ලොව පුරා නත්තල්

ගලිලයට නව යුගයක උදාවේ අවශ්‍යතාවය පැසවමින් පැවැති යුගයක බෙතේලෙහෙමේ කුඩා ගව ඔරුවක සාමයේ කුමරු බිහි විය. ඒ අසිරිමත්දිනය හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය නිමිති කර ගෙන නත්තල් උත්සවයලොව පුරා විවිධාකාරයෙන් සමරනු ලැබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන් නත්තල ඉතාමත් උත්සව සිරියෙන් සමරන ලද ජාතියක් බවට පත්ව සිටින්නේ ඈත අතීතයේ පටන්ය. ක්‍රි.ව 531 දී ආතර්තුමා විසින් ඉතාමත් උත්සවසිරියෙන් සමරන ලද නත්තල් උත්සවය ක්‍රෙම්වෙල්පාලන කාලයේදී යම් පසුබෑමකට ලක්ව ඇත. එහෙත් වික්ටෝරියානු යුගයේදී නැවතත් නතත්ල හැඩවැඩ ගැන්වී ඇත. බ්‍රිතානයයේ නත්තල වෙනුවෙන් විහේෂ වන්නේ කැරොල් ගීත ගායනාවන්ය.ඇතැම් අවස්ථාවන්හිදී මේ වෙනුවෙන් විවිධ චෝදනා නැගුන අවස්ථාවන්ද ඇත. මැදියම් රාත්‍රියතෙක් කැරොල් ගී ගායනා කිරීම නිසා බොහෝ දෙනාගේ නින්දට බාධාවන් ඇති වීම ඒ චෝදනාවයි.

වේල්සයේ කැරොල් ගීත ගායනාවන් සමග “හාප්” වීණා විශේෂයෙන් වාදන සපයා ගැනේ. කැරොල් ගී රචනාවන් නතත්ල් දිනට පොරතුව බෙදා හැර ඒ වෙනුවෙන් තනු නිර්මාණය  කිරීමට සාමාන්‍ය වැසියන්ට අවසර දෙන අතර ජයග්‍රාහී නිර්මාණ නත්තල් දිනයේදී ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ නත්තල් සැමරුම තුළබ්‍රිතාන්‍ය ආභාෂය නොමදව තිබේ. රසවත් ආහාරපාන, කිවි පළතුරු සහ පැෂන්පෘට් , පළතුරුපුඩිං සහ හැම්බර්ග් ආහාරපාන ඒ අතර වේ. සිඩ්නි නගරයට නැගෙණහිරින් පිහිටි “බොන්ඩ්” වෙරළට එක් රොක් වෙන පිරිස් මෙදිනට ක්‍රිඩාවේ යෙදෙමින් සතුටින් කාලය ගතකරයි.

චීන ජාතිකයින් නතත්ල සමරනු ලබන්නේජනවාරි මාසය අගභාගයේදීය. චීන ජනගහනයෙන් මිලියන හතරක් පමණ ක්‍රිස්තියානි ආගමිකයන්ය. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් චීනයට කිතුණු ආගම ව්‍යාප්ත කරන ලදී. ක්‍රි. ව 625 වසරේදී චීන ශිස්ටාචාරයේ උත්පත්ති නගරය වූ “සියෑන්” වෙත මෙම මිෂනාරීන් පැමිණ තිබේ.1999 වසරේදී මෙම නගරයේ “ටාවෝ” ආහ්‍රමය අසල තිබී මරියතුමිය විවේක ගන්නා ඉරියව්වෙන් නිරූපිත ප්‍රතිමාවක් හමු විය. මෙය දරුනු ලෙස හානියට පත්වතිබුනත් ආධයාත්මික පසුබිම පිලිබඳව මනා නිරූපනයක් මෙම ප්‍රතිමාවේ ඇති බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥ “මාවින් පලර්මර්” සඳහන් කරයි.

ජර්මන් ජාතිකයින්ගේ නත්තල් සම්ප්‍රදායන් අතර ඉගුරු පාන්, කැරොල් සහ ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය දක්වන දින දර්ශන වඩාත් විශේෂ වේ. ක්‍රි.ව 1700 වසරේදී ජර්මන් ජාතිකයින් නැවතකැනඩාවට පැමිණි යුගයේ පටන් මෙම සම්ප්‍රදායන් තවමත් ශේෂව පවතී. නත්තල ලබන දිනයට පෙරදිනයේදී ඔවුන් නිරාහාරව සිටිති.

ක්‍ර්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින් දොළොස්දෙනා සහ සඳ ච්ත්‍රය සිහිපත් කරමින් ව්‍යංජන දොළහක් පිලියෙල කරනු ලබයි. මස් සහකිරි මෙදින පිසින ආහාර අතරට ඇතුලත් නොවේ. ශුද්ධ සලකුනක් ලෙස ගෘහපතියා විසින් තිරිගුකරල් මිටියක් ගෙනැවිත් මුලුතැන්ගෙයි හෝ කෑම කාමරයේ තැන්පත් කරනු ලබයි.

කිතු උපත සිදු වුන බෙතේලෙහෙම් නගරයට නත්තල උදා වෙන්නේ එක් වරක් පමණක් නොවේ. සම්ප්‍රදායික ලෙසින් දෙසැම්බර් 25වැනි දිනද, ජුලියස් කැලැන්ඩරයට අනුව ජනවාරි හත්වැනි දිනද, මේ කැලැන්ඩරයටම අනුව ආර්මේනියන් පල්ලිය විසින් ජනවාරි 6 වැනි දිනද නත්තල් උත්සවය සමරනු ලැබේ. කොන්ස්ටන්ටයින් සහ ශාන්ත හෙලේනා විසින් ඉදි කරන ලද ග්‍රික දෙවියන්ගේ ඇඩොනිස්දේවාලය මත ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් උත්පත්ති පල්ලිය ඉදි කරන ලදී. මෙහි පිහිටි උපත සංකේතවත් කරමින් මරියතුමියගේ කුසෙන් ජේසු බිලිදා උපත ලබා ඇතැය් සටහනක් තබා තිබේ. නත්තලට පෙර දින දේව මෙහෙය ගොපල්ලන්ගේ භුමිය හෙවත් ෂෙපර්ෆීල්ඩ් සිට දේවස්ථානය වෙතට පැමිනේ.මෙම දේවස්ථානයේ ඉඩ කඩ ආරාධිතයින්ට පමණක් වෙන් කර තිබේ.

පින්ලන්ත නත්තල් උත්සවයේදී නත්තල්සීයා විශිෂ්ට චරිතයයි. ඔහු දිවා කාලයේ පැමිනෙන අතර නිවසට පැමිණ හොඳ දරැවන් සිටිනවා දැයි විමසා සිටී. එවිට දරුවන් “ඔව්” යනුවෙන් ඉතා සතුටින් පිලිතුරුලබා දෙති.

ඉතාලි නත්තල රෝම අධිරාජ්‍යයාගේ සම්ප්‍රදායන් සමග මිශ්‍රව පවතී. දෙවියන් ඇදහීමේ රෝම සම්ප්‍රදායට අනුව දෙසැම්බර් 17 සිට 26 වැනි දින දක්වා කලාය සෙනසුරු වෙනුවෙන්ද, පුද පූජාවන් පැවැත්වීම ඉතාලි චාරිත්‍ර විධි අතර වේ. වර්තමානයේදී මෙම කාලසීමාව නත්තලේ සැමරුමවෙනුවෙන් යොදා ගෙන ඇත.

නත්තල් උදාවට පෙර දිනයේදී බෝජනය මාළු සහ මුහුදු ආහාර වලින් සකසනු ලැබේ. දෙවියන්වහන්සේගේ රාත්‍රි භෝජන හත සිහිපත් කරමින් වයංජන හතක් පිලියෙල කෙරේ. තවත් සිරිතක් අනුව ‍ගෝලයින් දොලොස් දෙනා සිහිපත් කරමින් ව්‍යංජන දොළහක් පිලියෙළකරයි.

මේඅන්දමින් නත්තල් සැමරුම තුළ දයාව, සාමය, සහ පරිත්‍යාගය මූර්තිමත් වේ. පරිත්‍යාගය තුලින් ඇති වෙන තෘප්තිය සැබෑ නත්තලේ අර්ථයයි. නත්තල යනු සාමයේ සහ සහජීවනයේ අර්ථාන්විත හැසිරීමයි.

Screen Dependency Disorder හි ගොදුරක් වෙන්න පෙර

අද කාලයේ හැම අම්මා තාත්තා කෙනක්ම බොහොම කාර්යබහුලයි. රැකියාව, නිවස සහ දරුවන් මුල් කර ගෙන තිබෙන මේ අරගලයේදී දරුවා පරක් කර ගැනීමටත් කුමන හෝ විකල්පයක් දෙමව්පියන්ටත් එපායැ… ඒ වෙනුවෙන් අද දෙමව්පියන්ට තිබෙන හොඳම උපාංගය බවට පත්ව තිබෙන්නේ විවිධ විද්‍යුත් මෙවලම්.

මේ මෙවලම් දරුවාගේ ලෝකයේ බොහොම හොඳ මිත්‍රයෝ.ඒ වගේම අම්මාටත් රැයක් එලි වෙන කම් හෝ දරුවා මේ උපාංග සමග තියන්න පුලුවනි. ඒ වුනාට මෙහි ප්‍රතිවිපාක පාරාවළල්ලක් විදිහට නැවත ඔවුන් කරාම පැමිනෙනවා. අදටත් හැම තැනින්ම මේ ගැන දෝෂාරෝපන නැගෙන බව ඔබත් දන්නවා ඒත් මුලින්ම දරුවාගේ අතට මේ මෙවලම් පත් කරන්නෙත් අම්මා තාත්තා බව කාලය සමග ඔවුන්ට අමතකයි.

මේ Screen Dependency Disorder සිදුවීම මුල් කරගෙන ආචාර්ය “ඇරික් සිග්මන්” විසින් අධ්‍යනයක් සිදු කළා. බාල කාලයේදී වීඩියෝ දර්ශනයක් වෙනුවෙන් ආකර්ශනය වීම පසුකාලයේදී නොදැනීම ඒ වෙනුවෙන් ඇබ්බැහියක් බවට පත් වෙලා. අම්මලාට මේ ගැන දැනෙන්නේ අන්තර්ජාලයට එහෙම නැත්නම් මුහුනුපොත සමග දරුවා දැඩි විදිහට ඇබ්බැහි වීමෙන් පසුවයි.

ඇබ්බැහි වීම ඇති වෙන්නේ කොහොමද….?

ඔබ සාමාන්‍යයෙන් මේ වර්ගයේ මෙවලම් හසුරුවන දරුවෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන්න. දරුවන් මේ මෙවලම්වල තිරයෙන් ඇහැ ඉවතට ගන්නේම නැහැ. මේ තත්වය විශේෂඥයින් විසින් Screen Dependency Disorder යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.

මේ තත්වය නිසා දරුවෙකුට ඇති වෙන අපහසුතාවයන් මොනවාද…?

  • නින්ද පිලිබඳ ගැටලු
  • කොන්ද සහ බෙල්ල කැක්කුම
  • ශරීර බර වැඩිවීම
  • එහෙම නැත්නම් නිසි විදිහට ආහාර නොගැනීමෙන් ඇති වෙන ශරීර බර අඩු වීම
  • ඇස් පෙනීමේ ගැටලු
  • හිසරදය

ඔය විදිහට දැක්වුයේ ශාරිරික ආබාධයි.. ඊට අමතරව ඇති වෙන තවත් ගැටලු කීපයක් තිබෙනවා..

මොනවද මේ සමාජ ගැටළු….

  • අනේ හැබෑටම අල්ලුපු ගෙදර දරුවාවත් හදුනන්නේ නැහැ
  • හීනමානය
  • මානසිකව තිබෙන හිස්බව
  • ආතතිය
  • මානසික වියවුල
ඇබ්බැහි වීමට කලින්

අද දෙමව්පියන්ගේ පොදු තේමාව බවට පත්ව තිබෙන්නේ “අනේ අපි නම් ඒ කාලයේ ඔහොම නැහැ…” යන්නයි. ඊටත් හේතුවක් තිබෙනවා. ඒ කාලයේ මේ වගේ වෛවාර්ණ දේ තිබුනේ නැහැ. ඒත් අද ලෝකයේ ඇස ගැටෙන මේ මෙවලම් වෙතින් දරුවන් මුදවා ගැනීම අද යුගයේ දැවැන්ත අවශ්‍යතාවයක්.

එහෙම නම් අපි කරන්නේ මොනවාද?…

අපි මොන විදිහට කිව්වත් දරුවන් බොහෝ  දේ ඉගෙනගන්නේ ආභාෂයෙන්. ඒ නිසා කුඩා කාලයේ පටන්ම මේ මෙවලමක් අතට දී ඔවුන් ප‍සකට නොකොට දරුවන් සමග සෙල්ලම් කරන්න. වැඩි කාලයක් ඔවුන් සමග ගත කරන්න. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල බාල කාලයේදී දරුවන්ට මුලින් දැක්වෙන කිසිම මෙවලමක් ඇසුරු කිරීමට අවසර දෙන්නේ නැහැ. ඒත් දරුවන් වෙනුවෙන්ම වෙන් වුන වෙනත් ක්‍රිඩාවන් තිබෙනවා. ජිග්සෝ ප්‍රහෙලිකා. මනිපෝලි වැනි ක්‍රිඩාවන් මගින් දරුවන් තමන්ගේ වයසට ගැලපෙන සෙල්ලම් කිරීමට උනන්දු වෙනවා.

අන්තර්ජාලයටත් නිරාවරනය වෙන දවසක් එනවා

පුංචි කාලයේදී නම් විවිධ සීමාවන් සහ තහංචි මගින් දරුවා සයිබර් අවකාශයට නිරාවරනය වීම පාලනය කිරීම අපහසුයි. ඒත් මේ ආගන්තුක පරිසරය තුළ  අනිසි විදිහට දරුවා අන්තර්ජාලයට නිරාවරනය වීම පාලනය කර ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.

  • ඔවුන්ට අන්තර්ජාලයේ සුදුසු දේ තෝරා දෙන්න
  • නිතරම පරිගණකයට හෝ ස්මාර්ට් දුරකථනයට මුරපදයක් දමා දරුවාට අවශ්‍ය විටෙක ඔබ විසින් එය විවෘත කරන්න
  • පොදු ස්ථානයක පරිගණකය තබන්න

මුල් කාලයේදී නම් දරුවාට ඔහු විසින් පරිශීලනය කළ ඉතිහාසය මකා දැමීමට අපහසු විය හැකියි. දෙමව්පියන් විදිහට දරුවාට නොදැනෙන සේ මේ ඉතිහාසයෙන් ඔහු නරඹන ලද දේ ගැන යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවනි. යම් දැනුම් තේරුම් ඇති වයසට එන තෙක් දරුවන් නොමග යෑමට ප්‍රවනතාවයක් තිබෙන නිසා මේ කුනාටු සමයේදී ඉතාම ප්‍රවේසමෙන් ඔවුන් සමග කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ දරුවා Screen Dependency Disorder තත්වයට පත් වීමට පෙරාතුව ඒ වෙනුවෙන් විසදුම් ‍සොයා ගැනීමෙන් මේ අවාසනාවන්ත තත්වයට දරුවා පත් නොවෙන තැනට කටයුතු සලසා ගැනීමට ඔබට හැකි වෙනු ඇති.

සෙල්ලම අවශ්‍ය ඇයි…

අම්මා තාත්තාට දරුවන් තරම් තවත් සම්පතක් නැහැ. ඒ නිසාම ඔවුන් දරුවන් වෙනුවෙන් මහත් වූ කැපවීමකින් කටයුතු කරනවා. ඒ නිසාම සමහර අවස්ථාවලදී දරුවාගේ වයසටත් වඩා දේවල් ඔවුන් දරුවන්ගෙන් අපේක්ෂා කරනවා. මේ නිසා දරුවන්ට සෙල්ලමට එතරම් ඉඩක් දීමට නම් වැඩි කැමැත්තක් නැහැ. මේ වෙනුවෙන් දෙමව්පියන්ටත් නිදහසට කරුනු තිබෙනවා.. සෙල්ලමට ඇබ්බැහි වුනොත් පාඩමට හිත නැති වෙයි කියන සැකය නිසා ඒ වගේ තීරණ ගත්තත් දරුවන්ට සෙල්ලමට ඉඩක් ලබා දීම ඉතාම වැදගත්.

සෙල්ලම අවශ්‍ය ඇයි…

සෙල්ලම නිසා දරුවා අත්දැකීම් ලබා ගන්නවා. එක්තරා මනෝ විද්‍යාඥයෙක් සඳහන් කරන්නේ අපි ගින්දරට පිච්චෙයි කියල දරුවා ඈත් කළාට වඩා යාන්තමින් හෝ ගිනි රස්නයක් දැනුනොත් මේ පිච්චීම කියන්නේ මොකක්ද කියල දරුවාටම ඒත්තු යන බවයි. ඒ නිසා සෙල්ලම් කරන විට ඔවුන් ඒ තුලින් බොහෝ දේ ඉගෙන ගන්නවා.

දරුවාට අවශ්‍ය දැනුම වෙනුවෙනුත් සෙල්ලමබොහොම වැදගත්…

ඉස්සර කාලයේ දරුවන්ට හවස් කාලයේ නිදා ගන්නා ගස් වැල් මොනවාද ඇහුවොත් පරිසරයේ පෙල පොත අවශ්‍ය නැහැ. ඔවුන් ඒ දැණුම පරිසරයෙන්ම ලබා ගත්තා. පොත් පත කියවලා ලබන දැණුමට වඩා තමාගේ ඇස් දෙකින්ම දැකීමෙන් ලැබෙන දැණුම ඉතා ප්‍රබල විදිහට මනසට ඇතුළු වෙනවා. ඒ වාසනා ගුණය සෙල්ලමින් දරුවාට ලැබෙනවා.

කණ්ඩායමක් සමග කටයුතු කරන අන්දම ගැන දැනුවත් වීමටත් සෙල්ලම උපකාරී වෙනවා. දරුවාට සමාජයේ තවත් අය සමග ගණුදෙනු කරන්නේ කොහොමද යන සංකල්ප ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවසරය සෙල්ලමින් ලැබෙනවා.

ඒ වගේම සෙල්ලම හොඳ ව්‍යායාමයක්. අද දරුවන්ගේ තරබාරුවට ප්‍රධාන චෝදනාව නැගෙන්නේ ඔවුන් ගෙවන ජීවන රටාවටයි. ඒත් සෙල්ලම් කරන දරුවන් බොහොම ක්‍රියාශීලියි. ඔවුන් තරබාරුවට ගොදුරු වෙන අවදානම අඩු නිසා ළමා කාලයේ වැල‍ඳෙන විවිධ බෝ නොවන රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පුලුවනි.

සෙල්ලමත් සමග දරුවාට ලැබෙන තවත් දායාදයක් විදිහට ආත්ම විශ්වාසය පෙන්වා දෙන්න පුළුවනි. තමාට යම් යම් හැකියාවක් තිබෙන බව ඔවුන් විසින්ම තේරුම් ගන්නේ එවිටයි. ඔට්ටු සෙල්ලමින් නිතරම ජය ලබන දරුවා තමාගේ දිවීමේ හැකියාව වගේම උපායශීලීත්වය තේරුම් ගන්නවා. ඒ තත්වය තුලින් ඔවුන්ට අනාගත ජීවිතයේ බොහෝ දේ ජයගන්න පුලුවනි.

භාෂා කුසලතාවයන් දියුණු වෙනවා. අද දරුවන් අතර සන්නිවේදන හැකියාවන් බොහොම දුර්වලයි. ඊට හේතුව ඔවුන්ට කටේ හිරි ඇරෙන්න කතා බහට සහ අදහස් හුවමාරු කර ගැනීමට පරිසරයක් නැහැ. ඒත් සෙල්ලමින් දවස ගෙවන විට පොල්කිච්චෝ වගේ කෑගහන, ප්‍රිතිඝෝෂා කරන දරුවන් ගැන මතක ඔබේ බාල කාලයේ ඇති. ඒත් අද නිවසක කාමරයට කොටුව සිටින දරුවන්ට ඒ වාසනාව අහිමි වීම නිසාම ඔවුන්ගේ භාෂා සහ සන්නිවේදන කුසලතාවයන් නොදැනීම අහිමි වෙනවා.

දරුවන් සෙල්ලම් කොටස් දෙකක්ට බෙදන්න පුලුවනි…

දරුවන් විසින් කරන සෙල්ලම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවනි.

  • සැලසුම් සහගත ක්‍රිඩා
  • සැලසුම් සහගත නොවන ක්‍රිඩා
මොනවද මේ සැලසුම් සහගත ක්‍රිඩා…

සැලසුම් සහගත ක්‍රිඩාවන් විදිහට අපි හඳුන්වන්නේ සරල නීති රීති පද්ධතියක් තුළ සිදු වෙන ක්‍රිඩාවන්ටයි. මේ ගණයට පිහිනීම,බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රිඩාවන් ඇතුලත්. මේ ක්‍රිඩාවන්හිදී දරුවා යම් විනයක් ගැන දැණුවත් වෙනවා. ක්‍රිඩාවේ නීති රීති වලට ගරු කිරීම වගේම ජය සහ පරාජය දෙකම ලැබෙන බවත්, ක්‍රිඩාවේ ජයග්‍රහනය වෙනුවෙන් කණ්ඩායම් හැඟීම වගේම ඉවසීම අවශ්‍ය බව ප්‍රායෝගිකව දරුවා ඉගෙන ගන්නේ ඉහත දැක්වෙන සැලසුම් සහගත ක්‍රිඩාවන්වලදියි. “පුතේ…ඉවසීම පුරුදු වෙන්න….” කියනවාට වඩා සෙල්ලම සමග විරුද්ධ මත ඉවසා ගැනීමට දරුවාට සිදු වෙන නිසා ඔවුන් එහි වටිනාකම තේරුම් ගන්නවා. ඒ නිසා අපෝ සෙල්ලම්වලට ගියොත් ඉගෙනගෙන ඉවරයි… කියන මතයේ රැඳීමේ තිබෙන මිථ්‍යාව දැන් ඔබට වැටහෙනවා ඇති.

සැලසුම් සහගත නොවන ක්‍රිඩා…

සැලසුම් සහගත නොවන ක්‍රිඩාවන් කියන්නේ ක්‍රිඩා උපකරණ භාවිතයක් නැතුව,අවස්ථාවේදී ලැබෙන සහ දරුවා විසින්ම තෝරා ගත් ක්‍රිඩාවන්ටයි. උදාහරණ විදිහට පුංචි දුවක් අම්මාගේ සාරියක් ඇඳ සෙල්ලම් ගෙදර අම්මා වුනොත්…එහෙම නැත්නම් පුංචි පුතා සෙල්ලම් කඩයක් දැම්මොත් ඒවා සැලසුම් නොවන ක්‍රිඩාවන්ට ඇතුලත්.

අද දවසේ දෙමව්පියන්ගේ මේ වගේ ආකල්පත් තිබෙනවා. පිහිණීම, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රිඩාවන්ට දරුවන් යොමු කරන රටාවක් තිබුනත් මුලින් දැක්වූ බෝනික්කන් නැලවීම, සෙල්ලම්කඩ දැමීමට නම් කොහෙත්ම එකඟ නැහැ. ඔවුන් ඒවා දකින්නේ කාලය සහ නිවසේ ද්‍රව්‍ය නාස්තියක් විදිහටයි.

ඒත් මේවායින් දරුවන්ට ලැබෙන දායාද බොහොමයි…

මේ වගේ සැලසුම් නොකල ක්‍රිඩාවන්හි යෙදෙන විට දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධනය වෙනවා. පරිකල්පනය ඇති වෙනවා. ඒ නිසා දරුවන්‍ගේ සැලසුම් සහගත නොවන ක්‍රිඩාවන් වෙනුවෙන් කිසිම විටෙක තරහ ගැනීම නම් නොකල යුතුයි.

සෙල්ලමට සමාජයක් කෝ…

අද කාලයේ පවුල්වල දරුවන් සංඛ්‍යාව සීමිතයි. සමහර විට එක් දරුවෙක් පමණයි. දෙ‍න්නෙක් හිටියත් ඔවුන් අතර වයස පරාසය දුරස්. පවුලේ සහලේ ඥාතීන්ගේ දරුවන් වුනත් ජීවත් වෙන්නේ බොහාම ඈත පරිසරයකයි. අසල්වැසියන් අතරත් සම්බන්ධතාවයන් නැති නිසා දරුවන්ට සෙල්ලමට සමාජයක් නැහැ. එහෙම වුනොත් අම්මා , තාත්තා හෝ වේවා දරුවාගේ සෙල්ලමට සම්මාදම් වීම ඉතාම වැදගත්.

ඒ නිසා සෙල්ලමේදී දෙමව්පියන් හෝ වේවා දරුවාට සම්බන්ධ වෙන්න. සැලසුම් සහගත නොවන ක්‍රිඩාවකදී වුනත් දරුවාට ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. මේ අන්දමින් සහයෝගය ලැබෙන විට ඔවුන්ගේ ස්නායු පණිවිඩ වේගවත්ව මොළයේ පරිපථවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. එය දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතාම වැදගත්.

එහෙම නම් දරුවන් සෙල්ලමට ඇරයුමක් නොකලත්… ඔබ විසින්ම ඒ වෙනුවෙන් දායකත්වයක් ලබා දීම මොනතරම් අගනේදැයි දැන් ඔබටම ඒත්තු යනු ඇති.

දරුවාට විභාගය බරක් කරන්න එපා…

අපේ රටේ විභාගයක් ඉදිරියේදී දෙමව්පියන් විසින් දරුවන්ට ඇති කරන ආතතිය සුලු පටු නැහැ. මේ ආතතිය නිසාම දරුවා ඉතාම පසුගාමී තත්වයට පත් වෙනවා. ඒ බව දෙමව්පියන්ට තේරුම් යන්නෙත් නැහැ. නමුත් නිතරම විභාගයක් ඉදිරියේදී දරුවාගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් පවත්වා ගත හැකි නම් ඒ තරම් ප්‍රතිඵලදායක පරිසරයක් වෙනත් නැති තරම් කියන්න පුලුවනි.

ස්වයං යෝජනා…

ප්‍රංශ ජාතික “එමිල් කුරේ” ගේ පෙන්වා දීමට අනුව විභාගයක් ඉදිරියේදී දරුවන් විසින් තමන්ගේ මානසික ශක්තිය ‍ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. අපි කොහොමද මේ ස්වයං යෝජනා ගොඩ නගන්නේ…. ? එමිල් කුරේ පෙන්වා දෙන අන්දමට නම් මේ විදිහට ස්වයං යෝජනා ගොඩ නගන්න පුලුවනි.

  • හැම දිනයකම මම සාර්ථක වෙමි.
  • මම මගේ ඉගෙනීම් කටයුතු වලින් තුටු වෙමි.
  • අද දවසේ මගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් සාර්ථක වෙමි.

අපි මේ ගැන නොසිතුවත් ලෝකයේ මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අපේ යටිහිතේ පවතින ශක්තීන්ගෙන් 10 % ක් වත් අපි ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒ නිසා දරුවාට නිතරම තමා ගැන ස්වයංයෝජනා ගොඩ නගා ගැනීමට උනන්දු වෙන්න.

ව්‍යායාම

අපිට ව්‍යායාම අවශ්‍ය වෙන්නේ හාරිරික යහපත් පැවැත්මට මිස විභාග සමත් වෙන්න නොවෙයිනේ… ඔබ එහෙම හිතුවොත් එය වැරැදියි. මොළයේ නීරෝගීතාවය වෙනුවෙන් ව්‍යායාම අවශ්‍ය වෙනවා. මේ ව්‍යායාම කරන අවස්ථාවන් දෙකක් තිබෙනවා.

  • රාත්‍රි නින්දට ආසන්න වූ අවස්ථාව
  • උදයේ නින්දෙන් අවදි වුන අවස්ථාව

මේ ව්‍යායාම කරන්නේ කොහොමද…? මොළය නීරෝගී වුනොත් මානසික සුවතාවය නොදැනීම ඇති වෙනවා. ඒ සඳහා සරල ව්‍යායාම කීපයක් තිබෙනවා. මුලින්ම උදරය පුම්බා හුස්ම ගන්න. පසුව පපුව පුම්බා හුස්ම ගන්න. ඒ ආකාරයට ඉතා සෙමින් ගැඹුරු ලෙස හුස්ම ඉහළ පහළ ගැනීම මොළයට නීරෝගීතාවය ලබා දෙන සරල ව්‍යායාමයක්.

ඉගෙණුම් පරිසරය සකස් කර දෙන්න…

දරුවෙකුගේ කාමරය ඉතා පිළිවෙලට තිබුනොත් ඔවුන්ට යහපත් මානසිකත්වයක් ගොඩ නැගෙනවා.සමහර දරුවන්ගේ කාමර විභාග ආසන්නයේදී පිස්සන් කොටු වගෙයි. ඒවා දකින අයගෙත් මානසිකත්වය අවුල් වෙනවා. මේ නිසා නිතරම පාඩම් කරන පරිසරය ඉතාම පිළිවෙලට තබා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.

ඉගෙණුම් පරිසරයේ තිබිය යුතු දේ…

  • නිශ්ශබ්ද පරිසරය
  • උෂ්ණත්වය අඩු වීම
  • පිරිසිදු වාතය
හොඳින් ආලෝකය ලැබීම…

සමහර දරුවන් තමන්ගේ පාඩම් කරන මේසය ඉදිරියේ ආත්ම විශ්වාසය වර්ධනය කරන ප්‍රකාශ එල්ලා ගෙන සිටිනවා. මේ දැන්වීම් නිසා දරුවන්ට ඉගෙනුම වෙනුවෙන් ඇති වෙන උත්තේජනය නිසාම යහපත් පරිසරයක් නිර්මාණය වෙනවා.

සැලසුම ඉතාම වැදගත්…

බොහෝ දරුවන්ගේ විභාග මානසිකත්වය බිඳ වැටෙන්නේ විෂය නිර්දේශය සහ කාලරාමුව අතර වූ නොගැලපීම නිසයි. විෂය නිර්දේශය ආවරණය නොවුනොත් එය ඉතාම දැඩි සේ බලපානවා. නමුත් යම් ලෙසකින් දරුවාට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට අපොහොසත් වුනොත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සලකා බලමින් විභාගය වෙනුවෙන් වූ සම්පූර්ණ සූදානම ගොඩ නගා ගන්න. එසේ නොමැතිව එම මාතෘකා අත්හැර දැමීම නුවණට හුරු කටයුත්තක් නොවේ.

මොළයේ කාර්යක්ෂමතාවය….

“ටෝනි බූසෑන්” පෙන්වා දෙන අන්දමට අපේ මොළය පුදුමාකාරයි. මොළයේ කලාප දෙකක් පවතින අතර වම් පැත්ත මගින් යම් දෙයක් ගැන ගැඹුරින් සිතීම, විද්‍යා ගණිත ගැටළු විසඳීම,තර්කානුකූල සහ විවේනාත්මක ලෙසින් සිතීම සිද්ධ වෙනවා. දකුණු පැත්තෙන් කලාත්මක සහ නිර්මාණශීලී අදහස් ජනනය වෙනවා.මේ නිසා මොළ කලාප දෙක අතර කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි ක්‍රියාකාරකම් කීපයක් තිබෙනවා.

වම් මොළයේ ක්‍රියාකාරිත්වයට…

  • කාමරය පිලිවෙලකට අස් කිරීම
  • ගණිත ගැටලු විසඳීම
  • පරිගණක පරිහරණය
  • යන්ත්‍ර සුත්‍ර ක්‍රියාකිරීම
  • විද්‍යාත්මක කරුණු පිලිබඳව විමර්ශනාත්මකව සිතීම
දකුණු මොළයේ ක්‍රියාකාරිත්වයට…

  • නිසඳැස් කෙටි කතා වැනි දේ නිර්මාණය කිරීම
  • අලුත් වචන එකතු කිරීම
  • යම් සිදුවීමක් ගැන විවිධාකාරයට සිතීම
  • චිත්‍ර ඇදීම
  • නිර්මාණාත්මකව සිතීම

දරුවා විභාගය කට උඩ තිබියදී ගීතයක් ගයනු ඇසුනොත්… එහෙම නැත්නම් යන්ත්‍ර සුත්‍ර කොටසක් අත පත ගාමින් සිටියොත්…

“විභාගය මෙච්චර ලඟට ඇවිල්ලත් කිසිම සැලකිල්ලක් නැති හැටි …” යැයි ආවේශ වීමට එපා. මේ කටයුතු නිසා දරුවාගේ මොළයේ කලාප දෙක ක්‍රියාකාරී වෙන නිසා නිර්මාණාත්මක සහ තාර්තික කටයුතුවලට බිය නැතුව අවසර දෙන්න. එය දරුවාගේ මානසික සුවතාවයට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. දෙමව්පියන් විදිහට ඔබ විභාගය නිසා දරුවා හෙම්බත් කිරීම වෙනුවට ඔවුන් සදහා ඉතා සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කිරීමට හැකි පරිසරය නිර්මාණය කර දෙන්න.

ගෙදරට තීන්ත ආලේප කිරීමට පෙරාතුව…

අලුත් අවුරුද්දක් ලඟ එන නිසා අපි කවුරුත් නිවෙස් ලස්සන කිරීමට දැන් ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ වගේම නිවසේ තීන්ත ආලේප කිරීමටත් උනන්දු වෙන මේ කාලයේදී සායම් තෝරා ගන්නේ කොහොමද කියල ටිකක් හොයල බැලුවොත්.

වර්ණ වලින් අපේ මනසට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ නිසා අපි වර්ණ තෝරා ගැනීමේදී ඒ ගැන උනන්දු වීම ඉතාම වැදගත්. අතීතයේදී වගේ නොවෙයි, දැන් නිවෙස් අලංකාර කිරීමට විවිධ වර්ණ යොදා ගනන්වා. එක නිවසක වර්ණාවලියක් අපිට දැක ගන්න පුලුවනි. පුරාණ කාලයේදී විවිධ ප්‍රතිකාර වෙනුවෙනුත් වර්ණ යොදා ගෙන තිබෙනවා. මිසරය, ග්‍රීසිය, වැනි රටවල්වල ප්‍රතිකාර සඳහා වර්ණ භාවිතා වුනා.

රෝස වර්ණය :

ආයේ කියන්නත් දෙයක්යැ නේද…? කාන්තාවන්ගේ වර්ණයනේ… මේ නිසා ගැහැණු දරුවන්ගේ කාමරයේ ආලේප කිරීමට ගැලපෙනම වර්ණයයි. මානසික සන්සුන් බව ඇති කරන මේ වර්ණය ගැහැණු දරුවාගේ කාමරයට ආලේප කිරීම යහපති.

සුදු වර්ණය :

අපෝ පිරිමහන්න බැහැ… ඉක්මනින්ම කිලුටු වෙනවා. ඒත් සුදු පැහැය කියන්නේ පවිත්‍රතත්වයේ සංකේතයක්. සිතට නිවුන බවක් ඇති කරන සුදු වර්ණය ගැබිණි අම්මාගේ කාමරයට ඉතාම ගැලපෙනවා.

අළු වර්ණය :

අළු මලානික වර්ණයක් බව හැබෑව.. ඒ වුනත් බිත්තිය අපිරිසිදු වුනත් ඒවා ඉස්මතු වෙන්නේ නැහැ.ඒ වගේම වර්ණ පිලිබඳ විශේෂඥයින් කියන්නේ අලු පැහැය හිත සැහැල්ලු කරන වර්ණයක් බවයි. අලු පැහැයට අකමැති නම් නිල් හෝ සුදු වර්ණය සමග මිහ්‍ර කර ගෙන ආලේප කරන්න.

කහ වර්ණය :

හිතේ ප්‍රබෝධවත්බව සහ අලුත් බවක් ඇති කිරීමට කහ වර්ණය උපකාරී වෙනවා. අපේ ජීවිතයට අලුත් වීමක් අවශ්‍යයි. එහෙ නැති වුනොත් ජීවිතය විඩාවක්. නිවසේ තිබෙන අදුරු අහුමුලු සිරිකතගේ පැමිනීමට බාධා කරන බව අපේ ජන සම්මත විශ්වාසයක්.

නිල් වර්ණය :

නිල් පැහැති වර්ණය නිසා ශාන්ත බව ඇති වෙනවා වගේම ධනාත්මක චින්තනය ගොඩ නගා ගැනීමටත් ඉවහල් වෙන බව ඩෙන්මාර්කය් “කීල්ස් ‍ෆින්කෙන්” සඳහන් කරනවා. මානසික විඩාවට නිල් පැහැය ඉතාම හොද විසඳුමක් බව දැන් පිලිගෙන තිබෙනවා.

කොළ වර්ණය :

පරිසරයටම බද්ධ වී තිබෙන කොළ පැහැය හිතට සැනසිල්ලක්. සිත නිවන වර්ණයක්. ඒ නිසාම නිවෙස් ආලේපයට කොළ වර්ණය ඉතාම හොදින් ගැලපෙන බව දැන් පිලිගෙන තිබෙනවා.

දම් වර්ණය :

සාමකාමී වටපිටාවක් ගොඩ නගන දම් වර්ණය දරුවන් පාඩම් කරන කාමර වෙනුවෙන් ගැලපෙන බව වර්ණ විද්‍යාඥයින්ගේ අදහසයි.

රතු වර්ණය :

ඉස්සර කාලයේ නම් රතු වර්ණය ආලේප කළේ මස් විකුණන අලෙවිසැල් වල අනන්‍යතාවය පෙන්වීමටයි. අදටත් බිත්තිවල රතු වර්ණය ආලේප කිරීම ඉතාම සීමිතයි. ඒ වුනත් රතු තිබෙනවා.

තැඹිලි වර්ණය :

මේ වර්ණයත් ඉතාම අඩුවෙන් ආලේප කළත් ස්නායු උත්තේජනයට හොඳ හැකියාවක් ඇති වර්ණයක් විදිහට පිලිගැනීමක් ඇති වර්ණයක්.

තීන්ත ආලේප කිරීමේදිත් සැලකිලිමත් විය යුතු කරුණු…

තීන්ත ආලේප කිරීමේදී අපි දරුවන්ගේ සෙෆඛ්‍යය තත්වය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. තීන්ත දිය කිරීම අපි වාස්පශීලී සංයෝග එහෙම නැත්නම් Volatile Organic Compounds වර්ග යොදා ගන්නවා. මේවායේ දිය කිරීමෙන් පසුව තීන්ත ආලේප කලාම බිත්තියේ විශාල පරාසයක පැතිරෙනවා. VOC වාෂ්ප වුනාම තීන්ත ඝන බවට පත් වෙනවා.

දරුවන්ට අහිතකරයි…

ඒත් නිතරම දරුවන් මේ සංයෝගවලට නිරාවරනය වීම අහිතකර බැව් දැන් විද්‍යාඥයින් විසින් හදුන්වා දෙනවා. ඒ නිසා තීන්ත ආලේප කළාට පසුව දරුවා ඒ පරිසරයෙන් ඈත් කර තැබීම වැදගත්.

අපෝ බිත්ති විනාසයි…

දරුවන්ටත් කුරුටු බලි අදින කාලයක් තිබෙනවානේ… දැන් නිතරම තීන්ත ආලේප කරනවා. ඒ නිසා දරුවා නිරන්තරවම වෙනුවෙන් නිරාවරණය වීමේ අවදානමක් තිබෙනවා.

ගෙදර අපාය වගේ තියා ගන්නද….?

ඔව් ඒකත් ඇත්ත. ඒ වුනත් අපේ රටේ තවමත් 95 % ක් දෙනා නිවෙස් වල තීන්ත ආලේප කරනවා. ඒත් දරුවන් සාමාන්‍ය තේරුමක් ඇති වයසට එන තෙක් බිත්ති අලංකරණ කඩදාසි යොදා ගැනීමට පුලුවනි. ඒ වගේම තීන්ත මිලට ගැනීමේදී VOC රහිත තීන්ත වර්ගයක් වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්. මේ පුංචි වෙනස්කම් වලින් දරුවන්ට විය හැකි අනතුරු අවදානම ඔබට නැති කර ගැනීමට පුලුවනි.

Health & Science
Volatile organic compounds found in paint and other fumes can be harmful

 

මෙන්න මේ පරීක්ෂණ, අලුත උපන් ඔබේ කිරිකැටියාටත් සිදු කළාද?

දරුවෙකු මෙලොව එළිය දැකීමට පෙර සිටම දෙමව්පියන් ඒ වෙනුවෙන් තම වගකීම් කරට ගනියි. දරුවාගේ ආරක්ෂාව, සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව අපමණ වෙහෙසේ. දස මසක් කුසේ හොවාගෙන මෙලොවට දායාද කරනා පුංචි කිරි කැටියා අඩුපාඩුවකින් තොර සෞඛ්‍ය සම්පන්න පැටියෙකු වේ යයි දහසකුත් බලාපොරොත්තු තබාගෙන හිඳී. තත්ත්වය එසේ වුවත් මෙලොව එළිය දකින සියලුම ළදරුවන් සියයට සියයක් සෞඛ්‍ය සම්පන්න නොවීමේ අවස්ථාද වර්තමානයේ බහුලව පවතින බව අපි දනිමු. ළදරුවන් තුළ පවතින එවැනි අඩුපාඩු මුලදීම හඳුනා ගැනීමෙන් ඔවුන් ඉදිරියේදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම වළක්වා ගත හැකි සේම යහපත් සෞඛ්‍යයෙන් යුත් දරුවෙකු බවට පත් කිරීමේ අවස්ථාවද පවතින බවට තවමත් බොහෝ දෙමව්පියන් නොදැනුවත් වුවත් අලුත උපන් බිළිඳුන්ට ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පිලිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම උදෙසා වන අනිවාර්ය පරීක්ෂණ කිහිපයක් මේ වන විටත් රජයේ සහ පෞද්ගලික අංශයේ ඕනෑම රෝහලක් හරහා සිදුකරගැනීමේ පහසුකම අදවන විට හිමිව ඇත. අලුත උපන් දරුවෙකු වෙනුවෙන් අනිවාර්ය පරික්ෂා සහ ඒවායේ වැදගත්කම අපි දැනුවත් වෙමු.

අත්දැකීම් සහිත පළපුරුදු ළමරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හිසේ සිට පාදාන්තය දක්වා සිදු කරන පරීක්ෂණය :

ළදරුවෙකු බිහි වූ විගස සහ රෝහලෙන් පිට වීමට පෙර සෑම ළදරුවෙකුම මෙකි පරීක්ෂණයට බදුන් වේ.

හෘද ක්‍රියාකාරිත්වය පිලිබඳ පරික්ෂාව

මේ සඳහා වන මූලිකම පරීක්ෂණයක් ලෙස දරුවාගේ සිරුරට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණය හැඳින්විය හැකිය. දරුවාගේ දකුණු අත සහ දකුණු  / වම් කකුල Pulse Oxymeter නම් වූ යන්ත්‍රයකට සම්බන්ධ කරන අතර ඒ හරහා දරුවාගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරනු ලබයි. එවිට රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය 95% ට අඩු නම් දරුවා නිවසට ගෙන යාමට පෙර එකෝ පරීක්ෂණයක් කරනු ලබයි. මීට අමතරව හෘද ක්‍රියාකාරිත්වය නිවැරදිව හඳුනා ගැනීමට එක්වරම එකෝ පරීක්ෂණයක් සිදුකළ හැකි අතර ඒ සඳහා විශාල මුදලක් වැයවීම සහ අවශ්‍ය තරමින් පහසුකම් නොමැතිකම හේතුවෙන් පෙර කී ලෙස අත්‍යවශ්‍යම දරුවන් පමණක් එම පරීක්ෂණයට යොමු කිරීම බහුලව සිදුවේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය පරීක්ෂණ

මීළඟට සිදුකළ යුතු තවත්  වැදගත්ම පරීක්ෂණයක් වන්නේ අලුත උපන් බිළිදෙකුගේ කන් ඇසීම සහ ඇස් පෙනීම පිළිබඳ කරනු ලබන පරික්ෂාවයි. OAE පරීක්ෂණය ලෙස හඳුන්වනු ලබන මෙමගින් දරුවෙකුගේ කන් ඇසීම පිලිබඳ ගැටළුවක් වෙතොත් සොයාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඒ හරහා ප්‍රශ්න ඇති දරුවන් තවදුරටත් විශේෂඥ වෛද්‍ය සේවාවන් වෙත යොමු කිරීමක් සිදු කරනු ලබයි.

නොමේරූ දරුවන්ගේ ROP තත්ත්වය පරීක්ෂා කිරීම

නොමේරු ළදරුවන් ලෙස උපත ලැබූ දරුවන්, අඩුබර දරුවන් සහ දැඩි සත්කාර ඒකකයේ සිටින දරුවන් ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යාමට පෙර අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණය වෙත යොමු කළ යුතු වන්නේ ඔවුන් යම් හෙයකින් දෘශ්‍ය ආබාධවලට ලක්ව ඇතිදැයි අනාවරණය කරගත යුතු බැවිනි. එය අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ලේසර් ක්‍රම හා වෙනත් ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් අබාධ තත්ත්ව සඳහා පිළියම් යොදනු ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථිය හා සම්බන්ධ සංකූලතා හඳුනා ගැනීමේ පරීක්ෂාව

අලුත උපන් බිලිඳුන් 2500- 3000 කින් එක් අයෙකු තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ සංකූලතා ඇතිව බිහිවිය හැකි බැවින් ඒ පිළිබඳ පරික්ෂාව ඔබේ අලුත උපන් දරුවා වෙනුවෙන් සිදුකර ගැනීමට තරම් දැනුවත් බවක් දෙමව්පියන් තුළ තිබීම වැදගත් වන අතරම මෙය ළදරුවන් වෙනුවෙන් ඇති පරීක්ෂණ අතරින් වඩාත්ම වැදගත් එක ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් දරුවෙකු බිහිවීමෙන් පසු පැය විසි හතරක් රෝහලේ රඳවාගෙන නිරෝගී බව සොයා බලයි. එහිදී මවටත් ළදරුවාටත් රෝහලෙන් පිටවීමට අවසර ලැබෙන්නේ දරුවාගේ මල, මුත්‍රා පිටකිරීම, කිරි උරා බීම වැනි කරුණු සාමාන්‍ය නම් පමණි. එලෙසම රෝහලෙන් පිටවීමට ප්‍රථම ළදරුවාගේ පාදයක විළුඹෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමක් සිදුකරයි.

එය රසායනාගාරය වෙත යොමු කෙරෙන අතර සතියක් හෝ දින දහයක් ඇතුළත ප්‍රතිපලය ලැබෙන අතර එම රුධිර සාම්පලයේ තයිරොක්සීන් හෝමෝනයේ කිසියම් වෙනසක් ඇත්නම් දරුවා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට වහාම දෙමව්පියන් දැනුවත් කරනු ලැබේ.

ළදරුවෙකුගේ මොළය වර්ධනය වීමට තයිරොක්සීන් හෝමෝනය අතවශ්‍ය වන අතර එය ශ්‍රාවය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. කිසියම් හේතුවක් මත තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු හෝ වැඩි වීම තයිරොක්සීන් හෝමෝනය අඩු හෝ වැඩි වීමට බලපායි. ඒ හේතුවෙන් දරුවාගේ මතක ශක්තිය, තර්කානුකූලව සිතීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව අඩු වීමට බලපෑම් ඇති විය හැකි අතර දරුවා මන්දමානසික තත්ත්වයට පත්වීමේ අවදානමක්ද පවතී. ඉපදී මුල් දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් දරුවා මන්ද මානසික තත්වයට පත්වීම වළක්වාගත හැකි වේ. නමුත් මාස කීපයක් ගත වූ පසු ප්‍රතිකාර ඇරඹීමෙන් දරුවා යථාතත්ත්වයට පත්කරගැනීම අපහසු විය හැක. නිරෝගී පෙනුමට බලපෑමක් නොවන නිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයේ සංකූලතා ඇති දරුවන් බැලූ බැල්මට හඳුනා ගැනීම අපහසු වේ. එනිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු කිරීම මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ඉපදී මුල් සති දෙක තුළ ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත් වේ.

මේ පරීක්ෂණ වෙත ඔබේ දරුවා යොමු කළා ද යන්න පිළිබඳවත් රෝහලට ඔබව සම්බන්ධ කරගත හැකි නිවැරදි ලිපිනයක්, දුරකතන අංකයක් ලබාදීම පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. එවිට ළදරුවාගේ පරීක්ෂණ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් පමණක් ඔබ රෝහලෙන් පිටව ගිය පසු ලිපියකින් හෝ දුරකතන ඇමතුමකින් ඔබව දැනුවත් කරනු ලැබේ. එසේ දැනුවත් කිරීමක් ලැබුනහොත් ඉන් ඉදිරියට සිදු විය යුතු පරීක්ෂණ හා ප්‍රතිකාර පිළිබඳව උපදෙස් ලැබෙන අයුරින් සැලකිලිමත්ව ක්‍රියාත්මක වීමට ඔබේ දරුවාගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් ඔබ උනන්දු වන්න.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පිරිසුදුකාරක සහ විෂබීජ නාශක හිතන තරම් සුබ නැහැ

“දත් කැකුළු පාලා
සුරතල් සිනාසීලා
බොලඳ බස් දීලා
කෙලී සියොලඟ දූලි ගාලා…”

 

එදා දරුවෙක් ගැන කතා බහ ගොඩ නැගුනේ මේ විදිහටයි. ඒත් අද අම්මලා විෂබීජ වෙනුවෙන් දක්වන්නේ බියක්. එක අතකට අම්මලාගේ පැත්තත් සාධාරණයි. මොකද කිව්වොත්.. දරුවෙක් ලෙඩ වුනාම ගෙදර සුරතලයාට ඇති වෙන වේදනාව. අනිත් පැත්තෙන් දරුවා වේදනාවෙන් පීඩා විදිනවා දකිද්දී දෙමව්පියන්ට දැනෙන මානසික කම්පනය. මේ නිසාම අද දරුවන්ගෙන් විෂබිජ දුරස් කිරීමට දෙමව්පියන් විශාල උත්සාහයක් දරනවා. ඒ නිසා නිතරම දරුවා කාලය ගත කරන පරිසරය පිරිසිදු කරනවා. ඒත් මේ පිරිසිදු කිරීමට යොදා ගන්නා විෂබීජ නාශක සහ රසායනයන් නිසා ඇති වෙන අතුරු විපාක ගැන දෙමව්පියන් යමක් දැන සිටියොත් වඩාත් අගෙයි නේද…?

මෙම පර්යේෂනය සිදු කරනු ලැබුවේ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. එහි ප්‍රධාණී ලෙස Anita Kozyrskyj, කටයුතු කළ අතර 2009 වසරේ මෙම අධ්‍යනය සතුන් ආශ්‍රය කර ගෙන සිදු කරනු ලැබුවා. එම අධ්‍යනයට සමගාමීව මෙම කණ්ඩායම විසින් පිරිසිදුකාරකයන්ගේ රසායනයන් දරුවන්ට බලපාන්නේ කෙසේදැයි අවධානයට ලක් කරනු ලැබුවා.

මේ අධ්‍යනය වෙනුවෙන් මාස 3 සිට 4 අතර දක්වා වූ දරුවන් 750 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. ඇත්තටම මේ කාලයේදී හැම දෙමව්පියෙක්ම තමාගේ දරුවන්ගේ ශාරිරික පවිත්‍රතාවය වගේම පරිහරණය කරන භාණ්ඩ, රෙදි පිලි යන සෑම දෙයක් ගැනම විශේෂ අවධානයක් දක්වනවා. ඒ නිසාම මේවායේ විෂබීජවලට දරුවන් නිරාවරණය වෙතැයි වූ බිය නිසා විවිධ රසායනයන් අඩංගු සේදුම් සහ විෂබීජනාශක දියර භාවිතා කරනවා.

කොයි දෙයක් වුනත් පමණ ඉක්මවා හොඳ නැහැනේ.. ? අපි ඒ බව දන්නවා. පිරිසිදුකාරක වෙනුවෙනුත් කියන්න තියෙන්නේ ඒ දෙයයි. ඒ වගේම මේ දරුවන්ට සාපේක්ෂව පිරිසිදුකාරක සහ විෂබීජනාශක භාවිතා නොකරන දරුවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය ඉහල අගයක පැවැතුනේ නැහැ. මේ සම්බන්ධතාවය තහවුරු කිරීමට තව දුරටත් පර්යේෂණ අවශ්‍ය බව මේ කණ්ඩායමේ අදහසයි. ඒ වගේම ඔවුන්ට මේ නිෂ්පාදන සමාගම් වෙතින් චෝදනාවක්ද පැමිණියා. කෙසේ හෝ වේවා ඉදිරි අධ්‍යනයන් මගින් මේ පිලිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. කොහොම වුනත් වඩාත් පරිසර හිතකාමී දේ වෙනුවෙන් යොමු වීම වැදගත් බව ඔවුන් මෙම අධ්‍යනයෙන් සමාජයට ලබා දුන් පණිවිඩය බවට පත්ව තිබෙනවා.

ඒ නිසා ස්වභාවික පිරිසිදු කාරක වඩාත් හොඳයි යන අදහස මේ පර්යේෂකයින් විසින් ඉදිරිපත් කලා. ඒ ගැන කිව්වාම දැන් ඔබටත් සමහර විට බාල කාලය මතකයට නැගේවි.

ඉස්සර කාලයේ දරුවන්ට බෝවෙන රෝගවලින් ආරක්ෂාව ලැබීමට අපුරු ස්වභාවික ආරක්ෂක තිබුනා. කොහොඹ කොළ එල්ලීම. ඒ වගේම දරුවාගේ අතේ පෙරුම්කායම් ගැට ගැසීම, කහ දියර ඉසීම වැනි ස්වභාවික දේ භාවිතා කළා. එහෙමනම් ඉදිරියටත් පරිසර හිතකාමී විදිහට දරුවන් වෙනුවෙන් පිරිසිදුකාරක සහ විෂබීජ නාශක භාවිතා කිරීමට දැන් කාලය එලැඹ ඇති බව හැගෙනවා නේද….?

CNN Health’s weekly newsletter ලිපිය ඇසුරිනි

 

රන් කැටියට රන් විමනක්…

පුංචි පැටියෙක් කුස දරාගෙන ඉන්න අලුත් අම්මා ගැබිණි අවදියේ තුන්වෙනි කාර්තුවට එළඹීමත් එක්කම ඇයට කලින් නොතිබුණු පුංචි පුංචි අපහසුතා ගොඩක් දැනෙන්න ගන්නවා.නෙරා ගෙන එන කුසත් එක්ක කලින් වගේ ගෙදර දොරේ දෛනික වැඩ කරගන්න අපහසුව… ඉඳ හිට කොන්ද-කකුල් කැක්කුම ගැනීම… වෙහෙස…. ඒ අතරින් කිහිපයක්. ඒත් ඈ මේ පුංචි පුංචි වේදනාවන් උහුලන්නේ හරිම ආදරෙන් වගේම ලොකු ආඩම්බරයකුත් පෙරදැරිවයි. තුන්වෙනි කාර්තුවට ආවම අම්ම මේ සියලු අපහසුකම් මැඩ ගෙන පැටියා පිළිගන්න අවශ්‍ය දේවල් සුදානම් කරන්න දරන උනන්දුව – වෙහෙස හරිම සුන්දරයි.හරිම ආදරණියයි.

අලුත් අම්මගේ සමීපතමයන්ට දැනෙන්නේ බබාට අවශ්‍ය දේවල්  සුදානම් කරගන්න අම්මට “පුදුම හදිස්සියක්නේ තියෙන්නේ…” කියලයි. අලුත් පැටිය පිළිගන්න ගේදොර පිළිවෙල කරගැනීම… උවමනා බඩු භාණ්ඩ සුදානම් කරගැනීම… ආදී දේ ගැන අලුත් අම්මගේ අති මහත් උනන්දුව සහ ඈ ඒ වෙනුවෙන් කරන කටයුතු හඳුන්වන්නේ නීඩායනය කියලයි. තේරෙන්න කිවොත් නෙස්ටින්. (nesting) කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් උණුහුම් කැදැල්ලක් හදන්න ලහි ලහියේ මහන්සි වෙනවා වගේ අලුත් අම්මත් පැටිය පිළිගන්න ගේදොර වට පිටාව සකස් කරගන්න වෙහෙසීම “නෙස්ටින්”.

ගෙදර තීන්ත ටිකක් ආලේප කරවගන්න. මුළු ගෙදරම අමාරුයි නම් අඩුතරමේ නිදන කාමරේවත් තීන්ත ගාලා අලුත් කරගන්න. මකුණුදැල් කඩල… ජනෙල් දොරවල් පිහිදල… හොඳින් සුද්ද පවිත්‍ර කරගන්න ඕනේ කියල අලුත් අම්මට හිතෙනවා… ගේ දොර ශුද්ධ පවිත්‍ර කළාට පස්සේ දරු පැටියට ඕනේ දේවල් සුදානම් කරගන්න එක අලුත් අම්මගේ ඊගාව නොඉවසිල්ල. නැපි ,ඇඳුම්, රෙදි පිළි ඇරුනම සුදානම් කර ගන්න ඕනේ කරන අනිත් දේවල් මොනවද?

අපි හැමෝගෙම හිතට මුලින්ම එන්නේ තොටිල්ලක්… තොටිල්ලක් මිලදී ගනිද්දී මොනවද බලන්න ඕනේ… ඔබේ නිදන කාමරේ ඉඩට ගැලපෙන සමාන්‍ය ප්‍රමාණයේ දිග පළලින් යුතු වීම,කොට් එකේ කොට් බෙඩ් එක ඉහළ පහළ කරන්න පුලුවන්ද  , ඒ කිවේ බබා උපන්න අලුතම… හැරෙන්න පෙරලෙන්න කලින් කාලේදී කොට් එකේ මෙට්ටය දරන ඇඳ වගේ කොටස තරමක් ඉහළින් රැඳවිය හැකි පරිදි රැදවුම් සිදුරු ඇත්නම් ඔබට දරුවා වඩා ගනිද්දී…. නිදිකරවා තොටිල්ලෙන් තියද්දි තොටිල්ල තුලට ගොඩක් පහලට නැවෙන්න වුවමනා වන්නේ නැහැ. පැටියට මාස 5-6 වෙද්දී වාඩි වෙන්න පටන්ගන්නකොට කොට් බෙඩ් එක පහත ඇති රැදවුම් සිදුරුවල රැඳවූ විට තොටිල්ල ඇතුල ගැඹුර වැඩිවන නිසා එයින් දරුවාගේ ආරක්ෂාව තහවුරු වෙනවා.

මේ විදියට කොට් බෙඩ් එක ඉහල පහල කරන්න පුළුවන් තොටිල්ලක් මිලදීගන්න කල්පනා කරනවා නම් කොට් බෙඩ් එක පහත රැඳවූ විට අවම 50 cm කුත් ඉහල රැඳවූ විට අවම 30 cm කුත් වන පරිදි තොටිලි වැටේ උස තිබිය යුතුයි. දරුවා තොටිල්ලේ ගරාදි අතරින් එළියට වැටීම,ඔලුව හිරකරගැනීම වලක්වන්නට ගරාදි අතර ඉඩ 5 cm – 9.5 cm අතර පරතරයක් තිබීම අවශ්‍යයි වගේම මේ ගරාදි අතර පරතරය 3 cm -5 cm අතර වෙන්නත් හොඳ නැහැ. ඒ, පුංචි දඟකාරයා සති කිහිපයකින් තොටිල්ල ඇතුලේම රවුම් ගහද්දි පුංචි කකුල් තොටිලි වැටේ ගරාදි අතර හිර කරගන්න පුළුවන් නිසයි. ඒ වගේම තොටිල්ල තියුණු දාර නැති නිමාවකින් යුතු එකක් වීම වඩා ආරක්ෂිතයි. තොටිලි මෙට්ටය එබෙන සුළු පෘෂ්ඨයක් නැති ඝනකම මෙට්ටයක් වියයුතුයි.නමුත් තොටිල්ල මිලට ගන්නට අගනුවර නම් දැරූ සාප්පුවකට යන්නටයි කියා මෙයින් කියවෙන්නේ නැහැ. සඳහන් කරන්නට යෙදුණු ආරක්ෂිත ප්‍රමිතියෙන් තොටිල්ලේ අඩංගු වීම ඔබේ කිරිකැටියාගේ ආරක්ෂාවට හේතුවෙන නිසා ඔබේ ගමේ… ඔබේ ටවුමේ… සාප්පුවකින් තොටිල්ල මිලදී ගනිද්දී ඒ තොරතුරු සිහිතබාගන්න.

අම්මට කිරි දෙන්න වාඩි වෙන්න පුටුවක්. අලුත් අම්ම ගොඩක් වෙහෙස වෙලා නිදි වරලා ඉන්න නිසා ඇඳේ හාන්සි වෙලා කිරි දෙන්නේ නැතිනම් වඩා හොඳයි. ඇඳේ වාඩි වෙලා කිරි දෙද්දී ටික වෙලාවකින් උර පතු රිදෙන්න ගන්නවා. ඉතින් අම්මට පැටියත් එක්ක වාඩි වෙලා කිරිදෙන්න සුව පහසු පුටුවක් තොටිල්ලත් අම්ම නිදියන ඇඳත් අතරින් තියා ගන්න පුලුවන්නම් වටිනවා. පැද්දෙන පුටුවක් ඕනේ නැහැ. ඇඳි තියෙන,පුටුවේ පිට පත්ත අම්මගේ පිටට-උකුළට වාරුදෙන හැඩය ඇති වැඩි වෙලාවක් සුව පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් පුටුවක් නම් ඇති. පලවෙනි මාස තුනේදී දිවා රෑ වෙනසක් නැතිව දවසේ වැඩිකාලයක් අලුත් අම්මට කල් ගෙවන්න වන්නේ මේ පුටුවේ නිසා එය නිස්කාරණ සුදානමක් වන්නේ නැහැ. පුටුවේ වාඩි උනාම කකුල් දෙක තියාගන්න පුංචි බංකු පොඩ්ඩකුත් පුටුව යටින් තියාගන්න.

ලී හෝ ප්ලාස්ටික් ලස්සන පුංචි ඇඳුම් කබඩ් එකක් ඔබ මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් ගැන අවධානය දෙන්න. කබඩ් එක ගොඩක්ම උස නැති හයිය… ඝනකම.. පළල පතුලක් ඇති එකක් නම් වඩා හොඳයි. සාප්පුවෙදීම උඩම ලාච්චුව පොඩ්ඩක් වේගෙන් ඇරලා බලන්න ලච්චුවත් එක්ක කබඩ් එක ඉස්සරහට (ඔබ දෙසට) ඇදිල එනවද කියල…ලාච්චු අරිද්දි ලේසියෙන්ම ලාච්චුව වැටෙන්න බලනවද කියල… බලන්න. කබඩ් එක ගෙනාවට පස්සේ “L” බ්රැකට් එකකින් බිත්තියකට හා පොළවට සවිකරන්න. දැන් අම්මාගේ බන්ඩියේ හරඹ කරන චණ්ඩියා දණ ගාගෙන ගිහින් මේ ඇඳුම් අල්මාරියේ ලාච්චු අදින්න ලොකු කාලයක් ගතවෙන්නේ නැහැ.ඉතින් පසුතැවිල්ලට වඩා ප්‍රවේසම හොඳ බව හැමවිටම සිතා කටයුතු කිරීම රන්කැටියා දෝත දරන්නට පෙර සිටම ජිවිතේට පුරුදු පුහුණු කරගන්න.

ඔබේ හොඳම යෙහෙළිය,මල්ලිගේ බිරිඳ,ලොකු අම්මගේ දුව තව සති කිහිපයකින් අම්මෙක් වෙන්න ඇඟිලි ගනිමින් ඉන්න අවදියක නම් ඉන්නේ මේ දවස් වල බබාට ඕනේ කරන දේවල් සුදානම් කරනවද කියල අහල බලන්න. පවුලේම දරු උපතක් නිසා…හොඳම යාළුවගේ පලවෙනි බබා නිසා… සබන් පවුඩර් වලට වැඩි තෑග්ගක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා නම් අලුත් අම්මට nesting වලට උදව් වෙන්න. පවුලේ බොහෝ දෙනෙක් දරුවා ලැබුනට පස්සේ පංචායුධ,රත්රන් මාල,කරාබු තෑගී දෙන නිසා රනින් තෑගි වෙනුවට ඒ මුදලින් දරුවා ලැබෙන්න කලින් අලුත් දෙමාපියන්ට තොටිල්ලක්… තෑගි දෙන්න.නැත්නම් ඒ දේවල් විකුණන සාප්පුවකින් වව්චරයක් තෑගි දෙන්න.එය අලුත් අම්මා ඉමහත් සතුටට පත් කරාවි…”කවුරු දුන්නු පංචායුධය ද බබාට දාන්නේ කියල…” අලුත් අම්මා අපහසුවට පත් කෙරෙන තෑගී තේරීමේ තරගයට යටත් නොවී ඔබේ තෑග්ග ඔවුන්ගේ සියලු දරුවන් පාවිච්චි කළ ඉමිහිරි මතක සැමරුම් ඇති…පවුලේම ආදරය ලැබූ වටිනාම ත්‍යාගයක් වේවි… නැත්නම් “නංගී…., බබාට මගේ ගානේ නාවන බේසමයි, මදුරු දැලයි, රෙදි වැටයි” කියලා අලුත් අම්මා අප්පච්චි බබාගේ බඩු ටික ගන්න යද්දී එයාල එක්කම ගිහින් හරි ඔබ රැගෙනවිත් හරි තෑගී දෙන්න. නාවන බේසමට අමතරව දරුවාගේ තෙමු නැපි දාන්න බේසමක්,රෙදි සෝදන්න බේසමක් වගේ දේවලුත් අලුත් අම්මගේ ලයිස්තුවේ තියෙන නිසා ඔබේ තෑග්ගට ඒවත් එකතු කරන්න.

බන්ඩිය ඇතුලේ හංකිති කවන පුංචි පා පහරවල් ආදරෙන් පිරිමදිමින් රන්කැටි පුතුට හනි හනික සුවැති උණුහුම් කැදැල්ලක් නිමවන්න අලුත් අම්මට ඇති ඉමිහිරි නොඉවසිල්ලට ආදරෙන් සලකමු. ඇය ඇඟිලි ගනිමින් සුබ සිහින දකින පදවියට නිදහසේ විවේකිව පා නගන්නට ආදරෙන් රුකුල් දෙමු.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


                

හැම බබෙක්ම බෝලේ වගේ මහත් වෙන්න ඕනෙමද?

“පුංචි දරුවෙක් චබී බෝලේ වගේ ඉද්දි හරිම හුරතල්… ලස්සනයි…. ආදරේ හිතෙනවා”  අපේ සමාජයේ බහුතරයකගේ අදහස තමයි මේ. අම්මලා වෙනත් දරුවන් එක්ක තමන්ගේ දරුවාගේ බර, මහත කෙට්ටු බව සංසන්දනය කරනවා. බරින් වැඩි, මහත දරුවන් නිරෝගී දරුවන් ලෙසත් කෙට්ටු සිරුරක් සහිත බරින් අඩු දරුවන් නිරෝගී නොවන අතර කිසියම් අඩුපාඩුවක් සිදුවී ඇති බවටත් වැඩිහිටි පරම්පරාව විශේෂයෙන්ම දරුවන්ගේ ආච්චි සහ සීයා විසින් නිතර ආඬපාලි කියනව ඔබත් අහලා ඇති. ඒත් එක නම් වැරදි මතයක්. වැඩිහිටියෝ මෙහෙම අදහස් දරද්දී ඇතැම් දෙමාපියෝ අනවශ්‍ය විදියට මානසික පිඩනයට ලක්වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේ හැමදේටම හේතුව බර ගැන හරි දැනුමක් නොමැතිකම තමයි.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපත් බර තීරණය වෙන්නේ මවගේ උස, පෝෂණ තත්ත්වය, රෝගී තත්ත්වයන් වගේ කරුණු මත. අලුත උපදින ළදරුවෙකුගේ උපත් බර සාමන්‍යයෙන් 2.5 kg ට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම මවගේ හෝ දරුවාගේ නොයෙක් රෝග තත්ත්වයනුත්  උපත් බර අඩු / වැඩි වෙන්න හේතු වෙන අවස්ථා තියෙනවා. දරුවෙකුගේ උස හා බර තීරණය වෙන්නේ දරුවාට ලැබෙන පෝෂණයත් දෙමව්පියන්ගෙන් උරුම වූ ජාන අනුවත් කියල ඔබට පැහැදිලි ඇති.

ශාරීරිකව, මානසිකව හා සමාජීය වශයෙන් වර්ධනය වෙන අතරතුර සිටින මේ දරුවන්ගේ වර්ධනය අඩාළ වුවහොත් එය දිගු කාලීන මන්ද පෝෂණයහේතුවෙන් ශරීරයේ මිටි බව ඇති කළ හැකි අතරම එය කායිකවත් මානසිකවත් තවදුරටත් බලපෑම් ඇති කළ හැකියි. අන්න ඒ නිසයි සැමවිටම දරුවෙකුගේ උසට සරිලන බර (BMI) පවත්වා ගැනීමට වැඩිහිටි අපි සැලකිලිමත් විය යුතු වන්නේ. දරුවෙකුගේ වර්ධනය නිසියාකාරව සිදුවෙනවාදැයි දැනගැනීමට ඇති හොඳම මිනුම් දණ්ඩ වන්නේ එයයි. මේ නිසා දරුවන්ගේ වර්ධනය ක්‍රමවත්ව මිනුම්ගත කිරීම ඉතා වැදගත් වේ. මෙම මිනුම් දණ්ඩට අනුව විටින් විට ක්‍රමානුකූල මැනීමක් සිදුකරගත යුතු අතර එය දරුවාගේ වයසට සරිලනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය.

දරුවාගේ උස සහ බර නිවැරදිව මැන සෞඛ්‍ය වර්ධන සටහනක ක්‍රමානුකූලව සටහන් කිරීම මගින් දරුවාගේ වර්ධන වේගය නිසි ලෙස සිදුවනවාද අඩු බර තත්ත්වයක්ද? නැද්ද? යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට දෙමව්පියන්ට හැකියි. සාමාන්‍යයෙන් මන්දපෝෂණය, විටමින් සහ ඛනිජ ඌනතා, පණු රෝග, වෛරස හෝ වෙනත් අසාදනවලට නිරන්තර ගොදුරු වීම දරුවෙකුගේ අඩු බර තත්ත්වයන් ඇති වීමට ප්‍රධාන ලෙසම බලපායි. මීට අමතරව දෙමව්පියන්ගේ වැරදි ආකල්ප සහ අවිද්‍යාත්මක මතභේද ද මෙම තත්ත්වයට හේතු වේ. උදාහරණයක් ලෙස ළදරුවෙකුට මුල් ආහාර පටන් ගැනීමේදී දියාරු අඩු බත් තලපයක් ලෙස කැවීම වැඩිපුර පෝෂණයක් ලබා දේ.

ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවාගේ ශරීර වර්ධනයට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි. දරුවාට අවශ්‍ය ආහාර වර්ග තෝරාගැනීමේදී සහ ඒවා පිළියෙල කිරීමේදී විශේෂ අවධානයක් ලබා දිය යුතු වන්නේ ඒවා පිසීමේදී අත්‍යවශ්‍ය පෝෂක විනාශ නොවන ලෙස සකස් කළ යුතු නිසාමය. අඩු බර සහිත දරුවන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා පිරිසිදු පොල්තෙල් හෝ වෙනත් එළවළු තෙල් වර්ගයක් යොදාගත ආහාර සකස් කිරීම සුදුසුය.

ඔබේ පැටියාටත් සමබල ආහාර වේලක්

එනම් කබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, මේද කොටස්, යකඩ, විටමින්, අයඩින්, ඛණිජ ලවණ අවශ්‍ය පමණට ඇතුළත් ආහාර වේලකි.  ඒ සඳහා සුදුසුම ක්‍රමය ආහාරවල විවිධත්වය වැඩි කරගැනීමයි. ගෙවත්තේ වැවිය හැකි සහ පහසුවෙන් මිලදී ගතහැකි එළවළු සහ පලා වර්ග දරුවාගේ ආහාරයට එකතු කරගැනීම වඩා ලාභදායක වගේම පෝෂණීය ගුණයෙන් අනූන වනවා සේම වස විසෙන් තොරය.එසේම දරුවා රෝගී අවස්ථාවකදී ශරීරයේ පවතින අනිවාර්ය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය නිසා හැකිතාක් ගුණාත්මක ආහාරම ලබාදීම වඩාත් සුදුසුය.

දරුවන්ට විශේෂිත පෝෂක වර්ග අවශ්‍ය වන විවිධ වූ වයස් ඛාන්ඩයන් පවතී. සාමාන්‍යයෙන් දරුවෙකුගේ මුල් අවුරුද්ද තුළ වර්ධන වේගය ඉහළ වේ. නමුත් ළදරුවාට පවතින්නේ ඉතා කුඩා ආමාශයකි. එනිසා වර්තමානයේ බොහෝ දෙමව්පියන් බඩ පිරුණ විට දරුවා දෙන ඉඟි තේරුම් ගැනීමට නොහැකිව දරුවාට බලෙන් කෑම කැවීමට උත්සහ දරයි. එය නුසුදුසු ක්‍රියාවක් වන අතර එතුළින් දරුවාට ආහාර අප්‍රිය වීමක් සිදුවිය හැක. එනිසා දරුවෙකුට එක වර ආහාර ලබාදීමට වඩා යෝග්‍යවන්නේ විටින් විට ආහාර සුළු වශයෙන් ලබාදීමයි. මීළඟට පැමිණෙන අවුරුදු 1ත් 5ත් දක්වා වයස් සීමාවේදී දරුවන් ඉතා ක්‍රියශීලීය. එමෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට ද කැමැත්තක් දක්වයි. එබැවින් තනිව ආහාර ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු වේ. ඉන් පසුව ඔබ කැවීමට ගැනීම වඩාත් සුදුසුයි. ප්‍රධාන ආහාර වේලකට පසුව ගුණාත්මක අතුරුපසක් ලබාදීමද මෙහිදී වඩාත් හොඳයි. ආහාර වර්ග සීත හෝ උෂ්ණ යැයි සිතා වර්ග කිරීම නොකළ යුතුය.

ලිංගික පරිණත භාවයන් සමග ශීඝ්‍රයෙන් දරුවෙකුගේ උස සහ බර වැඩිවීමට පටන් ගන්නා වයස නව යොවුන් වියයි. කුඩා ළදරු සමයේ මෙන්ම මෙම වයසේදීද ඇතිවන පෝෂණ අවශ්‍යතා නිසි ලෙස හඳුනා නොගැනීමෙන් ඔවුන් තුළ අඩු බර තත්ත්ව ඇති වීම මෙන්ම විවිධ රෝග තත්ත්ව සහ අසාදනවලට ගොදුරු වීමේ අවධානමක් ද පවතී. විශේෂයෙන්ම මෙම කාලය ගැහැනු දරුවන්ගේ මාසික ඔසප් වීම ඇරඹෙන සමයක් බැවින් වැඩිපුර යකඩ සහිත ආහාර ලබාදීම සුදුසු වේ. මස්, මාළු, එළකිරි, බිත්තර නම් ඒ සඳහා වඩාත් සුදුසුයි. නමුත් නිර්මාංශ ආහාර ගන්න දරුවෙක් නම් එළවළු, ධාන්‍ය වර්ග, පලා වර්ග වැනි ආහාර ලබාදිය හැක. එමෙන්ම ආහාරවල ඇති යකඩ අවශෝෂණය වැඩි කිරීම සඳහා විටමින් සී සහිත දෑ එනම් දෙහි යුෂ ආහාරවලට එකතු කිරීමද වඩාත් යෝග්‍ය වේ. නව යොවුන් වියේ දරුවන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා කිරි ආහාර වර්ග, කටු සහිත පුංචි මාළු වර්ග, ඇට වර්ග සහ පලාවර්ග වැනි කැල්සියම් බහුල ආහාර ගැනීමද ඉතා වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

නවජ දරුවකුගේ මුත‍්‍රාවල අසාමාන්‍යතා ගැන ඔබ දැනුවත්ද?

නව ජන්මයා ඉපදී පළමු කොටම ඇත් කරගන්නා ප‍්‍රතීක ක‍්‍රියා අතර ඉරීම හා ගිලීම ප‍්‍රතීක‍්‍රීය ප‍්‍රමුඛ වේ. මේ අනුව දරුවා මව්කිරි උරාබීමත් ඒ මගින් තම ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් ලබාගැනීමට මෙන්ම ඉන්ද්‍රීයයන් නිසි පරිදි ක‍්‍රියා කිරීමටද අවස්ථාව සැලසේ.

මව්කිරි වල 80% ක ප‍්‍රමාණයක් ඇත්තේ ජලය නිසා හොඳින් කිරි උරා බිව් දරුවකුගේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් මෙන්ම ජලයද අවශ්‍ය පමණට ලැබේ. මෙම ජල කොටස් වකුගඩු මගින් පෙරා බහිස‍්‍රාවීය ඵල ශරීරයෙන් පිට කිරීමේදී හොඳින් ක‍්‍රියාත්මක වීමට නම් වකුගඩුවලින් පෙරීමේදී එහි සාන්ද්‍ර තත්ත්වය නියමිත මට්ටමක ළඟා  වීමට ඒ හා සම්බන්ධ ලවණ දියවීමට ප‍්‍රමාණවත් තරමට ජලය ශරීරයට ලැබිය යුතුමයි. මේ සඳහා අවශ්‍ය පමණ ජලය මව්කිරිවල අඩංගුව නිෂ්පාදනය වන නිසා හොඳින් මව්කිරි ලබාදීම සිදුකළ යුතුයි. එසේ නොවන විට අවශ්‍ය පමණට ජලය නොලැබීම නිසා මුත‍්‍රාවල සාන්ද්‍රතා ප‍්‍රමාණය වෙනස් වී මුත‍්‍රාවල පැහය ලා කහ සිට තද කහපාට  දක්වා වැඩි වීමට හැකි අතර මේ සමග ජන්මයාද විජලනයට පත්වේ.

හොඳින් කිරි උරා බිව් දරුවෙකු දිනකට හයහත් වතාවකට වඩා වැඩි ප‍්‍රමාණයක් මුත‍්‍රා පිටකරන අතර පිටවන මුත‍්‍රා අවර්ණ පැහැයක් ගනී. කිරි බීම අඩුවන විට මුත‍්‍රා කහ පැහැවීම මෙන්ම පිටවන මුත‍්‍රා වාර ගණනද අඩුවේ. මුත‍්‍රා වල කහ පැහැවීමට දරුවා බොන කිරි ප‍්‍රමාණය බලපාන අතරම මවගේ හා දරුවාගේ ලේවල නොගැලපීමක් වේ නම් එයද බලපෑ හැකියි. මීට අමතරව වකුගඩු හෝ අක්මාවේ පැවතිය හැකි ක‍්‍රියාකාරීත්වයේ ගැටලු මතද මෙවන් තත්ත්ව ඇතිවිය හැකියි. මෙවන් විටකදී හොඳින් කිරි උරා නොබොන දරුවකු නම් ඔහුට මව්කිරි දීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කළ යුතු මෙන්ම හොඳින් කිරි බොන දරුවකු නම් වෙනත් රෝග තත්ත්ව කිසිවක් ඇත්දැයි වෛද්‍ය පරීක්‍ෂාවක් සඳහා යොමු කිරීම වැදගත් වේ.

මීට අමතරව සාමාන්‍ය දරුවකු මුත‍්‍රා පිටකිරීමේදී හොඳින් විද පිට කිරීම සිදු කරන අතර මුත‍්‍රා මාර්ගයේ යම් යම් අසාමාන්‍යතා හෝ ගැටලු අවස්ථාද තිබිය හැකි හෙයින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වැදගත් වේ. පිරිමි දරුවකුගේ නම් මුත‍්‍රා මාර්ගික විවරයක් හෝ ආසන්නයේ පවතින ඝන වීමක්/පටුවීමක් නිසාද මුත්‍රා පිටකිරීමේ අපහසුතා ඇති විය හැකි අතරම ශිෂ්නයේ පෙර සිට මුත‍්‍රා මාර්ගික විවරය ආවරණය වී තිබීම නිසාද මුත‍්‍රා පිට කිරීමේ අපහසුතා ඇති විය හැකි හෙයින් මෙවන් අවස්ථාවලදී සෞඛ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීමක් මගින් හෝ වෛද්‍ය උපදෙස් වෙත කෙලින්ම හෝ යොමු වීම වැදගත් වේ.

අලුත උපන් බිළිදකුගේ නිරෝගී පැවැත්ම හඳුනාගැනීමට මුත‍්‍රාවල පැහැය සේම පිටකරන වාරගණනද අපහසුවකින් තොරව පිටකරන්නේද යන්න පිළිබඳව සැලකිල්ල යොමු කළ යුතු අතරම හඳුනාගන්නා තත්ත්ව ඉක්මණින් නිවැරදි කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමද ඉතා වැදගත් වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

පියයුරුවල කිරි තැම්පත් වීමෙන් මව්වරුන් මුහුණ දෙන පීඩාකාරී තත්ව

දරුවකුගේ ප‍්‍රශස්ත වර්ධනය සහ විකසනය සඳහා ප‍්‍රධානම ලෙස වැදගත් සාධකය වනුයේ මව්කිරිය. විද්‍යාත්මක සාක්‍ෂි මත පදනම් වූ ජගත් මහජන සෞඛ්‍ය නිර්දේශයක් වන්නේ මෙම ප‍්‍රශස්ත වර්ධනය දරුවා වෙත ලඟා කරවීමට නම් ඉපදී මුල් මාස 6 මව්කිරෙන්ම පමණක් දරුවා පෝෂණය කළ යුතුය යන්නයි. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට සෑම මවක් විසින්ම දරු ප‍්‍රසූතියෙන් පසු ඉක්මණින් මව්කිරිය දීම ආරම්භ කළ යුතුමයි.

මව්කිරි ලබාදීමට ප‍්‍රමාද වීම හේතු කොටගෙන දරුවා හා පියයුර අතර සම්බන්ධතාවය දුර්වල වීමත් පියයුරු තුළ ඇති කිරි නිසි ලෙස හිස් නොවීමත්, කිරි ඉවත් කිරීමේ යාන්ත‍්‍රණය ක‍්‍රමවත් නොවීමත් හේතු කොටගෙන පියයුරු තුළ කිරි එකතු වී තද වීමට ලක්වේ. මෙය සිදු නොවීමට නම් ප‍්‍රසූතිය සිදු වී වහාම දරුවා පියයුර වෙතට ගෙන ඒමත්, කිරිදීමේ ඉරියව් හා සම්බන්ධතාවය නිවැරදි වීමත් සිදුවිය යුතුමය. එසේ නිවැරදි නොවන විට පියයුරු තුළ නිෂ්පාදිත කිරි ඉවත් වීමේ ක‍්‍රියාවලිය සිදු නොවන නිසා කිරි නාලවල හිරවී පැවතීමත් කිරි කැටි ලෙස හිරවී පැවතීමත් සිදුවේ. මෙවිට පියයුරු තද ගතියකින් යුක්ත වන අතර මොලොක් ගැට ලෙස අසුවීම දැකිය හැකි අතරම පියයුරු ඉදිමීම, රතුවීම හා දිලිසීම දක්නට ලැබේ. මේ තත්ත්වය මවට වේදනාකාරි වන අතරම මේ කිරි නාල තුළ ඇතිවන අවහිරතාවය තුවදාහය හෙවත් මැස්ටයිටීස් නම් ලෙසින් හඳුන්වනවා. මේ තත්ත්වය මතම බැක්ටීරියා වැනි ආසාදන තත්ත්වයක්ද ඇති වුවහොත් මවගේ වේදනාව වැඩි වන අතරම මවට උණ ඇතිවීමටත් පුළුවන. මෙවන් විටකදී වෛද්‍ය උපදෙස් කරා යාමද අනිවාර්ය වන්නේ ඇති වූ තත්ත්වය තවදුරටත් ආසාදිත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් එම ආසාදිත තත්ත්වය ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවන හෙයින් එම තත්ත්වය ආසාදිත කුඩදාහය ලෙසින් හඳුන්වනු ලබනවා.

කිරි තද වීම ඇතිවන විටම තේරුම්ගත යුතු වන්නේ කිරි නිෂ්පාදනය හොඳින් සිදුවන බව හා එම නිෂ්පාදිත කිරි පිට කිරීම හොඳින් සිදු නොවන බවයි. මේ තත්ත්වයට හේතු සොයා බැලීම මවගේ මෙන්ම දරුවාගේද සෞඛ්‍යයේ පළමු පියවරයි.

සෑම ප‍්‍රසූත මවක්ම දරුවාට කිරි දීම සඳහා දරුවා ඉරියව් කරගැනීමත්, නිවැරදි සම්බන්ධයක් ගොඩනගා ගැනීමත් අවශ්‍ය වෙයි. මේ සඳහා පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ සහය ලබාගැනීම වැදගත් වේ. මවගේ නොදැනුවත්කම මත ගලායන කිරි සඳහා බාධක වන සේ තන මඩල මත ඇඟිලි තබාගෙන ඇති නම් හෝ මව තදට තනපටක් භාවිත කරයි නම් එම වැරදි වහා නිවැරදි කිරීමෙන් මව හා දරුවා ස්ථාපිත කිරීම නිසි ලෙස සිදුකර දරුවාට හොඳින් කිරි උරා බීමට සැලැස්වීමත් කළ යුතුයි. එසේම දරුවාට කිරි උරාගැනීමට නොහැකි ලෙසට කිරි තදවී ඇත්නම් මද රස්නය ඇතිව පියයුර තැවීමත් තද වී ඇති කිරි දොවා ඉවත් කිරීමෙන් අවහිර වූ ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කිරීමත් කළ හැකි අතරම කිරි දෙවීමෙන් හෝ දරුවාට බීමට දීමෙන් පසු සිසිල් වෙළුමකින් ඔතා පියයුරු වේදනාවට සහනයක් ලබාදිය හැකියි. තද වී ඇති ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කරන විට කිරි කැටි ලෙසම පහළට ගලාවිත් පිට වීමක් වුවද සිදුවිය හැකියි.

එසේම හේතුවක් සොයාගැනීමට අපහසු අවස්ථාවලදී වුවද මව හා දරුවා ආසන්නයේම සිටීමට සැලැස්වීමෙන් දරුවාට අවශ්‍ය වූ විට කිරි දීමට හැකි පසුබිමක් සකසා දීමද සුදුසු පියවරකි.

වේදනාවට පත් පියයුරෙන් කිරි දීමට ඇරඹීමත් සමග ඔක්සිටොක්සින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීම ඇරඹීම නිසා මේ තත්ත්වය මගහරවා ගත හැකියි.

දරුවාට කිරි උරාබීමට අපහසු තරම් තද වී ඇති විට එම කිරි ඉවත් නොකිරීම නිසා සැරව ගෙඩි හෝ තුවාල වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි. පියයුරේ පිරී ඇති කිරි ගලායාම දියුණු තත්ත්වයට පත් වූ විට මෙම තත්ත්වය පහවී යනු ඇත.

මව මුල් අවස්ථාවේ සිටම දරුණු ලෙස රෝග ලක්‍ෂණ පෙන්වයි නම් හෝ විෂබීජ ඇතුළු විය හැකි තුවාලයක් හෝ පැල්මක් ඇත්නම් කිරි ගලා ඒමට සලස්වා පැය 24 කට පසු සුව තත්ත්වයට පත් නොවේ නම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

සායනයෙන් ලබාදෙන විටමින් A අධි මාත‍්‍රාවේ වැදගත්කම මෙන්න

ශ‍්‍රී ලංකාවේ හඳුනාගත් සෞඛ්‍ය ගැටලු අතර මූලික තැනක් හිමිවන්නේ පෝෂණ තත්ත්වයේ ගැටලු මත ඇති කරන සෞඛ්‍ය ගැටලුය. මේවා දෙස විමසුම් සහගතව බැලීමේදී ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අවශ්‍ය පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පැහැදිලි වේ. මෙහිදී සාමාන්‍ය පරිදි දරුවන්ගේ හෝ අන් අයගේ උස මැනීම, බර මැනීම හා උසට සරිලන බර ගණනය කිරීම මගින් වර්ධනය පිළිබඳ තක්සේරුවකට එළඹිය හැකි වුවද ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා පිළිබඳව මීට වඩා වෙනස් විදියකට බැලිය යුත්තේ උසට සරිලන නිවැරදි බරක් පවතින්නන් තුළ පවා ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා හේතු කොටගෙන ඇති කරන දුර්වලතා දීර්ඝ කාලීනව ජීවිතයට එල්ල කාරන තර්ජන නිසාවෙනි.

ජීවිතයේ ක‍්‍රියාශීලි යහපැවැත්මට බාධා එල්ල කරන ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා අතර යකඩ ඌණතාවය, අයඞීන් ඌණතාවය මෙන්ම විටමින් A ඌණතාවයද සැලකිය යුතු මට්ටමක පැවතීම රටක් ලෙස අප මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයකි. මේ ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා වළක්වා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අතර විටමින් A ඌණතාවය වළක්වා ගැනීම සඳහා ද සඵලමත් ක‍්‍රමවේදයක් අප රටේ භාවිත වේ. ඒ නම් ළදරු ළමා සෞඛ්‍ය කටයුතු නංවාලන සියලු රජයේ සායන හා සත්කාරක සේවාවන් සපයන රෝහල් හරහා උපතේ සිටම විටමින් A අධි මාත‍්‍රාවක් ලාබදීමට පහසුකම් සලසා තිබීමයි.

උපතේදී දින 7 ක් ඇතුළත මවට විටමින් A අධි මාත‍්‍රාව ලබාදීමෙන් මව්කිරි හරහා දරුවාට විටමින් A ලබාදීම ද දරුවනට මාස 6 පංච සංයුජ එන්නත, වසරක් සපිරුණු විට ජපන් නිදිකර්පර ප‍්‍රදාහ එන්නත, මාස 18 දී ති‍්‍රත්ව එන්නත, වසර 3 ක් සපිරුණු විට සරම්පල රුබෙල්ලා හා කම්මුල්ගාය එන්නත හා අවුරුදු 5 දී ද්විත්ව එන්නත සමග විටමින් A අධි මාත‍්‍රාවක් ලබාදීමද මීට අමතරව වයස අවුරුදු 2, 2 1/2, 4 හා 4 1/2 දී ද  විටමින් A අධිමාත‍්‍රාව වසර 5 දක්වාම ලබාදේ.

මෙසේ විටමින් A ලබාදීම වැදගත් වන්නේ කෙසේදැයි විමසුමට ලක් කිරීමේදී ශරීරයේ සෛල බෙදීම හා විශ්ලේෂණය කිරීම නිසි පරිදි සිදු කිරීමටත්, ඇස්වල පෙනීම සම්බන්ධවත්, හිස කෙස් හා ශ්ලේෂ්මවල පටලවල නිරෝගී පැවත්මටත් සෘජුවම සම්බන්ධතා දක්වන්නේ විටමින් A බවත් මෙන්ම ශරීරය තුළ ප‍්‍රති ඔක්සිකාරකයක් ලෙසද එය ක‍්‍රියාත්මක වේ. මේ කාර්ය භාරය ඉටු කිරීමට අවශ්‍යතා සම්පූර්ණව නොමැති වීම නිසා ශ්වසන රෝග, පාචනය, සරම්ප හා මැලේරියාව වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යාමක් සිදු වේ.

සත්ව ආහාර වල විටමින් A වැඩිපුරම අඩංගු වන අතර තද කොළ හා පහ පැහැති එළවළුවලද බහුලව පවතී. සත්ව ආහාරවල ඇති විටමින් ශරීරයට උරාගැනීම පහසුවෙන් සිදුවනවා සේම තෙල්වල දියවන විටමිනයක් හෙයින් ආහාර සැකසීමේදී තෙල් එකතු කිරීමෙන් ද අවශෝෂණය වැඩි කරයි.

ආරම්භක මව්කිරිවල එනම් මුලින්ම එරෙන කිරි වන කොලෙස්ටෙ‍්‍රම් වල විටමින් A බහුලව අඩංගු හෙයින් මෙය දරුවාට ලබාදීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත වනවා සේම රෝගවලට  එරෙහිව ප‍්‍රතිශක්තියද වඩවාලයි. මේ හෙයින් දරුවාට මුල් මාස 6 මව්කිරි පමණක් මෙන්ම ඉපදී මුල් වසර 2 තුළ අමතර ආහාර සමග මව්කිරි ලබාදීම දරුවාගේ ශරීරයේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු නංවාලයි.

විටමින් A නිසා ඇතිවන ඇස්වල අන්ධභාවය ලංකාවේ දැකිය නොහැකි වුවද ශ්වසන රෝග බහුල ලෙස දක්නට ලැබෙන හෙයින් දරුවාට මෙම ක්‍ෂුද්‍ර පෝෂක වන විටමින් A නිසි ක‍්‍රමවේදයක් අනුව ලබාදීමෙන් පෝෂණ ඌණතාවය අවම කළ හැකි වේ.

මෙම සුවිශේෂි වැඩසටහන්වල ඵලදායීතාවය ඇති වීමට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපිය භාරකරුවන්ද සෑම විටම මෙම වැසටහන් හා සක‍්‍රීය ලෙස සම්බන්ධ වී නියමිත පරිදි දරුවාට විටමින ලැබෙන බවට වගබලා ගැනීමෙන් මෙන්ම ආහාරයේ පෝෂණීය අගය පිළිබඳවද දැනුවත්ව සැලකිලිමත් වීම දරුවාගේ අනාගතය වෙනුවෙන් සිදුකරන මහඟුම ආයෝජනයක් වන්නේය.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.