඔබ දරුවා වගේම රැකියාවත් ආරක්ෂා කර ගන්න ඕන.ඒත් පුංචි පැටියා මානසිකව වැටෙයිද..? අම්මාව හොයයිද..? අම්මාගේ අඩුව කාගෙන් පිරිමසා ගන්නද..? ඉතින් ප්‍රශ්න වැලක් තියෙනවා. මේ සේරම ඇත්ත. නමුත්..දැන් මොකද කරන්නේ…

අද නැති වුනත් හෙට අම්මා නැවත සුපුරුදු රාජකාරියට යන්නම ඕන. ඉතින් ටිකෙන්ටික දරුවා හුරු කරන්න ඕනමයි.එය ගහෙන් ගෙඩි එනවා වගේ සිදු වුනොත් නම් දරුවා කඩා වැටෙන්න පුලුවනි. ඒ නිසා ඔබ සෙමෙන් සෙමෙන් දරුවා අලුත් පරිසරයට හුරු කරන්නම ඕන.

අතිරේක ආහාර පුරුදු කරන්න.

වාසනාවකට වගේ දැන් සෑම මවක් වෙනුවෙන්ම මාතෘ නිවාඩු අයිතිය තියෙන නිසා දරුවාගේ මුල් මාස හය වෙන තෙක් අම්මා නිවසේ සිටිනවා. වැටුප් රහිත නිවාඩු හෝ ලබා ගෙන සෑම අම්මා කෙනෙක්ම වගේ මුල් මාස හය පුරා දරුවාට මව්කිරි ලබා දෙන්න සූදානම්.

හැබැයි රාජකාරියට යන විට මව්කිරි දීමේ කාලය වෙනස් වෙන නිසාත්,දරුවාට ඝන ආහාර ලබා දෙන කාලය සම්පූර්ණ නිසාත් ඒ වෙනුවෙන් දරුවා හුරු කරන්න. එහෙම නැති වුනොත් බඩගිනි පැටියා කිරට අඬාවි. ඒ බව සිහිවෙන අම්මාට කන්තෝරුවේදීම කිරි එරෙන්න පටන් ගනීවි. ඒ වගේම මව්කිරි දෙන විට අම්මා පැටියා සමීපයේම සිටියත් හෙට අනිද්දා දරුවා රැක බලා ගන්නා අයට දරුවාගේ ආහාර කවන පිළිවෙලත් කියා දෙන්න.ටිකෙන් ටික දරුවා අලුත් මුහුණට පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා.

එහෙමනම් දැන් පටන් ගනිමු.

ඔව් ඔබට නැවත රාජකාරියට යන දිනය නියමිතයි. ඒ නිසා පැටියා අලුත් පරිසරයට හුරු කරන්න. වෙනදා වගේ පැටියා අඬන සැනින්ම ළගට යන්න එපා. දැන් පැටියා නිවසේ අය හොදින් අදුනනවා. අඩන හැම වාරයකදීම අම්මා ළගට යනවා නම් පැටියා හෙට දවසේදීත් අම්මා තමා වෙතට එතැයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මල මුත්‍රා කර ගෙන අඩන දරුවා වෙතට පවුලේ වෙන කෙනකු යවන්න. එහෙම නැත්නම් හෙට අනිද්දා ඔබ සේවයට කැඳවන්න සිටින සේවිකාව හෝ ඥාතියා  පැටියා සමීපයට යවන්න. එහෙම වුනාම අම්මා නැතුව තමාගේ සමීපයේ තවත් රැකවරණයක් තිබෙන බැව් පැටියා තේරුම් ගනීවි.

අම්මා පැය දෙක තුනක් දුරස්ව ඉන්න

මෙලොව එලිය දුටුව දා පටන්ම දරුවා සමග සිටියත් දැන් අම්මා දවසේ පැය නවයක් හෝ දහයක් දරුවාගෙන් දුරස්ව සිටින්න වෙනවා. මෙය දරුවා දරා ගන්නේ කොහොමද කියන එක් ගැටලුවක්. ඒ වගේම අම්මාටත් පැටියා නිවසේ තනි කරල ඉන්න අපහසුයි. ඉතින් අම්මාගේ මානසිත්වයත් දරුවාගෙන් තාවකාලිකව දුරස් වීමට ගැලපෙන අන්දමින් සූදානම් විය යුතුයි. අවුරුද්දක් විතර කාලයක් පැටියා සමග නිවසේ සිටියා. ගියොත් ගියේ සායනයට විතරයි.මම කොහොමද පැටියා නිවසේ තනි කරලා පැය දහයක් ගෙවන්නේ…

මෙහෙම කළොත්..

ඔබ සෙමෙන් සෙමෙන් කාලය දුරස් කරන්න. මුලින් පැය බායක් පමණ දරුවාගෙන් දුරස්ව සිටින්න. මෙය ක්‍රමයෙන් පැයක් දෙකක් වගේ කාලයක් කරන්න. දැන් පැටියාටත් යම් අදහසක් ඇති. අම්මා දැන් නැති වුනත් තව ටික වේලාවකින් ගෙදර එනවා.. මේ ශක්තිය නිසා දරුවාගේ හිතේ බිය සහ පාළුව නැති වේවි.

සන්නිවේදනය තබා ගන්න.

පැටියා නිවසේ තබා කන්තෝරු යන ඔබ නිවස සමග සන්නිවේදනය තබා ගන්න. දරුවා රැකබලා ගන්නා අය සමග සම්බන්ධතාවය තබා ගන්න. දැන් ජංගම දුරකථන නිසා එය කිසිම අපහසුවක් නැහැ.ජංගම දුරකථනයක් නිවසේ අයට නැත්නම් අනාගතයේදී හෝ දුරකථන පහසුකමක් ලබා ගන්න. දැනට අසල්වැසි නිවසක් සමග හෝ සම්බන්ධතාවය පවත්වා ගෙන දරුවා ගැන සොයා බලන්න.

විටින් විට නොදන්වා එන්න

පවුලේ අයෙකු දරුවා රැක බලා ගන්නවා නම් මෙය ගැටලුවක් නොවෙයි. ඒ වුනත් බාහිර පුද්ගලයෙකුගේ සේවය ලබා ගනන්වා නම් ටිකක් විමසිලිමත් වෙන්න. කෙටි නිවාඩුවක් හෝ වරු නිවාඩුවක් සමග නොදන්වා නිවසට එන්න. එසේ නොමැති වුනොත් සේවයේ යෙදී සිටින අය දරුවා රැක බලා ගැනීමේදී යම් යම් වංචා සහගතව කටයුතු කරන්න පටන් ගනීවි.

තරුණ වයසේ සේවිකාවක් නම් ඇගේ පෙම්වතා නිවසට ගෙන්වා ගන්න පුලුවනි. මැදි වයසේ අයෙකු නම් දරුවා නිදි කරවා අසල්වැසියන්ගේ සේවාවන් සපයමින් අමතර ආදායම් ලබන්න පුලුවනි. සෑම සේවිකාවක්ම මේ විදිහට නොවුනත් මෙවැනි සිදුවීම් නොවෙනවාම නොවෙයි.

ඔබේ මව හෝ වැඩිහිටියෙකුගේ රැකවරණයේ සිටිනවා නම්..

මට නම් අපේ අම්මා පැටියා බලාගන්න නිසා කිසිම බයක් නැහැ. ඒක සම්පුර්ණ ඇත්ත. නමුත් මේ අවධිය වෙන විට ඔබේ මවත් වැඩිහිටි නිසා ඇය යම් යම් රෝගාබාධයන්ගේ ගොදුරක් වෙන්න පුලුවනි. ඒ නිසා හදිසියේ හෝ ඇය අසනීප වුනොත් පැටියාටත් ගැටළුවක් නිසා ඹබේ දරුවා රැකබලාගන්නා අය ගැනත් සැලකිලිමත් වෙන්න.

ඉතින්…ඔබ රැකියාවක නිරත මවක් නම් අනාගතයේදී රැකියාවට යන දිනය හෙවත් මාතෘ නිවාඩු අවසාන වෙන දිනය දන්නා නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හදිසියේම නිවාඩු අවසාන වූ දිනයේ ඔබට දරුවා බාර දීම පහසුවක් නොවෙයි. එවිට දරුවාටත් ගැටලුවක්. දරුවා අලුත් මුහුණට බියක් දක්වන්න පුලුවනි.හැබැයි ක්‍රමයෙන් පුරුදු කලොත් ඔබටත් නිදහසේ රැකියාව කරන්න පුලුවනි. දරුවාත් ඔබ නැවත නිවසට එන තෙක් සුවසේ හිදීවි. එහෙම වුනොත් අම්මා එන තෙක් පැටියා නාඬා ඉඳීවි.

 

දරුවන් නිරාහාරව පාසල් යන්නේ ඇයි ?

අපේ අත්තම්මාටවත් නොතිබුන ලෙඩ රෝග දැන් කාලයේ තරුණ දරුවන්ට..ඔන්න හැම තැනින්ම ඇහෙන ප්‍රශ්න. මේ අතර එක් වෛද්‍යවරයෙකු විසින් මේ අන්දමේ ඉතාම කනගාටුදායක සටහනක් තබා තිබුනා.

අනාගතයේදී බොහෝ දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ අවමංගල්‍යයන්ට සම්බන්ධ වීමට තරම් අවාසනාවන්ත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ තරම් ඛේදනීය තත්වයක් වෙනුවෙන් අපේ දරුවන් යොමු වීමේ අවාසනාව දෙමව්පියන්ගේද…එහෙම නැත්නම් දරුවන්ගේද..?

අකමැත්තෙන් වුනත් කියන්න වෙන්නේ…” මේ දෙගොල්ලන්ගේම ” කියන පිලිතුරයි.

ඉතින් ඇයි එහෙම වෙන්නේ..?

මෙවැනි අනතුරක් ඉදිරියේ අප සිටිනවා නම් එතැනින් මිදෙන්න අපි උනන්දු වීම වැදගත් නේද…? මෙහෙම වේවි.. අනේ අපොයි කියවනවාට වඩා විසඳුමක් සොයා බලද්දී මේ ගැන අපි හිතුවොත් නරකද..?

රජෙක් වගේ ගත යුතු උදේ ආහාරය…

අපේ උදේ ආහාරය රජෙක් වගේ ගත යුතු වුනත් අද කාලයේ දරුවන්ගෙන් වැඩියෙන්ම මග හැරෙන්නේ උදේ ආහාරය කිව්වොත් ඔබත් එකඟ ඇති..දරුවන් පාසල් යවන්න…සැමියා කන්තෝරු පිටත් වෙන්න..දවල් ආහාරය පිලියෙළ කරන්න.. මේ සියළු වැඩ රාජකාරි සමග උදේට බත්, ව්‍යංජන සකස් කරන්නේ කොහොමදෑ…කියල ඔබ සිතුවත් අනිවාර්යෙන්ම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් උදේ ආහාර මග හරින්න නම් ඉඩ දෙන්න එපා.

  • අපි පේස්ට්‍රි ෂොප් එකෙන් උදේට මොනවා හරි ගන්නවා..

ඔබ එහෙම සිතුවත් ”මොනවා හරි ” කියන්නේ විසඳුමක් නොවෙයි. ඇත්ත…. ඔබ යන අතරමග තිබෙන පේස්ට්‍රි ෂොප් එකකින් සොසේජස් බනිස් එකක්,කේක් එකක්, එහෙම නැත්නම් බයිට් පැකැට් එකක් මිලට ගන්නවා වෙන්නැති. ඒත් මේ ආහාරවලින් ඔබේ සිරුරට එකතු වෙන්නේ තෙල්, සීනි සහ ලුණු විතරයි.

උදේට බීම එකකුත් ගන්නවා..

ඇත්ත..ඒත් මේ සකස් කළ බීම කියන්නේ සීනි ගබඩාවක් පමණයි. වර්ණ වලින් සීනි ප්‍රතිශතය දක්වලා තිබුනත් ස්වභාවික පළතුරකින් හෝ බත් කැඳ කෝප්පයකින් සිරුරට ලැබෙන පෝෂණය නම් ඔය කියන පැණි බීම පැකට්ටුවකින් ලබා ගැනීම බොරුවක්.

උදේ ආහාරය මග හැරීමෙන් සිදු වෙන දේ මෙන්න…

ඔබ සහ දරුවන් විසින් උදේ ආාහරය මග හැර වෙනත් විවිධ තෙල්, ලුණු සහ සීනි අධික නිසරු ආහාර වෙනුවෙන් යොමු වු‍නොත් එයින් සිදු වෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා.

අනවශ්‍ය අන්දමින් කැලරි ගබඩා වීම- 

නිසරු ආහාරවල පෝෂණීය තත්වය කෙසේ වෙතත් තෙල් සහ පිටි නිසා ඔබේ සිරුරට අනවශ්‍ය අන්දමින් කැලරි ගබඩා වෙනවා. ඒ වගේම දරුවන් වාහනයෙන් පාසලට…පාසලෙන් වාහනයට නිසා මේ කැලරි දහනය වීමකුත් නැහැ. ඒ නිසාම දරුවන් බෝ නොවන රෝගවල ගොදුරක් වීමත් ඉතාම පහසුයි.

පෝෂණය පිලිබඳ ගැටළු

උදේ ආහාරය පමණක් නොවෙයි, අද දරුවන්ට ගුණාත්මක බවෙන් යුක්ත ආහාර වෙනුවෙන් ඉඩක් ඇත්තේම නැහැ.ඒ නිසා අද දරුවන් අතර පහත දැක්වෙන රෝග තත්වයන්ද බහුලයි.

  • තරබාරුව
  • යකඩ ඌනතාවය
  • පෝෂණ ඌනතා
  • අඩු වයසේදී මල්වර වීම
  • මල්වර වෙන වයසේදී මල්වර නොවීම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • වැඩිහිටි අවධියේදී බෝ නොවන රෝගවලට ගොදුරු වීම

දරුවන් කියල නිදහස් කරන්න බැහැ..

අපි ගන්න ආහාර රටාව නිසාම අපේ දරුවන් බෝ නොවන රෝගවල ගොදුරක් බවට පහසුවෙන්ම පත් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට බෝ නොවන රෝග

  • දියවැඩියාව
  • කොලස්ටරෝල් ගබඩා වීම සහ එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හදවත් රෝග ආශ්‍රිත සංකුලතා.
  • පිළිකා
  • රුධිරපීඩනය
  • ආඝාතය
  • වකුගඩු ආබාධ

පංතියේ ක්ලාන්ත වීම

ඉස්සර දරුවෙක් පංතියේ ක්ලාන්ත වුනොත් බොහෝ දෙනා ඒ ගැන අනුකම්පාවෙන් කතා කළා. ගෙදර මිළ මුදල් ප්‍රශ්න ඇති. බඩගින්නේ ඇවිත්…එදා එහෙම වුනත් අද දවසේ නම් දරුවන් නිරාහාරව පාසල් යන්නේ නැති බැරිකමට නොව උදේ ආහාරය ගැන ඕනෑ නැති කම නිසයි.නමුත් උදේ ආහාරය මග හැර නිරාහාරව පාසල් ගියොත් සිදු වෙන විපාකත් තිබෙනවා.

  • කුසගින්න නිසා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් ශක්තිය නැහැ.
  • ධාරණය කර ගැනීම අපහසුයි.
  • දැනෙන අපහසුතාවයන් නිසා ඇති වෙන පීඩනය
  • දිගින් දිගටම කුසගින්නේ සිටීම සමග ඇති වෙන පෝෂණ ඌනතාවයන් නිසා අධ්‍යාපනයේදී පසුගාමී වීම.

කිව්වට කන්නේ නැහැ කියල නිහඩ වෙන්නත් එපා

දරුවන්ගේ ආහාර රටාව අපට අවශ්‍ය අන්දමින් ගලපන්න බැහැ. ඒක ඇත්ත. නමුත් එහෙම කියල දරුවන්ගේ ආහාර පිලිවෙත ඔවුන්ගේ නිරෝගිතාවයට නුසුදුසු අන්දමින් සිදු වෙනවා නම් ඒ භයානක තත්වයෙන් දරුවන් මුදවා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් විය යුතුයි.

දරුවන්ගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද..?

දරුවන්ගේ ආහාර ගැන කිව්වොත් අම්මා..තාත්තා ගැන කතා නොකරම බැහැ. ඒ නිසා දරුවන්ගේ ආහාරවේල පෝෂණීය අන්දමින් සකස් කිරීමට දෙමව්පියන්ගේ දායකත්වය  අවශ්‍යයි. එහෙමනම් මේ දාහක් වැඩ කටයුතු සමග අපි දරුවන්ගේ ආහාර ගැනත් අවධානයක් දෙන්නේ කොහොමද…?

පෙර සූදානම..

ඔබට කලබල උදෑසන සමග දරුවන්ගේ ආහාර සකස් කිරීම පහසු කාර්යක් නොවෙනවා නම් ඒවා කල් තබා සූදානම් කරන්න. උදේට පලා වර්ග තෝරන්න අපහසු නම් පෙරදා ඒවා තෝරා පිරිසිදු කරන්න.

කාලය වැය වෙන ආහාර උදේට අවශ්‍ය නැහැ. නිතරම කාලය අඩුවෙන් වැය වෙන නමුදු පෝෂණයෙන් යුක්ත ආහාර ගැන අවධානය දක්වන්න.

බත් පමණක් නොවෙයි..

ඔබේ දරුවාට උදේට බත් පිලියෙල කිරීම අපහසු විය හැකියි. සමහර විට ඒ වෙනුවෙන් ව්‍යංජනත් අවශ්‍ය නිසා කඩල, මුංඇට, කව්පි වැනි දේවල් වුනත්උදේ ආහාරයට යෝග්‍යයි. ඒ වගේම එලවලු බතක්, බිත්තර බතක්, ඕට්ස් එහෙම නැත්නම් එළවලු පෑන් කේක් එකක් ,හබල පෙති ආදියෙන් විවිධ දේ වෙනුවෙන් යොමු වෙන්න. ඒ හැම අවස්ථාවකදීම දරුවාගේ කුස පිරෙන, අනවශ්‍ය තෙල්,ලුණු සහ සීනි නොමැතිව සකස් කර ගත හැකි දේවල් වෙනුවෙන් යොමු වෙන්න.

නිවාඩු දවසුත් තියෙනවානේ…

ඔබට රටාවක් ලෙසින් හැම උදේකම යම් අන්දමකින් පෝෂණීය ආහරයක් ලබා දීමට අපහසු විය හැකියි.ඒ වගේම දරුවාට උදේ කාලයේ ඇති සීමිත කාලයේදී  මේ සියල්ල ආහාරයට ගැනීමත් අපහසුයි. විශේෂයෙන් කෝප්පයක් බිව්වොත් එදාට නැවත පරිපූර්ණ උදේ ආහාරයක් ගැනීම අපහසුයි. ඒ නිසා නිවාඩු දිනයන්හිදී විරාමයක් තබා දරුවාට ආහාර ගත හැකි නිසා එදිනට ඔබ පවුලේ ආහාර ගැන වැඩි අවධානයක් ලබා දෙන්න.

 

දරුවා “භාෂාව” ඉගෙන ගනු ලබන්නේ කෙසේ ද? (දෙවන කොටස)

භාෂාව යනු මිනිසාගේ මුලිකම සන්නිවේදන මාධ්‍යයි. දරුවා භාෂාවේ ඉගෙන ගනු ලබන ආකාරය හා ඊට දෙමව්පියන් විසින් සලසා දිය යුතු පරිසරය හා ඒ හා බැඳී පවතින මතවාද පිළිබඳ සාකච්ඡා කරන ලිපියේ දෙවන කොටසයි මේ දිගහැරෙන්නේ. 

භාෂාව වූ කලී ඉමහත් සංකීර්ණ ප්‍රස්තුතයකි. හුදෙක් මිනිසාට පමණක් පොදු වූ මෙම භාෂාව ඇතැම් සතුන් තුළ ද පවතින බවට හඳුනාගෙන ඇත. පළමු ලිපිය තුළ දරුවාගේ භාෂාව ඉගෙනීමට අවශ්‍ය පසුබිම සැකසෙන අයුරු සාකච්ඡා කර ඇති අතර මෙම ලිපිය එහි දිගුවකි.

විධිමත් ඉගැන්වීම් ක්‍රමවේදයකින් තොරව දරුවා භාෂාව ඉගෙන ගන්නා බව ඔබට දැන් වැටහෙනවා ඇති. තනි වචන කතා කරන දරුවා සංකීර්ණ වාක්‍ය රටාව හා ව්‍යාකරණ කෙසේ ඉගෙන ගනීවි ද? ඔබ ඒ පිළිබඳ මොහොතක්වත් සිතුවාද? 

තවද වැදගත්ම දෙය නම් වර්තමාන දරුවන්ගේ පළමු වචන කිහිපය හා වාග් වාග්මාලාව දරුවාගෙන් දරුවාට වෙනස් වීමයි. දෙමව්පියන් වශයෙන් ඔබගේ කුඩා කල වාග්මාලාව හා වාක්‍ය රටාව අද ඔබගේ දරුවාගේ වාග් මාලාව හා වාක්‍යය රටාවෙන් වෙනස් වී ඇති බව මොහොතක් සිතුවොත් ඔබටත් වැටහේවි. මෙය කාලානුරූපී වෙනස් වීමකි. උදාහරණයක් ලෙස දෙමාපියන් වශයෙන් ඔබ කුඩා කල “පාන්” යන වචනය පළමු පෙළ වචනයක් ලෙස පවසා ඇතැයි සිතමු. නමුත් වර්තමානයේ  ඔබගේ දරුවා පාන් යන වචනය පැවසීමට පෙර “Pizza” යන වචනය පැවසීමට හැකියාවක් ඇත. ඊට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ වර්තමාන සමාජ ආර්ථික පසුබිමයි. බොහෝ නගරාසන්න දරුවන් ගත කරන ජිවන රටාව  හා ඔවුන් වැඩෙන පරිසරය හා බැඳී පවතින වචන ඔවුන්ගේ පළමු පෙළ වාග්මාලාව ට පැමිණෙන අතර දුෂ්කර පළාතක වැඩෙන දරුවන්ගේ වාග්මාලාව එම දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික ක්‍රමය අනුව සැකසෙන වචන වීමට හැකියාව පවතී. එම නිසා දරුවාගේ භාෂා වර්ධනයට දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික පසුබිම බලපාන බවද එම වාග්මාලා වෙනස සාමාන්‍ය තත්ත්වයක් බව ද ප්‍රකාශ කළ යුතුමය. 

දරුවා වැඩෙත් ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින දරුවා තේරුම් ගන්නා වචන (Receptive vocabulary) හා දරුවා වාචිකව ප්‍රකාශ කරන වචන (Expressive vocabulary) ප්‍රමාණය වැඩිවීම ක්‍රමික වර්ධනයකි. එම වර්ධනයත් සමඟ ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින වචන එකතු කර ගනිමින් වාක්‍ය තැනීමට පෙර වාක්‍ය ඛණ්ඩ (Phrases)  තැනීම ආරම්භ කරයි.

උදා: බබා අත (බබාගේ අත)

        අම්මා කෝප්පය (අම්මගේ කෝපය) ආදී 

මේවා සම්පූර්ණ වාක්‍යය නොවුනත් දරුවා අයිතිය හගවන වාක්‍ය හෝ දරුවා තුළ පවතින වචන එකතු කරමින් වාක්‍ය ඛණ්ඩ සැකසීම සිදු කරයි. ඉන් පසුව දරුවා ක්‍රමයෙන් ක්‍රියා පද, නාම විශේෂණ, නිපාත  තම වාග් මාලාව ට එකතු කර ගනී. 

ඉන් පසුව දරුවා තමා ප්‍රකාශ කරන වාක්‍ය ඛණ්ඩ තවත් වචනයක් හෝ කීපයක් වැඩි කරමින් ඉදිරිපත් කිරීම භාෂා වර්ධනයක් සමඟ සිදු කරයි. 

උදා: අම්මා බත් කනවා

        සුදු පාට කාර් ආදී 

මෙම වාක්‍ය බොහෝ විට ව්‍යාකරණානුකූල ව  නිවැරදි ම විය නොවිය හැක. නමුත් දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි වැදගත් ම දේවල් අතර දරුවන් ප්‍රකාශ කරන කෙටි වාක්‍ය ට  තවත් වචනයක් එකතු කර දරුවාට කියා දීම නැතහොත් දරුවා ව්‍යාකරණානුකූල නොවන වාක්‍ය තනන විට ඒවා අගය කරමින් නිවැරදි කිරීම ආදිය මගින් දරුවාගේ  වාචික ප්‍රකාශනය වර්ධනය කළ හැකි ය. 

ඒ අනුව, දරුවා තුළ නිරායාසයෙන් පැමිණෙන භාෂාව ඉගෙනීමේ හැකියාව වර්ධනය වීමට බලපාන කරුණු, ඊට අවශ්‍ය පරිසරය නිවස තුළ සකසන අයුරු හා  දරුවා සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔබට හරි වැටහීමක් තිබීම දරුවාගේ භාෂා වර්ධනය ට මහත්  රුකුළක් බව පෙන්වා දිය හැකිය. 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.